Tuesday, 15 April 2014

සුපර් ග්ලු යාළුවෝ

අවුරුදුත් ඇවිත් ගියා . අවුරුදු ගැන නම් ඉස්සර හුඟක් ලිවානේ . මේ පාර අපි නම් ආයේ නොනගත කියල බලන්නේ නැතුව උදේම කිරිබත් උයල කාලා බිලා අහවර කළා . මොකද  බෑන්  කී මුන් මහත්තයාගේ ඉස්කෝලේ මෙදා පාර වසන්ත නිවාඩුව වැටෙන්නේ අප්‍රේල් අන්තිමට . අනික වැඩකරන ජනතාවට ඊයේ දවසේ ලොකු රාජකාරි ගමනක් යෙදී තිබුණ.
කොටින්ම අනික් අයගේ සුබ පැතුම් වලට ලයික් කළා මිසක් විශේෂයෙන් කාටවත් සුබ පතන්නවත් කම්මැලි වුණා .මේ වෙද්දී නම් හදාපු මුං කැවුම් ටිකයි කොකිසුයි උඳු වළලුයි අතුරුදන් වෙලත් ඉවරයි.  ඊයේ මගේ මෙහෙ හොඳම මිතුරියයි මමයි පොඩි පොඩි අතුරු පාරවල් ටිකක ඇවිද්දා. .අහල පහල තියෙන දැකපු නැති පන්සලකුත් සොයා ගත්තා .පෙනුමින් බොහොම පැරණි බවයි පෙනුනේ. තරමක් ලොකු බෝ ගසකුත් තිබුණ. ළමයි ඉස්කෝලේ ගියහම අපි හුඟක් දවසට ඇවිදිනවා.
යන්නේ ව්‍යයාමෙට හැබැයි දවල්ටත් කාලා තමයි හුඟක් ගමන් කෙලවර වෙන්නේ . ඔය රස්තියාදු ගමන් වලදී ගත්තු පින්තුර ටිකක් මේ

























සාගරයක් වගේ වැව මැද්දාවේ මේ පොඩි ඔරුවේ මනුස්සයෙක් නිදා හිටියානේ . මිදුම තිබ්බට වෙලාව දවල් දොළහත් පහු වෙලා

පින්තුර නම් මහා ගොඩාක් තියෙනවා . මට ලස්සනයි කියල හිතුන කීපයක් ඔය. ෆෝන් එකෙන් ගත්තු නිසා එච්චර කොලිටි නම් නැහැ ..
හොඳ යාළුවෙක් හමු වීම හරිම ලොකු වාසනාවක්. එහෙම  අය හදවතට ඇලෙන්නේ සුපර් ග්ලු වලින් ඇලෙව්වා වගේ . බාල පාප්ප වලින් ඇලෙන යාළුවො නම් ඉතින් වැස්සක් ආව ගමන් හේදිලා යනවා .
කවදාවත් ආයේ හමු නොවුනත් හදවතේ ඇලවිලා ඒ අය ඉන්නවා . මගේ පරණ යාළුවන් කීප දෙනයි සකර්බර්ග් ලොක්ක ආපසු සොයා දුන්නේ . හුඟක් අය ඇලිලා ඉන්නේ හිතේ තමයි.

මිත්‍ර සම්පත්තිය නොවඩුව ලබන්න ඇති පින නිසා කොයි කවර කලකත් මට හොඳම යාළුවෙක් හිටියා . ඒ හොඳම යාළුවන්ට අමතරව තව යාළුවො ගොඩක් හිටියා .ඒ ලෙවල් කාලේ නම් අපි පස් දෙනෙක්ගේ කල්ලියක් හිටියා එකම ටියුෂන් පන්ති  වලට ගිය . අනුලාවේ එක්කෙනයි ,විශාඛාවේ එක්කෙනයි ,අපේ ඉස්කෝලේ තුන්දෙනයි. පස් දෙනාටම එකට ඉඳගන්න බංකුවක් අල්ලා ගැනීමත් මාර සටනක්. සමහර කෙල්ලෝ ඔළු පීරලා සපත්තු පිහදාලා එහෙම තමා හවස පන්ති වලට යන්නේ විශාඛා තොමෝ වඩින විලාසෙන්. අපි පස් දෙනාටම ඔව්ව ගානක් නැහැ .පන කඩාගෙන දුවන්නේ හොඳ බංකුවක් අල්ල ගන්න . ඉස්සරහමත් නැතුව ටිකක් මැද හරියෙන්. අපි පස්දෙනා කොච්චර යාළුද කියනව නම් පෝටෙලෝ බෝතලේ පස්දෙනාම බෙදාගෙන බොනවා .
දැන් පස් දෙනාගෙන් මුණු පොතේ ඉන්නේ මන් විතරයි. කියන්නත් දුකයි. නමුත් තොරතුරු නම් ලැබෙනවා හැමෝම ගැන .
අර ලස්සන සින්දුවක් තියෙන්නේ
''සිප් හල් උයනේ අරලිය සෙවණේ
මුකුළු කතා කී යෙහෙළියනේ
ඔබ අද කොතැනද මා අද කොතැනද
නැතුවද යලි හමුවන්නේ ''

ඔය ගීතය සෙව්වා .මට සොයා ගන්න බැරි වුනා .


ගුරුවරියක් වෙලා හිටි කෙටි කාලයේදී හමුවුන හොඳම මිතුරිය පුදුමාකාර චරිතයක්. තාත්තත් නැතුව නංගිලා මල්ලිලා ගොඩකුත් එක්ක හරිම අමාරු ජිවිතයක් ගත කල ඇය එක්තරා බෝසත් චරිතයක්. ..අච්චර අමාරු අඩියක ඉද්දිත් කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් කරේ තියෙන හීනි චේන් එක උකස් කරලා සල්ලි අරන් දෙයි. කන්න ගෙනා බත් එක බඩගින්නේ ඉන්න පන්තියේ ළමයෙක්ට දෙයි. හැබැයි දුන්නොත් තමයි ලැබෙන්නේ කියන්නා වගේ එයාගේ ප්‍රශ්නත් කොහොම හරි විසඳෙනව .
එයාටම හරියන මහත්තයෙකුත් ලැබිලා දැන්නම් බොහොම හොඳින් ඉන්නවා . අදටත් ඉඳහිට මන් කතා කලහම ඉස්සෙල්ලම කරන්නේ අඬන්න ගන්න එක . මාව දකින්න නැහැ කියල .
එහෙම හදවතේ අලෝලා තියා ගන්න පුළුවන් යාළුවන් හමු වීම හැමෝටම වෙනවද දන්නේ නැහැ .
අනික් රැකියාව සඳහා පුරුදු වෙන කාලේ නම් පිස්සුම ලෝකයක්. එතනත් හමු වුනා හොඳම යාලුවෙක් සහ තව පිස්සුම යාළුවො ගොඩක් . උන්ගෙන් කට්ටියක් හිටියේ හිරේ . හිරේ කිව්වට ඉතින් පොඩ්ඩක් එහා මෙහා වෙලා හිරගෙදර නිල නිවාස වල . බන්ධනාගාර සේවකයෝ තමන්ගේ නිල නිවාස වල බෝඩින් පවත්වාගෙන ගියා .පොඩි ගෙවල් .පොඩි කාමරයක ළමයි තුනක් විතර දානවා .හුඟක්ම අපේ ආයතනයේ සහ බොරැල්ල අවට ඉගෙන ගත්තු ළමයි. කාලයක් ඉඳලම සිනියර්ස්ලා ගෙන් ඊළඟ බැච් එකට විදිහට තමයි හුඟක් බෝඩින් පැවතුනේ .ඕවයේ සමහර ගෙවල් වල මහා වස ගැහැණු අයත් හිටියා .එකකින් මාරු වෙලා වෙන එකකට ගියහම අහු වුනහම දොස් කියන ජාතියේ . දුර බැහැරින් ආපු ළමයින්ට පයින් යන දුරක පිහිටි මේ ගෙවල් වල ලොකු වටිනාකමක් තිබුණ. කාමර පොඩි වුනත් රෑ වෙනකම් ආයතනයේම පාඩම් වැඩ කරලා යන්න පුළුවන් නිසා .
තව ප්‍රසිද්ධ බෝඩිමක් වුණේ  දුම්රිය නිල නිවාස . එව්වත් එහෙම තමයි . හැබැයි ටිකක් පරිසරය ලස්සනයි. වස්සාන සිහිනය ෆිල්ම් එකේ ඔය ගෙවල් පෙන්නුවා මතකයි.
එක කාමරේ ඉන්න ළමයි අතර පොඩි පොඩි ආරාවුල් හෙමත් ඇති වුණා . එක එක ජාතියේ එවුන් තුන් හතරදෙනෙක් එක කාමරේ ඉන්න ගියහම ඉතින් ඔහොම තමයි. සමහර උන් උදේට නැගිටින්න කම්මැලියි. තව අය ඕනවට වඩා පාන්දර නැගිටිනවා . අර වගේ කම්මැලියෝ දෙන්නෙක්  සහ උනන්දුවෙක් එකට හිටියා . බෝඩිමේ ඇන්ටි උනන්දුවාට වැඩිය සැළකිලි .ඔය ඉතින් අපේ සමාජයේ හැටිනේ . බඩේ ඉන්න දා ඉඳන් දන්නා කියන හැමෝම හදන්නේ ළමයින්ව හදන්න . අවුරුදු විසිගනන්වල වුනත් මේ සිසුන්ව බෝඩින් ඇන්ටිලා අංකල්ලා වුනත් බලන්නේ හදන්න . සිරිත් උගන්නන්න .
ආයේ තව දෙන්නෙක් එක බෝඩිමේ ඉන්න බැහැ කියල එක්කෙනෙක් වෙන තැනකට ගියා .හේතුව අනික් ළමයාගේ එක්තරා දේහ ලක්ෂණයක් නිසා එයා දැකීම උදේට මෙයාට හරි නැහැ වගේ කියල . .


තව අහල පහලින් බෝඩින් සොයා ගන්න බැරි වුන ළමයි රාජගිරිය මාලඹේ වගේ පැතිවලත් නතර වෙලා හිටියා .ලියන්න හිටිය පැත්තට වඩා ලිවිල්ල වෙන අතකට ගසාගෙන ගියා .

හරියට මගේ රස්තියාදු ගමන් වගේ .

අපේ පිස්සු යාළුවො කට්ටියගේ කතා සේරම අද කියන්න වෙලාවක් නැහැ . ආයේ ඉක්මනින් ලියන පොරොන්දුව පිට අදට මෙපමණයි .

මට වගේ හොඳ යාළුවන් හමුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!

70 comments:

  1. සුවිසල් අහස යට
    විසල් විල් දියෙක
    රැකගම්ද මා කෙලෙස ඔබ
    සොඳුර....
    නෙළුම් පත රැඳි
    දිය බිඳුව

    ReplyDelete
    Replies
    1. අගෙයි අයාල් සිත් ..

      Delete
  2. යාළුවො......????
    ලියනව නං මෙතන පෝස්ටුවක් වෙන කං ලියන්න පුලුවං.... නැද්ද.....
    හැබැයි අර කියල තියෙන ජාතියෙ යාළුවො හම්බෙන එක නං දුර්ලභයි.... විශේෂයෙන් ගෑණු ළමයි අතර ඒ වගේ යාළුවො ඉන්නව දකින්න හරි අඩුය්

    ReplyDelete
    Replies
    1. එක පෝස්ටුවක් ලියල ඇතිද ..ඉන්නවා ඉන්නවා .ගැහැණු කියන්නේ නිතර අනුන්ගේ දේවල් හොයන , නිතර තරහා වෙන අමුතු සතුන් කොටසක් කියල හිතා හිටියට :D .
      මට කොලු කෙලි යාළුවො හුඟක් හිටියා . හැබැයි හොඳම යාලුවා වෙන්න නම් ගැහැණු ළමයෙක්ම වෙන්න ඕන

      Delete
  3. අර සිංදුව කාගෙද ? අහල වත් නෑ. ජාලෙත් නෑ වගෙ.
    "'සුදුපාට මල් පිපුනු - අරලියා හෙවන යට
    බාලිකාවේ සුවඳ තනි වෙලා
    අපි ඉතින් වෙන්ව යමු - අපි අතින් ගිලිහි ගිය
    සියලු දේ අතීතෙට පවරලා"

    ඒකත් ටිකක් අරවගෙ තේරුමක් එන සිංදුවක්. ලිපියෙ තියන පද ටික දැක්ක ගමන් මතක් වුනේ ඒ සිංදුව.

    බින්දි අක්කටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. නිර්මලා රණතුංග හරි ඒ ලඟින් යන හඬක් . මටත් සොයා ගන්න බැරි වුනා . කෝ අර සිංදු ම දොඩන දොඩන් මහත්තයා අල්ල ගන්න ඕන වැඩේට
      චන්දන කියූ ගීතය කියන්නේ කවුද . මට අහපු බවක් මතක නැහැ වගේ .සුබ අලුත් අවුරුද්දක් ඔබටත් චන්දන .

      Delete
    2. ඔය සිංදුව නම් දිවුල්ගනේ මහත්තයගෙ එකක්. මුල් පේලිය සිංග්ලිශ් වලින් දුන්නම පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්.

      Delete
    3. තැන්කියු ඔන්න අහලම බැලුවා . ලස්සනයි . හැබැයි බාලිකාව ගැන නිසා ගැහැණු ළමයෙක් කිවා නම් වඩා සුන්දරයිනේද . දිවුල්ගනේ කියන කොට මේකට පොඩි විරහ ගී ගතියක් ඇවිල්ල

      Delete
    4. //බාලිකාව ගැන නිසා ගැහැණු ළමයෙක් කිවා නම් වඩා සුන්දරයිනේද// සිංදුව අහද්දි මටත් හිතුනු දෙයක් ඒක නම්.

      Delete
    5. බාලිකාවේ සුවඳ තනිවෙලා.....මේක මහා අපූරු ගීතයක්..පළමුවෙන් අහපු රසය තාමත් තියෙනවා බින්දි...ආපහු කවුරු ගැයුවත් මට ආණ්ඩුකාරයා ඉස්සර ගයපු ගී කවදාවත් අමතක වෙන්නේ නැහැ. මෙක ලිව්වේ දයානන්ද කෝනාර... එයා සින්දු පැල් බැඳගෙන ලියලා නැහැ.... මියුසික්--තිස්සසිරි පෙරේරා...ඒ තවත් කතා කලයුතු පුද්ගලයෙක්..මට හමුවී (මට සහ මධු ) සුවඳවත් සැඳැවල් ගත කලා.

      Delete
    6. දිවුල්ගනේ ගේ දේශපාලනය ගැන මටත් වැඩක් නැහැ . කටහඬ සුපිරි . ස්තුතියි අරූ සහ චන්දන

      Delete
    7. මාත් මේ ගීතය මොකද්ද කියලා හෙව්වා කිසිම හෝඩුවාවක් ලැබුනේ නෑ...

      Delete
    8. පුදුමයිනේ ..මන් විතරමද මේක අහල තියෙන්නේ .

      Delete
  4. සුබ අලුත් අවුරුද්දක් නෙලුම් විල, තොටියා සහ පැට්ටෝ දෙන්නට.

    මටත් ඉන්නවා හැමදාම යාලුවෙලා ඉන්න හොඳ යාලුවෝ ටිකක්. මොනා උණත් එකට ඉන්න. අපි තැන් තැන්වලට යනවා. යාලුවෝ එකතු කරනවා. ජීවිතේ වෙනස් වෙනවා. ආපහු තවත් තැනකට යනවා. යාලුවෝ එකතු කරනවා...මට වෙලාවකට හිතෙනවා අපි ආපහු ඉපදිලා කරන්නෙත් මේ ටික තමා කියලා...

    බ්ලොග් ලියන්ට ආවායින් බින්දි වගේ යාලුවෙක් හම්බ උණු එක කොච්චර ලොකු දෙයක්ද... මගේ යාලුවෝ ගැන පොත් දහයක් විතර ලීව හැකි...:)

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි කවදාවත් දැකල නැතත් ඔයා වගේ යාළුවො කට්ටියකුත් හමු වුනා තමා ...

      Delete
  5. සුබ අළුත් අවුරුද්දක් වේවා බින්දි අක්කේ !

    ලස්සන පින්තූරු ටික !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයා

      Delete
  6. යාළුවොනං ඉතින කොච්චර හම්බ වෙනවද එහෙමත් කෙනෙක් තමයි පපුවේ පැලපදියං වෙන්නෙ සමහරක් වෙලාවට නැදැයන්ටත් වඩා

    ReplyDelete
    Replies
    1. ඔව් අටම් අපිටත් මෙහෙදී විශේෂයෙන් නෑදෑයන්ට වඩා සමීප යාළුවන් තමයි

      Delete
  7. Replies
    1. ස්තුතියි කනිෂ්ක

      Delete
  8. මම කියවන ගමන් කල්පනා කලේ බේස්ලයින් රෝඩ් එකේ දුම්රිය නිල නිවාසවල ලස්සන ගැනයි,ඔතනින් යනකොට බැහැල බලන්න ඕනෑ කියල හැමදාම හිතනවා නමුත් වෙන්නෙ නෑ,ඒ ගෙවල් ටික හරියට වෙනම රටකින් කෑල්ලක් ගෙනත් තිබ්බ වාගෙයි නේද.ඔව්ව කඩල අලුත් විදියට හදයිද දන්නෙ නෑ නේද බින්දි එහෙම උනොත් නං හරි අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප මටත් හිතෙන්නේ මිනිස්සු හිටියා හෝ නැතුවා ඒ ගෙවල් ටික නම් සංරක්ෂණය වෙන්න ඕන . මෙහෙ හැනොයි වල පරණ ටවුම හරිම ජනාකීර්ණයි. පැරණ ප්‍රංශ හුරුවට ජනෙල් දාපු පරණ ගොඩනැගිලි නොකඩා ඔය ටික එහෙම්ම තියල අලුතින් නිල නගරය ලෙස ටිකක් ඈතින් දියුණු කරන්නේ ඔය හේතුව නිසා

      Delete
  9. යාළුවෝ මාළුවෝ යාළුවෝ...
    මාළු නසී උඩින් වැටෙන ඇම කන හින්දා...
    යාළු නසී මේ මං වගේ ලණු කන හින්දා...

    ReplyDelete
  10. අපි පස්දෙනා කොච්චර යාළුද කියනව නම් පෝටෙලෝ බෝතලේ පස්දෙනාම බෙදාගෙන බොනවා .

    මගෙ යාලුවෙක් ඉන්නවා. ලෝකෝත්තරයා. ඌ දවසක් ගම්පහ ක්ලාස් ගිහිල්ල එන ගමන් ටො‍ෆියක් අතට ගත්තලු. අනිත් උන් ඕක උදුරගන්න ලෑස්තිවෙනකොටම මූ කියනවලු මෙහෙම.

    "මචංලා, එක වෙරළු ගෙඩිය--" (ටොෆී කොලේ ගලවනවා) "--හත්දෙනෙක් බෙදාගෙන කෑවානම්--" (දැන් කොලේ විසි කරලා ටො‍ෆිය අතේ. සටන පෝස් කරලා අනිත් උන් බලාගෙන ඉන්නවා) "--මට මේ ටො‍ෆිය--"(අනිත් උන්ගේ ඇස්වල බලාපොරොත්තු දැල්විලා. මූ ගැන ආදරයක් ඇතිවෙලා) "--තනියෙන් කන එක මහ වැඩක්ද."(ටො‍ෆිය කටට විසි කරගන්නවා.)

    අනිත් උන්: මුගේ අම්මට *&#@&^"

    ReplyDelete
    Replies
    1. දෙය්යෝ සාක්කි ඌ දැන් එක්කෝ බිස්නස් කාරයෙක් නැත්තන් පොලිටික්කෙක් වෙන්න ඇති ..

      Delete
    2. ඌ දැන් බිස්නස් කාරයෙක්.

      Delete
    3. ආ මන් හිතුව. දේශපාලනේ කළා නම් වුනත් සාර්ථක වෙයි. ජනතාවට ටොපි පෙන්නලා ඒගොල්ල කටේ දාගන්නවනේ

      Delete
  11. සුපර් ග්ලූත් වතුරට ගැලවෙනවා, හැබැයි පාප්ප තරම් ඉක්මනින් නෙමේ...

    තව ඉන්නවා පැය අටේ යාළුවෝ, පාස් පොර්ට් යාලුවෝ කියලා ජාතිත්..

    වේල් දෙකක් එක දිගට නොකා හිටියත්, අතට ගත්තු බත් පත වෙන බඩිගිනි කාරයෙකුට දෙන්න පුළුවන් තරම් පරිත්‍යාගශීලීන් ඉන්නවා තමා.. හරිම විරලයි..

    ReplyDelete
    Replies
    1. හය්යෝ ඇත්තද . නරක උදාහරණයක් එහෙනම් .

      Delete
    2. තව ජාතියක් ඉන්නවා සෙන්නා බෙයාර් බෑන්ඩ් යාලුවෝ කියලා.

      Delete
    3. ආ අර වලහා එනකොට ගහට නගින කට්ටිය නේද ?

      Delete
    4. මට හිතෙන්නේ යාළුවන් නිසා නරක අත්දැකීම් වැඩි පිරිමි පක්ෂයට. ඔය වලහ ගේ කේස් එකෙත් එහෙමනේ.

      Delete
  12. //සමහර කෙල්ලෝ ඔළු පීරලා සපත්තු පිහදාලා එහෙම තමා හවස පන්ති වලට යන්නේ විශාඛා තොමෝ වඩින විලාසෙන්. අපි පස් දෙනාටම ඔව්ව ගානක් නැහැ .පන කඩාගෙන දුවන්නේ හොඳ බංකුවක් අල්ල ගන්න . ඉස්සරහමත් නැතුව ටිකක් මැද හරියෙන්.//

    අන්න කෙල්ලෝ...තවුසන්ඩ් ලයික්ස් :D

    පන්ති වලදී කෙල්ලන්ගේ නරකම ලක්ෂණයක් තමයි ටිකක් පරක්කු වෙලා එන ළමයෙක්ට ඉඳගන්න ඉඩ නොදෙන එක...දවසක් ඔහොම සිද්ධියකදී එක්තරා සර් කෙනෙක් නම් හොඳ කතාවක් කිව්වා...

    "ඇයි කෙල්ලනේ උඹලගේත් ලබ්බ බැහැලද?කකුල් දෙක පොඩ්ඩක් ලං කරලා ඔය ඇවිත් ඉන්න එකීටත් ඉඳගන්න ඉඩ දීපල්ලා.."

    ReplyDelete
    Replies
    1. එහෙම ආත්මාර්ථකාමී කෙල්ලොත් ඇති ඉතින් අපි නම් එහෙම වුනේ නැහැ. අපරාදේ කියන්න බැහැ අපේ කෙල්ලෝ දෙන්නත් එහෙමමයි. අහක යන එව්වට උදව් කරන්න ගිහින් මම වගේම නාගන්නවත් එක්ක .

      Delete
  13. අනේ මටත් වැවක් මැද ඔරුවක් ඇතුලේ නිදාගෙන ඉන්න ඇත්නම්...

    ReplyDelete
    Replies
    1. නලිනි ඔය පින්තුරේ දැකල ඕකමයි කිවේ ..මෙහෙ කට්ටිය දවල්ට කාල පොඩි නැප් එකක් දාන්න හරි ආසයි.

      Delete
  14. අයියෝ මම නම් යාළුවෝ නිසා අනන්තවත් හිත් රිද්දගෙන ඇති. උන්ට උදව්කරන්න ගිහින්. අපි උදව්කළ යුත්තේ උදව්වක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඒත් මනුස්සකම කියන එක යන්තම් හරි ගෑවිලා තියෙන්න ඕන. ඕවට ඉතිං ගෙදරින් බැනුම්.
    සුභ නව වසරක් වේවා.!

    ReplyDelete
    Replies
    1. ඔව් තරු එහෙමත් වෙනවා තමයි. ඒ අය ඉතින් යාළුවො නෙමේ ..දන්නා කියන පලියට යාලුවෙක් වෙන්න බැහැනේ . යාළුවො නිසා අමාරුවේ වැටුණු මිනිස්සු ඕන තරම් ...

      Delete
  15. බින්දි.....මම හිතුවේ යාළුවෝ නැති මිනිහා වතුර නැති මාළුවෙක් කියලා.. මම එහෙම තමයි ජීවිතය ගතකරේ. ඒ කම්පෑණියන්ස්ලා.. මට ඉන්නවා සුපර්ග්ලු යාළුවෙක් මම ඌ ගැන වෙලාවක ලියන්නම්. දුකයි ළඟ නැති එක ගැන..

    ගියපාර ඒ කට්ටිය අපිව බලන්න ආපු වෙලාවේ..මම කාඩ් එකක් දුන්නා ඉන්න රටට ගිහිල්ලා ඇරලා බලන්න කියලා..එච්.ආර්.කුඩලිගම නැමති මා කැමති කවියාගේ මේ කවිය උපුටා දක්වා.

    කඳු බෑවුමේ දියවැල් ගල් කුලක හැපී
    වෙන්වී ගලාගෙන ගොස් දෙකඩකට කැපි
    නැවතත් එකතුවෙන මෙන් පෙණ බුබුළු පිපී
    කොතැන හෝ දිනක යළි මුණ ගැසෙමු අපි

    ReplyDelete
    Replies
    1. ලස්සන කවිය . ආයේ දවසක හමුවන්න ආසාවක් ඇතිවෙන්නවා කියන්නේ හැමෝම වෙනුවෙන් ඇති වන හැඟීමක් නෙමේ. මටත් ඉන්නවා ආයේ හමු වෙන්න ආසා පිරිසක් .

      Delete
  16. සුබ අළුත් අවුරුද්දක් බින්දි අක්කේ..

    මම හැමදේටම වැඩිය හිතුවේ අර වැව මැද්දේ තනියම නිදාගෙන ඉන්න මනුස්සයට ඒකේ කොයි තරම් වින්දනයක් ඇත්ද කියලා..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා දිනේෂ් ..ඔව් අප්පා ඕන තැනක වැටිලා නිදා ගන්න හැකි කමත් හපන් කමක් වගේම වාසනාවක්

      Delete
  17. බින්දිටයි, පැටවුන්ටයි, හිමියන්ටයි සුභ නව වසරක්!
    කොල්ලෝ යාලුවෝ ඇසුරු කරන හැටියි, කෙල්ලෝ යාලුවෝ ඇසුරු කරන හැටියි අතර ලොකු වෙනසක් තියෙනව, මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා පොත් ගුල්ලා . පොත් ගුල්ලත් මගේ හොඳ යාලුවෙක් තමයි . පොතක් පතක් ගැන කතාකරන්න පුළුවන් යාලුවෙක් කියන්නේ ලොකු සම්පතක් .
      ඔව් මන් හිතන්නේ ..අනික පුද්ගල චරිත ස්වභාවය අනුවත් විවිධාකාරයි

      Delete
  18. බින්දි හැලප කතා කියවලා ඔන්න හැලප ස්ටයිල් එකටත් එකක් ලියලා. හ්ම්ම්..
    සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔන්න මන් නම් පිටුව පුරාම යාළුවො කියන මාතෘකාව යටතේ ලිවේ ..මන් නම් අලි කම්මැලියා පෝස්ට් කඩලා ලියන්න ..
      එසේම වේවා සරත්

      Delete
  19. අර මවුන්ට් මේරි වල තියෙන රේල්වේ ක්වට්ස් එකේ මගේ යාලුවෙක් මුලින්ම හිටියා. ඒ හිටියේ කලින් ගාඩ් රස්සාවේ ඉඳලා බැංකුවට ආවට පස්සේ. ඔයින් මෙයින් සියලුම ගාඩ්ලා අපේ මිතුරන් වුණා. අපිට සෙට් වෙන්න ඕන වුණාම අපි යන්නේ එහේ. කොළඹ නගරයේ ඒ වගේ නිස්කලංක හෙවන සහිත තැනක් තියෙනවා කියලා පිලි ගන්නත් අමාරුයි. ටික කාලකෙදී අපේ යාලුවෙක් එහේ සුපර් ග්ලු වුණා. අන්තිමට එයා කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත්, එහෙ යුනියන් එක අවරුද්දකට වරක් ඒ නිවාස වෙන් කරන වෙලාවට අපේ යාලුවත් එක්ක දාන්න හොඳ කෙනෙක් තෝරනවාලු. ඔයාගේ පොස්ට් එක දැකලා මගේ යාළුවො ගැන ලියන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඔය දෙමටගොඩ කියන්නේ මහා කාෂ්ටක හරියක්නේ බේස්ලයින් එකේ එද්දී . ඉස්සර මට පේන්න බැහැ රේල් ගේට්ටුවට වරුවක් බස් එක නවත්තල . ඒ මදිවට මාර රස්නෙයි ඔය හරිය. ඉස්කෝලේ ගියේ සහ ගෙදර ඉන්න කාලේ රැකියාවට ගියේ ඔය ටික පහු කරලා . උඩින් පාලම දැම්මේ පස්සේ කාලෙක .හැබැයි ඒ රළු හරිය පහු කරලා ඔය ක්වාටස් තියෙන හරියට ආවම හරිම වෙනස්. කනේරු ගස් ගොඩක් තිබුණ නේද . පරණ මතක ලියන්නකෝ බලන්න සුදික

      Delete
  20. බින්දී ඔයාගේ බ්ලොග් එකේ නමට ඇයි ඩොට් එකක් තියලා. මගේ බ්ලොග් රෝලේ තියෙන ඒවා බලාගෙන යත්දී තමයි දැක්කේ. බ්ලොග් රෝල් වලදී එතකොට නෙලුම් විල කියන එක වැටෙන්නේ නෑ. ඒක ඔයාට පාඩුවක්.

    ReplyDelete
    Replies
    1. ඔය තිත දාන්න වුනේ සිරා කොලුවා හදල දීපු පින්තුරේ දාන වෙලාවේ. මම දැනන් හිටියේ නැහැ එහෙම අවුලක් ඇති බව . මුණු පොතේ බ්ලොග් එක ෂෙයාර් කරද්දීත් ඉස්සර වගේ ලස්සනට බ්ලොග් නම වැටෙන්නේ නැහැ තමා .පොඩ්ඩක් බලන්න ඕන

      Delete
    2. මටනම් අවුලක් නෑ, ඔය අපූරුවට අප්ඩේට් වෙන්නෙ...

      Delete
  21. හොඳ යාළුවන් ආශ්‍රය කරන්ට පෙර කල පිං තියෙන්ට ඕන.. ඒ වගේම තමනුත් අනුන්ට හොඳ යාළුවෙක් වෙන්ට ඕන.. අර කතාවටත් කියන්නෙ එක ජාතියෙ කුරුල්ලො එක අත්තෙ වහනවා කියලා.. :-)

    මට පුංචි කාලෙ ඉඳන්ම හොඳ යාළුවන්ගෙන් කිසිම අඩුවක් තිබුනෙ නෑ.. තුනේ-හතරේ පන්තියේදී මගේ හොඳම යාළුවා වුනු එකා අදටත් මගේ හොඳම යාළුවෙක්.. දැන් අවුරුදු ගානකින් මුනගැහිලා නැතිවුනාට ඒ යාළුකම නැතිවෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ට ඕනේ පිළිතුරු පමාවට.
      ඔව් ඔව් යකාගේ හැටියටනේ විමානේ ..නැද්ද බුරා

      Delete
  22. පිටරට ඉඳිද්දී යාළු වෙන උන්ට නම් කියන්නේ පාස් පෝට් යාළුවෝ කියලා. ඉස්කෝළේ යාළුවෝ වෙනමයි. උන් නම් බිග් මැච් එකේ හරි හම්බ වෙනවා. ඊට පස්සෙ කරපු කප්පරක් ජොබ් වල සෙට් උන උන්. ඉඳලා හිටලා හම්බ වෙනවා. පොඩි කාළේ යාළුවෝ නම් හම්බ වෙන්නේ නැති තරම්. දැන් නම් හොඳම යාළුවෝ නෝනයි, පොඩි එකයි. එත් ඉතින් මේ ඔක්කෝම තාව කාලිකයි. කවදා හරි මේ සියල්ල නැති වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. හැබැයි මට නම් පිටරටදී හමු වුන හොඳ යාළුවො දිගටම ඉන්නවා. රටින් එලියට ආවයින් ලෝකේ පුරාම වගේ යාළුවො ලැබුණ.

      කවද හරි නම් සියල්ල අත අරින්න වෙනවා තමයි.

      Delete
  23. යාළුවෝ ගැන නම් කියන්න කතා මහා ගොඩාක් තියෙනවා. අර උඩින් බුරා කීවා දේම තමයි මට කියන්න තියෙන්නෙත්. මටත් මහා ගොඩාක් යාළුවෝ ඉන්නවා. ලෝකේ කොහේ හිටියත් අවුරුදු ගාණක් කතා නොකර හිටියත් හමු නොවී හිටියත් අපේ යාළුකම් එකම වගේ.
    ඊගාවට ඔන්ලයින් යාළුවෝ. දැන් මට වැඩිපුරම ඉන්නේ ඔන්ලයින් යාළුවෝනේ. සමහරක් අය අපෙ ගෙදර අයටත් වඩා මට සමීප අය. ඔය එහෙන් මෙහෙන් යාළුවෙන යාළුකම වලට වඩා ස්ථිරසාර යාළුකමුත් මේ නෙට් අස්සේ වයර් අස්සේ ඇති කරගන්න පුළුවන් කියලා දැනෙන එකත් සතුටක්.
    ඊගාවට ඔය බින්දිලා වගේ වයර් අස්සෙන් හමුවෙලා බ්ලොග් අස්සෙන් කතාව අහගෙන යාළුවෝ වෙලා ඉන්න අයත් ඉන්නවා. ජීවිතේ කවර කලෙකත් හමු නොවුනත් හමුවුනා වගේ දැනෙන මිත්‍රත්වයන් මේ වයර් අස්සේ කොච්චර තියෙනවද නේද බින්දි?

    ReplyDelete
    Replies
    1. ''ඔය එහෙන් මෙහෙන් යාළුවෙන යාළුකම වලට වඩා ස්ථිරසාර යාළුකමුත් මේ නෙට් අස්සේ වයර් අස්සේ ඇති කරගන්න පුළුවන් කියලා දැනෙන එකත් සතුටක්. ''

      සහතික ඇත්ත රංගි . පුද්ගලිකව හමු වෙන්න ආස ඔයා වගේ කීප දෙනෙක් ඉන්නව මගේ ලිස්ට් එකෙත්.

      Delete
  24. "යාලුවො අද නැත..
    වෙන අය එහි ඇත..
    කාලය මැවු වෙනසක අරුමේ..."

    ReplyDelete
    Replies
    1. ඒ සිංදුවත් හරි ලස්සනයි

      Delete
  25. අක්කා ගුරුවරියක් විදියටත් සේවය කරලා තියෙන බව අද තමා දැනගත්තෙ....හදවතට මේ තරම් සමීපව දැනෙන මිත්‍ර සම්පත්තියක් ලැබීමම කෙතරම් වාසනාවක්ද ? මා තලන් ඉහළින් කියලා තියෙනවා වගේ පාස්පෝට් යාලුවො තමයි වැඩි හරියක් පිටරට ඉන්නෙ...ඒ නිසා මෙහෙදි මුණ ගැහෙන එකෙක්වත් මම ඕනෑවට වඩා ලගට ගන්නෙ නෑ....වෙන්වෙන දවසක දුකකුත් නෑ එතකොට....

    ReplyDelete
    Replies
    1. හා හා ගුරු ජිවිතේ රසකතා ටිකක් ලියන්න ඕන .මලේ

      Delete
  26. මල් විකුණන්නේ බයිසිකල්වල තියාගෙනද අක්කේ ? මල් නම් එමට තියෙනවා වගේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි බයිසිකල් වල තමා . බලන්න ලස්සනේ බැහැ . අපි ඉන්න ගේ ඉස්සරහ පාරේ හුඟක් බයිසිකල් යනවා . මේ හරියෙමයි මල් මාකට් එක තියෙන්නෙත්. මල් හිටෝන ගමකුත් තියෙනව.

      Delete
  27. ඒ වගේ මිත්‍ර සම්පත්තියක් ලබන්න ඔයා පිං කරලා තියෙනව බින්දි... මට නම් යෙහෙළියන්ගෙන් ලැබුනෙ එච්චර හොඳ අත්දැකීම් නෙවෙයි... ඒ නිසා මං දැන් අර ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා වගේ තමයි... හැබැයි ඒ කාලෙ මුණ ගැහුනු යහළුවො නම් අවුරුදු ගානකට පස්සෙ මෙහෙදි යාළුකම් අළුත් කරගෙන අදටත් ඇසුරේ... උන්ගෙන් නම් කවදාවත් හිත රිදෙන දෙයක් වෙලා නෑ...

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම තමයි මියුරු. අවුල් වගේ දැනුන අයව යාළුවන් ලෙස නොසැලකු නිසා වෙන්න ඇති මට ප්‍රශ්නයක් නොවුනේ.

      Delete
  28. "මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
    බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී"

    එහෙමනෙ කියන්නෙ... මට හිතෙන්නේ හොඳම යාලුවෝ මුණ ගැහෙන්නේ පාසල් යන කාලේදි... ඊට පස්සෙ හැදෙන මිතුරුදම් වලට අර තරම් විවෘත වෙන්න අමාරුයි කියලා මට හිතෙන්නේ... හැබැ‍යි එහෙම නොවෙන අවස්ථාවන් ඇති... මගේ හොඳම මිතුරන් පාසල් කාලයේදි හමුවූ අය.

    ReplyDelete
    Replies
    1. අවාසනාවට මට පාසල් යාළුවො මුණ ගැහෙන්නේ නම් නැහැ . නමුත් යාළුකම් මැරෙන්නේ නැහැනේ.
      මට නම් හෙන ෆිට් යාළුවො හම්බ වුනානේ පස්සේ කාලෙත්

      Delete