Thursday, 15 May 2014

මල්ලිලාට කොකා පෙන්නන චින ලොකු අය්යා



පින්තුරය 




හැනෝයි වලට ලොකු මිසයිලයක් එනවලු  ලඟදිම..අපේ ලොක්කිට එයාගෙ වියට්නාම යාලුවෙක් කියලා .
එහෙම වෙන්නත් බැරි නැහැ වගේ.
අපියි ඉන්දියාවයි වගේ මේ දෙගොල්ලත් අතරේ සම්බන්ධය.

ඈතම ඈත අතිතයේ ඉඳන්ම වියට්නාමෙ අල්ල ගන්න චිනේ සෑහෙන්න උත්සාහ කලා.
Trung සහොදරියන්ගේ කතාව මතකනෙ. තව ඉබ්බා සහ කඩුව කතාවෙත් කියවෙන්නෙ චිනෙට විරුද්දව යුධ වැදිලා දිනාපු හැටි.
ඒ ඉතින් ඈත අතිතයෙ.
මෑතක , ඒ කියන්නෙ 1979 සිනෝ - වියට්නාම යුද්ධයෙ දි දෙපැත්තටම සැහෙන අලාභ හානි වෙලා. මකර පාලමින් චිනෙට යන ගමන ඇණ හිටියෙත් එයින් පස්සෙ.
දකුණු චීන මුහුදේ දුපත් වලට චීනය අයිතිවාසිකම් කීම නිසා කලාපයේ අනික් රටවල් චීනය එක්ක කාලෙක ඉඳන් හිත නොහොඳින් ඉන්නේ.
ඔය දුපත් වල සිරකාරයින් පදින්චි කරවල අනික් රටවලින් එවන මිනිස්සු එලෝ ගන්නවා කියලයි ආරන්චි. සිතියම බැලුවම නම් මේක නිකන් අපේ නැගෙනහිර මුහුදු තීරයට ඉන්දියාව අයිතිවාසිකම් කිමක් වගේ. ඒ අතින් අපේ ලොකු අය්යාට අපි සලකනවා මදි වගේ.

ඊයේ පෙරේදා චිනය මේ කලාපයේ  තෙල් කණින යන්තරයක් ගෙනල්ල ඇටවිම ගැන උරණ වුණ වියට්නාමයෙ උද්ඝොෂකයින් පිරිසක් කාර්මික ජනපද කීපයක විදෙස් කම්හල්  රැසක් ගිණි තබල. චීන ජාතිකයින් ට පහර දිලා . වියට්නාම ජාතිකයින් කීපදෙනෙක් සහ චීන ජාතිකයින් 16ක් මිය ගිහින්.
චීන කම්හල කියල වැරදිලා තායිවාන , සින්ගප්පුරු සහ ජපන් ආයෝජන කම්හල් කිපයක් ගිණි තියලා.
කලාපයෙ අනික් රටවල හොඳ හිත රැක ගන්න වියට්නාමෙට සෑහෙන්න  වෙහෙසක් ගන්න වෙයි..

මේ වෙද්දි වියට්නාමයෙ නගර කිහිපයකම කම්හල් වලට පහර දිලා කියලයි ආරන්චි. චීන අකුරු දැක්ක ගමන් චීන කම්හල් කියල තායිවාන කම්හල් වලට පහර දිම තමා ලොකුම ප්‍රශ්ණය.
ඒ ඇරෙන්න චින ජාතිකයිනුත් විශාල ගනනක් වියට්නාමයෙ ඉන්නවා.. ඒ වගේම චීනයේ ඉන්න වියට්නාම ජාතිකයින්ගෙ අරාක්ෂාවත් අනතුරේ..

කාලෙකින් රට ඇතුලෙ මෙහෙම තත්වයකට මුහුණ නොදුන් වියට්නාම ආරක්ෂක හමුදා වලට මෙය ලෙහෙසි වැඩක් නෙමේ.
ආර්ථිකයට වගේම ආරක්ෂාවටත් මරු පහරක් .


.සිතියම බැලුවහම මට නම් පේන්නෙ චීනෙ කරන්නෙ අන්තිම කැත වැඩක් කියල. චීනෙත් අති විශාල රටක් වුණාට මුහුදු තීරය අඩු නිසා වෙන්න ඇති දකුණට බැල්ම දාන්නෙ. නමුත් ඉතින් වැඩේ අසාධාරණයි. ඔය කලාපයේ තෙල් නිසා වෙන්න ඕන. වෙන මොකක්ද ඉතින්.

වැඩිය මේ ගැන කියවන්න කැමති නම් මෙතනට යන්න 

සාමකාමි රටක් ගිණි ගන්නකොට හරිම වේදනාවක් හිතට. අවුරුදු හතක් අපිට ගෙදර වෙච්ච රට.

මේ අස්සෙ බළල්ලු ලවා කොස් ඇට බාවන , කැකුණ කැලේ හබන් කුකුළො හෙමත් ඉන්න බැරි නැහැ. ලෝකෙටම ලොකු අය්යාත් මේ කලාපයේ කරක් ගැහුවා ලඟදි.

''කතා කරලා බේරගන්න ''කියල  කියල තියෙනවා.

පිලිපීනය චීනයට එරෙහිව ජාත්යන්තර අධිකරණයට යන්නටයි කල්පනාව.

මැලෙසියාවට සහ ඉන්දුනිසියාවට පවා චිනයෙ මෙ චණ්ඩිකම් හිසරදයක්.

අපෙ අගැමති තුමා මෙහෙ ආවා ගිය සුමාණේ.. පහුගිය කාලේ වියට්නාමය අපිට සෑහෙන්න සපෝර්ට් කලා.  චීනයෙන් හොඳටම ණය අරන් ඉන්න අපිට කට වහන් ඉන්න නේද වෙන්නෙ .



කුම්බලා මළු කෑවා නම් විඳවපන් බළලෝ කීවාලු.

Sunday, 4 May 2014

හොරුන්ගෙත් හොරු




පින්තුරය 


සති කීපයකට කලින් පත්තරේ තිබුණ හරි අපුරු සිද්ධියක්.

ඔන්න එක තරුණ හොරෙක් මෝටර් බයිසිකලයක් සොරකම් කරනවා . සොරකම් කරගෙන හැනෝයි වලින් ටිකක් දුර බැහැර පළාතකට අරන් යනවා .මෙහෙ බයික් වල යන උදවිය සිට් එක උස්සලා ඇතුලේ තමයි තමන්ගේ මුදල් පසුම්බිය හෙම තබා ගන්නේ ගමන් යනකොට .
ගැහැණු අය හෑන්ඩ් බෑග් එක හෙම . ඉතින් මේ සොරාට හමු වෙනවා මේ සිට් එක ඇතුලේ තිබිල අයිති කාරයාගේ පසුම්බිය. එහි තිබුනේ රූමත් තරුණියකගේ හැඳුනුම් පත.
මේ මෝඩ වහන්සේට ඒ තරුණිය ගැන සිතක් පහල වෙනවා .
එහි තිබුණ දුරකතන අංකයට කතා කරලා ඇයව හමු වෙන්න කැමති බව පවසනවා . ඇය කියූ පරිදි ඔහු හමු වෙන්න යනවා .තනියම හෙම නෙවේ. පොලිසියත් එක්ක. පෙම්වතා කුඩුවේ.දැන්
මට මතක් වුණේ අර සුනිල් එදිරිසිංහ මහතා ගයන
''සොර දෙටුවෙක් කස තැළුම් කකා
දංගෙඩියට ගෙන යන ගමනේ
වදක  බෙරේ දැක සොරා ගන්න එය
කදිමයි ලොබ සිතුවාලු ''

ඔය කතාව කිව්වම අපේ ලොක්කි කොහේදෝ දැකපු ප්‍රවෘතියක් මට කිවා
යුරෝපිය රටක වෙච්ච එකක්. ඔන්න පොලිසියට මහා රෑ ජාමේ ඇමතුමක් එනවලු ගෙදරක කුස්සියේ අමුතු සද්ද වගයක් ඇහෙනවා කියල

ඉතින් ඔවුන් ගිහින් පරික්ෂා කරන්න . බලන කොට මේ ඇමතුම දීලා තියෙන්නේ ගෙදෙට්ට ආපු හොරෙක්..මනුස්සය සද්ද වලට බය වෙලා . බලනකොට සද්ද කරලා තියෙන්නේ බළල් තඩියෙක්..
මෙන්න මේ කතා දෙක ලියන්නම ඕන කියල හිතා ඉද්දි රිඩර්ස් ඩයිජස්ට් සඟරාවක තිබ්බ ''ලෝකයේ මෝඩම අපරාධකාරයෝ'' කියල ලිපියක් . ඔය වගේ මොළකාර කට්ටිය ගැන .

නවසීලන්තයේ මනුස්සයෙක් වේග සීමාව ඉක්මවලා ධාවනය කරලා පොලිසිය පස්සෙන් එද්දී බේරෙන්න ගිහින් තියෙන්නේ තමන්ගේම කංසා වගාවකට .

චෙක් රිපබ්ලික් වල හොරෙක් කඩේකින් ඇඳුම් හොරකම් කරලා තමන්ගේ හැඳුනුම් පත සහිත ජැකට් එක කඩේ දාල ගිහින් .

හොරකමක් කරන්නත් මොලේ ටිකක් හරි තියෙන්න ඕන කියන්නේ ඕක තමයි .

Tuesday, 15 April 2014

සුපර් ග්ලු යාළුවෝ

අවුරුදුත් ඇවිත් ගියා . අවුරුදු ගැන නම් ඉස්සර හුඟක් ලිවානේ . මේ පාර අපි නම් ආයේ නොනගත කියල බලන්නේ නැතුව උදේම කිරිබත් උයල කාලා බිලා අහවර කළා . මොකද  බෑන්  කී මුන් මහත්තයාගේ ඉස්කෝලේ මෙදා පාර වසන්ත නිවාඩුව වැටෙන්නේ අප්‍රේල් අන්තිමට . අනික වැඩකරන ජනතාවට ඊයේ දවසේ ලොකු රාජකාරි ගමනක් යෙදී තිබුණ.
කොටින්ම අනික් අයගේ සුබ පැතුම් වලට ලයික් කළා මිසක් විශේෂයෙන් කාටවත් සුබ පතන්නවත් කම්මැලි වුණා .මේ වෙද්දී නම් හදාපු මුං කැවුම් ටිකයි කොකිසුයි උඳු වළලුයි අතුරුදන් වෙලත් ඉවරයි.  ඊයේ මගේ මෙහෙ හොඳම මිතුරියයි මමයි පොඩි පොඩි අතුරු පාරවල් ටිකක ඇවිද්දා. .අහල පහල තියෙන දැකපු නැති පන්සලකුත් සොයා ගත්තා .පෙනුමින් බොහොම පැරණි බවයි පෙනුනේ. තරමක් ලොකු බෝ ගසකුත් තිබුණ. ළමයි ඉස්කෝලේ ගියහම අපි හුඟක් දවසට ඇවිදිනවා.
යන්නේ ව්‍යයාමෙට හැබැයි දවල්ටත් කාලා තමයි හුඟක් ගමන් කෙලවර වෙන්නේ . ඔය රස්තියාදු ගමන් වලදී ගත්තු පින්තුර ටිකක් මේ

























සාගරයක් වගේ වැව මැද්දාවේ මේ පොඩි ඔරුවේ මනුස්සයෙක් නිදා හිටියානේ . මිදුම තිබ්බට වෙලාව දවල් දොළහත් පහු වෙලා

පින්තුර නම් මහා ගොඩාක් තියෙනවා . මට ලස්සනයි කියල හිතුන කීපයක් ඔය. ෆෝන් එකෙන් ගත්තු නිසා එච්චර කොලිටි නම් නැහැ ..
හොඳ යාළුවෙක් හමු වීම හරිම ලොකු වාසනාවක්. එහෙම  අය හදවතට ඇලෙන්නේ සුපර් ග්ලු වලින් ඇලෙව්වා වගේ . බාල පාප්ප වලින් ඇලෙන යාළුවො නම් ඉතින් වැස්සක් ආව ගමන් හේදිලා යනවා .
කවදාවත් ආයේ හමු නොවුනත් හදවතේ ඇලවිලා ඒ අය ඉන්නවා . මගේ පරණ යාළුවන් කීප දෙනයි සකර්බර්ග් ලොක්ක ආපසු සොයා දුන්නේ . හුඟක් අය ඇලිලා ඉන්නේ හිතේ තමයි.

මිත්‍ර සම්පත්තිය නොවඩුව ලබන්න ඇති පින නිසා කොයි කවර කලකත් මට හොඳම යාළුවෙක් හිටියා . ඒ හොඳම යාළුවන්ට අමතරව තව යාළුවො ගොඩක් හිටියා .ඒ ලෙවල් කාලේ නම් අපි පස් දෙනෙක්ගේ කල්ලියක් හිටියා එකම ටියුෂන් පන්ති  වලට ගිය . අනුලාවේ එක්කෙනයි ,විශාඛාවේ එක්කෙනයි ,අපේ ඉස්කෝලේ තුන්දෙනයි. පස් දෙනාටම එකට ඉඳගන්න බංකුවක් අල්ලා ගැනීමත් මාර සටනක්. සමහර කෙල්ලෝ ඔළු පීරලා සපත්තු පිහදාලා එහෙම තමා හවස පන්ති වලට යන්නේ විශාඛා තොමෝ වඩින විලාසෙන්. අපි පස් දෙනාටම ඔව්ව ගානක් නැහැ .පන කඩාගෙන දුවන්නේ හොඳ බංකුවක් අල්ල ගන්න . ඉස්සරහමත් නැතුව ටිකක් මැද හරියෙන්. අපි පස්දෙනා කොච්චර යාළුද කියනව නම් පෝටෙලෝ බෝතලේ පස්දෙනාම බෙදාගෙන බොනවා .
දැන් පස් දෙනාගෙන් මුණු පොතේ ඉන්නේ මන් විතරයි. කියන්නත් දුකයි. නමුත් තොරතුරු නම් ලැබෙනවා හැමෝම ගැන .
අර ලස්සන සින්දුවක් තියෙන්නේ
''සිප් හල් උයනේ අරලිය සෙවණේ
මුකුළු කතා කී යෙහෙළියනේ
ඔබ අද කොතැනද මා අද කොතැනද
නැතුවද යලි හමුවන්නේ ''

ඔය ගීතය සෙව්වා .මට සොයා ගන්න බැරි වුනා .


ගුරුවරියක් වෙලා හිටි කෙටි කාලයේදී හමුවුන හොඳම මිතුරිය පුදුමාකාර චරිතයක්. තාත්තත් නැතුව නංගිලා මල්ලිලා ගොඩකුත් එක්ක හරිම අමාරු ජිවිතයක් ගත කල ඇය එක්තරා බෝසත් චරිතයක්. ..අච්චර අමාරු අඩියක ඉද්දිත් කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් කරේ තියෙන හීනි චේන් එක උකස් කරලා සල්ලි අරන් දෙයි. කන්න ගෙනා බත් එක බඩගින්නේ ඉන්න පන්තියේ ළමයෙක්ට දෙයි. හැබැයි දුන්නොත් තමයි ලැබෙන්නේ කියන්නා වගේ එයාගේ ප්‍රශ්නත් කොහොම හරි විසඳෙනව .
එයාටම හරියන මහත්තයෙකුත් ලැබිලා දැන්නම් බොහොම හොඳින් ඉන්නවා . අදටත් ඉඳහිට මන් කතා කලහම ඉස්සෙල්ලම කරන්නේ අඬන්න ගන්න එක . මාව දකින්න නැහැ කියල .
එහෙම හදවතේ අලෝලා තියා ගන්න පුළුවන් යාළුවන් හමු වීම හැමෝටම වෙනවද දන්නේ නැහැ .
අනික් රැකියාව සඳහා පුරුදු වෙන කාලේ නම් පිස්සුම ලෝකයක්. එතනත් හමු වුනා හොඳම යාලුවෙක් සහ තව පිස්සුම යාළුවො ගොඩක් . උන්ගෙන් කට්ටියක් හිටියේ හිරේ . හිරේ කිව්වට ඉතින් පොඩ්ඩක් එහා මෙහා වෙලා හිරගෙදර නිල නිවාස වල . බන්ධනාගාර සේවකයෝ තමන්ගේ නිල නිවාස වල බෝඩින් පවත්වාගෙන ගියා .පොඩි ගෙවල් .පොඩි කාමරයක ළමයි තුනක් විතර දානවා .හුඟක්ම අපේ ආයතනයේ සහ බොරැල්ල අවට ඉගෙන ගත්තු ළමයි. කාලයක් ඉඳලම සිනියර්ස්ලා ගෙන් ඊළඟ බැච් එකට විදිහට තමයි හුඟක් බෝඩින් පැවතුනේ .ඕවයේ සමහර ගෙවල් වල මහා වස ගැහැණු අයත් හිටියා .එකකින් මාරු වෙලා වෙන එකකට ගියහම අහු වුනහම දොස් කියන ජාතියේ . දුර බැහැරින් ආපු ළමයින්ට පයින් යන දුරක පිහිටි මේ ගෙවල් වල ලොකු වටිනාකමක් තිබුණ. කාමර පොඩි වුනත් රෑ වෙනකම් ආයතනයේම පාඩම් වැඩ කරලා යන්න පුළුවන් නිසා .
තව ප්‍රසිද්ධ බෝඩිමක් වුණේ  දුම්රිය නිල නිවාස . එව්වත් එහෙම තමයි . හැබැයි ටිකක් පරිසරය ලස්සනයි. වස්සාන සිහිනය ෆිල්ම් එකේ ඔය ගෙවල් පෙන්නුවා මතකයි.
එක කාමරේ ඉන්න ළමයි අතර පොඩි පොඩි ආරාවුල් හෙමත් ඇති වුණා . එක එක ජාතියේ එවුන් තුන් හතරදෙනෙක් එක කාමරේ ඉන්න ගියහම ඉතින් ඔහොම තමයි. සමහර උන් උදේට නැගිටින්න කම්මැලියි. තව අය ඕනවට වඩා පාන්දර නැගිටිනවා . අර වගේ කම්මැලියෝ දෙන්නෙක්  සහ උනන්දුවෙක් එකට හිටියා . බෝඩිමේ ඇන්ටි උනන්දුවාට වැඩිය සැළකිලි .ඔය ඉතින් අපේ සමාජයේ හැටිනේ . බඩේ ඉන්න දා ඉඳන් දන්නා කියන හැමෝම හදන්නේ ළමයින්ව හදන්න . අවුරුදු විසිගනන්වල වුනත් මේ සිසුන්ව බෝඩින් ඇන්ටිලා අංකල්ලා වුනත් බලන්නේ හදන්න . සිරිත් උගන්නන්න .
ආයේ තව දෙන්නෙක් එක බෝඩිමේ ඉන්න බැහැ කියල එක්කෙනෙක් වෙන තැනකට ගියා .හේතුව අනික් ළමයාගේ එක්තරා දේහ ලක්ෂණයක් නිසා එයා දැකීම උදේට මෙයාට හරි නැහැ වගේ කියල . .


තව අහල පහලින් බෝඩින් සොයා ගන්න බැරි වුන ළමයි රාජගිරිය මාලඹේ වගේ පැතිවලත් නතර වෙලා හිටියා .ලියන්න හිටිය පැත්තට වඩා ලිවිල්ල වෙන අතකට ගසාගෙන ගියා .

හරියට මගේ රස්තියාදු ගමන් වගේ .

අපේ පිස්සු යාළුවො කට්ටියගේ කතා සේරම අද කියන්න වෙලාවක් නැහැ . ආයේ ඉක්මනින් ලියන පොරොන්දුව පිට අදට මෙපමණයි .

මට වගේ හොඳ යාළුවන් හමුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!

Tuesday, 4 March 2014

අකුරු නැති කවි .....

අකුරු වලින් ලියනට පොහොසත් නැතිය
මෙදැක මසිත ඇඳි  ඒ මනරම් කවිය





මට ලියනු බැරි ඒ කවිය සුනිල් ආරියරත්නයන් කලකට පෙර ලීවේය. නන්දා මාලිනිය නම් කෝකිලාවිය මෙසේ ගැයුවාය.. ඉඳින් කුමට මා දුප්පත් පන්හිඳ ලැජ්ජාවට පත් කරනුයේ .

''
වන මල් පිපෙන්නේ තුරු හිස් පුරා
එම මල් වසන්නේ පරඬැල් දමා
එනමුත් වසන්තේ ආ දා නිදැල්ලේ
එම මල් පිපේ''


මේ ඒ ගීතය 


මේ පින්තුරය හමු වුණේ අහම්බෙන්. වියට්නාම සේයා රූ අඩවියකින් . එහි ඉතිහාස පිටුවෙහි මෙවැනි අපුරු සේයාරූ රැසක් තිබෙනවා . වැඩි කතා කුමටද . මා නොවේ ඒ පින්තුර ඔබට  කතා කරාවි .

මේ තිබෙන්නේ එක අඩවිය 

Saturday, 22 February 2014

මකර පාලමින් එගොඩට ..පැන්සි පාන් කඳු මුදුනට ....


ලාඕ කායි වලටත් සෑහෙන ඉතිහාසයක් තියෙනව .අතීතයේ ඉඳන්ම චීනය සහ ගනුදෙනු වෙලා තියෙනවා .කලින් කලට විවිධ කණ්ඩායම් අතර බලය පැතිරුණා . රතුගඟ ඔස්සේ නීති විරෝධී කංසා ජාවාරම තදින් කෙරුනලු . යුනාන් වලට මුහුදු ලුණු සපයලා තියෙන්නේ වියට්නාමය පැත්තෙන්.මේ කණ්ඩායම් අතර තරඟය නිසා ලාඕ කායි හරිම පිඩනයට පත් වෙලා තියෙනව .
ඇත්තටම ලාඕ කායි වලට ගියාට ඒ නෙමේ ප්‍රධාන  සංචාරක ආකර්ෂණය . අපගේ ප්‍රධාන ගමන් අන්තය සපා ..
කෝච්චියෙන් බැහැලා කිලෝ මීටර 30ක් පමණ කඳු පාරක ගිහින් තමයි සපා වෙත ලඟා වෙන්නේ ..නානුඔය සිට නුවර එලිය වගේ . ඊට වඩා දුරයි. නමුත් පාර නම් බොහොම හොඳට හදලා තියෙනව . 

කලින් කිව්වා පරිදි ප්‍රන්ශුවන් විසින් චීනය කරා ලඟා වෙන්න උතුර ගවේශනය කරද්දී තමයි මේ සපා කියන්නේ බොහොම සැපදායක පරිසරයක් බව සොයා ගන්නේ . නමුත් අතීතයේ පටන් ඒ පලාතට ආවේණික සහ වෙන පැති වලින් සංක්‍රමණය වෙච්ච සුළු ජන කොටස් [ සුළු ජන කොටස් කිවේ Minority Ethnic  යන වචනය මට හැඟුණු විදිහ මිසක් ඒ ජනයා සුළුවෙන් තකල හෙම නොවේ. ]

ඉතින් අපේ රටේ බ්‍රිතාන්‍ය ජාතිකයින් සනීප ගන්න නුවර එලිය බණ්ඩාරවෙල ගියා වගේ වැඩක් තමයි සපා වලත් වෙලා තියෙන්නේ . 
මේගොල්ලෝ ප්‍රංශ ජාතිකයෙක් පළාතේ පරිපාලක විදිහට පත් කරලා නිවාඩු ගන්න නිකේතන ඉදිකළා .ඔය පළමු නිකේතනය තිබ්බ තැන තමයි අපි උන්න හෝටලය ඉදි කරලා තිබුනේ. මුල් ගොඩනැගිලි නෙමේ .ස්ථානය පමණයි.

මුලින් කරත්ත පාරක් වගේ තිබිල 1924දී තාර දමා හොඳ තත්වයට පත් කරලා තියෙනවා.
එකල ඉදිකළ විලා අතරින් ස්වල්පයයි අද දක්නට ඇත්තේ . නල ජලය ලබා දෙනු ලැබුවා . විදුලිය ලබා ගත්තේ Cat  Cat නම් දිය ඇල්ලේ කුඩා ජාල විදුලි බලාගාරයක් ඉදිකොට . තැපැල් සේවයක් පැවතුණා .පල්ලියක්ද ඉදිවුනා .එය තවමත් තිබෙනවා .

හෝටලයේ තිබු පොත් පින්චකින් තමයි මා මේ විස්තර දැනගත්තේ. අන්තර්ජාලයේ නම් ලිපි ඕනෑතරම් ඇති මේ ගැන . නමුත් මට එපමණ වෙලාවක් වෙන්කරන්න අමාරුයි.

මේ පොතේ තිබී  ඉතාම අපුරු කතාවක් හමුවුණා 

ජපානයෙන් පලවා හල කන්‍යා සොයුරියෝ 

1941 දී එක්තරා කන්‍යා සොයුරියන් පිරිසක් ජපානයෙන් පලවා හැරෙනවා ..බටහිරආක්‍රමණය එන්නේ මිෂනාරි වරු පිටිපසින් නිසා වෙන්නට ඇති. වියට්නාමයටත් මුලින්ම ආවේ මිෂනාරි වරයෙක් බව ඩියෙන් බියෙන් පු ලිපියේ ලියවුනා මතකද මන්දා .
මේ සොහොයුරියන් පිරිස නවතින්නේ වියට්නාමයේ. ඔවුන්ට සපා වල ඉඩමක් සහ ගොවිපොළ සතුන් ලැබෙනවා . මේ පිරිස බොහොම උත්සාහයෙන් වැඩකොට බටර් ,කිරි නිෂ්පාදනය කරනවා .බාර්ලි ඕට් වැනි භෝගද වගා කරනවා. පලතුරු වවා ජෑම් පවා නිපදවනවා .
මේ ආශ්‍රමය වැඩි දියුණු කොට විශාල කන්‍යාරාමයක් තැනිමටයි ඔවුන් බලාපොරොත්තු වුණේ . ගොඩනැගිලි පවා ඉදි වුනත් 1947 දී වියෙට් මින් සපා වලට පහර දෙනවා ..ආශ්‍රමය ගිනිබත් වෙනවා .කන්‍යා සොයුරියන් හැනොයි වලට පලා යනවා .


අද වන විට ඉතුරු වී ඇත්තේ මෙපමණයි .පින්තුරය ගත්තේ මෙතනින්. අපිට බලන්න යන්න බැරි වුණා 

එම වසරේම යලිත් ප්‍රදේශය ප්‍රංශ ආධිපත්‍යට නතු වුණත් යලිත් පෙර තත්වයටම පැමිණියේ නැහැ . 1950 දී ප්‍රංශ හමුදා ප්‍රදේශයෙන් ඉවත් වන්නට පටන් ගත්තා 
1952 දී ඔවුන් සම්පුර්ණයෙන්ම ඉවත් වී ප්‍රංශ ගුවන් හමුදා බෝම්බ දමා මේ ලස්සන නගරය විනාශ  කළා.
''අපට නැතිනම් තොපටත් නැත කියන්නා සේ. ''
එතැන් පටන් හැටේ දශකය වනතෙක් සපා වෙත අවධානයක් යොමු වුනේ නැහැ . සෙමින් ඇරඹි සංවර්ධනය සපා වෙත ආවේ ඉබි ගමනින් . සංචාරක ආකර්ෂණයක් ලෙස අනුව දශකය වෙද්දී යම් දියුණුවක් ලැබුවා.

මානව ඉතිහාසය .
ඉහත කී මෑත ඉතිහාසයේ කලබගෑනි වලට හසු වෙමින් සහ නොවෙමින් මේ ප්‍රදේශයේ කඳුකර ජන වර්ග අතීතයේ පටන් ජිවත් වුනා . නමුත් ඈත අතීතයේ මානව ක්‍රියාකාරකම් ගැන එතරම් අධ්‍යයනයක් සිදු වී ඇතිදැයි මට දැනගන්නට නම් ලැබුනේ නැහැ .
මේ ජනවර්ග විටින් විට චීනය ,ලාඕසය ඇතුළු අවට රටවලින් සංක්‍රමණය වී තිබෙනවා. වෙසෙසින්ම දේශපාලනික හේතු නිසා .සපා පිහිටා ඇත්තේ Hoàng Liên Son කඳු වැටිය මුලික කොටගෙන .

මෙම කඳු වැටිය හිමාලයේ නැගෙනහිර අන්තයටයි සම්බන්ධ වන්නේ . ලෝකය තනි යායක් කිවේ ඒ නිසානේ .

ඉන්දුචිනයේ උසම කඳු මුදුන වන Fan si Pan පිහිටා ඇත්තේ මෙහි. ඔය කන්ද තරණය කිරීම සවි ඇති කඳු නගින්නන්ගේ ඉලක්කයක් . අපි වාගේ කම්මැලි දුර්වලයින් කඳු පාමුල සිට දැහැනට සම වැද ආපසු ආවාට :D

ජනවර්ග 24 ක් සපාහි ජිවත් වෙනවා . Kinh [වියට්නාමයේ බහුතරය ] Hmong ,Tay ,Dao ,ඉන් කීපයක් .
මේ එක් එක් ජනවර්ග අතර සමානකම් මෙන්ම වෙනස්කම්ද බොහොමයි. සියල්ලෝම මුලිකව ගොවිතැන ජීවනෝපාය කරගෙන . එක එක ජනවර්ග තමන්ට අයිති ගම්මාන වල ජිවත් වෙනවා .
මුලිකවම මොවුන් වෙන්කර දැකිය හැක්කේ ඇඳුමින් . වර්ණ සහ ස්වරූපය වෙනස් .

අපේ නවාතැනේ සම්ප්‍රදායික ඇඳුම් මෙලෙස ප්‍රදර්ශනය වුනා .

මේ රෙදි වර්ග ඔවුන්ම වියා අතින් වර්ණ ගන්වනවා . සාමාන්‍යයෙන් ඕනෑම කඳුකරයක මෙන්ම මෙහිදීද ඇඳුම් වර්ණවත් . blak hmong ජනයා කළු පැහැය මුලිකව යොදා ගන්නවා . ඇඳුම් වර්ණ ගන්වන්නේ මෙන්න මේ  පැලයෙන් .තවත් වර්ණක යොදනවා ඇති .
ඇතැම් වර්ග හණ වලින් රෙදි සාදයි. ඇතැමුන් වෙනත් ශාක යොදාගනී. මේ සියල්ල අධ්‍යනයට නම් මාසයක් වත් සපාහි නවතින්නට වේ . නිවාස ලී වලින් සාදන අතර වහලයට සම්ප්‍රදායිකව පිදුරු හෝ වෙනත් අතු වර්ග යොදා ගත්තත් මේ වන විට ඇස්බැස්ටෝස් වලට මාරු වී ඇත. ඒ ඒ අයට අවේනික හැඩයක් ගනී.
 ලි කණු මත සාදන ගෙවල් [stilt ] ද ඇතැම් ගම්මාන වල දකින්න පුළුවන් . අපි ඇවිදින්නට ගිය ගමේ ගෙවල් මේවාගේ .




අපිට හුරු පුරුදු දෙයක් මා දුටුවා .ගෙදර යම් රෝගියෙක් සිටින විට හෝ අමුත්තන් පිළිගන්නට සුදානම් නැති වග අඟවන්නට වහලයේ කොළ අත්තක් එල්ලීම 

නුතන තාක්ෂණයට පිටුපාන්නට ඔවුනටත් නොහැකියි. බොහෝ ගෙවල ඩිස්ක් ඇන්ටනා සවි කර තිබුනා . 
කෙල්ලන් නම් හරිම ලස්සනයි. වර්ණවත් ඇඳුමින් සැරසුණු විට අපුරුයි. 


හැමෝටම නොමිලේ ප්‍රාථමික සහ මධ්‍යම පාසල් අධ්‍යාපනය ලැබෙනවා . හැම ළමයෙකුම පාසල් යනවාදැයි නම් දන්නේ නැහැ . එතනින් එහාට මුදල් ගෙවිය යුතු නිසා බොහෝ විට කලාතුරකින් කෙනෙකු තමයි ඉහලට ඉගෙන ගන්නේ . පවුලේ ගොවිතැනට උදව් වීමට අමතරව සංචාරක මග පෙන්වන්නන් ලෙස තරුණ තරුණියන් වැඩ කරනවා . 

අපි ගිය Ta phin නම් Hmong ගම්මානයේ ප්‍රාථමික පාසල .

වී වගාව කෙරෙන්නේ හෙල්මළු ක්‍රමයට . ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යේ අනගිම දසුන තමයි මේ හෙල්මළු .මේ අපි ගිය සීත ජනවාරියේ අස්වනු කපාගත් කල දිස් වන අයුරු. 



සැප්තැම්බරයේ කහ පැහැයෙන් ,වසර මැද කොළ පැහැයෙන් සහ දෙසැම්බරයේ ඉඳහිට තුනී හිම වැසි වැටි සුදු පැහැයෙනුත් දිස්වන මේ හෙල්මළු ඉතාම අලංකාරයි 




මිරිදිය සැමන් මාළු වර්ගයකට සපා ප්‍රසිද්ධයි .මේ ඔවුන් ඇති කරන ටැංකි 


අපට පාරේදී හමු වූ මිනිස්සු 

වී වගා නොකරන සමයේ අටිසෝ නම් තේ වර්ගයක් වගා කරනවා 

කියන්න දේ නම් බොහොමයි .අපි මේ දුටු ගමට වඩා වෙනස් ගම් බලන්න තිබුන නම් හොඳයි. නමුත් පොඩි උන් එක්ක එච්චර ඇවිදින්න බැහැනේ . 
මොවුන් සතුන් ඇති කරන්නේ නිදැල්ලේ . ඌරො ,කුකුලෝ තාරාවෝ තමා ප්‍රධාන . සල්ලි ඕන වෙලාවට ඔය ඌරෙක් කිහිල්ලේ ගහන් ගිහින් මාකට් දවසට විකුණනවාලු . arm pit පෝර්ක් කියලා විශේෂයෙන් ප්‍රසිද්ධ එම ඌරු මස්.................................................................................................................................................


අපිට නම් බැහැ මඩේ ලගින තාරාවුන් නාවන්න 



පහල තියෙන්නේ සපා නගරයේ පින්තුර ටිකක් ....ඈතින් පෙනෙන්නේ පැන්සි පාන් කඳු මුදුන සහිත කඳු වැටිය .දවසේ එක එක වෙලාවට එලිය වැටෙන විදිහ අනුව කඳු වැටිය අමුතු ලස්සනක් ගන්නවා . 





 ඉරිදා නගරයට 
 රැස් වන ජනතාව .ඒ දින කීපය අලුත් අවුරුදු සාමය නිසා ඔවුන් එතරම් ක්‍රියාකාරී නැහැ .










තව පින්තුර නම් ගොඩාක් තියෙනව ...නමුත් ඔය මදැයි ඉතින් නේ ...




ගෙදර ඇවිත් දඩි බිඩියේ ඇන්ද මා දුටු සපා ..මට ඕන කරන වර්ණ දියසායම් පෙට්ටියේ තිබුනේ නැහැ . හොඳ තෙල් සායම් චිත්‍රයක් අඳින්න ඕන .

Friday, 21 February 2014

මකර පාලමින් එගොඩට ...

හැනොයි නගරයේ සිට පැය දහයකට ආසන්න කාලයක් දුම්රිය නිදන මැදිරියක ගමන් කර අප ලාඕ කායි දුම්රිය ස්ථානයට සේන්දු වුණේ උදේ හතට පමණ . මීදුම පරිසරය වසාගෙන . හරියට රාත්‍රී දුම්රියේ ගොසින් නානුඔයින් බහිනවා වගේමයි. වෙනස උදේ හත පමණ නිසා හිරු පායා තිබීම පමණයි. දුම්රිය අයිති දුම්රිය දෙපාර්තමේන්තුවට . නමුත් මැදිරි කීපයක් පුද්ගලික හෝටල් වලට පවරා තිබෙනවා .එක වර හෝටලය සහ දුම්රිය මැදිරියක නිදන කාමරයක් වෙන් කර ගැනීම තමයි පහසු . නමුත් පුද්ගලිකව දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන අනෙක් සාමාන්‍ය මැදිරි වල යන එක මිල අඩුයි. බැක් පැක් සංචාරකයින් සහ හුඟක් දේශීය ජනතාව යන්නේ එහෙම තමයි . නමුත් අලුත්ම ගමනක් නිසාත් යන්නට තීරණය කලේ අන්තිම මොහොතේ නිසාත්  අප හෝටලයක් මගින් වෙන් කර ගත්ත. රාත්‍රිය නිසා වට පිට බලා ගැනීමට බැරි වීම නම් දුකක් .


 බොහොම සැප පහසුවට යන්න හැකි කෝච්චි පෙට්ටි ..පහල තියෙන්නේ අවන්හල් මැදිරිය . වියට්නාමේ කිව්වම ඉතින් අපි හුඟක් හිතා හිටියේ තාම බිම් බෝම්බ අහුලන ,බිත්තිවල බඩගාන හුනෝ අල්ලන් කන රටක් කියලනේ . අපි මෙහේ එද්දිත් සමහරු කිව්වා ඇමරිකාව එක්ක යුද්ධයක් තියෙනව නේද කියල .ඊට කලින් සතියේ පන්නිපිටියේ බෝම්බෙ පිපිරුවේ. මේ දේවල් මම දාන්නේ ඇත්තටම වියට්නාමේ බොහොම වෙනස් බව කියන්න . දුප්පත් මිනිස්සු නැතුව නෙමේ . පොහොසත් දුප්පත් මිශ්‍ර රටක්


ලාඕ කායි කියන්නේ චීනයේ මායිමට වෙන්න තියෙන උතුරු වියට්නාම අන්තිම ස්ටේෂන් එක. කොටින්ම අපි චීනය මායිමට ගියා . ඉතින් ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනව . එකක් මේ දුම්රිය මාර්ගය . අපේ බ්‍රිතාන්‍ය පාලන සාමය වගේ වියට්නාමය අල්ලන් හිටියේ ප්‍රංශ ජාතිය විසින් කියල කලින් බොහොම තැන් වල ලියවුනානේ . ඒගොල්ලත් තමාගේ ලැබ ප්‍රයෝජනය සඳහා හදාපු දුම්රිය මාර්ග පද්ධතියක්  මෙහෙ තියෙනව. අපේ තරම් පොදු ප්‍රවාහන  ජනප්‍රිය නම් නැහැ . එකක් මෙහෙ මිනිස්සු'' මයි බයික් මයි පෙට්‍රල් '' පිළිවෙත නිසා . අනික දුම්රිය මාර්ග විහිදිලා තියෙන්නේ සීමිත පළාත් කීපයකට  විතරයි. ප්‍රධාන මාර්ගය හැනොයි සිට උතුරින් ලාඕ කායිදක්වා . හැනොයි සිට දකුණට මුහුද අයිනෙන් වැටුණු දකුණු මාර්ගය .මට මතක විදිහට හෝ චි මින් දක්වා . සිතියම බැලු විට නම් ඉන් ටිකක් පහලට යනවා . සමහර ට්‍රැක් මේ වන විට භාවිතයේ නැහැ . නමුත් වැඩි දියුණු කල දුම්රිය මාර්ග පද්ධතියක් යෝජනා වී තිබෙන බව සඳහන් .



වැඩිදුර ලිවීමට අලස නමුත් හැනොයි ලාඕ කායි දුම්රිය මගේ ඉතිහාසය නම් මා සිත ගත නිසා යමක් ලියන්නම සිතුවා .
ලාඕ කායි කියන්නේ ඉතාම දුෂ්කර ලා සැලකිය හැකි කඳුකර පෙදෙසක් ..චීනය මායිමේ ඇති මේ ඈත එපිට කඳුකරය වෙත ප්‍රන්ශුවා ගේ අවධානය යොමු වුනේ ඇයි ?
ප්‍රංශය වියට්නාමය ගැන මෙතරම් අවධානය යොමුකළේ ඇයි කියල කලින් ලිපි වල කිප වරක් කිවා . දකුණු ආසියාව , මලයාව ආශ්‍රිතව පැතිරුණු බ්‍රිතාන්‍ය ආධිපත්‍ය නිසා ප්‍රංශයට ඉතුරු වුනේ මේ පළාත .කාම්බෝජය , ලාඕසය වියට්නාමය එක්කහු කර ඉන්දු චීනය ගොඩ නැගීම ඔවුන්ගේ අදහස වුනා . ලඟදි මිය පරලොව ගිය ජෙනරාල් ගියෙප් [ සියෙප් ] තමයි ප්‍රංශයට ලොකුම ටොක්ක ඇන්නේ .ඩියෙන් බියෙන් පු වලදී.
ඔහු ගැන ලියන්න  හිටියේ . කොහෙද ලියන මුඩ් තිබ්බේ නැහැ .ඇත්තටම වියට්නාම ජාතිකයින් ඔහුට දෙවියෙක්ට වගේ සලකන්නේ .

ඉතින් බුරුමය පැත්තෙන් බ්‍රිතාන්‍යයින් චීනයට ලඟා වන්නට පෙර වියට්නාමය පැත්තෙන් චීනයේ යුනාන් පලාතට සම්බන්ධ වෙන්නයි ප්‍රංශයට උවමනා වුනේ . උතුරු වියට්නාමයේ [වෙනම රටක් නොවේ ] ප්‍රධානම වරාය හයි පොන්ග්[  Haiphong]. හයි පොන්ග් සිට යුනාන් දක්වා වෙළඳ කටයුතු පහසු කරන්නට තමයි මේ දුම්රිය මග ඉදි කලේ .හයි පොන්ග් සිට එන අතුරු මග හැනොයි වලදී ප්‍රධාන පාරට එකතු වෙලා චීනය දෙසට යාමක් තමයි සිද්ධ වුනේ .

මේ සඳහා රතු ගඟ හරහා ඉදිකළ පාලම ''ලොන්ග් බියෙන් '' Long Bien Bridge පාලම .මකරෙකුගේ හැඩය ගත් මේ අපුරු පාලම ගැන රසවත් කතාවක් තිබෙනවා .ඒ තමයි අයිෆල් කුළුණ සහ මෙම පාලම එකම සැලසුම් ශිල්පියාගේ  බව . අදටත් සාමන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ එලෙසයි . නමුත් මෑතකදී සඟරාවක පළවූ ලිපියකින් මා දැන ගත්තේ එය එසේ නොවෙන බව . එවකට ගිනිකොණ දිග ආසියාවේ දිගම පාලම වූ මෙය  තනිකර යකඩින් තැනුනක් . අද වන විට හැනොයි නගරයේ සංකේතාත්මක දර්ශනයක් ..අදටත් දුම්රිය මග මේ මතින් වැටි තිබෙනවා . එයට සමාන්තර අලුත් පාලමක් මදක් ඈතින් ඉදිවී අනෙකුත් ප්‍රවාහන කටයුතු සිදු වෙනවා වුවත්  මේ පාලම නම්   සංරක්ෂනය වේවි වටිනා නිර්මාණයක් නිසා .

පාලමේ තව පින්තුර මෙතනින් 

හැනොයි වල මේ පාලම යට රාත්‍රී මාකට් එක හරිම ප්‍රසිද්ධයි. නගරයේ තොග වෙළඳාම ප්‍රධානව සිදුවෙන තැනක් .

1901 දී ආරම්භ වෙලා 1910 වෙද්දී චීනයේ කුන්මින්ග් දක්වා දුම්රිය මග නිම වෙනවා . විශාල සංඛ්‍යාවක් ජිවිත මැලේරියා වෙන් සහ අනෙකුත් පිඩා වන නිසා මේ දුම්රිය මග ඉදිකිරීමේදී නැති වෙලා තියෙනව . ''ඉන්දු චයිනා '' කියන චිත්‍රපටයේ තරමක් මේ දුම්රිය මග ඉදිකිරිම ගැන සඳහන් වුනා මතකයි.
වරින් වර ඇති වූ ස්වභාවික විපත් සහ යුද්ධ මාර්ගයේ චීන සම්බන්ධය බිඳ වැටෙනවා . සිනෝ වියට්නාම යුද්දෙන් පස්සේ නැත්තටම නැති වෙලා . ලාඕ කායි අවසාන දුම්රිය පොළ ලෙස ඉතුරු වෙනවා. නමුත් දෙරටේ වැසියන්ට එහා මෙහා යා හැකි දේශ සිමා මුර කපොල්ලක් මේ වන විට ක්‍රියාත්මකලු . අපි ඉතින් ත්‍රස්තවාදීන් නිසා එහෙම ලෙසියකට රටකින් රටකට යන්න වාසනාව නැතත්  පින් කල රටවල මිනිස්සු එහෙම එහා මෙහා යනවලු.
ලාඕ කායි සිට ඉතිරිය හෙට . දිග ගමනක්නේ ..කොහේ ලියන්නද සේරම

ප. ලි.

නෙළුම් විලට අලුත් හැඩයක් දෙන්න පින්තුරයක් හදා එව්වේ සිරා මලයා ..ස්තුතියි සිරා

Friday, 31 January 2014

හාර්බින් ...



Picture from


Ian Wright   අපට හමුවෙන්නේ විහිළුකාර සංචාරකයෙක් විදිහට .TLC  නාලිකාවේ තමයි නිතරම දකින්න ලැබෙන්නේ. ඊයේ මෙයා චීනයට ගිය ගමනක් පෙන්නුවා . දෙවතාවක්ම ලංකාවටත් ගිහින් තියෙනවා .

ඊයේ වැඩසටහනේ යන්නේ චීනයේ හාර්බින් නගරයට . වෙනදට දකින චීනයට වඩා අමුතු වෙනසක් තිබුණ නිසා මමත් උනන්දුවෙන් බැලුව .මිනිස්සුන්ගේ පොඩි රුසියන් ගතියක් තිබුණ. .අමුතු දෙයක් දැක්කම විශේෂයෙන් රටක් පලාත්ගක් ගැන වුනහම වැඩියෙන් සොයා බලන උණක් තියෙනවනේ මට. ඉයන් රයිට් මේ වැඩසටහෙන් කීවාට අමතරව ගුගල් ගිහින් මම මේ හාර්බින් ගැන ටිකක් කියෙව්වා. මිට කලින් කියෝපු The House of sixty  Fathers කියන පොතෙත් හාර්බින් වලට බෝම්බ වැටෙද්දී පලා යන චීන පවුලක් ගැන කියෝලා තියෙන නිසා මට ගැන සොයන්න සිතුනේ.


මිනිස්සුන්ගේ රූප ස්වභාවය නිසා චීනයේ උඩහට වෙන්න තමයි හාර්බින් තියෙන්න ඕන කියල දැනුන. එක හරියටම හරි. පිහිටීම ගැන කියනවා නම් ඊසාන දිග චීනයේ තමයි හාර්බින් පිහිටලා තියෙන්නේ . මැන්චුරියාව කියල ඉස්සර හඳුන්වපු ප්‍රදේශයේ . මැන්චුරියාව ගැන නම් හුඟක් මට අහන්න ලැබුනේ කොරියන් කතා වලින්. කොරියාව ජපානයට යටත් වෙලා තිබ්බ කාලේ නිදහස් සටනේ ක්‍රියාකාරීන් සැඟවෙන්න සහ සංවිධානය වෙන්න එහෙට තමයි ගිහින් තියෙන්නේ. ඒ කතා වෙන දවසක .
පුරාණ කාලේ ඉඳන් ජනාවාස වුනත් හාර්බින් විශේෂිත නගරයක් වෙන්න  පටන් ගන්නේ 19 වන සියවසේ අග භාගයේදී . රුසියාවේ  ආධාර යටතේ ඉදිවුන නැගෙනහිර චීන දුම්රිය මාර්ගය ත් සමග

මේ සමග ඇති වුන ආර්ථික ප්‍රබෝධය නිසා රුසියානු ජාතිකයින් විශාල වශයෙන් මෙහි පැමිණුනා. මොස්කව් සහ පැරිසියේ අලුත් විලාසිතා චීනයේ අනිකුත් නගරවලට කලින් හාර්බින් වලට ආපු නිසා විසිවෙනි සියවසේ මුල භාගයේදී හාර්බින් පැෂන් සිටි ලෙස හැඳින්වුනා .
රුසියන් විප්ලවයෙන් පස්සේ පසු බැස්ස පරණ රුසියන් හිතවාදීන් හාර්බින් රුසියන් නගරයක් මෙන්ම නිර්මාණය කළා . දෙවෙනි ලෝක යුද්ධ සමයේ යුරෝපයෙන් පලා ආ යුදෙව් ජාතිකයින් විශාල ලෙස හාර්බින් වල සරණ පැතුවා. චීනයේ යුදෙව් ඉතිහාසයත් කියවන්නට අගේ ඇති මාතෘකාවක් වුවත් අද එයට වෙලාව නොවෙයි

ශුෂ්ක සිසිරයක් සහිත මේ පළාතේ අයිස් වලට වඩා අප හදවත් සිතල කරන දුක්බර කතාවක් තියෙනව. ඇත්තටම මට වැඩියම කියන්න ඕන වුනේ මේ කතාව.

ජපන් අධිරාජ්‍ය තම බල ප්‍රදේශ වයාප්තියේදී මැන්චුරියාව පහසුවෙන් යටත් කරගන්නවා.  කලින් කී පොතේ තිබෙන්නේ මේ බෝම්බ වලට බියෙන් පලා යන චීන පවුලක් ගැන ම තමයි.
මේ වෙද්දී හරිම නිස්කලංක පුස් පැටියෙක් වගේ ඉන්නා ජපානය ඒ කාලයේ ක්‍රියා කර තබෙන ආකාරය නම් ඉතාම පිළිකුල් සහගතයි. නාසීන් යුදෙව්වන් යොදාගෙන කල අමානුෂික පර්යේෂණ ජපනුන් මේ කලාපයේදී චීන සහ අනිකුත් අතට අසුවන සියලු ජාතිකයින් යොදාගෙන කර තිබෙනවා.

Unit 731 ගැන ඇතැම් අය අසා ඇති. මේ සංවිධානයේ අරමුණ වුයේ මිනිසුන් යොදා කරන රසායනික සහ ජීව විද්‍යාත්මක පර්යේෂණ . මොවුන්ගේ මුලස්ථානය පිහිටවුයේ හාර්බින් වල . අධික ශීතලට හසුකර මිනිස් ශරීරය ප්‍රතිචාර දක්වන හැටි , විවිධාකාර එන්නත් විදීම්., අතපය කපා ලේ ගැලිමකින් මියයාමට ගතවන කාලය මැනීම්, සමාජ රෝග ඇතුළු නානාප්‍රකාර විෂබීජ ශරීර වලට ඇතුළු කිරීම් වැනි අතිශය බිහිසුණු වද හිංසා වලට පළාතේ ජනතාව යොදාගෙන තිබෙනවා. එමෙන්ම යුද සිරකරුවන් .

ජපන් හමුදා පරාජය වෙද්දී මිත්‍ර හමුදා බෝම්බ වැටෙද්දී ඇතැම් නිලධාරින් පලා යනවා . ඔවුන් සියල්ලන්ටම දඬුවම් ලැබෙන්නට ඇතියි ඔබ සිතනවාද .

ඉතිහාසයේ වඩා පිළිකුල් කතාවක් එතනදී අපට අසන්නට ලැබෙනවා . මෙම වධකයින් අතරින් ඇතැමෙක් පසු කලෙක ඖෂධ ව්‍යාපාර පවා අරඹනවා . පුදුමයි නේද .
මේ සංවිධානයේ පර්යේෂණ ප්‍රතිපල වලට ලොබ බැඳ ගන්නා ඇමරිකාව මේ වදකයින්
 යුධ අධිකරණයන් වෙත යොමු කිරීමෙන් වළකනවා. ඒ පර්යේෂණ ප්‍රතිපල වලට හුවමාරුවක් ලෙස. රුසියාව යම් පමණකට පිරිසකට දඬුවම් දෙන්න පෙළඹෙනවා. නමුත් මේ ලිපිලේඛණ ප්වුන් පවා පසු කලෙක ප්‍රයෝජනයට ගන්නවා . ඔබ මා අද ලෙඩකට ලබා ගන්න බෙහෙතක නැත්නම් එන්නතක අපමණ වේදනා විඳ මිය ගිය අහිංසක මිනිසුන්ගේ ලේ තැවරී තිබෙන්නත් පුළුවන් බව සිතීමත් කෙතරම් බිහිසුණුද.
නාසි ජර්මනියේ වධකාගාර ගැන හුඟක් චිත්‍රපට බලල තියෙනව . නමුත් ජපන් වද කඳවුරක් දැක්කේ ස්පිල්බර්ග් ගේ Empire of the Sun චිත්‍රපටයේ විතරයි. තව තියෙනවද දන්නේ නැහැ . නමුත් මට නම් අහුවෙලා නැහැ . කොරියාවේ කාන්තාවන් ජපන් හමුදාවන්ගේ ලිංගික වහලුන් ලෙස ගෙනයාම වගේම මේ පර්යේෂණ වදකාගාර ගැනත් ජපානය තවම ප්‍රසිද්ධ සමාවක් ඉල්ලලා නැහැ . 
ඉතිහාසයේ කිල්ලෝටවල කාගේ කාගේත් හුණු ඇති බව නම් මොනවට පැහැදිලියි. ඇතැම් විට අප අද සුවපත් වන්නේ මෙවැනි මිනිසුන් විඳි දුක් වේදනා වල ප්‍රතිපල මතින් වීම ඉතිහාසයේ දරුණුම සරදම වේ





හාර්බින් අද වෙද්දී ප්‍රසිද්ධ නම් අයිස් උත්සවයට.. අයිස් අනුරූ වලින් ශුෂ්ක සිසිරය අලංකාර වන හාර්බින් වෙසෙසින් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නවා. සංගීතයට සහ නර්තනයටත් හාර්බින් වලදී ලැබෙන්නේ ඉහල තැනක් .

Saturday, 25 January 2014

වර්ණවත් සිතුවම් මවනා ලැකර් කලාව

කුඩා කාලයේ සිටන් චිත්‍ර අඳින්න ආස වුනත් යම් පමණක හැකියාවක් තිබුනත් හැටියට ඉගෙන ගන්න නම් ඉඩක් ලැබිලා නැහැ . නමුත් ලොකු හීන නැති මගේ හිතේ පතුලක ඒ ආසාව නම් නොමැරී තිබුණ
වියට්නාමේදී තෙල් සායම් පොඩ්ඩක් ඉගෙන ගන්න ඉඩක් ලැබුණ. ඒ වගේම අපිට එච්චර හුරු නැති ලැකර් පින්තාරුවටත් මගේ සිත ගියා .
අපේ රටේ ලාක්ෂා කියල කියන්නේ මේ ලැකර් වලට වෙන්න ඕන. නුවර පළාතේ ලාක්ෂා ගැන අහල තිබුණ වගේ මතකයි. අවාසනාවට මට අන්තර්ජාලයේ කිසිම ලිපියක් සොයා ගන්න බැරි වුනා මේ ගැන. දන්නා කෙනෙක් ඒ ගැන  සඳහනක් කලොත් අගෙයි.

ඒ ඇරෙන්න ''ඔය ලැකර් ගාපුවා '' කියල පාට කල යමක බාල බවක් හැඟවෙන යමක් ඇරෙන්න ලැකර් ගැන මා දැන  සිටියේ නැහැ . වියට්නාමයට ආ අලුත ලැකර් චිත්‍ර ගැන ඇතැමුන් අගය කොට කතා කරද්දී මගේ අවධානයක් යොමු නොවුනේ බාල තීන්ත වර්ගයක් වන්නට ඇතැයි සිතීම .ලැකර් ආලේපිත කුඩා වර්ණවත් කුඩා බඳුන් නම් මා සිත් ගත්තා . ආභරණ පෙට්ටි බන්දේසි මල් පෝච්චි ආදී එකී නොකී දේවල් ත්‍යාග ලෙස හැම දෙසැම්බරයකම මගේ සුට්කේස් වල ඇවිදින් දන්නා කියන අයට තෑගී ලැබුණේ අන්න ඒ නිසයි.. ලැකර් යනු කෘතීම ව නිෂ්පාදනය වෙන තීන්ත වර්ගයක් පමණක් ලෙස මගේ සිතේ තිබු වැරදි අදහස නැති වී ගියේ මෑතකදී .

මගේ නිවහන අසලම ඇති කුඩා ලැකර් පාසල ගැන දැන සිටියත් ගොසින් බලන්නට සිතුණේ පසුගිය ග්‍රීෂ්ම නිවාඩුවේ ළමයින් සඳහා යම් ක්‍රියාකාරකමක් සොයමින් සිටි විට . පාසලක් කීවාට උණබම්බු මේස කීපයක් සහ පුටු කීපයක් සහිත පිටත කුඩා කාමරයත් එයිටත් කුඩා පිටුපස ලැකර් සහ අනිකුත් කළමනා තබා තිබුන දෙවෙනි කාමරයත් , ජම්බෝල ගසකින් සෙවණ වූ ජලකරාමයක් සවි කල කුඩා මිදුලත් පමණකි එහි තිබෙන්නේ. නමුත් බිත්තිවල එල්ලා ඇති සිතුවම් වල අගය එයින් මදක් වත් අඩු වී නැහැ .

තෙල් සායම් චිත්‍රයක් දින කීපයකින් ඉවර කරන්න පුළුවන් . මෙයත් එවැනිම කලාවක් කියායි මුලින් සිතුනේ . පටන් ගත් පසුවයි වෙනස වැටහුණේ .

ලැකර් කියන නම හැදුනේ සංස්කෘත බසේ එන ලාක්ෂා කියන වචනයෙන්ලු. ලක්ෂ ගණනින් ජිවත් වන කෘමි විශේෂයකින් ඉන්දියාවේදී ලැකර් සාදපු නිසා ඒ නම වැටුනා කියලයි කියවෙන්නේ . චීනයේදී තමයි මේ කලාවට පන ලැබෙන්නේ . චීනයෙන් පැතිරිලා ගිහින් ජපානය කොරියාව වගේ රටවලට මෙය ලැබෙනවා . මේ රටවලදී ලැකර් ලබාගන්නේ ගසකින් ඒ ඒ රටවලදී මේ ශාක පවුලේ විවිධ ශාක දක්නට පුළුවන් . චීනයේදී දියුණු වුයේ ලැකර් බඳුන් .රත්තරන් රිදී වගේම මුතු බෙලි කටු .ආදිය ඔබ්බවා ලැකර් බඳුන් නිමවී තිබෙනවා . ජපානය කොරියාව බුරුමය වැනි රටවලදී ඒ ඒ රටවලට ආවේනික ලෙස මෙම කලාව අනුවර්තනය වෙනවා .
රබර් ගසින් කිරි ලබා ගන්නා ක්‍රමයටම තමයි මේ ගසින් මැලියම් වැනි මේ ශ්‍රාවය ලබාගන්නේ . මෙය විෂ සහිතයි. ආසාත්මිකතා ඇති වෙන්නත් පුළුවන් .
අන්තර්ජාලයේ මේ ගැන බොහෝ විස්තර තිබුණත් සියල්ල කියවන්න වත් ලියන්නවත් මේ වෙලාව නොවෙයි.
වියට්නාමයේ කලක සිටන් ජිවත් වන ජපන් ජාතික චිත්‍ර ශිල්පිනියක් මුණ ගැසුණ, ඇයගේ ප්‍රදර්ශණයක් බලන්න ගිය වෙලාවේ. ඈ කී කාරනා සහ මගේ වියට්නාම ජාතික ගුරුතුමා ගෙන් දැනගත් දේවල් පමණයි අද ලියා තබන්නේ . අනික් කාරනා කමෙන්ට් හැටියට හෝ විටින් විට සොයාගන්නට හැකි වෙයි.

Saeko Ando මට හමු වුයේ ජපාන පදනම් ආයතනයේදී . වසර 18  වියට්නාමයේ පදිංචි වී සිටින මේ චිත්‍ර ශිල්පිනියගේ චිත්‍ර ප්‍රදර්ශනයේදී . පුදුමාකාර ලස්සනයි ඇයගේ චිත්‍ර . ජපන් ජාතිකයින්ට හිමි හුරුබුහුටි මට සිළිටු ගතියක් තිබුණ ඇගේ චිත්‍ර වල . ඈ කී පරිදි ජපානයේදී ලැකර් හඳුන්වන්නේ උරුශියෝල්[Urushiol] කියල

ලැකර් ගසෙන් ලැකර් ලබා ගන්නා ක්‍රමයත් මදක් වෙනස්  ජපානයේදී . ලැකර් වියලීමට ගත වන වෙලාවත් ගස් වර්ගය අනුවත් ආර්ද්‍රතාවය අනුවත් රටින් රටට වෙනස් . ඒ නිසා එක රටක ලැකර් තව රටක පාවිච්චියේදී ප්‍රශ්න මතු වෙනවා .

ගෘහ භාණ්ඩ නැත්නම් විවිධ බඳුන් පින්තාරුවට තමයි අනික් රටවල් මුල් තැන දීලා තියෙන්නේ . වියට්නාමයේදී මෙය වෙනස් වෙනවා . විසිවැනි සියවසේ මුල හරියේදී පමණ චිත්‍ර කලාවක් ලෙස ලැකර් පින්තාරුව ගොඩ නැගෙන්නේ . ප්‍රංශ ආභාෂයත් එක්ක මුසු වෙලා අනික් රටවලට වඩා වෙනස් ආරක් මෙයට ලැබෙනවා .
Son mai නමින් හැඳින්වෙන වියට්නාමයේ ලැකර් චිත්‍ර කලාව අනිකුත් රටවලින් අපගමනය වී ස්වාධින මගක් ගන්නේ චිත්‍ර ශිල්පීන්ගේ නිර්භීත අත්හදා බැලීම් සමග .

අතීතයේදී රන් රිදී ඔබ්බවා කරවනු ලැබූ ලැකර් භාණ්ඩ චීනය වැනි රටවල නිමවුනත් පසු කලෙක බොහෝ කොට භාවිතා කෙරුනේ මුතු බෙලි කටුවේ ඇතුලත ස්ථරය [Mother of pearl ]දිලිසෙන මුතු වැනි පෙනුමැති මෙයින් කලාත්මක නිර්මාණ බිහි වුනා .

වියට්නාම කලාකරුවන් වලට අමතරව බිත්තර කටු වැලි ඇලුමිනියම් පත්‍ර වැනි අලුත් අලුත් ද්‍රව්‍ය යොදා ගන්නට පටන් ගත්තා .

මේ වන විට ඇතැමුන් කාසි ,රෙදි ආදී විවිධාකාර අත්හදා බැලීම් කොට නවතම සිතුවම් නිමවනවා . මගේ ගුරුතුමා ගොලුබෙලි කටු වලින් ලස්සන ලිලි මල් සිතුවමක් කරනු මා දුටුවා . ජපන් ශිල්පිනිය ලී කුඩු පවා භාවිතා කරන වග කිවා . යොදා ගන්නා උපකාරක ද්‍රව්‍ය මත සිතුවමෙහි අවසන් ස්වරුපය එකිනෙකට වෙනස් වනවා . හරි පුදුමාකාරයි .
උතුරු වියට්නාමයේ එක පලාතක විතරයි  ලැකර් ලබා ගන්නා ගස වැවෙන්නේ .

කුමක් යෙදුවත් ලැකර් කලාවේ මුලික සිද්ධාන්තය අනුගමනය කල යුතු වෙනවා . බෝඩ් එක සකසා ගැනීම ...මෙය නම් පළපුරුදු ශිල්පින් විසින් සකසා ඇති නිසා මිලදී ගත හැකියි. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් .තුනී ලෑලි අතරට ලිකුඩු තට්ටු වශයෙන් දමා ලැකර්ද මිශ්‍ර කොට සාදන බවයි කියවෙන්නේ . අසන්නට බොහෝ දේ ඇතත් ගුරුතුමා සහ මා අතර භාෂා තාප්පයක් තිබෙන බැවින් තත්වය එතරම් සතුටුදායක නැහැ . ඔහු ඉංග්‍රීසිය දන්නේ බොහොම ටිකයි. මා වියට්නාම දන්නේ වචන කීපයයි [ කියන්නත් ලැජ්ජයි ]

මුලින්ම කල යුත්තේ සුදු හුණු කුරකින් අවශ්‍ය කටු සටහන ඇඳ ගැනීම . දෙවනුව පැන්සලෙන් ඇඳීම . බෙලි කටු , බිත්තර කටු සිප්පි කටු වැනි ඝනකම් දෙයක් ඔබ්බවන්නේ නම් ඒ ස්ථාන සියුම්ව කපා ගත යුතුයි.
පාට මිශ්‍ර කරන්නේ ලැකර් වලට පාට කුඩු වර්ග කලවම් කොට[පිග්මන්ට්]. මේවා මුලදී නම් ලෝහ වර්ග පමණක් වුවද මේ වෙද්දී විවිධ ද්‍රව්‍ය යොදා ගැනෙනවා . මාධ්‍ය ලෙස කාබනික ද්‍රාවණයක් භාවිතා කරන්නත් අවශ්‍යයි . භූමිතෙල් බවයි ගුරුතුමා නම් කිවේ. නමුත් එවැනි සැර ගඳක් නම් දැනුනේම නැහැ .

යොදාගන්න සැරසිලි ද්‍රව්‍ය මත පාට කලවම් කිරීමේ ක්‍රමත් වෙනස්. ලියා විස්තර කිරීම තේරුමක් නැති වැඩක්. යලට මාහට පන්තියට ගොස් යාන්තම් මගේ පළමු චිත්‍රය ඉවර කරගත්තෙත් මාස ගණනකට පසු.. ලැකර් කලාවෙන් අංශු මාත්‍රයයි මා උගත්තේ. දිගටම කිරීම ප්‍රායෝගික කටයුත්තකුත් නොවේ.

පළමු පාට ස්ථරය ගා ගත් පසු ඇලවීම කල හැකියි. විවිධ ද්‍රව්‍ය ඇලවීම විනෝද ජනකයි. ඉන්පසු වේලීම ට තැබිය යුතුයි. වෙලුනු පසු තව තට්ටුවක් වර්ණ ගැලවිය හැක . ඉන්පසු එළඹෙන්නේ ශෝචනියම අවස්තාව. වැලි කඩදාසියෙන් වතුර දමමින් චිත්‍රය මැදිය  යුතුයි. මෙම  මැදීම ව පැය  ගණනක නැත්නම් දවස් ගණනක වැඩක්. ඇලවූ තරමට මැදිමත් වැඩි වේ.
මෙයට පුදුමාකාර ඉවසීමක් සහ කුසලතාවයක් අවශ්‍ය වෙනවා .
ඉන්පසුව හැඩතල මතුකොට නැවත වර්ණ ගන්වනවා ..නැවත වැලි කඩදාසිය ..මේ ආකාරයෙන් කලාකරුවා සෑහීමට පත්වන නිර්මාණයක් ලැබෙන තුරු උවමනා තරම් වර්ණ ගැන්වීමත් මදිමත් අවශ්‍ය වෙනවා .
අවසානයේදී ඇත්තේ ඔප දැමීම .

ලෙහෙසිම ක්‍රමය වාර්නිෂ් තට්ටුවක් ගෑම . නමුත් හරිම ක්‍රමය නම් හිස කෙස් රොදකින් මැදීම .රසායනික වලින් වෙනස් නොවූ ස්වභාවික සිනිදු හිසකෙස් තමා අවශ්‍ය . පොඩි දරුවන්ගේ ඇරෙන්න එහෙම හිසකෙස් කොහෙද දැන්.  මේ ලෝකේ අපා දුක් විදින මනුස්ස ශරීරයේ කොටස හිස කෙස් ටික කියාලා සිබිල් නැන්දා කුසුමලතා පොතේ කියා තිබුණ . කමලාවතී ඉස්කෝලේ හාමිනේ එක්කන් සැලුන් එකට ගිහින් වෙච්ච අකරතැබ්බයක් විස්තර කරද්දී. කොණ්ඩෙට මොනා හරි කරන්න සැලුන් එකකට ගොඩ වෙන පාරක් ගානේ මට ඔය කතාව මතක් වෙලා හිනා යනවා .
එව්වා කමක් නැහැ . ඉතින් මේ හිසකෙස් වලින් ඔප දැමීම අද කාලේ ප්‍රායෝගික නැති නිසා  අඟුරු කුඩු පාවිච්චි කරනවා . විකිණීමට තනන චිත්‍ර වල නම් වාර්නිෂ් තමයි වැඩිය යොදන්නේ. ඉහලම ඝනයේ නිර්මාණයකට ඇරෙන්න අපේ ගුරුතුමා වුනත් චාර්කොල් වලින් මදින්නේ නැහැ මම හිතන විදිහට .

ඔය ඉතින් සාමන්‍යය ක්‍රියාවලිය . නමුත් ශිල්පියා අනුව යම් යම් වෙනස්කම් තියෙනවා . මේ ක්‍රියාවලියේ ඒ ඒ අවස්ථා විද්යානුකුලව රසායනික ප්‍රතික්‍රියාව හඳුනා ගෙන වඩා වෙනස් ක්‍රම අනුගමනය කරන අයත් ඉන්නවා .

ජපන් ජාතික ශිල්පිනිය කිවේ යම් යම් චිත්‍ර පාට කරන්නේ ආර්ද්‍රතාවය බලල කියල . වාතයේ ජලය වැඩි නම් ලැකර් ඉකමනින් වේලෙන නිසා .

ලැකර් චිත්‍රයක් අඳින්න කලින් අවසන් ප්‍රතිපලය ගැන හිතා ගන්න බැහැ . ප්‍රවීනයන්ට අදහසක් තිබුණත් සියට සියක් නිවැරදි ව කියන්න බැරිලු. . අනික අතට කාලයත් සමග වාතයේ ඇති විවිධ දේ සමග ප්‍රතික්‍රියා කරලා චිත්‍රයේ වර්ණ වෙනස් වෙනවා .

හිතුවට වඩා විස්තර ලියවුනා .

මේ ඉතින් මගේ ආධුනික ලැකර් නිර්මාණය . වතුර වලට සිල්වර් කොළ යොදා ගත්තා . බෝට්ටු වල සහ ළමයාගේ ඇඳුමේ mother of pearl  ඔබ්බවා තියෙන්නේ . අනික් කොටස් නම් වර්ණ පමණයි.












මේ ඉන්නේ ජපන් ජාතික Saeko Ando  .






 පහලින් තියෙන්නේ ඇයගේ චිත්‍ර කීපයක්



මේ මගේ ගුරුතුමාගේ චිත්‍ර කීපයක් .






More of his paintings on his Face Book page 


ලැකර් කියන්නේ ලාබ තීන්ත ජාතියක් කියල හිතා හිටිය මන් කොච්චර මෝඩයෙක්ද කියල මට හිතුන එක සාධාරණයි නේද . ලෝකය කොච්චර විශාලද . අපි නොදන්නා දේවල් කොච්චරක් තියෙනවද