Thursday, 22 March 2012

මධුර ප්‍රේම කල්පනා යනු කුමක්ද ?



ප්‍රේමය යනු කුමක්ද ..ළමයින් මේ ගැන දන්නේ මොනවාද . ප්‍රේමය ගැන කියවෙන ගී පොඩි වුන් ඇසුවාට කමක් නැද්ද . ප්‍රේමය සම්බන්ධ වූ චිත්‍රපට ටෙලි නාට්‍ය පොඩි වුන් බැලුවාට කමක් නැද්ද . හැම දෙමාපියෙක්ම දවසක මේ ප්‍රශ්නයට මුණ දෙනවා . අපි පොඩි කාලේ වුනේ කොහොමද කියල හිතා බලද්දී අපේ අම්මලට මේවා එච්චර ප්‍රශ්නයක් වුනේ  නැහැ කියල හිතෙනවා . රුපවාහිනිය බහුල නැහැ . අන්තර්ජාලය ...පිස්සු කතාකරන්න එපා .

එකම ප්‍රශ්නෙකට තිබුනේ නවකතා සහ චිත්‍රකතා . අපේ වාසනාවට ඕන දෙයක් කියෙව්වට කමක් නැහැ කියන අදහස අපේ ගෙවල්වල තිබුන . හැබැයි චිත්‍ර කතා පත්තර ගෙදරට ගෙනාවේ නැහැ . කොහේදී හරි බැලුවට තහනමකුත් නැහැ. අනික පොඩි පොඩි මාමල නැන්දලා බාප්පල ගොඩක් හිටිය නිසා ඕව වලකන එකත් නිෂ්පල ව්‍යායාමයක් කියල අම්මලට තේරෙන්න ඇති .

ඔය හන්ද කැරලි කොණ්ඩයක් තිබුන ''කැලුම් '' සහ ''වලාකුලක් වගේ කෙස් කළඹක් තිබුන '''දේදුනු '' අතර තිබ්බ ප්‍රේම පලහිලව්ව මන් හිතන්නේ මන් දැන ගත්තේ දෙකේ තුනේ පන්ති වලදී .[  ඒක කියවල නැති අර ටෙලිය බලපු අයගේ හිතේ ඇත්තේ ඒ නළුවයි නිළියයි ] ප්‍රතිපත්තියක් විදිහට කියවපු පොතක හරි කතාවක හරි චිත්‍රපට මන් බලල තියෙන්නේ හරිම අඩුවෙන් .

බලපුවත් මගේ චිත්ත රූප විනාශ කරන්න සමත් වුනේ නැහැ . චිත්‍රපට කීපයක් බැලුව වුනත් ටෙලි නම් බලන්නෙම නැහැ .

 අර ඉස්සර හදපු ෆිල්ම් අලුතින් ටෙලි කරපුව ..එව්වා දිහා නම් හොරෙන්වත් බලන්නේ නැහැ . ''ගැහැණු '' ළමයි කියවල හදන් උන්න චිත්ත රූප වලට සමකරන්න සුමිත්‍රා පිරිස් ටත් බැරි වුන එකේ [ සිනමාව තුල ඇති සිමා මායිම් තුල ] වෙළඳ දැන්වීම් කියල නම් නොකර ටෙලි නාට්‍ය කියල වැරදි නමක් පාවිච්චි කරන රූප පෙට්ටිය ඇතුලේ ...මන් නම් අහුවෙයි ඕවට .

මෙලෝ රහක් නැති ''ගඟ අද්දර '' ලස්සන සිනමා සිත්තමක් කල එකට නම් මෙතනදී සුමිත්‍රා මැතිනියට ස්තුති කරනවා හදවතින්ම . ඒකෙත් ටෙලියක් තිබුන කියල දැක්ක . නොබැලුවෙමි


ඉතින් මන් දන්නේ අර පරණ දේදුනු සහ කැලුම් විතරයි . ඊට අමතරව දයා රාජපක්ෂගේ චිත්‍රකතාවල තිබුන ටිකක් ග්‍රාමය බස් වහරත් මට මතකයි . ගජ මෑන් ගේ දෙපිට කැපෙන විහිලු වුනත් රස වින්ද . ඔන්න ඔය හින්ද ''අම්මේ අර වචනේ මොකක්ද .. ඒකෙ තේරුම මොකක්ද '' කියල ප්‍රශ්න අහල අම්මලාව අමාරුවේ දාන්න අපිට අවශ්‍ය තාවයක් තිබුනේ නැහැ . එහෙම මෝඩ ප්‍රශ්නයක් දෙකක් ඇහුව නම් සමහර විට ඔව්ව කියවන එක තහනම් වෙන්නත් ඉඩ තිබුන .
එහෙව් මගේ ළමයි දැන් ලොකු වෙන නිසා මන් අද මේවා හිතන්න පෙළඹිලා . අපේ ලොක්කි හරිම සිරු මාරුවට ඔය කොයිකත් තේරුම් අරගෙන සද්ද නොකර ඉන්න ජාතියේ . ''ටයිටැනික්'' බලද්දී අර කාරෙකේ දර්ශනය යන්න ඔන්න මෙන්න වෙන නාලිකාවකට මාරු කරලා ටිකකින් ආපසු චිත්‍රපටයට මාරු වුන වෙලා වේ මන් හරිම සතුටු වුනා .
අද ළමයින්ට අපිට වඩා ලෝකය විවර වෙලා . ඕනෑම ළමා කාටුන් එකක බල්ලෝ පුසෝ ..විතරක් නෙමේ කාර් රොබෝලා ගැන තියෙන කතා වලත් අදරේ ගැවිලා. ඉතින් හංගන්න දෙයක් නැහැ . සින්ඩරෙල්ල , ස්ලිපින්ග් බියුටි ගේ ඉඳන් එකී නොකී හැම එකක්ම ඉවර වෙන්නේ සිප ගැනීමකින් . අපේ උන් ඒ වෙලාවට ඇස් වහගන්නවා . නිකන්ම බලන් උන්න නම් දන්නේ නැහැ කිව්වැකි . ඇස් වහගන්නේ මෙයාල මෙව්වා දන්නා නිසානේ . දෙය්යන්ගේ පිහිටයි මගෙන් ඔව්වා අහන්නේ නම් නැහැ .
ඒත් අපි බලන හැමදේම බලන්න නම් ඉඩ දෙන්න තවම මන් ලෑස්ති නැහැ . ඕනෑම දෙයක් ඕනවට වඩා ඕන නැති නිසා . කොච්චර ගහගත්තත් ''ජැක් ස්පැරෝ'' මහත්තය ඉන්න පයිරේට් කතා ටික නම් පවුලම බැලුව .


මේ කොයිකත් ඉරක් ගහල වෙන් කරන්න බැහැ කියලයි මන් හිතන්නේ . හැබැයි තම තම පවුලට ගැලපෙන විදිහට තමන්ගේ ක්‍රමයක් හදා ගැනීමයි වැදගත් . මට  ටිකක් අනුන්ගේ උපදෙස් කියවන්න බැරි ගතියක් තියෙනවා ඔය ළමයි හදාගැනීම වගේ විෂයන්ට . මගේ තක්කඩි කම වෙන්න ඇති . මටම හරියන ක්‍රමයක් හදාගන්න ඕන කියන මතයේ මන් ඉන්නේ . උපදෙස් අහන වෙලාවලුත් නැත්තේ නැහැ . ඉස්සරහට ඕන වෙන්නත් ඉඩ තියෙනවා ..හැබැයි ගොඩක් සම්මතයන්ට යටත් වුනොත් අවුල් වෙන බවයි මගේ හැඟීම . උදාහරනෙකට පිරිමි ළමයි ඉන්න පවුල වලට අපේ  රුපවාහිනී ප්‍රතිපත්තිය නොගැලපෙන්න පුළුවන් . ළමයිත් එක එක්කෙනාට වෙනස් . සමහරු පොල්ලෙන් ගැහුවා වගේ ප්‍රශ්න අහනවා . සමහරු හොරෙන් දැනගෙන සද්ද නොකර ඉන්නවා .


මාත් අලිම අමාරුවේ වැටුන වෙලාවල් තියෙනවා ඔය සම්බන්ධව . එකක් භාෂා ප්‍රශ්නය නිසා .දන්නවනේ අපේ පොඩ්ඩෝ යන්නේ බෑන් කි මුන් මහතාගේ එක්සත් ජාතීන්ගේ පාසලට කියල .
මේ ඉස්කෝලේ ටිකක් විශේෂ එකක් කියල මන් කලිනුත් කිව්වා නේ . කොයි ක්‍රමේ හොඳද  නරකද  මන්දා .

අපි අපේ බසින් කිව්වොත් සෑහෙන කට්ටක් කාල ඉගෙන ගත්ත අපේ අධ්‍යාපනය නරකයි කියන්නත් බැහැ. අපේ අධ්‍යාපනයයි මේ අධ්‍යාපනයයි අතර මන් දකින ලොකුම වෙනස තමයි අපේ ක්‍රමේ දක්ෂයෝ ටික පෙනේරෙන් හලලා අරන් රොඩු ටික විසිවෙන එක .

ඒ පෙනෙරේ හිල් හරිම කුඩා එකයි තියෙන ප්‍රශ්නේ . මේ ක්‍රමේ තියෙන හොඳේ තමයි හැමෝටම හැමදේම උත්සාහ කරලා බලන්න අවස්ථාවක් ලැබෙන එක . උදාහරනෙකට අපේ ලොක්කි මේ දවස්වල ''චෙලෝ'' කියන මහා තඩි සංගීත උපකරණය ඉගෙන ගන්නවා . දවස් දෙකක් බැරි අමාරුවෙන් ඕක උස්සන් යනවා . ඒක ළමයට වඩා උසයි කොටින්ම . හැබැයි මන් දන්නේ නැහැ එයා කවද හරි ඉදිරියට ඕක වාදනය කරයිද කියල . ඒත් ඒක උත්සාහ කරලා බලන්න එයාට අවස්ථාවක් ලැබිල තියෙනවා .
ඔය වගේ උදාහරණ ගොඩක් තියෙනවා .

හැබැයි තරඟයක් නැහැ . මේ තරඟයක් නැතිකම දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ . හැබැයි ළමයි සතුටින් . ඒක තමයි අන්තිමට අපෙත් සතුට .

අපේ පොඩි දෝනි සිංහල වලට කලින් ඉංග්‍රීසි තමයි ඉගෙනගත්තේ . දැන් නම් බොහොම උනන්දුවෙන් සිංහල ඉගෙන ගන්නවා . හැබැයි ගෙදරදී විතරයි සිංහල ඇහෙන්නේ . හැනොයි වල ලාංකිකයෝ කීප දෙනයි ඉන්නේ . ඒ ටිකත් එක්කහු වෙන්නේ නිදහස් දවසටයි වෙසක් දවසටයි විතරයි . මුල් කාලේ අපි වෙසක් ඒකට බණ අහපු හැටි පොස්ට් එකකුත් ලිව්වා .

ඉතින් මේ ළමයින්ට සිංහල භාවිතා කරන්න තියෙන්නේ හරිම පොඩි පරාසයක් විතරයි . ලොකු සිංහල ජනගහනයක් ඉන්න ඔස්ට්‍රේලියාව වගේ රටවල් මිට වෙනස් . අනික් අතට බැලුවම මෙයාල භාෂා සෑහෙන ගණනක් ටික ටික දන්නවා . කොටින්ම බනියා හිබ්රු බසත් ටිකක් දන්නවා . ඒ එයාගේ ඊශ්‍රායල් යෙහෙළිය නිසා . මව් බස උගන්නන දාට මට යන්න බැරි වුනහම ඔය වෙන අම්මෙක් ළඟ ට හේත්තු වෙනවා . හිබ්රු ..තුර්කි ..පෝලිෂ්..වගේ අපිට හුරුම නැති බසවල් එයාලට ඇහෙනවා .

කොරියන් ජපන් වියට්නාම රුසියන් එකී මෙකි නොකී භාෂාවලින් කතාකරන ළමයි ඉන්න ඉස්කෝලෙක ඉගෙනීමේ සතුට ඒකයි.

කෑම බිමත් එහෙමයි . මන් ලඟදි කල්පනා කළා රොටි ගැන . හැම රටේම වගේ රොටි වර්ගයක් තියෙනවා . අපේ අසල්වැසියාගේ රටේ චපාති ..නාන්..පුරි දකුණු සහ මධ්‍යම ඇමෙරිකාවේදී ටෝටිලාස් ..මධ්‍යධරණී පැත්තේදී පිසා..අපේ ඉතින් පොල් රොටිය . ඒකත් හරිම විශේෂයි බලන් ගියහම .

ඉතියෝපියාවේදීත් රොටි වර්ගයක් තමයි එයාලගේ ප්‍රධාන ආහාරය . මේ රොටි වර්ග වගේම ආප්ප වගේ මදක් පැසෙන්නට ඇරලා සාදන රොටි වර්ගත් හැම තැනම තියෙනවා . තෝසේ ඒ වගේ එකක් . ප්‍රන්ශේ ප්‍රකට Crepe කියන පෑන් කේක් එකත් ඒවගේ .

වියට්නාමේත් තියෙනවා අපේ ආප්ප වගේම කෑමක්. හැබැයි ඉතින් මැද්දට මස් මාංස .සහ තව දේවල් පුරවල හදන්නේ . මෙහෙ තියෙන සමහර කෑම හොඳයි . ටි ජිත් ඉල්ලලා තිබුන සහල් පිටි කෑම ගැන ලියන්න කියල .

වැඩේ ඉතින් මේ සහල් ටිකක් ඇලෙන සුළුයි . අපේ සහල් පිටි වලින් මේවා හදන්න බැහැ .ඒ නිසා ලියන්න වෙන සහ කියවන්න වෙන මහන්සිය අපරාදේ . මුන් ඇට වලින් හදන කෑම වුනත් ටිකක් ප්‍රයෝගික නැහැ . රසම රස මුන් ඇට කේක් වුනත් පොඩ්ඩක් ඌරු තෙල් මිශ්‍ර කරනවලු .


කතාව කෑම දිහාට ඇදිල ගියාට පටන් ගත්තේ අපේ ළමයින්ගේ සිංහල දැනුම ගැනනේ. මුලින් ඉංග්‍රීසි ඉගෙන ගෙන පස්සේ සිංහල ඉගෙන ගැනීමේදී වෙන හාස්‍යජනක සිදුවීම් අනන්තයි අපේ දිහා . එකක් තමයි උක්තය .කර්මය අඛ්‍යාතය අනුපිළිවෙලින් සිංහල වලදී එන්නේ . ඉංග්‍රිසියේදී ඕකේ වෙනස් .
මම බත් කෑවා = I ate rice

දෙවනුව සිංහල උගෙන ගනිද්දී ''මම කෑවා බත් '' .

අද බොහෝ දේ අමතක වුනත් එකල මව් බස මගේ ප්‍රියතම සහ පහසුම විෂයක් වුනා . කොටින්ම වතුර වගේ . ඒත් භාවිතයේ නැතිකොට ඒක ඉගෙන ගන්න ලමයෙක් ට කොච්චර අමාරුද කියල අද තේරෙනවා .



මේ පාර ගෙදර ගිය වෙලාවේ නන්දා මාලිනියගේ නෑසෙන ගී තැටිය ගෙනාව . දවසක ඔය තැටිය වාදනය වෙමින් තිබුන . අපේ දෙන්නත් ගෙදර .

මන් එයාලගේ සිංහල දැනුම අවතක්සේරු කරලා ඔහේ මගේ වැඩ කරන හිටිය .

එයාලත් එයාලගේ වැඩ .

සින්දු හයක් විතර ගියාට පස්සේ පටන් ගත්ත '' මධුර ප්‍රේම කල්පනා '' ගීතය .


පොඩි - ''අම්මේ මොකක්ද මධුර ප්‍රේම කල්පනා කියන්නේ ''


අක්ක - '' අහන්න එපා නංගි. මන් හිතන්නේ ඕකේ සම්බන්ධයක් තියෙනවා ආදරේට ''


මේ දෙබස වුනේ ඉංග්‍රීසියෙන් .මන් හීන් සැරේ තැටිය අරන් තිබ්බ .

ආයේ දවසක ලංකාවට ගිහින් ආපු අලුතම .

පොඩි - අම්මේ මන් දන්නවා MY GOD කියල සිංහලෙන් කියන්න විදි තුනක් තියෙනවා .


1. බුදු අම්මෝ
2. ජංජාලයයි
3. අම්මට සිරි
.

අපේ බනිලගේ තාත්ත උදේට ගෙදරින් යනකොට ''අපි ගියා '' කියන පුරුද්දක් තියෙනව . බනි නිතරම මතක් කරනවා ''අපි ගියා නෙමේ මන් යනවා කියන්න '' කියල .


ඔව්වට හිනා වෙලා මන් උගත් පාඩම තමයි '' ළමයින්ගේ දැනුම අවතක්සේරු නොකරනු '' කියල .


මේවා කියද්දී මට තව ලස්සන සිදුවීම් ගොඩක්  මතක් වුනා .


1.අපේ ලොකු දු යන්තම් බැහැ තෝරන කාලේ  කාරෙක යට පුස් පැටියෙක් මැරිලා හිටියා . අපි ඉතින් එයාගේ පුංචි හිත රිදවන්නේ නැතුව පුස් පැටිය නිදි කියල එයාට හොරෙන් අයින් කරලා දැම්ම .
හවස ලොකු ආච්චි ආවා . 
ලොක්කි -'' ආච්චි හරි වැඩේ . අද කාරෙක යට පුසෙක් මැරිලා හිටිය ''


2.මෙයාලගේ සියා පන්ති වගයක් කළා ඒ කාලේ . ලියුමක් පරිගණකයෙන් හදා ගන්න හන්දියට යන්න ලෑස්ති වෙලා
සියා ..දුවේ මන් යනවා මේ ලියුම හදන් එන්න
ලොක්කි ..- ඇයි සියේ ලියුම කැඩිලද??



3. ලොක්කි තමයි තාත්තගේ පැත්තේ පළවෙනි ළමය . ඒවෙනකොට අපේ නෑනා විවාහ වෙලා හෙම නැහැ . ඉතින් ඉස්සරහ වැඩ කටයුතු ගැන හිතල අපේ නැන්දම්මා ගේ දොර හෙම වැඩිය කිලිටි වෙනවට කැමති වුනේ නැහැ . හැබැයි යන්තම් හිටගන්න පුළුවන් වෙද්දීම අපේ කෙලී ගත්ත පාට කුරු අතට .


නැන්දම්මාට තරු පෙනුනේ බිත්ති පුරා සිගිරියටත් වඩා හොඳට බිතු සිතුවම් මතු වෙද්දී . ඒක තැනක් අතුල්ලලා සෝදාලා මකනකොට මෙන්න තව බිත්ති දෙකක් විතර ඉවරයි . ළමයාගේ තාත්තයි අම්මයි ළමයාගේ චිත්‍ර හැකියාව ගැන පුදුම ආඩම්බරයකින් ඉන්නවා දැක්කම ලේලි ගැන මාර ආදරයක් ඇති වෙන්න ඇති හිතේ . අම්ම අඟුරු වලින් බිත්ති වලයි තව අතට අහුවෙන පොත් පත්තර තිර වල චිත්‍ර කලාව ප්‍රගුණ කල එකේ දුවට එපා කියයිද .


නැන්දම්මට තව තරහ යන්න ඇත්තේ ළමයාගේ තාත්ත බිත්තියට බෝල ගහල ක්‍රිකට් පුරුදු වෙනවා . ක්‍රිකට් කිව්වට ඒක ඉතින් ස්කොෂ් වගේ . බෝල වල මඩ පාරවල් බිත්තිය ගන්න දෙයක් නැහැ ,. මෙන්න ඒ මදිවට කෙල්ල බිත්තිය වනසනව .


ළමයාගේ අම්මයි තාත්තයි වැඩට යනවා . බලාගන්න ගෑනු ළමයත් අපේ ලොක්කිටම හරියනවා . අපි ඉන්න වෙලාවට නැන්දම්මා මොකුත් කියන්නෙත් නැහැ . ඉතින් අපිටත් ඕක එච්චර ගානක් නැහැ .
දවසක් කොලේක ලොක්කි ඇන්ද ලොකු මුණක් . ඇස් දෙකෙන් කඳුළු බෝල දෙකක් කඩන් වැටෙනවා ඇන්ද ඒ මුණේ.
අපි ඇහුව ඇයි මේ බබා අඬන්නේ කියල


ලොක්කි - '' ඒ බබා අඬන්නේ එයාගේ ආච්චි බැනල , බිත්තියේ චිත්‍ර ඇන්ද කියල ''
මදැයි කළා .ආච්චිගේ මුණ ඒ වෙලාවේ පින්තුරයක් අරන් තියන්න බැරි වුනානේ .


මන් හිතන්නේ ආච්චිත් ඉගෙන ගන්න ඇති ''ළමයින් අවතක්සේරු නොකළ යුතුයි කියල ''[ මේ සිද්ධිය මන් චිත්‍රාට ඉර ඇබින්දක් ලිපියේ කමෙන්ට් එකක් විදිහට දැම්ම කියල දැන් මතක් වුනා . ඔන්න ඔහේ කෑමක් නැහැ ]


ගෙවල් අවුල් වෙන එක වැඩිය ගණන් ගන්න එපා කියල තමයි මන් ඔය ''අලුතින් තාත්තල ''අම්මල වෙච්ච  අයටත් කියන්න තියෙන්නේ . ''ලස්සන ගෙයක්ද බුද්ධිමත් ළමයෙක්ද '' හිටපු විදුහල් පතිනියක් කල කතාව මගේ හිතේ හැමදාම තියෙනවා . අනික මොකට ඔය හැටි අස්පස් කරලා තියා ගන්නවද . මේ


ගෙවල් අස්පස් කිරීම ගැන මන් පෝස්ට් එකක් ලියන්න හිතන් ඉන්නේ . ඒක ලිව්ව දාට ස්වාමි පුරුෂයෝ තම බිරින්දෑ වරුන්ට මේ පැත්තේ එන එක තහනම් කරන නිසා බ්ලොග් ලියවිල්ල එපා වෙන දාකට ඒක ලියන්නයි  හිතන් ඉන්නේ .

බනිලගේ ඉස්කෝලේ සිද්ධි ගොඩක් තියෙනව බෙදා ගන්න . ඒ සමහර දේවල් අපිටත් කල හැකි දේවල් . හොඳ දේ කාගෙන් වුනත් මොකද . ඒවා හොඳ නම් . ඉඩ ඇති විදිහට ඒවා ලියන්න බලාපොරොත්තු වෙනවා .එහි අරමුණ ඉංග්‍රීසිය කරමත තබා ගැනීමවත් අපේ දේවල් අවතක්සේරු කිරීමවත් නෙමේ . ලස්සන දෙයක් බෙදා ගැනීමත් අපිට හැකි නම් ඒවා අපේ අධ්‍යාපනයට එක් කර ගැනීම හොඳ දැයි සිතීමට ත් පමණයි .
  .


අදට බනිගේ මගේ කතා එපමණයි . අසා සිටි සැමට ස්තුතියි .


මේ ස්තුතියි ගැනත් අපේ ලොක්කි ලඟදි හරි කතාවක් කිව්වා . අපේ රටේ අය එච්චර සිරිත් දන්නේ නැහැ නේද කියල . මොකෝ ඇහුවම එයා කියනව ස්තුතියි කියනව ආයුබෝවන් කියනවා  එයාට වැඩිය ඇහිලා නැහැලු . ඇයි දෙය්යනේ අපි කට පුරා ''තෑන්ක් යු '' කියන්නේ . මේ ළමයට හිතෙන එව්වා
අනික මන් කිව්වා මෙලෝ තේරුමක් නැතුව සුද්දා හව් ආ යු කියනව .  මෙලෝ හොඳක් නැති මුස්පේන්තු දවසක වුනත් I am fine කියල උත්තර දෙනවා .


අපිත් එහෙමමයි ''කොහෙද යන්නේ ..'' අහනවා පෙනී පෙනී
''මේ ලඟට යනවා '' වැඩි හිතවත් නම් යන ගමන පැත්තක තියල රටේ නැති වල්පල් කතා කරනවා . කොයිකත් එකයි. ඒ ඒ රටේ ඒ  ඒ විදිහට . මන් නම් ඔය කොයිකත් හොඳයි කියල තමයි හිතන්නේ හිනා පොදක් නැති පැතලි මුණක් දකිනවට වඩා .


පොරොන්දු කීපයක් තියෙනවා වෙච්ච .එයින් එකක් ඉටු කරන්න ලැබෙන ආකාරයේ පොඩි ගමනක් යන්න ලැබෙනවා හෙට අනිද්දට . සතියක වසන්ත නිවාඩුව හින්ද . හැබැයි මේ නිවාඩු බෑන් කි මුන් මහත්තයගේ ඉස්කෝලේ විතරයි . ඒකට සල්ලි ගෙවන තාත්තලාගේ රාජකාරි තැන එහෙම නිවාඩු තියා සති අන්තෙත් ගෙදර ඉන්න බැරි තත්වයක් තියෙන්නේ . ඒ හන්දා ගමනක් යන්න දවස් දෙකක් තුනක් ගැට ගහගන්නේ හරිම අමාරුවෙන්. ගමන ගිහින් ඇවිත් බුරතිනෝ [ බුරභිධාන ] ට කාලෙකට පෙර වුන පොරොන්දුවක් ඉටු කරන්න හිතන් ඉන්නවා . වැඩි විස්තර දැන් කිව්වොත් අගයක් නැහැ ලඟදි හරි හමන් ලිපියක් ලියවුනේ නැහැයි මන් වගේම තව කීප දෙනෙක් හිතන් බවත් මන් දන්නවා . පසුගිය දවස්වල වෙන කොහේ හරි යයිද කියන වගේ වැට උඩ තත්වයක් තිබුනා . බරපතල දෙයක් ලියන්න හිතක් සහ වෙලාවකුත් නැති වුනා . ඉදිරියට හොඳ දවස් ටිකක් එයි යයි හිතනවා .


වසන්තය ආයෙත් ඇවිත් . මල් ගොඩක් පිපෙනකම් ඉන්නේ පින්තුරත් අරන් පෝස්ට් එකක් දාන්න . පසුගිය වසන්තයේ ලියුව ලිපිය කියවන්න කැමති නම් ඒ වෙනකම්

ප ලි.
අසෙනිය කුසුමෙන් හොඳම බ්ලොග් එකට සම්මානය අරන් නිකන් ඉන්නේ නැතුව පුසටයි මටයි නොදී හොඳම පුද්ගලික බ්ලොග් අඩවියේ සම්මානෙත් අරන් ගියපු සඳරු මලයට මගෙයි බනිලගේ තාත්තගෙයි උණුසුම් සුබ පැතුම් . හිටින්කෝ තව ඉතිහාස පාඩම් ටිකක් කියා දෙනවා තරහටත් එක්ක .[ මලය දන්නවනේ මේ විහිලුවට කියල ] සිංහල බ්ලොග් නොකියවන මිතුරියන්ටත් මන් ඔබ ගැන කිව්වා . ඒ අයත් හිස් අහසට ඇබ්බැහි වෙයි .

 picture from

79 comments:

  1. දුවා කුඩා කාලේ ම්ම හිටපු හැම කුලී ගේකටම අපි යන දවසට තීන්ත ගාන්න වුනා. අපේ කෙලී පාට කරපුව මකන්න. හැබැයි දැන්නම් ඒ ප්‍රශ්නෙ නැහැ. කෙල්ල ලොකුයිනේ. ඒත් අපේ හාමිනේවත් මමවත් කවදාවත් මුකුට්‍රහ් කිව්වේ නැහැ කෙල්ලට. ඒකෙ ප්‍රතිඵලය තමයි දැන් අපේ ළමයට ඕනෙම පාඩම් වැඩක චිත්‍ර ටික තනියම ලස්සනට අදින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක හරි වෙදතුමනි . ළමා කාලය ආයේ එන්නේ නැහැනේ . බිත්ති පරණ වෙනවා . ළමයාගේ වර්ධනය ඊට වඩා කොච්චර ලස්සනද .

      Delete
  2. නියම හෑල්ල බින්දි එක හුස්මට කියෙව්වා.ආපහු ආපු එකම මදෑ.........

    ReplyDelete
  3. අපේ පුතා පොඩි කාලෙ ඒ කියන්නෙ මොන්ටිසෝරි යන්ටත් කලිං කාලෙ ඉංගිරිසි අකුරු 24ක් හරියට දැන හිටියා ණN හා Z පටලවා ගත්තා. ඒ චූටි කාලෙත් කොල්ල ආසයි නෙ (Bay Watch) බේ වොච් බලන්න. කතාව පටංගන්න වාදනය යනකොට කොල්ල තාත්තට අඬගහනව එයත් එක්ක බේ වොච් බලන්න එන්න කියල. අපේ ගෙදර තිබුනෙ "අහක බලන" හෝ" චැනල් මාරු කරන" එකට වැඩිය. ලොකුවට ඕක "ඉශු" එකක් නොකරගෙන බලන දෙය දිගටම බලන ගතිය.

    කොහොමත් හාද්දක් දෙන එක නං අපේ එවුං හැම දාම දැක්ක එකක්. තාත්ත කැම්පස් යන්න කලිං පෝලිමටම හාදු දීල යන නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඒක ඒක ළමයි හැසිරෙන විදිහ වෙනස් . අපිට තේරෙනවනේ අපේ ළමයි හැරෙන්නේ කොහෙටද කියල . උදේ හාද්ද ..D කකාගේ අර මල් කඩන පෝස්ට් එක මතක් වුනා .

      Delete
  4. මම මේ පැත්තෙ මේ ආවාමයි..ඔබා අයිය තමයි පාර කිව්වෙ..

    ළමයින්ට බාදා වැට කඩුලු අඩු වෙන තරමට ඔවුන් නිර්මාණශීලී වෙනවා. ඒත් තරවටුවක අනතුරක් නොපෙනුනොත් විනයගරුක වෙන්නෙ නෑ.

    ReplyDelete
  5. එක හුස්මටම කියෝල දැම්ම අක්කෙ. ජයවේවා......!

    ReplyDelete
  6. අම්මෝ කියවගන ගියා එක හුස්මට.

    බනියාට මෙන්න ලොකූ උම්මා එකක්....අපරාදේ කියන්ට බෑ ෂෝක් කෙලි පොඩ්ඩක්...හී හී...
    පොඩි කාලේ අපිත් ඔහොම තමයි. දන්නවද?

    උම්මා කිසිම ප්‍රශ්නයක් නෑ. අප්පච්චි අම්මටයි, පොඩ්ඩිටයි වැඩට යන්ට කලින් උම්මා දීලා යන හන්දා. පොඩ්ඩි, අප්ප්ච්චිට සමහරවිට මතක් කරනවත් එක්ක 'අම්මාට උම්මා දෙන්නේ නැද්ද ' කියලත්. ඒකේ නම් කිසිම අමුත්තක් පෙනුනේ නෑ.

    පොඩි කාලේ තේරුම් ගන්ට බැරි උනු දෙයක් තමා නෑකම කියන එක. හැමෝටම නැන්දා, මාමා කියනවා. පොඩ්ඩි ඉතින් වත්තේ සුද්ද කරන දෙමල මිනිස්සුන්ට පවා කීවේ මාමා කියලා. රූපවාහිනිය නම් අම්මා රෑට බලන්ට දුන්නේ නෑ. ඒත් යාලුවෝ එකතු උනාම හොරෙන් බැලුවා. ඒත් ඔය කට කන ඒවා දකිනකොට හිතුනේ ඊයා කියලා. (මේ පොඩි කාලේ හොඳේ ) :)))

    පිටරටක හැදෙන එකේ වාසිත් තියනවා. තනියම හිතීම, අනුන්ගේ වත්පොහොසත්කම් සහ කුල, මල භේද උඩ නැතුව යමෙකු අගය කිරීමට ඉගෙන ගැනීම , ඕනෑම දෙයක් ප්‍රශ්න කල හැකිවීම, තනියම සමාජයට මූන දීමේ හැකියාව, නිදහසේ අදහස් ප්‍රකාශ කල හැකිවීම. හිතා ගන්ට බැරි තරම් ගොඩාක් දේවල් තියනවා.

    ඔය ඉංග්‍රීසි රටවල ඉඳලා සිංහල ඉගෙනගන්ට යන කොට නම් ලස්සන දේවල් සිද්ධවෙනවා. දවසක් පොඩ්ඩි පොඩි කාලේ, පාර හරා මිනිහෙක් පැනලා, කාරෙක එලවපු, අපි දන්න මමා කෙනෙක් එයාට 'මී හරකා' කියලා කීවා. පොඩ්ඩි කාලයක් යනකල් හිතා හිටියේ පාර පනින මිනිස්සුන්ට කියන්නේ 'මීහරකා' කියලයි. තව සැරයක් යාලුවෙකුට ටියුෂන් දෙන්ට එන ටීචර් කෙනෙකුට 'අන්න අරූ එනවා' කියනකොට, පොඩ්ඩි හිතුවේ ටීචට කියන තවත් නමක් 'අරූ' කියලා. පොඩි ලමයි ඉන්න තැන්වල ඇත්තටම කතාවෙන් පරිස්සම් වෙන්ට ඕනේ.

    @සඳරූ,

    හැබෑට නරකද එක සම්මානයක් බින්දිට හරි පූසාට හරි දුන්නානම්. විහිලුවට හොඳේ. :D:D:D

    ඔයාට තව, තවත් මේ වගේ සම්මාන ගොඩාක් හම්බවෙලා, ඔයා දවසක ලෝක ප්‍රසිද්ධ වෙන්ට කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා. :D

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අපිටත් ඔහොම වැඩ හරියට . බනි පුංචිම කාලේ රියදුරාට කිව්වේ බුරු කියල . හිතා ගන්න පුළුවන්නේ . ඔයත් පසුවද සිංහල ඉගෙන ගත්තේ . ඉතින් ඔය අපුරුවට බ්ලොග් එකකුත් ලියන්නේ . නියමයි .

      Delete
  7. පොඩ්ඩොන්ගෙ කල්පනා සාගරයක් තරම් නිසා අවතක්සේරු කරන්න නම් හොඳම නෑ..
    මට ටොට්ටෝ චං ගේ හරි පුදුම ඉස්කෝලෙ මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ.. ටෝට්ටෝ චන්ගේ පොත මාත් නිතරම කියවනවා . මෙයාලගේ ඉස්කෝලෙත් ඒ ලක්ෂණ ටිකක් තියෙනවා

      Delete
  8. මයේ අම්මියෝ... අක්කා පෝස්ට් දෙක තුනක්ම එකට පබ්ලිෂ් කොරලාද ???

    ඔක්කොම කියෙව්වා ඕං... ඇත්තම කියනවා නම් පවුලේ උදවියත් එක්ක එකට එකතුවෙලා ඉන්න තැනක සිප ගැනීමක් නරඹන එක මට නම් තාමත් අපහසු වැඩක්...! බොරුවට සිල් ගත්තා නෙවෙයි ඕං... මම හිතන්නේ අපි හරි දේ වැරදි දේ පොඩි කාලෙම තේරුම් ගන්න ඕනේ කියලයි. අක්කගේ පෝස්ට් එකේ ගොඩක් දේවල් මට නම් ඉස්සරහට ඕනේ වෙයි. විශේෂයෙන්ම බිත්ති පාට කිරීම !!! මම හිතන් ඉන්නේ බිම ඉඳන් අඩි තුනක් විතර දිගටම සුදු ෆෝමිකා අලවන්න. එතකොට පොඩි එකා ඇති තරම් අඳීවි නොවැ...

    ඇත්තටම දැන් පරම්පරාවේ පොඩි ළමයි අපි පොඩි කාලෙට වඩා ගොඩාක් බුද්ධිමත්... අපි පොඩි කාලේ ෆෝන් එකක්, රිමෝට් එකක් ඔපරේට් කලේ පණ බයෙන්... දැන් ළමයි ඒ වගේ ටෙක් ගැජට් වලට පොඩ්ඩක් වත් බය නැහැ. එයාලට ඒ වගේ දේවල් පාවිච්චි කරන එක සාමාන්‍ය දෙයක්...අනෙක අපි අවුරුදු 10-12 ගිහිල්ලා තේරුම් ගත්ත දේවල් දැන් මොන්ටිසෝරි බබාලත් දන්නවා.

    අපේ නැන්දගේ දුව ගොඩාක් පොඩියි. දවසක් විහිලුවට වගේ කෙනෙක් කිව්වා අහවලාගෙ බඩ ඇවිල්ලා කියලා... ඉතින් තව කෙනෙක් කියනවා එනම් බබෙක් හම්බවෙන්න වෙන්නැති කියලා. ඒ වෙද්දී පොඩි කෙල්ලට 4-5 ක් වගේ ඇති. මේකි කියනවා... “බබ්බු හම්බවෙන්නේ කොහොමද මෝඩයෝ, ඒ අක්කා බැඳලත් නෑනේ...“ !!!

    පොඩි උන් ඉන්න තැන්වල හැසිරීම, කථාබහ බොහොම ප්‍රවේසම් වෙන්න ඕනේ. උන් කොපිකැට් මාරයෝ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙව්වා සම්පුර්නයෙන්ම අපේ අත්දැකීම් . ඒ ඒ කාලෙට සුදුසු විදිහට ඒ දේවල් කරන්න . දැන් ව්‍යාපෘතිය පටන් අරන් නේද . ෆොමිකා අලවන එක නම් හොඳයි . අපේ බනිය බිත්ති වල ඇන්දේ නැහැ . එයා අවුරුදු දෙකෙන් ඉස්කෝලේ ගියානේ . අනික අපි දැන් ඉන්න ගෙවල් වල පහල සෙල්ලම් කාමර සහ එළියේ සෙල්ලම් කරන්නත් තැන් තියෙනවා . මමත් ගෙදර හිටපු නිසා ලොකුවට එයාට ගේ ඇතුලේ සෙල්ලම් කරන්න ඕන වුනේ නැහැ . ඇති තරම් එළියේ සෙල්ලම් කළා . අනික අපේ ඉන්දියන් යාළුවගේ ළමයි එක්ක නාප්‍රකාර සෙල්ලම් කළා ඒ කාලේ. දැන් නම් බිත්තියේ අඳින කාලේ පැනල . එයා චිත්‍ර වලට වඩා සංගිතෙටයි කැමති .

      Delete
  9. හප්පා.. මේක කියවලා මට තව පෝස්ට් එකක් වගේ කමෙන්ට් එකක් දාන්ඩ දේවල් මතක් උනා.

    බිත්ති පාට කරන එකට මමත් පූර්ණ අනුමැතිය දීලා තියෙන්නේ.. ගෙවල්ලනම් හදාගන්ඩ බැරියා.. ඒ වගේද ළමා මනස.. ඒකෙන් ඒ ගොල්ලන්ට හොඳක් වෙනවනම් ඒක වලක්වන එක හොඳ නෑ කියලා තමා මට හිතෙන්නේ..

    අර How are you, I'm fine කතාව දැක්කම මට මතක් උනේ මේ අරාබි කාරයන්ගෙ පුරුද්ද.. කෝල එකක් කියමුකො, ඔන්න පළවෙනි සැරේ කතා කරලා How are you කියලා අහනවා.. අපිත් ඉතින් i'm fine thanks කියනවා. ආයේ විනඩියකින් වගේ ආයේ කතා කොලොත් මුන් ආයෙත් අහනවා how are you කියලා.. අපිට හිතෙනවා පිස්සුද හැටිද කියලා.. ඒ අපිට.. උන් උන් හම්බුනාම මොනවදෝ මහා දිග වැලක් දෙන්න දෙපැත්තට කියෝගන්නවා.. ඔය අතර් දෙතුන් පාරක් වැළදත් ගන්නවා. ඒක දැකපු මටත් හිතුනා අපේ රටේ අය එච්චර උනුසුම් විදිහට එකිනෙකාව පිළිගන්නේ නැහැ නේද කියලා.

    සඳරුවා සම්මානේ උස්සන් ගියා කියලා දැනන් හිටියේ නැහැනේ.. ස්තූතියි ඒ ගැන කිව්වට.. යන්ඩ ඕනා ඒ පැත්තේ ඌට සුබ පතන්ඩ..

    වැඩි වැඩියෙන් මල් පිපෙනකම් බලාගන සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ සංස්කෘතිය තුල ශරීර ස්පර්ශය අඩුයි සුබපැතිමේදී. ප්‍රංශ කාරයා හෙමත් සිපගන්න එකයි කරන්නේ දැක්ක ගමන්ම . වාසනාවන්ත දරුවෝ ඔයාල වගේහිතන දෙමාපියෝ ලබන්න . අද දිග උත්තර දෙන්න මහන්සියි අප්පා . ඒගැන සමාවෙන්න ඕන හැමෝම

      Delete
  10. හප්පා...පොස්ට් එක සහ කොමෙන්ට් කියවල තොල කටත් වේලුනා. ආයෙ ඇවිල්ල හෙමීට කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. තොල කට තෙමාගෙන . අද අවසර ඇති දවසක්ද

      Delete
    2. ඔන්න අද නම් අවසර තියෙන දවසක්, ඒත් තාම වැඩ. ගෙදර ගිහින්ම තමා පෝස්ට් එකයි, කොමෙන්ට් ටිකයි ඔක්කොම කියවන්න වෙන්නෙ.

      Delete
  11. මං වත් අක්කවත් පොඩි කාලෙ බිත්ති වල චිත්‍ර ඇඳලා නෑ මයෙ හිතේ.. අපි දෙන්නටම (වැඩියෙන්ම මට) චිත්‍ර අඳින්න බැරි ඒක වෙන්ටෑ.. හැබැයි මං ඔය බිත්තියත් එක්ක බෝල ගහන සෙල්ලම නං ජයටම කළා.. ජනෙල් වීදුරු බර ගානකුත් බිඳලා තියෙනවා.. කෝ.. ඒකෙත් ප්‍රතිඵලයක් නෑ නොවැ..

    චිත්‍ර කතා අපේ අප්පච්චි දාලා තිබුණෙ "පහත් රසවින්දනය" ගොඩට.. ඒ වුණත් ලොකු බාප්පගේ පත්තර, සඟරා වල තිබුණු කාටුන් චිත්‍ර කතා (කැමිලස් ගේ ගජමෑන් වගේ..) බලන්න නම් මාත් ආසා කළා.. හැබැයි ඔය පත්තර වල ගියපු බොළඳ චිත්‍ර කතා නම් බැලුවේ කොහේ හරි ගිය වෙලාවක ලැබුනොත් විතරයි.. ඒකත් වෙන කියවන්ට දෙයක් නොතිබුණොත්.. මිහිර පත්තරේ ගිය "බූ,බබා සහ තුල්සි", "‍යෝධයා" විජය පත්තරේ "මල්මාමා" ආසාවෙන් බලපු කාටුන් චිත්‍ර කතා..

    රූපවාහිනිය නම් වෙලාවකට මහා වින්නැහියක් කියලත් හිතෙනවා.. ඒත් හොඳ වෙලාවට අපේ පොඩි එවුන් තාම රූපවාහිනියට තදින් ඇබ්බැහි වෙලා නෑ..

    අපේ රටේ අයගෙන් දැන් ටිකින් ටික මැකිලා ගියත්.. අපේ හිනාවත්, ආගන්තුක සත්කාරයත් අපටම ආවේනික වුණු දෙයක් කියලා නොවැ කියන්නේ...

    ලිපිය නියමයි..

    ReplyDelete
    Replies
    1. රුපවාහිනියට ඇබ්බැහි වීම . කට්ටිය තරහ වෙයිද මන්ද . ලංකාවේ ටි වී එකේ නම් ළමයින්ට සුදුසු දේවල් අඩුයි නේද . පුළුවන් නම් කේබල් අරන් TLC National Geography Discovery වගේ චැනල් බලන එක හොඳයි . හැබැයි මන් දැක්ක ඉන්දියන් ඇඩ් පිරිලා ඒවායිත්. අපේ අය කාටුන් බලනව ටිකක් . දවස් අනුව . සිකුරාදයි සෙනසුරාදයි වැඩිපුරත් අනික් දවස්වලට ටිකකුත් .
      අපේ අක්ක ටි වී බලන්න දෙන්නෙම නැති තරම් . ඒකයි මන් කිව්වේ එක එක ළමයින්ට ගැලපෙන විදිහට තමයි කොයිකත් .
      බු බබා ..මල් මාමා ..තවමත් ආසයි . සිබිල් නැන්දගේ සුත්තර පුංචා . මේ පාර අලුත් පොතක් හම්බ වුනා . චිත්‍ර කතා නෙමේ . හැබැයි පුන්චාගේ කතා ගොඩක් තියෙනවා . කුරු පිංචි මතකද . අපි තව පෝස්ට් එකක් ලියමු ළමා පත්තර ගැන

      Delete
  12. එක හුස්මට කියවගෙන යන්න පුලුවන් කතාවක්. දැන් ඉන්න පොඩි වුන් කොහොමත් පැහිලා.මාත් හැබැයි ඉස්සර මුකුත් අම්මලාගෙන් අහන්න ගිහින් නෑ.ඉතිං අම්මලා හිතන්න ඇත්තෙ මං මුකුත් දන්නෙ නෑ කියලයි.හැබැයි අපේ නංගි ඕකෙ අනික් පැත්ත.

    ReplyDelete
    Replies
    1. ඔයත් අපේ ලොක්කි වගේ ඇති . දෙවෙනියෝ ටිකක් වෙනස්

      Delete
  13. ඇයි ඔය චිත්‍ර කතා අතරේ තිබුනා මතකද “ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත්“ ත්‍රි දේව් හින්දි චිත්‍රපටියෙම කොපිය. මමත් ඒ දවස්වල ආසාවෙන් කියෙව්වා ......

    දැන් ඉන්න පොඩි උන් අපිට වඩා පැහිලා, අපේ ලොකු එකත් අර විදියටම ඇස් වහ ගන්නවා කිස් කරන සීන් එහෙම යනකොට, හැබැයි කවදාවත් අහලා නෑ ඒ මොකද කරන්නෙ කියලා, සමහර විට අපි ඒ දේවල් බලනවට අකමැතියි කියලා දන්න හින්දා වෙන්න ඕන, එහෙම නැතුව ඒකෙ තේරුම ගැන දන්නව කියලා නං හිතන්න අමාරුයි ........

    ReplyDelete
    Replies
    1. කල්හාර බලන්න ඇත්තේ මට ගොඩක් පස්සේ . නම නම් මතකයි වගේ . වැඩේ අපිට ඔව්ව පිලිවෙලකටබලන්න වුනේ නැහැ . මොකද අපේ හිතෙත් තියෙනවනේ මේක ටිකක් දෙවෙනි පන්තියේ වැඩක් කියල . ගෙදරට ගේන්නේ නැහැ . අම්මල බනියි කියලත් හිතෙනවා .මොකක්දෝ කතා නොවුන සම්මුතියක් තිබුන . කොහේ හරි ගෙදරකදී ලැබුනොත් තමයි . සමහර අය ඔය කතා එක කරලා පොත් වගේ බැඳලා තිබුන . .ඔයාගේ ලොකු දු ගැනනේ ඔය . බලන්නකෝ අනික් එක්කෙනා
      තේරුමක් දැන නෙමේ. ඒ වයසේදී ටිකක් වැඩි දෙයක් කියල දන්නවා .ඒකයි

      Delete
    2. කල්හාර,
      මචෝ ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත්ගෙ නංගිත් (සචී) එක්ක යාලුවෙන කොල්ලගෙ නම මතකද ??? දුශ්ඨයාගෙ නම සාලින්ද කියල මතකයි
      ආ තම එකක්. ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් කතාව චිත්‍ර කතා පොතක් විදියට නිකුත් කලා මීට අවුරුදු දෙකකට විතර කලින්.

      @බින්දි,
      කල්හාර කියන කතාව තිබුනෙ සත්සිරි (කැමිලස්ගෙ) පත්තරේ, 1988 වගේ කාලෙ. කැමිලස් එක්ක සිත්තරෙන් අයින් වෙලා සත්සිරි හදන්න ආපු මුල්ම සෙට් එකේ කෙනෙක් වෙන ගුනපාල ජයලත් (නම හරිද මන්දා, එයාම තමයි මට මතක විදියට සිත්තර පත්තරේ යුනිකෝ කතාව ඇන්දෙත්) තමයි ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් කතාව ඇන්දෙ

      Delete
    3. @ ඕනයා,

      88 නෙවෙයි, ඊට කලින්, 87 වෙන්න ඕන බොහෝවිට.. සත්සිරි පත්තරේ පටන්ගත්තෙ 86 මැද, ඒ කාලෙ තමා ඔය මම පහලින් කියපු නින්ජා සීරීස් එක එහෙම ගියේ.. ඔයා හරි, ශ්‍රීනාත් ඇන්දෙ ගුණපාල ජයලත් තමා.. ඒකෙ පාර්ට් 2ත් ගියා මතකයි.. යුනිකෝ වගේම කැරැක්ටර් එකක් සත්සිරි එකට ඇන්දා 'අයස්' කියලා..

      Delete
    4. ශ්‍රීනාත් මතක් කරපු නිසා පොඩි සර්ච් එකක් කලා.. මෙන්න චිත්‍රකතා රසිකයින් වෙනුවෙන් පුංචි තෑග්ගක්.. :)

      SriLankan Comics

      Delete
    5. @බුරතීනෝ,
      ටැංකූ මචං. උඹ නං දෙයියෙක්

      Delete
  14. මාසෙක දෙකක කතන්දර නේද මේ එක හුස්මට?

    ReplyDelete
  15. ප්‍රශ්නෙට උත්තරේ:

    මධුර ප්‍රේම කල්පනා කියන්නේ මොන්ටිසෝරියේදී ඇතිවන පෙම් හැඟීම් වලටයි.

    ReplyDelete
  16. ඔව් අනේ . කතන්දරට වගේ පිළිවෙලකට ලියන්න බැහැ. හිතුනම බ්රේක් නැහැ ..
    මදැයි . නන්දා මාලිනි මොන්ටිසෝරි යන කාලේ කිව්ව සින්දුවක්ද

    ReplyDelete
  17. "අපි ගියා" කියන්නෙ රජ්ජුරුවෝ. ගෙදර රජ තාත්තා නිසා ඒක වැරදිත් නැහැ!!!

    ඒ කාලේ හිටපු අය කිව්වෙ "ගිහින් එන්නම්" කියලයි. දැන් නම් එහෙම ඇහෙන්නෙ මම වගේ වයසක ඇත්තෝ වෙතින් විතරයි. අපිත් එක්ක මේසෙට වාඩිවෙලා උන්නු පබ්ලිස් සූපවේදියා "ගිහින් එන්නම්" කියලා ගියාම මාත් එක්ක ගල්කිස්ස හෝටලයට ගිය මගෙ යෙහෙළිය එයා ආපහු එනවා කියපු නිසා එතැනින් යන්න ගොඩක් අදිමදි කළා.

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි අරුණි අක්කේ ''ගිහින් එන්නම්'' කියන එකට . අමුතු බැඳීමක් තියෙනවා ඒ වචන තුල . ගෙදර රජතුමා වුනාට කුමාරිකාවන් ඊට වඩා බලවත් වගේ වෙලාවකට . ලස්සන හිනාවෙන් හුරතලෙන් රජතුමාව රවටනවා

      Delete
    2. ගිහින් එන්නම් තමයි මමත් පාවිච්චි කරන්නෙ . . . හැබැයි හාමිනේට විතරක් "අපි ගියා" කියන එක පාවිච්චි කරනව

      Delete
    3. රජවරු ඇරුනම පාප් වහන්සෙත් කියන්නේ 'අපි' කියල නේද ?

      Aruni Shapiro, How are we ?

      Delete
  18. දිගු ලිපියක්නේ එක හුස්මට කියෙව්වා, මේවට නම් කියන්න කථා ගොඩයි. ඒත් ඉතින් අපි කාටත් කියන්න තියෙන්නෙ සමාන දේවල්ද මන්දා. භාශා ගැටලුව නිසා දවසක් අපෙ කෙල්ල කියනවා පොදි දරුවෙක් පෙන්නලා " මෙන්න තව එකෙක් කියලා ". එක්කෙනෙක් කියන එකට එයා එහෙම තමයි කියන්නෙ. දැනටත් අපෙන් අහන දේවලට උත්තර නෑ වෙලාවකට.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ බ්ලොග් ලියන අපේ සමකාලින මිතුරන් සැවොම මේ හා සමාන අත්දැකීම් ඇති අය වෙන්න ඕන . ආ ඔයාටත් බලන්න පුළුවන් . මේ දැන් පොඩ්ඩකට කලින් අපේ ගෙදර තාත්ත කියල ''අපි පොඩි කාලේ නම් සොෆ්ට් ටෝයීස් තිබුනේ නැහැ ''කියල . උත්තරේ දන්නවද
      its bad luck

      Delete
  19. දිග.............................. ලිපියක්. මං මේ හිතාගන්න බැරුවයි ඉන්නෙ මොකක් ගැන කමෙන්ට් කරන්නද කියලා.. :)

    හා හා.. චාම් ගැන ලියන්න නේද යන්නෙ.. තැන්කූ තැන්කූ, පුළුවන්නම් හොඳ ෆොටෝස් ටිකක් දාන්න..

    බිත්තිවල රූප ඇන්ද තවත් ළමයෙක් තමා මම.. කවුරුත් කවදාවත් එපා කිවුවෙනම් නෑ.. චිත්‍රකතා පත්තරත් තහනම් වුනේ නෑ.. පොඩිම කාලෙ ගෙදරට නොගත්තත්, මාමලා නැන්දලා ගත්ත ඒවා කියෙවුවා.. අපේ තාත්තගෙ පවුලෙ අයගෙ හොඳ පුරුද්දක් තිබුනා ඒ කාලෙ චිත්‍රකතා අලවලා පොත් හදන.. ඉතිං ගමේ ගියාම මට වෙන වැඩක් නෑ.. ෆැන්ටම්, ‍ෆ්ලෑෂ් ගෝර්ඩ්න්, පෙනිලෝපා, පර්සියස්, ඊරෝස්, යකාගෙ බෝතලේ, තවලම, සෙනෙහසක කඳුළු, සත්වෙනි දවස, සද්දන්ත (මගෙ අම්මේ තව ගොඩාක් තිබුනා).. මගෙ 4 පන්තියෙ යාළුවෙක් හිටියා, බුවාත් ඔය පොත් අලෝන වැඩේ කලා.. ඉතිං දවසක් මම මිනිහගෙ චිත්‍රකතා පොතක් අරන් ඇවිත් තාත්තට පෙන්නුවා (මතක විදියට නින්ජා සීරීස් එකේ), එදා ඉඳන් අපේ ගෙදරට ගන්න පත්තර ගාන දෙකකින් වැඩිවුනා (අලුත් චිත්‍රකතා පත්තර දෙකත් එක්ක).. එහෙම අරන් අලවලා හදපු පොත් සෙට් එකකුත් තාම ගෙදර තියෙනවා.. (ඔයා මතක් කරපු එක හොඳයි, ඊලග පාර ගෙදර ගියාම ඔය මුතුමැණික් ටික අවුස්සන්න ඕන :D )

    TV බැලිල්ලෙත් කිසිම තහනමක් තිබුනෙ නෑ අක්කටයි මටයි.. හවසට යන කාටුන් (He-Man, Spider Man...), හැන්දෑවෙ හතට යන සීරීස්( Knight Rider, Buck Rodgers...), රෑ අටට යන නාට්‍ය (පළිගු මැණිකේ, ලා හිරු දහසක්...) විතරක් නෙවෙයි මහ රෑ ජාමෙ ගිය ඒවත් (A-Team, The Love Boat, හින්දි/දෙමළ ෆිල්ම්සුත්) බැලුවා.. ඔය කට කන සීන් වුනත් අපට ඒ හැටි මහලොකු දෙයක් වුනේ නෑ (ඕවා ගොඩාක් හිතන්න ගියාම තමා ප්‍රශ්න :D ).. ඒ පුංචි කාලෙත් අපි නිදාගන්නකොට රෑ 11-12 විතර වෙනවා.. හැබැයි අපූරුවට පහුවෙනිදා පාන්දර 5ට නැගිටලා ඉස්කෝලෙත් ගියා, අධ්‍යාපනේට බාධාවක් වුනෙත් නෑ (හැමදාම පන්තියෙ 1-2-3 අතර හිටියා).. ඒ අතින් නම් මම හැමදාමත් අපේ අම්මටයි තාත්තටයි පින්දෙනවා මෙච්චර විවෘත මනසක් ඇතිව අපව හැදුවට..

    අපොයි ලියාගෙන ලියාගෙන ගියා බ්‍රේක් නෑ.. කියන්න කොච්චරනං දේවල් ති‍යෙනවද..

    පලි: මේ දවස්සොල වැඩ වැඩි අප්පා, නයිට් ෂිෆ්ට් දෙක තුනකුත් අදින්න වුනා.. ගෙදර ආවහම මාර මහන්සියි.. ඉතිං බ්ලොග් කියෙවුවා මිස කමෙන්ට් කරන්න හිතක් පහලවුනේ නෑ (ඔය සමහරුන්ට නං අපේ අමාරුකං තේරෙන්නෙ නෑ, මරාගෙන කන්න හදනවා කමෙන්ට්ස් නෑ කියලා).. මං දැක්කා නිදහස් සිතුවිලි පැත්තෙ බුරාභිධාන නෑ කියලා කට්ටිය කම්පා වෙවී ඉන්නවා.. ඉක්මනටම එඤ්ඤංකො, ඔබාටත් මම නැතුව පාලු ඇති.. :D

    ReplyDelete
    Replies
    1. ලැබුන නිදහස තුල ඇවිදින පුස්තකාලයක් නේ බිහි වෙලා තියෙන්නේ . දිග කමෙන්ට් එකක් . මාත් හිතන්නේ කොහොම උත්තර දෙන්න කියලද . සමහරු හිතන් ඉඳල තියෙන්නේ බුරාට රස්සාවක් නැහැ කියලත් . හොඳ නින්දක් දාල හෙම නිදහස් සිතිවිලි පැත්තේ යන්න . කතාව නම් තියෙන්නේ පරණ පොත් කියවන්න ගියයි කියල . අපි නම් නැහැ ඔන්න

      Delete
    2. අය්යෝ ඇඬෙනවා අප්පා.. අපිත් හැදුවා ඔහොම පොත්.. මම ආසම කතාවක් තමා " මුත්තයියා පාර " මතක විදිහට දායා රාජපක්ශ ඇන්දේ.. නන්දෝරිස්වයි, ලක්සෙ අයියවයි තාම මතකයි.

      Delete
    3. බුරාගෙ කොමෙන්ට් එක කියවද්දි මට හිතෙන්නෙ ඇයි බුරායි මමයි එකම වයසෙ කියල ???

      Delete
    4. @ ඕනයා,

      උඹෙ කමෙන්ට් එකේ කොමාවක් අඩුයි, ඒ නිසා හරියටම හිතාගන්න බෑ උඹ කියන්න අදහස් කරේ මොකද්ද කියලා..

      1. //බුරාගෙ කොමෙන්ට් එක කියවද්දි මට හිතෙන්නෙ, ඇයි බුරායි මමයි එකම වයසෙ කියල//
      2. //බුරාගෙ කොමෙන්ට් එක කියවද්දි මට හිතෙන්නෙ ඇයි, බුරායි මමයි එකම වයසෙ කියල//

      මේ දෙකෙන් කෝකද..?? :D

      Delete
    5. පාලුයි නං තමා, ඒත් වැඩක්, රාජකාරියක්, කොරනව කියල දැනගත්තම සන්තෝසෙකුත් ආව, අර රවි කියල තියෙන්නෙ බොරු කියල දැන ගත්තයින් පස්සෙ :-)

      Delete
    6. @බුරතීනෝ,
      දෙවනි එක

      Delete
    7. @ ඕනයා,

      ඕකනං මටත් බොහෝ වෙලාවට හිතෙන දෙයක් මචං.. මං හිතන්නෙ මේ බ්ලොග් අවකාශයෙ හමුවන අපි බහුතරය (උඹත් මාත් ඇතුළුව) 80 දශකයේ සුන්දර ළමාවියක් ගෙවපු, 90 දශකයේ ආනන්දනීය යෞවනයක් ගෙවපු සහෘද අණ්ඩපාලයො ටිකක් කියලා.. (ඔය ඔබා සීයා වගේ නාකි හමාලා දෙන්නෙක් තුන්දෙනෙකුත් ඉන්නවා තමා :D)

      Delete
    8. සහතික ඇත්ත . හැබැයි ඔය සුන්දරත්වය සාපේක්ෂයි නේද . අපේ ළමයි හිතනවා ඇති ''අපෝ අයි ෆෝන් එකක් , අයි පැඩ් එකක් දැකල නැති ළමා කාලයක් නේද අපේ අම්මලට තිබුනේ කියල ''. කිව්වම මොකද ඒ ළමයිත් පරිසරයට අත ඇරියම සන්තෝෂ වෙන විදිහ දැක්කම හිතෙනවා අපේ ළමා කාලය සුන්දරයි තමයි කියල . ඔබා මාමගේ විශේෂත්වය තමයි ඕනෑම පරම්පරාවක් එක්ක ඉහ ගහල ඉන්න හැකි කම

      Delete
    9. @බුරා,
      අම්මප ඔවු මචෝ . .. ඒ කලවකවානු එමමයි

      බින්දි,
      +++++++++++++++++++++++++++++

      Delete
  20. අපේ ගෙදරත් කියවන්න ඕනා තරම් දේවල් තිබුනා, තාත්තයි අම්මයි පුරුද්දක් විදියට කියවන නිසා තාමත් අතට අහුවෙන ඕනා දෙයක් කියවන පුරුද්ද තියනවා. අපි එකෙක්වත් බිත්තියේ නම් ඇන්දේ නෑ මොකද කිවුවොත් ඒ තරම් වත් හැකියාවක් නෑ චිත්‍ර අඳින්න. ටීවී බැලිල්ල ගැනත් ලොකු කේස් එකක් තිබුනේ නෑ. අනිත් එක ඒ දවස් වල ගිය ටෙලි නාට්\ය වල උනත් පවුලේ සැමට බලන්න බැරි සීන් තිබුනේ නෑ මට මතක විදියට. ඒකට දැන් හුහ්... හොඳ වෙලාවට දැන් පෙන්නන ඒවා ඒ කාලෙ පෙන්නුවේ නැත්තෙ. මමත් පුරුද්දක් විදියට කැමති නෑ පොතක තියන කතාවකින් හදපු ටෙලියක් හරි චිත්‍රපටියක් හරි බලන්න මොකද හොඳට කියවලා හිතේ මවාගෙන ඉන්න රූප ටික විනාස වෙයි කියලා තියන බයට. අර ස්වයංජාත ටෙලිය වගේ. එක දවසයි බැලුවේ, ආයෙ බැලුවේ නෑ. ලඟින්වත් යන්නෙ නෑ. හැබැයි ගම්පෙරලිය ටෙලිය වගේම ෆිල්ම් එක, යුගාන්තය ෆිල්ම් එක, විරාගය, ලඟදි බලපු love in the time of cholera ෆිල්ම් එක බලන කොට නම් එහෙම හිතුනේ නෑ. හිතේ තියන රූප වලට ආසන්න සමානකම් හරි දැක්කා. මං දන්නෙ නෑ ඒක දැන් ලංකාවෙ නිර්මාන කරුවන් ගෙ වරදක් ද කියලා. මේ බ්ලොග් කියවිල්ලට පුරුදු වුනෙත් කියවන්න තියන ලැදි කම නිසා කියලයි මට වෙලාවකට හිතෙන්නෙ. කියවන්න වෙලාවක් නෑ කියලා නහයෙන් අඬ අඬ ඉන්න එකෙකුට බ්ලොග් ගැන කියලා. දැන් බ්ලොග් කියවිල්ල උගේ ජිවන රටාවෙ කොටසක් වෙලා, ඒ වගේම තමයි තව එකෙකුට බ්ලොග් ගැන කියලා පස්සෙ හිතුනා කට බිත්තියෙ උලා ගත්තනම් හොඳයි කියලා ඌට කිව්වට වඩා.මොනවා කරන්නද ඉතිං හැමෝටම අපිට වගේ පොත් පත් වලට ආදරේ කරන කියවීම ජීවිතේ පුරුද්දක් කරගත්තු දෙමවුපියෝ නැනෙ.......

    ReplyDelete
  21. සහතිකම ඇත්ත . Love of the time ඔෆ් Cholera වලට මට වුනේ අනික් පැත්ත . පොතට කලින් ෆිල්ම් එක බැලුව . දැන් පුස්තකාලේදී නිතර අතගාල බලනවා ගම්දෝ නොගම්දෝ කියල .හිතක් එන්නෙම නැහැ .

    යාළුවන්ට බ්ලොග් ගැන කීම . ඔයාගේ වයසේ යාලුවෝ එහෙම නම් හිතන්නකෝ මගේ යාලුවෝ . හැබැයි අපරාදේ කියන්න බැහැ ඔයා කිව්ව වගේ පොතක් පතක් කියෝලා යාලුවෝ සමහරු මට වඩාත් වයසින් වැඩියි ඒත් දැන් ඔන්න බ්ලොග් කියවනවා . ඒ වගේම තමයි සමහරු උදේ ඉඳන් රෑ වෙනකම් කම්පියුටරේ ළඟ ඉන්න ව වුනත් අහනව මොනවද බ්ලොග් කියන්නේ කියල .

    ReplyDelete
  22. මට හිතෙන විදිහට ප්‍රේමයයි ආදරයයි කියන්නේ දෙකක් !
    අපි ඔය දෙකම පටලෝගෙන !
    පොඩි ළමයි දකින්න හොද නැත්තේ ප්‍රේමය නෙමේ ආදරේ ! ආදරේ කරන විදිහ !
    ප්‍රේමය කියන්නේ ගස් ගල් යට ඉදන් කොරන දේවල් නෙමේ මහිතේ !

    මේ මම් කිව්වේ මට හිතෙන දේ ! හරි නම් අවුලක් නෑ. වැරදි නම් නිවැරදි කරන්ඩ !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මල්ලි .මන් දන්නේ නැහැ ඔය වචන දෙක වෙනස්ද කියල . හැබැයි ඉතින් ඔයා කියන දේත් හරි . එදා අපි උන්න සමාජෙට වඩා අද සංකීර්ණයි . අපි වුනත් අපි බලන හැම චිත්‍රපටයම ළමයි එක්ක බලන්නේ නැහැ . අපේ ළමයි වුනත් දන්නවා අම්මල බලන හැම දේම එයාලට බලන්න බැරි බව . අන්න ඒ අන්‍යොන්‍ය අවබෝධයයි වැදගත් නීති රීති දැමීමට වැඩිය . හැබැයි අපේ ගෙදරට ඕක හරි ගියාට වෙන ගෙදරකට නොගැලපෙන්න පුළුවන් . විශේෂයෙන් පිරිමි ළමයි හැසිරෙන්නේ කොහොමද කියල මට ඒ හැටි අවබෝධයක් නැහැ .ගස් ගල් යට කරන දේ වලට කියන්න ඔය දෙකටම වඩා වෙන වචනයක් තියෙනවා . ඒ වචනය මෙතන කිව්වොත් මගේ බ්ලොග් එකේ මන් දාගෙන තියෙන යම් සීමාවන් බිඳෙන නිසා අකමැතියි ඒ ගැන කතාකරන්න . අනික මන් තරයේ අදහන දෙයක් තමයි '' අපිට කාවවත් විවේචනය කරන්න අයිතියක් නැති එක '' . ඕවා කතා කරන්න ගියොත් කොහෙන් නතර වෙයිද දන්නේ නැහැනේ .

      Delete
  23. මට සහ මගෙ සහෝදරයට නං ඉතිං ඔය කියවන, ටීවී බලන ඒවට කිසිම තහනමක් තිබුනෙ නෑ . . . වැඩිපුරම කීවොත් හය, හත වසර වගේ කාලෙදි විජය පත්තරේ අස්සෙ අංගගෙන කියෝපු ලොකු මාමගෙන් උස්සපු ලිංගික සාර සංග්‍රහ ටික ගෙදර අයට මාට්ටු උනත් කින්ඩි දැම්ම ඇරෙන්න මොකුත් කීවෙ නෑ සැරට

    ප.ලි.
    මධුර ප්‍රේම කල්පනා කියන්නෙ මධුරයට පහලවෙන පෙම් සිතුවිලි නේද ???

    ReplyDelete
  24. හරිම ලස්සන ලිපියක් අක්කේ .. මගේ කෙල්ලටත් තුනහමාරය් . අපරාදේ කියන්න බෑ මන් වගේම පොත්ගුල්ලි . දැනටම පොත් දෙසීයකට වඩා තියෙනවා . ඒ වගේම කාමරේ බිත්ති වගේම බිමත් එයාගේ චිත්‍ර පුරෝලා ..අම්ම දූට වඩා සුරඟන කතා පිස්ස නිසා දැනටම ඩිස්නි ෆිල්ම් ඔක්කොම එයාට කටපාඩම් . ෆිල්ම් වල හැම සීන් එකක් ගැනම ප්‍රශ්න වැලක් ඇහැව්වට තම වෙලාවට අන්තිම කිස් එක gana අනවශ්‍ය ප්‍රශ්න ඇහැව්වේ නෑ..අපි එයට ඒවාට ඉඩ දුන්න නිසාම වෙන්න ඇති කෙල්ල දැනටම හරිම නිර්මාණශීලි .. එත් මට හරි දුකය් තාමත් අපි අතර ගොඩක් අම්මල ඉන්නවා ළමයට ගේ ජරවෙඉ කියල පැස්ටල් , දිය සායම් දෙන්නේ නැති , කතුරක් දෙන්නේ නැති , මොන්ටිසෝරියේ කිව්වම තම එලොලු ගෙඩියක් , පළතුරක් , සතෙක් අඳුනගන දුවන් ගිහින් පින්තූර පොත් අරන ඇවිත් ළමයට කට පාඩම් කරවනවා .. අය් ඒ මිනිස්සුන්ට බැරි පොඩිම කාලෙදිම , ගෙදරට ගෙන එලොලු ගෙඩියක් පලතුරක් අතට දීල එයාට එක කියල දෙන්න , පුළුවන් වෙලාවලට zoo එකට ගෙනිහින් (කොළඹ අවට අය ) සත්තු පෙන්නලා කියල දෙන්න .. මගේ දූට අපි ඒවා කියල දුන්නේ මොන්ටිසොර්ය් යන්නත් කලින් .. ඒ වෙනුවට ඒ අම්මල කරන්නේ තරඟෙට වගේ elocution, වගේම තව එක එක ක්ලාස් හවස් වරුවේත් ළමයව එක්කන් යනවා ,, පුදුම තරගයක් තියෙන්නේ .. එත් ඒ දරුවට පොතක් කියල දෙන්න , නිර්මාණයක් කරන්න , පරිසරේ දේවල් විඳින දෙන්න කිසි උව්මන්වක් න .. අනේ මන්ද ඔහොම ගියොත් අනාගතයට වැඩි හරියක් එකතු වෙන්නේ රොබෝ පැටව .. මේ දවස් වල කෙල්ලගේ මොටිසොරිය ළඟ ඉඳල ලැබිච්ච අත්දැකීම් වලින් කලකිරිලා හිටපු නිසා දිග කොමෙන්ටුවක් දැම්මට සොරි අක්කේ ..

    ReplyDelete
  25. Kathawa harima hondai. Pahugiya kaleta yanna puluwan una. Thanks. Oyata mathakada Muwanpalassa. Monarathanna, Sugandhika. Radio katha. Maath danna kale idan kiyawanawa. Kawadawath warga kare na sudusu nusudusu kiyala. Maath kumari, yuwathi, araliya paththara wala giya katha okkoma ekathu karala poth haduwa. Thamath e poth ma langa thiyenawa.oyata thanks
    Kumari

    ReplyDelete
    Replies
    1. සමහර එව්වා බොහොම පුද්ගලිකයි මල්ලි . සමහර විට ලියවෙයි .

      Delete
  26. ටයිටැනික් බලද්දී මට වෙච්ච දේ ඔන්න මගේ බ්ලොග් එකෙත් ලිවුවා. ඔය කාර් ඒක ඇතුලේ සීන් ඒක ගැනම තමයි..

    ReplyDelete
    Replies
    1. ජය්ය, උඹ ටයිටැනික් කියල බලල තියෙන්නෙ වින්ටේජ් කාර් පැරේඩ් එකක් බං

      Delete
    2. ඔව් ඔව් මට මතකයි . ඒ එක දර්ශනය ඇරෙන්න ලස්සන ෆිල්ම් එකක් නිසා සහ ඉතිහාසයට අපේ ලොක්කිගේ ඇති අපමණ ආසාව නිසා ටයිටැනික් බලන්න අපි ඉඩ දුන්න . බනි පුංචිම කාලේ ඉස්සර වෙලාම ඕක අපි බැලුවේ .[ ලංකාවේදී ඉස්සර බැලුවට පස්සේ . මැජෙස්ටික් එකේ අපි ටයිටැනික් බැලුවා ආපු දවස්වල ] බනියා ඔය එහෙන් මෙහෙන් සෙල්ලම් කරන ගමන් ෆිල්ම් එක දැක්ක , .ඉවර වුන ගමන්ම ගත්ත රිමෝට් එක අතට ''අක්කි ඔයා රෝස් අම්මි ජැක් ''කියල රිමෝට් එකෙන් අපිට වෙඩි තියන්න ගත්ත . එයා දුෂ්ටය වෙලා . එතකොට එයාට අවුරුදු 1 1/2 ක් විතර ඇති . ඊට පස්සේ නම් එයා ඉන්න තැන්වල අපි ටිකක් පරිස්සන් වුනා . හැබැයි දැන් ලොකුයි . හොඳ නරක තේරෙනවා . වැඩිය හිංසාකාරී ඒවා ට එයාලම කැමති නැහැ .

      Delete
  27. එක හුස්මට විස්තරය කියෙව්වා, සෑහෙන දුර මතකය දිගේ අරන් ගියා.

    නූතනයේ තරම් දැණුමෙන් පොහොසත් කාළයක් නැති තරම්, තාක්ෂණය දියුණුවත් සමඟම සිදුවූ යහපත වගේම අයහපතත් අවධානමත් එකවගේ. ඒ නිසා ඉස්සර කාළයේ වගේ නෙවේ දරුවෙකු අහන දෙය ගනන් නොගෙන ඉවතලන්න බැහැ. මොකද අතපොවන මානයේ ඇති ක්‍රමයන්ගෙන් බුද්ධියක් නැති දැණුම (internet searches, etc.) ආඳා ගන්න ලේසි නිසා නොදැන ගිහින් වෙන්න පුළුවන් ආපදාව වැඩියි. ඒ නිසා දරුවෝ අහන දෙයක් තේරුම් කරනවාට වඩා ඉවතලන්න අමාරු තත්වයක් මතුවෙනවා. සමහර විට එය දෙමාපියන් හැටියට අසීරුතාවයට පත්වෙන අවස්ථාවක් වෙන්න පුලුවන්, ඒත් එය මඟ හැරියහොත් ඊටත් වඩා අයහපතක් වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඩීන් අය්යා හැකි පමණ තේරුම් කරදීම වැදගත් . අඩුම ගානේ තව ටිකක් ලොකු වුනහම කියල දෙන්නම් වත් කියනව මන් නම් . සැහෙන අමාරු තත්වයක් තමයි . තවම එවන් බරපතල තත්වයක් වෙලා නම් නැහැ .අන්තර්ජාල පරිහරණය ගැන නම් සැහෙන අවබෝධයක් දෙන්න ඕන . අපේ දුලගේ ඉස්කෝලේ ඉස්සෙල්ලම කියා දීල තිබුනේ ''Personal is Personal '' සංකල්පය . කිසිම පුද්ගලික තොරතුරක් අන්තර්ජාලයට මුදා නොහරින්නත් ආරක්ෂිතව අන්තර්ජාල පරිහරණයත් නිතරම එයාලට කියා දෙනවා පාසලේ .


      දෙමාපියන්ටත් නිතර මේ ගැන දැනුවත් කරනවා . දිනක් එවන් වැඩමුළුවකදී ගුරුතුමියක් කිවූ කතාවක් මතක් වුනා . '' අද අන්තර්ජාලය අපේ දරුවන්ට වාතය ජලය වගේ පවතින දෙයක් . එයින් තොරව ජිවත් වීමට නොවේ එයත් සමග අවබෝධයෙන් ජිවත් වීමයි අවශ්‍ය .

      Delete
  28. ගෙදරින් කිව්වා ටීවී එකේ ලච් සීන් එහෙම ටෙලිනට්‍ය වල යනකොට ලොකු එක්කෙනා අම්මා දිහා බලනවා තනියම හිනා වෙනවා කියලා...කෙල්ල තාම තුනේ....අනේ මන්දා මුංට මේවා තේරෙන හැටි.....ගෙදර එක්කෙනානං කිව්වේ තාත්තා වගේම නැතෑ කියලා....

    ReplyDelete
    Replies
    1. ජානමය බලපෑම සැහෙන සාධකයක් බව හාමිනේ දන්නවා ඇති

      Delete
  29. මටත් හිතෙන්නේ කවදාවත් නව කතාවක තියන ලස්සන රූප මාධ්‍ය ට ගන්න බැහැ කියලා. අපෝ අර ගැහැණු ළමයි ටෙලියේ කොටස් දෙක තුනක් මම යූ ටියුබ් එකේ තිබිලා බැලුවා...ඒ ගැන මුකුත් නොකියා ඉන්නම්. මොන්ත ක්‍රිස්තෝ එකට හදපු ෆිල්ම් එක බලලත් ඕකමයි උනේ. මම හිතා ගත්තා හිතට වැදුන පොත් වලින් හදන ෆිල්ම් බලන එක නවත්තනවා කියලා. පොතට හිතේ තිබුන තැනත් නැති වෙනවා ඒකෙන්.

    පොඩ්ඩොන් ගේ කතා ටිකනම් මරු :)

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි . සිනමාව තුල යම් සීමාවන් තියෙනවා . ඒ තුල ඉඳන් කරපු හොඳ නිර්මාණත් නැත්තේ නැහැ . ඒත් ටෙලි නම් ගන්න දෙයක් නැහැ තමයි

      Delete
  30. එක කතාවක් ඇතුළේ කතා 100 ක් විතර කියලා. අම්මෝ කියවලා තියෙන හතිය :) ළමයින්ගේ ලෝකයේ සුන්දරත්වය ගැන හරි අපූරුවට කියලා තියෙනවා නොවැ.

    කුඩා ළමයෙක්ගේ හිත සෝවාන් වුණු කෙනෙක්ගේ හිත වගේ කියලා කවුරුදෝ කියලා තියෙන වගත් මේ අස්සේම මතක් වුණා

    ReplyDelete
    Replies
    1. මේක ලියල මාත් බැලුව මට පිස්සුද කියල . ඉඳ හිට ඔහොම වෙනවා . ඇත්තටම ළමයි හරි අවංකයි . ඒ නිසා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ . හැබැයි සමහර වෙලාවලට මෙයාල අමු කට්ටයෝ

      Delete
  31. අදමයි මේ පැත්තේ ආවේ..ආසාවෙන් කියෙව්වා..

    ඇත්තටම නවකතාවක තියෙන ලස්සන නම් කිසිම විදියකින් චිත්‍රපටියකවත්,ටෙලි නාට්ටියකවත් දකින්න වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුංචි කුමාරිහාමි . සතුටෙන් පිලිගන්නවා

      Delete
  32. අපේ අම්මලාත් අපි පොඩි කාලේ බිත්ති ලස්සන කරන්න ඉඩ දීලා තිබුනා. නංගිලා දෙන්නාට නං චිත්‍ර අඳින්න පුළුවන්......... ඒත් මට ආසාවට එක මැස්සෙක්වත් ඇඳ ගන්න බැහැ...... :( ඉතිං බිත්තියේ ඇඳිල්ලයි චිත්‍ර ඇඳීමේ හැකියාවයි අතර සම්බන්ධය මා සම්බන්ධයෙන් නං බොහොම නරක ප්‍රථිපලයක් පෙන්නුම් කරන්නේ.......

    මං දන්න පවුලක් තියෙනවා‍. එහේ බබාලා දෙන්නෙක් ඉන්නවා. හැබැයි බිත්ති වල නං ඇඳලා නැති තරමයි. ඒ අයියා මට කිව්වා නංගි කවදාවත් දරුවාට හිතේ හැටියට හැම තැන ම අඳින්න දෙන්න එපා.......... එක බිත්තියක් හෝ බෝර්ඩ් එකක් දීලා ඒකේ ම අඳින්න දෙන්න කියලා‍. එයා මුලදි පොඩ්ඩක් විරුද්ධත්වයක් පෑවත් පසුව එයට හුරුවෙයි කියලා. දැනට නං අපේ පැටික්කි බිත්ති දෙක තුනක ඇඳලා තියෙන්නේ. තාම අවුරුදු 2 1/2 නිසා පස්සේ බිත්තියක් වෙන් කරලා දෙනවාය කිය කියා මාත් ඉන්නවා. :) දන්නේම නැතුව බිත්ති සේරම පාට කරයිද දන්නෙත් නැහැ........

    (අක්කා යසෝධරා බාලිකාවේ ආදි ශිෂ්‍යාවක් ය කියලා අපේ (දඩයක්කා)රවී කිව්වා...... ඒක ඇත්තද? මාත් එහෙම තමයි)

    ReplyDelete
    Replies
    1. ඔව් රන්දිල් ..කොයිකත් සාපේක්ෂයි . හැබැයි මන් අහල තියෙන්නේ ළමයා ලෝකය දකින්නේ කෙලින් අතට ඉන්න මිනිස්සු සහ අනිකුත් දේවල් සමග . ඉතින් තිරස් අතට කොලයක ඇඳීමට වඩා සිරස් අතට අඳින එක එයාලට පහසුයි කියලයි . අපේ බනි ටත් බිත්තිවල අඳින්න ලැබුනේ නැහැ . එයාට ඕන වුනේ නැහැ . ඕන වුනානම් කොහොම හරි අඳියි .

      ළමයාගේ උසට ලොකු කොළ අලවල හදල දුන්නත් කමක් නැහැ හැකිනම් . එක එක ළමයත් වෙනස්නේ . සමහරවිට අර කොළ අලවපු බිත්තිය තියෙද්දී අනික්වයි අඳියි . බලන්නකෝ එන විදිහක් ඒ වෙලාවට .

      මන් යසෝධරාවේ නෙමේ නංගි. ඔබා මාම කේරි නිසා මන් ඇහුවේ යසෝධරා ගැන . මන් වෙන ඉස්කෝලෙක .හැබැයි යසොධරාව කිට්ටුව තමයි මගේ සේවාස්ථානය තිබුනේ

      Delete
  33. මගෙ අම්මේ මේක පටන් ගත්තෙ කොහෙන්ද, ඉවර උනේ කොහෙන්ද? කාන්තා පාර්ශවේ බ්ලොග් පෝස්ට් එකක් නෙව! එක අතකින් පුදුමෙකුත් නෑ!:D :D

    මටත් අපේ මල්ලි පොඩි කාලෙ බිත්ති පුරා චිත්‍ර ඇඳපු හැටි මතක් උනා!

    ReplyDelete
    Replies
    1. ගෑනු ඔහොම්මමයි අනේ . ගෑනු නම් බැරිය ඔය පුරුෂ පක්ෂේත් කන බොන වෙලාවට කතා කරන එව්වා අහන ඉඳල බලන්නකෝ . DD

      Delete
  34. එම්බා අරවින්ද පොක්ඛරණාධිපතිනියනි, තොප කල් යල් බලා '' එසේනම් අනුභව කොට වරෙව් '' යනුවෙන් අභියෝග කොට ඉතා දීර්ඝ වූ වියුණු සටහනෙක් ලියා පල කොට වදාල බවෙකි...අගෙයි අගෙයි....

    බින්දිගෙ යාං හෑල්ල ( තරහ නෑනෙ එහෙම කිව්වට නේද?....It means Yarns) පෝස්ට් කරපු දවසෙම දැක්ක....ඒත් කියවන්ට ඉස්පාසුවක් ලැබුණෙ ඔන්න අද තමා.මතක මංපෙත ඔස්සේ ආපසු ගමන නම් හරිම සුන්දරයි....

    අපේ ළමා කාලය ගැන අපි අතීතෝන්මාදයෙන් (Nostalgia ) කතාකරනව... අනේ අපේ දරුවන්ට ඒ වාසනාව නැහැ නේද? කියල.....ඒත් අපේ අම්මල තාත්තලත් අපි ගැන එහෙමම හිතන්න ඇති, අපේ දරුවොත් එයාලගෙ දරුවො ගැන කවදාක හරි එහෙමම හිතයි. ඒක තමයි ලෝක ස්වභාවය.ඔන්න ඔය ටික තේරුම් ගත්ත නම් මේ ලෝකෙ ප්‍රශ්න සීයට අනූවක් ඉවරයි කියලයි බින්දි මට හිතෙන්නෙ.

    Never be a judge, judges should only be in courtrooms

    චිත්‍ර කතා පොත්වල ඇලවිල්ල නම් මටත් මහා පරිමාණයෙන් තිබ්බ පිස්සුවක්.අපෙ අම්ම හෙදියක්...රෝගීන්ගේ වගතුග ලියන්ට ඒ දවස්වල තිබ්බ A4 ෂීට් එකකට පොඩ්ඩක් ලොකු පොත් ..( ඒ දවස්වල කිව්වට දැනුත් ඇති )....අහක දාන්ට කිට්ටු උන ඔය පරණ පොත් අම්ම ගේනව මගෙ ඔය වැඩේටම.....

    බූරාස් ගෙ යුගයට මදක් කලින් තමා අපේ යුගය...හෙහ්, හෙහ්, බුහුර තෙමේ තෙපල වදනින් ඒ මොනවට තිර වේ.

    "මෙන්න මම අලෝපු චිත්‍ර කතා... රක්තා, සක්විති සුවය...අනූපමා...ආදර කොමා...පොඩි මාමා, පිංතු, ඔය ටික දයා රාජපක්ෂ මහත්මයගෙ...ස්පාටකස්, ස්කාගස්, සල්ෆා,ඊ ළඟට වික්‍රමගෙ කතාවක් තිබ්බ නම මතක් වෙන්නෙම නෑනෙ...අක්ක නංගිගෙ දරුවො දෙන්න කොළපතක දාල ගඟක පාකරල යවන සීන් එකක් තියන කතාවක්... එතනින් ගිහාම බට්ටි, ඇලඩින් ගෙ කතාව...
    "

    බන්ධුල හරිශ්චන්ද්‍ර මහත්මයගෙ හෙලන්, බෙලරෝපන්, හේලෝ,අපෙ බූර කියපු පෙනිලෝපා, සද්දන්ත , පර්සියස් කතා වලට අමතරව...

    ඊගාවට ඇස් වහගත්තු නිවුරෝ, යුනිකෝ.....කොටි හං ඇඳගෙන මස් පිඬු නිකං බැලුම් බෝල වගෙ....

    බුදු වීම චිත්‍රයට නගන්ට කියපුවම මගෙ අල්ලපු සීට් එකේ හිටපු යාලුව ඇන්ද බුදු හාමුදුරුවන්ගෙ සිවුර කොටි හමක්....බෝ ගහ යට ඉන්නව එරමිණිය ගොතාගෙන මස් පිඬු බේරිල අත් වල...Biceps, Triceps, Six packs ඔක්කොම තියනව මදි නොකියන්ඩ..හෙහ්, හෙහ්,

    අපි පොඩි කාලෙ ටි.වී නම් තිබ්බෙ නෑ. ටී.වී ආවෙ අපි යොවුන් වියේ එළිපත්තෙ ඉඳිද්දි,

    Dynasty, The Big Valley, Six Million Dollar Man, Bionic Woman, Bear Cats, Lone Ranger, Hawai Five O, Blakes 7 , Star Trek, Mind Your Language,

    තව ලස්සන කතාවක් මතක් උනා ඒකත් කියලම යන්නම්, බින්දි,

    අපෙ නංගිගෙ පොඩි එකා කියපු කතාවක්....ඒ දවස්වල ඔන්නම් අවුරුදු දහයක් වාගෙ ඇති. මම ඌට දවසක් කිව්ව "' පුතේ අම්මල අපි පොඩි කාලෙ ඔය ටී වී. කොම්පියුටර් මොකවත්ම තිබ්බෙ නෑ '' කියල

    ඒක මා දිහා ඇසුත් ලොකු කරගෙන ටික වෙලාවක් බලං ඉඳල අහපි

    '' මාර වැඩේනෙ මාමෙ..ඉතිං ඔයාල මොකද ඒ දවස්වල කලේ?.... පිස්සු හැදෙන්ට ඇතිනෙ....''

    ඉතිං මොකේදැයි දං වළඳන්නෙ කියල ඇහුවළු ලොකු හාංදුරුවො...හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. නැත නැත කිසිම අමනාපයක් නැත .yarn හෑල්ල කියවා yawn නැත්නම් එපමණකි සුර්යාණෙනි..
      සැබෑමයි . මමත් හිතන්නේ ඔය ලෙසයි . අපි කවුද කාලය විනිශ්චය කරන්න . මේ අතීතය සිහිකරන්නේ අහිංසක සතුටක් ලබන්න . අපි කියවපු දේවල් කියවපු ඒ වගේ අත්දැකීම් ලබපු කෙනෙක් හමු වීම පිටරටකදී ගමේ කෙනෙක් හමුව උනා වගේ තමයි .
      අපේ අම්මල ඇලේ දොලේ පින්ල දන් හිඹුටු කඩන් කාපු විස්තර අපි ආසාවෙන් ඇහුව . අපිටත් ටිකක් තිබුන . ඒත් තනියම ගංගාවල් වල පිනන්නන යන්න තරම් නිදහසක් තිබුනේ නැහැ . අපි ගැහැණු ළමයි කියල . හැබැයි අපේ අය්යල මල්ලිලා හොරෙන් එව්වයේ ගියා . ඕව ඉතින් කාලයට වගේම ප්‍රදේශයටත් සාපෙක්ෂයිනේ . මට සරුංගල් අරින්න වගේම ගෙදර වත්තේ අය්යල එල්ලේ හරි කිකට් හරි ගහද්දි ඒ සෙල්ලම් වලට සහභාගී වෙන්න වාසනාව ලැබුනට කොළඹ නගරයේ හිටපු මගේ යාළුවන්ට ඒ වාසනාව තිබුනේ නැහැ .
      රුප පෙට්ටිය ආපු දවස් මට හොඳට මතකයි . මන් ඉස්කෝලේ ගිය අලුතම . අපේ ළඟ ගෙදරකට ඔයින් එකක් ගෙනාවා. මමයි රුප පෙට්ටියයි ගැන ආයේ දවසක ලියන්නම්කො . D
      අපේ අසල්වැසි අපිට වඩා ලොකු අක්කෙක් සහ අය්යෙක් චිත්‍රකතා එකතු කරලා තිබුන . මන් නිවාඩු කාලෙට ඒ ගෙදර ඉස්තෝප්පුවේ ඉඳගෙන ඕව කියවනවා . වැඩියම දයා රාජපක්ෂගේ කතා තමයි.
      ඒ කාලේ යුනිකො මටත් මතකයි . පස්සේ නේද පිරිමි ළමයි බෘස් ලිට වහ වැටුනේ .අපෝ ඔන්න මට ආයේ එක එක එව්වා ලියන්න හිතෙනවා .
      නංගිගේ පුතා හරි .එයාට හිතා ගන්න බැරුව ඇති අපි මොනවා කලාද කියල . ..අනික මාමට පිස්සු හැදෙන්න ඇත්තේ ඒ හන්ද කියල කොලු හිතන්නත් ඇති

      Delete
    2. @ රවි අයියා,

      ඇයි බොල ඔච්චරද චිත්‍රකතා ටික.. ඇයි සුබෝධා, සිතාරි, ක්ලියෝපැට්රා, පාට පාට හීනයක්, තනිතරුව, පෙතිගෝමර........... තව කොච්චර තිබ්බද..!!??

      Dynasty සීරිස් 2ක් හෝ 3ක් බලලා අතෑරලා දැම්මා වෙලාව නැති නිසා.. ඇයි Battle Star Galactica, V, McGuire, Colombo, CHIPS, Starski and Huch...!!

      Delete
    3. බුරාගේ මතකේ තමයි මතකේ . සුබෝධා ..මන් මේ මතක් කර කර හිටියේ ඔය නම .

      Delete
    4. හික්ස්! එහෙමත් අමතක වෙනවද සුබෝධවයි සොම්මරා උන්දැවයි.. :)

      පලි: එහෙම කිවුවට මං මේ මතක් කරන්න ට්‍රයිකරන නම් දෙකක් තියෙනවා, හරියට ඔලුවට එන්නෙ නෑ.. එකක් බලකොටුවක කතාවක්, මාෂල් ධවලපාෂ කියලා බුවෙක් හිටියා මතකයි.. අනෙකේ කතාව එහෙන් මෙහෙන් මතකයි, නම්-ගම් මතක නෑ, ඒකත් දයා රාජපක්ෂගෙ කතාවක්..

      Delete
    5. @ Buratheno,

      මාෂල් ධවල පාෂ හිටියෙ මල්ලි සිව්මංසලේ නේද?.....මට මතක හැටියට නම් එහෙමයි....

      Delete
    6. ආන්න හරි, සිවුමංසල තමා.. නිදර්ශා එහෙම හිටියෙ.. තැන්කූ තැන්කූ!!

      Delete