Saturday, 21 May 2016

අද වගේ උදෑසනවල්

උදේ අඬල අඬල අහසට මහන්සියි. කඳුළු වෙලා වැටුණේ නැති වලාකුළු ඔහේ කම්මැලි කමට බලන් ඉන්නවා..උදෙන්ම නැගිටපු කිරිල්ලියක් මොනවද කිචි බිචි ගානවා. වීදුරු බැල්කනියේ වැහි බිංදු ඇන්ද තිත් රටා මුතු වගේ දිලිසෙනවා.ඉක්මනට දුවගෙන එන්න ඉරටත් හදිස්සියක් නැහැ වගේ. ඔය යන්තමට ඇබින්දක් එලිය එවලා හිමිහිට එනවා ඇති. හුඟක් රත් කරලා මේ මුතු කැට දිය කරන එක පව් කියල හිතනවා ඇති.

හරියටම අපි පොඩි කාලේ ලංකාවේ උදයක් වගේ.කම්මැලිකමට තව ටිකක් ගුලිවෙලා  නිදන්න අපුරු වෙලාව. අද නිවාඩු නිසා වෙන්න ඇති වැඩිය වාහන සද්ද නැහැ.
ඉස්සර කුස්සියේ අම්ම තේ හදන සද්දේට තමයි මම ඇහැරෙන්නේ. නිවාඩු දවසට ඔළුවේ ඉඳන් වහගෙන ඔය සද්ද අස්සෙත් මම නිදා ගන්නවා. අපේ අම්ම කවදාවත් කෑගහල මාව ඇහැරවල නැහැ.අට විතර වෙනකම් නිදිය ගත්ත.
ගැහැණු ළමයි උදේම නැගිටලා මිදුල අතු ගාන්න වළං සෝදන්න ඕන කියල සම්ප්‍රදායික අදහස් අපේ අම්මට තිබ්බේ නැහැ. අපි ඒවා කළා හැබැයි ලොකුවට අරක මේක කරන්න කියල කියල නීති තිබ්බේ නැහැ. අපේ ජෙනරාල් අක්ක තමයි ඉතින් මගෙන් වැඩක් ගත්තේ. අපි පුංචිම කාලේ හිටපු අර පොල් වත්තක් මැද ගෙදර මිදුල වැලි. පොල් අතු රටාවට අතු ගාන්න පුළුවන් ජාතියේ. ඊට පස්සේ හිටි ගෙවල් දෙකම මිදුල් බොරළු. එතන කලාව තිබ්බේ බොරළු කැට ටික ඉතුරු කරලා කොළ අතු ගාන එක.
 දවසින් දවස අතු ගාන දිශාව වෙනස් කරන්න ඕන.නැත්තන් බොරළු එක පැත්තකට තල්ලු වෙනවා. මම නම් ඉතින් ඕක යාන්තමට එහාට මෙහාට කරලා පොතක් අරන් පැත්තකට වෙනවා. ඔය පොඩි කොටු මිදුල වගේද ස්ටෙප්ස් තණ බිමේ නැත්තන් වොල්ගා ගඟ බඩ රස්තියාදු ගහන එක.
බබයිගා යකින්න ගේ ගේ ඉස්සරහ බිරියෝසා ගස් වල කොළ කොච්චර වැටිලා තිබ්බද අතු ගාන කම්. උන්දැට ඉතින් කොස්සේ නැගල ලෝකේ වටේ රවුම් ගහනවා ඇරෙන්න ගෙවල් මිදුල් පිළිවෙලට තියා ගන්න ඕන කමක් තිබ්බය.
බිරියෝසා සහ බර්ච් කියන්නේ එකම ගහට කියල ඊයේ දැන ගත්තේ. වෙන රටක ඉන්න මගේ යාළුවෙක්ගෙන්.

ඉස්සර වගේම තමයි තාමත් ඉතින් මගේ ලියවිලිත් රස්තියාදු ගහනව. මේක නම් ඇත්තටම බ්ලොග් එකට දාන්න ලියන්න ගත්ත නෙමේ, උදේ පාන්දර වැස්සෙන් පස්සේ ඉබේම ලියවුන කුඩා සටහනක්. ඒ නිසා වැඩිය බරපතල විදිහට හිතන්න එපා .

ඉතින් මම කොහෙද හිටියේ ...මිදුලේ. අපි කුලී ගෙවල් වල හිටි කාලෙත් ඊට පස්සේ පොඩි ගෙයක් හදපු කාලෙත් අපේ අම්ම මල් හිටෙව්වා. ඔය පොඩි පොඩි දවල් කුමාරි අතු තැනින් තැන ඇන්න එක ඇරෙන්න මගෙන් ඒ කර්මාන්තයටත් ඒ හැටි දායකත්වයක් ලැබුනේ නැහැ.

දුයිෂෙන් සහ අල්තීනායි එක්ක පොප්ලර් ගස් හිටෝන එක ඊට වඩා රසවත් වුනා.
වතුසුද්ද රෝස වගේ මල් පිපෙන ගස් තමයි අපේ දිහා වැඩි. ඔය ගැන ඉස්සර දවසක ලීවා මතකයි. මට නිදහසේ හිතන්න හීන දකින්න නිදා ගන්න ඉඩ දීලා සම්ප්‍රදායික ගැහැණු ළමයා මොඩල් එකට නොවැටී ඉන්න දීපු එක ගැන අම්මට හුඟක් ණය ගැතියි. උයන එක වළං සෝදන එක ගෙවල් අස් කරන එක පස්සේ කාලේ ඕනෑවටත් වඩා කරන්න ලැබුණ . ඕවා අමුතු මැජික් නොවේ. ඒවා කරන්න ජිවිත කාලයක් තියෙනවා. නමුත් අර නිදහස් ළමා කාලෙට ආයේ යන්න බැහැනේ . අනික අපි ගෙදර වැඩ හොඳට කළා කියල පදක්කමක් හම්බ වෙන්නෙත් නැහැ . සබන් දියර වලට රැලි වැටෙන ඇඟිලි ....ඉඳල හිටලා රත් වෙච්ච වලඳක ගෑවිලා ඉතුරු වෙන පිළිස්සුන ලකුණු ...ඕව තමයි පදක්කම්.

නමුත් අර සුන්දර නිදහස් දැරියගේ මැවෙන පරිකල්පනයන් බොහෝ පසු කාලෙක හරි මොනයම් විදියකින් හරි එලියට එනවා. ඒ සිතුවිලි මවන අකුරක් දෙකක් මවන සලකුණු කවද හරි කවුරු හෝ කියවා සතුටක් ලබාවි.

මේ ඒ වගේ අම්මක්ගේ දුවෙක් ලියු පුංචි සටහනක්. ඒ දුවගේ දුවල හිස සිට පොරවාගන නිදි අතරේ ........ඒ දකින සිහිනත් දවසක කොහේ හෝ ලියවේවි


ඊයේ හවස එළියට ගිය වෙලේ පොඩ්ඩි ඇහුව හෙට නම් පෝය අද ඇයි හඳ මෙච්චර රවුම් කියල.
මම කිව්වා හෙට ඔයිට වඩා රවුම් වෙයි කියලා.

එදා සඳ මයි අදත් .....


නොනිවෙන විදුලි එලි ගණනින් දස දහස
මිනිසුන් කුහුඹුවන් වී දුව යන          දවස
කිසිවෙක් නොබැලුවත් ඉඳහිට වත් අහස
සඳ කියනවද නුඹ තරහා නැති      රහස

පොල් අතු රටා නැතුවත් පෙර දවස වගේ
තවමත් ගලනු ඇති සඳ දිය මිදුල දිගේ
විහිදා ලිහා රන් වන්  කෙස් කැරලි ඇගේ
සඳ සිප ගනී ආදරයෙන් මුහුණ    මගේ







40 comments:

  1. ලස්සන ලියවිල්ලක්ක් ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete
  2. උදෑසනවල් (බහුවචනය) කීම නිකං හරි මදි මදි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. රසිකට හිතෙන දේවල් ඉතින්....

      Delete
  3. සුන්දර ලියවිලක්.

    ළමා කාලය බුක්තිවිඳින්න ඉඩදී... මෙ අදහස බොහෝ ඉහළින්ම පිළිගන්නවා, පිළිපදිනවා.

    ReplyDelete
    Replies
    1. වාසනාවන්ත දුවරු

      Delete
  4. හරිම සුන්දර සැහැල්ලු හිත පතුලෙන්ම ලියැවුණු ලියවිල්ලක් බින්දී.අර අතුගාන දිසාව දවසෙන් දවස වෙනස් කරන එකනං දැනගත්තෙ අදයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප. ඔව් එහෙම තමයි නැත්තන් බොරළු එක පැත්තක ගොඩ ගැහෙනවනේ,කවුරු හොයා ගත්තද මන්ද අපි එහෙමයි කලේ . පස්සේ පදිංචි වුන ගෙදරත් එහෙමයි මම අතු ගෑවේ . දැන් නම් ඉතින් මිදුලක් නැත

      Delete
  5. ඉතාම අපූරුයි ලියවිල්ල...අර ලන්දේසි දූපතේ ජිල්ජෝනා කියන්නැහේ කොතරම් අපූරුද කොතරම් අපූරුද?

    බිරියෝසා කියන්නෙ බර්ච් ගහටද? බිරියෝසා කියන වචනෙ මම දන්නවිදිහට ඔරුවල බන්දු මහත්මයාගෙ නිර්මාණයක්...

    අපිටත් මෙ දවස්වල පේනව දැවැන්ත හඳක්..මම හිතන්නෙ කාන්තාර වලට හඳ ලොකුවට පේනවද කොහෙද...ඒ ගැන දන්න කියන විද්වතෙක්ගෙන් අහල බලන්ට ඕමනයි.

    කෑගල්ලෙ අපේ ගෙදර වතුර ටැංකිය තිබ්බෙ කුස්සියත් එක්කම අල්ලල. ඕකට නඟින්ට යකඩ ඉණි මඟක් තිබ්බ. ඒ එක්කම තිබ්බ මහ විසාල කටු අනෝදා ගහක්. ඒකෙ අතුපතර නිසා ටැංකිය හොඳට හෙවණයි. ඉණිමඟ දිගේ වහලට නැඟල වතුර ටැංකියට පිටදීල හේත්තු උනහම ආය නෑ කිං ආතර් වගේ තමයි. පෙනෙන තෙක් මානෙ මගේ රාජ්ජේ.

    ඔතන තමයි මම වැඩිහරියක් ඒ කාලෙ පොත් කියෙව්වෙ....ඒත් එකක් තියනව. ඔය කටු අනෝදා ගස් වල දිමියො කූඩු හදනව හරියට. උං අවුස්සගත්තොත් ඉතිං පොත් කියවල හමාරයි...පොරමොලා,නීලා, තිසාහාමි, ගෝඹිරා, හෑන්ස්, ගැස්පා පිගේරා, එඩ්මන්ඩ් වෑන් ස්ටියර්වේල්ට්, නාලිනී කුමරිය, කොණා, එතකොට විලියම් බ්‍රවුන්, ඩේවිඩ් බෝමන්, ෆ්‍රෑන්ක් පූල්, හඳයා, එඩ්මන් දනතිස්ස, ෆේරියා පූජක තුමා, ලක්ෂ්මන් මොරලන්ද, පියල්, ජිනදාස ළමාහේවා,නන්දා, ඔය වගෙ මාත් එක්ක අදටත් ජීවත්වෙන හිතවත්තු බොහොම දෙනෙක් මට මුණ ගැහුනෙ ඔය ටැංකිය උඩ කටු අනෝදා සෙවණෙදි....එතන මහ පුදුම තැනක්...:)

    ReplyDelete
    Replies
    1. aspen trees and birch trees are similar right?

      Delete
    2. Rangi,

      Yep, similar but not the same apparently,

      / Because aspen and birch both have white bark, from a distance they look pretty similar. But up close they are very different. One of the easiest ways to tell the difference is by looking at the bark./

      Delete
    3. නියමයි රවී ...ඒ කාලේ හම්බ වෙචච උදවිය නම් ඉතින් හැමදාටම යාළුවො තමයි. ලියවිල්ල හොඳයි තමයි ..කෑවා හරි ඔච්චර නොස්ටල්ජික් කළා කියන්නේ අද මම හොඳට ලියලා

      රංගි..බර්ච් වල රුසියානු නම් තමයි බිරියෝසා

      Delete
    4. විද්වතෙක්ගෙන් පස්සෙ අහගන්නකම් මේක කියවලා බලපන්කෝ... :)
      https://en.wikipedia.org/wiki/Moon_illusion

      Delete
    5. තිසර,

      නෑ මල්ලි මම කිව්වෙ ඒ ගැන නෙවෙයි. ලෝකෙ කොහෙත් ක්ෂිතිජය කිට්ටුව හඳ වගේම ඉරත් අහස මුදුනෙ තියනවට වඩා විසාලව පේනව. ඒක ඇත්ත. මම කිව්වෙ එහෙම උනත් ලංකාවෙදි ක්ෂිතිජය කිට්ටුව පේන හඳටත් වඩා මෙහෙ පේන හඳ ලොකුයි වගෙ කියල මට හිතෙනව කියලයි...:)

      සයුරිත් මේ ලඟදි කියල තිබ්බ අමරිකාවෙ දකින හඳ ලංකාවෙ දකින හඳට වඩා විසාලයි කියල එයාට හිතෙනව කියල.

      Delete
    6. මමත් පින්තුර වලින් ඔය කාරණේ දැකල තියෙනව. කෝ මේ සඳ කමිටුවේ මාමලා ටික.

      ගල් මල් මාමා විතරයි පේන්න ඉන්නේ

      Delete
    7. අපොයි! හඳ කමිටුව කැන්සල් කලේ කොයි කාලෙද...

      හඳ ගමන් කරන්නෙ ඉලිප්සාකාර පථයක නිසා හඳේ සිට පෘථිවියට ඇති දුර වෙනස් වෙනවා.. මේ දුර වෙනස නිසා අපට හඳේ පෙනෙන ප්‍රමාණයේත් 10%ක විතර වෙනසක් වෙනවා කියලයි දන්නා ඇත්තෝ කියන්නෙ.. මේක වසර පුරාවටම තියෙන දෙයක් නෙවේය, එක් කාල වකවානුකට පමණක් වෙන දෙයක්ය කියලත් කියනවා ය..

      Delete
    8. ඔය ඉන්නේ අපේ එක මාමෙක්

      Delete
    9. ඒත් එක්කම, පෘථිවිය හිරු වටා ගමන් කරන පථය හා හඳ පෘථිවිය වටා යන පථය එක මත එක අතිපිහිත වෙන්නෙ නැහැ.. ඒ දෙකේ යම් ආනතියක් තියෙනවා.. ඒත් එක්කම පෘථිවියත් සිය තලයට අංශක විසිගානක් ආනතිවෙලා නෙවැ තියෙන්නෙ.. මේ කරුනුත් හේතු වෙනවා වෙන්ටෝනැ යම් යම් තැන්වලට බලපාන මේ ප්‍රමාණ වෙනසට..

      Delete
    10. රවී:
      මම උන්නා නම් එකත් එකටම මම ඔය දිමි ගොටු වලට බිම ඉදන් ප්‍රහාර එල්ල කරනවා ඔබතුමාගේ පොත දාල දුවන්න සිද්දවෙන විදියට.. හි හි හි

      Delete
    11. උපේක්ෂා,

      උඹ ඉතිං මොකද? බොලා වාගෙ එවුංට අපෙ අත්තම්මා කිව්වෙ තේඋඩිච්චියො කියල...:)

      Delete
  6. ඉඳලා හිටලා හරි මෙහෙම සැහැල්ලු සටහනක් කියවන්න ලබෙන එකක් සතුටක්.
    හිතින් අතීතයට ගියා.

    ReplyDelete
    Replies
    1. බරසාර එව්වා ලියන්න මට හරිම අමාරුයි රංගි. එහෙම ලියවුණොත් කවියක් තමයි ඉතින්

      Delete
  7. අපූරු ලියවිල්ලක් බින්දි අක්කේ... අක්කගේ ලියවිල්ල හරහා මාත් අතීතේට ගියා වගේ... හැබැයි අපේ අම්මා උදේ ඇහෙරෙන එක නම් අනිවර් ‍ය්‍ය කරලා තිබ්බේ, ඒත් ඉතින් අදටත් ඒක එහෙම වෙන්නේ නම් නැහැ

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ දාට පහමාරට විතර නැගිට්ට නිසා නිවාඩු දාට දවල් වුනාට අම්ම මුකුත් කිව්වේ නැහැ.
      ජිවිතේ මල් අම්ම ළඟ ඉන්න කල්. ස්තුතියි නංගි

      Delete
  8. බොහොම හෘදයාංගමව ලියවුන ලියවිල්ලක් බව දැනෙනවා. අතීත මතකය හරිම රසවත් ලස්සන දවසක හුදෙකලාවේ ගිලුනාම...එකම සද එදත් අදත් ඒත් මතක නම් කොපමණක්ද...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් සිරා. තනිකමත සැපතක් සමහර වෙලාවට.නැත්තන් ඉතින් තේ හදන්නයි අරක මේක ...හුඟක් සිතුවිලි තේ කෝප්පෙට හොද්දට තමයි.
      එදා සඳ මයි...අපි පමණයි වෙනස් වන්නේ

      Delete
  9. බින්දිගේ සටහන හරි සුන්දරයි!!!
    ගෙදර සොඳුරු ආඥාදායිකාවිය කියන්නේ දුව බැඳලා ගියාට පස්සේ මොන වගේ ජීවිතයක් ගෙන යයිද වෙන්නේ නැති නිසා, අපි ගාව ඉන්න කම් එයා නිදහසේ ඉඳියි. ඒ නිසා කැමති විදිහට නිදහසේ ඉන්න දෙන්න කියලා. වයිෆ් වැඩට යනකම් ඉඳලා මම ගෙදර වැඩ ටික දුවට කියලා කරගන්නවා. මේ කෙල්ල අම්මා ආපු ගමන් කේලම කියනවා. ඒත් අපි හිනාවෙලා ඉන්නවා. දැන් ඉතින් දුව අපිත් එක්ක නැති නිසා මටත් වැඩ පැවරිලා. වාතේ තමයි. මක් කරන්නද.

    ReplyDelete
    Replies
    1. ඇගේ අම්මට මගේ ගානේ මල් මිටක්. එහෙම තමයි වෙන්න ඕන.මගේ මතය. මේකට විරුද්ද අය ඇති.මම කලිනුත් කිව්වා වගේ ගෙදර වැඩ හොඳට කළා කියල එච්චර වැඩක් නැහැ.මගේ කෙල්ලෝ දෙන්නයි මායි ජොලියේ ඉන්නේ ඒකයි. හැබැයි උවමනා නම් ඒගොල්ලන්ට පුළුවන් පැයක් ඇතුලත ගේම අස් කරන්නත්. ඒගොල්ලන්ගේ කාමර වලට මම අත තියන්නේ නැහැ. මොකද ඒවා වෙනම පුද්ගලික ලෝකයන්.වෙනස් පුංචි ලෝකයන්. ඒවා ආක්‍රමණය කරන එක වැරදියි.

      Delete
  10. පොත් පත් කියවන්න හුරුවෙච්ච කෙනෙක්ගේ මනසේ පුළුල් බව එහෙම නොකරපු කෙනෙක්ගෙන් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්...

    ඔය හඳ එළියත් හරි අමුතු දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර පොත් පත් වලින් හමු වුන උදවිය නොවෙන්න ජිවිතයේ ප්‍රශ්ණ තේරුම් ගන්න හුඟක් අමාරු වෙන්න තිබ්බ.
      කලබල නගරයක වුනත් හඳ දැක්කම දැනෙන්නේ නෑදෑයෙක් දැක්ක වගේ හැඟීමක්.

      Delete
    2. මහගමසෙක්රත් ඔහොම අත්දැකීමක් කියනවා නේද නිව්යෝක් නුවරදී හඳ ගැන.

      Delete
  11. ඔයා හරි දක්ෂයි පරණ මතකයන් අවුස්සන්න. තමන් විදින ගමන් අපිවත් අතීතයට ගෙනියන්න. බරසාර ලිපි වලට වඩා මේ වගේ සැහැල්ලු ලිපිවලට හරි කැමති.

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි ගිම් ....ඊයේ අපේ චුටි දු මාව ඉන්ටවිව් කළා. පොතක් පෑනක් හෙම අරන් බරසාර විදිහට. අම්මිගේ බ්ලොග් එක කියෝන අය වැඩියම කැමති මොන වගේ ලිපි වලටද..ඒ එක ප්‍රශ්ණයක්. මම කිව්වා පරණ මතක ඇවිස්සෙන ඒවාට තමයි කට්ටිය වැඩිය කැමති කියල

      Delete
    2. අතීතකාමයට මමත් ගොඩාක් කැමතියි...

      Delete
  12. එච්චර හිතන්න එපා කිව්වට මේ ලිපියේ හිතන්න, මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා. අපේ අම්මත් අපේ නංගි අරභයා දරණ්නේ ඔය මතය. දැන් කුස්සියේ වැඩ කරන්න කියලා පන්නන්නේ නැත්තේ කාලයකදී ඇතිවෙන්න කුස්සියේ වැඩ උරුම වෙන නිසා කියලා.

    බොරලු පොලවට හරියන ඉදල් දැන් අපේ රටට චීන රටෙන් එනවානේ... ඒවා රේක්ක වගේ හයිබ්‍රිඩ් ඉදල්! පරණ ගෑල්ලමයිට නං ඉතින් එවයින් අතුගෑමේ වාසනාව නැතිවුනා. :D

    අනිත් කාරණය විවේක කාලය. මම දන්නේ නෑ මිනිස්සු කොහොමද මුලු ජීවිත කාලෙම එක දිගට වැඩ කරන්නේ කියලා. අඩුම ගානේ හරි විදිහට වැඩක් කරන්න ටිකක් විවේක පාඩුවේ කල්පනා කරන්න එපැයි. අනිත් අතට කියවන අයට වීසා නැතුව ලෝකේ වටේ යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පොත්. අතීතයට වුනත් ගියෑකි කාල තරණ යන්නතර නැතිව. එදිනෙදා කරන වැඩ කොච්චර කරත් ඉවර වෙන්නේ නෑ. එහෙව් එකේ අර අතීත ගෑණු ළමයාට විවේක ගන්න දුන්නු අම්මට ස්තූති කරන්න ඕන. ඒ මොකද අද මේ වගේ බ්ලොග් එකක් ලියවෙන්නෙ ඒ හන්දා වෙන්න පුලුවන් නිසා.

    අපේ ගාමිණී අයියගේ බ්ලොග් එකේ පාඨය මතක ද? එයා කියන්නේ ‘‘සිතුවිලි වලට නිසි වටිනාකම ලැබෙන්නේ ඒවා ලියා තැබු විටය‘‘ කියලා. මේ ලිපියේ අන්තිම හරිය කියවද්දි මට මතක් වුනේ ඒක.

    කොහොමවුනත් මේ වචන ටික මට මීට වඩා සංවිධානාත්මකව ලියන්න තිබුනා. ඒත් දිනපතා කරන්න ඕන වැඩ වලට සේවිකාවක් ගන්න තරම් ආදායම හොඳ මදි හන්දා අපිටම සේරම වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් විවේකය හොයාගන්න වේගෙන් වැඩ කරලා වෙලාව ඉතිරි කර ගන්න තියෙනවා. නැත්තං විවේක කාලයයි අඩු වෙන්නේ. ඒක නිසා මේ ලියලා තියෙන දේ ගලපනා තේරුම් ගන්න එකයි!

    අපේ ගෙදරත් අම්මා කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ මගේ අම්මා නෙමෙයි පුතාගේ අම්මා. ඒ හන්දා මට නම් පොරවාගෙන හීන බලන්න වෙන්නේ සේරෝම වැඩ අහවර වුනාට පස්සේ....

    :D

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පෝස්ට් ඒකක් තරම් දිග කමෙන්ට් එකක්. හරිම සතුටුයි බුද්ධි.
      ලංකාවේදී සේවිකාවන් ගැනීම හරිම අමාරුයි තමයි.ඒ ඉතින් තුන්වෙනි පන්තියේ රැකියාවක් ලෙස හංවඩු ගැසීම නිසා. මමත් ඔය දුක වින්දා. දැන් නම් ළමයි ලොකු නිසා කරදරයක් නැහැ.අමම්ට බ්ලොග් ලියන්න බැරි නම් මලව ගන්න කියල උන් දෙන්න සින්දුවක් අහගෙන කාරිය ඔහේ ඉන්නවා.අනික් වැඩ ඉතින් මට ඕන වෙලාවට තමයි. එවරස්ට් කන්ද වගේ රෙදි ගොඩක් උනත් එහා මෙහා කරලා අහක බලන් ඉන්න පුළුවන් ඉස්සර පුරුද්දම තමයි. අර කලිනුත් කිව්වා වගේ ගෙදර වැඩට පදක්කම් නොලැබේ.

      පුතා ලොකු වුනහම ඔයාටත් ටිකක් විවේක ලැබෙයි. මම මේ කලපනා කරන්නේ රොබින් හුඩ් වුනත් ඉතින් කසාද බැන්දම ඔය ටික තමයි නේද.
      චීනෙන් ඉදල් ..හ්ම්ම්
      මෙහෙ ඩොලර් දෙකේ ජපන් කඩේ තියෙනව උණබට හීනියට ඉරල හදපු හුරුබුහුටි ඉලපතක් වගේ එකක්. චිනාගේම වෙන්න ඕන
      ඇත්තටම බුද්ධි වගේ දක්ෂ ලේඛකයෙකුට මිට වඩා ලියන්න වෙලාව දෙන්න කියල අපි මැරියන් ගෙන් ඉල්ලා හිටින උද්ගෝෂණයක් වගේ එකක් .....නැහැ එක්කෝ ආයේ මොකටද ඔය පැය දෙකත් නැති කරගන්නේ නැද්ද ...
      බුද්ධිගේ බ්ලොග් එක වැඩිය බ්ලොග් නොබලන යාලුවෙක්ට හඳුන්වා දුන්නා. හරි ලස්සණයි කිව්වා. අපි එහෙමයි හොඳ දේවල් බෙදා දෙන්නේ

      Delete
    2. බිංදි අක්කෙ... මගෙ ජිවිතේ නම් උනේ ඕකෙ අනිත් පැත්ත . කසාඳෙන් පස්සේ තමා මං මගේ ජිවිතෙ උපරිම නිදහසක් විදින්නේ.. පුතා ලැබුනා කියලත් එකේ කිසිම වෙනසක් නැ... පුතා පොඩි උනත් එයා එයාගේ වැඩත් පුලුවන් විදිහට කර ගන්න ගමන් අපිටත් උදව් කරනවා...එයත් මාත් එක්ක ලියනවා..කියවනවා.. බලනවා.. සිංදු අහනවා.. උයනවා.. රෙදි වනනවා..මට නම් හිතෙන්නේ බැන්දට පස්සේ අපි හිතනව නිදහස නැ කියලා... එක සිතුවිල්ලක් විතරයි.. හරියට තමන්ගෙ ජිවිතය ගැන plan එකක් තියෙන්නේ ඕන..ඒ ගැන පැහැදිලිව කතා කරන්න ඕන දේන්නම වගේම, තමන් තමන්ගේ හිත එක්කම කතා කරන්න ඕන කොහොමද සමබර කර ගන්නේ කියලා වගේම ජිවිතේ කියන්නේ රේස් දිවිමක් නෙවේ කියලා තේරුන් ගත්තම ඕන තරන නිදහසයි, වෙලාවයි තියනවා.

      Delete
    3. සතුටුයි සතුටුයි ....මම නම් වැඩට ගියානේ ඉස්සර. දැන් තමයි ඉතින් නිදහසේ ඉන්නේ. කොච්චර වුනත් අම්ම ළඟ ඉන්නවා වගේ කොහෙද ..මමනේ අම්මා

      Delete
    4. අක්කේ, මං කිව්ව දේට රැකියාව නම් අදාල වෙන්න නැ, තමන්ගේ හිතේ හැමදේම සමබරව කරගෙන තමන්ට තමන් අහිමි නොවි යන්න ඕන කරන අවබෝධය, හිතේ ශක්තිය , පිළිවෙල ගැනයි මම කිව්වෙ...තමන්ගේ ගෙදර වැඩ කරගන්න පඩියට හෝ කෙනෙක්ගෙන් යැපෙනවා කියන්නේ තමන්ගේ ජීවිතය අනුන්ට බරක් නොවි ගෙනියන ආකාරය පිළිබද අවබොධය මදිකම කියලයි මට හිතෙන්නේ...

      Delete
  13. ඉස්සර අපෙත් තිබ්බේ බොරලු පොළවක්.එකේ ඉදලෙන් අතුගාන වැඩේ කෙරුවේ ඒ වෙද්දීත් අවිවාහකව හිටිය තාත්තාගේ ලොකු අක්කා.එයාට කේන්ති ගියාම පලිගන්නේ මිදුලේ බොරළු වලින්....:)දැන් නම් මිදුලක් ඇත්තේම නැහැ.


    ඉර දෙන නිසා අඩු නැතුවම මට එළිය
    මම සිප ගනීමි ලොබ නැතුවම ඔබේ මුහුණ
    ඉඳහිට හෝ ඔබේ මතකෙට මට එන්න
    මේ පෝයටත් එමි ඔබ දැකගෙන යන්න

    ReplyDelete