Thursday, 24 November 2011

මැදියම් රැයේ ඉස්කෝලය ...

පාන්දර එකේ කණිසමට ඇය තිගැස්සී අවදි වුවාය . ඇයත් ඔහුත් කඩිමුඩියේ දිව යා යුතුය . පස් මස් දියණිය උණුසුමට නිදන කිරි සිහිනයෙන් නොමුදා පරිස්සමට රැගෙන යා යුතුය . කොහේද මේ ඇය රැගෙන යන්නේ . ඉස්කෝලයටය.

මොන පිස්සුවක්ද . මොනවා උගන්නන්නද . පාන්දර හයට දුව හෝ පුතා පාසල් වෑන් රථයට ගොඩ කරන අම්මලා පවා මෙය පිස්සු විකාරයක් යයි කියනු නොඅනුමානය . පාන්දර එකට ??
අනාගතයේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්නට දැන්මම පාසල් යවන්නට ඕනා විද ..
සැබවින්ම නැත .

මේ මා හදවත බෙහෙවින්ම බර කල කතාවකි. සැබෑම කතාවකි . මෙය කියවූ පසු ඔබද මා මෙන්ම මවක් නම් සුවසේ නිදන දියණිය හෝ පුතණුවන් තුරුළු කරගන්නට සිතෙනු ඇත


මේ එක්තරා රබර් යායක ඇය වැඩ කරන කොටසේ කිරි කපන කාලයයි. විටින් විට වෙලාව වෙනස් වුවද වැඩි වෙනසක් නැත . පාන්දර එක ඇතැම් කාල වල පාන්දර පහ හෝ රාත්‍රී නවය විය හැක . මේ අමුතු ඉස්කෝලේ තනා ඇත්තේ ඇය වැනි දරුවන් ඇති අම්මලා තාත්තලට උදව්වටය . නැනී ලා තියා ගැනීමට ඔවුන්ට වත්කමක් නැත .


මෙයට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් කියන්නටද බැරිය . ඒ නිසා පාසලක් කියා කියන්නට ඇත . [මේ රටේ කොහොමත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන කෙලින්ම ඉස්කෝල ලෙස හඳුන්වයි . ]
රැයේ නින්ද කැඩී විලාප තබන දරු පැටියා බාර ගන්නේ පන්තියේ තරුණ ගුරුතුමියයි . බොහෝ දරුවන් කිරි බොන වයසේය . කිරි බරින් ලමැද රිදුම්  දෙන තරුණ මව්වරුන් රබර් ගස් වල කිරි කපයි. උලව් රබර් ගස් වල දවල්ට කිරි නැත්තේ ඇයි?

අපේ ආච්චිලාට තිබු පුංචි රබර් කට්ටියේ කිරි කපන්නට ආච්චි හෝ ආතා මහා පාන්දර ගිය හැටි මට මතක් වේ . බාල්දි වලට ගෙනා කිරි තැටි වලට දමා වෙලා දුම් ගසන්නට මෝලට රැගෙන ගිය අතර අච්චර ගොඩක් කිරි වලින් අන්තිමට ලැබෙන්නේ කිරි රොටි කීපයකි. ඒ ටික ගන්නට වුන මහන්සියක් . විශ්‍රාම වැටුපෙන් ජිවත් වෙන්නට හැකි කම තිබියදී මොකට මහන්සි වෙනවාදැයි ඔවුන්ට සිතුනේ නැත .
ඒක නොවැ ආච්චිලාට ජිම් ගැන දැන ගන්නට නොලැබුණේ . ඒවා අතුරු කතාය . වෙනම පොස්ට් ලිවිය යුතු අගනා අත්දැකීම් සහිත බාල කාලයක් මට තිබේ . වරින් වර තැන තැන නොකොටා පිළිවෙලකට ලියන්නට හිත තිබුනද කවදාවත් පිළිවෙලකට වැඩක් කරන්න බැරි යයි චෝදනා වලට ලක් වෙන මමනේ මේ .



නැවතත් හඬන පොඩි එකා දෙස හැරෙමු
ඉතින් අපි කලබල වී මේ රබර් යායේ කොම්පැනියට බනිමුද . තරමක් අමානුෂික ලෙස පෙනුනත් වෙන කරන්නම දෙයක් නැති කොට එහෙම වත් විසදුමක් දීම හොඳ බව මට සිතේ .

වියට්නාමය රබර් වලට ප්‍රසිද්ධය . .

ප්‍රංශ කාරයා තේ රබර් කෝපි හිටවා ගොස් ඇත .හෝ මාමා සහ වියට්කොන් ගරිල්ලන් දැම්මේද රබර් කට්ට සේරෙප්පුය . කුචි උමන් ලිපියේ පින්තුර දැමුවෙමි. දැන් නම් ඕනෑම වර්ගයේ ඕනෑම වෙළඳ නාමයක සෙරෙප්පු සපත්තු [ බොහොමයක් අනුකරණ වුවත් ] හොවැන් කියම් වැව පැත්තේ ඇති සපත්තු පාරෙන් ගත හැකිය . ගානත් නරක නැත .

රබර් වත්තක යුද්ධ ටැංකි [මැක්කාගේ කතාව වාගේ යුද්ධය ගැනද කතා කල හැක]


ලියන්නට නිමිති කාරණා පිරි ඇති මුත් වෙලාව බොහොම හරස් වේ . රබර් වගාව ගැන කරුණු සොයා ලියන්නට වෙලාවක් නැති ඒක ගැන දුකක් ඇති වේ. මේ මගේ සාමාන්‍ය පිළිවෙල නොවේ . එහෙත් මෙය ලියන්නට සුදුසු කාලයක් නොවේ . මේ මගේ හිත මට කලින් ගෙදර දුවන සමයයි ගෙදර යන්නට ලෑස්ති විය යුතුය . ඊට පෙර තව ලොකු ගමනක්ද යෙදී ඇත . අනික් බ්ලොග් කියවන්නේද අඩුවෙන් . කමෙන්ට් නම් ඊටත් අඩුයි . මොනවා කරන්නද . නොවැම්බර් දෙසැම්බර් ඔහොම තමයි . ජනවාරියෙන්ද කාලක් විතර ගෙනා බඩු අස් කරන්න වැයවේ .

කරුණු සොයා බලා ලියන්නට හිතේ ලොකු දෙයක් ඇත . කලෙක සිට ලියන්නට උවමනාවූ එය ලඟදි බනිගේ පන්තියත් එක්ක ගිය චාරිකාවේදී අලුත් විය . ඔන්න කුතුහලය අවුස්සා තබමි . හැබැයි ලියන්නට වෙන්නේ ජනවාරි මස විය හැක . එතෙක් පොඩි දෙයක් ඉඩ ඇති ලෙස ලියවේවි ..


Pictures by Google Images

Monday, 7 November 2011

සුරංගනා ආදරේ ....... .

මන් සුරංගනා කතා අහන්න හරිම ආසයි . හැමදේම විද්‍යාවෙන් ඔප්පු කරන්න ආස වුනත් සුරංගනා කතා වලට මගේ ඇති ආසාවට එය බාධාවක් වුනේ නැහැ කවදාවත් . ඇත්තද බොරුද කියල හොයන්න ඔලුව මහන්සි නොකර කාගේ හරි ලස්සන හිතක පහල වුන ලස්සන කතන්දරයක් රස විඳින්න හැකි කම මට ලැබුනේ පුංචිම සන්දියේදී . අම්මයි ආතයි[ අම්මගේ තාත්තා ] තමයි පුංචි කලේ කතා කියා  දුන්නේ . ඊට පස්සේ අකුරු ඉගෙන ගෙන ලෝකේ ඇති ඕන එකයි එපා එකයි හැමදේම කියවන්න ගත්තනේ .

ඒත් කතන්දර අහන්නත් කියවන්නත් වගේම කාටහරි කියල දෙන්නත් තියෙන ආසාව තවමත් එහෙමමයි . අපේ දුවල ඉගෙන ගෙන එන කතන්දර මට කියා දෙනවා දැන් . මන් අලුතින් කියවන ඒවා එයාලට කියනව . ලොක්කි පුස්තකාලෙන් පොත් ගේද්දී අම්ම ආස වෙයිද කියලත් කල්පනා කරනවා . එහෙමයි දැන් ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ .

අපේ පහල සෙල්ලම් කාමරේදී ඊයේ ලස්සන පොතක් කියෙව්වා . පරණ වෙන්න නොදී බෙදා ගත යුතුමයි කියල හිතුන . අන්තර්ජාලය අවුස්සද්දි මේ කතාව තියෙනවා . ඒත් පොතේ තිබුන කතාව වඩා ලස්සනයි මට නම් .මේ තියෙන්නේ ඒ පොත තමයි .


එකමත් එක කාලෙක වියට්නාමයේ උන්නලු Tu Thuc කියලා බොහොම අවංක තරුණයෙක් . ඒ කාලයේ රට පාලනය කරලා තියෙන්නේ මැන්ඩරින් වරු . මැන්ඩරින් කියන්නේ චීන ජාතිකයින්ට වෙන්න ඇති .
මේ තරුණයා ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ පළාතේ පරිපාලන කටයුතු කරන්න පත්වීමක් ලැබුනලු . එය ඒ හැටි ලොකු පළාතක් නෙමේ . රාජකාරි වලින් මිදිනු වෙලාවට ඇවිදින්න යන්නත් මොහුට ඉඩ කඩ තිබිල .
ඒ කාලයේ වෙනත් පළාතක පන්සලක වසරකට වරක් තිබුන උත්සවයක් බලන්න යන්න ඔහුට ආසාවක් ඇති වෙලා . දුප්පත් මිනිසෙක් වගේ වෙස්වලාගෙන තමයි ගිහින් තියෙන්නේ . මේ පන්සල Peony මල් ගස් වලින් පිරුන ලස්සන තැනක් . හැබැයි කාටවත් මේ මල් කැඩීම තහනම් . මල් කැඩුවොත් දඩයක් ගෙවන්න නියම වුනා . ගහක කොලක මලක් දැක්කම තමන්ට ඕන වුනත් නැතත් ඕක කඩා ගන්න පුරුද්ද අපේ එකක් කියල දුක් වෙන්න දෙයක් නැහැ ඔන්න . වෙන රට රට වලත් ඈත අතීතයේ ඉඳන්ම පුරුදු වුන දෙයක් වගේ . කොහොමත් අපේ නරක පුරුදු තව අයටත් තියනවා දැක්කම අපි හරි ආසයිනේ .
අනික පන්සල් වල මල් කැඩීමට කැමති අය අදත් නැතුවය . ඔන්න ඉතින් මන් මේ කිව්වේ ගස් වල මල් ගැන . වෙන වෙන දේවල් හිතා ගත්තට මන් වගකියන්නේ නැහැ .




මේ තියෙන්නේ Peony මල . හරි ලස්සනයි . කඩා ගන්න ආස වීම පුදුමයක් නම් නෙමේ. කවුරු හරි දන්නවද සිංහලෙන් කියන නම . දැකල පුරුදුයි වගේ . නම සොයා ගන්න බැරි වුනා මට . ඩේලියා මල තමයි සිහි වුනේ .




ඉතින් මේ මල් පන්සලේ උත්සවයට ඈත පළාතකින් ආපු ලස්සන යුවතියක් මේ නිතිය නොදැන මලක් නෙලා ගෙන . සැනෙකින් ආපු මුර කාරයෝ මේ යුවතිය අල්ල ගත්ත.

දඩය ගෙවන්න ඇය ළඟ මුදල් තිබිල නැහැ . මේ වෙලාවේ එතනින් ගිය අපේ කතා නායක Tu Thuc මේ සිද්ධිය දැක්ක . තමන්ගේ බලතල පාවිච්චි කරන්න විදිහකුත් නැහැ  දුප්පතෙක් වගේනේ හිටියේ . අතේ තිබුන මුදල් වලින් දඩය ගෙවල ගෑනු ලමයව බේරා ගන්නවා . කෙල්ලට විපත්තියක් වුනහම කඩා පාත් වෙලා දුෂ්ටයින්ගේ ඇයව ගලවාගෙන එසැනින් මල්සර දුනු හි වලින් හදවත තුවාල කරගන්න හින්දි කොල්ලෙක් මතක් වුනොත් පුදුමයක් නැහැ . මටත් එහෙම හිතිච්ච එකේ .
ආයේ අහන්න දෙයක් නැහැ . කෙල්ලත් ලස්සනයි . තරුණයත් තනිකඩ . දෙන්නට දෙන්න සිතින් බැඳුන. ඒත් එකපාරටම ඕව කතා කල හැකිය . එහෙම කියන්න දහිරිය තියන අයත් ඉන්න බව දිල් නම් දැක්කලු .
ඒත් මේ දෙන්න එතැනදී වෙන් වෙලා ගිහින් . අද වගේ නම් ටෙලිෆෝන් අංකය ඉල්ලගන්නවත් තිබුන . ඉතින් ආපහු ගෙදර ආපු තරුණයා මේ දැරිය ගැන සිත සිත හිටිය .

ඔය කාලේදී පළාතේ කාලගුණය හරස් වෙලා අස්වැන්නත් විනාශ වෙලා . අසරණ වෙච්ච ජනතාවගෙන් බදු අයකරගන්න මේ තරුණයට දුක හිතිලා . නියම ජනතා සේවකයෙක් .


 මේගැන මැන්ඩරින් නායකයෝ ඔහුට හොඳටම දොස් කියල . ඔහු කල්පනා කලාලු මේ පුංචි ප්‍රදේශයක පරිපාලන [අපේ ප්‍රාදේශීය මන්ත්‍රීකමක් වගේ වෙන්න ඇති ]. තනතුර හන්දා මොකට මේ හැටි බැනුම් අහනවද කියල .


රජයෙන් දීල තිබුන මුද්‍රාව දොරේ එල්ලලා රස්සාවට ආයුබෝවන් කියල [ තම් බියෙට් කියන්න ඇති ..වියට්නාම අය Good Bye කියන්නේ එහෙමයි . ] තමන්ගේ සිත ගත්තු ගැහැණු ලමයව සොයන් ගියා .


හොඳට ඉගෙන ගත්තු සමහර අයට ප්‍රයෝගික දැනුම නැහැ කියන්නේ ඕකනේ . ඉන්න තැනක හෝඩුවාවක් වත් අහගන්න තිබුනනේ . එහෙම කලේ නැති හන්දා එයාව සොයා සොයා ඉබාගාතේ ගියා . මට ආයිම හින්දි චිත්‍රපටියක් තමයි මතක් වෙන්නේ . අර සිත් ගත් කෙනා
ඇඟේ හැපී හැපී යනවා ඒත් පෙන්නේ නැහැ වගේ එව්වා .
සමාවෙන්න මටත් අනම් මනම් නොකියා කතාවක් කියන්න බැරි හැටි.
ඉතින් සොයල සොයලා සොයා ගන්න බැරි වුනා . කාලයක් ඇවිදිද්දී ගල්ගුහාවක් හමු වුනාලු . ඒ තුලින් ගියහම අවසානය අලංකාර මාලිගයක් . ජේඩ් වලින් සැදුණ මේ මාලිගයේ සුරංගනාවන් අතර නොකා  නොබී ඔහු එනතෙක් දුකින් සිටි අර සුන්දර තරුණිය හමු වුනාලු . ඔන්න බලන්න අතරමගකදී හමු වෙන ලස්සන යුවතියන් සුරංගනාවන් වෙන්නත්  බැරි නැහැ කියන්නේ ඕක තමයි .
 ආයේ අහන්න දෙයක් නැහැනේ . දෙන්න විවාහ වෙලා සැපෙන් සතුටින් ජිවත් වුනාලු . බොහෝ කතා එතනින් ඉවර වුනාට මේක තව දිගයි .


ඔන්න අවුරුදු තුනක්ම ගෙවුනලු . හැබැයි Tu Thuc ට ගමරට මතක් වෙලා තියෙනවා .
දිය මකර රජුගේ බිරිඳට වගේ
කලක් යනකොට ඉතින් ඔහොම තමයි . දැන් අපේ පිරිමි කට්ටියට හිතෙයි සුරංගනාවක් වුනත් ගෑණියෙක් නේ කියල . හුචක්කුව අඳින්න පුරුදු වුනාද දන්නෙත් නැහැ නේ . අනික කාලයක් දිවය ලෝකේ ඉන්නකොටත් පොළවට පය ගහන්න ආස වෙන එකත් සාමාන්‍යයි . ඒ ඉතින් ආදරේ අඩු වෙලාම නෙමේ . මනුස්ස සොබාවය .සුරංගනාව මේක තේරුම් ගත්ත .


මොන හේතුව වුනත් තමන්ගේ සැමියා දුකින් කරදරෙන් ඉන්න කොට බිරිඳක් කැමති වේය . ඉතින් සුරංගනාවී වලාකුල් වලින් කරත්තයක් හදල දුන්නලු ගමරට ගිහින් එන්න . ඇය බොහොම දුකින් තමයි මෙයාට යන්න දෙන්නේ .


වලාකුල් යානයේ නැගල Tu Thuc තමන්ගේ ගමට යනවා . ගම වෙනස් වෙලා . පුංචි පැල විශාල ගස් වෙලා . කිසිම දෙයක් අඳුනගන්න බැරි වුනා . කිසිම කෙනෙක් දැනන් හිටියෙත් නැහැ ඔහුගේ වගතුග . එකම එක වයසක සියා කෙනෙක් කිව්වා පරම්පරා පහකට ඉස්සර තමන්ගේ රස්සාව දාල යන්න ගිය තරුණ රජයේ සේවකයෙක් ගැන පුරාණ කතාවක් තියෙනවා කියල .


දන්නවද හේතුව . දිව්‍ය ලෝකේ ගතකල අවුරුදු තුන අපේ ලෝකේ අවුරුදු 300 ක්ලු. මදැයි ඔය වගක් ඔහු දැනන් ඉඳල නැහැ .

අපේ බනියට ඕක පැහැදිලි කරලා දෙන්න මටයි ලොක්කිටයි සැහෙන වෙලාවක් ගියා .
යමක් ලේසියෙන් අත අරින්නෙත් නැහැනේ . අන්තිමට කිව්වා ''ආන්න මට තේරුනා '' කියල .



ඉතින් අපේ කතා නායකයා බොහොම දුක් වෙලා ආපහු යන්න බලද්දී වලාකුල් යානය  ගිහින් . වලාකුල් පාවෙනවනේ .

ඔන්න ඕකයි කතාව .
 ඉතින් මේ Tu Thuc සුරංගනාවී සොයා ගත්ත ගුහාව එදා ඉඳන් TuThuc ගුහාව වුණා . මේ තියෙන්නේ ඒ ගුහාව


.
මේකත් අර හලොන්ග් බේ [මකර මවක් වැතිර නිදන පොස්ට් එකේ කියපු ]වල වගේ ලයිම් ගුහාවක් . මට නම් යන්න බැරි වුණා මේකට . දැන් පරක්කුත් වැඩියි . හෝ චි මින් වල ඉන්න කාලේ යන්න තිබුනේ . එහාටයි ළඟ .


ලෝකේ ලොකුම ගුහාවත් මෙහෙයි තියෙන්නේ . ලාඕස් මායිම කිට්ටුව තියෙන Son Doong ගුහාව සොයා ගෙන තියෙන්නේ 2009 දී .මේ තියෙන්නේ ඒ ලොකුම ගුහාව .

293511 214275235303818 193368050727870 582618 902867763 n

සුරන්ගනාවට සම්බන්ධයක් නැහැ මේ ගුහාවේ . මේ ගැන ලස්සන කතාවක් අහන්න වෙන්නේ ඉස්සරහ පරපුරට , මොකද ලඟදි සොයා ගත් නිසා .

ඇත්තටම සුජීව තමයි ඔය ගැන මට කිව්වේ .යන්න හරිම අපහසුලු තවම .

හැබැයි අද දැක්ක එක සයිට් එකක ඒකට යන හැටි ගැන . උවමනා නම් මෙන්න තොරතුරු තියෙනවා මෙතන . මගේ පින්තුරෙත් ගත්තේ එතනින් .
මන් මේ කෙටියෙන් කියන්න ගත්ත කතාව දික් වුණා . මගේ පෝස්ට් ඕනවට වඩා දික් වෙන්නේ මේ අනම් මනම් අතුරු  කතා මතක් වෙන නිසයි . ගැහැණු ගතියනේ . ඔන්න බලන්න චුටිමහත්තයගේ මැරියන් අච්චර පැයක් තිස්සේ කිව්ව කතාව පේලි දෙක තුනකට කොට කරලා තියෙන හැටි . මේ පිරිමින්ගේ හැටි ඔහොම තමයි මැරියන් . අපි මේවා විස්තර ඇතුව කියන එක එයාලට අගේ නැහැ.



පින්තුර ගත්තේ ගුගල් ඉමේජස් ගෙන් ...

ප. ලි.
මේ වගේ කතාවක් ලියද්දි පුන්චිත්තව මතක් වෙනවා . පස්සේ පුංචි කතාවක් විදිහට එතන ලියන්න ඕන .

Friday, 4 November 2011

මල් කියන්නේ කාට කාට .....

මටත් මගේ බ්ලොග් එකටත් එරෙහිව බෑන් කී මුන් කල කුමන්ත්‍රණය අහවර වී මාස කීපයක් ගත විය . එහෙමයි කියා කරදර කිරීම් නම් අඩුවක් නැත . හැම බදාදාම පැයක් කලින්ළමයි ගෙදර එවයි . මාසයකට දෙකකට වතාවක් ගුරුවරුන්ගේ දැනුම වැඩි කරන්නට සම්මන්ත්‍රණ පවත්වන්නට යයි කියා ළමයි ගෙදර තියයි . ඔය මොනවා වුනත් ළමයි නම් ඉස්කෝලෙට බොහොම කැමතිය . අද හවස අමතර වැඩ වලට නතර වූ බනියා සෙල්ලම් පිට්ටනියෙන් ගෙදර ගෙනාවේ හරිම අමාරුවෙනි .


මටත් කොයි කරදර තිබුනත් ඉස්කෝලෙට අකමැති වෙන්නට නම් බැරි දෙයක් පසුගිය දිනවල සිදුවින . ඒ එක්සත් ජාතීන්ගේ දින උළෙලේදී අපේ පොඩ්ඩන් දෙන්නාට අපේ කොඩිය ඔසවාගෙන යන්නට අවස්ථාව ලැබීමය .


පාට පාට කොඩි අරගත් පාට පාට ඇඳුම් ඇඳගත් පාට පාට ළමයි . ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට බෝම්බ අත අරිද්දි ඇමරිකන් ළමයි ඇෆ්ගන් ළමයි ලඟින් සිටි . උතුරු කොරියන් කොඩිය රැගත් ලස්සන දැරිය යන විට සියලු කොරියානුවන් හුරේ දමයි .

ළමයි මල් වගේ කියන්නේ නිකන්ද .
 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාසල් දෙකක් පමණි ලෝකයටම ඇත්තේ . නිව්යෝර්ක් සහ හැනොයි නගර දෙක තුල . එබැවින් වසරකට වරක් එක්සත් ජාතීන්ගේ දිනය ලොකුවට සැමරේ . ගිය වසරේ බෑන් කි මුන් මහතාද පැමිණි නමුත් මෙදා පාර එව්වේ ගෝලයෙකි .
  
ගිය අවුරුද්දේ ආපු මුන් මහතා . ළඟ ඉන්න සුදු රැවුල් සියා විදුහල්පති තුමාය

ගෝලයාගේ කල කතාවේදී නම් මට නින්ද ගිය බව කිව යුතුය . මට කොහොමත් දේශනා අහන ඉන්න බැරි ලෙඩක් තිබේ . අනික මගේ ඊ - මේල් ගිණුම කවුද අල්ලාගෙන මාව ස්පේන් යවා තිබුනේ කලින් දාය . එදා රෑ හරි හමන් නින්දක්ද නොවිය .

සියලු තානාපති කාර්යාල පිහිටා ඇත්තේ හැනොයි වල බැවින් එහි සේවය කරන තානාපති කාර්ය මණ්ඩලයේ දරුවන් නිසා පාසැල තුල ඇත්තේ විසල් ජන විවිධත්වයකි .

එදිනට පොඩ්ඩන් දෙදෙනාටම ළමා සාරි සැකසීමට සිදුවිය . ලොක්කිගේ ළමා සාරිය මසන්නට දුන් කාන්තාව ඉනට රැලි නැති අලුත්ම වර්ගයේ ළමා සාරියක් මසා දුන්නාය . ප්‍රතිසංස්කරණයන්ට හසු වී යන්තම් පිළිවෙලක් කරගත්තේ අවසන් මොහොතේය .

එකම පාටින් ළමා සාරි ඇන්ද අක්ක නගෝ දෙන්නට කවුරුත් කැමති විය . එකම රටින් අක්කයි නංගියි ජාතික කොඩිය ගෙනයාමත් විරල දසුනක් . ජාතික ඇඳුමක් කියා එකක් නැති එංගලන්තයේ ඇමරිකාවේ ළමයි ඒ රටවල් නියෝජනය කලේ විවිධාකාර ක්‍රම වලටය .
[ඒ අයගේ ජාතික ඇඳුම අපි උදේ හවා අඳින හෙයින් ] සමහරු කොඩි වගේ ඇඳුම් ..ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙක් මුහුදු වෙරළට යන්නා සේ සැරසී උන් අතර සමහර ඇමරිකන් ළමුන් කව් බෝයි තොප්පි දමන් සිටියහ . කොරියන් ජපන් ළමුන්ට නම් ලස්සන ජාතික ඇඳුමක් තිබේ . අප්‍රිකන් එඬේරුන් ද දැක ගත හැකි විය .

සපා කඳුකරයේ ළමයි  
 
 
වියට්නාමයේ කඳුකර පළාතක් වන සපා වලින් පැමිණි දැරියන්ගේ ජන නැටුමට අකමැති කෙනෙක් නොවිය . සරල දිවිපෙවතක් ගෙවන වියට්නාම කඳුකර ජනතාව ගැන වෙනම ලියන්නට සිතා සිටිමි . ආදර පොලින් කිව්වෙත් එවන් ජනකොටසක් ගැනය .

අපේ කොඩිය උස්සන් ගියේ ලොක්කිය . බනි නිකම් අක්කගේ තනියට ගියා වාගේය .


  ඉන්දියන් කොඩිය අරන් ගිය පොඩි එකාට උදව්වට ඔහුගේ පියා ගිය බවත් අපිටත් යන්න බැරිදැයි බනිගේ තාත්තාට සිති තිබිණි . ඒ ගියේ  ඒ ළමයාගේ තාත්තා නොව ලොකු පන්තියක ළමයෙක් බව ඔහුට තවමත් ඒත්තු ගන්වන්නට බැරිය .


ලෝකය පුරා ලොකු අය රණ්ඩු වෙද්දී පොඩි අය රැගෙන ගිය කොඩි එක පේලියට සිටගෙන ඉන්නේ මේ ළමයින් වගේමය . ඉස්කෝලෙට යන විට නිතරම මට නන්දා මාලිනියගේ
''මල් කියන්නේ කාට කාට '' ගීතය සිහිවේ . මල් ළමයින් වාගේය . ළමයින් මල් වාගේය .  ඒ ගියත් අහලම යන්න
ප්‍රධාන උත්සවයෙන් පසු සෑම පන්තියකම විවිධ රටවල කෑම බුෆේ ක්‍රමයට තියා තිබුණි . වෙනදාට යසට හැදෙන මුන් ඇට කැවුම් මෙදා හරියට හැදුනේ නැත . මගෙත් මොකෝ ඔරිජිනල් එව්වා කා නැති අය දත් වල ශක්තිය මැන ගන්නට ඇත.මන් මගේ පාඩුවේ ඉන්දියන් සමෝසා ,කොරියන් රයිස් රෝල් , මැලේසියන් රසකැවිලි , ජර්මන් පාන් ,වියට්නාම ස්ප්‍රින්ග් රෝල් සහ නම මතක නැති රස කෑම කෑවෙමි


අපිට ඇඳුමක් සහ කොඩියක් තිබීමත් ඒ සේරටම වඩා රටක් තිබීමත් ගැන වෙන කවරදාටත් වඩා සතුටක් දැනුන දවසකි . එය අනිකුන් පහත කිරීමක් නොවේ . ලස්සන මල් යායක මලක් වුවිට ඒ මල අනිකුන් හඳුනා ගනී නම් මලට ඇති වෙන සතුට කෙසේ වෙයිද . එවැනි අහිංසක සතුටක් පමණකි මට ඇති වුයේ . එමෙන්ම අනිකුත් මල් වල ලස්සනද රස  වින්දෙමි .

ප. ලි ..
පසුගිය දිනවල සේද මාවතේ ඇවිදින්නට ගිය නිසාත් වෙන වෙන රාජකාරි තිබුන නිසාත් මේ කතාන්දරය ලියුවේ පමාවිය . සැබවින්ම මෙය සිදුවුයේ මසකට පෙරය .
මේ පොස්ට් එක දැම්මා වුනත් අරහේ තවම අපි මොන්ගෝලියන් අධිරාජ්‍ය ගැනද කතා කරමින් සිටිමු . සුජිවත් බුරාත් අපමණ දැනුම් සම්බාරයක් එක්කහු කරමින් සිටි. කැමැත්තෝ වෙත්නම් ගොහින් කියවන්න .


පින්තුර සියල්ල අපේ කැමරාවෙන් දුර සිට ගත් ඒවාය . අනිකුත් ළමයින්ගේ පින්තුර අනවසරයෙන් දමන්නට අකමැති නිසා බොහොම තෝරා බේරා ගන්නට සිදුවිය .