Sunday, 30 August 2015

DISPOSABAL පෙරේත තටු

අපි පොඩි කාලේ නිතරම වාගේ තොවිල් බෙර හඬ අසන්නට ලැබුණ. එතකොට ඉතින් ගේ ඇතුලේ එහෙ මෙහෙ යන්නෙත් පස්ස බල බල.ගොම්මන් වැටෙන වෙලාවට මය්යොක්ක තම්බන ගඳක් හෙම ආවොත් ඒ පෙරේත ගඳ කියලයි අපිට ඇහිලා තිබුනේ. අපේ ගෙදරට යන්න ක්‍රම දෙකක් තිබුණ. එක බස් නැවතුමකින් පටන් ගන්න පාර රවුමට ගිහින් අනික් බස් නැවතුමෙන් ආයිමත් මහ පාරට එකතු වෙනවා. අතරමගදී ගම ඇතුලට අතු පාරවල් බෙදෙනවා. දෙවෙනි නැවතුමෙන් ටිකක් ළඟ වුනත් ඒ පාර ටිකක් පාළුයි . ඒ නම් මදැයි අතරමග මහා විසාල ගොරක ගහක්.
හොඳට අතුපතර විහිදලා අඳුරු සෙවනැලි මවමින් මහා විසාල යෝධයෙක් වගේ. "ගොරක යකා" ට බයේ කළුවර වැටුනම නම් ඔය පැත්තෙන් ආවේම නැහැ. දවසක් උදේක ඔය ගහේ  තිබ්බ කපුටු කූඩුවක කපුටෙක් මගේ ඔළුවට කෙටුව. මේකට ගොරක යකා සම්බන්ධද කියල හිතුනේ නැත්තේ උදේට ඔය යක්කු පාරේ හිටියත් පේන්නේ නැති ගානට දුවන්න වෙලා තිබුන නිසා. දැන් නම් කල්පනා කරද්දී හිතෙනවා මොකට එච්චර දුර ඉස්කෝලෙකට ගියාද කියල.

අපේ මල්ලි පොඩි කාලේ බත් කැවුවේ දත් දිග ගොය්ය එනවා කියල බය ගන්නල. උගේ දත් ආනමාලු ඇවරියක් වගේ බවත් බත් නොකන ළමයින් අල්ලා මල්ලක දමාගෙන  බවත් උන්ද විස්වාස කළා.

සාත්තර කියන කපු මහතුන් හිටි දේවාල වල වාර්ෂිකව විශාල තොවිල් මඩු  නැටුව. ඊට අමතරව ගෙවල් වල කුඩා පරිමාන තොවිල් ,දෙහි කැපීම් ,මැතිරීම් නිතර අහන්න ලැබුන. දෙවට අයින් වල පෙරේත තටු නිතරම දකින්න තිබුණ.
ඔයාකාරයෙන් කුඩා කාලයේ යක්කු පෙරේතයෝ කුම්භාණ්ඩයෝ ගැන කතා ගම් පලාත්වල අරුමයක් වුනේ නැහැ.
නමුත් අපි නව යොවුන් වියට එන්නත් කලින් මේ සාමාන්‍ය යක්කුන්ට පෙරේතයන්ට තිබ්බ තැන නිකන්ම අහෝසි වුනේ ඊට වැඩි යක්ෂ භූත දෝෂ එලි බහින්න වුන නිසා. එයිට අමතරව කොවුර්ගේ පොත් කියවල හෙම මම හෙන වීරයෙක් වෙලා හිටියේ.

අමතක වෙලා හිටිය පරණ හිත මිත්‍ර යක්කුයි පෙරේතයෝයි ආයේ මතක් වුනේ සිංගප්පුරුවේදී.

දැන් සති කීපෙක ඉඳන් පාර අයින් වල පෙරේත තටු. HUNGRY GHOST  ලට කෑම බිම විතරක් නෙවේ,තැන් තැන වල යකඩ බැරල් වලින් හදපු තාවකාලික උඳුන් වල කඩදාසි පුච්චනවා. මලගිය පරානකාරයින් ආසා කල දේවල් අනුව මේ කඩදාසි පුච්චන බවයි කියවෙන්නේ. නිවාස සංකීර්ණ වල වෙනම ස්ථානයක මේ උඳුන් සපයා තිබෙනවා.
හඳුන්කුරු දැල්වීමත් කෙරෙනවා.
. කාර්ය බහුල සිංගප්පුරු වැසියාගේ මේ පෙරේත තටුත් " ටේක් අවේ " වර්ගයේ ඒවා.

මේ බඩගිනි පෙරේතයන්ට කෑම දීම බුදු දහමින් විකාශනය වූවක් වගයි කියවෙන්නේ. චීනය අවට රටවල සිදු වෙනවාලු . වියට්නාමයේදී මෙය මගේ ඇසට හසු නොවීම පුදුමයක්.

පෙරේත තටු දැමීම අපේ සංස්කෘතියේ දී තරමක් හොර රහසේ කෙරුණත් සිංගප්පුරුවේ මෙය කෙරෙන්නේ ප්‍රසිද්ධියේ.
එයට හේතුව අරමුණ වෙනස් වීමද? අපේ ගම් වල පෙරේත තටු තරහ කාරයින්ගේ ගෙවල් ළඟ දමා යන පුරුද්දක් තිබු බව මතකයි. යන යකා අරුන්ට වින කර යනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

මෙහිදී මෙහි අරමුණ තමන්ගේ මලගිය ඇත්තන්ට පෙරේත ආත්ම වලින් මිදීමට උදව් කිරීම නිසා එළිපිට කෙරෙනවා වන්නට ඇත.
කියවන්නට ආසා කෙනෙකුට මෙන්න සබැඳිය.

උන්නු හැටියට මලා මදැයි කියා අදට ඔය ඇතිය. බ්ලොග් එක නමැති ආතුරයාට තොවිලයක් නටා ඇප නුලක් බඳින්නට ඕනෑය.

21 comments:

  1. https://en.m.wikipedia.org/wiki/Ghost_Festival

    ReplyDelete
  2. දැනුත් පෙරේත තටු බලි තොවිල් තියනව හැබැයි ගම් බදට වඩා මේ කොලඹ රටේ , හැම හන්දියක් හන්දියක් ගානෙම පෙරේත තටු ,

    හැබැයි දැං ඉන්න පොඩි එවුන්ව නං බය කරල බත් කවන්ඩ බැ , උන් ඉල්ලනව යකාව බාබකිව් දාල

    ReplyDelete
    Replies
    1. ගමේ උන් කොළඹ ඇවිත් ඇති. අපි නම් දැන් රවට්ටලා බත් කවපු කාලේ පහු වුනා. අටම්ගේ දෙන්නත් ලොකුයිනේ දැන්

      Delete
  3. බින්දී මේ දවස්වල පදිංචිය සිංගප්පූරුවෙ වගෙයි.

    ReplyDelete
    Replies
    1. දැන් අවුරුද්දකුත් වෙනවනේ

      Delete
  4. .....//මේ බඩගිනි පෙරේතයන්ට කෑම දීම බුදු දහමින් විකාශනය වූවක් වගයි කියවෙන්නේ//....ප්‍රේත තටු තැබීම මුල් බුදු සමයට අදාල දෙයක් නෙවෙයි.ලංකාවෙ 1505 න් පසු යටත් විජිත යුගයේදි යුරෝපීය පාලනයත් එක්ක බොහෝ පිරිසක් කතෝලික දහම වැළදගත්තා.ඒත් එක්කම භික්ෂූන් වහන්සේලාට දානය පවා නොලැබෙන දුෂ්කර අවස්ථා උදා වුනා.විහාරස්ථාන පාලුවට ගිය බව සදහන් වෙනවා.පන්සල හැර යන බෞද්ධ පිරිස නැවත ගෙන්වා ගැනමට භික්ෂුන් වහන්සේලා නොයෙක් උපක්‍රම භාවිතා කලා.ඒ අතරින් එකක් තමයි මිය පරලොව ගිය අය නිවසේ ඉන්න බවට ඇගෙවිවා. නිවසේ ඉන්න මියගිය ඥාතින් ඉවත්ව යන්නනමි ඒ අය ජීවත්ව ඉන්න කාලේදි කැමති ආහාර ගොටුවක් තුන්මන් හන්දියක මැරණ අය වෙනුවෙන් තියන්න උපදෙස් දුන්නා.ඒ ආහාර ගොටුව අර භික්ෂුන් වහන්සේලාම කාටවත් නොපෙනෙන්න අතින් අනලා දානව.පහුවදා නිවසේ අය එතනට ගියාම හිතුවා මැරැණ අය තමන් එයාලට තියපු දේවල් ආහාරයට අරගෙන කියලා.ඉන් පස්සේ පන්සලේ හාමුදුරැවෝ නිවසේ අයට කියලා.ඔය එක්කම තමයි.පිං වාක්‍ය එහෙම නිර්මාණය වුනෙත්.මෙ විස්තර ටිකක් දීර්ඝයි.කොහොම උනත් අද පවතින සමහර දේවල් මුල් බුදු සමයේ කොතනකවත් සදහන් වෙන්නේ නැ.සමහර දේවල් දුවිඩ වගේම හින්දු සංකල්ප එක්ක මිශ්‍ර ව්න දේවල්.අපි අද ඒවා බුදු දහම ලෙසින් වරදවා වටහගෙන සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒ ගැන නම් දැනන් හිටියේ නැහැ. ඔව් හුඟක් දේවල් පස්සේ එකතු වෙන්න ඇති තමයි. මේ රටවල හුඟක් තියෙන්නේ මහායාන ආභාෂය. වියට්නාමේදී දැක්ක දෙයක් තමයි ඒ අය බුදු හාමුදුරුවන්ටත් යම් දේවත්වයක් ආරූඩ කර ඇති බව. කාලයත් එක්ක සංස්කෘතික වෙනස්කම් එක්කහු වෙලා යම් යම් වෙනස්කම් දකින්නදකින්න පුළුවන්.
      විකිපීඩියාවේ මේ ගැන තියෙන්නේ මුගලන් හිමියන්ට සම්බන්ධ කතාවක්. ඒ ලින්ක් එක කමෙන්ට් එකක් විදිහට දැම්ම.

      Delete
  5. අපෝ මම නම් ඔය සිංගප්පූරුවේ පැත්ත පළාතේ එන්නේ නෑ. එහෙන් රජ නයි ලු. අම්මෝ ඒක දැක්ක දවසේ ඉඳන් තාම රෑට රෑට හීනෙන් king cobra පේනවා. ඒ මදිවට ඒ ගැන වැඩි විස්තර හොයපු හින්දා දැන් web page වලින් suggest කරන්නෙත් නයි ලු.

    දැන් පෙරේත තැටි ලු. අනේ මන්දා. ම්ම හිතන්නේ මේ හැම දෙයක්ම culture එකත් එක්ක බැඳුනු දේවල් වෙන්නැති ඒ ඒ රට වල්වල. ලංන්කාවෙ නම් දැන් ඕවා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හපොයි දෙය්යනේ. ඔය ඉතින් පොඩි කාලේ අපි සර්පයින්ට බය හින්දා වෙන දේවල්. අපේ පොඩ්ඩි ඔය වීඩියෝ එක දැකල කිව්වේ ඒ යාළුවො දෙන්නෙක්ලු. සර්පයින් කියන්නේ ලස්සන සත්තු ජාතියක්ලු.
      හා හා පෙරේත තටු තියල ඉවරයි අදින්. අගෝස්තු මාසේ මග ඇරලා එන්න.

      Delete
  6. ලංකාවේ පෙරේත ත‍ටු දාන්නේ තරහ කාරයින්ගේ ගෙවල් ලඟ නෙවෙයි. තුම්මංහන්දි වල නේද?

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ කොඩි වින වෙන්න ඇති. මට පැටලිලා.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. 'ගොරක යකා' හී හී...දැන් කාලේ ලමයි නම් ඔය ගස්වලට නැගලා යකාව හොයලත් බලයි.

    තායිලන්තේ, චීනේ මලගිය අයට වඳිනවා දැකලා තියනවද? ඒවාට පාර අයින්වල චූටි (දේවාල ? ) වගේ ඒවා හදලා තියෙනවා. සල්ලි තියෙන , ප්‍රසිද්ධ අයගේ ඒවා ලොකුයි.

    ReplyDelete
    Replies
    1. යකෙක්ට වත් ඉන්න ගොරක ගහක් තියෙනවා නම් හොඳයි. ගොරකා දළු කාල තියෙනවද. ඇඹුල් රසයි.

      වියට්නාමේ පන්සල් වල එහෙම තැන් හදලම තියෙනව. මුලදී අපි දන්නේ නැතුව මලුත් තියන්න ගියා. අනික ඒගොල්ල අළු මුට්ටි වල දාල ගෙවල් ඇතුලේ අල්තාර හදල වඳිනවා. මළවුන් ගෙන් පිහිට පතන එක මේ කලාපයේ සුලබයි.

      මාත් කාලෙකින් මේ පැත්තේ ආවේ. කියෙව්වේත් නැහැ කාලෙකින්.

      Delete
    2. ඇයි ඉදිච්චි ගොරකා මද බින්දී අක්කා කලා නැතිද?හරියට නිකං මැන්ගුස් ගෙඩිය වගේ.රතු පාට මදේ කොයි තරම් රසද?

      Delete
  9. කුරුඳු වත්තෙ නෝන කෙනෙක්
    හිටපු ගමන් ලෙඩ වෙලා
    ලෝකෙ තියෙන බෙහෙත් ජාති සේරම බීල
    කොහෙන් බෙහෙත් ගෙන ආවත් ලෙඩේ හොඳ නැතේ තාමත්
    එන්න එන්න නෝනට දැන් ලෙඩේ තද වෙලා

    අබුද්දස්ස කාලෙ වෙච්ච දෙයක් අසාපන්....
    කොම්පියුටර් තොවිල් පොලක් මෙන්න බලාපන්..

    ReplyDelete
  10. ඉස්සර අපේ සියා නිදා ගන්න කොට "යකඩ"කැල්ලක් ලගින් තියා ගත්තා නින්දට යක්කුන්ගෙන් බාධා නොවෙන්න.අපේ පැති වලත් ඉඳහිට ප්‍රේත තටු දකින්න තියෙනවා ඩුඩයියා කිව්වා වගේ "තුන්මං හන්දි" වල.

    ReplyDelete
  11. පෙරේතයින් වැඩිවෙන විට පෙරේත ගොටුත් අනුලෝමව වැඩි විය යුතුයි!

    ReplyDelete
  12. ලංකාවට දැන් තමා පෙරේත තටු වැඩිපුරම ඕන වෙලා තියෙන්නෙ.මිනිස් කියල හඳුන්වන්න බැරි පෙරේතයන්ගෙන් හැම තැනම පිරිලා

    ReplyDelete
  13. හැලපේගේ ගෙවල් පැත්තේ ඉඳලා ආවෙ. හොඳ බ්ලොගයක්.

    ReplyDelete
  14. මේ කියන සිංගප්පූරු තටු පෙරේතයන්ට වෙන්න බෑ. නිකං මළගිය අයට දෙන දානයක් වගෙ නේද? මෙහෙ පෙරේතයො කිව්වහම අපිරිසිදු දුක්ඛිත ජාතියක්නෙ.
    වියට්නාම් කතා විතර සිංගප්පූරු කතා ලියල නෑනෙ මෙයා. :D ලියන්නකෝ.

    ReplyDelete