Friday, 26 August 2011

ප්‍රන්ශුවා ට ඉන්දු -චීනය අහිමි වුන . Dien Bien Phu සටන


 
 
 
ප්‍රංශ චාරිකාව ගැන තව ලියන්න දේවල් තිබ්බත් කලෙක සිට ලියන්න හිතන් හිටි දෙයක් මතක අලුත් වුනා . ප්‍රන්ශයත් වියට්නාමයත්  ඉතින් අපියි එංගලන්තෙයි වගේම තමයි. ඒ හින්ද මෙතනට මේ කතාව අමුත්තකුත් නැහැ .
මොකක්ද මේ Dien Bien Phu ටිකක් අමුතුයි නේද . ඒ උත්තර වියට්නාමයේ ලාඕස් මායිමට කිට්ටුව ඇති ප්‍රදේශයක් .කැමති විදියට උච්චාරණය කලාට වරදක් නැහැ . ''ඩින් බින් ෆු ''වගේ තමයි මෙයාලගේ උච්චාරණය . මම මෙහෙ සමහර වචන කියන විදියට වියට්නාම ටැක්සි රියදුරන් හෙම හොල්මන් . මහම දිව උලුක් වෙන භාෂාවක් මේක .
ඇයි ඉතින් මේ ඈත මායිමක ඇති ගමක් මෙච්චර වැදගත් වුනේ . ඔය නමින් සයිගොන් වලත් හැනොයි වලත් ප්‍රධාන පාරවල් දෙකක් නම් කරලාත්  තියෙනවා .
හේතුව තමයි 1954 දී මාර්තු මාසේ ඉඳන් මැයි මාසේ දක්වා ඇතිවුන මාරාන්තික සටන එහෙම නැත්නම් ප්‍රංශයේ ''ඉන්දු චීනය '' නමැති සිහින අධිරාජ්‍යය බිඳ වැටිලා පල්ලම් බැස්ස සටන . ඔය ගැන නම් සංඛ්‍යාලේඛන ඇතුවම දෙන්නම්කො .
 
සොල්දාදුවන් ගණන ...ප්‍රංශ =15,000
                    වියෙට් මින්   =  40 ,000
ප්‍රංශ සොල්දාදුවෝ 1600 ක් මිය ගියා ..4800 ක් තුවාල වුනා . 1600 ක් අතුරුදන් ..8,100 ක් සිරගත කරන්න ගෙනියද්දි භාගයක්ම මග මිය ගියා . අද කාලේ වෙන දේ වලට අනුව මේවා පොඩි ගණන් වගේ පෙනෙයි . ඒත් මේ 1954 ගැන අපි කතා කරන්නේ .
 
හෝ චි මින් අරඹපු වියට් මින් පෙරමුණේ සොල්දාදුවනුත් සෑහෙන්න බැට කෑවා මේ ජයග්‍රහණය ලබාගන්න . 7900 ක් පමණ මිය ගියා . 15,000 ක් පමණ තුවාල ලැබුවා . මේ විස්තර ගත්තේ http://en.wikipedia.org/wiki/Battle_of_Dien_Bien_Phu සහ http://www.history.com/this-day-in-history/french-fall-to-viet-minh-at-dien-bien-පහුවලින් .
 
 
මේ ඉතිහාසගත සටනේ ප්‍රතිපලය ලෙස එතෙක් ප්‍රංශ ආධිපත්‍යට යත් ව සිටි වියට්නාමයට එම වසරේ ජිනීවා සමුළුවේදී නිදහසත් ලැබුන . වියට්නාමය මුලික කරගෙන ගොඩ නගන්න හීන මැව්ව ''ඉන්දු චීනය''ත් ප්‍රංශයට සිහිනයක්ම  වුනා .
 
ඇමරිකන් වියට්නාම යුද්ධය ගැන අපි අහල තිබුනට ප්‍රන්ශයත් එක්ක ඇති වෙච්ච තත්වය මම එතරම් අහල තිබුනෙත් නැහැ . ආවට පස්සේ නේ දැක්කේ ප්‍රංශ ආභාෂය ලැබූ ගොඩනැගිලි ...භාෂාවට එකතු වුන වචන ..ඒ විතරක් නෙමේ කන්නෙත් ප්‍රංශ පාන් . මොකක්ද මේ ඉන්දු චීනය ? ඇයි ප්‍රංශ කාරය මෙහෙට ගොඩ බහින්න හේතුව ? ඔන්න ඔය පසුබිම පොඩ්ඩක් විස්තර නොකලොත් මේ සටහන් සම්පුර්ණ වෙන්නේ නැහැ. මේ ගැන බොහොම දේවල් දන්නා අය නෙලුම් විල දිහා එන බව දන්නවා . ඒ වගේම නිදන මිනිසෙකි මෙහි පොස්ට් එක ලිව්ව වෙලාවේ දැන ගත්තේ හෝ චි මින් ගැන අහල වත් නැති යාළුවො ගැන . එහෙම අයට මේ දේවල් පොඩ්ඩක් හඳුන්වා දිය යුතු නිසා පසුබිම ටිකක් කියන්න ඕන .
 
ඔන්න ඉතින් මෙව්වා ආවට ගියාට ලියන්න බැරි නිසා මම අන්තර්ජාලයේ සැරිසැරුවා . අපොයි මේ ඉතිහාසය ඉතා ඈතට දිවෙන සහ එහෙන් මෙහෙන් ලින්ක් යාවුන දැලක් වගේ මහා විස්තර ගොඩක් . සේරම කියවන්න වත් ලියන්නවත් මට හිතන්නවත් බැහැ. රසවත්ම ටික සාරාංශ ගත කරන්නයි බලාපොරොත්තුව .
මෙගා එකක් ලියන්න වටිනවා . ඒත් මන් කම්මැලියිනෙ . ටිකක් ලියමු ඉතුරු ටික කමෙන්ට් වැටෙන විදිහට ඇදගෙන යමු.
 
 
මේ රටත් ඈත අතීතයේදී  ඉඳන්ම විදෙස් ආක්‍රමණ අභ්‍යන්තර කැරලි කෝලාහල වලින් බොහොම සංකීර්ණ ඉතිහාසයක් ඇති තැනක් .මේ ඉතිහාසයට ප්‍රංශය සම්බන්ධ වුන තැන සොයාගෙන යද්දී තමයි අපට Gia Long  අධිරාජයා [Nguyễn Phúc Ánh තමයි මුල් නම ]    එහෙම නැත්නම් නුතන සිතියමේ විදියටම වියට්නාමය එක්සේසත් කරලා Nguyen යුගය ඇරඹු පුද්ගලයා හමු වෙන්නේ . එවකට දකුණු වියට්නාමය වෙනම පාලනය වුනේ . මේ කාලේදී ඇතිවුන කැරැල්ලකින් පාලක පෙළපතේ බොහෝ දෙනෙක් මිය ගියා . අවුරුදු 15 දී පලා ගොහින් ඉඳිද්දී මොහුට හමු වෙනවා මිෂනාරි වැඩේට ආපු ප්‍රංශ පුජකයෙක්. නම Pigneau de Behaine .ඔහු පොරොන්දු වුනා ආපහු බලය ගන්න උදව් වෙන්න . මෙයාලත් අර පයිරේට් ගනයේම තමයි. මිෂනාරි වැඩේට ආවට ඉන්දු චීන ප්‍රදේශයේ වෙළඳ කටයුතු වලට හොට දාන්න පොටක් පාදගන්න ප්‍රංශයට ඕනෑකම තිබ්බ . ඔන්න බලන්න ඇතුලේ ගිනි ගන්න කොට එළියෙන් වතුර කියල භූමිතෙල් ගහන අය එදත් හිටිය . ඉතින් මේ සත් ගුණවත් මිෂනාරි තුමා ප්‍රංශ රජයේ සහය අරගෙන Nguyễn කුමාරයට බලයට එන්න උදව් කරනවා .Gia Long   ලෙස අභිෂේක ලබන කුමරා ඉතා සංකීර්ණ සටන් පෙළකට පස්සේ මුළු වියට්නාමයම එක්සේසත් කළා .
 
Pigneau  de bahaine




Emperor Gia Long
 
 
1802 දී ඔහුගෙන් ඇරඹුන Nguyen යුගය ඔහුගෙන් පුතාට[ Minh Mang ] හිමි වෙලා තවත් අධිරාජයන් දෙන්නෙක්ගෙන් පස්සේ 1945 දී නැත්තටම නැති වෙනවා . උදව්වට ආපු මිෂනාරීන්ගේ යටි අරමුණු Gia Long   ට අවබෝද වුණා. ඒ වගේම ඔහුත් ඊට පස්සේ පුතත් සෑහෙන ප්‍රතිරෝධයක් දක්වලත් තියෙනවා රට ඒ බලපෑම් වලින් නිදහස් කරගන්න . ඒත් අවසාන රජු වුණා Tu Duc ගේ කාලේ වෙද්දී දකුණ විතරයි ඔහුට හිමි වුනේ . රට ප්‍රායෝගිකව කොටස් 3 කට කැඩිලා  සහ මධ්‍යම වියට්නාමය ප්‍රංශ ආධිපත්‍ය ටත් නතුවෙලා ඉවරයි ඒ වෙද්දී.
 
ඉන්දු චීනයක් දිනා ගන්න ප්‍රංශය ගෙන ගිය සටන උච්ච වෙලාතිබුනේ . ඔය අස්සේ කම්බෝදියාවේ නොරදොක් රජතුමා කැමැත්තෙන්ම ප්‍රංශය යටතේ නාමික රජෙක් වුනා තායිලන්ත [ සියම ] යේ කරදර වලින් ආරක්ෂාවෙන්න. මේ ගැන කියවද්දී නිකන් කැඳ හැලියක් වගේ . ඔය කාලෙනේ දෙවන ලෝක යුද්ධය ත් තිබුනේ . යුරෝපේදී ලෝක යුද්ධය හරහා අපේ වීරයෝ ගොඩට වැටෙන ප්‍රංශය මෙහෙදී වෙනත් මුහුණක් . අනේ ඇත්තට මෙව්වා කියවද්දී ඉතිහාසයේ මොනතරම් පරස්පර විරෝදී කම් පාවා දීම ..සිද්ධ වෙලා තියෙනවද කියල අපි වගේ සාමාන්‍ය මනුස්සයන්ට නම් හිතා ගන්න වත් බැහැ .
 
Nguyen යුගය අන්තිම කාලයේ බලය අරගල ඇති වුනා . ඔය අස්සේ ප්‍රංශ මිෂනාරි වරු හැදුවා කතෝලික උරුමක්කාරයෙක් ට කිරුල හිමිකර දෙන්න . මට නිකන් අපේ කෝට්ටේ යුගය හෙම හීනෙන් පෙනී නොපෙනී යනවා මේවා කියවන කොට .
 
ඔය අස්සේ ජපනත් මේ පැත්තේ ලොක්ක වුනානේ . තායිලන්තේ එක්කත් ප්‍රන්ශේ සටනක් ඇති වුනා ඒ කම්බෝජියාවේ මායිම් ගැන . ලාඕසය නම් පුංචි අසරණයෙක් නේ. නිකන්ම ඉන්දු චයිනා සිතියමට ඇතුළු වෙලා ඉවරයි .
 
ඔය කාලයේ තමයි අපේ හෝ චි මින් හෙවත්'' හෝ මාමා ''කරලියට එන්නේ . ඔහුගේ මුලිකත්වයෙන්  උතුරු වියට්නාමයේ වියට් මින් සංවිධානය බිහිවෙනවා . කලිනුත් පොස්ට් එකක් දමපු නිසා මේ නිදන මිනිසා ගැන ආයේ ලියන්නේ නැහැ .විවිධාකාර සටන් වලින් පස්සේ ජනරාල් Vo Nguyen Giap ගේ නායකත්වයෙන් අපේ ප්‍රධාන මාතෘකාව වෙච්ච Dien Bien Phu සටන
ඇති වුණා . එයින් පැරදුනාට පස්සේ ප්‍රංශ ය ඉන්දු චයිනා සැලසුම අකුලගත්ත . තව දෙයක් යටින් මේකට උඩ ගෙඩි දෙමින් හිටි  ඇමරිකාව දැනගත්ත මේ වැඩේ ප්‍රන්ශුවාට කරන්න බැරි බව . ඔන්න බලන්න මිතුරන්ගේ හැටි .ජනාධිපති අයිසන්හවර් තීරණය කළා ප්‍රන්ශේ ට උදව් නොකර ඉන්න . පෙනේද මේකා.
ඔය වෙනකොට ලෝකයේ හිස ඔසවමින් හිටි කොමියුනිස්ට් වාදය පැසිෆික් කලාපයේ ව්‍යාප්ත වෙන එක වලක්වන්න ඇමරිකාවත් යුරෝපිය බලවතුනුත් හැඟී හොරා ඉන්දු චීන වැඩ පිළිවෙලට ප්‍රන්ශේ ට ආශිර්වාද කරමින් හිටියේ . හැබැයි මෙයාට මේකා කරන්න බැරි බව දැනගෙන ඇමරිකන් කාරය හිමින් මෙහෙ වැඩ අරඹල තිබ්බේ . The Quiet American (1958 film) [ ග්‍රැහැම් ග්‍රීන් ගේ පොතක් ඇසුරුකොට ගත්] වල ඕක අපුරුවට පෙන්වනවා . ඇමරිකාවට වෙච්ච අලකලංචිය ඉතින් ආයි ලියන්න ඕන නැහැනේ . Cu Chi Tunnels ගැන කියවන්නකෝ අතපසු වුනා නම් . ඒකෙ තියෙනව ඒ ගැන විස්තර .
 
 
 
 

ඉතින් ඔහොම  Dien Bien Phu සටනින් දිනලා නිදහසත් ලබාගෙන ..ආයේ ඇමරිකන් යුද්ධෙටත් මුහුණ  දීලා වියට්නාමය අද යන්තම් ඉහ ගහල ඉන්නවා. මට මෙහෙම වියට්නාමයේ සිටම මේ ගැන ලියන්න ඉඩ ලැබුනේ ත් එදා දිවිපිදු නිර්භීත කුඩා මිනිසුන් නිසයි. ඔවුන්ට මගෙත් අසීමිත ස්තුතිය මෙයින් පිරිනැමෙනවා .
ප.ලි.
ගොඩක් කියවා බොහොම පරිස්සමින් සාරාංශ ගත කලත් වැරද්දක් දැක්කොත් පෙන්වන්න . ඉතිහාසය වෙනස් කරනවට මමත් බොහොම අකමැතියි.
 
විශේෂ ස්තුතිය ...බෑන් කී මුන් මහතාට ඉස්කෝලේ පටන් ගන්න තීරණය කලාට .
[බොහෝ තොරතුරු අන්තර්ජාලයෙන් . ඒ ඒ ස්ථාන වලම ලින්ක් දමා ඇත ]
[පින්තුරත් Google Images තමයි . තවම යන්න බැරි වුනා . ලඟදි ගුවන් ගමනක් අරඹා ඇති නිසා එක්කගෙන යාමට පොරොන්දු වී ඇත .]
අමතර පින්තුර මෙයින් බලා ගත හැක

Wednesday, 3 August 2011

''මයිකල් ජැක්සන්ව'' බොන මැලේසියානුවෝ

පසෙකින් රෙදි ගොඩකි - පොත් පත් හැම තැනය
ඔක්කොම දමා ''බින්දී'' මම විල                 ළඟය
වැඩ ගොඩ වෙලා අය්යෝ මන්          අසරණය
එහෙමයි කියා නොලියා ඉන්නත්            බැරිය

නෑවිත් මේ පළාතේ මන් හිටි              ටිකට
ලියවුනු කතා ඇති වෙන හොඳ බ්ලොග් වලට
නොගොහින් ආවොතින් හරි නැහැ මගෙ හිතට
ඒකයි පමාවී බැස්සේ මගෙ                  විලට

අතහැර දමා ගිය බව මන් නෙලුම් විල
තැන තැන දුටිමි ලියවී කට කතාවල
පිපුනේ නැතත් කලෙකින් මෙහි නෙලුම් මල
කන්නට හැකිය මෝරපු හොඳ නෙලුම් අල

රඹුටන් උපන් රට පැත්තේ ගොස් ඇවිද
දුටු දුටු නෙලුම් මල් මන් ගත්තා ඇහිඳ
එකවර හිටවන්න කෝ ඉඩ කඩ කොහිද
විසිකළ යුතු යි සැල්වීනිය හා   මඩද

සති දෙකක්ම නෙලුම් විලට බහින්නත් බැරි වුනා . මන් නැතත් විල දිහා ඇවිත් ගිය සගයින්ට මගේ ස්තුතිය . ඔය අස්සේ මේකට ඉස්ගෙඩි බෝකරන්න කුමන්ත්‍රණ කරපු අයත් හිටිය . වතුර පල් වේගෙන යනවා කියල අපේ ලී බෝනික්ක අනතුරු අඟවලත් තිබුන . අපේ චතුරංග මලය මුර වැඩේ බාර ගත්ත නිසා බය නැතුව මන් මගේ පාඩුවේ නිවාඩුව ගත කරලා ආවා.

වැඩි ඈතක නෙමේ ..මේ ළඟ පාත මැලේසියාවට තමයි ගියේ. මගේ ඉන්දියන් මිතුරියගේ ගෙදර සති දෙකක්ම සැප සනීපෙට ගත කළා . ආයි මොනවද ඉවිලි නැහැ තේ එක අතට එනවා ..කෑම ටික මේසෙට එනවා . උදව්වට ඉන්න ළමය රෙදි ටිකත් හෝදලා මැද දුන්නා . ළමයිනුත් එයාලගේ හොඳම මිතුරියෝ දෙන්න එක්ක ඇති තරම් සෙල්ලම් කළා . මගේ මිතුරියට දුවල දෙන්නයි . අපේ දෙන්නගේ වයසේම . මේ සංසාරයේ කොහේ හරි අපි කට්ටිය හමු වෙලා තියෙන බවයි අපේ අදහස . මහත්තුරු දෙන්නත් හොඳටම යාලුයි . අපි දෙන්න සහෝදරියන් දෙන්නෙක්ටත් වඩා සමීපයි. කෙල්ලො හතරදෙනා පුදුම යාලු කමක් .  ඔන්න බලන්න ගිය ආත්මේ කරපු පින්කම් වෙන්න ඇති මෙහෙම යාළුවො ලැබෙන්න .

ඒ ලොකු කෙල්ල තමයි  කවදාහරි ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියන්නේ . ඔන්න   කවද හරි ඉන්දියන් කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති වෙන්නත් බැරි නැහැ. ඒ ළමය ඒ තරමට ශක්තිමත් චරිතයක් . අපේ ලොක්කිට එයාගේ පුද්ගලික උපදේශක තනතුර දෙනවලු. අපිටත් ඉතින් ධවල මන්දිරේ පැත්තේ රවුමක් ගහන්න බැරුවය .
 
තව ඉතින් මොනවද . තෝසා..චපාති ..මුරුක්කු ..ගිල ගිල මමත් මගේ මිතුරියත් හින්දි චිත්‍රපටි බැලුවා . කඩ ගානේ ඇවිද්දා . මන් එලියට යන හැම දවසෙම බනිලගේ තාත්තා මෙහෙ ඉඳන් බය වෙනවා . ඇයි මේ ගෑනි අතේ තියෙන ඩොලර් ටිකත් ඉවර කරලා ණය කාඩ් එකෙන් ගිණුමේ සල්ලි ඔක්කොමත් ඉවර කරයිද කියල . වැඩියම බය වෙන්න ඇත්තේ පොත් සාප්පුවට යන බව අහල .

දැක්ක දුටුව දේ නම් අප්‍රමානයි . වෙන වෙනම පෝස්ට් වලින් ලියන්න ඕන .
රට ගැන කියනවා නම් මන් දැක්ක Kuala  Lampur නගරය නම් සෑහෙන දුරට  සැලසුම් කල නගරයක් . ලෝකයේ උසම ද්විත්ව ගොඩනැගිල්ල [ Twin Towers ] ඇතුළු විවිධාකාර හැඩති ගොඩනැගිලි හැමතැනම . හැමදේටම වඩා මා සිත් ගත්තේ දෙපස වනවගාවෙන් අලංකෘත මහා මාර්ග පද්ධතිය . මට හැඟුණ පරිදි ඒවා පාරවල් සෑදු පසු ගස් හිටවීමක් නොවේ. දෙපස වනය ඉතුරු කර පාරවල් තනා ඇති බවක් තමයි මට දැනුනේ .
පැරණි නගරයක් මුළුමනින්ම සංවර්ධනය කරන්න බැරිව ඇති . මෙහි ඉඩකඩ සලකා බලා රජයේ පරිපාලන නගරය ලෙස කි.මි. 25 ක් පමණ ඈතින්  ඉතා සැලසුම් කොට  නගරයක් ඉදි කොට තියෙනවා . එහි නම ''පුත්‍රජයා''  . පුත්‍ර = කුමරා ..ජයා = ජය .
මට යන්න නම් බැරි වුනා ඒ පලාතට .
නගරෙන් පිට කියල යන්න වුනේ ''ජෙන්.ටින්ග් '' කඳු පලාතටත් සත්තු වත්තටත් විතරයි . සත්තු වත්ත නම් ඒ හැටි ලොකු නැහැ . ඒත් ළමයින්ට විනෝද වෙන්න හැකි තැනක්.


''ජෙන්ටින්ග් හයිලන්ඩ් '' වල කේබල් කාර් ගමන මගේ සිත ගත්තා . අපේ නුවර එළිය වගේ ..නැත්නම් හපුතලේ වගේ ..ටිකක් සීතලයි .
At Petrosains Science centre

නගරයේ නම් ප්‍රධාන ආකර්ෂණය ''Petronas twin Towers '' තමයි . උදේ පාන්දර ගිහින් ටිකට් අරගන්න ඕනේ උඩට නගින්න . අපි වගේ කම්මැලියන්ට ඔය වැඩ බැහැනේ .

එයට යාබද ''Petrosains  Discovery Science Centre '' ළමයින්ට හරිම අපුරු අත්දැකීමක් වුනා . ඒ අසලම ඇති මින් මැදුරත් නරඹන්න හැකි වුනා .

කෑම බීම.....දෙය්යන්ගේ පිහිටයි  මැලේසියන් ජාතිකයින් හොඳට කන බොන බව ශරීර කූඩු වලින් පේනවා . නිවර්තන දේශගුණය නිසා සරුසාර රටක් බවයි පෙන්නේ. දන්නවනේ ඉතින් රඹුටන් ඉපදිලා තියෙන්නෙත් මැලේසියාවේ .පොඩි කාලේ රඹුටන් ගෝනි ගණන් කා ඇති හෙයින් විශේෂයෙන් කෑමට හිතුනේ නැත .
. දුරියන් ..මැන්ගුස් හෙමත් ජනප්‍රියයි . නගරයේ පාරවල් අයින් වල නම් ඔව්ව විකුනනවා දැක්කේ නැහැ . එහෙම පළාත් මන් දැක්කේ නැතිව වෙන්නත් හැකි.

මට එකම පරහකට තිබුනේ බේකරි වල මාළු පාන් ..චිකන් පේස්ට්‍රි හෙම බැබලි බැබලි තියෙද්දී අහක බලන් යන්න වෙච්ච එක . මගදී කාල ගියොත් මිසක් ගෙනිහින් කන්න බැහැනේ . පුර්ණ වෙජිටේරියන් කෙනෙක් එක්ක නේ ජිවත් වුනේ . කිසිම විරෝදයක් නැහැ අපි කෑවාට. ඒත් යුතුකමක් තියෙනවනේ එහෙම නොකරන්න .
මගේ අනෙක් මැලේසියන් මිතුරියක් එක්ක ගිහින් ''නාසි ලමක් '' කියන බත් එක කෑවා. පොල් කිරි මුහු කරලා උයන බතක් . ලංකාවට හුරු කෑම ගොඩක් තියෙනවා . කොකිස් හා දොදොල් විකුනනවා දැක්කා .
මේ බීම එකේ නම ''මයිකල් ජැක්සන්''  හිතන්නකෝ ඇයි කියල

අපේ මැලේ අච්චාරුව තියනවද කියල නම් දැක්කේ නැහැ .
බීම ජාති හෙම ලෝබ නැතුව විශාල විදුරු වල දෙනවා . ගොඩක් කඩවල බීම දෙන්නේ කට පළල බෝතල් වල . හොන්කොන්, තායිවාන් වලත් එහෙම දෙන බවයි දැනගන්න ලැබුනේ .

මට මැලේසියාවේදී මතක් වෙච්ච එක පුද්ගලයෙක් ඉන්නවා . උපාලි විජේවර්ධන මැතිතුමා . කාලෙට වඩා ඉදිරියෙන් ව්‍යාපාරික දැනුමක් තිබ්බ විශේෂ ශ්‍රී ලාංකිකයෙක් . දහම් පාසලේ තෑගී උත්සවයේදී අත හිත පිරෙන්න තෑගී ලැබුන ළමා මතක ඔස්සේ ඔහු මට සිහි වුනේ ඇයි. මැලේසියාව සමග ව්‍යාපාරික ගනු දෙනු තිබු මෙතුමා රැගත් පුද්ගලික ගුවන් යානය අතුරුදන් වුනේ එහෙම ගිය ගමනකදී. අපේ දහම් පාසලේ සෑම කටයුත්තකදීම සම්බන්ධ වූ නිසා මට ඔහු හොඳ හැටි මතකයි.
 අද වැඩිය ලියන්න බැහැ. හරිම නිදිමතයි . ඉදිරියේදී තව මැලේසියන් විස්තරත් තව රස කතාත් කියන්නම් . වාද විවාදෙකට නිමිත්තක් දෙන්නත් බැරි වුනා . ඉඳල ඉඳල ඇවිත් ගිනි දෙන්න හොඳ  නැහැනේ . ඊ ළඟ පාර බලමු.

ස්තුතිය ...මම රස  ඉන්දියන් කෑම කන අතරේ හැමදාම කඩයෙන් කා උදේට තනියම තේ හදා ගත් බනිලගේ තාත්තට