Saturday, 14 February 2015

ගෙවල් විස්ස

හැන්දෑවට දෙකක් දමන්
පාර දිගේ සින්දු කියපු
ගඟ අයිනේ මැරිල හිටපු
හයේ ගෙදර ගිරිගෝරිස්

ඊයේ පෙරේදා සවසක ළමයින්ට අහන්න එඩ්වඩ් ජයකොඩි ගේ අකුරු මැකී නැහැ කොළ ගැලවී නැහැ සින්දුව දැම්ම. ඔය සින්දුව ඇහෙන කොට මට එඩ්වඩ් නෙවේ ඇත්තටම මතක් වෙන්නේ ගිරිගොරිස්.
සුද්දගේ ග්‍රෙගරි අපි හෙළ යක් බසට හරවා ගත්තේ ඔහොමලු . ඒ කාලේ අපේ ආතා එක්ක මට තරහත් ගියේ පවුලේ වැඩිමලා වෙච්ච අම්මට මිලි කියලා නම තියලා අනික් ගැහැණු ළමයින්ට ලතා හෝ වති ගෙන් ඉවර වෙන නම් සහ නිමල් වැනි නම් දුන්න නිසයි . ඒ වුනාට අපේ කෙල්ලන් ආච්චිගේ නම අසා මට කිවේ
" අම්මට නැති පොෂ් නමක් ආච්චිට තියෙන්නේ කොහොමද " කියලයි.
උන්ගේ යාළුවන් අතර එළිසබත් ,ලුවිසා , චාලට් ඉන්න නිසා විය යුතුයි. අපේ ලොක්කිගේ පන්තියේ සයිමන් කෙනෙක්ද හිටියා එක පාරක් .

මතක හැටියට ගිරිගොරිස් කලේ මේසන් වැඩ හෝ වඩු වැඩ. හවසට කසිප්පු බී පාරේ සින්දු කියන එක තමා උන්දෑගේ එකම නරක. අපේ ගේ ගාවින් යන විට කලින් මොනමොන  සින්දුව කියමින් ආවත් ට්‍රැක් මාරු කරන්නේ අකුරු මැකී නැහැ සින්දුවට . ළමයි පාඩම් කරනවාට ඉරිසියාව ක් ඔහුට තිබුනේ මන්ද කියා නොදනිමි.
ගමකුත් නොවන නගරයකුත් නොවන අපේ ප්‍රදේශය තුල විසු චරිත විවිධාකාරයි . පවුල් කිහිපයකට ඉඩම් විශාල වශයෙන් හිමිව තිබුණ. මායිම් හුටපට ඉඩම් නඩු අනෙක් කොයි ගමෙත් වගේ අපිටත් දකින්න ලැබුණ.
මේ විශාල ඉඩකඩම් අයිති වෙලා තිබුණ පවුල් වල නවකතා ලියන්න තරම් අපුරු සිදුවීම් සිද්ද වුනා. පසු කාලෙක මේ හුඟක් ලොකු ගෙවල් රින පැත්තට ගමන් කළා. ගම්පෙරළිය වගේ තමයි. හොඳ නවකතා කාරයෙක්ට ලියන්න වස්තු බිජ කොතරම් නම් මේ කතා වල තිබුනද .
ඔහේ වැල්වටාරම් ලියන මම වගේ කෙනෙක්ට පුළුවන් මෙහෙම ලියන්ට විතරයි.
එක බස් ස්ටෑන්ඩ් එකකින් පටන් ගන්න පාර රවුමට ගිහින් ඊළඟ බස් නැවතුම ගාවින් ආයිමත් ප්‍රධාන පාරට එකතු වුනා . අතරමගදී ගම ඇතුලින් එන කුඩා අතු පාරවල් මේ රවුම් පාරට එකතු වුනා.

පිටින් ඇවිත් කුලී ගෙවල් වල හිටි අපි වාගේ පවුල් කිහිපයක් ඇරුනම අනික් සේරම ඒ ප්‍රදේශයේම අය.

බීලා පාරේ කෑගහන කෙනෙක් මට මතකයේ නැති තරම්.කවදාවත් උඩට ඇඳුමක් නැති ,සරම් කොටයක් විතරක් වලාපොට ගහන දඩයම් බල්ලන් දෙන්නෙක් එක්ක කොච්චරවත් හාවුන් තලගොයින් අල්ලන්න යන "පව්කාරයින් " ලෙස හංවඩු ගැහුණු අය්යා මලෝ දෙන්නෙක් හිටිය. තලගොයා ගැන ගැනනම් මට එච්චර වගක් නැහැ. හැබැයි අහිංසක හාවුන් අල්ලන නිසා (හාවා අහිංසක සතෙකි කියලා හැම පොතේම තිබ්බ. ) මට මේ දෙන්න නම් පේන්න බැහැ.
උන් දෙන්නම " පව්කාරයින්,කවද හරි මැරෙන්නේ විඳවලා " කියා සම්මත වූ පරිදිම වයසටත් කලින් මලා .

ඔයාකාරයෙන් ඉතාම සාමාන්‍ය ලෙස තිබිච්ච පළාත උඩු යටිකුරු වුනේ ගම් උදාව යටතේ ගෙවල් විස්සක් සාදා මිනිසුන් පදිංචි කලාට පස්සේ. අර ගම මේ ගම කියලා ලස්සන නම් අනික් ව්‍යාපෘති වලට දැම්මට මේකට එහෙම නමක් තිබ්බද නැද්ද මන්දා. නිකන්ම ගෙවල් විස්ස කියලා තමයි රෙජිස්ටර් වුනේ.
අහල පහල ගම් වල "කසිප්පු කාරයෝ ,කුඩු කාරයෝ මදාවියෝ " එලව ගන්න ඕන නිසා ඔතන ගෙවල් දුන්න කියලා සමහරු කට කැඩිච්ච කතාත් කිව්වා.

කොහොම වුනත් ඉතාම අඩු ජන ගහනයක් තිබ්බ ගමකට  මේ ගෙවල් විස්ස ලොකු වෙනසක් වුනා . හවසට කෑගහන ගිරිගොරිස් සහ එවැනිම කිහිප  දෙනෙක් වැඩි වුනා. මොවුන් බිගත්තම හැසිරුනේ විවිධ ලෙස. සින්දු කියන ගිරිගොරිස් , සමාන්‍ය දේවල් අතරට කුණු හරුපයක් දෙකක් දාල හය්යෙන් කෑගහන රිචට් , නිතරම වලියට යන අමු තිත්ත බසින්ම කෑගසන ජුලියස් ...( උන්ද නිකන් හිතාහිටියේ ජුලියස් අධිරාජයා කියලා තමයි)

එක දේවාලයක් තිබ්බ ගමට තව එකක් එක්කහු වුනා. 
මේ ගෙවල් ඇත්තටම ලැබුණ දුප්පත් අහිංසක මිනිස්සු හිටියා. නමුත් සමහරු මේ ගෙවල් කුලියට දීල තමන් හිටපු ගෙවල් වලටත් ගියා. 
අවුරුදු කිහිපයක් එයින් ගෙයක් කුලියට ගෙන සිටීම ඒ කාලයේ ජිවිතයේ දරුණුතම අභාග්‍යයක් ලෙස අපේ අම්මා සිතුවත් අද මට කල්පනා වන්නේ මැක්සිම් ගෝර්කි " ළමාවිය " " මගේ සරසවි " මිනිසුන් අතර " පොත් ත්‍රිත්වය ලීවා සේ මා මගේ ජීවිතය ලියා තබන්නේ නම් ඒ ගෙවල් විස්සේ ගත කල ළමා වියේ වසර කිහිපය  මගේ ජිවිතයේ " මිනිසුන් අතර " වෙළුම වන බවයි 
අල්ලපු ගෙදර සිටි ගිරිගොරිස් අකුරු මැකී නැහැ ගීතය ප්‍රගුණ කලේ අප නිසාය. ජිවිතයේ කරදර කම්කටොළු මතින් මයි පසු කලෙක අපුරු මතක ගොඩ නැගෙන්නේ. 
ගෙවල් විස්ස දෙස වපර ඇසින් බැලූ සම්ප්‍රදායික ගම  සෙමින් සෙමින් මේ උප සංස්කෘතිය ඉවසන්නට පුරුදු  වුනා. 
මෙහි ඉතාම රසවත් කොටස එය නොවේ. කුඩා ළමයෙකු ලෙස මා තුල කවදත් විප්ලව කාරියක් සිටියා . ඒ ළමා විප්ලවකාරිය ඉතාම විනෝදයට පත් කල දෙය   තමයි මේ ගෙවල් විස්ස ඉදි කල ඉඩම.

ගමේ සුසාන  භුමියේ කොටසක තමයි මේ ගෙවල් ඉදි  කලේ. ඔය කනත්ත කොටස් දෙකට බෙදල තිබුනේ. තාප්ප වැටවල් වලින් නොවේ .සම්මතයෙන් .
එක කොටසක් ගමේ කුලවතුන්ට .අනෙක රෙදි සෝදපු රදා කුලයේ පවුල් වලට. 
මේ ගෙවල් සදද්දී ඔය දෙපැත්තෙම ටික ටික අහු වුනා. ඉතුරු කොටස කොයි කාටත් පොදු වේ සුසාන භුමිය ලෙස වෙන් වුනා. 

සොහොන් උඩ ගෙවල් සැදීම අසුබ බව වගේම මල පසු කුල ගොත් සෙවීම යන මිත්‍යා දෙකම එක වර බිඳ වැටුණා.

මෙපුර සිරි විසිතුරු නොලියා අතීත මං පෙත් වල රස්තියාදු ගැසීම ගැන කියවන්නෝ කමත්වා. 

30 comments:

  1. මිනිසුන් අතර...

    ගිරිගෝරිස් පාඩම් කරන ළමයින් එක්ක තරහයි කියලා හිතුවෙ මොකද? ඔහු බීගෙන කෑගහන නිසාද? නැත්නම් පාඩම් කරන ළමයින් ඉන්න ගෙවල් ළඟදි ඔහු වැඩිපුර සින්දු කිව්වද?

    ReplyDelete
    Replies
    1. අකුරු මැකී නැහැ සින්දුව හය්යෙන් කිව්ව නිසා. කොහොම හරි අපිට එහෙම දැනුණ. ඇත්තටම අපේ පොඩිට හැමදාම කතාවක් ඕන. කතන්දර කියලා ඔය හැටි කොයින්ද. ඉතින් සමහර දාට මේ වගේ මගේ පරණ සිද්දි අත්දැකීම් තමයි කියන්නේ. මැරිලා හිටු එක ඇරෙන්න ගිරිගොරිස් ගැන අනික් ටික කිව්වා. එයාට හරි හිනහයි

      Delete
  2. හානේ..මේ අර ළිඳේ වැටිච්චි ළමය නේද? කොහෙද ළමයො ගිහිල්ල හිටියෙ පහුගිය දවස්වල? දැක්කෙවත් නෑ නෙව...

    ReplyDelete
    Replies
    1. ඒ ලිඳේ වැටුනේ ආච්චිලාගේ දිහා ගිහින්. ඔව් අප්පා මේක කොටන්න හිතක් එන්නෙත් කලාතුරකින්.

      Delete
  3. කනත්තට තාප්පයක් ගහන්න ආධාර එකතුකරන්න බර්නාඩ් ෂෝගෙ ගාවට ගියාම කිව්වලු, ඕක තේරුමක් නැති වැඩක්, නිකන් මුදල් නාස්තියක් විතර්යි කියල. හේතුව ඇහුවම මිනිහ කිව්වලු "එලියෙ ඉන්න අය ඇතුලට යන්නවත්, ඇතුලෙ ඉන්න අය එලියට එන්නවත් උත්සාහ නොකරන තැනකට මොකටද තාප්පයක්" කියල.

    ඔහොන ගෙවල් කීපයක ගමක් අපේ හාමිනේලගෙ ගේ ගාවත් හැදුන. ඒකට ඒගොල්ලො කියන්නෙ "ඉංගම්මාරුව".

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒක තමයි මේ කනත්තටත් කවදාවත් තාප්පයක් වැටක් තිබ්බේ නැහැ. මම නම් ඒකට කැමතියි. රෑ වෙලා වුනත් යන්න බය නැහැ ඔතනින්. හොන්දට පේන නිසා. ඇත්තටම ටිකක් බය ඊට කලින් තිබුණ රබර් වත්තට තමයි.
      ඉංගම්මාරුව කියලා නාට්‍යක් තිබ්බ නේ.

      Delete
  4. මොනවට කමන්ඩද එව්වට වඩා මෙව්වා රහයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අටම්. අතීතය කොහොමත් රසවත්. ඒ කාලයේ කරදර කියා සිතුන අත්දැකීම් අද හරිම රසවත් මතක. මුතු ඇටයක් හැදෙන්නේ බෙල්ලෙකුගේ ඇඟේ සිරවුණ වැලි කැටයක් නිසා.

      Delete
  5. මට හිතෙන්නෙ බින්දිගෙ හොඳම කතා, මේ වගේ අතීත මතක සටහන් ගැන ලියන කතා කියලයි. ඔය ලියල තියෙන්නෙ අපූරුවට.

    ගිරිගෝරිසා නියම බුවෙක් පාටයි :)

    ReplyDelete
    Replies
    1. අතීතය ලියන්න ලේසියි. කාගේවත් හිත රිදෙයි අරකයි මේකයි කියල නැහැනේ.
      මෙයා නියම බුවෙක් තමයි. වෙන කිසි වැරද්දක් නැහැ. කාටත් ඔලුව පාත් කරන බුවා දවල්ට. හැබැයි හවසට මල ඇනේ . රිචට් (රිචඩ්) ඊට එහා අහිංසකයා . ළමයි ගොඩක් හිටියා. කොටින්ම මග යන්න පන නැහැ. හැබැයි හවසට හෙන වීරයා. වැඩේ කියන්නේ මිනිහා එක්ක එච්චර තරහක් ඇති නොවීම. පවුලේ අනික් අය හරිම අහිංසකයි.
      ජුලියස් නම් සිහියෙන් හිටියත් චණ්ඩි මනුස්සයෙක්. කාව හරි ඉලක්ක කරගෙන තමයි බනින්නේ. ඒ කාලේ මේ හැමෝම පැවතුන රජයට බලයට එන්න ගම්වල උදව් කල අය. ඉතින් පොඩි චන්ඩි ගතියක් තිබුණ.
      ගිරිගොරිස් නම් කරපු දේශපාලනයක් මන්දා. කලබල කාලේ ගඟ ගාව මැරිලද මරලද කොහෙද උන්නලු. ඒ කාලේ ගඟ ගාව මැරිලා උන්න අයගේ හේතු එච්චර වැදගත් වුනේ නැහැ.

      Delete
  6. ගිරිගෝරිස් හරි අමුතු මනුස්සයෙක්නේ බලන් යද්දී..

    අතීත මතක කවදත් සුන්දරයි අක්කේ..

    ReplyDelete
    Replies
    1. අමුතුයි . මම හිතන්නේ පර්සනලිටි අවුලක්. අම්ම තනියෙන් හදා ගත්තු ළමයෙක්. එහෙම වුනහම පොඩි කාලේ ඉඳන් දන්නවනේ ඉතින් අපේ සමාජය .
      ඔව් මල්ලි අතීතය සුන්දරව දැනෙන්නේ එකක් ඒ ළමා යොවුන් කාලය ආයේ නොයෙන නිසා. අනික මේ කරදර ලෙස දැනුන දේවල් වෙලා ඉවරනේ. එර්හාකොටඑර්හාකොට ඒවා දිහා හෝනා වෙලා බලන්න ලේසියි

      Delete
  7. ඔය වගේ හවුසිං ස්කීම් එකක් අපේ පැත්තෙත් දැම්මා ඉස්සර. අපිත් ඒක දිහා එච්චර ප්‍රසන්න ආකාරයකට නෙවෙයි බැලුවේ. ගෙවල් ඇතුලත් පුදුම පුංචියි. පස්සෙ පදිංචි කාරයෝ ඒ ගෙවල් තමන් කැමති විදියට මොඩිෆයි කලා.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ අය්යන්ඩි කොහෙදෑ වහුන් වෙලා උන්නෙ

      Delete
    2. මේ ගෙවලුත් එහෙම කළා. සමහර ඒවා ලස්සනට හැදුන .සමහර ගෙවල් නම් ඉතින් අර කුඩැල්ල මෙට්ටේ තිබ්බ වගේ තමයි. කාලෙකට පස්සේ සමහරු මේවා විකිණුව. අර මුලින් අප්පිරියාවෙන් බලපු ගම්මුම තමයි මේවා ගත්තේ

      Delete
  8. බින්දි පරණ ට්‍රැක් එකට ඇවිල්ල...මම නම් මේ තාලෙ කතා වලට තමා මනාප. මේ මතක අවුස්සන කොට තමා මටත් බ්ලොගක් තියෙනවා නේ ද කියල හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපි හුඟක් දෙනෙක්ට බ්ලොග් ලිවිල්ල මග ඇරිලා නේ වීයෝ . මටත් ඉතින් ඉඳල හිටලා ලියන්න හිතුනට බ්ලොග් කියවෙන්නෙම නැති තරම්. ප්‍රධාන හේතුව ලැප් ටොප් එක බැරි මරගාතේ වීම. අයි පෑඩ් එකෙන් තමයි මේ ටිකේ වැඩ. අරක තරම් අල්ලන්නේ නැහැ බ්ලොග් වැඩේට. අපේ මනුස්සයට වෙලාවකුත් නැහැ ඕක බලන්න. පහු ගිය කාලේ නම් වඩාත් වැඩියි. දැන් නම් ඉතින් ආයේ පුරුදු ට්‍රැක් එකේ වුනත් තාම එක පිළිවෙලකට බ්ලොග් බලන්න බැරි වුනා.

      Delete
  9. කාලෙකට කලින් මං අන්තර්ජාලයේ දැක්කා ආච්චිගේ නම අනුෂා, අම්මගේ නම දයාාවතී.ආච්චිව මතක්වෙන්න දුවටත් දාලා අනුෂා කියලා!

    අන්විශ්වාසබල්!
    http://www.anusha.com/anusha.htm

    ReplyDelete
    Replies
    1. අන්විස්වාසබල්ම තමයි. අපේ රටේ නම් එක තාලෙකට නේ වෙනස් වෙන්නේ. ඔහොම අනික් අතට යනවා ඇහුවමයි. අපේ ආච්චිලාගේ කාලේ හුඟක් ඉංග්‍රීසි නම්. හැබැයි රත්නපුරේ නිසා තාත්තාගේ අම්මට තාත්තට තිබ්බේ සිංහල නම්. කොළඹට කිට්ටු නිසා අම්මගේ පැත්තේ ඉංග්‍රීසි නම්. පනස් ගණන් වලින් පස්සේ ලතා වති කෑල්ල සහිත නම් . හැට ගණන් වල ලතා වති හැලිලා යන්න ගත්තා. අනුෂා වගේ නම් ආවේ ඒ කාලයෙන් පස්සේ. අනික අනුෂා කියලා බුඩිස්ට් ගෝඩ් හරි ගොඩස් හරි හිටියද මෙයා . මන් නම් අහල නැහැ .

      Delete
  10. කාලෙකට පස්සෙ නෙළුම් විලේ නෙළුමක් පිපී තිබෙනවා දැක්කම හිතට සතුටුයි...ලගම හිතවතියක් දැක්කා වගෙයි. බීලා කෑගහගෙන එන අය මතක් කලාම මට පහස‍ුවෙන්ම මතක් කරගන්න පුලවන් අපේ ජයස් කොල්ලව තමයි...මම උන්දැ ගැන වතාවක් ලිව්වා...ජයස් කොල්ලා කුණු හරුප කිව්වෙ නැති උනාට හිටි ගමන් කොට කලිසං කොටේ ගලවලා ත‍ොප්පියක් වගේ ඔලුවෙ දාගෙන උපන් ඇදුමෙන් ගෙදර එනවා...එතකොට ඉතිං අපිට කාමර මුල්ලක ඉන්න වෙනවා ජයස් කොල්ලා අපේ මිදුල උඩින් යනකං....ලස්සන අතීතයක් නේද...

    ReplyDelete
    Replies
    1. සුන්දරයි දැන් නම් . ඒ කාලේ නම් මොවුන්ව උස්සල පොලේ ගහන්න තරම් තරහයි. :D
      දැන් ඔහොම වාත අඩුයි නේ ගම්වල වුනත් . සිරාගේ ලිපිත් මම කියවූවා . හැමවෙලේම කමෙන්ට් නොකලට ඔලුව දාල යනවා . තරහ වෙන්ට එපා ඉතින්

      Delete
    2. තරහක් නෑ අක්කා...මම දන්නවා ඔබ දැන් කාර්යබහුල ගෘහනියක් බව...

      Delete
  11. ගිරිගෝරිසා මරු...
    සමහර විට උට තිබ්බෙ ඉරිසියාවක් නොවෙන්ට ඇති ළමයි බමයි ඉන්න තැනක් නිසා තැනට සුදුසු විදියට ට්‍රැක් එක මාරු කලාද දන්නෙ නෑ නෙව....
    නෙහ්

    ReplyDelete
    Replies
    1. බිව්වම කල්පනාව නැහැ කියන්නේ බොරු නේ. නැත්තන් හැමදාම ඔහොම මතක හිටින්නේ කොහොමද. මම හිතන්නේ බිව්වම නිදහසට කාරණයක් ලැබෙනවා හිතේ තියෙන එව්වා කියා ගන්න

      Delete
  12. මේ විදිහේම දෙන්නෙක් හිටියා අපේ ගමෙත්. බීලා සින්දුවක් කියාගෙන ඇවිත් අපේ ගේ ගාවදි සද්දෙ වැඩි කරනවා. එලියෙ කවුරුහරි ඉඳලා පාරට ඔළුව දැම්මොත් ආ මහත්තය .. කියලා ටිකදුරක් සද්ද නැතුව ගිහින් කුණුහබ්බයක් එක්ක ආයිත් සින්දුව පටන් ගන්නවා. තාත්තා හැමදාම අපිට කිව්වෙ ඔහෙ කෑගහගෙන ගියාවෙ ගනන් ගන්න එපා කියලා. ඒ මොකද අපි පාරට පැනලා ආයිත් කෑ නොගහන්න පාඩමක් දෙන්න කතා උන හින්දා. කොහොමහරි මං කැම්පස් ගිය කාලෙ මල්ලිලා දෙන්න අල්ලගෙන ගහලා. ඉතින් නතර උනාද ? නෑ. අර වගේමයි.. අන්තිමට තාත්තා කිව්වා වගේ ගනන් නොගෙන ඉන්න සිද්ද උනා චන්ඩි දෙන්නාටත්.

    ReplyDelete
    Replies
    1. නිකන් ඉන්න මිනිස්සුත් රණ්ඩු වලට පටලවුන තමා මේ අය නිසා. මලම වාත

      Delete
  13. කාලෙකින් නේ.. ලියුමේ දාර්ශනික උදාන වාක්කිය කීපයක්ම තිබුනා. මං ඒවට කැමතියි නගේ.. හැක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශක අය්යන්ඩි

      Delete
  14. ගිරිගෝරිස් වගේ හුගක් අය ඉන්නවා ටිකක් දාගෙන පුංචි ළමයි ඉන්න ගෙවල් ලගට වෙලා සිංදු කිය කිය ඉන්නවා. ඒ වගේම විහිළු කර කර ඉන්න අවස්ථාද තියෙනවා. ඉතින් කලාතුරකින් වගේ පොඩි උන්ට තියා දෙන්න දෙමහල්ලන්ටත් අහගෙන ඉන්න බැරි තරම් සුද්ද සිංහල කතා කරන උනුත් ගම් නගර වල අනන්තයි. සමහරුන්ගෙ කටේ තියෙන්නෙම කුනුහරුප..

    ReplyDelete
    Replies
    1. පිස්සු යක්කු නේ. ස්තුතියි වැව් ඉස්මත්ත

      Delete