Wednesday, 5 June 2013

ගෙම්බෝ


විල් තුන් දහසක් ඇති පලාතක ජිවත් වන මා නිවාස ආසන්නයේම තමයි ලොකුම වැව ඇත්තේ . මේවා වැඩිමනක් ස්වභාවික ඒවා . .කලෙකදී රතු ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ඒවා . රජවරු වැඩි දියුණු කල ඒවාත් නැත්තේ නැහැ . ඒවාට අමතරව වැව් සහ ජලාශ ලෙස තිබී කෙමෙන් ගොඩ වී හෝ ගොඩකර නාගරිකරණය වූ ස්ථාන වල කුඩා පොකුණු වැනි ජල කඩිති බහුලයි . පෙඳ පාසි වැවී කොළ පැහැති වූ එවැන්නක් අප නිවාස අසලත් තියෙනව . රාත්‍රියට කවුළු පියන් පත් හැරිය කල ගෙම්බන්ගේ ගේ හඬ තැලුම අපට එතරම් අරුමයක් නොවේ.

වෙසෙසින් වැසි කලට අතොරක් නැතුව ගෙම්බන්ගේ හඬ ඇසෙයි . වැසි කාලෙට පෙරම ගෙම්බන් දෙවියන්ට වැස්ස දෙන්නයි කියා හඬන්නට පටන් ගන්නා බව මෙරට වාසීන්ගේ මතය . කොහොමත් කඩපිල් වල ගෙඹි දෙවිවරු හට පුද පුජා කොට අල්තාරයක් තැබීමත් සුලබයි .
තෙත් කලාපයේ විසු අප කුඩා කල නිතරම ගෙතුළ ගෙම්බෙක් දෙන්නෙක් පදිංචියට පැමිණීම අරුමයක් වුනේ නැහැ . උන්ගෙන් ඒ හැටි කරදරයක් නැති මුත් උන් පසුපස සර්පයින් එයි කියා සැක කල බැවින් ගෙඹී අමුත්තන්ට එතරම් පිළිගැනීමක් ලැබුනේ නැහැ .

පොල්කටු දෙකකින් අල්ලා ගෙන ඈතකට ගෙන ගොස් දැමීම තමා අපේ රාජකාරිය . වැඩකට ඇත්ද ..පසුදා එම මුල්ලෙන්ම ''ක්රෝක් '' කියා අපට සවුත්තුව දමයි .

උසස්පෙළ හදාරන වයසේ ළමයෙක් සිටි ගෙදරක් නම් ගෙඹි හාමිලාට දෙවි පිහිටය . වාසනාවට හෝ අවාසනාවට මට උවමනා කාලයේ එක ගෙම්බෙක් වත් පාසලට ගෙන යාමට නොහැකි විය .
අපේ මිතුරියක් දිනක් ගෙඹි ඇටකටු ගන්නට සිතා ගෙම්බෙක් තම්බා නිවෙනකම් බලා ඉද්දි කපුටෙක් එය ඩැහැ ගෙන ගිය බව කිවේ ඉතාම දුකින් .
අනේ ඒ, විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් පරලොව සැපත් සුවහසක් ගෙඹි කැරපොතු පරපුරට මගේ කණගාටුව .

එයින් පසු මට සැලකිය යුතු ගෙම්බෙකු හමුවන්නේ මගේ ලොකු දියණිය ඉපදී මාස කීපයකට පසුව
ඌ නිකන්ම ගෙම්බෙකු නොවේ. ඇට ගෙම්බෙකි . බිත්ති කබඩ් උඩින් තිබු කොන්ක්‍රීට් ලෑල්ල අනවසරයෙන් අල්ලා ගත් මේ ඇට ගෙම්බා කාලයක් ගෙදර හොඳ නාටකයක් වුනා . [මේ ලෑල්ල වරින් වර එක එක සත්ව වර්ගයාගේ පදිංචියට සින්න වුවත් එතන තිබුනේ පොත් සහ පත්තර . ඒ කාමරේ හිමියා පොත් ගුල්ලෙක් වූ අතර කැන්දන් ආ මනාලිය එයිට දෙවෙනි වුනේ නැහැනේ .]

ගෙදර පිරිස ගෙම්බන්ට බය සහ බය නැති ලෙස දෙකට බෙදුනා . බය නැති අය කොසු ඉලපත් රැගෙන සටනට බට අතර අනික් පිල පුටු මේස උඩට නැග සටනට අවශ්‍ය උපදෙස් සැපයුවා . කොළඹ සිට යුද්ධය මෙහෙයවූ අය මෙන් .
ඇට ගෙම්බා වැටුනොත් ළමයා කෙට්ටු වේ යයි කියමින් ඌ පසුපස පැන්නුවේ රාණි . අපේ ගෙදර උදව්වට පැමිණි නානා ප්‍රකාර චරිත අතර රාණි විනෝදකාමී කෙනෙක්. ඒ අය ගැන වෙලාවක ලියන්න ඕන [ අතට පයට දැසි දස්සන් උවමනා නිසා නොවේ ඔවුන් ගෙන ආවේ . මා එකල රැකියාවක් කල නිසා පොඩි එකා බලා ගැනීමට . අනෙක් අතට ඔවුන්ට අප හොඳින් සැළකු බවත් වේලාසනින්ම කියන්න වෙනවා . ]

ඒ කතා පසුවට ..දැනට ගෙම්බන් .
කෙසේ හෝ ඌටම එපා වී ගෙම්බා දිනක අප අත්හැර ගිහින් තිබුණ

එයින් පසු මේ පොකුණේ බක බක ගාන [ මුන් බක බක ගාන්නේ නැති බවත් '' ක්රෝක් '' ගැන බවත් අපේ කෙල්ලන් මට කිවා ]. ගෙම්බන් හමුවන තුරු සැලකිය යුතු ගෙම්බෙක් හමු වුනේ නැහැ .
යාන්තමට අටවා ගත් බ්ලොග් එකට නෙළුම්විල කියා නම තැබීමත් අහම්බයක් . ඉඳහිට විලට ගෙම්බෙක් දෙන්නෙක් පැන්නාට එතරම් හානියක් වුනේ නැහැ .


මෙය මහා ලොකු විලක් නම් නොවේ . සයිබරය කියන අපමණ විල් ඇති නගරයක කුඩා පොකුණක් පමණයි . ඉඳහිට වැව අද්දර ඉතිහාසය ගැන සාහිත්‍ය ගැන වගේම ලෝකය ගැන රසවත් ඕපාදුප කතා වෙනවා තමයි. දැන් එච්චරකට සාර නැති වුනත් මේ ඉතින් අපේ සතුට . මගේ දියණියන් දෙදෙනාගේ ළදරු පින්තුර දෙස බලා සතුටු වෙනවා සේම ඉඳහිට අපේ රසවත් කතා බහ නැවත කියවා සතුටු වෙන්නේ .

එදවස නිදහසේ අනෙක් අඩවි වල අදහස් පල කලත් අද ඒ නිදහස නැතුවා වගේ දැනෙන නිසා ..කොටින්ම බ්ලොග් අවකාශයේ නිදහසේ පියාඹන්න බැරි ගතියක් දැනෙන නිසා ඇතැම් විට මා නිහඬව සිටියත් කාලෙකට පසු ලොකු සතුටක් ලැබූ මේ බ්ලොග් අඩවියට මා ඉතාම ආදරෙයි තවමත් .

ඇතැම් විට ගෙදර වැඩකටයතු දහසක් තියෙද්දී මේ ලියන්නේ ඒ ආසාව නිසා . පාරේ යන ගමන් ගල් ගසා විල බොර කරන්නට සමහරෙක්ට සිතෙන්නේ ඇයිදැයි මට නොතේරෙන නමුත් ඉතාම ආදරයෙන් ඉල්ලනවා අනෙක් සහෝදර බ්ලොග් කරුවන් ගැන මඩ විලට ගෙන එන්න එපා කියා .

එමෙන්ම මගේ නම අනෙක් අයට අපහාස කරන්නට යොදා ගන්න එපා කියා .

කමෙන්ට් මොඩරේට් නොකර තබන්න මට ඉඩ දෙන්න . එවිටයි කතාවන් රසවත් වන්නේ .

 පින්තුරය

116 comments:

  1. ගෙඹි කතාව ඇතුළෙ කතා ගොඩක්... හිතට දැනෙන... ලස්සනයි...

    මගේ ගෙදරත් ඉන්නවා ගෙම්බො දෙතුන් දෙනෙක්ම පදිංචි ‍වෙලා.. සති අන්තෙ මං ගෙදර ගියාම උන් මං දිහා බලන්නෙ එයාලගෙ ගෙදරට අමුත්තෙක් ආව ගාණට... මේ දවස්වල වැහි නිසා එකම ගෙඹි සංගීතයයි.. වත්ත පහළ.

    නෙළුම් විලේ නිදහසේ මල් පිපෙන්න දෙන්න කියලයි මට අර යන එන ගමන් ගල් ගහන අයගෙන් නම් ඉල්ලන්න තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. උන් බලනවා ඇති කවුද මේ අපේ ගෙදෙට්ට ආව අමුත්තා කියල

      Delete
  2. ගෙම්බොන්ගෙන් මම ආසම 'ගෙඹි කුමාරයාගේ' කතාව. දැන් කාලේ ඉන්න ගෙම්බොත් එහෙම උම්මා දීලා කුමාරයන් කරන්ට පුලුවන් නම් කොච්චර අගේද?

    'නෙලුම් විලට' ඉතින් ඉඳහිට ගෙම්බෙක් පැන්නට ගණන් ගන්ට එපා. අද මම දැක්කා බ්ලොග් ලෝකෙ රඳා පවතින කණු හතරෙන් එකක් 'නෙලුම් විල' කියලා. ඒ නිසා මොන තරම් ගෙම්බෝ පැන්නත් ඇවිත් අපිට රසවත් කතා කියලා යන්ට.

    හරියටම 'ගෙම්බා' කියලා ලියන්නේ මෙහෙමද? එතකොට 'ගෙඹි' කියලා මෙහෙම ලියන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි ඒ කතාවට . ඒ වගේම ඩිස්නි ලාගේ අලුත් කතාවත් ලස්සනයි ඔයා බැලුවද . ඒකෙ වගේ ගෙම්බියෙක් උනොත් තමා වැඩේ . ඒ හින්දා පරිස්සමින් ..

      අනේ මොන පිස්සුද අනේ ..කණු ...ඕවා දිරච්ච ලණු . ඔය ඉතින් මිනිස්සු කොටවන්න කරන ඒවා . මුරුංගා අතු වල නැගලා කොන්ද කඩා ගන්නේ මොකටද නෙහ් .

      මෙහෙම තමයි ගෙම්බා ලියන්නේ . විද්වත් මණ්ඩලේ මොකද කියන්නේ බලමු

      Delete
    2. @Podi Kumarihami
      ඔයාටත් හිතෙන දේවල් නෙග් ...
      මමත් ආසයි ගෙබි කුමාරයාගේ කථාවට නම්

      Delete
    3. @ප්‍රවීනා - නොදැන අහනවාද, අමතක වෙලා ද?

      අඹ බයන්න කියන්නේ ම්+බ+අ. ඉංගිලිසියෙන් ලියන්නෙත් එහෙමනේ!

      Delete
  3. ඉබ්බං ගෙං පිහාටු ඉල්ලන බින්දි

    ReplyDelete
    Replies
    1. ආ ඉබ්බෝ ගැනත් කතා ගොඩක් තියෙනව . චීන්නු පරදන්න ලේ තායි ටො රජතුමාට රත්තරන් කඩුවක් දුන්නේ ඉබ්බෙක් ..

      Delete
  4. ගෙම්බෙක් වුණත් නෙළුම් විලේ සමතුලිත බව රැක ගනීවි. කොහෙවත් යන අමුතු සත්තු ඇවිත් නෙළුමුත් කා, ගෙම්බො මාළු ආදීනුත් කා, වතුරත් බොර කර වනසනවනම්, අන්න ලොකු ගැටළුවක්. කමෙන්ට් මොඩරේට් කරලා තිබුණත් ආයෙ ආයෙම ඇවිත් බලනවනෙ සුපුරුදු දිය කාවො....

    ReplyDelete
    Replies
    1. පරිසරයේ තුලිත බව රැකිම ..ඒ වුනාට ගෙම්බෝ පස්සේ සර්පයෝ එන්න ඉඩ තියෙනවනේ .

      . නලිනිට මතකද .හුඟක් රුසියන් කතා වල හුරතල් ගෙඹි රූප ඇඳලා තියෙනවනේ .

      Delete
    2. මොඩරේට් හරි මොක හරි කරන්න කොමෙන්ට් කොටුවවත් තියෙද බලන්න කීප සැරයක්ම ගිහින් බැලුව...ම්හු...

      Delete
    3. නලිනිට විතරයැ අපිටත් මතකයි බින්දි..

      මෙන්න මතක එකක්

      මේ පොතේ තියෙනව එක කවියක්.. අපූරු චිත්‍ර පෙලකුත් එක්ක... ගෙඹි පැටිය රෝදයක් පෙරල පෙරල ගිහින් කොකාගෙ හොටේ රෝදෙ හිරකරල වතුරට පනිනව... ( [රහසින්] ....කියවල අවුරුදු තිහකටත් වැඩියි...)

      මේ නුවණැති ගෙඹි පැටියා
      කොකාගෙ හොට ළඟට ගියා
      වලල්ල හොට දෙබලෙ ඔබා
      පන ගලවා පැනපි නොබා..

      Delete
    4. පින්තුර කතා පොතනේ සපා ..මටත් කට පාඩම් ඔය කවි ටික

      Delete
    5. නලිනි මැඩම් නං කෙලින් ම බෙල්ල මුලින් කැපුවා වගේ - කමෙන්ට් කරන්න බැරිම කරලා දාලා.....! අපේ වියත් අදහස් වාරණය දැඩි සේ හෙලා දකිමු!

      Delete
    6. මන් නම් 100% ක් නලිනිව තේරෙනව . විශේෂයෙන් මේ වගේ පෝස්ට් එකකට එහෙම කිරීම සාධාරණයි . බුධි ඔයාගේ විද්වත් අදහස් ටික අපරාදේ නම් තමයි .

      Delete
  5. ඔතක එක් ගෙම්බෙක් අඩුයි.. සමරකෝන් ගෙම්බා

    ReplyDelete
    Replies
    1. ම්හු මන් එයාව දන්නේ නැහැනේ
      සමරපාල බල්ලව නම් දන්නවා

      Delete
    2. ඔන්න ඒ ගෙම්බා :D

      http://gaminievijith.blogspot.com/2013/03/37.html

      Delete
    3. http://gaminievijith.blogspot.com/2013/03/37.html බලන්න

      Delete
    4. මොනවා සමරකෝන් ගෙම්බව දන්නේ නෑ. තියන්ඩ වටින්නැනේ!

      මෙන්න ලින්ක් එක දැන්ම යන එකයි තියෙන්නේ.
      http://gaminievijith.blogspot.com/

      මෙන්න සමරකෝන් ගෙම්බා වුනු හැටි.
      http://gaminievijith.blogspot.com/2013/03/37.html

      -ගාමිණීගේ විජිතය-
      සිතිවිලි වලට නිසි වටිනාකමක් ලැබෙන්නේ ඒවා ලියා තැබූ විටය.

      Delete
    5. ගුලි ගෙ මල්ලිගෙ විත්තියෙ ඉන්න සමරපාල ද?

      Delete
    6. අම්මෝ සමරකෝන් මාර ජනප්‍රියයි වගේ ..කොටගම කියලා ගෙම්බෙකුත් ඉන්නවා නේ .

      Delete
    7. නැහැ කොටගම කියල ගෙම්බෙක් නෑ... හැක්..

      Delete
    8. දැක්කා නේද මොඩරේට් කොරාපුවාම තියෙන වාසිය... හෙක් හෙක්....

      Delete
    9. ඒක තමයි මට මතක තිබුණ ..කොටගම මහතා මගේ ගුරුතුමෙක්

      Delete
  6. //කමෙන්ට් මොඩරේට් නොකර තබන්න මට ඉඩ දෙන්න //

    ඒ උනාට මොඩරේට් කරල නෙව තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් ඇරලා තියන්නය . විටින් විට මොඩරේට් නොකර බලනව .

      Delete
  7. ගෙඹි කතා කියෙව්වාම මාත් මතක මාවතේ තනි වුනා. අපි ඉස්සර හදන පුංචි සෙල්ලංගෙයි ස්ථිර පදිංචි කාරයෙක් තමයි තඩි ගෙම්බෙක්.

    >>එදවස නිදහසේ අනෙක් අඩවි වල අදහස් පල කලත් අද ඒ නිදහස නැතුවා වගේ දැනෙන නිසා ..කොටින්ම බ්ලොග් අවකාශයේ නිදහසේ පියාඹන්න බැරි ගතියක් දැනෙන නිසා ...<<

    මටත් එහෙමයි බින්දි. අතපය බැඳලා, කටට ඉබ්බෙක් දාලා වගේ තේරෙනවා මෑතක් ඉඳන්. වචන ගැනලා පරිස්සමෙන්ට් කතා කරන්න වලා තියෙන එක වේදනාවක් මටත්. නිදහසේ කියවන්න ඕනෙ නිසයි බ්ලොග් කලාව ‍තෝරා ගත්තේ. නමුත් ඒකටත් රටේ නැති සම්බාධක.

    විහිලුවක් කරන්න බෑ.
    පොලිටිකලි කරෙක්ට්නස් එක නිතර බලන්න ඕනේ.
    කොටින්ම හිනාවෙන එකත් භයානකයි.
    ගොට්ට අල්ලනවා කියලා හිතෙයිද කියලා සැකයි
    කඩේ යනවද කියලා සැකයි
    මඩ ගහනවා කියලා හිතයි ද සැකයි
    මතවාදයක් නියෝජනය කරනවද කියලා හිතයි කියලා සැකයි
    මතවාදයකට පහර දෙනවා කියලා හිතයි කියලා සැකයි
    සාමාන්‍ය දෙයකට පවා නයි ලේබලය ඇලවෙයිද කියලා සැකයි

    ඒත් තවමත් මම බ්ලොග් වලින් ලැබූ දේ ගැන හිතලා සතු‍ටු වෙනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ඩුඩ් . හරියට නිකන් විප්ලවෙන් පස්සේ රුසියාව වගේ නේ .

      Delete
    2. බින්දි, රුසියාවෙ නම් අවුල ඇති වුනේ විප්ලවයෙන් පස්සෙ නෙවෙයි, දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ. බ්ලොග්වල වුනත් යම් නිශ්චිත අවස්ථාවකට පස්සෙ තමා මෙහෙම වුනේ...

      Delete
    3. දෙවෙනි ලෝක යුද්දේ වෙක කොට ස්ටාලින් රුසියාවට වැඩේ දිලා හමාරයි සුමිත්.

      ඔය බින්දි කියන කේස් ඇරඹෙන්නේ විප්ලවයෙන් පස්සේ එන සිවිල් යුද්ධයත් එක්ක. අර්බත් දරුවෝ කියන දීර්ඝ නවකතාවේ මේ සිදුවීම් විස්තර වෙනවා.

      Delete
    4. // රුසියාවෙ නම් අවුල ඇති වුනේ විප්ලවයෙන් පස්සෙ නෙවෙයි, දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ. //

      නැහැ නේ සුමිත්.. සමහර පොත් කියවද්දී අපට හොඳට තේරුම් යනවා විප්ලවයෙන් පස්සෙ, විශේෂයෙන්ම ඊට පස්සෙ ආපු සිවිල් යුද්ධෙත් එක්ක සාමාන්‍ය ජනතාව කොයිතරම් නම් පීඩනයකට අහුවෙලාද හිටියෙ කියලා.. එක පැත්තකින් රතු හමුදාව, අනිත් පැත්තෙන් ප්‍රතිවිප්ලවීය සුදු හමුදා, තවත් පැත්තකින් පාර්ටිසාන් හමුදා, ඔය අතරෙ හැමෝත් එක්කම සටන් කරපු ගැමි හමුදා (Peasant Armies).. ඔය ඔක්කොටම මිරිකිලයි සාමාන්‍ය ජනතාව ජීවත් වුනේ.. සමහර වෙලාවට මිනිස්සු උදේ නැගිටලා බලද්දී නගරයේ පාලනය එක පැත්තකින් තවත් පැත්තකට මාරු වෙලා.. මිනිස්සුන්ට හිතාගන්ට බෑ කාට විරුද්ධව-කාට පක්ෂව කතා කරන්ට ඕනද කියලා.. ඒ එක්කම දවසින් දවස වෙනස් වෙන නීති.. නීති කැඩුවොත් චෙකා එකෙන් අරන් යනවා, ඊට පස්සෙ බුවා අතුරුදහන්.. ඒක නියමම අවිචාර සමයක් නෙවෙයිද.??

      මං හිතන්නෙ මේ එළිදරවු කිරීම් නිසාම තමා Doctor Zhivago වගේ පොත් සෝවියට් දේශයේ තහනම් කලේ..

      Delete
  8. වෙන ඉතිං මොනවා කියන්නද හූ මිටි තියනවා ඇරෙන්න...

    ReplyDelete
  9. බ්ලොග් අවකාශය දැන් ඉස්සරට වඩා දූෂිත වෙලා කියලා මටත් නොයෙක් වර හිතෙනවා...මෙහෙම ගියොත් ඉදිරියේදී බොහෝ දෙනා බ්ලොග් ලිවිල්ලෙන් ඉවත් වේවි.

    ReplyDelete
    Replies
    1. දුෂිත වීම කොහොම උනත් බ්ලොග් කලාවේ උදාසීන,එකතැන පල්වෙන ගතියක් තියෙනවා.අනිත් අතට කල්ලිගැසී එකිනෙකාගේ පිටකසා ගැනීමත් දකින්න තියෙනවා.බින්දී ඇනොවරුන් ඉලක්ක කර කතා කලත් මේ හැමදේම බ්ලොග් වල පරිහානියට හේතු වෙලා තියෙනවා.

      Delete
    2. හුඟක් දෙනා කීවට ගණන් නොගෙන ඉන්න කියල හිත රිදීමක් වුනාට පස්සේ ආයේ ඒ මනුස්සය හිටපු තත්වෙට එන්නේ නැහැ .විදුරු භාජනයක් බිඳුන වගේ තමයි .මට නම් නෙමේ එහෙම සිත් රිදවීම් වෙලා දැන් වැඩිය සයිබරයේ නොගැවසෙන .කීප දෙනෙක් මන් දන්නවා .

      Delete
    3. ඇනොල ගැන පරශ්නයක් නෙමේ . ඇනෝ වහන්නේ නැත්තේ ඒ නිසා . නමුත් අනවශ්‍ය කමෙන්ට් දාන එක ගැනයි මන් මේ කියන්නේ . එක තැන පල්වීම නම් මන්දා . එයට විසඳුම වැඩි වැඩියෙන් ලිවිම මිසක් ලියන එකාටත් අකුල් හෙලීම නෙමේනේ . පිටවල් කහන්නේ මොකෝ බෝවෙන රෝගයක් හැදිලයි . තම තමන්ගේ සිත ගත්ත බ්ලොග් වලට වැඩියෙන් කමෙන්ට් කිරීම ඉතින් මනුස්ස ස්වභාවය .

      Delete
  10. මන්ඩුකයන් ගැන කතා කරත්න පටන්ගත්තත්, බින්දී ගෙ හිතේ කනස්සල්ලක් ඇති බවයි පෙනෙන්නේ. විවෘත සමාජයන් සමග ගැටෙද්දී මල් වගේම ගල් මඩ ව‍ගේ දේවල්වලිනුත් අපිට සංගුහ ලැබෙනවා. ඒවැනි උන්මත්තකයන්ට අනුකම්පාකර සියල්ල උපේක්ෂාවෙන් විඳ දරාගන්න පුරැදුවෙන්නයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කිසිම කනස්සල්ලක් නැහැ තරු ..එහෙම එකක් පෙනුනද ...මට මේ ගෙඹි කතා ඇතික කොහොමත් ලියන්න ඕන වෙලා තිබ්බේ . ඇත්ත ඇත්ත . ඒ වුනාට ඉතින් අපි මේ සල්ලි හොයන්න කරන ඒවා නෙමේ . පාර්ලිමේන්තු යන්නත් නෙමේ . හිතේ සතුට පිණිසම කරන දේවල් . ඉතින් නිස්කලන්කෙ ඉන්න තමයි මන් නම් ආස

      Delete
  11. ඔන්න මම ඉස්සරල ම ආවා....
    බක බක බක බක
    බක බක බක බක
    බක බක බක බක :-)))

    ReplyDelete
  12. මම ටිකක් දිග කමෙන්ට් එකක් ගගහා ඉද්දි එක පාරට කම්පියුටර් එක ඕෆ් වෙලා ගියා බින්දී..දැන් මට ඒ කමෙන්ට් එකේ තිබුණ දේවල් ඒ විදිහටම ලියන්න බැහැ..ඒක හිස් වා තලයට මුහු වෙලා ඉවරයි...

    කෙසේ හෝ එකක් කියන්න ඕනේ බින්දී..බ්ලොග් අවකාශය තුල ඉන්නවා ගෝත්‍රික මානසිකත්වෙන් ඉන්න පිරිසක්..කල්ලි හදාගෙන , අපි තමයි ලෝකෙට ලොක්කෝ , අපිට එහා කව්රුත් නැහැ , අපේ ගැන්සි වලට ලේසියෙන් ගන්නේ නැහැ, අපි එකම සෙට් එකක් , අපි හයි ක්ලාස් , අපි තමයි ඔක්කොම දන්නේ , අපි ලේසියෙන් කමෙන්ට් කරන්නේ නැහැ, කමෙන්ට් එකක් දැම්මත් දාන්නේ අපේ ගැන්සියේ ඒවට විතරයි වගේ අදහස් දරණ..

    හිත් වල කුහකත්වය පිරිලා කුණු වෙනවා..නිහතමානීව මනුස්සයෙක් එක්ක කතා බහ කරන්න බැරි මිනිස්සු එක්ක මොන සුහදත්වද බින්දී..මුල් කාලේ මමත් බැලුවා මේතරම් ඇයි මිනිස්සු කුහක කියලා..පස්සේ තමයි තේරුණේ..එදිනෙදා ජීවිතයේදී අපි සමාජයේ දකින්න මිනිස්සුමයි බ්ලොග් වලත් ඉන්නේ..නැතුව දිව්‍ය ලෝකෙන් ආව ශ්‍රේෂ්ඨ මිනිස්සු නෙවේනේ බින්දී..


    කෙසේ හෝ පංගු පේරු නැති මහත්මා ගති ඇති පිරිසක් ඉන්නවා අපි අතර ප්‍රොෆයිල් හිමියන් විදිහට හා ඇනෝ විදිහට...ඒ සියලු දෙනා වෙනුවෙන් ලියන්න බින්දී...අනිත් දේ තමයි කිසිම ප්‍රොෆයිල් හිමියෙක්ට නැති දැනුමක් හැකියාවක් තියෙන ඇනෝවරුන් ඉන්නවා...ඒ නිසා හිත රිද්දවා ගන්න එපා බින්දී..

    සද්භාවයෙන් තොරව , ද්වේශයෙන් යුතුව වෙන සිද්ධි ගැන හිතන්න එපා...දිගටම ලියන්න...



    මෙන්න මේක බලන්නකෝ
    =============================
    ගෙම්බාගේ නිවේදනය

    මලක් පිපුනා හැර වෙනස්වීමක් නැත
    එහෙත් මගෙ ලිපිනය
    “වල“ නෙවෙයි දැං “විල“

    -තුසිත ආනන්දශීල නමින් ‘ලංකාදීප‘ පුවත්පතේ පළවකර තිබූනු කවියකි-

    ReplyDelete
    Replies
    1. සුපිරි කවියක් ....මෙන්න නියම නිර්මාණශීලි බව ...

      ලියන එක නම් නවත්තන්නේ නැහැ සහන් . හිතක් හිතුනොත් ලියනවා . නැත්තන් නිකා ඉන්නවා . ඉඩ කඩ ඇති ලෙස

      Delete
    2. //මලක් පිපුනා හැර වෙනස්වීමක් නැත
      එහෙත් මගෙ ලිපිනය
      “වල“ නෙවෙයි දැං “විල“//

      මරු මචං..!

      Delete
    3. සහන් ගේ කතාව සහතික ඇත්ත.

      Delete
  13. අපේ ගෙදරටත් නිතරම ඇට ගෙම්බෙක් එනවා ඌව පලවා හැරීමේ වික්‍රමය පැවරිලා තියෙන්නේ මට ලගදීම දවසක ඌ මගෙන් මැරුම් කන්න නියමිතයි . ගෙම්බෝ ගැන හොද හොද සුරංගනා කතානම් බලලා තියෙනවා බින්දීගේ මේ ලිපියත් සුරංගනා කාතාවක් තරමටම රසවත් ,

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලා තිබිලා මේ කමෙන්ට් එක දැනුයි හම්බ වුනේ ..සමාවෙන්න ඕනේ චාමි

      Delete
  14. මං කැමතිම සෙල්ලමක් තමා ගෙම්බන්ට පයින් ගහන එක.. උඩින් වීසිවෙලා යන්ට පයින් ගැහැවුවම උන් වැටෙන්නෙ ආයෙමත් ගේ පැත්ත බලාගෙන.. ආයෙමත් පැන පැන ගේ පැත්තට එනකොට ආයෙමත් පයින් ගහන්ට ඕන.. :D

    ඩූඩියගෙ කමෙන්ට් එකයි, ඒකට ඔයා දුන්නු උත්තරෙයි දැක්කාම හිනාවෙන්ටද අඬන්ටද කියලා හිතාගන්ට බෑ.. ඒත් ඒක තමා අද දවසේ සිංහල බ්ලොග් අවකාශයේ සත්‍ය ස්වභාවය.. මක් කරන්ටද බින්දි, ඔහොම ඇදගෙන යමුහ්! හැමදාම හැමදේම නරක් වෙලා තියෙන්නෙ නෑ නෙවැ.. කවදාහරි රිදී ඉරක් පායයි..

    මං ඔයාට කමෙන්ට්ස් මොඩරේට් කරන්ට එපාය කිවුවේ ඒකෙන් රසවත් වාද-විවාද වලට ඇති ඉඩකඩ ඇහිරෙන නිසයි.. ඒත් ඉතින් හැමදේටම වඩා හිතේ සැනසිල්ල වටිනවා නේ.. මටත් පේන්නෙ මොඩරේෂන් දාන එක හොඳා වගේ..

    ----------------------------------------------------

    // අනේ ඒ, විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් පරලොව සැපත් සුවහසක් ගෙඹි කැරපොතු පරපුරට මගේ කණගාටුව //

    හෙහ් හෙහ්! අපි නම් මීයෙකුත් කැපුවා... :)

    ReplyDelete
    Replies
    1. බූරා, ඕන්න බලහන් උබේ කමෙන්ට් එක දකින්නත් කලින් මම කියලා තියනවා ගෙදරට එන අය ගෙම්බන්ට පයින් ගහයි කියලා.. බලපන්කො ඒකෙත් හැටි.. හෙහ් හෙහ්.. :D

      Delete
    2. අය්යෝ ඇත්තද ..අපි නම් ගෙම්බන් කැරපොත්තන් විතරයි, කැරපොත්තා නම් මෙලෝ දෙයක් පෙනුනේ නැහැ ඇත්තටම . රජතුමාගේ සේලේ වගේ තමයි . අපරාදේ සු මිස්ට නිකන් නමක් හැදුන විතරයි .

      අපි නම් කලේ පොල් කටු දෙකින් අල්ලලා වෙලට ගිහින් දාන එක .


      .රිදී ඉරක් පායන කම් ..හ්ම්

      Delete
  15. බින්දි,

    මෙහෙමයි, දැන් ඔයාම කියලා තියනවනෙ ගෙම්බො කියන ජාතිය කොච්චර ගිහින් අහකට දැම්මත් ආයෙත් ඇවිල්ලා මුල්ලෙ ඉඳන් බක බක ගානවා කියලා. ඉතින් දොරවල් වහලා ඕකුන්ගෙන් බේරෙන්න අමාරුයි. හොඳම වැඩේ ගනන් නොගෙන ඉන්න එක. එතකොට ඕකුන්ටම එපා වෙලා යන්න යනවා. අනික කොච්චර දොරවල් වැහුවත් ඔයාට උන්ගෙන් බේරෙන්න බෑනෙ..උන්ගෙ රැඟුම් / සද්ද ඔයට පේනවා එකම දේ ගෙදරට එන අනිත් අයට පේන්නැති එක විතරයි..

    ඒක හින්දා මම කියන්නෙ දොරවල් ඇරලා තියන්න.. එතකොට ඔය එන යන අනිත් අයෙගෙනුත් උන්ට පයින් පාරක් හරි හම්බෙයිනෙ උඩින් විසිවෙලා ගිහින් බිම වැටෙන්න. දෙතුන් පාරක් පයින් වදිනකොට ආයෙ එන එකක් නෑ..

    බැරිම උනොත් මරලා දාන්න..

    ReplyDelete
    Replies
    1. අම්මෝ දොරවල් ඇරලා තියන්න බැරියෝ...ඉස්සර අපේ පැත්තේ පාරේ බීපු මිනිස්සු කෑගහනකොට අම්ම කලේ දොරවල් වාහන එක .

      Delete
  16. ගෙම්බන් වගේම ප්‍රශ්නයක් නේද මේ වගේ ඩිස්කලේමර් දාන්න වීමත්?

    /* [ අතට පයට දැසි දස්සන් උවමනා නිසා නොවේ ඔවුන් ගෙන ආවේ . මා එකල රැකියාවක් කල නිසා පොඩි එකා බලා ගැනීමට . අනෙක් අතට ඔවුන්ට අප හොඳින් සැළකු බවත් වේලාසනින්ම කියන්න වෙනවා . ] */

    ReplyDelete
    Replies
    1. හෙන්රිගේ කමෙන්ට් එකේ ඒ ගැනත් තියෙනව . තව හිසරද හුඟක් තියෙනව එහිම

      Delete
  17. මානසික ලේඩ්ඩු කොතනත් ඉන්නවා. මේ ඇනෝ එන ඔක්කෝම බ්ලොග් ලියන අය. තමන්ගේ බ්ලොග් කියවන්නේ නැති තරහට හැම තැනම වනසනවා. අපෙත් මුල් කාලේ එහෙම තමයි සමහර පෝස්ට් වලට එක කොමෙන්ට් එකක් වත් තිබුනේ නෑ. ඒත් දිගටම ලිව්වා. ගෑල්ලමයිගේ ඒවා නවත්තන්න දඟලන්නෙ නම් මෙනියැක් පොරවල්. සමහර උන් නම් කෙලින්ම කියනවා ඔයා අපේ එකට එන්නේ නෑ කියලා. ඉතින් උන්ට බයේ බ්ලොග් වහලා හරියන්නේ නෑ. ඕන කෙහෙල්මලක් ලියන්න කියන්න කියලා දිගටම ලියන්නයි තියෙන්නේ. අනවශ්‍ය දේ මකලා දාන්න. ආයේ දැම්මොත් ආයේ මකන්න. ඔහොම කරන කොට උන්ටම එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. මන් නම් කැමතියි ඔය මල වැඩ වලින් අයින් වෙලා ඉන්න . බ්ලොග් එක නම් වහන්නේ නැහැ . මොකද ඉන්ටර්නෙට් බිල ගෙවන්නේ අපිනේ .

      මේකනේ සමහරුන්ගේ බ්ලොග් වලට යන්නේ නැති එක අනික් අයට ප්‍රශ්නයක් වෙලා සමහර විට ..
      D

      Delete
  18. වාක්‍යයයේ අන්තිම අකුර ටයිප් කරපු හැටියේ තිත තියන්න. අන්තිම අකුරට පස්සේ ස්පේස් එකක් තියලා තිත තියන එක වැරදියි. බලන්න තුන් වැනි ඡේදයට අන්තිම ඡේදයටයි වෙලා තියෙන දේ. උදෘත පාඨ (මේ කියන නම නං හරිද දන්නේ නෑ.) දාද්දි ඒකට කලින් වචනෙට පස්සේ ස්පේස් එකක් තියලා කොමා දෙක ටයිප් කරලා ඉඩක් නොතියා ඒක ඇතුලේ ලියන ටික ලියන්න. අන්තිම කොමා දෙකත් ස්පේස් නැතුව තියන්න. ඊට පස්සේ ස්පේස් එකක් තියලා අනිත් වචනේ ටයිප් කරන්න.

    අන්න එහෙමයි හැදිච්ච ගැල්ලමයි වැඩ කරන්නේ.....

    එකක් කියද්දි වෙන දෙයක් ගැන කතා කරන්න මැද්දට පැන්නම අපි නං කියන්නේ “ගෙම්බෙක් වගේ අනුන්ගේ කතා මැද්දට පනින්න එපා හලෝ“ කියලා.

    ගෙම්බෙක් නොවි ඉන්න ඕන නිසා මේ ටික කියන්නේ - දවසක් කකා කිව්වා වගේ සයිබර් අවකාශය දැන් ටිකෙන් ටික පුලුල් වේගෙන යනවා. කකා හිතන හැටියට මේක සමාජයේ ම එක්තරා පැතිකඩක්ලු. මට මතක එහෙමයි. එහෙම බැලුවොත් සයිබර් අවකාශයේ මුලින්ම තිබුනු සරළ සුන්දර වටපිටාව කල් යන්න යන්න සංකීර්ණ වෙන එක සාමාන්‍ය දෙයක් වෙනවා නේද?

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මටත් ලෙඩක් තියනවා.. වරහන් දානකොට අරින වරහනට පස්සෙ ස්පේස් එකක් තියන්න ඕනා, ඊට පස්සෙ වරහන වහන්න කලිනුත් ස්පේස් එකක් තියන්න ඕනා. ( නැත්නම් එදාට කෑවෙ නෑ වගේ. )

      Delete
    2. හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න . කිව්වා ටික ආයේ හිමිට කියෝලා බලන්න ..


      ස්තුතියි බුද්ධි

      Delete
    3. සෙන්නා, ඒකත් වැරදියි. (මේ විදිහටයි හරි)
      ( මෙහෙම දැම්මම ඉනට ලොකු කලිසමක් ඇන්දා වගේ... හෙන බුරුලට පේන්නේ :D )

      Delete
    4. @ බහුබුද්ධියා,

      // උදෘත පාඨ (මේ කියන නම නං හරිද දන්නේ නෑ.) දාද්දි ඒකට කලින් වචනෙට පස්සේ ස්පේස් එකක් තියලා කොමා දෙක ටයිප් කරලා ඉඩක් නොතියා ඒක ඇතුලේ ලියන ටික ලියන්න. //

      අනුන්ට කියන්නෙ, බොලාත් වැරැදියට ලිය ලියා. දැන් කියහං ඔය උඩ තියෙන වාක්‍යයෙ වරහන් ඇතුළෙ නැවතීමේ තිත තියෙන්නෙ මොකටද කියලා. නැවතීමේ තිත තියන්නෙ වාක්‍යයක් ඉවර වෙනකොටයි.

      උදෘත පාඨ වලට කලිනුයි පස්සෙයි කොමා (,) දෙක දෙක දාන්ට ඕනයැ කියලා මං දැනගත්තෙත් අදයි. ඒ කියන්නෙ මේ වගේ වෙන්ටැති නේද?

      ,,අපේ බහුබුද්ධියාට ජයවේවා!,, :P

      Delete
    5. බූරා,

      ,,අපේ බහුබුද්ධියාට ජයවේවා!,, :P// ඔහොම නෙමෙයි බං මම කොමා දාන්න කිව්වේ මේන්න මෙහෙම,

      “ගුරුන්ටත් අකුරු වරදී....!“

      (ඔය කමෙන්ට් එක ටයිප් කරන්න ගද්දිමයි මම ඔය ආප්තෝපදේශය මතක් කොරා ගත්තේ.... ඇද්ද උඔට!)

      Delete
    6. අපේ කමෙන්ට් හැකි ඉක්මනින් පබිලිස් කරනු! මේ වාරණයෙන් බූරලාට අයුතු ප්‍රයෝජන ගැනීමට ඉඩ නොදෙනු!

      Delete
    7. කමෙන්ට් පරක්කු වෙන්න හේතුව ඕගොල්ලන්ට කලින් මට රෑ වෙන එක ..කොටින්ම ඉර නැගෙනහිරින් පායන හින්දායි මේ අවුල . මන් නිදා ගන්න ගියහම තමයි ඔගොල්ලන් කමෙන්ට් කරන්නේ . ඉතින් මේකට පිලියමක් විදිහට මන් යෝජනා කරනවා ඉර බස්නාහිරින් පායන්න වැඩ කරන එක .

      Delete
    8. "ගුරුන්ටත් අකුරු වරදී....!"

      ඕකට අපි කියන්නෙ කනේ මයිල් කියල. අර පෑලියගොඩ නගරාධිපති කියල උනත් කියන්න පුළුවන්. කොහොම උනත් මයිල් රොටු දෙක දෙපැත්තට නැතුව එක පැත්තට වැටෙන්නෙ තාක්ෂනික දොසක්ද මංද!

      Delete
    9. චැහ්. මේ කමෙන්ට් මොඩරේට් කොල්ල හින්ද මෙලෝ රහක් නෑ. හරියට ස්කෙනර් නැති කාලෙ බබ්බු හැදුව වගේ තමයි.

      Delete
    10. තාක්ෂණික දෝශය හැම තැනම එන්නේ නෑ. සමහර නැත් වල මයිල් දෙකම සමානව වැටෙන්න හදලා තියෙන්නේ.......


      .................

      ඔය ස්කෙනර් කියන්නේ අපි ස්කෑනර් කියන භාණ්ඩෙටද අයියේ...! :D

      Delete
    11. බහුබුද්ධි,

      බලහංකො මම මයිල් ජෝඩුව අපූරුවට දාල ස්කෑන් ස්කේන් කොරල තීන ලස්සන.

      Delete
  19. මේක ගෙම්බො ගැන කතාවක් නෙමෙයිද?

    කොමෙන්ට් වලින් නම් හැඟෙන්නෙ එහෙමයි.........
    ඔන්න ඕක තමා වරද
    අනිත් අයට ඇඟිල්ල දික්කරනව
    තමුනුත් ඒකම කරන ගමන්....
    කෝ මෙතන කීයද තියෙන්නෙ කතාව හා කතාව තුලින් ගොඩනගාගන්න පුලුවන් අතුරු කතා හෝ විවේචන ප්‍රසංසා ගැන කොමෙන්ට්?
    එහෙම නැත්තන් බින්දිත් ගෙම්බෙක්ට වහන් වෙලා ඔය කියන අය කරපු දේම කරන්න බලාපොරොත්තු උනාද?

    ReplyDelete
    Replies
    1. හරි දැන් ඔයාට කෙලින්ම ඇඟිල්ලෙන් ඇනල කියන්න ඕනද . මගේ නම ගාවගෙන එක එක අදාළ නැති කමෙන්ට් දාල තිබුණ . ආයේ මේකට එනවා එපා කරපු කමෙන්ට් මිනිස්සුන්ට අපහාස කරලා ඊයේ ඉඳන් හය හතක් . එහෙම කරන අයට තමා එහෙම කරන්න එපා කියල කිවේ. පව් එක අතකට අහිංසක ගෙම්බෝ. මට දැන් පව් කියලා හිතෙනවා උන්ව ගාව ගත්තේ .

      මන් නම් මොනාටවත් මුවා වෙලා කාටවත් මුකුත් කියලා නැහැ නේ මෙතන .

      අනික මන් මට ඕන දේ කිවේ මෙතන ..තැන තැන කුටු කුටු ගාන එකට වඩා එහෙම හොඳයිනේ නිශ්

      Delete
  20. බින්දි ගෙම්බෝ හරහා ලොකු කතාවක් කියන්න ට්‍රයි කරලා වගේ.

    මගේ බ්ලොග් එකේ නම් අන්වශ්‍ය අය ඇවිත් පහරන අවස්තා බොහෝම විරලයි.

    බ්ලොග් එක ගැන කිව්වොත් නම් මගේ බ්ලොග් එකටත් මම කියන්නේ මෑත අවුරුදු පහ හයක කාලෙක මගේ ජීවිතේට වෙච්චි / ලැබිච්චි හොඳම දෙවෙනි එක කියලා.

    පලවෙනි එක නේ . . .ආ ඒ මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල්.

    පහරලා ගිය වෙලාවට චිප් බලා කියලා ඌව එලවලා ජරාව ටික කුනු ගොඩට දාන්න බින්දි ජරාව ගැන හිතලා හිත රිදෝ ගන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔබ වාසනාවන්තයි . ඇත්තටම මටම නෙමේ දුකා ..මන් මේ කතා කලේ මෙතෙන්ට එන අනික් මිනිස්සුන්ට අපහාස වන දේවල් ගැන .

      මට ඕන ඉස්සර වගේ කමෙන්ට් එක්ක අපි කල කතා බහ දිගටම පවත්වා ගන්න . ඉස්සර මන් නැතත් අනික් අය හුඟක් දේවල් කතා වුන බව දුකාට මතකනේ

      Delete
  21. කාලෙකින් බලන නිසාද මන්දා මට ගොඩක් ලිපි මිස් වෙලා, දැන් ආයෙත් කියවනවා.අපේ ක්වාටර්ස් වලටත් ගෙම්බන් අඩු නැතිව එනවා, සීතලට දැනෙද්දියි දන්නේ ඒ ගෙම්බෙක් කියලා, බොහෝ වෙලාවට කරන්නේ ලොකු බාජනයක් බිත්තියේ මුණින් නවලා ගෙම්බා ඒකට පනින කම් ඉඳලා එලියට දමන එක, ඉස්සර අපුලක් දැනුනත් වෙන කරන්න දෙයක් නැති නිසා , දැන් ඒක ප්‍රැක්ටිස් අනික ගෙම්බෝ ආවම ඒ පිටිපස්සෙන් සර්පයින් එනවා කියලා කියමනකුත් තිබ්බා. ඒ බය අපි කාගෙත් තිබුන නිසා ගෙම්බන් කාමර වලින් නෙරපන්නම සිදු වුනා.
    මට නම් මේ බ්ලොග් ලෝකේ සිදුවන දේවල් තරමක් පුදුමයි.. ඒත්, හිතාගන්න පුළුවන් කොයි තරම් නම් මිනිස්සුන්ගේ හිත් දූෂිතද කියලා. අනුන්ව රිද්දවලා සතුටක් ගන්න එකත් දැන් මෝස්තරයක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනික් කොණ ...ඇත්ත තමයි මිනිස්සු සතුටු වෙන්න පුදුමාකාර දේවල් නේ කරන්නේ . ජිවිතේ මේ තරමට බංකොලොත් කරගන්නේ ඇයිද මන්දා . කාටහරි රිදවල ලබන සතුට මොනතරම් තාවකාලිකද

      Delete
  22. අපේ මාමා සංගීත ගුරුවරයෙක්, එයාගේ පරණ සපත්තුවකට ඔය වගේ තඩි ගෙම්‍බෙක් අරක්ගෙන හිටියා.
    මාමා වයලින් එක ගහනකොට ගෙම්බා සපත්තුව ඇතුළෙ ඉඳලා ජෙග ජෙග ගානවා.මේක මාමට හරිම කරදරයක් ඉතිං ගෙම්බව කවරෙකට දාලා පුළුවන් තරම් ඈතට ගෙනිහින් දානවා. ඵලක් නෑ පහුවදාටත් කාරණා කටයුතු සිද්ධවෙන්නෙ ඒ විධියටම තමයි.
    මේ හෙයියම්මාරුව කරන්න බැරිම තැන මාමා හිතාගන්නවා, ගෙම්බා කරන්නෙ මාමගේ වයලින් වාදනට උගේ තබ්ලා වාදනයෙන් සහය වීමක් කියලා.
    හැබැයි මේ ගෙම්බා කවදාවත් උගේ වාසභවන වෙච්ච පරණ සපත්තුව වසුරු ලා කැත කළේ නෑ.

    ReplyDelete
    Replies
    1. හරිම හිනා සුමිත්ගේ කමෙන්ටුවට ...ඌ ගිය ආත්මේ සංගීතෙට ආදරෙන් මැරිච්ච කෙනෙක්ද කොහෙද ..

      හ්ම් සමහර වෙලාවට ඔයවගේ කරදර එක්ක ජිවත් වීමත් කලාවක්

      Delete
  23. මම මේකට මොනවා හරි කිවුවොත් නම් බින්දි අක්කේ ඔයාට මේකට පිළිතුරු වැටෙන කමෙන්ට් එකක් දෙකක් මකන්න වෙනවා.. ඒ හන්දා මම මුකුත් කියන්නේ නෑ බින්දි අක්කේ.. මේ ටිකේ අඩුවෙන් කමෙන්ට් කරන්න එක හේතුවක් තමයි අක්කා මේ කියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මල්ලි .දැන් අතපය බැඳ දාල වගේ නේ . හෙන්රි කියා තියෙනව සේරම ටික

      Delete
  24. මෙන්න මෙහෙම කවි දෙපදයක් මතකද? පරණ "පද්‍යාරසය" පොතකද කොහෙද තිබුණේ.

    "වෙද මාමා දිනක් ...... ගිහින්
    බෑගය අරින විට ගෙම්බෙකු පැනපි එයින්"

    ඒ දෙපද කවි පෙල නෝටි මල්ලී කෙනෙක් ගැනයි.


    ReplyDelete
    Replies
    1. මෙන්න මුලු කවි පන්තියම හොයා ගත්තා හසිත ගේ බ්ලොගයේ තිබිලා.
      http://aagiyakatha.blogspot.com/2010/09/blog-post_26.html

      කන්දේ ගෙදර කළු සීයගේ සුදු රැවුල
      නින්දේ සිටින විට කපලා හරි අවුල

      පින්කම් ගොහින් පොඩි අයියා නිදි මරලා
      හොඳටම නිදා ගත්තා උදයේ ඉදලා

      මල්ලී කොහේදෝ ඉද දුවලා ආවා
      ඇන්ඳා දැලි රැවුල මූණේ හැඩ තියලා

      ඔළුවේ දමාගෙන මුට්ටියක් කළු පාට
      කොළපත් මූණ බැඳගෙන යනවා රෑට

      මේ කොළපත් යකා දවසක් හැන්දෑවේ
      දැකලා උණ ගැනුණි නැන්දට කැස්බෑවේ

      අපගේ විමල් මල්ලී හරි දඟ මල්ල
      උදේ ඉදන් රෑ වෙනකම් දැඟලිල්ල

      ආවා දිනක් ලොකු මාමා හෙට්ටිපොළ
      බුලත්වලට කැව්වා ගම්මිරිස් කොළ

      කොළ මැදිරියේ වෙද මාමගේ බෑග් එක
      අත පත ගගා උන්නා මල්ලී දිනෙක

      වෙද මාමා ලෙඩාගේ ඇඳ ලඟට ගොහින්
      බෑගය ඇරිය කල ගෙම්බෙක් පැනපි එයින්

      එදා පටන් වෙද මාමා අපේ ගෙට
      ආවොත් අතේමයි බෑගය සෑමවිට

      Delete
    2. ස්තුතියි කතන්දර ..මන් කියවල තිබුනේ නැහැ . ලස්සනයි කවි පෙළ

      Delete
  25. ගෙඹි කුමාරයට අපි හැමෝම ආදරේ කලානෙ බින්දි. මේ තැන තැන පහරන ගෙම්බන් ගැන කියලා වැඩක් නෑ. මේ අයම මේ කරන දේ අරන් යාවි. දන්නෙ නෑ විපාකෙ කොයි වගේද කියලා. ඒ නිසා තැවෙන්නට කාරි නෑ. මෙහෙම අය යලි උපදින්නේම මේ වාගෙ ආත්මවල. කොහොම උනත් නිදහසේ දෙයක් කියවලා රසයක් විඳින මේ විල වියලන්න එපා. දහසකුත් වැඩ අතරේ හිතට සැනසීමක් ගේන්නෙ මේ විල් ටිකයි, ඒ ටික වියලෙන්න දෙන්න එපා කියලයි මාත් ඉල්ලන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ

      Delete
  26. බින්දි,

    ගෙම්බො කියන සත්තු ජාතිය ගැනම විතරක් කතා කලොත්..ගෙම්බො මැඩියො කියල ජාති දෙකක් ඉන්නව. බින්දි ඔය රූපෙ දාල තියෙන්නෙ ..ආන්න ඒ ඇවිල්ල මැඩියෙක්....ගෙම්බා කියන්නෙ ඔය ඒ දවස්වල කුස්සියෙ වතුර කලේ පිටිපස්සෙ එතකොට වංගෙඩිය යට එහෙම හිටපු දුඹුරු හෝ කළු සතා. මැඩියා බොහෝවිට කොළපාටයි..මැඩිය ඇවිල්ල Rana tempareria. ගෙම්බා වනාහී Bufo melanostictus

    අර කුමාරයෙක් වෙන්න ට්‍රයි කලේ... ඒකා ඇවිල්ල මැඩියෙක්.....

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ ගස් ගෙම්බෙක් වගේ නේ . ..ගෙම්බා වැඩිය ඉන්නේ ගොඩ .මැඩියා වැඩිය ඉන්නේ වතුරේ ..අපොයි අසරණ මැඩියා ..

      Delete
  27. ඉස්කෝලේ යන කාලේ දවසක් ඉස්කෝලෙට ගිහින් පොත් බෑග් එක අරිද්දි හිට්යේ නැද්ද ගෙම්බෙක්. එදා මුළු පන්තියම එකතු වෙලා ගෙම්බව අයින් කරන්න ගෙඹි මෙහෙයුමක් දැම්මා.

    ReplyDelete
    Replies
    1. හෝම් වර්ක් නොකරපු සයුරි..!

      Delete
  28. මං හිතන්නෙ,..ජීව විද්‍යාව කරන අය විතරයි ගෙම්බො කපන්නෙ.

    පන්තියෙන්ම ලොකුම ගෙම්බා අරගෙන ගිහින් තිබුනෙ මම...අපෝ මට තාම මතකයි..ෆෝමලින්ද කොහෙද දාල උන් සිහි නැතිකරලපනපිටින් කප්ද්දි බඩේ හිටපු මැස්සො ගොඩ,... !

    ReplyDelete
    Replies
    1. එපා කරපුම වැඩක් නේ ..සුලොජි මිස් පව් නේ අපි නම් අවුරුදු දෙකයි. එයාට පෙන්ෂන් යනකම් ඔය වැඩේට හවුල් වෙන්න වෙනවනේ .

      Delete
  29. බුද්ධි මලයා එවාපු ලිංක් එකක් දිගේ මේ පැත්තට ආවේ. ගෙඹි කතාව අපූරුයි. මගේ නිල නිවාසෙත් ගෙම්බන්ගෙන් අඩුවක් නෑ. උන්ගෙ මූණ දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. උන් අහිංසක ගෙම්බෝ වෙන්න ඇති. අපේ ළමයින්ගේ ඉස්කෝලේ තණකොළ ගොල්ලේ චුටි ගෙඹි පැටව් ඉන්නවා වසන්ත කාලෙට . කොල්ලොන්ගෙන් උන්ට කරදරයි. ගෑනු ළමයි නම් අනේ හරි හුරතල් කියල උන්ව ඉඹින්නේ නැති ටික විතරයි

      Delete
  30. ගෙම්බෝ එකෙක් දෙකෙක් බොරුවට කෑ ගැහුවට නිසල විල්දිය කැලඹෙන්න හොඳ නෑ ඔන්න..

    ඔය ගෙම්බෝ දෙක දෙක කියලා කෑ ගහන්නේ ආත්තම්මගෙන් ආප්ප දෙක දෙක ඉල්ලලා කියලයි පොඩි කාලේ කියවපු පොතක තිබුනේ..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත රූ ..මාත් අහල තියෙනව ඔය කතාව

      Delete
  31. විලට ගෙම්බෝ පැන්නට එච්ච්ර ගනංගන්න එපා අක්කේ. පනින එවුන් බක බක ගාල ඔන්න ඔහේ යන්නෙ නැතෑ. හැබැයි අර කිව්වා වගේ ගෙම්බෝ පස්සෙ සර්පයෝ ආවොත් තමා කේස් එක.
    වෙලාවට සත්තු කපන එක අපේකාලේ සිලබස් එකෙන් අයින් කරලා තිබුනේ.ඒ හින්දා තව වෙනකම් එක සතෙක්වත් කපන්නට සිදුවෙලානෑ(මිනිස්සු හැරුණු කොට)

    ReplyDelete
    Replies
    1. ඇත්තට ..අයින් කරලද ..කොච්චර හොඳද ..මන් දැනගෙන හිටියේ නැහැ . අපේ පොඩි පරම්පරාව තවම උසස් පෙලට ගිහින් නැති නිසා ඒ ගැන දැනුම අඩුයි මට .

      Delete
  32. මටත් බොහෝ දේවල් මිස් වෙලා වගේ කියවගෙන යද්දි වැටහුනේ.
    බිසිවීම අස්සේ රීඩරේ කියවනවා මිසක් කොමන්ට්ස් කියවන්න වෙන්නේ නෑ. අනික ඉස්සර වගේ බාත් රූම් එකේ බ්ලොග් ලියවන්න පැය ගනන් නෑ. උදේටත් විනාඩි පහලොවෙන් ව්ස්සෙන් ලෑස්ති වෙලා දුවන්න වෙන හින්දා.
    අපි අපි වීම හැර වෙන විකල්පයක් නෑ බින්දි. මට නම් කවදත් බ්ලොග් එක මගේ ජීවිතය වුනෙ නෑ. ඒත් මගේ හැමදෙයක්ම වගෙ කාටවත් ඕනේ විදියට ඒක හැන්ඩ්ල් කරන්න මම ඉඩ දෙන්නෙත් නෑ. අපි ලියන්න ඕනේ අපිට හිතෙන ඕනේ දේවල් මිසක් කාත් කවුරුත් කියන දේවල් නෙමෙයිනේ. කාගෙවත් ගොඩවල් වලට නොවැටී තවම අපි හිතන කියන දේවල් කරන්න බ්ලොග් එකක් තුල පුළුවන් කියලයි මට හිතෙන්නේ. අරයාගේ මෙයාගේ වචන බලාපොරොත්තු නොවී ලියනකොට ඕවා ඔය තරම් ප්‍රශ්න වෙන්නේ නෑ. මම දන්නේ නෑ මම හිතන හැටිද කියලා ඒත් ඒ මම.
    ගෙම්බෝ ගැන කීවොත් මම ගෙම්බන්ට පුදුම බයයි. ගෙම්බෙක් හිටියොත් ඒ පාරෙන්වත් යන්නේ නෑ. අපේ ගමේ ගෙදර ගෙම්බෝ එනවා ඉස්සර. අපි යාළුවෝ පිටින් ගෙදර ගිහින් බිම නිදාගෙන හිටියා එක දවසක්. ගෙම්බා කොහොම හරි ඇවිත් මගේ කකුල් දෙකට හේත්තු වෙලාම නින්ද ගිහින්. කොහොම හරි මම නැගිටින්න කලින් ඒමි හෝ අපේ අයියා ඕක දැකලා ගෙම්බා අයින් කරලා. මම නැගිට්ටොත් ලෝක විනාශේ වෙන හින්දා. ඒත් එයාලා පස්සේ මට ඒක කීවා. එදා ඉඳන් අද වෙනකම් මම කොහේ ගියත් ඇඳන් යට හෙම හොඳටම චෙක් කරලා නිදාගන්නේ. ඊට පස්සේ බිම නිදාගන්නෙත් නෑ දෙවියන් වහන්සේට මගේ ඇඳ දෙන්න වුනත් ලංකාවෙදි නම්.
    එදා ඉඳන් ලංකාවේ හැමෝටම මම කියන්නෙත් ගෙම්බා කියලා. ඒක ආදරේ වැඩිකමට කියන නමක් වුනත් සමහර අය ගෙම්බා කියනවට කැමති නෑ නේ අනේ.... ( මේකෙ අස්සේ ලංකාවේ ගෙම්බන්ට මම බයයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? )

    ReplyDelete
    Replies
    1. ලස්සන කතාව රංගි ..අය්යෝ අර ගෙම්බා ඔයාගෙන් කිස් එකක් අරන් කුමාරයෙක් වෙන්න ආව එකෙක්ද දන්නේ නැහැ ..පව්!!

      මට ඔහොම වැඩක් වුනා . අපි ගිය ගමනකදී ..සම්ප්‍රදායික ක්‍රමේට හදපු ගෙවල් තියෙන රිසොර්ට් එකක් . මහා රාත්‍රියේ කන ගාව ලොකු කරාබුවක් අහු වුනා . මගේ කරාබු එච්චර ලොකු නැති නිසා අතට අරන් ලයිට් හෙම දාල බැලින්නන් තඩි හැකරල්ලෙක් රවුමට කැරකිලා .

      Delete
  33. ගෙම්බෝ ඇතුලේ තවත් ගෙම්බෝ කතන්දර ගොඩයි.
    බොහොම සුන්දර අත්දැකිමක් රජරට දිවිගෙවූ මගේ මුල් අවදිය නම්. මොකද වැස්ස කාලෙට එකම කාහලයක් හැන්දෑට. ඒ ගැන හිතනකොට නම් අපූරු නාද සංකලනයක්. ඉදි හිට දැනුත් නාගරිකරනයේ වැහි දිනයවලට නාගරීකරණයට ලක් වූ ගෙම්බන්ගේ නාදය ඇහෙනවා. ඒත් සමහර වෙලාවට අරවගේ මිහිරි නෑ.

    මේ බ්ලොග් අවකාශය තුළත් සමහර වෙලාවට විවිධ අමිහිරි දේ සිදුවෙනවා. හැම අදහසක්ම එක සමාන නැහැ. ඉතින් ඒ හැම දෙයක්ම අමිහිරි වුණත් හැම අමිහිරි අත්දැකිමක්ම මිහිරක් ලෙසට පත්කර ගැනිමයි හොඳම නුවණැති කම.

    ReplyDelete
    Replies
    1. දයාට ඉතින් ගෙම්බන් කෑගහන එකත් සංගීතයක් වගේ ඇති.. සංගීතයට ඇරුණු හිතක් නිසා

      Delete
  34. ගෙම්බෝ නම් මහ කචල් පොරවල් තමා....කොච්චර එලියට දැම්මත් වැඩක් නෑ...වැටෙන්නෙම දාපු පැත්ත බලාගෙන...සද්ද නැතිව ඉන්නකම් හොඳා.....කට ඇරියොත් ඉවරයි ....

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ..කට නිසා තමයි සර්පයින්ට අහු වෙනවා ඇත්තෙත් .

      Delete
  35. මම කමෙන්ට් කරන එක , සෑගෙන්න අඩු කරල උනත් මේකට නං , පමා වෙලා හරි කමෙන්ට් නොකර බෑ.

    ඉස්සෙල්ලාම බින්දිට ස්තූතියි, මේ කාලෝචිත මාතෘකාව, මෙච්චර නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීම ගැන. බින්දි හරි තැනටම ඇණ පාර දීලා තියනවා:). ඒත් ඔලුවට මිටියෙන් ගැහැව්වත්, නොඇහැරෙන මිනිසුන් සිටින බව, ඔබට ඇනෝ -මොඩරේට් කරන්න සිදුවීමෙන් පැහැදිලි වෙනවා.

    ඩූඩ්ගෙ කමෙන්ට් එකයි, බින්දිගෙ උත්තරෙයි, කකාගෙ, බුරාගෙ, සුමිත්ගෙ සංවාදය කියෙව්වාම , මට ටිකක් මඤ්ඤං යෝජනාවක් කරන්න හිතුනා. හැබෑටම , විප්ලවයෙන් පස්සෙ රුසියාවෙ මොකද වුනේ? යකඩ තිරෙන් එහා තිබුනෙ ඇත්තටම සම-සමාජයක්ද? සමාජවාදී කඳවුරේ නැගීම සහ බිඳ වැටීම, මේ ගැන මෙහෙම සංවාදයක් කලොත් නරකද?

    මට තේරෙනවා, මේක දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක් බව. ඒත් ඔබ මේ මාතෘකාව පාලනය කල අයුරු දු‍ටුවාම, ඔබට එය කල හැකි යැයි සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන ටෝමියෝ පිළිතුරු පමාවට ..එකක් මේ පැත්තේ එන්න බැරි වුනා ...අනික මේකට මොකක්ද කියන්නේ කියලා හිතාගන්න බැරි වුනා . ඔය ගැන මගේ දැනුම නම් එච්චර හොඳ මදි .. මේ කොයිවත් අපි කියෝපු දේවල් මිසක් ඇත්ත ඇහින් දැකලා නෙමේනේ . අර කියන්නා වාගේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වෙන්නත් පුළුවන් දැන් ඔව්ව කතාකරන එක . ටොමි කියන නිසා බලමුකෝ අනාගතේ දවසක ..

      මෙහෙ වැව වටේ ටොමි ලාගේ කට්ටිය ඇවිදින්න අරන් යනවා උදේ හවස . ඔන්න මට මතක් වුනේ දැන් . අපේ කොලොම්බියන් යාලුවෙක්ට හිටියා සුකුමාර බලු සුරතලියක් . සුදු පාටයි ..වර්ගේ නම් මොකක්ද මන්දා .අපේ කෙල්ලෝ තමා ඔය බලු වංශ අඳුරන්නේ දවසක් ඔය වැව රවුමේ එක්කන් යද්දී තව ගැහැණු කෙනෙක් එක්කන් ආව තඩි දඩෝරියෙක් මෙයාව කාලා .. බය වුන පාර වැවට පැනලා ..කවුද කෙනෙක් බේරාගෙන තියෙන්නේ ..නෝනටයි බලු පැටියටයි දෙන්නටම තුවාල ...අම්මපා මිනිස්සු වගේමයිනේ

      Delete
  36. මට කියන්න ඕන උන් දේවල් ටික ඔක්කොම සහන් සහ හෙන්රි කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත අයිලාස් .සමාවෙන්න පිළිතුරු පමා වුනාට

      Delete
  37. ජීවිතයේ දකින හමුවන කළු-අළු-සුදු දේවල් බොහෝමයි. ඒ අතරින් බොහෝමයක් දේවල් අපිට පාලනය කරත හැකි දේවල් නොවේ, තවත් විටෙක එහෙම පාලනයක් කරන්න තරම් දේවල් ද නොවේ. ගෙම්බෝ සද්දේ දාන්නේ එක්තරා කාලයකට විතරයි. දොර පියන්පත් වහලා කන්දෝස්කිරියාව අවම කරගන්න තෙත් කලාපීය සතුන්ට පුරුදු පුහුණු වෙනවා නේද?

    නිසසල විල තලයේ රුසිරු රටා මැවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩීන් අය්යේ ..

      Delete
  38. කෝ බින්දි මගේ කවි ටික ???

    ReplyDelete
    Replies
    1. මොන කවිද අනේ ...කකාට ලිව ඒවාද . ඒවා එයාගේ බ්ලොග් එකේ දාන්නකෝ .. අනික් අතට ඔයාට හොඳට ලියන්නත් පුළුවන් එකේ ඔය අනුන්ගේ ඒවා ගැන නෙමේ මොනව හරි හොඳ දෙයක් ගැන බ්ලොග් එකක් පටන් ගන්න . අපි අනිවාර්යයෙන් කියවන්න එනවා .

      Delete
  39. පාරමී දම් පුරා සපැමිණ
    එකට හමුවී යන්න යන සඳ…
    කියාගන්නට බැරිව ලතැවෙන
    හැඟුම් මිහිදන් නොවේ කිසිදින…

    ලේ නහර ඇට මිදුලු විනිවිද
    රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය
    දුර‍ට වි ඇසිපිය නොලා
    බලා ඉන්නට අවසරයි
    සංසාරයේ පතා ආවෙත් එලෙසමයි…

    ස්වයංජාතව හිතේ මතුවන
    පහන් සිතුවිල්ලක් ද ප්‍රේමය
    දෙපදකට සීමා නොවී
    ලයෙන් ලය සැනසිය යුතුයි
    ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කළ හැකියි…

    නොතින් සසර දුක ජයගන්නට පේවී
    දහම් සරණ හැර සරණක් නැත දේවී…….

    ReplyDelete
    Replies
    1. ලිපියට අදාළ නැතත් නිර්මාණය ලස්සන නිසා පලකලා ඔන්න .

      මේ වගේ සින්දුවක් තියෙනවද . කලින් අහල තියෙනවද මන්දා .

      Delete
    2. මේ අර ස්වයංජාත නාට්‍යයේ තේමා ගීතය නේද?

      Delete
    3. මටත් නිකන් අහල පුරුදු බවක් දැනුන . හැබැයි නාට්‍ය නම් බලල නැහැ.

      Delete