Wednesday, 18 May 2011

වියට්නාමයේ නොදැවුණු හදවත

කලින් ලිපියට පසුවදනක් ලෙසයි මේ ලියන්නේ . මෙහෙ වෙසක් සැමරූ හැටි පුවත්පතක දැක්ක . අගමැති තුමාගේ සහභාගිත්වයෙන් බුදු රජාණන්වහන්සේගේ 2555 වෙනි උපන් දිනය සැමරූ වගයි එහි තිබුනේ. හැනොයි වල වගේම හෝචි මින් නගරයේත් උත්සවයක් පැවත්වී තිබෙනවා. ඒ ලිපියට අනුව වියට්නාමයේ මිලියන 12 කට වඩා බෞද්ධයින් සිටින අතර [මුළු ජනගහනය මිලියන 85 කටත් වැඩියි . හුඟක් දෙනෙක් ආගමක් අදහන්නේ නෑ වගේ.] 40,000 ක් පමණ භික්ෂුන් සහ භික්ෂුණින් වහන්සේලා සිටිනවා.
වෙසක් දිනටත් සම්බන්ධ නිසා දිවි පිදු හිමි නමක් ගැන ප්‍රසිද්ධ කතාවක් කියන්නයි හිතුවේ.
Thích Quảng Đức  හිමි
 
 බෝධිසත්ව     Thích Quảng Đức  හිමියන් ගේ කතාව සමහර විට අසා ඇතැයි සිතමි. එතුමන් 1963 වසරේ ජුනි 11 වැනිදා  සයිගොන් [නව හෝ චි මින් ] නගරයේ තම සිරුරට ගිනි තබා ගත්තේ දෙනෝදාහක් යනෙන මහාමගෙක.
හේතුව එවකට දකුණු වියට්නාමයේ පැවැති ඇමරිකන් රුකඩ ආණ්ඩුව බුදු දහමටත් බෞද්ධයන්ටත් කල අසාධාරණයට එරෙහිවය. රජයේ , හමුදාවේ සියලු උසස් තනතුරු බොදුනුවන්ට අහිමි විය. මෙලෙස ගිනිතබාගෙන විරෝධය පෑමට ආසන්නම හේතුව එම වසරේ වෙසක් සැමරුම්ද බෞද්ධ කොඩිය එසවිමද තහනම් කිරීමයි. මෙය හුදකලා සිද්ධියක් නොවේ. ඒ වනවිටත්  ප්‍රබල විරෝධතා පෙළපාලි වලට වෙඩි තබා නම දෙනෙක් ජිවිත පුදා තිබිණි.
මෙම හිමියන් මියගිය පසු සිරුර නැවත වරක් ආදාහනය කලද හදවත එලෙසම ඉතිරි වීම මහා ආශ්චර්යයකි .
Duc හිමිගේ මගෙහිම යමින් රටේ වෙනත් ප්‍රදේශ වලද හිමිවරුන් දිවි පිදු අතර හමුදාව වියරුවෙන් පන්සල් වැනසීමට පටන් ගති. අනික් අතින් වියට් කොන් ගරිල්ලන්ගේ තර්ජනද නිසා රජය සිටියේත් වියරුවෙනි. ඇමරිකන් ගැතී සයිගොන් ආණ්ඩුවට යන එන මන් නැති වීමට මේ සිද්ධිය විශාල බලපෑමක් කර තිබේ.
 
Thích Quảng Đức  හිමි දැවෙනයුරු
ඇමෙරිකන් ජනාධිපති  කෙනඩි කිවේ මේ තරම් බලපෑමක් ඇති කල චායාරුපයක් තවත් නැති බවයි.
මැල්කම් බ්‍රවුන් ගේ මෙම චායාරුපයට පුල්ට්සර් සම්මානයද හිමි වුණා.
 
මෙම සිද්ධියෙන් බලපෑම් ඇතිවුනේ වියට්නාමයේ විතරක් නෙමේ. තරුණ ජිවිත නිකරුනේ විනාශ කරන බවට චෝදනා කරමින් ඇමෙරිකාව තුලම වියට්නාම යුද්ධයට එරෙහිව තදබල විරෝධතා මතු වුනා. [ Born on 4 th of July සිනමාපටය තුල ඒ ගැන අපුරුවට කියවෙනවා.] මේ විරෝධතා ව්‍යාපාරයට එක වෙමින් ඇමෙරිකන් තරුණයෙකුත් Duc හිමියන් ලෙසම ගිනි තබා ගත්ත .
නොදැවුණු හදවත
 
කොහොම හරි මේ විරෝධතා අස්සේ උතුරු හමුදාව දකුණ පරාජය කරලා ඇමෙරිකා යුද්ධෙත් නිමා වුණා. අපවත් වූ Duc හිමි නමින් පන්සලක්ද , ගිනිතබා ගත් ස්ථානයේ ස්මාරකයක්ද තනා තිබෙනවා. 
එම හිමියන් දිවි පිදීමට ගමන් කල රථය තවමත් සුරැකිව තිබෙනවා
මහමග ස්මාරකය
කීප විටක් ඔතනින් ගියත් නතර වෙලා බලන්න නම් ලැබුනේ නැහැ. මේ ෆොටෝ සේරම විකි ගෙන් තමයි
ඔන්න ඔතන මහා විස්තරයක් තියෙනවා...ඕන නම්
 

12 comments:

  1. නියමයි ඔයාටත් ඔන්න බ්ලොග් ලිවිමේ සා පිපාසාව හැදිලා .ආයෙ නිවී හැනහිල්ලෙ කියවලා කමෙන්ට් එකක් ලියන්නම් .දැන් නිදාගන්න ඕනෙ .හෙට මහ පාන්දරින් නැගිටලා රාජකාරියකට බිංතැන්න පැත්තේ යන්න

    ReplyDelete
  2. @ TG ,
    පිපාසාව නෙමේ පිස්සුවක්. මේ පිස්සුව හැදුනේ අවුරුදු 4,..5 වෙන්නත් කලින්. 3 පන්තියට එන්නත් කලින් කරුණාසේන ජයලත් ගේ නවකතා කීපයක්ම කියෙව්වා. තාත්ත හිටියේ මුද්‍රණ අංශයේ . පොතක කවරය ගැහුවම ගෙදරට අලුත් පොතක් එනවා. ඒ කලේ චිත්‍ර කතා පත්තර ගෙවල් වලට ගැනීම එච්චර වැදගත් දෙයක් නොවූ නිසා අම්ම ඒවා ගෙනත් දුන්නේ නම් නැහැ. නිවාඩුවට කහවත්තේ ගියහම උඩහ වත්තේ ගෙදර එකතු කරපු චිත්‍ර කතා පත්තර සේරම බැලුවේ අටුකොසුයි පොලුයි කන ගමන්.
    අරක කියවන්න එපා මේක ඔය ළමයට හොඳයි කියල නීති දාන්න කවුරුවත් ආවේ නැහැ.
    ගාල්ලේ ගෙදරක නිවාඩුවක් ගත කරන්න ගිහින් දවස් තුනෙන් ගෙදර ඇරලුව. ඒ ගෙදර ඉස්සරහ කාමරේ තිබුන පොත් රාක්කෙට යට වෙලා මාව මැරෙයි කියලද කොහෙද. ගෙනත් ඇරලපු බාප්පා නම් කිව්වේ ''තව හිටියොත් පොත් කියවල මේ ළමයට පිස්සු හැදෙයි'' කියලයි..

    ReplyDelete
  3. තිසා හමිව මතක් කලා කියන්න . පරණ නැයෝනේ

    ReplyDelete
  4. මෙය ඔබගේ බ්ලොග් එකේ මේ දක්වා ලියවුනු හොදම ලිපිය කිව්වොත් අමනාප වෙන්න එපා(අනෙක්වා නරකයි කියනවා නොවේ). මේ පිළිබදව අපේ ජාතික පුවත්පතක ගිය ලිපියක් මීට වසර තුන හතරකට පෙර මටත් දකින්නට ලැබුනා. ඔබගේ ලිපිය කෙටිවුවත් එහි අඩංගු වැදගත් කරුණු සියල්ලක්ම පාහේ කැටි කර ලියා තිබීම සතුටට කාරණයක්. ඉදිරියේදිත් මෙවැනි ලිපි ලබාදෙන්න. විකිපිඩියා එකෙන් දේවල් ලබා ගත්තත් වියට්නාමයේ ජීවත් වන කෙනෙක් ලෙස ඔබට ඒවා අපිට වඩා සජීවිව දකින්නට ලැබෙන නිසා ඒවායේ හොද වෙනසක් දකින්නට තිබෙනවා. (ඔබ‍ගේ Followers සම්බන්ධයෙන් ගැටළුව විසදී ඇති නිසා ඒ ගැන මොනවත් සදහනක් කරේ නම් නැහැ.)

    ReplyDelete
  5. දිනේශ් කියාපු පරිදිම මෙය අපූරු සටහනක්...
    විකියෙනුත් මේ තොරතුරු කලින් බලා තිබුණේ නෑ...
    ඔබට බොහොම තුති..
    දැන් දිගටම එන්නම්...

    ReplyDelete
  6. @ දිනේෂ් ..
    ස්තුතියි කිව්වා ඔන්න . ඔබ කැමති ටිකක් ගවේෂණාත්මක හෝ ඉතිහාසගත කරුණු වලට නේද. ඔබේ අතහිත මට හරිම වටිනවා.

    ReplyDelete
  7. @ තිස්ස .
    කලෙක සිට මා ඔබ අඩවියේ රසිකාවියක් [කලින් අදහස් දැක්වුවේ මගේ සැබැ නමින්]
    මේ අහ ආවාට බොහොම පින්. ඉතිරිදීත් හමුවෙමු.

    ReplyDelete
  8. මම ඔය හාමුදුරුවො ගිනි තියා ගත්ත එක ගැන හුඟක් ඉස්සර පත්තරේක දැක්කා .... ඒත් ඒ කාලේ ඒ ගැන තේරුමක් තිබුනෙ නැහැ .... තැන්ක් යූ දාලා තියන විස්තරේට .......

    ReplyDelete
  9. ස්තුතියි කල්හාර..ඇත්තටම මම වුනත් මෙහෙ ආවට පස්සේ තමයි හරි විස්තරයක් හොයන්න හිතුවේ.

    ReplyDelete
  10. ගිනි තියාගත්තු හාමුදුරුවෝ ගැන ලොකු විස්තරයක් දැනගන්න පුලුවන් වුණා. ස්තුතියි අක්කේ තොරතුරු බෙදා ගත්ත එකට :)

    ReplyDelete
  11. මමත් මේ හිමියන්ගේ විස්තරය පුවත්පතකින් මීට කලින් කියෙව්වා.

    ඒත් එදායින් පසු අද දවසේ ඒ හිමියන්ට රටේ ඇති ගෞරවය ආදිය ගැන අපව දැන්වුඅත් කරපු මේ ලිපිය ත් ගොඩක් හොඳයි . ..

    දිගටම ලියන්න . .

    අර පොත් රාක්කෙට යටවෙලා පොඩි වයසෙන්ම මැරෙන්න ගිය ළමයට මේ වෙනකොට පොත් දහයක් නෙමෙයි සීයක් විතර ලියන්න තරම් කරුනු නැති වෙන විදිහක් නෑ නේ . .

    ReplyDelete
  12. කොහොම ස්තුති කරන්නද මන්ද .සේරම කියවල මෙච්චර දිග කමෙන්ටුත් එක දවසක ලියන කොට. අත්දැකීම් නම් අනන්තයි දුකා. අනික් වෙලාවට අනේ ආයේ 18 ට යන්න ආසයි හිතුනට බ්ලොග් එකක් ලියද්දි නම් ටිකක් වැඩිපුර ජිවත් වෙච්ච එක ගැන සතුටුයි. .
    පොතක් ලියන්න තරම් ඉවසීමක් නම් නැහැ අප්පා . මේ ක්‍රමේ තමයි මට හරියන්නේ.

    ReplyDelete