Thursday, 8 September 2011

කඳුලුත් ගෙනෙයි මුතු කැට... ..




එක්තරා කලෙක..... සැප්තැම්බර් 8..... වන දින ක පාසල හැරගිය ගමන්ම එක්තරා දැරියකට  තරග විභාගයකින් සමත්වී ගුරු පත්වීමකට ලිපියක් ලැබිණි . පමාවී ලැබුන ලිපියද ගෙන ඉසුරුපායට ගිය ඇයට පසු දිනම එක්තරා  ''සෞන්දර්ය අධ්‍යයන  ආයතනයක '' කෙටි පුහුණුවකට එන්නයි දැනුම් දීමක් කෙරිණි.


 සියල්ල හදිසියේය . අම්මගේ සුදු සාරි කපා සැකසු ඔසරි කීපයක් ඇය සතු වුයේ එවකට දහම් පාසල් ගුරුතුමියක් වූ හෙයිනි. ජීවිතේට කොට කලිසමක් ඇන්දේ නැති ඇයට කොට කලිසමක් යන ගමන් පිටකොටුවෙන් ගන්නට සිදු වුයේ ක්‍රීඩා කටයුතු සඳහාය .



පසු දින හැන්දෑ යාමයේ මවත් සමග එම ආයතනයට ලඟා වූ ඇය සිසුන් ලියා පදිංචි කල රැස්වීම් හල වෙත පා නැගීය. දොරකොඩ සිටගෙන සිටි සුදු උස පිරිමි ළමයාගේ රුව දුටුවද උනන්දුවෙන් බැලීමට ඇයට නොසිතිනි.


''පෙනේද මේ කෙට්ටු පොඩි එකීගේ ආඩම්බර . අනික්  හැමෝම මගෙන් ඇහුව කොතනටද යන්න ඕන කියල . ''ඒ පිරිමි ළමයාට එහෙම සිතිනි.


එතැන් සිට විවිධ ක්‍රියාකාරකම් ඇරඹිණි. පාසලේදී සියලු ක්‍රීඩා වලින් මග ඇර සිටි ඇයට උදේ පාන්දර පිනි බාමින් කබොක් ගොඩැලි වල වැටි වැටි අතපය තුවාල කරගනිමින් ක්‍රීඩා කරන්නටද සිදුවිය . පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්ම වැඩි ලකුණු ගත් යොවුන් වියේ වූ එම කණ්ඩායමේ බාලයා වුයේද ඇය යි. සියල්ලන්ගේම ආදරය ද දිනාගත් ඇය චිත්‍ර ගුරුතුමාගේ ප්‍රියතම සිසුවිය ද විය .


කිරි කළයට ගොම ඇබින්දක් වටුනාසේ පළාතේ ඉගෙනීම බාර ඇමතිතුමා දිනක් එතනට කඩා පාත් විය . ඇයගේ අවාසනාවට එතුමා ඇගේ ආසනයේ මන්ත්‍රී තුමාය .
''ආ මේ මගේ ආසනේ ළමයෙක් ..'' මේ බුරු වහන්සේ කියූ විට එතන පොළව හාරාගෙන හාරාගෙන යන්නට ඇයට සිතුනි.


දින දින ගෙවී පිරිමි ළමයා ඇය ගැන විශේෂ අවධානයක් නොපෙන්වුවද  ඔහු බොහෝ අසු පිරූ අයෙක් නිසා කණ්ඩායම තුල නිසැකවම බොහෝ දේවලදී නායකයා විය . පුහුණුවේ ඇයගේ දස්කම් පෙන්වීමට ඉහලම අවස්ථාවක් ලැබුනේ සිසුන් නිමැවූ සඟරාව තුලිනි.  එහිද මුලිකයා ''ඔහුය'' . ඇය ලියු කවි වලින් ...මෙන්ම අන් නිර්මාණ අත් අකුරින් ලිවිමෙන්ද  අපමණ දායකත්වයක් දිනි. මුල් කවරයද ඇයගේ සිතුවමකි.
ඉසුරුපායට ගොහින් පිටපත් කර සඟරාව සැමටම එක පිටපතක් දීමේ මුලිකයාද ඔහුමය .


ජිවිතයට අනගි අත්දැකීම එක් කල සුන්දරම දින දහය ගෙවෙන විට මෙම කුඩා කණ්ඩායම එක පවුලක් සේ දැනෙන තරමට ලංවී තිබිණි. යොවුන් විය එවැනිය . එමෙන්ම ඒ ටිකට සමහරු පෙම්වතුන් වී සිටියහ .
අවසන් දින උත්සවයේ නිවේදකයා සහ නිවේදිකාව තෝරා ගැනීමේදී ''ඔහුත් '' ඇයත්'' යෝජනා විය . ඇය මෙවන් කටයුත්තක් කිසිදා නොකළ අයෙකි. ''ඔහු '' මුතුහර ...යොවුන් සමාජ ..ආදියෙහි නිවේදන කටයුතු කර පලපුරුදුකාරයෙකි.


මේ ආඩම්බර කාරයාගේ නොයෙක් පාඩම් සහ බැනුම් ඇසීමෙන් ලද පුහුණුවෙන් පසු ඇය යම් පුහුණුවක් ලද අතර අවසානයේ සියල්ල යහතින් ඉටු කෙරිණි...

දැන් ඇත්තේ නික්ම යාමයි. ජිවිත කාලයක් සිටියා සේ එබිම හැර යන්නට කාටවත් උවමනා නොවිණි. එහෙත් සියල්ල හැරයා යුතු විය . දින කීපයකින් දිස්ත්‍රික්ක තුන පුරා ඇති දුෂ්කර පාසල් වල ඉගැන්වීමට ඔවුන් යා යුතුව තිබිණි.


මෙම කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඉතා ඉහල ලකුණු සමග විශ්ව විද්යාල වලින් කැඳවන තෙක් බලාසිටි අය වූ අතර ..අද මෙන් නොව ඇයගේ පරම්පරාව බොහෝ බලා සිටින්නට සිදුවූ අය වෙති. පාසල් අධ්‍යාපනය වත් නිමකළ හැකිවේදෝයි දෙගිඩියාවෙන් සිටි පරම්පරාවකි. ගින්නෙන් උපන් පරම්පරාවකි.
ඉනික්බිති සියල්ලෝ දුකින්ද ..නව ලොවක් හිමිවීමේ සතුටින්ද යුතුව විසිර ගියහ ..



...ඔහු මොහොතකට පෙර කෙටි පණිවුඩයක් ඒවා අද දින රෑ කෑමට ඒමට බැරි බව දැන්වූ අතර ඇය වසර ගණනාවකට එපිට අතීතයේ සුන්දර සිතුවිලි අතර අතරමංව සිටින්නීය  ඔහුත් ඇයත් හමුවූ දිනය සැමරීමට සුදුසු තෑග්ගක් ලෙස මේ සටහන තබන්න යයි මගෙන් ඉල්ලා සිටින්නීය . ජිවිතේ විවිධාකර කඩ ඉම් ගෙවා ඇවිදින් තවමත් ඇය තුල ඔහුට ඇති ආදරය මෙසේ ලියන්නයි මට අයදින්නිය .

මේ නෙලුම් මල පිපුනේ ඔවුන් වෙනුවෙනි.
කතා කරන්නට හරබර යමක් නොදුන්නට මිතුරනි සමා වුව මැන. ඇයගේ ඉල්ලීමට මට පිටු පානු බැරි විය.


......මල් විතරක් නෙමේ
කටුත් හරියට තිබුනේ
ඇනුණු කටු විසිකර
නෙලමු මල් දිවි උයනේ
  ..සිනහ වාගෙයි මිණිකැට
  කඳුලුත් ගෙනෙයි මුතු කැට..
එකට අරගෙන ගානට
අමුනමුද ජිවිතේ මාලෙට....

67 comments:

  1. කියවා ඉවර වෙනවිට
    ඇඬේ එකසිය ගානට
    වදින හිත යට පතුලට
    තුති මේ සොඳුරු ලියුමට

    ආදරය නම් කවියට
    තව තවත් පද ලියනට
    මිහිර තව වැඩි වන්නට
    මගේ සුපැතුම් දෙන්නට

    ඔන්න මමයි අපේ උන්දැයි දෙන්නත් මුණ ගැසී දස වස් පිරෙන දවස ළඟ එනෝ. ඕක හොයන්න දන්නේ මං විතරයි. මොකද අපි දිනපොත් ලියනවා කියලද?

    උදේ පාන්දර මාරෙට වැදුණු සටහනක්.

    ReplyDelete
  2. [[සිනහ වාගෙයි මිණිකැට
    කඳුලුත් ගෙනෙයි මුතු කැට]]

    යුනිවර්සල් ය. බින්දී මෙන්න හයියෙන් අත්පොලසන්.

    ReplyDelete
  3. @ සුජීව ..

    ස්තුතියි සොයුර ..ඉස්සරවෙලාම ගෙනා සුබ පැතුමට .

    ඔයාල දෙන්නටත් ඒ දවසට නෙලුම් මල් පොකුරක් එවන්නම්කො.

    ReplyDelete
  4. සුභ පැතුම් බින්දි..! මා නොහඳුනන මුත් මා හඳුනන ඔහුටත් සමඟින්ම...

    ReplyDelete
  5. @ මාරයා ..

    ස්තුතියි ..ස්තුතියි ..ඔහු ඔබේ පරණම හිතවතෙක් තමයි .

    ReplyDelete
  6. සුභ පැතුම් බින්දි අක්කා.......!!!!!! මේන් නෙළුම් මල් 2ක් අපි දෙන්නගෙනු විලට......

    ReplyDelete
  7. සැප්තැම්බර් කියන්නේ සැමරුම් මාසයක්නේ.... ... අද දවසේ දකින තුන් වෙනි සැමරුම වෙන්න ඕනේ....
    සුභ පැතුම් බින්දි.....

    (සැප්තැම්බර් කියන්නේ මගෙත් සැමරුම් ගොඩාක් තියෙන මාසයක්... )

    ReplyDelete
  8. උදය සවස මුණ ගැහෙන
    හිත මිතුරන් සේම සමීප
    නුදුටු නුඹ දෙදෙනට
    සුභ පතමි හදවතින්
    දිවි මග පුරා එක්ව
    සමරන්න සෙනෙහසේ මතකය......

    ReplyDelete
  9. සුභ පැතුම් අක්කා..දිගාසිරි ඔබ දෙපලටම.

    ReplyDelete
  10. නෙළුම් මලයි, සමන් මලයි වගේ ඇති!
    සුභ පැතුම්!

    ReplyDelete
  11. දිවි ගඟක් ගැලුවේ
    කොහෙද ඇද නැති පොළොවේ..
    ඇද කුදද ගල් පරද මතුවී
    සුන්දර ගඟක් මැවුවේ...

    ආදරය සුපිරුණ
    ජය සතුට සැප උතුරන
    පැතු පැතුම් සපිරෙන
    දිවි ගමනකට පතමු ආසිරි...!!!


    සොක්‍රටීස් කියල තියෙනව මෙහෙම..

    "By all means marry; if you get a good wife, you'll be happy. If you get a bad one, you'll become a philosopher"..

    ...දාර්ශනිකයෙක් නොවී සතුටින් ඉන්නා බනියලගෙ තාත්තට අපෙන් සුබපැතුම්...!!!

    ReplyDelete
  12. ඔබේ මේ සතුටු නෙළුම . . .නොදැකපු නමුත් කියවාම දැන ගත් දෙදෙනෙකුගේ ආදරය වෙනුවෙන් උපන් සතුටු කඳුළින් කියැවීමි . . .

    සුභ පැතුම් බින්දී . . .

    ReplyDelete
  13. හිටු ළමයි ලොකු වුණහම කියන්න....

    මගෙ උණුසුම් සුභ පැතුම් බින්දි.

    ReplyDelete
  14. වාසනා වේවා! අපෙන් සුභ පැතුම්!

    ReplyDelete
  15. මගෙනුත් සුබ පැතුම්! අපි කාලෙකින් මුණ ගැහුනේ නැති උනත් ඊයෙත් හමුවුණා වගේ දැනුනා post එක කියෙව්වම. (සමහරවිට මම බනියලගේ තාත්තාව දන්නවත් ඇති මුතුහර කලානම්) අපි හම්බුවෙමුකෝ දෙසැම්බර් දිහාට

    ReplyDelete
  16. සුබ පැතුම් , ඒවගේම අගේ ඇති පද පෙළක්

    ReplyDelete
  17. Let us meet in September .....
    Sealed with a kiss .....


    දෙන්න එදා තාවකාලිකව සමුගත්තේඔහොම කියලා වෙන්න ඇති නේද . ඔය සින්දුව මම අවුරුදු දාසයේ විතර ඉඳන් මුමුණන සදාකාලික ආදර ගීය තමා හිකිස්

    ReplyDelete
  18. නෙලුමටයි , එයාව නෙලාගත්ත තොටියටයි දෙන්නටම මගේ සුබපැතුම්

    ReplyDelete
  19. ඔන්න නෙලුම් කුමාරිටයි කුමාරයටයි මගෙනුත් සුභ පැතුම්!!!

    ReplyDelete
  20. තියෙන වැඩ රාජකාරීවල බහුල බව නිසා පසුගිය දින කිහිපයේම නෙළුම් විලට බසින්නට නොහැකිවූවත් හදිස්සියෙන් හෝ එයට පිවිස කියන්නටම ඕනෑ ඔබට හිමි කවීත්වය නිසා තමයි ඉතිහාසගත කරුණු, සංචාරක සටහන් මෙන්ම මෙවැනි තේමාවන් පවා රැගෙන ඒමට හැක්කේ. එය ප්‍රශංසනීයයි. එය හැමෝටම සංවේදීලෙද කරන්නට හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. මගේ සුභ පැතුම්...

    ReplyDelete
  21. අපේ උණුසුම් සුභ පැතුම් සොයුරිය !

    ReplyDelete
  22. ඔය කථාවෙන් කිව්වේ බනියලගේ තාත්තා ගැනයි කියා හිතනවා. අනේ වැරදි නම් සමා කොරන්ට. හදිසියේ නොවැ කියෙව්වේ. කොහොම වුනත්, මම නිවැරදි නම් ඔය සංවත්සරේට (පළමු නෙතුගැටුමේ සංවත්සරය) මෙන්න මගෙන් දෙන්නටම නෙළුම් මල් දෙකක්...!!! අහ්...!!! නෙළුම් විලේ අයිතිකාරයට මොන නෙළුම් මල්ද නේද ? ඇයි දෙය්යනේ ඔය ඉන්නේ නෙළුම් විලක්ම...!

    සුඵ පැතුම් අක්කේ...! නෙළුම් අයියටත් සුභුපැතුම් සමග ස්තුතිය... මේ වගේ වැඩකට සහයෝගය දෙනවට.... නෙළුම් විලත් සමග ඔය දෙන්නගේ ජීවිතත් පීපී සුවඳ දේවා... ඒ සුවඳින් පුංචි බනියලාගේ ජීවිතත් නිවී පහන් වේවා...!

    ජයෙන් ජය... බුදු සරණයි...

    ReplyDelete
  23. @ හා පැටික්කි ..

    ස්තුතියි හාවී සහ හාවට ..ඔන්න මල් දෙකම විලට දැම්ම

    @ රංගි..

    ස්තුතියි රංගි..ඔයාගේ සැමරුම් වලටත් මගේ සුබ පැතුම්..

    @ලකී..

    සැබවින්ම උදයේ හවස හමුවෙන අයටත් වඩා ඔබ සැම බොහෝ ළඟ බව දැනේ මට . ස්තුතියි ලකී

    @නිසුපා ..

    ස්තුතියි නිසුපා

    @කතන්දර

    ආයිත් අහල . ස්තුතියි බොහොම සුබ පැතුමට .

    @සපතේරු ..

    ස්තුතියි ..ඒකනේ දාර්ශනිකයෙක් වෙන්න කියල තමයි අම්මල නම දාල තියෙන්නේ . කොහෙද ඉතින් අපි වගේ සුවච කීකරු බිරින්දල හම්බ වුනහම . හැබැයි දාර්ශනික ලක්ෂණත් තියනවා . තනියම හම්බ වුනහම අහල බලන්න .

    @ ස්තුතියි දුකා ..වෙනදට අපි තනියම මේවා මතක් කරනවා . අද මේ බ්ලොග් එක නිසා බොහෝ සුබ පැතුම් මැද. බොහොම සතුටුයි ඒ ගැන .

    @ නලිනි...

    ලොකු වුනහම නලිනි නැන්දා ඉන්න පැත්තේ යන්න එපා කියන්න ඕනේ . ස්තුතියි ස්තුතියි

    @ගල් මල් ..

    ස්තුතියි ඩීන් අය්යා

    @ චන්දී..

    ආ ඔයත් මුතු ඇටයක් නේද . මෙයා ව හම්බ වෙලත් ඇති . . ස්තුතියි සුබපැතුමට. ඔව් ඔව් අඩු ගානේ කැලණියේ පැත්තේ කට්ටිය හමු වෙන්න වත් බලමු . ප්‍රියන්ත අය්යා සමගම .

    @මහේෂ් ..

    ඔබටත් සුබ පැතුම් විවාහ සංවත්සරයට .

    @ TG ..

    අපොයි නැහැ . හොඳ යාළුවො හෙම වෙලා පස්සේ ටික ටික තමයි ඉතින් කතාව ගලාගෙන ගියේ . මොරටුව පැත්තේ කම්මලකට යන්න මෙයා ලැහැස්ති වෙලා හිටියේ . ඉස්කෝලේ රස්සාවට ගියේ නැහැ . ඔන්න බලන්න ..ඉරණම වෙන්න ඇති නේද ..

    ..ඇත්තටම අපේ කණ්ඩායමෙන් ගුරු සේවයට ඉතුරි වුනේ දෙතුන් දෙනයි. ගොඩක් ළමයි කැම්පස් ගියා . එක්කෝ වෙන රස්සා වලට ගියා . කාටවත් බැහැ අපිට දොස් කියන්න . ඒ කාලයේ හැටි එහෙමතමයි..

    ස්තුතියි සුබ පැතුමට ..

    @ ගිම්හානි ..

    ස්තුතියි නංගි

    @ දිනේෂ් .

    කාර්ය බහුල නැද්ද දෙය්යනේ අර ලියල තියෙන පොස්ට් එකේ දිග . ඒකට සෑහෙන වෙලාවක් යන්න ඇති. මට තවම සම්පුර්ණයෙන් කියවන්නත් බැරිවුනා .

    ස්තුතියි දිනේෂ්

    @පැණි දොඩම් .

    තේරෙන්නේ නැහැ ?? ඇයි ළමයෝ අපි පළමුවෙන්ම හමු වුන හැටිනේ ඔය ලියල තියෙන්නේ .

    @ ..Weni

    ස්තුතියි..වෙනි ..ඔබේ පොත් ගැන බ්ලොග් එකටත් මම ගියා හොඳ වැඩක්

    ReplyDelete
  24. @ චතුරංග ..

    ඔව් ඔව් මල්ලි එයයි මමයි ගැන තමයි . ස්තුතියි බොහොම

    ReplyDelete
  25. ..සිනහ වාගෙයි මිණිකැට
    කඳුලුත් ගෙනෙයි මුතු කැට..
    ඒක නම් අපූරු ගැළපීමක්. මගෙනුත් සුභපැතුම්!ඔන්න

    ReplyDelete
  26. ලස්සන කවිටික. වදන් මලාවත් සන්වේදි. ගුරු ව^ර්තිය කියන්නේ උතුම් රෑකියවක්. අපි අද මෙතන ඉන්නේ ගුරුවරු නිසා. ඔයාලා දිගටම ඉගන්නුවාද? මගෙනුත් සුබපතුම් !

    ReplyDelete
  27. @ ඇනෝ..

    ස්තුතියි ..ඇනෝ

    නැහැ . මම නම් ටික කලක් ඉගැන්නුවා . ඔහු සරසවියට ගියා . ඒ කාලේ හැටි එහෙමයි

    ReplyDelete
  28. අනේ මෙහෙම වෙලාවක දන්න හඳුනන යාලුවෙක් වෙලත් පරක්කුවෙලා ආපු එක ගැන ලජ්ජාවේ බෑ.
    Better late than not කියනවනේ.
    ඔන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්.

    "සත් හට සෙත් දෙන - ලෝක දිවාකර භගවත් අප මුනිදුන් සරනා
    පත් මෙමුරුන් වන විෂ්ණු කතරගම සමන් විභීෂණ දෙව් සරනා
    බැතියෙන් පතනෙමි දෙදෙන චිරා කල් සව් සැපතින් වසනා ලෙසිනා
    පත්වන දුක් සැම දුරහැර ලෝ සැප අත්වේවා දෙදෙනට යෙහෙනා"
    (මගේ නිර්මාණයක් නොවේ. මනමේ නාට්‍යය ඇසුරිනි)

    ReplyDelete
  29. බින්දී මේ දහ නවයද? මං කිව්වේ අපිට නම් දහයයි.

    මාත් ඔය ගුරු සේවෙට දැම්මා. ඒත් ඒක එනකොට මං ලංකාවේ නැහැ.

    බින්දිලාගේ උසස් පෙළ වසර නේද කට් ඕෆ් මාක් ඉහල යාම නිසා සමහරුන් සිය දිවි නසාගත් වසර.

    ReplyDelete
  30. සුබ පැතුම් අකේ හදවතින්ම සුබ පැතුම් .. හැමදාම හිනාවෙලා දෙන්නත්තෙක්කම සතුටින් ඉන්න .

    ReplyDelete
  31. @ පොත් ගුල්ලා ..
    කිසිම පමාවක් නැහැ . ඇත්තටම අද තමයි දවස . බොහොම ස්තුතියි සුබ පැතුමට .
    @ හිස් අහස ..
    ස්තුතියි මලයා ..ඉස්සර කවුරුත් නොදැන අපි හීන් සැරේ සමරපු දවසක් . අද බොහෝ සුබ පැතුම් මැද. අපේ ගෙවල් අයිති ආයතනය ආයතනය නිල වශයෙන් සඳ උළෙල සමරනවා . ඒකත් අපුරුයි.. අපේ බනිලගේ තාත්තට අද රෑ වෙනකම් රාජකාරි රැස්වීමක් සහ රෑ කෑම එළියෙන් . මන් ඉතින් පොඩ්ඩෝ දෙන්නත් එක්ක මුන් කේක් කන්න යනවා . ඔන්න ජිවිතේ ඔහොමයි. මන් මේ කියන්නේ අපිට හැමදාම වලාකුළු උඩම ඉන්න බැහැ. ඒ ඒ විදියට ජීවිතේට මුහුණ දෙන්න ඕන. සඳරු හිතේ අමාරුවෙන් හිටියනේ මාමණ්ඩි කල කතාවට . ගොඩක් දෙනෙක්ට ''අනේ හරි ෂෝක් ඔය දෙන්න යාළු වෙච්ච එක ..අපි ඉක්මනට කසාදෙ කරලා දෙන්නම් ''කියල දෙමාපියෝ ඉදිරිපත් වෙන්නේ නැහැ . එන ප්‍රශ්න ගොඩයි. ඒවත් විසඳගෙන අද අපි මේ ඉන්න තත්වෙට එන්න ලේසි නැහැ . දැනුත් සෑහෙන ඉවසීමක් අවබෝදයක් ඕන . ඔව්ව ඔක්කොම තිබ්බත් පොඩි පොඩි වලිත් අනිවාර්යයි. ඒවත් එක්ක හිනා වෙන්න අඬන්න..ඕව තමයි ජිවිතේ . මට මල්ලිට කියන්න තියෙනේ ජිවිතේ කළුම නැහැ කියලයි.

    ReplyDelete
  32. සුජීව .. දහනමය . සත් අවුරුද්දක් රස්තියාදු ගැහුවා ..යෝජිත විවාහෙකින් විවාහ වුන මගේ ඉන්දියන් මිතුරිය ට පුදුමයි ලංකාවේ තියෙන නිදහස ගැන .

    දිවිනසාගැනීම් ..මට විශේෂ මතකයක් නැහැ . අනික තව එකෙක් දෙන්නෙක් මලා කියල ඒ කාලේ ගණන් හිලවු වලට ලොකු බලපෑමක් නැහැ. අපි වැඩ ඇල්ලුවේ ශිෂ්‍යත්වේ කල් ගිහින් . ඊට පස්සේ සාමාන්‍ය පෙළ ..කල් ගියා . උසස් පෙළ පන්ති පටන් ගත්තේ පරක්කු වෙලා . අපිට උසස් පෙළ කරද්දී නම් ඒ හැටි කරදර වුනේ නැහැ . ඒ කියන්නේ පාරේ බස් හෙම වැඩ කලා . ඉස්කෝල වැහුවෙත් නැහැ. ඒත් කිසිම බලාපොරොත්තුවක් නැති මුස්පේන්තු කාලයක් . හැබැයි අපි ඒ ලබපු අත්දැකීම් ..ජීවිතේට ලැබුන පන්නරය ඉතින් ..ගලේ ගැහුවත් කෙලින් තියන් ඉන්න හැකි ඔලුවක් ඉතුරු වුනා .

    අපි නම් ඉතින් දිවි නහ ගත්තේ නැහැ. අර මොකටද . අපේ බනිලගේ තාත්ත නම් මොරටුව පැත්තේ කම්මලක ඉගෙනගන්න ගියානේ . මටත් ඉතින් විභාග බොහොමයකින් තේරිලා ගොඩක් අවස්ථා ලැබුන. පස්සේ උපාධි කටුවකුත් ගහගත්තා . ඔය මදැයි. ලංකාවට ගියහම ගෙදර නිකන් ඉන්නේ ඇයි කියන ප්‍රශ්න නම් ඉවරයක් නැහැ . මක් කරන්නද . අපේ උන්දැව දාර්ශනිකයෙක් නොවී බේර ගන්නත් එපාය .

    ReplyDelete
  33. සුභපැතුම් අක්කා. ඔයා හරිම ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
  34. පමාවී පැමිණි මගේ සුබ පැතුම් ඔබ දෙදෙනාට !!
    අපිත් සැප්තැම්බර් ජෝඩුවක් හැබැයි අන්තිම දවස්වල.. තව දවස් තියෙනවා ඒක ගැන ලියන්න !

    ReplyDelete
  35. නියමයිනෙ. ඉදිරියටත් ජයවේවා!

    ReplyDelete
  36. @බින්දී,

    [[උසස් පෙළ]]

    ඔය තමයි පළමු අවුරුද්ද ළමයි නිදහසේ හුස්ම අරන් ඒ ලෙවල් කල. මොකද ඔයාලගේ උසස් පෙළ මුල් වසරේ මුල්ම හරියේ අර අරයව අල්ලලා පන පිටින් සොහොන් ගේක පිච්චුවා [ලු]. එකත එක්ක රටේ තිබ්බ තත්වය අඩු වුනා. ප්‍රතිපලයක් ලෙසට රට පුරා ම ළමයි හොඳට විභාගේ කළා.

    ඔය කාලේ ඉසෙඩ් ලකුණු, දිස්ත්‍රික් රෑන්ක් වගේ එව්වා තිබ්බේ නැහැනේ. ඉතින් මේ ළමයි කැම්පස් යා හැකි මට්ටම හිතා ගත්තේ පෙර වසරේ ලකුණු වලින්. උදාහරණ ඔබට 258 නම් ඔබ බලන්නේ ගිය පාර කටෝෆ් එක ඒ වගේ ගානක් ද කියලා. හොඳටම ළඟ නම් ඔබ ආයිත් කරනවා.

    ඔබේ වසර සහ පෙර වසර අතර තිබ්බේ මාර ගැප් එකක්. ගාල්ලේ ඉන්ජිනියරින් 247 ඉඳං 281 දක්වා ගියා. ෆිසිකලුත් 250+. හිතන්න 250 රේන්ජ් එකේ අය ගැන. උන් ෂුවර් ඉංජිනියරින් කියලා ආයිත් නොකර ඉන්න කොට උන්ට ෆිසිකලුත් යන්න බැරි උනාම. ඔන්න ඔය වෙලාවේ කට්ටිය සුයිසයිඩ් එහෙමත් කර ගත්තා මොකද ඔය ප්‍රතිපල දුන්නෙත් පහු වෙලානේ. ආයිත් කරන්න වෙන්නේ වසර දෙකකින් හෝ තුනකින්. මේකට අහුවුණු ඔබේ වසරේ මගේ යාලුවෙක් අපටත් පස්සේ කලේ වසර තුනක් පහලින් - අද නම් පොර විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක්.

    මේ අලකලංචිය ගැන හිතු අමාත්‍යාංශය රෑන්ක් එකත් දෙන්න ගත්තේ මෙය වලකන්න බවයි මගේ මතකය කියන්නේ. දැන්නම් ඉතින් ඉසෙඩ් ලකුණ නේ.

    [[බලාපොරොත්තු]]

    බලාපොරොත්තු තියාගත්, සහය දෙන්නට වයස මදි වූ විප්ලවේ ට හෙන හත වැදිලා අපි හිටියේ පිට ගෙදරකට ආපු බල්ලෝ වගේ. කන පාත් වෙලා, නැට්ට කකුල් අස්සේ ගහගෙන. මං මේ කාලය යෙදුවේ මේ විප්ලව සංසිද්ධිය ගැන ඉගෙන ගන්න. මං කියෙව්වා විප්ලව ගැන. මං ඉගෙන ගත්ත බොහෝ දේවල්. ඉතාම වැදගත් දෙයක් උනේ ආයිත් නම් දේශපාලන මතවාදී කඳවුරකට නොබැදෙන්න හෙවත් මතවාද වලට කඩේ නොයන්න.

    මං හිතනවා අපි මුහුණ දුන් මානව ඛේදවාචකය අපේ ජීවිත පුළුල් කළා කියලා.

    [[රස්තියාදු]]

    හතරක් රස්තියාදු ගහපු අපිත් ඔන්න ගැට ගහලා දැම්ම ඊට පස්සේ. ඔය මදැයි.

    [[වලි]]

    අපිත් ඔහේ පැටලෙන දෙන්නෙක්. ඒ වුනාට මානුෂිය ප්‍රහාර පමණයි එල්ල කරන්නේ. මගේ නම් ජීවිතේ සාර්ථකම අංශය තමයි ඔය. කඳුලත් ඇත්තටම මුතු කැට. සිනහ ගැන කවර කතාද?

    ReplyDelete
  37. හදවතින්ම සුභපැතුම්!!! :)

    ReplyDelete
  38. බින්දි ඕගොල්ලො අඛණ්ඩ ඇගයීම් කියල ජාතියක් කොලා ද ඒ කාලේ ? මම් නං ඉතින් හිච්චි එකා ඒ දවස් වල සිස්සත්තේ ලියලත් නෑ වගේ අපේ අම්ම ඔහොම නමක් කියනව මතකයි

    මොනව උනත් බනියලෑ තාත්ත හරි හොඳයි අප්පා .විලට පනින කිඹුලෙක් වෙලා විල බොර කරන්නෙ නෑ නේ හි හී .ඒ නිසා ඉතින් අපිට ඔයා එක්ක නිවාඩු පාඩුවේ හඳ බනිස් කමින් සංවාද කොරන්න පුලුවන්නේ . හැබැයි ඉතින් ඔයාට කියලා අරව ලියන්න මේව ලියන්න කියල බලපෑම් කරලා , හොරෙන් බලලා අපි එයාට හොඳ කිව්වම සතුටුවෙනවා ඇති . මාර උපක්‍රමයක් නේ :)

    සුජීවටයි ඔයාටයි බැරිද මට අර සාමකාමී ලෙස මානුෂවාදී ලෙස පවුල් වලි මෙහෙයුම් දාගන්න විදිය ගැන ඔන් ලයින් ටියුශන් එකක් කරන්න .

    ReplyDelete
  39. [[සුජීවටයි ඔයාටයි බැරිද මට අර සාමකාමී ලෙස මානුෂවාදී ලෙස පවුල් වලි මෙහෙයුම් දාගන්න විදිය ගැන ඔන් ලයින් ටියුශන් එකක් කරන්න]]

    ඔය ටීජී සුදු සාරි අඳින හැටි ඉගෙන ගත්තු ස්පොට් එකට පාරෙන් එහා පැත්තේ තියෙන "ස්කූල්" එකේ ස්ටාෆ් එකේ ඉන්න ඩිවෝස් නොවුණු [ගනිතඥයින්ට දුර්ලභ කරුණක් ලු] අචාර්ය තුමෙක් වරක් කිව්වලු එයාගේ රහස. "මං ගෙට ගොඩ වෙනකොට ලොජික් ඕෆ් කරනවා. ආයිත් ඔන් කරන්නේ ගෙන් පිට වෙනකොටයි" කියලා.

    ඉතින් ඔය මානුෂිය වලි සමග ගෙවෙන පෙම්බර ජීවිතේ එක එක්කෙනා ගෙවන්නේ තමන්ට ම ආවේනික ක්‍රම අනුව.

    ටීජී දන්නවනේ කරන අයට උගන්නන බැරි බව. හුඟක් පවුල් අවුල් වලට උපදෙස් දෙන අය ඩිවෝස්. පොසිටිව් තින්කින් උගන්නන එවුන් පට්ට නෙගටිව්.

    ReplyDelete
  40. @සුජීව...

    "මං ගෙට ගොඩ වෙනකොට ලොජික් ඕෆ් කරනවා. ආයිත් ඔන් කරන්නේ ගෙන් පිට වෙනකොටයි"

    අම්මපා මල් තියලා වඳිනවා බොලා මේ ළග පාතක හිටියනං... පවුල් වලි කෙසේ වෙතත්.. හිතවතුන් අතර වලි යන එකත් නවත්ත ගන්න ගන්නනං ඒක ෂෝක් වැඩක්.. අනේ අම්මපා තව පැය 24කට කලින් ඔය වචන ටික පිට උනානං...

    ReplyDelete
  41. @මාරර්;

    හිතවතුන් අතර වලි නම් මොනවාද අප්පා. ගැහුවා දිව්වා. මේක එහෙමද? කොහේ කියල දුවන්නද? රිදෙන හිත් වලට පස්සේ තෙල් බෙහෙත් ගාන්නත් උනාම.

    ඔන්න මමයි මේ වැරැද්ද කලේ, නෑ නෑ මගෙයි වරද කියලා ඒ පාර එකටත් පොරේ වැරැද්ද බාර ගන්න. වලි වල එකවුන්ට් ඔක්කොම එන්ඩ් ඕෆ් ද ඩේ බැලන්ස් කොර ගන්න ඕනෙලු. හෙටට ගෙනයන ශේෂ තියන්නේ නැතුව.

    ReplyDelete
  42. @චන්දික ..
    බොහොම ස්තුතියි මිතුර .
    @ සුජීව ..
    සන්තෝෂයි විවාහ ජීවිතය හිතන තරම් නරක නැති විත්තිය අපේ නංගිලා මල්ලිලා තේරුම් ගනියිනේ අඩු ගානේ .
    @ TG ..
    අපොයි ගොය්යෝ ..සුජීව කිව්ව දේ තමා කියන්න තියෙන්නේ . ඒ ඒ කට්ටියට ඒ ඒ ක්‍රම අවශ්‍යයි. උපදේශක තුමන්ලා ගැනත් එච්චර තමයි. ඔය අනුන්ගේ උපදෙස් වැඩිය අහන්නත් එපා . මම නම් උපදේශාත්මක පොත් පත් කියවන්නත් දේශනා අහන්නත් ටිකක් හොරයි. බුරුවා විකුණන්න ගිය තාත්තටයි පුතාටයි වුන දේ මතකනේ . කකාත් ඒ ගැන දවසක් ලියල තිබුන . ඒ හින්දා වස්තුවේ හම්බවෙන මනුස්සයා පොඩ්ඩක් අධ්‍යනය කරලා තමන්ටම ගැලපෙන ක්‍රම විධි අනුගමනය කිරීම තමයි හොඳම . ඔයා ගෑණු ළමයෙක් නිසා උත්පත්තියෙන් ලැබෙන අර 64 න් කීපයක් වත් ඕන වෙන වෙලාවල් වලට පාවිච්චි කලාට කමක් නැහැ . පස්සේ ඉතින් බනියල වගේ කට්ටිය ආවම UN එක වගේ තමයි. සමහර විට වලි බේරයි . නැත්නම් වැඩි කරයි.

    අන්න හොරේ අහුවුනා ..ඔයාට . කිඹුලෙක් නොවීම තමයි සහජීවනය . දෙපැත්තටම වාසියි. යෙදෙන්න මම ආස දෙයක් තියෙන නිසා මගේ පැමිණිලි අඩුයි.. ..ඔන්න ගෑණු බ්ලොග් ලියන එකේ පිරිමින්ට ඇති වාසිය . මගේ පැත්තෙන් ඉතින් මට ඕන දෙයක් කියවගෙන ලියාගෙන ඉන්න අවස්තාව ලැබෙනවා . ඔන්න සාමයේ රහස . බ්ලොග් ලිවිම ගෙදර සාමයට හේතු වේ .
    .
    ඇගයීම් ..හරි හරි අපි තමයි ඒ . අනේ මන්දා මට නම් බොහොම ආස හිතුන ඔය ඇගයීම් වලට . අද මන් දකින ජාත්‍යන්තර අධ්‍යාපනයේ සමහර ලක්ෂණ ඒකෙ තිබුනා . විශේෂයෙන් ප්‍රායෝගික පැත්ත . පිට පලාත්වල ළමයි මේකට අකමැති වුනා . එයාලට සාධාරණ හේතු තියෙන්න ඇති. හොඳ දෙයක් වත් හොඳයි කියල පිළිගන්න සැකයි නේ ඒ කාලේ . චිත්‍ර ගැන පැවරුමට කැළණි විහාරේ බිතු සිතුවම් ගැන තනියම ඉගෙන ගත්තා . දහම් පාසලින් උපරිම ප්‍රයෝජනය ගත්තා . පන්තියේ ගොඩක් ළමයි මාත් එක්ක වැඩිපුර යාලු වුනා ඔය පැවරුම් ක්‍රමය නිසා . අපි කණ්ඩායම් වශයෙන් සමහර දේවල් සොයන්න ගියා . ඔව්ව කලේ වාහන තිබිලා හෙම නෙමේ . සීසන් එකෙන් ලංගම බස් ඒකෙ ගිහින් . පොත් කියෙව්වේ සල්ලි දීල අරන් නෙමේ . පුස්තකාලවල දුවිලි ගැහුණු පොත් රාක්ක අවුස්සලා ..කරෝල ඔතන් ආපු පත්තර කොලේ පවා කියවලා . ගෙදර රූපවාහිනියක් වත් නැතුව . මේවා වෙනම පොස්ට් එකක් ලියන්න වටිනා කාරණා . ඒත් කතාව පටන් ගත් නිසයි අත අරින්න නොහිතුනේ .
    ගීත ගායනයට ඇර[??] අනික් හැම එකටම 9/9 ලැබුනා . කියවීම සහ ඇවිදින්න බය නැතිකම තමයි හේතුව . ඔය එක එක දේවල් හොයන්න තැන තැන වල රස්තියාදු වෙන්න ලැබුන නිසා මම වඩා කැමති වුනා . රට හොඳටම අවුල් වෙච්ච කාලෙනේ . මේ ක්‍රමය ආපු වෙලාව වැරදියි . නැත්නම් සාර්ථක වෙන්නත් තිබුන .

    අපේ පොත් ගුල්ල මහතා සහ චන්දි ඔය අත්දැකීම ඇති අය . අහල බලමු කැමති වුනාද නැද්ද කියල .

    @ මාරයා ..
    ඇයි අද වලියක් දා ගත්තද .

    ReplyDelete
  43. ආයෙත් අහලා.. 99න් බෙල්ල බේරගත්තේ.:D:D:D

    ReplyDelete
  44. [[අනේ මන්දා මට නම් බොහොම ආස හිතුන ඔය ඇගයීම් වලට . අද මන් දකින ජාත්‍යන්තර අධ්‍යාපනයේ සමහර ලක්ෂණ ඒකෙ තිබුනා . විශේෂයෙන් ප්‍රායෝගික පැත්ත . පිට පලාත්වල ළමයි මේකට අකමැති වුනා . එයාලට සාධාරණ හේතු තියෙන්න ඇති]]

    ඉතින් ඕගොල්ලන්ට කිරි ලැබුනානේ. අපට කැකිරිනේ. දැන්නම් සිද්ධිය කිරි වලට වඩා කැකිරි දුලබයි.

    ReplyDelete
  45. මමත් අඛණ්ඩ ඇගයීම් සම්බන්ධ බින්දිගේ අදහස අනුමත කරනව. කැලණියේ නායක හාමුදුරුවන්ව (ඒ කාලේ පොඩි හාමුදුරුවො) පුද්ගලිකව හමු වෙලා කැලණි විහාරය ගැන විස්තර අහගත්තෙ ඔය අඛණ්ඩ ඇගයීම් ක්‍රමය නිසානෙ. ඊට පස්සේ ඒ විස්තර ඇතුලත් කරලා පොතක් හැදුව. ඒ වගේ තවත් විෂයන් වලට පොත් හැදුව. පුවත් පත් කියවන්න, විශේෂ වටිනාකමක් ඇති ලිපි ක්‍රමවත්ව එක් රැස් කරන්න ශිෂ්‍යයන්ව පුරුදු කළා. සමහර ළමයි පුස්තකාලයකට අඩිය තිබ්බෙත් ඔය අඛණ්ඩ ඇගයීම් නිසා. තව සිංහල කවියක සුගායන රසය විඳින අයුරු අපි ඉගෙනගත්ත. විෂයක් හැටියට නැටුම් කල ළමයි විතරක් දැනගෙන හිටි ප්‍රශස්ති ගායනා හැමෝම රසවින්ද. බින්දිට නැති උනාට මට නං කවි ගායනාවට 9/9 ක් ලැබුන. තාම පැරකුම්බා සිරිතේ ප්‍රශස්තිය මතකයි.

    "අංග මංගජ මංගලෙන් වැඩි බිංග මෙන් මුනි පා කමල් වට
    අංග තුංග මතංග ජන්දෙන ඉංගකින් කවි බන් දනන් හට
    අංග වංග කලිංග හිංගුල කොංග නෙන් පැවසූ යසින් තුට
    අංග සංග වලංග වෙන් සිරි සංග බෝ පැරකුම් රජුන් හට"

    මතක විදිහට එතකොට නම වැනි හෝ දහ වැනි වසරේ. වයස 14/ 15 දී අපව පොතක් ලිවීමට තරම් පෙළඹවූ ඒ අධ්‍යාපන ක්‍රමය වැරදී කියලනන් කියන්ඩ බැහැ. ඉන් ලැබූ අත්දැකීම් මට නම් අදටත් ප්‍රයෝජනයි. මගේ නං අදහස ඔය කොළඹට කිරි ගමට කැකිරි කතාව දේශපාලන උද්යෝග පාඨයක් විතරයි. ඇත්තටම අපිට වඩා හොඳට ගමක ළමයෙකුට ඔය ක්‍රමයට වැඩිය ලකුණු ලබා ගැනීමේ අවස්ථාව තිබුන. මොකද අපි පොතින් පතින් ඉගෙන ගන්න දේ ගමක් තුලදී ප්‍රායෝගික අත් දැකීම් තුලින් ඉගෙන ගන්න තියෙන අවස්ථාව වැඩියි. මට නං හිතෙන්නෙ ඔය කොළඹ ඉහළ පැලැන්තියේ විරෝධය තමා ගම අවුස්සලා තියල කරගත්තෙ කියල. එකෙන් මේකෙන් වැඩ හයේ සාමාන්‍ය පෙළ කලේ අපි විතරමයි. පසුකාලීනව රැකියා වලට යද්දී මේ වැඩ හයේ කතාව අපිට හරියට බලපෑව. සම්මුඛ පරීක්ෂණය කරන අය හිතන්නෙ අනෙක් විෂයන් අපි අසමත් කියලයි. ඉතින් ඕක විස්තර කරලා දුන්නත් කතන්දරේ දන්න කෙනෙක් එතන නොහිටියොත් අපි බොරු කියනව කියල තමා හිතන්නෙ.

    ReplyDelete
  46. බින්දි,
    මමත් ප්‍රමාද වෙලා ආවේ. නමුත් මගේ උණුසුම් සුභපැතුම් පිළිගන්වන්නට නම් ප්‍රමාද නැති බව පෙනුනා.
    henryblogwalker aka Dude

    ReplyDelete
  47. සුපැතුම් සුපැතුම් සුපැතුම්.. ලස්සනම ලස්සනයි බින්දි, ඇස් දෙකත් තෙත්වුනා (සතුටු කඳුළු)

    පලි: චකේ චකේ.. මං හොඳටෝම පරක්කුවෙලා නොවැ, පෙරහරත් ගිහිල්ලා පාරත් සුද්ධ කරලා ඉවරයි නෙවැ.. කොහෙද මං දවස් දෙකකට කාඩිෆ් ගොහිං එන්ට ගිය ටිකට මෙයා පෝස්ටුත් දාලා, කමෙන්ටුත් 50ක් විතර දාලා.. කැචයි හොදේ..

    පපලි: අපේ අක්කත් කොලේ ඔය අඛණ්ඩ ඇගැයීම් තමා.. හැබැයි උන්දැට පැවැරුම්වලට උදවු පදවු කොරලා හෙම මාත් සෑහෙන්න ඉගෙනගත්තා.. මමත් කියන්නෙ නිකම්ම කටපාඩං කොරන අධ්‍යාපනයකට වඩා ඒ පැවැරුම් වැඩේ හොඳයි කියලා..

    ReplyDelete
  48. @ Dude

    ඔව් ඔව් කිසිම පමාවක් නැහැ . බොහොම ස්තුතියි

    @ සුජීව ..

    කිරි පැකට් සහ බනිස් ...කිරි නම් බොන්න පුළුවන් . ඒත් අර බනිස් හදපු බේකරි ය කොහෙද දන්නේ නැහැ . බල්ලෙක්ට කන්න බැහැ. අමු මැටි ගුලි.

    @ පොත් ගුල්ලා

    ඔන්න දැක්කද . තවත් එක්කෙනෙක් . ළමයි නෙමේ ඕකට විරුද්ධ වුනේ ...සියල්ල කණපිට හැරිච්ච කාලෙක තිබ්බ සැකය නිසා අපිටත් දෙගිඩියාවක් තිබ්බට සම්පුර්ණයෙන් කළු වැඩසටහනක් නෙමේ.

    වැඩ 6 ..සමහරු නම් ආයේ ඉතුරු වැඩ දෙක කළා . අනේ අපි නම් නැහැ ඔය පණ්ඩිත වැඩ . නොදන්නා කම කොච්චරද කියනවා නම් දවසක් මගේ පරණ ගුරුවරයෙක් [ ඒ වෙනකොට විදුහල්පති කෙනෙක් ] ඇහුව ඇයි පුතේ ඉතුරු වැඩ දෙකට c ද කියල '' .සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද .

    @ බුරා ..

    ස්තුතියි බුරා ...කිසිම පරක්කුවක් නැහැ . සුබ පැතුම සතුටින් බාර ගත්තා ඔන්න .

    ReplyDelete
  49. @ පිනි බිඳු

    @ සරත්

    @ Outsider

    මට ඔය තුන් දෙනාටම ස්තුති කරන්න අමතක වෙලා . සමාවෙන්න ...ගොඩාක් ස්තුතියි සුබපැතුමට

    ReplyDelete
  50. බින්දි

    අර යාලුවෙන්න ඔන්න මෙන්න කාලේ ඔයාට තග දැම්මම ඔයාට කියන්න තිබුනේ මෙන්න මෙහෙම

    ඔසරි පොටින් අදින්නෙපා - වලාකුලයි ඉරෙන්නේ
    රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ
    මූණට මගෙ එබෙන්නෙපා හඳ එලියයි නිවෙන්නේ
    හැමදාමත් ඔච්චම් බෑ
    නෙලුම් විලට ( ඕලු ) විලට පනින්නේ
    ..........උසුලු විසුලු කලා නෙවෙයි අපි වෙනතක් බලන්නේ

    හිකිස්

    හප්පා ඔය 64 ගැන මගේ දැනුම දැන් බොහොම අල්පයි :)

    ඒය් සුජීව ඕගොල්ලො කිරි බනිස් කෑවෙ නැතෙයි .බොරු කියන්න එපා . මුලින්ම කිරි බනිස් දුන්න දවසේ උදේ බාස්කට් බෝල් පිට්ටනියේ "බනිස් බෝල " ගැහුවේ ඕගොල්ලොනේ ? හා බොරුද ? අපිට හවස ඉස්කෝලේ එතකොට . ඉස්කොලෙ එනකොට උදේ ගහපු බනිස් බෝල පිට්ටනිය පුරාම

    ReplyDelete
  51. සියපත පෙති මත විසුල,
    රැඳි පිණි කඳුළ නොව,
    සෙනෙහසේ මුතු කැට නොවෙද,
    දෙනයන තෙමන නිතොරව,

    එදවස දුටුව සකි සඳ,
    ඔබමය මගේ සුපැතුම,
    පාරමී පිරූයෙමි එදවස,
    එක්ව යන්නට ඔබ හා සසර ඉම,

    My Apologies Bindi.....for being late....but as they say better late than never........

    මගේ හෘදයාංගම සුබපැතුම් බින්දි!!!

    ReplyDelete
  52. [[ඒය් සුජීව ඕගොල්ලො කිරි බනිස් කෑවෙ නැතෙයි .බොරු කියන්න එපා . මුලින්ම කිරි බනිස් දුන්න දවසේ උදේ බාස්කට් බෝල් පිට්ටනියේ "බනිස් බෝල " ගැහුවේ ඕගොල්ලොනේ ? හා බොරුද ? අපිට හවස ඉස්කෝලේ එතකොට . ඉස්කොලෙ එනකොට උදේ ගහපු බනිස් බෝල පිට්ටනිය පුරාම]]

    ඕකනේ කියන්නේ. අපි ලෙයින් දහදියෙන් දිනාගත්තු අරගලයේ එකම ඉල්ලීම [භාශිනි මුදලාලි අපිට හිකිස්‌ ගාල හිනා වෙලා බාරගත්තු සත් කාර්යය] ඔහොම අවතක්සේරු කරන්නේ ඇයි.

    ඉතින් එහෙම කට්ටිය කිය කිය ගිය නිසානේ ඔයාලටත් බනිස් ලැබුනේ. ඊට පස්සේ කෑම සලාක ලැබුනේ.

    ටීජී නගෝ ඔයාලා හවස එනකාලේ - ඒ කියන්නේ හයේ පන්තියේ නේ - අපි උන්නේ පහල අධිරාජ්‍යය හොල්ල ගෙන. කැන්ටිම හරියේ බනිස් තිබ්බ නම් ඔන්න වගකීම බාර ගන්නවා. ඔයා ඔය කියන්නේ බින්දීලාගේ වයසේ අපේ ඉස්කෝලේ එවුන්ගේ වැඩ ගැන. එවුන තමයි බාස්කට් බෝල් කෝට් එක හරියේ වැඩ බැලුවේ. [1989 හරි 90 හරි නේද ඔයා ඔය කියන කාලේ]

    [[ඒත් අර බනිස් හදපු බේකරි ය කොහෙද දන්නේ නැහැ . බල්ලෙක්ට කන්න බැහැ. අමු මැටි ගුලි]]

    ඒකනේ. ටී ජී ලට අපිට නම් ඔය මැටි ගුලිය අස්සේ මුද්දරස් පලන් දාලා ලැබුනා. එහෙම කිව්වම වැරදියට හිතන්න එපා බනිස් 10 කට 1 ක විතර එක පලමක් තියෙන්නැති ඕනනං. සතියට එකක් විතර අහුවෙන නිසා ශනිදා වාසනාව කියලත් කිව්වා ඒකට. අපේ වැඩිමහල් සහෝදර සහෝදරියන් 100 ක් වත් [අපේ ඉස්කෝලේ විතරයි ඔය ගනන] ජීවිත පූජා කර දිනා ගත එකම ඉල්ලීම මෙහෙමයි මුදලාලිගේ සාක්කුවට බර වුනේ.

    [[කොළඹට කිරි අපිට කැකිරි]]

    ඔහොම කිව්වම කට්ටිය කඩු පොලු අරගෙන එන්න එපා ඔන්න, මං කිව්වේ ඒ කාලේ හිතු හැටි ගැනයි. පහු කාලීනව බුද්ධිය මෝරන කොට විප්ලවේ පසු විපරමක් කල හැටිත් එක එකාට කඩේ යා යුතු නැතැයි කියා තීරණය කල හැටිත් කලින්ම ලිව්වානේ. අනික මං ඔය විප්ලවේ කාලේ පොඩි එකා නිසා මටත් එක පෙලපාලියකවත් යන්න උනේ නැහැ. ඔන්න ඔව්ව කලේ බින්දිලගේ කට්ටිය හරිය.

    [[අඛණ්ඩ ඇගයීම්]]

    මටත් හිතෙන්නේ මේක හොඳ දෙයක්. මේක ගම් වල අසාර්ථක උනේ, මේක ක්‍රියාත්මක කල 87 හා 88 වසර [මේ කට්ටිය ඕ ලෙවල් කලේ 88 නේ] ගම්වල පුස්තකාල පරීක්ෂණ තියා පාරට වත බහින්න බැරි තත්වයක් තිබ්බ නිසා. දෙවනුව, අමතර දේවල් වලට සල්ලි දෙමව්පියන් ළඟ නොතිබ්බ නිසා. දැන් කට්ටිය කියන්න එපා අයියෝ මහා ගානක් ද කියල්ල අසු ගණන් වල ගොඩක් මිනිසුන්ට සල්ලි තිබ්බේ යාන්තම් එක වේලක් කන්න විතරයි ගම්වල.

    ReplyDelete
  53. // අනික මං ඔය විප්ලවේ කාලේ පොඩි එකා නිසා මටත් එක පෙලපාලියකවත් යන්න උනේ නැහැ. ඔන්න ඔව්ව කලේ බින්දිලගේ කට්ටිය හරිය. //

    චෑහ්, ඔන්න උඹට රසවත්ම දෙයක් මිස් වෙලා.. අපිනං චූටි එවුං කියලා නිකා හිටියෙ නෑ.. අයියලා අක්කලා පස්සෙන් වැටිලා අපිත් ගියා පෙලපාලි.. ගොහිං පොලීසියෙන් කදුළු ගෑසුත් කාලා තමා ආවෙ.. තව පොඩ්ඩිත්තෙන් වෙඩිත් කනවා.. :)

    ReplyDelete
  54. අපිත් පෙළපාලි ගියේ නැහැ . කොහෙද අපේ පළාතේ හරි හමන් පෙළපාලියක් වත් ගියේ නැහැනේ . ඔක්කොම හිතේ තමා . අම්ම සිරිකොතේ වැඩ කරපු අපේ යාලුවෙක් හිටියා . ඒ ළමයට හිනා වෙච්ච එක තමයි කරන්න පුළුවන් වුන එකම හපන්කම . පව් අප්පා ...අන්න සුජිවලට මුද්දරප්පලම් හම්බ වෙලා . අපිට දුන්න බනිස් නම් කියල වැඩක්ම නැහැ . මමත් කියන්නේ පැවරුම් ක්‍රමේ ආව වෙලාව තමයි නරක . අමතර වියදම් නම් කරන්න ඕන වුනේ නැහැ ඔය කියන තරම්. ගුරුවරුනට නිසි පුහුණුවක් සහ හැඟීමක් තිබ්බ නම් තියෙන සම්පත් වලින් ඒ ඒ පළාත් වලට ගැලපෙන්න ඔය ක්‍රමේ ක්‍රියාත්මක කරන්න .
    බුරා කොහෙද පෙළපාලි ගියේ . අපේ පළාතේ ඔය කාලේ පයින් යන්නත් බයයිනෙ ..අර ...ලන්ද සහ ...ගඟ පේන ඉසව්වේ නේ . තව පොඩ්ඩෙන් අපිට ලී බෝනික්කෙක් නැතුව යනවා නේද .



    @ රවී ..
    බොහොම ස්තුතියි රවී ...අපෝ පරක්කු නැහැ කොහෙත්ම .

    ReplyDelete
  55. [[ඔක්කොම හිතේ තමා ]]

    භයානක තත්වයක්. හරියට මේ අද කාලේ වගේ. ඔහොම දෙයක් දෑහින් දැකලා එක ඇතුලට ගිහින් ගන්න පුළුල් දැක්ම එන්නේ නැහැ එළියෙන් බලලා. ඔය දර්ශන හරි සූකිරි මූලධර්ම. ක්‍රියාත්මක කරන්න ගියාම තමයි මතු වන්නේ සුපුරුදු මානව ස්වභාවය.

    ReplyDelete
  56. The most wonderful thing in the world is the discovery of two strangers who become one like you. Best wishes....Poddi.

    ReplyDelete
  57. පමාවෙලා ආවට අමනාප නොවෙන් බින්දි,

    " ඔබට සැමදා සහයදෙන බනියලෑ තාත්තටත් + ඔබටත් මගේ උණුසුම් සුභ පැතුම්"

    ReplyDelete
  58. @බින්දි,

    // බුරා කොහෙද පෙළපාලි ගියේ . අපේ පළාතේ ඔය කාලේ පයින් යන්නත් බයයිනෙ ..අර ...ලන්ද සහ ...ගඟ පේන ඉසව්වේ නේ //

    අපොයි නැහැ නැහැ.. අපි මේ ඉසවුවට ආවෙ බොහොම පස්සෙ කාලෙක, ඕනනං අවුරුදු 8-9ක් ඇති.. මේ කියන කාලෙ අපි හිටියෙ බදුල්ලෙ..

    ReplyDelete
  59. මූණු පොතෙන් සුභ පැතුව නිසයි එන්න පමා කරේ හොඳේ. ඒක නෙමෙයි අද නේද සඳ උළෙළ ? යන්නෙ නැතෙයි? දැං මට නෙළුම් මලුයි, හඳයි පේන පේන ගානෙ මතක් වෙන්නෙ ඔයාව.

    ReplyDelete
  60. ස්තුතියි හරි ...මේ ටිකේම සඳ උළෙල තමයි . අපේ ගෙදර පහල සිකුරාදා තිබුනා . ළමයින්ට තමයි විනෝද .

    ReplyDelete
  61. Wish you all the best for an everlasting love...
    (I m late as well as no way of writing in sinhala even today)

    ReplyDelete
  62. ජයවේවා.......!!!!!!!

    Soda ගුණේ

    ReplyDelete
  63. @ චේජනා

    ස්තුතියි චේජනා බොහොම

    @ රවින්ද්‍ර

    බොහොම ස්තුතියි .....සෝඩා ගුනේ ගේ නම දැන ගත්තා ඔන්න

    ReplyDelete
  64. පමා වූ සුභ පැතුම පිළිගන්න. පුස් කාපු කේක් කෑල්ලක් හරි කමක් නෑ කන්න ගන්න අක්කේ :))

    ReplyDelete
  65. පහු වෙලා හරි ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් ....
    ලස්සන ආදරකතාවක් වගේ .....

    ReplyDelete