Wednesday, 30 January 2013

සිප වැලඳ ගමි ..ඔබ ආදරයෙන්







කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියනවනේ . සම්පුර්ණ වීමේ අන්තය ගැන නොදන්නා නිසා ඒ ගැන සම්පුර්ණයෙන්ම එකඟ වෙන්න බැරි වුනාට කියවීම තුලින් ජිවිතයේ බොහෝ දේවලට මුහුණ දෙන්න ඉඩ ලැබෙනවා .

ඒ සඳහා ජීවමාන උදාහරණයක් මම . ඒ වගේම අද මා කියන පුද්ගලයාගේ යම් වටිනාකමක් තියෙනවා නම් එයින් 50 % ක් පමණ මා කියවූ දේවල් . ඉතිරි පනහ ඉතින් ජිවත් වෙලා අත්විඳලා තියෙන දේවල් .

අද වෙද්දී කියවීම යම් පමණකට අන්තර්ජාලයට හිමි වුනත් කඩදාසියක මුද්‍රිත අකුරු වලට අපේ පරම්පරාව තවමත් ආදරෙයි . අපි විතරක් නෙමේ උදේ හවස ටැබ්ලට් එකක් [ කුඩා පරිගණකයක් ] පිටේ එල්ලන් යන්න සිද්ධ වෙලා තියෙන අපේ ළමයි වුනත් ඒ මල්ලේම පොතක් දෙකක් අරන් යනවා .
අපේ ලොක්කි ගේ බෑග් මල්ල මන් උදේට මාර්ග බාධක දාල පරික්ෂා කරන්නේ පොත් කියක් කරගහන් යනවද කියල . මල්ලේ බර කුඩා ශරීරයක් ඇති දියණියට ඔරොත්තු නොදෙන  නිසා .

අපේ කුඩා දියණියට පන්තියෙන් හැම සවසකම කියවන්න පොතක් දෙනවා . මේ කුඩා පොත් අස්සේ කොයිතරම් දේ තියෙනවද .

ඒ පොත් දෙමාපියෝ එක්ක කියවන්නයි දෙන්නේ . මෙහි අරමුණ ළමයා කියවීමට පෙළඹවීම වගේම ළමයාගේ කියවීමේ මට්ටම දෙමාපියන්ට අවබෝධ කරගන්නට පුළුවන් වීම .

ඒ එක්කම ළමයා එක්ක යම් වෙලාවක් ගත කිරීමටත් දෙමාපියන් පොළඹවන්න වෙන්න ඕන . බල කිරීමක් නැහැ . පිටුවක් දෙකක් කියෙව්වත් ඇති . නොකියවා හිටියත් ගුරුතුමී බනින්නෙත් නැහැ .

නමුත් මොකක්දෝ ආකර්ශනයක් තියෙනවා ළමයි කියවන්න පොළඹවන . අපේ දෝනි සමහර දාට කියවන්නේ නැහැ . එක්කෝ නිදිමත වීම නැත්නම් පොත රසවත් නොවීම වගේ හේතුවකට . එහෙම  දාට බල කරන්න එපා කියල  තමයි කියා තියෙන්නේ .

පොඩි සටහන් පොතක් තියෙනවා කියවීම ගැන සටහන් කරන්න . ළමයාද කියෙව්වේ , වැඩිහිටියෙක්ද කියන එක . ළමයට කතාව ආයේ මතක් කරන්න පුලුවන්ද , රස වින්දාද වගේ දේවල් ලකුණු කරන්න .
එයින් ගුරුවරියට ලේසියි ළමයාගේ රුචි අරුචි කම් කියවන මට්ටම ආදිය තේරුම් ගන්න .

මන් මේවා කියන්නේ කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල . ළමයි ඉන්න අම්ම තාත්තලාට ගෙදරම වුනත් මෙහෙම වැඩ පිළිවෙලක් හදා ගන්න පුළුවන් . ඒ වගේම ඔබ ගුරු මවක් හෝ පියෙක් නම් පාසලේ මෙවන් ක්‍රමයක් හදාගන්න පුළුවන් .

ඊ ගාවට ඉතින් අපට ඉපදෙද්දී හුස්ම ගන්න වාතය තිබුණ එක ,ලිදේ වතුර තිබුණ එක , නාගරික ළමයෙක් නම් පයිප්පෙන් වතුර ආපු එක ...මේවා පුදුම දේවල් වුනේ නැහැනේ . මොකද ඒවා අපි උපදිනකොටම තිබුන නිසා .
අද ළමයෙක්ට විදුලිය , දුරකථනය , පරිඝනකය අමුතු දේවල් නොවේ . ඒවා ඒ ගොල්ල උපදිද්දී තිබුණ ..හරියට වාතය ,,ජලය වගේ .

හරි මේවා මුකුත් නැති දැකලවත් නැති ළමයි ඉන්නවා . කොටින්ම මන් ගෙදර ගියහම දැක්කා '' අපේ ගුරුතුමා '' කියල වැඩ සටහනක් [ කොච්චර බැන්නත් අන්න ඒ වගේ ඒවත් අපේ රුපවාහිනියේ පෙන්නවා ඉඳහිට ]
ඒ වගේ ගම්මාන වල ළමයි පරිඝනක දැක නැතුව ඇති . ඒ ගැන වෙනම කතා කරන්න ඕන .

මෙය කියවන හැමෝම අන්තර්ජාලය දන්නා නිසා අපි ඒ සිමාවේ ඉඳන් කතා කරමු .

ඉතින් මේ අන්තර්ජාලයේ හොඳ දේවල් තියෙනවා . ඕනෑතරම් හොඳ අධ්‍යාපනික ක්‍රීඩා තියෙනව .

ළමයා කරන්නේ මොනවද කියල දැනගන්න සිමාවේ ඉඳන් අන්තර්ජාලය ළමයට දුන්නට කමක් නැහැ කියල මන් නම් හිතන්නේ .

අවුරුදු 10 පසු වුන දුවෙක් ඉන්න එක එක්තරා විදිහක අභියෝගයක් . යොවුන් වියටත් අයිති නැති ..තව දුරටත් ළමයෙක් කියල හිතන්නත් අකමැති අවදියක් .

මගෙන් කීප දවසක් ඇහුවා ..මුණු පොත පාවිච්චි කරන්න වයස කියන වෙන්න ඕනද කියල . ඒ කියන්නේ එයාගේ සමහර යාලුවන්ට තියෙනව කියල මන් දන්නවා .

ඔන්න මේ වගේ වෙලාවට ළමයින්ට ඕවා ඕන නැහැ කියල කඩා පනින්න හොඳ නැහැ . අපි ටිකක් ඒ ගැන කතා කළා . මොකටද අපි මුණු පොත පාවිච්චි කරන්නේ කියල . එයා එකඟ වුනා දැන්ම අවශ්‍ය නැහැ කියල .

බ්ලොගින් ....

 ළමයින්ට බ්ලොග් හොඳද නරකද ...පහේ පන්තියේ ඉන්න මගේ දුට බ්ලොග් එකක් තියෙනව . එය අධ්යාපනයේම කොටසක් . පාසලේ අධීක්ෂණය යටතේ .

එයාලා කියවන පොත් ගැන පසු වදනක් ලියන්නේ එහි . යම් යම් සීමාවන්  යටතේ අපටත් කමෙන්ට් කරන්න හැකි .

මට තාක්ෂනය ගැන ඒ හැටි දැනුමක් නැහැ . එනිසා මේවා කෙරෙන අකාරය ගැන කියන්න පුළුවන් කමක් නැහැ .

ඒ ඇරෙන්න පාසලෙන් නිතරම අන්තර්ජාල සුරක්ෂිත බව ගැන දෙමාපියන් සහ ළමුන් දැනුවත් කරනවා .

කහ ඉර තිබ්බ පලියට ආවාට ගියාට පාර මාරු වෙන්නට බැරි කම වගේ තමයි . ...කොතනත් අවදානම තියෙනවා .

ඇත්තටම මන් කියන්න ගත්තේ ඔය කිසිවක් නොවේ ..අපේ කුඩා දියණියන්ගෙන් මා ඉගෙන ගන්නා දේවල් ගැන ...හැමදාම .

කුඩා දියණිය ගෙනෙනා කුඩා පොත් වලින් ...ලොක්කි කියවා මගේ කන් පුරවන අපමණ දේවල් වලින්  මගේ දැනුම දින දින වැඩි වන බව කියන්නට .


දිනෙන් දින අලුතින් හිතන්නට මා පෙළඹෙන බව කියන්නට . අද ලොක්කි මට ඊ මේලයක් ඒවා තිබුණ ..

ගස් නගින බුවල්ලෙක් ගැන...

මා මෙවැනි දේ ගැන අසන්නට කැමති බව දන්නා නිසා . මේ දිනවල ඒගොල්ලන්ගේ විෂය මාලාවේ තේමාව ''පෙළඹවීම ''

වෙළඳ දැන්වීම් මිනිසුන්ට බලපාන හැටි ගැන ඉගෙන ගන්නා බැවින් අගනා දැන්වීම සොයා ගෙන එනවා .

මෑතකදී දැක්ක ලස්සනම දැන්වීම තමා මේ .

බබාලාගේ නැපි ගැන කියවෙන්නේ ..හරිම ලස්සනයි .


ඒ වගේම මගේ සිතට හරිම පෙළඹවීමක් කල කුඩා පොතක්




විලි කියන පිරිමි ළමයා මිතුරකුගේ විසුළු නිසා පවුලේ අයගේ ආදරණිය සිප ගැනීම් ප්‍රතික්ෂේප කිරීම ..සහ ඔහුට කෙතරම් ඒ ආදරණිය බව අවශ්‍යද කියා තේරුම් යාම තමයි පොතේ සංක්ෂිප්තය .

මා හරිම ආසාවෙන් කියවපු සහ මැතකදී හිතට ලොකු බලපෑමක් කල පොතක් .

එක වයසකදී අපි හිතනවා හරි දැන් මෙයා ලොකුයි ..සිප වැලඳ ගැනීම් අවශ්‍ය නැහැ කියල . ළමය වුනත් අනික් අය ඉස්සරහ තමන් බබෙක් වගේ සිතයි කියල ලැජ්ජයි .

නමුත් අපි කවුරුත් හැමදාම සිතින් ළමයි ..ජීවිතය පුරාම ආදරණිය සිප වැළඳ ගැනීමකට ආසයි.

එක එක අවදි වලදී සිප වැළඳ ගැනීම ගැන විවිධ අදහස් තිබුනත් ..සමාජමය සංස්කෘතිකමය විෂමතාවන් තිබුනත් මගේ අදහස සියල්ලන්ම ආදරණිය ස්පර්ශයකට කෑදරයි .

එක එක අයගේ පෞරෂය මත විවිධාකාරයේ අදහස් ඔලුවට වැටීම මත යම් යම් පසු බැසීම් තියෙනවා .

සමහරු ලැජ්ජයි . මගේ පොඩි දෝනිය නම් බලයෙන් හෝ තමන්ට උවමනා දේ ලබා ගන්න දන්නා නිසා නිතරම මගේ සිප වැලඳ ගැනීමට ලක්වෙයි ..බාලයා වීමේ වාසනාව .
ලොක්කි මට උවමනා නම් මිසක බලයෙන් සිප ගන්නට ඉල්ලන්නේ නැහැ . නමුත් තාත්තා ගේ ඔඩොක්කුවේ ඉඳගන්නට ඇඟට කකුල් දමා නිදියන්නට .....මගේ ලඟින් තුරුළු වී ඉඳගන්නට ආසා බව අපි දන්නවා .

මේ පොත කියෙව්වාට පස්සේ මට හිතුනා නංගිට වගේම ඈටත් උදේ සවස ආසරණිය සිප ගැනීමක් කලයුතුයි නේද කියා .

එක අතකින් දැනුමින් සිරුරින් උස මහත් වෙද්දී වයසට නොයන ළමයා කොයි කාතුලත් සිටිනවා .

ළදරුවන් සේ අම්මාගේ ඇකයේ රැඳෙන්නේ ඒ ආසාව .

තුරුණු වී පෙම්වන්තයින් වී අතිනත පැටලවී ඇවිද යන්නේ සැමවිටම රාගයම නොවේ . ආදරණිය ස්පර්ශයකට මනසේ සැඟවුන ළමා ආසාව ම බව මට සිතේ .

කවරදාවත් වයසට නොයන ඔබ මා සැවොම සිත කුඩා ළමයෙක් සිටි....

ප. ලි.

ඔබ මා හමුවුන ..
නෙළුම්විල පිපෙන
සියවැනි සියපතයි මේ ..
සොඳුරු කතාවෙන්
මා සිත පිරවූ ..

'' කොළඹින් පටන් ගෙන
ලෝකයේ කොහේ හරි කොනකින්
ඉවර වෙන ..
මගේ වැල්වටාරම් අසා සිටියාට

මා සොඳුරු මිතුරනි ..
ඔබ සැමට ..'

...ස්තුතියි ..

''අලුත් ලිපියක් ලියන්නට
කල් හරි නේද ..
මොකද නොලියන්නේ
ඔන්න තව දෙකක් ලිව්වම සීයයි ''

සද්ද නැතුවම
අකුරක් නෑර කියවන
වචනයක් වත් ඒගැන නොකියන


..මගේ පිය හිමි සඳුනි .

..ස්තුතියි ...

හැමදාම අලුත් දවසක් කොට
ජිවිතය අලුත් කරවන
මගේ මල් වැනි දියණියනි
අලුත් දේවල් ලියන්නට දෙනවාට

ස්තුතියි


''With love and hugs''



[[අක්කේ මට  මේ පින්තුරය දැක්කම නෙළුම්විල මතක් වුනා ..එහෙම හිතල මේ පින්තුරය එවුවේ සිරා ....
ස්තුතියි සිරා ]

Sunday, 27 January 2013

තාර පාර දිග පාට පාට කඩ

 
 
                                                               වර්ණවත් ලැකර් වලින් පාට කල විසිතුරු දේවල් අතර .. එම්බ්‍රොයිඩර් කල සිල්ක් පසුම්බි අත පත ගාමින් පාට පාට කඩ වල ඇවිදින එක තරම් ලස්සන අත්දැකීමක් . ඒ අතට මේ අතට යන මෝටර්සයිකල් ගංගාවේ ඉඩක් හදාගෙන පාර මාරු වෙන කුසලතාවය ලබන්න අවුරුදු කීපයක් ගත වෙනවා . කහ ඉරි නැති රටේ සුදු ඉරි වලට සම්පුර්ණ ජිවන අයිතිය පවරන්න බැහැ. ඇහැක් විදිහට පාර මාරු වෙන  සංකල්පය තමා අනුගමනය කරන්න  ඕන .
 
                         මන් මේ කියන්නේ හැනොයි පරණ ටවුම . පරණ ටවුම කියල මන් සිංහලෙන් කිවේ ''ඕල්ඩ් ක්වාටර් '' එහෙම නැත්නම් ''ෆ්‍රෙන්ච් ක්වාටර් '' කියල හඳුන්වන ඒ මේ අතට විහිදුන කුඩා මාවත් සිය ගණනකින් සෑදුන නගර කොටස .
 
මේ පාරවල නම් සැදී තියෙන්නෙත් විකිනෙන දේවල් අනුව ..සේද කඩ ..සපත්තු කඩ වගේම සෙල්ලම් බඩු වලටත් පාරක් තියෙනවා . මේකෙන් කියන්නේ නැහැ අනික් පාරවල ඒවා නැහැ කියල . නමුත් මුලිකව මේ මේ දේවල් තියෙන කඩ වැඩියි අදාළ පාරේ ..පහසුව තමයි එහෙ මෙහෙ රස්තියාදු නොවී තමන්ට ගන්න තියෙන දේ තියෙන පාරට කෙලින්ම යන එක . ඒ වගේම තමන්ට උවමනා නැති පාරවල් මග අරින එක. ඒ කියන්නේ ළමයි එක්ක යනවා නම් සෙල්ලම් බඩු පාරෙන් නොයා ඉන්න එක .
 
මේ කුඩා විදි එකිනෙකට සම්බන්ධයි දැලක් වගේ . හැබැයි මට නම් තවම ඔය හැම පාරකම යන්න ලැබිලත් නැහැ . මේ ප්‍රදේශයේ තමයි ''බැක් පැක් '' හෝටල් හෙම වැඩි හරිය තියෙන්නේ . ඒ වගේම අර කලින් කි ඉබ්බන්ගේ විල ආසන්නව පැතිරිලා ඇති නගරයේ ලස්සනම කොටසත් මෙයට යාබදයි . ඒ කියන්නේ මේ තමයි සංචාරක ආකර්ශනය ප්‍රධාන වශයෙන්ම . විලට ආසන්නයේ නම් අපේ කොටුව වගේ . පැරණි ප්‍රංශ ගොඩ නැගිලි හරියට අර කොටුවේ කාගිල්ස්
එක තියෙන හරිය වගේ . ප්‍රමාණය නම් සසඳන්න අමාරුයි .
 
ඉතින් මෙයාකාර වැල්වටාරම් කීවට අද මේ පින්තුර ටික තමයි පෙන්නන්න ඉන්නේ . මේ ටික ගත්තේ මගේ වාර්ෂික ගෙදර යාමේ ගමන් නිමිති කොට හැමදාම කෙරෙන විදි සංචාරය වෙලාවේ .
 
මේ පාර නම් මුකුත් ගෙනියන්නේ නැහැ කියන සිතුවිල්ල හැමදාම යන්න ලං වෙද්දී දිය වෙනවා . මේ කඩ වල රස්තියාදු වෙලා මොනවා  හරි එකතු කරන එක පුරුද්දක් වෙලා . යමක් නොදී බැරිම අය ඉන්නවනේ .
ඔන්න ඔහොම ඇවිදිද්දී ගත්තු පින්තුර ටික බ්ලොග් එකේ දමන්න  හිටියට මාස ගණනක් ගත වුනා . මේ පින්තුර වල වෙනම බ්ලොග් එකක් ලියන්න දේවල් තියෙනව එකින් එක ගත්තොත් . ඒ වුනාට මට කම්මැලියි .!!!!!!!!
 
හරක් අං වලින් සාදන ලද දුම් බට . මෙයින් කොහොම දුම් පානය කරනවාද කියා නම් දන්නේ නැහැ .
හැබැයි මේ ගොල්ල දුම් බොන්න නම් රුසියෝ . දවසක් ප්ලාසිටික් හිස් බිම බෝතලයකින් හදාගත් මෙවැනි දුම් බටයකින් දුම් බොනවා දැක්ක ඈත පළාතකදී .
 
මෙය හරක් ඇටයකින් හැදු දුම් බටයක්

 ලැකර් පාට කල චීන බෝනික්කෝ

 කුඩා මේස දරනු





 බම්බු වලින් සාදන ආහාර බඳුන්

 සිල්ක් බහලුම් . මේවා කුඩා පසුම්බි .

මේවාත් බම්බු දිසි

නයි සහ ගෝනුසු වයින් . මේ බෝතල් ඇතුලේ සර්පයින් දරන ගසාගෙනම මිය ගිහින්

 කද ..මෙහි කුඩය එල්ලා ඇත්තේ ලි වලින් . ලනු වලින් නොවේ .

ලැකර් මල් බඳුන් .
 
 වරක් අපේ දියණිය අතින් අපේ අක්කාගේ නිවසේ  ඈට සිසුවියන් තෑගී කල මැටි බඳුන බිම වැටි බිඳුනා .මා මෙයින් එකක් ගෙනගොස් දුන්නේ ආයේ එවන් කරදර නොවෙන්නට

මේ මල් නුලෙන් මසා ඇත්තේ




ආභරණ පෙට්ටියක් . ලොක් එක තමා බත් කුරා



සිල්ක් කුරුල්ලෝ

රුසියන් බෝනික්කෝ
 
 
වරක් මේ බෝනික්කන් ගැන කතාවක් අසන්නට ලැබුනා . තම සොයුරිය එන තෙක් මග බලා සිටි අය්යා කෙනෙක් මේ බෝනික්කන් නිමවූ බවට . නමුත් ජාලයේ කොහේ වත් ඒ කතාව දකින්නට නැහැ . මේ බෝනික්කන් ඇතුලේ එකින් එකට බහාලු කුඩා බෝනික්කන් රැසක් සිටිනවා .
 
මෙවර මෙයින් එකෙක් ගෙනගිය නමුත් දීමට සුදුසු  කෙනෙක් හමු වුනේ නැහැ . මා තෑගී දෙන්නේ ඒ ඒ අයගේ රුචිය අනුව .



මේ කඩය විශේෂයි ..අහම්බෙන් නෙත ගැටුනේ . වියට්නාමය කොමියුනිස්ට් කරණයේදී සහ ඇමරිකන් යුද්ධයේදී නිමවුන පෝස්ටර් [ propaganda posters] මෙහිදී මිලයට ගන්නට පුළුවන් .

 මේ ඉතින් දන්නා කට්ටිය . ඉන්දියන් අවන් හලක්

සිල්ක් ස්කාර්ෆ්
පන්සලක් ...
සාමාන්‍ය ජන ජීවිතය දකින්න නම් මෙවැනි විදි වල ඇවිදිය යුතුමයි . එකක් කිව යුතුය . අප මේ බ්ලොග් වල සටහන් කරන්නේ අප දකින ලෝකයෙන් සහ අත්විඳින ලෝකයෙන් අංශු මාත්‍රයක් පමණි .
මේ සටහන් වලින් කිසිවිටක මේ රට ගැන හෝ මිනිසුන් ගැන 100 %ක් අවබෝධ නොවේ .

මාගේ දෘෂ්ටි පරාසයට හසුවන සහ එයිනුත් මා මට උවමනා තරමට පමණක් ලියන කෙටි සටහන් සහ පින්තුර පමණි මා මෙහි දමනුයේ .

ලෝකයේ කළු සුදු මිනිසුන් නැතුවා මෙන්ම හොඳ නරක කියා ස්ථානද ඇත්තේ සාපේක්ෂව සිතන පතන විදිහටය. එමෙන්ම අප අත් දකින දේ අනුවය .

මගේ දැක්ම අනුව හැකිතාක් හොඳ දකින්නට කැමති නිසා මේ සටහන් බොහෝ විට හොඳ දේ ගැන පමණකි .

Monday, 21 January 2013

ගවුම් පොඩිත්තක් මහලා ඕනද



අපේ දිහා එක එක කාලෙට එක එක දේවල් . සමහර කාලෙට මේගොල්ලන්ට උයන්න ඕන වෙනව . මගේ හට්ටි මුට්ටි ටික සාලෙට එනවා .

හිටිගමන් බෑග් වල රටේ නැති එව්වා පුරෝගෙන ලෝකේ වටේ යනවා . සාලේ සෝපාව තමයි ප්ලේන් එක . නිවාඩු යන්න කලින් දවසේ ගේ මැද්දේ නත්තල් සීයාගේ හිම කරත්තේ හදාගෙන හිටියා ..කොට්ට ටික සේරම අරගෙන .

සමහර කාලෙට සේරම අල්ලල දාල පොත් අස්සේ අතරමන් වෙනවා . ළමයි කියන්නේ අමුතුම ජාතියක් .

ඔන්න ඒගොල්ලන්ට එක පාරටම මහන්න ඕන වෙලා . මන් ළඟ තියෙනවා ඉඳිකටු නුල් බොත්තම් වගේ ඒවා දාපු පෙට්ටියක් . හදිසියකට ඉරුණු එකක් මහගන්න ඕවා ඕනනේ . කාලෙකට කලි අපේ නැන්දම්මා ඇවිත් හිටියා . එයා තමා නියමාකාරයෙන් මැහුම් පෙට්ටියක් හදල දීලා ගියේ.  සමහර අය ඉන්නේ ඉඳිකටුවයි නුලයි අතේ අරන් උපන් අය . එයා අන්න එහෙම  කෙනෙක් . .


මටත් පොඩි මැෂිමක් තිබ්බ

 වටිනා උපකරණ මොකට නාස්ති කරනවද කියල හිතල මන් ඒක කබඩ් එකකට දාල තිබ්බා .

ඔන්න මෙයාලා මහන්න ඕන වෙලා මට කිව්වා කියල දෙන්න කියල . කොච්චර ආස නැති වුනත් ඔය පොඩි මලක් මහන්න ..වාටි මහන්න ,..බොත්තමක් අල්ලන්න ...ඉරුණු එකක් ප්‍රතිසංස්කරණය කරන්න වගේම නැටි , දම්වැල් , බ්ලැන්කට් වගේ මැහුම් ජාති ටිකක් මාත් දන්නවා .



[ඒ කාලේ ගිරවු දෙන්නෙක් ඉන්න කොළ පාට ටොෆි පෙට්ටියක් තමයි මැහුම් පෙට්ටිය වෙලා තිබුනේ .]



ඒ ඉතින් සම්පුර්ණයෙන්ම ප්‍රාථමික  අධ්‍යාපනයේදී අපට අනිවාර්යයෙන් මැහුම් කියල විෂයක් තිබුන නිසා .

තුනේදී හතරේදී වගේ මට මතකයි ලේන්සුවක් ..ටි පෝ කවරයක් වගේ ඒවා මහන්න සිද්ධ වුනා . ඒවායේදී එක එක මැහුම් වර්ග ඉගෙන ගත්තා . බ්ලොක් හදලා පොඩි ඇඳුම් වගේ ඒවා මහන්න පටන් ගන්න කාලේ වෙද්දී මට එපා වුනා.


මැෂින් එක මට හරිම හොඳ සෙල්ලම් බඩුවක් වුනා විතරයි. කැරකෙන රෝදේ කරකවලා අපි හරිම සතුටක් ලැබුවා .



සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ කරලා ළමයි ගෙදර ඉන්න කාලයක් තියෙනවනේ . ඒ කාලවලදී ගැහැණු ළමයි මැහුම් පන්ති කුකරි පන්ති හෙම ගිහින් ඕවා ඉගෙන ගන්නවනේ ඒ කාලේ .


හැබැයි මන් එහම ගෙදර ඉඳලම නැහැ . එකක් රටේ තිබ්බ තත්වේ අනුව විභාග තිබ්බේ අමුතු අමුතු කාලවල. ගෙදර ඉන්නයි කියල කාලයක් තිබුනේ නැහැ .

හැබැයි පසු කලෙක සිංගර් එකේ මහන්න ඉගෙන ගන්න කියල එක දවසක් ගියා .ඊ  ළඟ සතියේ රැකියා පුහුණුවකට යන්න වුනා .


ඔන්න  ඔයාකාරයෙන් මගේ මැහුම් අධ්‍යාපනයට තිත වැටුන . අපේ අම්මට හොඳට මහන්න පුළුවන් නිසා අපට ඉගෙන ගන්න ඕන කමක් තිබ්බෙත් නැහැ .

ඔන්න ඔය කාලේ මට අහන්න ලැබුණ රෙදි පින්තාරු කරන පාට ගැන . ඔය වැඩේ නම් මට සැහෙන්න හිතට ඇල්ලුවා .
අම්මට කියල කොට්ට උර බෑග් එහෙම මස්සගෙන ලස්සන චිත්‍ර පින්තාරු කරලා යාළුවන්ට  විකුණුව.
මගේ දුලගේ ළදරු ඇඳුම් පොඩි වල වැඩියම තිබුනේ පාට කල චිත්‍ර .



ඒ කර්මාන්තෙත් එහෙම්ම අභාවයට ගියා . අපේ කාලේ වෙද්දී කඩෙන් ඇඳුම් අරන් අඳින්න පුළුවන් කම ආවනේ . මහන්නේ මොකටද .

කසාදෙන් පස්සේ නැන්දම්මා උත්සාහ කළා මහන්න උගන්නන . ඒ වුනාට පිහිටන්නේ නැති දේවලුත් තියෙනවනේ කොච්චර වුනත් .

අපි ඉස්සර නවකතා වල දැකල තියෙන්නේ ආදරය කරන කාලේ කෙල්ල තෑගී දෙන්නේ අතින්ම මහපු ලේන්සු . ලේන්සු වලට ගිහින් තියෙන කලදසාව ගැන කල්පනා කරන්න වටිනවා .

අපේ රටේ නම් තවම ලේන්සු පාවිච්චි වෙන බව පෙනෙනවා . මේ රටේ නම් ලේන්සු නැහැ වගේ . කඩදාසි ලේන්සු පාවිච්චි කළා විසිකලා .

කොරියන් කතාවල කෙල්ල හඬන කොට කොලුවා සාක්කුවෙන් ලේන්සුවක් අරන් දෙනවා කඳුළු පිහාගන්න . වැඩිය ආදරේ නම් එයාම කඳුළු පිහිනවා .

පිරිමි විතරද දැන් ලේන්සු පාවිච්චි කරන්නේ කියල හිතෙනවා මට .

හරි ඉතින් පොඩ්ඩක් පාරෙන් පිට ගියා .

ඔන්න අපේ ළමයි මහන්න ඕන වෙලා මට කරදර කරලා ටිකක් ඉගෙන ගත්තා . දැන් වැඩේම මහනවා .කි දවසකටද දන්නේ නැති වුනත් මන් මේ කල්පනා කරන්නේ පරම්පරාවක් මග ඇරලා ආච්චිලාගේ ජාන මේ ගොල්ලන්ට ඇවිත්ද කියලයි.

මොකද අපේ ආච්චිලා දෙන්නම මැහුම් ගෙතුම් කරනවා මම  දැකලා නැහැ . අම්මගේ අම්මා මැහුම් ගෙතුම් කලේ නැහැ . නමුත් අපේ අම්මා ඒවාට ආසයි . තාත්තගේ අම්මා එහෙම දේවල් කරනවා දැක නැහැ . හැබැයි එයා පොත් ගුල්ලියක් . නැන්දලා නම් ඉන්නවා හොඳට මහන්න දන්නා .
 ඒ හින්දා ආච්චිලා අද හිටියා වුනත්


'' මොනවද දුවේ ඔය ටුක් ටුක් ගගා අකුරු කොටන වෙලේ මැහුමක් ගෙතුමක් කළා නම් නරකද'' කියයි කියා බයක් වෙන්න නම් ඕන නැහැ .

අනික් අතට පරිසරයෙන් කිසිම බලපෑමක් නැතුවත් ස්ත්‍රියට පොදු යම් යම් ලක්ෂණ කවද හරි දවසක මතු වෙනවා නේද ,

නඟා  හිස පැත්තට හරවාගෙන දිවත් විකාගෙන මල් මහනවා . අක්කා වැඩිය කැමති ඉරුණු ඒවා පිළිසකර කරන්න .

හැබැයි හෙට අනිද්දා මැහුම් පැත්තකට දාලා මේ දෙන්නා වෙන මොකක් හරි කරන්න ගත්තත් මගේ නම් පුදුමයක් නැහැ . ඒ ළමයින්ගේ හැටි .



Saturday, 19 January 2013

තුන් කොන් ආදරේ ලිප් ගල් තුන සේමා ......



එලියට බහින්නට නොහිතෙන තරම් පරිසරය සීතලයි . ශිතාධික රටවලින් ආ මිනිසුන්ට සහ මේ පළාතේ වැසියන්ට නම් එතරම් ගණනක් නැතුවා වගෙයි . කට්ට සීතලේ පාපන්දු සෙල්ලම් කරන තරුණයින් රාත්‍රී 10 11 වෙනකම් සෙල්ලම් කරනවා .

මේ මිනිස්සු කාලගුණ වෙනස්කම් ගැන බොහොම සැලකිලිමත් . ජනේලෙන් බලල මට කියන්න පුළුවන් කොච්චර සීතලද කියල කාලගුණ අනාවැකි නොබලාම . ඒ ඔවුන් අඳින ඇඳුම් දිහා බලල . යන්ට්ගම් සිතල වෙද්දීම හොඳට ඔතාගෙන එලියට බහින්නේ . එකක් ගමන බිමන මෝටර් සයිකලයෙන් නිසා සිතල සුළඟින් ආරක්ෂා වෙන්න ඕන විශේෂයෙන්ම . අනික් අතට නිදහස් බෙහෙත් හේත් නැති නිසා ලෙඩ නොවී ඉන්න එකත් සැහෙන්න වැදගත් සාක්කුවට .


ඒවායින් වැඩක් නැහැ ඉතින්. අත්‍යාවශ්‍යම දෙයකට මරන්න යනවා වගේ යන්තමට එලියට බහින උග්‍ර නිවර්තන වාසි සත්ව ඝනයට අයත් මම සතුව සැහෙන වෙලාව තියෙද්දිත් බ්ලොග් එක නොලියන්නේ මොකද කියල මන්ම කල්පනා කළා . ඔන්න ලියන්න ගන්නවා . වෙන බ්ලොග් දෙක තුනක් කියවනවා . ලියන එක අමතකයි . ආයේ අට නවය වෙද්දී ගෙදර වැඩ ඉවර නම් කෙල්ලොත් එක්ක බ්ලැන්කට් එක අස්සට රිංගා ගැනීම තමයි පරම පැතුම .


ළමයි නිදි කරන්න කියල ගියාට ආයේ මන් නම් උදේ වෙනකම් ඇඳෙන් බහිනවා බොරු . ඉතින් කවුද බ්ලොග් එක ලියන්නේ .

නිදහසට කාරණා මදැයි . අද නම් ස්ථිර චේතනාවෙන් ඉඳගත්තේ මොනව හරි කොටලා මිසක් නැගිටින්නේ නැහැ මෙතනින් කියල .

ගිය අවුරුද්දේ ලියපු ''කාප් මසෙකු පිට නැගී දෙවියන් දෙව් ලොව යති '' ලිපිය මතකද මන්දා . මට නම් මතකයි ..මම නේ ලිවේ .

එතන කියපු ලිප ළඟ දෙවියා ගැන කතන්දරේ අද උදේ සඟරාවක තිබිලා කියවන්න ලැබුණ . මෙන්න ඉතින් ඒ කතාව .

කියන විදිහට එක දෙවි කෙනෙක් නෙමේ තුන් දෙනෙක්ම ඉන්නවලු .

මේ දෙවි වරු අවුරුද්ද පුරාම ගෙදර උන්දලාගේ ගති පැවතුම් ගැන බලා ඉඳල හෙට අනිද්දා උදාවෙන මේගොල්ලන්ගේ අවුරුදු කාලෙට කාප් මාලුවෙක්ගේ පිටේ නැගල දෙව්ලොව ගිහින් දෙව් රජතුමාට සම්පුර්ණ වාර්තාව දෙනවලු .

ඔන්න එකමත්  එක කාලෙක ..[ඔව් මෙහෙත් තියෙන අටෝ රාශියක් ජනකතා පටන් ගන්නේ එහෙමයි .]

හිටියාලු ඉතාම දුප්පත් තරුණ යුවලක් . අනුන්ගේ ගෙවල්වල මෙහෙවර කරලා දුක සේ කන්න වේලක් සොයා ගත්ත මේ දෙන්නා හරිම සමගියෙන් සතුටින් ජිවත් වුනාලු . කොටින්ම රත් කරගත්තු දේ කන්නවත් කල්පනාව නැහැලු ආදර ගී කියමින් ඉන්නකොට .

මෙතරම් ආදරෙන් ඉඳිද්දී එක කාලයක මහා නියගයක් ඇවිත් වතු පිටි පාලු වෙලා ප්‍රදේශයම අහේනියට පත් වුනාලු . මේ දෙන්නට වැඩක් පොලක් සොයා ගැනීම අසීරු වුනා .

සැමියා කල්පනා කළා වෙන පළාතකට ගොසින් රැකියාවක් සොයා ගන්න . බිරිඳ තමා සමග ආවොත් දුක් විඳින්න වේය කියල තමන් තනියම යන්න තීරණය කළා . බිරිඳ මේ ගැන අකමැති වුනත් සැමියා තදින්ම කියා සිටි නිසා නතර වෙන්න සිදු වුනා .

සැමියා බිරිඳට කිවේ වසර තුනකින් තමා ආපසු නාවොත් මියගොස් ඇති බව සිතා වෙන විවාහයක් කරගන්න ලෙස

ටික දිනකින් කාන්තාවට  පොහොසත් නිවසක රැකියාවක් ලැබෙනවා . කෙමෙන් කෙමෙන් දුර්භික්ෂ තත්වය ප්‍රදේශ වාසීන්ට අමතක වෙනවා . දැන් සියල්ල සාමාන්‍යයි .

අසරණ කාන්තාව මග බලා ඉඳ වසර තුනක් ගෙවෙනවා . මේ අතර නිවෙස් හිමියාගේ බිරිඳ මිය යනවා . ඔහු අර කාන්තාව සරණ පාවා ගන්න කැමති වෙනවා .
නමුත් ඇය තව වසර තුනක කාලයක් බලා ඉන්නට අවශ්‍ය බව කියනව .

තව වසර තුනක් ගත වෙනවා . සැමියා පැමිණෙන්නේ නැහැ . දැන් නම් ඔහු මියගොස් දැයි ඈට සිතෙනවා .

නමුත් වසරක් වැළපීමට ඕනා බව කියා නිවෙස් හිමියාගෙන් කල් ඉලා ගන්නවා . තව වසරක් ..[දැන් වසර හතක්ම ගෙවී ගොස් ] බලා සිට අපමණ වේදනාවෙන් ඈ නව හිමි සරණ යනවා .

අවාසනාවක මහත. ..විවාහයෙන් ටික දිනකට පසු ඔහු ගමට එනවා .

කාන්තාව බොහෝ පසු තැවෙන්නේ තව ටික දිනක් ඉවසුවේ නැති බවට තමන්ටම චෝදනා කරමින්..

නමුත් පැරණි සැමියා නව යුවලට ආශිර්වාද කරනවා . නමුත් යන එන මන් නැති ඔහු පසු දින එල්ලී මිය යනවා .
මේ අසන කාන්තාව දියේ ගිලි මිය යනවා . දෙවෙනි සැමියාද ශෝකය නිසා දිවි තොර කරගන්නවා .

තිදෙනා ම දෙව් රජු හමුවට යැවෙනවා .

දිවි නසා ගැනීමට හේතු විමසීමේදී මොවුන්ගේ එකිනෙකාට තිබු ආදරය ගැන පැහැදිලා දෙව් රජතුමා ඔවුන්ට විශේෂ වරයක්  දෙනවා .

ඒ තමයි ලිප් ගල් තුනක් බවට පත් කිරීම . දර දැවෙන විට ඒ රස්නයෙන් ඔවුන්ගේ ආදරය උණුසුම් වෙන බවත් සැමදාම තිදෙනාට  එකට සිටීමට හැකි වෙන බවත් ඔහු සිතනවා .

මෙයට අමතරව මුළුතැන් ගෙයි දේව තනතුරද ඔවුනට පිරිනැමෙනවා .

මොවුන් තමයි කාප් මාළුවන් පිට නැගී අවුරුද්දට දෙව්ලොව යන්නේ . නැවත එන්නේ දෙවියන්ගේ ආශිර්වාදයත් සමග .



ලිප නිවාඩු යන අපේ අවුරුදු සිරිත් සමග මේ සිරිත් කොපමණ ගැලපේද .

 යලිත් කියන්නට වෙන්නේ ලෝකයේ මිනිසුන් සිතන පතන දේවල් සමපාත වෙන අපුරුව නිතරම මසිත චමත්කාරයට පත් කරන බවයි .

Saturday, 12 January 2013

ලේනෝ ලේනෝ මේ දත අරගෙන ...



අපේ පොඩි දෝනිගේ කිරිදත් දෙකක් දත් දොස්තර ලවා ගලවා දමන්නට සිදුවිය . ඒ දත් වලට පිටුපසින් අලුත් දත් මෝදු වන්නට වූ බැවිනි .

සෙලවෙමින් තිබුණ උඩු ඇන්දේ දත් දෙකක්ම වැටි ඈගේ දඟකාර මුහුණට අහිංසක සුරතල් බවක් ලැබී ඇත .

එයින් එකක් වැටුනේ සියලාගේ ගෙදරදීය . දත ලේනාට දෙන්නයි නොයෙක් උපදෙස් ලැබුනද මගේ දත දමා යන්නට බැරි යයි කියමින් එය රැගෙන ආවාය .

අනෙක් දත ඊයේ පාසලේදී වැටුන බැවින් හෙදිය ප්ලාස්ටික් බෑගයක දමා  දී තිබිණි .. ඇයටත් කුඩා මිතුරු මිතුරියන්ටත් මේ වයසේදී දතක් වැටීම යනු එක විදිහට වීර කමකි . වැඩිපුර දත් වැටීම යම් ලෙසකින් අන් අයට වඩා ''ලොකු '' බව පෙන්වන ලක්ෂණයක් ලෙස සිතන බවත් පෙනේ .

'ලේනෝ ලේනෝ මේ දත අරගෙන කැකුළු දතක් මට දියෝ දියෝ ''

අප වැටුණු කිරි දත් වහලයට විසිකර දැමුයේ ඒ ගීතයද ගයමින් බව මතකය . අදත් අපේ රටේ  දරුවන් එසේ කරනවා ඇතැයි මම සිතමි .

බටහිර රටවලින් පැමිණි ළමෝ  නම්  කොට්ටය යට තබන දත, දත් සුරංගනාවිය රැගෙන  මුදල් ත්‍යාගයක් තබා යන බව සිතා සිටිති .

වෙන වෙන සුරංගනාවන් සිටින බව ඉත සිතින් පිළිගත් මගේ පොඩ්ඩන්ට  මේ දතේ සුරංගනාව ගැන නම් එතරම් පිළිගැනීමක් නැත .

කොරියන් මිතුරියක් කිවේ ඔවුන්ද දත් ලේනාට දෙන බවය . ඒ අසා අනෙක් රටවල් කෙසේ කරන්නේදැයි සොයා බලනට ආසාවක් ඇති විය .

ජපානයේ සහ කොරියාවේ අප මෙන්ම ලේනාට විසී කිරීම හෝ නිකන්ම වහලයට විසි කිරීම සිදුවේ . උඩු ඇන්දේ දත් බිම් මට්ටමින් විසි කරන අතර යටි ඇන්දේ දත් වහලයට උඩින් විසි කෙරෙත් .

එහි තේරුම උඩු ඇන්දේ දත් පහලට කෙලින් වැඩිම සහ යටි ඇන්දේ දත් උඩු අතට වැඩිම වේ .

වියට්නාමයේදී සියලුම දත් වහලයට උඩින් විසි කෙරේ .

ඇමරිකාව ඇතුළු බොහෝ රටවල ''ටුත් ෆෙයරි '' හෙවත් දන්ත සුරංගනාවගේ සංකල්පය බිහි වී ඇත්තේ ප්‍රංශ අභාශයෙනි . එහිදී මියෙකු සුරංගනාවක් වූ බවට කියවේ .


කම්බෝජියාවේදී උඩු ඇන්දේ දත් වළලනු ලබයි . යටි ඇන්දේ දත් වහලයට විසි කෙරේ .

තුර්කි දෙමාපියෝ  තම දරුවාගේ මතු දියුණුව උදෙසා අදාළ ස්ථාන වල දත් වළලති .

උදාහරණයක් ලෙස තම දරුවා දොස්තර කෙනෙකු කිරීමට අවශ්‍ය නම් දත රෝහල් බිමක වැළලීම සිදුවේ .

හොඳ වෙලාවට අපට ඒ පුරුද්ද පැමිණ නැත්තේ .

මොන්ගෝලියාවේ ළමෝ  දත බල්ලන්ට කෑමට දෙති . බල්ලා ශක්තිමත් සතෙක් ලෙස සැලකීම එයට හේතුව වේ .

නයිජීරියාවේ කිරි දත් ඒමේදී තෑගී පිරිනමන අතර වැටුණු කිරි දත් අට්ටාලයේ සඟවයි . මියන්ට නොකන ලෙස ගීතයක්ද ගයමින් .

ඇතැම් රටවල වැටුණු දත් රන් ආලේප කොටඅබරණ සාදයි . ඇතැම් විට වටිනා වස්තුවක් මෙන් සුරකියි .

බොහෝ විට ලේනා සහ මියා දත් වල භාරකරුවන් ලෙස සලකන්නේ ඔවුන්ගේ ශක්තිමත් දත් නිසා බවයි මගේ හැඟීම .

එමෙන්ම සුළු සුළු සිද්ධීන් සමග ඈත එපිට සංස්කෘතීන් වල එක සමාන ලක්ෂණ ගැන සොයා බැලීම අපුරු කටයුත්තකි .

එකම මුලයකින් ඇරඹි ලෝක ගෝලය පුරා විසිර ගිය මානවයා ජිවිතයේ බොහෝ අවස්ථාවන්වලදී එකම ලෙස සිතීම අපුරු නොවේද .....



ප..ලි.

වැඩිමනක් කියවීමට අවශ්‍ය අයට ...

http://suite101.com/article/the-tooth-fairy-and-other-legends-a52923

http://www.netlaputa.ne.jp/~tokyo3/e/teeth_e.html




Friday, 4 January 2013

වරද නුඹෙයි උන්ගේ නොවේ



ගේ දොර ලස්සනට තියන්
උයන් පිහන් ළමයි බලන්
රස්සාවක් කලත් ඉතින්
ඉක්මනටම ගෙදර ඇවිත්

පාරේ තොටේ ගියත් දුවේ
යනව නෙමේ කොටට ඇඳන්

වැඩිය ඉගෙන ගන්නෙ
 මොටද
හයට කලින් ගෙදර වරෙන්

හෙට බැන්දත් කොල්ල එක්ක
බයිස්කෝප් නොබල ඉඳින්

අතවරයට ලක් වුනොතින්
වරද නුඹෙයි
''උන්ගෙ නොවෙයි ''


දුෂණය වී අමානුෂික වද වේදනා විඳ මියගිය අසරණ යුවතිය ..ඔබ ගැන ලියන්නට වචන කොපමණ තිබුනත් මදිය . ඔබ පලමුවෙනියාද අන්තිමයාද නොවෙන එක එයටත් වඩා අවාසනාවකි . රත්මලානේදී සිඟිත්තන් දෙදෙනා සමග ගිනිබත් වූ තරුණ මව . පසුගිය ටිකේම ඔවැනි කතන්දර තමා අසන්නට ලැබුනේ .
ඒ අතරේ තලෙබාන්ලා ඉන්නේ ඇෆ්ගනිස්තානයේ පමණකි කියා අපට සැනසෙන්නට හැකිද . එක්තරා ආචාරියෙක් සිංහල ගැහැණු ළමයිනුත් බුර්කාව ඇන්දොත් හොඳ යයි කියා තිබිණි . එනපොට හොඳටෝම හොඳ නැත .
අරාබි වසන්තයේදී කරට කර සිටි විදි බැසි කාන්තාවෝ අද වන විට විදි වලින් අතුරු දන්ව ඇති බව කියවන්නට ලැබිණි . එම සඟරාවේම අපේ පාර්ලිමේන්තුවේදී එක කාන්තා මන්ත්රිවරියකට පිරිමි ඇමැත්තෙක් කල අපහාසයක් ගැනද ලියවී තිබිණි . දේශපාලන දැක්ම කෙසේ වුවත් මන්ත්‍රීවරියක් නම් අතිරේක අපහාස හිමිවේ .

එක බිත්තරයක් තිබුනත් එය තම්බා හතරට කපා දුන්නා මිස කොල්ලන්ට පමණක් බත් පත අස්සේ හංගා කන්නට නොදුන් අපේ අම්මා කාන්තා විමුක්තියේ පලවෙනි පාඩම කියාදුන්නාය .

කොතරම් කරදරකාරී සමාජයක් වුවත් අපේ පරම්පරාව අපේ අම්මලාගේ පරපුරට වඩා කාන්තා නිදහස අත්විඳි පරපුරකි . කාන්තා පාසලක වුව පිරිමි පාසල් සමග උරෙන් උර ගැටී සමිති සමාගම් වලදී ,,කළා උළෙල විද්‍යා දිනයන්හිදී අප කටයුතු කළෙමු . දහම් පාසලේ ගැහැණු පිරිමි බේදයක් නැතුව උගත්තෙමු . අපේ පාසල ඉතාම ජන විවිධත්වයකින් යුක්තවිය . සිංහල , බොදු . කතෝලික , මුස්ලිම් දෙමළ කෙල්ලන් අපුරුවට එක ගොඩේ සෙල්ලම් කළෙමු . මුස්ලිම් ගැහැණු ළමුන් ගවුමත් කලිසමත් ඔලුව උඩින් දැමු සුදු රෙදි කඩක් [ වැඩිවිය පැමිණි පසුව ] ඇන්ද අතර මැලේ මුස්ලිම් ළමුන් සාමාන්‍ය නිල ඇඳුම පමණි . . ඔලුව වසාගෙන ආ රෙදි කඩ අර ළමයින්ට මතක් වෙන්නේ ගෙදර යද්දීය . අද වන විට ඒ බොහෝ මිතුරියන් එක්කෝ පිටරටවලට සංක්‍රමණය වෙලාය . නැත්නම් යම් යම් රැකියාවල නිරත වේ ..

සමාජයක් යායුත්තේ ඉදිරියටය . පසුපසට නොවේ . යම් යම් කාරණා නිසා අප සමාජය ආපස්සට යන බව මට නම් සිතේ . දියුණුව ඇත්තේ රටක ගොඩනැගිලි වල උස මත වත් ටෙලි ෆෝන් කම්පියුටර ගණන මතමත් නොවේ .

මගේ මිම්මට අනුව නම් ගැහැණු පිරිමි එකසේ සිතන සමාජයක් දියුණුය කියාය . එනම් විමුක්තිය පතා විදි වල කෑමොර දීම නොවේ . දෙගොල්ලන්ම දෙපාර්ශවය  දෙස ගරුත්වයෙන් බැලීමය .

මගේ වෙනත් රටවල මිතුරියන් නිතරම අසන ප්‍රශ්නයක් තිබේ . ඒ වියට්නාමයට වඩා ලංකාව දියුණුද කියාය .
කවදාවත් මට හරි හැටි පිළිතුරක් දෙන්නට බැරිවිය .

ඕනෑම ඇඳුමක් ඇඳගෙන ඕනෑම රාත්‍රියක ගැහැණු ළමයෙක්ට මගතොට යාමේ නිදහස අතින් නම් වියට්නාමය අපට වඩා සැහෙන දියුණුය . අප හෙළුවෙන් පාරේ යා යුතුය කියා නොවේ මා කියන්නේ . තැනට ඔබින පරිදි විලි වසා ගැනීම අවශ්‍ය බව මමද අදහමි .

එහෙත් එය තම තමාගේ කැමැත්ත මතය .

කොයි සමාජයේත් යම් යම් තලෙබන්ලා සිටිති .

සමාජයේ කුඩාම නියැදියක් වන සයිබරය තුලද එසේමය . ගැහැණු  බ්ලොග් ලියද්දි විශේෂයෙන් පරිස්සන් වෙන්න ඕනා වේ .

පොඩි කොනක් අල්ලාගෙන පහර ගසන්නටද . හැකි නම් බ්ලොග් ලිවිල්ල එපා කරවන්නටද මේ තලෙබාන්ලා පසුබට නොවේ .
එසේ එලවා දමන ලද එක අයෙක් ගැන අද පවා විහිලු තහළු කර අමන වින්දනයක් ලබති . මලාලට වෙඩි තැබූ තලෙබාන්ලා සහ මොවුන් අතර වෙනස් කමක් මට නම් නොපෙනේ .

කොහේ හෝ දමන කමෙන්ටුවකින් කෑල්ලක් හෝ කොපි කර පොදු නාන ලින් ළඟ කුණු අපුල්ලන්නට මොවුන් හරිම කැමතිය .

ගුවන් යානයක යාම සුපිරි වැඩකි . අප හැමෝටම ජිවිතයේ විවිධ කඳු පල්ලම් හමුවේ . දුක් කරදර මෙන්ම සතුටු අවස්ථාද තිබේ . ඒවායින් අප ලියනුයේ අපට කැමති දේ පමණකි . මා මගේ දුක් කරදර ලියන්නට අකමැතිය . ලෝකයට ඇති තරම් පරශ්න තිබේ අපේ ප්‍රශ්න අවශ්‍ය නැත . එපමණකින් මේ තලෙබාන්ලා සිතන්නේ අප අමුතුම සතුන් ලෙසය .

අප ගුවන් ගමන් යන්නේ අපේ අධ්‍යාපනය නිසා ලැබුන රැකියාවන් නිසා මිස කාගෙන්වත් හොරකම් කර නොවේ . අප කජු කිරි අවධිය පසුකොට ආ බැවින් අප සමග සිටි හිත මිතුරන්ද අද වන විට විවිධාකාරයේ තනතුරු වල සිටිති. මගේ පාසල් මිතුරු  මිතුරියන් අතර නීති වේදීන් දොස්තරලා , ගුරුවරුන් පත්තර කලාවේදීන් ..මෙන්ම ගෘහනියන්ද සිටිති . එය මගේ වරදක් නොවේ . ඔවුන් ගැන යමක් කි පමණින් මා අමුතු සතෙක් වේද .

පිරිමි බ්ලොග් කරුවන් අතරද නෙක අපවාදයන්ට ගොදුරු වුවන් සිටිති,. . මා මේ කියන්නේ වෙසෙසින් කාන්තා පරපුර ගැනය .
මොවුන් අප අතරම හොඳ මුහුණ පෙන්වමින් සිටින අය විය හැක . කනගාටුව එයයි .

සතුට වන්නේ මේ අතලොස්සක් තලෙබාන්ලා අතර වැඩිමනක් හොඳ මහත්වරුන් සිටිනු දැකීමය .

ගැහැණු ළමයිනි
ලියන්නට නම් බ්ලොග් එකක්
අරන් එන්න කබර හමක්
යකඩෙන් සැදු සිතක් එක්ක


ප.ලි.

කාටහරි මා ලියන දේවල් ගැන ප්‍රශ්නයක් ඇත්නම් මෙතනම ඒ ගැන කතා කරන්න තමයි මේ ලිපිය ලිව්වේ .

ආයේ අනුන්ගේ තැන්වල කතන්දර නොකියා . කමෙන්ට් මොඩරේට් කරන්නේ ඒ කියන දේවල් සභ්‍ය ලෙස පමණක් කීමට ඉඩ දීමටයි .

කරුණාකර මගේ සුහද සගයින් මේ ගැන කලබල නොවන්න . හුඟ දවසක ඉඳන් කවුරු හරි කෙනෙක් කතන්දර බ්ලොග් එකේ එක එක ඇනුම් පද කියා තිබුන . කතන්දරට පුද්ගලිකව කිවත් ඔහුට ඒවා පාලනය කිරීමට අපහසු නිසා ඒ තැනැත්තාට මා කාරුණිකව කියනව මෙතන කියන්න මා ගැන ඔබට ඇති අරෝව මොකක්ද කියල .

ඒ වගේම දැනුවත්ව කිසිවෙකුට වරදක් කර නැතත් මගෙන් නොදැනුවත්ව යමෙක්ට වරදක් වුනි නම් ඒ ගැන සමාවද ඉල්ලන බව කියන්න ඕන .

Tuesday, 1 January 2013

හරිම බරැති වචන තුනක්

''ලංකාවට ගිහින් ආමි  . ''
ලෙහෙසි පහසු වචන තුනේ වාක්‍යයකි


දුවල පැනල එකතු කරපු
සුට්කේස් පහේ තියෙන
කිලෝ අනු නමයට නම් වඩා වැඩියි
පොඩ්ඩක් හරි ..

වචන  තුනේ බර කිරුවොත්

එල්ලා ඇති බරට බරේ
 හමු වන්නට දුන් පොරොන්දු

එක වචනෙක අමුණා ඇත
අම්මලාගේ කඳුළු බින්දු

තුත්තිරි වාගේ ඇලවී
ගලවා ගනු බැරුව ගිහින්

''අනේ අපිව අරන් යන්න ''
යයි කිය කිය

පරණ පාරවල යනකොට
වැටිල තිබුන පරණ මතක



''ලංකාවට ගිහින් ආමි ''

හරිම බරැති වචන තුනකි