Wednesday, 18 May 2016

ගඟ අසල කුඩා දැරිය



වසර ගණනකට පසු
ගංවතුර ඇවිත් වග
කියා තිබුණා උදේ
බලන කොට මුණුපොත

තැනින් තැන ඇද වෙවී
හිත යටින් මතු වෙලා
කැළණි ගඟ ගලන්නේ
හරි මැදින් මතක පොත

      උපන්දා සිටන් මා ජීවත්ව ඇත්තේ ජලාශ්‍රිත ජීවියෙකු ලෙස බව මට කල්පනා වේ.කැළණි නිම්නයේ ළමයෙකු වූ මම ලොකු මහත් වී ඇත.කුඩා කල තණ බිස්සේ වැතිර සිටි කල සිත අමන්දානන්දයට පත් කල සුදු වළා කැටිති අස්සෙන් ඉගිල්ලී නොරට ගොස්ය. කුඩා කාළයේ පොත පතකින් පමණක් ඇවිද ගිය සයිගොන් ගඟ ළඟ සැබෑවටම ගෙවූ කාලය එයින් පසු ජනේලයෙන් ඈත පෙනුන රතු ගඟ දෙස බලා සිටි කාලය.
ජිවිතයේ බොහෝ අවුරුදු ගෙවා කුඩා නගරයක මිසින් දෑතින් නිමවූ ජලාශයක් දෙස බලමින් ඉතා ඈත ළමා කාලයේ ඇවිදිමි.
මේ බොහෝ දුර ගමන් වලදී මාදුටු ගංගාවන් ගේ හැඩය පැහැය දිග පළල එකිනෙකට වෙනස්ය. නමුත් ඒ හැම ගංගාවක්ම ජීවිතය මෙන් පසු පස නොබලා ගලා යයි.
වියට්නාමයේ ගංගා මඩ මිශ්‍ර බොර පැහැතිය. විශාල නැව් යාහැකි තරමට ගැඹුරුය පළලය. සයිගොන් ගඟ ගඟ ගැන බොහෝ කලකට පෙර ලියා ඇත්තෙමි. රටවල් හයක් පමණ පසුකොට වියට්නාමයේ මිකොන් ඩෙල්ටාවෙන් මුහුද දකින මිකොන් ගඟ විස්මිත කතා ගොන්නකි.
චීනයේ සිට ගලන රතු ගඟ හැනෝයි වැසියන්ගේ රුධිර පද්ධතිය වැන්න.

මේවාට අමතරව මට අමතක නොවෙන ගංගාවක් වන්නේ කොරියාවේ HAN නදියයි. කොරියන් නාටක වල සිත බිඳුන පෙම්වතුන් කඳුළු සලන්නේ ඔය ගඟ අයිනේ සිටය. සමහරුන් ගඟට පනින්නට යද්දී අවසාන මොහොතේ බේරා ගැනේ. ඉතින් මට ඔය ගඟ හොඳට පුරුදුය.

ඔය කොයි ගඟත් ගලන්නේ ඒ ඒ නියමිත පාරවලය. නමුත් කැළණි ගඟ ගලන්නේ හරියටම මගේ හිත මැදින්ය.

කිතුල්ගල පැත්තේදී අනගාර දඟර පානා කැළණි ගංගා යුවතිය අපේ පළාතෙන් ගලා බසින්නේ සන්සුන් මැදිවියේ ගැහැනියක ලෙසිනි. ගැහැණුන් සන්සුන් ලෙස හිඳින්නේ කොයි විට දැයි මට දෙකක් කියන්නට ඔබ දැන් පුල පුලා බලා සිටින බව දනිමි. කලබල විය යුතු නැත. වැස්ස වළාහක දෙවියන් දන්සැල් දමන කාලයට මේ සන්සුන් ගැහැණිය මාරාවේශ වී ගම් දොර වලට කඩා පනියි. මට දෙකක් කියන්නට හිතු අයට 'සතුටුයිද දැන් ":D

ඉස්සර අපි කුඩා කාලයේ ගංවතුර යනු තරමක මිහිරි අත්දැකීමකි. ඒ අපේ ගෙවල් යට නොවෙනා නිසාය.ළමයින් ආත්මාර්ථකාමිය. කලින් ලිපිවලින් කියා ඇති පරිදි බස් පාරේ සිට අපේ ගෙවල් මණ්ඩිය පැත්තට යන්නට ක්‍රම කිහිපයක් ඇත. එක බස් නැවතුමකින් පටන් ගන්නා පාර රවුමට ගොස් අනික් බස් නැවතුමට සම්බන්ධ වේ. අතරමගදී කුඩා අතු බෙදමින්.
ඒ එක අත්තක් තවත් උඩහට ගොස් ආයෙමත් රවුමින් තුන් වෙනි බස් නැවතුම ලඟින් මහා පාරට එකතු වේ. ඔය වැනි අතු පාරවලින් උඩහ පැත්තට ගොස් පොහොර සංස්ථාව තෙල් සංස්ථාව පැත්තට හෝ පට්ටිවිල දෙසට මතු විය හැක. අප එතරම් නොදැන සිටි ඒ පාරවල් වල මා ගොස් ඇත්තේ කලාතුරකිනි.
අපට පුරුදු බස් නැවතුමට යාමට නොහැකිව යටවූ ගංවතුර කාලයට ඉතාම හදිසි ගමනක් යාමට ඇති විටක උඩහ පැත්තෙන් ෆෝර සංස්ථාව පාරේ ගොස් 230 බස් එක අල්ල ගන්නට ගිය විටක පමණි.

අපේ පැත්තට ගංවතුර එන්නට කලින් මුලින්ම වතුර දමන්නේ 13 කනුව ළඟ කියා අසා ඇත. ගම්පහ වැලිවේරිය පුගොඩ වැනි පැතිවල සිට එන බස් වල මිනිසුන්ගෙන් ආරංචි වී ඔන්න පට්ටිවිල වතුර දාන්න පටන් අරන් වැනි කියමන් මට ඉතා හොඳින් මතකය.
හවස් වන විට යටවන බව  දැන වුවද වේලාසනින් ගෙදර එන නිසා පාසල් යන්නෙමු.
දවාලේ එනවිට බස් නැවතුම ලඟින් පාරේ දනක් පමණ වතුර තිබුණු දවස් මතකය. අපේ ගෙවල් යට නොවෙනා නිසා මට මේ වතුර පාරවල් දැක මතුවන්නේ සතුටකි. රවුම් පාර දෙපැත්තෙන්ම යටවේ. අහස ඔළුවට කඩන වැටුනත් ඉතාම රෑ බෝ වී ගෙදර එන තාත්තා එන වෙලාවට නම් පාරවල් ගන්නම දෙයක් නැත. ඒ වන විට බස් ගමනද නැවතිලාය.
එක්කෝ 230 විත් නගහ හන්දියෙන් බැස වතුරේ ඇවිදගෙන එන්නට ඇත. නැත්නම් අර කලින් කියූ පෝර සංස්ථා පාරේ එන්නට ඇත. කොළඹට එනතුරු උදේ හවා කහවත්තේ සිට අඩියට දෙකට බුන්ගිරිය කන්ද නැග්ග අපේ තාත්තාට ඕක මොකක්ද.

එයින් පසු දින කීපයක් ගංවතුර නිවාඩුය. අපේ ගෙවල් යට නොවුනද අපටද පාඩු නොවුනා නොවේ. අහල පහල පොඩි සිල්ලර කඩ සිඳී යයි. පාන් දකින්නටත් නැත.
ඒවා අපේ ප්‍රශ්ණ නොවේ. අම්මලාගේ ප්‍රශ්නය.
අපිට තිබුනේ දෙන දෙයක් කටේ දාගෙන ගංවතුර මට්ටම නිරීක්ෂණය වැනි බරපතල රාජකාරිය.
පාරේ කෙතෙක් දුරට වතුර දමා ඇත්ද ,වතුර මට්ටම අඩු විද අපට ඇති ප්‍රශ්ණ එවැනිය. පහල ගෙවල් යටවී මිනිසුන් විඳි දුක් ගැන දුක නොසිතුනා නොවේ. කොල්ලෝ  නම් කෙහෙල් කොට වලින් සාදන ඔරු පැදීමට කැමති වුහ. අපිත් අකමැතිවා නොවේ. ගැහැණු ළමයින්ට කොතරම් සැම අයිතිවාසිකම් දුන්නද එවැනි නසරානි වැඩකට නම් අම්මා ඉඩ නොදෙන බව සහතිකය. ඒ කාලයේ පිහිනන්නට දන්නෙත් නැත.

               පිහිනීම ගැන කිවහොත් ගඟ අද්දර ළමයිනට පිහිනීම ඇවිදීම තරම්ම සාමාන්‍ය වන්නට ඇත. කලාතුරකින් සති අන්තයට ගඟට නාන්නට ගිය අපට එසේ නොවේ. උත්සාහ නොකලා නොවේ. කෙසේ හෝ ඉගෙන ගන්නට නම් බැරි විය. අපිට නාන්නට තොටුපොළවල් කිහිපයක් තිබිණි. නාන ළිං බහුලව තිබු නිසා ගඟට යාම අනිවාර්ය නොවිණි. ඇතැම් සති අන්ත වල උදයෙන්ම තාත්තා හෝ අම්මා සමග ගඟට නාන්නට ගිය කුඩා කාලය මට මතකය. මාළුන්ට කන්නට බත් ටිකකුත් රැගෙනය අප යන්නේ.
පසු කලෙක ඒ මාළුන් නොව නෙක වර්ග වල මාළුන් ටැංකි වල පිහිනන වෝටර් වර්ල්ඩ් ඉදි කෙරුනේ ඒ එක තොටුපළක් අසලය.


ඉඳහිට හෝ ගඟෙන් නාන්නට ගිය ගමන් සදහටම නැවතුනේ ගඟ දිය රතු පැහැ වන්නට ගත් කාලයේය.
වැලිවිට පාලමින් වට  බක් මී මල් පාව එන්නට ගත් කාලයේය..

තවත් එක තොටුපළක් අසල තිබු ගඩොල් වැඩපොළ අමතක නොවන තැනකි. මුලදී කොළ දුඹුරු පැහැති අමු ගඩොල් අව්වේ වියලා පෝරණුවේ පිලිස්සු පසුවයි ගඩොලට රතු තැඹිලි පැහැයක් ලැබෙනුයේ.

කුඩා ළමයෙක්ට මේවා කොතරම් අපුරු විශ්මයන්ද. බියගම කඩුවෙල පාලම සැදීමට පෙර අම්මා සමග පාරුවෙන් කඩුවෙල පොළේ ගිය ගමන්..අද කල්පනා කරන විට විශ්මිත චාරිකාවන්ය.
කැළණි පන්සල අසලදී ගඟ විශාල වංගුවක් ගනියි. ඈත අතීතයේ ගඟ ගැලු දිශාව වෙනස් බවත් මුතුරාජවෙල වගුරු බිම් ඇති වුයේ ඉස්සර ගඟ ගැලු ප්‍රදේශයේ බවත් කතාවක් අසා ඇත. හරි හැටි සත්‍ය තත්වය නොදනිමි.

පෑලියගොඩ පැත්තට යද්දී ගඟ අවට වෙනම පරිසරයකි. ළඟ ළඟ පොඩි ගෙවල් කර්මාන්ත ශාලා බහුල විය. පරණ කළු පාලමින් එගොඩව අම්මා සමග තොටලඟ පොලට ගිය ගමන් වෙනමම අත්දැකීමකි. පිටකොටුවේ මැනින් මාකට් එක සේම චිරි චිරි මඩින් පිරි මගේ සිත් නොගත් තැනකි. ඔය ගමන් යන්නට කැමති අම්ම අරන් දෙන රටකජු ගොට්ට්ට වඩා පත්තරවලට ඇති පෙරේත කමය. කැලණියේදී බස් එකේ මාව නැතිවී පත්තරයකින් වැසි සිට සොයා ගත්තේ ඒ ගමනකදීය. ඒ විජය පත්තරේ පලවෙනි හෝ දෙවෙනි කලාපය බව මතකය.
කියමින් සිටියේ ගඟ බඩ මතකය. එක මාතෘකාවකින් තව එකකට පනින්නට දක්ෂ බව මා මිතුරෙක් කිවේ වැඩි ඈතක නොවේ. ගැහැණු ගතිය නොවේද.

ගංවතුර ගෙමිදුලට ආ බව කියා මගේ පාසල් මිතුරෙකු සහ ඔහුගේ බිරින්දෑ..ඔව් ඉතින් ඒ කාලයේ පාසල් ළමයි දැන් දෙමාපියන් ...මුහුණු පොත් දමා තිබු පින්තුර ඔස්සේ අතීතයට ගිය සිත ඇවිස්සු සටහනයි මේ.
ඒ දෙපලට ඉතාම ස්තුතියි. පින්තුරයද අනවසරයෙන් ඔවුන්ගෙන්ම සොරකම් කරන ලද්දකි.

ඉතින් ඒ ගඟ අද්දර දැරිය ලොකු මහත් වී ජිවිතයේ විවිධ ගංගා ඇලදොළ පාලම් පසු කර ඇත. ජිවිතයද ගඟක් සේ බොහෝ දුර ගලා ගොස් ඇත. දුබල ඉවුරු කඩා බිඳගෙන උතුරා යන්නට සිතුන වාරද අපමණ නොතිබුනා නොවේ. එහෙත් ජිවිත ගඟ තවමත් ගලයි.

මතක පොතේ හරි මැදින්ම සුන්දර කල්‍යාණියද ගලා යයි.





27 comments:

  1. සෙල්පි ගහල දැම්මම මේමත් වෙනවා හෙනං.. හැක්.. මට මතක තියෙන්නෙ කුඹුරක අපි පාරුවක් හදාගෙන රේස් පැදපු හැටි. කෙහෙල් බඩේකට කෝටුවෙන් ඇනල ලණු කැඩිල හෙන අලකලංචියක් උනා එක පාරක්.. ජය

    මේ මතක මැදින් උනත් ලංකාවට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්න තරම් කරුණු කාරණා යෙදී තියෙනවා දැං..

    ReplyDelete
    Replies
    1. ඒවා නොදැක්ක නෙමේ මමත්. මම ඒ විපත් ගැන නොලියා මගේ මතක වලට පමණක් සිමා කළා . නැත්තන් ලිව්වොත් හෙම ලියන්න වෙන්නේ තරහින්.
      කොල්ලෝ ඔය වැඩ කලාට අපිට කොහිද එව්වට ඉඩක් තිබ්බේ

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. / එක මාතෘකාවකින් තව එකකට පනින්නට දක්ෂ බව මා මිතුරෙක් කිවේ වැඩි ඈතක නොවේ. ගැහැණු ගතිය නොවේද. /

    හුහ්..ඒ ඉස්සර...දැන් එව්ව කොහෙද අපිත් එක්ක...:)

    ගංවතුර මතක සටහන නම් ඉතාම අපූරුයි!

    සුට්ටි එකා කාලෙ මට ගංවතුර අත්දැකීම නැත. කෑගල්ලෙ අහවල් ගංවතුරද? ඒත් ලොකු මහත් වෙලා රස්සාවට ගියාට පස්සෙ ඒවට ඇරියසුත් එක්ක ගංවතුර ආතල් ගත්තා. පරාක්‍රම සමුද්‍රය වාං දාල මනම්පිටිය හරියෙ මහ පාර ඒ කාලෙ අනිවාර්යයෙන් යටවෙනව දෙසැම්බර් මාසෙට. ඒ වැස්සට කිව්වෙ හත්දා වැස්ස කියල. ඒ කාලෙ මනම්පිටිය පාලම උඩට අපි පයින්ම එනව කිලෝ මීටර් දහයක් වගෙ ඇවිදගෙන ගංවතුර බලන්ටම. එක පාරක් මම දැක්ක අලියෙක් ගහගෙන යනව ගංවතුරෙ...අලියගෙ ඇඟ උඩ මී හරකෙක්. මී හරකගෙ අං තට්ටුව උඩ කුකුල්ලු දෙන්නෙක්...:)

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ ඔබතුමා හිටියේ දෙකක් දාගෙන නැද්ද ..
      මේ ඊයේ පෙරේදා දියබෙදුම ගැන කතා වෙද්දී රවී මතක් වුනා

      Delete
    2. ////එක පාරක් මම දැක්ක අලියෙක් ගහගෙන යනව ගංවතුරෙ...අලියගෙ ඇඟ උඩ මී හරකෙක්. මී හරකගෙ අං තට්ටුව උඩ කුකුල්ලු දෙන්නෙක්...:)/////

      හිනාවෙලා පන යනවා බං මේවා දැක්කම...ඒයි රවී මොන පාට කුකුල්ලු දෙන්නෙක් ද බං අං තට්ටුව උඩ හිටියේ?

      Delete
  4. හැමදාම කැළණි ගඟ පසු කරමින් වැඩට යන ගෙදර එන නිසා.. මම නිතරම ගඟ අසබඩ ජීවිත් වෙන මිනිස්සු සහ ගෙවල් ගැන හිත හිතා එතැන් පසු කරන්නේ.. ගඟ උතුරා ගැලුවොත් මේ අය මොකද කරන්නේ ? හැම තිස්සෙම මම හිතපු කාරණයක්. අද ප්‍රායෝගිකව මේ දේවල් වලට විසඳුම් සොයන්න වෙලා වගේ... මට බොහොම තදින් මේ දේවල් දැනෙන්නේ..ඒ ලෑලි ගෙවල් වල ඉන්නා ජීවිත ගැන සිතන කොට.., ඒ අය කොහේ කොහොම ඉන්නවා ඇද්ද කියා සිතෙනවා. රස්සාවට යන්නත් දැන් වට වන්දනාවක යන්න වෙනවා... කොළඹටම ගිහින් විකල්ප මාර්ග භාවිතා කරන්න වෙලා !

    ReplyDelete
    Replies
    1. දුක්ඛ දායක පැත්ත ගැන නොලියන්න හ්තාගෙන මයි පටන් ගත්තේ නංගි. මොකද ඕක අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ.
      හැමදාම ස්වභාවික විපතක් වුනහම ආධාර එකතු කරනවා ඇරෙන්න නගර සැලසුම් ගැන වගේ වගක් නැති කබල් ආණ්ඩු ගැන කතා කරනන වෙන වෙන නිසා. කට ගලක් උලනවා ඊට හොඳයි .
      කැළණි ගඟ හැමදාම ගලනවා. අපෙයි ඉන්දියාවෙයි ඔහොමම තමයි. චෙන්නයි වල ගංවතුර කතා අහල පහුගිය කාලේ දැනිච්ච දෙයක් තමයි . අපි පැවත එන්නේ විජය ගෙන්ම තමයි.

      Delete
  5. හ්ම්..........ජීවිතය පිලිබඳව විදර්ශණාවක් වගේ.අපේ මතක පොත වගේ අපේ පුංචි උන් මොනාවා ලියාවිද ..? අපේ වයසට එන විට...!!!උන්ට කොහොම අතීතයක් තියේවිද....ගහක් කොලක් වතුරක් ,දොලක් ගඟක්..?

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලත් ලියාවි වියෝ....මොනව හරි හිතේ තැන්පත් වෙන මතක

      Delete
  6. අපේ ගඟ මහවැලි ගඟ. අපි නනා ඉද්දි හිටි ගමන් වතුර වැඩි වේගෙන යනවා. සෝදලා පැත්තකින්තිබ්බ රෙදි වතුරට ගහගෙන යනවා. තවමත් හීනෙන් පේනවා.
    මමත් ඔයාගෙ කැළණි ගඟේ අයිඩීපී කෙනෙක් වෙන්න ළඟයි. :D ඔන්නොහෙ රටකජු ගොට්ටකට, පත්තරේකට යට වෙලා ඉන්න හදන්නෙ.
    අර කැළණි ගඟ පාර වෙනස් කළ කතාව අහන්න ආසයි. මගේ මහවැලියත් සෝමාවතී හරියෙදි එහෙම පාර වෙනස් කරාලු. මම ඒ ගැන හිතන්නත් ආසයි.

    ReplyDelete
    Replies
    1. අය්යෝ පරිස්සමින් ඉන්න ගංවතුර ගැලු පැතිවල අය. සොබා දහමත් ඉතින් දෙනකොට දෙන්නේ කන පැලෙන්න.
      ඔයාගේ මහවැලි යුවතිය නම් විවිධ අතවර වලට ලක්වුනානේ. මහවැලි ව්‍යාපෘතිය නිසා.
      අර කතාව කිවේ අපේ දහම් පාසලේ උගන්නපු හාමුදුරු නමක්.

      Delete
  7. බින්දි ගංවතුර වුනත් රහට කියවන්න ලියපු සටහනක්!!

    ඉස්සර තල්දූව පලාතෙ ඉන්න කොට සීතාවක ගඟ උතුරනවා. හංවැල්ලේ ඉන්න කාලේ කැළණි ගඟ උතුරනවා. ඒ කාලේ නම් ඔරු පදින්න, කෙහෙල් කොට පාරුවේ යන්න හරි ආසයි. කෙහෙල් කොට පාරුවට ගහගෙන යන සර්පයෝ ගොඩ වෙනකොට තමයි වතුරට පැනලා මැරෙන්න හිතෙන්නේ...ඒ වෙලාවට පාරුව බැලන්ස් කරගන්නත් අමාරුයි.ඒ වෙලාවට කෙල්ලෙක් එහෙම හිටියොත් පාරුවෙ පුවක් තමයි.

    ReplyDelete
    Replies
    1. ගංවතුරේ තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි සර්පයෝ.පව් ඉතින් උනුත්.
      ස්තුතියි අරූ..මේක ලියද්දි තිබ්බ සැහැල්ලුව නම් දැන් කොහෙද නැහැ. වතුර මට්ටම වැඩි වෙනවා වගේ තමා හිතේ දුක වැඩි වෙන්න ගත්තේ. අපේ පති වලට හොඳටම අමාරුයි කියල ආරංචි.

      Delete
    2. ඔව් බින්දි මේක නොහිතපු තත්වයක්. දන්න කියන පැති බොහෝමයක් අනතුරට ලක්වෙලා. තත්වය තවත් බරපතල වෙන්නේ ගංවතුර බැහැලා ගියාට පස්සේ. දන්නවනේ කොළඹ තත්වය,

      Delete
    3. ඔව් ඊලඟට සෞඛ්‍ය ප්‍රශ්ණ. ඩෙංගු ඇරෙන්න අනිකුත් ලෙඩ රෝග නම් ලංකාවේ සෑහෙන හොඳට පාලනය වෙනවා. අනික් අතට කාටත් බලපායි බඩු මිල. නැති වුන ජිවිත වල මිල නම් ඉතින් කොහොම තක්සේරු කරන්නද. මෙහෙ පන්සලේ මොනවද මේ ගැන කරන්නේ බලන්න මමත් හෙට යනවා. අනිවාර්යයෙන් යමක් කෙරෙයි.

      Delete
  8. ගංවතුර ගැන සුන්දර මතක සටහනක් දැක්කමයි.. අනෙක් අතට ඔබේ රචනා ශෛලිය ගැන කියන්නට වචන නැහැ.. ඒ තරමටම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. හනේ හනේ මේ ඉතින් වැසි දැරියන්ගේ වැඩ තමයි. වහිනවා කියල මෙහෙමත් වහිනවද
      ගොඩක් ස්තුතියි
      පරණ මතක ඉතින් ඔහේ ගලාගෙන එනවනේ..ගංවතුර වගේ තමයි

      Delete
  9. එහෙව් කාලයක් පොදු අපිට තිබිලාය.... අලුත් උන් හට නැති......!

    ReplyDelete
    Replies
    1. ඔය දීලා තියෙන්නේ හුනෝ. ගංවතුර නම් නැති වෙන්නම. එගොල්ලන්ටත් මොනව හරි මතක තියෙයි. හුනාව දැක්කේ හුඟ කාලෙකින්

      Delete
  10. සුන්දර මෙන්ම අසුන්දරද මතකයන් බොහෝමයක් එය සතුයි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. යට වෙන ගෙවල් වල මිනිස්සුන්ට ආයේ ඉතින් ඕන නැහැ. ගංවතුර බැස්සට පස්සේ ගෙවල් සුද්ද කරන්න. ගෙවල් කැඩුණු මිනිස්සු ආයේ හදා ගන්න.හ්ම්

      Delete
  11. සාමාන්‍ය ජීවිතය වෙනස් කරන බොහෝ දේ වැඩිහිටියන්ට ඩිසාස්ටර් එකක් වුණාට ලමයින්ට ඇඩ්වෙන්චර් එකක්, වගකීමක් නැතුව ඉන්නකොට බොහෝ දේ රසවිඳින්න කරන්න පුලුවන් නේ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටමයි ප්‍රා.උදාහරනෙකට මට මතකයි මහා බැංකු බෝම්බය පුපුරපු දවස.අපි MRI ට්‍රේනින්ග් ඉන්න කාලේ. අපිට කිව්වා ගෙදර යන්න. යන්න කිව්වට බස් නැහැ. අපි කට්ටියක් බොරැල්ලේ ඉඳන් පෑලියගොඩට පයින් ගියා.හරි නම් ඉතින් කොයිතරම් බයක් දුකක් ඇති වෙන්න ඕනද. ඒ වුනාට අපි කෙල්ලෝ කොල්ලෝ කට්ටිය පාර දිගේ පිස්සු නට නට ගියේ. අපි ලොකු වුනහම හිනා වෙන්නෙත් අනුන්ට ඕන විදිහට. මේ වෙලාවේ හිනා වෙන එක නරකයි වගේ අදහස් වලින් ඔළුව පිරිලා. අපි ඒ කාලේ කොටින්ම මළගෙවල් වල ගියෙත් පිස්සෝ වගේ . යන්තන් මාලගේ කිට්ටු වුනහම දුක මුණක් හදා ගන්නවා. මට හිතෙන්නේ එහෙම පුළුවන් ළමයින් වෙලා හිටි සහ යොවුන් කාලේ විතරයි. එහෙම නිදහස් කාලයක්

      Delete
  12. වට වංගු දාගෙන බහින ගංඟා වගේම කතාව ද අලංකාරයි.

    ගිංගං කොමලියගේ දුර ගමනේ දි වියපත් වෙලා රේල් පාලම යටින් විඩාබරව බහිමින් හිටියත් මේ ටිකේ දී නම් උද්දච්චවෙලා, රේල් පීල්ලත් කරතියන් යන්න වගේ පාට් දානවා.

    ReplyDelete
    Replies
    1. කැළණි ගඟ දිගේ නම් මට ගියහැකි අය්යා පෝස්ට් තුනහතරක්. නමුත් මේ වෙලාවේ හිතක් ආවේ නැහැ. විපතක් වෙලාවේ නේ.
      අපොයි ඔක්කොම ගංගා යුවතියෝ ටික තරහ වෙලා නේද.

      Delete
  13. අපිට නම් ඔය ගංවතුර අත්දැකීම් නැහැ.අපේ ගම් වල ඔය හැඩට ගලන කිසිම ලලනාවක් නැති කොට කොහෙන්ද ගංවතුර.

    එත් මේ ගංවතුර නිසා මිනිස්සු අසරණ වෙලා ඉන්න හැටි දැක්කාම නම් හරිම කනගාටුවක් ඇති වෙන්නේ.

    ReplyDelete