Saturday, 23 April 2016

තනිකඩ කොහා




ගෙදර
යන්නට බැරි වුන
අවුරුදු දවස් වල
සිතින් ගමරට ගොස් ආමි
ගෙදර ගිය නොගිය කාටත්
පමා වූ අවුරුදු පැතුම්
පිරි නමමි

...මෙදා සැරේ අවුරුද්ද නිකන්ම ගෙවිල ගියා.සිරිත් විරිත් කියල කලේ 14 උදේ කිරිබත් හදල හැමදාම උත්සාහ කරල මේ පාර යන්තම් හරිගිය,නවින පන්නේ ඉතා කොට කොණ්ඩ සහිත කොණ්ඩ කැවුම් වගේ ජාතියේ කීපයක් සහ දවසක්ම ලිප ළඟ ඉඳගෙන හදපු උඳු වළලු තියල කාපු එක විතරයි.ළමයින්ට ඉස්කෝලේ නේ.
උඳු වළලු පෙට්ටිය නම් අපේ දෙන්නයි මමයි හවස ආපු පොඩි ගේ යාළුවෙකුයි එක්කහු වෙලා එදාම ඉවර කළා.
කොණ්ඩ කැවුම් හදන්න බැරි මගේ වරදක් නිසා නෙමේ ඔන්න. අපි රත්නපුරේනේ. එහෙ අය හදන්නේ හැඳි කැවුම්:D
හැබයි මේ පාර මට සාස්තරේ අහු වුනා යන්තමට. මට කොණ්ඩය හරියට නාවේ  පැකට් කල හාල් පිටි පිපෙනවා අඩු නිසා. එව්වා ඇති අද ඉවුම් පිහුම් ගැන කියන්න කම්මැලියි.

එකාතකට අවුරුද්දට උවමනා මුලික කාරණා මෙහෙ නැතුව නොවේ. කොහෙක් ඉන්නවා අවුරුද්ද පුරාම කෑ ගහන. අප්‍රේල් කියල නැහැ.

කොහෝ මොකද නිතරම නුඹ අඬන්නේ
නැතුවද කෙවිලියට නුඹ දුක ඇහෙන්නේ


මට හිතෙන්නේ මෙහෙ මනුස්ස පරාන කසාද බඳින්න ළමයි හදන්න හොරයි වගේ කොහාටත් කෙවිලියක් සොයා ගන්න අමාරු ඇති. කොටින්ම ළමයි හැදීමේ මුලික කාරණා හිටං කෝච්චි වල දැන්වීම් තියෙනව. ඒ තරමට ළමයි අඩුයි. ඒකත් අද කතා නොකර ඉමු. වෙන දවසක බැරිය.

අවුරුදු කිව්වම ඊළඟට ඕන එරබදු. කිව්වම මොකද ලංකාවේදී මම එරබදු වැඩිය දැකල නැහැ. හැබැයි මෙහෙ පාර අයින් වල ඕන තරම්. අපේ ගේ ගාවත් ගස් කීපයක් තියෙනව.ඒවා එරබදු පවුලේ වෙනස් ගස් කියල හිතා හිටියට ලඟදි සැක හැර දැන ගත්ත. ජපානයේ okinawa ගැන තිබ්බ ලිපියක එරබදු වගේ ගහක් ගැන තිබ්බ මේ කාලයේ මල් පිපෙන. පුරුදු ගහක් කොලක් දැක්කම පොඩ්ඩක් හොයල බලන එක මගේ පුරුද්ද. ඇත්තටම ඒ එරබදු තමයි. මෙහෙත් තියෙන්නේ එයමයි .
ඉතින් ඕන තරම් එරබදු මලුත් තිබ්බ.

හැබැයි ඔය මොනවා වුනත් හිතේ සංකාවක් තිබුන. ඇත්තම කියන්න අවුරුදු කියන්නේ ද්‍රව්‍යමය දේවල් අවශ්‍ය වුනත් ඒවාම නෙවේ.

අවුරුද්ද තියෙන්නේ අපේම මිනිස්සු එකතු වෙන තැන. පොඩි කාලේ නම් අවුරුද්ද කියන්නේ කහවත්ත. එහෙ නොගිය අවුරුද්ද අවුරුද්දක් නෙමේ. ඒ ගැන පෝස්ට් තුනක්ම ලිවානේ. අවුරුදු දා මම ඒ තුනම කියෙව්වා ආයෙත්.
පසු කාලෙක අවුරුද්ද කියන්නේ අප්‍රේල් වැටුප කලින් ලැබෙනකම් බලන් ඉන්න එක.බොරැල්ලේ කඩවල හිර වේවි ඇඳුම් තෝරන එක.  ඒ කාලේ හරිම අකමැත්තෙන් කරපු දෙයක් වුනත් අද හිතෙන්නේ එහෙමයි. නුගේගොඩ ට්‍රැෆික් එකට  බැන බැන බස් එකේ දාඩිය පෙරාගෙන වරුවක් ඉන්න එක.
මහරගම පමුණුවේ මහා ජන ගඟ අස්සේ බස් එකකට නගින්න වද වෙන එක.
පිට පළාත් වල අයට ගෙදර යන්න දීලා අවුරුදු දවස් වල වැඩ කරන එක. ( නයිට් ඩියුටිය නම් කතෝලික බර්නාඩ් මහත්තය සහ ඉස්ලාම් ඩින් සහෝදරයා අනිවාර්යයෙන්ම  බාර ගන්නවා)

ඒ කාලයේ ඒවා හරි කරදර කියල හිතුන.පිස්සු විකාර කියල හිතුන. ඒ වුනාට අවුරුදු දවසේ මං තනියෙන් ගෙදර ඉන්නකොට,,,,,වායු සමනය කල සැප පහසු පාරේ බස් එකක කඩේ යනකොට ඇත්තටම මහා පාළුවක් දැනුන. වෙන කවරදාටත් වඩා මේ පාර ඒක දැනුන.
එරබදු මලක් වෙනුවට තවත් මම ආසම මලක් වෙච්ච පීච් මල් ටිකක් ඇන්දේ ඒ පාළුව නිසා.


22 comments:

  1. මේ පාර නම් මම අවුරුද්දට ගෙදර... ඇත්තම කිවුවොත් ගෙදර හැමෝම ගෙදර. ගෙදරින් ඈත් වෙලා ජීවත් වෙද්දි තමයි මේ වගේ දේවල් වල වටිනාකම ඉහටත් උඩින් දැනෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි පරණ සිරිත් විරිත් අද ඒ තරම්ම ප්‍රායෝගික නොවුනත් අවුරුදු කියන්නේ අඩු ගානේ ගෙදර අය එක්කහු වෙන එක. අපේ රැඩිකල් තරුණ කාලේ ඕවා බොරු විකාර කියල හිතුනට නරකෙස් එක දෙක මතුවෙද්දී තමයි ආයේ අගේ තේරෙන්නේ. මේ මන් කිවේ ඔයාට නෙමේ අපි වගේ අයට

      Delete
  2. ගාලු පාරේ දෙහිවලින් බැස
    ගාලු මුවදොර වෙතට ගෑටුව
    දෙපා කකියන බවක් නොදැනුන
    බව කියයි ඈ මා ලඟින් හිඳ

    එදා කරදර මෙදා යසිසුරු
    සමග මාරුව ගියද සකි සඳ
    එදා හද තුල මැවුණු සනහස
    මියෙන තුරු නොමැකියේ....

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් .....

      Delete
  3. මෙදා පාර අවුරුද්දට මම පුදුම වුනා.. ඒ අපෙ උන්දෑ කොන්ඩ කැවුම් උයන සාස්තරේ හරි අපූරුවට අල්ලගෙන.. කොහෙන් අල්ල ගත්තද මංදා... හරි අපූරුවට තිබුනා...

    අවුරුද්දට, නත්තලට මමත් ඔ‍ෆිස් එකේ ඉඳලා තියනවා....මහ පාලුවක් අප්පා එතකොට දැන්නෙනේ.......

    ලබන අවුරුද්දවත් සමරමු බින්දි.. දැන් ඉඳලම හිතට ගමු....

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඕක තරමක මැජික් එකක් වගේ. කොණ්ඩ කැවුම් හදන්න අත ගහන්න බයයි. මටත් අන්තිම කැවුම් තුන හතර වෙනකොට යාන්තමට කොණ්ඩya ආව. එතකොට පෙරහැර ගිහින් මිශ්‍රණය ඉවරයි.
      බලමුකෝ සෙන්න ඊළඟ අවුරුද්දේ කොහේ ඉඳියිද මොන වෙනස්කම් වෙලා තියෙයිද දන්නේ නැහැ.තරමක සංක්‍රාන්ති සමයක් ගෙවෙන්නේ

      Delete
    2. විලිලැජ්ජාවෙ බෑ අපේ ගෙදරත් හදල...කොන්ඩ කැවුම් යැයි කියන ඒව..? හපොයි..කන්න ගත්ත මහන්සියක්...තාම දත්ටික හොඳට තියෙන නිසා යන්තම් හපාගත්ත..සීනි වැඩි උනාය කියන්නෙ...හ්ම්..!

      Delete
    3. ඉස්සර අවුරුදු සැමරුවෙ මුලු ගමම..ඒත් දැන් ගෙදර සාමාජිකයින්ට සීමා වෙලා..අහල පහල නෑදෑ ගෙවල් වල නනාප්‍රකාර කෑම..කැවුම් විවිද රස.
      දැන් පොඩි උන්ට කේක් විතරයිද මන්ද..ඒකත් ඇලජික් වෙනව රසකාරක නිසා..!
      පොඩිකාලෙ උදේ ගෙදරින් ගියාම ආපහු එන්නෙ මහ රෑ කැට පිටි වල තනි ‍රැකල..!

      Delete
    4. වීයෝ ඔය කැවිලි හැදිල්ල ට්‍රයල් ඇන්ඩ් එරර් තමයි.මොනවා වුනත් හරි රසයි කියල කන්න. මේ රස්නේ කාලේ ලිප ළඟ වරුවක් ඉඳල උත්සාහ කිරීම මදැයි.
      කඩෙන් ගේන කේක් හෙම නම් කල් තියා ගන්න දාහක් ජාති දානව ඇති.අඩංගු දේවල් ලිස්ට් එක කියෙව්වම කලන්තේ දානව. කේක් ගෙඩියක් නම් ගෙදර හදා ගන්න එක තමයි හොඳ.

      Delete
    5. වීයා,

      මං දන්න විධිහට කැවුම් වලට සීනි දාන්නෑනෙ බන්.. පැණි වලින්නේ හදන්නෙ !

      Delete
    6. අනේ බං ඕක කියන්නත් දෙයක්ය..සීනි ලිපේ තියල වතුර සමග පත අට සිඳවා පැණි සාදාගනු ලැබේ..වඩා හොඳ වන්නේ කිතුල් පැණි තිබේ නම් යැයි කියනු ලැබේ..කොහෙන් හොයන්නෙයි කිතුල් පැණි..?

      Delete
    7. සීනි වලින් කැවුම් හදනව.පැණි කැවුම් සහ සීනි කැවුම් වල රසයේ වෙනසක් තියෙනව. කොණ්ඩ කැවුම් වලට සීනි පත් පැණි වෙනකම් උණු කරන්නේ නැහැ.යන්තම් දිය වනකම් විතරයි. ඇත්තටම කොණ්ඩ කැවුම් වලදී මිශ්‍රණය පිපෙන්න තියනවනේ.මේ දෙන්න හොඳට කැවුම් හදන්න දන්නා වග පේනවා

      Delete
  4. මෙදා පාර අවුරුද්ද අපේ අම්මටයි තාත්තටයි තදට වැදිල... හි හි... අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. අපිට කඩේ දාපු අවුරුද්දෙ ඉඳල අවුරුදු නෑ... මොකද අපි ඒ ටිකේ දිගටම වැඩ.. ඒත් මෙදා මල්ලිත් අලුත් ගෙදර.. මාත් නැති මල්ලිත් නැති දවසක, අලුත් අවුරුද්ද රෑ වෙලාවක උදා උනා... අපිට පොඩි නිදහසක් ලැබුනා.. ඒත් අම්මටයි තාත්තටයි පාළුව වැඩියෙන් දැනිල.... දෙන්නම 14 වෙනිද ටිකක් අප්සට් එකේ හිටියෙ.. අනිත් පැත්තෙන් නැන්දම්මයි මාමණ්ඩියි බලන්න උදේ පාන්දර යනකොට ඒ දෙන්න අපිට කිරිබත් හදනව... අවුරුද්දට එහෙම හරි ඒ දෙන්න බලන්න එන්න නිදහසක් තියෙන්නෙ අපි දෙන්නට විතරයි... අම්මල පවු කියල හිතෙන්නෙ ඔන්න ඔය වෙලාවට...

    ReplyDelete
    Replies
    1. අම්මල නම් පව් තමයි.අපේ අම්මත් අනික් තුන්දෙනාම දැක්කත් නැති එකා ගැන හිතල හුල්ලනවා .

      Delete
  5. බින්දි...............

    ජපානයේ ඉන්නවා කිව්වාමයි රත්නපුරේ ගැන කිව්වාමයි මේ දවස් වල අපි කියාගෙන යන කතා එක්ක ගොඩක් ගැලපෙනවා. ඒ වගේ ම ඔබ අර මුලින් ම කුරුටු ගාලා තියෙන කවිය දැක්කාම ඒ සිද්ධිය හොදට ම වැඩිවුණා. ඒක තමා අපි මේ දවස් වල දිගින් දිගට ම හයිකු ගැන කතා කරන එක. ඇත්තට ම හයිකු ගැන ටිකක් විතර හොයලා විස්තර ලියමින් සාකච්ඡාවක් හදන්න අපිට හැකි වුණා... ඔබ මේ ගැන තවත් හොද අදහස් තියෙන කෙනෙක් කියලා අපිට විශ්වාසයි......

    මෙන්න ලින්කු

    http://kurutugegeepawra.blogspot.com/2016/04/blog-post_22.html

    http://kurutugegeepawra.blogspot.com/2016/04/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. පොඩි නිවැරදි කිරීමක්. මම ඉන්නේ ජපානයේ නෙවේ. සිංගප්පුරුවේ නේ. ඔය ඔකිනාවා ගැන දැන ගත්තේ ඒ ගැන තියෙන ලිපියක් කියවූ නිසයි. හැබයි මම ආසම රටක්.ජපන් යාළුවොත් හුඟක් ඉන්නවා. හයිකු වලටත් මනාපයි.මම එන්නම් ඒ පැත්තේ

      Delete
  6. මෙහෙ කොහත් අඬන්නේ අප්‍රේල් වලට නෙවෙයි .. මෙහෙ වසන්ත කාලෙට... මෙහෙ ඇත්තෝ ඉතින් එයාට කියන්නේ Koel කියලනේ.. (පලි. අපි ඉන්නේ ඔස්ට්‍රලියාවේ : ඔබ වගේම සුළු අවුරුදු සිරිත් ටිකක් තමයි කෙරුවේ නැකතට ගැස් ලිප මෙලෙව්වා )

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ නොවැම්බර් දෙසැම්බර් වගේද.මෙහෙ දේශගුණය ලංකාවේ වගේම නිසා පැහැදිලි වසන්තයක් නැහැ.අප්‍රේල් මැයි වෙනකොට වැඩිපුර මල් පිපෙන්න ගන්නවා අපේ වගේම.

      Delete
  7. කඩේ තියන හාල්පිටි පැකට්වල කල්තබාගැනීමේ රසායන ද්‍රව්‍ය දාලා තියෙන්නේ. අනික ප්‍රමිතියෙන් බාලයි. ඒ නිසයි කොන්ඩ කැවුම් වලට නොගැලපෙන්නේ.

    ඇඟපත ලස්සන වෙන්නත් එක්ක ගෙදරදී පිටි කොටන්න. පිටි කොටන ගමන්, 'පිටිකොටපන් නෝනේ' සින්දුව කියා කියා, වංගෙඩිය වටේ නටන්න. :D

    එහෙමත් බැරිනම්, ගෙදරදී හාල් දියදාලා මෝලට ගිහින්, (පිටි කොටනවා තමන්ට පෙනෙන මෝලකින් කොටාගෙන එන්න. සමහර මෝල්වල හොර කරලා, අපිට දෙන්නේ, අපි දුන්න හාල් නෙවෙයි) පිටි කොටාගෙන එන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ඉස්සර කරන්නේ සුදුසු කැකුළු වර්ගයක් ලැබුනොත් පොඩ්ඩක් ගෙදර කොටා ගන්නවා ග්‍රයින්ඩර් එකේ.මේ පාර එච්චර උනන්දු වෙලා හාල් සෙව්වේ නැහැ. මේ තායි පිටි ජාතියක්. ආප්ප වලට නම් හොඳයි.
      දෙය්යෝ සාක්කි මෙහෙ ඔහොම පිටි කෙටුවොත් පල්ලෙහා ගෙදර එකා මාව පොලිසි ගෙනියයි

      Delete
  8. මට මේ ලිපිය මග හැරිලනේ.. අවුරුදු නිවාඩුවට ගමේ ගිහින් හිටියෙ. කොම් එකත් කැඩිලා. ඉතින් අන්තර්ජංජාල නැතිවම අවුරුදු ගත කළා..

    ගමේ නම් අවුරුදු ජයයි බින්දි. පුළුවන් විදියට ඒ අය චාරිිත්‍ර ඉටුකරනවා. කැවිලි පෙවිලි හදනවා. නෑගම් යනවා.. අවුරුදු උත්සවයකුත් තිබුණා.. මමත් ඉතින් පොඩි උන් හුරතල් කර කර අවුරුදු සිරි නැරඹුවා. කැවිලි හැදුවෙ නම් නැහැ. අපට හතරවටින්ම අවුරුදු ලැබෙනවා. අපි නත්තල් දෙනවා..

    නෙළම් විල අමතක කරන්න එපා.. ලියන්න... දන්නා අඳුනන කෙනෙක් දැක්ක වගේ හැඟෙනවා නෙළුම් විලේ ලිපියක් දැක්කම..

    ReplyDelete
  9. හෙහ්,හෙහ්.. එහෙම තමයි එව්වයෙ හැටි..ඒ කාලෙ අවුරුද්දට අතිං කටිං එල්ලගෙන බස් පෝලිං වල ඉඳල කකුල් කඩුත්තුව හැදුනම මල පැනල ගෙදර යන්නෙ...ඒත් ඩැන් ඒ අතීතස්මරණ කොතරම් අපූරුද?

    ReplyDelete