Thursday, 30 June 2016

විසල් නගරයක හරි මැද

දස දහස් විදුලි එලි ඇස් යොමා
විසල් විසිතුරු නගරයක් නොනිදාය මේ රැයෙත්
නිදන නොනිදන දුවන ඇවිදින
මිනිස් ගඟ මැද කවුද මම .....
.....සිතක් හදවතක් ඇති කුහුඹුවෙක්

ඉතා උස තැනක ආකාස මායිම සදාදී
පාට  පාටින් කොන්ක්‍රීට් අලවා තිබෙත්
පොඩි ඉඩක වලාකුළු දෙක තුනක් එලාගෙන
මලානික තරුත් වැතිරේය
පාලුවෙන් ..
ගලන්නට වගක් වත් නැතුව වාගේ
ගඟත් අලසව නොසෙල්වී හිඳිත් මුහුද අද්දර
හමන්නට කම්මැලි සුළං බරට වැතිරී
නිදන්නට සොයත් කුඩා අඳුරක්
පාළම යටින්

අහස නගරය මුණ ගැසෙන ලා දම් පාට මායිමේ
ඉඳහිටක රැයේ තවමත්
දේවතා එළියක් වෙලා වැටෙනවද නැද්ද නොදනිම්
බලා ඉඳ බලා ඉඳ කාලයක් ලතවුණු
....පුංචි තරුවක්

Sunday, 19 June 2016

බෝතල් පත්තර

 
අපේ ලොක්කිට අනුව ලෝකය ගොඩ ගත නොහැකි තරමට විනාශ කර හමාරය. ඇය පවසන්නේ කොපමණ මහන්සි වුවද මේ කර ඇති විනාශයන් ආපසු හරවන්නට බැරි බවය.කොතරම් කණගාටුවට කරුණක් වුවද මිනිසුන් ලෝකය විනාශ කොට ඇති බව අප පිළිගත යුතු බව ඇගේ මතයයි. වඩා හොඳ දවසක් එතැයි සිහින දකින්නයි මා ඇයට කීවද සැබවින්ම ඇය නිවැරදිය. දවසකට නිවසේ කොතරම් ප්ලාස්ටික් කන්දරාවක් එකතු වේද..කඩේ යනවිට මල්ලක් ගෙන ගියද පලතුරු එළවලු පැකට් කර ඇති ඇති ඇසුරුම් කෙතෙක්ද.වවන්නට ඉඩක් නැති මෙවැනි රටවල ප්ලාස්ටික් භාවිතය ඉතාමත් වැඩිය. ඉක්වදෝරයෙන් එන කාබනික කෙසෙල් ඔතා ඇත්තේ පොලිතින් කවරයකය. ඇමරිකාවෙන් එන ඇපල්,ඊශ්‍රායලයේ ජම්බෝල ...සෑම මහද්විපයක සිටම එළවලු පලතුරු එන අතර බොහොමයක් ප්ලාස්ටික් ඇසුරුමක ඔතලාය.
පරිසර දුෂණය නැතිකොට ලෝකය බේරා ගැනීමට දහසක් වැඩ මුළු සම්මන්ත්‍රණ පැවැත්වේ. ඒ වැඩ මුළු වලට කොතරම් ප්ලාස්ටික් වතුර බෝතල් වැය වේද.වායු සමීකරණය සඳහා කොතරම් ශක්තියක් වැය වේද.
ප්ලාස්ටික් වලින් ලෝකය වැසී ගොස්ය. වැස්සට කෙහෙල් කොළ ඉහලා ගෙන යා නොහැක. අද ගමේ පාරේ යන මාළු කාරයා මාළු ඔතන්නට හබරල කොළ ගන්නේ නැතුවා විය හැක. අපි අද ප්ලාස්ටික් වලින් වැසිලාය. කාරයා කීම හොඳද නරකද කියා නොදනිමි.
ඒ කාලයේ ඈතින්" මාලෝ " කියා හඬ ඇසෙන විටගමේ  මාලා පමණක් නොව  සීතා  අයිරාංගනී සෝමා ...මාලිනි ඇතුළු එකී නොකී ගැහැණු පරාණ පාරට යන්නේ අලුතින්ම එන මීගමු මාළු ගන්නටය. ගෙවල්වල පුසන් බල්ලන් පමණක් නොව කාක් කාක් කියා සනුහරයටම කතා කරන කපුටු හාමිලාද ඔහු වටා රොක් වේ. මාළු ගන්නට එක්කෝ භාජනයක් ගෙන යති. නැත්නම් හබරල කොළ වල ඔතා දෙයි
.
කඩ සාප්පු වැඩිය නොතිබූ අප කුඩා කල නිතර පාරේ ගිය  "'කාරයින්'" බොහෝ ලොකු සේවයක් කල බව මතකය. දේවදුතයෙකු බඳු ( වැඩිහිටියන්ට අනුව කැළණි ගඟේ වතුරෙන් අයිස්ක්‍රීම් සදනා) අයිස්ක්‍රීම් කාරයා,.(.දැන් නම් අඹතලෙන් බෙදන කැළණි ගඟේ වතුර ඔය අගේට බොන්නේ ),
බොම්බයි මොටයි සහ නයිස් අරන් එන බොම්බයි මොටයි කාරයා ඇතුළු බොහෝ කාරයින් අතර බෝතල් පත්තර කාරයාද මසකට වරක් වත් ඇවිත් ගිය බව මතක ඇත.
ප්‍රතිචක්‍රීකරණය වැනි බරපතල වචන අසා නොතිබූ කුඩා ළමයෙකු  එදවස පරණ බඩු එකතු කරන්නා එතරම් ලොකු සේවයක් කල බව නොදැන සිටින්නට ඇත.

"karung guni, poh zhua gu sa kor, pai leh-lio, dian si ki..." ("Rag and bone, newspapers and old clothes, spoilt radiostelevisions" )
.චීන බසින් කෑගසමින්  සීනුවක් හෝ කුඩා නලාවක් හඬවමින් ගෝනි මල්ලක් ගෙන  kampong (මැලේ බසින් ගම) මැදින් වැටුණු මඩ පාරවල ලී කණු උඩ සෑදු ලෑලි ගෙවල් අතර සරනා කිලිටි ඇඳුමින් සැරසුණු මිනිසෙක්  මා වැනිම කුතුහලයෙන් පිරි සිංගප්පුරු දැරියකට  නිතර මුණ ගැසෙන්නට ඇත. 
ඒ KARUNG GUNI කෙනෙකි  කරුන්ග් යනු මැලේ බසින් මල්ල වන අතර guni යනු ගෝනිය.
ගෝනි මල්ලක් රැගෙන ගෙයින් ගෙට ගිය පරණ බඩු එකතු කරන්නන් කරුන්ග් ගුනි නැත්නම් කරුන්ග් ගානි ලෙස හැඳින්වින.
එදවස දුප්පත් සිංගප්පුරු වැසියන්  තමන්ට උවමනා නොවන පරණ බඩු දී ප්‍රයෝජනයට ගත හැකි යමක් ලබා ගැනීම ට කරුන්ග් guni එනතෙක් බලා සිටින්නට ඇත.
කෙමෙන් කෙමෙන් මඩ පාරවල් වෙනුවට උඩින් යටින් කොන්ක්‍රීට් පාරවල් ඇදෙද්දී .....kampong වල ගෙවල් මණ්ඩි වෙනුවට තට්ටු නිවාස සංකීර්ණ ඉදිවද්දී පවා "karung guni, poh zhua gu sa kor, pai leh-lio, dian si ki..."හඬ ඉතුරු විය.
අනුව දශකයේ අග වනවිට කෙමෙන්  karung guni ලාද නවීකරණය වී ගෝනි මල්ල වෙනුවට යකඩ කරත්ත...ලොරි වැන් සහිත ව්‍යාපාර බවට පත් විය. 
මේ වන විට බොහෝ දුරට මැලේ සහ ඉන්දියන් ජාතිකයින් මේ කාරියේ නිරත වේ. ඔවුන්ගෙන් පරණ බඩු මිලට ගැනීමද ව්‍යාපාරයකි. ඇතැම් විට කැඩුණු විදුලි උපකරණ ආදිය අලුත්වැඩියාවට වඩා අලුතින් එකක් ගැනීම අද පහසුය.ලාබය. IKEA GIANT COURTS වැනි සාප්පු වලින් අඩු මිලට අලුතින් ගැනීම පරණ බඩු අලුත් වැඩියාවට වඩා පහසු යයි මිනිස්සු කල්පනා කරති. මෙවැනි මහා පරිමාන සාප්පු නිසා කුඩා කඩ හිමියන්ට පහර වැදී ඇත. එදවස තිබු කුඩා ලි බඩු සාප්පු අද දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. ප්‍රාදේශීය  වෙළඳපොල වල තවමත් කුඩා ලි බඩු කඩයක් දෙකක් ඉතිරිව ඇත. පොඩි පොත් රාක්කයක් ගන්නට ගිය දවසක කඩේ චින ආච්චි   " දැන් කොහෙද අපි ඒවා හදන්නේ.ඉකියා ජයන්ට් වලින්ම ගන්න එකයි  " කියා මට රවා බැලුවාය. සිංගප්පුරුවේ සියලු කුඩා පරිමාණ වියාපාර බිඳ වැටීමට සමස්ත හේතුව මා බව ඇය සීතා  සිටියා මෙනි.

තව දුරටත් සිංගප්පුරු වැසියා පරණ බඩු මිලට ගන්නේ නැත. අනවශ්‍ය දේ බැහැර කිරීමට මේ සේවය ලබා ගනී. ඇතැම් විට අනවශ්‍ය ගෘහ භාණ්ඩ ආදිය ඉවත් කිරීම වියදම් අධික කාරියකි.

තව දුරටත් මිනිස්සු ඉස්සර වාගේ කඩදාසි පත්තර නොකියවති. කුණු කසල බැහැර කිරීමට නියමිත වැඩපිළිවෙලවල් ඇති නිසා karung guni ලාට එදිනෙදා වැඩ අඩුය.ඒ කාරිය ලොකු ව්‍යාපාර බවට පත්ව ඇත. karung guni ලා එකතු කරනා මේ නැවත අලුත් වැඩියා කොට ගත හැකි උපකරණ බොහෝ විට මිලදී ගන්නේ විදෙස් රටවලින් පැමිණ මෙහි වැඩ කරන මිනිසුන් විය හැක.
ළමයා සංගීත පන්තිය ඉවර වෙනතුරු ගුරුතුමියගේ නිවස පහල බංකුවක පැයක් හිඳෙන සිටීමට   සතියකට වරක් මට සිදුවේ.

ඒ පැය කල්පනා කිරීමට ගත කරමි. පරවියන් ගණන් කරමි. සිතෙන් කවි ලියමි. අසලින් යන මිනිසුන් මොන වගේ දැයි නිරීක්ෂණය කරමි. කොන්ද හොඳටම නැවුණු ඉතාම වයසක සියා කෙනෙක් හැමදාම කුණු අහුලයි. එයා හිනා වන්නට නොදන්නා නිසා මගේ සිනහව කීප විටත් අපතේ ගියේය.
අසල කුඩා උද්‍යානයේ ඉඳහිට අයෙක් ව්‍යායාම කරනු පෙනේ.දම් පාට  කොබෝලිල ගස් වල මල් පිපී ඇත. රොබරෝසියා මල් වැටෙන කාලයට මල් ගණන් කල හැක. කවදත් රාස්සිගේ අව්ව වැටෙන යාමයට  මගේ සිත සන්කාකුල පාළුවකින් පිරෙන්නට පටන් ගනී. නිශ්චිතවම කිව නොහැකි තනිකමක්. 
එවන් සවසක කුඩා සිනුව හඬවමින් තට්ටුවක් ගානේ ඇවිදින karung guni කෙනෙකි. ඔහුගේ කරත්තයේ පරණ දේවල් එකතු වෙනු ඇති. අලුත් වැඩියා කල හැකි විදුලි උපකරණ අතර කුඩා රුපවාහිනී යන්ත්‍රයක් තිබිය හැක.
ඈත බංගලි දේශයේ දුවිලි පිරුණු ගමක මැටි ගෙයක අනාගතය ගැන ආසාවෙන් ලෝකය ගැන හීන දකින කුඩා දැරියකගේ කළු පාට ලොකු ඇස් දෙකක් ඉතා පුදුමයෙන් හෙට ඒ රූප පෙට්ටිය දෙස බලා සිටිනු ඇත. රේල් පාර බලන්නට කෝච්චියක් දැක ගන්නට නොතිත් ආසාවෙන් සිටි අපුගේ අක්කා ..දුර්ගා ගේ අවුල් වූ කෙහෙ රැල්ලක් මගේ මුහුණේ වදියි,..
මා පසු පස හැරෙමි. දඟකාර පොඩ්ඩි හිමින් පිටුපසින් විත් මාදෙස සිනාසෙමින් බලා සිටි.










Monday, 6 June 2016

බස් කතා බස්



බස් එක නැවැත්තුව. රියදුරු මහත්මය වැරදුනා බස් කැප්ටන්  වෙනද වගේ ඉස්සරහ දොර ඇරියේ නැහැ. මැද දොර විතරක් ඇරියා. එයා ගේ රියදුරු අසුන ගාව  තියෙනව දොරවල් අරින්න වහන්න බොත්තම්. ඊට පස්සේ එයා නැගිටලා ඇවිත් බස් එකෙන් බැස්ස.එතන හිටියා ඇවිදින්න බැරි කෙනෙක් රෝද පුටුවක ඉඳගෙන.
පඩිය ගාව තිබ්බ කොටසක් බිමට පාත් කරලා අර රෝද පුටුව තල්ලු කළා බස් එක ඇතුලට.
හිමිහිට ඒ වෙනුවෙන්ම තියෙන තැනක නවත්තල ඒ මනුස්සයගේ බස් කාඩ් එක ඉල්ලගෙන කාඩ් වල කියවන මැෂිමට ඇල්ලුවා. ආපහු එයාටම දීලා ආපහු රියදුරු අසුනේ වාඩි වෙලා තමයි ඉස්සරහ දොර ඇරියේ.
මදැයි ඉතින් ඔය සේරම වෙනකම් කිසිකෙනෙක් මීක් ගෑවේ නැහැ .අපිට පරක්කු වෙනවය අරක මේක කියල.
ඔය සංසිද්ධිය පළමුවෙන් දැක්ක දා මම කටත් ඇරගෙන වෙන්න ඕන බලන් හිටියේ.
මොකද  දශක හතරක් වෙච්ච මගේ ජිවිතේ ඔහොම එකක් දැක්කමයි. වියට්නාමයේ බස් සේවාව ගැන කතා කරලත් වැඩක් නැහැ .මයි බයික් මයි පෙට්‍රල් තමයි එහෙ අය.

මම මෙහෙ බස් වලට හරි කැමතියි. කවද හරි මෙහෙන් යන දාට දාල යන්න දුකම දෙයක් තමයි බස්. තනි තට්ටුවේ බස් වලට වඩා මට හිතෙන්නේ ඩබල් ඩෙකර් තමයි වැඩි. කැප්ටන් හෙවත් රියදුරු මහත්තය බොහෝ විට හිනා වෙනවා. මැරුවත් හිනා යන්නේ නැති කට්ටිය ඉන්නවා ඉතින් කලාතුරකින්.කැප්ටන් නංගිලා ඇන්ටිලා හෙමත් ඉන්නවා හරි ලස්සණ.
 කොන්දොස්තර කෙනෙක් නැහැ. බස් ඇතුල හරි පිරිසිදුයි. කන්න බොන්න තහනම්. මෙහෙ ඉතින් තහනම් නම් තහනම් තමයි. දුරියන් ගෙනියන්නත් බැහැ. ඉතා දුර පාරවල රවුම් ගසන බස් වගේම පොඩි පොඩි අතුරු පාරවල කෙටි ගමන් බසුත් තියෙනව.
මම ඉතින් වෙලා තියෙනවා නම් කැමතියි අර දුර පාරවල යන බස් එකක නගින්න.දෙය්යනේ කියල ඉඳගෙන වට  පිට බල බලා යන්න. පුංචි නගරයක් වුනත් ටිකක් එහා මෙහා යද්දී විවිධ දේ දකින්න පුළුවන්. ඔය බස් වල යද්දී ඉතින් මට විවිධ දාර්ශනික ආදහස් හෙමත් පහල වෙනවා. එව්වා හුඟක් ලියන්නේ හිතේ තමයි. සමහර වෙලාවට නගර මධ්‍යට යන ගමනකදී නම් හිතෙන හුඟක් දුර යනවා. ගෙදර ඉන්න කාලේ බස් ගැන කල්පනා වෙනවා .
වැල් ජෝන් සුදුස්සන්ට කාර් ගන්න සලස්සන බුද්ධිමත් කතාව දැක්කට පස්සේ කාලෙක ඉඳල හිතේ ලිය ලිය උන්න බස් ගැන ලියා දාන්න හිතුන.

ඉස්සර මම හරිම ආසයි ඩබල් ඩෙකර් බස් එකක යන්න. අපේ ඉස්කෝලේ ඉස්සරහින් ගියා 112 මහරගම බස් එක. හැබයි වැඩිය යන්න ලැබිල නැහැ.
අපේ පාරේ බස් හුඟක් දුර ඉඳන් එන ඒවා. ගම්පහ පුගොඩ වැලිවේරිය වගේ. කට කපල අපේ හරියට එද්දී. ඔය බස් එකකට රිංග ගන්නවා කියන්නේ  කණ කැස්බෑවා අහස බැලුව වගේ වැඩක්. එහෙමත් රිංග ගත්තට පස්සේ අනෙක දුක් ගැහැට. පුද්ගලික බස් ආවාට පස්සෙත් එච්චර වෙනසක් වුනේ නැහැ.
මම ගියේ හුඟක් දුර ඉස්කෝලෙකට, දැන් නම් හිතෙනවා පිස්සුද කියලත්. කඩවත ඉඳන් ආපු පෝල් අන්කල්ගේ පාසල් බස් එක කැළණියෙන් අල්ල ගන්න ඕන. ඉස්කෝලේ නම නිසා රියදුරු මහත්තයත් නිකන්ම පෝල් අන්කල් වුණා. බාලිකාවන්ට පමණයි. කොන්වන්ට් එකක පාලිකාවක් තරමට අන්කල් තද බල නීති. යකෙක් වගේ. කොන්දොස්තර නම් හරිම කෙට්ටු කරුණාවන්ත මනුස්සය. මම එයා එක්ක හරිම යාළුවුණා. විශේෂයෙන්ම ටිකට්  රෝල ඉවර වෙන්න යද්දී ගලවන කොට ඉල්ලා ගන්න. පොඩි කටු සටහන් ලියන්න බලි කුරුටු අඳින්න හරි ප්‍රයෝජනවත්.
පරක්කු වෙලා ඇහැරිලා ස්කුල් බස් එක මිස් වුන දවස් අනන්තයි. දුක තමයි .ඊට පස්සේ බස් කීයක යන්න ඕනද. ගේට්ටුවේ ඉඳන් පරක්කු වෙන උන් අල්ලන ශිෂ්‍ය නායිකාවෝ පවා පන්ති වලට ගිහින්. එහමකට අවුලකුත් නැහැ .
ඔය අතර හිටි ගමන් බස් වර්ජන. නැත්තන් බස් දුවන එක තහනම්. එහෙම දාට ඉතින් කොහොම යන්නද.
මොන කරදර වුණත් කොළඹ පාරතොට හොඳට පුරුදු වුනා විවිධ  බස් වල ගිහිල්ලම.
හවස පන්ති හෙම ගිහින් රෑ බෝ වෙලා ගෙදර එන්න ගත්තු කාලේ කවුරු හරි ළමයෙක් හිටියා කතා කරකර එන්න. බස් එකේ කරදර අමතක වුනේ   ඒ කතා බස් වල ආව නිසයි. ඒ කතා බස් කාලය ගෙවීමක් පමණක් නොවේ අද කල්පනා කරද්දී ආරක්ෂාවක් ,රැකවරණයක්. ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ. හොඳ යාළුවො හිටියා එහෙම  කතා කර කර එන්න. මොනව කතා කලාද මන්ද ඔච්චර.

දිගම දිග දවසක අවසන
දහදිය අපුල ඉවසගෙන
ඇඹරි පොඩි පට්ටම් වන්ට පෙර
අස්ථි පන්ජරය
 එකතු කරගෙන
කියවන්ට කොතෙක් දේ තිබුණිද ....

ජිවිතේ වෙනස් බස් වල නැග
දැන නොදත් වටරවුම් වල වෙන් වුන
සුහද මිතුරනි ..
දෙමටගොඩ හන්දියේ 
දිගම දිග වාහන පෝලිමට හසුවුණ
කරදරකාර සවසක
නිමක් නැති ඒ අපේ කතා බස්
මොනවද....
මට අමතකය

ඔබට මතකද ??????????


කරදර කරදර යයි නොසිතු ළමා කල බස් කතා බස් වල මා සමග ආ ගිය සියලු මිතුරු මිතුරියන්ට.........මේ මතක සටහන