Tuesday, 30 April 2013

මවක් සහ පුතෙක්

මේ පින්තුරේ ඉන්නේ කවුද . වයසක අම්මා කෙනෙකුයි එයාගේ පුතෙක් කියන්න පුළුවන් තරමේ කෙනෙකුයි .

මේ පින්තුරයේ ඉන්නේ අර පුතා වගේ කෙනා ම තමයි පිළිමයක් නෙලනවා .

වැදගත් වෙන්නේ මේ ඉන්නේ තමන්ගේ දරුවෝ පහක්ම රට වෙනුවෙන් මිය ගිය අම්ම කෙනෙක් . අනික් කෙනා ඒ ළමයි මැරුණු යුද්ධේ අනික් පාර්ශවයේ සොල්දාදුවෙක් .

ඔහු තරුණයෙක් ලෙස නන්නාදුනන රටක තමන්ට කිසිම සම්බන්ධයක් නැති කෙහෙල්මල් යුද්දෙකට ඇවිත් යන්තම් පන බේරා ගැත්තෙක් .

[කලාව හදාරමින් ඉන්න ගමන් ගැහැණු ළමයා පයිලට් කෙනෙක් එක්ක යාලු වුන නිසා මෙයා ඉගෙනීම අත ඇරලා . ශිෂ්‍ය භාවය නැති වූ පසු හමුදාවට බැඳීමට බල කෙරුණ බවයි  පැවසෙන්නේ . ]



පසු කලෙක ආයෙමත් ඇවිත් මේ නෙලන්නේ අර අම්මගේ පිළිරුවක් .  ඒ ඔහු සමාව ඉල්ලපු ආකාරය  සහ අම්මා සමාව දුන්න ආකාරය .

මෙයින් අපට හිතන්න දෙයක් ඇත්ද නැත්ද මන්දා . මගේ සිත ගත්තු පින්තුර දෙකක් නිසා ඔන්න ඔහේ දැම්මා . ලිපියම කියවන්න ඕන නම් මෙන්න ලින්ක් එක

අද නිවාඩු . ''වික්ටරි ඩේ '' උතුර දකුණ යාකල ජයග්‍රහණයේ දවස කියල ගිය  පාර ලියුවේ මේ ගැන .

හෙට ඉතින් කාටත් නිවාඩුනේ . හැමෝටම සුබ ''වැඩ කරන ජනතාවගේ නිවාඩු '' දිනයක් වේවා ......

Wednesday, 17 April 2013

කොවුලා නැතත් .......

 
 
 
 
 
.
තමන්ගේ රටේ නැතිකොට අවුරුදු එපමණකට දැනෙන්නේ නැහැ . ඒ වුනත් අපිත් හැකි පමණ අවුරුදු සැමරුවා .
මේසයට යන්නට පෙර හඬලන සැවුලෙක් මිසක ,කොවුලෙක්  තියා කපුටෙක්වත් නැතත්''' එරබදු වගේ'' මලක් නම් පිපිලා තිබුණ . අනිවාර්යයෙන් මෙය එරබදු පවුලේ වෙන්නම ඕනේ මලේ හැටියට .
 
අවුරුද්දට මොනවා නැතත් කැවුම් කොකිස් ටිකක් නැති වුනොත් කටටයි හිතටයි දෙකටම පාලුයි . අපිත් ඉතින් කැවුම් හැදුවා . උයන එකයි කන එකයි දෙකම නැකතට කළා . .
 
 
කලින් දවසේ  බුලත් හොයන්න මාකට් එකට ගියා . වැඩිය හැම තැනම නැතත් මෙහෙත් බුලත් පුවක් කනවා . පුවක් ආගමික සහ වෙනත් උත්සව වලටත් ගන්නවා . බුලත් පුවක් හුණු ගැන මෙහෙ තියෙන ජනකතාව ඉස්සරම දවසක ලිවානේ .
බුලත් ටිකයි තිබුනේ . මට කොළ දහයකට වඩා දෙන්න බැහැ කිවා . එයාට පුවක් එක්ක විකුනන්න ඕන නිසා .
අවුරුදු දා ළමයි බුලත් දීලා අපට වැන්දා



ළමයි හොඳහැටි කැවුම් කාලා සතුටු වුනා . පහල ගෙදරක ඉන්න අපේ දෙන්නගේ ජපන් යාලුවෙක් කැවුම් කන්න ආවා . ඒ ළමයට දෙය්යෝ දීපු යස කටක් තියෙනවා . .
කලින් දවසක අපේ දිහා නිදා ගන්න ආවා . අපේ ගෙදර තාත්තාව දැකපු ගමන් ඇහුවේ
'' ඇයි ඔයා සායක් ඇඳලා ''
''  යටින් කලිසමක් තියෙනවද ''
අපිට හිනා වෙලා පන ගියා . ආයේ නම් වෙන ළමයි එද්දී සරම අඳින එකක් නැහැ .
 
ඒ මදිවට බත් කනවා දැකල අහන්නේ '' අතින් කන්නේ මොකද '' කියලයි .  
 
ඔය පොඩි ළමයි එකතු වුනහම අහන කියන ඒවා නම් හරිම අපුරුයි . සමහර ඒවා බ්ලොග් වල ලියන්නත් බැරි තරම් .
 
අපේ දේශීය කැවිලි වලට අනෙක් රටවල ළමයි හරිම කැමතියි . සමහර ඒවා දේශීය කීවාට පිටරටවලින් ලැබුන දේවල් . කොකිස් ලැබුනේ ලන්දෙසින් ගෙන් ලුනේ .. . මට තියෙන ප්‍රශ්නේ ලන්දේසින් පොල් කිරි පාවිච්චි කරනවද කියල . නැත්නම් අපේ රටේදී පොල් කිරි එකතු වෙලා දේශීය වුනාද කියල .
දොදොල් ඇවිත් තියෙන්නේ මැලේසියාව පැත්තෙන් . ඇත්තටම මේ කලාපයේ රටවල දොදොල් වගේ ජාති හරියට දැක තිබෙනවා . එකක්වත් අපේ රටේ ඒවා තරම් රස නැති බව කියන්නම  ඕන .
කැවුම් නම් අපේම වෙන්න ඕනේ . අනික් අතට මමය මාගේය කියල දෙයක් නැති බව බුදු දහමේත් කියන එකේ කාගෙන් කොහෙන් ආවම මොකද . ලෝකය ලස්සන වන්නේ මේ මිශ්‍ර වීම නිසානේ .
හැමදාම එක වගේ දුවන මිනිසුන්ට මේ වගේ මොකක් හෝ තියෙන එක හොඳයි . පොඩ්ඩක් නවතින්න ..වෙනසක් ලබන්න .
 
සමහර දේවල් අදට ප්‍රායෝගික නැතත් හැකි පමණට අවුරුදු සිරිත් සමරන එක වරදක් නැහැ . තෑගී අරන් දෙමාපියෝ බලන්න ගිය එක  දුරකතන ඇමතුමකට සිමා වෙලා තමයි .
නමුත් එහෙම දෙයකට විනාඩි පහක් නැති තරමේ වේගෙන් වැඩ කරන්න වෙලා තියෙන ලෝකේ එයත් වටිනවා නේද .
 
නොනගතෙට කලින් කුස්සිය අස්පස් කරන්න ඉබේම වගේ හැඟීමක් එන්නේ පොඩි කාලයේ ඉඳන් තිබුණ පුරුද්දට . කැප්පෙටියා අතු වලින් වැකියුම් ක්ලිනරයට පරිණාමය වුනා තමයි .
ඒ වුනාට අර හැඟීමයි වැදගත් .
 
අපට අම්ම ගෙනුයි මේ පුරුදු ලැබුනේ . ඒගොල්ලෝ කළා නොකලා ඉස්සරහ පරපුරට මේවා ටිකක් හරි තෑගී දෙන එක මගේ යුතුකමනේ .
ඉස්සර කළා වගේ අද ඒ ඒ දේවල් ඒ ආකාරයෙන්ම කරන්න බැහැ. උදාහරනෙකට සාලේ මැද්දේ ලිපක් හදල කිරි උතුරවන්න ගියා කියමු . එලාම් වැදිලා සිකියුරිටි මලයා දොරකඩ ඉඳියි විනාඩියට . [ ඔව් ඔව් මහල් නිවාස සංකීර්ණ වල ආරක්ෂක සේවයක් තියෙනවා . සාමාන්‍ය දෙයක් ]
නොනගතෙට නොකා ඉන්න එකත් මට අමාරු වැඩක් . අද ඊයෙක නෙමේ ගෙදර ඉන්න කාලෙත් අම්ම කට බැඳලා දුමේ තියාපු කැවුම් මුට්ටි ලෙහෙලා හොරෙන් කාපු එකේ දැන් මමම හදල පෙට්ටි වල අඩුක්කරලා බැබලි බැබලි තියෙද්දී කැවුමක් කටේ දානොගෙන ඉන්න පුලුවන්ද .
 
මෙදා පාර නම් අපි හොඳ ළමයි . මහා රාත්‍රියේ නිසා නොනගතේ නම් රැක්කා . හොරෙන් කැවුම් කෑමේ කතා ගොඩක් තියෙනව . ආයේ ඕවා කවද ලියවේද . අනික '' වාන් පතුල් '' කියෝලා මේ පඳුරු තලන එක අපටත් බෝ වෙලා . අපි හොඳට හිටි ළමයි .
 
 
හොරෙන් කැවුම් කන එක හරිම විනෝදයක් . ඉස්සර අම්ම කැවුම් බදිද්දී අපි තමයි වඩවලා දෙන්නේ . අතිරස හදද්දී පිටි ගුලියෙන් පොඩි පොඩි බෝල හදනවා . අතේ පොල්තෙල් ගාගෙන ඒවා පොඩි රොටි වගේ හදනව . සේරම එක ගානට හදන එක තමා ලස්සන . ඒවා දින කොට මැද ඉස්සිලා පිපිලා එනවා . හදන ගමන් අර අමු පිටි සිනි ගුලියෙන් ටික ටික කනවත් එක්ක . [කාට හරි මතකද මාටින් වික්‍රමසිංහගේ කෙටි කතාවක තිබුණ ඔහොම කැවුම් හදන ගමන් පිටි කන ළමයි ගැන . ]
ඔන්න ඉතින් කැවුම් දින ගමන් කැවුම් කන එක අපට තහනම් කරලා තිබුනේ . යකා ගහනව කියලයි ආච්චි නම් කිවේ . අපේ අම්ම නම් ඔය යක්කු පෙරේතයෝ එච්චර ඔළුවට ගත්තේ නැති කෙනෙක් . පසු කාලෙක මන් ඒබ්‍රහම් ටි කොවුර්ගේ පොත් ගෙදර ගෙනාවම අම්ම ඒවාත් කියෙව්වා . හැබැයි ඕවා ගැන කෙලින්ම අදහසක් කියන්න ඒ පරම්පරාව අකමැති වුනා .
ඉතින් යකා ගහනවා හරි මොකක් හරි නිසා අපට බදින ගමන් කැවුම් කන්න එපා කියල තිබුනේ . ඇත්තටම ඔතන හේතුව බැදපු ගමන් තෙල් ගතිය වැඩියි . තෙල් වැඩිය කාපුවම ඉතින් දන්නවනේ . පස්සේ මැටි මුට්ටිවල දැම්මම තෙල් එයට උරාගන්නවා . පහු වෙද්දියි කැවුම් වඩා රස සහ හොඳ .
ඉතින් අපි බය වෙයි යකුන්ට . අනික මේ මහා දවාලේ . හොරෙන් එකක් දෙකක් වහන් කරගෙන කන එක නවත්වන්න යක්කුන්ට පුලුවන්ද ..
ඉතින් මේ කැවුම් මුට්ටි වල දාලා කට බැඳලා දුමේ තමයි තියන්නේ . ඒ ඉතින් අපි කාලා අවුරුද්ද දාට එකක් වත් නැති වෙයි කියල වෙන්න ඇති . ඒ වුනාට අපි හොරෙන් කනවා .
 
 
මට තව සිද්දියක් හොඳට මතකයි . දන්නවනේ ඔය ගැහැණු ළමයි ජම්බු ගහෙන් වැටෙන සිද්දිය . ඔන්න එහෙම වැටිලා කාමරේ අස්සට වෙලා හිටි දවස් ටික ඕනෑම ළමයෙක්ට මතක ඇති . ඔක්කොමත් හරි පතොලයි බතුයි කන්න දෙන එකනේ ඉවසන්න බැරි . මට ඒකාලේ ඔය ජාතියේ එළවලු පෙනෙන්න බැහැනේ කොහොමටත් . අපේ මලයට ඉස්සෙල්ලම ඉස්කෝලේ යන්න තිබුනෙත් මට නාන්න තිබුනෙත් එක දවසේ . එකාගේ පොත් වලට පිටකවර හෙම දැම්මෙත් මන් . ඔන්න දවස් තුනහතරක් හරි හමන් කෑමක් නැතුව කුස්සිය පැත්තේ කැවුම් බැදෙන සද්දෙයි සුවඳයි ඉවසන්න බැරුව ඉඳල නාලා එලිපහලියට ආවයි කියමුකෝ . ඔය කාලෙට ගැහැණු ළමයින්ට කැවුම් කන්න දෙන්නේ නැහැ නේ . එහෙම කොහොමද .
 
අම්මට තිබුණ මලයව ඉස්කෝලේ එක්ක යන්න . අනික් දෙන්නත් ඉස්කෝලේ ගිහින් . අපේ දිහා ඔය සාද එහෙම තිබ්බේ නැහැ . අලුත් ගවුමක් මහල දුන්නා . එච්චරයි . ඒ කාලේ සමහර ගෙවල් වල ගම දෙක වෙන්න පාටි දානවනේ . අනේ මන්දා ඒ ළමයි පාරේ යන්නේ කොහොමද ඊට පස්සේ .
ඒවායින් කමක් නැහැ ඔන්න මාව තනියම තියන්නත් බැරි නිසා ළඟ ගෙදරක ගැහැණු කෙනෙක් නවත්තලා ගියා . මන් කුස්සියට වැදිලා හිතේ හැටියට කැවුම් කෑවා .
 
 
 
අලුත් අවුරුද්දට පන්සලුත් ගියා . පන්සල් අපේ වගේම නෙවේ . නමුත් එහෙම හරි තියෙන එක ගැන සන්තෝස  වෙන්න එපාය .අපේ ගේ ළඟ  ථෙරවාද පන්සලක් තියෙනව . මෙයාලගේ වතාවත් වෙනස් වුනත් අපට ගිහින් මලක් පහනක් පුජා කරන්න බැරි කමක් නැහැ .
 
 පන්සල් තාප්පේ අපායේ වද දෙන හැටි චිත්‍ර ඇඳ තිබුන . යම රජ්ජුරුවෝ චීන මුහුණක් ඇති කෙනෙක් .
 
පින්තුර ටික වෙසක් එකට දාන්නම් . ආයේ අවුරුදු කාලේ බය කරන්නේ මක්කටෙයි .
 
අද නෙට් එක අවුල් . පින්තුර ලෝඩ් වෙන්නේ නැහැ .
 
සුබ පතාපු හැමෝටම ගොඩාක් ස්තුතියි .
 

බ්ලොග් කියවන ලියන හැමෝටම සිතේ සතුට ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!!!!

 
ප. ලි.
 
පහුගිය කාලේ වැඩ වැඩි වී තිබුණ . පොඩි දෝනිගේ උපන් දිනේ යෙදුන . අවුරුද්දට ලැස්ති වුනා . සේරමටත් වඩා නොලියා ඉන්නකොට ලියන්න දේවල් තිබ්බත් ගලපගන්න බැරි ගතියකුත් දැනුනා . අනික් බ්ලොග් වල කමෙන්ට් කලෙත්  නැහැ වැඩිය . සේරටම සමාව දෙන්න කට්ටියම .