Friday, 19 July 2013

බතාවියාවේ සති දෙකක්


බතාවියාව තියෙන්නේ කොහෙද කියල බ්ලොග් එක කියෝන හතර පස් දෙනෙක් වත් නොදැන ඉන්න විදිහක් නැහැ . ලන්දේසින් විසින් බතාවියා ලෙස නම් කරලා තිබුණේ වත්මන් ජකර්තා . ඒ කියන්නේ ඉන්දුනීසියාවේ අග නගරය .

සුමාත්‍රාවේ ඝන වනාන්තර උඩින් , නිතර භූචලන වලින් කම්පනය වන නම නොදත් අපමණ නෙක හැඩති දුපත් උඩින් පියාඹලා පුදුමාකාර රටක් ලෙස මගේ හිතේ ඇඳිලා තියෙන ඉන්දුනීසියාවට ගොඩ බැස්ස කියන්නෙ මට නම් හරිම අපුරු දෙයක් . වෙනදට සිංගප්පුරුවෙන් බහින්න කලින් ගුවන් යානය සුරබයා , ජාවා සුමාත්‍රා පැත්තෙන් යන බව සිතියමෙන් දකිද්දී වුනත් ඇති වෙන්නේ නිකන් බර්මියුඩා ත්‍රිකෝණය උඩින් යනවා වගේ හැඟීමක් . බයක් හෙම නෙමේ නිකන් කුතුහලයක් වගේ දෙයක්. කවදාවත් ඇත්තටම දැකගන්න ලැබෙයිද කියල විශ්වාසයක් නැති ගතියක් .

ඒ අස්සේ ඒ දවස්වලමයි සුමාත්‍රා පැත්තේ වනාන්තර ගිනි තියල ඇති වුන දුමාරය මැලේසියාවට සිංගප්පුරුවට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මහා පරිමානෙන් සුමාත්‍රාවේ වන සංහාරය සිද්ද වෙනව . විශේෂයෙන්ම පාම් වගාව සඳහා . ඒ වගේම අවුරුදු කීපෙකට ඉන්දුනිසියාවේ රැකියාවලට යන විදේශිකයින් ගෙවල් වලට ගෘහ භාණ්ඩ හදන තමයි ආපහු යන්නේ . අපේ වගේම ඇති සාර්ථක දේශපාලන ව්‍යුහයක් ඇති බව තමා පෙනුනේ . ඒ හින්දා ඒවා ඒහැටි ගානක් නැතුව ඈති..

කොටින්ම මන් පතත්රේක දැක්ක සුසිලෝ [ ඔය කෑල්ල විතරයි මතක හිටියේ .] ජනාධිපතිතුමා කියා තිබුණ '' දුම් ප්‍රශ්නය එකක් හැබැයි ඒ ගැන ඒගොල්ලන්ට තර්ජනය කරන්න මැලේසියාවට ඉඩ දෙන්න බැහැ කියල . කොහොමටත් එගොල්ලයි මැලේසියාවයි අතර සම්බන්ධය ටිකක් අවුල් වගේ කියලයි අහන්න ලැබුණේ. බෝර්නියෝ කියන දුපත ඉන්දුනීසියාව , මැලේසියාව සහ බෘනායි අතර බෙදිච්ච නිසා ප්‍රශ්න ඇති .

ජකර්තා කියන්නේ නගරයකට වඩා විශාල ප්‍රදේශයක් . අතිශය ජනාකීර්ණ නගර කොටස ඇරුනම ටිකක් එලියට යන්න යන්න නම් හොඳින් ගහකොළ ඇති ප්‍රදේශ දකින්න ලැබුණ . අපි හිටියේ දකුණු ජකර්තා කියන පළාතේ . අලුතින් සංවර්ධනය වුන බොහොම ලස්සන ප්‍රදේශයක් . පාර දෙපැත්තේ ගස් වවලා තැනින් තැන තණකොළ පිට්ටනි . ක්‍රිකට් ගහන්න නම් අපුරුයි කියලයි සමහරුන්ට හිතුනේ.

විශාල දුපත් කීපයක් සහ කුඩා කුඩා දුපත් විශාල ගණනක් ඇති ඉන්දුනීසියාව පරිපාලනයත් ලේසි නැතුව ඇති .
සිතියමක් දැම්මම ඉවරයිනේ . තේරුම් ගන්න පහසුයි 





සිතියම බැලුවාම පෙනෙයි ජකර්තා තියෙන්නේ ජාවා දුපතේ උතුරු කොටසේ බව. වනාන්තර ගිනි අරන් තියෙන්නේ ඊට උඩින් තියෙන සුමාත්‍රා දුපතේ . ඉන්දුනීසියාවේ ඉතාම සුන්දර සංචාරක ආකර්ශනයක් වෙච්ච බාලි දුපත තියෙන්නේ ජාවා වලට නැගෙනහිරින් . මේ සිතියමේ නම් කර නැති වුනාට 2004 දී අපට නොමැකෙන දුක්බර මතක ඉතිරි කල සුනාමියට මුල්වෙච්ච භූචලනය සිදු වුන බණ්ඩා අචේ තියෙන්නේ සුමාත්‍රාවේ උතුරුම කෙලවරේ .

අපි ඉන්න දිනවලත් ඒ ආසන්නයේ තරමක් විශාල භූ චලනයක් සිද්ද වුණා කියා පුවත් පත් වල තිබුණ . හැමදාම උදේට ජකර්තා පෝස්ට් පත්තරේ කියවූ නිසා යම් පමණකට ඕපාදුප ටිකක් අහුලා ගන්න හැකි වුණා.
හුදී ජනයා ගැනම සිතා මතක ගබඩාවට දමා ගත්තා .

ඈත අතීතයේ සිටම සේද මාවත ඔස්සේ ලංකාව සමග සම්බන්ධ වුනත්  ඉන්දුනීසියාවේ ඉතිහාසය ගැන අපිට එතරම් දැනීමක් ලැබිලා නැහැ . එහෙන් මෙහෙන් කියවූ දෙයක් ඇරෙන්න අපේ කාලයේ මොහෙන්දොජාරා හරප්පා ,ඉන්දුනිම්න වගේ ශිෂ්ටාචාර කීපයක් ඇරෙන්න සමාජ අධ්‍යයනයට උගන්නපු දෙයකුත් නැහැනේ ද බලාගෙන ගියහම .

අතට අහු වුන වෙලාවේ ඒ ඒ දේවල් ගැන පොඩ්ඩක් හරි ලියා තැබීම යුතුකමක් විදිහටයි මා දකින්නේ . නැත්තන් මගේ සුපුරුදු රසිකයින්ගෙන් භාගයක් සිතියම දැක්ක ගමන් මෙලහටත්  අහක බලා ගන්න බව දන දැනත් මේවා ලියන්නේ අහවල් දේකටද ..නැද්ද .



අනික් අතට හසිත වගේ ඉතිහාසය මිට මොලවා ගත්තු ළමයින්ටත් බුරා වගේ ඔලුවේ විශ්වකෝෂයක් එක්ක උපන්න උන්ටත් මේ වගේ සරල කාරණා වැඩකටත් නැති බවත් ඇත්ත .

ඉන්දුනීසියාව සැදිලා තියෙන්නේ ලොකු කුඩා දුපත් රාශියකින් . ප්‍රධාන කොටම විශාල දුපත් වන්නේ
 ජාවා
  සුමාත්‍රා
 බෝර්නියෝ [ බෝර්නියෝ වල ඉන්දුනිසියන් කොටස හඳුන්වන්නේ කලිමන්ටන් ලෙසයි ]
  සුලවසි
 නිව්ගිනි [ නිව්ගිනි වල ඉන්දුනිසියන් කොටස පැපුවා . ]

මේ ඇරෙන්න බාලි වැනි කුඩා දුපත් විශාල ගණනක්    තියෙනව . මාත් මේ සිතියම අධ්‍යනය කරලා වෙන වෙනම මේ දුපත් ගැන ටිකක් කියවලයි දැනගත්තේ . පහුගිය කාලේ නිතර කතාබහට හේතු වුන ටිමෝරයේ බටහිර පැත්තත් අයිති ඉන්දුනීසියාවට .

මේ දුපත් ගැන වෙන වෙනම ලියන්න තරම් කරුණු තියනව . මා සිත්ගත් කරුණු කීපයක් කීපයක් විතරක් ලියා තබන්න සිතුවා .

 ජාවා තමයි පරිපාලන ලෙස වැදගත් . අගනුවර වන ජකර්තා නිසා . ඒ ඇරෙන්න බොරෝ බුදුර් වැනි බෞද්ධ නටබුන් තිබෙන්නේත් මෙහි .

සුමාත්‍රා ..වැසි වනාන්තර වලින් ගහණයි. සත්ව විවිධත්වයද ඉහලයි .

කලිමන්ටන් හෙවත් බෝර්නියෝ දුපතේ කොටස වැසි වනාන්තර බහුලයි .. ඔරන් ඔටන් සහ ඕකිඩ් මල් සහ මැණික් මෙහි විශේෂත්වයන් .

සුලාවෙසි ජනයා අතීතයේ සිටම සවිමත් බෝට්ටු නිපදවා තිබෙනවා . ඈත එපිට අප්‍රිකාවට පවා එම බෝට්ටු ගිය බවයි කියවෙන්නේ .

පැපුවා හි සත්ව විශේෂ ඔස්ට්‍රේලියාවට නෑකම් කියනව . නමුත් දේශගුණය අතින් ඔස්ට්‍රේලියාවට වඩා තෙත් කලාපයක් .

පෙනෙනවානේ ඉන්දුනිසියන් දුපත් වල ඉඳන් ඔස්ට්‍රේලියාවට කොච්චර ලඟද කියලා . මේ ලංවිම බොහොම කරදර කාරී වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න නිතිවිරෝධිව එන මිනිස්සු නිසා . ඉරානය ඇෆ්ගනිස්තානය වැනි රටවලින් විශේෂයෙන් එනවලු . ඉස්ලාම් රටවල් නිසා සමහර විට විසා ගැටළුවක් නැතුව ඇති .

කියන්න බොහොම සන්තෝෂයි සුපුරුදු පරිදි විසා ගන්න විදිහ අහන්න ගියහම තානාපති කාර්යාලයෙන් කිවේ ආ ලංකාවේද එහෙනම් ඉන්දුනිසියන් ආගමන විගමන කාර්යාලයෙන් අනුමැතිය අරන් එන්න කියල . සැහෙන තර්ක වලට පස්සේ අපේ පාස්පෝර්ට් බලල අපි හොඳ ළමයි කියල තීරණය කරලා අපිට විසා දුන්න .

කවුරු හරි යන්න හිතන් හෙම ඉන්නව නම් සතියක් වුනත් මාසයකට විසා ඉල්ලන්න . සතිය කිවොත් සතියම තමා දෙන්නේ . දවසක් හරි ඉන්න නම් ආයේ එහෙදි විසා ගන්න ඕන . එව්වා එහෙම ලේසියෙන් වෙනවා කියල හිතන්න නම් හැකි රටක් නෙමේ ඔන්න.

මේ නීති තද වීම පිටුපස ඇත්තේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ ප්‍රශ්නය වෙන්න ඕන .ආයේ නැත්තන් ඉන්දුනීසියාවේ නැවතිලා මක් කරන්නද . සුමාත්‍රා වනාන්තරවල ඔරන් ඔටන්ලා එක්ක ඉන්න තමා වෙන්නේ රටේ ඉන්න ජනගහණයට වත් රැකියා නැතිව ඇති බවයි පෙනුනේ .

ඒවා අතුරු කතා . මේ දුපත් විසිරීම අනුව භූගෝලීය වගේම සංස්කෘතියත් බොහොම විවිධාකාරයි . ඒ දුපත් වලට ආවේනික  ඇදහිලි කළා කටයුතු විවිධයි . බහුතරය ඉස්ලාම් වුවත් ඒ ඒ ප්‍රදේශයන් වලදී විශ්වාසයන් විවිධයි . එක ජනවර්ගයක් අලුතින් ගෙයක් සෑදීමේදී  ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් කරන බව එක්තරා රුපවාහිනි වැඩසටහනක මා දුටුවා .

භූගෝලීය සහ දේශගුණික අතින් බැලුවම ඉන්දුනීසියාවේ නැති දෙයක් නැහැ වගේ . ගිනි  කඳු , වැසි වනාන්තර ඒ වගේම රත්තරන් ඇතුළු වටිනා ලෝහ සහ ඛනිජ වලින් පොහොසත් .

දුක සැප යස අයස සුන්දරත්වය සහ කටුක බව සමසේ අනා සැකසුණ සොබා දම් මවගේ අපුරු නිර්මාණයක්

මේ සම්පත් නිසිසේ පරිහරණය වෙනවාදැයි නම් කියන්න අමාරුයි . වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ඇතැයි කියුවත් පොහොසත් ගෙවල වැඩට දුප්පත් මෙහෙකරුවන් කීපදෙනෙක් සිටින ලෙසට ආර්ථිකය විෂම බව නම් දුටුවා .

වියට්නාමයට සාපේක්ෂව එවැනි සේවකයින්ගේ වැටුපද අඩු බව තේරුණා . සති දෙකකදී අග නගරයෙන් සොච්චමක් පමණක් දැකලා රටක් ගැන අර්ථකතන දෙන එක වැරදි තමා . නමුත් මට ඉවෙන් වගේ දැනුණ මොකක්ද අවුලක් ඇති බව .

රජයේ පාසල් වල නොමිලේ අධ්‍යාපනය ලැබෙන්නේ එක ශ්‍රේණියේ සිට තුන වන තෙක් පමණයි . ඉතුරු ටික මුදලට . ජනගහනය අධිකයි .

අලි මදිවට හරක් වගේ බහු භාර්යා සංකල්පයත් නිතිගතයි . පිරිමියෙක්ට කන්න බොන්න දෙන්න පුලුවන්නම් ගැහැණු හතරක් කසාද බඳින්න පුළුවන් .

රජයේ සේවකයින්ට සහ හමුදා සේවකයින්ට මෙය තහනම් වුවත් නීතියේ සිදුරු ඇති බවයි කියවෙන්නේ . විටින් විට මෙයට එරෙහිව විශේෂයෙන් ගැහැණු පෙළපාලි ගියත් [පාර්ලිමේන්තුවේ වැඩිමනක් ඉන්නේ පිරිමි වන්නට හැක  ] සිදු වූ වෙනසක් නැතිලු.

ධනවතුන් බදු වලින් ගැලවෙන්නට බිරින්දන් කීපදෙනෙක් තබාගන්න බවත් අසන්නට ලැබුණ .. ගෙවල් වාහන ඔවුන් නමින් ලියාපදිංචි කිරීම ඔවුන් ලබන වාසියක් .


මානව ඉතිහාසය ගැන ගත්තොත් '' ජාවා මිනිසා '' ගැන මතක ඇතිනේ . හෝමෝ ඉරෙක්ටස් ට අයිති ජාවා මිනිසා ඉතිහාසගත වුවත් වත්මන් බහුතරය ඊට පසුකලෙක තායිවානය දෙසින් සංක්‍රමණය වූවන්ගෙන් පවත් එන බවයි කියවෙන්නේ .

මා දුටු පරිදි ඉන්දුනිසියනුවන් ගේ සමේ වර්ණය කිට්ටුවන්නේ අපේ රට පැත්තට .නැගෙනහිර ආසියාතික සහ දකුණු ආසියාතික දේහ ලක්ෂණ මුසුවූ පිරිසයි වැඩි .

මැලේසියාවේ තරම් චීන ගහනයක් නොමැත . එයට හේතුවක් වන්නේ කලෙක අසීමිතව සිදුවූ චීන සංක්‍රමනය නැති කිරීමට ස්වදේශිකයින් සහ ලන්දේසින් එක්ව චීන සංක්‍රමණිකයින් විශාල ලෙස මරා දැමීම බව කොහේ හෝ කියවූවා මතකයි. ඉන්න සුළු පිරිසද අනික් රටවල මෙන් චීන බස සහ සංස්කෘතිය ප්‍රමුඛ ලෙස සලකන බවක් නැතිලු .

ඕස්ට්‍රේලියාවේ අබෝරිජින් වරුන් ඉන්දුනීසියාවෙන් ගිය කොටසක් බවයි අසන්නට ලැබුනේ .

හත්වන සියවසේ ඉඳන් දහතුන්වන සියවස පමණ වන තෙක් පැවති සිරිවිජය අධිරාජ්‍යට වත්මන් ඉන්දුනීසියාවේ කොටසක් වගේම මැලේසියාවත් අයිති වුණා. සිරිවිජය සුමාත්‍රා කේන්ද්‍ර කොටගෙන පාලනය වුණේ. වත්මන් කාම්බෝජය ආශ්‍රිත කෙමර් අධිරාජ්‍ය බිහිවන්නේ ද මෙයට පසුකලෙක .


සිරිවිජය ඉන්දියාව වගේම මැදපෙරදිග සමගත් වෙළඳ සම්බන්ධතා පවත්වා තිබෙනවා . අටවන සියවසේ ජාවා හි ඇරඹුණ සයිලේන්ද්‍ර යුගය තමයි ඒ කලාපයේ අවසන් බෞද්ධ රාජ්‍ය ලෙස සැලකෙන්නේ . බොරෝබුදුර් වැනි බෞද්ධ සිද්ධස්ථාන  ඒ යුගයේ නිර්මාණ .

බෞද්ධ සහ හින්දු ආගම සමගාමිව පැවතුන බවත් පසුව සුමාත්‍රා දෙසින් ඉස්ලාම්කරණය කෙමෙන් ව්‍යාප්ත වූ බවයි සඳහන් .

සාදික්ක ඇතුළු වටිනා කුළුබඩු හඹා ආ යුරෝපිය ගවේශකයින් සහ වෙළෙන්දන් ගෙන් ඉන්දුනීසියාවට ගැලවුමක් තිබුනේ නැහැ . ලන්දේසි නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම VOC වලින්පටන්ගෙන කෙලින්ම නෙදර්ලන්ත රජයේ පාලනයට නතු වුනා .

එකල ජකර්තා හැඳින්වූවේ බතාවියා ලෙස . බතාවියා කියන නම හදුනා හැටිත් මා කලින් කියවා තියෙනව . ඕලන්ද ජාතිකයින් ඇරඹුණේ ජර්මනියේ බටාවී නම් පෙදෙසින් නිසා බතාවියා නම ඇති වූ බව .

ඔස්ට්‍රේලියාව අසල ගිලුණු ප්‍රසිද්ධ බතාවිය නැවෙහි කතාව දන්නවනේ . සේරම කියන්න ගියොත් මේක ඉඩ මදිවෙයි . එය වෙන වෙලාවක . නැත්නම් කමෙන්ට් වලින් .

මේ වෙද්දී ඉන්දුනීසියාවට අයත් දේශසීමා මුලිකවම ලන්දේසි පාලන කාලයේ ඇති වූ ඒවා .

පෘතුගීසින් සහ ඉංග්‍රීසින් ඉන්දුනීසියාවේ සාර්ථක වුණේ නැහැ .

කනගාටුව වන්නේ මට කෞතුකාගාරයකට යන්නට බැරි වීම . ගියා නම් මෙයිට වඩා යමක් දැන ගන්න තිබුණ.

පසු කලෙක ජපානය හිරු නොබසින අධිරාජ්‍ය පිහිටුවද්දී මේ පැත්තටත් ඇවිත් . දෙවෙනි ලෝක යුද්ධය ඉවර වුන ගමන් නිදහස් සටනේ ප්‍රතිපලයක් ලෙස නිදහස් රාජ්‍යක් පිහිටුවල . සුකර්ණෝ තමයි පළමු ජනපති.

කියන්න දේ තව බොහොම තිබුනත්  දැනටමත් දිග වැඩි නිසා නවත්තන්න තීරණය කළා . මා නිරීක්ෂණය කල එක දෙයක් කියන්න ඕන . මේ දවස්වල අපේ රටේ ආන්දෝලනයට ලක්වුණ බුර්කාව ඇඳි එකම ඉන්දුනිසියන් කතක් වත් මා දුටුවේ නැහැ . 


ඇත්තටම ඉන්දුනිසියන් ජනයා ඇඳුම් පැළඳුම් අතින් නිදහස් වගයි පෙනුනේ . හිස වසා සිටි අයත් හරිම අඩුයි.

මුහුණ නම් වසපු කිසි කෙනෙක් දැක්කේ නැහැ .. ඉතාම කොට සහ නිරාවරණ වුන ඇඳුම් දුටුවේ නැතත් බිකිණි දැන්වීම් පවා දුටුවා . කොයි දේසෙක වුවත් නිදහස් ඇඳුම් රටාවක් දැකීම මට නම් සතුටක් .දුපත්වාසි ඇතැම් ගෝත්‍ර නම් කිසිම ඇඳුමක් අඳින්නේ නැතිවගත් පින්තුර වලින් පැහැදිලියි. ඔවුන් සොබා දහමට හොඳටම සමීපයි .

ඒ වගේම රටපුරාම විනෝදාස්වාදය සඳහා ඉඩකඩ තිබෙනවා .  ජකර්තා වල  සාප්පු සංකීර්ණ රැසක් තියනව.
ඇඳුම් පැළඳුම් වල මිලත් අඩුයි. ලාබ ශ්‍රමය නිසා විය හැකියි .  ශ්‍රමය ගැන කියනවා නම් පිටරටවල ගෘහ සේවයට යාම ඉන්දුනිසියන් කාන්තාවන්ගේ දායකත්වය විශාලයි .


ගුවන් තොට ගමන් බලපත් පරික්ෂා කරන පෝලිමේ මා ඉදිරිපිට හිටි යුවල සෞදි බව බලපත් වලින් මා දුටුවා . තරුණිය මුහුණ මදක් වසා සිටියේ . ඇයට මුහුණු ආවරණය ඉවත් කරන්නට සිදු වුනා .

බුර්කාව ඇඳීම තමන්ගේ කැමැත්ත වෙන්න පුළුවන් . නමුත් පුද්ගලිකව මන් නම් අකමැති ඇඳුමක් . ඔය ලෝගුවට රිංග ගත්තා වගේ නෙමේ සියවස් ගානක් සටන් කරලවත් එලියට එන එක බොරු . විශේෂයෙන්ම ගැහැණිය හංගලා තියන්න හදන පුරුශාධිපත්‍යයේ ලකුණක් ඕක . ඝර්මකලාපික රටකට අවශ්‍යත් නැහැ . මේ වෙලාවේ මේ ගැන කියන එක අවුල් ඇති . ඒ වුනාට ගැහැනියක් වශයෙන් මම කවදත් ඔය ඇඳුමට විරුද්ධයි .

දැන් ඔය ගැන විතරක් කතා කරන්න අවශ්‍ය නැහැ . මා කිවේ මගේ මතය.

මේ ලිපියේ තව හුඟක් තියෙනව කතා කරන්න . සුමාත්‍රා ගැන ,ගිනි කඳු ගැන ආදී වශයෙන් .

මේ ගස් නගින කොටියා හම්බ වුණේ තමන් සෆාරි බිමේදී .


මෙවැනි ලස්සන කුරුල්ලන් බොහොම හිටියා 

ඇත්ත කොමොඩෝ ඩ්‍රැගන් ඉන්න කුඩුව වහල තිබුණ නිසා මෙයා විතරයි දැක්කේ


පංචි දමන බෙල්ලන් වගේ නේ . මෙයින් ක්‍රීඩාවක් කරනවා 





 කුඩා සංගීත උපකරණයක් .


ලි කැටයම් හරිම සියුම් .

මේ වෙළඳ සලක දුටු සමරු නිර්මාණ කීපයක් .

තව පොඩ්ඩෙන් අමතක වෙනවා . නම් ගම ගැන කියන්න . සංස්කෘත බසේ බලපෑම නිසා හුඟක් අපට සමාන වචන තිබෙනවා .

ඉන්ද්‍රලා , කුසුමලා එහෙත් ඉන්නවා . හැබැයි පිරිමි වැසිකිලිය නම් කර තිබුණේ ප්‍රියා කියල .

භාෂාව ඉගෙන ගන්න පහසුලු . ඉංග්‍රීසි අකුරු. ලියන විදිහටමයි ශබ්ධ කරන්නේ . තව ටිකක් හිටිය නම් ඉගෙන ගන්නත් තිබුණ .