Thursday, 23 May 2013

බත් කුරු සහ වෙසක් කූඩු

චීන ක්‍රමේට බත් කන කුරු මිටියක් ගෙනාවෙමි . රබර් පටි ද සොයා ගතිමි . හවසට පොඩ්ඩෝ ආකල වෙසක් කුඩුවක් හදන්නට සිතා සිටිමි . 

මේ ක්‍රමයට වෙසක් කුඩු සෑදීම මාගේ  සහ අපේ නැන්දම්මා ගේ නව නිපැයුමකි . වෙසක් කුඩුවක් යනු ගණිත කර්මයේ බහු විධ හැඩතල අගෙන ගන්නට දරුවන්ට අනගි අවස්ථාවකි .

මා වගේම අන්තිම කටේ වැඩ කරන පුරුද්දක් තිබු අපේ තාත්තා එක්තරා විදිහක අපුරු කලාකාරයෙක් බව මට සිතේ . කඩිමුඩියේ අඳින ඉරි කැබලි කීපයක් අගනා සිතුවමක් කර පෙන්වන්නට ඔහුට තිබුනේ පුදුම හැකියාවකි . වෙසක් කුඩු හදන්නටද හපනෙකි . වැරැද්ද නම් බට සොයන්නට යන්නේද වෙසක් දා දහවලේ වීමය . කෝටු කපා සුද්ද කොට අගනා කුඩුවක් සදන්නට මහා වෙලාවක් ගත නොවිණි .

පොල් පට්ටා වලින් රවුම් සාදා හදන කාමරංගා කුඩු මගේ ප්‍රියතම වර්ගයකි . අටපට්ටම් , එල්ලන නෙළුම්මල්  මෙන්ම බිම සිටවන නෙළුම්මල් ද හදන එක අපේ  තාත්තාට කජු කනවා වැනි වැඩය . විශාල වශයෙන් විනෝද වීමට ඉඩ ප්‍රස්තා නොතිබුණ සමයක අපගේ ජිවිත ඒකාකාරී නොවුනේ මෙවැනි දේ නිසාය . අවුරුද්දට කාර්ය බහුල වී උණුසුම නිවෙන්නත් පෙර ඔළුවට එන්නේ වෙසක් කුඩුය .

පසුගිය වසරට වඩා වෙනස් සහ හොඳ එකක් තැනීම , අල්ලපු ගෙදර ළමයින්ට වඩා ලස්සන එකක් තැනීම ...මේවා ලෝකෝත්තර ලෙස සළකන විට අන්තිම නරක දේවල් විය හැකි නමුත් සංස්කෘතික අංගයක් ලෙස සහ ළමයින්ගේ නිර්මාණශීලි බව ඔප නංවන අපුරු මාධ්‍යක් ලෙස මා නම් වෙසක් සැරසිලි අගය කරමි .

වෙසක් කාඩ් තොරණ ප්‍රාථමික මට්ටමේ නමුදු බොහෝ විට පිරිමි ලමයෙකු සිය ප්‍රථම විදුලි පරිපථය සාදන්නට ඇත්තේ ඒ තුලින් වන්නට පුළුවන .

වෙසක් කාඩ් යැවීම  නම් මට කම්මැලි වැඩකි . නමුත් ඇතැම් ළමෝ එය ඉතාම සරුවට කලහ.

නමුත් වෙසක් කාඩ් ඇඳීමෙන් නම් මා ලොකු සතුටක් ලැබු  බව  මතකය . මේ එවන් එක්තරා කලක අඳින ලද්දකි .




කුඩු ඇලවීම , රැලි කැපීම , රැලි ඇලවීම , වටේට කැටයම් කපා ඇලවීම , මල් සාදා එල්ලීම ..ආදී නෙක කළා කටයුතු වලට යෙදෙන ළමයෙක් මොනතරම් හැකියාවක් ලබන්නේද කියා අද නම් මට සිතේ .

මා උගත් බාලිකා පාසල් දෙකේදීම පිරිමි ලමු නැතයි කියා වෙසක් සැරසිලි වලින් අඩුවක් නම් නොවිය .

වෙසක් දා කුඩු පත්තු කර පන්සල් යන අපි එන ගමනේදී කෙටි පාරෙන් නෑවිත් දිග පාරවල් වට රවුම් පාරවල් වලින් ගෙදර එන්නේ වෙසක්ද බලාගෙනය .

ඔය ගමන් වලදී අපේ පස්සෙන් ආ බුලා ගැන මා කලින් කිවා මතක ඇති සිතමි . වැස්සොත් නම් වෙසක් එතරම් සරු නැත . හොඳින් පායා සඳ එළියේ නැහැවුන රාත්‍රියක් නම් ළමා අපගේ දෙව්ලොව එයයි . පුග්දලික සනීපාරක්ෂාව ගැන අධිඅක් උනන්දුවක් තිබු අපේ අක්කා හැර අපි නම් බිම දන්සල් වන්දනා කළෙමු .

වෙසක් දවසේ තොරණක් බැලීම මොඩම වැඩකි . විදුලි ආලෝකය අවුල්ය . එක පිළිවෙලක් වන්නේ දෙවෙනි තුන් වෙනි දවසේය . තොටළඟ , පෑලියගොඩ , දෙමටගොඩ , පිටකොටුව ආදී ප්‍රසිද්ධ තොරණක් හෝ දෙකතුනක් බැලීමට අප කුඩාම කල වැදගත් පුරුද්දක්ව තිබිණ .

වයසින් වැඩෙත්ම සෙනග අස්සේ තෙරපීම වදයක් ලෙස සැලකීම නිසා ඒ ගමන් නැවතුන අතර වෙසක් කුඩු වක් දෙකක් තැනීම නම් කිසිකලෙකත් නතර නොවිණි .

එදාට වඩා අද නරක යයි මම කිසිකලෙක වත් නොසිතමි . වෙල් බඩවැටි වල බඩගා බට කැපීම අද අපහසුය . පියවරුන් අනේක රාජකාරි මැද්දේ කාර්ය බහුල විය . පාර අයිනේ ඕනෑතරමට වෙසක් කුඩු තිබේ ..අලවා හෝ නොඅලවා .

බුදු දහමට අනුව වුව කිසිවක් සදාකාලික නැත .එදා කල දේ ඒ ලෙසම අදත් කරන්නට යාම කොතරම් ප්‍රායෝගිකද නොදනිමි . 

යසට බට වැවෙන ,පොල් ඉරටු වඳ නොවූ රටක ගාලු මුවදොර පිටියේ ඉහල  අහසේ පාවෙන චීන සරුංගල් නම් මගේ සිත අපමණ වේදනාවට පත් කල බව නම් කිව යුතුමය .

මා චීන බත් කූරු වලින් කුඩු සදුවාට චීන වෙසක් කුඩුවක් ලංකික ගෙමිදුලේ එල්ලෙන දිනක් උදා නොවේවායි මගේ එකම පැතුමයි ..


61 comments:

  1. ඔට්ටපාලු හෝ රබර් පටි වලින් කූඩු සෑදීම පහසු වැඩෙකි.
    කාමරංගා කූඩුව කියන්නේ අප කියන බිලිං කූඩුවටම යැයි සිතමි.
    පොල් පට්ටා සිලින්ඩරය වටේට විකරණයන් එක් කොට ඇලවූ හතරැස් කොල බීක්කු ඇලවූ විට කූඩුව සම්පූර්ණ වෙයි - ඒ හරහා ගලා එන විසරීත එළිය කොපමණ නිසංසලද?
    නෙළුම් විල දිනපතා ඉපිද මියයන නෙළුම් දෙස බලාම පරිණත වූ බවක් හැඟේ - සංස්කාරයන්ගේ වැහැරීම කොයි දේ අනුසාරයෙනුත් සිහියට නගා ගැනීම බොහෝ හොඳය.

    ReplyDelete
    Replies
    1. ඔට්ට පාලු වලින් බඳින එක අපේ අය්යලට මහා හපන්කමක් වුනා . මට නම් බැරිවෙච්ච වැඩක් ඕක . අපි බැන්දේ ට්වයින් නුල් වලින් . අම්මගේ රෙදි මහන නුල් පන්දුවටත් අපලයි ඔය කාලෙට සහ සරුංගල් කාලෙට .

      ඔව් ඔව් සමහරු කියන්නේ බිලින් කුඩු තමා . තට්ටු දෙකේ තුනේ එව්වා හැදුවත් මන් ආස තනි තට්ටුවේ ඒවාට . මැණිකක් වගේ පත්තුකලහම .
      මෙහෙ නෙළුම්විලවල නැට්ටක් වත් නැතුව අතුරුදහන් වෙනවා සරත් ශිත සමයේදී ..,වසන්තයේදී කොළ මතු වෙලා ග්රිශ්මයේ මල් පිපෙනවා .. හරියටම වෙසක් සතියේ තමා නෙලුම් මල් විකුණන්න පටන් ගත්තේ .. අපි මේගැන උදෙත් කතා වුනා . ඇත්තටම ලිපියේ මට ලියන්න දේ ගොඩක් තිබුනත් ළමයි ගන්න යන්න දුවන්න ඕනෑකම නිසා කෙටියෙන් ඉවර කළා

      Delete
  2. Chopsticks වලින් වෙසක් කූඩු හැදීමත් හොඳ අදහසක් තමයි ලංකාවෙන් පිට ඉන්න අයට නේද...

    "මා චීන බත් කූරු වලින් කුඩු සදුවාට චීන වෙසක් කුඩුවක් ලංකික ගෙමිදුලේ එල්ලෙන දිනක් උදා නොවේවායි මගේ එකම පැතුමයි .."
    මම නම් හිතන්නෙ දැනටත් චීන වෙසක් කූඩු, බකට් ඕන තරම් විකුනන්න තියෙනව වෙසක් කාලෙට... :)

    ReplyDelete
    Replies
    1. ඇත්තද ...කනගාටුයි නේද නිමේෂා ..අඩු ගානේ අපේ මිනිස්සු හදලා පාර අයිනේ තියා ඉන්න ඒවා වත් නම් කමක් නැහැ .

      Delete
    2. දැනටමත් චින බකට් හා කූඩු අපේ රටට ඇවිල්ලා නිමේෂා.

      Delete
  3. ඔය චිත්‍රේ බින්දී ඇඳපු එකක්ද ...?හරිම ලස්සනයි ඒක...මට නම් චිත්‍ර තියා ඉරි කෑල්ලක් වත් අඳින්න බැහැ..ඉස්කෝලේ යද්දී මගේ පොතේ සටහන් අඳින්නෙත් සර් තමයි බැන බැන..


    වෙසක් ගැන මතක් කරද්දී නම් ඉස්සර තාත්ත එක්ක වෙසක් බලන්න ගිය හැටි මතකයි..ලස්සන මතක වගේම අදටත් ජීවිතේට පාඩම් ඉගෙන ගත්ත අවස්ථා තිබ්බා.ඒ වගේ දෙයක් ගැන මම බ්ලොග් එකෙත් දැම්මා..

    ඉස්සර තාත්ත එක්ක හවස 7 විතර ගියාම ආයේ එන්නේ රෑ 2 ට විතර..අවුරුදෙන් අවුරුද්ද ගෙවිලා ගියේ පුදුම ඉක්මණට..හරිම පුදුම හැගීමක්...

    දැන් නම් එතරම් ඕව පස්සේ යන්න හිතෙන්නේ නැහැ...නමුත් අතීත මතකන් අස්සේ නම් හැමදාම ඇවිදිනවා ...ඒකට හේතුව හිතේ ඇඳුන වෙසක් ලස්සන නිසා වෙන්න ඇති ...


    මම සැමාගේ වෙසක් කළාපෙටත් කියලා තිබ්බ වගේ මට දැන් හිතෙන්නෙම අපි දැන් ලොකු ළමයි වෙලා කියලා...ඉස්සර තාත්තගේ උරහිස්සේ ඉඳන් වෙසක් බලන්න ගියා වගේ යන්න ආසයි අදත්..

    ඒත් අද මගේ උරහිසේ මගේ දුව ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. //දැන් නම් එතරම් ඕව පස්සේ යන්න හිතෙන්නේ නැහැ...//
      එහෙම හිතන එක දුවට කරන අසාධාරණයක්නේ...... :)

      Delete
    2. ටිකක් හරි දුවට වෙසක් පෙන්නන්න . අඩුගානේ කුඩුවක් වත් හදලා හරි අලවලා හරි දෙන්න . බෞද්ධ රටක උනත් අපට දැනෙනවා අඩුයි . නමුත් අපේ රටේ ළමයින්ට ටිකක් හරි අත්දැකීමක් ලබාදෙන්න පුළුවන්නේ .

      ඔව් සහන්.මන් ඉස්සර අඳින ලද එකක් . දැන් වැඩිමනක් ඔය වගේ වැඩ කෙරෙන්නේ නැහැ . අපේ දිහා ඉන්නවා චිතරකාරියෝ දෙන්නෙක් .

      සුදු කොලයක පාට පාට තීරු පාට කරන්න පැස්ටල් වලින්. උඩින් කළු පාට ගාන්න . ඉරටුවක් හරි ටුත් පික් එකක් හරි අරන් වෙසක් කුඩු හැඩේට සුරන්න . හරිම ලස්සන චිත්‍රයක් මැවෙයි

      Delete
    3. එකක් තමයි රන්දිල් එයාට වෙසක් ගැන ලොකු හැගීමක් එන තැනක නෙවේ අපි දැන් ඉන්නේ.අනිත් හේතුව එයා නිතර මා ළඟ දැන් රැඳෙන්නේ නැහැ.එයා නොහිටින්න මන් හිතන්නේ මට සදහටම වෙසක් , සිංහල අවුරුදු , උපන් දින උත්සව වගේ දේවල් අමතක වෙලාම යනවා.


      ඔයා මේ කමෙන්ට් එකට රිප්ලයි නොදාන්න මම හිටියේ මකලා දාන්න මගේ කමෙන්ට් එකම.නමුත් ඔයා ප්‍රශ්න කරේ වැදගත්ම තැන ගැන.මම ටිකක් වෙලා හිතුවා මේ ගැන.. ඇත්තටම අපි දරුවන්ගේ සතුට ගැන හිතලා කරන දේවල් අද වෙද්දී කොච්චර තියෙනවද..?

      එහෙම නොවෙන්න අපි මේ වයසට ඇවිල්ලත් අල්ලන් සෙල්ලන් කරයිද , මන්කි කුන්ෆු කරයිද , සරුංගල් යවයිද , රෑ 10 ට විතරත් අයිස් ක්‍රීම් කයිද පාරේ අයින් වල ඉඳන්.මම නම් දැන් ඒ දේවල් කරන්නේ පොඩි එක්කෙනා ගැන හිතලා මිසක් පුද්ගලිකව මගේ සතුටට නෙවේ.පොඩි එක්කෙනාගේ සතුට වෙනුවෙන් ඒ දේවල් ඉබේම වෙනවා.

      ඉස්සර මගේ තාත්තත් කියන්නේ " පුතා ආස නම් අපි යමු " කියලා.එහෙම නැතුව තාත්තට වෙසක් බැලීමේ ආසාව ඉෂ්ඨ කරගන්න මාවත් එක්කන් වෙසක් බලන්න ගියා නෙවේ... මට ඒක ඉස්සරත් දැනුණා..මගේ තාත්තා මන් වෙනුවෙන් හැම දේම කැප කරා...අද ඒ ටිකම මගේ අතිනුත් මගේ දුව වෙනුවෙන් වෙනවා...

      මම කතා කරේ ඒ මතකයන් එක්ක රන්දිල්..පොඩි කොල්ලෙක් වගේ තාත්තගේ අතේ එල්ලිලා වෙසක් බලන්න ගිය මම අද වෙද්දී මොන තරම් වෙනස් වෙලාද ...? ඉස්සර පැය ගණන් වෙසක් කූඩු බලපු මට අද වෙද්දී ඒවා නිකම්ම නිකම් බල්බ් ගොඩක් විතරයි..

      ඒත් දුව ළඟ ඉද්දි ආයේම මමත් පුංචි එකෙක් වගේ එයා එක්ක වෙසක් බලනවා..එයාගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා.

      ______________________________________________________

      ඔන්න ඔය වගේ යුග කීපයක මතකය එක්ක මාව තනි උනා රන්දිල්...

      Delete
    4. ජීවිත විවිධාකාරයි සහන්...කනගාටුවෙන්න එපා.. කළ හැකි දේ උපරිමයෙන් දියණිය වෙනුවෙන් කරන්න.

      Delete
    5. අපි ටිකක් පණ්ඩිත වෙලා වැඩිද කියලත් වෙලාවකට හිතෙනවා. අපිට දැන් ඔය වගේ දේවල් වලින් සතුටක් ලබන්න බැරි ඇයිද මන්දා. මගේ ගමේ ඉන්න පවුල් කීපයක් ඉන්නවා පරම්පරා කීපයක්ම එකතු වෙලා බොහොම සතුටින් මේ වගේ දේවල් වල යෙදෙන්නේ. ගොඩක් අසරණ අහිංසක මිනිස්සු ටිකක්. වෙලාවකට ඊරිසියත් හිතෙනවා ඒ පවුල් වල අම්මලා,තාත්තලා, ආච්චිලා, සීයලා, ළමයි නැන්දා , මාමා පවුල් වල නැයෝ ඔක්කොම අදත් වෙසක් බලන්න පයින් යනවා හැතැප්ම ගණන් බොහොම සතුටින් හිනා වේවි.පෙරහරක්, තොරණක්, පන්සලේ තියන පින්කමක්, ගම්මඩුවක් වරද්දන්නේ නැ.

      ඉස්සර ඉස්කෝලේ යන කාලේ ගෙවල් වලින් බැනුම් අහගෙන රැ මියුසිකල් ෂෝ බලලා පාන්දර එන්න බස් නැතිව කඩපිල්වල නිදාගෙන පහුවදා පාන්දරම තියන බස් එකේ ගෙදර එන්නේ එත් කවදාවත් එක එපා නැ. දැන් මියුසිකල් එකකට යනවට වැඩිය නිදා ගන්න එක සැපක් කියලා හිතෙන්නේ. කාගේ හරි බල කිරීමට ගියත් අප්පහු එන්න බයිසිකලයක් ත්‍රි වීල් එකක් වත් අරන් යන්නේ. මට වෙලාවකට හිතෙනවා මේ මමමද කියලත්.

      Delete
    6. නිශාන්ත ,,,
      ඔය ඉතින් උගත් පාඩම් නේ ..කොයිදේත් කාලයට සාපේක්ෂයි . වැඩිය නොහිතන මිනිස්සු සුළු දේවලින් සතුටු වෙනවා .

      Delete
  4. ඉස්සර පදිංචිව හිටි රටේ දී කූඩු හදන්න පාවිච්චි කලේ මිලදී ගන්න තියෙන ලීයෙන් හැදූ බාබිකිව් කූරු.

    අපි සවුදි අරාබියේ හිටි කාලයේ ඉඳි පට්ටා වලින් විවිධ හැඩ කූඩු හදලා අපේ කෑම්ප් වල වෙසක් සැරසිලි කලා. ඒ වගේන දන්සැල් ද පැවැත් වූවා.

    පාට කර චිත්‍රය දක්කාම වෙසක් කාඩ්, සුබ පතුම් පත් අපිම හදලා ගත් කාලය මතක් වුනා.

    අද ඊට වඩා ලේසි ක්‍රම/පහසුකම් තිබුණත් තමුන්ම සකසා ගන්න කාඩ් වලට දරුවන් යොමු කරන්න උත්සාහ කරනවා. ඒ ක්‍රමය නිර්මාණාත්මක හැකියාව වගේම ඉවසීම පුරුදු කරනවා කියන එකයි මගේ පුද්ගලික අදහස.

    "මා චීන බත් කූරු වලින් කුඩු සදුවාට චීන වෙසක් කුඩුවක් ලංකික ගෙමිදුලේ එල්ලෙන දිනක් උදා නොවේවායි මගේ එකම පැතුමයි ..."

    ඊයේ දරුවන්ගේ පාසැලේ සැරසිලි වලට පාට කොළ ගන්න ගියාම මටත් එහෙම හිතුනා. තියෙන කූඩු ඔප්ෂන්ස් දැක්කාම ඒත් අපි චීන කූඩුවේ හිරවෙලා ඉවරයි මං හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. අය්යා නම් අපුරු තාත්තෙක්නේ ...චීන කුඩුවේ සිරවූ අපි..දුකයි තමා

      Delete
    2. වෙසක් කූඩු හදන්න මං ඊයෙ ගෙදර අරන් ගියේ බාබකිව් කූරු... ලාබෙට තියෙනව නෙ... :)

      Delete
  5. වෙසක් කූඩු හැදිල්ල මට පුරුදු වුනේ අම්මගෙන්. සියුම් වැඩවලට මනාපයක් නැති තාත්ත කවදාවත් වෙසක් කූඩුවක් හදල නෑ. මේ වෙසක් එක මගේ පුතාගෙ පළවෙනි එක නිසා කූඩු පහක්ම හැදුව පොඩ්ඩට පෙන්නන්න. ඔපීසියෙත් කූඩු බර ගානක් හැදුව.

    චීන කූඩු චීන මූනු බකට් දැනට තියනව. ඒ උනත් අපේ මහන්සියෙන් හදන කූඩුව තමයි වටින්නෙ.
    චීන බත්කූරු නං කූඩු හදන්න අපූරුයි. ඒ වගේම රබර් බෑන්ඩ් වලින් කූඩුවක් හදන්න පුළුවන් හරිම ඉක්මනින්.

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳද රාජ් ..අහන්නත් ආසයි . මේ පරම්පරාව කියා නොදුන්නොත් ලමයි කොහොමද ඉගෙන ගන්නේ . ලංකාවේ උන්න නම් මාත් ගොඩාක් හදනවා . මෙහෙ ඉතින් හැදුවත් එල්ලන්න විදිහක් නැහැ .

      Delete
  6. අපිත් හැදුවනෙ වෙසක් කූඩු.. අට් පට්ටම්, තරු, ප්ලේන්, බකට්, නාවා පහන්, ෆ්‍රේම් වල අලවපු සත් සතිය...කැරකැවෙන බුදු රැස් වලල්ල..ගේ වටේ දවලු පහන්... වැඩ කෝටියයි..

    වටේ පිටේ ඔක්කොම හිටියෙ කතෝලික අය නිසා අපේ ගෙදර විතරයි වෙසක් තිබුනෙ.. වෙසක් දවසෙ හවසට හැමෝම එනවා අපේ ගෙදර වෙසක් බලන්නත්..

    කාලයත් එක්ක ඔක්කොම ටික ටික අඩු වෙලා ගියා.. හැබැයි එක හොඳ දෙයක් තියනවා දැන්.. ආගම් බේදයකින් තොරව වටේ පිටේ හැම ගෙදරකම වාගේ අඩුම ගානෙ එක අටපට්ටමක් හරි පත්තු වෙනවා.. ඒක හරි අපූරුයි..

    ReplyDelete
    Replies
    1. වෙසක් කියන්නේ ආගමික වගේම අපේ සංස්කෘතික අංගයක් නිසා එහෙම වෙන එක කොච්චර හොඳද .

      Delete
  7. ප්‍රථමයෙන්ම කාරුණුක ඉල්ලීමක් බින්දි. කරුණාකර ඩියුඩ්ගේ පෝස්ට් මෙන් ඔබ ඇඳි සිතුවමකින් පෝස්ටුව සරසන්න. ඒ හැකියාවන් යටපත් වන්නට දෙන්න එපා.

    වෙසක් කූඩූ ගැන නම් මම වෙනම පෝස්ටුවක් ලිව්වා වගේ මතකයි. කොළඹ නම් ප්ලාස්ටික් වෙසක් කූඩුවක් ගෙනත් කොළ අලවනවා. බට හොයන්න නැති නිසා. ගමේ නම් කූඩුවක් හදනවමයි. මට නම් තනි සුදු කූඩුවෙන් තමයි වෙසක් කියන් දේ දැනෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මගේ චිත්‍ර කලාව කොලය සහ පාට වලින් ඔබ්බට ගියේ නැහැනේ ප්‍රියන්ත .අපේ ළමයි නම් පරිඝනකයෙන් චිත්‍ර අඳිනවා . මම තෙල් සායම් නම් කීපයක් කළා මෙහෙදී .

      බලමුකෝ අනාගතේදී ..ස්තුතියි දිරි ගැන්වීමට

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  8. අටපට්ටමක් තරුවක් වගේ දෙයක් නං තාමත් හැදෙනවා.. ඒත් තාම අපි භාවිත කරන්නේ නාවා ගෙඩි දෙකට පලා පොල්තෙල් දමා පාර දිගට දෙපැත්තේ පත්තු කිරීමයි.. ඒ ආලෝකය හරිම ලස්සනයි.. ගමේ හැම ගෙදරකම තම ඉඩම් සිමාවේ මේ විදියට නාවා පහන් පත්තු කර තිබෙන විට ගමම එළියයි. ඉද හිට ගෙදරක දෙකක තැඹ්ලි කෝම්බ විලක්කු පත්තු කරනවා.

    ReplyDelete
    Replies
    1. ෂාහ් ..පොල්තෙල් පහන් ගැන ලියන්න අමතකත් වුනා ..කෙහෙල් කොටයක් හිටවලා ඉරටු ගහලා ඒ මත මැටි පහන් දල්වපු හැටි ..ඔය ගෙඩි ජාතියේ නම මාතල නැතුව හිටියේ ..අපේ පැතිවල වැඩිය පත්තු කලේ මැටි පහන් ..

      Delete
  9. වෙසක් දවසේ සැනසීමෙන් ඉන්න ඕන නිසා කමෙන්ට් මොඩරේට් කරමි ..

    ReplyDelete
  10. Chopsticks වලින් හරි කමක් නෑ කූඩුවක් හදලා අලවනවානම්.. ඒ සතුට වෙන කොහොමවත් ලබාගන්ට බෑ.. චීන කූඩු.!? ඈක්කා.... මං හිතන්නෙ නෑ පොඩි කාලෙ එක පාරක් හරි කූඩුවක් හදපු කෙනෙක් ඔය චීන කූඩු සල්ලි දීලා ගනියි කියලා..

    අර ඩීන් අයියා කියලා තියෙනවා වගේ, වෙසක් කූඩුවක් සරුංගලයක් හැදීම, තමන් විසින්ම ඇඳලා හදාගත්ත වෙසක් කාර්ඩ් එකක් යාළුවන්ට දීම වගේ දෙයින් ළමයෙක් තුළ බිහිවෙන්නෙ නිර්මාණාත්මක මනසක්, ඉවසිලිවන්ත මනසක්.. චීන කූඩුවක් අරන් දීලා හෝ චීන සරුංගලයක් අරන් දීලා හෝ ඒ නිර්මාණාත්මක මනස බිහි කරන්ට බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා මොනතරම් වැඩ ගොඩක් තියෙනවද . කාලෙකින් හැදුව නිසා මටත් හුඟක් වෙලා ගියා . අපේ පොඩි එක්කෙනාට එක පාරටම සේරම කරන්න ඕන .
      ඉස්කෝලේ කරන්නේ වැඩි හරියක් කොළ කපන කොටන වැඩ හින්දා අපරාදේ කියන්න ඕන නැහැ ටක් ගාල තේරුම් ගන්නවා .

      එයාට නොදී මොකක් හරි කලොත් මුණ ඇඹුල් කර ගන්නවා . රැලි කපන වැඩේ හෙම අල්ලලා ගියා . තව වැඩ ටිකක් තියෙනවා . ඕක මන් තනියම කලොත් උදේට යුද්ධ ප්‍රකාශ කරන නිසා තියෙන්න ඇරියා ...

      Delete
  11. අක්කගෙ මේ පෝස්ටුව මාව මගේ ළමා කාලයට රැගෙන ගියා...ඒ දවස් වල මම මට පුලුවන් විදියට වෙසක් කූඩුවක් දෙකක් හදනවා...හැබැයි මම හදන්න දන්නෙ තරු විතරයි...ඒවා අලවලා දුන්නෙ අම්මා...තරුවෙ මැද්දට වෙන්න සවිකරන පොල්පිත්ත දෙකට පලලා ගන්න කොටසක තමයි තරුව ආලෝකමත් කරපු ඉටිපන්දම සවිකලේ...සමහර දවස්වලට ඉටිපන්දම සවිකරපු තරුව හුළගට එහෙ මෙහෙ පැද්දෙද්දි සව්කොල වලට ගිණි ඇවිලුනා...තරුවෙ සැකිල්ල විතරක් ඉතිරි වුනා.. ආයෙමත් තරු හදන්නෙ නෑ කියලා මම කදුලු පෙරනකොට අම්මා ඔලුව අතගාලා ඊලග වතාවෙත් හදමු කියලා දිරිමත් කලා මට හොදට මතකයි....

    දැන් මම පළවෙනි වතාවට වෙසක් වලට ලංකාවෙන් පිටත අත්දැකීමක් ගන්න සුදානම් වෙලා..මා එක්ක ඉන්න ලංකාවෙ කොල්ලො ටික කාඩ්බෝඩ් පෙට්ටි ටිකක් හොයාගෙන ඒවා තීරු කපලා අටපට්ටම් හදනවා...ඒවාට ඕනෙ කරන ධම්ම චක්‍ර,බෝ කොළ සිරා ලැප්ටොප් එකෙන් මවනවා...නොරටක සිට හදන මේ වෙසක් කූඩු වෙසක් සද යට එහෙ මෙහෙ වැනෙනකොට ළමා කාලයේ වගේම ප්‍රීතියක් ආයෙත් දැනෙන බව නම් මට හොදටම විශ්වාසයි...

    සැමටම ප්‍රීතිමත් වෙසක් මංගල්ලයක්ම වේවා !

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ එහෙම වැරදි වෙලා ඉගෙන ගත්තු නිසානේ ලෝකේ පුරා විසිරුනත් තවම වැඩක් කරගන්න පුළුවන් සිරා . අපිටත් බලන්න පින්තුර දාන්නකෝ

      Delete
  12. ලියන්න දේවල් කප්පරක් මතකෙට එනවා... ඈතක හිටියත් වෙසක් සමරන්න... වෙසක් මතක අතර සැරිසරන්න ඉඩ වෙන් කර ගත්ත එක ගැන සතුටුයි...

    බින්දිටත් පවුලේ සැමටත්... මෙත් සිත් පහන් වන සුබ වෙසක් මංගල්‍යයක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා තරු.. හෙට තරහ නොගෙන ඉන්නයි කල්පනාව ..හවස එම්බසියේ පොඩි වැඩ සටහනකුත් තියෙනවා . වියට්නාම හාමුදුරු නමක් බණක් කියනවලු

      Delete
  13. මම මේ අරාබියෙ උන්නත් කොහොම හරි කූඩුවක් දෙකක් හදනව පොඩි උන්ට වෙසක් කියන එක දැනෙන්න. මේ පාර පොඩි අටපට්ටම් හතරක් හවසට ඔෆිස් ඉවරවෙලා ගිහින් ලොකු බාහු එක්ක ටික ටික හදල යන්තන් ඉවර කරගත්ත. අද ලයිට් එල්ලන වැඩ ටික කරගන්න ඕන.. ඒත් මෙහෙ කලබල නිසා ඉස්සර උන්න ගෙදරින් පිට වෙලා ෆ්ලැට් එකක පදිංචි උනායින් එල්ලන්න ඉඳි ගස් නෑ, වෙන්නෙ බැලක්නියෙ එල්ලන්න තමයි. හෙට මට කොහොමත් විශේෂ දවසක්. ඒක වෙසක් නිසා කූඩු නිසා දෙගුණ වේවි කියල හිතනව.

    බින්දිටත් පොඩි උන් දෙන්නටත්, තාත්තටත් බ්ලොග් ලොව සැමටත් සුභ වෙසක් මංගලයක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි ඉන්දික . ඕවා බොරු වැඩ කියලා හරි වෙලා නැහැ කියලා හරි මග අරින අයට ඔබ වැනි අය ආදර්ශයක් .

      අපිට නම් බැල්කනියක් වත් නැහැ ..ගේ ඇතුලේ තමයි එල්ලන්න වෙන්නේ ..

      Delete
  14. //..පොල් පට්ටා වලින් රවුම් සාදා හදන කාමරංගා කුඩු මගේ ප්‍රියතම වර්ගයකි....//

    අදමයි ඇහුවේ අක්කේ. ෆොටෝ කෑල්ලක්වත් නැද්ද මේ කූඩුවක ??

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ හසිත ..මන් හිතන්නේ ඕගොල්ලෝ වෙන නමක් කියනවද දන්නේ නැහැ . අර තිස්ස අය්යා කියා ඇත්තේ බිලින් කුඩු කියා .

      ඔයා ඇත්තටම දන්නේ නැත්නම් මන් ඔයාට අපේ අක්කගේ හරි මල්ලිගේ හරි අංකය දෙන්නම් . මුණ ගැහිලා ඉගෙන ගන්න . ඔය ළඟමයි ඉන්නේ

      පින්තුරයක් නම් නැහැ . සව කොළ නැහැ . නැත්නම් කාඩ්බෝඩ් වලින් රවුම් හදලා චෝස්ටික් වලින් සම්බන්ධ කරලා හදන්න තිබුණ . ක්‍රේප් වගේ කොළ ජාතියකින් මන් මේ අටපට්ටම ඇලෙව්වේත් .

      Delete
    2. ආහ් හරි හරි අක්කේ. අපේ පැත්තේ කියන්නේ ඕකට බිලිං කූඩුව කියලා තමා. දැන් දන්නවා :D

      Delete
    3. ඒකනේ ..මොකද අපේ අම්ම ඔය පළාතේ ..කාමරංගා කුඩු අම්මගේ පැත්තෙන් අපට ලැබුනේ වගේ මතක ..මොකද මට මතකයි අම්ම එක්ක තමා ඒ කුඩු හැදුවේ ...

      Delete
  15. අපි පහුගිය අවුරුදු දෙකේම කූඩු හැදුවා. බාබකිවු ස්ටික් වලින්. මේ පාර නම් වෙලාව මදි වෙයිද මන්දා..

    ReplyDelete
    Replies
    1. වෙලාව කියන්නේ සයුරි ..දැන් එකක් හදන්න මාර වෙලාවක් යනවා නේ . කමක් නැහැනේ වෙසක් පහුව් උනත් ඔන්නොහෙ හදන්න

      Delete
  16. මමත් පොඩි කාලේ තරු, අට පට්ටං, නෙළුම් වගේ කූඩු හැදුවා. පස්සේ කාලෙක මට ගොඩක් අල්ලලා ගියේ කාඩ්බෝඩ් වලින් කැටයම් කපලා කූඩු හදන එක. කාඩ්බෝඩ් රවුමක් ඇතුලේ පංචාශ්‍රයක් ඇඳලා ඒ දාර දිගේ නමලා, ඒ වගේ රවුම් 12 හදාගෙන ඉක්මනින් ලස්සන කූඩු හදන්න පුළුවන් (උණබට, කම්බි එහෙම හොයාගන්න අමාරුකොට )...

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි අපේ පැත්තේ සමහරු ඔය ජාතියේ ඒවා හැදුවා . විශේෂයෙන් පාසල් වල හදන්න ලේසියි නේ . තිසර කි එක හොඳා ඊ ළඟ පාර ඉස්කෝලේ මොනව හරි තිබුනොත් ළමයින්ට කියා දෙන්න පුළුවන්

      Delete
  17. බින්දි,

    අතීතාස්මරණය හොඳ දෙයක් බින්දි ඒත් අතීතකාමය නම් මම හිතන්නෙ සම්පූර්ණයෙන් නිරර්ථකයි. ඔය වෙසක් කූඩු හැදිල්ල අපේ දෙයක් නෙවෙයිනෙ. ඕක ඔය ඕල්කට් මහත්මයගෙ බෞද්ධ පුනරුදයත් එක්කල පටන් ගත්තු එකක්. බටහිර විශේෂයෙන් අමරිකාවෙ Halloween Lanterns දැල්වීම අනුසාරයෙන් ආපු එකක් කියලයි මම අහල තියෙන්නෙ.කොහෙන් ආවත් කමක් නැහැ හිතට ප්‍රීතියක් සැනසුමක් ලැබෙන දෙයක් කලාට නම් කමක් නෑ. ඒත් කාලය ගතවෙනකොට හැමදේම වෙනස් වෙනව.

    මිරිස් වවල ගහේම පැහෙනකල් ඉඳල ආයම පැදුරුවල දාල වංගෙඩියෙ කොටල මිරිස් කුඩු හදාගත්තෙ අපෙ අම්මල පොඩි කාලෙ.අපි පොඩි කාලෙ කඩෙන් වේලිච්ච මිරිස් ගෙනල්ල හෝදල වේලල මෝලට ගිහින් දීල කොටව ගත්ත. දැං කෙලින්ම මිරිස් කුඩුම කඩෙන් ගන්නව. ඒ එක්කම මිරිස් දාල උයාපු කෑම එකක්ම කඩෙන් ගත්තම තවත් ලේසියි. වෙසක් කූඩු වලට වෙන්නෙත් ඔහොම දෙයක් තමයි.

    මට පේන්නෙ ආමිස පූජාව ගැන වැඩි බරක් තියල කතාකරන නිසා සියළු දේ අනිත්‍යයයි කියන සදාතනික සත්‍යය අමතක වෙල වගෙයි....වෙසක් කූඩුද හැදිල්ලද අනිත්‍යවේ කියල හිතාගන්නකො..එතකොට හරි.හෙහ්...හෙහ්.

    ReplyDelete
    Replies
    1. //එදාට වඩා අද නරක යයි මම කිසිකලෙක වත් නොසිතමි . වෙල් බඩවැටි වල බඩගා බට කැපීම අද අපහසුය . පියවරුන් අනේක රාජකාරි මැද්දේ කාර්ය බහුල විය . පාර අයිනේ ඕනෑතරමට වෙසක් කුඩු තිබේ ..අලවා හෝ නොඅලවා .

      බුදු දහමට අනුව වුව කිසිවක් සදාකාලික නැත .එදා කල දේ ඒ ලෙසම අදත් කරන්නට යාම කොතරම් ප්‍රායෝගිකද නොදනිමි //

      මාත් කිවේ ඔයාම තමා රවී ..

      හැබැයි ඉතින් මිරිස් කියා ගඩොල් කුඩු කන එකනේ වරද

      Delete
    2. රවී මහතුන් දන් ලියන්න කලබොලේට කියවිල්ල අතෑරිලාද?

      "බුදු දහමට අනුව වුව කිසිවක් සදාකාලික නැත .
      එදා කල දේ ඒ ලෙසම අදත් කරන්නට යාම කොතරම් ප්‍රායෝගිකද නොදනිමි"

      මේ කොටස අතපසු වුනාද නැත්නම්?

      Delete
    3. ඔය ටිකම තමා රවී කියා නිවැරදි විය යුතුය

      Delete
    4. තිස්ස සහ බින්දි,

      හරි, හරි...බුදු දහමෙ අනිත්‍යභාවය ගැන බින්දි නෝනෙ එහෙම කියනව තමයි...හෙහ්, හෙහ්,

      මම කතා කරන්නෙ මෙන්න මේ කොටස ගැන ..:) :)

      / යසට බට වැවෙන ,පොල් ඉරටු වඳ නොවූ රටක ගාලු මුවදොර පිටියේ ඉහල  අහසේ පාවෙන චීන සරුංගල් නම් මගේ සිත අපමණ වේදනාවට පත් කල බව නම් කිව යුතුමය . /

      / මා චීන බත් කූරු වලින් කුඩු සදුවාට චීන වෙසක් කුඩුවක් ලංකික ගෙමිදුලේ එල්ලෙන දිනක් උදා නොවේවායි මගේ එකම පැතුමයි .. /

      මිනිස් සිත කියන්නෙ ඔහොම තමයි. තර්කානුකූලව කොච්චර යථාර්තවාදී වෙන්න හැදුවත් ආවේගශීලීත්වය සහ හැඟීම්බර ස්වභාවය සම්පූර්ණයෙන් නැතිකරගන්න අමාරුයි..අපි හැමෝම එහෙමයි..:) :)

      Delete
  18. මෙදා පාර අපිත් ඈත ඉමේ වෙසක් කූඩූ එල්ලනවා. කූඩු,සැරසිලි වලින් භාගයක් අපිම හැදපුවා.(පින්තූර පස්සේ දාන්නම්)අනිත්වා නම් කඩෙන් ගත්තේ කාලවේලාව ප්‍රශ්නේ නිසා. හැබැයි ඒවා ලංකාවේ හදපුවා. කූඩු ගේන්න කෙනා චීන කූඩු එකක්වත් ගෙනැල්ලා තිබුනේ නෑ වෙලාවට; ඒවා දැම්මොත් මේක චයිනීස් රෙස්ටුරන්ට් එකක් වගේ පෙනේවි කියලා හිතලා

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි හොඳ තොටියෝ..තොටියා වගේ කාර්ය බහුල අය කඩෙන් ගැනීම වරදක් ලෙස මා නම් දකින්නේ නැහැ . අනික කාට හරි ඒ කාලෙට කියක් හරි හොයා ගන්න ඉඩ ලැබෙනවා . මේවා හදන්නේ මහා ලොකු ව්‍යාපාරිකයෝ නෙමේනේ . දේශීය නිෂ්පාදනයට ඉඩක් ලැබීම තමයි වෙන්න ඕන අපට හැකි අංශ වලදී වත්

      Delete
  19. හරිම සුන්දර අත්දැකීමක් තමා දරුවන් එක්ක කූඩු හැදීම. දැන් නම් එයාල කම්මැලියි. කඩෙන් අරන් එල්ලනවා. මේ ලියන වෙලාවෙත් මුණුබුරු පැටියා එක්ක කූඩු එල්ලනවා. අන්තිම මොහොතේ වැඩ කොහෙත් එකයි. දන් සැල් වෙඩි සද්දෙකුත් ලඟම ඇහුනා. බින්දි වෙලාවක වෙසක් කාලෙක එන්න දරු පැටවුන්ට මේ අසිරිය පෙන්වන්න. මෙහේ චින කූඩු වැහි වැහැලා. ඒ උනාට අපේ බට පතුරු කූඩු තරම් ලස්සන නම් නෑ. පාට තද නිසා ඇල්මක් නෑ. පින් බර වෙසඟක් පතනවා සැමටම.

    ReplyDelete
    Replies
    1. පොඩි පුතා තාම පොදිනේ අක්කේ . ලොකු වුනහම ඔයාට බැරිය එයා එක්ක ඕවා කරන්න . ඔව් අපට හැමදාම ආසයි වෙසක් එකට අවුරුද්දට එන්න . පාසල් නිවාඩු ලැබෙන්නේ නැහැනේ අක්කේ මේ කාලෙට. අපේ පොඩි දෝනි නම් කිවේ දවසක් දෙකක් ඉස්කෝලේ නොගියට එයාට කමක් නැහැ කියලයි ..දවසින් දෙකින් එන්න පුළුවන් ගමනක් නෙමේනේ

      Delete
  20. අවසාන ප්‍රාර්ථනාව මමත් ප්‍රර්ථනා කරනවා.

    අවුරුද්දේ එක දවසක් වෙනුවෙන් හැබැයි දින වෙන් කරන්න බැරි කමක් නැහැ. ඒ දිනය ගෙදර හැමෝමත් එකතු වෙලා කුඩු හදන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි අසරණයා පවුලම එක්කහු වෙන්න තියෙන සංස්කෘතික අංග අපතේ හරිම අපරාධයක්

      Delete
  21. මාත් වෙසක් කූඩු 6ක් හැදුවා.. දෙකක් නෑනගේ පොඩි එකීට... දෙකක් අම්මලගේ ( නැන්දම්මලගේ) ගෙදට්ට... එකක් අපි ඉන්න ගෙදර ඇන්ටිට... එකක් අපි දෙන්නට... හි හි... උදේ ගිහින් සිල් අරන්.. හවස ඇවිත් කූඩුව එල්ලලා, බකට් ටිකටත් ඉටිපන්දම් ගමලා පත්තු කරලා මේ පැත්තේ ආවම බින්දිගේ පෝස්ට් එක දැක්කේ.. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවගෙන යද්දි මට හරි සතුටක් දැනුනා... මට තාමත් පුංචි කාලේ වෙසක් එකට දැනුන සතුට තාමත් ලබන්න වාසනවා තියෙනවනේ කියලා..

    ඒත් අද මගේ නංගි ෆේස්බුක්‌ එකේ මෙහෙම දෙයක් කියලා....

    //We used to make 10-20 lanterns within a day!! Remember U malli never helped us.. It was a good memory I always cherish because after almost 2 and half years now I have only made one lantern :( Miss good old days !!!! also Miss u sis!!!///

    ReplyDelete
    Replies
    1. හිරු හොඳයිනේ සිලුත් අරන් ...

      නංගිට අක්කව නැති පාළුව දැනෙනවා ඇති හොඳටම

      Delete
  22. බින්දිගෙ සටහන හරිම කාලෝචිතයි. අපේ කාලේ කැලෙන් බටපතුරු කපාගෙන වෙසක්කූඩු හදපු කාලයක්. ඒවගේමඅර බුදුරැස් කරකවන පුංචි මෝටරයක් රුපියල් 12.50 ක් දීලා බුදුරැස් වලල්ලක් රුපියල් 1.50කට අරන් වෙසක් කාලෙට බැටරි කෑල්ලකට හයිකරලා ලබපු විනෝදයත්, එලියපෙට්ටි කොල අලවලා තොරනක් හදලා ලබපු විනෝදයත් අද ගම්වලින් පවා බැහැරව ගිහින්.සියල්ල චීනෙන් ලාබෙට එනවා. එදා අපි අද යාන්ත්‍රික ජීවින් බවට පත්වෙලා. කාලය විසින් මැවූ වෙනසක අරුමය... එයයි.

    ReplyDelete
    Replies
    1. පුළුවන් අය වත් ඒවා නොකරන එක අපරාදේ තමයි . අපි ඒවා අත්හැරලා රට රොකට් යුගයට අරන් ගිහින් නම් එහෙමත් හිත හදා ගන්න පුළුවන් . නටපු නැටුමකුත් නැතුව බෙරේ පළුවත් අහිමි වෙන එක ගැන තමා දුක

      Delete
  23. මෙහෙත් අපි ආදා ඉදලම ලංකාවෙ කට්ටියම එකතුවෙලා වෙසක් එකට කූඩු හදල දන්සැලකුත් දෙනව.දන්සැලේ දෙන්නෙ කඩල රොටි වගේ ඒව. කූඩු ඔක්කොම බාබකිව් වලට පාවිච්චිකරන ලී කූරු වලින් හදපු අටපට්ටම්. මෙහේ ඉන්න කෙනෙක් ඔක්කෝටම ඔය පට්ටම හදල දුන්න අපිට තිබුනෙ කොල අලවන්න විතරයි. වෙසක් ඉවර උනාම කොල ඔක්කෝම ගලවල පට්ටම අරන් තියනව ආයෙ ඊලඟ අවුරුද්දට ගන්න. 2009 ඉදන් ඒකම තමා පාට පාටින් වෙනස් වෙවී එල්ලන්නෙ.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි රෝස කුමාරි .. අපේ එම්බසියේ ලස්සන කුඩු හදලා බණත් කියලා හොඳ පින්කමක් කළා . හරිම හොඳට තිබුණ . ඒ ගැන නම් ලියන්නම ඕන

      Delete
  24. බින්දි ඇඳලා තියෙන පින්තූරු වගේම ලස්සන ෆොටෝ වගයක් මේ පාර වෙසක් එකට තැපෑලෙන් ආවා.:)

    වෙකක් කූඩු කීවාම මතක් වෙන්නේ ලංකාවේ ඉන්න හොඳම යාලුවෙක් එක වෙසක් දවසක පොඩ්ඩිට කූඩුවක් හදලා ඒකේ 'පොඩ්ඩි' කියලා ලියලා එල්ලලා තිබුනු හැටි. සුදු , පුංචි කූඩුවක්. එදා හඳ පායලා. කූඩුවේ රැළි හුලඟට හෙලවෙනවා. ඒ යාලුවවත්, ඒ දර්ශනයවත් කවදාවත් අමතක වෙන්නේ නෑ.

    වැඩි සනීපයක් නැති හන්දා ඔන්න මේ පැත්තට එන්ට පරක්කු උනා.

    ReplyDelete
  25. මේ සැරේ නම් කූඩුවක් හඩන්න බැරි වුණා. ලබන පාර බලන්න ඕනෙ.

    ReplyDelete
  26. වෙසක් කූඩු කතා නම් අපමණයි..නෙළුම් විල බලන්න ආවහමම මේවා මතක් වෙන්නේ ඇයි..
    අප්පච්චිට චැලෙන්ජ් කරන්න පළවෙනි සැරේට වෙසක් කූඩු තනියම හදන්න සැරේ මල්ලිලා සමඟ තඩි අටපට්ටමක් හදලා දොරෙන් එළියට ගන්න බැරුව කරපු දහං ගැට මතක් වෙනකොට තාමත් හිනා..අන්තිමට අප්පච්චිම ඇවිල්ලා ගෙදර ඇතුලේ වෙසක් කූඩුව එල්ලා දුන්නා..!!

    එදායන් පස්සේ අපි වෙසක් කූඩු හැදුවේ පෝටිකෝව/සන්ෂෙඩ් එක යට ඉඳන්..

    ReplyDelete