Friday, 26 August 2011

ප්‍රන්ශුවා ට ඉන්දු -චීනය අහිමි වුන . Dien Bien Phu සටන


 
 
 
ප්‍රංශ චාරිකාව ගැන තව ලියන්න දේවල් තිබ්බත් කලෙක සිට ලියන්න හිතන් හිටි දෙයක් මතක අලුත් වුනා . ප්‍රන්ශයත් වියට්නාමයත්  ඉතින් අපියි එංගලන්තෙයි වගේම තමයි. ඒ හින්ද මෙතනට මේ කතාව අමුත්තකුත් නැහැ .
මොකක්ද මේ Dien Bien Phu ටිකක් අමුතුයි නේද . ඒ උත්තර වියට්නාමයේ ලාඕස් මායිමට කිට්ටුව ඇති ප්‍රදේශයක් .කැමති විදියට උච්චාරණය කලාට වරදක් නැහැ . ''ඩින් බින් ෆු ''වගේ තමයි මෙයාලගේ උච්චාරණය . මම මෙහෙ සමහර වචන කියන විදියට වියට්නාම ටැක්සි රියදුරන් හෙම හොල්මන් . මහම දිව උලුක් වෙන භාෂාවක් මේක .
ඇයි ඉතින් මේ ඈත මායිමක ඇති ගමක් මෙච්චර වැදගත් වුනේ . ඔය නමින් සයිගොන් වලත් හැනොයි වලත් ප්‍රධාන පාරවල් දෙකක් නම් කරලාත්  තියෙනවා .
හේතුව තමයි 1954 දී මාර්තු මාසේ ඉඳන් මැයි මාසේ දක්වා ඇතිවුන මාරාන්තික සටන එහෙම නැත්නම් ප්‍රංශයේ ''ඉන්දු චීනය '' නමැති සිහින අධිරාජ්‍යය බිඳ වැටිලා පල්ලම් බැස්ස සටන . ඔය ගැන නම් සංඛ්‍යාලේඛන ඇතුවම දෙන්නම්කො .
 
සොල්දාදුවන් ගණන ...ප්‍රංශ =15,000
                    වියෙට් මින්   =  40 ,000
ප්‍රංශ සොල්දාදුවෝ 1600 ක් මිය ගියා ..4800 ක් තුවාල වුනා . 1600 ක් අතුරුදන් ..8,100 ක් සිරගත කරන්න ගෙනියද්දි භාගයක්ම මග මිය ගියා . අද කාලේ වෙන දේ වලට අනුව මේවා පොඩි ගණන් වගේ පෙනෙයි . ඒත් මේ 1954 ගැන අපි කතා කරන්නේ .
 
හෝ චි මින් අරඹපු වියට් මින් පෙරමුණේ සොල්දාදුවනුත් සෑහෙන්න බැට කෑවා මේ ජයග්‍රහණය ලබාගන්න . 7900 ක් පමණ මිය ගියා . 15,000 ක් පමණ තුවාල ලැබුවා . මේ විස්තර ගත්තේ http://en.wikipedia.org/wiki/Battle_of_Dien_Bien_Phu සහ http://www.history.com/this-day-in-history/french-fall-to-viet-minh-at-dien-bien-පහුවලින් .
 
 
මේ ඉතිහාසගත සටනේ ප්‍රතිපලය ලෙස එතෙක් ප්‍රංශ ආධිපත්‍යට යත් ව සිටි වියට්නාමයට එම වසරේ ජිනීවා සමුළුවේදී නිදහසත් ලැබුන . වියට්නාමය මුලික කරගෙන ගොඩ නගන්න හීන මැව්ව ''ඉන්දු චීනය''ත් ප්‍රංශයට සිහිනයක්ම  වුනා .
 
ඇමරිකන් වියට්නාම යුද්ධය ගැන අපි අහල තිබුනට ප්‍රන්ශයත් එක්ක ඇති වෙච්ච තත්වය මම එතරම් අහල තිබුනෙත් නැහැ . ආවට පස්සේ නේ දැක්කේ ප්‍රංශ ආභාෂය ලැබූ ගොඩනැගිලි ...භාෂාවට එකතු වුන වචන ..ඒ විතරක් නෙමේ කන්නෙත් ප්‍රංශ පාන් . මොකක්ද මේ ඉන්දු චීනය ? ඇයි ප්‍රංශ කාරය මෙහෙට ගොඩ බහින්න හේතුව ? ඔන්න ඔය පසුබිම පොඩ්ඩක් විස්තර නොකලොත් මේ සටහන් සම්පුර්ණ වෙන්නේ නැහැ. මේ ගැන බොහොම දේවල් දන්නා අය නෙලුම් විල දිහා එන බව දන්නවා . ඒ වගේම නිදන මිනිසෙකි මෙහි පොස්ට් එක ලිව්ව වෙලාවේ දැන ගත්තේ හෝ චි මින් ගැන අහල වත් නැති යාළුවො ගැන . එහෙම අයට මේ දේවල් පොඩ්ඩක් හඳුන්වා දිය යුතු නිසා පසුබිම ටිකක් කියන්න ඕන .
 
ඔන්න ඉතින් මෙව්වා ආවට ගියාට ලියන්න බැරි නිසා මම අන්තර්ජාලයේ සැරිසැරුවා . අපොයි මේ ඉතිහාසය ඉතා ඈතට දිවෙන සහ එහෙන් මෙහෙන් ලින්ක් යාවුන දැලක් වගේ මහා විස්තර ගොඩක් . සේරම කියවන්න වත් ලියන්නවත් මට හිතන්නවත් බැහැ. රසවත්ම ටික සාරාංශ ගත කරන්නයි බලාපොරොත්තුව .
මෙගා එකක් ලියන්න වටිනවා . ඒත් මන් කම්මැලියිනෙ . ටිකක් ලියමු ඉතුරු ටික කමෙන්ට් වැටෙන විදිහට ඇදගෙන යමු.
 
 
මේ රටත් ඈත අතීතයේදී  ඉඳන්ම විදෙස් ආක්‍රමණ අභ්‍යන්තර කැරලි කෝලාහල වලින් බොහොම සංකීර්ණ ඉතිහාසයක් ඇති තැනක් .මේ ඉතිහාසයට ප්‍රංශය සම්බන්ධ වුන තැන සොයාගෙන යද්දී තමයි අපට Gia Long  අධිරාජයා [Nguyễn Phúc Ánh තමයි මුල් නම ]    එහෙම නැත්නම් නුතන සිතියමේ විදියටම වියට්නාමය එක්සේසත් කරලා Nguyen යුගය ඇරඹු පුද්ගලයා හමු වෙන්නේ . එවකට දකුණු වියට්නාමය වෙනම පාලනය වුනේ . මේ කාලේදී ඇතිවුන කැරැල්ලකින් පාලක පෙළපතේ බොහෝ දෙනෙක් මිය ගියා . අවුරුදු 15 දී පලා ගොහින් ඉඳිද්දී මොහුට හමු වෙනවා මිෂනාරි වැඩේට ආපු ප්‍රංශ පුජකයෙක්. නම Pigneau de Behaine .ඔහු පොරොන්දු වුනා ආපහු බලය ගන්න උදව් වෙන්න . මෙයාලත් අර පයිරේට් ගනයේම තමයි. මිෂනාරි වැඩේට ආවට ඉන්දු චීන ප්‍රදේශයේ වෙළඳ කටයුතු වලට හොට දාන්න පොටක් පාදගන්න ප්‍රංශයට ඕනෑකම තිබ්බ . ඔන්න බලන්න ඇතුලේ ගිනි ගන්න කොට එළියෙන් වතුර කියල භූමිතෙල් ගහන අය එදත් හිටිය . ඉතින් මේ සත් ගුණවත් මිෂනාරි තුමා ප්‍රංශ රජයේ සහය අරගෙන Nguyễn කුමාරයට බලයට එන්න උදව් කරනවා .Gia Long   ලෙස අභිෂේක ලබන කුමරා ඉතා සංකීර්ණ සටන් පෙළකට පස්සේ මුළු වියට්නාමයම එක්සේසත් කළා .
 
Pigneau  de bahaine




Emperor Gia Long
 
 
1802 දී ඔහුගෙන් ඇරඹුන Nguyen යුගය ඔහුගෙන් පුතාට[ Minh Mang ] හිමි වෙලා තවත් අධිරාජයන් දෙන්නෙක්ගෙන් පස්සේ 1945 දී නැත්තටම නැති වෙනවා . උදව්වට ආපු මිෂනාරීන්ගේ යටි අරමුණු Gia Long   ට අවබෝද වුණා. ඒ වගේම ඔහුත් ඊට පස්සේ පුතත් සෑහෙන ප්‍රතිරෝධයක් දක්වලත් තියෙනවා රට ඒ බලපෑම් වලින් නිදහස් කරගන්න . ඒත් අවසාන රජු වුණා Tu Duc ගේ කාලේ වෙද්දී දකුණ විතරයි ඔහුට හිමි වුනේ . රට ප්‍රායෝගිකව කොටස් 3 කට කැඩිලා  සහ මධ්‍යම වියට්නාමය ප්‍රංශ ආධිපත්‍ය ටත් නතුවෙලා ඉවරයි ඒ වෙද්දී.
 
ඉන්දු චීනයක් දිනා ගන්න ප්‍රංශය ගෙන ගිය සටන උච්ච වෙලාතිබුනේ . ඔය අස්සේ කම්බෝදියාවේ නොරදොක් රජතුමා කැමැත්තෙන්ම ප්‍රංශය යටතේ නාමික රජෙක් වුනා තායිලන්ත [ සියම ] යේ කරදර වලින් ආරක්ෂාවෙන්න. මේ ගැන කියවද්දී නිකන් කැඳ හැලියක් වගේ . ඔය කාලෙනේ දෙවන ලෝක යුද්ධය ත් තිබුනේ . යුරෝපේදී ලෝක යුද්ධය හරහා අපේ වීරයෝ ගොඩට වැටෙන ප්‍රංශය මෙහෙදී වෙනත් මුහුණක් . අනේ ඇත්තට මෙව්වා කියවද්දී ඉතිහාසයේ මොනතරම් පරස්පර විරෝදී කම් පාවා දීම ..සිද්ධ වෙලා තියෙනවද කියල අපි වගේ සාමාන්‍ය මනුස්සයන්ට නම් හිතා ගන්න වත් බැහැ .
 
Nguyen යුගය අන්තිම කාලයේ බලය අරගල ඇති වුනා . ඔය අස්සේ ප්‍රංශ මිෂනාරි වරු හැදුවා කතෝලික උරුමක්කාරයෙක් ට කිරුල හිමිකර දෙන්න . මට නිකන් අපේ කෝට්ටේ යුගය හෙම හීනෙන් පෙනී නොපෙනී යනවා මේවා කියවන කොට .
 
ඔය අස්සේ ජපනත් මේ පැත්තේ ලොක්ක වුනානේ . තායිලන්තේ එක්කත් ප්‍රන්ශේ සටනක් ඇති වුනා ඒ කම්බෝජියාවේ මායිම් ගැන . ලාඕසය නම් පුංචි අසරණයෙක් නේ. නිකන්ම ඉන්දු චයිනා සිතියමට ඇතුළු වෙලා ඉවරයි .
 
ඔය කාලයේ තමයි අපේ හෝ චි මින් හෙවත්'' හෝ මාමා ''කරලියට එන්නේ . ඔහුගේ මුලිකත්වයෙන්  උතුරු වියට්නාමයේ වියට් මින් සංවිධානය බිහිවෙනවා . කලිනුත් පොස්ට් එකක් දමපු නිසා මේ නිදන මිනිසා ගැන ආයේ ලියන්නේ නැහැ .විවිධාකාර සටන් වලින් පස්සේ ජනරාල් Vo Nguyen Giap ගේ නායකත්වයෙන් අපේ ප්‍රධාන මාතෘකාව වෙච්ච Dien Bien Phu සටන
ඇති වුණා . එයින් පැරදුනාට පස්සේ ප්‍රංශ ය ඉන්දු චයිනා සැලසුම අකුලගත්ත . තව දෙයක් යටින් මේකට උඩ ගෙඩි දෙමින් හිටි  ඇමරිකාව දැනගත්ත මේ වැඩේ ප්‍රන්ශුවාට කරන්න බැරි බව . ඔන්න බලන්න මිතුරන්ගේ හැටි .ජනාධිපති අයිසන්හවර් තීරණය කළා ප්‍රන්ශේ ට උදව් නොකර ඉන්න . පෙනේද මේකා.
ඔය වෙනකොට ලෝකයේ හිස ඔසවමින් හිටි කොමියුනිස්ට් වාදය පැසිෆික් කලාපයේ ව්‍යාප්ත වෙන එක වලක්වන්න ඇමරිකාවත් යුරෝපිය බලවතුනුත් හැඟී හොරා ඉන්දු චීන වැඩ පිළිවෙලට ප්‍රන්ශේ ට ආශිර්වාද කරමින් හිටියේ . හැබැයි මෙයාට මේකා කරන්න බැරි බව දැනගෙන ඇමරිකන් කාරය හිමින් මෙහෙ වැඩ අරඹල තිබ්බේ . The Quiet American (1958 film) [ ග්‍රැහැම් ග්‍රීන් ගේ පොතක් ඇසුරුකොට ගත්] වල ඕක අපුරුවට පෙන්වනවා . ඇමරිකාවට වෙච්ච අලකලංචිය ඉතින් ආයි ලියන්න ඕන නැහැනේ . Cu Chi Tunnels ගැන කියවන්නකෝ අතපසු වුනා නම් . ඒකෙ තියෙනව ඒ ගැන විස්තර .
 
 
 
 

ඉතින් ඔහොම  Dien Bien Phu සටනින් දිනලා නිදහසත් ලබාගෙන ..ආයේ ඇමරිකන් යුද්ධෙටත් මුහුණ  දීලා වියට්නාමය අද යන්තම් ඉහ ගහල ඉන්නවා. මට මෙහෙම වියට්නාමයේ සිටම මේ ගැන ලියන්න ඉඩ ලැබුනේ ත් එදා දිවිපිදු නිර්භීත කුඩා මිනිසුන් නිසයි. ඔවුන්ට මගෙත් අසීමිත ස්තුතිය මෙයින් පිරිනැමෙනවා .
ප.ලි.
ගොඩක් කියවා බොහොම පරිස්සමින් සාරාංශ ගත කලත් වැරද්දක් දැක්කොත් පෙන්වන්න . ඉතිහාසය වෙනස් කරනවට මමත් බොහොම අකමැතියි.
 
විශේෂ ස්තුතිය ...බෑන් කී මුන් මහතාට ඉස්කෝලේ පටන් ගන්න තීරණය කලාට .
[බොහෝ තොරතුරු අන්තර්ජාලයෙන් . ඒ ඒ ස්ථාන වලම ලින්ක් දමා ඇත ]
[පින්තුරත් Google Images තමයි . තවම යන්න බැරි වුනා . ලඟදි ගුවන් ගමනක් අරඹා ඇති නිසා එක්කගෙන යාමට පොරොන්දු වී ඇත .]
අමතර පින්තුර මෙයින් බලා ගත හැක

Friday, 19 August 2011

දස දහස් වරක් ආ ඔබටයි මේ මල




ගෙවා බාලය උරහිසට ගත් ජීවන    කද
කතා නැතුවම කර තබාගෙන  යන  සඳ
නෑවිදින් තරඟෙට තනිව දුක්           විඳ
කවි හිතත් සමඟ මග වැටිණි මා පන්හිඳ


කඳුලුත් මකා සතුටත් සිතට ලංකොට
තනියක්  නොදී  දුක සැප දෙකම බැලුවට
තනිකර දමා මන් දුර ආපු වරදට
මුවහත් නැතිය පන්හිඳ එදා තරමට


වැරදි වැරදී ඉවුරු         බඳවා
පුංචියට ''නෙලුම් විල'' තැනුවා
අතින් ගෙන විත් වතුර පුරවා
මුලදී නම් බොහෝ නිදි මරුවා


සුබ පැතුම් ගෙනා මදනල පවා
මල් සිඹී තව සුවඳ කව කවා
ආකහෙත් සීත පිනි බිඳු ඒවා
හිරු උදේ අලුත් මල් පිබිදුවා

කවරදාවත් නොදුටු මිතුරන්
ඇවිත් අද වුනා මට සොයුරන්
දුන් ඔවා මිණිද වැනි මසුරන්
සතුට මට නොමැති එක සතුරන්

සුවඳ විඳ නොගොස් මේ මල්වල
නතර වී අලුත් මල් පැල කල
සොඳුරු සංවාද දෙස බල බල
සැනසුනෙමි මම රැයද දහවල




පිපෙන විට මල් හෙමින් එක දෙක
නාවොතින් කෙනෙක් යන්නට දැක
පරවෙලා ගොහින් එය        දවසක
විලට සහ මල් වලට මයි           දුක



කෙනෙක් දෙන්නෙක් සියක්, දහක් නොව
දස දහක් විලට ආ ගිය                       බව
දැක දැකත් නොලියාම තුති               කව
කෙලෙසකත් ඉඳිමි බලමින්               තව




නම දත් නොදත්  අය  මව් බිම සිට පැමිණි
පැටි කළ හිතවතුන් සහ  දුර රට       මිතුනි
දිරි දී පිරිත් පැන් ඉස විල දිය          පිරුණි
''මේ මල '' ඔබටමයි මා ප්‍රිය සකි      සඳුනි


ඉස්සර කවි ගී කුරුටු ගෑවේ කොළ කෑලි වල හරි පොත්වල අග පිටුවේ හරි . එහෙම නැත්නම් පාසලේ දහම් පාසලේ තරගෙකට . හෙම ලිව්ව කොළ කෑලි පස්සේ කාලෙක ආගිය අතක් නැහැ . සටහන් පොතුත් ඒ සනාතන දහමට යට වුනා . යම් යම් කාලවල පත්තර වල හරි සඟරාවල හරි පලවෙච්ච එව්වත් කටුසටහනක් තියාගන්න හරි කොපියක් අරන් තියා ගන්න හරි ඕන කමක් නොතිබුනේ ඇයි මන්ද  . එක්තරා කවි ටිකක් නම් ඒවාට නිමිති වුන කෙනා ලියුම් කරදහි මිටියත් එක්කම පරිස්සමට තියා ඇති බව නම් දන්නවා .

ඒ කාලේ ඉතින් පත්තරේක පලවුනොත් ඇර ලියන දෙයක් අනික් අයට බෙදා ගන්න විදිහක් නැහැ . ලඟම යාලුවෝ විතරයි කියෙවුවෙ . අද වෙනස් ලියන දේ තත්පරෙකින් අලුක්කාලක් යන්නත් කලින් සයිබර් අවකාශයේ විසිරිලා යවන්න පුළුවන් . කියවන අයට අදහසක් දෙන්නත් යන්නේ ඒ වගේම වෙලාවක් . ඒ ගැන අපි මේ අලුත් තාක්ෂණ ලෝකෙට ස්තුතිවන්ත වෙන්න ඕන . දියුණුවේ නරකම දකින අපිට මෙතැනදී නම් එයට හිස නවන්නම වෙනවා .

ඉතින් ඉස්සර ම දවසක 4 පන්තියේදී ''නොපෙනී ගිය සරුංගලය '' කියල ලිව්ව රචනාව පාසලේ හැමෝටම පෙන්නලා ඒක ට වරාවසනයේ විශේෂ තෑග්ගක් දීපු කැලණියේ කුමාරි බාලිකාවේ [ අද හෙලේනා බාලිකාව ] ඉන්ද්‍රානි ගුරු මවට මම සදා ස්තුතිවන්ත වෙනවා . ශිෂ්‍යත්වේ පාස් වුනහම අම්ම වගේම සතුටු වුන ''එදිරිසිංහ '' ලොකු ටිචට ..ඒ ඉස්කෝලේ මගේ පුංචි යාලුවන්ට කවදාවත් කරන්න බැරි වෙච්ච ස්තුතිය ක් තියෙනවා මගේ සිතේ . නම් ගම් ලිව්වට කමක් නැහැ . අද කිව්වේ නැත්නම් ආයේ අවස්ථාවක් නොඑන්නත් ඉඩ තියෙනවා .

ගේ පුරා අගයක් නැතුව කියවන්න පොත් පත් පුරවපු ...ජිවිතේ මුල් අකුරු කියාදුන් අම්මට තාත්තට ..අගයක් නැතුව පත්තර හුවමාරු කර ගත් අසල්වැසියන්ට ..[අපොයි මේ ලිස්ට් එක කෙටි කළ යුතුයි ]..කොටින්ම මන් මගේ ජිවිතේ ස්තුතිවන්ත වෙන්න ඕන පිරිස ලැයිස්තු ගත කලොත් ලියල ඉවර කරන්න ජිවිත කාලෙත් මදි වෙයි.

කොටින්ම මාවටා සිටිමින් බස් වල ..මහමග මට ලියන්න දේවල් සොයා දීපු දන්නා නොදන්නා සියල්ලන්ට ..සීත චමත්කාරයෙන් පිරවූ වලාකුළු වලට අහසට සඳට ඉරට කොටින්ම මුළු මහත් පෘථිවි තලයට මගේ ආදරය සහ ස්තුතිය .

පස්සේ කාලෙක විශේෂයෙන් ලංවී ආදර බර හැඟුම් පුරවා ජිවිතයට සෑම සුන්දර දෙයක්ම ගෙන දුන් බනිලාගේ තාත්තට විශේෂයෙන් ස්තුතියි.
ලියන හැම අකුරක්ම ලැබෙන හැම අදහසක්ම කියවන ..ලියන්නට නිතරම කරදර කරන ..ලියනවා නම් කඩෙන් කෑවත් ඉවසන ..දැක්ක දුටු දේ වලින් තොරක් නැතුව මගේ ඔලුව පුරවන ..ඔබටයි මේ නෙලුම් මල .
'
'නෙලුම් විලේ ''ස්ථිර පදිංචි කාරයින් 87 ට මගේ විශේෂ ස්තුතිය පුද කරන්නම ඕන .

ඉතින් තව කව්ද ..ඇයි මගේ මල් සුවඳ බලල විතරක් නතර නොවී විලට පැන් ඉහල ...නෙලුම් විලේ මල් තව සුවඳ කවන මගේ සදාදර මිතුරු මිතුරියන් .නම් ලියන්න නම් බැහැ. හේතුව එක නමක් හරි මතක වුනොත් හෙම . මේ හැමෝම මට එකසේ වටිනා නිසා එහෙම දෙයක් වුනොත් මට ඒක ලොකු දුකක් .
නම් නොලිව්වොත් ඒකත් ලොකු අඩුවක් . ඉතින් ඒක නමක් හරි මට අමතක වුනොත් පෘතග්ජන අසරණ මම  සිය දහක් වරක් .සමාව අයදිනවා .

මුල්ම කමෙන්ටුව ලියු කල්හාර ..ගම් පළාතේ හසිත මලය ..සත්සමුදුරේ දිනේෂ් ..අලුත් කොල්ල ..සරත් ලංකාප්රිය..තාරක දිල්ෂාන් ..කතන්දර ලොකු අය්යා ...T G නගා ..දුකා ..ඉන්දික උපශාන්ත ..චේජනා ..මගේ ජීවිතය ..පොඩි කුමාරිහාමි ...සොඳුරු සීත ..මේ අය තමයි මුල්ම පොස්ට් කීපයට අදහස් දීල මාව දිරිමත් කලේ .

සඳරු මලය ..තිස්ස...තීර්ථ යාත්‍රිකය ...starry Angel ...පසු කලෙක එකතු වුනා . බුලත් කතාවෙන් එකතු වෙච්ච නලිනියි ..බුරතිනෝ යි රුසියන් කතා ගැන ලියන්න මගේ මතක අවුස්සලා නොහිතපු ලෙස රසවත් සංවාදෙකට මුල පිරුවා . බුරතිනෝ හෙවත් ලි බෝනික්කා ලිපියත් මගේ ආදරවන්තයෝ ලිපියත් මම අදත් නිතර පෙරලා බලනවා . මොකද මට ම විශ්වාස නැහැ අපි මේ තරම් රුසියන් පොත්වලට ආදරේ බව .


නෙලුම් විලට වසන්තය උදාවුනේ ඒ ලිපි දෙකෙන් කිව්වොත් වරදක් නැහැ Manodya Rasanjana ...
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත ...රංග ..පැතුම් පුංචිහේවා ...හා පැටික්කි ..නිතා .අභීත ..හර්ෂණ 1985..ම ..දී ...ශේන්යා ..මට නිතර උදව් දෙන ගල් මල් හෙවත් ඩින් අය්යා ..කසුන් තරංග ..ඕනයා ..රෝස කුමාරි .මුතු මැණික් .කලණි....පිනි බිඳු ..නිතා ...සහ ලෝබ නැති කමෙන්ට් දෙන සුජීව ..බුරයි නලිනියි ටි ජි යි එක්ක එකතු වෙලා රුසියන් පොත් ගැන කරගෙන ගිය සංවාදයෙන් මම ත් කොපමණ ඉගෙන ගත්තද .
රත්ගමය ..රවී ..සජිවනි ..ලකී ..අයේෂා ..දිලීප ..චතුරංග ...සපතේරු ...සෝඩා ගුණේ..මාරයා ..චන්දි අක්කා ...මගේ ළමා මිතුරු චන්දි සහ පොත් ගුල්ලා ..ඕල් ඉන් වන්...මහේෂ් ..පුසා ..බ්ලොග් ගඩොල් ..අසංක මල්ලි ..සංචාරකයා , ගිම්හානි .සජි ..තාරා ..දමිත් ශ්‍රියන්ත ..චතුර ..නවම් ..මනිදු ශානක ..ඔය අයත් මට සවියක් වුනා .

ඊ මේල් කවිකාරි ...හරි - පිනි පලස ..කාංචනා අමිලානි ..MDM බස්සා..රන්ගි ...චුටි මහත්තය .[බුද්ධි ]..මුහුදු කොල්ලකාරයා ..සංජය සිතුවිලි .නිම්ෂා ..නිෂ් වත්  මට අමතක නැහැ .
ගල් මල්, කල්හාර , චන්දි දහ දාහ පැනපු එකට සුබ පතලත් තිබුන .

ඔය ඉතින් මම පරණ පොස්ට් පීරලා කමෙන්ට් කරපු සේරමගේ නම් ටික හොයලයි ලිව්වේ . ටිකක් වෙලා ගියා . ඒත් එහෙම කරන ඒක මගේ යුතුකමක් කියල හිතුන . අනේ මට නමක් මග අරුණ නම් සමාවෙන්න ඕන .මිට අමතරව    මට ස්තුති කරන්න තව පිරිසක් ඉන්නවා . ඒ තමයි මුණු පොතෙන් අඳුන ගත්තු අලුත් යාළුවො ඉන්නවා කියවල යන . ඒ වගේම කියවල සටහනක් තබල යන්න  බැරි වෙන සියල්ලන්ටම මගේ ස්තුතිය .
 මගේ පරණ පාසල් මිතුරු මිතුරියන් ඉන්නවා මේක කියවන . කියන්න ආඩම්බරයි මගේ යාලුවෙක් සහ  දැන් meddi  යක් වන ''පොඩ්ඩි'' ගේ දු පොඩ්ඩත් මේ ලිපි කියවනවලු. ඒ හැමෝටම ස්තුතියි . ඒ වගේම මගේ සේවාස්ථාන වල පරණ මිතුරු මිතුරියන් ද අමතක කරන්න බැහැ . ඒවගේම හැනොයි වල මගේ මිතුරු මිතුරියන්ටත් මෙය කියවනවට ස්තුතියි.

මන් මේ ලියද්දි රණ්ඩු වෙවී යාලු වෙවී ගේ දෙක කරන මගේ ආදර ලොක්කිටත් බනිටත් ස්තුතියි.

අවසන  තව දෙයක් කියන්න ඕන . මට උවමනාව තිබ්බ හැමෝගෙම බ්ලොග් වල ලින්ක් එක්කම නම දාන්න . කළ වෙලාව ඉඩ දෙන්නේ නැහැ ඒකට. ඉතින් මේක මගේ නැවුම් අදහසක් නෙමේ වුනත් කැමති නම් ලින්ක් ටික පහල දාල යන්න .


ස්තුතියි නැවත නැවතත් ...

Monday, 15 August 2011

''සිරස එන්ටර්ප්‍රයිසස් '' ලා චැපල් හන්දිය ...






වැඩි අනන් මනං නැතුව ඔන්න කෙලින්ම කතාවට . පැරිසියේදී කෑම බීම නම් ටිකක් මිල අධිකයි. ඒත් අපිට නම් ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ . අපේ නෑ කමින් අය්ය වෙන කෙනෙක් කාලයක් තිස්සේ එහෙ පදිංචි වෙලා ඉන්නවා . ''මල්ලිලා කිසි දේකට බය වෙන්න එපා . ලංකාවේ ඕනෑම කෑමක් මෙහෙ තියෙනව .'' ඔය කිව්වට මන් හිතුවේ කඩයක් දෙකක් කියලයි. මේකනේ වැඩේ . ලා චැපල් වලින් බැහැල  පාර පැන්න ගමන් සිංහල දෙමල නාම පුවරු එල්ලිලා පෝලිමට ..පාර දිගේම . අපේ සිත් ප්‍රීතියෙන් පිනා ගියා . ග්‍රොසරි කඩවල අපේ රටේ ඕන ම දෙයක් ඒ කිව්වේ පලා කොලේ සිට අනුරාධපුරේ හාල් ..මන්චි ..මැලිබන් ..ඇතුළු සියලුම ලංකික වෙළඳ නාම දැක්ක.
පුංචි පුංචි සයිවර් කඩ ඉතින් වැල්ලවත්ත වගේ තමයි. ඉස්සර පොඩි පොඩි ප්‍රශ්න තිබ්බලු . ඒත් දැන් නම් දෙගොල්ල බොහොම සමගියෙන් ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා . ඒ ගැන ඉතින් අපට බොහොම සතුටුයි.
අනික පැරිස් වල ගිය ගිය තැන ලාංකිකයෝ හමු වෙනවා . ''ආ ඔයාල ලංකාවේ නේද '' ලංකාවේ කොහෙද ? අහවලාව දන්නවද ? කොහොමින් කොහොමින් හරි බලන් ගියහම නෑකමක් වුනත් අහුවෙන්න බැරි නැහැ . ඉතින් ආපහු   ඇවිත් කියන්න බැරිය .''අහවලාගේ අහවලාගේ අහවලා දැන් පැරිසියේ කියල . ලාංකිකයින්ගේ මේ ගතියට හිනාවෙනවා හෙම නෙමේ . ඇත්තම කියනව නම් මන් ටිකක් කැමතියි ඔය ගතියට . අනේ මන්ද මාත් ලාංකිකයෙක් නිසා වෙන්ට   ඇති .

මන් එහෙම වුනාට අපේ ලොක්කිලගේ පරම්පරාව ඕකට ටිකක් අකමැතියි. අම්ම දකින දකින කෙනත් එක්ක කියවන්න යනවනේ . එයාට ලැජ්ජයි කියන්නේ . ඒ ගොල්ලෝ ඉතින් ''හායි'' කියල කට කොනකින් හිනා වෙලා නිකම් ඉන්න පරම්පරාවේනේ.

මන් නම් හරිම   කැමතියි කොහේදී හරි ලාංකිකයෙක් නෙමේ ලංකාව උඩින් පියාඹපු කපුටෙක් හරි දකින්න ලැබෙනවා නම් . නගරයෙන් බොහොම ඈත ඒ කියන්නේ නගරය පුරා දිවෙන දුම්රිය ජාලෙනුත් එලියට ඇවිත් ''අහස් කවුතුකාගරේට '' යන්න තව බස් එකක නගින්න ඉදිද්දී මෙන්න බඩු මලු දෙකකුත් උස්සගෙන ලාංකිකයෝ දෙන්නෙක්.

අපෝ ලංකාවේ මිනිස්සු ඕපාදුප හොයනවා . කිසි කමකට නැහැ කියල මට වුනත් වෙලාවකට හිතිලා තියෙනව . ඒත් ඒ අපේ ''නරක '' මිනිසෙක් දහසක් ආගන්තුකයින් අතර හමු වී බලන්න ...ඔහු ලඟම නෑයෙක් ලෙස මට දැනෙන හැඟීම ඔබටත් දැනේදැයි බලන්න .

බ්ලොග් ලිවීමෙනුත් මා ලබන්නේ ඒ වගේම සතුටක් ...ජිවන ගමනේ නොදැන සිටි නෑයන් හමු වීම ...






මෙන්න තවත් නෑයෙක්





මතු සම්බන්ධයි ...

Monday, 8 August 2011

හාවෙක්ගෙන් බැනුම් ඇසූ ''මොනාලිසා''

මොනාලිසාට බැන්න කෙනෙක් ගැන අහල තියෙනවද . මන් හිතන්නේ ඒ මදහසට වසඟ නොවෙන අයෙක් මේ ලෝකේ නැතැයි කියලයි.
ඒකට මොකද අපේ බනියගෙන් බැනුනුත් අහල තව පොඩ්ඩෙන් ගුටිත් කනවා එයා . ..මගෙන් වෙච්ච පොඩි තරවටුවකට තරහ වෙලා කාමරයට යන ගමන් ...
''මොකද බලන් ඉන්නේ '' එහෙම ඇහුවේ අතත් දික් කරලා . බය වෙච්ච පාර මොනාලිසා ගැස්සිලා මන් දිහා බැලුව. අනේ පව් . එයාට වැඩියම හිත රිදෙන්න ඇත්තේ අපේ සවුත්තු හිනාවට . ඇයි දෙය්යනේ හැතැප්ම දාස් ගානක් ගෙවාගෙනපහුගිය පෙබරවාරියේදී  අපි එක්ක ආවේ තියෙන විශ්වාසෙට නේද .
මේ ඉතින් ''ඩා වින්සිගේ '' ඔරිජිනල් එක්කෙනා නම් නෙමේ . එයාව බිත්තියේ එල්ලලා තියෙන තැන විශේෂ වැටකුත් ගහල අනික් පින්තුර වලට නැති ආරක්ෂාවක් . කෝ ඉතින් මොනාලිසාගේ මදහසයි ඇස් දෙකයි ''අනේ මාව මෙතනින් ගලවගන්න '' කියල කොච්චර ඉල්ලා හිටියත් හිරේ විලංගුවේ වැටෙන වැඩ වලට මම නැහැනේ .
ඔය මොනාලිසා ඕනෑමයි කියල ''ලුවර් '' කලාගාරේ සමරු සලේදී මන් තදින්ම ඉල්ලා හිටිය . බනිලගේ තාත්තට ඕන වුනේ වෙන සමරුවක් ගන්න . ඒත් අන්තිමට මගේ සදා සිහිනයක් වුන මොනාලිසා අපි එක්ක ආවා. මොනාලිසා කිව්වට ''කොපි '' මොනාලිසා .
ලුවර් කියන්නේ අති විශාල කලාගාරයක් . දවස් ගානක් යනවා හරි විදියට රස විඳින්න . කොහෙද කකුල් රිදෙන බනියලත් එක්ක දවස් ගණන් ඕකේ ඇවිදින්නේ . එක වරුවෙන් ''දඩි බිඩි'' රසවිඳීමක් තමයි කරන්න ලැබුනේ.
මැලේසියාවෙන් එක පාරටම ප්‍රංශය පැත්තට අරන් යනවට අමනාප වෙන්න   එපා . මට ඉතින් පිළිවෙලකට යමක් ලියාගෙන යන්න අමාරුයි. හිතෙන වෙලාවට හිතෙන දේ ලිව්වේ නැත්නම් කෑවේ නැහැ වගේ  තමයි. ඒගැන නම් ඉතින් විලේ මිතුරන් සමාවෙන්න  ඕන ..
පෙබරවාරියේදී මෙහෙ හීතලේ වෙවුල වෙවුල ඉන්න ගමන් තවත් සීතල රටකට යන එක එක විදියක පිස්සුවක් තමයි . ඒත් ''චීන අවුරුදු '' [වියට්නාමේදී ''ටෙට්] නිවාඩුව තමයි සතියක් විතර කරදරයක් නැතුව අපිට ගමනක් යන්න ඇහැකි .
ලස්සන පින්තුර ටිකක් දාන්න තියෙන  නිසා මේ පොස්ට් එක නම් කඩන්නම වෙනවා .
මුලින්ම අපි යන්කො ''මොනාලිසා'' මහත්මියගේ ගෙදර ට ..ඒ කියන්නේ පැරිසියේ ලුවර් කලාගාරේට . සිංහල හුරුවට ලුවර් කිව්වට එහෙ අය ඕක කියන්නේ අමුතු විදියකට . මන් ඉතින් ගොඩයනේ. අපේ ලොක්කිට නම් ඔය ප්‍රංශ වචන පැටලෙන්නේ නැහැ .
නම කොහොම වෙතත් ඔතනට යන්න ලැබුන එකත් මගේ ජිවිතේ ලොකු වාසනාවක් ලෙස කියන්න පැකිලෙන්නේ නැහැ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාගාරයක් . පොතින් පතින් විතරක් දැන හිටි ලෝක ප්‍රකට ශිල්පීන්ගේ නිර්මාණ සැබවින්ම දැක ගන්න ලැබීම ලොකු භාග්‍යයක්  .

  
ලුවර් කලාගාරය නැත්නම් එයාලගේ බසින්
         Musée du Louvre   ට ගියොත් හරි අපුරුවට මේ ගැන විස්තර තියෙනවා . ඕනෑම කෙනෙක්ට තේරෙන පහසු විදියට . විකියේ  තියෙනවා ඉතිහාසය ඇතුළු පුර්ණ විස්තර

මෙහි තියෙන්නේ චිත්‍ර විතරක් නෙමේ . ඉතා අලංකාර මුර්ති ද දකින්න පුළුවන්

මැද මිදුලෙහි ඇති අලංකාර පිරමිඩය . රාත්‍රියට මෙය විදුලි එළියෙන් බැබලෙන අතර ඈතට පෙනේ ..








මේ සිංහයාට පන නැති හින්ද හොඳයි






ගොඩක් චිත්‍ර හා මුර්ති අඩ නිරුවත් හෝ සම්පුර්ණයෙන්ම නිරුවත් . ඒ කාලේ ඇඳුම් ඇඳලා නැහැ වගේ වැඩිපුර . මන් ඉතින් ඒවායේ ගත්තු පින්තුර නම් දැම්මේ නැහැ ඔන්න . අපේ අර වික්ටෝරියන්  සභ්‍යත්වයද මොකක්ද තියෙනවනේ . සිගිරි අප්සරාවෝ රෙදි නැතුව හිටියට පස්සේ කලෙක සුද්දෝ ඇවිත් රෙදි අන්දල අපිව සභ්‍ය කලානේ . ඒකට මොකද මේ කලාගාරේ නිර්මාණ කරපු කලාකාරයෝ නම් ඔව්ව දැනන් ඉඳල නැහැ . මනුස්ස සරීරේ  සැබෑ රේඛාවන් බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා .

අනික මට හිතිච්ච තව දෙයක් තමයි අතීතයේදී පිරුණු අඟ පසඟ තමයි ලස්සනයි කියල සලකල තියෙන්නේ . දැන් වගේ අපායෙන් ආව වගේ නිරුපිකාවෝ ඒ දවස්වල ඉඳල නැහැ වගේ.
මේ ටික ලිව්වෙත් බොහොම කලබලේට . අනික පින්තුරත් දැම්මේ ටිකයි . මන් දන්නවා ගොඩක් නංගිලා මල්ලිලා අන්තර්ජාලගතවෙන්නේ බොහොම අවම වේගයක් යටතේ . ඉතින් පින්තුර වැඩි වෙනකොට බලන්න අපහසුතා ඇතිවෙන්න හැකි.
පැරිසියේ ඉතුරු විස්තරත් එක්ක තව දවස් දෙකකින් ලියන්නම්. මෙව්වයේ වැඩිය කතා කරන්න දෙයක් නැති  වාර්තා ගනයේ ලිපි ඉක්මනට ඉක්මනට ලියල දාන්න පුළුවන් .

Wednesday, 3 August 2011

''මයිකල් ජැක්සන්ව'' බොන මැලේසියානුවෝ

පසෙකින් රෙදි ගොඩකි - පොත් පත් හැම තැනය
ඔක්කොම දමා ''බින්දී'' මම විල                 ළඟය
වැඩ ගොඩ වෙලා අය්යෝ මන්          අසරණය
එහෙමයි කියා නොලියා ඉන්නත්            බැරිය

නෑවිත් මේ පළාතේ මන් හිටි              ටිකට
ලියවුනු කතා ඇති වෙන හොඳ බ්ලොග් වලට
නොගොහින් ආවොතින් හරි නැහැ මගෙ හිතට
ඒකයි පමාවී බැස්සේ මගෙ                  විලට

අතහැර දමා ගිය බව මන් නෙලුම් විල
තැන තැන දුටිමි ලියවී කට කතාවල
පිපුනේ නැතත් කලෙකින් මෙහි නෙලුම් මල
කන්නට හැකිය මෝරපු හොඳ නෙලුම් අල

රඹුටන් උපන් රට පැත්තේ ගොස් ඇවිද
දුටු දුටු නෙලුම් මල් මන් ගත්තා ඇහිඳ
එකවර හිටවන්න කෝ ඉඩ කඩ කොහිද
විසිකළ යුතු යි සැල්වීනිය හා   මඩද

සති දෙකක්ම නෙලුම් විලට බහින්නත් බැරි වුනා . මන් නැතත් විල දිහා ඇවිත් ගිය සගයින්ට මගේ ස්තුතිය . ඔය අස්සේ මේකට ඉස්ගෙඩි බෝකරන්න කුමන්ත්‍රණ කරපු අයත් හිටිය . වතුර පල් වේගෙන යනවා කියල අපේ ලී බෝනික්ක අනතුරු අඟවලත් තිබුන . අපේ චතුරංග මලය මුර වැඩේ බාර ගත්ත නිසා බය නැතුව මන් මගේ පාඩුවේ නිවාඩුව ගත කරලා ආවා.

වැඩි ඈතක නෙමේ ..මේ ළඟ පාත මැලේසියාවට තමයි ගියේ. මගේ ඉන්දියන් මිතුරියගේ ගෙදර සති දෙකක්ම සැප සනීපෙට ගත කළා . ආයි මොනවද ඉවිලි නැහැ තේ එක අතට එනවා ..කෑම ටික මේසෙට එනවා . උදව්වට ඉන්න ළමය රෙදි ටිකත් හෝදලා මැද දුන්නා . ළමයිනුත් එයාලගේ හොඳම මිතුරියෝ දෙන්න එක්ක ඇති තරම් සෙල්ලම් කළා . මගේ මිතුරියට දුවල දෙන්නයි . අපේ දෙන්නගේ වයසේම . මේ සංසාරයේ කොහේ හරි අපි කට්ටිය හමු වෙලා තියෙන බවයි අපේ අදහස . මහත්තුරු දෙන්නත් හොඳටම යාලුයි . අපි දෙන්න සහෝදරියන් දෙන්නෙක්ටත් වඩා සමීපයි. කෙල්ලො හතරදෙනා පුදුම යාලු කමක් .  ඔන්න බලන්න ගිය ආත්මේ කරපු පින්කම් වෙන්න ඇති මෙහෙම යාළුවො ලැබෙන්න .

ඒ ලොකු කෙල්ල තමයි  කවදාහරි ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියන්නේ . ඔන්න   කවද හරි ඉන්දියන් කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති වෙන්නත් බැරි නැහැ. ඒ ළමය ඒ තරමට ශක්තිමත් චරිතයක් . අපේ ලොක්කිට එයාගේ පුද්ගලික උපදේශක තනතුර දෙනවලු. අපිටත් ඉතින් ධවල මන්දිරේ පැත්තේ රවුමක් ගහන්න බැරුවය .
 
තව ඉතින් මොනවද . තෝසා..චපාති ..මුරුක්කු ..ගිල ගිල මමත් මගේ මිතුරියත් හින්දි චිත්‍රපටි බැලුවා . කඩ ගානේ ඇවිද්දා . මන් එලියට යන හැම දවසෙම බනිලගේ තාත්තා මෙහෙ ඉඳන් බය වෙනවා . ඇයි මේ ගෑනි අතේ තියෙන ඩොලර් ටිකත් ඉවර කරලා ණය කාඩ් එකෙන් ගිණුමේ සල්ලි ඔක්කොමත් ඉවර කරයිද කියල . වැඩියම බය වෙන්න ඇත්තේ පොත් සාප්පුවට යන බව අහල .

දැක්ක දුටුව දේ නම් අප්‍රමානයි . වෙන වෙනම පෝස්ට් වලින් ලියන්න ඕන .
රට ගැන කියනවා නම් මන් දැක්ක Kuala  Lampur නගරය නම් සෑහෙන දුරට  සැලසුම් කල නගරයක් . ලෝකයේ උසම ද්විත්ව ගොඩනැගිල්ල [ Twin Towers ] ඇතුළු විවිධාකාර හැඩති ගොඩනැගිලි හැමතැනම . හැමදේටම වඩා මා සිත් ගත්තේ දෙපස වනවගාවෙන් අලංකෘත මහා මාර්ග පද්ධතිය . මට හැඟුණ පරිදි ඒවා පාරවල් සෑදු පසු ගස් හිටවීමක් නොවේ. දෙපස වනය ඉතුරු කර පාරවල් තනා ඇති බවක් තමයි මට දැනුනේ .
පැරණි නගරයක් මුළුමනින්ම සංවර්ධනය කරන්න බැරිව ඇති . මෙහි ඉඩකඩ සලකා බලා රජයේ පරිපාලන නගරය ලෙස කි.මි. 25 ක් පමණ ඈතින්  ඉතා සැලසුම් කොට  නගරයක් ඉදි කොට තියෙනවා . එහි නම ''පුත්‍රජයා''  . පුත්‍ර = කුමරා ..ජයා = ජය .
මට යන්න නම් බැරි වුනා ඒ පලාතට .
නගරෙන් පිට කියල යන්න වුනේ ''ජෙන්.ටින්ග් '' කඳු පලාතටත් සත්තු වත්තටත් විතරයි . සත්තු වත්ත නම් ඒ හැටි ලොකු නැහැ . ඒත් ළමයින්ට විනෝද වෙන්න හැකි තැනක්.


''ජෙන්ටින්ග් හයිලන්ඩ් '' වල කේබල් කාර් ගමන මගේ සිත ගත්තා . අපේ නුවර එළිය වගේ ..නැත්නම් හපුතලේ වගේ ..ටිකක් සීතලයි .
At Petrosains Science centre

නගරයේ නම් ප්‍රධාන ආකර්ෂණය ''Petronas twin Towers '' තමයි . උදේ පාන්දර ගිහින් ටිකට් අරගන්න ඕනේ උඩට නගින්න . අපි වගේ කම්මැලියන්ට ඔය වැඩ බැහැනේ .

එයට යාබද ''Petrosains  Discovery Science Centre '' ළමයින්ට හරිම අපුරු අත්දැකීමක් වුනා . ඒ අසලම ඇති මින් මැදුරත් නරඹන්න හැකි වුනා .

කෑම බීම.....දෙය්යන්ගේ පිහිටයි  මැලේසියන් ජාතිකයින් හොඳට කන බොන බව ශරීර කූඩු වලින් පේනවා . නිවර්තන දේශගුණය නිසා සරුසාර රටක් බවයි පෙන්නේ. දන්නවනේ ඉතින් රඹුටන් ඉපදිලා තියෙන්නෙත් මැලේසියාවේ .පොඩි කාලේ රඹුටන් ගෝනි ගණන් කා ඇති හෙයින් විශේෂයෙන් කෑමට හිතුනේ නැත .
. දුරියන් ..මැන්ගුස් හෙමත් ජනප්‍රියයි . නගරයේ පාරවල් අයින් වල නම් ඔව්ව විකුනනවා දැක්කේ නැහැ . එහෙම පළාත් මන් දැක්කේ නැතිව වෙන්නත් හැකි.

මට එකම පරහකට තිබුනේ බේකරි වල මාළු පාන් ..චිකන් පේස්ට්‍රි හෙම බැබලි බැබලි තියෙද්දී අහක බලන් යන්න වෙච්ච එක . මගදී කාල ගියොත් මිසක් ගෙනිහින් කන්න බැහැනේ . පුර්ණ වෙජිටේරියන් කෙනෙක් එක්ක නේ ජිවත් වුනේ . කිසිම විරෝදයක් නැහැ අපි කෑවාට. ඒත් යුතුකමක් තියෙනවනේ එහෙම නොකරන්න .
මගේ අනෙක් මැලේසියන් මිතුරියක් එක්ක ගිහින් ''නාසි ලමක් '' කියන බත් එක කෑවා. පොල් කිරි මුහු කරලා උයන බතක් . ලංකාවට හුරු කෑම ගොඩක් තියෙනවා . කොකිස් හා දොදොල් විකුනනවා දැක්කා .
මේ බීම එකේ නම ''මයිකල් ජැක්සන්''  හිතන්නකෝ ඇයි කියල

අපේ මැලේ අච්චාරුව තියනවද කියල නම් දැක්කේ නැහැ .
බීම ජාති හෙම ලෝබ නැතුව විශාල විදුරු වල දෙනවා . ගොඩක් කඩවල බීම දෙන්නේ කට පළල බෝතල් වල . හොන්කොන්, තායිවාන් වලත් එහෙම දෙන බවයි දැනගන්න ලැබුනේ .

මට මැලේසියාවේදී මතක් වෙච්ච එක පුද්ගලයෙක් ඉන්නවා . උපාලි විජේවර්ධන මැතිතුමා . කාලෙට වඩා ඉදිරියෙන් ව්‍යාපාරික දැනුමක් තිබ්බ විශේෂ ශ්‍රී ලාංකිකයෙක් . දහම් පාසලේ තෑගී උත්සවයේදී අත හිත පිරෙන්න තෑගී ලැබුන ළමා මතක ඔස්සේ ඔහු මට සිහි වුනේ ඇයි. මැලේසියාව සමග ව්‍යාපාරික ගනු දෙනු තිබු මෙතුමා රැගත් පුද්ගලික ගුවන් යානය අතුරුදන් වුනේ එහෙම ගිය ගමනකදී. අපේ දහම් පාසලේ සෑම කටයුත්තකදීම සම්බන්ධ වූ නිසා මට ඔහු හොඳ හැටි මතකයි.
 අද වැඩිය ලියන්න බැහැ. හරිම නිදිමතයි . ඉදිරියේදී තව මැලේසියන් විස්තරත් තව රස කතාත් කියන්නම් . වාද විවාදෙකට නිමිත්තක් දෙන්නත් බැරි වුනා . ඉඳල ඉඳල ඇවිත් ගිනි දෙන්න හොඳ  නැහැනේ . ඊ ළඟ පාර බලමු.

ස්තුතිය ...මම රස  ඉන්දියන් කෑම කන අතරේ හැමදාම කඩයෙන් කා උදේට තනියම තේ හදා ගත් බනිලගේ තාත්තට