Wednesday, 5 June 2013

ගෙම්බෝ


විල් තුන් දහසක් ඇති පලාතක ජිවත් වන මා නිවාස ආසන්නයේම තමයි ලොකුම වැව ඇත්තේ . මේවා වැඩිමනක් ස්වභාවික ඒවා . .කලෙකදී රතු ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ඒවා . රජවරු වැඩි දියුණු කල ඒවාත් නැත්තේ නැහැ . ඒවාට අමතරව වැව් සහ ජලාශ ලෙස තිබී කෙමෙන් ගොඩ වී හෝ ගොඩකර නාගරිකරණය වූ ස්ථාන වල කුඩා පොකුණු වැනි ජල කඩිති බහුලයි . පෙඳ පාසි වැවී කොළ පැහැති වූ එවැන්නක් අප නිවාස අසලත් තියෙනව . රාත්‍රියට කවුළු පියන් පත් හැරිය කල ගෙම්බන්ගේ ගේ හඬ තැලුම අපට එතරම් අරුමයක් නොවේ.

වෙසෙසින් වැසි කලට අතොරක් නැතුව ගෙම්බන්ගේ හඬ ඇසෙයි . වැසි කාලෙට පෙරම ගෙම්බන් දෙවියන්ට වැස්ස දෙන්නයි කියා හඬන්නට පටන් ගන්නා බව මෙරට වාසීන්ගේ මතය . කොහොමත් කඩපිල් වල ගෙඹි දෙවිවරු හට පුද පුජා කොට අල්තාරයක් තැබීමත් සුලබයි .
තෙත් කලාපයේ විසු අප කුඩා කල නිතරම ගෙතුළ ගෙම්බෙක් දෙන්නෙක් පදිංචියට පැමිණීම අරුමයක් වුනේ නැහැ . උන්ගෙන් ඒ හැටි කරදරයක් නැති මුත් උන් පසුපස සර්පයින් එයි කියා සැක කල බැවින් ගෙඹී අමුත්තන්ට එතරම් පිළිගැනීමක් ලැබුනේ නැහැ .

පොල්කටු දෙකකින් අල්ලා ගෙන ඈතකට ගෙන ගොස් දැමීම තමා අපේ රාජකාරිය . වැඩකට ඇත්ද ..පසුදා එම මුල්ලෙන්ම ''ක්රෝක් '' කියා අපට සවුත්තුව දමයි .

උසස්පෙළ හදාරන වයසේ ළමයෙක් සිටි ගෙදරක් නම් ගෙඹි හාමිලාට දෙවි පිහිටය . වාසනාවට හෝ අවාසනාවට මට උවමනා කාලයේ එක ගෙම්බෙක් වත් පාසලට ගෙන යාමට නොහැකි විය .
අපේ මිතුරියක් දිනක් ගෙඹි ඇටකටු ගන්නට සිතා ගෙම්බෙක් තම්බා නිවෙනකම් බලා ඉද්දි කපුටෙක් එය ඩැහැ ගෙන ගිය බව කිවේ ඉතාම දුකින් .
අනේ ඒ, විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් පරලොව සැපත් සුවහසක් ගෙඹි කැරපොතු පරපුරට මගේ කණගාටුව .

එයින් පසු මට සැලකිය යුතු ගෙම්බෙකු හමුවන්නේ මගේ ලොකු දියණිය ඉපදී මාස කීපයකට පසුව
ඌ නිකන්ම ගෙම්බෙකු නොවේ. ඇට ගෙම්බෙකි . බිත්ති කබඩ් උඩින් තිබු කොන්ක්‍රීට් ලෑල්ල අනවසරයෙන් අල්ලා ගත් මේ ඇට ගෙම්බා කාලයක් ගෙදර හොඳ නාටකයක් වුනා . [මේ ලෑල්ල වරින් වර එක එක සත්ව වර්ගයාගේ පදිංචියට සින්න වුවත් එතන තිබුනේ පොත් සහ පත්තර . ඒ කාමරේ හිමියා පොත් ගුල්ලෙක් වූ අතර කැන්දන් ආ මනාලිය එයිට දෙවෙනි වුනේ නැහැනේ .]

ගෙදර පිරිස ගෙම්බන්ට බය සහ බය නැති ලෙස දෙකට බෙදුනා . බය නැති අය කොසු ඉලපත් රැගෙන සටනට බට අතර අනික් පිල පුටු මේස උඩට නැග සටනට අවශ්‍ය උපදෙස් සැපයුවා . කොළඹ සිට යුද්ධය මෙහෙයවූ අය මෙන් .
ඇට ගෙම්බා වැටුනොත් ළමයා කෙට්ටු වේ යයි කියමින් ඌ පසුපස පැන්නුවේ රාණි . අපේ ගෙදර උදව්වට පැමිණි නානා ප්‍රකාර චරිත අතර රාණි විනෝදකාමී කෙනෙක්. ඒ අය ගැන වෙලාවක ලියන්න ඕන [ අතට පයට දැසි දස්සන් උවමනා නිසා නොවේ ඔවුන් ගෙන ආවේ . මා එකල රැකියාවක් කල නිසා පොඩි එකා බලා ගැනීමට . අනෙක් අතට ඔවුන්ට අප හොඳින් සැළකු බවත් වේලාසනින්ම කියන්න වෙනවා . ]

ඒ කතා පසුවට ..දැනට ගෙම්බන් .
කෙසේ හෝ ඌටම එපා වී ගෙම්බා දිනක අප අත්හැර ගිහින් තිබුණ

එයින් පසු මේ පොකුණේ බක බක ගාන [ මුන් බක බක ගාන්නේ නැති බවත් '' ක්රෝක් '' ගැන බවත් අපේ කෙල්ලන් මට කිවා ]. ගෙම්බන් හමුවන තුරු සැලකිය යුතු ගෙම්බෙක් හමු වුනේ නැහැ .
යාන්තමට අටවා ගත් බ්ලොග් එකට නෙළුම්විල කියා නම තැබීමත් අහම්බයක් . ඉඳහිට විලට ගෙම්බෙක් දෙන්නෙක් පැන්නාට එතරම් හානියක් වුනේ නැහැ .


මෙය මහා ලොකු විලක් නම් නොවේ . සයිබරය කියන අපමණ විල් ඇති නගරයක කුඩා පොකුණක් පමණයි . ඉඳහිට වැව අද්දර ඉතිහාසය ගැන සාහිත්‍ය ගැන වගේම ලෝකය ගැන රසවත් ඕපාදුප කතා වෙනවා තමයි. දැන් එච්චරකට සාර නැති වුනත් මේ ඉතින් අපේ සතුට . මගේ දියණියන් දෙදෙනාගේ ළදරු පින්තුර දෙස බලා සතුටු වෙනවා සේම ඉඳහිට අපේ රසවත් කතා බහ නැවත කියවා සතුටු වෙන්නේ .

එදවස නිදහසේ අනෙක් අඩවි වල අදහස් පල කලත් අද ඒ නිදහස නැතුවා වගේ දැනෙන නිසා ..කොටින්ම බ්ලොග් අවකාශයේ නිදහසේ පියාඹන්න බැරි ගතියක් දැනෙන නිසා ඇතැම් විට මා නිහඬව සිටියත් කාලෙකට පසු ලොකු සතුටක් ලැබූ මේ බ්ලොග් අඩවියට මා ඉතාම ආදරෙයි තවමත් .

ඇතැම් විට ගෙදර වැඩකටයතු දහසක් තියෙද්දී මේ ලියන්නේ ඒ ආසාව නිසා . පාරේ යන ගමන් ගල් ගසා විල බොර කරන්නට සමහරෙක්ට සිතෙන්නේ ඇයිදැයි මට නොතේරෙන නමුත් ඉතාම ආදරයෙන් ඉල්ලනවා අනෙක් සහෝදර බ්ලොග් කරුවන් ගැන මඩ විලට ගෙන එන්න එපා කියා .

එමෙන්ම මගේ නම අනෙක් අයට අපහාස කරන්නට යොදා ගන්න එපා කියා .

කමෙන්ට් මොඩරේට් නොකර තබන්න මට ඉඩ දෙන්න . එවිටයි කතාවන් රසවත් වන්නේ .

 පින්තුරය

Sunday, 2 June 2013

තෙද ඇති පුතුන් දවසක වඳවී යාද

සිතේ බාගෙට කෙටු ලිපි නම් අනන්තය . නෙත දකින අපමණ දසුන්ය . අධික හිරු රැසින් මහා පොළොව දැවෙන කල ප්‍රීතියෙන් දළු කොළ කිරුළු දැරූ නෙළුම්විල කැකුළු සියපතින් සැරසිලාය . කණගාටුව එවන් මල් බරින් සැරසුන අප පිය නෙළුම්විල අද එපමණ මල් පුබුදුවන්නේ නැතිකමය . හිමිකාරිය අලසය .

සියලු පණ ඇති නැති වස්තුන්ට තම තමන්ට හිමි වසන්තයක් ඇත. බ්ලොග් ලියවිල්ලටද එයම පොදු වේ ..

මෙහි හිමිකාරිය කලින් කලට විවිධාකාරයේ රුචිකම් ඇත්තියක් වන බැවින් එක් දෙයක් නොකඩවා කිරීමට ඇති නොහැකියාව පිළිබඳ වාර්තා තබා ඇත . එහෙයින් මේ නම් අතිශය ස්වභාවික සන්සිද්දියකි
ලඟදි දිනෙක නැරඹු ජපන් සිතුවම් පටක් ඇගේ සිත තදින් දිනා ගත් අතර බැලුදා පටන් ලියන්නට සිතා සිටියාය .

එක් සමයෙක පිරිමින්ට වෙසෙසින් වැළඳුන වසංගතයක් හේතු කොට පුරුෂයින් ගණන හතරින් පංගුවක් දක්වා අඩු විණ . තමන්ට දරුවෙක් ලබා දෙන්නැයි නිරෝගී පිරිමින් හමු වේ හඬා වැලපෙන කතුන්ය .
සෞඛ්‍ය සම්පන්න තරුණයින් ,ඕකු හෙවත් රැජිනගේ ඇතුල් ගෘහයෙහි රැජිණ විසින් තෝරා ගනු පිණිස පදිංචි කර ඇත . සමුරායි කෙනෙකු වීමේ සිහිනයෙන් පෙලෙන කතානායක තරුණයා සිය දිළිඳු පවුලේ සුබ සිද්ධිය තකා මෙම ඕකු තරුණයින් අතරට එක් වීමට තීරණය කරයි .අනෙකුත් සම්ප්‍රදායික එකිනෙකා පරයා සිටිමට වෙහෙසුන අනිකුත් තරුණයින් අතර සාමාන්‍ය පවුලකින් පැමිණෙන මේ වෙනස් තරුණයා කෙසේ පිලිගැනේද ?

ඔහුගේ පෙම්වතියට ඔහුව නැවත දකින්නට ලැබේද ? . එවකට සිටි ශෝගුන් රැජින මියගොස් අලුතින් පත්වූ තරමක් රැඩිකල් අදහස් ඇති නව ශෝගුන් රැජින කඩවසම් තරුණයින් අතරින් පළමු රාත්‍රිය ගෙවන්නට තරුණයෙක් තෝරා ගත යුතුය .

වර්ණවත් ඇඳුමෙන් සැරසුණ තරුණයින් අතර කතානායකයා කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි. පළමු රාත්‍රිය ගෙවන තරුණයා මරා දැමීම පෙර කල පටන් පැවැති සිරිතක් බව රැජිනද නොදත්තාය .
වැඩි ආටෝප කුමටද . මෙතනින් ඔබටම නරඹන්නට හැකි කොට .




picture from


කන බොන දෙයක් කටට දාගන්නේ නැතුව එහි උත්පත්තිය සොයන්නාක් මෙන්ම නරඹන සිනමාවක අලගිය මුල ගිය ස්ථාන සෙවීමේ ජන්මගත රෝගය නිසා වැඩිමනක් මේ ගැන කියවද්දී දුටුවේ මුලින්ම ජපානයේ manga වර්ගයේ චිත්රකතාවක් ලෙස එළිදුටු කතාවක් බවයි . එමෙන්ම රුපවාහිනී කතා මාලාවක්ද වූ බවයි .


ලොව බොහෝ කොට සිදු වුවේ කාන්තාවන් ප්‍රදර්ශනය කිරීමය .විශේෂයෙන් රතු විදි වැනි ස්ථානයන් වෙන් වුවේ කාන්තාවන්ට . පිරිමින් පැමිණියේ පාරිභෝගිකයින් ලෙස .

මෙහි මුහුණු වල පාට උලා සරසා විශේෂ විදි වල ප්‍රදර්ශනයට තබා සිටි පිරිමින් ගේ නෙත් කැල්මක් සොරා ගන්නට පොර කන තරුණියන් ය .

නුඹලාට අපි නැතිකොට අගේ දැනෙන්නට හොඳ වැඩේ යයි මෙය නරඹන තරුණයින් සිතන්නට පුළුවන . සැබෑය මය කොයිදේත් හිඟ කල අගය වැඩි වේ .

ගැහැණු අප හැම විටම අපේ අයිතිවාසිකම් ගැන කතා කරමින් පිරිමින්ට තඩි බාන බවට චෝදනා එල්ල වෙද්දී පුරුෂ පක්ෂය ගැන අනුකම්පාවක් ඇති වෙන අන්දමේ චිත්‍රපටයක් බව නම් කිව මනාය ...

කලබල වන්නට දෙයක් නැත. මෙය සැබෑවට සිදු වූ බවට කිසිම තොරතුරක් නැත . එවන් වසංගත ලොව නැතුවා වන්නට පුළුවන . ඇත්තේ ගැහැණු පිරිමි වෙනසක් නැතුව සංවේදී බව මරා දැමෙන බරපතල වසංගත පමණි . එදාට වඩා අද ඒවා වැඩිද යන්න නම් මගේ දැනුම් පථයට හසු නොවන්නකි . මට සිතෙන්නේ වසංගත පැතිරෙන ක්‍රම සහ සංකීර්ණ බව නම් වෙනස්ය .

http://nelumwila.blogspot.com/2012/03/blog-post_29.html#comment-form

අපි කලින් ලියු ලිපියක කමෙන්ට්ස් වල තියෙනව ෂෝගුන්වරු ගැන බුරාගේ අගනා විස්තරයක් . මෙන්න ලින්කුව උනන්දුව ඇති අයට