Thursday, 23 May 2013

බත් කුරු සහ වෙසක් කූඩු

චීන ක්‍රමේට බත් කන කුරු මිටියක් ගෙනාවෙමි . රබර් පටි ද සොයා ගතිමි . හවසට පොඩ්ඩෝ ආකල වෙසක් කුඩුවක් හදන්නට සිතා සිටිමි . 

මේ ක්‍රමයට වෙසක් කුඩු සෑදීම මාගේ  සහ අපේ නැන්දම්මා ගේ නව නිපැයුමකි . වෙසක් කුඩුවක් යනු ගණිත කර්මයේ බහු විධ හැඩතල අගෙන ගන්නට දරුවන්ට අනගි අවස්ථාවකි .

මා වගේම අන්තිම කටේ වැඩ කරන පුරුද්දක් තිබු අපේ තාත්තා එක්තරා විදිහක අපුරු කලාකාරයෙක් බව මට සිතේ . කඩිමුඩියේ අඳින ඉරි කැබලි කීපයක් අගනා සිතුවමක් කර පෙන්වන්නට ඔහුට තිබුනේ පුදුම හැකියාවකි . වෙසක් කුඩු හදන්නටද හපනෙකි . වැරැද්ද නම් බට සොයන්නට යන්නේද වෙසක් දා දහවලේ වීමය . කෝටු කපා සුද්ද කොට අගනා කුඩුවක් සදන්නට මහා වෙලාවක් ගත නොවිණි .

පොල් පට්ටා වලින් රවුම් සාදා හදන කාමරංගා කුඩු මගේ ප්‍රියතම වර්ගයකි . අටපට්ටම් , එල්ලන නෙළුම්මල්  මෙන්ම බිම සිටවන නෙළුම්මල් ද හදන එක අපේ  තාත්තාට කජු කනවා වැනි වැඩය . විශාල වශයෙන් විනෝද වීමට ඉඩ ප්‍රස්තා නොතිබුණ සමයක අපගේ ජිවිත ඒකාකාරී නොවුනේ මෙවැනි දේ නිසාය . අවුරුද්දට කාර්ය බහුල වී උණුසුම නිවෙන්නත් පෙර ඔළුවට එන්නේ වෙසක් කුඩුය .

පසුගිය වසරට වඩා වෙනස් සහ හොඳ එකක් තැනීම , අල්ලපු ගෙදර ළමයින්ට වඩා ලස්සන එකක් තැනීම ...මේවා ලෝකෝත්තර ලෙස සළකන විට අන්තිම නරක දේවල් විය හැකි නමුත් සංස්කෘතික අංගයක් ලෙස සහ ළමයින්ගේ නිර්මාණශීලි බව ඔප නංවන අපුරු මාධ්‍යක් ලෙස මා නම් වෙසක් සැරසිලි අගය කරමි .

වෙසක් කාඩ් තොරණ ප්‍රාථමික මට්ටමේ නමුදු බොහෝ විට පිරිමි ලමයෙකු සිය ප්‍රථම විදුලි පරිපථය සාදන්නට ඇත්තේ ඒ තුලින් වන්නට පුළුවන .

වෙසක් කාඩ් යැවීම  නම් මට කම්මැලි වැඩකි . නමුත් ඇතැම් ළමෝ එය ඉතාම සරුවට කලහ.

නමුත් වෙසක් කාඩ් ඇඳීමෙන් නම් මා ලොකු සතුටක් ලැබු  බව  මතකය . මේ එවන් එක්තරා කලක අඳින ලද්දකි .




කුඩු ඇලවීම , රැලි කැපීම , රැලි ඇලවීම , වටේට කැටයම් කපා ඇලවීම , මල් සාදා එල්ලීම ..ආදී නෙක කළා කටයුතු වලට යෙදෙන ළමයෙක් මොනතරම් හැකියාවක් ලබන්නේද කියා අද නම් මට සිතේ .

මා උගත් බාලිකා පාසල් දෙකේදීම පිරිමි ලමු නැතයි කියා වෙසක් සැරසිලි වලින් අඩුවක් නම් නොවිය .

වෙසක් දා කුඩු පත්තු කර පන්සල් යන අපි එන ගමනේදී කෙටි පාරෙන් නෑවිත් දිග පාරවල් වට රවුම් පාරවල් වලින් ගෙදර එන්නේ වෙසක්ද බලාගෙනය .

ඔය ගමන් වලදී අපේ පස්සෙන් ආ බුලා ගැන මා කලින් කිවා මතක ඇති සිතමි . වැස්සොත් නම් වෙසක් එතරම් සරු නැත . හොඳින් පායා සඳ එළියේ නැහැවුන රාත්‍රියක් නම් ළමා අපගේ දෙව්ලොව එයයි . පුග්දලික සනීපාරක්ෂාව ගැන අධිඅක් උනන්දුවක් තිබු අපේ අක්කා හැර අපි නම් බිම දන්සල් වන්දනා කළෙමු .

වෙසක් දවසේ තොරණක් බැලීම මොඩම වැඩකි . විදුලි ආලෝකය අවුල්ය . එක පිළිවෙලක් වන්නේ දෙවෙනි තුන් වෙනි දවසේය . තොටළඟ , පෑලියගොඩ , දෙමටගොඩ , පිටකොටුව ආදී ප්‍රසිද්ධ තොරණක් හෝ දෙකතුනක් බැලීමට අප කුඩාම කල වැදගත් පුරුද්දක්ව තිබිණ .

වයසින් වැඩෙත්ම සෙනග අස්සේ තෙරපීම වදයක් ලෙස සැලකීම නිසා ඒ ගමන් නැවතුන අතර වෙසක් කුඩු වක් දෙකක් තැනීම නම් කිසිකලෙකත් නතර නොවිණි .

එදාට වඩා අද නරක යයි මම කිසිකලෙක වත් නොසිතමි . වෙල් බඩවැටි වල බඩගා බට කැපීම අද අපහසුය . පියවරුන් අනේක රාජකාරි මැද්දේ කාර්ය බහුල විය . පාර අයිනේ ඕනෑතරමට වෙසක් කුඩු තිබේ ..අලවා හෝ නොඅලවා .

බුදු දහමට අනුව වුව කිසිවක් සදාකාලික නැත .එදා කල දේ ඒ ලෙසම අදත් කරන්නට යාම කොතරම් ප්‍රායෝගිකද නොදනිමි . 

යසට බට වැවෙන ,පොල් ඉරටු වඳ නොවූ රටක ගාලු මුවදොර පිටියේ ඉහල  අහසේ පාවෙන චීන සරුංගල් නම් මගේ සිත අපමණ වේදනාවට පත් කල බව නම් කිව යුතුමය .

මා චීන බත් කූරු වලින් කුඩු සදුවාට චීන වෙසක් කුඩුවක් ලංකික ගෙමිදුලේ එල්ලෙන දිනක් උදා නොවේවායි මගේ එකම පැතුමයි ..


Sunday, 19 May 2013

රූ සිරිනි නෙත බැඳුන.......මට මග හැරුණ තැන කොතන






දවස හැත්තෑව දශකයේ අග භාගයේ  දවසක් . එක අම්ම කෙනෙකුයි තාත්ත කෙනකුයි පොඩි කෙලි පොඩිත්තියෙකුත් එක්ක ගෙදරට රේඩියෝ එකක් අරන් එන්න ගියා . කොටුවේ පැත්තේ ලොකු සාප්පුවකට . ඒවායේ නම් ගම ඒ ළමයට දැන් මතක නැහැලු .

අම්මල රේඩියෝ තොරණ අතරේ කඩයේ හිටපු උස කෙට්ටු , රැවුලක් වවාපු තරුණයෙක් මේ ළමයා එක්කන් ගිහින් සාප්පුවේ  හයි කරලා තිබුණ අමුතු පෙට්ටියක් පෙන්නුවා . ඔන්න එදා තමා මේ ළමයා ටීවී එකක් දැක්කේ ඉස්සෙල්ලම .

මේ  ළමයාගේ හෙවත් මගේ මතක ගබඩාවේ එක එක ලැයිස්තු තියෙනවා . එක ලැයිස්තුවක් තමයි ජිවිතයේ හමු වූ මා ඉතාම ස්තුතිවන්ත වෙන මිනිසුන් . ඔන්න ඔය කියූ කරුණාවන්ත තරුණයා ඒ ලැයිස්තුවේ මුල්ම හරියේ ඉන්නවා .

ඔය වගේ වැදගත් ගමන් යද්දී ඉස්සර ගෙදර ළමයි සේරටම යන්න ඕන වෙනවනේ . ගොඩක් වෙලාවට බාලයාව තෝරා ගැනීමේ පදනම යටතේ තුන් වෙනියාට තමයි ඔය ගමන් යන්න ලැබුනේ .

අද වගේ නම් ඉතින් ''ඊනි ..මිනි මිනි මෝ '' නැත්නම් '' බබල්ගම් බබල්ගම් '' කරලා ඇඟිලි ගණන් කරලා තමයි තෝරා ගන්න වෙන්නේ [ , ඔය වගේ සෙල්ලම් නොදන්නා අයගේ දැනගැනීම සඳහා ---ඔය කිවේ අර ටක් ටික ටුක් වගේ එකක් ]

අපේ මලයා මට වඩා හුඟක් බාල නිසා මතක හිටින කාලයක් බාලයා වී සිටීමේ වාසිය ලැබුණ . කඩේ එක්කන් යාම..අඹ ඇටය හිමි වීම වගේ වාසි . ඔය අඹ ඇටය අයිති කරගන්න අරගලය සදාතනික එකක්ද කොහෙද .

ඇත්තම කියන්න කන්න ඇති දේකුත් නැහැ . කෑල්ලක් කන එක එයිට හොඳයි . ඒ වුනාට පාරම්පරික අරගලය ඉදිරියට ගෙන යමින් අපේ කෙල්ලන්ද ඕකට පොරකනවා .

''බාලයාට ''නියමය අලුත් පරම්පරාවට අල්ලන්නේ නැහැ . එක්කෝ ගෙඩි දෙකක් කපන්න වෙනවා . නැත්තන් මතක තියන් ඉඳලා ඊළඟ පාර අනික් කෙනාට දෙන්න වෙනවා .

කඩේ යනඑක ඉතින් කවදත් වාසියි . අපි ඒකාලේ සතියකට වතාවක් පොළකට හරි පිටකොටුව ,තොටළඟ වගේ ලොකු වෙළඳ පොළකට හරි යන එක පුරුද්දක් . ඒ ඒ ගමන් වල වෙන වෙනම වාසි තිබුණ . කඩුවෙල පොලේ ගියොත් පාරුවෙන් එගොඩ වෙලා යන එක විනෝදයක් . පාලම හැදුනට පස්සේ තව දුරටත් ඒ ගමන විනෝදයක් වුනේ නැහැ . කඩුවෙල ගියේ පොලේ විතරක්ම නෙමේ . ඒ කාලේ හොඳ චිත්‍රපටයක් ආවහම අපිව එක්ක යන පුරුද්දක් තිබුණ . කඩුවෙල සිනමා ශාලා දෙකක් තියෙනවා . එකක් විජයන්ති සහ අනික ලේඛා වෙන්න ඕන . අපි වැඩියම ගියේ කඩුවෙලට  . කොළඹ සිනමා ශාලා වලටත් ගියාට කොයිවටද කියල මතකයක් නැහැ .

අද කාලේ නම් ලව් ස්ටෝරි කියල අපි ළමයි එක්ක යන්නේ නැති වෙන්නත් ඉඩ තියෙන හිඟන කොල්ලා , අභිමාන් , මොණර තැන්න වගේ එව්වත් අපි පවුලම ගිහින් බැලුවා . සිරිබෝ අය්යා බලන්න නම් විශේෂයෙන් ගියේ අපේ ගම පෙන්නපු නිසාත් ආතා එහෙමත් එක දර්ශනයක සිටි නිසාත් . හඳයා නම් ලමයින්ගේම එකක්නේ .

ඔය අභිමාන් බලා ඇවිත් අපේ අක්කා ''තෙරේ මෙරේ මිලන තිරේ ...නයා කොයි ගුල් එලන්නේ '' කියා කියා ඔය සින්දුව කියනවා මට මතකයි .


පිටකොටුවේ මැනින් මාකට් යන එක නම් මට ඇල්ලුවේ  නැති වැඩක් . වැස්සක් හෙම දවසට නම් කලුපාට කුණු මඩ ගොඩේ ඇවිදින එක . .....

ඇත්තටම මේ කඩේ යාම ගැන රසබර කතා එමටයි . වෙන වෙලාවක කියන්නම් .

ඉතින් මන් ළමයා අර කඩේදී ටීවී එකක් දැක්කට පස්සේ වැඩි දවසක් යන්න කලින් අපි හිටි වත්තට අල්ලපු වත්තේ මහ ගෙදරට ටීවී එකක් ගෙනාව . ඒ කාලේ ඇත්තටම ලොකු ලොකු ඉඩම් තිබුනේ . ඒ කියන්නේ ගමේම වගේ ඉඩම් පවුල් කීපෙකටයි අයිති . ඔය මා කියූ ගෙදර හැඳින්වූවේ රජ ගෙදර කියා . ගෙදර සියා රජ්ජුරුවෝ . එහෙම කිවේ ඒ සියා ඉස්සර කොටුවේ රජ ගෙදර වැඩ කලාලු .

ඔය ගෙදර උන්න පිරිමි ළමයි දෙන්න අපේ ගජ යාළුවො . කොල්ලෝ වුනාට මොකද අපි එක්ක සෙල්ලම් ගෙවල් දාල සෙල්ලම් බත් උයන්නත් ආවා . දවසක් හැමෝම කුස්සියෙන් යමක් සොරා ගෙනත් ඇත්තම බත් ඉව්වා මතකයි .

ඉතින් ඔය යාළුකම නිසා අර ටීවී එක බැලීමේ පුර්ණ අනුග්‍රහය අපට ලැබුණ . කොටින්ම මහ රෑට පෙන්නුව චිත්‍රපටිය බලන්න මුන් දෙන්න අපිව එක්කන් යන්නත් එනවා . අද කල්පනා කරද්දී VIP  සැලකිල්ලක් .

හේතුව තමයි ගමෙන් භාගයක් ඒ වෙද්දීත්  පුටු , පැදුරු ආක්මන්ය කරලා ..කොටින්ම ජනෙල් කුරුවල එල්ලිලා බැල්කනි ජනතාව .

සිකුරාදා වෙන්න ඕන . නැත්නම් ඕක ඉවර වෙන්නේ පාන්දර වෙලා ..පරණ සිංහල සිනමාව මට හමුවෙන්නේ ඔයාකාරෙට . බර ගානක් බැලුවා . පාන්දර එකට විතර බෙලි කඩා වැටිච්ච උන් කුණුකෙල හෙම පිහදාගෙන ගෙවල් බලා යනවා . මන් නම් නේද පොඩ්ඩක් වත් නිදියන්නේ නැහැ . මුළු කතාවම බලනවා කොහොම හරි .
බිනරමලී ,,පරසතුමල් ...රන්මුතු දුව ..එකී මෙකි නොකී අටෝ රාශියක් චිත්‍රපටි බලා ගත්තේ ඔහොමයි .


ටිකක් කල් යද්දී ඒ වැඩේ එපා වුනාද අම්මා ගෝරනාඩු කලාද කියන්න මට මතක නැහැ . කොහොම හරි ඒ ටීවී බලන එක නතර වුනා . මන් දෙකේ තුනේ පන්තිවල වගේ කාලේ මේ දේවල් වුන බව තමා මතක .

ඔය කාලෙම අපි කුලියට හිටි නිවසේ අයිති ගෙදරටත් ගෙනාව රුප පෙට්ටියක් . ඒ ගෙදර ළමයි හිටියෙම නැහැ . අපි තමයි කොච්චරවත් එහෙ යන්නේ . කියන්න බැරි තරම් පලතුරු තිබුන වත්තක් . බෙලි අඹ අන්නාසි පේර..නමි නං ..එහෙම පලතුරු උයනක් ..වෙරළු ගස් අඹ ගස් නිකන්ම එව්වා නෙමේ ..සිනි වෙරළු ..පොල් වෙරළු ..යාපනේ අඹ ..කොහු අඹ ..බෙට්ටි අඹ ..

අර කුඩා කල මුළු දවසම නැලවී නැලවී සිටි අඹ ගසේ ඔන්චිල්ලාව තිබුනේත් අප මේ නිවසේ සිටි කාලයේ . අදටත් සිහිනෙන් මා ළමා කල දකියි නම් දකින්නේ මේ නිවස ආශ්‍රිතව . හරියටම ආපසු ගමට ගිය අපු මැටි බිත්ති වල සැඟවූ කැට කැබිලිති සොයා යන්නාසේ මාද ඉඳහිට මතක මන් ඔස්සේ ගොස් කුඩා මාගේ සොඳුරු මතකයන් අවුස්සනවා .

ඒ මහා ගෙදර ,පැරණි කොටසුත් ඉතුරුකරගෙන අලුත් වැඩියා කල ලොකු ගෙදරක් . පැරණි සිමෙන්ති ඇති කොටස් හරිම සනීපයි ..එහෙ අක්ක එක්කහු කරලා පොත් හදලා තිබ්බ දයා රාජපක්ෂගේ කතාවක් නැත්නම් පරන ශ්‍රී සඟරාවක් කියෝ කියෝ අර සිතල සිමෙන්ති පොලවේ වැතිරිලා ඉන්න එක එක්තරා විදිහක ක්ෂේම භූමියක් නැත්නම් පාරාදීසයක් වුනා ළමා මට .

කඩලා වට්ටියක දාල පලතුරු ඇඳ යට තියා ඉන්න සුදු ආච්චි පේර ගෙඩියක් නමිනං ගෙඩියක් ගෙනත් දෙනවා . ගස් වලත් ඕනෑතරම් තිබුනත් මේවා සත්තු නොකා පරිස්සන් කරලා තිබ්බ ඒවා . එයා ගෙදර කිසි වැඩක් කලේ නැහැ . මොනවා හරි හේතුවක් නිසා කසාද නොබැඳ වයසට ගිය මම්මලා ගොඩක් ඒ ගෙදර හිටියා . මන් කලින් මේගැන ලිවාදත් මන්දා .
කඩේ යන මම්මා ..කියලා කඩේ යන්නම එක්කෙනෙක් හිටියා . උයන මම්මා කෙනෙකුත් හිටියා .

ඒ සියලු මම්මලා මේ වන විට මිය පරලොව ගිහින් . හැබැයි ඔය ඉතින් අර ''ස්තුති ලයිස්තුවේ'' ඉන්න තව කට්ටියක් .

ඒ ගෙදරට ගෙනා ටීවී එකත් අපේම භුක්තියට සවි වුනා . ඕන වෙලාවක අපි වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච ඒ රුප පෙට්ටියෙන් තමා Big Foot and wild boy හෙම මට හමු වෙන්නේ .

ඔය ඉතින් අර ස්තුති ලයිස්තුවේ ඉන්න තව කට්ටියක් .

එයින් පසු කාලයක අප ගෙවල් මාරු කළා . ඒ එක්කම රූපවාහිනියයි මමයි අතර හිඩැසක් ඇති වුනා .. ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා වෙන පාසලකට යාමත් එක්ක මගට ගත වුන කාලය වැඩි
වුණා . ටයි මාමගේ කාටුන් යුගය මට මග ඇරුණා යම් පමණකට . ගෙදර ටීවී එකක් නැති වීම අද වනවිට අරුමයක් වන්නට පුළුවන් ,,නමුත් අපේ ගෙදරට කවදාවත් ටීවී එකක් නැති වග ගැන කිසිවෙකු කතා වුවේ වත් ඒ ගැන කණගාටු වුනේ  වත් නැහැ .

ඔන්න ඔය කාලේ මද පෙරදිග යාම ජනප්‍රිය වුනා . ගමේ ගෙවල් වල ටීවී කැසට් ඕන තරම් . යුගයක පෙරලිය . ඇත්තටම යමෙකුගේ ජිවිත අන්දරය හුදකලා එකක් නොවේ . කාලයත් සමග සමාජය වෙනස් වීමේ කතන්දරයක් . උපේක්ෂාවෙන්  වයසට යාහැක්කේ මෙය තේරුම් ගත්තා වූ අයටයි

මට මේ හදිසියේ මේවා මතක් වුණේ පසුගිය දිනෙක වූ අකරතැබ්බයක් නිසයි ..චව් චව් සහ දිය රකුස් ...වැඩි විස්තර කියන්නට නොහැක .දන්නෝ දනිති
ඔය අස්සේ මට කාලයක් තිස්සේ සිතා සිටි රුපවාහිනි ඉතිහාසය යම් පමණකට සටහන් කර තබන්නට සිතක් පහල වුණා .

මටත් වඩා ඔය ගැන දන්නා කෙනෙක් හිටියද ඔහුගේ රන් වැනි මතක දිග හැරෙන්නේ මිත්‍ර සමාගමක හෝ අප දෙදෙනාගේ අතිතානුස්මරණ සංලාප යන්ගේ පමණයි .

ලංකාවේ පලවෙනි රුපවාහිනී සම්ප්‍රේෂණ ආයතනය වෙච්ච ITN එක ගැන නොදන්නා කෙනෙක් නැතුව ඇති . හරි ඉතින් දැන් ඕකේ යන නිව්ස් ගැන එහෙම කල්පනා කරලා කරදර වෙන්න ඕන නැහැ . මන් මේ කියන්නේ ඉතිහාසය .

පන්නිපිටියේ පිහිටවපු මෙය ශාන් වික්‍රමසිංහ මහතා ට අයිති වෙලා තිබුණ කියලයි කියන්නේ . මන් ඉතින් කෝකටත් කියලා විකියේ බැලුවා . අනිල් විජේවර්ධන සහ බොබ් ක්‍රිස්ටි කියන දෙන්නත් සම්බන්ධ වෙලා තියෙනව වැඩේට .

1979 අප්‍රේල් පටන් ගත්ත මේ නාලිකාව දකුණු ආසියාවේත් පලවෙනි එකලු . වැඩි කාලයක් නොගිහින් මෙය රජයට පවරාගත් බවයි කියවෙන්නේ . ඉන්පසු බත්තරමුල්ලේ වික්‍රමසිංහ පුරට ගෙනගියා .

ජපානයේ තෑග්ගක් වෙච්ච රුපවාහිනී සංස්ථාව පිහිටුවන්නේ 1982 දී .
1992 දී පුද්ගලික නාලිකා වලට රාජ්‍ය අවසර දුන්නා . මහරාජා ආයතනය බිහිවන්නේ එයින් පසු .

මේ පිළිබඳව තම තමන් දන්නා තොරතුරු එක්කරන්න . අද වන විට ලාංකීය රුපවාහිනිය කෙතෙක් දුරට සමාජීය වශයෙන් තම වගකීම ඉටු කරනවාද කියන එක වෙනම සැලකිය යුතු කරුණක් .



ඒ කතිකාව සඳහා මට සුදුසුකමක් නැති වන්නේ කලක සිට මා හා ලාංකීය රුපවාහිනියේ පයිරු පාසානම බිඳ වැටි ඇති හෙයින් .

නමුත් ඉතිහාසය ගැන ඔබ දන්නා දේ එකතු කර තබන්න . සිංහලෙන් ලියවුන එකඳු ලිපියක් වත් මේ ගැන මට සොයා ගන්නට බැරි වුනා . පෙර දවස අප කතා කල බොහෝ දේ මෙන්ම දවසක මෙය අපට සතුටක් වේවි .




රේඩියෝවේ විකාශය ගැන නම් මෙන්න මේ ලිපිය වටිනා එකක් බව පෙනුනා



පින්තුරය