Wednesday, 13 March 2013

අතීතයෙන් මල් අහුලන වසන්තයේ

සිතල අහවරයි . ඇවිදින්න යන්න හොඳ කාලේ . හිතුනම උදේට වැව වටේ රවුමක් යනවා . මේ ඉතින් වසන්ත කාලය . සිතල කාලය ඉවර වෙලා මෙහෙ අවුරුදු සමයේදී වැඩියම දැක්කේ පිච් මල් . තද සිත සමයේ තිබුනේ රෝස වගේ මල් වර්ග වැඩිපුර .

වසන්තයේ උදාවත් එක්ක නම දත් සහ නොදත් බොහෝ මල් වර්ග දාගත්තු මල් කුඩා බයිසිකල පාර පුරාම .

රෝස ඩේලියා දන්නා මල් . නම දන්නේ නැති පාට පාට මල් දැක්කම දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි .


 ඒ වගේම තැන තන වවලා තියෙනව ලෝකේ තියෙන ලස්සනම පාට වල මල් . දාස් පෙතියා , සිනියාස් , කපුරු .......කුඩලු වර්ග ...සුරිය කාන්තා මල් ...

දැක්ක තැනක මල්වල පින්තුරයක් ගන්න එක සතුටක් . ඒ මල් නෙළුම්විලේ අයිනේ හිටවන්නමයි හිතෙන්නේ .

කලින් ලියාපු වැව ගැන මතකද . ඒ වැව ගාව වසන්ත උදානයේදී මලින් සරසලා තිබුණ . රාත්‍රියේදී විවිධ වර්ණයේ බකට් සහ වර්ණවත් විදුලි එලි වලින් ලස්සන කරලා තිබුණ . මල් වල ලස්සන බලන්න දවල් වෙනමම ගියා .



මේ නම් මල් කඩනවද කොහෙද ....




සොබාදහම කියන්නේ පුදුම දෙයක් . ටිකක් කල්පනාවෙන් හිතුවොත් හරිම පුදුම දේවල් දකින්න පුළුවන් . නිවර්තන රටක් වුන අපේ මල් හුඟක් සුවඳයි . හේතුව මොකක්ද දන්නේ නැහැ . පාට පාට හුඟක් තිබුනට මේ කාලයේ පිපෙන මල් එච්චර සුවඳක් නැහැ .

කොබෝලිල...
කැළණි පන්සලේ කොබෝලිල ගස් ගොඩාක් තිබුණ මතකයි

බිම වැටුන කොබෝලිල

ජම්බෝල මල් ..මේ මල් නම් හරිම සුවඳයි

ඩේලියා


සුවඳ හමන මල් මෙහෙ පිපෙන්නේ ගිම්හාන කාලෙට . රස්නයයි මල් වල සුවඳයි අතර මොකක් හරි අපුරු සම්බන්ධයක් තියෙනවද මන් දන්නේ නැහැ .

මේ මල ඉඟුරු පවුලට අයිති එකක් කියලයි කෙනෙක් මට කිවේ . ඉඟුරු වගේම මේකේ අලයත් යම් යම් දේ වලට ගන්නවලු .

 
 
අහන දකින නහයට දැනෙන ඕනෑම දෙයක් ඔස්සේ අතීත මතක ඇත්නම් ඒ දේවල් දැනෙනවා වැඩියි . හරියට අර ජමනාරන් කතාවේ කිවා වගේ .

අපි හොඳට ගහකොළ ඇසුරේ හැදුන ළමයි . මලක් ගහක් කොලක් කියන්නේ අපේම ජිවිත වල වෙන් කරන්න බැරි දේවල් .

අපේ ගෙදර අම්මයි අය්යයි මල්ලියි ගස් වැවීමට අත්ගුනේ ඇති අය . අක්කයි මමයි එහෙමකට වැවිලි කාරියෝ නෙමේ . හැබැයි කොයි පොඩි ගැහැණු ළමයත් වගේ අපිත් පොඩි කාලේ මල් වැවුවා . කාලෙන් කාලෙට එක එක මෝස්තරේට .

මට මතකයි කාලයක් තිබුණ ඩුබායි රෝස , දවල් කුමාරි කියන නමින් අපි හඳුන්වපු පොඩි පාට පාට මල් ජාතියක් . හරිම ලේසියි . අතු කෑල්ලක් නිකන් ඇන්නත් පැලවුනා .

අපි දෙන්නා වෙන වෙනම පාත්ති දැම්මා . තව සිනියාස් ..අට පෙතියා ...දහස් පෙතියා ..[ අට පෙතියාට නම් පෙති අටයි . දාස් පෙතිය කවදාවත් පෙති ගණන් කරලා නැහැ . ඇත්තටම දාහක් ඇතිද කියල ]

අද වෙද්දී දකින්නම නැති තරම් රාජ කපුරු . මෙහෙ නම් මිටි බැඳ විකුනනවා රාජකපුරු .දැක්කම ඉතින් යාලුවෙක් දැක්කා වගේ .

ඒ ඇරෙන්න අරලිය ගහක් වතුසුදු ගහක් දෙකක් ,,ගාඩිනියා පඳුරක් අනිවාර්යයෙන් හැම ගෙදරකම වගේ තිබුනනේ . ඉද්ද හෙම නම් ඉඩම් වල නිකමට වගේනේ වැවිලා තිබුනේ . අපේ අම්මගේ ගමේ මහගෙදර මායිමේ රබර් වත්තක් තිබුණ . ඉද්ද ගස් පිරිලා .


පොඩි මාමා ගෙවත්ත ලස්සන කරන්න හරිම මහන්සි වුන කෙනෙක් .
මල් වත්තක් වගේ . සල්ලි වියදම් කරලා හෙම නෙවේ . මහන්සියෙන් .

බොරළු පවා එක තරමේ ගල්ද කියල හිතෙන තරමට පිළිවෙලට අතුරලා . [අම්මගේ ගම ගැන ලිපියක් ලියන්න ඕනේ ]

තාත්තගේ මහගෙදර එයිට දෙවෙනි නැහැ . ඒ ගැන නම් කලින් කිවනේ . නුවර එළියේ වගේ ලස්සන රෝස මල් . අපිත් ඉතින් තන්හාවට ඔය ගිය දිහාකින් අතු අරන් ඇවිත් හිටවනවා . කලාතුරකින් තමයි එහෙමකට හරි ගියේ .

දහම් පාසල යද්දී හරි පන්සල් යද්දී හරි අපිට මල් ගොඩාක් ඕන වුනා . ඒ කාලයේ ඉඩකඩම් වලට ලොකු තාප්ප වැටවල් තිබුනේ අඩුවෙන් . සමහර ගෙවල් වල සේපාලිකා ගස් තිබුණ . වතුසුද්ද වගේ මල් නම් නිකන් වැටවල් වලට හිටවලා . පාරේ යනගමන් වුනත් කුඩේ පුරෝ ගන්න පුළුවන් .

ඒ වගේම තමන්ට ඉඩ තිබිලත් ගහක් වවන්නේ නැතුව හැමදාම අනුන්ගේ ගස් වලින් මල් කඩන පන්සල් යන අයත් ඕනෑතරම් හිටියා . එහෙම මල් කඩන ගමන් ඉඩමට අලාබ හානි කල නරක ළමයිනුත් හිටියා .


සමහර ගෙවල් වල ලස්සනට මල් වවලා තිබුනට ඒ මල් පන්සල් ගෙනිච්චේ ගෙදර අය විතරයි .

තමුන් පන්සල් යන්නෙත් නැතුව අනුන්ට මලක් කඩන්නත් නොදෙන ගෙවලුත් තිබුණ .  ඔන්න ඔය වගේ එදිනෙදා අත්දැකීම් අහල දැකලා අපි ලොකු ළමයි වුනා . ගම දාල ගියා .

වාහන දුම විඳගෙන කලබල නගරයේ වටරවුමක පිපිච්ච අටපෙතියා මලක් දන්නෙවත් නැතුව ඇති අපිට ඒ මලුත් එක්ක කොයිතරම් සම්බන්ධකම් තියෙනවද කියල .


පින්තුර සේරම මගේ ...

Thursday, 7 March 2013

නිල් අහසක් යට හිම කැටි විසිරි ..සුන්දර රටක මිහිරි මතක

චීනය ආශ්‍රිත රටවල සැමරෙන නව අවුරුදු උළෙල වියට්නාමයේදී ''ටෙට් ''ලෙස හැඳින්වෙනවා . වැඩිමනක් නිවාඩු නැති මේ රටේ වැඩ කරන මිනිසුන්ට හිත පිරෙන්න සුමානයක් විතර නිවාඩු හම්බ වෙන්නේ මේ ටෙට් සමය  තුලදී . කලින් මේ ගැන ලියු නිසා මේ අවුරුද්දේ ඒ ගැන නොලියා ඉන්න හිතුව .

 . තද සිතල ගෙවිලා චුරු  චුරු වැසි දවස් එක්ක අතරින් පතර ඉර එලිය ඇති ලස්සන දවස් මුසු වුන වසන්තයේ ආරම්භය . අහල පහල නෙළුම් පොකුණු වල කොලයක් දෙකක් මෝදු වෙන කාලේ . ටික දවසක් අන්තර්ජාලගත වෙන්න එපාම වෙලා තිබුණ.
කම්මැලි කම තමා වෙන මොකක්ද . ඉඳල හිටලා දැක්ක දේවල් වුනත් අමිහිරියි. සමහර දේවල් කියවීම හිතට කරදරයක් . මන් කියෙව්වා කියලවත් නොකියවා හිටියා කියලවත් අදහසක් ප්‍රකාශ කළා කියලවත් වැඩක් නොවෙන දේවල් ...

 කොරියන් කතන්දර බලලම වත්මන් කොරියාව විතරක් නෙමේ ඒගොල්ලන්ගේ රජ කාලේ ඉඳන් ජපන් යටත් විජිත සමය ඊ ගාවට කොරියන් යුද්ධය සහ පශ්චාත් යුද්ධ කාලය ගැනත් සැහෙන දේවල් දැනගෙන හිටි නිසා කොරියාව දැක ගන්න මට කාලෙක ඉඳන් ආසාවක් තිබුන .

පසුගිය නිවාඩු දින කීපය සියෝල් නුවර ගත කරන්න ඉඩ ලැබුණ . කොරියන් මිත්‍රයින් නම් අපට පිස්සු කියන අදහසින් තමයි මේ ගැන කල්පනා කලේ .මෙවර  වෙනදාට වඩා තද සීතලක් දැනුන බවත් චීන අවුරුදු සමය නරකම කාලගුණයක් ඇති කාලයක් බවත් සිතා ඔවුන් අප ගැන වද වුනා .

මගේ හොඳම කොරියානු මිතුරියක් අවශ්‍ය තොරතුරු සියල්ල සොයා දුන්නා . සිතල වැඩි වේ යයි ඔවුන් අපගැන දුක් වද්දී අප බිය වුනේ සිතල අඩු වී හිම දකින්නට බැරි වේ යයි කියා .





අහසේදී බිම බලන විට


සියල්ල යහපත් වී ඉර පායපු සුනිල් අහසක් යට හිම සෙල්ලම් කරන්නට පොඩි උන් වාසනාවන්ත වුනා .
මා දුටු සියෝල් නගරය මනා නගර සැලසුමකින් යුත් සුන්දර නගරයක් . මා දුටු යයි විශේෂණය කලේ විසල් නගරයකින් මා දකින්නට ඇත්තේ ස්වල්පයක් පමණක් නිසා සහ වෙනත් අයුරකින් මෙය දුටු අය සිටින්නට හැකි නිසා .

අපිරිසිඳු පැල්පත් සහිත ගෙවල් සමුහයන් හැඳින්වීමට'' කොරියාව '' යන වචනය අප කුඩා කල අසා තිබෙනවා . අදටත් එසේ දේ නම් වහාම එම වදන අපේ භාෂිතයෙන් ඉවත් කල යුතුයි . මා නැරඹු 50 හෝ 60 දශකය අලලා සැකසුන කොරියන් කතා මාලා එවැනි ජන දිවියක් තිබු බවට සාක්කි . නමුත් 70 දශකයෙන් පසු එරට දියුණුවේ මගට පිවිසිලා .

ලෙහෙසි පහසු ඉතිහාසයක් නොතිබූ රටක් . ඈත අතීතයේ පටන් චීන ආක්‍රමණ අභ්‍යන්තර ගැටුම් පසුව ජපන් යටත් විජිතයක් වීම ..කොරියන් යුද්ධයෙන් රට දෙකඩ වීම වැනි අමිහිරි ඉතිහාසයක් ඇති රටක් . රටක් දෙකඩ වීමෙන් එකම පවුලේ නෑසියන් වෙන් වීමේ වේදනාව අදටත් විඳින ජාතියක් .

යුධ මුක්ත කලාපයට සහ දේශ සීමාවට සියෝල් සිට එතරම් දුරක් නැහැ . නමුත් කුඩා ළමයින් සමග යාමට උචිත නැති බව සිතුන . අනික් අතට උතුරේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් වුනා අප එහි සිටි දිනවල.

දරිද්‍ර තාවයේ පතුලෙන්ම සිට සංවර්ධනය කරා පැමිණි රටක් . අපේ රටත් එසේ වෙනවා නම් කියා සිතුනා .ඒ වගේම ඒ රටවල සංචාරය කරන අපේ දෙස්පලුවන් ඒවායේ ඇවිදින්නේ ඇස වසාගෙන දැයි මට නම් පුදුමයි .
ඒ ඉතින් අපගේ අවාසනාව .

නගරය මැදින් ගලන සුවිසල් හෑන් ගඟ අලංකාර පාලම් රැසකින් යුක්තයි . අප ගිය රාත්‍රී නගර සංචාර බසය පාලම් එකොළහක් නැරඹීමට රැගෙන ගියා . හැමෙකක්ම එකිනෙකට වෙනස් . විදුලි අලංකරණය ද විවිධයි .


[බොහොමයක් ටෙලි වල කෙල්ල හෝ කොල්ලා දුකක් හිතුන විට කල්පනා කරන්නට හෝ තනියම හඬන්නට ඔන්න ඔයින් පාලමක් ළඟ ගඟ අයිනේ ස්ථානයක් තෝරාගනි . ]

නගරයේ උමන් දුම්රිය ජාලය අපේ ප්‍රියතම අංගයක් වුනා . නතර වී සිටි තැනම උමන් දුම්රිය පලක් තිබීම ගමන් බිමන් වලට හරිම පහසුවක් . කුඩා කාලයේ දුම්රියේ යන්නට ලැබී නැතිම තරම් . පසු කලෙක කටුනායක රාජකාරි කල සමයේ මේ ආසාව නිසාම ඉඳහිට කෝච්චියේ ගියා . දෙතුන්වතාවක් නානු ඔය හෝ නුවර ගිය ගමන් වලින් මගේ දුම්රියේ යාමේ දොළ නම් සම්පුර්ණ වුනේ නැහැ .

අප දෙදෙනාම එකසේ දුම්රිය ප්‍රිය කරන නිසා ගිය හැමතැනකම ඉඩක් ලද විගස දුම්රිය අපේ අංක එකේ ගමන් සගයා වෙනවා .

''රටක දියුණුව යනු දුප්පතුන් කාර් වල යාම නොවේ පොහොසතුන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කිරීම ''යයි කවුදෝ කියා තිබුණ .

සියෝල් වල පොදු ප්‍රවාහන සේවය ඉතාම හොඳයි . ටැක්සි වල යන්න ඕනෑම නැති තරම් .

 කන වෙලාවට දෙන පොඩි අතුරු දිසි

බිබිම් බප්

නෙලුම් කොලේ බත්



 
 
 
 
 
මෙයාව හැබෑවටම දකින්න බැරි වුනා .

සුනිල  අහස

මේ වෙළඳ සලක ඇතුලේ එළවලු වවලා . පස් වල නෙමේ . හරියට පටක රෝපණ ක්‍රමය වගේ .
 
 

මේ චාරිකාව අප මුලිකවම ළමයින්ගේ සතුට වෙනුවෙන් වෙන්කරන්න තීරණය කල නිසා ඉතිහාසය හදාරන්න එතරම් උනන්දුවක් ගත්තේ නැහැ . කිසිම දෙයකට වඩා හිම ගොඩක පෙරලෙන එක තමා ඒගොල්ලන්ගේ සතුට වුනේ .

නගරය දැක්ක ඇති කියල හිතල ටිකක් ඈත ගමනක් දුම්රියෙන් යන්න ඕන කියල හදිසියේම අපට හිතුන .

දැන් පොඩි දෙන්න ටිකක් ලොකු නිසා ඔය වගේ හදිසි තීරණ ගන්න පුළුවන් . නගරයෙන් ටිකක් දුර කුඩා දුපතක් බලන්න යන්න තීරණය කළා ..

ඈත හිමෙන් වැසුන කඳුවැටි දිහා බලමින් ගිය ඒ දුම්රිය ගමන සදා මතකයේ රැඳෙන සුළුයි .

Namiseom නම් මේ දුපත පිහිටා තියෙන්නේ හෑන් ගඟේ . ගසක කොලයක් හැඩය ඇති මේ දුපත නාමික රටක් . Republic of Namiseoum ලෙසයි හැඳින්වෙන්නේ .

දුම්රියෙන් ගොස් ෆෙරි බෝට්ටුවකින් දුපතට ලඟා වෙන්න පුළුවන් . බෝට්ටුවේ ලෙළදුන විවිධ කොඩි අතර ලංකාවේ කොඩිය දැකීම අපට සතුටක් වුනා .

සිතල සමයේදී තනිකරම සුදු හිමෙන් වැසුන මේ අලංකාර දුපත ඇත්තටම ගඟ හරහා බැඳී වේල්ලක් නිසා ගොඩ බිමින් වෙන්වුවක් .

වසර දහයකට පෙර අතිශයින් ජනප්‍රිය වුන WINTER SONATA නමැති කොරියන් රුපවාහිනී නාටකයේ බොහෝ දර්ශන මෙහි රුගත වුවක් .

කලකට පෙර මා නැරඹු ඒ කතා මාලාව මතකයේ රැඳුනේ මේ අලංකාර දුපත නිසා . මේ ආදර අන්දරය කොරියානුවන් අතර මෙන්ම වෙනත් රටවලද රසිකයින්ගේ ආදරය දිනු නිසා මේ දුපත අගනා සංචාරක ආකර්ශනයක් වුනා . නරඹන්නන් වැඩි පිරිස තරුණ ආදරවන්තයින් බවයි පෙනුනේ .
 හැන් ගඟේ දුපතට යන ගමනේ

කෝකටත් අක්ක ළඟටම වෙලා



මේ පාරේ නේ වින්ටර් සොනාට නාටකයේ ආදරවන්තයෝ ඇවිදින්නේ



1910 වනතුරු රාජාණ්ඩු ක්‍රමයක් තිබිල එයින් පසු ජපන් අධිරාජ්‍යය යටතේ නාමිකව රජ පවුලක් පමණක් ඉතිරි වෙලා . මගේ කොරියන් මිතුරියට අනුව 1945 නිදහස ලැබෙනකම් රජ පවුල නාමිකව ඉඳල තියෙනව . මේ ගැන හරියටම කියවල වෙනම ලිපියක් සකස් කරන්න හිතන් ඉන්නවා [ කවද හරි ] අද නම් ඒ ගැන නිල තොරතුරු ලියන්න හැකියාවක් නැහැ .

මේ නිසා නගරයේ මාලිගා කීපයක් තියෙනව . එයින් අප නවාතැනට ආසන්නව පිහිටි

Gyeongbokgung මාලිගය බලන්නට යන්න ලැබුණ .

චීන අවුරුද්ද කොරියාවෙත් සැමරෙන නිසා ඇත්තටම අප සිටි දින කීපය නිවාඩු කාලයක් . මේ සාමය කොරියාවේදී මුලිකවම ස්තුතිය පුද කිරීමේ අවස්තාවක් ලෙසයි ඒ අය සමරන්නේ . chuseok කියා හඳුන්වන මේ දින කීපය තුල දෙමාපියන් වැඩිහිටියන් බැලීමට බොහෝ සියෝල් වැසියන් ගම්දොර බලා යන්නට ඇත .ගමන් බිමන් ගිය නගර වාසින් අත්ද තෑගී භෝග ඇති බව දුටුවා ..කොරියානුවන්ට විශේෂිත අහාර පාන ඇසුරුම් පෙට්ටි සිල්ක් වැනි රෙදි කඩකින් එල්ලා ගෙන යාමට හැකි ලෙස සකස් කල තෑගී ඔවුන් අත තිබුණ .

ඒ වගේම මාලිගය බලන්නට දේශීය හන්බෝක් ඇඳුමින් සැරසුන ළමයින් සහ යුවතියන් පැමිණ සිටියා . [එදිනට මේ ඇඳුම ඇඳගත් පසු බොහෝ තැන්වලට ඇතුල් වීම නොමිලේ ]

කනගාටුවට කරුණ වුයේ අපටත් එදා ඇතුල් වීම නොමිලේ වුවත් නිවාඩු දිනයක් නිසා විස්තර කර දීමක් නොවුන නිසා . නමුත් සම්ප්‍රදායික මුර සේවාව මාරුවන පෙරහරක් නම් දැක ගන්නට ලැබුණ


මාලිගය පැනොරාමා ඇසින්

 ඒ කාලේ කුමරියෝ හිම සෙල්ලම් කරන්න ඇත්තේ මෙහෙම වෙන්න ඇති .මේ දෙන්න නම් යන්නේ කොහෙද මෙලෝ වගක් නැතුව හිම ගොඩක් දැක්ක ගමන් ජබොක් ගාල එකට පනින එක තමයි වැඩියම කලේ






සිංහාසනයක්



මෙවැනි විවිධ හිතළු සත්ව පිළිම රැසක් තිබුණ

මුර භටයින් මාරු වෙන වෙලාව



නම්සන් කුළුණ .
 
මේ කුළුණ තියෙන්නේ නම්සන් කඳු මුදුනේ .
 මේ ඒ කුලුන උඩට නැගල ගත්තු පින්තුරයක්

 මේ ආදර ඉබ්බෝ . ආදරවන්තයින් මේ නම්සන් කුලුන පාමුල ඇති මේ ස්ථානයේ ඉබ්බන් අගුලු දමල යනවා . මන් හිතන්නේ එහෙම කලහම ඒගොල්ලන්ගේ හදවත් ආයේ වෙන කාටවත් විවර වෙන්නේ නැති බවට විස්වාස කරනවා ඇති ..මන් කතා වල දැකල තියෙන නිසා ඔය් වගේ වැදගත් දේවල් ගැන පොඩි අවබෝධයක් තිබුණ . කොරියන් කතා බලනව කියල මට හිනා වෙන උදවිය ඔය වගේ වැදගත් කාරණා දන්නේ නැහැ .



 ජපන් අධිරාජ්‍ය තියෙන කාලේ මේ ජපන් අය වැඩිය හිටි පලාතක් තිබුණ නගරයේ . මේ ඒ පාරවල යද්දී ගත්තු පින්තුරයක්

මේ නම්දිමුන් මාකට් එක . පැරණි සහ සියෝල් වල ලොකුම දිවා රාත්‍රී මාකට් එක . මේ ඉටිරෙදි අවන්හල් කොරියාවේ ජනප්‍රියයි . මේවා ඇතුලේ කන බොන දේවල් වගේම සොජු කියන දේශීය මත්පැන් වර්ගය අලෙවි වෙනවා .
 
 

 සියෝල් ස්ටේෂන් එක ළඟ පිළිරුවක් . නිදහස් සටනේ නියමුවෙක්

 මේ'' අහිංසක මිනිසා ''කතාවේ නළුවා බර්ගර් විකුනනවා . හැම තැනම දන්නා කියන මුණු එක එක ජාති විකුනන හැටි දුටුවා




 
 
 
එලි පහලියේ මල් නොතිබුනත් ගුවන් තොට මල් පිපි තිබුණ . ඒ වගේම අපි ආපසු ආ වැලන්ටයින් දිනේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුනා .



.

රට සංවර්ධනය වෙන ගමන් දේශීය අනන්‍යතාවය යහමින් රැකගෙන බටහිර සංස්කෘතියත් එක්ක හොඳට කලවම් වෙච්ච රටක් කියල මට නම් හිතුනේ . මේ කලවම් වීමේදී ඉංග්‍රීසි බස අත්‍යවශ්‍යම වෙලා  නැහැ වගේ . ඇමරිකාවේ සහයෝගය උපරිමයට ගත්තත් බාසාව නම් අරගෙන නැහැ එහෙමකට . ජපානය වගේ සියබසින්ම කටයුතු කරන්න පුරුදු වුන රටක් .

නමුත් අද වෙද්දී ඉංග්‍රීසි අධ්‍යාපනයට ලොකු උනන්දුවක් ඇති වෙලා . මන් සලකුණු ආදිය භාෂා දෙකෙන්ම ඇති නිසා අපට එතරම් අපහසුවක් වුනේ නැහැ .

 ඒ වගේම මට හමුවුන කොරියානුවන් ආචාර ශීලි සහ කදිමට ඇඳුම් අඳින උදවිය බව පෙනුනා .
 
........................
.


කොරියාව ඉඩක් ලදොත් යලිත් වරක් නොව කීප වරක් යාමට වුවත් ආසා හිතෙන ලස්සන රටක් බව කිව යුතුමයි .



ප. ලි .

අන්තර්ජාලය සහ මගේ දීගයට පසු ගිය දවස් එතරම් සුබ නොවිණි . බ්ලොග් ලිවිල්ලත් කියවීමත් බැඳගත් විට සෙක්කුවක් වැනිය . ගැලවුන විට යලි බැඳෙන්නට අපහසුය .

හිත මිත්‍ර බ්ලොග් අඩවි කියවීමට පසුගිය දිනවල නොහැකි විය . සියල්ලෝ සමාව භජනය කරත්වා .

උදා වී ඇත්තේ සර්ප වර්ෂයයි . වර්ෂය සර්පයාගේ වුවද මිනිසුන්ගේ විෂ ගති පහවී සැමටම සුබ සර්ප වර්ෂයක් වේවා යයි පතමි .