Thursday, 24 November 2011

මැදියම් රැයේ ඉස්කෝලය ...

පාන්දර එකේ කණිසමට ඇය තිගැස්සී අවදි වුවාය . ඇයත් ඔහුත් කඩිමුඩියේ දිව යා යුතුය . පස් මස් දියණිය උණුසුමට නිදන කිරි සිහිනයෙන් නොමුදා පරිස්සමට රැගෙන යා යුතුය . කොහේද මේ ඇය රැගෙන යන්නේ . ඉස්කෝලයටය.

මොන පිස්සුවක්ද . මොනවා උගන්නන්නද . පාන්දර හයට දුව හෝ පුතා පාසල් වෑන් රථයට ගොඩ කරන අම්මලා පවා මෙය පිස්සු විකාරයක් යයි කියනු නොඅනුමානය . පාන්දර එකට ??
අනාගතයේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්නට දැන්මම පාසල් යවන්නට ඕනා විද ..
සැබවින්ම නැත .

මේ මා හදවත බෙහෙවින්ම බර කල කතාවකි. සැබෑම කතාවකි . මෙය කියවූ පසු ඔබද මා මෙන්ම මවක් නම් සුවසේ නිදන දියණිය හෝ පුතණුවන් තුරුළු කරගන්නට සිතෙනු ඇත


මේ එක්තරා රබර් යායක ඇය වැඩ කරන කොටසේ කිරි කපන කාලයයි. විටින් විට වෙලාව වෙනස් වුවද වැඩි වෙනසක් නැත . පාන්දර එක ඇතැම් කාල වල පාන්දර පහ හෝ රාත්‍රී නවය විය හැක . මේ අමුතු ඉස්කෝලේ තනා ඇත්තේ ඇය වැනි දරුවන් ඇති අම්මලා තාත්තලට උදව්වටය . නැනී ලා තියා ගැනීමට ඔවුන්ට වත්කමක් නැත .


මෙයට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් කියන්නටද බැරිය . ඒ නිසා පාසලක් කියා කියන්නට ඇත . [මේ රටේ කොහොමත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන කෙලින්ම ඉස්කෝල ලෙස හඳුන්වයි . ]
රැයේ නින්ද කැඩී විලාප තබන දරු පැටියා බාර ගන්නේ පන්තියේ තරුණ ගුරුතුමියයි . බොහෝ දරුවන් කිරි බොන වයසේය . කිරි බරින් ලමැද රිදුම්  දෙන තරුණ මව්වරුන් රබර් ගස් වල කිරි කපයි. උලව් රබර් ගස් වල දවල්ට කිරි නැත්තේ ඇයි?

අපේ ආච්චිලාට තිබු පුංචි රබර් කට්ටියේ කිරි කපන්නට ආච්චි හෝ ආතා මහා පාන්දර ගිය හැටි මට මතක් වේ . බාල්දි වලට ගෙනා කිරි තැටි වලට දමා වෙලා දුම් ගසන්නට මෝලට රැගෙන ගිය අතර අච්චර ගොඩක් කිරි වලින් අන්තිමට ලැබෙන්නේ කිරි රොටි කීපයකි. ඒ ටික ගන්නට වුන මහන්සියක් . විශ්‍රාම වැටුපෙන් ජිවත් වෙන්නට හැකි කම තිබියදී මොකට මහන්සි වෙනවාදැයි ඔවුන්ට සිතුනේ නැත .
ඒක නොවැ ආච්චිලාට ජිම් ගැන දැන ගන්නට නොලැබුණේ . ඒවා අතුරු කතාය . වෙනම පොස්ට් ලිවිය යුතු අගනා අත්දැකීම් සහිත බාල කාලයක් මට තිබේ . වරින් වර තැන තැන නොකොටා පිළිවෙලකට ලියන්නට හිත තිබුනද කවදාවත් පිළිවෙලකට වැඩක් කරන්න බැරි යයි චෝදනා වලට ලක් වෙන මමනේ මේ .



නැවතත් හඬන පොඩි එකා දෙස හැරෙමු
ඉතින් අපි කලබල වී මේ රබර් යායේ කොම්පැනියට බනිමුද . තරමක් අමානුෂික ලෙස පෙනුනත් වෙන කරන්නම දෙයක් නැති කොට එහෙම වත් විසදුමක් දීම හොඳ බව මට සිතේ .

වියට්නාමය රබර් වලට ප්‍රසිද්ධය . .

ප්‍රංශ කාරයා තේ රබර් කෝපි හිටවා ගොස් ඇත .හෝ මාමා සහ වියට්කොන් ගරිල්ලන් දැම්මේද රබර් කට්ට සේරෙප්පුය . කුචි උමන් ලිපියේ පින්තුර දැමුවෙමි. දැන් නම් ඕනෑම වර්ගයේ ඕනෑම වෙළඳ නාමයක සෙරෙප්පු සපත්තු [ බොහොමයක් අනුකරණ වුවත් ] හොවැන් කියම් වැව පැත්තේ ඇති සපත්තු පාරෙන් ගත හැකිය . ගානත් නරක නැත .

රබර් වත්තක යුද්ධ ටැංකි [මැක්කාගේ කතාව වාගේ යුද්ධය ගැනද කතා කල හැක]


ලියන්නට නිමිති කාරණා පිරි ඇති මුත් වෙලාව බොහොම හරස් වේ . රබර් වගාව ගැන කරුණු සොයා ලියන්නට වෙලාවක් නැති ඒක ගැන දුකක් ඇති වේ. මේ මගේ සාමාන්‍ය පිළිවෙල නොවේ . එහෙත් මෙය ලියන්නට සුදුසු කාලයක් නොවේ . මේ මගේ හිත මට කලින් ගෙදර දුවන සමයයි ගෙදර යන්නට ලෑස්ති විය යුතුය . ඊට පෙර තව ලොකු ගමනක්ද යෙදී ඇත . අනික් බ්ලොග් කියවන්නේද අඩුවෙන් . කමෙන්ට් නම් ඊටත් අඩුයි . මොනවා කරන්නද . නොවැම්බර් දෙසැම්බර් ඔහොම තමයි . ජනවාරියෙන්ද කාලක් විතර ගෙනා බඩු අස් කරන්න වැයවේ .

කරුණු සොයා බලා ලියන්නට හිතේ ලොකු දෙයක් ඇත . කලෙක සිට ලියන්නට උවමනාවූ එය ලඟදි බනිගේ පන්තියත් එක්ක ගිය චාරිකාවේදී අලුත් විය . ඔන්න කුතුහලය අවුස්සා තබමි . හැබැයි ලියන්නට වෙන්නේ ජනවාරි මස විය හැක . එතෙක් පොඩි දෙයක් ඉඩ ඇති ලෙස ලියවේවි ..


Pictures by Google Images

39 comments:

  1. ඒ අම්මලායි කිරි දරුවොයි පුදුම දුකක් නේ විඳින්නේ. පවු කියලත් හිතෙනවා.

    ReplyDelete
  2. හ්ම්ම්...ඒවාට කියන්නේ නයිට් කෙයාර් සෙන්ටර් කියලා කිව්වොත් හරි නේද...අනේ මේ රටේ ළමයි ඉන්නවා ඉපදිලා සති දෙකෙන් ඩේ කෙයාර් යන්න සිද්ධ වෙන...ප්‍රසූත නිවාඩු කියලා තමන්ගේ පෞද්ගලික නිවාඩු වලට අමතරව දවසක් වත් නිවාඩු නොදෙන හිතක් පපුවක් නැති රටක් තමයි ඇමරිකාව...

    ReplyDelete
  3. @ මධුරංග ..

    මහා රෑ නින්ද කඩෙන එක මටත් දරන්න අමාරුයි . පුංචි එවුන් ගැන මොනවා කියන්නද

    @ සයුරි ...

    එයාලගේ මානව හිමිකම් වලට ඒ දරුවෝ අයිති නැතුව ඇති .

    ReplyDelete
  4. දරුවන් ගැන නම් බොහොම දුකයි අක්කෝ.. ඒත් ඉතින් ලංකාවේත් ඔය තරම් හෝ ඔයිට වඩා දුක් විදින පුන්චි බබාලා ඉන්නවා ඇති...

    දුකක් දැනුනා

    ReplyDelete
  5. කිරි කපන අම්මලාගේ කිරි දරුවෝ!

    ReplyDelete
  6. එහෙම අම්මලත් දරුවෝ හදනවා. ඒ වගේම ආදරේ කරනවා දරුවන්ට.

    පස්සේ මමත් ලියන්නම්කෝ මේ ගැන.

    ReplyDelete
  7. හප්පේ කථා 12 විතර තියෙනවා මේ කිරි කපන කථාව අස්සේ....ඕක තමයි ඉතිං ජීවිතේ...රටෙන් රටට වෙනස් උනාට එකම දුකක් තමයි විඳින්නේ..

    ReplyDelete
  8. අප්පෝ බයෙත් බෑ ඔයි වයසේ ළමයි ගොඩාක් එක තැනක දැම්මාම අඳුන ගන්න අමාරුවෙලා ළමයි මාරු වෙන්නැද්ද මන්දා ?

    මම ඉතින් ළමයි ගැන දන්න එකක්යැ ඒක නිසා මම ඒ කීවේ මුග්ධ කතාවක් නම් වැඩිය ඒ ගැන හිතන්නෙපා ..

    ඒ මිනිස්සු ජීවත් වෙන්නත් එපෑය . ඒක නිසා ඉතින් ඒවගේ තැනකට බබා බලාගන්න දුන්නම අපි මොනා කියන්නද ?

    ලෝකේ ඉස්තරම්ම රබර් හදන රටවල් අතරේ අපේ රටත් ඉන්නවා අක්කන්ඩි

    ReplyDelete
  9. @ සඳරු,

    ලංකාවෙ හදන ගොඩක් දේවල් ඉස්තරම් තමා.

    1. ලංකාවෙ තේ ලෝකෙ ඉස්තරම්ම තේ.
    2. ලංකාවෙ කුරුඳු ලෝකෙ ඉස්තරම්ම කුරුඳු.
    3. ලංකාවෙ ගාමන්ට්ස් ලෝකෙ ඉස්තරම්ම ගාමන්ට්ස්.

    ඔය වගෙ තව ගොඩක් දේවල් තියනවා. ඒත් අපේ රට කරවන ඇත්තන්ට ඕවා හරියට පවත්වාගන යාමෙ උවමනාවක් නැහැ. ලඟදිම ඔය දේවල් ඔක්කොම අපිට නැතුව යනවා.

    දුක තමා මොනවා කරන්ඩද.

    ReplyDelete
  10. හපොයි මං හිතුවා බින්දිට ලියන එක එපාවෙලාවත්දෑ කියලා‍‍.. :)

    ReplyDelete
  11. මොනව උනත් ඒ ඉස්කෝල වලින් මට හිතෙන හැටියට කෙරෙන්නෙ ලොකු සේවයක් . . .නැත්තං කොහොමද ඒ මිනිස්සු ඔය තරං පොඩි දරුවොගෙදර දාල ඔය වෙලාවලට රස්සාවට යන්නෙ . . ????

    ReplyDelete
  12. තවත් අම්මා වරුන්ගේ කතාවක් . .

    දරුවව එතන දාලා යන්නේ ආසාවට නෙමෙයිනේ දරු දුක හින්දමනේ . .

    නැති නම් දරුවට කිරි ටිකක් ගන්නවත් සල්ලි නැතුව ඇති . .

    ආදායම් විශමතාව . . !!

    ReplyDelete
  13. ඇති යන්තන් බින්දී පොස්ට් එකක් දාලා. මම ඒත් හිතුව ගෙදර ගිහිල්ලවත්ද කියල නොකියම. අනේ ජනවාරි වෙනකන් ඉන්න එපා කොහොම හරි ලියන්න පොඩි වෙලාවක් හරි හොයාගන්ඩ බලන්ඩ

    ReplyDelete
  14. ළමයි බලාගන්න තැනක් තියෙන එකමත් දෙයක්නෙ. නැත්නම් ඔයිටත් වඩා අමාරුවෙ වැටෙනවා ඒ මිනිස්සු.

    ReplyDelete
  15. ඔහොම හරි ලමයි තියලා යන තැන් නොතිබුනානම් ඒ මිනිස්සුන්ට මොනවද වෙන්නේ කියලා මාත් මේ හිතුවා විතරයි. බලන්ටකෝ ලංකාවේ පුංචි දරුවනුත් සමහර විට එල්ලාගන කිරි කපන්ට යන අය ඉන්නවානේ. මේ ලමයින්ට අඩුම ගනනේ උනුසුමට ඇතුලක ඉඳන් නින්දක් හරි නිදා ගත්තෑකි.

    හැබැයි ඉතින් ඒකෙන් තේරෙන්නේ නෑ අම්මලාගේ දුකේ අඩුවක් තියනවා කියලා.

    ReplyDelete
  16. ටික ටික හරි ලියලා පිලිවෙලකට එකතු කරලා සතියකට සැරයක් එක ගනනේවත් පෝස්ට් කරන්න. ඔබ බ්ලොග් අවකාශයට වටිනා අයෙකි. කෙටි මාතෘකා වලින්වත් ලියන්න. ජය! (ලංකාවෙදී ඔබව මුණ ගැසෙන්න හැකි නම් දන්වන්න. මගෙයි වෙදහාමිනේයි ගානේ රාත්‍රී කෑමකට ආරාධනා.)

    ReplyDelete
  17. හ්ම්ම්ම්ම්....
    "හිරු ගෙනැවිල්ලා පුතු ලඟ තනියට තියලා
    උදේ රැයින් පිටවීලා හවසට එන්නම්"

    ReplyDelete
  18. කොම්පැණි වලට ඔරවලා වැඩක් නැත. වැඩ කරන කෙනෙක් නැතිවූ විට තවත් සියක්ගානක් එතැන පිරවීමට ඇති ආර්ථිකයක් සම-අසම ලොව පුරා ඇත (තිත).

    සංවේදීයි, අසාදරණයි. ඒත් සාදාරණය කියන වචනය විතරක් දරුවා වෙනුවෙන් කිරි එරුමට සාධකවිය නොහේ.

    උදේ 8.15 - 8.30 අතර උශ්ණත්වය අංශක 28-45 අතර මොන වෙනසක් වුනට කම් නැත. පුංචි කිරිකැටියා අතේ හොවාගෙන, දරුවාගේ කලමනා ද උරකින් එල්ලාගෙන, හැන්ඩ් බෑගයත් අරන් ඇය පියමනින්නේ බේබි සිටිං තැනට දරුවා බාරදීමට. නයිටින්ගල් දුවක් වූ ඇය පියාඹනවා ඇත්තේ ඇගේ සරණ දිය යුතු අසරණ පිරිසක් වෙනුවෙන්. ක්‍රමයෙන් දරුවා වඩාගෙන යන විලාසය වෙන්ස් වී දරුවා මවගේ උරහිසේ නිදමින් යන කාලය දක්වා සතියේ දින හයක් හුරු දසුන විය.

    දවසක් පුංචි අතුරු පාරේ පියෑඹූ නරුමයෙකුගේ වාහනයෙන් බේරුන ඇය අතේ වූ උරමලු ගිලිහිනි, චූටි දියනිය උර්හිසේ නිදි. ඒවා අහුලා දූවිලිගසා ඇය අතට දුන්නාම අවුරුදු ගනනාවක් දැක ඇති, වචන කිහිපයක සුබ පැතුමකින් පමණක් දැන සිටි ඇය කතා කරන්න විය. එය සෙල්ෆ් ස්ටාටරයක් විය.

    ඇය රෝහලක ළමා වාට්ටුවේ පලපුරුදු හෙදියකි. තම දරුවා තුරුල් කරගෙන සෙනෙහසින් උණුසුම් කරන්නට ඇය හිත හඬනවා ඇති. උදේ 6.20ට දරුවාගේ පියා රැකියාවට පිටත් විය යුතුයිලු. උදේ නැගිට දෙදෙනාගේ බත්පත ද සකසන ඇය දරුවාගේ අහරද සූදානම් කරගෙන, බේබි සිටිං වෙත දරුවා අරන් ඒම ඇගේ දිනපතා කාරියලු. ඒත් ඇය කියුවේ, ඇගේ දරුවා එවැනි තැනක තියල යන්න පුලුවන් නිරෝගීමත්වීම වාසනාවක්ලු. විශේෂිත ලමා වාට්ටුවක වැඩට යන්න තම දරුවාගෙන් ඈත්වෙන්න ලබන එකම දහිරිය එයලු.

    "විෂි යූ අ ගුඩ් ඩේ" කියා අවුරුදු ගානක් වචන කිහිපයකින් සුබ පැතුමා එදා සිට "විෂි යූ අ ගුඩ් ඩේ සිස්" කියන්න පටන් ගත්තේ පෙරටත් වඩා ගෞරවයකින්.

    ReplyDelete
  19. මෙහෙම් තැනක් තියන එක කොච්චර දෙයක්ද ? රැකියාවලුත් කරන්න එපැයි .. දුකයි තමයි දරුවො ගැන ..

    …ගොඩාක් කාලෙකින් නේද ලිව්වෙ . පුළුවන් වෙලාවට ලියන්ටකො ..

    ReplyDelete
  20. @දේවා ..
    අපොයි ඔව් මල්ලි . මෙහෙමවත් පිළිවෙලක් නැතුව දුක් විඳින දරුවෝ කොච්චර ඇත්ද

    @පුසා ..
    අපුරු සම්බන්ධයක් නේද

    @රන්ගි .
    එහෙම තමයි . අම්මලාගේ ආදරේ අඩුවක් නැහැ කොයි දේසෙක මොන විදියට වුනත් . අපේ පොඩි බනීට නිතරම දැන ගන්න ඕනේ මන් කාටද වැඩිය ආදරේ කියල . දන්නා ජාති ඔක්කොම දාල අහනවා . කොහොම කිව්වත් දෙන්නටම එකම තරමේ කියල ගැනිට පොඩ්ඩක් සැකයි

    @ඔබ නොදුටු ලොවක් ..
    හැකි නම් ඊ මේල් එකක් හරි මුණු පොතෙන් හරි කතා කරන්න විදිහක් නැද්ද . අපි ලබන සතියේ ඔයාලගේ මහද්විපේ පැත්තේ එන්නයි ඉන්නේ . අකමැත්තක් නැත්නම් nelumwila@gmail.com ට ඊයක් එවනවද

    @සඳරු ..
    අම්මලට ළමයි මාරු වෙන්නේ නැහැ . තාත්ත කෙනෙක් වෙලාම බලන්නකෝ . ඔව් ඔව් අපිටත් සුද්ද ඕව හිටවල දීල ගියානේ . ස්වභාවික රබර් වලට ලොකු තරඟයක් තියෙනවා . ටිකක් අමාරුයි . අනික ඉස්සර තිබ්බ රබර් වතු දැන් වෙන්දේසි කරලනේ . අපේ වගේ පොඩි රටකට මේ වගේ විශාල වගාවන් ගැලපෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ .

    @senna
    හරියට හරි . තේ වලට නම් හරිම හරිම තරඟයක් නේද . මොනවා වුනත් විදේශිකයෝ තාම කැමතියි අපේ තේ වලට . මෙහෙ ලොකු බසාර් එකක් තියෙනවා ලඟදි . එම්බසියෙන් තේ විකුනනවා කියල දැන ගත්තම එයාලට හරි ආසයි . කුරුඳු නම් අපේ කුරුඳු කැල්ලක් වගේ නැහැ කොහෙවත් . මෙහෙ තියෙන්නේ මහා ගොරහැඩි කුරුඳු ජාතියක් . ඉන්දියන් කාරයෝ කනෙත් ටිකක් පැණි රහට හුරු එකක් . තේ තරම් අපේ කුරුඳු ගැන මිනිස්සු දන්නේ නැහැ . එක නම් කණගාටුවට කාරණයක්

    @ පොඩ්ඩි..
    තුරුළු කරන් දවසම බල ගන්න හැම අම්මම කැමතියි . කෝ ඒත් ඉඩක් . රස්සාවකුත් කරන ගමන් ළමයි බලා ගන්නා අම්මල වඩා දක්ෂයිද මන්දා . මටත් එහෙම කාලයක් තිබුනා .

    @වෙද මහතා ..
    අනේ කොච්චර සතුටක්ද . දවස් පහලවක් විතර ඉන්නවා . අපි කොට්ටාවේ . ඔබතුමා කොයි පළාතේද . කොහොමද හමු වෙන්නේ

    @ තිස්ස ..
    ඔන්න තිස්සට නම් සින්දුවක් මතක් වුනා .
    ''ඉද්ද මල් දෙනියවත්තෙන් ඉද්ද මල් කඩා
    පිච්ච මල් නෙලා කන්දෙන් මාලයක් ගොතා ..
    හැන්දෑවට මන් එනකොට දුට ගේනවා...
    ඉන්න නාඩලා එනකම් ඉන්න නාඩලා '' පුළුවන් නම් ඒ ගිය සොයල දාන්නකෝ පොස්ට් එකක් .මට සොයා ගන්න බැරි වුනා . අනුලා බුලත්සිංහල වගේ මතක . රත්න ශ්‍රී ගේ පද රචනය

    @ බුරතිනෝ ..
    අපොයි නැහැ . කොහොම එපා වෙන්නද . පොඩි සංක්‍රාන්ති කාලයක් .

    @චන්දි...
    ඔයා එනවනේද . ලංකාවේ දුරකථනය මුණු පොතෙන් එවන්න හොඳේ. ලියාගෙන යන්න ඕන . පරිගණකය ඇසුරු කරන්න බැරි වෙයි ඒ දවස්වලට

    @ නලිනි ..
    ඇත්ත තමයි . මටත් හිතුනේ එහෙමයි

    @ ඕනයා ..
    ඒකනේ මොනවා වුනත් ළමය පරිස්සමෙන් කියල හිත හදාගන්න හැකි . උදව්වට කියල ගෙවල් වල කෙනෙක් තියා ගත්තම වෙන කරදර බැලුවම ඔය වගේ දෙයක් හොඳයි

    @ගල් මල් ..
    ස්තුතියි ලස්සන අත්දැකීමක් බෙදා ගත්තට . සැබෑවටම මොන කරදර තිබුනත් දරුවෙක් නිරෝගී වෙන එක තමයි ලොකුම සැපත. දිරියෙන් සිතන ඇය සැබෑම ගැහැනියක්

    ReplyDelete
  21. @ ගිම්හානි ..
    ඔව් අනේ ආයේ ඉක්මනින් පුරුදු විදියට ලියන්න ලැබෙයි

    ReplyDelete
  22. අනේ අම්මත් පව්, බබත් පව්.

    ReplyDelete
  23. ළමයි බලාගන්න මෙහෙමවත් ක්‍රමයක් තියෙන නිසා හොඳයි. නැත්තන් අසරණ මිනිස්සු ලොකු අමාරුවක වැටෙන්නෙ. ඒ වගේම ඒ කිරි දරුවොත් හරිම පව්.

    ReplyDelete
  24. වෙලාව අරගෙන ලියන්න. තියෙන වැඩ කටයුතුත් කරගෙන...

    ReplyDelete
  25. අතුරු කතා වලින් තේරෙන්නේ ලංකාවට යන්න වගේ නිමාඩුවකට.

    ReplyDelete
  26. අනේ , මෙහෙම අම්මලා ලෝකෙ හැම තැනම ඉන්නවා. හැමෝම දරුවන් එක්ක කරන්නෙ යුද්ධයක්. කිරි එරුනට දෙන්නෙ කොහොමද? බඩ වියත රැක ගන්න එපායැ. මෙහෙම වත් දරුවො තියල යන්න තැනක් තියෙන එක හරිම හොඳයි. ඒ වගෙම ඩීන් මල්ලි ගෙ කතාවෙ එන සහෝදරිය හරිම සංවේදීව දරුවා නිරෝගී වීම ගැන කියපු දේ හරියට සිත් ගත්තා. බින්දි ඔන්න ලංකාවට ආවහම හමුවෙමු. මූණු පොතේ සටහනක් තියන්නම්. ස්තූතියි! සංවේදී සටහනට.

    ReplyDelete
  27. ලෝකේ මෙහෙම දුක් විදින අම්මලා දරුවෝ කොච්චර ඇද්ද

    ReplyDelete
  28. @ බින්දී
    ලංකාවේ දුරකථන අංක මුණු පොතෙන් එව්වා. මම දෙසැම්බර් 14 ලංකාවට යන්නේ. ඔයා එතකන් ඉන්නවා නේද? එහෙනම් කෝල් එකක් දෙන්න මතක ඇතිව.

    ReplyDelete
  29. බින්දි මේ පොස්ට් එකෙං මගෙ ඩිප්‍රෙශන් එක තවත් වැඩි උනාද මංදා.අම්මලාගෙ කිරිකතා නං බොහොමයි.පසුවට පෝස්ට් එකක් ලියන්නං ඒ ගැන. ලංකාවෙදි හමුවෙමු. අඩුමගානෙ පැයකටවත්. මුහුණු පොතට පණිවිඩයක් තියන්න.ඔක්කොටම කලිං වෙදනා සහ පවුල දින දාගෙන වගේ. පොලිමේ ඉන්ටවෙයි මගෙ හිතේ හම්බ වෙන්ට.

    ReplyDelete
  30. @ සමාධි ..

    ඒත් දරුවා පරිස්සමින්

    @පිණි බිඳු...

    මගෙත් අදහස

    @උදාර

    ඔව් උදාර ස්තුතියි . දැන් නම් මේකෙන් ඈත් වෙන්න බැහැ

    @ඔබා මාමා ..

    ට්‍රිප් ගොඩයි ..අපි ඒ පැත්තෙත් ඒවි

    @චන්දි අක්කා .

    මටත් හරි ආසයි ඔයාව බලන්න

    @අයේෂා

    හැමතැනම එහෙමතමයි අයේෂා

    @චන්දි..

    අනිවාර්යයෙන්ම හමු වෙමු

    @කවිකාරි ..

    මට මෙදා පාර උයන්න ඕන වෙන්නේ නැහැ . නියමයි

    ReplyDelete
  31. Two more posts and you will hit 20,000. Lets celebrate that with "කාන්තා සංගමය" in SL.

    ReplyDelete
  32. ''මම '' කියල අලුත් බ්ලොග් එකක් ලියනවා තවත් රුසියන් පොත් රසිකයෙක් . නැහැ නැහැ ප්‍රොෆයිල් එකේ හැටියට රසිකාවියක් . අපේ බුරතිනෝ හෙවත් ලි බෝනික්කා ලිපියට අලුතින් පොත් දෙකක් එක කරලත් තිබුනා . මෙන්න ලින්ක් එක http://notforreadmylife.blogspot.com/2011/11/1.html

    ReplyDelete
  33. උඩ තියෙන කොමෙන්ටුවට තැන්කූ අක්කේ...

    මේ පොත දන්නවද බලන්න කෝ..
    http://notforreadmylife.blogspot.com/2011/11/2.html

    ReplyDelete
  34. ඕං මං මේල් එකක් විද්දා විස්තරේ දාලා.....

    ReplyDelete
  35. ලංකාවට යන්න සැරසෙන හැඩයි... සුභ ගමන් බින්දි අක්ක. ලංකාවෙ ඉන්න කාලය බොහොම සතුටින් ගෙවන්න ලැබෙන්න කියල පතනව. රෑ ඉස්කෝලෙ යන බබාල ගැන නම් හරි දුකයි.... අම්මෙක් නොවුනත් ඒ වේදනාව දැනුන මටත් නොවඩුවම.

    ReplyDelete
  36. මටත් තියෙනව මගෙ දරුවො පුංචි කාලෙ සිදුවුනු මතක් කරන්නවත් අකැමැති අත්දැකීම් රාශියක් මේ සම්බන්ධව.... මං එක සැරයක් ලියන්නත් ට්‍රයි කළා, ඒත් ඇඬෙන්නෙ නැතිව ඒක ලියාගන්න බැහැ.... ඒ නිසා බාගෙට ලියල අතහැරියා....

    ඒ අම්මලට හිතේ බයක් සැකක් නැතිව දරුවො තියල යන්න තැනක් තුබුනු එකම මදැයි නේද බින්දි.... එහෙම නැති උනා නම් රස්සාව අතහරින්න උනොත් එහෙම, දරුවගෙ ඕන එපාකම් ඉෂ්ඨ කරන්නෙ කෝමෙයි.... මේ විදියට වැඩ දෙකම කෙරෙනවානෙ.... ඒත් ඉතින් දුක තමයි.....

    ලංකාවට යන ගමන පරෙස්සමින් ගිහින් එන්න... සුභ පතනවා ඔයාලට....

    ReplyDelete
  37. හයියෝ,, ඇත්තටම රබර් කිරි රෑටම කපන්නෙ මොකද? දෙයියනේ ඒ පොඩි එවුන්. ,,,,

    ReplyDelete
  38. ලංකාවෙ රබර් කර්මාන්තය ගැන නම් මට හොඳ අවබෝදයක් තියෙනව... ඒත් මේ වියට්නාමෙ මේ තරම් රැයින් ම කිරි කපන්නෙ ඇයි කියල හිතාගන්න බෑ...

    ReplyDelete
  39. එනකොට මතක ඇතුව කලින් කියන්න

    ReplyDelete