Saturday, 29 October 2011

කුඩාරමින් ඔබ්බට - ජෙන්ගිස් ඛාන්කුබ්ලායි ඛාන් සහ පෝලෝ සමග සේද මාවතෙන් ඉවතට

කලින් ලිපි


 මොන්ගෝලියන් කුඩාරමක් [Ger ]
සේද මාවත ගැන කතාකරද්දී මොන්ගෝලියන් අධිරාජ්‍ය ගැන අමතක කරන්න බැහැ. තණබිම් අශ්‍රිතව කුඩාරම් සංස්කෘතියේ අසරුවන් වෙච්ච මොන්ගෝලියානුවන් අතරින් මතුවුණ ටෙමුජින්[ Temujin ] නම් කොලුවා කුඩා කල සිටම බුද්ධිමත් බැවින් සටන් කාමිත්වයෙන් සහ සංවිධාන ශක්තියෙන් කැපිල පෙනුනා . විවිධ කණ්ඩායම් වශයෙන් ජිවත් වෙච්ච මොන්ගෝලියනුවන් එක්සේසත් කරලා අධිරාජයක්  බවට පත් කරන්නත් එය නිකන්ම අධිරාජ්‍යයක් නොව මෙතෙක් බිහිවූ ලොකුම ගොඩබිම් අධිරාජ්‍යය හෙවත් මොන්ගෝලියන් අධිරාජ්‍යය දක්වා ව්‍යාප්ත කරන්නත් මුල් වෙච්ච ඔහු අපි කවුරුත් දන්නා ජෙන්ගිස් ඛාන් . නැත්නම් චින්ගීස්  ඛාන් .
ඔහු රජ වෙන්නේ 1206 වසරේදී . 1227 දී මියයන විට මොන්ගෝලියන් අධිරාජ්‍යය මෙසේය
ජෙගිස් ඛාන් නිකන්ම රජෙක් නෙමේ . ඒකාලේ හැටියට සෑහෙන දේශපාලන දැක්මක් වගේම සුවිසල් පාලන හැකියාවක් තිබ්බ පුද්ගලයෙක් . සිය අණසක පැතිරවිමේදී සිද්ධ වුන ලේ වැගිරීම් ඉතා විශාල බවට විවාදයක් නැහැ . විශාලම අධිරාජ්‍යය විහිදෙන කොට ඊට සමාන්තරව විශාල ලෙස මිනිස් ඝාතන සිදුවුනා . ඒ කෙසේ වුවත් ඔහු මදක්පිළිවෙලකට රාජ්‍ය පාලනය කල බව පේනවා . අශ්ව රන්චුත් එක්ක තැනින් තැනට යමින් හිටි කුඩාරම් සංස්කෘතියක් දියුණු කරන එක ලේසි වැඩක් නෙමේ . ඔහු නීති පද්ධතියක් ඇති කලා [Yassa ]. විශාල නීති ගණනාවක් තිබුනත් සංක්ෂිප්ත ලෙස ගත් විට හරය මුලික කොටස් තුනයි .
1..අධිරාජයාට කීකරු වීම.
2. ගෝත්‍රයන් එකලස් කිරීම
3. වරදට දඬුවම් දීම .
..මේ අතර වරද කරුවෙක් අදාළ අවස්ථාවේ අසුවුනොත් හෝ ඔහු පාපොච්චාරණය කලොත් මිසක දඬුවම් දෙන්න නොහැකි වුනා . අනික් අය සාක්කි දුන්නට වැඩක් නැහැ . [මම තමයි වලහ කියල කියවන
ක්‍රමත්  තියෙන්න ඇති ]
අනික තමයි කාන්තාවන් පහර ගැනීම තහනම් කළා . චින්ගිස්ගේ බිරිඳත් පෙර අවස්ථාවක පැහැර ගෙන ගිහින් සටන් කරලා තමයි මුදා ගෙන තියෙන්නේ . ඔහු මියගිහින් අවුරුදු සිය ගණනක් ගිහිල්ලත් තවමත් බැරි වුනානේ කාන්තාවන් පැහැර ගෙන යන එක නවත්වන්න . අපි වැඩි දියුණුවක් ලබලා නැහැ වගේ .
මොන ආකාරයේ සම්බන්ධයකින් වුනත් ඉපදෙන දරුවන් නිත්‍යානුකුල කළා . හැබැයි මොහුගේ පවුලේ වැඩි බලතල හිමිවුණේ ප්‍රධාන බිරිඳ වුන බොර්ටේ [ මෙයාව තමයි පැහැර ගෙන ගිහින් බේරා ගත්තෙත් ] ගේ පුතුන්ට තමයි . තවත් බිරින්දන් වරින් වර විවාහ කර ගත්තත් බොර්ටෙට කවදත් මුල් තැන ලැබුනා . දරුවන් ලෙස පුතුන් සහ දුවරුන් හිටියත් වැඩිපුර වාර්තා වෙන්නේ පුතුන් ගැන පමණයි .
ශාමෙනිසම් [Shamanism ] තමයි ඒ කලේ මොන්ගෝලියාවේ ප්‍රධාන ආගම . අහල ඇති ශාමෙන් වරු ගැන . ඒ ගැන වැඩිදුර මෙතනින් . හැබැයි චින්ගීස් ඛාන් අලුත් ආගම් වලට ඉඩ දීල තියෙනවා .
ටිබෙට් පැත්තෙන් ආපු මහායාන බුදු දහම ඒ කාලේ මොන්ගෝලියාවේ ව්‍යාප්ත වෙලා . ඒ වගේම ක්‍රිස්තියානි , මුස්ලිම් වැනි ආගම්ද සමහරු ඇදහු බව සඳහන් . චින්ගීස් ඛාන් සියලු ආගම් වල පුජකයින් බදු වලින් සහ රාජ්‍ය සේවයෙන් නිදහස් කළා .
ආක්‍රමණ සහ යටත් කර ගැනීම් අද ශිෂ්ට ලෝකයේ දී අපි පිළිකුල් කලත් දුර ඈත අතීතයේදී පැවැත්ම උදෙසා ඒ දේවල් අවශ්‍ය වෙන්න ඇති . ආක්‍රමණිකයෙක් වුනත් කුඩාරමින් ඔබ්බට ගිහින් ලෝකයේ විශාලම අධිරාජ්‍යය දක්වා ගිය ගමන නිසා චින්ගීස් ඛාන් එක්තරා වීරයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් . මේ ගැන කියවීම හරිම රසවත් . මගේ පෝස්ට් එක හුඟක් දික් කරන්න මගේ අදහසක් නැති නිසා කෙටියෙන් කිව්වත් ලපිය අවසානයේ දමන සබැඳි ඔස්සේ ගොහින් අතීත අධිරාජ්‍යයක අතරමන් වුවාට කොහෙත්ම පාඩුවක් නොවෙන බව කියන්න ඕනේ .
 
චින්ගීස් ඛාන් ගෙන් පසු මොන්ගෝලියන් අධිරාජ්‍යය උප කොටස් හතරකට බෙදුනා . ඔහුගේ පුතුන් සහ මුණුබුරන් ඒ ඒ ප්‍රදේශ යම් ස්වාධීනත්වයක් ඇතිව පාලනය කළා . එයින් මොන්ගෝලියාව සහ චීනය ඇතුළු ප්‍රදේශය අයත් කොටස ප්‍රධාන වුනා .
මාර්කෝ පෝලෝගේ සංචාර සටහන් වලදී හමුවෙන  කුබ්ලායි ඛාන් ගැන කතා කල හැක්කේ මෙතනදී .චින්ගීස් ඛාන්ගේ මුණුපුරෙක් වුන මොහු සිය වැඩිමල් සොයුරාට පසුව බලයට පත්වෙන්නේ මේ මහා ඛාන් අධිරාජ්‍ය එහෙම නැත්නම් මොන්ගෝලියාව සහ චීනය ඇතුළු වුන කොටසේ. කෙසේ වුවත් මේ කොටස් හතරම මහා මොන්ගෝලියන් අධිරාජ්‍ය ලෙස එකට ගණන් ගැනුණා.
ජෙන්ගිස් ඛාන් මියයද්දී අධිරාජ්‍යය කොටස් හතරකට බෙදා දුන්න .
සේද මාවතේදී මේ සියල්ලන් වැදගත් වන නමුත් මාර්කෝ පෝලෝගේ සටහන් හා සබැඳෙන නිසා කුබ්ලායි ගැන පමණක් සටහනක් තබන්නම් . අනිකුත් මොන්ගෝලියන් උප රාජ්‍යයන් ගැන වැඩිදුර කියවීමට මෙතනින් යන්න .
 කුබ්ලායි ඛාන්


බටහිර ප්‍රදේශ වල ඛාන් වරු මුස්ලිම් ආගම වැළඳ ගනිද්දී කුබ්ලායි ඛාන් බුදු දහමට නැඹුරු වුනා . පළමු වරට සිය අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට බුදුදහම නම් කළා . එමෙන්ම දේශපාලනිකව උපක්‍රමශීලි අයෙක් වුනා . කුඩා කණ්ඩායම් අතර බෙදී තිබුන චීනය එක් කර යුවාන් සමය ඇරඹුවේ ඔහුයි .
 කුබ්ලායි ඛාන් අධිරාජයා චීනයේ දියුණුවට ඉමහත් සේවයක් කල අතර සේද මාවත ගැන විශේෂයෙන් අවධානය යොමු කළා . එමෙන්ම යුරෝපය ගැන දැන ගැනීමේ පිපාසයකින් පෙලුනා . වෙළෙන්දන් වුන මාර්කෝ පෝලෝගේ පියා සහ පියාගේ සොයුරා [ Niccolo and  Maffeo ....විකියේ තියෙන්නේ Maffeo වුනත් තව තැනක Matteo යනුවෙන් සඳහන් ] තමයි මාර්කෝ ට  පෙර සංචාරය කර තිබෙන්නේ . වොල්ගා ගඟ බඩ සුරායි නගරයේ වෙළඳ කටයුතු නිමකළ දෙසොහොයුරන්ට ආපසු යාමට බාධා ඇතිවුනා . ආපු මාර්ගයේ තිබුන යුධ තත්වය නිසා . තවත් නැගෙනහිර දෙසට ගිහින් වට රවුමකින් ආපසු එන්න ආපු ගමනේදී අහම්බෙන් හමුවුන පිරිසක් මොවුන්ව චීනයට එක්කරගෙන ගිහින් . චිනේදී කුබ්ලායි ඛාන් හමු වුනා . බටහිර ගැන දැන ගැනීමට ඉතා ආශාවෙන් සිටි අධිරාජයාට මොවුන් හමුවීම ඉතාම සතුටක් වූ අතර කලක් මේ පෝලෝ සොයුරන්ව චීනයේ සත්කාර මැද තබා ගත්තා . දන්නවනේ රජවරුන්ගේ හැටි . මග හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී වගේ තමයි ඔය රජවරු ආශ්‍රය කිරීම .
කුබ්ලායි ඛාන් වසර කීපෙකට පස්සේ පාප් තුමාට ලිවුව ලිපියකුත් සමග මොවුන්ව ආපසු එවන්නේ දුතයින් වශයෙන් . කුබ්ලායි ඛාන්ට පාප් තුමන් හරහා බටහිර ලෝකය සමග සම්බන්ධකම් ඇති කරගන්න ඕනවුනා. ඉතින් ආපසු එනකොට යද්දී හිටි පුංචි මාර්කෝ ලොකු කොල්ලෙක් . අම්මත් මියගිහින් . ඒ කාලේ ගමන් ඔහොම තමයි . හිටපු පාප්තුමන් මියගිහින් ඒ දිනවල .අලුත් පාප් තුමන්ගෙන් පිළිතුරු ලිපියක් සහ තෑගිත් රැගෙන ආපසු කුබ්ලායි ඛාන් හමුවෙන්න යනවා . ජෙරුසලමේ පහනකින් ගත් තෙල් ටිකක් රැගෙන ගීය බව සඳහන් .අම්ම නැති මාර්කෝ මේ ගමනට එකතු වෙනවා .
ඒ 1271 වසර . ඒවෙද්දී මාර්කොට වයස අවුරුදු 17 යි . කලින් වතාවේ ගිය පාර මග ඇරලා මොවුන් වඩාත් උතුරට ගිහින් යලිත් දකුණට ඇවිත් හොර්මුස් [පර්සියන් බොක්කේ ] වෙත ලඟාවුනේ මුහුදු මාර්ගයෙන් චීනය වෙත යන්න . ඒ කාලය වෙද්දී මුහුදු සේද මාර්ගය වඩා ප්‍රචලිත වෙන්න ඇති . නමුත් ප්‍රාථමික මට්ටමේ යාත්‍රා දුටු විට ඔවුන් ඒ අදහස අත්හැර නැවත ගොඩබිම් මග වෙතට යොමු වෙලා . දකුණු සේද මාර්ගය ඔස්සේ පාමීර් හරහා [ ලෝකයේ පියස්ස ] ගිහින් චීනෙට ළඟාවෙද්දී වසර තුනක් ගතවෙලා .
පෝලෝ වරුන්ගේ ආගමනය කුබ්ලායි ඛාන්ගේ නොමද සතුටට හේතු වුනා . ඔවුන් ඛාන් අධිරාජයාට වසර 17 ක් සේවය කළා . යුවාන් යුගයේදී චීනයේ තිබුන ආශ්චර්යය පෝලෝ ගේ සටහන් වලින් මනාව පෙන්වනවා .  කෙසේ වෙතත් ගම රට මතක් වෙන්න ඇතිනේ . රජතුමා නම් කැමති වෙලා නැහැ ඔවුන්ව යවන්න . ඒත් පර්සියාවේ සිටි ඛාන් රජ පරපුරේ අර්ඝුන් රජතුමාට බිසවක් ඕන වුනා මේ කාලේදී . පෝලෝ ලගේ වාසනාවට මොන්ගෝලියන් කුමරියක්[ Kokachin ] අර්ඝුන් වෙත ගෙනයන පොරොන්දුව පිට ඔවුන්ට ගම රට යන්න කුබ්ලායි ඛාන් උදව් කළා .
මේ වතාවේ නම් මුහුදු සේද මාර්ගයේ තමයි ආපසු එන්නේ. මේ ගමන තමයි බොහෝ දුරට මුහුදු සේද මාවත ගැන අපිට උගන්නපු පොත් වල තිබුනේ . දකුණු චීනයේ Quanzhou වරායෙන් [ කලින් ලිපියේ කියූ Guanzhou නොවේ . එය ප්‍රධාන වාරයක් වුයේ හෑන් යුගයේදී . මේ කාලය වෙද්දී Quanzhou තමයි ප්‍රධන වරාය වුනේ ].පිටත් වුන යාත්‍රා 14 ක කණ්ඩායමට 600 ක් පමණ සිටියා . චීනයෙන් සින්ගප්පුරුවටත් එතනින් සුමාත්‍රා හරහා ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරායට පැමිණ තිබෙනවා .
එතනින් ඉන්දියාව හරහා ගොස් හොර්මුස් වෙත ළඟාවෙද්දී නැව් වල වැඩ කල ඇය හැර අනික් පිරිස 18 කට සිමා වෙලා . අර්ඝුන් රජතුමාත් එවන විට මිය ගිහින් . ඔහුගේ පුතා එක්ක තමයි ඇයට විවාහ වෙන්න වෙලා තියෙන්නේ .
ඉන් පස්සේ සතුටෙන් සමාදානෙන් පෝලෝ ල ගමරට ගිහින් . ඔවුන් ළඟ සෑහෙන ධනයක් තිබිල තියෙනවා . පසු කලෙක මාර්කෝ පෝලෝ සිරගත වෙලා වෙන සිවිල් යුධ තත්වයකදී . සිරමදිරියේදී තමයි ප්‍රසිද්ධ සංචාරක සටහන් ලියවිලා තියෙන්නේ . ඇතැම් කාරණා පෝලෝගේ අතේ රෝල් බව සමහරු චෝදනා කරනවා . ඇතැම් තැන් වලට සැබෑවටම නොගිය බවත් නොයෙකුත් අයගෙන් දැනගත් දේ සටහන් කර තැබූ බවත් චෝදනා කෙරෙනවා . ඒ කෙසේ වෙතත් මුළු ගමනම බොරුවක් නෙමේ . වෙනත් මුලාශ්‍ර වලින් තහවුරු වෙන කාරණා බැලුවමත් පෝලෝගේ සටහන් බොහෝ දුරට නිවැරදියි වගේ .
මාර්කෝ පෝලෝගේ සටහන් වෙනමම කතාකළ යුතුයි . මට තවම පැහැදිලි සටහනක් ලැබුනේ නැහැ කියවන්න . අනාගතේ දවසක ලැබුනොත් ඒ ගැන දිගට ලියන්න හිතනවා . මේ ලිපි පෙළ නවත්තලා සේද මාවතෙන් ගොඩ ඇවිත් සාමාන්‍ය දේවල් වලට මාරු වෙන්න කල් හරි වගේ .
මේ ටික ලියන්න ගිහින් මට ලැබුන දැනුම මෙතෙකැයි කියන්න බැහැ . දෙතුන් දෙනෙක් මේක කියවලා තිබුනත් මට ඇති .  ලද දැනුම නිසා මන් හරිම සතුටෙන් .
අන්තිමටම මට හිතුන දෙයක් තමයි සේද මාවත හා බැඳුන රාජ්‍යයන් ට මොකද වුනේ කියල හොයන එකත් හරි රසවත් .  අච්චර බලවත් මොන්ගෝලියන් අධිරාජ්‍යට අද ගිහින් තියෙන කල දන්නවනේ . ඇකිලිලා ඇකිලිලා පුරාණ මොන්ගොලියවටත්  වඩා කුඩා වෙලා ආයෙමත් පරණ කුඩාරම් සංස්කෘතියට ගියා වගේ . පසු කලෙක රුසියාවත් චිනෙත් අතර තැලෙන්න සිද්ධ වුනා . බොහොම මෑතක තමයි රටක් ලෙස ස්වාධින වුනේ .
මුහුදු මාර්ගයේ තිබ්බ  මලයාව නම් සිංගප්පුරුවයි මැලේසියාවයි ලෙස සෑහෙනදියුණුවක් ලබල . ලංකාවත් උන්නු හැටියට මලා මදැයි . පෝලෝ එද්දිත් රට තිබිල තියෙන්නේ බේද බින්න වෙලා . ඊට පස්සේ පෘතුගීසි ,ලන්දේසි  සහ ඉංග්‍රීසි කට්ටිය ඇවිත් ගිහින් රට ඇතුලෙත් යුද්ධ වෙලා මෙහෙම ඉන්න එකත් ඇති.
පෝලෝ සටහන් තැබූ සේද මාවතේ කැපී පෙනෙන රටවල් ..
   දකුණු වියට්නාමයේ .චම්පා රාජ්‍ය
  ජාවා දුපත් [ ඔහු සැබවින් ගොස් නැත ]
 මලයාව [ නුතන සිංගප්පුරුව සහ මැලේසියාව ]
 සුමාත්‍රා
 ශ්‍රීලංකා ...
  [  ලංකාව ගැන කල සඳහනේදී රජු සතුව තිබු විශාල මැණිකක් ගැන කියනවා . අල්ලක් තරම් වූ මෙම රතු මැණික කුබ්ලායි ඛාන් විසින් ඉල්ලා ඇතත් නොදුන් බව සඳහන් . මේගැන වැඩි විස්තරයක් දන්නා අයෙක්ගෙන් බලාපොරොත්තු වෙමි . වැඩි දුරටත් මන්නාරමේ මුතු ගැනද කියා තිබේ . පෝලෝ ලංකාව ගැන හරියටම තැබූ සටහන් සොයා බලා පසු දිනක කියන්නම් . සිංහල පොත පත සොයා ගන්නට බැරි අඩුව හේතුවක් ]
ඉන්දියාව සහ තවත් විශාල ගණනක් රටවල් ගැන විස්තර ලියා ඇත . මේ සබැඳිය එයට වැඩිය ආසා අයටයි
මෙන්න මන් උදව් කර ගත් සබැඳි  කීපයක් . වරින් වර කියවපු පොඩි පොඩි සබැඳි නම් අමතකයි . හැබැයි මුලිකවම මේ ටික තමයි උදව් වුනේ
ඔවුනට මගේ අනන්ත ස්තුතිය
විකියේ අනු සබැඳි වලින් අදාළ විස්තර ලැබුන  .එකින් එක සඳහන් කරන්න නම් වෙලාව මදි   
ඒ ඒ තැන් වලදී දී ඇති සබැඳි කියවිය හැකියි
සිතියම් සහ පින්තුර ගුගල් ඉමේජස් වෙතින්
Marco Polo and the Discovery of world ..By John Larner
Asian Civilization ...Book Series
Special thanks to UNIS library

Thursday, 20 October 2011

සේද මාවතේ මුතු ඇටය

කලින් ලිපියේ කතාකල විදියට චීනයේ Han යුගයේ සේද මාවත දියුණු වෙච්ච ආකාරය . හෑන් වරුන්ට පස්සේ මේ මාර්ගයන්ට සැලකිය යුතු මෙහෙයක් වෙන්නේ Tang යුගයේදී . හත්වන සියවසේදී Xuan Zhuang නමැති සංචාරකයා ටක්ලමකාන් කතරේ උතුරු පැත්තෙන් ගිහින් ඉන්දියාවට පැමිණෙනවා . බෞද්ධ ලේඛනයන් රැගෙන ආපසු චීනෙට යන්නේ දකුණු දිග කරාකොරම් හරහා වැටුන පාරෙන්.
ඔහු මග දිගට සංස්කෘතීන් සහ බුදුදහමේ ස්වරූපය හොඳින් අධ්‍යනය කළා . ඔහු චීනයේ බෞද්ධ ප්‍රබෝධයේ නියමුවෙක් ලෙසයි සැලකෙන්නේ . මේ යුගයේදී සේද මාවතේ ඇරඹුම වෙච්ච Changan ඉතාම දියුණු වුනා . ඒ වගේම විවිධ දිශාවෙන් ආපු වෙළෙන්දන් වගේම වෙනත් අයත් විශේෂයෙන් මිෂනාරි වරු සහ සැඟවුන චීනය ගැන කුතුහලයෙන් යුතු උදවිය Changan වල බහුල වුනා . චීනුන් මොවුන් දෙස ''බාබේරියන් ''නැත්නම් ම්ලේච්ඡ අය ලෙස බැලු බවයි සඳහන් . කොහොමටත් ඔටු තවලම් වලින් කාන්තාර වල මාස ගණන් යන්න මට සිලිටු අය ඉදිරිපත් වෙන්න නැතුව ඇති . මොවුන් තුර්කි ඉරාන වගේ බටහිර අය සහ නැගෙනහිරින් කොරියන් ජපන් වැනි ජනයාගෙන්  සමන්විත වුනා .
මන් බලපු කොරියන් වැඩ සටහනක තිබුනා චීනයේ මුස්ලිම් වරුන් ගැන . ඒ කාලේ ආපු අය වෙන්න ඇති .

Tan යුගයෙන් පස්සේ සේද මාවත ට විවිධාකාර බලපෑම් ඇති වුණා. එකක් චීනය දේශපාලනිකව අස්ථාවර වුණා . උතුරු ප්‍රදේශ වලින් ආයෙමත් ආක්‍රමණ ඇති වුණා . ඒ නිසා සේද මාවතේ ගමන් ගන්නන්ට ආරක්ෂාව අඩු වුණා .

අනික් හේතුව ඔය කාලේ වෙද්දී මධ්‍යම ආසියාව මුස්ලිම් වෙන්න පටන් අරන් . කුරුස යුද්ධය  ගැන අහල ඇතිනේ . දැනටත් ඔය මැදපෙරදිග , ඉරානය , ඉරාකය සහ '' ස්තාන් '' කියල අවසන් වෙන රටවල් බොහොමයක් මුස්ලිම් . මුස්ලිම් ආගමයි ක්‍රිස්තියානි ආගමයි අතර තිබ්බ ගැටුම් නිසා බටහිර පැත්තෙන් ආපු අයට මේ පළාත් තරණය කරන්න අපහසු වුණා . බොහෝ විට වුනේ මුස්ලිම් වරු අතරමැදි වෙළෙන්දන් විදියට කටයුතු කරපු එක . අදටත් මතයක් තියෙනවනේ මුස්ලිම් වරු ව්‍යාපාර වලට දක්ෂයි කියලා .
කොහොමින් හරි මේ නිසා චීනයත් බටහිරත් අතර යම් කිසි වෙන්වීමක් වුණා වගේ ආයිමත් . හැබැයි ඔය කාලෙටත් කලින් ඒ කියන්නේ Han වරුන්ගේ කාලේ වෙද්දීත් [ ක්‍රි. ව. 1 වෙනි සියවස කාලේදී පවා ] චීනය ත් මධ්‍යධරණී කලාපයත් මුහුදින් සම්බන්ධ වුණා .
විශේෂම සිද්ධිය වෙන්නේ මන් මේ ඉන්න හැනොයි වලට පහලින් තමයි ඒ මාර්ගය පටන් අරන් තියෙන්නේ . එය මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දියාව සහ ලංකාව හරහා වැටිලා තියෙන්නේ . පුදුමයක් නැහැ නේද මේ යුගයේදී ලංකාව සෞභාග්‍යමත් දේශයක් වීම ගැන . පොළොන්නරු යුගය පටන් ගත්තේ 7 වන සියවසේ විතර ඉඳන් නේද . මේ ගැන නම් කියවල ලියන්න මට වෙලාව මදි. අනික ලංකා ඉතිහාසය ගැන මට වඩා ලියන්න හැකි අයත් ඉන්න නිසා මන් මෙතන ඒ ගැන කියන්නේ නැහැ . හැබැයි මේ අනගි සම්බන්ධය ගැන මට හරිම සතුටුයි . වියට්නාමයත් ලංකාවත් අතර සම්බන්ධය ඈතට විහිදෙන නිසා .
වියට්නාමෙට බුදුදහම ආපු හැටි ගැන ගැන දැන් හිතා ගන්න පුළුවන්නේ . කෙලින්ම ලංකාවෙන් සහ උඩහ පැත්තෙන් චීන ආභාෂයෙන් වෙන්න ඇති . තව ඒ ගැන සොයන්න ඕන .
ඉතින් ගොඩබිම් මාර්ගයන් ටිකක් අඩුවෙන් පාවිච්චි වෙද්දී විකල්පයක් ලෙස පහලින් සමුද්‍ර මාර්ගය දියුණු වෙන්න පටන් ගත්තා . හරියටම සේද මාවත කියන මුහුදු මාර්ගය ඇරඹුණේ චීනයේ Guangzhou වලින් .
සමුද්‍ර සේද මාවත ....
මේක තේරුම් ගන්න නම් ලෝක සිතියම ගැන පොඩි අවබෝදයක් ඕනෑමයි . මට පොඩි කාලේ ඉඳන් තිබ්බ පිස්සුවක් තමයි සිතියම් පොත බලන එක . අන්තර්ජාලය නැති කාලේ මන් ලෝකේ පුරා ගියේ සිතියම් පොතේ නැගල . ස්කුල් බස් එකේදී අපි නිතර කරන සෙල්ලමක් තමයි සිතියම් පොතේ එක එක දේවල් සොයන එක . වෙන සෙල්ලමුත් කළා . ගල් සියඹලා කාල ඇට විසිකරන  එක වගේ .
ඔන්න ඔය නිසා මට නම් ලෝක සිතියම බොහෝ දුරට කට පාඩම් . මන් වගේ පිස්සෝ නොවෙන අය ට උඩ තියෙන සිතියම උදව් වෙයි මේක තේරුම් ගන්න ,.
දකුණු චීනයේ Guangzhou වලින් පටන් ගෙන වියට්නාමය පැත්තෙන් පහලට ඇවිත් තාය්ලන්තය , මලයාව [ ඒ කාලේ සිංගප්පුරුව කියල රටක් තිබ්බේ නැහැ . නුතන මැලේසියාවයි, සිංගප්පුරුවයි එකට ගත්තම කලාපයම හැඳින්නුවේ මලයාව කියල ] එතනින් මලක්කා සමුද්‍ර සන්ධියත් පහුකරලා බුරුමය ඉන්දියාව , ශ්‍රී ලංකාව ඔස්සේ ගොස් අරාබි  මුහුදට සම්බන්ධ වුණා . . තව පිලිපීන දුපත් සමුහයත් මෙයට එක්කහු වුණා .
අරාබි මුහුදින්  ගිහින් ඒඩන් වරාය හරහා ඊජිප්තුව ටත් අනික් පැත්තෙන් පර්සියන් බොක්ක හරහා ඉරානය අවට ප්‍රදේශය සම්බන්ධ කළා . පහලින් අප්‍රිකන් මහද්වීපයේ සෝමාලියාවේ ඉඳන් එන මාර්ගය ඒඩන් වලදී මේකට සම්බන්ධ වුණා .
සිතියමේ කහ පාටින් තියෙන්නේ ගොඩබිම ඉඳන් වරායන්ට සම්බන්ධ වුන මාර්ගයන් .
මට නිකන් හිතෙනවා ලංකාව මේ සේද මාවත කියන මාලයේ පෙන්ඩන්ට් එකක් වගේ කියල . පෙරදිග මුතු ඇටය කියල කියපු එකේ වරදක් නැහැ .
යුරෝපය සේද මාවතට සම්බන්ධ වුනේ මධ්‍යධරණී මුහුද පැත්තෙන් ඊජිප්තුව හරහා . නැත්නම් අප්‍රිකානු මහාද්වීපය වටේටම යන්න ඕන . පහු කලෙක ''සුවස් ඇළ'' නිසා රතු මුහුදයි මධ්‍යධරණී මුහුදයි යාවුනා .ඒ 19 වන සියවසේ ඒගැන ලින්ක් එකෙන් කියවන්න නොදන්නවා නම් .
 සේද මාවතේ අපේ රට ගැන ලස්සන ලිපියක් ගල් මල් අඩවියේ තිබුන . ඔහු ඒ ලිපියෙන් ඕනෑම දෙයක් ගන්න කියන්න තරම් පරිත්‍යාගශීලි වුනත් මන් හිතන්නේ එක ඒ හැටියෙන්ම කියවන එක වඩා සාධාරණයි කියල . මෙතනින් යන්න ඉකිබිඳියි ඔරලෝසු කුළුණ.
 මගේ වැටහීමේ හැටියට ගාලු වරාය සේද මාවතට සම්බන්ධ වෙන්නේ පසු කලෙක . උතුරු පැත්තෙන් තමයි මුල් පාර වැටිලා තියෙන්නේ . ඒ ගැන නම් මට සොයා ගන්න බැරි වුණා . ලංකා ඉතිහාස පොත් ආයේ පෙරලන්න වෙනවා . අවාසනාවට මට කිසිම පොතක් සොයා ගන්න බැහැ. ඇවිදින පුස්තකාලෙකින් හරි පොත් ගුලෙන් හරි ණයට ගන්නයි වෙන්නේ .හරියට නොබලා බොරු ලියවෙයි මන් ඕව ලියන්න ගියොත් . ඔලුවත් නැති කරගන්න වැඩ ඕවා .
මන් කල්පනා කළා නිකමට ඔය කාලේ අපේ රටවල් කොයිතරම් දියුණු වෙලා තියෙන්න ඇත්ද . සේද මාවතේ තිබ්බ ඉසුරුමත් රටවල් වල අද තත්වේ මොකක්ද . කොයි හොඳ දේත් නරක පැත්තක් තියෙනවා නේ . සේද මාවත හරහා හොඳ වගේම නරකත් අපට ලැබුනා . පහු කලෙක ආක්‍රමණ වලටත් මුල ඕක තමයි.
ඊ ළඟ කොටසින් මාර්කෝ පොලෝ සහ මොන්ගෝලියාව ගැනයි සේද මාවතේ අද තත්වය ගැනයි කියල මේ ලිපි පෙළ නවත්වන්නැයි මගේ අදහස . මෙයට සම්බන්ධ අතුරු කතන්දර විටින් විට ගෙන එන්නත් හිතන් ඉන්නවා කියවන්න ඉඩ ලැබෙන විදියට .
ප.ලි.
කාලය සොයා ගන්නේ කොහොමදැයි කවිකාරි අක්කයි , පොඩ්ඩි නගයි අහල තිබුන . මහ රෑ තමයි . ඊයේ සටහන හදල අද උදේ ලිව්වේ . බනී වේලාසන නිදා ගත්තම පොඩි බෝනස් කාලයක් ලැබෙනවා . තව ඔය සමහර අයට රාත්‍රී භෝජන හෙම තිබුනම ටිකක් වෙලාව තියෙනවා . අනික ඔය රෙදි ගොඩවල් දිහා හෙම බලන්නේ නැතුව ඉන්නත් පුළුවන් මට . ගානට නුලට ගෙදර වැඩ කරන යහපත් ගෘහනියක් නම් නෙමේ . පිළිවෙලට වැඩ ඕන කියල කරදරයකුත් නැහැ ගෘහමුලිකයගෙන් .


චීනයට ගොහින් හැබැහින්ම දැකල ලියන කවිකාරි අක්කගේ බ්ලොග් එකේ චිනේ ගැන අලුත් ලිපියක් පලවෙලා . පින්තුරත් එක්ක

Wednesday, 19 October 2011

සේද මාවත 4 .....චීනයේ සිට බටහිරට

 
ක්‍රි.පු. පලවන සියවස වන විට සේද මාර්ගය . Merv වලදී සියලුම මාර්ග එක් වන හැටි මේකෙන් හොඳට පෙන්නුම් කරනවා
සිතියම විකිපිඩියාවෙන්
 
.
විවිධාකාර අධිරාජ්‍යයන් ඇති වෙලා සේද මාවතේ බටහිර අන්තය ඒ කියන්නේ මුලිකවම මධ්‍යම ආසියාව දියුණු වෙච්ච හැටි කලින් ලිපියෙන් කිව්වනේ . මේ වන විට මහා පරිමාණයෙන් නැතත් චීනය සහ බටහිර ලෝකය අතර ගනුදෙනු වෙමින් තිබුනා . ඉතිහාසය ඉරක් ගහල කාලසීමාවන් පෙන්වන්න බැහැනේ . හැබැයි මේ ගනු දෙනු වෙන්න ඇත්තේ හුදකලා වෙළෙන්දන් මගින් වෙන්න පුළුවන් බවයි කියවෙන්නේ . අනික අතරමැදියන් ඉන්නත් නැතැයි.
 
බටහිර අන්තයට සාපේක්ෂව චීනය පැත්තෙන් මන් මාවත් දියුණු වුනේ ඉතාම හෙමින් . දේශපාලන තත්ත්ව වගේම ඒ පැත්තේ භූ විෂමතාවත් එච්චර මිත්‍රශීලි වුනේ නැහැ .
 
විවිධ සංග්‍රාමයන් මැද්දේ පළමු වරට චීන අධිරාජ්‍යයක් ප්‍රකාශ කලේ Qin යුගයේදී . [ක්‍රි . පුර්ව 221 ඉඳන් 207 දක්වා ] . ඔවුන් දකුණු දෙසට අධිරාජ්‍යය පුළුල් කල තරම් කොච්චරද කියනව නම් අපි මේ ඉන්න හැනොයිත් ඒ කාලේ Qin අධිරාජ්‍යයට අයිති වෙලා .
 
හැබැයි උතුරු දේශසීමාව පැත්තෙන් නිතර ආක්‍රමණ එල්ල වුණා. විශේෂයෙන් Xiongnu ගෝත්‍රිකයින්ගෙන්. නගරාරක්ෂාවට විටින් විට ඉදිකළ ප්‍රාකාර කොටස් එක්කහු කරලා එක දිග ප්‍රාකාරෙක මුලික අදහස ඇති වුනේ මේ කාලේදී .
 
 
ඉන් පස්සේ ආපු Hun යුගයේදී තමයි චීන ප්‍රාකාරය තව දුරටත් ව්‍යාප්ත වුනේ . හුන් යුගයේදී සේද මාවත බොහොම දියුණු වුණා . එයට මුලික හේතුව වුනේ Zhang Qian නැමැත්තා ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන .
 
 
චීනයට උතුරින් තර්ජනයක් වෙච්ච Xiangnu ගෝත්‍රිකයින්ට එරෙහිව සටන් කරන්න සමගි පෙරමුණක් තිබ්බ නම් හොඳයි කියල හිතපු Hun අධිරාජයා උතුරින් පලවා හැරපු Yuezhi වරුන් සොයන්න තීරණය කළා . මේ Yuezhi වරු තමයි කලින් ලිපියේ කතා කල ටක්ලමකාන් පැත්තෙන් පහලට ඇවිත් ඉන්දියාවෙන් ව්‍යාප්තවෙලා කුෂාන් රාජධානිය හදා ගත්තේ .
 
ඉතින් ඔවුන්ව සොයන්න පිටත් වුන Zhang Qian සහ පිරිස සතුරන්ට අසුවුනා . ඇත අඩංගුවේ කාලයක් ඉඳල පැනල ගිහින් yuezhi වරු හමුවුනත් ඔවුන් සමගි පෙරමුණකට කැමති වෙලා නැහැ .
 
 
ඒත් මේ ගමනින් චීන අධිරාජ්‍යයට මධ්‍යම ආසියාවේත් බටහිර ලෝකයේත් වැදගත් තොරතුරු ලැබෙනවා . විශේෂයෙන් ශක්තිමත් අශ්වයන් ගැන . ඉන් පස්සේ තමයි Hun රජවරුන් චීනය පැත්තෙන් බටහිරට යන්න පාරවල් දියුණු කරන්න පටන් ගන්නේ .
 
 
අතුරු මාවත් විශාල ගණනකින් යුක්තව සැදුන සේද මාවත ප්‍රධාන කොටස් දෙකක් ලෙස විස්තර කරන්න පුළුවන් . සරලව එහෙම බෙදුවත් අද වගේ කොළඹ නුවර පාර වගේ පැහැදිලි ලෙස තිබ්බ බෙදීමක් නෙමේ . කොයිකත් එකට එකක් සම්බන්ධ වෙලා . කාන්තාරය මැද  තියෙන කෙම්බිම්  හරහා හමයි මේ පාරවල් වැටිලා තිබුනේ .
එවකට චීනයේ අගනුවර වුන Changan [ නුතන Xian ] වලින් පටන් ගත්තු පාර
 
1. උතුරු මාවත
2. දකුණු මාවත
  
 ලෙස ප්‍රධාන කොටස් දෙකයි .
 
උතුරු මාර්ගය ....
 
. අතුරු මාවත් කීපයක එකතුවක් . චීනයේ Changan වලින් පටන් ගෙන එක් එක් පාරවල් වත්මන් කසකස්තානය , උස්බෙකිස්තානය , ඇෆ්ගනිස්ථානය වගේම කරාකුම් කාන්තාරය හරහාද වැටෙනවා . මේ සියල්ල වත්මන් ටර්ක්මෙනිස්ථානයේ Merv වලට කලින් එක්කහු වෙලා Merv වලදී දකුණු පාරට එකතු වෙනවා
 
දකුණු මාර්ගය .....
 
චීනයේ ඉඳන් කෙලින්ම කරාකොරම් කාන්තාරය හරහා වැටිලා පස්සේ උතුරු දෙසට හැරිලා  Merv වලදී උතුරු සේද මාර්ගයත් එක්ක එකතු වුණා . නුතනයේ පකිස්තානයත් - චීනයත් යාකරන කරාකොරම් අධිවේගී මග මෙය තමයි . කවුරු හරි ගිහින් තියෙනවද . ඇෆ්ගනිස්ථානය හරහාත් වැටිලා ඇති නිසා දැන් නම් ලේසි නැහැ ඔය පළාත .
 
චීනය පැත්තට බුදු දහම යන්න ඇත්තෙත් මේ දකුණු මාර්ගය හරහා . කෙලින්ම ඉන්දියාවෙන් ගියාටත් වඩා  ඉන්දියාවට උතුරු ප්‍රදේශ වලින් බුදු දහම චීනයට යන්න ඇතැයි සැලකෙනවා . ඒ ගැන නම් වෙනමම කතාකල යුතු මාතෘකාවක් .
 
ක්‍රි වර්ෂ පලවන සියවස වෙද්දී සේද මාවත එක පිළිවෙලකට දියුණු වෙලා තියෙනවා . හොඳ වගේම චීනයට මේ මාර්ගය නිසා සෑහෙන කරදරත් වෙලා . අනික වටිනා භාණ්ඩ එහා මෙහා යද්දී සොර කල්ලි වලින් බේරෙන එක ලොකු ප්‍රශ්නයක් වුණා . තවලම් වලට අමතර ආරක්ෂාව අවශ්‍ය වුණා .
 
තව දෙයක් කියන්න ඕන . මේ තවලම් මුළු දුරම ගෙව්වේ බොහොම කලාතුරකින් . මගින් මගට විවිධ ස්ථානවලදී බදු හුවමාරුව තමයි වුනේ . අතින් අතට ගිහින් භාණ්ඩ නියමිත අන්තයට ගියේ ගොලුබෙලි ගමනින් .
.
ක්‍රි.පු . මුල් හරියේදී චීනයේ ඉඳන් මුහුදු මාවත ඇති වී තිබෙනවා . තව ලිපි දෙකකින් විතර මේක ඉවර කරන්න ඕන . මොන්ගෝලියන් අධිරාජ්‍යය ගැනයි මාර්කෝ පෝලෝ ගැනයි මුහුදු සේද මාර්ගය ගැනයි ලියන්නම ඕන . එයින් පස්සේ මන් නිදහස් .
 
 
ප .ලි .
මෙන්න අදයි දැක්කේ . විකියේ සිංහලෙන්ම සේද මාවත ගැන ලිපියක් තියෙනවා . මෙතනින් යන්න

Sunday, 16 October 2011

සේද මාවත 3 .... පර්සියාවේ සිට කනිෂ්ක රජු දක්වා ....

සේද මාවතේ පළමු කොටස
                 දෙවන කොටස



සේද මාවත මුලින් ගොඩබිම් මාර්ගයක් පමණි . පසු කලෙක එක් වූ මුහුදු මාර්ගයද ඇතුළුව කොටස් තුනකි  .

1. උතුරු ගොඩබිම් මග


2. දකුණු ගොඩබිම් මග

3. මුහුදු මග


ගොඩබිම් මගෙහි මුලික අරමුණ ටක්ලමකාන් කාන්තාරය තරණය කර චීනයට ඇතුල් වීමත් චීනයෙන් පිටවීමත් කියල හිතන්න පුළුවන් .

සරලව ගත්තොත් මේ කාන්තාරයට බටහිර පැත්ත ඉරානය [ පුරාන පර්සියාව ]සහ ඒ අවට රටවල් . එයිනුත් ඔබ්බට මධ්‍යධරණී ප්‍රදේශය [ රෝමය සහ අවට ප්‍රදේශය ]. යුරෝපයද මේ බටහිර කොටසටයි අයිති වුනේ .

කාන්තාරයට නැගෙනහිරින් චීනය . බටහිරයි නැගෙනහිරයි දෙවිදියකට දියුණු වුනා .
සේද මාවතේ බටහිර අන්තය ඉක්මනින් දියුණු වුනා . ඒ බටහිර පැත්තේ ප්‍රබල අධිරාජ්‍යයන් ඇති වීම වගේම නැගෙනහිර පැත්තට වඩා පහසු භූගෝලීය සැකැස්ම නිසා .

ඒ කාලයේ පර්සියන් අධිරාජ්‍ය මැද පෙරදිග විශාල කොටසක් අල්ලාගෙන හිටියා . දකුණින් ඉන්දියන් රාජධානිය දක්වාම විහිදුනා . ඉන්දියන් රාජධානියත් එක්ක වෙළඳ ගනු දෙනු සිදුවුනා . එකල ඇති වුනමාර්ගය සේද මාවතේ කොටසක් වර්ධනය කළා . මෙය ප්‍රධාන මාවතේ හරස් පාරක් කියන්න පුළුවන් . මෙම ප්‍රදේශය නුතන පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අයිති කලාපය .

හැබැයි මහා ඇලෙක්සැන්ඩර් ක්‍රිස්තු පුරවා 325 දී පමණ පර්සියන් [ ඉරාන ] අධිරාජ්‍ය යටත් කරගත්තා . මේ ප්‍රදේශයේ ග්‍රීක් සංස්කෘතිය පැතිර ගියා . තියෙන සාක්කි අනුව මහා ඇලෙක්සැන්ඩර් ගේ හමුදාවල අයගෙන් පවත එන අය දැනට උතුරු පකිස්ථානයේ Hunza නිම්නයේ ඉන්නවා.

පාර්තියන්[Parthiyan ]  අධිරාජ්‍ය විසින් මේ ප්‍රදේශය ග්‍රිකයින්ගෙන් අල්ල ගන්නවා . පාර්තියන් කියන්නේ ඊසාන දිග ඉරානයෙන් බිහිවෙලා ඉරානය ,ඉරාකය , ආර්මේනියාව , තුර්කියේ කොටසක් , ජෝර්ජියාව, අසර්බයිජානය , ටර්ක්මෙනිස්ථානය , ටජිකිස්ථානය , ඇෆ්ගනිස්ථානය සහ කෙටිකලකට පකිස්ථානයද අයිති  වෙච්ච අධිරාජ්‍යයක් .

මේ කාලේදී උතුරු ටක්ලමකාන් පැත්තෙන් පලවා හැරපු Yuezhi ජනතාව උත්තර ඉන්දියාව වාසභූමිය කරගත්ත . ඔවුන් පසුකලෙක ඉහත කිව්ව ප්‍රදේශයට සංක්‍රමණය වෙලා කුෂාන් අධිරාජ්‍ය පිහිටුවනවා . ඒ සමග තමයි ඔවුන් ඉන්දියාවෙන් ගෙනා බුදුදහම ප්‍රදේශයේ ස්ථාපිත වෙන්නේ .
කනිෂ්ක රජතුමා ගැන කට්ටිය අහල ඇති . බුදුදහම මහායාන හීනයාන විදියට බෙදෙන්නේ ඔහුගේ කාලේදී . මේ ගැන මට වඩා දන්නා කෙනෙක් විස්තර කරයි කියල බලාපොරොත්තු වෙනවා .


මෙතනදී තමයි සංස්කෘතීන් කීපයක් මිශ්‍රණයෙන් අපුරු සංකලනයක් මැවෙන්නේ . පර්සියන් [මැදපෙරදිග පැත්තේ ] ...ග්‍රීක [ මධ්‍යධරණී පැත්තේ ] ....උතුරු චීනයෙන් ආපු මිනිස්සුන්ගේ සහ අපි දන්නා ඉන්දියන් සංස්කෘතියේ මිශ්‍රණය කොයිතරම් අපුරුද.

ග්‍රීක අභාෂයෙන් මේ කුෂාන් රාජධානියේදී තමයි බුදු හිමියන්ගේ පිළිරූ වලට මිනිස් ස්වරුපයක් ලැබෙන්නේ . මම වැරදි නම් නිවැරදි කරන්න . මේ කාරණා ගැන අන්තර්ජාලය මතම විශ්වාසය තබන්න මන් අකමැතියි .

සේද මාවත කියන්නේ මන් සලකුණු විතරක් කියල ඉවර කරන්න බැරි කතාවක් .

. මේක අති විශාල සංස්කෘතීන් මිශ්‍ර වෙච්ච කතන්දර ගොඩක් . සේද මාවතේ මේ හරස් පාර වැටුන ප්‍රදේශයේ කතාව සංකීර්ණයි . ඒත් ලස්සනයි .


සේද මාවත ගැන ලියද්දි මේ අතුරු කතා ලිවිම ගැන අමනාප නොවෙනු ඇතැයි සිතනවා .පාන්දර එකත් වෙලා . මන් තාම ටක්ලමකාන් කාන්තාරෙට ඇතුල් වෙන්නේ නැතුව අහල පහල රස්තියාදු වෙනවා .
පරණ පුරුදු රටාවේ ලිපි නැතුව බලාපොරොත්තු කඩ කරන් යන අය සමාවෙන්න . මේ වැටිච්ච වලෙන් ගොඩ එන්නත් එපාය  මන් . අතරමග නවත්වන්නත් බැහැනේ . එක පාරට ලියන්න වෙන්නෙත් ටිකයි . මේ ටික ලියන්නත් ගොඩක් කියවල මමම තේරුම් අරන් සැක අර දැනගෙනනේ ලියන්නේ . කන්දක් විලිලා මි පැටියෙක් වැදුවා වගේ තමයි .

අදට ඇති ..මතු සම්බන්ධයි

Wednesday, 12 October 2011

සේද මාවත .....2

කියවා ඉවර කල නොහැකි මහා විස්තර ගොඩක් තියෙනවා සේද මාවත ගැන . විවිධාකාර සංස්කෘති ගැනද ඒ ඒ කලාපයන්හි විකාශය ගැනද දිගින් දිගට විහිදුන ඉමක් කොනක් නැති කතන්දර රාශියක් සේද මාවතට පැටලිලා. දවස් ගානක් තිස්සේ කියවනවා කොහොමද මේක සරල කරලා ලියන්නේ කියල . පොඩි කාලේ අපට මේක නොතෙරුනේ මේ සංකීර්ණ බව නිසා කියලයි මට හිතෙන්නේ .
බොහෝ දෙනෙක්ට ඉතිහාසය අප්පිරිය වෙන්නේ මේ එකිනෙක පටලැවී ඇති සංකීර්ණ විලාසය නිසා කියලයි මට හිතෙන්නේ . ඉතිහාසෙට බොහොම ආස මටත් මෙහෙම නම් ඕක පේන්න බැරි සඳරු මලය ගැන හෙම කවර කතාද .
හද ගී පොතේ තිස්ස කියල තිබුන තමන්ට යමක් හොඳටම තේරුනා නම් මිත්තනියට පැහැදිලි කරන්න හැකි වෙන්න ඕන කියල .
මෙතනදී මගේ ඉලක්කය සඳරු වගේ අයට තේරෙන විදියට ලිවිම .
සේද මාවත සරලවම කිව්වොත් මධ්‍යධරණී කලාපයේ විශේෂයෙන් රෝමයේ සිට චීනය දක්වා ගිය මාර්ගය . චීනය සහ බටහිර ලෝකය අතර සම්බන්ධය ඇති කල පාර . වැඩේ ලේසි වෙන්න මෙන්න සිතියමක්. මේ සිතියමේ පේනවද චීනයෙන් බටහිරට වෙන්න ඇති රටවල් ටික .




කවුරුත් දන්නා පරිදි චීනය ලෝකෙට නව නිපැයුම් රැසක් ලබාදුන්නා .  , වෙඩි බෙහෙත් ,කඩදාසි ,මුද්‍රණ කර්මාන්තය , කාන්දම් මාලිමාව , මල්වෙඩි .තේ .තව මහා ගොඩක්  . මොනව හරි හොයාගත්තේ කව්ද කියන ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැත්නම් බය නැතුව චීනය කියන්න . බොහෝ විට හරියනවා.
ඉතින් මුලින්ම සිල්ක් සොයා ගත්තේ චීනය . ඒ ගැනත් රසවත් කතා තියෙනවා .
කලෙක චීන අධිරාජයා වුන Huang Ti [ කහ අධිරාජයා ] ගේ දේවිය Lei Tsu තමයි මුලින්ම සිල්ක් [සේද ] සොයා ගත්තේ . දිනක් ඇය උද්‍යානයේ තේ බොමින් ඉදිද්දී උණු තේ කෝප්පෙට පණු කෝෂයක් [cocoon ] වැටිලා . සමනලයාගේ ජිවන චක්‍රය දන්නා ඕනකෙනෙක් කෝෂය දන්නවා .
උණුවතුරෙන් තැම්බිලා මේ කෝෂය වටේ ඇති නුල් දිලිසුනාලු. මේ නුල් දිග ඇරලා රෙදි විවීමේ අදහස මේ බිසවට ඇති වුනාලු.
ඒ තමයි පටපණු කෝෂයෙන් සේද නිපදවීමේ කතාව .
ඉතින් චීනයේ සේද වලට
 යුරෝපයේදී සහ මධ්‍යධරණී කලාපයේ ඉහල ඉල්ලුමක්  ඇති වෙලා . විශේෂයෙන් රෝම අධිරාජයේ . කොහොමද මේ සේද මිලට ගන්නේ . මොකෝ  දැන් වගේ ඉන්ටර්නෙට් එකෙන් ඉල්ලුම් කරලා ගේ දොරකඩට ගෙනත් දෙන කාලයක් නෙමේ  ඒක


ඒත් එක්කම චිනේටත් ඕන වුනා බටහිර සමග සම්බන්ධකම් ඇති කරගන්න . ඒ වගේම විවිධ දේවල් මිලදී ගන්න . විශේෂයෙන් අශ්වයන් . දැන් ඇෆ්ගනිස්ථාන් තියෙන පැත්තෙන් හොඳ අශ්වයෝ මිලදී ගන්න එක චීනයට ඉතාම වැදගත්  වුනා . තව බටහිරත් එක්ක තානාපති සබඳකම් ගැනත් චීනය උනන්දු වුනා .
ඔය කොයිකටත් තිබ්බ විශාල බාධකය හරි හමන්පාරක් නැති එක . පාරක් තියෙන්න විදිහකුත් නැහැ . චීනෙට ඇතුල් වෙන්න නම් ඇති බිහිසුණු ''ටක්ලමකාන් '' කාන්තාරය පසු කල යුතුම වුනා .


මොකක්ද මේ ටක්ලමකාන් කාන්තාරය .

ලෝකයේ විශාලම කාන්තාර අතරින් එකක් . ඒ වගේම ලෝකයේ ඇති දුෂ්කරම පරිසර තත්වයන් ගෙන් එකක් . වත්මන් චීනයේ වයඹ පැත්තට වෙන්න විහිදිලා තියෙන්නේ . වැඩි විස්තර කැමති අයට ලින්ක් එකෙන් යන්න පුළුවන් .
කෙම් බිම් ඉතාම අල්පයි . වැඩිහරියක් වැලි කඳු . ගිම්හානයේදී අංශක 40 ක් [සෙල්සියස් ] විතර 50 ක් වෙනවා බොහෝ විට . රැය සීතලයි සෙල්සියස් අංශක 20 ට අඩුයි .  ''ටක්ලමකාන් '' කියන එකේ තේරුම '' ඔබට එහි යාහැකියි . නමුත් එලියට ආ නොහැකියි '' .
නමින්ම තේරෙනවනේ අමාරුව.
ඒත් මේ කාන්තාරය තරණය කරන්න තරම් දිරිමත් මිනිස්සු හිටිය . කතර මැද ඇති කෙම් බිම් කීපය හරහා අතුරු මාවත් කීපයකින් චීනය සහ බටහිර ලෝකය සම්බන්ධ වුනා . මේ පාරෙන් ගෙන ගියේ සේද විතරක් නොවේ. දකුණින් විශේෂයෙන් ඉන්දියාවෙන් මැණික් , ඇත් දල චීනෙට ගියා . බටහිරින් අශ්වයින් රට ඉඳි විදුරු භාණ්ඩ සහ නොයෙකුත් දේ චීනෙට ගියා .



ඒ එක්කම සංස්කෘතීන් මිශ්‍ර වුනා . ආගම් මිශ්‍ර වුනා . විශේෂයෙන් බුද්ධාගම ඉන්දියාව පැත්තෙන් චිනේටත් බටහිර සහ මධ්‍යම ආසියාවටත් යාමට මුලිකම හේතුව මේ මාර්ගය . ඉන් පසු ක්‍රිස්තියානි ආගම බටහිර පැත්තෙන් ආසියාව දෙසට පැතිරුනා .
විශේෂම දේ තමයි ඒ කාලේ මේ පාරට සේද මාවත කියා කිවේ නැහැ . 19 වන සියවසේ ජර්මන් ජාතිකයෙක් තමයි මේ නම දැම්මේ .

අදට මදැයි. වැඩියම ලිව්වොත් එපා වෙයි. කාට හරි විශේෂ තැන තියෙනවා නම් අහන්න පුළුවන් . ඊළඟ පොස්ට් ඒකට දාන්න .
ලකී සහෝදරයා සොයා දීපු යු ටියුබ් ලින්ක් එක මෙන්න . හරිම ලස්සනයි . එකතැන ඉඳන් බලන්න වෙලා නැති එක තමයි ප්‍රශ්නේ . අපිට මෙව්වා පෙන්නද්දී අගයක් නැති හැටි.

ගල්මල් අඩවියේ ඩීන් අය්යා විශේෂයෙන් විස්තර ටිකක් එව්වා . ලංකාව මේකට සම්බන්ධ වෙන හැටි . ඉදිරි ලිපියකදී කතා කරමු .



විශේෂම ප්‍රශ්නයක් ඇර මේ ලිපි පෙලේදී එක එක කමෙන්ට් වලට පිළිතුරු දෙන්න ඉඩකඩ මදි නිසා ඒ ගැන නම් සමාවෙන්න ඕන . කමෙන්ට් එකක් දැම්මම වචනයක් හරි නොකීම හරියට ගෙදරට ආපු මනුස්සයට තේ එකක් නොදී ඇරිය වගේ . මේක ඉවර වුනාම කේක් කාල තේ බොමු . කමක් නැහැනේ


විස්තර නම් අන්තර්ජාලයෙන් තමයි . හැබැයි කියෙව්ව තරමට ලින්ක් ටික මතක නැහැ . අන්තිමට සේරම එකතු කරලා දාන්නම්


Monday, 10 October 2011

සේද මාවත ..ඇවිද යන සඳ

දිගු ලිපියක් ලියන්නට ඉඩක් නැති බව දැන දැනත් අද මා අත ගසන්නේ මහා දිග කතාවකට . ටික දිනකට පෙර කියවූ පොත් දෙකකින් හිස පිරවූ එකිනෙක සබැඳි කතන්දර විශාල ගණනක් එකිනෙක බැඳුනු ලිපියකට මුල පුරන්නේ මගේ හිතුවක්කාර හිතයි ....මා නම් නොවේ .
ගිය සතියේ දිනක පාසල් පුස්ථකාලයේමුල්ලකට වී සිටි මා දුර ඈත මොන්ගොලියාවට රැගෙන ගිය ''Horse Song '' සහ  ගෙදර ගෙනවිත් කියවූ ''Marco Polo 's Travels On Asia 's Silk Road " පොතත් නිසා කුඩා කල අපුරු ගුප්ත බවකින් මා චමත්කාරයට පත් කල සේද මාවතේ යලි ඇවිද  යමි .ඔබත් එනවාද  ?

මොකක්ද මේ සේද මාවත .[Silk Road ].....
අද මෙන් පැය කීපයකින් රට රට තරණය කල හැකි ගුවන් ගමන් නොතිබුණ දුර ඈත අතීතයේ සමස්ත ආසියාව, යුරෝපය උතුරු හා නැගෙනහිර අප්‍රිකාව එකට යාකල පාලමයි  මේ සේද මාවත . චීනයේ අනගි නිපැයුමක් වූ සිනිදු සේද වෙළඳාම ප්‍රධාන කොට ගත් නිසා සේද මාවත යයි නම් වුනද  මේ මග ඔස්සේ අනෙක විධ භාන්ඩ හුවමාරු වින  . එපමනක් නොවේ සංස්කෘතීන් මිශ්‍ර වූ අතර ආගම් පැතිර ගියා . ලෙඩ රෝග  සංක්‍රමණය වුනෙත් ඒ ලෙසමයි.
චීනයේ සිල්ක් ,පෝසිලෙන් , තේ වලට මෙන්ම ඉන්දියාවේ ඇත්දළ , මැණික් , කුළුබඩු වලට යුරෝපයේ ඉහල මිලක් ලැබුනා . නේක දුක්  විඳගෙන වෙළෙන්දන් කටුක කාන්තාර ගිරිහෙල් තරණය කර මේ මාවත යනෙන ගමන් වලදී කොපමණ මිය යන්නට ඇත්ද . එහෙත් මිනිසා  දිරිමත්ය.
කරුණු කාරණා සොයා බැලීමේදී පෙනෙන්නේ සේද මාවත යනු එක් සුමට පාරක් නොවෙන බවයි .

ඉහත සිතියමට අනුව දැලක් ලෙස විහිදුන මාවත් කීපයක එකතුවක් බව පෙනේ . මුලික වශයෙන් උතුරු , දකුණු සහ මුහුදු  මාර්ගය ලෙස කොටස් තුනකි.
දකුණු මාර්ගය අද කරාකොරාම් අධිවේගී  මාවත ලෙසදියුණු වී  චීනයත් පකිස්තානයත් හරහා දිවෙයි.

සේද මාවතේ ඉතිහාසය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ සමය දක්වා දිවෙයි. ඔහු ගැන වැඩිදුර කියවීමට මෙතනින් යාහැක .

බොහෝ කතා කල යුතු දේ ඇති හෙයින් අදට මෙතකින් නවතමි . සියල්ල එකට ඇනුවොත් රසයක් නැත .
සිතියම මෙතනින් පින්තුරය ගුගල් ඉමේජ් අනුග්‍රයෙන් .

Thursday, 6 October 2011

ලොකු කරදරයක්

තියෙන තරහ කියන්න වචන නැහැ . කව්ද ඔලමොට්ටල නරියෙක් මගේ පුද්ගලික ඊ මේල් ගිණුම හැක් කර ඇත. මගේ පුද්ගලික ගිණුම ඇති හිතවතුන්ට විවිධාකාර මේල් ලැබිය හැක. දැනටමත් එසේ ලැබී ඇත . කරුණාකර අසුවෙන්න එපා. මුණු පොතෙනුත් මම අයින් වුන බව කණගාටුවෙන් දන්වමි. 

Sunday, 2 October 2011

නෙසාට් ඇවිත් ගියා

නෙසාට්... හරිම නපුරුයි . දිනකිපෙකට කලින් ලුසෝන් ගෙන් කරදර වින්ද පිලිපීන ජනතාවට ආයිමත් කොනිත්තපු නෙසාට් හොන්කොන්  වලට කඩා පාත්වෙලා යකා නැටුව. එතනින් නතර නොවී දකුණු චීනෙට රිංගල සෑහෙන අලාබ හානි කරලා.


අනික් පැත්තට කැරකිලා වියට්නාමෙට එනවා කියන ආරංචියට අපිත් බය වුනා .

එයා කලබල කරයි කියල හිතුන පළාත්වල කඩිමුඩියේ අස්වැන්න ගෙට ගන්න ඕන නිසා පාසල් වල නිවාඩු දීල ළමයින්ට අම්මලට උදව් කරන්න කියල . වියට්නාමයේ ගොවිතැන් කටයුතු වලට ළමයින් ලොකු දායකත්වයක් සපයනවා .

ඔන්න මට අතුරු කතාවක් මතක් වුනා . වී ගොවිතැන අතින් ලෝකේ ගොඩක් ඉදිරියෙන් ඉන්න රටක් මේක. ගොවිපවුල්වල ළමයි හැමෝම ලොකු පොඩි බේදයක් නැතුව කුඹුරේ වැඩට උදව් වෙනවා . කැම්පස් වල ඉගෙනගන්න ළමයි , නගරයේ රස්සාවල් කරන ළමයි ගොයම් වැඩ කාලෙට ගමට ගිහින් සති අන්තයේ වත් ඒ වැඩ වලට සහභාගී වෙන එක සිරිතක් . අපි දන්නා ගැහැණු ළමයෙක් ඉන්නවා සෑහෙන හොඳ වැටුපක් සහිත රැකියාවක් කරන . එයාට උපාධි සහතික දෙකක් තියෙනවා. ඒත් අස්වනු කපන කාලෙට අනිවාර්යයෙන් දෙමාපියන්ට උදව් කරන්න යනවා . හැමෝම එහෙම නැතුව  ඇති . ඒත් මේ කටයුතු ලජ්ජාවට කාරණයක් ලෙස සමාජය නොසලකන එකයි වැදගත් දේ. අනික සමහර පවුල් වල ළමයි කීපදෙනෙක් හිටියත් උසස් අධ්‍යාපනයට යන්නේ එක්කෙනෙක් වෙන්න පුළුවන් . එයා ගොඩක් වෙලාවට හිතන්නේ අනෙක් අය කල කැපකිරීමට කලගුණ සලකන්න ඕන කියලයි . එහෙම හිතල මේ වැඩට උදව් වෙනවා වෙන්නත් පුළුවන් .

අපිට යන්න ලැබුනා කාර්යාලයේ වැඩකරන ඔන්න ඔය වගේ ගැහැණු ළමයෙක්ගේ මගුල් ගෙදර . නගරයෙන් ටිකක්  ඈත. පහුගිය සීත සමයේ  . මමත් ඕන එකක් කියල පටලව ගත්ත යාර හයක් . මගුල් ගෙයක්නේ . ලංකාවේ මගුල් ගේක ගිය කාලයක් මතක නැති එකේ අනික සිතලටත් පෙරවගන්න  හොඳයි කියල හිතලයි සාරියක් ඇන්දේ .
නගරය පහුකරලා ගිහින් ගිහින් එකතැනකදී පාර ඉවරයි . මන් හිතුව අපේ රියදුරු මහත්තයට වැරදිලා තමයි කියල . නෑ නෑ මේක තමයි පාර . ඒත් පාර ඉවරයි . පැත්තකින් කැළණි ගඟටත් වඩා පළල බොර පාට ගඟක් . හරි දැන් මොකද කරන්නේ . ඔන්න තියෙනවා ටිකට් විකුණන තැනක් . රියදුරු මහත්තය ටිකට් එකත් අරන් නතර කරලා තිබ්බ තඩි ට්‍රක් එකක් පිටිපස්සෙන් වාහනේ නැවැත්තුවා . බැලින්නම් ඒ පෝලිමක් .
ඔන්න එනවා ගඟ හරහට පාරුවක් . දෙය්යන්ටම පෙනීයන් මේ විශාල ට්‍රක් එක්කම අපේ වාහනෙත් මේ පාරුවෙන් එගොඩ වෙන්නයි හදන්නේ . ආපහු යමුද ? ගඟ මැද්දේ මේක ගිලුනොත් මක් කරන්නද . ඔය වගේ සෑහෙන වීර කතන්දර මැද්දේ වාහනටික ගානට අඩුක් කළා අර පාරුවේ . සරල එන්ජිමක් තිබ්බ බොහොම ප්‍රාථමික මට්ටමේ පාරුවක් මේක . මන් ඔය එන්ජින් ගැන හෙම නොදන්නවා වුනාට බැලුවම කියන්න පුළුවන් නේ තත්වය .



අපරාදේ කියන්න බැහැ බොහොම සීරුමාරුවට අනික් පැත්තට ආවා . සමහර අයගේ හර්ද ස්පන්දනය සාමාන්‍ය තත්වයට පත්වුනා . දැන් ඉතින් ආයිමත් යනවා . ලස්සන කුඹුරු වගේ විශාල ළුණු පාත්ති එකයායට. ඇත්තටම ලස්සනයි. තැන තැන පොඩි කඩ ඉස්සරහ ලූනු  ගොඩ ගහල . මෙහෙ පොඩි ලූනු අපේ වගේ රතු පාට නැහැ . සුදු පාටට හුරුයි. සුපර් මාකට් වල රතු පාටට තියෙන්නේ චීන ළුණු .

ඉතින් මේ ලූනු යායවල් මැදින් වැටුන අතුරු පාරවල ගිහින් ගිහින් අපි අතරමන් ආයෙමත් . ඒවෙනකොට මගුල් ගෙදරට ගිහින් උන්න අනික් අයට කතා කරලා මනමාලිගේ මලයව මගට ගෙනගෙන එයාගේ බයිසිකලය පිටිපස්සෙන් යන්න පටන් ගත්තා . පාර එන්න එන්නම පුංචි වෙලා එකතැනක වාහනේ නවත්තල ඉතුරු ටික ගියේ පයින් .

වෙච්ච කරදර ඔක්කොටම හරියන්න මගුල් ගෙදරදී ලජ්ජා හිතෙන තරමට ඕනෑවටත් වඩා අපිව පිළිගත්තා . පිළිගැනීමට වඩා අර අමුතු සත්තු දැක්කම කට්ටිය බලන ගානට බැලිල්ල තමයි විඳින්න අමාරු . ඇයි වදේ මෙච්චර දුර බැහැර ගෙවාගෙන ළමයිත් අරගෙන ඒ මදිවට සිතකාලේ තමන්ගේ බොස් මගුල් ගෙදර ආවම මනමාලිට විතරක් නෙමේ නෑ පරපුරටම ඒක ලොකු සතුටක් . ඔක්කොටම වැඩිය හොඳට සීත කබා ඇන්ද පිරිසක් මැදට මන් නිකන් රානි මුකර්ජි ආව වගේ . [ මොකද මෙයාල රානි මුඛර්ජි දැකල නැහැනේ ].

ඒ අස්සේ ඉංග්‍රීසි දන්නේ මනමාලියි අක්කයි විතරයි මුළු පරම්පරාවටම . ගානට සප්පායම් වෙලා වෙලා උන්න මාමා කෙනෙක් ඇවිත් මොනවද වියට්නාම බසින් කියාගෙන කියාගෙන ගියා . අක්ක ඒක පරිවර්තනය කළා . මනුස්සය කියල තියෙන්නේ
''සර් අපේ දුවගේ අනාගතේ සර්ට බාරයි'' කියල . මොකක් ???? දැන් මනමාලය මෙයාද ??
කලබල වෙන්න දෙයක් නැහැ . උන්ද කියල තියෙන්නේ දුවට උසස්වීමක් ..පඩි වැඩිකිරීමක් එහෙම කරලා අනාගතේ දියුණු කරන්න කියලයි.

කෑම නම් නියමම වියට්නාම සම්ප්‍රදායික කෑම . අවන්කවම මට නම් කන්න අමාරු වුනා . නැට්ට කොටා විවිධ ක්‍රම වලට හදල තිබුන . යන්තම් එළවළු ටිකකුයි සුදු බත් ටිකකුයි කෑවේ '' මුන්ගේ ලොකුකම '' කියල මිනිස්සු හිතයි කියල . අහිංසක මිනිස්සු . අතුරු පසට අපේ වගේ අයිස් ක්‍රීම් , පුඩින් නැහැ . පොඩි නාරන්  ගෙඩි තමයි තිබුනේ . එව්වා නම් සේරම අපි ඉවර කළා .

සෑහෙන ෆොටෝ ගානකට පෙනී හිටින්නත් වුනා . මනමාලයත් ගමේ කපුටෙක් නිසා මනමාලයාගේ ගෙදර උත්සවයටත් අපිව අරන් යන්න ඕනෑකම තිබ්බත් එදා හවස තිබුන වෙන රාජකාරි වැඩක් නිසා එකට සහභාගී වෙන්න ලැබුනේ නැහැ .

දැන් අපි ආයිමත් ගඟ ළඟ . වෙලාව 12.30 යි . ඇයි පාරුව වැඩ නැත්තේ . පදින කෙනා කෑම විවේකය ගන්නවා . පැය භාගයක් ඉන්න වෙයි. ඔන්න එතන බලන් ඉඳලා ඉඳලා ආයෙමත් ගඟ තරණය කලා .

මේ කතාව කියල මනමාලි ගැන නොකීවොත් අඩුවක් . ඇය සැබෑ දිරිය  දියණියක් . ..ප්‍රාථමික අධ්‍යාපනය කෙසේ වෙතත් අඩුගානේ උසස් අධ්‍යාපනයට යන්න නම් ඒ ගඟ තරණය කරන්නම වෙන්න ඇති. ඊට පස්සේ විශ්ව විද්‍යාලයට ගිහින් . ඔය කාලේදී අම්මලාගේ ලූනු පාත්තිවලත් වැඩ කරන්න ඇති. සරසවි කාලයේදී ඇයට හදවත් රෝගයක් වැළදිලා සැත්කමක් කරන්නත් වුනාලු. එයින් වසරක් ඉගෙනීම නතර වෙලා . අදටත් විටින් විට ඇති වෙන අසනීප තත්වය මැද්දේත් ඇය සෑහෙන වගකිව යුතු තනතුරක් දරනවා .

ලියන්න හිතුවේ නෙසාට් ගැන . ඒත් මැද්දට මගුල් ගෙයක් ගැන ලියවුනා .

කවුද මේ නෙසාට් ....මෙයා සුලිසුලඟක්. පිලිපිනෙට , හොන්කොන් වලට සහ දකුණු චීනෙට දරුණුවට පහර දීල   මධ්‍යම සහ උතුරු වියට්නාමයේ රට ඇතුලට එද්දිම මෙයාට ටිකක් මෙත් සිතක් පහල වෙලාද කොහෙද වේගේ අඩු කලාලු . හැබැයි වෙරළාසන්න  පළාත්වලට සෑහෙන අලාබ හානි කරලා තියෙනවා .
දකුණේ ත් ගංදිය මට්ටම වැඩිවෙලා විශේෂයෙන් මිකොන්ග් ගඟේ . ඒ පළාත්වල දරුණු ගංවතුර . කීපදෙනෙක් මියගිහිනුත් තියෙනවා .
හැනොයි නගර මාධ්‍යට නම් තද සුලන් මිසක ලොකු බලපෑමක් නැහැ . ඊයේ නම් සුලන් සහ වැස්ස . අද තරමක් සීතලයි.



.....දහදියෙන් අස්වැද්දු
කුඹුරු යටකළ
,..උඩ ගෙඩි දී
රළ අවුස්සා ..
සිඳ බිද රුවල්
නෙසාට් ඔබ ඇවිත්
කල හරිය බලව ..
...සත්වෙනි මහලේ මගේ ගෙයි
කෑම ඇත ..දරුවන් නිදි සැපසේ
ඉදින් සිටිමිද මන් ධනිය ගෝපාල සේ
..පසුතැවෙමි
උදව්වක් කල නොහැකිව



 ඇඟිලි තුඩගින් මෙහි ලියමි
''නෙසාට් ඔබ හරිම නපුරුයි''


පින්තුර මෙතැනින්


මේ ටිකේ වැඩ ටිකක් වැඩියි . වෙනද වේගයෙන්වත් කරුණු කාරණා හොයල ලියන ලොකු ලිපි ලියන්නවත් විවේකයක් නැහැ . ප්‍රසිද්ධියේ නොකියන්න හිටියත් දැන් ලිපි කීපයකම සඳහන් වුන නිසා මේ දේත් කියන්න ඕන . බ්ලොග් එකක් නොලීවත් කමෙන්ට් වලින් බ්ලොග් අඩවි විශේෂයෙන් මේ බ්ලොග් ඒක පෝෂණය කරණ බුරතිනෝ ගේ පියාගේ අභාවය ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා . එතුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමු. පුද්ගලිකව ඔහුට කණගාටුව ප්‍රකාශ කරන්න නොහැකි වීම නිසා මේ සටහන තැබුවාට ඔහු අමනාප නොවනු ඇතැයි සිතනවා .
.

. ප .ලි .
ලුනු ලිව්වා හරිද . මධුර එකේ තියෙන්නේ ඔහොමයි. පොඩි කාලේ ළුණු කියා ලිව්වද කියල පුංචි මතකයක් තියෙනවා . කවුරු හරි කියනවද මේ ගැන