Tuesday, 15 April 2014

සුපර් ග්ලු යාළුවෝ

අවුරුදුත් ඇවිත් ගියා . අවුරුදු ගැන නම් ඉස්සර හුඟක් ලිවානේ . මේ පාර අපි නම් ආයේ නොනගත කියල බලන්නේ නැතුව උදේම කිරිබත් උයල කාලා බිලා අහවර කළා . මොකද  බෑන්  කී මුන් මහත්තයාගේ ඉස්කෝලේ මෙදා පාර වසන්ත නිවාඩුව වැටෙන්නේ අප්‍රේල් අන්තිමට . අනික වැඩකරන ජනතාවට ඊයේ දවසේ ලොකු රාජකාරි ගමනක් යෙදී තිබුණ.
කොටින්ම අනික් අයගේ සුබ පැතුම් වලට ලයික් කළා මිසක් විශේෂයෙන් කාටවත් සුබ පතන්නවත් කම්මැලි වුණා .මේ වෙද්දී නම් හදාපු මුං කැවුම් ටිකයි කොකිසුයි උඳු වළලුයි අතුරුදන් වෙලත් ඉවරයි.  ඊයේ මගේ මෙහෙ හොඳම මිතුරියයි මමයි පොඩි පොඩි අතුරු පාරවල් ටිකක ඇවිද්දා. .අහල පහල තියෙන දැකපු නැති පන්සලකුත් සොයා ගත්තා .පෙනුමින් බොහොම පැරණි බවයි පෙනුනේ. තරමක් ලොකු බෝ ගසකුත් තිබුණ. ළමයි ඉස්කෝලේ ගියහම අපි හුඟක් දවසට ඇවිදිනවා.
යන්නේ ව්‍යයාමෙට හැබැයි දවල්ටත් කාලා තමයි හුඟක් ගමන් කෙලවර වෙන්නේ . ඔය රස්තියාදු ගමන් වලදී ගත්තු පින්තුර ටිකක් මේ

























සාගරයක් වගේ වැව මැද්දාවේ මේ පොඩි ඔරුවේ මනුස්සයෙක් නිදා හිටියානේ . මිදුම තිබ්බට වෙලාව දවල් දොළහත් පහු වෙලා

පින්තුර නම් මහා ගොඩාක් තියෙනවා . මට ලස්සනයි කියල හිතුන කීපයක් ඔය. ෆෝන් එකෙන් ගත්තු නිසා එච්චර කොලිටි නම් නැහැ ..
හොඳ යාළුවෙක් හමු වීම හරිම ලොකු වාසනාවක්. එහෙම  අය හදවතට ඇලෙන්නේ සුපර් ග්ලු වලින් ඇලෙව්වා වගේ . බාල පාප්ප වලින් ඇලෙන යාළුවො නම් ඉතින් වැස්සක් ආව ගමන් හේදිලා යනවා .
කවදාවත් ආයේ හමු නොවුනත් හදවතේ ඇලවිලා ඒ අය ඉන්නවා . මගේ පරණ යාළුවන් කීප දෙනයි සකර්බර්ග් ලොක්ක ආපසු සොයා දුන්නේ . හුඟක් අය ඇලිලා ඉන්නේ හිතේ තමයි.

මිත්‍ර සම්පත්තිය නොවඩුව ලබන්න ඇති පින නිසා කොයි කවර කලකත් මට හොඳම යාළුවෙක් හිටියා . ඒ හොඳම යාළුවන්ට අමතරව තව යාළුවො ගොඩක් හිටියා .ඒ ලෙවල් කාලේ නම් අපි පස් දෙනෙක්ගේ කල්ලියක් හිටියා එකම ටියුෂන් පන්ති  වලට ගිය . අනුලාවේ එක්කෙනයි ,විශාඛාවේ එක්කෙනයි ,අපේ ඉස්කෝලේ තුන්දෙනයි. පස් දෙනාටම එකට ඉඳගන්න බංකුවක් අල්ලා ගැනීමත් මාර සටනක්. සමහර කෙල්ලෝ ඔළු පීරලා සපත්තු පිහදාලා එහෙම තමා හවස පන්ති වලට යන්නේ විශාඛා තොමෝ වඩින විලාසෙන්. අපි පස් දෙනාටම ඔව්ව ගානක් නැහැ .පන කඩාගෙන දුවන්නේ හොඳ බංකුවක් අල්ල ගන්න . ඉස්සරහමත් නැතුව ටිකක් මැද හරියෙන්. අපි පස්දෙනා කොච්චර යාළුද කියනව නම් පෝටෙලෝ බෝතලේ පස්දෙනාම බෙදාගෙන බොනවා .
දැන් පස් දෙනාගෙන් මුණු පොතේ ඉන්නේ මන් විතරයි. කියන්නත් දුකයි. නමුත් තොරතුරු නම් ලැබෙනවා හැමෝම ගැන .
අර ලස්සන සින්දුවක් තියෙන්නේ
''සිප් හල් උයනේ අරලිය සෙවණේ
මුකුළු කතා කී යෙහෙළියනේ
ඔබ අද කොතැනද මා අද කොතැනද
නැතුවද යලි හමුවන්නේ ''

ඔය ගීතය සෙව්වා .මට සොයා ගන්න බැරි වුනා .


ගුරුවරියක් වෙලා හිටි කෙටි කාලයේදී හමුවුන හොඳම මිතුරිය පුදුමාකාර චරිතයක්. තාත්තත් නැතුව නංගිලා මල්ලිලා ගොඩකුත් එක්ක හරිම අමාරු ජිවිතයක් ගත කල ඇය එක්තරා බෝසත් චරිතයක්. ..අච්චර අමාරු අඩියක ඉද්දිත් කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් කරේ තියෙන හීනි චේන් එක උකස් කරලා සල්ලි අරන් දෙයි. කන්න ගෙනා බත් එක බඩගින්නේ ඉන්න පන්තියේ ළමයෙක්ට දෙයි. හැබැයි දුන්නොත් තමයි ලැබෙන්නේ කියන්නා වගේ එයාගේ ප්‍රශ්නත් කොහොම හරි විසඳෙනව .
එයාටම හරියන මහත්තයෙකුත් ලැබිලා දැන්නම් බොහොම හොඳින් ඉන්නවා . අදටත් ඉඳහිට මන් කතා කලහම ඉස්සෙල්ලම කරන්නේ අඬන්න ගන්න එක . මාව දකින්න නැහැ කියල .
එහෙම හදවතේ අලෝලා තියා ගන්න පුළුවන් යාළුවන් හමු වීම හැමෝටම වෙනවද දන්නේ නැහැ .
අනික් රැකියාව සඳහා පුරුදු වෙන කාලේ නම් පිස්සුම ලෝකයක්. එතනත් හමු වුනා හොඳම යාලුවෙක් සහ තව පිස්සුම යාළුවො ගොඩක් . උන්ගෙන් කට්ටියක් හිටියේ හිරේ . හිරේ කිව්වට ඉතින් පොඩ්ඩක් එහා මෙහා වෙලා හිරගෙදර නිල නිවාස වල . බන්ධනාගාර සේවකයෝ තමන්ගේ නිල නිවාස වල බෝඩින් පවත්වාගෙන ගියා .පොඩි ගෙවල් .පොඩි කාමරයක ළමයි තුනක් විතර දානවා .හුඟක්ම අපේ ආයතනයේ සහ බොරැල්ල අවට ඉගෙන ගත්තු ළමයි. කාලයක් ඉඳලම සිනියර්ස්ලා ගෙන් ඊළඟ බැච් එකට විදිහට තමයි හුඟක් බෝඩින් පැවතුනේ .ඕවයේ සමහර ගෙවල් වල මහා වස ගැහැණු අයත් හිටියා .එකකින් මාරු වෙලා වෙන එකකට ගියහම අහු වුනහම දොස් කියන ජාතියේ . දුර බැහැරින් ආපු ළමයින්ට පයින් යන දුරක පිහිටි මේ ගෙවල් වල ලොකු වටිනාකමක් තිබුණ. කාමර පොඩි වුනත් රෑ වෙනකම් ආයතනයේම පාඩම් වැඩ කරලා යන්න පුළුවන් නිසා .
තව ප්‍රසිද්ධ බෝඩිමක් වුණේ  දුම්රිය නිල නිවාස . එව්වත් එහෙම තමයි . හැබැයි ටිකක් පරිසරය ලස්සනයි. වස්සාන සිහිනය ෆිල්ම් එකේ ඔය ගෙවල් පෙන්නුවා මතකයි.
එක කාමරේ ඉන්න ළමයි අතර පොඩි පොඩි ආරාවුල් හෙමත් ඇති වුණා . එක එක ජාතියේ එවුන් තුන් හතරදෙනෙක් එක කාමරේ ඉන්න ගියහම ඉතින් ඔහොම තමයි. සමහර උන් උදේට නැගිටින්න කම්මැලියි. තව අය ඕනවට වඩා පාන්දර නැගිටිනවා . අර වගේ කම්මැලියෝ දෙන්නෙක්  සහ උනන්දුවෙක් එකට හිටියා . බෝඩිමේ ඇන්ටි උනන්දුවාට වැඩිය සැළකිලි .ඔය ඉතින් අපේ සමාජයේ හැටිනේ . බඩේ ඉන්න දා ඉඳන් දන්නා කියන හැමෝම හදන්නේ ළමයින්ව හදන්න . අවුරුදු විසිගනන්වල වුනත් මේ සිසුන්ව බෝඩින් ඇන්ටිලා අංකල්ලා වුනත් බලන්නේ හදන්න . සිරිත් උගන්නන්න .
ආයේ තව දෙන්නෙක් එක බෝඩිමේ ඉන්න බැහැ කියල එක්කෙනෙක් වෙන තැනකට ගියා .හේතුව අනික් ළමයාගේ එක්තරා දේහ ලක්ෂණයක් නිසා එයා දැකීම උදේට මෙයාට හරි නැහැ වගේ කියල . .


තව අහල පහලින් බෝඩින් සොයා ගන්න බැරි වුන ළමයි රාජගිරිය මාලඹේ වගේ පැතිවලත් නතර වෙලා හිටියා .ලියන්න හිටිය පැත්තට වඩා ලිවිල්ල වෙන අතකට ගසාගෙන ගියා .

හරියට මගේ රස්තියාදු ගමන් වගේ .

අපේ පිස්සු යාළුවො කට්ටියගේ කතා සේරම අද කියන්න වෙලාවක් නැහැ . ආයේ ඉක්මනින් ලියන පොරොන්දුව පිට අදට මෙපමණයි .

මට වගේ හොඳ යාළුවන් හමුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!