Friday, 31 January 2014

හාර්බින් ...



Picture from


Ian Wright   අපට හමුවෙන්නේ විහිළුකාර සංචාරකයෙක් විදිහට .TLC  නාලිකාවේ තමයි නිතරම දකින්න ලැබෙන්නේ. ඊයේ මෙයා චීනයට ගිය ගමනක් පෙන්නුවා . දෙවතාවක්ම ලංකාවටත් ගිහින් තියෙනවා .

ඊයේ වැඩසටහනේ යන්නේ චීනයේ හාර්බින් නගරයට . වෙනදට දකින චීනයට වඩා අමුතු වෙනසක් තිබුණ නිසා මමත් උනන්දුවෙන් බැලුව .මිනිස්සුන්ගේ පොඩි රුසියන් ගතියක් තිබුණ. .අමුතු දෙයක් දැක්කම විශේෂයෙන් රටක් පලාත්ගක් ගැන වුනහම වැඩියෙන් සොයා බලන උණක් තියෙනවනේ මට. ඉයන් රයිට් මේ වැඩසටහෙන් කීවාට අමතරව ගුගල් ගිහින් මම මේ හාර්බින් ගැන ටිකක් කියෙව්වා. මිට කලින් කියෝපු The House of sixty  Fathers කියන පොතෙත් හාර්බින් වලට බෝම්බ වැටෙද්දී පලා යන චීන පවුලක් ගැන කියෝලා තියෙන නිසා මට ගැන සොයන්න සිතුනේ.


මිනිස්සුන්ගේ රූප ස්වභාවය නිසා චීනයේ උඩහට වෙන්න තමයි හාර්බින් තියෙන්න ඕන කියල දැනුන. එක හරියටම හරි. පිහිටීම ගැන කියනවා නම් ඊසාන දිග චීනයේ තමයි හාර්බින් පිහිටලා තියෙන්නේ . මැන්චුරියාව කියල ඉස්සර හඳුන්වපු ප්‍රදේශයේ . මැන්චුරියාව ගැන නම් හුඟක් මට අහන්න ලැබුනේ කොරියන් කතා වලින්. කොරියාව ජපානයට යටත් වෙලා තිබ්බ කාලේ නිදහස් සටනේ ක්‍රියාකාරීන් සැඟවෙන්න සහ සංවිධානය වෙන්න එහෙට තමයි ගිහින් තියෙන්නේ. ඒ කතා වෙන දවසක .
පුරාණ කාලේ ඉඳන් ජනාවාස වුනත් හාර්බින් විශේෂිත නගරයක් වෙන්න  පටන් ගන්නේ 19 වන සියවසේ අග භාගයේදී . රුසියාවේ  ආධාර යටතේ ඉදිවුන නැගෙනහිර චීන දුම්රිය මාර්ගය ත් සමග

මේ සමග ඇති වුන ආර්ථික ප්‍රබෝධය නිසා රුසියානු ජාතිකයින් විශාල වශයෙන් මෙහි පැමිණුනා. මොස්කව් සහ පැරිසියේ අලුත් විලාසිතා චීනයේ අනිකුත් නගරවලට කලින් හාර්බින් වලට ආපු නිසා විසිවෙනි සියවසේ මුල භාගයේදී හාර්බින් පැෂන් සිටි ලෙස හැඳින්වුනා .
රුසියන් විප්ලවයෙන් පස්සේ පසු බැස්ස පරණ රුසියන් හිතවාදීන් හාර්බින් රුසියන් නගරයක් මෙන්ම නිර්මාණය කළා . දෙවෙනි ලෝක යුද්ධ සමයේ යුරෝපයෙන් පලා ආ යුදෙව් ජාතිකයින් විශාල ලෙස හාර්බින් වල සරණ පැතුවා. චීනයේ යුදෙව් ඉතිහාසයත් කියවන්නට අගේ ඇති මාතෘකාවක් වුවත් අද එයට වෙලාව නොවෙයි

ශුෂ්ක සිසිරයක් සහිත මේ පළාතේ අයිස් වලට වඩා අප හදවත් සිතල කරන දුක්බර කතාවක් තියෙනව. ඇත්තටම මට වැඩියම කියන්න ඕන වුනේ මේ කතාව.

ජපන් අධිරාජ්‍ය තම බල ප්‍රදේශ වයාප්තියේදී මැන්චුරියාව පහසුවෙන් යටත් කරගන්නවා.  කලින් කී පොතේ තිබෙන්නේ මේ බෝම්බ වලට බියෙන් පලා යන චීන පවුලක් ගැන ම තමයි.
මේ වෙද්දී හරිම නිස්කලංක පුස් පැටියෙක් වගේ ඉන්නා ජපානය ඒ කාලයේ ක්‍රියා කර තබෙන ආකාරය නම් ඉතාම පිළිකුල් සහගතයි. නාසීන් යුදෙව්වන් යොදාගෙන කල අමානුෂික පර්යේෂණ ජපනුන් මේ කලාපයේදී චීන සහ අනිකුත් අතට අසුවන සියලු ජාතිකයින් යොදාගෙන කර තිබෙනවා.

Unit 731 ගැන ඇතැම් අය අසා ඇති. මේ සංවිධානයේ අරමුණ වුයේ මිනිසුන් යොදා කරන රසායනික සහ ජීව විද්‍යාත්මක පර්යේෂණ . මොවුන්ගේ මුලස්ථානය පිහිටවුයේ හාර්බින් වල . අධික ශීතලට හසුකර මිනිස් ශරීරය ප්‍රතිචාර දක්වන හැටි , විවිධාකාර එන්නත් විදීම්., අතපය කපා ලේ ගැලිමකින් මියයාමට ගතවන කාලය මැනීම්, සමාජ රෝග ඇතුළු නානාප්‍රකාර විෂබීජ ශරීර වලට ඇතුළු කිරීම් වැනි අතිශය බිහිසුණු වද හිංසා වලට පළාතේ ජනතාව යොදාගෙන තිබෙනවා. එමෙන්ම යුද සිරකරුවන් .

ජපන් හමුදා පරාජය වෙද්දී මිත්‍ර හමුදා බෝම්බ වැටෙද්දී ඇතැම් නිලධාරින් පලා යනවා . ඔවුන් සියල්ලන්ටම දඬුවම් ලැබෙන්නට ඇතියි ඔබ සිතනවාද .

ඉතිහාසයේ වඩා පිළිකුල් කතාවක් එතනදී අපට අසන්නට ලැබෙනවා . මෙම වධකයින් අතරින් ඇතැමෙක් පසු කලෙක ඖෂධ ව්‍යාපාර පවා අරඹනවා . පුදුමයි නේද .
මේ සංවිධානයේ පර්යේෂණ ප්‍රතිපල වලට ලොබ බැඳ ගන්නා ඇමරිකාව මේ වදකයින්
 යුධ අධිකරණයන් වෙත යොමු කිරීමෙන් වළකනවා. ඒ පර්යේෂණ ප්‍රතිපල වලට හුවමාරුවක් ලෙස. රුසියාව යම් පමණකට පිරිසකට දඬුවම් දෙන්න පෙළඹෙනවා. නමුත් මේ ලිපිලේඛණ ප්වුන් පවා පසු කලෙක ප්‍රයෝජනයට ගන්නවා . ඔබ මා අද ලෙඩකට ලබා ගන්න බෙහෙතක නැත්නම් එන්නතක අපමණ වේදනා විඳ මිය ගිය අහිංසක මිනිසුන්ගේ ලේ තැවරී තිබෙන්නත් පුළුවන් බව සිතීමත් කෙතරම් බිහිසුණුද.
නාසි ජර්මනියේ වධකාගාර ගැන හුඟක් චිත්‍රපට බලල තියෙනව . නමුත් ජපන් වද කඳවුරක් දැක්කේ ස්පිල්බර්ග් ගේ Empire of the Sun චිත්‍රපටයේ විතරයි. තව තියෙනවද දන්නේ නැහැ . නමුත් මට නම් අහුවෙලා නැහැ . කොරියාවේ කාන්තාවන් ජපන් හමුදාවන්ගේ ලිංගික වහලුන් ලෙස ගෙනයාම වගේම මේ පර්යේෂණ වදකාගාර ගැනත් ජපානය තවම ප්‍රසිද්ධ සමාවක් ඉල්ලලා නැහැ . 
ඉතිහාසයේ කිල්ලෝටවල කාගේ කාගේත් හුණු ඇති බව නම් මොනවට පැහැදිලියි. ඇතැම් විට අප අද සුවපත් වන්නේ මෙවැනි මිනිසුන් විඳි දුක් වේදනා වල ප්‍රතිපල මතින් වීම ඉතිහාසයේ දරුණුම සරදම වේ





හාර්බින් අද වෙද්දී ප්‍රසිද්ධ නම් අයිස් උත්සවයට.. අයිස් අනුරූ වලින් ශුෂ්ක සිසිරය අලංකාර වන හාර්බින් වෙසෙසින් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නවා. සංගීතයට සහ නර්තනයටත් හාර්බින් වලදී ලැබෙන්නේ ඉහල තැනක් .

Saturday, 25 January 2014

වර්ණවත් සිතුවම් මවනා ලැකර් කලාව

කුඩා කාලයේ සිටන් චිත්‍ර අඳින්න ආස වුනත් යම් පමණක හැකියාවක් තිබුනත් හැටියට ඉගෙන ගන්න නම් ඉඩක් ලැබිලා නැහැ . නමුත් ලොකු හීන නැති මගේ හිතේ පතුලක ඒ ආසාව නම් නොමැරී තිබුණ
වියට්නාමේදී තෙල් සායම් පොඩ්ඩක් ඉගෙන ගන්න ඉඩක් ලැබුණ. ඒ වගේම අපිට එච්චර හුරු නැති ලැකර් පින්තාරුවටත් මගේ සිත ගියා .
අපේ රටේ ලාක්ෂා කියල කියන්නේ මේ ලැකර් වලට වෙන්න ඕන. නුවර පළාතේ ලාක්ෂා ගැන අහල තිබුණ වගේ මතකයි. අවාසනාවට මට අන්තර්ජාලයේ කිසිම ලිපියක් සොයා ගන්න බැරි වුනා මේ ගැන. දන්නා කෙනෙක් ඒ ගැන  සඳහනක් කලොත් අගෙයි.

ඒ ඇරෙන්න ''ඔය ලැකර් ගාපුවා '' කියල පාට කල යමක බාල බවක් හැඟවෙන යමක් ඇරෙන්න ලැකර් ගැන මා දැන  සිටියේ නැහැ . වියට්නාමයට ආ අලුත ලැකර් චිත්‍ර ගැන ඇතැමුන් අගය කොට කතා කරද්දී මගේ අවධානයක් යොමු නොවුනේ බාල තීන්ත වර්ගයක් වන්නට ඇතැයි සිතීම .ලැකර් ආලේපිත කුඩා වර්ණවත් කුඩා බඳුන් නම් මා සිත් ගත්තා . ආභරණ පෙට්ටි බන්දේසි මල් පෝච්චි ආදී එකී නොකී දේවල් ත්‍යාග ලෙස හැම දෙසැම්බරයකම මගේ සුට්කේස් වල ඇවිදින් දන්නා කියන අයට තෑගී ලැබුණේ අන්න ඒ නිසයි.. ලැකර් යනු කෘතීම ව නිෂ්පාදනය වෙන තීන්ත වර්ගයක් පමණක් ලෙස මගේ සිතේ තිබු වැරදි අදහස නැති වී ගියේ මෑතකදී .

මගේ නිවහන අසලම ඇති කුඩා ලැකර් පාසල ගැන දැන සිටියත් ගොසින් බලන්නට සිතුණේ පසුගිය ග්‍රීෂ්ම නිවාඩුවේ ළමයින් සඳහා යම් ක්‍රියාකාරකමක් සොයමින් සිටි විට . පාසලක් කීවාට උණබම්බු මේස කීපයක් සහ පුටු කීපයක් සහිත පිටත කුඩා කාමරයත් එයිටත් කුඩා පිටුපස ලැකර් සහ අනිකුත් කළමනා තබා තිබුන දෙවෙනි කාමරයත් , ජම්බෝල ගසකින් සෙවණ වූ ජලකරාමයක් සවි කල කුඩා මිදුලත් පමණකි එහි තිබෙන්නේ. නමුත් බිත්තිවල එල්ලා ඇති සිතුවම් වල අගය එයින් මදක් වත් අඩු වී නැහැ .

තෙල් සායම් චිත්‍රයක් දින කීපයකින් ඉවර කරන්න පුළුවන් . මෙයත් එවැනිම කලාවක් කියායි මුලින් සිතුනේ . පටන් ගත් පසුවයි වෙනස වැටහුණේ .

ලැකර් කියන නම හැදුනේ සංස්කෘත බසේ එන ලාක්ෂා කියන වචනයෙන්ලු. ලක්ෂ ගණනින් ජිවත් වන කෘමි විශේෂයකින් ඉන්දියාවේදී ලැකර් සාදපු නිසා ඒ නම වැටුනා කියලයි කියවෙන්නේ . චීනයේදී තමයි මේ කලාවට පන ලැබෙන්නේ . චීනයෙන් පැතිරිලා ගිහින් ජපානය කොරියාව වගේ රටවලට මෙය ලැබෙනවා . මේ රටවලදී ලැකර් ලබාගන්නේ ගසකින් ඒ ඒ රටවලදී මේ ශාක පවුලේ විවිධ ශාක දක්නට පුළුවන් . චීනයේදී දියුණු වුයේ ලැකර් බඳුන් .රත්තරන් රිදී වගේම මුතු බෙලි කටු .ආදිය ඔබ්බවා ලැකර් බඳුන් නිමවී තිබෙනවා . ජපානය කොරියාව බුරුමය වැනි රටවලදී ඒ ඒ රටවලට ආවේනික ලෙස මෙම කලාව අනුවර්තනය වෙනවා .
රබර් ගසින් කිරි ලබා ගන්නා ක්‍රමයටම තමයි මේ ගසින් මැලියම් වැනි මේ ශ්‍රාවය ලබාගන්නේ . මෙය විෂ සහිතයි. ආසාත්මිකතා ඇති වෙන්නත් පුළුවන් .
අන්තර්ජාලයේ මේ ගැන බොහෝ විස්තර තිබුණත් සියල්ල කියවන්න වත් ලියන්නවත් මේ වෙලාව නොවෙයි.
වියට්නාමයේ කලක සිටන් ජිවත් වන ජපන් ජාතික චිත්‍ර ශිල්පිනියක් මුණ ගැසුණ, ඇයගේ ප්‍රදර්ශණයක් බලන්න ගිය වෙලාවේ. ඈ කී කාරනා සහ මගේ වියට්නාම ජාතික ගුරුතුමා ගෙන් දැනගත් දේවල් පමණයි අද ලියා තබන්නේ . අනික් කාරනා කමෙන්ට් හැටියට හෝ විටින් විට සොයාගන්නට හැකි වෙයි.

Saeko Ando මට හමු වුයේ ජපාන පදනම් ආයතනයේදී . වසර 18  වියට්නාමයේ පදිංචි වී සිටින මේ චිත්‍ර ශිල්පිනියගේ චිත්‍ර ප්‍රදර්ශනයේදී . පුදුමාකාර ලස්සනයි ඇයගේ චිත්‍ර . ජපන් ජාතිකයින්ට හිමි හුරුබුහුටි මට සිළිටු ගතියක් තිබුණ ඇගේ චිත්‍ර වල . ඈ කී පරිදි ජපානයේදී ලැකර් හඳුන්වන්නේ උරුශියෝල්[Urushiol] කියල

ලැකර් ගසෙන් ලැකර් ලබා ගන්නා ක්‍රමයත් මදක් වෙනස්  ජපානයේදී . ලැකර් වියලීමට ගත වන වෙලාවත් ගස් වර්ගය අනුවත් ආර්ද්‍රතාවය අනුවත් රටින් රටට වෙනස් . ඒ නිසා එක රටක ලැකර් තව රටක පාවිච්චියේදී ප්‍රශ්න මතු වෙනවා .

ගෘහ භාණ්ඩ නැත්නම් විවිධ බඳුන් පින්තාරුවට තමයි අනික් රටවල් මුල් තැන දීලා තියෙන්නේ . වියට්නාමයේදී මෙය වෙනස් වෙනවා . විසිවැනි සියවසේ මුල හරියේදී පමණ චිත්‍ර කලාවක් ලෙස ලැකර් පින්තාරුව ගොඩ නැගෙන්නේ . ප්‍රංශ ආභාෂයත් එක්ක මුසු වෙලා අනික් රටවලට වඩා වෙනස් ආරක් මෙයට ලැබෙනවා .
Son mai නමින් හැඳින්වෙන වියට්නාමයේ ලැකර් චිත්‍ර කලාව අනිකුත් රටවලින් අපගමනය වී ස්වාධින මගක් ගන්නේ චිත්‍ර ශිල්පීන්ගේ නිර්භීත අත්හදා බැලීම් සමග .

අතීතයේදී රන් රිදී ඔබ්බවා කරවනු ලැබූ ලැකර් භාණ්ඩ චීනය වැනි රටවල නිමවුනත් පසු කලෙක බොහෝ කොට භාවිතා කෙරුනේ මුතු බෙලි කටුවේ ඇතුලත ස්ථරය [Mother of pearl ]දිලිසෙන මුතු වැනි පෙනුමැති මෙයින් කලාත්මක නිර්මාණ බිහි වුනා .

වියට්නාම කලාකරුවන් වලට අමතරව බිත්තර කටු වැලි ඇලුමිනියම් පත්‍ර වැනි අලුත් අලුත් ද්‍රව්‍ය යොදා ගන්නට පටන් ගත්තා .

මේ වන විට ඇතැමුන් කාසි ,රෙදි ආදී විවිධාකාර අත්හදා බැලීම් කොට නවතම සිතුවම් නිමවනවා . මගේ ගුරුතුමා ගොලුබෙලි කටු වලින් ලස්සන ලිලි මල් සිතුවමක් කරනු මා දුටුවා . ජපන් ශිල්පිනිය ලී කුඩු පවා භාවිතා කරන වග කිවා . යොදා ගන්නා උපකාරක ද්‍රව්‍ය මත සිතුවමෙහි අවසන් ස්වරුපය එකිනෙකට වෙනස් වනවා . හරි පුදුමාකාරයි .
උතුරු වියට්නාමයේ එක පලාතක විතරයි  ලැකර් ලබා ගන්නා ගස වැවෙන්නේ .

කුමක් යෙදුවත් ලැකර් කලාවේ මුලික සිද්ධාන්තය අනුගමනය කල යුතු වෙනවා . බෝඩ් එක සකසා ගැනීම ...මෙය නම් පළපුරුදු ශිල්පින් විසින් සකසා ඇති නිසා මිලදී ගත හැකියි. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් .තුනී ලෑලි අතරට ලිකුඩු තට්ටු වශයෙන් දමා ලැකර්ද මිශ්‍ර කොට සාදන බවයි කියවෙන්නේ . අසන්නට බොහෝ දේ ඇතත් ගුරුතුමා සහ මා අතර භාෂා තාප්පයක් තිබෙන බැවින් තත්වය එතරම් සතුටුදායක නැහැ . ඔහු ඉංග්‍රීසිය දන්නේ බොහොම ටිකයි. මා වියට්නාම දන්නේ වචන කීපයයි [ කියන්නත් ලැජ්ජයි ]

මුලින්ම කල යුත්තේ සුදු හුණු කුරකින් අවශ්‍ය කටු සටහන ඇඳ ගැනීම . දෙවනුව පැන්සලෙන් ඇඳීම . බෙලි කටු , බිත්තර කටු සිප්පි කටු වැනි ඝනකම් දෙයක් ඔබ්බවන්නේ නම් ඒ ස්ථාන සියුම්ව කපා ගත යුතුයි.
පාට මිශ්‍ර කරන්නේ ලැකර් වලට පාට කුඩු වර්ග කලවම් කොට[පිග්මන්ට්]. මේවා මුලදී නම් ලෝහ වර්ග පමණක් වුවද මේ වෙද්දී විවිධ ද්‍රව්‍ය යොදා ගැනෙනවා . මාධ්‍ය ලෙස කාබනික ද්‍රාවණයක් භාවිතා කරන්නත් අවශ්‍යයි . භූමිතෙල් බවයි ගුරුතුමා නම් කිවේ. නමුත් එවැනි සැර ගඳක් නම් දැනුනේම නැහැ .

යොදාගන්න සැරසිලි ද්‍රව්‍ය මත පාට කලවම් කිරීමේ ක්‍රමත් වෙනස්. ලියා විස්තර කිරීම තේරුමක් නැති වැඩක්. යලට මාහට පන්තියට ගොස් යාන්තම් මගේ පළමු චිත්‍රය ඉවර කරගත්තෙත් මාස ගණනකට පසු.. ලැකර් කලාවෙන් අංශු මාත්‍රයයි මා උගත්තේ. දිගටම කිරීම ප්‍රායෝගික කටයුත්තකුත් නොවේ.

පළමු පාට ස්ථරය ගා ගත් පසු ඇලවීම කල හැකියි. විවිධ ද්‍රව්‍ය ඇලවීම විනෝද ජනකයි. ඉන්පසු වේලීම ට තැබිය යුතුයි. වෙලුනු පසු තව තට්ටුවක් වර්ණ ගැලවිය හැක . ඉන්පසු එළඹෙන්නේ ශෝචනියම අවස්තාව. වැලි කඩදාසියෙන් වතුර දමමින් චිත්‍රය මැදිය  යුතුයි. මෙම  මැදීම ව පැය  ගණනක නැත්නම් දවස් ගණනක වැඩක්. ඇලවූ තරමට මැදිමත් වැඩි වේ.
මෙයට පුදුමාකාර ඉවසීමක් සහ කුසලතාවයක් අවශ්‍ය වෙනවා .
ඉන්පසුව හැඩතල මතුකොට නැවත වර්ණ ගන්වනවා ..නැවත වැලි කඩදාසිය ..මේ ආකාරයෙන් කලාකරුවා සෑහීමට පත්වන නිර්මාණයක් ලැබෙන තුරු උවමනා තරම් වර්ණ ගැන්වීමත් මදිමත් අවශ්‍ය වෙනවා .
අවසානයේදී ඇත්තේ ඔප දැමීම .

ලෙහෙසිම ක්‍රමය වාර්නිෂ් තට්ටුවක් ගෑම . නමුත් හරිම ක්‍රමය නම් හිස කෙස් රොදකින් මැදීම .රසායනික වලින් වෙනස් නොවූ ස්වභාවික සිනිදු හිසකෙස් තමා අවශ්‍ය . පොඩි දරුවන්ගේ ඇරෙන්න එහෙම හිසකෙස් කොහෙද දැන්.  මේ ලෝකේ අපා දුක් විදින මනුස්ස ශරීරයේ කොටස හිස කෙස් ටික කියාලා සිබිල් නැන්දා කුසුමලතා පොතේ කියා තිබුණ . කමලාවතී ඉස්කෝලේ හාමිනේ එක්කන් සැලුන් එකට ගිහින් වෙච්ච අකරතැබ්බයක් විස්තර කරද්දී. කොණ්ඩෙට මොනා හරි කරන්න සැලුන් එකකට ගොඩ වෙන පාරක් ගානේ මට ඔය කතාව මතක් වෙලා හිනා යනවා .
එව්වා කමක් නැහැ . ඉතින් මේ හිසකෙස් වලින් ඔප දැමීම අද කාලේ ප්‍රායෝගික නැති නිසා  අඟුරු කුඩු පාවිච්චි කරනවා . විකිණීමට තනන චිත්‍ර වල නම් වාර්නිෂ් තමයි වැඩිය යොදන්නේ. ඉහලම ඝනයේ නිර්මාණයකට ඇරෙන්න අපේ ගුරුතුමා වුනත් චාර්කොල් වලින් මදින්නේ නැහැ මම හිතන විදිහට .

ඔය ඉතින් සාමන්‍යය ක්‍රියාවලිය . නමුත් ශිල්පියා අනුව යම් යම් වෙනස්කම් තියෙනවා . මේ ක්‍රියාවලියේ ඒ ඒ අවස්ථා විද්යානුකුලව රසායනික ප්‍රතික්‍රියාව හඳුනා ගෙන වඩා වෙනස් ක්‍රම අනුගමනය කරන අයත් ඉන්නවා .

ජපන් ජාතික ශිල්පිනිය කිවේ යම් යම් චිත්‍ර පාට කරන්නේ ආර්ද්‍රතාවය බලල කියල . වාතයේ ජලය වැඩි නම් ලැකර් ඉකමනින් වේලෙන නිසා .

ලැකර් චිත්‍රයක් අඳින්න කලින් අවසන් ප්‍රතිපලය ගැන හිතා ගන්න බැහැ . ප්‍රවීනයන්ට අදහසක් තිබුණත් සියට සියක් නිවැරදි ව කියන්න බැරිලු. . අනික අතට කාලයත් සමග වාතයේ ඇති විවිධ දේ සමග ප්‍රතික්‍රියා කරලා චිත්‍රයේ වර්ණ වෙනස් වෙනවා .

හිතුවට වඩා විස්තර ලියවුනා .

මේ ඉතින් මගේ ආධුනික ලැකර් නිර්මාණය . වතුර වලට සිල්වර් කොළ යොදා ගත්තා . බෝට්ටු වල සහ ළමයාගේ ඇඳුමේ mother of pearl  ඔබ්බවා තියෙන්නේ . අනික් කොටස් නම් වර්ණ පමණයි.












මේ ඉන්නේ ජපන් ජාතික Saeko Ando  .






 පහලින් තියෙන්නේ ඇයගේ චිත්‍ර කීපයක්



මේ මගේ ගුරුතුමාගේ චිත්‍ර කීපයක් .






More of his paintings on his Face Book page 


ලැකර් කියන්නේ ලාබ තීන්ත ජාතියක් කියල හිතා හිටිය මන් කොච්චර මෝඩයෙක්ද කියල මට හිතුන එක සාධාරණයි නේද . ලෝකය කොච්චර විශාලද . අපි නොදන්නා දේවල් කොච්චරක් තියෙනවද

Thursday, 2 January 2014

සීතලට ගුලි වී හිඳිත් ..අකුරුත්




අකුරුත් එකිනෙක තුරුල් වී
සිත පතුලටම ඇලිලා
මිදුණ පොල්තෙල් බෝතලේ
පතුල වාගේම
මේ සීතලේ මොන කවිද
සිතත් තරහින
බ්ලැන්කට්ටුව අස්සෙම කොට




ගිය අවුරුද්දේ නෙළුම් විලේ නම් මලක් දෙකක් පිපුණේ අවාරෙට වගේ. හැබැයි මම නම් ඔය ගෙවුණු වසර දෙස ආපසු බැලීම වගේ දේවල් වලට එච්චරම දක්ෂ නැහැ . ඒ වගේම ඉස්සරහට ලොකුවට සැලසුම් හදන එකත් මගේ පුරුද්දක් නෙමේ. කම්මැලිකම නිසා වෙන්න ඇති. ඒ ඒ කාලෙට දවසට අවශ්‍ය විදිහට වැඩ කරන එකයි මගේ පුරුද්ද.හැබැයි ඉතින් ජනවාරි පළවෙනිදට කිරිබත් ටිකක් උයල බුදු පහන තියල හෙම තමයි දවස පටන් ගත්තේ. පසුගිය අවුරුදු ගණනකින් එහෙම අවුරුද්ද පටන් ගන්න බැරි වුණේ තිස් එක මගට ගෙවිල පළවෙනිදා මුල්ලක් අල්ලන් නිදාගත්තු නිසයි.
මේ සැරේ පොඩ්ඩක් ගෙදර යන එක කල් දැම්ම. ඒ කියන්නේ දෙසැම්බර් නිවාඩුව නිවාඩුවක් ලෙසම ගෙවුණ එක.
වෙනදට ඉතින් පස්ස කැඩිච්ච කඩියා වගේ එහාට මෙහාට දුවපු එකයි වැඩියම  වුණේ  ගෙදර ගිහින් . නොවැම්බර් ඉඳන් මෙහෙ කඩ ගානේ දුවනවා තෑගී ගන්න.ඊට පස්සේ එහෙ ගිහින් ගෙනා බෑග්  හිස් කරලා එව්වා පුරවන්න කඩ ගානේ දුවනවා.
ඒ බෑග් හරියකට අස් වෙන්න මාස ගානක් යනවා. ඒ අතට මේ අතට තල්ලු වේවි තිබිල ස්ථිර අධිෂ්ටානයක් ඇතිවෙච්ච දවසකට තමයි එව්වා අස්වෙන්නේ.
හ්ම් ..
ජනවාරි පලවෙනිදා කියන්නේ තවත් දවසක් තමයි. නමුත් මන් නම් කැමතියි ඔය වගේ යම් යම් දවස් එන එකට. හැමදාම නැත්තන් එක වගේනේ. අපේ අම්මත් හිතුවේ එහෙම.
දෙසැම්බර් අග වෙද්දී කැප්පෙටියා මුස්නක් හදල මකුළු දැල් හෙම කඩල දොර ජනෙල් රෙදි සෝදලා පොඩි අලුත් පෙනුමක් ලැබෙනවා ගෙදෙට්ට.සමහර අවුරුදු වල නම් කැවුම් කොකිස් ටිකක් හැදුනා. අඩු ගානේ කෙසෙල් කැනක් වත් වලක දාල දුම් ගස්සලා ඉදවගත්ත. කලිනුත් දවසක කිවා වගේ මන් ආසම වැඩක් කෙසෙල් කැනක් ඉදවන එක. වලක් කපල කෙහෙල් අතු අතුරලා කෙසෙල් කැන පරිස්සමට තියල උඩිනුත් කොළ දාල වහනව.දවස් දෙක තුනක් වලේ පොඩි සිදුරක් හදල දුම් පිඹිනවා.ඒ දුම් එලියට නොයන්න ආයේ වහනව.බලන් ගියහම කොච්චර ලොකු පාඩමක් අපි ඉගෙන ගත්තද.


අපි පොඩි කාලේ අපේ ගෙවල් කිට්ටුව වෙල් යායක් තිබ්බ නිසා නත්තල් කාලෙට ජනේරුවට උදේ මිදුම වැඩියි. ටිකක් සීතලයි.
'සිතල දුරුතු මහේ අතිනත ගනිමුද අපි දෙදෙනා '' කියල අහනවලුනේ ඉස්සර. ගෝලීය උණුසුම වැඩිවීම නිසා දැන් ඉතින් ඔව්ව එහා මෙහා වෙලා නේ. අනික වෙල් යායවල් ගොඩ කරලා ගොඩනැගිලි ඉදි වුණා. සපුගස්කන්ද හෙය්යන්තුඩුව පැත්තේ කර්මාන්ත පුරයක්ම ඉදි වුණානේ. හරි ඉතින්  ලෝකය වෙනස් වෙනවා. ඔව්ව ඔහොම තමයි.

.

වැඩ කරන කාලේ ඉතින් ජනවාරි පළවෙනිදාට බොහොම කැමති අලුත් ඇඳුමක් හෙම ඇඳලා කෑමකුත් හදාගෙන ගිහින් කට්ටියම සතුටින් ගත කරන්න ලැබුණ එකට . මේ පාරත් ඒ ගොල්ලන් නම් එහෙම විනෝද වෙලා පින්තුර දාල තිබුණ. ඒ වගේ දේවල් නම් මට මග ඇරෙන්නේ නැහැ කිවොත් බොරුවක්. මේ ජිවිතේ කොච්චර හොඳ වුනත් ඒවා දකිද්දී හිනි දුකක් ඇති වෙනවා.
ලෝකය කොච්චර විශාල වුනත් අපි කැමතියි අපේ රට අපේ සමාජය අපේ මිනිස්සු කියල බැඳීම් තියාගන්න. ලෝකය තනියායක් වුනත් අපි හැමෝගෙම හිත් ඇතුලේ පුංචි පුංචි කොටු හදල අපේ කියල එක එක දේවල් කොටු කරන් ඉන්නවා. දවස් තුන්සිය හට හතරක් ඒ වැටකොටු ඇර තිබ්බත් අඩු ගානේ තුන්සිය හැටපස් වෙනි දවසේ හරි පැත්තකට වෙලා අර පොඩි කොටු අස්සට රිංගල අපේ කියල වෙන් කරගත්තු පොඩි වෙලාවක් හරි ගත කරන්න මන් නම් කැමතියි.

එසේ නම් ලැබූ නව වසර හැමෝටම සුබ වෙන්න කියල පතනවා ...

අනික ලොකු වැඩ කෙසේ වෙතත් බ්ලොග් එක නම් ටිකක් වැඩියෙන් ලියන්න ඕන කියලා හිතා ගත්තා ඔන්න