Wednesday, 25 July 2012

මිනිසෙක් වූ බල්ලෙක් - අංක 2 ...සුරතලේට අලියෙක්








කොටස් වශයෙන් ලිවිම මහා කම්මැලි වැඩකි . මුලින් ලියද්දි එන ''ගැම්ම'' නැති වීම වගේම ''ලියල ඉවරයක් කරන්න ඕන යන'' කරදරකාර සිතුවිල්ලද නිසාවෙනි . බ්‍රවුන් බුලා සහ ටාසන් ට අමතරව විටින් විට විවිධාකාර බල්ලන් සිටි අතර පුසෙක් අනිවාර්යයෙන් ඇති කල බව මතකය .

ඊට අමතරව කොල්ලන් දෙන්නෙක් ගෙදර සිටි නිසා විටින් විට ලේන පැටවුන් , හාපැටවුන් ඇති කරන්නට කල උත්සාහයන්ද අඩුවක් නොවිණි. ඒ එක සතෙක්වත් දිග කාලයක් තබා ගන්නට බැරි විය . එක්කෝ පැන යයි . නැත්නම් පූසන් ගෙන් බේරන්නට බැරි නිසා අත අරියි .

මා කුඩාම කාලයේ , පාසල් යාමටත් පෙර කාලයේ අපේ ගෙවතු අල බතල සිටවනු ලැබූ සමයයි . එපමණක් නොව කහ , ඉඟුරු ආදිය විකුණන්නට තරම් පලදාව ලැබුනාද මතකයි. ඒ 70 දශකයයි . ඇතැමුන්ට මේ සමය හොඳින් මතකය .මේ ගැන විවිධ මත පලවෙයි. ඒ ගැන විචාරයක් කිරීමට තරම් ලොකු ළමයෙකු වී සිටියේ නැත . කවදත් අල්පේච්ච ගති පැවතුම් තිබු ලෝකය ඉහට කඩන් වැටුනත් ගණන් නොගත් අපේ තාත්තා සහ අපේ අනාගතය ගැන මහත් බලාපොරොත්තු රැඳවු ඒ සඳහා අපමණ කැපවීම් කල අම්මාත් අපි හතර දෙනාත් ඒ යුගය ගතකල ආකාරය ගැන මට ඒහැටි මතකයක් නැත .

ඇත්තේ කොයි ලමයාටත් ඇති සාමාන්‍ය මතක පමණි . එහෙත් ඒ දශකයේ අවසාන භාගයේ විසල් වෙනසකට හසු වූ ලාංකීය සමාජයේ පරිවර්තනය ගැන මට හොඳින් මතකය . දවසක ඒ ගැන කතා කරමු .

කියන්නට ගියේ බතල පාත්ති ගැනය . ළමා අප බතල පාත්ති වල සේවුයේ කුමක්ද ...මතක් කල විටත් සිනා නැගේ . ඔට්ටුයි කියන්නට බැරුවාට . අප සෙවුයේ හා බෙටිය . කුඩා රවුම් හා බෙටි කීපයක් එක තැන දැමීම හාවුන් ගේ ගතියයි. රවුම් හැඩති කිසිම ගඳක් නැති හා බෙටි ළමා අප තුල රුචිකත්වයක් ඇති කල හැටි අපුරුය .

හා බෙටි දුටුවිට අප වඩා ආසා පෙරදා රැයේ හාවුන් ආබවට එය වටිනා සාක්කියක් නිසාය . මෙතනදී ඔබට ගැහැණු ළමයි මතක් නොවේද . ලොකය්යා හෙවත් නිමල් කුසුම් කුඩා කල ලොසින්ජර යයි රවටා හා බෙටි කටට දැමු හැටි ...

වරක් අක්කටත් මටත් අතරමන් වූ හාපැටියෙක් අල්ල ගැනීමට හැකි විය . පිළිකන්නේ මුල්ලක දැලක් අටවා තාවකාලික කුඩුවක් තනා උඳුපියලිය කන්නට දමා ඇති කරන්නට ගත් අළු පාට හාපැටියා... අනේ ගෙදර උන් තක්කඩි පුසා ඒ අසරණ සතාව සුරා තිබිණි. අක්කත් මමත් ඌ වඩා ගෙන අහල පහල ගෙවල් වලින් බෙහෙත් සෙව්වා මතකය . මල දරුවා කරගසාගෙන ගිය කිසාගෝතමිය මෙන් . එකල අද මෙන් ගෙවල් වල betadin ප්ලාස්ටර සර්ජිකල් ඉස්පිරිතු තබන සිටි කලක් නොවේ. එක ගෙදරක දම් පාට බෙහෙත් තිබිණි. [ ඒ කාලයේ රෝහල් සේවකයින්ට ගම් වල ලොකු සැලකිල්ලක් ලැබුනේ මෙවැනි බෙහෙත් ගෙවල් වල තිබීම නිසාය ]

එහෙත් හා පැටියා මිය ගියේය . අපට දැනුන දුක කියා නිම කල නොහැකි එකකි. හා පැටියෙක් ඇති කල පළමු සහ අවසන් අවස්ථාව එපමණකි.

අපේ ගෙදර නොහිටියාට අහල පහල ගෙවල් කීපයක කුඩුකර ගිරවුන් සැළලිහිනියන් සිටි අතර උන්ට කතා කරන්නටද පුළුවන . '' චුටි බත් කෑවද'' මේ බොහෝ කුරුල්ලන් අහනා පොදු ප්‍රශ්නයකි .
අපට ඉඳහිට සුරතලයට අලි ඇතුන් ලැබේ . පුදුම වැඩක් නොවේද . අද වන විට කුට්ටි කර පර්චස් දහයේ විස්සේ කෑලි වලට විකුණා ඇති බොහෝ ඉඩම් එදවස ලොකු පොල් හෝ රබර් වතුය . අප සිටි කුලී නිවසද තිබුනේ එවැනි විශාල ඉඩමකය . මේ ගැන ලියන්නට වෙනම ලිපි පෙළක් උවමනාය . කැළණි පෙරහරට ඈතින් එන අලි ඇතුන් අපේ පළාතේ ලොකු වතුවල බැඳ තබයි. සමහර උන් හරිම හිලෑ නිසා අපට ළඟ පාතට වී බැලිය හැක . අපිට සුරතලයට අලි ඇතුන් ලැබුනේ එසේය ,.


ක්‍රමක්‍රමයෙන් මේ අලි ඇතුන් පන්සල කිට්ටුවටම සිමා වූ බව පෙනේ . පෙරහැර කාලයට පාරේ සිටියොත් අලි බලාගන්නට ලැබේ . ඉස්සර දැන් වාගේ අලි ලොරිවල ගියේ නැත . ඉතාම දුර බැහැර සිට ඔවුන් ආවේ පයින්මය . අද නම් උන් පව් කියා සිතේ . එකල පෙරහරේ චමත්කාරය මිස අලින් පව් යයි කියා මට කවදාවත් සිති නැත . ලෝකය වෙනස් වෙලා ද මන් පරිනත වෙලාද. කතන්දරට වගේම මටත් සිතේ .

යමක් ලියන විට ඒ අස්සේ කතන්දර ගොඩක් ලියවේ . මක් කරන්නද වැඩි කලක් ජිවත් වූ නිසා වැඩියෙන් දේවල් ලියන්නට තිබේ . කියවන්නට දිග වැඩි නම් සමාව භජනය කරත්වා !!!

ඔය අස්සේ වරක් අප ටිකක් ලොකු කාලයේ මට මතක හැටියට 7 , 8 පන්ති වලදී වියහැක , අප අලුතින් පුසෙක් ගෙනාවේ අම්මා අඳුනන ගෙදරකිනි. මේ ගමනට අක්කත් සහභාගී වූ නිසා ගෙදරට ගෙන එන විටම ඇය පුසා අයිති කර ගත්තාය . ඇය ජිවිතයේ ගත් මෝඩම තීරණය එය බව නොදැන උන්නාය . අපේ අක්කා ගැන කියන්නේ නම් අප දෙදෙනා බොහෝ වෙනස්ය . ඇය මට වඩා උසය , කොණ්ඩය රැලිය . මගේ කොණ්ඩය ඉත්තෑ කුරුය . ඇය හරිම පිළිවෙලය . කොටින්ම ජපන් එස් පහෙන් උපරිම වැඩ ගනී..මගේ වාසනාවට ඇයට දැන් මගේ ගෙය නොපෙනේ . නැත්නම් ඇය කලන්තය දමා වැටුනොත් මටම කරදරය .
ඇය පොඩි කාලයේත් එහෙමය . ගේ දොර අස්පස් කරන්නට සැබෑ හපනියකි . අප දෙදෙනාට තිබුනේ එක අල්මාරියකි. ඇයගේ තට්ටුව මල් අසුරුවාක් වැනිය . අදටත් නිවාඩුවට ගිය විට ඇයගේ අල්මාරිය දකින මා ස්ථිර අදිටනින් එන්නේ මගේ අල්මාරියත් අස්කරන්නටය . කිසිදා සැබෑ නොවන සුන්දර සිහින ..D
ඉතින් අපගේ අල්මාරිය ..අහෝ මා කියන්නට යන විපත්තියට මෙය ඇඳෙයි .


අක්කා ගෙනා අගේ ලස්සන පුස් පැටියා හරිම සුරතල්ය,..එහෙත් මු අමුතුම පුසෙක් බව අපට දැනෙන්නට විය . ගෙයින් එලියට අඩියක් නොතබයි. ගෙයි වසුරු දමන පුරුද්ද අත නාරියි. විවිධ තරවටු වලින් පසු එලියට යන්නේද මරන්නට ගෙන යන්න වගෙය . අහල පහල පුසෙක් දුටුවොත් කෑස් ගාගෙන ගෙට රිංගයි. අදෝමැයි මේකා බයගුල්ලෙකි . පූසන් බල්ලන් නම් ඉවසිය හැක . කැරපොත්තෙක් දුටොත් මේකා ලොවෙත් නැත .
මියන් ගැන කවර කතාද . මියන් උගේ උදුන් පැන ගියෙත් මු නිදා ඉන්න විටය . ඇහැරී උන්නොත් මු පැන එපා කියා දුවනු ඇති.


මේකා මෙසේ බය ගුල්ලෙක් වුයේ ඇයිදැයි නොදනිමු. මුගේ උපන්ගම ඒ දිනවල රටේ පරසිඳු චන්ඩියෙක් සිටි ගමකි.[ අපේ කිට්ටුව ගමකි . මගේ නම් සම්බන්ධයක් නැති බව සැලකුව මනාය ] එවන් ගමක උපන් මේකා මෙසේ බය වීම නම් සරදමකි ...D
දැන් ඉතින් අපේ අක්කාට පුසා ගැන යකා වැසි ඇත. කලින්ම අයිති කරගත් නිසා අපේ විහිලු වලටද ඇය බඳුන් විය .
අපේ අක්කා සැමදා උදයේ ඇඟ සේදීමට බොහෝ වෙලා ගත කරයි. මැදපු ඇඳුම් පමණක් අඳියි. [ මේ ලෝකයේ මට පේන්නම බැරි රාජකාරියකි රෙදි මැදීම ..]
දවසක් උදයේ පන්ති යාමට ඇඳුමක් ගන්නට අක්කා අල්මාරිය ඇරියාය . ඇරුනු අල්මාරියෙන් පුස් තඩියා පැන ගියේය

.  අක්කා ගවුමක් ඇන්දාය .........එතැන් සිට තනිකරම ඛේදවාචකයකි ...
පුසා අක්කගේම තට්ටුවේ ජරා කර තිබිණ .
අපි වාසනාවන්තය . පුසාගේ අයිතිකාරයා වෙනකෙක් වුවා නම් ..කතන්දරේ වෙනස් විදිහට ලියන්නට සිදුවේ ..

අපි ගෙදරින් එනකම්ම හිටියේ ඒ පුසාය . අපේ අක්කා ජීවිතේට බල්ලෙක් පුසෙක් හැදීම නවතා දැමුවාය . ඒ පුසා මල පසු අපේ අම්මාද පූසන් ඇති කලේ නැත . පසු කලෙක කොහේදෝ යන පුසී පැටියෙක් මිදුලේ නවාතැන් ගත්තාය . අපෙත් නොවී අනුන්ගේත් නොවී යමක් කාබී සිටි පුසිට අපේ ලොක්කි '' පොලි '' කියා ඉංගිරිසි නමක්ද දැම්මාය . පොලි මවක් වී වරින් වර දු දරුවන් ලැබූ බව අම්මා කි නමුදු ඉඳහිට ගෙදර ගිය අපට ඔවුන් දක්නට නොලැබිණ . ළමයින් දිග තල දුන් පසු ගෙවල් යලි පෙර පරිදි නොවේ. මල්ලි විවාහයට පෙර ඇති කල බල්ලාද බ්‍රවුන්ය . .


ඌද අමුතු චරිතයකි . කජු ගහේ භාගයක් නගින්නට පුළුවන . අවුරුද්දකට පසුව යන අපට වැඳ වැටේ . අම්ම ගමනක් යද්දී පාර හරස් කරයි . විටින් විට අපේ ගෙවල් වල එන අම්ම දින කීපයක් නවතින එක බරවුන් අකමැති කාරණයකි .

අද මල්ලි වෙන ගෙදරකය . අම්ම මහගෙය විකුණා දැම්මාය . පරණ මතක පමණක් හදවතේ ඉතුරු වී ඇත . පොලි ට මක් වීදැයි නොදනිමි. ලෝකය වෙනස් වේ . අපද වෙනස් වේ ..එහෙත් හදවත් පතුලේ සිරවූ මතක සදා නොමියේ.

මෙතනින් එහාට ලියන්නට මගේ බොඳවූ නෙත් ඉඩ නොදේ .
පින්තුරය

Saturday, 14 July 2012

කඳුළු දේශයේ සොඳුරු මිතුරී...

ඊයේ රාත්‍රී කෑමට  අපට ඊශ්‍රායල් මිතුරියගෙන් ආරාධනාවක් ලැබුණා . ඊයේ කියන්නේ සිකුරාදා . සිකුරාදා රෑට එයාල ගන්නේ විශේෂ රාත්‍රී භෝජනයක් . අපටත් එයට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණ එක මට හරිම අලුත් අත්දැකීමක් වුණා. උණු උණුවෙම නොලිවොත් අගය අඩු වෙන නිසා සුරතලුන් ගැන ලිවිල්ල කල් දාන්න හිතුවා.

ඊශ්‍රායලය කියන්නේ යුදෙව් රට කියල දැනන් හිටියට යුදෙව් ආගම සංස්කෘතිය ගැන මට නම් තිබුනේ අල්ප දැනුමක් . සත්සමුදුරේ යුදෙව්වන් ගැන දීර්ඝ ලෙස ලියවුන නිසා ඒ ගැන විස්තර කරන්න මහන්සි වීම අනවශ්‍යයි .

කොහොමත් මේ රට ගැන අපිට තිබුනේ එච්චර හොඳ ආරංචි නෙමේනේ . පලස්තීනුවන් පිඩනයට පත්කරන ,ඇමරිකාවේ අතකොළුවක් වෙච්ච කොටින්ම සමහර පත්තර වල මැදපෙරදිග ත්‍රස්තවාදියා විදිහට හඳුන්වලා තියෙනවාත් දැක තිබෙනවා . යුදෙව්වන් බරපතල සංහාරයකට ලක්වුණ දෙවෙනි ලෝක යුද්ධය ගැනත් අපි ඇති තරම් අහල කියවල බලල තියෙනව.

ඊශ්‍රායලය ගැන ලියවුන සත්සමුදුරේ ලිපි වලට මෙතනින් යන්න

ඒ සියල්ල අත ඇරලා සාමාන්‍ය මිනිසුන් ලෙස ඊශ්‍රායල් ජාතික පවුලක් ආස්සරය කරන්න ලැබුණ එක මට අලුත්ම අත්දැකීමක් . මගේ මිතුරිය හරිම ලස්සනයි . ලස්සන මුණකුයි ලස්සන හදවතකුයි දෙකක්ම එකට පිහිටපු විරල නිර්මාණයක් වගේ ඇය.
ඇය කවදාවත් කිසිම දෙයක් ගැන පැමිණිලි කරනවා ,නෝක්කාඩු කියනව මන් අහලම නැහැ . කොයි වෙලෙත් හිනාවෙලාමයි ඉන්නේ . හැමදේකම හොඳ පැත්ත දකින්න හැකි එහෙම උදවිය හරිම අඩුයි .

පුංචි කෙල්ලෝ තුන් දෙනාත් සුරංගනාවියෝ වගේ . ඇයගේ සැමියත් බොහොම මිත්‍රශීලි මනුස්සයෙක් .
ලෝකේ කොහේ හිටියත් සිකුරාදා රාත්‍රිය මෙයාලට විශේෂයි . ''ශබාට් '' නමින් හැඳින්වෙන සති අන්තයේ ඇරඹුම තමා සිකුරාදා රාත්‍රී භෝජනය . හිබ්රූ ආගමට අනුව දෙවියන් ලෝකය මැවීමේදී දින හයක් වැඩ කොට හත්වෙනි දිනය විවේක ගැනීම තමයි මෙයින් සංකේතාත්මකව සැමරෙන්නේ .

ආගමික අදහස කෙසේ වුවත් මට හිතුනේ මේ කොතරම් වටිනා සංස්කෘතික අංගයක්ද කියායි.

මේ ගැන අන්තර්ජාලගත කාරණා කියවීම කම්මැලි හිතෙන තරම් සංකීර්ණ වුවත් මගේ මිතුරියගේ නිවසේ අපදුටු චාරිත්‍ර අතිශය සරලයි . ඒ වගේම අපටත් පිලිපැද්දට කමක් නැති තරම් වටිනා දෙයක් .
මුලින්ම කරනුයේ කෑම මේසයේ ඉටිපන්දම් දැල්වීම . ඉර බැස   යාමට ඔන්න මෙන්න තියා මේ ඉටිපන්දම් දැල්වීම කරනුයේ පවුලේ කාන්තාවක් . මව හෝ දියණියක් විය හැකියි.

නිවසේ පහන කාන්තාව නිසා වෙන්න ඇති. [ මේක කාන්තා බ්ලොග් එකක් බව කරුණාවෙන් සලකන්න ].


පින්තුරය මෙතනින්

මේසය මත නිවසේ සාදන ලද පාන් ගෙඩියක් සහ රිදී වයින් බඳුන් දෙකක් තිබුණා. එකක් එයාලගේ පවුලට . අනික අපට .

පවුලේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ ආගමික පොතකින් වගන්ති කීපයක් කියවනවා . මුලින්ම ආශීර්වාද කරන්නේ දුවරුන්ට . දෙවෙනියට පුත්තුන්ට . [ මේ ගෙදර නම් පුත්තු නැහැ . කෙල්ලෝම තුනක් . ]
ඉන් පසුව බිරිඳට . ඔහු කි පරිදි නිකන්ම නිවසක් උණුසුම් ගෙදරක් බවට පත් කරන්නේ බිරිඳක් නිසා ඔහු ඇයට ස්තුතිවන්ත වන බවයි . අපේ පොඩ්ඩි එතන ඉන්න තිබුණේ. බලන්න ලස්සනයි සැමියා බිරිඳට හෙලපු ආදරණිය බැල්ම . අපේ අයට පාඩම් ඉගෙන ගන්න පින්තුරයක් දාන්න බැරි වුන එකයි කණගාටුව.


ඉස්සරටත් වඩා අද අපි ජිවිතේ ගෙනියන්නේ දුවමින් . හැල්මේ යන ගමන පොඩ්ඩක් නතර වෙලා සිංහලෙන් කිව්වොත් බ්රේක් එකක් අරන් මේවගේ තමන්ගේ පවුලේ වටිනාකම මතක් කරන්න එකිනෙකාට ස්තුතිවන්ත වෙන්න ඒ වගේම ඊ ළඟ සතිය නැවුම් විදියට අරඹන්න අපි වැඩිය නොදන්නා ජාතියකින් ලැබෙන පාඩම හරිම වැදගත් කියලයි මට හිතෙන්නේ .

කල්පනා කරලා බලද්දී අපේ සමාජයේ මේ ස්තුති කිරීම් සිදුවන්නේ බොහෝ කොට අලුත් අවුරුදු සිරිත් මුල් කරගෙන . අනික් දවස්වලදී බොහෝ ගෙවල් වල වුණේ සැමියාට ළමයින්ට හොඳම දේ බෙදා දීල අම්ම කුස්සියේ ඉඳන් ඉතුරු වුන යමක් කන එක . මේ වෙද්දී බොහෝ දුරට මේ තත්වයන් වෙනස් වෙලා වුනත් ආදරය ප්‍රකාශකරන්න , ස්තුතිවන්ත වෙන්න අපේ සමාජය ටිකක් පැකිලෙනවා කියලයි මගේ හැඟීම .
ගෙදර පුච්චපු අලුත් පාන් , පාර්ස්ලි සහ කුස් කුස් සලාදය , ඇතුළුව බොහොම ලස්සන සහ සෞඛ්‍ය සම්පන්න කෑම ජාති ගොඩක් සහ පලතුරු සමග පලතුරු තේ රසවින්දා . සේරම එළවලු කෑම .

කවදාවත් විසදෙන්නේ නැති ඒ රටේ ප්‍රශ්න ගැනත් අපේ රට ගැනත් කතා වුණා. උපන්දා සිටන් යුද්ධේ ආනිසංස අත්වින්ද නිසා අපි දෙගොල්ල අතර සමානකම් හුඟක් තියෙනව . අදට වුනත් කොයි වෙලේ බෝම්බ පිපිරේදයි නොදන්නා ඔවුන්ගේ සදා කඳුළු දේශයට හෙට අනිද්දා ඔවුන් ආපසු යනවා . ඒ ගැන නම් මට ඇත්තේ හරිම දුකක් . ඉඳහිට හමු වෙන සුන්දර මිනිසුන් මේ ලෙස සමුගෙන යාම නම් කණගාටුවට කාරණාවක් .

මන් ඇයට තෑගී කලේ අපේ රටේ සිතියමක් සහිත චිත්‍රයක් . ලෝකයේ කොහේ හෝ කොනක මේ වගේ ලස්සන පුංචි දුපතක් ඒ ගොල්ලන්ටත් ඇත්නම් කියල ඈ කිවේ ලොකු සුසුමක් පිටකරන ගමන්

Tuesday, 10 July 2012

මිනිසෙක් වූ බල්ලෙක්




මේ ලෝකේ සුරතල් සතෙක් නැති එකම ළමයි දෙන්න තමන්ය කියල ලොක්කියි පොඩ්ඩියි නෝක්කාඩු කියද්දී  පහුගිය සර්කස් ලිපියේදී නැන්දලා මාමලා හුඟක් කියා තිබුණ ළමයින්ට බලු පැටියෙක් ගෙනත් දෙන්න කියල . හැබැයි දෙන්න මගේ බ්ලොග් එක කියවන්නේ නැති හින්ද ඒ චන්ද සේරම අවලංගු වෙනවා .D

අද මෙහෙම වුනාට අපේ ගෙදර ඉස්සර හැමදාම පුසෙකුයි බල්ලෙකුයි වැරදුනේ නැහැ . ඒ දවස්වල ලොකුවට තාප්ප දාල ඉඩකඩම් වෙන්කරලා තිබුනේ බොහොම අඩුවෙන් .ඉතින් ඒ සත්තු නිදහසේ ඇවිදලා ජිවත් වුනා . බල්ලන් නම් හිටියෙම එළියේ . පූසන් නම් ගේ ඇතුලේ උන්නත් පුටු උඩ නැගීම තහනම් . මේ නීති අකුරටම ක්‍රියාත්මක කලේ අපේ අක්ක . හැබැයි අපි උන්ට ආදරේ කළා . අතපත ගාල සුරතල් නොකෙරුවත් උනුයි අපියි අතර අපුරු බැඳීමක් තිබුණා.

මේ බල්ලන් පුසන්ට අමතරව කිකිළියක් ඇති කළා අපි කුඩාම කාලේ . බිත්තර රක්කලා පැටව් ආවම අපි උන්ව බෙදා ගන්නවා . ලොකු වුනහම උන්ගේ බිත්තර තනියම කන්න හිතාගෙන . පුංචි පුළුන් බෝල වගේ කුකුළු පැටව් කුකුලොද කිකිලියෝද කියලා සොයන්න බැහැ. ඔන්න ටික දවසක් යද්දී පිටිපස්සෙන් වලිග පිහාටු දික්වෙන්න ගත්තම තමා තමන්ට අයිති එවුන් මොන ජාතියේද කියල දැනගන්නේ . සමහර විට සේරම කුකුලෝ වෙලා බලාපොරොත්තු සුන් වෙන වෙලාවල් තිබුණ .

[මේ අර ගෙවත්තේ අල බතල හිටවාපු දශකයේ අග භාගය විය යුතුයි .]

ඒ ඉතින් හුඟක් පුංචි කාලේ . පසු කලෙකත් මට මතකයි අපේ ආච්චිලගේ ගෙදර කුකුළු පැටව් හිටියා . තව එළදෙනක් හිටියා . මහගෙදර ඒ සත්තු ඇති කරන එක නැවතුනේ ආච්චිගෙයි ආතාගෙයි අන්තිම කාලේ බවයි මට මතක . මේ අර ලිපි තුනකින් කියූ තාත්තගේ ගම නෙමෙයි . කොළඹට ආසන්න අම්මගේ ගම . කොළඹට ආසන්න වුනත් ලස්සනට තිබුණ පළාතක් .ඒ විස්තර වෙන ලිපියකින් ලියන්න සිදු වෙනවා .

අද මට ඇත්තටම ලියන්න උවමනා වුනේ මා හා සමීප වෙච්ච සුරතල් සතුන් ගැනනේ.

බලු පැටවුන් පිලිබඳ මගේ පළමු මතකය හරිම තිත්ත එකක් . අපිට හිතවත් කෙනෙක් ලස්සන බෝල ගෙඩියක් වගේ දුඹුරු පැහැති බලු පැටියෙක් ගෙනත් දුන්න . අපි එයාට බ්‍රවුන් කියල කතා කළා . ටික දවසකින් බලු පැටියා ගෙනත් දීපු අය්යා අපේ තාත්තත් එක්ක කුටු කුටු ගානවා දැක්ක . ඊ ළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී හරිම අමුතුයි . බ්‍රවුන් නැහැ .

හැබැයි අම්මලට මේක රහසක් විදිහට තියාගන්න බැරි වුණා. පැටියාගේ අම්මට පිස්සු හැදිලා . බලු පැටියට වුන දේ කවදාවත් අපට කිව්වේ නැතුවට සුරියපාලුවේ වෙද මහත්තයෙක් ලඟට පවුලම ගිහින් ඇවිත් තිත්තම තිත්ත කසාය අපට පෙව්වා . ඊක්.....

අච්චර ඛේදවාචකයක් වෙලාත් අපි පසු බැස්සේ නෑ. සත්තුත් මිනිස්සු වගේ . විවිධාකාර චරිත රැසක් තිබුන බල්ලන් පූසන් කීප දෙනෙක් මට හොඳට මතකයි.

බුලා එක්කෙනෙක් . මෙයා පුදුමාකාර බල්ලෙක් . අපි යන යන තැන පස්සෙන් ආවා . ආදරේට වෙන්න ඇති . හැබැයි අපිට නම් මේක පරාල ඇණයක් වුණා . කොයිතරම් මග ඇරලා ගියත් මෙන්න භාගයක් දුර යද්දී බුලා අපේ පස්සේ . නාන්න ගියත් , දුර ගමනක් යන්න බස් එකට ගියත් පස්සෙන් එනවා . මේ පස්සෙන් ඒම ඉවසන්න බැරි මුට කන්න පාර දිගේ අනික් බල්ලෝ කඩා පනිද්දී ආරක්ෂාවට අපි අස්සට එන එක . එක දවසක් අපේ අම්ම බස් එකට නැග්ගම මිනිස්සු කෑගහන්න අරන් . බල්ලෙක් බස් එකට ගොඩ වෙලා . අම්ම අඳුනන්නේ නැතුව උන්නලු . ආයේ දවසක් පන්සල් ගිහින් බණ මඩුවේ බණ අහනව . මෙන්න බුලා සෙනග අස්සේ අපිව සොයනවා . එදාත් බුලා අපේ නෙමේ .

එක දවසක් බුලා ගෙදර ආවේ නෑ . අම්මල කිවේ මැරෙන්න ළඟ වුනහම සත්තු යන්න යනවලු .
තව අමතක නොවෙන මිනිහෙක් වගේ බල්ලෙක් උන්න . එයාගේ නම ''ටාසන් ''. මුට නම් බල්ලා කියන වචනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ .



තනිකර මනුස්ස ගතිගුණ තිබ්බේ ... පොතක් හරි ෆයිල් එකක් හරි අරන් ගෙදරට එන තරුණ අයව නැට්ට වනල පිළිගත්තා . වයසක මිනිස්සු පේන්න බැහැ. කඩා පනිනවා . අපේ යාලුවෝ ආවම දොරකඩට වෙලා අනික් පැත්ත බලාගෙන ඉන්නවා යනකම්ම . අපේ යාලුවෝ අතර ටාසන් සැහෙන ජනප්‍රිය වුණා . සමහරු කිව්වේ ටික කාලෙකට ඉස්සර මැරුණ තරුණ අයෙක් වෙන්න ඇති කියලයි . කෑවේ වෙලාවට. බොහොම ටිකයි . හරිම පිරිසිඳු පාටයි .


නරක පුරුදු වලට ඇබ්බැහි වුන හොඳ මනුස්සයෙක්ට වෙන දේ මෙයාටත් වුණා . අසල්වැසි ගෙදරකින් හරක් මස් කන්න දීල ටාසන් එහාට පුරුදු වුණා . අපේ දිහා නොකන මසට ලොල් වුන ටාසන් අන්තිමට එහාටම වුණා . පුදුමම දේ වුණේ ඊට පස්සේ . අපේ ගේ ගාවින් එහා මෙහා යද්දී හරියට තරහ වුන මිනිහෙක් වගේ අනික් පැත්ත බලන් යන්න ගත්ත . බල්ලෙක්ට මනුස්සයෙක් වෙන්න පුළුවන් බව එදා තමයි මන් දැන ගත්තේ .

ටික කලකින් අපි දැක්ක සාත්තුවක් නැති වුන ටාසන්ගේ ඇඟේ කුෂ්ට දාල . අපේ දිහා ඉද්දි නිතර නාන්න පුරුදු වෙලයි මෙයා උන්නේ .[ එක දවසක් පාරට ගිහින් ලොරියක හැපිලා කකුලක් තුවාල වෙලා ඉද්දි අය්යා තමයි සාත්තු කරලා සනීප කලේ .]


ඔය කාලේදී මන් වෙන ගමකට දීග ගියා . මට අවසාන කාලය දකින්න බැරි වුණා .

අම්ම කි පරිදි අවාසනාවන්ත තත්වයට පත් වුනාට පස්සේ අර ගෙදරින් ටාසන්ව එලවල . ඉඳහිට අපේ මිදුලට ආවාම අම්ම කන්න ටිකක් දුන්නලු .

දවසක් අර ගෙදර ගැහැණු කෙනා මරලතෝනි දෙනවා ඇහිලා . ලිඳට බල්ලෙක් වැටිලා . එයාල නොදැන ලිඳේ වතුරත් බිල .

වැටිලා මිය ගිහින් තියෙන්නේ ටාසන් .

මේ දේවල් විස්තර කරන්න හැකි බුදු දහමට පමණක් කියලයි අද මට කල්පනා වෙන්නේ .

p.s.
සුරතල් සත්තු ගැන සේරම ටික ලියල දාන්න හිතුවත් සැහෙන්න දීග වෙන නිසා මෙතනින් කඩන්න හිතුව .

Thursday, 5 July 2012

වියට්නාම නංගිලාගේ කරණම් ..

තැන ජාතික සර්කස් මධ්‍යස්ථානය , හැනොයි , වියට්නාමය . දිනය නම් සති කීපයකට කලින් ඉරිදාවක් . ශාලාව අඩ අඳුරුයි . මැද්දේ වේදිකාව . වටේට උසින් වැඩිවී යන පරිදි ප්‍රේක්ෂක අසුන් . වලක් වැනි වේදිකාව සරසල තිබුනේ මුහුදු පතුලක් වගේ . කාටුන් සුරංගනා කතාවක වගේ .

බොහොමයක් දේවල් ස්ව බසින් සිද්ධ වෙන රටක අපිට බොහෝ දේ මග ඇරෙනවා . මන් දැනන් හිටියෙත් නැහැ මෙහෙම තැනක් ගැන . අපේ ගෙවල් අයිති සමගම මාසෙකට වතාවක් අපිව ගමනක් එක්ක යනවා . අපේ කඩිසර කම කොච්චරද කියනව නම් ඒ එක ගමනක් වත් අපි ගිහින් නැහැ . ඉරිදා උදේ නින්ද ඊට වඩා වටිනා නිසා .

මෙදා පාර නම් ළමා දිනේ සමරන්න කියල එක්කන් ගිය මේ ගමන නම් මන් ළමයයි පොඩි ළමයින් දෙන්නයි බොහොම කැමැත්තෙන් ගියා . ඒ වෙන මොකවත් නෙමේ මේ ළමයත් ජීවිතේට වත් හරි හමන් සර්කස් එකක් දැකල තිබුනේ නැති නිසා .


ලස්සන නංගිලා දියකිඳුරියෝ වගේ සැරසිලා ...හරිම අගෙයි . මුහුද යට රාජධානියක කතාව වචනයක් වත් නොතේරුනාට රංගනය රස විඳින්න එය බාධාවක් වුනේ නැහැ. අන්තිමට අලින් . අශ්වයින් ..සුනඛයින් සහිත දසුන් නම් එතරම් රස වින්දේ නැහැ . මන් වගේම ළමයිනුත් සත්තුනට කරදර කරනවට අකමැතියි .
සර්කස් එකක් වචනයෙන් විස්තර කරන්නේ කොහොමද . මෙන්න මන් ගත්තු පින්තුර .


















''


බය වෙන්න එපා නංගි මන් ඔයාව බිම දාන්නේ නැහැ



ඔය දෙන්න මට බරක් නෙමේ




ඉස්සර ලංකාවට චීන සර්කස් ආව බව මන් අහල තියෙනව . ඒ වගේම ගමින් ගමට ගිය සර්කස් කණ්ඩායම් තිබුන බවත් කියවල තියෙනව . ඒ ඉතින් රූප මාධ්‍ය ජනප්‍රිය වෙන්න කලින් . වර්තමානයේ මන් දන්නා පරිදි අපේ රටේ මෙවැනි සර්කස් ජනප්‍රිය නැහැ එතරම් . එහෙත් මේවා ලෝකයෙන් තුරන් වෙලා නම් නැහැ . බොහොමයක් රටවල තවමත් සර්කස්වලට තැනක් තියෙනව .

සිරුර සමබරව තියාගන්න හැකිකම වගේම නම්යශිලිතාවය උපරිමයෙන් ඇති මේ මිනිස්සු ගැන නම් පුදුමත් හිතෙනවා .

මට සර්කස් කිව්වම මතක් වෙන දේවල් කීපයක් තියෙනව . එකක් ''ඇට මැස්සා'' පොතේ රිවාරෙස් . අධික පහර දීම නිසා විකෘති වෙච්ච ශරීරය නිසා සර්කස් කණ්ඩායමකට බඳවාගන්න ඔහු වින්ද අපහාස වේදනාවන් ..
රිවාරේස් මට උගන්නපු බොහෝ දේ අතර එකක් තමයි සර්කස් එකක වේවා අනෙකුත් කලාකෘතියක වේවා මනුස්සයෙක්ගේ ශාරීරික විකෘතියක් උලුප්පල පෙන්නද්දී හිනා වෙන්න නෙමේ අඬන්න හිතෙන එක .


සර්කස් කිව්වම මට මතක් වෙන තව එකක් තමයි ''සතුන් වත්ත '' කියන චීන පොතේ ඉන්න චිම්පන්සියා තනි රෝදේ පදින හැටි . ඊටත් වඩා මතක් වෙන දෙයක් තියෙනව . ඊ ළඟ  . පෝසට් එක ඒ ගැන ලියන්න තියෙන නිසා නොකියා ඉන්නම් .


මේකත් එක සර්කස් එකක් . වේදිකාවේ ලස්සන නංගිලා වගේම මෙයත් ජිවන රඟමඩලේ සර්කස්කාරියක්. ..


සර්කස් බලල ආවට පස්සේ අපේ ගෙදරත් පොඩි සාම්පල රඟ දැක්වුනා ..පුටු උඩ ඇඳන් උඩ ඔලුවෙන් හිටගැනීම් ආදිය. තොල් පලාගැනීම් ඔලුව ගෙඩි ගැසීම් හෙමත් සිද්ධ වුණා.

ප. ලි .
සර්කස් සත්තු දිහා බලල අපිට නම් බොහොම දුක හිතුනා . සතුන්ට වද දලා අපි ලබන සතුටක් මොකටද . මගේ මේ සිතීම නිසා අපේ දෙන්නගේ සුරතල් සතෙක් ඇති කිරීමේ සිහිනය ඉටු කරගන්න බැරි වෙලා තියෙනව . ඒ ගැන නම් දෙන්න අමනාපයි . අපි පොඩි කාලෙත් හාපැටව් , ලේන් පැටව් ඇති කරන්න හැදුව නේද කියල හිතෙද්දි පොඩි දෙන්න ගැන පව් කියලත් හිතෙනවා .