Sunday, 9 December 2012

පිලිපීන කිරිබත් සමග ජපන් තේ ..

මගේ මිතුරියගේ පොඩ්ඩෝ දෙන්නා ඉගෙන ගන්නා පාසලේ ඊයේ ජාත්‍යන්තර දිනය . අපිත් නිකමට ඒ පැත්තේ ගියා . එක එක රටවල දෙමාපියන් බොහොම මහන්සි වෙලා තම තමන්ගේ රටවල අනන්‍යතාවය පිළිබිඹු වෙන දේවල් කර තිබුණ.

නේපාලයේ සමෝසා සමග රසම රස පැණි රස මුරුක්කු ජාතියක් .කන්න ලැබුනා .



..පිලිපින කිරිබත්

 
 

පහල තියෙන්නේ වියට්නාම ආහාර වර්ග කීපයක් .පොඩි කදක් පේනවද . ඔය වගේ කද වල තියාගෙන විශේෂයෙන් ගැහැණු අය ආහාර පාන වෙළඳාමේ යනවා .
 
 
 
 
 
 
 

මෙයත් වියට්නාම . Banh Cuon

ජපන් තේ
 

මේ රස කර කර කන්නේ ම්ම්ම්ම් .....
 

 මෙන්න මේවා



කන බොන එව්වට අමතරව එක එක සෙල්ලම් ජාතිත් තිබුන .

වියට්නාම් බම්බු නැටුම ..සරල ආකාරයෙන්

ඉන්දුනිසියන් ක්‍රීඩාවක් .. අපේ පංචි දැමීම සිහිවෙනවා නේද

ඉන්දුනිසියන් රුකඩ . දැක්ක ගමන් මට මතක් වුනේ ලන්දේසි කාලේ ඇඳුම් . ඇත්ත තමයි එයාලත් කිවේ ලන්දේසි බලපෑම නිසා ඇතිවුන දේවල් කියලා .
 
 
ඉක්මනින් යන්න උවමනාවක් තිබු නිසා හිතේ හැටියට පින්තුර ගන්නත් විස්තර අහගන්නත් බැරි වුනා . තව හුඟක් රටවල කන්න දේවල් තිබුනා . කටේ දාගත්ත මිසක් කැමරාවට දාගන්න නම් බැරි වුනා .
 
 
 
 
 
 
 
 
ඇත්තටම මට පෙන්වන්න ඕන වුනේ කන දේටත් වඩා මෙන්න මේක
 
 
හරිම සියුම් නිර්මානයක් . දවසක කාගෙන් හරි අහගන්න ඕන හදන විදිහ .



තණකොළ පෙත්තා සෑදුවේ මේ අත්දෙක
 

ඔව් ඉතින් මේවා කම්මැලි ලිපි තමා . මේ ටිකේ නම් මේ වගේ මිසක් වැඩිය ලියනවා බොරු .

Friday, 7 December 2012

''කෝපි පාටි ''

අපට නිතරම කෝපි සාද වලට ආරාධනා ලැබෙනවා . පාසලේ ඇතැම් රැස්වීම් මාපිය හමුවන් වලට ලේසියෙන්ම ඒගොල්ල කියන්නේ කෝපි බොන්න එන්න කියලයි. කතා බහ කෙරෙන අතරේ පොඩි රස කැවිල්ලක් පළතුරක් එක්ක කෝපි සහ තේ පැත්තක තියා තියෙනව . ඕනනම් බොන්න .

මේවගේ රැස්වීම් වලට නම් යන්නේ කෝපි නිසාම නෙමේ . තව ඉතින් සුහද කතාබහක් කරන්න ඕන වුනහම කෝපි කඩයකට ගිහින් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නත් පුළුවන් . එතනත් අසරණ කෝපි කෝප්පේ නිකන් හෙමින් වැඩ කරන වැලි ඔරලෝසුවක්  විතරයි.

මන් කෝපි ලෝලියෙක් නොවුනත් හිතට ප්‍රිය  සුහද සමාගමකට නම් අකමැති නැහැ . එයට කෝපි පාටියක් කිව්වත් ඒ හැටි අවුලකුත් නැහැ .

හැබැයි   සමාගමය ප්‍රිය නම් පමණයි. මගේ ඊශ්‍රායල් මිතුරිය කරින් , පෝලන්ත මිතුරිය ලිඩියා , තුර්කි මිතුරිය එමල් එක්ක නම් නිතරම කෝපි බොන්න පෙළඹුනා .  ඒගොල්ල තිත්තම තිත්ත තුර්කි කෝපි බොද්දි මන් දිල්මා තේ එකක් බොනවා . හැබැයි ඒගොල්ල කෝපි කෝප්පේ බිලා අනික් පැත්ත හරවලා කියන සාත්තර අහගෙන  ඉන්න නම් ආස වුනා .

මේ සමාගමය විශේෂ වුනේ අපි කතා කල දේවල් නිසා . පෝලන්තයේ සමාජවාදයේ ඉඳන් තුර්කියේ කාන්තා අයිතිවාසිකම් තිත්ත කෝපි වලට සිනි වුනා .

එයින් දෙන්නෙක් ගම බිම් බලා ගොසින් . ඒ ගැන මා ඉන්නේ කණගාටුවෙන් .

මගේ තවත් කෝපි මිතුරියක් ඉන්නවා කොරියන් . අපොයි කොරියාව නිකන් අල්ලපු රටටත් වඩා ලංවුනා .

මගේ ලාංකික මිතුරිය එක්ක නම් ඉතින් හොඳට කිරි දාපු කිරි තේ එකක තමයි කතා බහ දිය කරන්නේ .

වෙලාවකට කල්පනා කරද්දී මොකට මේ  හැටි කතා කරනවද කියලත් හිතෙනවා . ඒ වුනාට අපි හැමදාම කරන්නේ කතා කිරීම . කතා කරන්නෙත් ඉතින් ලෝකේ රටේ වෙන දේවල් . ඉතිහාසය කියන්නේ ලෝකේ රටේ වෙච්ච දේවල් ..ලෝකේ රටේ දේවල් කියන්නේ අනුන්ගේ දේවල් ..එහම බැලුවම අපි වුනත් කතා කරන්නේ සමීප අය ගැන නොවුනා වුනත් ඕපාදුප .

ඉස්සර නම් ලිඳ ගාව , නාන තොට ගාව තමයි ඕපාදුප ඉපදුනේ . ගැහැණු තමයි ඒ අංශයේ කුසලානය සදා හිමි කරගත්තේ . පසු කලෙක පත්තර ඒ කාරියේ සෑහෙන කොටසක් භාර ගත්ත . ඊ  ගාවට රේඩියෝව . ටි වී එක .

මේ ලඟදි මුණු පොතේ කතා බහකදී සිබිල් වෙත්තසිංහගේ කතන්දර මතක් වෙලා මට පොත් ගොඩවල් අවුස්සන්න සිදු වුනා . හෙව්ව පොත හම්බ වුනා .

පොතේ නම ''කුසුමලතා ''

පොත පළමු මුද්‍රණය 1971 . අපි ඉපදෙන්නත් කලින් . සමාජයේ ඇතැම් දේවල් දිහා විනෝදෙන් බලන කුසුමලතා ඉස්කෝලේ හාමිනේගේ දිනපොත .

සැහැල්ලු  බසින් ලියවුන මේ කතා වරින් වර කියවලා විනෝද වෙනවා මන් නම් . අපිත් කරන සමහර දේවල් දිහා හිනා වෙන් බලන්න පුළුවන් . මන් කැමතිම විවේචනය නොකර හාස්‍ය උපදින ලෙස ලියා තිබීම නිසයි .

ඔය පොතේ එක කතාවක් තමා ''කෝපි පාටි ''. බොලේ ඒ හැටි වෙනසක් නැහැනේ . දශක හතරකට කලින් ලියු දේවල් අදත් එහෙම්ම වෙන්නේ  යසට .

වැඩිය උපුටා දක්වන්න බැහැනේ . මෙන්න මේ වාක්‍ය විතරක් දාන්නම්

''දිග කලිසම් , බාල්දි වාගේ උඩ කෑලි එක්ක  ඇඳලා . අලුත් කොසු, ගස් මුට්ටි . මිරිස් ගල් . කුරුළු කුඩු කපුටු ගෙවල් වාගේ කොණ්ඩ හදාගෙන යතුරු කැරලි ,සරනේරු තහඩු ,අඩු මිටි . කුඩා නන වාගේ කනකර ආයිත්තම් පැළඳගෙන නෝනලා ඇවිත් හිටියා ''

කුසුමලතා පාටියට යන්නෙත් '' අපේ එක්කෙනා '' තහනම් කරපු අත කොට රතු හැට්ටේ ඇඳගෙන . ඒ කියන්නේ කතා නායිකාව සිදුවීම ඇතුලෙම කොටසක් මිසක් පිටස්තර විවේචන කාරියක් නොවේ. අන්න ඒ රටාවයි මේ ලියවිල්ලේ ලස්සනම .

අපට අපගේ දේවල් ගැනම සිනා සීමට පුළුවන් කමයි වඩා අගේ .

විජේසුරිය පොතක් ලෙස මෑතකදී මුද්‍රණය කර තිබෙනවා .

ඉතින් මාත් කුසුමලතා වගේ කියල මට හිතෙනවා . කෝපි පාටිවලට යන ගමන් ඒවාට හිනා වෙන්නත් පුළුවන් .

ඕපාදුප කියන්න රට පටලවන්න ඉස්සරට වඩා ලේසි ක්‍රමයක් දැන් තියෙනව . ඒ තමයි සයිබරය . හරිම විනෝදයි . ගැහැනුන්ට හිමි කුසලානය ඒ අයගෙන් ගිලිහි යාම ගැන නම් අවදානමක් තියෙනව .


Thursday, 6 December 2012

වටරවුමේදී මග ඇරුන ..කවි මිතුර


සන්තකට ,
අකුරු විතරක්ම තිබු
අකල් සමයෙක
හමු වූ කවි මිතුර
අප මග ඇරුන හන්දිය
ඔබට මතකද ...

වටරවුම හැරවුම
පහසු මාවත මටයි
ඔබ ගියේ රළු කටුක
වෙනස් පාරක හැඩයි

...අත ඇරුණු කවි අහුලන්න
හන්දියට ගොසින් බැලුවාම
ඔබ ගොසිනි බොහෝ දුර
මට වචනයක් වත් නොතියාම

...ඔබ ලියු පරණ කවී පමණක්
ඇලවෙනු දුටිම් තැන තැන
අලුත් පරපුර අලුතින්ම
කියවයි අකුරු ගැන ගැන ..

බැරි වුණත් බිතු සිතුවමක් වන්නට
ඉස්සර වගේ කියවා කියවා ඉන්නට
ඉඳහිටක දුක සැපක් අහන්නට
බැරිකමයි මට නම් තියෙන දුක

......කුඩා වූ පෘථිවියේ කොහේ හෝ
හමු වුණොත් අහම්බෙන් අතරමග
අහන්නට තිබෙන කප්පරක් දේවල් නොඅසා
එකම පැනයක් අසමි ..

''එල්පින්ස්ටන් හන්දියේ පෙට්ටි කඩයෙන්
බෙදා ගත් කහට තේ කෝප්පෙට
මම ණයද ?''

ප.ලි.

මේක විරහ
කවියක් නොවේ ළමයි..

Monday, 3 December 2012

අතු දියට වැටි ...දිය තරග නැගී......

ඊයේ සීතල වුනත් මිදුම තුනී වූ දවසක්..කාලෙකින් හොවැං කියම් වැව පැත්තෙ යන්න බැරි වුන නිසා රවුමක් ගියා.
මේ තමයි චිනය සහ යුද වදින්න ලබාදිපු රන් කඩුව ඉබ්බා ආපසු අරගත්තු තැන. ආයේ කඩුව කටු ගෙවල්වල දාලා පසු කාලෙක පරිස්සන් කරනවට වඩා ආපසු ගත්තු එක හොඳ වෙන්න ඇති.
අද මට කම්මැලියි වැඩි විස්තර කියන්න. පින්තුර විතරයි.

මේ වැව රවුම නගරයේ හදවත කියන්න පුළුවන්. ඒ වගෙම මෙතන තරමක උප සංස්කෘතියක්  තිබෙන බවත් කියන්න ඕන. ව්‍යායාම කරන්න , පින්තුර ගන්න ආදරේ කරන්න , රස්තියාදු වෙන්න කියාපු තැන .

මේ වගේ ජලාශ මේ පළාතේ හැම තැනම . කොටින්ම පළාතේ ලොකුම වැව ආසන්නයේ තමයි අප ජිවත් වෙන්නෙත් . නමුත් මේ වැව විශේෂයි  .

නගරයේ  ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් .

මේ ගැන ලියන්න නම් අපමණ දේ තියෙන නමුත් වෙලාව පිලිබඳ ගැටළුවක් තිබෙනවා . වසන්තය ඉවරයි . ලියන මුඩ් එකත් නැතිවේගෙන යනවා වගේ . පාසලේ නිවාඩුවට පෙර අන්තිම සති දෙක . විවිධ ක්‍රියාකාරකම් සිදුවෙන කාලේ .

මේ පාර නම් මුකුත්ම ගෙනියන්නේ නැහැ කියල හිතන් හිටි ගල් හිත උණු වෙන්න පටන් ගන්න කාලේ . සේද පසුම්බි ටිකක් , ලැකර් පින්තාරු ටිකක් ,  බම්බු වලින්හදපු පොඩි පොඩි විච්චුර්ණ ටිකක් ගන්න පරණ ටවුම දිහා රස්තියාදුවේ යන්නත් කාලේ .

ඉතින් ඒවා පැත්තකින් තියමුකෝ . මේ වැව වටේ ඇවිදීම ලස්සන අත්දැකීමක් .




පින්තුර අරන් විනාඩි දහයෙන් දෙන කැමරා ශිල්පියෙක්ට කියල ලස්සන පින්තුරයක් ගන්නත් පුළුවන් .



ආදරවන්තයෝ නම් බැංකුවක ඉඳගෙන ඈත බලන් ඉන්නත් බැරුවය දවසක් වුනත් ..




 .


වැවට උඩින් රතු පාලම දිගේ ගිහින් ඉබි පන්සලට යන්නත් පුළුවන් .
 
 
 
 පන්සලට යන ගේට්ටුව ගාව කොටියා සහ මකරා










අධ්‍යාපනය සංකේතවත් කරන පින්සල් කුළුණ . ඔය ගල් වැටියට බඩ ගෑම අපේ දෙන්නගේ ආසම වැඩක්





යුගල පින්තුර ගන්න ආපු මනාල ජෝඩු දහයක් පහළොවක් බලා ගන්න පුළුවන් . මට මුණගැහුන ආරක්ෂක අංශ සාමාජිකයා සහ එයාගේ මනාලිය නම් බොහොම කැමැත්තෙන් පින්තුරේට මුණ දුන්නා . ඒ අතින් හරිම මිත්‍රශීලි අහිංසක කමක් මේ මිනිස්සු ළඟ තියෙනවා .




Cyclo කියන බයිසිකල් රික්ශෝවේ නැගල රවුමක් යන්නත් පුළුවන් .

ලොකු තැපැල් කන්තෝරුව .





නගරයේ දහස් වසර ගෙවුන නිසා ස්විස් රජයෙන් දුන්න ලොකු ඔරලෝසුව ...



මුහුණ ඇඳගන්න කැමති නම්

නැත්නම් කැසට් එකක් දාල නැටුම් උගන්නන තාවකාලික නැටුම් කණ්ඩායමක් එක්ක නටන්නත් පුළුවන් . ඉවර වෙලා තොප්පියට කියක් හරි දෙන්න විතරයි තියෙන්නේ .
 
 

ඔය සේරම කරන්න කම්මැලි නම් ගස් අතු දියට වැටි මවන මනරම් දසුන් දෙස බලා ඔහේ ඉඳගෙන ඉන්නත් පුළුවන් .