Saturday, 25 January 2014

වර්ණවත් සිතුවම් මවනා ලැකර් කලාව

කුඩා කාලයේ සිටන් චිත්‍ර අඳින්න ආස වුනත් යම් පමණක හැකියාවක් තිබුනත් හැටියට ඉගෙන ගන්න නම් ඉඩක් ලැබිලා නැහැ . නමුත් ලොකු හීන නැති මගේ හිතේ පතුලක ඒ ආසාව නම් නොමැරී තිබුණ
වියට්නාමේදී තෙල් සායම් පොඩ්ඩක් ඉගෙන ගන්න ඉඩක් ලැබුණ. ඒ වගේම අපිට එච්චර හුරු නැති ලැකර් පින්තාරුවටත් මගේ සිත ගියා .
අපේ රටේ ලාක්ෂා කියල කියන්නේ මේ ලැකර් වලට වෙන්න ඕන. නුවර පළාතේ ලාක්ෂා ගැන අහල තිබුණ වගේ මතකයි. අවාසනාවට මට අන්තර්ජාලයේ කිසිම ලිපියක් සොයා ගන්න බැරි වුනා මේ ගැන. දන්නා කෙනෙක් ඒ ගැන  සඳහනක් කලොත් අගෙයි.

ඒ ඇරෙන්න ''ඔය ලැකර් ගාපුවා '' කියල පාට කල යමක බාල බවක් හැඟවෙන යමක් ඇරෙන්න ලැකර් ගැන මා දැන  සිටියේ නැහැ . වියට්නාමයට ආ අලුත ලැකර් චිත්‍ර ගැන ඇතැමුන් අගය කොට කතා කරද්දී මගේ අවධානයක් යොමු නොවුනේ බාල තීන්ත වර්ගයක් වන්නට ඇතැයි සිතීම .ලැකර් ආලේපිත කුඩා වර්ණවත් කුඩා බඳුන් නම් මා සිත් ගත්තා . ආභරණ පෙට්ටි බන්දේසි මල් පෝච්චි ආදී එකී නොකී දේවල් ත්‍යාග ලෙස හැම දෙසැම්බරයකම මගේ සුට්කේස් වල ඇවිදින් දන්නා කියන අයට තෑගී ලැබුණේ අන්න ඒ නිසයි.. ලැකර් යනු කෘතීම ව නිෂ්පාදනය වෙන තීන්ත වර්ගයක් පමණක් ලෙස මගේ සිතේ තිබු වැරදි අදහස නැති වී ගියේ මෑතකදී .

මගේ නිවහන අසලම ඇති කුඩා ලැකර් පාසල ගැන දැන සිටියත් ගොසින් බලන්නට සිතුණේ පසුගිය ග්‍රීෂ්ම නිවාඩුවේ ළමයින් සඳහා යම් ක්‍රියාකාරකමක් සොයමින් සිටි විට . පාසලක් කීවාට උණබම්බු මේස කීපයක් සහ පුටු කීපයක් සහිත පිටත කුඩා කාමරයත් එයිටත් කුඩා පිටුපස ලැකර් සහ අනිකුත් කළමනා තබා තිබුන දෙවෙනි කාමරයත් , ජම්බෝල ගසකින් සෙවණ වූ ජලකරාමයක් සවි කල කුඩා මිදුලත් පමණකි එහි තිබෙන්නේ. නමුත් බිත්තිවල එල්ලා ඇති සිතුවම් වල අගය එයින් මදක් වත් අඩු වී නැහැ .

තෙල් සායම් චිත්‍රයක් දින කීපයකින් ඉවර කරන්න පුළුවන් . මෙයත් එවැනිම කලාවක් කියායි මුලින් සිතුනේ . පටන් ගත් පසුවයි වෙනස වැටහුණේ .

ලැකර් කියන නම හැදුනේ සංස්කෘත බසේ එන ලාක්ෂා කියන වචනයෙන්ලු. ලක්ෂ ගණනින් ජිවත් වන කෘමි විශේෂයකින් ඉන්දියාවේදී ලැකර් සාදපු නිසා ඒ නම වැටුනා කියලයි කියවෙන්නේ . චීනයේදී තමයි මේ කලාවට පන ලැබෙන්නේ . චීනයෙන් පැතිරිලා ගිහින් ජපානය කොරියාව වගේ රටවලට මෙය ලැබෙනවා . මේ රටවලදී ලැකර් ලබාගන්නේ ගසකින් ඒ ඒ රටවලදී මේ ශාක පවුලේ විවිධ ශාක දක්නට පුළුවන් . චීනයේදී දියුණු වුයේ ලැකර් බඳුන් .රත්තරන් රිදී වගේම මුතු බෙලි කටු .ආදිය ඔබ්බවා ලැකර් බඳුන් නිමවී තිබෙනවා . ජපානය කොරියාව බුරුමය වැනි රටවලදී ඒ ඒ රටවලට ආවේනික ලෙස මෙම කලාව අනුවර්තනය වෙනවා .
රබර් ගසින් කිරි ලබා ගන්නා ක්‍රමයටම තමයි මේ ගසින් මැලියම් වැනි මේ ශ්‍රාවය ලබාගන්නේ . මෙය විෂ සහිතයි. ආසාත්මිකතා ඇති වෙන්නත් පුළුවන් .
අන්තර්ජාලයේ මේ ගැන බොහෝ විස්තර තිබුණත් සියල්ල කියවන්න වත් ලියන්නවත් මේ වෙලාව නොවෙයි.
වියට්නාමයේ කලක සිටන් ජිවත් වන ජපන් ජාතික චිත්‍ර ශිල්පිනියක් මුණ ගැසුණ, ඇයගේ ප්‍රදර්ශණයක් බලන්න ගිය වෙලාවේ. ඈ කී කාරනා සහ මගේ වියට්නාම ජාතික ගුරුතුමා ගෙන් දැනගත් දේවල් පමණයි අද ලියා තබන්නේ . අනික් කාරනා කමෙන්ට් හැටියට හෝ විටින් විට සොයාගන්නට හැකි වෙයි.

Saeko Ando මට හමු වුයේ ජපාන පදනම් ආයතනයේදී . වසර 18  වියට්නාමයේ පදිංචි වී සිටින මේ චිත්‍ර ශිල්පිනියගේ චිත්‍ර ප්‍රදර්ශනයේදී . පුදුමාකාර ලස්සනයි ඇයගේ චිත්‍ර . ජපන් ජාතිකයින්ට හිමි හුරුබුහුටි මට සිළිටු ගතියක් තිබුණ ඇගේ චිත්‍ර වල . ඈ කී පරිදි ජපානයේදී ලැකර් හඳුන්වන්නේ උරුශියෝල්[Urushiol] කියල

ලැකර් ගසෙන් ලැකර් ලබා ගන්නා ක්‍රමයත් මදක් වෙනස්  ජපානයේදී . ලැකර් වියලීමට ගත වන වෙලාවත් ගස් වර්ගය අනුවත් ආර්ද්‍රතාවය අනුවත් රටින් රටට වෙනස් . ඒ නිසා එක රටක ලැකර් තව රටක පාවිච්චියේදී ප්‍රශ්න මතු වෙනවා .

ගෘහ භාණ්ඩ නැත්නම් විවිධ බඳුන් පින්තාරුවට තමයි අනික් රටවල් මුල් තැන දීලා තියෙන්නේ . වියට්නාමයේදී මෙය වෙනස් වෙනවා . විසිවැනි සියවසේ මුල හරියේදී පමණ චිත්‍ර කලාවක් ලෙස ලැකර් පින්තාරුව ගොඩ නැගෙන්නේ . ප්‍රංශ ආභාෂයත් එක්ක මුසු වෙලා අනික් රටවලට වඩා වෙනස් ආරක් මෙයට ලැබෙනවා .
Son mai නමින් හැඳින්වෙන වියට්නාමයේ ලැකර් චිත්‍ර කලාව අනිකුත් රටවලින් අපගමනය වී ස්වාධින මගක් ගන්නේ චිත්‍ර ශිල්පීන්ගේ නිර්භීත අත්හදා බැලීම් සමග .

අතීතයේදී රන් රිදී ඔබ්බවා කරවනු ලැබූ ලැකර් භාණ්ඩ චීනය වැනි රටවල නිමවුනත් පසු කලෙක බොහෝ කොට භාවිතා කෙරුනේ මුතු බෙලි කටුවේ ඇතුලත ස්ථරය [Mother of pearl ]දිලිසෙන මුතු වැනි පෙනුමැති මෙයින් කලාත්මක නිර්මාණ බිහි වුනා .

වියට්නාම කලාකරුවන් වලට අමතරව බිත්තර කටු වැලි ඇලුමිනියම් පත්‍ර වැනි අලුත් අලුත් ද්‍රව්‍ය යොදා ගන්නට පටන් ගත්තා .

මේ වන විට ඇතැමුන් කාසි ,රෙදි ආදී විවිධාකාර අත්හදා බැලීම් කොට නවතම සිතුවම් නිමවනවා . මගේ ගුරුතුමා ගොලුබෙලි කටු වලින් ලස්සන ලිලි මල් සිතුවමක් කරනු මා දුටුවා . ජපන් ශිල්පිනිය ලී කුඩු පවා භාවිතා කරන වග කිවා . යොදා ගන්නා උපකාරක ද්‍රව්‍ය මත සිතුවමෙහි අවසන් ස්වරුපය එකිනෙකට වෙනස් වනවා . හරි පුදුමාකාරයි .
උතුරු වියට්නාමයේ එක පලාතක විතරයි  ලැකර් ලබා ගන්නා ගස වැවෙන්නේ .

කුමක් යෙදුවත් ලැකර් කලාවේ මුලික සිද්ධාන්තය අනුගමනය කල යුතු වෙනවා . බෝඩ් එක සකසා ගැනීම ...මෙය නම් පළපුරුදු ශිල්පින් විසින් සකසා ඇති නිසා මිලදී ගත හැකියි. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් .තුනී ලෑලි අතරට ලිකුඩු තට්ටු වශයෙන් දමා ලැකර්ද මිශ්‍ර කොට සාදන බවයි කියවෙන්නේ . අසන්නට බොහෝ දේ ඇතත් ගුරුතුමා සහ මා අතර භාෂා තාප්පයක් තිබෙන බැවින් තත්වය එතරම් සතුටුදායක නැහැ . ඔහු ඉංග්‍රීසිය දන්නේ බොහොම ටිකයි. මා වියට්නාම දන්නේ වචන කීපයයි [ කියන්නත් ලැජ්ජයි ]

මුලින්ම කල යුත්තේ සුදු හුණු කුරකින් අවශ්‍ය කටු සටහන ඇඳ ගැනීම . දෙවනුව පැන්සලෙන් ඇඳීම . බෙලි කටු , බිත්තර කටු සිප්පි කටු වැනි ඝනකම් දෙයක් ඔබ්බවන්නේ නම් ඒ ස්ථාන සියුම්ව කපා ගත යුතුයි.
පාට මිශ්‍ර කරන්නේ ලැකර් වලට පාට කුඩු වර්ග කලවම් කොට[පිග්මන්ට්]. මේවා මුලදී නම් ලෝහ වර්ග පමණක් වුවද මේ වෙද්දී විවිධ ද්‍රව්‍ය යොදා ගැනෙනවා . මාධ්‍ය ලෙස කාබනික ද්‍රාවණයක් භාවිතා කරන්නත් අවශ්‍යයි . භූමිතෙල් බවයි ගුරුතුමා නම් කිවේ. නමුත් එවැනි සැර ගඳක් නම් දැනුනේම නැහැ .

යොදාගන්න සැරසිලි ද්‍රව්‍ය මත පාට කලවම් කිරීමේ ක්‍රමත් වෙනස්. ලියා විස්තර කිරීම තේරුමක් නැති වැඩක්. යලට මාහට පන්තියට ගොස් යාන්තම් මගේ පළමු චිත්‍රය ඉවර කරගත්තෙත් මාස ගණනකට පසු.. ලැකර් කලාවෙන් අංශු මාත්‍රයයි මා උගත්තේ. දිගටම කිරීම ප්‍රායෝගික කටයුත්තකුත් නොවේ.

පළමු පාට ස්ථරය ගා ගත් පසු ඇලවීම කල හැකියි. විවිධ ද්‍රව්‍ය ඇලවීම විනෝද ජනකයි. ඉන්පසු වේලීම ට තැබිය යුතුයි. වෙලුනු පසු තව තට්ටුවක් වර්ණ ගැලවිය හැක . ඉන්පසු එළඹෙන්නේ ශෝචනියම අවස්තාව. වැලි කඩදාසියෙන් වතුර දමමින් චිත්‍රය මැදිය  යුතුයි. මෙම  මැදීම ව පැය  ගණනක නැත්නම් දවස් ගණනක වැඩක්. ඇලවූ තරමට මැදිමත් වැඩි වේ.
මෙයට පුදුමාකාර ඉවසීමක් සහ කුසලතාවයක් අවශ්‍ය වෙනවා .
ඉන්පසුව හැඩතල මතුකොට නැවත වර්ණ ගන්වනවා ..නැවත වැලි කඩදාසිය ..මේ ආකාරයෙන් කලාකරුවා සෑහීමට පත්වන නිර්මාණයක් ලැබෙන තුරු උවමනා තරම් වර්ණ ගැන්වීමත් මදිමත් අවශ්‍ය වෙනවා .
අවසානයේදී ඇත්තේ ඔප දැමීම .

ලෙහෙසිම ක්‍රමය වාර්නිෂ් තට්ටුවක් ගෑම . නමුත් හරිම ක්‍රමය නම් හිස කෙස් රොදකින් මැදීම .රසායනික වලින් වෙනස් නොවූ ස්වභාවික සිනිදු හිසකෙස් තමා අවශ්‍ය . පොඩි දරුවන්ගේ ඇරෙන්න එහෙම හිසකෙස් කොහෙද දැන්.  මේ ලෝකේ අපා දුක් විදින මනුස්ස ශරීරයේ කොටස හිස කෙස් ටික කියාලා සිබිල් නැන්දා කුසුමලතා පොතේ කියා තිබුණ . කමලාවතී ඉස්කෝලේ හාමිනේ එක්කන් සැලුන් එකට ගිහින් වෙච්ච අකරතැබ්බයක් විස්තර කරද්දී. කොණ්ඩෙට මොනා හරි කරන්න සැලුන් එකකට ගොඩ වෙන පාරක් ගානේ මට ඔය කතාව මතක් වෙලා හිනා යනවා .
එව්වා කමක් නැහැ . ඉතින් මේ හිසකෙස් වලින් ඔප දැමීම අද කාලේ ප්‍රායෝගික නැති නිසා  අඟුරු කුඩු පාවිච්චි කරනවා . විකිණීමට තනන චිත්‍ර වල නම් වාර්නිෂ් තමයි වැඩිය යොදන්නේ. ඉහලම ඝනයේ නිර්මාණයකට ඇරෙන්න අපේ ගුරුතුමා වුනත් චාර්කොල් වලින් මදින්නේ නැහැ මම හිතන විදිහට .

ඔය ඉතින් සාමන්‍යය ක්‍රියාවලිය . නමුත් ශිල්පියා අනුව යම් යම් වෙනස්කම් තියෙනවා . මේ ක්‍රියාවලියේ ඒ ඒ අවස්ථා විද්යානුකුලව රසායනික ප්‍රතික්‍රියාව හඳුනා ගෙන වඩා වෙනස් ක්‍රම අනුගමනය කරන අයත් ඉන්නවා .

ජපන් ජාතික ශිල්පිනිය කිවේ යම් යම් චිත්‍ර පාට කරන්නේ ආර්ද්‍රතාවය බලල කියල . වාතයේ ජලය වැඩි නම් ලැකර් ඉකමනින් වේලෙන නිසා .

ලැකර් චිත්‍රයක් අඳින්න කලින් අවසන් ප්‍රතිපලය ගැන හිතා ගන්න බැහැ . ප්‍රවීනයන්ට අදහසක් තිබුණත් සියට සියක් නිවැරදි ව කියන්න බැරිලු. . අනික අතට කාලයත් සමග වාතයේ ඇති විවිධ දේ සමග ප්‍රතික්‍රියා කරලා චිත්‍රයේ වර්ණ වෙනස් වෙනවා .

හිතුවට වඩා විස්තර ලියවුනා .

මේ ඉතින් මගේ ආධුනික ලැකර් නිර්මාණය . වතුර වලට සිල්වර් කොළ යොදා ගත්තා . බෝට්ටු වල සහ ළමයාගේ ඇඳුමේ mother of pearl  ඔබ්බවා තියෙන්නේ . අනික් කොටස් නම් වර්ණ පමණයි.












මේ ඉන්නේ ජපන් ජාතික Saeko Ando  .






 පහලින් තියෙන්නේ ඇයගේ චිත්‍ර කීපයක්



මේ මගේ ගුරුතුමාගේ චිත්‍ර කීපයක් .






More of his paintings on his Face Book page 


ලැකර් කියන්නේ ලාබ තීන්ත ජාතියක් කියල හිතා හිටිය මන් කොච්චර මෝඩයෙක්ද කියල මට හිතුන එක සාධාරණයි නේද . ලෝකය කොච්චර විශාලද . අපි නොදන්නා දේවල් කොච්චරක් තියෙනවද

45 comments:

  1. බොහොම අගනා දැනුම් සම්භාරයක් අප සමග බෙදා ගත්තාට බොහොම පින්. ඇත්තටම මේ ලිපියෙන් මම ලැකර් ගැන මෙතෙක් සිතාගෙන සිටි කරුණු බොහොමයක් වෙනස් වුනා. මේ විෂයය යටතේ තවත් ලිපි බලාපොරොත්තු වෙනවා. නැවතත් ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක .අපි හුඟක් දෙනා දන්නේ industrial ලැකර් ගැන. මේ ස්වභාවික ලැකර් අපේ රටේ නැති නිසා වෙන්න ඇති. නමුත් ලාක්ෂා කලාව ගැන මට යම් මතකයක් තියෙනව. නමුත් කිසිම විස්තරයක් සොයාගන්න . නුවර යුගයේ පන්සල් වල කණු වල තිබෙන වර්ණවත් බව උඩැක්කි ය වැනි සංගීත භාණ්ඩ වල තිබෙන වර්ණ ලාක්ෂා ද ..ලාක්ෂා ආභරණ තියෙනවා කියලත් මතකයි. බලමුකෝ දන්නා කෙනෙක් ඉන්නවද කියල මේ ගැන .

      Delete
    2. ඉස්සර ඉගෙන ගත්තු විදියට ලාක්ෂා වැඩ වලට ගන්නෙ කෘමී වර්ගයකින් ගන්න ලාකඩ. මම හිතන්නෙ දැන්නම් මේව රටින් ගේනව. ඔය ලාකඩ එක්ක කලවම් කරන පාට උණු කරල තට්ටු කිහිපයක් ආලේප කරනව එක එක පාටට. ඉන් පස්සෙ අර එක එක තට්ටු හීනියට හූරනව නොයෙක් පාට එන්න. ඕක හරි සීරුමාරුවට කරන වැඩක්.

      ලැකර් ( Lacquer) කියන්නෙ අවසාන මතුපිට ආලේපයට කිය්න පොදු නමක් ( මම කියන්නෙ තීන්ත නිෂ්පාදනයෙදි ). ඒක අවර්නයි. යොදගන්නෙ යට ඇති තීනත වර්න වලට වෙන හිරීම් එහෙම වලක්වල ආරක්ෂා කරන්න. ඔය ලැකර් මිශ්‍ර තීන්ත වලට "ලැකර් පේන්ට්" කියනව මොකද ඒව ආලේප කරාම ආයි අවර්න ලැකර් තට්ටුවක් ඕනෙ නැති නිසා.

      Delete
    3. ස්තුතියි ඉන්දික ..ලාක්ෂා කියන නමත් හැදුනේ මේ කෘමින් ලක්ෂ ගණනින් ඉන්න නිසාලුනේ. ලාකඩ කියන්නෙත් ලාක්ෂා ද ..ඇත්තටම ලැකර් වල පෙනුම නම් ඒ වගේ තමයි. අනික් දවසේ ගියහම ඔය අමුද්‍රව්‍ය ටිකේ පින්තුර ටිකක් අරන් අප්ලෝඩ් කරන්නම් .

      මේ චිත්‍ර වලදීත් යට තියෙන වර්ණ මතු කර ගැනීම සිරු මාරුවට කරනවා ,

      Delete
    4. ලාක්ෂා කර්මාන්තය ගැන ඉස්කෝලේ චිත්‍ර විෂයට උගන්වනවා. ඔය ඉන්දික කියලා තියන කතාව තමා අපිත් ඉගෙන ගෙන තියෙන්නේ.

      චිත්‍ර අඳින වැඩේ දිගටම කරගෙන යන්න සුබ පැතුම්!

      ඒ වගේම ලාක්ෂා කර්මාන්තය ගැන ලිපියක් මෙතන ඇති...

      http://historicasrilanka.blogspot.com/2012/12/blog-post_6.html

      Delete
  2. යකඩවලින් හදන ජනෙල් ග්‍රිල් මලකඩ ජෑම්‍ර්න් වලක්වන්න ලැකර් ගානවා නේද?

    ඔබේ උත්සාහයේ ප්‍රතිපලය ඉතා හොඳයි.

    ReplyDelete
    Replies
    1. කතන්දර කියන්නෙත් industrial ලැකර් වෙන්න ඕන . මටත් ලැකර් මතක ඔය වගේ වැඩ වලට ගන්න බව තමයි.

      ස්තුතියි. ගුරුතුමාත් කිව්වා මට හොඳ හැකියාවක් ඇති බව. නමුත් ලැකර් වලට හැකියාවත් එක්ක ඉවසීම කැපවීම වගේ හුඟක් දේවල් අවශ්‍ය වෙනවා . වාතාශ්‍රය ලැබෙන කාමරයක් ඕනේ ..අනික සිල්වර් ඩස්ට් වැනි දේවල් පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. . මුව ආවරණ හෙම දාල .

      Delete
  3. මාත් ලැකර් ගැන හිතා හිටියේ ඔයා හිතපු විදියට. ඔන්න ඒ අදහස සම්පුර්ණයෙන් වෙනස් උණා. බින්දිගේ චිත්‍රේ හරිම ලස්සණයි. චිත්‍රේ ඉන්නේ පොඩ්ඩිද? ලොක්කිද? :)

    වෙන, රටකට ගියාම මාත් ඉගෙන ගන්නේ එක්කෝ වචනයයි. නැත්නම් දෙකයි. හේතුව දැන් කාලේ ගොඩක් දෙනා ඉංග්‍රීසි දන්න හන්දා වෙන්ටෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ පොඩ්ඩි .වැවක් ගාව ඉන්න ෆොටෝ එකක්. බලන්න ඉතින් අන්තිමට මුහුද වගේ වුනානේ. ඇත්ත තමයි. පැරිසියට ගියත් දැන් ඉංග්‍රීසි පුළුවන්නේ කට්ටියට. මන් එහෙම කම්මැලි වුනාට හුඟක් දෙනෙක් වියට්නාම ඉගෙන ගන්නවා. හරි අමාරු භාශාවක්නේ . ලියන එක නෙමේ කියවන්නේ .

      Delete
  4. අපේ පුරාණ චිත්‍ර වල වර්ණයන් සඳහා යොදාගෙන තියෙන්නෙත් ශාක කොටස් හා පාෂාන වර්ග... චිත්‍ර කළාව ගැන පුදුම උනන්දුවක් මටත් තියෙන්නේ.. නමුත් එකම දේ කාළය හා මුදල්.. ලැකර් පෙන්ටින් ගැන දැනන් උන්නට මෙච්චර විස්තරයක් දැන ගෙන උන්නේ නෑ.. තෑන්ක්ස් මෙයා.. (නෝනේ කියන්න එපා කිව්වනේ...)

    ReplyDelete
    Replies
    1. නෝනේ කිව්වම වයසයි වගේනේ :D ස්තුතියි මාතලන්

      Delete
  5. ලස්සණ යි අනේ. ලැකර් කියන්නෙ මොනවද කියල වත් හරියට දැනන් හිටියෙ නෑ නෙ මම!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි

      Delete
  6. මං හිතං හිටියේ ලැකර් කියන්නේ ජරා තීන්ත වලට කියලා. එතකොට ඒවට එහෙම කියන්නේ ඇයි. එවා හදන්නේ මොනවැයෙන්ද

    ReplyDelete
    Replies
    1. කෘතිමව නිපදවන කාර්මික ස්ප්‍රේ වර්ග වලට ලැකර් කියා කීමයි දැන් හුඟක් වෙලා තියෙන්නේ .එහි වරදක් නැහැ .ජාත්‍යන්තරව පාවිච්චි වෙනවා . නමුත් ස්වභාවික ලැකර් ගැන අපි නොදැන සිටීමයි අවුල . අටමට කියන්න මන් ලැකර් කියල සිංහලෙන් කෙටුවම එන්නේ අටම්පහුරගේ බ්ලොග් එකේ ලිපියක් සහ තව සීගිරියට ලැකර් ගාපු කතාව විතරයි.

      Delete
  7. ඔය ලැකර් වලින් කරපු මල් පෝච්චි, බිත්ති සැරසිලි, එතකොට මේසේ උඩ හිටවන්න පුලුවන් පින්තූර හෙම ලංකාවෙත් තියෙනවා මතකයි. ඒවා නම් ඔහොම මැදලා නෑ. ලැකර් අතට අහුවෙන ගතියක් තියෙනවා උඩට ඉල්පිලා. එතකොට ඔඋඅ සිප්පි ක‍ටු මල් හෙම යොදාගෙන කරන නිර්මාණත් තියෙනවා මතකයි උඩින් ක්ලියර් ලැකර් තට්‍ටුවක් ගහලා සීල් කරලා.
    දිගටම පන්ති ගිහින් වැඩේ නියමෙට අල්ලාගන්නකෝ.

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි අපේ අම්මගේ මහා ගෙදර ඔය වගේ බඩු තිබුණ. චීන වෙළෙන්දන් ගෙනාවද දන්නේ නැහැ ඒ කාලේ.
      වියට්නාම ගුරුතුමාගේ චිත්‍ර සමහර ඒවායේ උඩට ඉලිප්පිලා මතු වෙන ගතිය තියෙනව. ඕන නම් හුඟක් මැදීමෙන් පැතලි මතු පිටක් ගන්නත් පුළුවන්. බිත්තර කටු එහෙම පුළුවන් .. සිප්පි කටු නම් අමාරුයි. ජපන් ශිල්පිනියගේ චිත්‍ර නම් පුදුමාකාර විදිහට සිනිදු මතු පිටක්.සහිතයි . හුඟක් කල් නම් මෙය කරන්න ලැබෙන එකක් නැති පාටයි මට නම්

      Delete
  8. මං ඔය විත්තිය දැනං හිටියට මෙචිචර හරියක් දැනං හිටියෙ නැහැ නෙව. හැබෑව බින්දි අපි නොදන්න දේ කොයි තරංද කියල කටක් ඇරල කියන්න ඇහැකියැ.. ගුත්තිලට සමවෙන “මුසිලි“ කෙනෙක් වෙන්න සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. ටීචර් නම් කිව්වා මට හැකියාව තියෙන බව. නමුත් ඉවසීමයි කාලයයි තමා මදි ...ස්තුතියි දේශක

      Delete
  9. හැම තැනම චිත්‍ර කතානේ අද කියෙව්වේ.
    මම ලැකර් පේන්ටින් ගැන වැඩ සටහනක් මේ ළඟ කාලෙකදි බැලුවා. geo n geo කියලා වැඩ සටහනක.
    ඒත් බින්දි මේ විස්තරය කියනකම්ම ඒක ගැන අදහසක් තිබ්බේ නෑ. අනික මට කොහොමත් ඔය තීන්ත එහෙම ඇලජික්. (අනික වැඩ බැරි එකාට පොළවත් ඇදයිනේ) color wash කරන්න වත් බැරි කෙනෙක් මම.
    අර ගඳ නැති කළවම් කරන්නෙ භූමිතෙල් නෙමෙයි ටර්පන්ටයින් ඔයිල් නේද? මෙහේ ක්ලීනින් වලට හෙම භාවිතා කරනවා ඒවා ඔය වගේ වැඩ වලට.

    ReplyDelete
    Replies
    1. අයියෝ බින්දි ලෝකේ කොයි තරම් පුංචියිද කියලා තේරුනේ ඔයාගේ මයේස්ත්‍රරෝගේ පේජ් එකට ගියාම. මම බලලා තියෙන්නේත් මෙයාගේ එකක් තමයි.

      Delete
    2. ටර්පන්ටයින් නම් නෙමේ රන්ගි. පෙට්‍රෝලියම් වර්ගයක් . ලාම්පු පත්තු කරන්න ගන්නවා කිව්වා මේ ජාතිය .ඒ නිසයි මන් හිතුවේ භූමිතෙල් කියල.

      ඔව් මේ ටීචර් මෙහෙ Industrial art university එකේ උගන්නන කෙනෙක්. සැහෙන ප්‍රසිද්ධයි. ඔයා ඉන්න රටේ හෙමත් ප්‍රදර්ශන තියල තියෙනවා. ඇත්තටම ඔන්න ඔයා කිවමයි මතක් වුනේ. මිලානෝ වල එකක් තිබ්බ කිව්වා.

      Delete
    3. බින්දි මා ඉන්න නගරයේත් ඔවුන්ගේ එම්බසි එක හරහා වියාට්නාමය ගැන ලොකු උත්සාව වගයක් කලා. අපේ ගෙවල් ළඟමයි තිබ්බෙත්. ගිය ජනවාරි වල. එයාලගේ එම්බසි එක මෙහේ පිහිටවලා අවුරුදු හතලිහක් සැමරුම වෙනුවෙන්. පුදුම පබ්ලිසිටියක් දුන්නේ ඒ එම්බසි එකෙන්. ඒක තමයි මම බලපු වැඩ සටහනත්. අනික මා ජීවත් වන රටේ මිනිසුන්ට වියට්නාමය ගැන බොහෝ උනන්දුයි. අපේ නිමි ඇඳුම් බොහොමයක් එන්නෙත් ඔහෙන්. කෑම බීමත් දැන් ඔහෙන් ගොඩාක් එනවා. ඊටත් වඩා අපි අදහන දේසපාලන පාන්තිකයන් වියට්නාම් මිනිසුන්ට පක්ශයි. (අපි කොහොමත් ඇමරිකන් විරෝධී) මම වැඩ කරන පාටි එකෙන්මයි ඔය කියන උත්සවය ස්පොන්සර් කලෙත්. එක්ශිබිශන් එක තියලා තියෙන්නෙත් කරන කම්කරු ඔෆීස් එකක.

      Delete
  10. ඉතාමත් සොඳුරු ඉසව්වක් කරා අපව රැගෙන ගියා බින්දි ඔබ. චිත්‍ර කලාවට සමත්කමක් නොදැක්වුවත් චිත්‍රවලට හරිම ආස කෙනෙක් මමත්. ඒත් ඇදගන්න බැ... කොහොම වුණත් නොදත් බොහො දේ දැනගත්තා මේ ලිපියෙන්. ස්තුතියි ඔබට.

    ReplyDelete
  11. ස්තුතියි නලින්. ලස්සන දේ රස විඳින්න පුළුවන් වීමත් භාග්‍යයක් නේ. මට සින්දු කියන්න බැරුවට හොන මියුසික් එකක් රස විඳින්න පුළුවන් වගේ

    ReplyDelete
  12. පාසල් යන කාලෙ චිත්‍ර වලට මං තරමක් උනන්දුයි.. දිය සායම් චිත්‍ර වලට. චිත්‍රයක් ඇඳල නිම කරගෙන යනකොට දැනෙන සතුට කොච්චර ද. දැන් නම් හරියට රවුමක් වත් ගහ ගන්න බෑ .
    බොහොම ස්තුතියි නොදන්න දෙයක් බෙදා ගත්තට. අර චිත්‍ර ටික ලස්සනයි. ලාක්ශා ගැන මේ තියන්නෙ විස්තරයක්.
    http://historicasrilanka.blogspot.com/2012/12/blog-post_6.html

    https://www.google.com/search?client=ubuntu&channel=fs&q=%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F&ie=utf-8&oe=utf-8

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චන්දන ..වටිනා විස්තරයක් ලැබුණ ...

      Delete
  13. බින්දි .. ලංකාවෙ නම් මම දන්න තරමට "ලාක්ෂා" කලාවට චිත්‍ර ඇඳීමක් සිද්ධ වෙන්නෙ නෑ... ලංකාවෙ කරන්නෙ යම් යම් ලීවලින් හැදූ භාන්ඩ වල මතුපිට අලංකාර මෝස්තර රටා නිර්මාණය කිරිමක්.. ඒකෙදි කරන්නෙ අදාල භාණ්ඩය වේගයෙන් කැරකෙන යන්ත්‍රයකට [ පට්ටලය ] සවි කරල ඒ මත අදාල වර්ණය සහිත ලාක්ෂා උණුවී තැවරෙන ලෙසස ඇතිල්ලීම.. මේ ක්‍රියාව "පට්ටල් වැඩ" ලේස හැඳින්වෙනව..

    මේ ක්‍රමයට එක උඩ එක ලේයර් දෙකක් ආලේප කර වියලුන පසු සියුම්ව කටුවකින් හූරා ලියවැල් පලාපත් වැනි සමමිතික මෝස්තර නිර්මාණ කිරීම " නියපොතු වැඩ " ලෙස හැඳින්වෙනව...

    බින්දි කියල තියෙන කලාවට සමාන තැනක් ඊලඟට එන්නෙ .. ඒ කියන්නෙ ඔපදැමීම .. ලංකාවෙ කරන්නෙ පන් කොලයක් තෙල් ගාල ඇතිල්ලීමෙන්..

    සේසත් වල මිට ... හාමුදුරුවන්ගෙ වටාපත් වල මිට වගේ දේවල් දැකල ඇති .. ඒ රටා මවල තියෙන්නෙ ලාක්ෂා කලාව මගින් ..

    මේ ගැන නඩේ ගුරා ලියපු ලිපියක් ...
    මේ ගැන නඩේ ගුරා ලියපු ලිපියක් ...



    ReplyDelete
    Replies
    1. නියමයි. මට ඕන වුනෙත් ඔය ගොල්ල ලව්වා මේ නොදන්නා ටික ඉගෙන ගන්න . අපිට බැරි වෙයිද මේ ලංකාවේ ලාක්ෂා වලට වියට්නාම කලාව එක්කහු කරලා දියුණු කරන්න . මේ ඊයේ පෙරේදා ඇමති වරු දෙන්නෙක් මේ පැත්තේ ඇවිත් තිබුණ. පත්තරේ තිබ්බේ වියට්නාමේ ලංකාවට උදව් කරන්න යනවා කියල . :D

      Delete
  14. ඔබේ විවේකය බොහොම අර්ථවත් විදියට නොවැ ගත් කරන්නෙ...හරිම සන්තෝෂයි...මේ වගේ නිර්මාණ කරද්දි සෑහෙන ඉවසීමකුත් අවශ්‍ය නිසා ඉවසීමත් ඉබේම පුහුණු වෙනවා...ලැකර් ගසේ ෆොටෝවකුත් තිබුනා නම් තමා අපූරු.....පළවෙනි උත්සාහය නරක නෑ...ලස්සනයි....ගැහැණු ළමයගෙ හෙවනැල්ල දිග වැඩියි කියලා මට හිතෙනවා...ඔබේ චිත්‍රයකින්ම නෙළුම් විලේ පළමු පිටුව සරසා ගන්න...

    ReplyDelete
    Replies
    1. කිව්වම මොකද සිරා මගේ දෙවෙනි චිත්‍රය නෙලුම් විලක් තමයි. හිතලම නෙමේ . එහෙම පටන් ගැනුනේ. බිත්තර කටු හුඟක් අලවාගෙන ගිය සෙනසුරාද ඕක හුරපු එක විතරයි කරන්න වුනේ. විවේකය තමයි අඩු., මට විවේක වෙලාවට පන්තිය වහල . පොඩි දෙන්නත් යන්න ආස නිසා සෙනසුරාද දාගත්තට වෙන වෙන වැඩ යෙදෙනවා බොහෝ විට .ලැකර් ගසේ පින්තුරයක්දාන්නම්

      Delete
  15. මට චිත්‍ර අදින්න බැරි වුනාට මම හරි ආසයි චිත්‍ර වලට.. මේකෙන් හුඟක් විස්තර දැන් ගත්තා.. ලැකර් ගැන මම හිතන් හිටිය දේ නෙමෙයි හැබැයි මේකේ තියෙන්නේ.. ඒ ගැන තව විස්තර තියෙනවනම් හොදයි කියලා හිතුනා.. කෝම වුනත් විස්තරේට ගොඩක් ස්තූතියි අක්කේ..

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ට් ටිකත් කියෙව්වා නම් දිනේෂ් අපි දන්නා සහ නොදන්නා ලැකර් දෙකම ගැන අවබෝධයක් එනවා. ස්තුතියි මල්ලි

      Delete
  16. ලිපිය කියවල සටහන් ටිකත් කියෙව්ව්වම තවත් කියවන්න ගොඩක් ඉතිරියි.. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත් ..

      Delete
  17. ශා.. ලස්සනයි ලැකර් නිර්මාණ ටික !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග

      Delete
  18. හැමදාමත් අලුත් දෙයක් හොයාගෙන එන, අද නෙළුම්විල සුවඳ හමන මල් මෙන්ම නේක වර්ණයන්ගේ පැහැගත් මලින් ද හැඩවී ඇත. ඔය දක්ෂතාවයන් තවත් ඔපනංවා ගන්න බින්දි.

    ReplyDelete
    Replies
    1. හැමදාම දකින නොයෙක් දේ ගැන ලියන්න හිතුනත් ඒ සිතුවිලි ඔහේ පරවෙලා යනවා . අකුරු කෙරෙන්නේ කලාතුරකින්. ස්තුතියි තරු

      Delete
  19. නොදන්නා ගොඩාක් දේ ඉගෙන ගත්තා බින්දි, පුතාලා පාසැල් යන කාලෙ මාත් මගේ විවේකය ගතකලේ චිත්‍ර ඇදලා නැත්නම් මැටි බඳුන් පින්තාරු කරල. ඒ දේ මනසට ලොකු සහනයක් උනා. මේ කලාව හරියට භාවනාවක් වගේ. මනසට පුදුම විවේකයක් දැනෙන්නෙ. දැන් නම් විවේකය හරිම අඩුයි. ඔයාගෙ චිත්‍රය හරිම කලාත්මකයි. දැරිවීගෙ කෙහෙරැල් හා ගවුම සුලඟට යන අයුරු අපූරුයි. කාලයෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න. සුබපැතුම්! නංගි.

    ReplyDelete
    Replies
    1. කාලයක් පොටරි පේන්ටින්ග් ජනප්‍රිය වෙලා තිබුණ තමයි. මට වෙලා තියෙන්නේ කොයිකත් වත් එක දිගට කරන්න බැරි කමනේ අක්කේ.

      ස්තුතියි දිරි ගැන්වීමට

      Delete
  20. ඇත්තමයි අදයි මෙහෙ ආවෙ...
    ඔයාට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන් නෙව දරගෙන යං සතතාභ්‍යාසය තමා තියෙන්න ඕන.
    මාත් ලාක්ෂා ගැන දැනං හිටියෙ සපතේරු උන්නහෙ කියපු දේ විතරයි. ස්තූතියි ඒ ගැන අපේ දැනුම වැඩි දියුණු කළාට... දිලටම ලස්සන නිර්මාණ කරන්න හැකි වේවා

    ReplyDelete
    Replies
    1. නෙළුම්විලට ආදරයෙන් පිලිගන්නවා. ඉස්සර නම් හුඟක් ලියවුනා . පරණ ලිපි අතරේ තියෙයි ඔඅබ කැමති දේවල් ඇතැම්විට . නෙළුම්විල මගේ තනි බ්ලොග් එකකට වඩා අපි හුඟක් දෙනෙක්ගේ සම්මාදමක්. කමෙන්ට් වලින් තමයි පෝෂණය වෙන්නේ. ස්තුතියි ඔබටත් බොහොම

      Delete
  21. දිගු, වටිනා විස්තරයක්. මං වගේ කම්මැලියන්ට බැරි කලාවක්, අපූරුයි අක්කාගේ දක්ස කම්

    ReplyDelete
    Replies
    1. කම්මැලියන්ට නම් අමාරුයි තමයි...ඒ වගේද අපි :D

      Delete