Sunday, 30 August 2015

DISPOSABAL පෙරේත තටු

අපි පොඩි කාලේ නිතරම වාගේ තොවිල් බෙර හඬ අසන්නට ලැබුණ. එතකොට ඉතින් ගේ ඇතුලේ එහෙ මෙහෙ යන්නෙත් පස්ස බල බල.ගොම්මන් වැටෙන වෙලාවට මය්යොක්ක තම්බන ගඳක් හෙම ආවොත් ඒ පෙරේත ගඳ කියලයි අපිට ඇහිලා තිබුනේ. අපේ ගෙදරට යන්න ක්‍රම දෙකක් තිබුණ. එක බස් නැවතුමකින් පටන් ගන්න පාර රවුමට ගිහින් අනික් බස් නැවතුමෙන් ආයිමත් මහ පාරට එකතු වෙනවා. අතරමගදී ගම ඇතුලට අතු පාරවල් බෙදෙනවා. දෙවෙනි නැවතුමෙන් ටිකක් ළඟ වුනත් ඒ පාර ටිකක් පාළුයි . ඒ නම් මදැයි අතරමග මහා විසාල ගොරක ගහක්.
හොඳට අතුපතර විහිදලා අඳුරු සෙවනැලි මවමින් මහා විසාල යෝධයෙක් වගේ. "ගොරක යකා" ට බයේ කළුවර වැටුනම නම් ඔය පැත්තෙන් ආවේම නැහැ. දවසක් උදේක ඔය ගහේ  තිබ්බ කපුටු කූඩුවක කපුටෙක් මගේ ඔළුවට කෙටුව. මේකට ගොරක යකා සම්බන්ධද කියල හිතුනේ නැත්තේ උදේට ඔය යක්කු පාරේ හිටියත් පේන්නේ නැති ගානට දුවන්න වෙලා තිබුන නිසා. දැන් නම් කල්පනා කරද්දී හිතෙනවා මොකට එච්චර දුර ඉස්කෝලෙකට ගියාද කියල.

අපේ මල්ලි පොඩි කාලේ බත් කැවුවේ දත් දිග ගොය්ය එනවා කියල බය ගන්නල. උගේ දත් ආනමාලු ඇවරියක් වගේ බවත් බත් නොකන ළමයින් අල්ලා මල්ලක දමාගෙන  බවත් උන්ද විස්වාස කළා.

සාත්තර කියන කපු මහතුන් හිටි දේවාල වල වාර්ෂිකව විශාල තොවිල් මඩු  නැටුව. ඊට අමතරව ගෙවල් වල කුඩා පරිමාන තොවිල් ,දෙහි කැපීම් ,මැතිරීම් නිතර අහන්න ලැබුන. දෙවට අයින් වල පෙරේත තටු නිතරම දකින්න තිබුණ.
ඔයාකාරයෙන් කුඩා කාලයේ යක්කු පෙරේතයෝ කුම්භාණ්ඩයෝ ගැන කතා ගම් පලාත්වල අරුමයක් වුනේ නැහැ.
නමුත් අපි නව යොවුන් වියට එන්නත් කලින් මේ සාමාන්‍ය යක්කුන්ට පෙරේතයන්ට තිබ්බ තැන නිකන්ම අහෝසි වුනේ ඊට වැඩි යක්ෂ භූත දෝෂ එලි බහින්න වුන නිසා. එයිට අමතරව කොවුර්ගේ පොත් කියවල හෙම මම හෙන වීරයෙක් වෙලා හිටියේ.

අමතක වෙලා හිටිය පරණ හිත මිත්‍ර යක්කුයි පෙරේතයෝයි ආයේ මතක් වුනේ සිංගප්පුරුවේදී.

දැන් සති කීපෙක ඉඳන් පාර අයින් වල පෙරේත තටු. HUNGRY GHOST  ලට කෑම බිම විතරක් නෙවේ,තැන් තැන වල යකඩ බැරල් වලින් හදපු තාවකාලික උඳුන් වල කඩදාසි පුච්චනවා. මලගිය පරානකාරයින් ආසා කල දේවල් අනුව මේ කඩදාසි පුච්චන බවයි කියවෙන්නේ. නිවාස සංකීර්ණ වල වෙනම ස්ථානයක මේ උඳුන් සපයා තිබෙනවා.
හඳුන්කුරු දැල්වීමත් කෙරෙනවා.
. කාර්ය බහුල සිංගප්පුරු වැසියාගේ මේ පෙරේත තටුත් " ටේක් අවේ " වර්ගයේ ඒවා.

මේ බඩගිනි පෙරේතයන්ට කෑම දීම බුදු දහමින් විකාශනය වූවක් වගයි කියවෙන්නේ. චීනය අවට රටවල සිදු වෙනවාලු . වියට්නාමයේදී මෙය මගේ ඇසට හසු නොවීම පුදුමයක්.

පෙරේත තටු දැමීම අපේ සංස්කෘතියේ දී තරමක් හොර රහසේ කෙරුණත් සිංගප්පුරුවේ මෙය කෙරෙන්නේ ප්‍රසිද්ධියේ.
එයට හේතුව අරමුණ වෙනස් වීමද? අපේ ගම් වල පෙරේත තටු තරහ කාරයින්ගේ ගෙවල් ළඟ දමා යන පුරුද්දක් තිබු බව මතකයි. යන යකා අරුන්ට වින කර යනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

මෙහිදී මෙහි අරමුණ තමන්ගේ මලගිය ඇත්තන්ට පෙරේත ආත්ම වලින් මිදීමට උදව් කිරීම නිසා එළිපිට කෙරෙනවා වන්නට ඇත.
කියවන්නට ආසා කෙනෙකුට මෙන්න සබැඳිය.

උන්නු හැටියට මලා මදැයි කියා අදට ඔය ඇතිය. බ්ලොග් එක නමැති ආතුරයාට තොවිලයක් නටා ඇප නුලක් බඳින්නට ඕනෑය.

Friday, 3 July 2015

අක්කා

අපේ අක්කා සහ මම අතර සමානකම් ඇත්තේ ටිකකි. වෙනස්කම් බොහෝය. මා සමග සසඳද්දී ඇය තාලවර්ගයේය. මට කූරු කොණ්ඩයකි. ඇයගේ කොණ්ඩය ක්‍රේල්ය. අව්වද වැස්සද ලෙඩද නොතකා දිනපතා ස්නානය කරන ජලයට ඔරොත්තු දෙන නොදෙන සියලුම බඩු බාහිරාදිය සේදීම වේලීම විනෝදාංශය කොට ගත් අපේ අක්කා කුඩා කාලයේ සිටම ගෘහ පාලනයට උපන් හපනියකි. එමෙන්ම බුවල්ලෙකු මෙන් බලාධිකාරයේ අඬු පඬු අප වෙත විහිදුවා ගෙදර වැඩ බෙදා දීමට අනලස්ව කටයුතු කලාය. පොත පතක නොලියා අත්සන් නොකළ නිහඬ ගිවිසුම් අප නිවසේ ඇති කලේ ඇයයි. අද මිදුල අතු ගෑම මට ,ගෙය අතු ගෑම ඇයට. හෙට වැඩ මාරු වේ. වලන් පිඟන් සේදීමත් එසේමය. මා වැනි කම්මැලි පොත් ගුල්ලෙක්ගෙන් වැඩ ගැනීමට මැනේජ්මන්ට් ස්කිල්ස් තිබු අක්කා ගේ හැකියාවන් ගුරු වෘත්තියෙන් සිමා වීම කණගාටුවකි.
එමෙන්ම පළමු ගුටිය එල්ල කල කෙනා අන්තිම පහර කෑ යුතුය යන ස්වර්ණමය නීති ඇතිකොට අප අතර නිතර ඇති වූ ගුටි කෙලි ඉහල උසාවි වලට නොදමා ගොඩින් බේරා ගැනීමේ ගෞරවය ඇය සතුය.
ලියන්නට මුලය වුයේ අක්කාගේ මේ ගතිගුණ නොවේ. මෙලොව සියලු සත්වයන්ට දේශපාලනයෙන් ගැලවීමක් නැත.කුහුඹියන්, මදුරුවන්,මීයන් වැනි සතුන්ටත් දේශපාලනය හැටි වෙන දවසක ලිවිය යුතුය.
දේශපාලනය විපරියාසයන් ඇතැම් ජිවිත සමග බද්ධ වන්නේ ඉතාම පුදුම සහගත ලෙසය. ලෝකය වෙනස් කරම්හයි සිතා කෙලින්ම දේශපාලනය කරන්නන් ගැන නොවේ,ඉතාම සාමාන්‍ය ශ්‍රී ලාංකික දැරියක සහ ශ්‍රී ලාංකික දේශපාලනය ගැන සරල ලියමනකි.
ඇය උපන්නේ එක්දහස් නවසිය හැත්තෑවේය. 71 කැරැල්ල ඇයට මතක නැති බව නම් සහතිකය.( ඇයට ඉස්තරම් මතකයක්  තිබෙන බව කිව යුතුය. දැනටත් අපි දෙන්නා එකතු වූ කල මට වඩා හොඳින්  යටගිය පුවත් මතක ඇත්තේ අක්කටය. ඒ කාලේ තිබු පොඩි පොඩි ක්‍රෂ්,පස්සෙන් ආ කොල්ලන් ,අනුන්ගේ ඕපාදුප .....අපට කියවන්නට ඕන තරම් දේ ඇත)


70 දශකයේ අල බතල පාත්ති අතර දුව පනිමින් ඇති දැඩි වුන අපි අතරින් අරපිරිමැස්මට මුල් තැන දුන්නේ ඇයයි.
ගෙයක් කලඑළි වන්නට දුවක් සිටිය යුතු බව පැරැන්නන් කිවා නම් ඒ අපේ අක්කා වැනි දුවරුන් ගැනය. පුතුන් පමණක් සිටින අය කලබල විය යුතු නැත. ඕනෑම වර්ගයක බල්බ් වෙළඳ පොලේ ඇති නිසා ආලෝකය සැපයීම ගැටළුවක් නොවේ. ගෙවල් අස්පස් කර තියා ගන්නා පිරිමි ළමයි ඕනා තරම් ඇත.

ඒ කාලයේ උයන්නට සහල් මැන එයින් මිටක් දැමීමට මුට්ටියක් තිබිණි. සහල් වලට පමණක් නොවේ සීනි ,තේ කොළ වලටද එවැනි කුඩා බෝතල් තිබුනා මතකය. ඒවායේ ඉන්චාර්ජ් අපේ අක්කාය. අම්මාට අමතක වුවත් ඇයට නම් අමතක නොවේ.
මගේ මුල් ළමා කාලයේ අප සිටි නිවසට විදුලිය නොතිබිණි. චිමිනි ලාම්පුවේ චිමිනිය සෝදා පිස දැමීම අක්කා අපුරුවට කල බව මතකය. ඉතා පටු විවරයකින් ඇත දමා තුනී විදුරු චිමිනියක් පිස දැමීම ලෙහෙසි නැත. පොඩ්ඩක් එහා මෙහා වීමකින් එය බිම වැටීමට හෝ අතට තදවී බිත්ර කටුවක් මෙන් චිරිස් ගා පුපුරා යාමට හැකිය. වසර කිහිපයකට පෙර වීදුරුවක් සෝදන්නට ගොස් බිඳීමෙන් මගේ අතේ මැණික් කටුව කැපී මැහුම් කිහිපයක් දැමීමට සිදුවිය.

මෙය කියවන හුඟ දෙනෙක් චිමිනි ලාම්පුවක් දැක ඇතිවාට සැක නැත. ( ලයික් එකක් දමා ෂෙයාර් කරන්න:D ..........)

අපේ රට කේතුමතියක් වී නැති නිසා අදටත් කුප්පි ලාම්පු පෙරලී පිළිස්සුම් වාට්ටුවේ දුක් විඳින රෝගීන් සිටින බව අවාසනාවන්ත සත්‍යයයි. කලකට පෙර විජය ගොඩකුඹුර දොස්තර මහතා මාමයිට් බෝතල් වැනි මුඩිය සහිත සරල කුප්පි ලාම්පුවක් නිර්මාණය කල අතර එය පෙරලුන විට තෙල් පිටතට ගලා නොයෙන නිසා ගින්න පැතිරීමක් නැත. මෙම ලාම්පු ව්‍යාපෘතියේ අද තත්වය නොදනිමි. ක්ෂේත්‍රයේ අයෙක් වැඩි විස්තර කියන්නේ නම් අගෙයි.

ලාම්පු වලට දමනා භූමිතෙල්  වලට පවා පිරිමැසුම් බෝතලයක් තිබිණි.
70 දශකය ගෙවී අසුව දශකයේ අග භාගයේ දේශපාලන පෙරළිය මටද මතක ඇති නිසා ඇයට ඊට වඩා හොඳ මතකයක් ඇතුවාට සැකයක් නැත. විභාග කල් යාම අපේ ජිවිතයේ අමුතු සංසිද්ධියක් නොවේ. මා නම් එය පටන් ගත්තේ ශිෂ්‍යත්වයෙනි.
අපේ ළමා කාලය තදින් සොලවා දැමු  කළු ජුලිය නිසා අපේ ශිෂ්‍යත්ව විභාගය කල් ගියේය. එනික්බිති පාසල් වැසීම්,බෝම්බ පිපිරීම් අපිට වහිනවා පායනවා වැනි සාමාන්‍ය දේවල් බව‍ට පත් වුයේ ඉතාම අවාසනාවන්ත අයුරිනි.
අසුව දශකයේ අග්ගිස්සේ අහල පහල දෙවට වල අහුමුලු වල සැඟවුණු නිල ඇඳුම් දැක දැක නොදැක්කා සේ අපගේ ගමන් ගිය කාලයකි. මේවා ගැන උවමනාවටත් වඩා කියවා ලියා ඇති හෙයින් මුලික සිද්ධීන් වලින් මිදී අපේ ජිවිත වලට වෙසෙසින් අපේ අක්කාගේ ජිවිතයට ඇති වූ බලපෑම කීමයි මගේ අරමුණ.
ඇය ඉතාම බුද්ධිමත් ,ඉගෙනීමේ සා පිපාසාවෙන් නිතර උනන්දුවෙන් අනලස්ව වැඩ කල උත්සාහවන්ත දැරියකව සිටියාය.
ලියන්නට ,අඳින්නට ,කවි කියන්නට මෙන්ම අනෙකුත් අධ්‍යාපන වැඩ වලදී ඉහලින්ම කැපී පෙනුනාය. ඇදුම සෑදෙන ළමයෙක් ලෙස ක්‍රීඩා වලින් නම් ඇයව පැත්තකින් තබා තිබුන බවත් කිව යුතුය. අද මෙන් ඉන්හේලර නොතිබුණ ඒ යුගයේ දෙමාපියන්ට ගුරුවරුන්ට ඒ ගැන කරන්නට දෙයක් තිබුනෙත් නැතුවා විය හැකිය. අනෙක් අතට "උඩ පැනීම " වැඩිය වැඩ බැරි ළමයින්ගේ රාජකාරියකි. පොතක් කියවමින් නිහඬව සිටින ළමයා " සිරිමත් මගෙ සකි " මොඩල් එකේ බවයි එකල සම්මතය.
හඳමාමා නොවැරදීම ඇසු අක්කා නිතර එයට චිත්‍ර ඇඳ යැව්වාය. තමන් යවන චිත්‍ර හොඳයි කියා අසා ගැනීම හෝ අඩු ගානේ නම කියනවා ඇසීම එකල කොතරම් වටිනා ත්‍යාගයක්ද කියා කිව යුතු නොවේ.

මිහිර විජය පත්තර වලටද ඇය ලියු බව මතකය. කෙතරම් පල වුනාද කියා මට මතක නැති මුත් ඇය ඉතාම උත්සාහවන්ත දැරියකි. ලොකු සිහින තිබු දැරියකි. දොස්තර කෙනෙක් වම්හයි තදබල අදිටනක් තිබු ඇයට ( අද නම් මෙය තරමක විහිලු කතාවක් වුවද වෙනස් වෙනස් වෙනස් සිහින දකින්නට තරම් එකල අපේ ලෝකය විශාල වුවේ නැත . දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වීම ළමයෙකුට දැකිය හැකි උපරිම තලය. )

71 නැගිටීම ළදරුවෙකු ලෙස ඇගේ ජිවිතයට කෙලින්ම බලපෑමක් නොකලත් අසුව දශකයේ එසේ නොවිය.
දෙකට දෙවාරේ පාසල් ගොස් කොටින්ම පුද්ගලික පන්ති යද්දී පවා නිතර ආපසු හැරී ඒමට සිදු වූ කල විශ්ව විද්‍යාල ගැන කවර කතාද. 89 උසස් පෙළ කල උදවියට මතක ඇති යයි සිතමි. විභාගය තිබුනේද මාස ගණනක් කල් ගොස්ය.
අපගේ සාමාන්‍ය පෙලද ඊළඟ වසරේ පෙබරවාරියට කල් ගියේය.

ඒ පරම්පරාවේ සෑහෙන කොටසක් පස් කඳු යට හෝ ටයර් ගින්නේ මිය යද්දී අපේ අක්කා වැනි බොහෝ පාසල්  දරු දැරියන්ගේ සිහින ද මිය ගිය බව කිව යුතුය.

දෙවෙනි තුන් වෙනි වර උසස් පෙළ කොට සිහින සාක්ෂාත් කරගත් ළමයින් සිටි මුත් සැවොම එකලෙස වාසනාවන්ත නොවෙත්.

ඒ ලාංකීය දේශපාලනය අක්කාට බලපෑ අයුරුය.

ලෝක දේශපාලනයද ඇයට සරදමක් කළා මතකය. එකල රුසියන් ශිෂ්‍යත්ව ක්‍රමයක් පැවතිනි. මාවත් ඇදගෙන රුසියානු කල්චරල් සෙන්ටර් එකට ගොසින් ඒ ගැන සොයන්නටද ඇය උත්සාහවන්ත වුවාය.

චුයින්ගම් එකක් සපමින් තරුණයෙක් සමග  සුරතල් කතාවක දී සිටි තරුණියක් ඒ වන විට නොමිලේ ශිෂ්‍යත්ව නැති බවත් ලක්ෂ හතක් තිබේ නම් රුසියාවේ ඉගෙන ගත හැකි බවත් කී සැටි අද මෙන් මැවී පෙනේ.

ගොරබචෝප් ලොක්කා අපේ අක්කාගේ සිහින වලට කොක්කක් විය.

එයින් පසු විභාග පවත්වා රජයේ රැකියා දීමේ යුගය ඇරඹුන හෙයින් ගුරුවරියක ලෙස නව පිටුවක් ඇරඹීමට අක්කාගේ ජීවන පොත සමත් විය.


එයින් නොනැවතී නාවික හමුදා නිලධාරියකගේ බිරිඳ ලෙස ගත කල ජීවිතය ගැන අටුවා ටීකා අවශ්‍ය නොවේ.

මේ සියල්ලටම වඩා සරදම වන්නේ ඇයගේ අහිංසක දියණිය උසස් පෙළ ලියන්නේ මේ වසරේය.
කෝ ඉන්සිඩන්ට් ද නැත්නම් මොකක්ද කියා නොදනිමි.



මට ඇති කේන්තිය වචන වලින් පිට කල නොහේ. විභාගයක් කල් යාම දෙකට කැඩීම, සිසු මනසකට කොතරම් බලපායිදැයි මේ දේශපාලුවන්ට නොතේරෙන්නේ ඇයි.

ලංකාවේ මැතිවරණයක් යනු අන්තිම පහත් ක්‍රියාවන් සිදුවන සමයකි. ලවුඩ්ස් පිකර් දමා ගහක් ගලක් ගානේ බෙරිහන් දෙන කල සන්සුන් මනසකින් විභාගයට සුදානම් වීමට වීමටහැකිද.
මෙහෙම සිතෙන්නේ මට විතරද




Wednesday, 22 April 2015

සිනා කන්දෙන් වැටෙන මල්

සිනා කන්දේ අපට නොපෙනී
කුඩා උල්පත් මතු වෙනා
කන්ද පාමුල කඳුළු දොළ ළඟ
නැගී උල්පත් එක්වෙනා

කන්ද උඩ බක් මී ගහෙන් වට
මලක් සුළඟට ඇවිල්ලා
කඳුළු ඉවුරෙන් දොලේ පහලට
හිමින් ගහගෙන ගිහිල්ලා

ගසට සුළඟට වගක් වත් නැහැ
සිනා කන්දට පෙනුනෙ නෑ
දොලේ පාවී ගිලී මිය ගිය
මලේ කටහඬ ඇහුණෙ නෑ


කන්ද මුදුනේ ගහේ අතුවල
අලුත් මල් පිපෙනා පැයේ
පරණ මල් වල හැඩය දුටුවේ
බිඳුණු බුබුළකි ගං දියේ







වසන්තත් ඇවිත් ගියා නේ. මුකුත් ලියන්න බැරි වුනා. එහෙන් මෙහෙන් ලියවෙන කවි කෑලි ටික වත් අලවලා දාන්න ඕන කියල හිතුව විලේ පාළුවට.

Thursday, 26 March 2015

ඔහු නැති සිංගප්පුරුවක සිට



හැත්තෑ හතේ විවෘත ආර්ථිකය ගෙනෙනා විට ලංකාව සිංගප්පුරුවක් කරන බව ඇසෙන විට මා පාසල් යන්නටත් පටන් නොගත් කුඩා දැරියකි. සෝබාව  දේ මෙපුර සිරි විසිතුරු ගීතයෙන් කියන්නේ සිංගප්පුරුව ගැන බවද කුඩා කල අසා ඇත්තෙමි. අහස සූරන මැදුරු කීවාම මම ඒ කාලයේ සිතුවේ බිල්ඩිමක් උඩට නැග අහස සුරන්නට හැකි බවයි.
ඒ මගේ පළමු සිංගප්පුරු මතක. පසු කලෙක කියවූ සිංගප්පුරු දරුවා සහ මැලේසියානු තරුණයා පොත් ද්විත්වය ඉතා ආසාවෙන් කියෙව්වා. එතනින් එහාට එච්චර කියන්න තරම් මේ රට ගැන මතකයක් නැත. 
පළමු වරට වියට්නාමයට යන අතර  මග කට්ට අව්වේ පොඩි එකිවත් කිහිල්ලේ ගහගෙන අර කටින් වතුර විදින කිඳුරු ඇඟක් ඇති සිංහ පිළිමය ගාවට ගොස් ආවෙමි. 

එදා පටන් අවුරුද්දකට වරක් එහා ගෙදර  ගමන් කීප විටක්ම දින දෙක තුන ගත කලේ කොයි කවුරුත් බලන්නට එන ජනප්‍රිය සංචාරක ආකර්ශන නැරඹීමටය 

කෙසේ හෝ අද අපේ තාවාකාලික නවාතැන මෙයයි. මගෙත් සිංගප්පුරුවෙත් නියමාකාර හාදකම ඇරඹුණේ එලෙසයි. 
පොත් සාප්පුවකට යන හැමවිටම නිතර අතපත ගා බලන පොතක් ඇත. හැමදාම බල බල ආවත් කවදාවත් මිලට නොගත් ඒ මහා පොත ලියු මිනිසා අද අවසන් නින්දේය.
අපි මේ පොතට ආසා එහි ලංකාව ගැන කියවෙන කුඩා කොටසක් ඇති නිසාය. 

වරෙක සිංගප්පුරුව කොළඹ මෙන් කරන්නට සිතු බව සහ මේ වන විට ආදර්ශයට නොගතයුතු උදාහරණයක් ලෙස එහි සඳහන් වේ. 
 මාළු දුපතක සිට වත්මන් සිංගප්පුරුව දක්වා ආ ගමන සැබවින්ම ආශ්චර්යයකි. ඔහුට හොඳ මොළයක් තිබුණි. සි අයි ඒ කාරයා ඔහුව මිලදී ගන්නට කල උත්සාහය ව්‍යර්ථ විය. යම් විදිහකට එකාධිපතියෙකි. නමුත් හොඳ ඒකාධිපතියෙකි. සිතියමේ තිතක් ලෙසවත් නොපෙනෙන කුඩා දුපත ලෝකයේ ලොකුතැනක ඔසවා තැබූ නියම නායකයෙකි.

සියළු තරුණයින් පාසලින් පසු අනිවාර්ය හමුදා පුහුණුවක් සඳහා යා යුතුය. තරමක් දැඩි ලෙස පෙනුනද රටේ විනය සඳහා එය ඉතා හොඳය. 
" අප ඉතා කීකරු ජාතියක්. ඉංග්‍රීසින් ආ විට ඔවුන්ගේ කීකරු වැසියන් වුණා. ජපනුන් ආ විට සුදු රෙදි වල රතු බෝලයක් මසා එල්ලා දොරවල් වසා ගත්තා. රටේ ආරක්ෂාව සඳහා එයට වඩා උසස් වැඩ පිළිවෙලක් අවශ්‍යයි " ඒ ඔහුගේ වචන.

එකී මෙකි නොකී සිටලු දේවල් සඳහා වැඩපිළිවෙලක් ඔහු සතුව තිබු අතර එම ගමනේදී තදබල නීති ඇතිකරන්නද සිදු විය.

" මා කල සියලු දේවල් හොඳ දේවල් නොවේ. නමුත් ඒ සියල්ල කලේ හොඳ අරමුණකින් "

ඔහු වාසනාවන්ත මිනිසෙකි. පාසල් වියේ පෙම විශ්ව විද්‍යාලයේදී දළුලා වැඩි දැඟිලි බැඳුණු ප්‍රිය බිරිඳක් සහ දරු මුණුපුරන් ලැබූ වාසනාවන්ත මිනිසෙකි.

වැඩි සද්දයක් නැතුවම පැය පහ හය පෝලිමේ අවසන් ගෞරවය දක්වන්නට සිංගප්පුරු වැසියෝ ඇදෙති. රටේ අනෙක් කටයුතු පෙර පරිදි සිදුවෙත්.


 ............පසුතැවිල්ලක් නැතිව මිය යාහැකි  මිය ගියත් මිනිසුන්ගේ ආදරය හිමි නායකයින් සුලබ නැති ලොව කරන්නට බැරි දෙයක් කර පෙන්වූ " ලී ක්වාන් යු " ඔබට සුබ ගමන්...............

"අපේ රට සිංගප්පුරුවක් කරම්"  යන පොරොන්දු  අසමින් ලොකු මහත් වූ මා තුල අද වැඩිහිටියෙක් ලෙස ඉඳහිට සියුම් දුකක් ඇති නොවෙනවා නොවේ. ඒ අදත් ඒ පොරොන්දු අසා ලොකු මහත් වෙන ළමයින් ගැනය.

හරියටම අර පොත අතපත ගා ආවා  මිසක් කවදාවත් ගෙදර ගෙනාවේ නැතිවාක් මෙන්ය, කරන්නට පුළුවන් හෝ බැරි ඊයෙත් අදත් හෙටත් අපේ රට සිංගප්පුරුවක් කරන්නට දෙන පොරොන්දු .

( අපේ රට එහෙම කරන්නට බැරි දේශපාලන සහ සංස්කෘතික හේතු මහ ගොඩකි. ඒ  ගැන ලියන්නට අද දවස නොවේ ) 


  

Wednesday, 11 March 2015

සීගිරි කවි

නගින්නට ගොසින් සිහගිරි ගල උඩට
තවත් බෑම කිව්වයි  දනිස් කටු දෙක
ඔයත් මදැයි දැක්කා ලඳුන් සිගිරි
මගින් නතර විය කැටපත් පවුර ළඟ

" කොච්චර කළත් බැහැ නොවැ බේරා ගන්ට
හුරන්නමයි හිත මෙතනට එන උන්ට "
ඉඳගෙන උන්න ලී බංකුව මට දුන්න
කිව්වේ සිකියුරිටි ළමයා මා එක්ක.

කතිරය සමග නම ලොකුවට ලියන්නයි
කළුගල් තියෙන්නේ වෙන අහවල් එකට
සීගිරි ගලට යන පාරේ දෙපැත්තේ
පොඩි කඩ හදමු විකුණන්නට තීන්ත




ලොකු ලොකු නගර බුල්ඩෝසර් වෙන කලට
සීගිරි ගල කියන්නේ ලබු ගෙඩියක්ය


       .......මම.......


"හරිම සොඳුරුයි නුඹලාගෙ පුංචි රට
විඳිමි ලස්සණ තරු පිරුණ අහස යට
දවාලේ නැග්ග සිගිරිය උඩටම
ගොඩක් සතුටුයි  පුංචි පුතු හට"

..... ලංකාවට ගිහින් ආ ජපන් මිතුරිය ....










Thursday, 26 February 2015

ඉස්පිරිතාල කවි

දැන නොදැන ඔබතින්
වැටි සීරුණු තැලුන
එක්කගෙන සිත
බෙහෙත් ගන්නට ගිය කොට

අනතුරු අංශයෙ පෝලිම
පුංචි බොරැල්ලටම දිගයි
පිහි ඇනි බරපතල
ලේ ගලන හදවත්
අතින් වහගෙන

කෙඳිරි ගාන හදවත් ළඟ
ඉන්න බෑම සිත කිව් කොට
ඕ පී ඩී දෙසට ගියෙමි

විරහ වැස්සට තෙමි
පීනස විතරක්ය
හන්දි ගානේ සිටන් සිට
සමහරක් සිත් වලට
වැළදිලා ආතරයිටිස්

බංකු පිරිල ක්ලිනික් වල
කෙඳිරි ගගා බිමත් එක්ක

ඔසුසල ළඟ ඊට එහා
ප්ලාස්ටරයකුයි
සිද්ධාලේප එකකුයි
හන්දියේ කඩෙන් ගන්නව
උයන්න එළවලු දෙකක් එක්ක

Thursday, 19 February 2015

Gong Xi Fa Cai

අලුත් අවුරුද්දට කලින් ලෝකාවසානය  සේ ඇඟේ හැපෙමින් පොරකමින් බඩු එක්කහු කරන්නේ ශ්‍රී ලාංකිකයින් පමණක් කියා ඉස්සර සිතා සිටි එක හොඳටෝම වැරදිය. ඉස්සර අවුරුද්දෙන් පසු බේකරි දවස් කීපයක් වැඩ නොකරන නිසා පාන් නැති වේ. රොටි හදන්නට පාන් පිටි ,කිරිබත් වලට හාල්  අලුත් මුට්ටි, නෑයන්  කෑමට එන නිසා මොජු හදන්නට බටු ,නොවරදින බෝංචි, පරිප්පු අල ලුනු ආදී අත්‍යවශ්‍ය දේ අවුරුද්දට කලින් ගෙනත් තියා ගැනීම ඒ කාලයේ අනිවාර්ය විය.
සුපර් මාකට් එකට ගිහින් යන්තම් බඩු ටික අරගෙන එලියට ආවේ පුදුම අමාරුවකින්. මුහුණුපොතේ රසසරණියේ කොස් පොලොස් උයා තිබෙනවා දැක හුඟ දවසක සිට පොලොස් කන්නට පුදුම පෙරේතකමක් ඇතිවී තිබිණි. ටෙක්කා මාර්කට් එකේ පොලොස් ඇති බවට ලැබුණු ඔත්තුවක් නිසා ඊයේ එහි ගියද මොන පොළොස්ද . සිතා සිටි ඒවායින් ගොටුකොළ පමණකි ලැබුණේ.
අද සහ හෙට චීන අවුරුදු නිවාඩුය.
ජින්සෙන් කුමාරි පොත කියවා කාඩ් බෝඩ් පෙට්ටියක බැස ප්ලාස්ටික් බැට් එකෙන් හබල් ගසමින් " චීනෙට යනවා " කියමින් සෙල්ලම් කල ලොක්කි සහ අපි දැන් අවුරුදු අටක් තිස්සේ චීන හැඩති මුහුණු දකිමින් චීනය අවට රටවලරටවල  කරක් ගසමු.
ලෝක සම්මතයට ජනවාරියේදී නව වසර උදාවෙනමුත් අපිට අප්‍රේල් වාගේ මේ රටවල නියම අවුරුදු උදාව ජනවාරි අග හෝ පෙබරවාරි යේ දී ලුනා අවුරුද්දයි.

වියට්නාමයේදී TET ලෙසත් සිංගප්පුරුවේදී CHINESE new year ( ෂෝට් and ස්වීට්  CNY ) ලෙසත් මෙය හඳුන්වයි.
මේ චීන අවුරුද්ද ගැන පරණ ලිපි කියවන්න.
මුළු නැගෙනහිර ආසියාවම එහාට මෙහාට ගමන් කරන කාලයයි. ලොකු රටක් වූ වියට්නාමයේ නගර සට්නියක් දෙකක් පාළු  වේ. අපේ කොළඹ හිස් වන්නාසේ ම නගර වැසියන් අක්මුල් සොයා ගම දනව් වලට යන කාලයයි. චීනයේ ලොකුම ගමනාගමන තදබදය ඇති වන්නේ මේ සමයේය.සයිගොන් වල සිටි සමයේ නගරයේ උයන් ගේදොර කහ පාට අප්‍රිකොට්  (HOA  mai )මලින් හැඩවෙනු දුටු මා උතුරු වියට්නාමයේ රෝස පැහැති පිච්( HOA DAI ) මල වැඩියෙන් දුටිමි.
කහ තැඹිලි මැන්ඩරින්  , කම්කුවට් වැනි දොඩම් වර්ග නම් දෙපලාතේම වෙනසක්  නොවුනි.
සිංගප්පුරුව  ඒ මේ අත බලන විට දෙකෙළවර හමුවන තරමේ කුඩා නගරයකි.
ගම කියා යන්නට තැනක් කොහිද.
නමුත් මෙහි බොහෝ දෙනෙක් හට මැලේසියාවේ අක්මුල් ඇත. ඔවුන් නම් වැට පැන ගමට යත්.
ඈත කල චීනයෙන් පැමිණි අය නම් සිංගප්පුරු වැසියන් ලෙස මිස චීන සම්භවය ගැන එතරම් වගක් නැත. යම් පමණකට චීනයෙන් අපගමනය වී සිංගප්පුරු  ලෙස වෙනස් වී ඇත.
නමුත් චීන අවුරුද්ද නම් ජයට සමරති. දෙමාපියන් බැලීමට යාම තෑගී දීම ආදී අපේ අවුරුදු සිරිත් වලට සමාන අංග මෙහිත් ඇත.
අතිශය බටහිර කරණය වූ සිංගප්පුරුව වියට්නාමය  තරම්ම තදබල ලෙස සිරිත් පිලිපදිනු ඇති බව සිතිය නොහැක.
අපේ පොඩ්ඩි ගේ තායිවාන් යෙහෙලියක් සහ  සිංගප්පුරු මිතුරියක්ද  අන්නාසි ටාර්ට් ඒවා තිබුණි. ඒවා කෑමෙන් සුබ නව වසරක් ලැබෙන බවයි ඔවුන් කීවේ.
මැන්ඩරින් ගෙඩි දෙකක් සහ තඩි චොකලට් පෙට්ටියක් සේවා ආයතනයෙන් තෑගී ලෙස ලැබුණි.
මැන්ඩරින් ගෙඩි දෙකක් දීමත් අවුරුදු සිරිතකි.
ගෙවල් වලද කුඩා මැන්ඩරින් පඳුරු තබා තිබෙනු පෙනේ. එයට අමතරව නා ප්‍රකාර ගස් වර්ග ගෙවල් වලටවලට  ගෙන යන බව දුටිමි.
වියට්නාමයේ තරම් මල් නම් නැත්තේ පිටින් ගෙන්වන නිසා මිල අධික වීම නිසා විය යුතුය. නමුත් ගුවන් තොටුපළ මෙන්ම නගරයේ විශේෂිත ස්ථාන නම් ලස්සණට සරසා ඇතිවාට සැකයක් නැත. අද හෙට ගොසින් පින්තුරයක් දෙකක් එකතු  කරන්නට බලොරොත්තු වෙමි.
අරහේ සුබ පැතුවේ CHUC MUNG  NAM MOI කියාය.
 මෙහෙ කියන්නේ  GONG XI FA  CAI  කියාය.
 සද්ද නගමින් එය කියන්නට ගොස් ළමයි තාත්තාගෙන් ඇසුවේ.
"Do you speak slang " කියාය.

උදාවන්නේ එළුවාගේ අවුරුද්දයි. නමුත් මාගේ පැතුම ලෝකවාසීන් එළුවන් නොවේවා යන්නයි.
අහිංසක එළු අයිතිවාසිකම් සුරකිමින් එළඹෙන මැතිවරණයන් හිදී පොලිතින් වෙනුවට කඩදාසි පෝස්ටර් ඇලවේවා කියාද  පතමින් අදට නවතිමි.

Saturday, 14 February 2015

ගෙවල් විස්ස

හැන්දෑවට දෙකක් දමන්
පාර දිගේ සින්දු කියපු
ගඟ අයිනේ මැරිල හිටපු
හයේ ගෙදර ගිරිගෝරිස්

ඊයේ පෙරේදා සවසක ළමයින්ට අහන්න එඩ්වඩ් ජයකොඩි ගේ අකුරු මැකී නැහැ කොළ ගැලවී නැහැ සින්දුව දැම්ම. ඔය සින්දුව ඇහෙන කොට මට එඩ්වඩ් නෙවේ ඇත්තටම මතක් වෙන්නේ ගිරිගොරිස්.
සුද්දගේ ග්‍රෙගරි අපි හෙළ යක් බසට හරවා ගත්තේ ඔහොමලු . ඒ කාලේ අපේ ආතා එක්ක මට තරහත් ගියේ පවුලේ වැඩිමලා වෙච්ච අම්මට මිලි කියලා නම තියලා අනික් ගැහැණු ළමයින්ට ලතා හෝ වති ගෙන් ඉවර වෙන නම් සහ නිමල් වැනි නම් දුන්න නිසයි . ඒ වුනාට අපේ කෙල්ලන් ආච්චිගේ නම අසා මට කිවේ
" අම්මට නැති පොෂ් නමක් ආච්චිට තියෙන්නේ කොහොමද " කියලයි.
උන්ගේ යාළුවන් අතර එළිසබත් ,ලුවිසා , චාලට් ඉන්න නිසා විය යුතුයි. අපේ ලොක්කිගේ පන්තියේ සයිමන් කෙනෙක්ද හිටියා එක පාරක් .

මතක හැටියට ගිරිගොරිස් කලේ මේසන් වැඩ හෝ වඩු වැඩ. හවසට කසිප්පු බී පාරේ සින්දු කියන එක තමා උන්දෑගේ එකම නරක. අපේ ගේ ගාවින් යන විට කලින් මොනමොන  සින්දුව කියමින් ආවත් ට්‍රැක් මාරු කරන්නේ අකුරු මැකී නැහැ සින්දුවට . ළමයි පාඩම් කරනවාට ඉරිසියාව ක් ඔහුට තිබුනේ මන්ද කියා නොදනිමි.
ගමකුත් නොවන නගරයකුත් නොවන අපේ ප්‍රදේශය තුල විසු චරිත විවිධාකාරයි . පවුල් කිහිපයකට ඉඩම් විශාල වශයෙන් හිමිව තිබුණ. මායිම් හුටපට ඉඩම් නඩු අනෙක් කොයි ගමෙත් වගේ අපිටත් දකින්න ලැබුණ.
මේ විශාල ඉඩකඩම් අයිති වෙලා තිබුණ පවුල් වල නවකතා ලියන්න තරම් අපුරු සිදුවීම් සිද්ද වුනා. පසු කාලෙක මේ හුඟක් ලොකු ගෙවල් රින පැත්තට ගමන් කළා. ගම්පෙරළිය වගේ තමයි. හොඳ නවකතා කාරයෙක්ට ලියන්න වස්තු බිජ කොතරම් නම් මේ කතා වල තිබුනද .
ඔහේ වැල්වටාරම් ලියන මම වගේ කෙනෙක්ට පුළුවන් මෙහෙම ලියන්ට විතරයි.
එක බස් ස්ටෑන්ඩ් එකකින් පටන් ගන්න පාර රවුමට ගිහින් ඊළඟ බස් නැවතුම ගාවින් ආයිමත් ප්‍රධාන පාරට එකතු වුනා . අතරමගදී ගම ඇතුලින් එන කුඩා අතු පාරවල් මේ රවුම් පාරට එකතු වුනා.

පිටින් ඇවිත් කුලී ගෙවල් වල හිටි අපි වාගේ පවුල් කිහිපයක් ඇරුනම අනික් සේරම ඒ ප්‍රදේශයේම අය.

බීලා පාරේ කෑගහන කෙනෙක් මට මතකයේ නැති තරම්.කවදාවත් උඩට ඇඳුමක් නැති ,සරම් කොටයක් විතරක් වලාපොට ගහන දඩයම් බල්ලන් දෙන්නෙක් එක්ක කොච්චරවත් හාවුන් තලගොයින් අල්ලන්න යන "පව්කාරයින් " ලෙස හංවඩු ගැහුණු අය්යා මලෝ දෙන්නෙක් හිටිය. තලගොයා ගැන ගැනනම් මට එච්චර වගක් නැහැ. හැබැයි අහිංසක හාවුන් අල්ලන නිසා (හාවා අහිංසක සතෙකි කියලා හැම පොතේම තිබ්බ. ) මට මේ දෙන්න නම් පේන්න බැහැ.
උන් දෙන්නම " පව්කාරයින්,කවද හරි මැරෙන්නේ විඳවලා " කියා සම්මත වූ පරිදිම වයසටත් කලින් මලා .

ඔයාකාරයෙන් ඉතාම සාමාන්‍ය ලෙස තිබිච්ච පළාත උඩු යටිකුරු වුනේ ගම් උදාව යටතේ ගෙවල් විස්සක් සාදා මිනිසුන් පදිංචි කලාට පස්සේ. අර ගම මේ ගම කියලා ලස්සන නම් අනික් ව්‍යාපෘති වලට දැම්මට මේකට එහෙම නමක් තිබ්බද නැද්ද මන්දා. නිකන්ම ගෙවල් විස්ස කියලා තමයි රෙජිස්ටර් වුනේ.
අහල පහල ගම් වල "කසිප්පු කාරයෝ ,කුඩු කාරයෝ මදාවියෝ " එලව ගන්න ඕන නිසා ඔතන ගෙවල් දුන්න කියලා සමහරු කට කැඩිච්ච කතාත් කිව්වා.

කොහොම වුනත් ඉතාම අඩු ජන ගහනයක් තිබ්බ ගමකට  මේ ගෙවල් විස්ස ලොකු වෙනසක් වුනා . හවසට කෑගහන ගිරිගොරිස් සහ එවැනිම කිහිප  දෙනෙක් වැඩි වුනා. මොවුන් බිගත්තම හැසිරුනේ විවිධ ලෙස. සින්දු කියන ගිරිගොරිස් , සමාන්‍ය දේවල් අතරට කුණු හරුපයක් දෙකක් දාල හය්යෙන් කෑගහන රිචට් , නිතරම වලියට යන අමු තිත්ත බසින්ම කෑගසන ජුලියස් ...( උන්ද නිකන් හිතාහිටියේ ජුලියස් අධිරාජයා කියලා තමයි)

එක දේවාලයක් තිබ්බ ගමට තව එකක් එක්කහු වුනා. 
මේ ගෙවල් ඇත්තටම ලැබුණ දුප්පත් අහිංසක මිනිස්සු හිටියා. නමුත් සමහරු මේ ගෙවල් කුලියට දීල තමන් හිටපු ගෙවල් වලටත් ගියා. 
අවුරුදු කිහිපයක් එයින් ගෙයක් කුලියට ගෙන සිටීම ඒ කාලයේ ජිවිතයේ දරුණුතම අභාග්‍යයක් ලෙස අපේ අම්මා සිතුවත් අද මට කල්පනා වන්නේ මැක්සිම් ගෝර්කි " ළමාවිය " " මගේ සරසවි " මිනිසුන් අතර " පොත් ත්‍රිත්වය ලීවා සේ මා මගේ ජීවිතය ලියා තබන්නේ නම් ඒ ගෙවල් විස්සේ ගත කල ළමා වියේ වසර කිහිපය  මගේ ජිවිතයේ " මිනිසුන් අතර " වෙළුම වන බවයි 
අල්ලපු ගෙදර සිටි ගිරිගොරිස් අකුරු මැකී නැහැ ගීතය ප්‍රගුණ කලේ අප නිසාය. ජිවිතයේ කරදර කම්කටොළු මතින් මයි පසු කලෙක අපුරු මතක ගොඩ නැගෙන්නේ. 
ගෙවල් විස්ස දෙස වපර ඇසින් බැලූ සම්ප්‍රදායික ගම  සෙමින් සෙමින් මේ උප සංස්කෘතිය ඉවසන්නට පුරුදු  වුනා. 
මෙහි ඉතාම රසවත් කොටස එය නොවේ. කුඩා ළමයෙකු ලෙස මා තුල කවදත් විප්ලව කාරියක් සිටියා . ඒ ළමා විප්ලවකාරිය ඉතාම විනෝදයට පත් කල දෙය   තමයි මේ ගෙවල් විස්ස ඉදි කල ඉඩම.

ගමේ සුසාන  භුමියේ කොටසක තමයි මේ ගෙවල් ඉදි  කලේ. ඔය කනත්ත කොටස් දෙකට බෙදල තිබුනේ. තාප්ප වැටවල් වලින් නොවේ .සම්මතයෙන් .
එක කොටසක් ගමේ කුලවතුන්ට .අනෙක රෙදි සෝදපු රදා කුලයේ පවුල් වලට. 
මේ ගෙවල් සදද්දී ඔය දෙපැත්තෙම ටික ටික අහු වුනා. ඉතුරු කොටස කොයි කාටත් පොදු වේ සුසාන භුමිය ලෙස වෙන් වුනා. 

සොහොන් උඩ ගෙවල් සැදීම අසුබ බව වගේම මල පසු කුල ගොත් සෙවීම යන මිත්‍යා දෙකම එක වර බිඳ වැටුණා.

මෙපුර සිරි විසිතුරු නොලියා අතීත මං පෙත් වල රස්තියාදු ගැසීම ගැන කියවන්නෝ කමත්වා. 

Wednesday, 14 January 2015

බයිසිකලේ








මල්ලි සහ අය්යා බයිසිකලයක් වෙනුවෙන් මැරෙන්නට වුනත් ලෑස්ති වෙලා හිටියේ රස්තියාදුවේ ගිහින් බෙල්ල කඩා ගන්නට බවයි අක්කයි මමයි හිතා හිටියේ. හුන්නස්ගිරිය වාගේ කඳු පල්ලම් නැතත් අපේ ගෙවල් වලට යන පාර එක මට්ටමේ එකක් නොවේ. 
හැබැයි පල්ලම් බසිද්දී නොවේ හැන්දෑවට ගෙදර යද්දී නම් ඔය පොඩි උස මිටි තැන් හුන්නස්ගිරිය වගේමයි අපිට දැනුනේ. දවසක් අපේ ගෙදර ආ යාලුවෙක් ඇසුවේ 

" කෝ බන් අර කිව්ව කඳු "කියාය 
 එකා මාතලේ උපන් එකෙකි .

කලින් කලට දමන තාර,භාගයක් දුරට එන ගංවතුරෙන් සහ මහා වැසි වල සෝදා පාලුවෙන් කැඩී බිඳී යන්නේ ඉතාම ඉක්මනින්. පාර දෙපැත්තේ වතුර බහින්නට කානු නොකපා පාර මැද කොච්චර තාර ඉලුවත් වැඩක් ඇද්ද. ඔය පාරට ඉස්සෙල්ලාම තාර දමන දවස් මට අද වගේම මතක ඉස් ඉස්සෙල්ලාම ගල් රෝලක් ලඟට දැක ගැනීමේ ඇති මහත් වාසනාව උදා වුන නිසයි. අදත් ගල් රෝලක් වැනි යන්ත්‍රයක් දුටු කල තැලී චප්ප වුන කජු ලෙල්ලක් මතක් වන්නේ 

"ඕකට යට වුනොත් කජු ලෙල්ලක් වගේ චප්ප වෙනවා "

කවුද වැඩිහිටියෙක් අපව බය කර තිබුණ නිසාය. ඒ මදිවට උණු තාර ගෑවුනොත් හම එයට ඇලී ගැලවී යන බව 
ඒ ඉස්කෝලේ නිවාඩු කාලයක් වන්නට ඕනය . මුළු දවසම වත්ත අයිනට වී ගල් දමා පාර තලන හැටි ,තාර උණු කරන හැටි,කළු බුට්ස් දැමු කම්කරුවන් වැඩ කරන හැටි බලා හිටියා මිසක වෙන වැඩක් නම් නැතුව ඇති කුඩා අපට. පසු කලෙක රුසියන් පොත් වලට පිස්සු වැටුණු කාලේ එව්වායේ හිටි කම්කරුවන් ගැන මැවුණු මනස් රූප වල හිටියේ මේ වාගේ බුට්ස් දැමු කම්කරුවන්ය.

අපේ පාර ගැන කියද්දී එකක් නොකියාම බැරිය. ඔය පාර අයිනේ ඉඩම් වැඩි හරියක් අයිතිව තිබුනේ එකම පවුලකටය. පාර පළල නොවුයේ එනිසාය. එසේ කරන්නට යෝජනා වූ හැම විටකම එය අල වුයේ ඒ පවුල එයට එරෙහි වූ නිසාය. 

අනික් කාරණය නම් කැලණිය ආසනයට වැට මායිමේ වුවත් අපේ ගම අයිති වුයේ බියගම ආසනයට වීම. පාර ගැන ඔය මදැයි. වැඩිය කියන්නට ගියොත් අනවශ්‍ය දේවල් ලියවෙන්නට ඉඩ ඇත. 

ඉතින් අපේ ගෙදර කොල්ලෝ දෙන්නට හැදුන බයිසිකල් පිස්සුව අපිට කෙල්ලන්ට නොතිබුනේ එකක් ඔය පාර නිසාය . අනික බයිසිකල් පැදීම අපේ පළාතේ කෙල්ලන්ට එච්චර බෝ වී නොතිබීමය . රෝස පාට ලස්සන චොපර් බයිසිකලයක් තිබුණු අපේ ප්‍රාථමික පාසලේ නදීෂා බෝනික්කෙක් මෙන් ලස්සන ගවුමක් ඇඳ ඔවුන්ගේ ගෙදර සුවිසල් වැලි මිදුලේ එහා මෙහා පදිනා හැටි දකින විට පවා ඒ ගැන ඉරිසියාවක් ඇති වුනේ නැත්තේ ඇයිදැයි මම පවා නොදනිම්.

ඒ ඒ වයසට සරිලන බයිසිකල් නැති ඒ කාලේ කොල්ලන් බයිසිකල් පදින්නට පුරුදු වෙන් හැටි නම් අපුරුය. පොල්ල අස්සෙන් කකුල් දා සර්කස් වල වඳුරන් වගේ වැටි වැටි තඩි බයිසිකලයක් පැදීමට ඉගෙන ගැනීම ඒ කාලේ හුඟක් පිරිමි ළමුන්ගේ අනිවාර්ය වර්ධන අවස්තාවක් විය. එහෙම කලේ නැති උනුත් ඉන්නට ඇති. 
පස්සේ කාලෙක මල්ලි පදින බයිසිකලයක එල්ලිලා ගිහින් දියබෙදුම පාරේ අකුලකට පත බෑවුන හැටි කලින් කියා ඇත. අපේ රවී ලොක්ක නම් ඒ පළාත හොඳට දනී. 
ඒ පැති වල කෙල්ලන්ට නම් බයිසිකලය හොඳට හුරුය. 
රෝද හතරක් පදින්නට ඉගෙන ගන්න ඕනය කියා හිතුනේ ලොක්කිත් උපන්නට පසුව. දවස් කීපෙකින් ඒ වැඩේ අත ඇරුනේ එකක් කම්මැලි කම නිසා සහ දෙවෙනි පාරට අම්මා කෙනෙක් වෙන්නට වුන නිසාය. කොහොමටත් මට ඔය වාහන එලවිල්ල එච්චර ආසා ඇති වැඩක් නොවුන නිසා වැඩේ අන්තිමට අත් හැරීම ගියේය. 

වියට්නාමයට ගොය පසුව නම් බයිසිකලයක් පැදීමට බැරිකම යනු හතර විලිලජ්ජාවලින් එකක් තරමට දැනුනේය. උන් නම් උපදින කොටම එන්නේ පෙඩල් එක පාගාගෙනමදෝ සිතේ. එහි එන විදෙස් ජාතිකයින් ට පවා බයිසිකලය 
අතැඹුලක් වාගෙය. 
සිංගප්පුරුවේ පාරවල් සහ උද්‍යාන බයිසිකලයක් පදින්නට හොඳින් සකසා ඇති නිසා නෙවර් ලේට් කියලා දහිරිය අරගෙන දැන් මම බයිසිකල් පදිමි. 

බයිසිකලයකට පන වුනත් දෙන්නට අපේ අය්යා සහ මල්ලි සුදානම්ව සිටියේ ඇයි කියා තේරුම් ගතිමි. 

ඇවිදින්නටයි බයිසිකල් පදින්නටයි ඇත්තේ එකම පදික තීරුවක් වුවත්  එහෙමකට අවුලක් නැත. 

බයිසිකලය පදින විට මා ජීවිතය සමාජය විවිධ ලෙස තේරුම් ගනිමි. 

වරෙක අපි සහ තව බයිසිකල් ළමයි කීපදෙනෙක් එක පෙලට යාම නිසා ටිකක් අයින් වන්නට වූ සිංගප්පුරු චීන පෙනුමැති තරුණියක් WTF කීවාය .
තව දිනක් එවැනිම ජාතියේ තරුණයෙකු " it's  ok . take your time " කීවේ සිනාමුසු මුහුණින්.
පාර්ක් එකේ අපේ බයිසිකල් නිසා හදිසියේ බ්රේක් ගසන්නට වූ ඉන්දියන් වර්ගයේ කාන්තාවක් කිවේ "OH GOD " කියා.
මග දිගට ඉදිකෙරෙන ගොඩනැගිලි අසල බංග්ලාදේශ් තරුණයින් වැඩ බිමට එන ට්‍රක් රථ නවතා අපට ඉඩ සලසා දෙත් .
ඉස්කෝලේ මැලේ ජාතික සිකියුරිටි අන්කල් අනෙක් පාසලට එන රෝද හතරේ ලොකු වාහන මදකට නවතා බයිසිකල් වලට යන්නට ආරක්ෂාව දෙන්නේ good morning කියා දත් තිස් දෙකම පෙන්නමිනි. 

මිනිසුන් අතර ඇත්තේ ජන විවිධත්වයද මනුෂ්‍ය විවිධත්වයද කියා කල්පනා කරමි.

ප.ලි.

වියට්නාම් චැප්ටරය වසා අපේ ජිප්සී ජිවිතයේ සිංගප්පුරු අවධිය ලියමින් සිටිමි. නෙළුම් විලේ ඉස්සර වගේ ගොඩක් මල් නැතත් නෙලුම් කියන්නේ එහෙමකට මැරෙන ජාතියක් නෙමේ, වේලිලා කරකුට්ටන් වුනත් වැස්සක් වැස්සොත් පරණ අලයක් ලියලල මලක් දෙකක් පිපෙන්න බැරි නැහැනේ. අශ්වයාගේ අවුරුද්දත් ඉවර වෙන්න ලඟයි. ඊලඟට එන්නේ එළුවද කොහෙද . 
කොහොමත් එළුවන්ට හොඳ කලක් . තව මැතිවරණයක්‌ හෙම තිබ්බොත් කන්න අඩුවක් නැහැනේ. පොලිතින් නැතුව කඩදහි වලින්ම පෝස්ටර් ගහන්න කියල මම සමස්ථ ලංකා එළු සංගමය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.