Sunday, 24 April 2016

ගෘහස්ථ හිංසනය

අපේ පොඩි දෝනිට හැමදාම රෑට කතන්දරයක් ඕන බව කලින් කියලා තියෙනවනේ. මගේ කතා සරිත් සාගරේ හිඳිලා වුනත් තාමත් අවුරුදු දහයක් වෙලත් පොඩි කතාවක් හරි ඕනෑමයි. සමහර දාට එයා මට කතා කියනවා. කතා විතරක් නෙමේ අපි දෙන්න අතරේ ඉතාම වැදගත් සංවාද ඇතිවෙනවා. එයා බොහොම මොලේ ඇති ළමයෙක් නිසා ඇත්තටම අපි බොහොම බරපතල ගෝලීය ප්‍රශ්ණ පවා කතා කරනවා.ඔන්න මගේ නිසා කියනවම නෙවේ.දන්නා කියන කවුරුත් මෙයා ගැන දන්නවනේ මුන්දගේ තරම.

ඒ කාලේ ඇඳුම් අඳින්න බැහැ කියල බිම පෙරලිච්ච ,සපත්තු අමතක  වෙලා ඉස්කෝලේ ගිය කොණ්ඩය කපල වැඩියි කියල  සැලෝන් එකේ බිම පෙරලිලා පාර දිගේ විලාප තිය තිය ගෙදර ගිය, මොකද බලන්නේ කියල මොනාලිසාට තර්ජනය කරපු පොඩි බනියා දැන් කණ්නාඩිය ළඟ ටිකක් වැඩිපුර ඉන්න,ගැලපෙන්න ඇඳුම් අඳින ,සිංදු අහන ,සිංදු කියන ,ලස්සණ දිග කොණ්ඩය පීරලා විවිධ මෝස්තර වලට ගොතන හැමදේම ගැන බොහොම පුළුල් ඇසකින් බලන අවුරුදු දහයක අපුරු ගැහැණු ළමයෙක්.

හැබැයි දවල් තිස්සේ කොච්චර ස්වාධින වුනත් නිදා ගන්න නම් කතන්දරයක් ඕනෑමයි. දුක හිතෙන කතා වෙන්න බැහැ.මැරෙන්න බැහැ ...ඉතින් හරිම අමාරුයි කතන්දර හොයන්න. සමහර ඒවා ඉතින් අවසානය වෙනස් කරලා කියන්නේ.

හුඟක් පොඩි කාලේ දවසක නරි බෑනා කියල දුන්න. නරිය ගැන බොහොම කනගාටු වුනා මිනිස්සු එයාව රවට්ටුව කියල.
කාවන්තිස්ස රජු දේවි කුමාරිව කසාද බැඳපු එක වැරදියි කිව්වා.  කුමාරියක් බඳින්නේ කුමාරියෙක් ලුනේ.
ඒ වුනාට ගැමුණු කුමාරයා කිරිබත් කාපු හැටි අහන්න හරිම ආසයි.
රජවරු වැව් හදපු හැටි කිව්වම ඒගොල්ලෝ වැඩ කල මිනිස්සුන්ට හරියට පඩි ගෙව්වද කියල අහනවා . කම්කරු අයිතිවාසිකම්.
මම කිව්වා ඒ කාලේ එහෙම මුදලින් පඩි දීමක් නැහැ කන්න බොන්න දුන්නම ඇති. අවශ්‍යතා හරිම අඩුයි කියල. එහෙම කොහොමද ..ඒගොල්ලන්ගේ ළමයි ඉස්කෝලේ යවන්නේ කොහොමද. ඉස්කෝලෙට ගෙවන ගණන් ගැන නිතරම ගෙදර කතා වෙන නිසා වෙන්න ඇති .
මම කිව්වා ඒ කාලේ එහෙමකට ඉස්කෝල කියල ජාතියක් නැත.හුඟක් වෙලාවට පන්සලේ තමයි අකුරු හෙම ඉගැන්නුවේ කියල .ඔයාකාරෙට කතාව ගිහින් ත්‍රිපිටකය ග්‍රන්ථාරුඩ කිරීම දක්වා කතාව ගියා. පුස්කොල ගැන හෙම.
ලඟදි දැක්ක කොරියාවේ ත්‍රිපිටකය ලියා තියෙනවා ලී පලක වල .එයාට විශ්වාස නැහැ කොරියාව බෞද්ධ රටක් කියල , එයාගේ කොරියන් යාළුවො කිපදෙනාම පල්ලි යන අය.
බෞද්ධන් බහුතරක් ඉන්නේ කිව්වම කියනව ඇයි බෞද්ධයෝ හුඟක් ඉන්න රටවල නත්තල සමරන්නේ කියල .
ඔන්න ඉතින්  කියන්න වුනා එය තමයි ආගමික සහජීවනය සහ සංස්කෘතිය කියල.

ඔය වගේ දාර්ශනික සාකච්ඡා නිමක් නැහැ ඉතින්. ''අම්ම තමයි ලෝකේ ඉන්න හොඳ කතන්දර කියන කෙනා ....හැමදේම ගැන දන්නා අම්ම කෙනෙක් ඉන්න එක ලොකු වාසනාවක්'' ඔන්න ඔය වගේ සම්මාන සහතික තමයි හම්බ වෙන්නේ හිලව්වට.

මේ ලඟදි වෙල්ලවැහුම් කතාව කියා දුන්න. කට්ටිය දන්නවනේ අර ගමයා නැන්දම්මාගේ ගෙදරින් වෙල්ලවැහුම් කාලා නම මතක තියාගෙන ඇවිත් මගදී ගෙම්බෙක් වතුරට පැනලා ජබෝහ් කියන සද්දේ තමයි මතක හිටියේ .
ගෙදර ඇවිත් හාමිනේට ජබෝහ් හදන්න කිව්වම උන්ද දන්නෙම නැහැ කිව්වලු. ගමයට තරහ ගිහින් හාමිනේට තඩි බෑවලු,..


පොඩි ගේ ඇස්දෙක ලොකු වුනා කටත් ඇරුන



''මොකක් ...!!!!! DOMESTIC VIOLENCE'

මට කවදාවත් එහෙම හිතිලා තිබ්බේ නැහැ.

51 comments:

  1. රැජිනි කාන්ත් රඟපෑ film වල නම් අන්තිමේ වීරයා මැරෙන්නේ නෑ... ඒත් ඒ කතා කියන්නේ කොහොමද? :D කතන්දර වල අවසානය වෙනස් කිරීම මෙහෙත් වෙනවා. තීන්ත බාල්දියේ වැටුනු නරියා කැලේ රජා වෙලා පස්සේ මාට්ටු උනාම ඇත්තට ම උනු දේ වෙනුවට එයාට සමාව දෙන්න උනා. මායා බෝන්චි වැලෙන් වැටුනු යෝධයාට අත් උනු මරණයට ආදේශකයක් හොයන්න ගිහින් මමත් මාඥ්ඥමික උනා දවසක්. තාම රාජ කතා කියන්න පොඩි නිසා ඒවා තාම නෑ.....!

    ReplyDelete
    Replies
    1. පුස්තකාලෙන් ගෙනා පොතක් තියෙනව අප්‍රිකානු ජනකතා. නරිය සහ බල්ලා එකට ජිවත් වෙලා වෙන් වුන ආකාරය එක කතාවක තියෙනව. ඉඩ ලැබෙන විදිහට පරිවර්තනය කරලා දාන්නම් ඒ කතා ටිකක්. අපේ පුන්චිත්තාට හුස්ම ටිකක් පිඹින්න කල් හරි නේද.දැන් බුද්ධිලාත් දෙමාපියෝ වෙලා ඉන්න එකේ. මගුල් කෑම පොතත් අපේ පොඩිගේ ආසම කතාවක්.

      Delete
  2. Welawata. .. ape undala ta kathawa iwara wenna kalin ninda yanawa...
    :)

    ReplyDelete
    Replies
    1. අපොයි මෙහෙ නම් හොඳට මහන්සි වෙලා නින්ද යන්න ඔන්නමෙන්න හිටියත් හොඳට ඇහැරලා කතන්දරේ කියද්දී

      Delete
    2. කමියෝ......ඕකේ අනිත් පැත්තත් වෙනවා. අම්මා නිදි, ලමයා කතා කියනවා :D

      Delete
  3. දැන් දරුවොත් එක්ක කතා කියලා බේරෙන්න බෑ වගේ... ඒත් හරි රසවත් පණ්ඩිත කතා ටිකක් කියෙව්වා !

    ReplyDelete
    Replies
    1. හා හා නංගි ඔයාට කමින් සුන් තමයි. දැනටත් වාට්ටුවේ පොඩි අය ගැන දන්නවනේ

      Delete
  4. දරුවන්ට කතා කියලා දීම වචනයෙන් කියන්න බැරි තරම් අගනා, අධ්‍යාපන, මනස වර්ධන, සමාජානුයෝග වර්ධන, ක්‍රියාවක්. හත් ජරා කුණු ටෙලිනාට්‍ය, මේ ලෝක තේරුමක් නැති කාටූන් වලින් ගලවලා, ළමා සිතේ, මානව දයාව, කාරුණිකත්වය, හරිවැරැද්ද, තේරුම්යන ආකාරයට සහ චිත්ත රූප මැවෙන ආකාරයට කතා කියා දිය හැකිනම් ඔබ අනාගත ලෝකය වෙත අගනා දරුවන් ලබාදෙන ආදර්ශමත් දෙමව්පියන් බවට පත්වෙනවා.

    ගෘහස්ත හිංසන වගේ නව සංකල්ප ඔය කතා ගොතපු කාලයේදී තිබුනේ නැහැ. දරුවා ඒ ගැන විමතිය පලකිරීම පුදුමයක් නෙවෙයි. ඒ කියන්නේ, ඒ දරුවා දැනටමත් සමාජය ගැන යම් අවබෝධයකින් සිටින බවයි. දරුවාගේ ප්‍රශ්නයට පිළිතුර වියයුත්තේ, කතාව ඉතා පරණ බවත්, ඒ කාලේ මෙලෙස මානව හිමිකනම් නොරැකුන බවත්.

    මොනම හේතුවක් නිසාවත්, දරුවන්ට කතා කියාදීම නවත්වන්න එපා. කතාව පටන්ගන්න කලින් හිතන්න, මොනවගේ ප්‍රශ්න දරුවා අහයිද කියා. ඊට සූදානම්ව කතාව පටන්ගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක. ඔව් එහෙම කියල තමයි ගොඩ ගියේ. අනික ඉතින් ජනකතා ඇත්තම වෙන්න ඕන නැහැ කියල තේරුම් ගන්න තරම් මෙයා ලොකුයි. ඉස්කෝලේ රැස්වීම් දවසට ප්‍රාථමික විදුහල්පතිතුමා ලස්සණ ආදර්ශමත් කතාවක් කියනව.මමත් ඉගෙන ගන්නවා ඒ කතා වලින්.අවුරුදු දාහතරක් විතර කතන්දර කියලම මමත් දැන් ප්‍රවීන කතා කියන්නියක් වෙලා. ඇත්තටම අපෙන් ගන්න දේවල් වගේම අපි එයාලගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි.

      Delete
  5. මට එක ප්‍රශ්නයක් තියෙනවා. නරියා ලබුකිරිබත් කාපුහැටි 'හොඳ' වර්ෂන් එකකින් කියන්නේ කොහොමද? මම අහන්නේ අර පුල් මුඩ්ඩ ගහගෙන ඉන්න ඇත්ත කතාව. බොහොම පරිස්සමෙන් කියන්න වෙනවා.... අක්කගේ කොල්ල මාව පොලිසි ගෙනියනවා නැත්තම්

    ReplyDelete
    Replies
    1. මගේ version එකේ එහෙම න.නරියා හාවගෙ ඇඟට වමනෙ දානව.ගඟට ගිහින් හෝදගෙන එනවා.නරියා අහනවා ලස්සන උනේ කොහොමද කියල.ගඟේදි රෙදි මාමා උදව් කලා.නරියත් සුදු වෙන්න ගඟට යනව.කුකුල් කොටුවෙ කුකුල්ලු කන නිස රෙදි මාමා නරිය අල්ල ගන්නව.

      Delete
    2. දැන් මට කියල දෙන්න ඕකා මගෙන් මෙහෙම අහනවා
      "හෑ... හාවා බොරු කිව්වද? හරි නරකයිනේ"
      "..." ( දත කට පුට්ටු වෙනවා)
      "ඉතින් නරිය ලබුකිරිබත් කාපු එක හොඳයි. හාවා බොරු කියනවා"

      දැන් දීපල්ලකෝ උත්තර! මම ඌ දැනුවත් කරලා තියෙන්නේ ගුටිකෑවත් බොරු කියන්න එපා කියල. මම වස්ත්‍රයක් අඳින්න ඕනෙද? නැත්තම්...???

      Delete
    3. ඒ කතාවේදී නම් ලොකුවට ප්‍රශ්ණයක් මතු වුනේ නැහැ. ඒක එයාට කියල දුන්නේ අපේ අම්මා . ආච්චි පව් කියල හිතෙන්න ඇති.

      Delete
    4. මොකද කෙල්ල ආච්චිහෙ ලබුකිරිබත් කතාව අහල කිව්වෙ? " Ammi, I have several issues regarding that story Aachchi told me but I just let it go. No purpose in making her uncomfortable " එහෙම කිව්වෙ නැතෙයි?

      මෙහෙ ඉන්න මගෙ යාලුවගෙ පුතා පෝරිසාදයත් මරු කතා කියන්නෙ පරණ කතන්දර ගැන. වෙලාවක ලියන්නං එව්ව එකතු කරල පෝස්ට් එකක්ම...:)

      Delete
    5. පොල් මුඩ්ඩ වෙනුවට පැම්පර් එකක් ඇන්දුවොත් මොකද වෙන්නේ? :D

      Delete
  6. අම්මෝ මං කොහේ හරි යන්ඩ කියල ඉන්නේ , මේ කෙල්ලො දෙන්න එක්ක ඉන්ඩ බැරියෝ

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ අහන ළමයි හුඟක් ඉගෙන ගන්නවා.ඉවසා වදාරන්න අටම්. අනික මේගොල්ල බලාගෙන ඉන්නකොට ලොකු වෙනවා. ඊළඟට එන්නේ කතා කරන්නවත් වෙලාවක් නැති කාලයක්.

      Delete
  7. සිද්ධාරථ රාහුල දාලා ගිය එක ගැන මොකද කියන්නේ... අපේ මෑන්ට වෙස්සන්තර ජාතකය කියලා දෙන්න ගිහින් මටත් ඔය වැඩේ උනා.. වෙස්සන්තර අප්පුහාමි හිරේ දාන්න ඕන පොරක් කියලා එයා කියන්නේ. එහෙම අය බුදු වෙන්නෙ නෑ කියලත් කිව්වා.

    අපේ ආච්චිටත් ඔය ප්‍රශ්ණේ තිබ්බා මාත් එක්ක. විශේෂයෙන් සස ජාතකේ කියද්දි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙස්සන්තර ජාතකය නම් කියල දීලා නැහැ. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය හැර යාම කියල දුන්න.හැබැයි බුදු කෙනෙකුන්ගේ අරමුණුයි අපේ සාමාන්‍ය පෘතග්ජන සිතුවිලියි වෙනස් කියල කියා දුන්න. ආගම් සම්බන්ධ කාරණා වලදී මම ටිකක පරිස්සන්.

      Delete
  8. අපේ පුත්‍රයා නිදා ගන්නේ තුන්සුත්‍රය අහගෙන ඒ අතරේ මම හිටියොත් ලඟට වෙලා "අකුරු මිහිර " පොතෙන් කෑල්ලක් හෝ නිකන් කටට එන "වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උණි " වගේ කවි සෙට් එකක් කියන්න ඕනා.. මිනිහට දැන් අවුරුදු 12ක් ..

    ReplyDelete
    Replies
    1. කවි සහ සිංදු කියන එක මට පිහිටලා නැති නිසා කතන්දර තමයි. එක්කෙනා නම් ඉතින් තාම පොඩි එකා වගේ ඇති. අපේ දිහා අවුරුදු 13 අක්ක නම් දැන් පාඩුවේ හෝම් වර්ක් ටික හෙම කරගෙන ගිටාර් එක පොඩ්ඩක් ගහල පොතක් පතක් කියෝලා නිදා ගන්නවා.මොකද නංගි ආවට පස්සේ එයා ඉබේම තේරුම් ගත්ත තනියම ඉන්න හුඟක් වෙලාවට.

      Delete
  9. රාජා හෝ මා හෝ ගංගා හෝ
    ගුලේබකාවලී
    රන් කැකිර
    ......
    .....
    ......
    තව ගොඩක් කථා තියනවා පී ගුණරත්නගේ රන් කැකිර සහ තවත් කථා පොතේ

    ReplyDelete
    Replies
    1. වටිනා ලිපියක් .බොහොම ස්තුතියි. එතුමාගේ පොත් හුඟක් කියෙව්වා මම හරිම කුඩා කාලෙම.අපේ දිහා තිබුණ. හැබැයි ඒ කාලේ ඒවා සංරක්ෂණයක් වුනේ නැහැ.කාලෙන් කාලෙට අපේ දිහා හිටපු පුංචිලා කෙල්ලෝ කාලේ එක එක්කෙනාට දීලා ඔයවගේ වටිනා පොත් හුඟක් නැති වුනා. අපි පොඩි නිසා එච්චර තේරුමක් තිබ්බේ නැහැ. රන් කැකිර පොතත් පොඩි කාලේ කියවල ඇති. දැන් නම් මතක නැහැ.වනසරණ නම් ගිය පාර ගෙනත් තිබ්බ.
      ඇත්තටම ලංකාවේ පරිවර්තන සාහිත්‍ය ඉතාම විශිෂ්ටයි. දැන් මට වැඩිය කියවන්න ලැබුනේ නැතත් ඉස්සර පරිවර්තන කෘතියක් ආවොත් අනිවාර්යයෙන් කියවනවා. මගේ පිටරටවල යාළුවො පුදුම වෙනවා සමහර වෙලාවට මම ඒගොල්ලන්ගේ රටවල පොත් මෙච්චර කියවල තිබීම ගැන.ඒ වෙලාවට අපේ පරිවර්තකයින් ගැන ඇති වන්නේ හරිම ආදරයක්.

      Delete
    2. සාමාන්‍යයෙන් මං පරිවර්ථනවලට වඩා මුල් කෘති ( දන්න බාසාවක්නම්) කියවන්න කැමතියි. ඒත් ඒ.පී. ගුණරත්නගේ පරිවර්ථන සම්හරවෙලාවට ස්පිට්ල්ගේ මුල් කෘතියටත් වඩා හොඳයි.
      ඒවගේම තමයි ඒ ආර් එරත්නගේ Jungle Book පරිවර්ථනය

      Delete
    3. ප්‍රා මම ළඟදි 1967 වල ඩිස්නි Jungle Book ෆිල්ම් එක අපේ කඩේ ටීවී එකේ දැම්ම... කේක් බලන්න එන පොඩි උන් එතනින් ඇඳගෙන යන්න අම්මලට මාර සටනක් දෙන්න උනා ඊට පස්සෙ... අම්මලට අහනව මොකද්ද මේ කියල... මේ ළමයි බලන්නෙ සූටිං මාටිං... ( අවුරුදු 2 3 ළමයිත් කේක් හදල ඉල්ලන්නෙ සූටිං මාටිං...) සමහර උන්ට කාටූන් බලන්න දෙන්නෙ නෑ.. ( ආසා කාටූන් එක්ක කියන්න කිව්වම උං උඩ බිම බලනව.. මිකී මවුස්ලයි ප්‍රින්සස්ලයි ඉල්ලන්නෙ... ) මේවා අම්මල දැකලත් නෑ... කීප දෙනෙක් ඉල්ලුව පෙන් එකට දාලා දෙන්න කියල... දැං තියෙන්නෙ ළමයින්ට කාටූන් නෙවෙයි.. වැඩිහිටියන්ට කාටූන්...

      Kaushi Ariyabandu

      Delete
  10. සුරතල් පණ්ඩිත කතා ටිකක්.. දෝණිට සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙන බව පේනවා! :)

    ReplyDelete
    Replies
    1. හා හා මෙයා හරිම ආච්චි කෙනෙක්. දැන් හොඳයි .ඉස්සර බේරෙන්න බැහැ

      Delete
  11. හි..හි.. දැන් ඉන්න ළමයි ඔහොම තමයි.. අහන දකින දේට වඩා ගැඹුරින් දෙයක් හිතන්න එයාලට පුළුවන්...

    ReplyDelete
    Replies
    1. වෙනස් විදිහට හිතීම. පරිනාමයේ ලක්ෂණයක් වෙන්න ඇති

      Delete
  12. ඉතිං හලෝ අර වාංපතුල් කතා වලින් එකක් දෙකක් කියල දෙනවකො ඔය දරුවට.

    හප්පේ කිව්වට ඇස්වහක් කටවහක් නෑ මොන තරං නම් ආදර්ශමත් කතාද එව්ව?......ඉවසීම, සහජීවනය, සමානාත්මතාව,සාමාජීය ක්‍රියාකාරකම්, බන්ධුමිත්‍ර සමාගම් වගෙ පොඩි දරුවෙකුගෙ මතු අනාගතය යහපත් පුරවැසියෙක් ලෙස ගතකිරීමට ඉගෙනිය යුතු බොහෝ වටිනා ගුණධර්ම රාශියක් අඩංගු ඉතාම වටිනා සාරගර්භ කතා පෙලක්....මම මේ ඒකකට කියනව නෙවෙයි..අවංකවමයි කියන්නෙ

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. කෝ බොල ඒක ලියල ඉවර කලාද. ඇත්තම කියනව නම් එච්චර කියවන්න තරම් සිංහල දන්නා කාලෙක ඔය වටිනා බ්ලොග් එක කියවන්න දෙන්න තමයි ඉන්නේ.

      Delete
    2. ////ඉතිං හලෝ අර වාංපතුල් කතා වලින් එකක් දෙකක් කියල දෙනවකො ඔය දරුවට. ///////

      හා...හා..හැක්..හැක්.....මට පිස්සු හැදුනා ඕයි.....

      Delete
  13. බින්දිට විතරක් නෙමේ මටත් කවදාවත් එහෙම හිතිලා තිබුනේ නෑ.. එහෙම හිංසනයක් තියනවා කියලත් දන්නේ මේ බොහොම මෑතකදිනේ....

    මටනම් ඔය "කතන්දර කියන" වදේ කවදත් තිබුන නැති එකක්..අපේ මෑන්ට එච්චර සංයමයක් නෑ...

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ ටිකක් ඉවසීම නැති ජාතියක්නේ.අපේ අක්කගේ දුව පොත් ගුල්ලෙක්. පුතා ඉතින් විභාගෙට ඕන එකක් විතරයි කියවන්නේ.උන්දලාට ඕන සෙල්ලම් කරන්නනේ

      Delete
    2. අපොයි එහෙම නෑ. දැන් වැඩියම සංයම තියෙන්නේ කොල්ලන්ට. කෙල්ලෝ ඕවා අහන්න යෙදෙනවා අඩුයි දැන්.

      Delete
  14. මම දරුවෝ හදන්නේ නෑ. එනිසා ඔවැනි අවස්ථා මගේ ජීවිතයෙන් මඟ හැරෙයි. මේ පෝස්ට් එකේ කියන විදියට නම් මේ ළමයා සිරා මනුස්සයෙක් වෙයි ලොකු වෙලා. සමාජයේ තියෙන මට්ටමට වඩා උඩින් හිතන දරුවෙක්. අනේ මෙහෙමම දරුවාට යන්න දෙන්න. හොඳ මනුස්සයෙක් බිහි වෙයි.

    දරුවෝ නොහදන මාව භීතියට පත් කරන දෙයක් තමයි කෙනෙක්ගේ මනස මත බලපෑමක් කරන්න මට කවදා හරි ඔය වගේ බලයක් ලැබුනොත් කියන සංකල්පයම. ඒ කියන්නෙ මම පියෙක් වුනොත් මගෙ දරුවගේ සිතිවිලි, අදහස්, අනාගතය, චින්තනය කියන දේවල් වලට බලපෑම් කරන්න මට තියෙන හැකියාව කියන වගකීම ඒ තරම්ම විශාලයි. බය හිතෙන තරමටම. ඒක ඒ තරම්ම විශාල වගකීමක් !

    ඒ ඕන්නෑ, ළඟදි මුහුණු පොතට අවුරුදු 15-16ක විතර ළමයෙක් මැසේජ් එකක් එව්වා මගෙ සටහන් කියවලා ජීවිතේට සෑහෙන දේවල් ගන්නවාය ස්තූතිය කියලා. ඒ බව දැනගත්තම මට ඒක ලොකු ප්‍රශ්නයක් වුනා. පොඩි ළමයෙක්ට මම එහෙම බලපෑමක් කරනවය කියල දැනගැන්මම මාව තිගැස්මකට ලක් කලා. මම කව්ද? මහ පොරක් යැ? මම දන්නෙ මොනවද? මම දන්න ලබ්බක් තියෙනවයැ? ආසාවට බුකියෙ කොටනව, බ්ලොග් ලියනව මිසක.. පියෙක් වුනොතින් නම්.. අම්මෝ හිතාගන්න බෑ

    ReplyDelete
    Replies
    1. එච්චර හිතන්න එපා සංජය. අපි දෙමාපියෝ වෙලා උපදින්නේ නැහැ. ළමයෙක්ගේ උපත්ත එක්ක අම්මෙකුයි තාත්තෙකුයිත් උපදිනවා. ඒ එක්කම දෙගොල්ලම වැරදි වැරදි ඉගෙන ගනිමින් ලොකු වෙනවා. මේ දේවල් මේ ආකාරයෙන් වෙන්නම ඕන කියල නීති රීති නැහැ.ඒ ඒ කාලෙට ඒ දේවලට මුහුණ දෙනවා. අපි ඒගොල්ලන්ට කරන බලපෑමට වඩා ඒගොල්ල අපට කරන බලපෑම වැඩියි. ඒ ගැන නම් බය වෙන්න එපා. හැබැයි ළමයි නොහදන කෙනෙක්ට මම නම් බල කරන්නේත් නැහැ .
      'there are too many people in the planet..It is ok ..some ppl to stay single and not to produce offsprings."

      Delete
  15. අපේ එකා කතා අහන්න හරිම ආසයි ඒත් කතා කීමේ වගකීම මට පැවරුනේ නෑ,මට නෙවෙයි අපි දෙන්නටමත්.අපේ අම්මා ඒ වගකීම හොඳට ඉෂ්ට කළා.ඇයගේ කතා සාගරය සහ කවි සාගරය නොසිඳෙන එකක්.

    ReplyDelete
  16. යකෝ පොඩි උන් පැහිලා බොලව්........ උන් අපිට වැඩිය පැහිලා.....

    ReplyDelete
  17. දැන් ඉන්න පොඩි අය හරිම පණ්ඩිතයි කියනවානේ.එත් මම හිතන්නේ දැන් ඉන්න පොඩි අය සමාජය ගැන හොඳින් දැනුවත්.දැන් පොඩි අය අත්දකින සමාජයත් ,අපි පොඩි කාලේ හැදුණු සමාජයත් දෙකක්.අපි පොඩි කාලේ කවුරු හරි කියන දෙයක් එහෙම්ම පිළිගන්නවා මිසක් එව්වා ගැන ප්‍රශ්න කෙරුවේ නැහැනේ.එත් දැන් පොඩි අය හරිම විචාරශීලියි.එක බොහොම හොඳයි අනාගතයට.

    ReplyDelete
  18. bunny the super girl. that why i love her.
    ඇත්තනේ. මේ පොඩි එකාට තේරෙන එක අම්මට තේරෙන්නේ නෑ. ;)
    ඔයාට කියන්න තාමත් මට හිටිගමන් ඔය කතන්දර ලෙඩේ තියෙනවා. අඩු ගානේ නින්ද යන පොඩි ළමා සිංදු එහෙම අහනවා හිටි ගමන් නිදාගන්න ගියාම. ඉස්සරවගේ අම්මා කියලා නෙමෙයි ඉන්ටර්නෙට් එකේන්. හෙහ්...

    ReplyDelete
  19. පරණ කතා අද සමාජයත් එක්ක එකට තියල හිතනකොට මහ දරුණු ප්‍රස්න තමයි එන්නෙ.ඒත් ඒ ඇතිවුන කාලය්ට,සමාජයට අනුව බලනකොට ඒක තමයි හොඳම විසඳුම කියලා දුව ටික දවසක් යනකොට තේරුම් ගනියි.
    ජයවේවා..!!

    ReplyDelete
  20. කතා වෙනස් කරන්න එපා. ඒ විදියටම කියලා දෙන්න. ඒ ඉතිහාසය ඉගෙනීමත් කතන්දර ඇසීමේ කොටසක් නේ.

    දැන් අර යුරෝපියානු සුරංගනා කතා කියන ඒවා කොච්චර භයංකාර ද?

    ReplyDelete
  21. කෙල්ල අවදියෙන්!

    මං ඒ කතාව අහල තියෙන්නෙ වෙනස් විදිහට.

    මග එද්දි ගෙම්බ වතුරට පනින සද්දෙ ඇහුණම, ජබොහ් වුණා.
    ජබොහ් ජබොහ් කිය කිය එද්දි ......

    ඔහොම ඔහොම නම වෙනස් වෙවී ඇවිත්, අන්තිමට ගමය ලිස්සල වැටෙන්න ගිහින් "හොත්තිරි පඤ්ඤං" කියවෙනව.
    ගෙදර ඇවිත් හොත්තිරි පඤ්ඤං හදල දෙන්න කිව්වහම, නෝන කියනව එහෙම ජාතියක් දන්නෙ නෑ කියල. ගමයට දුක හිතිල, කට ඇඹුල් කරගෙන ඉන්නව. ඒක දැකල නෝන කියනව, අපෝ කටේ හැටි, හරියට වෙල්ල වැහුමක් වගෙ කියල.

    ගමය උඩ පනිනව ආන් එව්ව තමා! කියල.

    නෝ ඩොමෙස්ටික් වයලන්ස්!

    Nalini Chandima

    ප්‍රා මම ළඟදි 1967 වල ඩිස්නි Jungle Book ෆිල්ම් එක අපේ කඩේ ටීවී එකේ දැම්ම... කේක් බලන්න එන පොඩි උන් එතනින් ඇඳගෙන යන්න අම්මලට මාර සටනක් දෙන්න උනා ඊට පස්සෙ... අම්මලට අහනව මොකද්ද මේ කියල... මේ ළමයි බලන්නෙ සූටිං මාටිං... ( අවුරුදු 2 3 ළමයිත් කේක් හදල ඉල්ලන්නෙ සූටිං මාටිං...) සමහර උන්ට කාටූන් බලන්න දෙන්නෙ නෑ.. ( ආසා කාටූන් එක්ක කියන්න කිව්වම උං උඩ බිම බලනව.. මිකී මවුස්ලයි ප්‍රින්සස්ලයි ඉල්ලන්නෙ... ) මේවා අම්මල දැකලත් නෑ... කීප දෙනෙක් ඉල්ලුව පෙන් එකට දාලා දෙන්න කියල... දැං තියෙන්නෙ ළමයින්ට කාටූන් නෙවෙයි.. වැඩිහිටියන්ට කාටූන්...

    Kaushi Ariyabandu

    නලිනිගෙයි හිරුගෙයි කමෙන්ට් දෙක පබ්ලිෂ් කරන්න ගිහින් ඩිලීට් බටන් එක එබුනනේ. වාසනාවට ඊමේල් වල තිබිල හම්බ වුනා. දෙනාම සමා වෙන්න ඕන. හතලිස් ඇඳිරිය අප්පා


    ReplyDelete
    Replies
    1. ඕටෝ පබ්ලිශ් දැම්මනම් අහවරයිනේ... කවුරු හරි පාර්ට් එක දානවද ?

      ඔබා මාමා හිටියනම් බින්දි අහගන්නවා හොඳවයින් දෙකක්. මට මතකයි ඉස්සර ඔබා මාමා කොයි තරම් අකමැතිද ඔය වැඩේට(කමෙන්ට් මොඩරේට් කරණ එකට ) කියලා. දෙතුන් දෙනෙකුටම බැනලා තිබුනා මොඩරේට් අයින් කරපල්ලා කියලා. එයාට එයාගෙ කමෙන්ට් එක ඒ වෙලාවෙම බලන්න ඕනා කියලා.. මමත් ඇත්තටම එහෙම කැමතියි.

      Delete
  22. මගේ හය හැවිරිදි පුත්‍රයා පොඩි පොඩි කතා පොත් කියවන්න තමයි කැමති. ඒ නිසා හිතලා කතන්දර කියන්න අවශ්‍ය වෙන්නේ නෑ... මේ දවස් වල මට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්... තස්මේනියාව භෞතිකව ඕස්ට්‍රේලියාවේ කොටසක් නොවී, රටක් විදිහට ඕස්ට්‍රේලියාවට අයිති වෙන්නේ කොහොමද කියන එක කියන දෙන්න හැදුවා. පළවෙනි උත්සාහය අසාර්ථකයි. රටක සීමා මායිම් තීරණය කරන විදිහ ඝන ළමයින්ට ගැලපෙන පැහැදිලි කිරීමක් දෙන එකත් හිතන තරම් ලේසි නෑ.

    ReplyDelete
  23. මම කණගාටු වෙනවා උඩින් කමෙන්ට් කරපු බොහෝ දෙනෙකුට මේක මතක් නොවීම ගැන. බින්දී පහුගිය ටිකේ බ්ලොග් නොකියවපු නිසා මේක දකින්නේ නැතිව ඇති. හැබැයි සුදීකට සම්මාන හම්බ වුනෙත් මෙන්න මේ පොස්ට් එකට
    එළුපැටියාගේ කතාව - දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි

    මේක ප්‍රායෝගික, ඒ වගේම නොසිඳෙන ක්‍රමයක්. ඔයාගේ දියණියට මේක කොයි තරම් ප්‍රායෝගික වෙයිද කියලා මම දන්නේ නෑ.

    ReplyDelete
  24. අපි දෙන්නට ඔය කතා කියන ප්‍රශ්නේ එන්නේ 2019න් පස්සේ වගේ. දුව කියනවා ඒගොල්ලෝ ළමයි හදන්නේ තව අවුරුදු තුනකටවත් පස්සෙලු. එතකම් අපිට කතා එකතු කරගන්නලු. අනේද කියන්නේ.

    ReplyDelete
  25. සේම් හියර්. දරුවෝ ප්‍රශ්ණ අහන්න පෙළඹෙන්නේ ඔවුන් හා දෙමාපියන් අතර ඇති සම්බන්ධතාවය සවිමත් නම්, ඔවුන්ට විශ්වාසයක් ඇත්නම් පමණයි. ඒ දරුවෝ වාසනාවන්තයි.

    අද දරුවන්ගේ IQ එක ඉහළයි, පරම්පරාවෙන් පරම්පරාවට ඒක එහෙම වෙන්න ඕනලු.

    ReplyDelete
  26. මාත් කතන්දර කප්පිත්තෙක්.. හැබැයි මගේ වුවමනාවට තාත්තටයි අම්මටයි කතන්දර සෑහෙන ප්‍රමාණයක අවසානයන් වෙනස් කරලා ආපහු කියන්න වෙලා තියෙනව..

    ReplyDelete