Friday, 22 June 2012

පොළොවින් අහසට.. අහසින් පොළොවට ..දුක සැප දෙක මැද ජිවත් වෙනකොට

දවසක පොළොවින් අහසට ඉගිලෙයි
හෙට ආයෙත් පොළොවේ පය රඳවයි
සතුටයි කඳුලයි සමලෙස      හිමිවෙයි
ඔබටත් මට වාගෙම දැයි       විමසයි




හැම අවුරුද්දේම බෑන් කි මුන් මහතා මාස දෙකක්ම ඉස්කෝලේ ඉබ්බන් දමා ළමයින් ගෙදර එවයි . යුරෝපයෙන් ආ උදවියගේ පවුල් වල අම්මලා ළමයින්ද රැගෙන ගමරට දුවන්නේ ග්රිශ්මයේ රස්නයට බය නිසාය .සිංගප්පුරුව ජපානය කොරියාව වැනි රටවලින් ආ උදවිය වැඩිමනක් ගෙදර යන්නේ මේ ඉස්කෝලේ අධ්‍යාපනය තරඟකාරී නැති යයි සිතන ආසියාතික මානසිකත්වය නිසා ළමයින් මාස දෙකක් ඒ රටවල ඉස්කෝල වලට දමා දේශීය ඉගනීමට හුරුකිරිමටය .

අපි වගේ පිස්සන් කීපදෙනෙක් ඉතුරු වෙති . පාසල් නිවාඩුව ආසන්න වෙත්ම ගෙදර යන්නේ කවදාදැයි හැමෝම හැමෝගෙන්ම විමසති . අපි මෙහෙ නවතින බව කිවූ විට ඇස් ගෙඩි ලොකු කර බලා ඉන්නේ එක්කෝ මුන්ට පිස්සුද අසන්නට බැරිකමටය . නැත්නම් අනේ අසරණයින් අව්වට පිච්චිලා මැරෙයි ...කියාය . එහෙමත් නැතිනම් කාන්තාරයක අතරමංව සිටියදී තමන් පමණක් කෙම්බිමකට ලඟා වූ සෙයකිනි .


සැබවින්ම රැකියාවන් නොකරන අපි වාගේ අම්මලාගේ දවසද බොහෝ දුරට පාසැල මත රඳා පවතී . 90% පමණ අඳුනන අයද පාසැල හරහා හමු වූ අයය. එහෙයින් මාස දෙකක් පාසලින් වෙන්ව සිටීම තරමකට කාන්තාරයක තනිවිමක් බඳුය .

එහෙත් ඔවුන් නොදන්නා දෙය නම් අපිට අව්ව වැස්ස හොඳ හැටි පුරුදු බවය . ග්රිශ්මයේ දී අපේ රටට වඩා තරමක් රස්නය වැඩි මුත් අපිට නම් ඉවසිය හැක . අපි නිවර්තන ජීවින් බව ඔවුනට අමතකය . අනිත් අතට දෙය්යනේ කියා වතුරකට බැස පිනන්නට හැක්කේද මේ කාලයට පමණි . නිවාඩු කාලය හොඳ නරක දෙකේම සම්මිශ්‍රණයකි . නරක නම් පරිගණකයට දවස් පුරාම අයිතිකාරයෝ සිටීමය ..අනෙක නිතරම සෙල්ලම් කිරීමට එක්කරන් යායුතු වීමය . අප වාගේ තවත් පිස්සන් කීපදෙනෙක් ඉන්නා නිසා ඒ ළමයින් එක්කෝ මෙහෙ එති . නැත්නම් මෙයාල එහෙ යති .

ඔය සේරම අලකලංචි අතරට ශෝචනියම තත්වයක් එක්කහු වුයේ බ්ලොග් පිටුවට යාමට බැරිවීමය.
යම් ක්‍රමයකින් එය හරි ගිය මුත් ලියන්නට නිස්කාන්සුවක්ද නොලැබිණ .

ඔය අතරේ මිතුරු බ්ලොග් ලියන්නන් ලියාගෙන ලියාගෙන ගිහින් තියෙන වේගයට බොහෝ දේවල් තවමත් කියවන්නට බැරි විය . මමය මාගේය කියා දෙයක් නැති බව නම් යලිත් වරක් පසක් කර ගතිමි . මගේ යයි සිතන පරිගණකය විනාඩියෙන් අනෙක් අතට පත් විය හැක . මගේ යයි සිතන බ්ලොග් පිටු අනුන්ගේ තහනම් නියෝග වලට කොයි වෙලේ යට වේදයි කිව නොහැක .

මෙහි කුරුටු ගාන්නට පුරුදු වූ කල කොහේ හෝ අකුරක් නොකොටා ඉන්නා එකත් අපහසු වැඩකි . මුණු පොතේ වැඩිපුර රස්තියාදු වෙමින්ද පරණ දින පොතක අපිළිවෙලට කුරුටු ගාමින්ද කල දවස ගෙවිනි . පොත් ගොන්නකට යටවී තිබුන ඒ පොත ගැන මට මහා දාර්ශනික සිතුවිල්ලක්ද පහල විය . එය කුරු ගෑවේ මුණු පොතේ නිසාත් මුණු පොතෙන් මාව දන්නේ සුළු පිරිසක් නිසාත් මෙහිම ලියා තබමි . මෙවැනි දුලබ අදහසක් වැළලී යාමට ඉඩ නොදිය යුතුය ..D
 
 
'''''''''පරිගණකය , අන්තර්ජාලය .... ජිවිතයේ සරු කලෙකදී පෙම් බඳින රූමත් අනියම් පෙම්වතියන්ය . ඔවුන් ලං වූ විට නැති බැරි කල දීග ආ දුප්පත් දිනපොත් මනාලිය අමතක වේ. ඔවුන් සුකොමලය . මායම් අසු හාරදාහක් දනී . විවිධාකාරයේ නවීන මොස්තරයන්ගේ සැරසෙති . කෑල්ලක් පණුවෝ කාදමන ලද ඇපල් ගෙඩියක් පැළඳිම අලුත්ම මෝස්තරයයි . ඉඳහිට මේ රුවැත්තියන් පැන යයි. යාන්තම් පය පැකිලී වැටුන කල කිසිම වැඩක් නොකර කෙඳිරි ගාන තරම් සියුමැලිය. විටක අ...නුන්ගේ බස් අසා අපට පිටු පා යයි .

එවිටයි ගෙදර අමතක කර ආ කබල් දිනපොත් බිරින්දෑ සිහිපත් වන්නේ .

''මට කොයිතරම් ලස්සන කෙල්ලෝ හමු වුනත් ඔයා තමයි මගේ සදා ආදරේ ''කියමින් ඈව සුරතල් කරති . ඈ ඔහු ගැන දනී . එහෙත් නොදන්නා සේ ආදරයෙන් පිලි ගනී ...නැවත අර රූමතියන් ඉඟි කල විට පැන යන බව දැන දැනම ....

මාත් අද එවැනි ලජ්ජා නැති සැමියෙක් වගේය... බ්ලොග් සුන්දරිය අනුන්ගේ බසට රැවටී පැන ගිය පසු යලිත් පරණ දින පොතකට ආදරය කරමි . '''''''''


[ මාගේ ස්ත්‍රී චින්තනය මෙසේ කීවාට පිරිමි ළමයින් කලබල විය යුතු නැත . එයාලට තියෙන්නේ උදාහරණය අනික් පැත්ත හරවා සිතීමය .තවමත් වැඩිමනක් ගෙවල්වල බලා සිටින්නේ ගැහැණිය බව සරල සත්‍යයක් නිසා පමණයි මා මේ ලෙස සිතුවේ ]
 
පසුගිය දිනවල ලියන්නට තිබුන බොහෝ වැදගත් දේවල් අතුරින් කීපයක් පමණක් මේ ලිපියට අමුනන්නට සිතමි .

එකක් නම් මෑතක ඉදිකළ වියට්නාමයේ උසම ගොඩනැගිල්ලේ 72 මහලේ ආකර්ශනීය ස්ථානයක් බැලීමට යාමය . ඇත්ත වශයෙන්ම මෙය ඉන්දු චීන රටවල් පහෙන්ම උසම එක යයි කියනු ලැබේ . මේ ඉන්දු චීන රටවල් අතරින් තායිලන්තය අරුණ විට අනික් ඒවා වල මිනිසුන්ට නම් අහසට නගින එකට වඩා ජිවත් වෙන එක ගැන සිතීමට ඇතිවාට නිසැකය .[ මියන්මාර , කාම්බෝජියා , ලාඕස් , වියට්නාම , තායිලන්තය මේ රටවල් පහ වේ ]
උඩට උඩට ගොඩනැගිලි බිහි වීම ගැන මට ඇත්තේ වෙනමම අදහසකි ඒගැන වෙනම දවසක කතා කරන්නට අවශ්‍යය .

කෙසේ වුවත් කොරියානුවන් විසින් ඉදිකළ මේ ගොඩනැගිල්ලේ උඩම මහල මහජනයාට මුදල් ගෙවා නැරඹිය හැකි නිසා ඕනෑම තැනකට යාමට අපේ පවුලම එක පයින් කැමති වන නිසාත් අපි එහි නැග්ගෙමු . එතනට මුළු හැනොයි පළාතම හරි අපුරුවට පෙනේ . දුරදක්නයට කාසියක් දමා වට පිට වඩා හොඳින් බලා ගත හැක .මුලදී අපේ බනියාගෙන් හැනොයි කළු පාටට පෙනේ යයි පැමිණිල්ලකි . දුරදක්නයේ වරදක්ද ..නැත . කපන්නට නොදී මුනත් වැහෙන්නට දමාගෙන ඉන්නා කොණ්ඩය දුරදක්නය වසාගෙනය .

පස්මාන චිත්‍රපටයක් [5D ] මුල් වරට බැලීමටද හැකි විය . ත්‍රිමාන චිත්‍රපට මේ වන විට බහුලය . සිව්මාන චිත්රපටරේදී ඉඳ ගන්න පුටු සෙලවීම වතුර ඉසීම වැනි උපක්‍රම විඳිය හැක . පස් මාන වලදී තිරය අංශක 360 පුරාම වටකර සිටි . නරඹන්නා ඉන්නේ මැදිනි . අප නැරඹු මුහුද යට දර්ශන සහිත සිතුවම් පටය ඉතාම ලස්සන බව කිව යුතුය .

සියල්ලටම වඩා මා සිත් ගත්තේ ''පන ඇති කෞතුකාගාරය ''[ Alive Museum ] නමැති කලාගාරයයි ., ජීවමාන ගුණයක් ඇති අපුරු නිර්මාණ අතර මොහොතක් මා ළමයෙකු සේ විනෝද වූ බව කිව යුතුමයි .


පෙනේද ජනාකීර්ණ වී ඇති තරම . ඈතින් පෙනෙන්නේ රතු ගඟ




මේ අර Auguste Renoir ගේ චිත්රයක්නේ චිත්‍රාට ඉර ඇබින්දක් කියල මෙයා ගැන මන් කලින් ලිපියක් ලිව්වා

ඉස්සරහ ඉඳන් අත  වනුවහම මෙයා වාදනය කරනවා



එක මොනාලිසා කෙනෙක් හුලන් පිඹින කොට මේ රෙදිකඩ අනික් පැත්තට යනවා

අය්යෝ යන්න එපා අනේ ..ඔන්න මේ මන් නම් නෙමේ ..මොහිනිගේ නංගි වගේ නේද











අදට මේ ඇති යයි සිතේ . දැනටමත් අච්චාරුවක් වී ඇති එකේ තවත් මොකටද .