Saturday, 22 February 2014

මකර පාලමින් එගොඩට ..පැන්සි පාන් කඳු මුදුනට ....


ලාඕ කායි වලටත් සෑහෙන ඉතිහාසයක් තියෙනව .අතීතයේ ඉඳන්ම චීනය සහ ගනුදෙනු වෙලා තියෙනවා .කලින් කලට විවිධ කණ්ඩායම් අතර බලය පැතිරුණා . රතුගඟ ඔස්සේ නීති විරෝධී කංසා ජාවාරම තදින් කෙරුනලු . යුනාන් වලට මුහුදු ලුණු සපයලා තියෙන්නේ වියට්නාමය පැත්තෙන්.මේ කණ්ඩායම් අතර තරඟය නිසා ලාඕ කායි හරිම පිඩනයට පත් වෙලා තියෙනව .
ඇත්තටම ලාඕ කායි වලට ගියාට ඒ නෙමේ ප්‍රධාන  සංචාරක ආකර්ෂණය . අපගේ ප්‍රධාන ගමන් අන්තය සපා ..
කෝච්චියෙන් බැහැලා කිලෝ මීටර 30ක් පමණ කඳු පාරක ගිහින් තමයි සපා වෙත ලඟා වෙන්නේ ..නානුඔය සිට නුවර එලිය වගේ . ඊට වඩා දුරයි. නමුත් පාර නම් බොහොම හොඳට හදලා තියෙනව . 

කලින් කිව්වා පරිදි ප්‍රන්ශුවන් විසින් චීනය කරා ලඟා වෙන්න උතුර ගවේශනය කරද්දී තමයි මේ සපා කියන්නේ බොහොම සැපදායක පරිසරයක් බව සොයා ගන්නේ . නමුත් අතීතයේ පටන් ඒ පලාතට ආවේණික සහ වෙන පැති වලින් සංක්‍රමණය වෙච්ච සුළු ජන කොටස් [ සුළු ජන කොටස් කිවේ Minority Ethnic  යන වචනය මට හැඟුණු විදිහ මිසක් ඒ ජනයා සුළුවෙන් තකල හෙම නොවේ. ]

ඉතින් අපේ රටේ බ්‍රිතාන්‍ය ජාතිකයින් සනීප ගන්න නුවර එලිය බණ්ඩාරවෙල ගියා වගේ වැඩක් තමයි සපා වලත් වෙලා තියෙන්නේ . 
මේගොල්ලෝ ප්‍රංශ ජාතිකයෙක් පළාතේ පරිපාලක විදිහට පත් කරලා නිවාඩු ගන්න නිකේතන ඉදිකළා .ඔය පළමු නිකේතනය තිබ්බ තැන තමයි අපි උන්න හෝටලය ඉදි කරලා තිබුනේ. මුල් ගොඩනැගිලි නෙමේ .ස්ථානය පමණයි.

මුලින් කරත්ත පාරක් වගේ තිබිල 1924දී තාර දමා හොඳ තත්වයට පත් කරලා තියෙනවා.
එකල ඉදිකළ විලා අතරින් ස්වල්පයයි අද දක්නට ඇත්තේ . නල ජලය ලබා දෙනු ලැබුවා . විදුලිය ලබා ගත්තේ Cat  Cat නම් දිය ඇල්ලේ කුඩා ජාල විදුලි බලාගාරයක් ඉදිකොට . තැපැල් සේවයක් පැවතුණා .පල්ලියක්ද ඉදිවුනා .එය තවමත් තිබෙනවා .

හෝටලයේ තිබු පොත් පින්චකින් තමයි මා මේ විස්තර දැනගත්තේ. අන්තර්ජාලයේ නම් ලිපි ඕනෑතරම් ඇති මේ ගැන . නමුත් මට එපමණ වෙලාවක් වෙන්කරන්න අමාරුයි.

මේ පොතේ තිබී  ඉතාම අපුරු කතාවක් හමුවුණා 

ජපානයෙන් පලවා හල කන්‍යා සොයුරියෝ 

1941 දී එක්තරා කන්‍යා සොයුරියන් පිරිසක් ජපානයෙන් පලවා හැරෙනවා ..බටහිරආක්‍රමණය එන්නේ මිෂනාරි වරු පිටිපසින් නිසා වෙන්නට ඇති. වියට්නාමයටත් මුලින්ම ආවේ මිෂනාරි වරයෙක් බව ඩියෙන් බියෙන් පු ලිපියේ ලියවුනා මතකද මන්දා .
මේ සොහොයුරියන් පිරිස නවතින්නේ වියට්නාමයේ. ඔවුන්ට සපා වල ඉඩමක් සහ ගොවිපොළ සතුන් ලැබෙනවා . මේ පිරිස බොහොම උත්සාහයෙන් වැඩකොට බටර් ,කිරි නිෂ්පාදනය කරනවා .බාර්ලි ඕට් වැනි භෝගද වගා කරනවා. පලතුරු වවා ජෑම් පවා නිපදවනවා .
මේ ආශ්‍රමය වැඩි දියුණු කොට විශාල කන්‍යාරාමයක් තැනිමටයි ඔවුන් බලාපොරොත්තු වුණේ . ගොඩනැගිලි පවා ඉදි වුනත් 1947 දී වියෙට් මින් සපා වලට පහර දෙනවා ..ආශ්‍රමය ගිනිබත් වෙනවා .කන්‍යා සොයුරියන් හැනොයි වලට පලා යනවා .


අද වන විට ඉතුරු වී ඇත්තේ මෙපමණයි .පින්තුරය ගත්තේ මෙතනින්. අපිට බලන්න යන්න බැරි වුණා 

එම වසරේම යලිත් ප්‍රදේශය ප්‍රංශ ආධිපත්‍යට නතු වුණත් යලිත් පෙර තත්වයටම පැමිණියේ නැහැ . 1950 දී ප්‍රංශ හමුදා ප්‍රදේශයෙන් ඉවත් වන්නට පටන් ගත්තා 
1952 දී ඔවුන් සම්පුර්ණයෙන්ම ඉවත් වී ප්‍රංශ ගුවන් හමුදා බෝම්බ දමා මේ ලස්සන නගරය විනාශ  කළා.
''අපට නැතිනම් තොපටත් නැත කියන්නා සේ. ''
එතැන් පටන් හැටේ දශකය වනතෙක් සපා වෙත අවධානයක් යොමු වුනේ නැහැ . සෙමින් ඇරඹි සංවර්ධනය සපා වෙත ආවේ ඉබි ගමනින් . සංචාරක ආකර්ෂණයක් ලෙස අනුව දශකය වෙද්දී යම් දියුණුවක් ලැබුවා.

මානව ඉතිහාසය .
ඉහත කී මෑත ඉතිහාසයේ කලබගෑනි වලට හසු වෙමින් සහ නොවෙමින් මේ ප්‍රදේශයේ කඳුකර ජන වර්ග අතීතයේ පටන් ජිවත් වුනා . නමුත් ඈත අතීතයේ මානව ක්‍රියාකාරකම් ගැන එතරම් අධ්‍යයනයක් සිදු වී ඇතිදැයි මට දැනගන්නට නම් ලැබුනේ නැහැ .
මේ ජනවර්ග විටින් විට චීනය ,ලාඕසය ඇතුළු අවට රටවලින් සංක්‍රමණය වී තිබෙනවා. වෙසෙසින්ම දේශපාලනික හේතු නිසා .සපා පිහිටා ඇත්තේ Hoàng Liên Son කඳු වැටිය මුලික කොටගෙන .

මෙම කඳු වැටිය හිමාලයේ නැගෙනහිර අන්තයටයි සම්බන්ධ වන්නේ . ලෝකය තනි යායක් කිවේ ඒ නිසානේ .

ඉන්දුචිනයේ උසම කඳු මුදුන වන Fan si Pan පිහිටා ඇත්තේ මෙහි. ඔය කන්ද තරණය කිරීම සවි ඇති කඳු නගින්නන්ගේ ඉලක්කයක් . අපි වාගේ කම්මැලි දුර්වලයින් කඳු පාමුල සිට දැහැනට සම වැද ආපසු ආවාට :D

ජනවර්ග 24 ක් සපාහි ජිවත් වෙනවා . Kinh [වියට්නාමයේ බහුතරය ] Hmong ,Tay ,Dao ,ඉන් කීපයක් .
මේ එක් එක් ජනවර්ග අතර සමානකම් මෙන්ම වෙනස්කම්ද බොහොමයි. සියල්ලෝම මුලිකව ගොවිතැන ජීවනෝපාය කරගෙන . එක එක ජනවර්ග තමන්ට අයිති ගම්මාන වල ජිවත් වෙනවා .
මුලිකවම මොවුන් වෙන්කර දැකිය හැක්කේ ඇඳුමින් . වර්ණ සහ ස්වරූපය වෙනස් .

අපේ නවාතැනේ සම්ප්‍රදායික ඇඳුම් මෙලෙස ප්‍රදර්ශනය වුනා .

මේ රෙදි වර්ග ඔවුන්ම වියා අතින් වර්ණ ගන්වනවා . සාමාන්‍යයෙන් ඕනෑම කඳුකරයක මෙන්ම මෙහිදීද ඇඳුම් වර්ණවත් . blak hmong ජනයා කළු පැහැය මුලිකව යොදා ගන්නවා . ඇඳුම් වර්ණ ගන්වන්නේ මෙන්න මේ  පැලයෙන් .තවත් වර්ණක යොදනවා ඇති .
ඇතැම් වර්ග හණ වලින් රෙදි සාදයි. ඇතැමුන් වෙනත් ශාක යොදාගනී. මේ සියල්ල අධ්‍යනයට නම් මාසයක් වත් සපාහි නවතින්නට වේ . නිවාස ලී වලින් සාදන අතර වහලයට සම්ප්‍රදායිකව පිදුරු හෝ වෙනත් අතු වර්ග යොදා ගත්තත් මේ වන විට ඇස්බැස්ටෝස් වලට මාරු වී ඇත. ඒ ඒ අයට අවේනික හැඩයක් ගනී.
 ලි කණු මත සාදන ගෙවල් [stilt ] ද ඇතැම් ගම්මාන වල දකින්න පුළුවන් . අපි ඇවිදින්නට ගිය ගමේ ගෙවල් මේවාගේ .




අපිට හුරු පුරුදු දෙයක් මා දුටුවා .ගෙදර යම් රෝගියෙක් සිටින විට හෝ අමුත්තන් පිළිගන්නට සුදානම් නැති වග අඟවන්නට වහලයේ කොළ අත්තක් එල්ලීම 

නුතන තාක්ෂණයට පිටුපාන්නට ඔවුනටත් නොහැකියි. බොහෝ ගෙවල ඩිස්ක් ඇන්ටනා සවි කර තිබුනා . 
කෙල්ලන් නම් හරිම ලස්සනයි. වර්ණවත් ඇඳුමින් සැරසුණු විට අපුරුයි. 


හැමෝටම නොමිලේ ප්‍රාථමික සහ මධ්‍යම පාසල් අධ්‍යාපනය ලැබෙනවා . හැම ළමයෙකුම පාසල් යනවාදැයි නම් දන්නේ නැහැ . එතනින් එහාට මුදල් ගෙවිය යුතු නිසා බොහෝ විට කලාතුරකින් කෙනෙකු තමයි ඉහලට ඉගෙන ගන්නේ . පවුලේ ගොවිතැනට උදව් වීමට අමතරව සංචාරක මග පෙන්වන්නන් ලෙස තරුණ තරුණියන් වැඩ කරනවා . 

අපි ගිය Ta phin නම් Hmong ගම්මානයේ ප්‍රාථමික පාසල .

වී වගාව කෙරෙන්නේ හෙල්මළු ක්‍රමයට . ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යේ අනගිම දසුන තමයි මේ හෙල්මළු .මේ අපි ගිය සීත ජනවාරියේ අස්වනු කපාගත් කල දිස් වන අයුරු. 



සැප්තැම්බරයේ කහ පැහැයෙන් ,වසර මැද කොළ පැහැයෙන් සහ දෙසැම්බරයේ ඉඳහිට තුනී හිම වැසි වැටි සුදු පැහැයෙනුත් දිස්වන මේ හෙල්මළු ඉතාම අලංකාරයි 




මිරිදිය සැමන් මාළු වර්ගයකට සපා ප්‍රසිද්ධයි .මේ ඔවුන් ඇති කරන ටැංකි 


අපට පාරේදී හමු වූ මිනිස්සු 

වී වගා නොකරන සමයේ අටිසෝ නම් තේ වර්ගයක් වගා කරනවා 

කියන්න දේ නම් බොහොමයි .අපි මේ දුටු ගමට වඩා වෙනස් ගම් බලන්න තිබුන නම් හොඳයි. නමුත් පොඩි උන් එක්ක එච්චර ඇවිදින්න බැහැනේ . 
මොවුන් සතුන් ඇති කරන්නේ නිදැල්ලේ . ඌරො ,කුකුලෝ තාරාවෝ තමා ප්‍රධාන . සල්ලි ඕන වෙලාවට ඔය ඌරෙක් කිහිල්ලේ ගහන් ගිහින් මාකට් දවසට විකුණනවාලු . arm pit පෝර්ක් කියලා විශේෂයෙන් ප්‍රසිද්ධ එම ඌරු මස්.................................................................................................................................................


අපිට නම් බැහැ මඩේ ලගින තාරාවුන් නාවන්න 



පහල තියෙන්නේ සපා නගරයේ පින්තුර ටිකක් ....ඈතින් පෙනෙන්නේ පැන්සි පාන් කඳු මුදුන සහිත කඳු වැටිය .දවසේ එක එක වෙලාවට එලිය වැටෙන විදිහ අනුව කඳු වැටිය අමුතු ලස්සනක් ගන්නවා . 





 ඉරිදා නගරයට 
 රැස් වන ජනතාව .ඒ දින කීපය අලුත් අවුරුදු සාමය නිසා ඔවුන් එතරම් ක්‍රියාකාරී නැහැ .










තව පින්තුර නම් ගොඩාක් තියෙනව ...නමුත් ඔය මදැයි ඉතින් නේ ...




ගෙදර ඇවිත් දඩි බිඩියේ ඇන්ද මා දුටු සපා ..මට ඕන කරන වර්ණ දියසායම් පෙට්ටියේ තිබුනේ නැහැ . හොඳ තෙල් සායම් චිත්‍රයක් අඳින්න ඕන .

Friday, 21 February 2014

මකර පාලමින් එගොඩට ...

හැනොයි නගරයේ සිට පැය දහයකට ආසන්න කාලයක් දුම්රිය නිදන මැදිරියක ගමන් කර අප ලාඕ කායි දුම්රිය ස්ථානයට සේන්දු වුණේ උදේ හතට පමණ . මීදුම පරිසරය වසාගෙන . හරියට රාත්‍රී දුම්රියේ ගොසින් නානුඔයින් බහිනවා වගේමයි. වෙනස උදේ හත පමණ නිසා හිරු පායා තිබීම පමණයි. දුම්රිය අයිති දුම්රිය දෙපාර්තමේන්තුවට . නමුත් මැදිරි කීපයක් පුද්ගලික හෝටල් වලට පවරා තිබෙනවා .එක වර හෝටලය සහ දුම්රිය මැදිරියක නිදන කාමරයක් වෙන් කර ගැනීම තමයි පහසු . නමුත් පුද්ගලිකව දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන අනෙක් සාමාන්‍ය මැදිරි වල යන එක මිල අඩුයි. බැක් පැක් සංචාරකයින් සහ හුඟක් දේශීය ජනතාව යන්නේ එහෙම තමයි . නමුත් අලුත්ම ගමනක් නිසාත් යන්නට තීරණය කලේ අන්තිම මොහොතේ නිසාත්  අප හෝටලයක් මගින් වෙන් කර ගත්ත. රාත්‍රිය නිසා වට පිට බලා ගැනීමට බැරි වීම නම් දුකක් .


 බොහොම සැප පහසුවට යන්න හැකි කෝච්චි පෙට්ටි ..පහල තියෙන්නේ අවන්හල් මැදිරිය . වියට්නාමේ කිව්වම ඉතින් අපි හුඟක් හිතා හිටියේ තාම බිම් බෝම්බ අහුලන ,බිත්තිවල බඩගාන හුනෝ අල්ලන් කන රටක් කියලනේ . අපි මෙහේ එද්දිත් සමහරු කිව්වා ඇමරිකාව එක්ක යුද්ධයක් තියෙනව නේද කියල .ඊට කලින් සතියේ පන්නිපිටියේ බෝම්බෙ පිපිරුවේ. මේ දේවල් මම දාන්නේ ඇත්තටම වියට්නාමේ බොහොම වෙනස් බව කියන්න . දුප්පත් මිනිස්සු නැතුව නෙමේ . පොහොසත් දුප්පත් මිශ්‍ර රටක්


ලාඕ කායි කියන්නේ චීනයේ මායිමට වෙන්න තියෙන උතුරු වියට්නාම අන්තිම ස්ටේෂන් එක. කොටින්ම අපි චීනය මායිමට ගියා . ඉතින් ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනව . එකක් මේ දුම්රිය මාර්ගය . අපේ බ්‍රිතාන්‍ය පාලන සාමය වගේ වියට්නාමය අල්ලන් හිටියේ ප්‍රංශ ජාතිය විසින් කියල කලින් බොහොම තැන් වල ලියවුනානේ . ඒගොල්ලත් තමාගේ ලැබ ප්‍රයෝජනය සඳහා හදාපු දුම්රිය මාර්ග පද්ධතියක්  මෙහෙ තියෙනව. අපේ තරම් පොදු ප්‍රවාහන  ජනප්‍රිය නම් නැහැ . එකක් මෙහෙ මිනිස්සු'' මයි බයික් මයි පෙට්‍රල් '' පිළිවෙත නිසා . අනික දුම්රිය මාර්ග විහිදිලා තියෙන්නේ සීමිත පළාත් කීපයකට  විතරයි. ප්‍රධාන මාර්ගය හැනොයි සිට උතුරින් ලාඕ කායිදක්වා . හැනොයි සිට දකුණට මුහුද අයිනෙන් වැටුණු දකුණු මාර්ගය .මට මතක විදිහට හෝ චි මින් දක්වා . සිතියම බැලු විට නම් ඉන් ටිකක් පහලට යනවා . සමහර ට්‍රැක් මේ වන විට භාවිතයේ නැහැ . නමුත් වැඩි දියුණු කල දුම්රිය මාර්ග පද්ධතියක් යෝජනා වී තිබෙන බව සඳහන් .



වැඩිදුර ලිවීමට අලස නමුත් හැනොයි ලාඕ කායි දුම්රිය මගේ ඉතිහාසය නම් මා සිත ගත නිසා යමක් ලියන්නම සිතුවා .
ලාඕ කායි කියන්නේ ඉතාම දුෂ්කර ලා සැලකිය හැකි කඳුකර පෙදෙසක් ..චීනය මායිමේ ඇති මේ ඈත එපිට කඳුකරය වෙත ප්‍රන්ශුවා ගේ අවධානය යොමු වුනේ ඇයි ?
ප්‍රංශය වියට්නාමය ගැන මෙතරම් අවධානය යොමුකළේ ඇයි කියල කලින් ලිපි වල කිප වරක් කිවා . දකුණු ආසියාව , මලයාව ආශ්‍රිතව පැතිරුණු බ්‍රිතාන්‍ය ආධිපත්‍ය නිසා ප්‍රංශයට ඉතුරු වුනේ මේ පළාත .කාම්බෝජය , ලාඕසය වියට්නාමය එක්කහු කර ඉන්දු චීනය ගොඩ නැගීම ඔවුන්ගේ අදහස වුනා . ලඟදි මිය පරලොව ගිය ජෙනරාල් ගියෙප් [ සියෙප් ] තමයි ප්‍රංශයට ලොකුම ටොක්ක ඇන්නේ .ඩියෙන් බියෙන් පු වලදී.
ඔහු ගැන ලියන්න  හිටියේ . කොහෙද ලියන මුඩ් තිබ්බේ නැහැ .ඇත්තටම වියට්නාම ජාතිකයින් ඔහුට දෙවියෙක්ට වගේ සලකන්නේ .

ඉතින් බුරුමය පැත්තෙන් බ්‍රිතාන්‍යයින් චීනයට ලඟා වන්නට පෙර වියට්නාමය පැත්තෙන් චීනයේ යුනාන් පලාතට සම්බන්ධ වෙන්නයි ප්‍රංශයට උවමනා වුනේ . උතුරු වියට්නාමයේ [වෙනම රටක් නොවේ ] ප්‍රධානම වරාය හයි පොන්ග්[  Haiphong]. හයි පොන්ග් සිට යුනාන් දක්වා වෙළඳ කටයුතු පහසු කරන්නට තමයි මේ දුම්රිය මග ඉදි කලේ .හයි පොන්ග් සිට එන අතුරු මග හැනොයි වලදී ප්‍රධාන පාරට එකතු වෙලා චීනය දෙසට යාමක් තමයි සිද්ධ වුනේ .

මේ සඳහා රතු ගඟ හරහා ඉදිකළ පාලම ''ලොන්ග් බියෙන් '' Long Bien Bridge පාලම .මකරෙකුගේ හැඩය ගත් මේ අපුරු පාලම ගැන රසවත් කතාවක් තිබෙනවා .ඒ තමයි අයිෆල් කුළුණ සහ මෙම පාලම එකම සැලසුම් ශිල්පියාගේ  බව . අදටත් සාමන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ එලෙසයි . නමුත් මෑතකදී සඟරාවක පළවූ ලිපියකින් මා දැන ගත්තේ එය එසේ නොවෙන බව . එවකට ගිනිකොණ දිග ආසියාවේ දිගම පාලම වූ මෙය  තනිකර යකඩින් තැනුනක් . අද වන විට හැනොයි නගරයේ සංකේතාත්මක දර්ශනයක් ..අදටත් දුම්රිය මග මේ මතින් වැටි තිබෙනවා . එයට සමාන්තර අලුත් පාලමක් මදක් ඈතින් ඉදිවී අනෙකුත් ප්‍රවාහන කටයුතු සිදු වෙනවා වුවත්  මේ පාලම නම්   සංරක්ෂනය වේවි වටිනා නිර්මාණයක් නිසා .

පාලමේ තව පින්තුර මෙතනින් 

හැනොයි වල මේ පාලම යට රාත්‍රී මාකට් එක හරිම ප්‍රසිද්ධයි. නගරයේ තොග වෙළඳාම ප්‍රධානව සිදුවෙන තැනක් .

1901 දී ආරම්භ වෙලා 1910 වෙද්දී චීනයේ කුන්මින්ග් දක්වා දුම්රිය මග නිම වෙනවා . විශාල සංඛ්‍යාවක් ජිවිත මැලේරියා වෙන් සහ අනෙකුත් පිඩා වන නිසා මේ දුම්රිය මග ඉදිකිරීමේදී නැති වෙලා තියෙනව . ''ඉන්දු චයිනා '' කියන චිත්‍රපටයේ තරමක් මේ දුම්රිය මග ඉදිකිරිම ගැන සඳහන් වුනා මතකයි.
වරින් වර ඇති වූ ස්වභාවික විපත් සහ යුද්ධ මාර්ගයේ චීන සම්බන්ධය බිඳ වැටෙනවා . සිනෝ වියට්නාම යුද්දෙන් පස්සේ නැත්තටම නැති වෙලා . ලාඕ කායි අවසාන දුම්රිය පොළ ලෙස ඉතුරු වෙනවා. නමුත් දෙරටේ වැසියන්ට එහා මෙහා යා හැකි දේශ සිමා මුර කපොල්ලක් මේ වන විට ක්‍රියාත්මකලු . අපි ඉතින් ත්‍රස්තවාදීන් නිසා එහෙම ලෙසියකට රටකින් රටකට යන්න වාසනාව නැතත්  පින් කල රටවල මිනිස්සු එහෙම එහා මෙහා යනවලු.
ලාඕ කායි සිට ඉතිරිය හෙට . දිග ගමනක්නේ ..කොහේ ලියන්නද සේරම

ප. ලි.

නෙළුම් විලට අලුත් හැඩයක් දෙන්න පින්තුරයක් හදා එව්වේ සිරා මලයා ..ස්තුතියි සිරා