කලින් ලිපි
සේද මාවත ගැන කතාකරද්දී මොන්ගෝලියන් අධිරාජ්‍ය ගැන අමතක කරන්න බැහැ. තණබිම් අශ්‍රිතව කුඩාරම් සංස්කෘතියේ අසරුවන් වෙච්ච මොන්ගෝලියානුවන් අතරින් මතුවුණ ටෙමුජින්[ Temujin ] නම් කොලුවා කුඩා කල සිටම බුද්ධිමත් බැවින් සටන් කාමිත්වයෙන් සහ සංවිධාන ශක්තියෙන් කැපිල පෙනුනා . විවිධ කණ්ඩායම් වශයෙන් ජිවත් වෙච්ච මොන්ගෝලියනුවන් එක්සේසත් කරලා අධිරාජයක් බවට පත් කරන්නත් එය නිකන්ම අධිරාජ්‍යයක් නොව මෙතෙක් බිහිවූ ලොකුම ගොඩබිම් අධිරාජ්‍යය හෙවත් මොන්ගෝලියන් අධිරාජ්‍යය දක්වා ව්‍යාප්ත කරන්නත් මුල් වෙච්ච ඔහු අපි කවුරුත් දන්නා ජෙන්ගිස් ඛාන් . නැත්නම් චින්ගීස් ඛාන් .
ඔහු රජ වෙන්නේ 1206 වසරේදී . 1227 දී මියයන විට මොන්ගෝලියන් අධිරාජ්‍යය මෙසේය
ජෙගිස් ඛාන් නිකන්ම රජෙක් නෙමේ . ඒකාලේ හැටියට සෑහෙන දේශපාලන දැක්මක් වගේම සුවිසල් පාලන හැකියාවක් තිබ්බ පුද්ගලයෙක් . සිය අණසක පැතිරවිමේදී සිද්ධ වුන ලේ වැගිරීම් ඉතා විශාල බවට විවාදයක් නැහැ . විශාලම අධිරාජ්‍යය විහිදෙන කොට ඊට සමාන්තරව විශාල ලෙස මිනිස් ඝාතන සිදුවුනා . ඒ කෙසේ වුවත් ඔහු මදක්පිළිවෙලකට රාජ්‍ය පාලනය කල බව පේනවා . අශ්ව රන්චුත් එක්ක තැනින් තැනට යමින් හිටි කුඩාරම් සංස්කෘතියක් දියුණු කරන එක ලේසි වැඩක් නෙමේ . ඔහු නීති පද්ධතියක් ඇති කලා [Yassa ]. විශාල නීති ගණනාවක් තිබුනත් සංක්ෂිප්ත ලෙස ගත් විට හරය මුලික කොටස් තුනයි .
1..අධිරාජයාට කීකරු වීම.
2. ගෝත්‍රයන් එකලස් කිරීම
3. වරදට දඬුවම් දීම .
..මේ අතර වරද කරුවෙක් අදාළ අවස්ථාවේ අසුවුනොත් හෝ ඔහු පාපොච්චාරණය කලොත් මිසක දඬුවම් දෙන්න නොහැකි වුනා . අනික් අය සාක්කි දුන්නට වැඩක් නැහැ . [මම තමයි වලහ කියල කියවන
ක්‍රමත් තියෙන්න ඇති ]
අනික තමයි කාන්තාවන් පහර ගැනීම තහනම් කළා . චින්ගිස්ගේ බිරිඳත් පෙර අවස්ථාවක පැහැර ගෙන ගිහින් සටන් කරලා තමයි මුදා ගෙන තියෙන්නේ . ඔහු මියගිහින් අවුරුදු සිය ගණනක් ගිහිල්ලත් තවමත් බැරි වුනානේ කාන්තාවන් පැහැර ගෙන යන එක නවත්වන්න . අපි වැඩි දියුණුවක් ලබලා නැහැ වගේ .
මොන ආකාරයේ සම්බන්ධයකින් වුනත් ඉපදෙන දරුවන් නිත්‍යානුකුල කළා . හැබැයි මොහුගේ පවුලේ වැඩි බලතල හිමිවුණේ ප්‍රධාන බිරිඳ වුන බොර්ටේ [ මෙයාව තමයි පැහැර ගෙන ගිහින් බේරා ගත්තෙත් ] ගේ පුතුන්ට තමයි . තවත් බිරින්දන් වරින් වර විවාහ කර ගත්තත් බොර්ටෙට කවදත් මුල් තැන ලැබුනා . දරුවන් ලෙස පුතුන් සහ දුවරුන් හිටියත් වැඩිපුර වාර්තා වෙන්නේ පුතුන් ගැන පමණයි .
ශාමෙනිසම් [Shamanism ] තමයි ඒ කලේ මොන්ගෝලියාවේ ප්‍රධාන ආගම . අහල ඇති ශාමෙන් වරු ගැන . ඒ ගැන වැඩිදුර මෙතනින් . හැබැයි චින්ගීස් ඛාන් අලුත් ආගම් වලට ඉඩ දීල තියෙනවා .
ටිබෙට් පැත්තෙන් ආපු මහායාන බුදු දහම ඒ කාලේ මොන්ගෝලියාවේ ව්‍යාප්ත වෙලා . ඒ වගේම ක්‍රිස්තියානි , මුස්ලිම් වැනි ආගම්ද සමහරු ඇදහු බව සඳහන් . චින්ගීස් ඛාන් සියලු ආගම් වල පුජකයින් බදු වලින් සහ රාජ්‍ය සේවයෙන් නිදහස් කළා .
ආක්‍රමණ සහ යටත් කර ගැනීම් අද ශිෂ්ට ලෝකයේ දී අපි පිළිකුල් කලත් දුර ඈත අතීතයේදී පැවැත්ම උදෙසා ඒ දේවල් අවශ්‍ය වෙන්න ඇති . ආක්‍රමණිකයෙක් වුනත් කුඩාරමින් ඔබ්බට ගිහින් ලෝකයේ විශාලම අධිරාජ්‍යය දක්වා ගිය ගමන නිසා චින්ගීස් ඛාන් එක්තරා වීරයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් . මේ ගැන කියවීම හරිම රසවත් . මගේ පෝස්ට් එක හුඟක් දික් කරන්න මගේ අදහසක් නැති නිසා කෙටියෙන් කිව්වත් ලපිය අවසානයේ දමන සබැඳි ඔස්සේ ගොහින් අතීත අධිරාජ්‍යයක අතරමන් වුවාට කොහෙත්ම පාඩුවක් නොවෙන බව කියන්න ඕනේ .
චින්ගීස් ඛාන් ගෙන් පසු මොන්ගෝලියන් අධිරාජ්‍යය උප කොටස් හතරකට බෙදුනා . ඔහුගේ පුතුන් සහ මුණුබුරන් ඒ ඒ ප්‍රදේශ යම් ස්වාධීනත්වයක් ඇතිව පාලනය කළා . එයින් මොන්ගෝලියාව සහ චීනය ඇතුළු ප්‍රදේශය අයත් කොටස ප්‍රධාන වුනා .
මාර්කෝ පෝලෝගේ සංචාර සටහන් වලදී හමුවෙන කුබ්ලායි ඛාන් ගැන කතා කල හැක්කේ මෙතනදී .චින්ගීස් ඛාන්ගේ මුණුපුරෙක් වුන මොහු සිය වැඩිමල් සොයුරාට පසුව බලයට පත්වෙන්නේ මේ මහා ඛාන් අධිරාජ්‍ය එහෙම නැත්නම් මොන්ගෝලියාව සහ චීනය ඇතුළු වුන කොටසේ. කෙසේ වුවත් මේ කොටස් හතරම මහා මොන්ගෝලියන් අධිරාජ්‍ය ලෙස එකට ගණන් ගැනුණා.
ජෙන්ගිස් ඛාන් මියයද්දී අධිරාජ්‍යය කොටස් හතරකට බෙදා දුන්න .
සේද මාවතේදී මේ සියල්ලන් වැදගත් වන නමුත් මාර්කෝ පෝලෝගේ සටහන් හා සබැඳෙන නිසා කුබ්ලායි ගැන පමණක් සටහනක් තබන්නම් . අනිකුත් මොන්ගෝලියන් උප රාජ්‍යයන් ගැන වැඩිදුර කියවීමට මෙතනින් යන්න .
කුබ්ලායි ඛාන්
බටහිර ප්‍රදේශ වල ඛාන් වරු මුස්ලිම් ආගම වැළඳ ගනිද්දී කුබ්ලායි ඛාන් බුදු දහමට නැඹුරු වුනා . පළමු වරට සිය අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට බුදුදහම නම් කළා . එමෙන්ම දේශපාලනිකව උපක්‍රමශීලි අයෙක් වුනා . කුඩා කණ්ඩායම් අතර බෙදී තිබුන චීනය එක් කර යුවාන් සමය ඇරඹුවේ ඔහුයි .
කුබ්ලායි ඛාන් අධිරාජයා චීනයේ දියුණුවට ඉමහත් සේවයක් කල අතර සේද මාවත ගැන විශේෂයෙන් අවධානය යොමු කළා . එමෙන්ම යුරෝපය ගැන දැන ගැනීමේ පිපාසයකින් පෙලුනා . වෙළෙන්දන් වුන මාර්කෝ පෝලෝගේ පියා සහ පියාගේ සොයුරා [ Niccolo and Maffeo ....විකියේ තියෙන්නේ Maffeo වුනත් තව තැනක Matteo යනුවෙන් සඳහන් ] තමයි මාර්කෝ ට පෙර සංචාරය කර තිබෙන්නේ . වොල්ගා ගඟ බඩ සුරායි නගරයේ වෙළඳ කටයුතු නිමකළ දෙසොහොයුරන්ට ආපසු යාමට බාධා ඇතිවුනා . ආපු මාර්ගයේ තිබුන යුධ තත්වය නිසා . තවත් නැගෙනහිර දෙසට ගිහින් වට රවුමකින් ආපසු එන්න ආපු ගමනේදී අහම්බෙන් හමුවුන පිරිසක් මොවුන්ව චීනයට එක්කරගෙන ගිහින් . චිනේදී කුබ්ලායි ඛාන් හමු වුනා . බටහිර ගැන දැන ගැනීමට ඉතා ආශාවෙන් සිටි අධිරාජයාට මොවුන් හමුවීම ඉතාම සතුටක් වූ අතර කලක් මේ පෝලෝ සොයුරන්ව චීනයේ සත්කාර මැද තබා ගත්තා . දන්නවනේ රජවරුන්ගේ හැටි . මග හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී වගේ තමයි ඔය රජවරු ආශ්‍රය කිරීම .
කුබ්ලායි ඛාන් වසර කීපෙකට පස්සේ පාප් තුමාට ලිවුව ලිපියකුත් සමග මොවුන්ව ආපසු එවන්නේ දුතයින් වශයෙන් . කුබ්ලායි ඛාන්ට පාප් තුමන් හරහා බටහිර ලෝකය සමග සම්බන්ධකම් ඇති කරගන්න ඕනවුනා. ඉතින් ආපසු එනකොට යද්දී හිටි පුංචි මාර්කෝ ලොකු කොල්ලෙක් . අම්මත් මියගිහින් . ඒ කාලේ ගමන් ඔහොම තමයි . හිටපු පාප්තුමන් මියගිහින් ඒ දිනවල .අලුත් පාප් තුමන්ගෙන් පිළිතුරු ලිපියක් සහ තෑගිත් රැගෙන ආපසු කුබ්ලායි ඛාන් හමුවෙන්න යනවා . ජෙරුසලමේ පහනකින් ගත් තෙල් ටිකක් රැගෙන ගීය බව සඳහන් .අම්ම නැති මාර්කෝ මේ ගමනට එකතු වෙනවා .
ඒ 1271 වසර . ඒවෙද්දී මාර්කොට වයස අවුරුදු 17 යි . කලින් වතාවේ ගිය පාර මග ඇරලා මොවුන් වඩාත් උතුරට ගිහින් යලිත් දකුණට ඇවිත් හොර්මුස් [පර්සියන් බොක්කේ ] වෙත ලඟාවුනේ මුහුදු මාර්ගයෙන් චීනය වෙත යන්න . ඒ කාලය වෙද්දී මුහුදු සේද මාර්ගය වඩා ප්‍රචලිත වෙන්න ඇති . නමුත් ප්‍රාථමික මට්ටමේ යාත්‍රා දුටු විට ඔවුන් ඒ අදහස අත්හැර නැවත ගොඩබිම් මග වෙතට යොමු වෙලා . දකුණු සේද මාර්ගය ඔස්සේ පාමීර් හරහා [ ලෝකයේ පියස්ස ] ගිහින් චීනෙට ළඟාවෙද්දී වසර තුනක් ගතවෙලා .
පෝලෝ වරුන්ගේ ආගමනය කුබ්ලායි ඛාන්ගේ නොමද සතුටට හේතු වුනා . ඔවුන් ඛාන් අධිරාජයාට වසර 17 ක් සේවය කළා . යුවාන් යුගයේදී චීනයේ තිබුන ආශ්චර්යය පෝලෝ ගේ සටහන් වලින් මනාව පෙන්වනවා . කෙසේ වෙතත් ගම රට මතක් වෙන්න ඇතිනේ . රජතුමා නම් කැමති වෙලා නැහැ ඔවුන්ව යවන්න . ඒත් පර්සියාවේ සිටි ඛාන් රජ පරපුරේ අර්ඝුන් රජතුමාට බිසවක් ඕන වුනා මේ කාලේදී . පෝලෝ ලගේ වාසනාවට මොන්ගෝලියන් කුමරියක්[ Kokachin ] අර්ඝුන් වෙත ගෙනයන පොරොන්දුව පිට ඔවුන්ට ගම රට යන්න කුබ්ලායි ඛාන් උදව් කළා .
මේ වතාවේ නම් මුහුදු සේද මාර්ගයේ තමයි ආපසු එන්නේ. මේ ගමන තමයි බොහෝ දුරට මුහුදු සේද මාවත ගැන අපිට උගන්නපු පොත් වල තිබුනේ . දකුණු චීනයේ Quanzhou වරායෙන් [ කලින් ලිපියේ කියූ Guanzhou නොවේ . එය ප්‍රධාන වාරයක් වුයේ හෑන් යුගයේදී . මේ කාලය වෙද්දී Quanzhou තමයි ප්‍රධන වරාය වුනේ ].පිටත් වුන යාත්‍රා 14 ක කණ්ඩායමට 600 ක් පමණ සිටියා . චීනයෙන් සින්ගප්පුරුවටත් එතනින් සුමාත්‍රා හරහා ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරායට පැමිණ තිබෙනවා .
එතනින් ඉන්දියාව හරහා ගොස් හොර්මුස් වෙත ළඟාවෙද්දී නැව් වල වැඩ කල ඇය හැර අනික් පිරිස 18 කට සිමා වෙලා . අර්ඝුන් රජතුමාත් එවන විට මිය ගිහින් . ඔහුගේ පුතා එක්ක තමයි ඇයට විවාහ වෙන්න වෙලා තියෙන්නේ .
ඉන් පස්සේ සතුටෙන් සමාදානෙන් පෝලෝ ල ගමරට ගිහින් . ඔවුන් ළඟ සෑහෙන ධනයක් තිබිල තියෙනවා . පසු කලෙක මාර්කෝ පෝලෝ සිරගත වෙලා වෙන සිවිල් යුධ තත්වයකදී . සිරමදිරියේදී තමයි ප්‍රසිද්ධ සංචාරක සටහන් ලියවිලා තියෙන්නේ . ඇතැම් කාරණා පෝලෝගේ අතේ රෝල් බව සමහරු චෝදනා කරනවා . ඇතැම් තැන් වලට සැබෑවටම නොගිය බවත් නොයෙකුත් අයගෙන් දැනගත් දේ සටහන් කර තැබූ බවත් චෝදනා කෙරෙනවා . ඒ කෙසේ වෙතත් මුළු ගමනම බොරුවක් නෙමේ . වෙනත් මුලාශ්‍ර වලින් තහවුරු වෙන කාරණා බැලුවමත් පෝලෝගේ සටහන් බොහෝ දුරට නිවැරදියි වගේ .
මාර්කෝ පෝලෝගේ සටහන් වෙනමම කතාකළ යුතුයි . මට තවම පැහැදිලි සටහනක් ලැබුනේ නැහැ කියවන්න . අනාගතේ දවසක ලැබුනොත් ඒ ගැන දිගට ලියන්න හිතනවා . මේ ලිපි පෙළ නවත්තලා සේද මාවතෙන් ගොඩ ඇවිත් සාමාන්‍ය දේවල් වලට මාරු වෙන්න කල් හරි වගේ .
මේ ටික ලියන්න ගිහින් මට ලැබුන දැනුම මෙතෙකැයි කියන්න බැහැ . දෙතුන් දෙනෙක් මේක කියවලා තිබුනත් මට ඇති . ලද දැනුම නිසා මන් හරිම සතුටෙන් .
අන්තිමටම මට හිතුන දෙයක් තමයි සේද මාවත හා බැඳුන රාජ්‍යයන් ට මොකද වුනේ කියල හොයන එකත් හරි රසවත් . අච්චර බලවත් මොන්ගෝලියන් අධිරාජ්‍යට අද ගිහින් තියෙන කල දන්නවනේ . ඇකිලිලා ඇකිලිලා පුරාණ මොන්ගොලියවටත් වඩා කුඩා වෙලා ආයෙමත් පරණ කුඩාරම් සංස්කෘතියට ගියා වගේ . පසු කලෙක රුසියාවත් චිනෙත් අතර තැලෙන්න සිද්ධ වුනා . බොහොම මෑතක තමයි රටක් ලෙස ස්වාධින වුනේ .
මුහුදු මාර්ගයේ තිබ්බ මලයාව නම් සිංගප්පුරුවයි මැලේසියාවයි ලෙස සෑහෙනදියුණුවක් ලබල . ලංකාවත් උන්නු හැටියට මලා මදැයි . පෝලෝ එද්දිත් රට තිබිල තියෙන්නේ බේද බින්න වෙලා . ඊට පස්සේ පෘතුගීසි ,ලන්දේසි සහ ඉංග්‍රීසි කට්ටිය ඇවිත් ගිහින් රට ඇතුලෙත් යුද්ධ වෙලා මෙහෙම ඉන්න එකත් ඇති.
පෝලෝ සටහන් තැබූ සේද මාවතේ කැපී පෙනෙන රටවල් ..
දකුණු වියට්නාමයේ .චම්පා රාජ්‍ය
ජාවා දුපත් [ ඔහු සැබවින් ගොස් නැත ]
මලයාව [ නුතන සිංගප්පුරුව සහ මැලේසියාව ]
සුමාත්‍රා
ශ්‍රීලංකා ...
[ ලංකාව ගැන කල සඳහනේදී රජු සතුව තිබු විශාල මැණිකක් ගැන කියනවා . අල්ලක් තරම් වූ මෙම රතු මැණික කුබ්ලායි ඛාන් විසින් ඉල්ලා ඇතත් නොදුන් බව සඳහන් . මේගැන වැඩි විස්තරයක් දන්නා අයෙක්ගෙන් බලාපොරොත්තු වෙමි . වැඩි දුරටත් මන්නාරමේ මුතු ගැනද කියා තිබේ . පෝලෝ ලංකාව ගැන හරියටම තැබූ සටහන් සොයා බලා පසු දිනක කියන්නම් . සිංහල පොත පත සොයා ගන්නට බැරි අඩුව හේතුවක් ]
ඉන්දියාව සහ තවත් විශාල ගණනක් රටවල් ගැන විස්තර ලියා ඇත . මේ සබැඳිය එයට වැඩිය ආසා අයටයි
මෙන්න මන් උදව් කර ගත් සබැඳි කීපයක් . වරින් වර කියවපු පොඩි පොඩි සබැඳි නම් අමතකයි . හැබැයි මුලිකවම මේ ටික තමයි උදව් වුනේ
ඔවුනට මගේ අනන්ත ස්තුතිය
විකියේ අනු සබැඳි වලින් අදාළ විස්තර ලැබුන .එකින් එක සඳහන් කරන්න නම් වෙලාව මදි
ඒ ඒ තැන් වලදී දී ඇති සබැඳි කියවිය හැකියි
සිතියම් සහ පින්තුර ගුගල් ඉමේජස් වෙතින්
Marco Polo and the Discovery of world ..By John Larner
Asian Civilization ...Book Series
Special thanks to UNIS library