Saturday, 3 August 2013

පාර දිගේ .....

පහුගිය දවසක නැරඹුව චිත්‍රපටයක් මාව විතරක් නීම් අපේ පොඩි උන් දෙන්නත් කම්පනයට පත්කලා .A Thirsty World '' . ලෝකේ පුරාම පිරිසිඳු ජලසම්පත සිඳෙන සහ දුෂණය වන ආකාරය කියන වාර්තා සිතුවම්පටක් .
ට්‍රේලරේ විතරයි හම්බ වුණේ . ටොරන්ට් කරන්න පුලුවන්ද කියල බලල කවුරු හරි ලින්ක් එක දාන්න පුලුවන්නම් වටිනවා .


ලෝකේ කොච්චර වතුර තිබුණත් බොන්න පුළුවන් වතුර තියෙන්නේ කොච්චර පොඩ්ඩද . වතුර නැතුව මනුස්සයෙක්ට ජිවත් වෙන්න පුලුවන්ද .

ඉන්දියාවේ ,අප්‍රිකාවේ කම්බෝජියාවේ ජල හිඟය ගැන කම්පා වෙච්ච හිත අද කියන්න බැරි තරම් හැඟීම් ගොඩක් එක්ක හිර වුණේ වැලිවේරියේ වතුරට සල්ෆියුරික් එක්ක ලේත් මිශ්‍ර වුණ හින්ද .

මිනිස්සු එක පාරටම පාරට බහින්න නැතුව ඇතිනේ. කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් නම් පරිසර අධිකාරීන් මේ ගැන මොකද කලේ. අපිරිසිඳු ජලය  බැහැර කරද්දී යම් පිළිගත් ක්‍රමවේදයක් තියෙනව .'' Waste water treatment '' කියන්නේ එයට කියල අපි ඉගෙන ගත්තේ .  ආයතනයේ ඇතිනේ මේ ගැන වගකියන නිලධාරින් . නොදැන වුණ  දෙයක් නම් මෙච්චර බරපතල උද්ඝෝෂණයකට මිනිස්සු තල්ලු නොකර වැරැද්ද නිවැරදි කරගන්න බැරි වුණේ ඇයි .

ඉස්සර ආච්චිලාගේ දිහා යන්න අපි ගොඩ වුණේ 228 වැලිවේරිය බස් එකට ,නැත්නම් 224 කිරිඳිවැල හරි 225 පුගොඩ බස් එකට . කොළඹට කිට්ටු වුණාට කැළණියෙන් එහාට බියගම පාර එහෙමකට නාගරීකරණය වෙලා තිබුණේ නැහැ . ආච්චිලාගේ ගෙදෙට්ට යන්න බහින්නේ සියඹලාපේ හන්දිය නැත්නම් බෙල්ල කපපු හන්දිය . ඉස්සර කාගේද බෙල්ලක් කපුව නිසාලු ඒ නම වැටුනේ . දැන් කාලේ නම් බෙලි කපන වෙඩිතියන ගාණට නම් තියන්න ගියොත්  නිකන් නමක් තියෙන හන්දියක් බේතකටවත් නැති වෙයි .

මේ බෙල්ල කපපු හන්දියේ ඉඳන් වෙඩි තියපු හන්දියට ඒ හැටි දුරක් නැති එකයි හිතට වැඩියම වේදනා .

බස් එකෙන් බැහැල ගෙදෙට්ට යන්න කෙටි පාරක් තිබුණ රබර් වත්තක් මැදින් . අපි කවදාවත් දිග පාරෙන් ගියේ නැහැ . රබර් වත්තෙන් වැටුන කෙටි පාරට වැඩිය කැමති වුනේ උගුරැස්ස ගහක් තිබ්බ නිසා . ඒ කාලෙට පස්සේ උගුරැස්ස ගෙඩියක් දකින්න නැහැ .

වේලිච්ච රබර් ගෙඩිය පුපුරලා කටුව වෙන් වෙන්නේ සමනලයෙක් වගේ . ඒක බඹර වගේ කරකවන්න පුළුවන් . රබර් ඇටෙන්  කරන්න දෙයක් නැති වුනත් ඒකෙ දිලිසෙන ගතියට ආසයි. ගෙදෙට්ට යන ගමන් ගවුම් සාක්කු වල රබර් ඇට , කටු වගේම උගුරැස්ස ගෙඩි දෙක තුනක් දාගන්නවා . ඉස්සර අම්මට ගවුම් මහන්න කලින්ම කියන්නේ සාක්කු ඕනේ කියල . අදටත් මන් සාක්කු වලට ආසයි . සුදු ගවුමටත් ඉස්සරහ සාක්කුවට අමතරව සයේ දෙපැත්තෙන් හොර සාක්කු දෙකක් ඕනෙමයි මට නම් ඒකාලේ . සීසන් එක හෙම වැටෙන්නේ නැතුව දාගන්න .

ආච්චිලටත් බොහොම පුංචි රබර් කට්ටියක් තිබුණ . උදේම ආච්චි හරි ආතා හරි යනවා කිරි කපන්න . කිරි කපනවා කියන්නේ රබර් ගහේ රවුමට පොත්ත සහින එක . එයටත් කලාවක් තියෙනව . කානුවක් වගේ උඩ ඉඳන් පහලට ගහ වටේට කපන මේ කැපුම කෙළවරට පොල් කටුවක් රඳවන්නේ බේරෙන කිරි එක්කහු කරන්න .

මට මතක විදිහට කිරි එකතු කරන්න යන්නේ ටිකක් දවල් වෙලා . කිරි බාල්දිය ගෙදර ගෙනත් කිරි දානවා ඇලුමිනියම් ට්‍රේ වලට . ඊට පස්සේ ඇසිඩ් කලවම් කරලා . මිදෙන්න තියනව . ඒ කාලේ කෙමිස්ට්‍රි කරලා තිබුණේ නැති නිසා මේ ක්‍රියාවලිය මට ලොකු මැජික් එකක් වුණා . දැන් හිතෙන විදිහට සල්ෆියුරික් ඇසිඩ් වෙන්න ඕනේ දැම්මේ .

මේ රබර් මිදුනම කිවේ රොටි කියල . රොටි එකතු වුනහම අරන් යනවා ලොකු රබර් වත්තක තිබුණ මෝලකට . දුම් ගහන්න ගෙනියන්ව කියලයි ආච්චිලා කිවේ. අපි එහෙ ගිය වෙලාවක නම් අපිත් පස්සෙන් වැටෙනවා . ඔය රස්තියාදු ගමන් වලින් ජීවිතේට ලැබුණ අනගි පාඩම්  ඉස්කෝලෙන් ඉගෙන  ගන්න පුළුවන් ඒවා නෙමේ .
මේ දුම් ගැසීමේදී වෙන්නේ රොටිය වෙලිමකට සහ තද වීමකට ලක්වීම වෙන්න ඕන .

ඊට පස්සේ ඒවා විකුණුවේ කොහොමද කියන්න මතක නැහැ . එක්කෝ මෝලටම දෙන්න ඇති . නැත්තන් වෙළෙන්දෙක් ගෙදෙට්ට එන්න ඇති..

කිරි කැපීම වගේ වැඩ තිබ්බත් උදේ කෑමට ඉදිආප්ප ආප්ප වගේ දේකුත් හැදෙනවා . වැඩිහරියක් එහෙම හැදුන  අපේ අය්යා  නම් හිල් බත් තමයි හැමදාම කන්න පුරුදු වෙලා හිටියේ . රෑ උයපු කරෝල ඇතිලියට හිල් බත් දාගෙන අනලා කාලා තියෙන කෙනෙක් දන්නවා ඒකෙ රස.

තාත්තගේ ගමේ ගෙදර වගේ මෙහෙ එච්චර පොත් තිබ්බේ නැහැ කියවන්න . ළඟ ගෙවල් වල හිටිය කොලුවයසේ මාමලා නැන්දලා ළඟ තිබ්බෙත් චිත්‍ර කතා . එව්වා නම් කියෙව්වා ඇති වෙන්න .

ඉතින් වැඩියම කලේ ආච්චිගේ හරි ආතාගේ හරි පස්සෙන් වැටෙන එක . අවුරුදු කාලෙට හෙම එහෙ ගියොත් කට්ටිය හිටියා හුඟක්. ඒ ඇරෙන්න සාමාන්‍ය නිවාඩු දවස් වලට එහෙමකට කවුරුත් උන්නේ නැහැ . පුංචිලා  මාමලා ගෙන් ඒකාලේ  නොබැඳපු අය වුනත් වැඩට ගිහින්. ආච්චි දවල්ට උයල තියල යනවා නාන්න .

ගෙදර වතුර ඇදල බොන්න ගත්තට නාන්න නම් නානාප්‍රකාර ළිං වලට ගියා . කොයි අතට ගියත් වෙලක් හම්බ වෙනවා . ඒ අයිනේ ළිං ඕන තරම් . අතින් ගන්න මට්ටමේ ළිං වලට තමයි වැඩිය කැමති. සමහර ළිං වලට පොඩි කඹ කෑල්ලක්  ඕනේ වෙනවා . ලිඳ අවට තියෙන  ගහකොළ ප්‍රමාණය  අනුව වතුරේ උෂ්ණත්වයත් වෙනස් . පලවෙනි වතුර එක දාගන්න එක මරන්න ගාණට බය හිතෙන තරම් සිතල ළිං තිබුණ .

සමහර ඒවා උතුරලා යනවා . ගැඹුරත් විවිධයි . එකපාරක් මන් ඔය ලිඳකට වැටුනත් එක්ක . කවුද අත දීලා ගොඩ ගත්ත . ලැජ්ජාවයි ඉවසන්න බැරි. කාලයක් යනකම් මේ අර ලිඳට වැටුන ළමයා නේ කියල අහද්දී ආච්චිගේ චිත්තෙට මුවා වෙන එකයි එකම විසඳුම .

එක එක නම් තිබ්බ ළිං  වලින් මට අමතකම නොවන නම තමයි '' මැණික්ක ගාරේ '' ලිඳ . මේ හරියේ ඇළවල් වල මැණික් ගරපු නිසා ඒ නම වැටෙන්න ඇති.

නාල ගෙදර එන්නේ සමහර විට කැබෙල්ල දළු හෙමත් කඩාගෙන . රෑට ඉදි ආප්ප හැදුවොත්  කැබෙල්ල දළු මාළුව නැත්තන් කෙහෙල් මුව මාළුව වගේ එකක් එක්ක තමයි කන්නේ .

ඉතින් රෑට කන්න කලින් දවල්ට කන්න ඕනනේ . නාල හෙම ඉන්නේ යකෙක් කන්න පුළුවන් ගානට. ආච්චි උයලා තියලා ගිය බත් බෙදල දෙනවා අපිට. හුඟක් වෙලාවට කරවල හොද්දක් මැල්ලුමක් , බටු මාළුවක් හෙම තමයි තිබුණේ . අපේ අම්මටත් හොඳට උයන්න පුළුවන තමයි . ඒ වුනාට ආච්චිගේ කරවල හොද්ද වගේ එකක් නම් ඊට පස්සේ කන්න බැරි වුනා . එකක් බඩගින්න. අනික ආච්චිගේ අත්ගුණේ . ආච්චිගේ අම්මයි තාත්තයි දෙන්නම කෝකියෝ.

රෑට නිදාගත්තේ ඒ කාලේ ගෙදර හිටිය පුංචි කෙනෙක් ගේ කාමරේ . එයාගේ කාමරේ වුඩු පවුඩර් සුවඳයි. පුන්චිලා ටිකක් ලස්සනට අඳින්න කැමති අය. ඒගොල්ලෝ බඳින්න ඉන්න කාලේ යාලු වෙච්ච බාප්පල එක්ක ගමන් යනවා මට මතකයි මැක්සි ගවුම ඇඳලා . බාප්පල බෙල් බොටම් එක ඇඳලා . අසුව දශකයේ මුල වගේ වෙන්න ඕන . දෙගොල්ලන්ම පාර අතුගගා යන්නේ .

හිනා වෙන්න ඕන දවසක් නම් නෙමේ . ඒ වුනාට මේ සිද්දි මතක් වෙනකොට නම් හිනාත් යනවා .

ඔහොම කාලයක් යද්දී වෙළඳ කලාපය ඇති වුණා . මාකොළ පැත්තේ ඉඳන් කලාපෙට වැටෙන සමෘධි මාවත හදන්න ගත්ත කාලේ මට මතකයි . ඒ පාර වැටුනේ බියගම පාර [ අද වෙද්දී නව නුවර පාර . මේක තමයි බැලුම් මහරින් පරණ නුවර පාරට වැටෙන්නේ ] හරහා හතරමන් හන්දියක් නිමවමින්. රබර් වත්ත අයිනෙන් . රබර් වත්ත අයිනේ තිබුණ ලස්සන උතුරා යන ලිඳක් .පාර හදල කාලයක් යනකම් ලිඳ තිබුණ තැනින් උල්පත් වතුර මතු වෙලා පාර අයිනෙන් ගලා ගියා .

 ඒ දකිද්දී මගේ ළමා හිතට හරිම දුකක් දැනුන . මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒ දිය පාර . හරියට මනුස්සයෙක් මරල එතන වලදාළ වැහුව වගේ. ..මට දැනුනේ . වතුර පාර නිකන් මිනි මැරුමේ සාක්කියට ගලා ගිය රුධිරය වගේ .

ළමයෙක් ලෙස එදා මගේ බොළඳ සිත හැඬුවේ ළිඳත් බේරලා පාර හදන්න බැරි වුණේ  ඇයි  කියල .

අද මට මතක් වුණේ ඒ ලිඳ . කඩපිල් හැදිලා බෝඩින් හැදිලා ඒ ලිඳ තිබ්බ තැනක් වත් නැතත් මට අද ඒ ලිඳ මතක් වුණා .




කලාපෙ නරක වගේම හොඳත් තිබුණ . දහස් ගානක් රැකියා ලැබුණ. හැබැයි මන් තාම හිතනවා ''පාරයි '' '' ලිඳයි '' දෙකම තිබ්බ නම් හොඳයි කියල .






77 comments:

  1. ලිඳ නැති වුන නිසා තමා අද මිනිස්සුන්ට පාර වහන්න වුනේ. දැන් අතෙන්ට වෙඩි තියපු හන්දිය කියලා නම වැටෙයිද දන්නෑ. විශේෂණ පදයකුත් දාන්න වෙයි කාට වෙඩි තියපුද කියලා. ඒ තරමට දැන් වෙඩි තියනවනෙ..

    බින්දිගෙ කතා කියවන් පල්ලෙහාට එනකොට කියන්න දේවල් දාහක් මතක් වෙනවා.. කතාව කියවලා ඉවර වුනාම ඒවා හුළඟේ ගියා වගේ අමතක වෙනවා.

    මෙන්න රබර් ඇටයෙන් කරන්න වැඩක්.

    මුලින්ම හොඳ රබර් ඇටයක් තෝරා ගන්න.
    උඩින් යටින් සහ මැදින් හිල් තුනක් විදින්න
    කූඹි ගුලක් ලඟ දින තුන හතරක් තබන්න. එවිට මදය හොරු අරන් යනු ඇත.
    ඉන්පසු,නූලක් මැදින් එතූ, අඟල් හයක් පමණ පොල් නාරටියක් සවි කේරූ ඝනකම් ඉරටු කැබැල්ල රබර ඇටයේ උඩ සහ යට සිදුරු අතරින් යවා, එතූ නූලෙහි කොන මැද සිදුරෙන් එළියට ගන්න.
    දැන් රබර් ඇටයෙන් අල්ලාගෙන නුලෙන් ඇද පොල් නාරටිය රූන් පෙත්තක් සේ කරකැවෙන අත්දැකීම විදින්න.

    ReplyDelete
    Replies
    1. රබර් ඇටයෙන් ඔය වගේ වැඩක් අය්යල කල බව යන්තම් මතකයි. දැන් ඉතින් රබර් ඇටයක් හොයන්න මට යන්න තියෙන්නේ කළු අග්ගල පැත්තේ තමයි.

      සැහෙන ඉවසීමක් ඕනේ වැඩක්නේ

      Delete
    2. ඕකෙ අමාරුම වැඩේ තමා රබර් ඇටේ පැලෙන්නෙ නැති වෙන්ට හිල් විදගන්න එක..

      Delete
    3. ඒකනම් ගේමක් තමයි බූරො.. විශේෂයෙන්ම මැද එක..

      Delete
    4. අයිස් පලම් කාල ඉතිරි වෙන ලී පතුර හයිකලේ උඩ....

      Delete
    5. ඔය වැඩේට කැකුණ ඇටත් ගැලපෙනවා..

      Delete
    6. එකදිගට නවත්තන්නැතුව කරගෙන ගියොත් නයිලෝන් නූල රබර් ඇටේ ගෑවෙන තැන රත්වෙලා රත්වෙලා කලුපාට වෙනවා... රබර් ඇටේ ගිනි ගන්නකල්ම කරන්න මම ට්‍රයි කලා ඒත් හරිගියේ නැද්ද කොහෙද... :)

      Delete
    7. බීටල් ලමයත් වෙලාවකට කථා කරන්න ගියහම.... :-)

      Delete
    8. මේ දවස්වල නම් කැකුණ ඇට තලනවා ..හබන් කුකුළන්ට ජය වෙයි නේ .

      Delete
    9. රබර් ඇටවලින් ජිල් බෝල ගහන්න පුළුවනි. අපි ඒ දවස්වල දොඹ ගෙඩිවලිනුත් ජිල් ගැහැව්වා.

      Delete
    10. රබර් ඇටවලින් ජිල් ගහනව කියන්නේ මොකක්ද? ගමේ කොල්ලෝ කියන්නේ ඇට බෝල ගහනව කියල.

      Delete
  2. මේ වතුර ගැන දුටුව සංවේදීම ලිපිය බින්දි . පොඩි කාලේ මතක් උනා . අපේ ගමෙත් තිබුනා ඔය ආකාරයේ ලිං එමට . ඒ වගේ නාන වෙලාවක අපිත් එක්ක නාමින් සිටි ගෑණු ලමයෙක් ලිඳට වැටිලා මාත් ගොඩ අරගෙන තියනවා . මොන තරම් සුන්දර කාලයක්ද . ඒ සුන්දර පරිසරය දැන් නෑ . ඒ ලිං තිබුන තැන් සොයා ගන්නත් නෑ .

    ReplyDelete
    Replies
    1. මතකය විතරයි ඉතිරි නේ... අපේ අක්කල ඉන්න හරියේ තාම නාන ළිං තියෙනව . අපේ අක්කට සතියකට වතාවක් හරි වෙලේ ලිඳෙන් නෑවේ නැත්තන් නින්ද යන්නේ නැති ගානයි.

      Delete
  3. බොහොම අගේට හුගක් අයට පොදු අත්දැකීමක් මතක් කරල දුන්නේ.. ඒ කාලේට ආයි ගියා වගේ දැනුනා. ෆිල්ම් එකේ ටොරන්ට් එක දෙන්න එකෙක් හොයාගන්න නං බැරි වෙන්නේ නෑ.. ඉන්ටකෝ බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා .සොයා ගත්තොත් ලොකු දෙයක් . අපුරුයි .අලුතින් ඇඳුමක් ගනිද්දී දෙපාරක් හිතන්න හිතෙනවා එය බැලුවම

      Delete
  4. මරු කතාවක් කිව්වා ඔහේලා කවුරුවත් දන්නෙ නැති. මම හිටපු මූඩ් එක වෙනස් වෙලා තාමත් ආතල් මූඩ් එකේ ඉන්නේ. කිව්වේ ගරු විමල් වීරවංශ මැතිතුමා.

    ඉස්සර ඔය පැත්තේ තිබුනේ ගෙවල් 100 ක් විතරලු. අද 5000 ක් තියෙනවලු (සමීක්ෂණයක් හරි ලේඛනයකඉන් හරි ගත්තද දන්නේ නෑලු.) එ වැඩි උන ගෙවල් වල ඉන්න අය කක්කා දාන කක්කුස්සි වලවල් ප්‍රමාණය වැඩි උන නිසාලු, මේ ජලය අපවිත්‍ර වෙලා තියෙන්නේ.

    ඉතින් අපි මෙයින් ගන්න ඕන ආදර්ශය කුමක්ද. මීට පස්සෙ කක්කා දාන්න නරකයි.

    තව රස කතා කියනවා අර ඩලස් අරහප්පෙරුම කියන අදීන මාධ්‍ය වේදියා..

    ReplyDelete
    Replies
    1. ඕන කෙනෙක් දන්නවනේ කාලයක් එක්ක ගෙවල් වැඩි වෙනවා කියල . ඔය පැතිවල ඉඩම් වෙන්දේසි කරලා විකුනන්න ගත්තේ ඇත්තටම මට මතක ඇති කාලේ . බියගම පැත්තේ ඉඩම් ගණන් යද්දී හුඟක් අය ඔය පැති වල ඉඩම් ගත්ත . මට රතුපස්වල කියන නම ඉස්සෙල්ලම ඇහුනෙත් අපේ කවුද එහෙන් ඉඩමක් ගත්ත කියන එකක් එක්ක .

      වැසිකිලි වලින් අපවිත්‍ර වීමෙන් ජලයට ප්‍රධාන කොට මුහු වන්නේ බැක්ටීරියා .එම් ආර් අයි එකෙන් ඊකොලයි වලට චෙක් කරගන්න පුළුවන් එහෙම සැකයක් ඇත්නම් .රසායන ද්‍රව්‍ය මුහු වීම ගැන පරික්ෂා කරන්න පරිසර අධිකාරියේ පිළිවෙලක් ඇතිනේ. එක එකා කියන බුරු කතා මිසක් මිනිස්සුන්ට ඇත්ත ව්ද්යාත්මකව පැහැදිලි කරන වාර්තාවක් දෙන්න කවුරුත් නැද්ද

      දේශපාලකයින් නම් කියන කතා වලට කොහොමත් මල බද්ධය හැදෙනවා මිනිස්සුන්ට.

      Delete
  5. වැලිවේරියේ සිද්ධිය කණගාටුදායකයි. ප්‍රශ්ණයට හේතුවූ තුවාලය වසා පාට පාට දිගට හරහත් හා ෆස්ට්-ඒඩ්-ප්ලස්ටර් ඇලවීම ඊටත් වඩා නින්දිතයි.

    රටක, සමාජයක ඉදිරිගමනට කාර්මීකරණය අවශ්‍යයි. කර්මාන්තයන් හි ආර්ථික ප්‍රතිලාබ වගේම ක්‍රියාකාරිත්වයන් සමාජය හා පරිසරය කෙරෙහි කරන බලපෑම පාලනය වන විනය නීති ද තියෙන්න ඕනේ. ලංකාවේ ද එවැනි නීතිමාලාවන් අඩුවක් නැහැ. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමේ ඇති දුර්වලතා විශේෂයෙන් බල පිරමිඩයේ ඉහල සිට පහලට තියෙන අඩුවක් නැති දූෂණය, ඔවුන් වාසියට හරවා ගන්නා නීති රීති වල ඇති ලූප්-හෝල්/බ්ලැක්-හෝල් ආදී කාරනා නිසා අනිටු ප්‍රතිවිපාක ඇතිවෙන්නේ.

    රසායනික ද්‍රව‍ය යොදා ගන්නා නිෂ්පාදන අංශයේ අපවිත්‍ර ජලය පොළවට, කානු, ඇළ හෝ දියපාරකට ඇරලන්න කලින් පවිත්‍ර කරන්න වෙනවා. එම පිරිසිදු කිරීම සැලකිය යුතු රසායනික ක්‍රියාදාමයක්, එය ඉටුවෙනවා ද ප්‍රශ්ණයකි. මින් පෙර නොවූ විදියට පිලිකා, වකුගඩු ආශ්‍රිත රෝගී තත්වයන් ඇති වෙන්නේ මේ විදියට රසායනික අපද්‍රව්‍ය පසට මුදා හැරීමෙන් නොවෙද?

    කර්මාන්ත වලින් සිදුවන පරිසර දූෂණය ප්‍රමාණාත්මකව ලොකු වෙන්න පුලුවන්. ඒ වගේම සාමාන්‍ය මිනිසුන් එදිනෙදා ඉවතලන කුණු කසල වලින් ද ඒ වගේම ලොකු තර්ජනයක් ඇති කරනවා, ඉවතලන බැටරි මගින් ඇති තර්ජනය ඉන් එකක්. ඒ ගැන ලියූ ලිපියක්:

    වතුර වීදුරුවේ දියකර වස විස බොන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ලිපියට නිවැරදි ලිංකුව:

      http://galmal.blogspot.com/2011/03/blog-post_22.html

      Delete
    2. ''වැලිවේරියේ සිද්ධිය කණගාටුදායකයි. ප්‍රශ්ණයට හේතුවූ තුවාලය වසා පාට පාට දිගට හරහත් හා ෆස්ට්-ඒඩ්-ප්ලස්ටර් ඇලවීම ඊටත් වඩා නින්දිතයි''

      අන්තිමට කොයිකත් ඉවර වෙන්නේ එතනින් අපේ රටේ විතරක් නෙමේ වෙනත් තැන්වලත් .

      ඩීන් අයගේ කමෙන්ටුව පෝස්ට් එකේ මට කියන්න බැරි වුන සහ මගේ දැනුම් පරාසයෙන් ඔබ්බට කියවුන දේවල් ටික .

      බොහොමත්ම ස්තුතියි

      Delete
  6. මේ පාරදිගේ ගමනේ දී සුන්දර තැන්වලට එක්ක ගියාට බින්දිට බොහෝම ස්තුතියි.

    කොමන්ටුව ටිකක් දිගයි, අවසරයි...

    මගේ මුල්ම විදේශ රැකියාවේ දී මට පැවරුනේ Wastewater Treatment Project එකක computerization team එකක වැඩ.

    ඊට කලින් water treatment කියන්නේ උසස් පෙල රසායන විද්‍යාවට අයත් පාඩමක් විතරයි.

    මැදපෙරදිග රටවල පානීය ජලය සලසා ගන්න ප්‍රධාන ක්‍රමය මුහුදු ජලය අරන් ලුණු ඉවත් කර පවිත්‍ර කිරීමෙන් (desalination). ඒ වෙනුවෙන් සාගර ජලය දූෂණයෙන් තෙරව/අවමව පවත්වා ගැනීම තමයි ලොකුම අභියෝගය.

    එය සවුදි තෙල් ආර්ථිකයේ ප්‍රධාන තැනක්. දිනපතා ඉවතලන අපවිත්‍ර වතුර, කැලිකසල (domestic wastewater) ආදිය පොළවට මුදා හරින්නේ නැහැ. නල මාර්ගයෙන් එකතු කර රසායනික ක්‍රමදාමයකින් පිරිසිදු කරන්නේ. අවසානයේ කිසිදු අපද්‍රව්‍යයක් නැති, දුඟදක් නැති තරම් පැහැදිලි වතුර හා කළු පාට තාර වගේ අපද්‍ර‍ය වෙන්කරනවා. පිරිසිදු කරන ලද වතුර වාරි කර්මාන්තයට යොදාගන්න අතර ඝණ අපද්‍ර‍යය (සති ගනන්) වියලා පොහොර විදියට පාවිච්චියට ගන්නවා.

    කිසිදු අපද්‍රව්‍යයක් නැති වතුර හැටියට කිව්වත් මිනිස් කැලිකසල සහිත වතුරේ ඇති කොලිෆොර්ම් (Coliform) කියන බැක්ටීරියාව නැති වෙන්නේ නැහැ, ඒ නිසා පිරිසිදු කර අපවිත්‍ර වතුර ජනාවාස අවට ගස්කොලන් වලටවත් දාන්නේ නැහැ. මොනතරම් අතිරික්තයක් තිබුණත් මුහුදට මුදාහරින්න ද බැහැ. මොකද පානීය ජල පිරිපහදු ක්‍රියාදාමයේ දී කොලිෆොර්ම් බැක්ටීරියාව ඉවත් කරන්න සමත් වෙන්නේ නැහැ.

    ඒ වගේම ඛණිජ තෙල් පිරිපහදු ක්‍රියාවේ දී එකතුවෙන අපවිත්‍ර ජලයේ (industrial wastewater) ඇති රසායනික ද්‍රව්‍ය වඩාත් හානිකරයි. ඒ අපවිත්‍ර ජලය පිරිසිදු කිරීම තවත් විශේෂිත ක්‍රියා දාමයක්. මොනතරම් පිරිසිදු කරත් ප්‍රබල දුගන්ධයකින් යුත් දුර්වර්න වතුර ඛණිජ තෙල් පිරිපහදු වල නැවත පාවිච්චියට ගන්නවා.

    පිරිසිදු කරන ලද මෙම අපවිත්‍ර ජලය දෙජාතියම මුහුදටවත් මුදවාලන්න බැරි නිසා අතිවිශාල ටැංකිවල රඳවන්නේ. ඉඩකඩ පහසුව මදි වුනොත් ඒවා පානීය ජල පිරිපහදුවට සාගර ජලය ගන්න ප්‍රදේශයට දුර බොහෝ ඈත මුහුදට පොම්ප කරන්න වෙනවා.

    මේ සඳහා අති විශාල ධන ස්කන්දයක් එරට රජය යොදවන්නේ. 90 මුලදී වාර්තා වූ අන්දමට එදිනෙදා ඉවතලන කැලිකසලින් අපවිත්‍ර ජලය කියුබික් මීටරයක් පවිත්‍ර කරන්න ඇමෙරිකානු ඩොලර් 43ක වියදමක් දරන්න වුනා.

    මේ විස්තර ලියුවේ අපේ රටේ ඇති ස්වභාවික භූගත ජල සම්පත විනාශ වුනොත් බීමට වතුර හොයාගන්න මොනතරම් ධන සම්බාරයක් යට කරන්න වේවිද? එච්චර වියදම් කරත් වතුර පිරිසිදු ද කියන එක ගෙනහැර දක්වන්න.

    මෙවසර මුලදී පල වූ මාතෘකාව නිර්ස වුනත් තවත් හරබර ලිපියක්:

    Drinking toilet water: The science (and psychology) of wastewater recycling

    ReplyDelete
    Replies
    1. වටිනා දැනුම් සම්භාරයක් ...

      අපිට කොයින්ද ඕවට සල්ලි කියල අහයි . කිව්වත් වගේ මුලින් පිළියම් නොකලොත් ආයේ ගොඩගන්න නම් සල්ලි නැහැ තමයි.

      රජරට කෘෂි රසායන නිසා සිදු වෙලා තියෙන විපත ආපසු හැරෙන්න බැරි තරමේ එකක් . ඒ කාලේ එක පාරක් කොටි අඹතලේ ජල පොම්පාගාරයට හරි ලබුගමට හරි වස දාල කියල කතාවක් ගියා . මිනිස්සු හරියට කලබලවුනා .
      පානිය ජලය බෝතල් කිරීමේදී රසායන ඉවත් කරනවද . ඇත්තටම වියට්නාමයේ ජලයේ ආසනික් ප්‍රතිශතය වැඩියි. අපිට බොන්න වෙලාතියෙන්නේ බෝතල් වතුර .

      ලංකාවට ඒ කල යන්න වැඩි දවසක් නොයයි වගේ .

      Delete
    2. @ ගල්මල්: මුලින්ම මේ ඩීන් එක්ක වාදයක් පටන් ගන්නවත් උඹව අමාරුවේ දාන්නවත් කරන උත්සාහයක් නෙවෙයි.

      මේ කමෙන්ට් එකේ හැටියට කොයිතරම් පිරිපහදු කලත් - අපි කියමු ටොයිලට් වතුර කියලා ලේසියට, එහි ඇති කොලිෆෝර්ම් බැක්ටීරියාව විනාද වෙන්නේ නැහැ.

      එටකොට අරාබිය මේ පිරිපහදුවටත්, ඒ පිරිපහදි කරපු වතුර ඈත මුහුදට පොම්ප කරන්නත් සෑහෙන වියදමක් කරනවා.

      මේ වතුර මිනිස් ජනාවාස අවට ගස් කොලන් වලට වත් ප්‍රයෝජනයට ගන්නේ නෑ.


      ඊට පස්සේ මම ඩීන්ගේ ලින්ක් එක දිගේ ගිහින් ඉංග්‍රීසි ලිපිය බැලුවා.

      ඒ කියන විදියට ඇතැම් රටවල් මේ වතුර පාවිච්චියට (බොන්න) ගන්නවා.

      මේ වතුර ගංගාවල් වලට මුදා හරිනවා. ඒ වතුර ග‍ඟේ පහලින් පොම්ප කරලා බොන්න පිරිපහදු කරනවා.

      මේ පරස්පරය මට පැහැදිළි කරපං ඩීන් හොඳ එකා වගේ.

      වලියට නෙවෙයි. දැන ගන්නයි අහන්නේ ඩීන්.

      Delete
    3. වේස්ට් වෝටර් බොන එක ටිකක් මානසික වශයෙන් අභියෝගයක් නිසා අරාබිය එහෙම කරනවද දන්නේ නැහැ . මන් හිතුවෙත් බැක්ටීරියා මරණ එක රසායන අයින් කරනවට වඩා පහසුයි කියලයි .

      හෙන්රි මොනා කියනවද අඬ ගැහුවත් ඩීන් යය නම් වලියකට එන එකක් නැහැ . :D

      Delete
    4. කිසිම අවුලක් නැහැ මිත්‍රයා. අපි දන්න දෙයක් බෙදාගැනීමයි මෙතැන කරන්නේ. මගේ බ්ලොග් සටහනක වගේම කොමන්ටුවක මොනවා හරි අපැහැදිලි ගතියක්/පටලැවිල්ලක් ඇත්නම් එය පෙන්වා දීම මා ගොඩාක් අගේ කරනවා. ඉන් සැලසෙන්නේ වැරද්දක් ඇතොත් නිවැරදි කරගන්න අවස්ථාවක්. නැතිනම් පරදින්නේ කවදා හරි දවසක මේ ලියන කරන දේවල් උපයෝගී කරගන්න උදවිය. එහෙම වුනොත් අපෙන් වෙන්නේ ගඟට ඉනි කැපීමක්. කාලය, ශ්‍රමය හා ධනය නාස්තිකර අපි ඒ දේ කරන්න ඕනේ නැහැ.

      අපි විස්තර දිහා බලමු:

      කොලිෆොර්ම් බැක්ටීරියා මගින් ජලය ආශ්‍රිතව බෝවන රෝග, කන් ආබාධ, පාචනය, උදරාබාද, ටයිපොයිඩ්, හෙපටයිටිස්-A වගේ රෝග ඇති කිරීමට හේතුවේ.

      ජලාශ වල ඔක්සිජන් අන්තර්ගතයට කරන බලපෑම නිසා මත්ස්‍යයින් මියයෑම, පරිසරයට හිතකර බැක්ටීරියා විශේෂ විනාෂ කිරීම නිසා එම ක්ෂුද්‍ර ජීවින්ගේ උපකාරය අවැසි අනෙකුත් සත්ව/ශාක වඳවීම ආදී පාරිසරික විනාශයන්ට ද කොලිෆොර්ම් මුල්වේ:

      මූලාශ්‍රය: http://en.wikipedia.org/wiki/Fecal_coliform

      තවද, කොලිෆොර්ම් වල බලපෑම නිසා මිනිසාගේ හෘද, වකුගඩු ආශ්‍රිත ආදී දරුණු රෝගී තත්වයන් ඇතිවෙන බව ද නොයෙකුත් ලිපි/වාර්තා වලින් කියවා ඇත.

      1980-90 කාලයේ පානීය ජලය පවිත්‍ර කරන හා අපවිත්‍ර ජලය පිරිසිදු කරන ක්‍රියාවලියන් සිදු කෙරුනේ American Water Works Association (AWWA) හා ඇමෙරිකාවේ Environmental Protection Agency (EPA) රෙගුලාසි මුල් කරගෙන. ඒ අනුව, EPA විසින් ප්‍රකාශිත 1989 සම්මතය අනුව පානීය ජලයේ කොලිෆොර්ම් අන්තර්ගතය ශුන්‍ය විය යුතුය. WHO ද මෙම සම්මතයේම සිටී (මතක හැටියට එය 1984 තරම් පැරණි වෙන්න ඕනේ).

      ඒ අනුව domestic/sanitary wastewater treatment ක්‍රියාදාමයේ දී 100% විනාශ නොවෙන කොලිෆොර්ම් අඩංගු විය හැකි ජලය මහජන සෞඛ්‍යයට බලපෑමක් කරයි යන්නයි අදහස. වාරි කර්මාන්තයට පාවිච්චි කරන පිරිසිදු කල (domestic wastewater) වතුර ගෙවල්, පාසැල්, පාර්ක් ආදී තැන්වල පාවිච්චියට ගන්නේ නැත්තේ ද ඒ අවධානම නිසා. අනෙකුත් landscaping වල වතුර සැපයුමට යොදා ගනී.

      Ref:
      http://water.epa.gov/lawsregs/rulesregs/sdwa/tcr/regulation.cfm
      Table 10.1 of http://www.who.int/water_sanitation_health/dwq/2edvol2p1.pdf

      Drinking toilet water: The science (and psychology) of wastewater recycling ලිපියේ සඳහන් වෙන්නේ අලුත් ක්‍රමයක් ගැන, ඒකයි ලිංක් එක දුන්නේ. ඒ ක්‍රමය අනුව පිරිසිදුකරනය සිදුකලොත් වියදම් අඩු ඇති. ඒත් ඔවුන් මොන සම්මතයක් පළිපදින්නේ ද කියවෙන්නේ නැත. කොලිෆොර්ම් ඉවත් කිරීම ගැන සඳහනක් නැහැ. යම් විදියකින් පිරිසිදුකරන ක්‍රියාදාමයේ දී කොලිෆොර්ම් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න සමත් නම් ඔවුන් සඳහන් කරන විකල්පය හැටියට පානීය ජල පිරිපහදුවලට ජලය ලබා ගන්නා ඇල, දොල, ගංඟා, විල් ආදී මූලාශ්‍ර මුදා හරින්න බැරි කමක් නැහැ.

      මීට වසර පහ, හයකට කලින් මෙවැනි ක්‍රමයක් ගැන කතා වුනේ ඕස්ට්‍රේලියාව මුහුණ දුන් දරුණුතම නියඟය අවදියේ.

      මෙකරුණු අදාල domestic wastewater පිරිසිදුකරනයට විතරයි. කර්මාන්ත වලින් ඉවතලන (industrial wastewater) අපවිත්‍ර ජලයේ රසදිය, ලෝහ, තෙල් වැනි කාර්මාන්ත ආශ්‍රිත අපද්‍රව්‍ය තිබෙන නිසා ඒ පිරිසිදු කරන ක්‍රියාව කවදත් අභියෝගයක්.

      Delete
    5. එකම විශයකට වුනත් වෙනස් ආයතන මගින් හඳුන්වා දෙන වෙනස් ප්‍රමිතීන්/සම්මතයන් තියෙන්න පුලුවන්. ඒ අනුව අනුගමනය කරන පැරමිටර් ද වෙනස් වෙන්න පුලුවනි.

      උදාහරණයක් හැටියට ජාන තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවන ආහාර (GM foods) බෝග. ඒවා මහා පරිමාණයෙන් නිපදවන්නන් ගුණ වයද්දි ඒවායේ ආදීනව නිසා ප්‍රතික්ෂේප කරන කොටසක් ඉන්නවා. ඒත් හාමතේ මැරෙතැයි හිතන ජන කොටසකට අරකී ආහාරයෙන් වෙතෑකි සෙත දකින ජගත් සංවිධාන පවා නිෂ්පාදකයාගේ පැත්ත ගන්න පුලුවන්, ආදීනව නොදැන නෙවෙයි.

      Delete
    6. @බින්දි: (ජලය බෝතල් කිරීම ගැන ඉහත කල විමසුම)

      ගෙදර දොරේ පාවිච්චියට ගන්න ජලය potable water/drinking water හැටියට හඳුන්වන්නේ. එය ජලය ලබාගන්නා මූලාශ්‍රය අනුව පවිත්‍ර කරන ක්‍රමය (treatment method) වෙනස් වේ. පහත ලිංකුවේ Table 10.2 බලන්න:

      http://www.who.int/water_sanitation_health/dwq/2edvol2p1.pdf


      බොතල් කල පානීය ජලය මිනරල් වෝටර්, ඩ්‍රිංකිං වෝටර්, ස්ප්‍රිං වෝටර් යනාදී වර්ග ගනනාවකි. ඒවා ගැන විස්තරයක් පහත ලිංකුවෙන්:

      http://water.epa.gov/drink/info/upload/2005_09_14_faq_fs_healthseries_bottledwater.pdf



      potable water/drinking water පවිත්‍ර කරන ක්‍රම ගැන විස්තරයක් මේ ලිංකුවෙන්:

      http://en.wikipedia.org/wiki/Reverse_osmosis

      (* මේ විස්තර නැවත සිංහලෙන් ටයිප් කරන්න වෙලාවක් නැති නිසා ලින්ක් විතරක් සඳහන් කරා.)

      Delete
    7. ස්තුතියි ඩීන් අය්යේ. වියට්නාමයේ ආසනික් හුඟක් වැඩියි. බෝතල් වතුර වුණත් කොයිතරම් දුරට සුරක්ෂිතද කියල දන්නේ නැහැ . මොනවා කරන්නද ඉතින් . බලාගෙන ගියහම ඇහැ කණ පියාගෙන අතට අහුවෙන එකක් බොන්න තමා වෙලා තියෙන්නේ .

      Delete
  7. ඔය පාර වහපු සිද්දිය ගැන මම බොහෝම නිශ්ෂබ්දව හැමෝම කියන දේවල් බලන් හිටිය. කමෙන් එකක් දැම්මෙ මාතලන්ගෙ බ්ලොගේ විතරයි. ඒත් පරණ මතකයන් අලුත් වෙච්ච නිසාම කමෙන්ට් එකක් දාන්න හිතුනා.

    ඔය ගම් නාගරීකරනයත් එක්ක ඒ ගම්වල සුන්දරත්වය නැත්තටම නැතිවෙලා යන එක අහන්නත් දෙයක්යෑ.(මම මේ සංවර්ධනේ නරකයි කියනව නෙමේ) හැබැයි ඉතින් ඒ ඒ දෙවල් ඒ විදිහටම තියාගෙන සංවර්ධනේ ඇත කරන්න බැරි කමකුත් නෑ.

    ෆිල්ම් එකේ ටොරන්ට් එක හොයාගන්න ට්‍රයි එකක් දෙන්නම්කො.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධියේදී වැහුවේ ඒ පාරම නෙමේ . නමුත් මගේ මතක එක්ක මේ සිද්ධිය ලොකු සම්බන්ධයක් පෙන්වුව . ස්තුතියි ශාන්

      පරිසරයත් ''හැකිතාක්'' සුරකින ගමන් සංවර්ධනය කරන්න පුළුවන් ක්‍රම සොයන එකයි වැදගත් .හරියට ප්‍රශ්නේ තේරුම ගැනීමයි වැදගත් . අපේ ගේ ඉස්සරහ හිස් ඉඩමක් තිබුණ . හැමෝම එතෙන්ට කුණු ගෙනත් දැම්ම . අපි සෞඛ්‍ය පරීක්ෂකට කිව . එයා ඇවිත් බලල ගියා . එච්චරයි . විටින් විට අපි ඒ කුණු ගොඩ පුච්චලා දැම්ම ඉඩම අයිතිකාරයට හිතින් බැන බැන . අපේ රටේ මහාපරිමානෙන් වෙන්නෙත් ඔය ටිකම තමයි .හුඟක් ප්‍රශ්න වලට මුල හොයල පිළියම් යොදන්නේ නැහැ , අන්තිමට හත්පොලේ ගා ගන්නවා .

      Delete
  8. හානේ! මේ බින්දි කියන්නේ අර ලිඳට වැටිච්ච ළමයද? දැන්නේ දන්නේ.

    එක මනුස්සයෙකුට එක්තරා ලැජ්ජා නැති වැඩක් වුනාලු ප්‍රසිද්ධියේ. පොර ලැජ්ජාවට ගම අතෑරලා ගියාලු. අවුරුදු 35කට පස්සේ පොර ආපහු ගියාලු ඒ පැත්තේ ‍රැවුලත් වවලා හෙම දැන් මිනිස්සුන්ට සිද්ධිය අමතක වෙලා ඇති කියලා හිතාගෙන. ගම අඳුරන්නත් බැරි නිසා. පොර පොඩි එකෙක්ගෙන් පාර අහලා ගෙදර තිබ්බ තැනට යන්න. ආ ඔතනින් ගියාම අර ඉස්සර මෙහෙ හිටපු පොරකට ලැජ්ජ නැති වෙච්ච වැඩක් වෙච්ච සිද්ධියේ පිළිමයක් අඹලා ඇති. අන්න එතනින් දකුණට හැරෙන්න කිව්වලු.

    හැබෑට මොකක්ද ඒ සිද්ධිය කියලා මතක නෑනේ. කවුරු හරි මතක් කලා නම්!

    බින්දි 224 පූගොඩ, 225 කිරිඳිවැල, 228 දැන් ගම්පහටම යනවා.

    ReplyDelete
    Replies
    1. මටත් මතක නැහැ එහෙම කතාවක් ..228 ඉස්සර ගම්පහට ගියා . පස්සේ වැලිවේරිය වුනේ,.ආයේ වෙනස් වෙලා එහෙනම් . නැත්නම් ඔය කියන්නේ කඩුවෙල ගම්පහ බස් එකද .

      225 224 නම් පැටලුනා වෙන්න ඕනේ මට

      Delete
    2. 228 ඒ කාලෙත් දැනුත් ගම්පහට යන්නෙ CTB බස් විතරයි.. ප්‍රයිවේට් බස් යන්නෙ වැලිවේරියට විතරයි.. අනෙක ගම්පහ-කඩුවෙල කියන්නෙ 228 නෙවෙයි, 228/1.. :)

      Delete
    3. බුරා හරි. මම කියන්නේ අවුරුදු දහයකට පහළවකට එහා මතකයක් ගැන. ඇත්තටම මේ බුරාත් නොදන්න හත්තිලව්වක් නෑනේ අර රවියා වගේම! :D

      Delete
    4. ඇයි ඩූඩො, මං වැලිවේරියෙ හිටියා නෙවැ අවුරුදු 6-7ක්.. ඔය ඒරියා එක අපේ රාජ්ජෙ වෙලා තිබ්බෙ ඒ කාලෙ.. :)

      Delete
    5. බූරා, සිල්ක් රූට් ගැන වගේම බස් රූට් ගැනත් දන්නවා නේද ?

      Delete
  9. හිතට වේදනා දෙන සිද්ධියක් ඇසුරින් හිතට සැනසුමක් දෙන පෝස්ට් එකක්නේ ලියලා තියෙන්නේ බොහොම අපුරුවට. මගේ හිතත් අතීතයට ඇදිලා ගියා මේ ලිපියෙන්.

    ReplyDelete
    Replies
    1. සැනසුම නම් දුර ඈතයි නේද නලින් ..තවත් විනාශයක් නොවී මෙතනින් වත් ප්‍රශ්නය විද්යානුකුලව සහ නීතියට එකඟව විසඳන්න පුළුවන් නම් හොඳයි .

      Delete
  10. අපේ ගෙට උඩ පීල්ලක් තිබුන. අපි පුංචි කාලෙ මට මතකයි ඒකෙන් කිසි කෙනෙක් නෑවෙ නෑ. වතුර බිව්ව විතරයි. මිනිස්සු හිතුවෙ එහෙම නෑවොත් වතුර නැතිවෙයි කියල.ඒත් මට හිතෙන්නෙ එතන මූලික අදහස වෙන්න ඇත්තෙ බොන වතුර ටික අපිරිසිදු නොකල යුතුයි කියන එක වෙන්න ඕන.. දැන් කැලැවත් විනාශ වෙලා.
    මේ විස්තරේ මටත් හුඟක් සමීපයි වගෙ.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ කහවත්තේ වතුර ගත්තේ පීල්ලෙන් . කුස්සිය ගාවටම එන පිහිල්ල බොන්න ගත්තේ . රෙදි සෝදන්න නාන්න ඊට වඩා වතුර කඳක් එන පහල පිලි වලට ගියා . ජනගහනය වැඩි වෙද්දී ගස් කැපුන . ගෙවල් හැදුණා . ජලපොෂිත ප්‍රදේශය වුන ගුලන කන්ද උඩ ටෙලිෆෝන් කණු හිටවුණා ..

      පිල්ලෙන් වතුර ගත්ත නම් චන්දන කඳු පලාතක වෙන්න ඕන .

      Delete
    2. ඔව්.. මගෙ ගම බලන්ගොඩ. ඒ හැටි වෙනසක් නෑ. අහල පහල නෙ. :)

      Delete
    3. මන් හිතුවා සබරගමුවේ වෙන්න ඇති කියල

      Delete
  11. වතුරෙ අගේ මිනිස්සුන්ට තේරෙන්නේ වතුර නැති වෙච්ච දාකට. කාලෙකින් නෙළුම් විලේ ලිපියක් දැක්කේ. වටින අදහසක්.

    ReplyDelete
    Replies
    1. කන්න නැතත් වතුර නැතුව දවසක්වත් ඉන්න බැහැනේ ..ස්තුතියි දිලිනි

      Delete
  12. බින්දිගෙ ලිපියත් එක්ක හිත බොහොම දුර අතීතයට ගියා...අර කිව්වත් වගෙ රබර් ඇටෙන් රූනො හදපු සන්දියට.
    තැටියෙ රබර් රොටිය මුදවලා ඊට පස්සෙ ගෙනියන්නෙ ඩයමන් රෝලට,ඩයමන් ගහන්න හෙවත් අපේ උදවියගෙ බාසාවෙන් ඩයිමොං ගහන්න,ඒකෙන් කෙරෙන්නෙ රොටියෙ වතුර ටික ඔක්කොම මිරිකල ඇරල රොටිය සමාන ගනකම තත්වයකට ගෙනෙනවා සහ කොටු රටාවක් රොටියට වදිනවා.ඊට පස්සෙ තමයි වේලල දුම් ගස්සවන්න ගෙනියන්නෙ.
    අපේ පළාතෙ රබර් කර්මාන්තය නැහැ,මම පොඩිකාලෙ අපේ අම්මලගෙ ගමේ ගිහින් ඉන්නකොට දැකල පුරුදු අත්දැකීම් තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප . ඩයමන්ඩ් රෝල කියන නම අමතක වෙලා තිබ්බේ . රොටියට වැටෙන කොටු ඩයමන්ඩ් හැඩේ නිසා ඒ නම කියන්න ඇති .

      Delete
    2. මිස්ට හැලප......ඩයිමොන් රෝලට දාන්න ඉස්සෙල්ලා ඕක දිය රෝල කියලා එකකට දාලා වතුර යවලා ෆ්ලැට් කරගන්නවා නේද?ආච්චි ඉස්සර මාව එක්කන් යනවා ඔය වැඩේට.මාසේ අන්තිමට දුම් ගහලා ඉවරවෙලා ගෙදර ගෙනාපුවහම කොහොම හරි එකකට වි.දිනවා.ඕක සල්ලි වෙන්නේ පහත්ගම හන්දියේ තම්බි කඩෙන්.

      Delete
    3. හංවැල්ල පහත්ගම කොච්චර සුන්දර ගම් පොඩ්ඩක්ද?රබර් යායක්.අපේ තාත්තගේ ගම.මගේ ළමා කාලය.අපේ දුව එක පාරක් ගිහින් තියෙන තැන.කවදා හරි එයාගේ ළමයි ඇහැටවත් නොදකින මගේ තාත්තාගේ ගම.හ්ම්........

      Delete
    4. අපේ ගෙවල් කිට්ටුවත් ඩයමන්ඩ් රෝලක් තිබුන. අපිට මතක කාලෙ නම් ඒකෙන් වැඩක් ගත්ත බවක් මතක නෑ. රබර් ෂිට් හදන්නයි පස්සෙ කාලෙක උක් ටිකක් අඹරා ගන්නයි තමයි ඒක පාවිච්චි කරල තියන්නෙ...

      අන්තිමට ඒකෙ කොටස් එකින් එක අඩු වෙලා ගිහින් සිමෙන්ති ගොඩැල්ල විතරක් ඉතුරු වුනා.. :)

      Delete
    5. ඩයමන් රෝලට දාන්නේ දෙවැනුව හැලපේ අයියේ..මුලින් අල්ලන්නේ දිය රෝලේ... ඒකෙන් ටිකක් පැතලි වෙලා දිය බේරුනම තමා ඩයමන් රෝලට අල්ලලා කට්ට ගහලා දුමේ එල්ලන්නේ...

      Delete
    6. හප්පච්චියේ බංස්ලා, ඒ රොටි මැෂින් ලඟ ගඳ! ඒක ඉවසන්නම බැරි අමු‍ම කුණුගඳක්! ගඳ මසාලාවක්!

      Delete
    7. ස්තූතියි අරූ සහ මාරෙ,ඩයමන් රෝල්ට දාන්න කලින් දිය රෝලට අල්ලන එක ලියන්න අමතක වෙලා.

      Delete
    8. ස්තුතියි හැමෝටම

      Delete
  13. / පලවෙනි වතුර එක දාගන්න එක මරන්න ගාණට බය හිතෙන තරම් සිතල ළිං තිබුණ . /

    අපේ ළිඳෙත් එහෙමයි..කුඹුක් ගහක් යට තිබ්බෙ..මම කලේ පළවෙනි වතුර එක ඇදල විසික්කරල දෙවෙනි වතුර එකෙන් නාන්ට පටන් ගන්න එක......ආන්න කොහොමද මයෙ කිඩ්නිය…

    / එකපාරක් මන් ඔය ලිඳකට වැටුනත් එක්ක . කවුද අත දීලා ගොඩ ගත්ත . ලැජ්ජාවයි ඉවසන්න බැරි. කාලයක් යනකම් මේ අර ලිඳට වැටුන ළමයා නේ කියල අහද්දී ආච්චිගේ චිත්තෙට මුවා වෙන එකයි එකම විසඳුම /

    අනුක්‍රමයෙන් මෙහෙම වෙන්න ඇති විරුදාවලිය වෙනස් වෙන්න ඇත්තෙ....

    ළිඳට වැටුන ළමයා, ළිඳට වැටුන ගැටිස්සී, ළිඳට වැටුන අම්මණ්ඩි, අන්තිමටම ළිඳට වැටුන චමිලා......

    / බාප්පල බෙල් බොටම් එක ඇඳලා . අසුව දශකයේ මුල වගේ වෙන්න ඕන . /

    හැත්තෑවෙ දශකයෙ බෙල් බොටම් තිබ්බෙ. අසූව වෙනකොට ආයෙම අර පොල්තෙල් ගාල බහින්ට ඕන ජාතියෙ කලිසං ආව...මගෙ පලවෙනි බෙල් බොටම් එක මැහැව්වෙ වෙල්කා රෙද්දකින්...ඒ දවස්වල කලිසං රෙදි ජාති දෙකයි නැත්තං තුනයි තිව්වෙ..වෙල්කා කිව්වෙ වැල්ලවත්ත රෙදි මෝලෙ වියපු රෙද්ද...රජයට පවරාගත් සීමාසහිත වැල්ලවත්ත ස්පිනිං ඇන්ඩ් වීවිං මිල්ස්....ඔන්න සම්පූර්ණ නම.ඒ කාලෙ සිප් නැත..අලි බොත්තං තිබ්බ පොඩි පීරිසියක් විතර කලිසං වලට අල්ලන්ට. තව කලිසං රෙද්දක් තිබ්බ ක්‍රිම්ප්ලින් කියල...

    ReplyDelete
    Replies
    1. අපොයි ඕක එච්චර කාලයක් මතක තිබ්බේ නැහැ . මට අදටත් වදින කාඩ් එක තියෙන්නේ තාත්තගේ ගමේ . පොඩි කාලේ ටයන්න කියවෙන්නේ නැතුව තයන්න එක්ක සින්දුවක් කියල .

      ''අම්ම මත
      ගැව්ව මත
      යනවා මන් ගමත යන්න ''

      ගෙඹි අම්මගෙයි පුතාගෙයි කතාව කියල අන්තිමට ඔය සින්දුව කිවේ පොඩි බංකුවක් උඩ නැගල . අවුරුදු පහේදී . අපේ බාප්පා සහ නැන්දලා විතරක් නම් මදැයි ඔය නෑදෑ වෙන අයටත් තාම ඕක මතකයි

      Delete
    2. කලිසන් ගැන නම් ඇන්ද උදවිය නෙව දන්නේ ..සිප් එකක් නැති කලිසන් ..ඇහුවමයි

      Delete
  14. ලංකාවේ පානිය ජල ගැටලුව තවතවත් ඉදිරියේදී උග්‍රවේවි.බොහෝ කාලයක සිට රජරට මිනිස්සු මේ පානිය ජල ගැටලුව සම්බන්ධයෙන් මුහුණ දි සිටින ප්‍රශ්ණයක්. ඒත් ඔවුන්ගේ අරගලය සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.කිසිවෙක් ගණන් ගන්නේ නෑ. මේ වැලිවේරිය සිද්ධිය දක්වාම.

    බින්දිගේ ලිපියත් හරියට අර සියැටල්ගේ ලිපිය වාගෙමයි. හැබැයි ඒවන් පරිසරයක් විඳින්න ලැබුනේ මිට වසර විසිතිස් ගණනකට එහා කාලෙකදි. දැන් ඒ සියල්ල වෙනස් වෙලා.අතිතය විතරක් සිහිපත් කරනු හැර වෙන කුමක් කියන්ද

    ReplyDelete
    Replies
    1. සිංගප්පුරුව වගේ රටවල් ජපා ප්‍රශ්නෙට මුහුණ දෙන ආකාරය බැලුවම අපි නම් මොනවා කර ගනියිද . රජරට ලෙඩ වුනේ රටටම බත සපයල . පිස්සුයි වගේ නේද මේවාට විසඳුමක් නැති බව දැක්කම .

      Delete
  15. වතුර ගැන නම් දැන් ලංකාවේ කතා කරන්නත් බයයි වගේ අක්කේ. ඔන්න අදත් ප්‍රවෘත්තිවලට කිව්වා විසඳුමක් නැත්තම් මේකට වෙන වෙන විසඳුම් කීපයකට යන්න එයාලා ලෑස්තියි කියලා. මොන ගිනි විජ්ජුම්බරයක් වෙන්න යනවද මන්දා :(

    ReplyDelete
    Replies
    1. මල්ලිලට හොඳටම ලඟයි නේද . ඇත්ත තමයි මුකුත් කියන්නත් බයයි

      Delete
  16. ජනගහනය වැඩි වෙනවා එයාලට ජීවත් වෙන්න ගෙවල් හදන්න ගස් කපනවා. කර්මාන්ත ශාලා ගොඩනගනවා, පාරවල් ලොකු කරන්න, වගේම එකක සංවර්ධන වැඩවලට ගස් කපනවා, මිනිසුන්ගෙ නොසැලකිලිමත්කම. මෙකී නොකී හේතූවල ප්ර්ධාන අතුරැඵලය තමයි ජලය හිඟවීම.. ඔන්න ඊට පස්සෙ වතුර නිසා කට්ටියක් මරාගන්නවා, කට්ටියක් ලෙඩ වෙනවා. බින්දිලගෙ ආච්චිලාගේ කාලේ ඔය කිසිම දෙයක් නැහැ වතුර ටික ලැබුණෙත් නිකං.

    ReplyDelete
    Replies
    1. අසීමිත සම්පත් පරිභෝජනය සහ ජනගහනය වැඩි වීම දුර්වල පරිසර කළමනාකරණය නොවේද මේ ඉතින්

      Delete
  17. සොල්දාදුවා කියන්නේ හරි ආඩම්බරකාර ගරුකටයුතු ආදරණිය මිනිහෙක්... හමුදාකාරයෝ හැමෝටම සොල්දාදුවෝ වෙන්න බැරි ඒකයි...

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂයි නොව කොයිදේත්

      Delete
  18. මේ දවස්වල වතුර ගැන කතා වැහි වැහැලා වගේම සොල්දාදුවවත් ඒ වගේම නාවලා තියෙන කතා ගොඩයි. වතුර ගැන අතුරු කතා සියල්ලම මෙතන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගේ දොරකඩම ගිනක් ඇවිලූ කල ඇති වූ කම්පනය නොලියා ඉන්න හිත දුන්නේ නැහැ . ඒ වගේම ආසනික් සහිත දිය ඇති රටක සිටිනා බැවින් මේ ගැන විද්‍යාත්මක පැත්ත දැන ගැනීමට උවමනා වුණා. විවිධ පැතිවල දැනුමැත්තන් මෙහි එන බැවින් මා ලියන කුඩා ලිපියක් වුනත් ඔවුන් විසින් වටිනා එකක් බවට පත් කරන බවට ඇති විශ්වාසය නිසා .මමත් බොහෝ දේ දැනගන්නේ එහෙමයි .

      Delete
  19. පරිසරය ගැන කිසිම තැකීමක් නැතිව කර්මාන්ත දියුණු කිරීමෙ විපාක අද චීනෙ විඳිනවා. ඔලිම්පික් වලට ඉස්සර මාසයක් ඔක්කොම වහන්න උනා අහස පෙනෙන ගානට පිරිසිදු කරගන්න. වතුර ගැන කියනුම කවරේද ? අපිත් චීන මාවතේ වගෙයි වැලිවේරියෙන් පෙනෙන්නෙ..
    සෙන්නා කියන්න වගේ රබර් ඇටෙන් හදපු බඹරා මරු... අල්ල උඩ තියන් රබර් ඇටයක් හිල් කරන්න ගිහින් කවකට්ටෙ උල මගෙ අල්ල පසා කරන් ගිහින් අනිත් පෑත්තෙන් මතු උන හැටි මතක් වෙලා නිකම්ම් අතහිරිවැටිලා ගියා.

    ReplyDelete
  20. පාසල් නිවාඩුවට අපි රත්නපුර කලවානේ ආච්චිලා ගේ ගෙදර ගිය හැටි, ඒ නිවස පිහිටි වත්තෙන් ගලා ගිය දිය පාර සහ එහි සිටි මාළු මට සිහිවුණා.

    පසුව කන්ද උඩ ගෙවල් සෑදී ඒ දිය ඇල්ල සිඳී ගියා.

    ඇසිඩ් දමා රුටිවල රබර් රොටි හෙී තිබුනු හැටි අද සිහිවෙන්නේ රිකොටා චීස් හෝ ටෝෆු වගේය කියලයි!

    ReplyDelete
    Replies
    1. දිය පීලි වැඩියම තිබුනේ සබරගමුවේ වෙන්න ඕනේ . පනීර් නැත්නම් කොටේජ් චීස් හදන්නෙත් ඔහොම තමයි. මට ඉන්දියන් යාලුවෙක් කියා දුන්නේ. කිරි උතුරන කොට දෙහි හෝ විනාකිරි ස්වල්පයක් දමා ප්‍රෝටීන් යටට බහින්නට සැලසීම .

      Delete
  21. ලස්සන ළමා කාලයක් බින්දි.:)

    //ඒගොල්ලෝ බඳින්න ඉන්න කාලේ යාලු වෙච්ච බාප්පල එක්ක ගමන් යනවා මට මතකයි මැක්සි ගවුම ඇඳලා . බාප්පල බෙල් බොටම් එක ඇඳලා . අසුව දශකයේ මුල වගේ වෙන්න ඕන . දෙගොල්ලන්ම පාර අතුගගා යන්නේ .//

    ඒ කාලේ පාරවල් පිරිසිදුවට තියෙන්ට ඇති. හී හී...

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ලස්සනයි පොඩ්ඩි . අද මතක් කරද්දී ලස්සනයි. කරදර හුඟක් තිබුණ.අතීතය ලස්සන වන්නේ අපට මතක හිටින්නේ හොඳ හරිය විතරයි නිසා .කරදර ටික ගෙවිලා ඉවරනේ.මොනවා වුනත් කන බොන දේ වල වස විස නම් තිබුනේ නැහැ වෙන්න ඇති අද තරම්.

      පාරවල් නම් නියමෙට අතු ගාන්න ඇති තමයි.

      Delete
  22. අපේ පන්සලට අයත් විශාල රබර් වත්තක් ඉස්සර තිබුනා...දහම් පාසල් ඉවර වෙච්ච ගමන් කොලු රැළ තරගෙට දුවන්නෙ ඔට්ටුපාල ගලවලා බෝල හදන්න...වේලිච්ච ඔට්ටුපාල ගලවද්දි එන රබර් සුවද තවමත් දැනෙනවා වාගෙයි. බිම වැටුන රබර් ඇට අහුලලා රත් වෙනකං බිම අතුල්ලලා කාගෙ හරි පස්ස පැත්තකට හේත්තු කරන එකත් අපේ ඒ කාලෙ පුරුද්දක්...දහම් පාසල් ගිය ඒ අතිතය මතක් කල පෝස්ටුවක්...

    ReplyDelete
    Replies
    1. හුඟ දවසකින් මේ පැත්තේ එන්න බැරි වුනා ..ස්තුතියි සිරා

      Delete
  23. සිරාම සටහනක් කියවලා නම් ටික දවස් වෙනවා. නමුත් “A Thirsty World“ ඩොකියුමන්ටරි එක ගැන හිතේ තිබ්බ නිසා සැරින් සැරේ හොයලා බාගත්තා. අගෙයි.“A Thirsty World“ එක මේ බ්ලොගන් කිව හින්දාම හොයගත්තා මෙන්න ලින්කුව. ස්තුතියි.
    http://thepiratebay.sx/torrent/7566002/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රති.....ලින්ක් එක හරිම වටිනවා ..පමාවූ ස්තුතියට සමාවෙන්න

      Delete