Friday, 3 July 2015

අක්කා

අපේ අක්කා සහ මම අතර සමානකම් ඇත්තේ ටිකකි. වෙනස්කම් බොහෝය. මා සමග සසඳද්දී ඇය තාලවර්ගයේය. මට කූරු කොණ්ඩයකි. ඇයගේ කොණ්ඩය ක්‍රේල්ය. අව්වද වැස්සද ලෙඩද නොතකා දිනපතා ස්නානය කරන ජලයට ඔරොත්තු දෙන නොදෙන සියලුම බඩු බාහිරාදිය සේදීම වේලීම විනෝදාංශය කොට ගත් අපේ අක්කා කුඩා කාලයේ සිටම ගෘහ පාලනයට උපන් හපනියකි. එමෙන්ම බුවල්ලෙකු මෙන් බලාධිකාරයේ අඬු පඬු අප වෙත විහිදුවා ගෙදර වැඩ බෙදා දීමට අනලස්ව කටයුතු කලාය. පොත පතක නොලියා අත්සන් නොකළ නිහඬ ගිවිසුම් අප නිවසේ ඇති කලේ ඇයයි. අද මිදුල අතු ගෑම මට ,ගෙය අතු ගෑම ඇයට. හෙට වැඩ මාරු වේ. වලන් පිඟන් සේදීමත් එසේමය. මා වැනි කම්මැලි පොත් ගුල්ලෙක්ගෙන් වැඩ ගැනීමට මැනේජ්මන්ට් ස්කිල්ස් තිබු අක්කා ගේ හැකියාවන් ගුරු වෘත්තියෙන් සිමා වීම කණගාටුවකි.
එමෙන්ම පළමු ගුටිය එල්ල කල කෙනා අන්තිම පහර කෑ යුතුය යන ස්වර්ණමය නීති ඇතිකොට අප අතර නිතර ඇති වූ ගුටි කෙලි ඉහල උසාවි වලට නොදමා ගොඩින් බේරා ගැනීමේ ගෞරවය ඇය සතුය.
ලියන්නට මුලය වුයේ අක්කාගේ මේ ගතිගුණ නොවේ. මෙලොව සියලු සත්වයන්ට දේශපාලනයෙන් ගැලවීමක් නැත.කුහුඹියන්, මදුරුවන්,මීයන් වැනි සතුන්ටත් දේශපාලනය හැටි වෙන දවසක ලිවිය යුතුය.
දේශපාලනය විපරියාසයන් ඇතැම් ජිවිත සමග බද්ධ වන්නේ ඉතාම පුදුම සහගත ලෙසය. ලෝකය වෙනස් කරම්හයි සිතා කෙලින්ම දේශපාලනය කරන්නන් ගැන නොවේ,ඉතාම සාමාන්‍ය ශ්‍රී ලාංකික දැරියක සහ ශ්‍රී ලාංකික දේශපාලනය ගැන සරල ලියමනකි.
ඇය උපන්නේ එක්දහස් නවසිය හැත්තෑවේය. 71 කැරැල්ල ඇයට මතක නැති බව නම් සහතිකය.( ඇයට ඉස්තරම් මතකයක්  තිබෙන බව කිව යුතුය. දැනටත් අපි දෙන්නා එකතු වූ කල මට වඩා හොඳින්  යටගිය පුවත් මතක ඇත්තේ අක්කටය. ඒ කාලේ තිබු පොඩි පොඩි ක්‍රෂ්,පස්සෙන් ආ කොල්ලන් ,අනුන්ගේ ඕපාදුප .....අපට කියවන්නට ඕන තරම් දේ ඇත)


70 දශකයේ අල බතල පාත්ති අතර දුව පනිමින් ඇති දැඩි වුන අපි අතරින් අරපිරිමැස්මට මුල් තැන දුන්නේ ඇයයි.
ගෙයක් කලඑළි වන්නට දුවක් සිටිය යුතු බව පැරැන්නන් කිවා නම් ඒ අපේ අක්කා වැනි දුවරුන් ගැනය. පුතුන් පමණක් සිටින අය කලබල විය යුතු නැත. ඕනෑම වර්ගයක බල්බ් වෙළඳ පොලේ ඇති නිසා ආලෝකය සැපයීම ගැටළුවක් නොවේ. ගෙවල් අස්පස් කර තියා ගන්නා පිරිමි ළමයි ඕනා තරම් ඇත.

ඒ කාලයේ උයන්නට සහල් මැන එයින් මිටක් දැමීමට මුට්ටියක් තිබිණි. සහල් වලට පමණක් නොවේ සීනි ,තේ කොළ වලටද එවැනි කුඩා බෝතල් තිබුනා මතකය. ඒවායේ ඉන්චාර්ජ් අපේ අක්කාය. අම්මාට අමතක වුවත් ඇයට නම් අමතක නොවේ.
මගේ මුල් ළමා කාලයේ අප සිටි නිවසට විදුලිය නොතිබිණි. චිමිනි ලාම්පුවේ චිමිනිය සෝදා පිස දැමීම අක්කා අපුරුවට කල බව මතකය. ඉතා පටු විවරයකින් ඇත දමා තුනී විදුරු චිමිනියක් පිස දැමීම ලෙහෙසි නැත. පොඩ්ඩක් එහා මෙහා වීමකින් එය බිම වැටීමට හෝ අතට තදවී බිත්ර කටුවක් මෙන් චිරිස් ගා පුපුරා යාමට හැකිය. වසර කිහිපයකට පෙර වීදුරුවක් සෝදන්නට ගොස් බිඳීමෙන් මගේ අතේ මැණික් කටුව කැපී මැහුම් කිහිපයක් දැමීමට සිදුවිය.

මෙය කියවන හුඟ දෙනෙක් චිමිනි ලාම්පුවක් දැක ඇතිවාට සැක නැත. ( ලයික් එකක් දමා ෂෙයාර් කරන්න:D ..........)

අපේ රට කේතුමතියක් වී නැති නිසා අදටත් කුප්පි ලාම්පු පෙරලී පිළිස්සුම් වාට්ටුවේ දුක් විඳින රෝගීන් සිටින බව අවාසනාවන්ත සත්‍යයයි. කලකට පෙර විජය ගොඩකුඹුර දොස්තර මහතා මාමයිට් බෝතල් වැනි මුඩිය සහිත සරල කුප්පි ලාම්පුවක් නිර්මාණය කල අතර එය පෙරලුන විට තෙල් පිටතට ගලා නොයෙන නිසා ගින්න පැතිරීමක් නැත. මෙම ලාම්පු ව්‍යාපෘතියේ අද තත්වය නොදනිමි. ක්ෂේත්‍රයේ අයෙක් වැඩි විස්තර කියන්නේ නම් අගෙයි.

ලාම්පු වලට දමනා භූමිතෙල්  වලට පවා පිරිමැසුම් බෝතලයක් තිබිණි.
70 දශකය ගෙවී අසුව දශකයේ අග භාගයේ දේශපාලන පෙරළිය මටද මතක ඇති නිසා ඇයට ඊට වඩා හොඳ මතකයක් ඇතුවාට සැකයක් නැත. විභාග කල් යාම අපේ ජිවිතයේ අමුතු සංසිද්ධියක් නොවේ. මා නම් එය පටන් ගත්තේ ශිෂ්‍යත්වයෙනි.
අපේ ළමා කාලය තදින් සොලවා දැමු  කළු ජුලිය නිසා අපේ ශිෂ්‍යත්ව විභාගය කල් ගියේය. එනික්බිති පාසල් වැසීම්,බෝම්බ පිපිරීම් අපිට වහිනවා පායනවා වැනි සාමාන්‍ය දේවල් බව‍ට පත් වුයේ ඉතාම අවාසනාවන්ත අයුරිනි.
අසුව දශකයේ අග්ගිස්සේ අහල පහල දෙවට වල අහුමුලු වල සැඟවුණු නිල ඇඳුම් දැක දැක නොදැක්කා සේ අපගේ ගමන් ගිය කාලයකි. මේවා ගැන උවමනාවටත් වඩා කියවා ලියා ඇති හෙයින් මුලික සිද්ධීන් වලින් මිදී අපේ ජිවිත වලට වෙසෙසින් අපේ අක්කාගේ ජිවිතයට ඇති වූ බලපෑම කීමයි මගේ අරමුණ.
ඇය ඉතාම බුද්ධිමත් ,ඉගෙනීමේ සා පිපාසාවෙන් නිතර උනන්දුවෙන් අනලස්ව වැඩ කල උත්සාහවන්ත දැරියකව සිටියාය.
ලියන්නට ,අඳින්නට ,කවි කියන්නට මෙන්ම අනෙකුත් අධ්‍යාපන වැඩ වලදී ඉහලින්ම කැපී පෙනුනාය. ඇදුම සෑදෙන ළමයෙක් ලෙස ක්‍රීඩා වලින් නම් ඇයව පැත්තකින් තබා තිබුන බවත් කිව යුතුය. අද මෙන් ඉන්හේලර නොතිබුණ ඒ යුගයේ දෙමාපියන්ට ගුරුවරුන්ට ඒ ගැන කරන්නට දෙයක් තිබුනෙත් නැතුවා විය හැකිය. අනෙක් අතට "උඩ පැනීම " වැඩිය වැඩ බැරි ළමයින්ගේ රාජකාරියකි. පොතක් කියවමින් නිහඬව සිටින ළමයා " සිරිමත් මගෙ සකි " මොඩල් එකේ බවයි එකල සම්මතය.
හඳමාමා නොවැරදීම ඇසු අක්කා නිතර එයට චිත්‍ර ඇඳ යැව්වාය. තමන් යවන චිත්‍ර හොඳයි කියා අසා ගැනීම හෝ අඩු ගානේ නම කියනවා ඇසීම එකල කොතරම් වටිනා ත්‍යාගයක්ද කියා කිව යුතු නොවේ.

මිහිර විජය පත්තර වලටද ඇය ලියු බව මතකය. කෙතරම් පල වුනාද කියා මට මතක නැති මුත් ඇය ඉතාම උත්සාහවන්ත දැරියකි. ලොකු සිහින තිබු දැරියකි. දොස්තර කෙනෙක් වම්හයි තදබල අදිටනක් තිබු ඇයට ( අද නම් මෙය තරමක විහිලු කතාවක් වුවද වෙනස් වෙනස් වෙනස් සිහින දකින්නට තරම් එකල අපේ ලෝකය විශාල වුවේ නැත . දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වීම ළමයෙකුට දැකිය හැකි උපරිම තලය. )

71 නැගිටීම ළදරුවෙකු ලෙස ඇගේ ජිවිතයට කෙලින්ම බලපෑමක් නොකලත් අසුව දශකයේ එසේ නොවිය.
දෙකට දෙවාරේ පාසල් ගොස් කොටින්ම පුද්ගලික පන්ති යද්දී පවා නිතර ආපසු හැරී ඒමට සිදු වූ කල විශ්ව විද්‍යාල ගැන කවර කතාද. 89 උසස් පෙළ කල උදවියට මතක ඇති යයි සිතමි. විභාගය තිබුනේද මාස ගණනක් කල් ගොස්ය.
අපගේ සාමාන්‍ය පෙලද ඊළඟ වසරේ පෙබරවාරියට කල් ගියේය.

ඒ පරම්පරාවේ සෑහෙන කොටසක් පස් කඳු යට හෝ ටයර් ගින්නේ මිය යද්දී අපේ අක්කා වැනි බොහෝ පාසල්  දරු දැරියන්ගේ සිහින ද මිය ගිය බව කිව යුතුය.

දෙවෙනි තුන් වෙනි වර උසස් පෙළ කොට සිහින සාක්ෂාත් කරගත් ළමයින් සිටි මුත් සැවොම එකලෙස වාසනාවන්ත නොවෙත්.

ඒ ලාංකීය දේශපාලනය අක්කාට බලපෑ අයුරුය.

ලෝක දේශපාලනයද ඇයට සරදමක් කළා මතකය. එකල රුසියන් ශිෂ්‍යත්ව ක්‍රමයක් පැවතිනි. මාවත් ඇදගෙන රුසියානු කල්චරල් සෙන්ටර් එකට ගොසින් ඒ ගැන සොයන්නටද ඇය උත්සාහවන්ත වුවාය.

චුයින්ගම් එකක් සපමින් තරුණයෙක් සමග  සුරතල් කතාවක දී සිටි තරුණියක් ඒ වන විට නොමිලේ ශිෂ්‍යත්ව නැති බවත් ලක්ෂ හතක් තිබේ නම් රුසියාවේ ඉගෙන ගත හැකි බවත් කී සැටි අද මෙන් මැවී පෙනේ.

ගොරබචෝප් ලොක්කා අපේ අක්කාගේ සිහින වලට කොක්කක් විය.

එයින් පසු විභාග පවත්වා රජයේ රැකියා දීමේ යුගය ඇරඹුන හෙයින් ගුරුවරියක ලෙස නව පිටුවක් ඇරඹීමට අක්කාගේ ජීවන පොත සමත් විය.


එයින් නොනැවතී නාවික හමුදා නිලධාරියකගේ බිරිඳ ලෙස ගත කල ජීවිතය ගැන අටුවා ටීකා අවශ්‍ය නොවේ.

මේ සියල්ලටම වඩා සරදම වන්නේ ඇයගේ අහිංසක දියණිය උසස් පෙළ ලියන්නේ මේ වසරේය.
කෝ ඉන්සිඩන්ට් ද නැත්නම් මොකක්ද කියා නොදනිමි.



මට ඇති කේන්තිය වචන වලින් පිට කල නොහේ. විභාගයක් කල් යාම දෙකට කැඩීම, සිසු මනසකට කොතරම් බලපායිදැයි මේ දේශපාලුවන්ට නොතේරෙන්නේ ඇයි.

ලංකාවේ මැතිවරණයක් යනු අන්තිම පහත් ක්‍රියාවන් සිදුවන සමයකි. ලවුඩ්ස් පිකර් දමා ගහක් ගලක් ගානේ බෙරිහන් දෙන කල සන්සුන් මනසකින් විභාගයට සුදානම් වීමට වීමටහැකිද.
මෙහෙම සිතෙන්නේ මට විතරද




42 comments:

  1. මුල හරිය කියවනකොට මරු පෝස්ට් එක කියල හිතුණ. පල්ලට පල්ලට කියවං එද්දි අප්සට් ගියා
    අමමට වගෙම දුවටත් විභාග කචල් මාරම වැඩේ දෙකම දේසපාලු කතාවක් හන්ද.
    ඇත්තමයි මේ ගොං තක දේසපාලුවන්ට ගහන්ට කලිං අර මී හරක් ජෝතිස කාරයන්ට වනන්ට ඕන දුං විසි වෙනට
    ඇත්තමයි මේ පාර එක්සෑම් ලියන උං පව්.
    88 ඉපදුණ එකෙක් හන්දා අක්ක කියපු හුගක් දේ ගැන කියන්ට දෙයක් දන්නෙ නෑ.
    ඒත් චිමිනි ලාම්පු තාම තියේ. අපේ දිහ නං රාමුවත එක්කම ලන්තෑරුමකුත් තියේ තවම.
    අර කුප්පි ලාම්පු එළියෙං පාඩං කරපු එකෙක් හංද දන්නෙ කවදාවත් පෙරලං නෑ කියල කියනට නං බෑ. ඒත් ඔය ආරක්ෂිත ලාම්පු කියනේව නං මෙහෙ යූස් වුනෙඹ නෑ.
    කුඹුරට තෙල් ගහපු තෙල්බෝතලේ හරි කාලෙ අරක්කු බෝතල් වලිං හරි හදපුව තමා මෙහෙ නං තිබ්බෙ. ඒ ගැන හොදටම කියන්ට පුලුවං මොකද පොඩි දාස් වල ගෙදර හිටියට වඩා මහ රෑටත් නඩලං ගගහ හිටිය හන්ද

    ReplyDelete
    Replies
    1. මේ පාරත් ජ්‍යෝතිෂ කේස් එකක්ද. ඇත්තටම අපිට මාස දෙකක් ඉස්කෝලේ නිවාඩු. අපි ලංකාවට නාවේ කෙල්ලට විභාගෙට බාදා වෙනවෙන නිසා. අනික අපේ පොඩි දෙන්නට එයා තමයි සෙල්ලමට හරි යන්නේ. දැන් නම් ඉතින් කොහොමටවත් එන්න ආසාවක් නැහැ. ඔය බලු පොරේ ඉවර වෙනකම්.
      ඒක තමයි අපේ රටේ කොච්චර හොඳ දෙයක් සොයා ගත්තත් මිනිස්සු අතරට යනවද කියල සැකයි. සාමාන්‍ය කුප්පි ලාම්පු හරිම භයානකයි.
      කොහොමද අර පෙට්‍රෝල් මැක්ස් ලාම්පුව. ඒක පත්තු කරන එක හෙන ප්‍රොජෙක්ට් එකක්නේ.

      Delete
    2. අපි ඉතිං පැට්‍රොමැක්ස් එක පාවිච්චි කලේ කමත් වැඩ වලට විතරයි. ඒව දෙකක් කමත දෙපැත්තෙ පොල් ගස් දෙක්කට දැති දෙකක් බැඳල ඒ වයි එල්ලනව. ආයෙ ඉතිං cfl 10ක් පත්තු කලත් එච්චර එළියක් ගන්ට බෑ.
      ඕකට හුළං ගහන එක හැර වෙන වැඩක් නං මටත් බෑ. අපේ තාත්ත තමා වැඩ්ඩ.
      අනික් මැන්ටලෙ.ඕක ගානට අමෙැටි රවුමෙ එල්ලුවෙ නැත්තං ඉක්මණට පිච්චෙන්ට බලනව. ඒක ඇත්තටහෛන ප්‍රොජෙක්ට් එකක් තමයි
      හිහි

      Delete
    3. අපේ ගෙදරත් තිබ්බේ නැහැ. ආච්චිලාගේ ගෙවල් වල තිබ්බ. කට්ටිය එක්කහු වෙන දවස්වලට පත්තු කළා.

      Delete
  2. /* එකල රුසියන් ශිෂ්‍යත්ව ක්‍රමයක් පැවතිනි. මාවත් ඇදගෙන රුසියානු කල්චරල් සෙන්ටර් එකට ගොසින් ඒ ගැන සොයන්නටද ඇය උත්සාහවන්ත වුවාය. */

    රුසියානු ශිෂ්‍යත්ව දුන්නේ එම්බසියෙන් හෝ කල්චරල් සෙන්ටර් එකෙන් නොවේ. ඒවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පුවත්පත් දැන්වීම් සහ ගැසට් නිවේදන මගින් ඇයදුම්පත් ඛැඳවා වෝඩ් පෙදෙසේ දී සම්මුඛ පරීක්‍ෂණ තියා ලබා දුන් ඒවා ය. මගේ පන්තියේ සහයෝ දෙන්නෙක් ද (1989 ට කලින්) ඒ ශිෂ්‍යත්ව ලැබ රැසියාවට ගියෝය.

    මගේ සීයා ගේ මිතුරෙකු ගේ මිණිපිරියක් ද එලෙස ගියාය. ඇය ගේ ඡායාරූපය සහිතව විස්තරයක් "ශිෂ්‍යත්වයක් ලැබ එතෙර යයි" යන මැයෙන් දිනමිණ පත්තරේ පල විය. ඒ විස්තරයේ ඇගේ උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැන විස්තර සඳහන් නොවුණි!

    ReplyDelete
    Replies
    1. හුඟක් ඔය ශිෂ්‍යත්ව ලැබුණේ දේශපාලන නෑදෑකම් වලට කියා දැන ගත්තෙත් පස්සේ. පසු කාලෙක හමු වුණා එහෙම ගිහින් ඉගෙන ගත්තු කිහිප දෙනෙක්ම. ඇත්තටම ඒ කාලේ රජයේ සේවකයන් වගේ අය ඇරෙන්න හුඟ දෙනෙක් අතරට තොරතුරු යන්නේ නැහැ. දශක දෙකක් ඇතුලත තරුණ කැරළි දෙකක් ඇති වීම පුදුමයක් නෙමේ.

      Delete
    2. //මගේ පන්තියේ සහයෝ දෙන්නෙක් ද (1989 ට කලින්) ඒ ශිෂ්‍යත්ව ලැබ රැසියාවට ගියෝය//

      හොඳ වෙලාවට රැසියාවට ගියේ. බැරිවෙලාවත් රුසියාවට ගියානම් කපෝතියි.

      Delete
  3. 88/89 කාලෙ මට මතකයි, කොච්චර කාලයක් ඉස්කොලෙ නොගිහින් ගෙදර හිටියද කියන්න මම පොඩි පන්තිවල හිටි නිසා තේරුමක් නෑ. ඒත් බහුතරයකගේ අධ්‍යාපනය කඩාකප්පල් උනා. අපේ ඉස්කෝලෙ ළමයි කීපදෙනෙක් මැරුණා කියල ආරංචි උනා.
    මේ ඔක්කොටම පිඩාවන්ට ලක් උනේ දුප්පත් අය. සල්ලි තිබ්බ අය රට ගියා, ඒකාලේ ඉතාම පහසුවෙන් වීසා දුන්නා කියල කොළඹ වී වී ඉදල ඉගෙනගන්න එංගලන්තේ ගිය අපේ මාම කෙනෙක් මට කිවුවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම තමයි වුණේ .

      Delete
  4. දේශපාලනේ තමයි ඉතින් හැම දේටම කෙලින්නේ!!

    ReplyDelete
  5. ලංකාවේ දේශපාලනයවිතරක් නෙවෙයි ගොඩක් දේවල් වල කිසිම ශිලාචාර කමක් නෑ නිතිය වල් වැදිලා ප්‍රතිපත්ති නෑ ..... උ/පෙ කරන උන්ට ජන්දේ නෑනේ එ නිසා උන්ට මොකක් වුනාම මොකද කියලා ඔය දේස පාලුවෙක් කිව්වෙ නැතුවා පුදුමයි ...
    මම නම් 89 ඉපදිලාවත් නෑ හැබැයි අපේ පොඩි කාලේත් ඔය වගේ ගෙදරටම තිබුණේ එක චිමිනි ලාම්මුවයි අනික් එවා ගෙදරම හදා ගත්ත එවා ,විබාග දවස් වලට පාඩම් කරලා නහය ඇතුලේ පහන් දැලි වෙනම පිහිදලා අයින් කරන්න ඕන .....කතා නම් ගොඩයි කියන්න එත්................

    ReplyDelete
    Replies
    1. අපරාදේ ඒ පහන් දැලි ටික ඉස්කෝලෙට අරන් ගොහින් බෝඩ් එක කළු කරන්න ගන්න තිබ්බ. :D

      Delete
  6. ජන්දේ නිසා විභාගේ දෙකට කැඩීම නම් මෝඩ තීරණයක් තමයි.අක්කාගේ,අක්කාගේ දුවගේ විතරක් නෙමේ අපි කාගේත් ජිවිත වලට "දේශපාලනයෙන්"බලපෑමක් වෙනවා.එක මග හැරලා යන්න බැරි අමාරු දෙයක්.අපි කැමති වුනත්,අකැමති වුනත් එක එහෙමමයි.

    චිමිනි ලාම්පු නම් දැකලා තියේ,කුප්පි ලාම්පු අපේ ගෙවල් වල පත්තු වුනේ කරන්ට් ගිය වෙලාවක විතරයි.

    ලංකාවේ මැතිවරණ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ කියන එක නම් සම්පුර්ණ ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අසාධාරණ නේන්නං. විභාග කොමසාරිස් ට තිබ්බේ නැද්ද විරුද්ධ වෙන්න. ඒ මනුස්සයටත් දරු පවුලක් නැතැයි ඉතින් ජිවත් කරවන්න. කවුද කැමති රස්සාව නැති කරගන්න.

      Delete
  7. ඔය සන්තෑසියම අපිටත් වුනා 1994 දී.. ඊට පස්සේ නව ජනාධිපතිනියක යටතේ රට සුඛිත මුදිත වුන නිසා ඒක අපිට එච්චර බලපෑවේ නෑ..

    ඔය මුග්ද හරක් ‍රැල හිතන් ඉන්නේ මේ ලංකාවේ තියන වැදගත්ම වැඩේ උන්ව පත් කර ගන්න එක කියලනෙ...

    ReplyDelete
    Replies
    1. 94 කිව්වම මතක් වුනේ. 93 මැයි පළවෙනිදා දවල් එකපාරටම රේඩියෝ එකේ අර අඬන කීන් සංගීතය වාදනය වෙන්න ගත්ත. අපේ අක්ක එක පාරටම කිව්වා .......මැරිලද දන්නේ නැහැ කියල. ඔන්න පොඩ්ඩකින් ඇත්තටම නිව්ස් එක ආවා.

      හා එහෙව් නායිකාවට අර ගොබිලා චෞර රැජින කිව්වා නේද

      Delete
    2. දැන් ආපහු විහාර මහා දෙවී වෙන්න ට්‍රයි එක

      Delete
  8. නොකා නොබී හරි ඡන්දේ දාන්න ඕන අප්පා

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් කෑම බීම වගෙය ..අරුන් ටික පත් කර ගන්න එක ..

      Delete
  9. මං කතාකරන්න අකමැතිම මාතෘකාවක් දේශපාලනය. ඒත් කොච්චර අකමැති වුනත්, අපේ ජීවිතවලට කරන බලපෑම සුළුප‍ටු නෑ.
    මට අක්කලා නැ. හිටියෙ අයියා. උන්දෑ කැප්ටන් ජැක් ස්පැරෝ වගේ පොරක්. නෑ, නෑ ලණුවල එල්ලිලා කඩු ෆයිට් කලේ නෑ, එයා කොල්ල කාරයක්. කොල්ල කෑවෙ මාව. උන්දැගෙ ඔක්කොම සැකන්ඩ් හෑන්ඩ් කලසං , කමිස තමා මට ලැබුණෙ. ඉස්සෙල්ලම රස්සාවකට ගිහින් ආසාවට කියල ගත්ත හැම දේම මංකොල්ලකාගෙන අරං ගියා, මට එයාගෙ පරණ එව්වා දීලා :)

    වෙනස්ම රටාවකට ලියපු ලිපියක්. බොහොම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සෝ ..කතා නොකරන්නේ වචනේ එහෙ මෙහෙ වෙද්දී නිකන්ම පිල් වලට වැටෙන නිසා. ඕන මංගල්ලයක්. හැබැයි ළමයින්ගේ අධ්‍යාපනය කන උන් නම් මට පේන්න බැහැ.
      අපේ අක්කත් ඔය ජාතියේ පයිරේට් වැඩ කළා. උන්දැට කලින් මම ජොබ් එකට ගියේ. මොකද එයා ට්‍රේනිං කොලේජ් ඉන්නකොට මට හම්බ වුණා අභ්‍යාසලාභී ගුරුකමක්.
      එයාට කලින් මම පෝසත් වුණා. ඉතින් මගේ ගවුම් සෙරෙප්පු හෙම අරන් යනවා ගෙදර ආවම.
      හැබැයි අදටත් මම යමක් ගනිද්දී අක්කව මතක් වෙනවා. සහෝදර කම් එහෙම තමයි. මට තව ඉන්නවා වසවර්ති අය්යෙක් සහ මල්ලියෙක්. දැන් නම් පුස් පැටවුන් සේ සිටින එදවස සිංහයින් මෙන් වූ.....උන් දෙන්න ගැන වෙනම ලියන්න ඕන.

      Delete
  10. හඳ මාමා කිව්වම ලැම්බට් පෙම්මාවඩු මාමා සහ සුමනා නෙල්ලම්පිටිය නැන්දා මතක් වෙන්නේ නැද්ද.

    ලාම්පුව ඔබාගෙන හිටියා ලයික් වැ‍ටුන්නෑ. ඇති චිමිණිය බිඳුන්නැතුවා.

    ගොර්බචොෆ් ලොක්කා සිහින බිඳ වැට්‍ටුවා කිව්වාම මට මතක් වෙන්නේ ඉස්සර රුසියානු ශිෂ්‍යත්ව දීපු ක්‍රමය. ඇත්තෙන්ම ඒක වුනේ කොහොමද? මම නම් දන්නා තරමින් ඒවා ලැබුනේ රතු පාටියකට යම් සබඳතාවයක් තිබුන අයගේ ළමයින්ට නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒ මාමයි නැන්දයි අමතක වෙන්නේ නැහැ නේද. මුණ නොපෙන්නා එතරම් ලයාන්විතව ළමයින් හමුවට එන්න ඒ දෙන්න සමත් වුණා.
      ඒ ශිෂ්‍යත්ව දුන්නේ කොහොමද කියලා අපිට ඒ දවස්වල අවබෝධයක් තිබ්බේ නැහැ . අපි පොඩි ළමයි. පස්සේ කාලෙක දැන ගත්තා එහෙම බව.

      Delete
  11. http://ice-n-fire.blogspot.sg/

    I saw a very strange thing on your blog role. My blog whose URL is http://dude-heydude.blogspot.com is shown as above.
    But when clicked it is redirected to my blog.
    I wonder how it happens.

    ReplyDelete
    Replies
    1. I wonder why. I'll check again

      Delete
  12. කුප්පි ලාම්පු පාවිච්චිය මතක නැති උනත් අපේ අත්තම්මලගේ ගෙදර පැට්‍රොල් ලාම්පුවනම් පත්තු කරා හැමදාම රෑට. ගොඩක් දවසට අපේ තාත්තා තමයි ඒක කරන්නේ. මම එතන බිම වාඩිවෙලා බලාගෙන ඉන්නවා. ඒක බලන් ඉන්න ආස හිතෙන වැඩක් ඇත්තටම. අන්තිමට එක පාරටම මහා දවල් වගේ එළියක් එනවා. දැන් උනත් මතක් කරද්දී හරිම සුන්දරයි. ඒ තමයි මට මතක් කර ගන්න පුළුවන් ඈතම කාලේ.

    ReplyDelete
    Replies
    1. සයුරිලා පොඩි ළමයි නේ. මතකද ලොකු ස්ට්‍රයික් එකක් ගොහින් ලයිට් නැතුව තිබ්බ දවස් ගානක්. අනු ගණන් වල. එතකොට නම් හුඟක් ගෙවල් වල පරණ ලාම්පු එලියට එන්න ඇති.

      Delete
  13. ‍ෙෆෙොන් එ‍ෙඑකෙන් කියුකියවන්න අමාරුයි
    .‍ෙමෙොමොබයිල් වර්ෂන් එක හදන්න

    ReplyDelete
  14. ඇත්තද ..ඒ හිතුවෙම නැහැ. ඒක කොහොමද කරන්නේ . මම බලන්නම්කෝ

    ReplyDelete
  15. බොලයි අක්කා ෂුවර් එකටම මම දැකලත් ඇති. 91-98 වගෙ වෙනකල් ඔය ඉරහඳ තියෙන ඉහකුළුවැව / කටුකැලියාව යුනිට් එකේ මම වැඩ කලේ.අක්කගෙන් අහපං පොරෝගම එහෙම දන්නවද කියල? ඉරහඳේ පී.ටී. කලේ එයා.දියබෙදුමෙ ඇනිකට් එක ගාවමයි එයාගෙ ගෙදර. පී.ටී. ට්‍රේනිං කෝස් එකේ අපේ උන්දැගෙ බැච් මේට්.

    ReplyDelete
    Replies
    1. කෝල් එකක් දෙන්න ඕන. මේ ටිකේ කෙල්ල ට විභාගේ ළඟ නිසා වැඩිය කතා කරන්නේ නැහැ. නොදන්නවා වෙන්නත් බැහැ තමයි . ස්මෝල් වර්ල්ඩ් නේද.

      Delete
  16. අපේ රට ඉතින් මෝඩ දේශපාලුවො පෙන්වන අතට යන එකක් මිස කිසි සැලැස්මකට යන එකක් නෙමෙයිනෙ..නැත්තං වේලාසන දින නියම කරපු විභාගයක් මැද්දට පස්සෙ එන ඡන්දයක් අත අරියිද....කවදා ගොඩඑයිද මන්දා මේ දේශපාලන මඩ ගොහොරුවෙන්.

    ඔයාගෙ අක්කව කියෙව්වම මට මතක් උනේ මැලේසියාවෙ මම දැන් ඉන්න ගෙදර අක්කා....එයාට වෙන කිසි දෙයක් ඕනෙ නෑ ගෙදර සුද්ද පවිත්‍ර කරන වැඩ ටික තියෙනවා නම්...ඇත්තමයි..දරුවට කන්න දෙන්නවත් එහෙම ආශාවක් නෑ...එලිවෙච්ච ගමන් ගේ පිරිසිදු කරනවා....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මල්ලි. කාට කියන්නද ඉතින්. අධ්‍යාපන ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා විභාග කොමසාරිස්ලා .....හ්ම්
      අපේ අක්කගේ පිරිසිඳු කම වගේම තමයි ඉවිල්ල. මාර රසට උයනවා. ඒ වගේම වෙලාවට කන්නත් දෙනවා . මම ගියහම ඉස්සර වගේම තමයි . කොළ මිටියක් අහුලන වගේ වැඩක් ඇරෙන්න වෙන වැඩක් දෙන්නේ නැහැ. තාම හිතා ඉන්නේ මට උයන්න බැහැ කියලා ..මටත් මොකෝ කාල බිලා එනවා !!

      Delete
  17. මටත් චිමිනියක් තිබුනා...දැන් මතක් උනේ..අපි උ/පෙ පාඩම් කරපු කාලෙ ජලාශ හිඳිලා ලයිට් කැපිල්ලක් තිබුනා...ඒ නිසා චිමිනියෙ රස්නය දරාගෙන දාඩිය පෙරාගෙන පාඩම් කරපු කාලයක් මටත් තිබුනා නේද කියලා මට දැන් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. චිමිනි ලාම්පුවයි අඟුරු ඉස්තිරික්කෙයි කියන්නේ දුකේදී පිහිට වන යාළුවො

      Delete
  18. හරිම ලස්සන කතාව. අපේ කොල්ලන්ට ගෙවල් සුද්ද පවිත්‍ර කරන්න පුලුවන් හරිද? හැබැයි කෙල්ලෙක් මොනවාහරිම උවමනාවකට ගෙදරට එන වෙලාවකට විතරයි. අක්කානම් මම වගේ. ගෙවල් සුද්ද කිරීම නම් මම කරන්නේ නැත. ඒවා කවුරුහරි කරයි. අනෙක් ගති ටිකක් නම් මට සමානයි. මට මේක මඟ හැරිලා. පියුම්විලට බැස්සම තමා දැක්කෙ ඔන්න. අපි නම් පාඩම් කලේ චිමිනි ලාම්පුවෙන්.

    ReplyDelete
    Replies
    1. හා හා ඒක හොඳයි . මගේ මෙහෙ යාලුවෙක් ඉන්නවා . වයසයි . එයාගේ පුතයි ලේලියි එක්ක ඉන්නේ. සති අන්තෙට පුතා තමයිලු ගෙදර පිරිසිඳු කරන්නේ. ඔන්න හස්බන්ඩ්ල් ලා . මෙහෙ හැම කොල්ලම හමුදා පුහුණුව ලබන නිසාද මන්දා හුඟක් ගෙවල් වල අතුගානවා හෙම පේන්නේ පිරිමි අය . ඉරිදා සෙනසුරාදට මට පේනවා අනික් බැල්කනි වල රෙදි වනන වැකියුම් කරන මහත්තුරු. ඕවා ඉතින් පේන්නේ මට විතරනේ :D

      Delete
  19. චමිලගෙ ප්‍රශ්නවලටම මට මූණ දෙන්න සිද්ද වුණු අතර, චමිලගෙ අක්කගෙ ප්‍රශ්නවලට අපේ පවුලෙන් මූණ දෙන්න වුණේ අපේ අය්යට. ඉස්කෝලෙ හුඟක් බාහිර කටයුතුවල නියැළුණු හින්දා, ඉස්කෝලෙ පන්තියෙවත්, බාහිර පන්තියකවත් එක දිගට ඉන්න ලැබුණෙ නෑ. ඒ හින්දා පළවෙනිවර උසස්පෙළින් සරසවි යන්න ලකුණු ලැබුණෙ නෑ. දැන් වගෙ වෙනත් නොයෙකුත් අධ්‍යාපන ආයතන ඒ කාලෙ තිබ්බෙත් නෑ; තිබුණනම් එක්කො අපි දැනගෙන හිටියෙ නැහැ; ඒත් නැත්නම් ඒවට යවන්න වත්කමක් තිබ්බෙ නෑ. රුසියන් ශිෂ්‍යත්ව ගැන අහල තිබ්බෙ, දේශපාලන පක්ෂවලට ඇති හිතවත්කම් අනුව ඒ පවුල්වල අයට ලැබෙන දෙයක් කියල. එහෙම නැතුව ඒවා ගැන හොයන්න යන්න තැනක් දැනං හිටියෙත් නෑ.
    එහෙම බැලුවහම, කරන්න තිබුණෙ ආයෙත් ඒ ලෙවල් කරන එක.
    ඒ වුණාට ඒ කාලෙ තිබුණු තත්වෙත් එක්ක, ඒ වයසෙ පිරිමි ළමයෙක් ගෙදර තනියම දාලා යන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. අපේ ගෙවල් කිට්ටුවත් නිතරම මිණී තිබුණා; වෙඩි තියා ගන්න සද්ද ඇහුණා; ඉස්කෝලෙ යන්න පාරට බැහැලා බලනකොට එක්කො ආණ්ඩුවෙන් ඇඳිරි නීතිය; නැත්තං ජේවීපී ඇඳිරි නීතිය; සමහර දවස්වලට අපේ වත්ත හරහා සොල්දාදුවො යනවා එහෙමෙහෙන් මතු වෙලා. මූණු වහගත්තු මිනිස්සු ඇවිත් අහවල් තැන රැස්වීමට ගෙවල්වල ඉන්න වැඩිහිටියො සේරම ආ යුතුයි කියනව; පේන්ට් බාල්දි, අයිඩෙන්ටිටි කාඩ් ඉල්ලනව. දන්න කියන පවුල්වල ළමයින්වත් අල්ලගෙන ගිහින් තිබුණා.
    පාඩම් කරන්න කියල ගෙදර නවත්තගන්න බැරි හින්දා අය්යව රස්සාවකට යැව්වා. කොතලාවල ඇකඩමි එකට දාමුද කියන මාතෘකාවත් කතා කරනව මට මතකයි. එහෙම වුණොත් හමුදාවට යන්න වෙයිනෙ කියලා ඒකට විරුද්ධ වුණේ මම. ඒ දවස්වල ළමයා හමුදාවෙනම් දෙමව්පියොන්ව මරන කාලෙ.
    රස්සාවට ගිහින් රෑ වෙනකම් වැඩ කරලා ගෙදර ඇවිත් අය්යට පාඩම් කරන්න ලේසි වුණේ නෑ.එළියට පේන්න ලයිට් දාන්නත් බෑ සමහර දවස්වලට. ඇතුළෙ කාමරේක චිමිණි ලාම්පුවක එළියෙන් පාඩම් කරන්න ගිහින් ඉන්න අය්යා නිදි කිරා වැටෙනවා. (ඔබත් පාඩම් කරද්දි නිදි කිරා වැටෙනවනම් ලයික් කරන්න.)
    ඒ පරම්පරාවෙ අනාගතය එලෙස තීරණය විය. හොඳ වෙලාවට අපේ අය්යා පිටරටක ඉන්න නිසා, ළමයින්ට ඔය විදිහට දේශපාලනේ හරස් වෙන්නෙ නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ හුඟක් ළමයින්ගේ කතාව. අපි හැමදාම බයෙන් ඉන්න ජාතියක්. අනාරක්ෂිත හැඟීම හැම කාලෙම විවිධ ස්වරූප වලින් අපිට දැනෙනවා.

      Delete
  20. හපොයි චිමිනි නම් කීයක්‌ බිදින්න ඇතිද හවහට හෝදන්න ගියාම ...මේ කාලකන්නි දේශපාලනේ ගැන කතා කරලා වැඩක් නැ .88/89 අපි පොඩි එවුන් උනත් පුදුම කට්ටක් කෑවේ .මතක් වෙනකොටත් ඇඟ හිරිවටෙනවා ..

    කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
    කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
    අලුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
    අයියණ්ඩිගෙ සිතට සතුට වැඩිවේ හරියට

    රෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නට
    ඉතින් ඉඩක් නැහ අම්මගෙ දෙපසින් ඉන්නට
    අඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නට
    පිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිට

    ඉස්සර විදියට මගෙ අයියට සලකන්නට
    නැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නට
    දොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනන්ඩිට
    වෙනස් කමක් කරන්න එපා කවදාවත් මට

    ගායනය - නිරංජලා සරෝජිනී

    ReplyDelete
  21. නියම කතාව... පරක්කු වෙලා හරි කියෙව්වානේ.

    ReplyDelete