Monday, 26 September 2011

දිය මකර රජු ගේ ළමයි....


වියට්නාමයේ ජනකතා කියන්නයි ටි ජි ළමයා හුඟ කලක සිට ඉල්ලයි . හැමදාම යුද්ධය ගැන ලියන්නට ගියොත් කට්ටියට එපාවෙන්නත් බැරි නිසා වෙනසක් කරන්නට මටත් සිතුනා .
එහෙන් මෙහෙන් අසා තිබුනත් ඒවා අකුරු කරද්දී අපට හිතු ලෙස ලිවිම හොඳ නැති හින්ද මන් අපේ ''මුන්'' මහත්තයාගේ පුස්තකාලෙන් පොතකුත් සොයන් ආව. දෙමාපියන්ට සති දෙකකට පොත් තුනක් ගන්න පුළුවන්.
විශ්වය ඇති වීමේ ඉඳන් වියට්නාම් ජාතිකයින් ඇති වීම දක්වා ලස්සන මිත්‍යා කතන්දර  ටිකක් හම්බ වුනේ මගේ වාසනාවට . බොහොමයක් පොත් ස්ව බසින් ලියවුන මේ රටේ ඉංග්‍රීසියෙන් ලියවුන පොත් අඩු නිසා මේක සැහෙන වටිනවා මටනම් .

අද මන් ලියන ප්‍රධාන කතාවට කලින් අතුරු කතාදෙකක් කියන්න ඕන. මොකද මේ කතා දෙක එච්චර රසවත් නැතත් පස්සේ ලියනවට වඩා මුලදීම කිවමයි අගේ.

බොහොමයක් සංස්කෘතිවල වගේ මෙහෙත් විශ්වය ඇති වීම ගැන කතාවක් තියෙනවා . ඔන්න ඉස්සර කාලේ ලෝකය එක අඳුරු කුහරයක් විතරයි. එකදවසක් එක යෝධ දෙවි කෙනෙක් දිවය ලෝකේ ඉඳන් පොලවට ආවා. ටික කාලයක් ගියාට පස්සේ මේ දෙවියා අහස අත් දෙකෙන් උස්සලා උඩට උඩට තල්ලු කරනවා . තල්ලු කරන ගමන් ආධාරකයක් විදියට කණුවක් බඳිනවා . මේ කණුව තැනෙන්නේ පොළවෙන් ගත් කුණු සහ පාෂාණ වලින් . මුලින් මදුරු දැලක් වගේ වෙච්ච අහස අන්තිමට බත් පිඟානක් වහපු මුඩියක් වගේ පේනවා .

ඔහොම උස්සල උස්සලා එක මට්ටමකදී ස්ථාවර වුනාට පස්සේ අර කුළුණ විනාශ කරන්නේ දෙවියා විසින්මයි. ඒකෙ කොටස් විසිරිලා තැන්  තැන්වල දුපත් කඳු හෙම නිර්මාණය වුණා. කුළුණ හදන්න අමුද්‍රව්‍ය ගත් තැන් සාගරය ලෙස ඉතුරු වුණා .
Son Tay පළාතේ ඇති Thach Mon කන්ද එම කුළුණේ නෂ්ටාවශේෂ බවයි කියවෙන්නේ . සමහරු එය ''දෙව් ලොවට මග '' කියන තේරුම ඇති Khong - lo  ලෙසත් හඳුන්වනවා .

ඊට පස්සේ මේ දෙවියා ගේ කාරිය ඉවරයි. ආපසු දෙව්ලොවට ගියා වෙන්න පුළුවන්. ඉන් පස්සේ තවත් දෙවිවරු හත්දෙනෙක් ආවලු . ඒ අය වැලි , රළ ,තරු .,ගංගා ...ගස් ..වනාන්තර ...ඇතිකළ බව තමයි කියවෙන්නේ .
ඊට පසු   ඉතා විශාල කාලයක් ගත වුණා . ඒත් තාමත් අහස අඳුරුයි ...වාතය තෙතයි.
මේ අඳුරු ලොව දෙස
බලා ඉනු බැරි තැන
උතුම් දෙව් අදිරද
එවුවා සඳ එක්ක
හිරු දෙවඟන .....
......දැන් ඉතින් දෙව්ලොව අධිරාජයා විශ්වය තනා ඉවරයි. ඉතුරු බිතුරු වලින් ලෝකෙට සත්තු මවන්න කල්පනා කලාලු . සේරම සත්තුන්ට වඩා සියුම් දේවල් වලින් තමයි මිනිසා හදල තියෙන්නේ.  මේ වැඩේට වින්නඹු දෙවඟනන් 12 ක් උදව් කලාලු.
මේ ලෝකයේ සියලුම සත්වයන් ඊ ළඟ ආත්මයේ උපදින්නේ කවුරු විදියටද කියල තීරණය වෙන්නේ දිව්‍ය ලෝකයේ දෙව් රජුගේ සහ පරිපාලක සභාවේ තීරණයන්ට අනුව. මෙයිනුත් මනුස්ස ආත්මයක් ලැබීම ගැන කටයුතු කරන්නේ අර උඩ කිව්ව දෙවඟනන් 12 දෙනා .
පුද්ගලයෙක්ගේ අවයව වගේම අධ්‍යාත්මයත් ඔවුන්ගේ නිර්මාණ . හැබැයි ආයුෂ නම් තමන් කරන කියන දේ අනුවලු තීරණය වෙන්නේ.


ඔන්න ඉතින් තවත් කාලයක් ගියාට පස්සේ උතුරු වියට්නාමයේ Hong Ha නදිය [රතු නදිය ...මේ ගැන වෙනම ලියන්නම්]   ආශ්‍රිතව මිනිස්සු පදිංචි වුණා . ගොවිතැන් සහ ධිවර කටයුතු තමයි කලේ.


ඔය කාලේදී තමයි Lac Long Quan නම් දෙවියා පහල වෙන්නේ . එයාගේ තාත්ත කඳුකරේ දෙවියා වෙච්ච Kinh Doung Vuong . අම්ම ජලයේ දෙවඟන ....Ho Dong Dinh . ඒ වගේම එයා දිය මකරියක්.
මේ මිශ්‍රණය නිසා පුතාට අම්මගේ ලක්ෂණ තමයි වැඩි. ඒ නිසා එයත් වැඩිය ඉන්න ආස කලේ වතුරේ .


පියා විසින් Lac Long Quan ට Lac Viet [ වර්තමාන වියට්නාමය ] බාර දුන්න . ඔහු රට දියුණු කළා . ගෘහ නිර්මාණයට ආස කළා . ඔහුගේ මාලිගය කොටස් දෙකයි. එකක් ගොඩ බිම . අනික දිය යට. වැඩිය හිටියේ දිය යට මාලිගේ . රටවැසියා ඇවිත් ''Oh Father '' කිව්වම ගොඩට ඇවිත් ප්‍රශ්න විසඳන්න උදව් කළා .

ඔහොම සාමයෙන් ඉන්න අතරේ ඔහුගේ නෑයෙක් වුන De Lai තමන්ගේ රූබර බිරිඳ Au චෝ සමග මේ රටට එනවා . බිරිඳව ගොඩ බිම මාලිගයේ රඳවා ඔහු රට තොට බලන්න යනවා . මේ විපරම්  කිරිල්ලට රටවැසියා කැමති වුනේ නැහැ . ඔවුන් ගිහින් Lac Long Quan රජුට කේලම කියනව .

ඔය අවු අස්සේ දියෙන් ගොඩට ආව රජතුමා Au Co ගේ රූපෙට වහ වැටිලා දන්නා ශිල්ප සේරම දාල
ඇගේ හිත ගන්නවා .

අනේ ඇත්තට මන් හිතන් හිටියේ ලස්සන ගැහැණු කෙනෙක් දැක්කම මෙලෝ සිහියක් නැති වුනේ අපේ රජ ගොල්ලන්ට විතරයි කියලයි. බලපුවම කොහෙත් එකයි.
මේ දෙන්න විවාහ වෙනවා . De Lai සටන් කරන්න ශක්තිය මදි නිසා ආපසු යනවා .


Lac Long Quan සහ Au Co රැජිනගේ විවාහයෙන් පසු ඇය බිත්තර 100 ක් දමනවා . [ මෙයාල මකරු හොඳේ ..මකරියෝ දාන්නේ බිත්තර ] . මේ බිත්තර වලින් ළමයි 100 ක් ඇති වුණා


මේ මොන දේවල් වුනත් වතුරේ ඉන්න පුරුද්ද නම් අඩු වුනේ නැහැ රජතුමාගේ . ඉතින් රැජිනට හරි පාලුයි. ඔය පිරිමි ''ලඟින්ම ඉඳන් හිස අතගගා ඉන්නම්'' කිව්වට ගෑනු ළමයි දැන ගන්න ඕන කියන තරමට එව්වා වෙන්නේ නැති වග .


කොහොම හරි උපන් රට දැක ගන්න ආසාවත් පාළුවත් නිසා ඇය දරුවනුත් එක්ක ගිහින් එන්න හිතනවා . ඒත් දේශ  සීමාවේදී ආරංචි වෙනවා මුල් සැමියා මරා දාල Hoang De කියන කෙනෙක් පාලකයා වෙලාකියල . ඇගේ ආගමනයට ඔහු කැමති වෙලා නැහැ . රටවල් දෙක අතර සටනක් වෙයි කියල ඇය බය වෙලා ආපසු ඇවිත්.

හැබැයි මේ සේරම වුනේ ඔයා හින්ද තමයි කියල Lac Long Quan එක්ක නොහොඳ නෝක්කාඩු වෙලා . ඔන්න පිරිමි ''ළමයි අපි ඕන දෙයක් වෙද්දෙන් කියල පැනල යමු '' කියල ගෑනු ළමයි කිව්වට ,පස්සේ ඔයා හින්ද මට මගේ සනුහරේම නැති වුණා කියන්න ඉඩ තියෙන බවත් මතක තියා ගත්තත් හොඳා .

මේ නෝක්කාඩු වලින් පස්සේ රජතුමා පැහැදිලි කරලා මම දිය මකරෙක් ..ඔයා සුරන්ගාවියක් . ඒක තමයි ඇත්ත තත්වය කියල . මේ දෙන්න කතා බහ කරලා තීරණය කලාලු ළමයි 50 ගානේ බෙදා ගන්න .

මේ ළමයි බොහොම හොඳ අය. එයාලම කොටස් දෙකකට බෙදිලා . 50 ක් තාත්තා එක්ක දිය යටට ගිහින් . 50 ක් අම්ම එක්ක ගොඩ බිම ජිවත් වෙන්න තීරණය කරලා .


Au Co එක්ක ගොඩ බිම නතර වුන ළමයින් ගෙන් තමයි වත්මන් වියට්නාම ජාතිකයෝ පැවතෙන්නේ කියලයි කියවෙන්නේ . ආයේ දෙකක් නැහැ මෙහෙ අයට දිය ගොඩ දෙකම හොඳට හුරු වෙන්න ඕන තියන ගංගා.. වැව් සංඛ්‍යාව දිහා බැලුවම .


අපේ ගේ ඉස්සරහින් යන ලොකු පාරේ නම  Au Co . ඒකෙ ගිහින් Lac Long Quan පාරට හැරිලා තමයි අපි ඉස්කෝලේ යන්නේ . අනික් අතට Au Co සහ  Lac Long Quan දෙන්න හමු වෙනවා වගේ තමයි.


ඔන්න බලන්න ඇස් ඇරලා බැලුවොත් කියන්න කතන්දර කොයිතරම් තියනවද ...අප අවටම . Au Co පාර දිහා බලාගෙන ඇය කිසිකලෙක නොදැන සිටි බසකින් අද මන් ඇය ගැන ලියන බව ඈත ..ඈත දවසක ඇය සිතන්නට ඇද්ද .


මේ ප්‍රවාදය මෙහෙ හරිම ජනප්‍රියයි. අර අපි සිංහයාගෙන් පවත එන ගානටම . චිත්‍ර කැටයම් ..නාටක හෙම බොහොමයි . දකින දකින තැන් මකරු
මේ දෙන්න ඉන්න මුද්දරයක්



ඉස්සරහට තව කතා ගොඩක් කියන්න හිතාගෙන අදට නවතින්නම් .

Pictures by Google

Wednesday, 21 September 2011

බිම වැටුන කුරුල්ලෝ - වියට්නාම ,ඇමරිකන් ගුවන් සටනේ නටඹුන් අතර ...


මා ඉතිහාසයේ නටඹුන් අතර සැරිසරන්න කැමති මන්දැයි මාද නොදනිමි. වත්මනට වඩා ඉතිහාස තොරතුරු සොයා යාමේ පිපාසය කුඩාකල සිටම ඇති වුවකි. එබැවින් නෙලුම් විලට යන එන ඔබට නිතර අතීතයේ සැරිසැරීමට වීම ගැන අහිතක් ඇතොත් සමාවෙනු ඇති සිතමි.



අද Air Defence -Air  Force Museum වෙත ගිය ගමනේ වගතුග ඔබවෙතට ගෙන එමි.



සියල්ලටම කලියෙන් වියට්නාමයේ ගුවන් ඉතිහාසය ගැන ටිකක් දැන ගත්තාට වරදක් නැත . මේ විස්තර නම් අන්තර්ජාලයෙන් ..විශේෂයෙන් විකිපිඩියාවෙන් බව සඳහන් කල යුතුමය .           
 
*වාර්තාවල හැටියට මුල්ම ගුවන් යානය  Bao Dai අධිරාජයා සතුව තිබී 1945 දී උතුරු වියට්නාම් රජයට බාරදුන්  De   Havilland Tiger Moth යානයකි.


මොත් යානයේ අනුරුවක්


* 1949 දී හෝ චි මින් මුල් වී ගුවන් පර්යේෂණ කමිටුව [ Air Force Research Committe ] පිහිටුවාගන්නා ලදී.

* මුල්ම ප්‍රහාරක යානය  - T -28 Trojan යානයකි. 1964 පෙබරවාරියේදී  දී එමගින් C -123 වර්ගයේ ඇමරිකන් යානයක් බිම දමන ලදී

*1964 පෙබරවාරි - මුල්ම MIG -17 රුසියාවෙන් ලබා ගත අතර චීනයේදී නියමු පුහුණුවක්ද ලැබිණි . මෙයට සමගාමිව පළමු ගුවන් සටන් ඛණ්ඩය පිහිටවනු ලැබූ බව සඳහන් [ අගෝස්තුවේදී ],.

* 1965 අප්‍රේල් 3 පළමු මුහුණට මුහුණ ගුවන් සටන . ඇමරිකන් F -8 යානා දෙකක් බිම දැමුණ . ඇමරිකාව මෙය පිලි නොගත්   බව කියවේ .

* අප්‍රේල් 4 පළමු වරට F - Thunderchief යාන දෙක ක් බිම දැමුනා Thanh Hoa පාලමට පහර දෙන්න ආ වෙලාවේ. . මෙය දෙපසම පිළිගත් සංඛ්‍යාවක්

* 1965 දී MIG 21 යානා ලැබුන රුසියාවෙන්.

තව ඉතින් ඉතිහාසය දිගයි .  මට පොඩියට කම්මැලි කමකුත් ඇවිත්.

ඊට පස්සේ ඉතිහාසය සාරාංශ ගත කලොත් ...කොහොම හරි මේ විදියට රුසියාවේ ආධාරයෙන් වැඩි දියුණු  කල මිග් යානා ලැබුනත් ඇමරිකාව එවූ අති නවීන F -4 Phantom යානා වලට මුහුණ දෙන්න ශක්තිය මදි වුනා . මිග් විශාල ප්‍රමාණයක් විනාශ වුනා .

ඉතින් ඇමරිකන් ගුවන් යානා හිතු ලෙස ජය ගත්තද ? නැහැ . වියට්නාම් හමුදාව බිම සිට මිසයිල මගින් එව්වා බොහොමයක් බිම දැම්ම .

 ගොඩ බිම සටන ගැන අද ලියන්න බලාපොරොත්තුවක් නැහැ . ඉතුරු කටු ගෙවල් වලට ගිහින් විටින් විට ඒ ගැන කියන්නම් .

වියට්නාමයේ කුචි උමන් පෝස්ට් එකේ ටික ඒ ගැන ලිව්වත් නේ .

කොහොම වුනත් වාර්තා වල පරිදි ගුවන් හමුදාවෙන් යුද්ධෙට එතරම් දායකත්වයක් සපයාගන්න බැරි වුන බවයි කියවෙන්නේ .

ඒ කෙසේ  වෙතත් නටඹුන් අතර සැරිසරද්දී දුටු දේ තමයි ඉතාම ප්‍රාථමික පහසුකම් යටතේ ඔවුන් කර ඇති කාරිය නම් සුළු පටු නැති බවකුයි .


විනාශ වුන ඇමරිකන් යානාවක්

කටුක යුධ බිම වැයුන තාලය ..


හෝ මාමා සෙබළුන් සමග





ගුවන් ගමන් වලදී හෝ මාමා හිඳ සිටි පුටුව




වියට් සෙබළුන්ට මෙවන් අවිද තිබිණි


කව්දැයි මේ වීර සෙබළිය ???

උදව් කල අය

මෙයාව දන්නවද

අභ්‍යවකාශයට ගිය පළමු වියට්නාම් ජාතිකයා  සිය රුසියන් සගයා සමග



මිය ගිය ගුවන් සෙබළු









MI _6 යානයක්







ජංගම රේඩාර්

මගේ සතුටට ...ඕලු පැල කීපයකින් යුත් කුඩා විල ..එය නෙලුම් විලක් වේයැයි පතමි

ප .ලි.
අපි මේ අතීත ගුවනේ සැරිසරද්දී අපේ ලොක්කි සමනලයෙක් පසුපස දිව ගිය අතර ඒ නටඹුන් අතර ඇය දුටු මහඟු වස්තුව එයම බව මට සිතේ. එය ළමයින්ගේ සුන්දර ලෝකයයි.

Friday, 16 September 2011

වයසට නොයන මගේ ආදර සිබිල් නැන්දා...





කවුරුත් ලියුමක් නොඑවන හන්දා
තමන් එවූ ලියුමක් රස        වින්දා        
සුත්තරෙන් අත්තම්මව      බන්දා
පුන්චට දඟ වැඩ කිව්වේ    නැන්දා





බත් කන්නට මට බෑමයි     බෑමයි
බනියා කිව්වට මන් බය      නෑමයි
''උඩ ගිය බබා ''ගෙ පොත මා ගාවයි
බනියා දැන් බත් කන්නට      ආසයි






අවුරුදු කාලෙට කැවුම් බදින කොට
''කැවුම් යෝදයා '' එයි මගේ මතකෙට
''කිරිහාමි''ගෙ කොස් ගහ    කැපු වරදට 
වුන කරදර සිහිවෙයි කොස් කනකොට





අම්මයි අප්පයි  දෙව්ලොව ගිය කල
විමලුයි සාමයි  අත්තම්මගෙ  පැල
මැටියෙන් බැඳුනත් සතුටින් හිටි කල
''මැටි ගෙදර ''ක වුව මිණි පලිගුද දුල




ගොහින් කොළඹ බලමින් හොඳ හොඳ කඩ
කොස්ගම මාමා ගේන ගේන               කුඩ
කවුදැයි ගත්තේ ඕව නරක                   වැඩ
''කුඩ හොරා ''ගෙ ලිපිනය මහ ගහ       උඩ





අම්ම තාත්තට කරමු       උදව්වක්
බිම අතු ගාලා අරගෙන    ඉදලක්
කොළ යට සැඟවී තිබුණි පන්දුවක්
වැඩ කල හාවට ලැබුණි ''තෑග්ග''ක්














  සීයගේ මුණේ  කිරි සුදු රැවුලකි
දිගට වැවෙනු බැහැ කැපුවේ මියෙකි
මුවහත නැති වී වුයේ අරුමෙකි
''දුවන රැවුල '' නම් මට මහ පුදුමෙකි




සුන්දර ගම මැද ගෙවුනලු බාලේ
රස රස දේ සිදුවුන ඒ කාලේ
''වැනියන් කළු''ට  කියනා වෙලේ
පෙනේද මගේ හිත නැළවෙන තාලේ



''අත්තම්මා'' නම් වූ පොත්        පිංචකි
කුමාරන් කියන හොඳ කොලු පැන්චෙකි
වයසක අය ගැන ආදර           ඇත්තෙකි
ඒ වැනි දරුවන් දැකුමත්         සතුටකි


මඩගොඩ වලව්වේ වුන පැණි පිරුන කතා
නැන්දගේ පෑන් තුඩගින් හොඳ රසට ගොතා
අප අවටත් සිටින බව අඩු නැතුව       ඉතා
හිනැහෙමි තවම සමගින් මම කුසුමලතා



 මං පොඩි කාලෙ මේ රස හොඳ හැටි වින්දා
මගෙ පොඩි එවුන්ටත්  එය ගෙන  දෙමි කැන්දා
කවදත් ඔබ අසල  මං හරි පොඩි  හින්දා
තවමත්  සිබිල් මගේ ආදර බර නැන්දා


 මගෙ ආදර සිබිල් නැන්දාට මේ ලිපිය ආදරයෙන් පිරි නැමේ.


පින්තුර ඇයගේ වෙබ් අඩවියෙන් සහ ගුගල් වෙතිනි

Thursday, 15 September 2011

බිඳුන පවුරක කැබලි විසිරී...






තාප්ප ඉදි කරන්නේ කුමටද ? තම තමන්ගේ වැට මායිම් ආරක්ෂාවටය . නගරාසන්නයේ දී ගෙවල වහලය තෙක් බැඳී උඩින් වීදුරු කටු හෝ යකඩ උල් වලින් සන්නද්ධ වන්නේ මායිම් රැකීමටත් වඩා සොර සතුරන්ගෙන් බේරිමටය . මදක් නගරයෙන් ඈත් වෙද්දී තාප්පද කොට වන බව මට සිතේ . ගම්බදට වන්නට තාප්ප ඉතාම කොටය . අල්ලපු ගෙවල් දෙකේ නෝනලාට හොරෙන් අනෙකා දෙස බැලීමටත් හිතවත් කමක් ඇත්නම් ඕපාදුපයක් හුවමාරු කරගන්නටත් මේ කොට තාප්පය නිසා හැකි වේ . බොහෝ විට ගම පළාත් වල තාප්ප ඇත්තෙම නැත . කටු කම්බි වැටක් , මල් වැටක් හෝ මෑතකදී ජනප්‍රිය වුන දැල් වැටක් හෝ වැටක් කියා දෙයක් නැති වීමටද හැක .


මීට අමතරව තාප්ප අත්‍යවශ්‍ය ස්ථානද තිබේ . සිපිරිගෙයට ඉතා උස තාප්පයක් තිබිය යුතුය . බලාගෙන ගියහම තාප්ප ගැන හඳුන්වා දීමට රචනාවක්ම ලිවිය හැකි බව සිතේ . ආරක්ෂාවට අමතරව තාප්ප වලින් වැඩිම ප්‍රයෝජනයක් ඇත්තේ පාප්ප නාගෙන එල්ලී සිටීමට අවශ්‍ය කට්ටියට අවශ්‍ය කාලයට එසේ සිටිය හැකි වීමයි. තාප්ප වල පෝස්ටර් ඇලවීම හැම රටකම පුර වැසියන්ට ලැබෙන වරප්‍රසාදයක් නොවේ. මේ වියට්නාමයේද එය තහනම්ද නැතහොත් එසේ අලවන්නට අවශ්‍යතාවයක්ද නැති නිසාද නොදන්නා මුත් එසේ පෝස්ටර අලවන්නේ නැති බව නම් පෙනේ.


මෙතරම් තාප්ප ගැන කියන්නට වුනේ මැලේසියාවේදී දුටු එක්තරා තාප්ප කැබැල්ලක් නිසාය ..ඒ අනෙකක් නොව ''බර්ලින් තාප්පයේ'' කොටසකි.


 ''ජෙන් ටින්ග්'' හයිලන්ඩ් විනෝද උද්‍යානයේ පුදුම දේවල් වලට වෙන් වූ ස්ථානයේ දී මා විසින් ගත් එම තාප්ප කැබැල්ලේ පින්තුරයයි ඉහත ඇත්තේ  . මෙය කුඩා කොටසක් නොවේ . කාමරයක බිත්තියක් තරමේ කැබැල්ලකි . මෙය මාතුල මහත් විශ්මයක් ඇති කල මුත් පසුව දැනගත් පරිදි එම පවුරේ කොටස් විකිනීමට තබා ඇත. මෙය කියවන ඔබ මේ ගැන දැන සිටින්නට ඇත .

එහෙත් මට නම් ''බර්ලින් තාප්පයේ '' කෑලි විකුණන බව අලුත්ම ආරංචියක් වූ බව කිව යුතුමය . මෙන්න අඩවිය . තවමත් ඉතුරු වී ඇත්නම් ඔබටත් කෑල්ලක් ගන්නට පුළුවන .


විශේෂ කාරණය එපමණක් වන මුත් මේ ''බර්ලින් පවුර '' ගැන නොදන්නා කෙනෙක්ට මෙය අන්ඩර දෙමල සේ වනු හැකි හෙයින් පහත සටහන තබමි. අසු පිරු තැන් ඇත්තන් කමත්වා . එමෙන්ම මෙහි අඩු  ලුහුඬු  සදත්වා !!

කුමක්ද මේ බර්ලින් තාප්පය . 



එය ''බටහිර '' සහ '' නැගෙනහිර '' වෙන් කල පවුරකි   ...ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය වෙන් කල සංකේතාත්මක තාප්පයකි ...



දෙවෙනි ලෝක යුද්ධයෙන් ජර්මනිය පැරැදු ඇමරිකාව , බ්‍රිතාන්‍ය , ප්‍රංශය සෝවියට් රුසියාව ජර්මනිය තම තමන්ගේ බුදලයක් කරගත් අතර කොටස් හතරකට වෙන් කළා . කෙමෙන් කෙමෙන් ඇමරිකාව , ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය එක පසෙකට වී සෝවියට් රුසියාව අනෙක් පසට වුනා . මුලදී පැහැදිලිවම බෙදා වෙන් නොකලත් බටහිර -නැගෙනහිර ලෙස යම් බෙදීමක් ඇතිව වුනා . බටහිර පැත්තේ අයට නැගෙනහිරටත් නැගෙනහිර අයට බටහිරටත් යා හැකි වුනත් යම් යම් සැක සංකා     තිබුනා .




පැහැදිලිවම  බටහිර ජර්මනිය Federal Republic of Germany (West Germany) ප්‍රකාශයට පත් කෙරුනේ 1949 මැයි වලදී .


 1949 ඔක්තෝබර් වලදී German Democratic Republic  (East Germany) එහෙම නැත්නම් නැගෙනහිර ජර්මනිය ප්‍රකාශයට පත් වුනා .


බටහිර ජර්මනිය බටහිර ලෝකයේ මග යමින් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තටත් නැගෙනහිර ජර්මනිය සෝවියට් දේශයේ මග යමින් සමාජවාදී රටක් ලෙසත් බෙදී ගියා .


මෙතැනදී මේ දෙගොල්ලන්ගේ දේශපාලන පැටිකිරිය ගැනවත් කොයි ක්‍රමේ හොඳද කියලවත් කතා කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැති බව අවධාරණයෙන් කියන්න ඕන.



මෙයට සමගාමී ලිපිකිපයක් සත් සමුදුරේ පළවුනා . මෙන්න ලින්ක් එක . එතන හොඳ සංවාදයක් ඇති වී තිබුනා . මට ඒ තරම් ඔය ගැන දැනීමක් නැහැ .



ඉතින් මෙන්න මේ විදිහට ජර්මනිය දෙකඩ වුනා . ඒත් දෙපැත්තේ ජර්මන් වැසියන්ට ඒ මේ අතට යන්න ඒ හැටි ප්‍රශ්න තිබුනේ නැහැ . දේශ සිමා දාල වෙන් වුනාට දෙපැත්තේම නෑදැයෝ ඉන්න ඇති මේ මිනිස්සුන්ට.


පහු වෙනකොට නැගෙනහිර උදවිය බටහිරට යන්න වැඩියෙන් පෙළඹුනා . විශේෂයෙන් බුද්ධි ගලනය නවත්වන්න නැගෙනහිර ජර්මන් රජයට උවමනා වුනා . දෙපැත්තේම තර්ජන ගර්ජන හමුවේ පැවතුනේ සීතල යුද්ධයක් .


එක රාත්‍රියක ..හරියටම කියනව නම් 1961 අගෝස්තු 12 මැදියම් රැයේ බටහිර - නැගෙනහිර වෙන් වුණා. 


උදේ නැගිටින කොට බොහෝ දෙනෙක් තමන්ගේ දු දරුවන්ගෙන් ..දෙමාපියන්ගෙන් ..ඒ වගේම ආදරවන්තයින් ආදරවන්තියන්ගෙන් වෙන් කෙරිලා .




මුලින් කොන්ක්‍රීට් කණු සහ කටු කම්බි විතරක් තිබ්බ මේ මායිම කීපවතාවක් වෙනස් වෙලා 1975 සිට 1980 කාලේදී ස්ථිර කොන්ක්‍රීට් තාප්පය ඉදි වුනා .


නැගෙනහිරින් බටහිර පැත්තට එන්න ගිය අයගේ විවිධාකාර කතන්දර චිත්‍රපට වලින් පොත් පත් වලින් අපි දැකල තියනව. සමහරු උමන් හෑරුවා . සමහරු වායු බැලුන් වලින් අනෙක් පැත්තට ගියා . තව විවිධ ක්‍රම අතර මුර භටයන්ගේ  වෙඩි පාරවල් නොතකා තාප්පය දිගේ බඩ ගාන්නත් සමහරු නිර්භය වුනා . මිය ගිය ගණන විශාලයි.



කොන්ක්‍රීට් තාප්පෙකට ජාතියක් වෙන් කරන්න බැරි බව සහ ලෝකය දේශපාලන පිල් වලට ඉරි ගහල බෙදන්න බැරි වගට ඔප්පු කරමින් 1989 දී බර්ලින් තාප්පය බිඳ වැටුනා .



එයට කාන්තාවක් බොහෝ සම්මාදම් වූ බව අරුණිගේ ලිපියකින් දැන ගත්තා. බෙයර්බෙල් බොහ්ලෙ නම් වූ ඇය ගැන අරුණිගේ සටහනට මෙතනින් යන්න .




බිඳ වැටුන කිව්වට සම්පුර්ණයෙන්ම මුළු තාප්පෙම බිමට සමතලා වුනේ නැහැ . වර්ණවත් චිත්‍ර වලින් අලංකාර වෙච්ච එළිමහන් කලාගාරයක් වගේ ඉතුරු වෙලා තියෙන තාප්ප කොටස් වේගවත් ඉදිකිරීම් හමුවේ ටිකින් ටික ගැලවී යනවා . කෑලි කඩලා විකුණන අයත් අඩුවක් නැහැ,බිඳ වැටුන මේ තාප්පයේ කොටස් මිලට ගත හැකි බව කියන අඩවියට මෙතනින් ගොස් බලන්න .





ග්‍රැෆිටි සිතුවම් වලින් හැඩවී




කෑලි කඩා ගන්නා අය






මේ සම්බන්ධයෙන් විකිපීඩියාවේ කාරණා කියවන්න කම්මැලි හිතෙන තරමට සංකීර්ණයි . මන් වගේ කම්මැලියන්ට මෙන්න සරල අඩවියක් .




මගේ ජර්මන් මිතුරියක් කියූ පරිදි ටික කලකට පෙර නම් නැගෙනහිර පැත්තේ අයයි බටහිර පැත්තේ අයයි අතර කතා බහේ... අධ්‍යාපනයේ ..සහ ආකල්ප වල පොඩි වෙනසක් තිබුනත් අලුත් පරම්පරාවන් අතර එය නැහැ .




මේවා ඉතා පරණ කතා කරලා පිළුණු වෙච්ච දේවල් වුනත් මට හිතෙනවා කමක් නැහැ කියල ලිව්වට . 

 ජර්මනිය ගැන වෙනස් කතා කීපයක් තියන නිසා මේක මතු සම්බන්ධයි කියන්න පුළුවන්. හැබැයි මතු කියන්නේ කවද වෙයිද නම් දන්නේ නැහැ .






පළමු පින්තුරය හැර අනෙක් ඒවා  Google Images  




Thursday, 8 September 2011

කඳුලුත් ගෙනෙයි මුතු කැට... ..




එක්තරා කලෙක..... සැප්තැම්බර් 8..... වන දින ක පාසල හැරගිය ගමන්ම එක්තරා දැරියකට  තරග විභාගයකින් සමත්වී ගුරු පත්වීමකට ලිපියක් ලැබිණි . පමාවී ලැබුන ලිපියද ගෙන ඉසුරුපායට ගිය ඇයට පසු දිනම එක්තරා  ''සෞන්දර්ය අධ්‍යයන  ආයතනයක '' කෙටි පුහුණුවකට එන්නයි දැනුම් දීමක් කෙරිණි.


 සියල්ල හදිසියේය . අම්මගේ සුදු සාරි කපා සැකසු ඔසරි කීපයක් ඇය සතු වුයේ එවකට දහම් පාසල් ගුරුතුමියක් වූ හෙයිනි. ජීවිතේට කොට කලිසමක් ඇන්දේ නැති ඇයට කොට කලිසමක් යන ගමන් පිටකොටුවෙන් ගන්නට සිදු වුයේ ක්‍රීඩා කටයුතු සඳහාය .



පසු දින හැන්දෑ යාමයේ මවත් සමග එම ආයතනයට ලඟා වූ ඇය සිසුන් ලියා පදිංචි කල රැස්වීම් හල වෙත පා නැගීය. දොරකොඩ සිටගෙන සිටි සුදු උස පිරිමි ළමයාගේ රුව දුටුවද උනන්දුවෙන් බැලීමට ඇයට නොසිතිනි.


''පෙනේද මේ කෙට්ටු පොඩි එකීගේ ආඩම්බර . අනික්  හැමෝම මගෙන් ඇහුව කොතනටද යන්න ඕන කියල . ''ඒ පිරිමි ළමයාට එහෙම සිතිනි.


එතැන් සිට විවිධ ක්‍රියාකාරකම් ඇරඹිණි. පාසලේදී සියලු ක්‍රීඩා වලින් මග ඇර සිටි ඇයට උදේ පාන්දර පිනි බාමින් කබොක් ගොඩැලි වල වැටි වැටි අතපය තුවාල කරගනිමින් ක්‍රීඩා කරන්නටද සිදුවිය . පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්ම වැඩි ලකුණු ගත් යොවුන් වියේ වූ එම කණ්ඩායමේ බාලයා වුයේද ඇය යි. සියල්ලන්ගේම ආදරය ද දිනාගත් ඇය චිත්‍ර ගුරුතුමාගේ ප්‍රියතම සිසුවිය ද විය .


කිරි කළයට ගොම ඇබින්දක් වටුනාසේ පළාතේ ඉගෙනීම බාර ඇමතිතුමා දිනක් එතනට කඩා පාත් විය . ඇයගේ අවාසනාවට එතුමා ඇගේ ආසනයේ මන්ත්‍රී තුමාය .
''ආ මේ මගේ ආසනේ ළමයෙක් ..'' මේ බුරු වහන්සේ කියූ විට එතන පොළව හාරාගෙන හාරාගෙන යන්නට ඇයට සිතුනි.


දින දින ගෙවී පිරිමි ළමයා ඇය ගැන විශේෂ අවධානයක් නොපෙන්වුවද  ඔහු බොහෝ අසු පිරූ අයෙක් නිසා කණ්ඩායම තුල නිසැකවම බොහෝ දේවලදී නායකයා විය . පුහුණුවේ ඇයගේ දස්කම් පෙන්වීමට ඉහලම අවස්ථාවක් ලැබුනේ සිසුන් නිමැවූ සඟරාව තුලිනි.  එහිද මුලිකයා ''ඔහුය'' . ඇය ලියු කවි වලින් ...මෙන්ම අන් නිර්මාණ අත් අකුරින් ලිවිමෙන්ද  අපමණ දායකත්වයක් දිනි. මුල් කවරයද ඇයගේ සිතුවමකි.
ඉසුරුපායට ගොහින් පිටපත් කර සඟරාව සැමටම එක පිටපතක් දීමේ මුලිකයාද ඔහුමය .


ජිවිතයට අනගි අත්දැකීම එක් කල සුන්දරම දින දහය ගෙවෙන විට මෙම කුඩා කණ්ඩායම එක පවුලක් සේ දැනෙන තරමට ලංවී තිබිණි. යොවුන් විය එවැනිය . එමෙන්ම ඒ ටිකට සමහරු පෙම්වතුන් වී සිටියහ .
අවසන් දින උත්සවයේ නිවේදකයා සහ නිවේදිකාව තෝරා ගැනීමේදී ''ඔහුත් '' ඇයත්'' යෝජනා විය . ඇය මෙවන් කටයුත්තක් කිසිදා නොකළ අයෙකි. ''ඔහු '' මුතුහර ...යොවුන් සමාජ ..ආදියෙහි නිවේදන කටයුතු කර පලපුරුදුකාරයෙකි.


මේ ආඩම්බර කාරයාගේ නොයෙක් පාඩම් සහ බැනුම් ඇසීමෙන් ලද පුහුණුවෙන් පසු ඇය යම් පුහුණුවක් ලද අතර අවසානයේ සියල්ල යහතින් ඉටු කෙරිණි...

දැන් ඇත්තේ නික්ම යාමයි. ජිවිත කාලයක් සිටියා සේ එබිම හැර යන්නට කාටවත් උවමනා නොවිණි. එහෙත් සියල්ල හැරයා යුතු විය . දින කීපයකින් දිස්ත්‍රික්ක තුන පුරා ඇති දුෂ්කර පාසල් වල ඉගැන්වීමට ඔවුන් යා යුතුව තිබිණි.


මෙම කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඉතා ඉහල ලකුණු සමග විශ්ව විද්යාල වලින් කැඳවන තෙක් බලාසිටි අය වූ අතර ..අද මෙන් නොව ඇයගේ පරම්පරාව බොහෝ බලා සිටින්නට සිදුවූ අය වෙති. පාසල් අධ්‍යාපනය වත් නිමකළ හැකිවේදෝයි දෙගිඩියාවෙන් සිටි පරම්පරාවකි. ගින්නෙන් උපන් පරම්පරාවකි.
ඉනික්බිති සියල්ලෝ දුකින්ද ..නව ලොවක් හිමිවීමේ සතුටින්ද යුතුව විසිර ගියහ ..



...ඔහු මොහොතකට පෙර කෙටි පණිවුඩයක් ඒවා අද දින රෑ කෑමට ඒමට බැරි බව දැන්වූ අතර ඇය වසර ගණනාවකට එපිට අතීතයේ සුන්දර සිතුවිලි අතර අතරමංව සිටින්නීය  ඔහුත් ඇයත් හමුවූ දිනය සැමරීමට සුදුසු තෑග්ගක් ලෙස මේ සටහන තබන්න යයි මගෙන් ඉල්ලා සිටින්නීය . ජිවිතේ විවිධාකර කඩ ඉම් ගෙවා ඇවිදින් තවමත් ඇය තුල ඔහුට ඇති ආදරය මෙසේ ලියන්නයි මට අයදින්නිය .

මේ නෙලුම් මල පිපුනේ ඔවුන් වෙනුවෙනි.
කතා කරන්නට හරබර යමක් නොදුන්නට මිතුරනි සමා වුව මැන. ඇයගේ ඉල්ලීමට මට පිටු පානු බැරි විය.


......මල් විතරක් නෙමේ
කටුත් හරියට තිබුනේ
ඇනුණු කටු විසිකර
නෙලමු මල් දිවි උයනේ
  ..සිනහ වාගෙයි මිණිකැට
  කඳුලුත් ගෙනෙයි මුතු කැට..
එකට අරගෙන ගානට
අමුනමුද ජිවිතේ මාලෙට....

Thursday, 1 September 2011

මේ පුර සඳ ළමයින්ටයි



එකමත් එක කාලෙක ඉරවල් දහයක් එකවර පෑව්වා ලු . හිතා ගන්න පුළුවන්නේ රස්නේ තරම . කර කියාගන්න දෙයක් නැතුව මිනිස්සු අසරණ වෙද්දී ''හෝ යි  '' කියන දක්ෂ දුනුවායා ඉරවල් නවයක්ම දුන්නෙන් විදලා බිම දැම්මලු . ඉතින් දිව්‍ය ලෝකයේ රැජින [ මතක තියා ගන්න රැජිනක් ඉඳල තියෙන්නේ . රජෙක් හෙම නෙමේ ]  මේ හෝ යි ට දුන්නලු සදාකාලික වෙන්න හැකි ඔසුවක් . මෙයා මේක දුනලු තමන්ගේ රූමත් පෙම්බර බිරින්දෑට - එයාගේ නම ''චැන්ග්''. .-   පරිස්සමට අරන් තියන්න . බලන්න එදත් අද වගේම පඩි පැකට් එකම බිරිඳගේ අතට දෙන සැමියෝ ඉඳල තියෙනවා .
අනේ සුපුරුදු පරිදි''පෙන් මෙන්ග්''කියල දුෂ්ටයෙක් සැමියා නැති වෙලාවේ  ඇවිත් මේ ඔසුව ඉල්ලනවා . අසරණ වෙච්ච චැන්ග් එක හුස්මට මේක බීලා දානවා . ඊට පස්සේ සඳ වෙත පියාඹන්න හැකි වෙනවා . එදා ඉඳන් සඳේ ඉන්න මේ කරුණාවන්ත කාන්තාවගෙන් ආශිර්වාද ඉල්ලන්න සරත් සමයේ පුර හඳ යට අනගි සැණකෙළියක් පවත්වන්න මිනිස්සු පුරුදු වුනාලු.

තද හිරු රැසින් මිහිකත දවපු ගිම්හානය තව දිග නිවාඩුවකට අර අඳිනවා . විටින් විට හමන තද සුළඟ නිකම් පෙරහරට කලින් එන කස කරුවෝ වගේ සරත් සමය ලඟම එන බව කියනවා .කවුරුත් කියන පරිදි හැනොයි වල ලස්සනම කාලය තමයි සරත් සමය . ඉතින් චණ්ඩ හිරුරැස් වලට උත්සවාකාරයෙන් සමු දෙන්නයි කට්ටිය සුදානම් වෙන්නේ .
මට නම් ලස්සනම මල්සුවඳ විඳින වසන්තය . මගේ ඒ පරණ පෝස්ට් එක කැමති නම් කියවන්න . මල් නුවර මල් සුවඳ විඳ
.

..එකමත් එක කතා වලින් සරු වුන වියට්නාමය ''සඳ උළෙල '' සමරන්න ඔන්න මෙන්න . උණු උණුවෙම මේ ගැන ලියන්නයි මම අද හිතුවේ . අර බුද්ධාගම ආපු හැටි ඊ ළඟ ලිපිය කරන්න සිද්ධ වුනා . ඒ ගැන කට්ටිය සමාව දෙයි කියල හිතනවා .
මේ නැගෙනහිර ආසියානු කලාපයේම සමරන ''සඳ උළෙල '' ..[Moon festival  මම සිංහල බසට පෙරලුවේ එහෙමයි . ..] වියට්නාමයේදී සැමරෙන්නේ කොහොමද කියලයි මන් ලියන්න හදන්නේ . චීනය ..ඇතුළු මේ කලාපයම මෙය සමරන බවයි මගේ අදහස . අනික මුල් වෙච්ච ජනප්‍රවාදත් හුඟක් දුරට සමානකම් තියෙනවා . චිනෙදි අර දුනුවායට ලැබෙන්නේ බෙහෙත් කරලක් .  බිරිඳ ඒක ගිලදාලා. සැමියා කියනව ආපහු ඒක ඕන කියල . බිරිඳ හඳේ . හඳේ හාවා තාමත් බෙහෙත් කොටනවා ඒ කරළ හදන්න .
වියට්නාමේ තව කතාවක් තියනවා . ඒකෙදි සැමියාට ලැබෙන්නේ බෙහෙත් නුග ගහක් . ඒ ගහට මුත්‍රා කිරීම තහනම් . බිරිඳ ඕක නොදැන ගහ යට මුත්‍රා කරනවා . ගහ බිරිඳත් අරගෙන උඩට උඩට වැවිල දැන් ඇය සඳේ .


තවත් කතාවක දුප්පත් කොලුවෙක් ඕ වගේ සඳට ගියාලු . කොහොම හරි කවුරු හරි සඳට ගිය විත්තිය තමයි කියවෙන්නේ හැම කතාවේම . ඉතින් මේ සඳට ගිය අය ට ආපහු එන්න පාර පෙන්නන්න සඳ උළෙලදා අලංකාර පහන් සාදලා දල්වනවා . සමහර ඒවා අහසේ පාකර අරිනවා . මේ පහන් අපේ වෙසක් පහන් වගේ . හරිම ලස්සනයි . උණ බට තමයි වැඩියම යොදා ගන්නේ .



සඳ උළෙල වගේම මේකට Mid Autmn  festival [ කවුරු හරි ඕක සිංහලට හරවනවද . අපේ සරත් මහත්තය මා එක්ක තරහ වෙයි ඔය අනන් මනං නම් හැදුව කියල ]   කියලත් කියනව . ඒ කියන්නේ සරත් සමය පටන් අරන් පළමු පුර හඳ දවසේ තමයි මෙය පවත්වන්නේ . හරියටම දින වකවානු කියනව නම් 8 වෙනි චන්ද්‍ර මාසයේ 15 වෙනි දවසේ . චන්ද්‍ර මාසය කියන්නේ ලුනාර් කැලැන්ඩර ය අනුව මාස වෙන් කරන විදිහ . මේක චීනය අවට රටවල සම්ප්‍රධායක් . සඳ මුල් කරගෙන කැලැන්ඩර හැදීම චීනය අවට විතරක් නෙමේ මන් හිතන්නේ අපිත් ඉස්සර කළා . මැද පෙරදිග පැත්තෙත් එහෙමයි මන් හිතන්නේ . ඩින් ..ලකී ..ඒ ගැන කියාවි . මේ අවුරුද්දේ සැප්තැම්බර් 11 තමයි දවස .


ඔය පසුබිම් කතාවලින් පස්සේ අපි කෙලින්ම කතාකරමු මේ සඳ උළෙල ගැන . ඇත්තටම මෙය ළමයින්ගේ දවසක් . තනිකරම ළමුන් සතුටු කරන්න යොදා ගන්න හැටි හරි අපුරුයි .ඇයි මේක ළමයින් වෙනුවෙන් වෙන් වුනේ . ඒකත් ලස්සන රහසක් . අස්වනු නෙලන සමයක් මේ ගෙවෙන්නේ . අස්වනු නෙලන කාලය දෙමාපියෝ හේන් කුඹුරුවල වැඩ . ළමයි ගැන සොයන්න වෙලාවක් නැහැ . ඉතින් ඒ මග අරුණු කාලෙට වන්දි ගෙවන්න ළමයි සතුටු කරන්න තමයි මේ සඳ උළෙල වෙන් වෙන්නේ .

මුල් සිරිත පුර සඳ යට සිට ''Moon cake '' කෑමත් පහන් දැල්වීමත් වුනත් ඇත්තටම මෙය දැන් සංස්කෘතික උත්සවයක් වගේ . ඊටම ආවේනික සම්ප්‍රධායික කෙලිබඩු තනනවා ළමයින් වෙනුවෙන් . දැන් නම් චීන මාමලා ප්ලාස්ටික් වලින් හදල එවනවනේ නානාප්‍රකාර සල්ලම් බඩු. ඒත් ඉස්සර අපි කුරුම්බැට්ටි මැසිම ..ගොක්කොල රූන් පෙත්ත ..රබර් ගෙඩි බඹරය වගේ සරල කෙලිබඩු වලින් නැලවුනා වගේ මෙහෙත් ඒක ඒක ජාතියේ කෙලිබඩු හදල තියෙනවා . සහල් පිටි අනල පාට මිශ්‍ර කරළ සතුන් මල් වැනි ලස්සන නිර්මාණ කරනවා . විවිධ හැඩති වර්ණවත් පහන් සදනවා . බොහෝ විට සතුන් ..විශේෂයෙන් හාවා . .


Moon cake නම් මාසයකට පමණ පෙර සිට විකිනෙනවා . රවුම් හෝ හතරැස් හැඩේට සාදන මේ රසකැවිල්ල රසවත් වෙන්නේ නෙලුම් ඇට..මුන් ඇට පිටි ..දොඩම් ලෙලි වගේ දේවලින් . මැද්දේ බිත්තර කහ මදේ. හරියට හඳ වගේ . ඇත්තම කියන්න මට නම් බිත්තර දැක්කම එච්චරම ආස නැහැ . බිත්තර නොදාත් කලාතුරකින් හදනවා .


මකර සහ සිංහ නැටුම්....මකරා ඉතින් මේ කලාපයේ හරි ජනප්‍රිය සතෙක්නෙ . මකරු සිංහයෝ විදි බහිනවා නට නටා . බෙර කාරයෝ මකරු සිංහයෝ ඉන්න කණ්ඩායම් විදි දිගේ යනගමන් කඩ වලට ගෙවල් වලට ඇවිත් තමන්ගේ හැකියාවන් පෙන්වනවා . ඉවර වුනහම මුදල් තෑගී හෙම ලැබෙනවා . දැන් ඉතින් කොහෙත් ඕනෑම දේකට වගේ මේවටත් විශේෂයෙන් පුහුණු වෙච්ච කණ්ඩායම් ඉන්නවා . අපේ මුන් මහත්තයාගේ ඉස්කෝලෙත් ඔයින් උත්සවයක් තියෙයි . එදාට ළමයි වියට්නාමයේ සම්ප්‍රධායික ඇඳුම අඳිනවා .


ළමයින්ට නොයෙක් වැඩ සටහන් පැවැත්වෙනවා විවිධ ස්ථානවල . මුලිකවම ළමයි සතුටු කිරීම අරමුණ වුනත් ළමයින් දිරිමත් කිරීමට කතන්දර තියෙනවා .
ඔන්න ඒක කාප් මාලුවෙක් ට ඕන වුනාලු මකරෙක් වෙන්න . මේ මාළුවා ඒ ගැනම හිතලා මහන්සි වෙලා වැඩ කලාලු . අන්තිමට එයා මකරෙක්[ Ca  Hoa  rang ]    වෙලා පියඹල ගියාලු. තමන්ගේ අරමුණ වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීම තමයි මේ කතාවේ ආදර්ශය . ඒ නිසා වෙන්න ඇති මකර නැටුම් කරන්නේ . ඔන්න මකරට අමතර ආදායමක් සොයා ගන්න කාලයක් .


මකරුන් විදි බැස


 රෑ පහන්



මුන් කේක්..කේක් කිව්වට බනිස් ගෙඩියක ලක්ෂණ තියෙන්නේ . ''සඳ බනිස් '' වගේ නමක් නරකද




ප. ලි .
හෙට තමයි වියට්නාම් ජාතික දිනය . 1945 අගෝස්තු විප්ලවය සහ නිදහස් වියට්නාමය ඇති වීම හෙට සමරනවා . අපිට නිවාඩු .