Tuesday, 31 May 2011

බුරතීනෝ හෙවත් ලී බෝනික්කා

 
 
සුමානෙකට ආයිත් ලියන්නේ නැහැ කියල හිටියේ. ඒත් රුසියන් පොත් ගැන ලියන්න කියලා කට්ටියගෙයි මගෙයි කරදරේ බැහැ. ඔය ගැන අවුස්සපු නලිනි ..TG සහ බුරතීනෝ දත කට මැදන් ඉන්නේ මේකට ඌන පුරන සපයන්න. TG නම් පරණ පෙට්ටගම් අවුස්සනවලු  පොත් හොයන්න . මේ ගැන විශේෂම උනන්දුවක් ඇති බුරතීනෝ ට උපහාර පිණිස ඔන්න ඔය මාතෘකාවත් දැම්මේ. එකක් කට්ටිය මේකට බුරාගේ සම්බන්ධය මොකක්ද කියල කියවන්න එනවා. අනික මිට පස්සේ ඔය නම හැදිච්ච හැටි හැමෝටම කියල දෙන කරදරෙන් බුරතීනෝ බේරෙනවා. අපි දෙන්නම ගොඩ.
කොහෙන් පටන් ගන්නද මන්දා. මම මුලින්ම බලපු රුසියන් පොත ''වීර කුහුඹියා'', . අක්කත් එක්ක ළමා රෝහලට ගිහින් එන ගමන් ඒ ඉස්සරහ පොත් වෙළෙන්දෙක්ගෙන් වෙනද ඒ වගේ ගමන් වලදී ගේන රටකජු ගොට්ට වෙනුවට අම්ම ගෙනත් දුන්නේ. රටකජු ගෙනාව නම් කෑවා ඉවරයි . ඒත් ඒ පොත ගෙනාව වගේ අපේ අම්ම කල නුවණක්කාර වැඩ නිසා තමයි අද මේ ලිපිය ලියන්නේ. මහා ලොකු විභාග පාස් නොකළත් අපේ අම්ම හරි බුද්ධිමත් බව තේරෙන්නේ දැන් . සේරටම කලින් සිතින් ඒ දෙපා වැඳලා හිටියට කමක් නැහැ කියල හිතෙනවා.
තව එකක් මේ ලියන්නේ සමාජ වාදය ගැන නොවේ. වරදවා තේරුම් නොගනිත්වා.තනිකරම සාහිත්‍ය ගැන මගේ මතකය විතරයි .මෙයට අන්තර්ජාලයෙන් වත් වැඩි දෙයක් නොගත්තේ ඉංග්‍රීසි කාරය දැදිගම මාම තරම් ලස්සනට රුසියන් පොත් පරිවර්තනය කරන්න දැන නොසිටීම නිසාය.අනික මම මොන බොරුවක් කිව්වත් නිවැරදි කරන්නත් අර උඩ කිව්ව කට්ටිය ඉන්න නිසයි.
   මගේ අත්දැකීමේ හැටියට රුසියන් සාහිත්‍ය කොටස් කීපයකට බෙදන්නම් පහසුව තකා.
1. ළමා කතා - ..
2. විප්ලවයට පෙර
3.විප්ලව සමයේ
4.විප්ලවයට පසු  සහ යුද්ධ කාලයේ.
.6. ප්‍රතිසංස්කරණ වලට පසු [ මේවා නම් මම කියවල  නැහැ . ඒත් අන්තර්ජාලය හාරද්දී දැක්ක අපිට කියවන්න නොලැබුනාට තාම එයාල පොත් ලියන වග. ගොර්බචෝව් ගෙනාපු ප්‍රතිසංස්කරණ වලට පස්සේ දැදිගම රොද්‍රිගු මාම වගේ අයට පඩි ගෙවල අපි වගේ තුන්වෙනි ලෝකේ රටවලට නිකන්ම වගේ පොත් එවන්න තිබ්බ ඇඟේ අමාරුව හොඳ වුනාද ....තව දුරටත් බෙදා දෙන්න තරම් ඒ සාහිත්‍ය රස නැතිද...අපිටත් වඩා දුප්පත්ද ...ඔය මම කිව්ව හේතු හරි වෙන හේතු හරි තම තම දේශපාලන දැනුමින් හා නැණ පමණින් කියවන අය තේරුම් ගනිත්වා. මම  දේශපාලනය ලියන්නේ නැත .ලියන්නට බය ඔය තර්ක වලට පැටලී තරහ මරහ වෙන්න අකමැති නිසාය.]
 
 
ළමා කතා
     වීර කුහුඹියා - නුවණැති සිමියොන් කුඹියා වැඩට ගිය අතර වේල්ලක් හදන ආරංචියක් ලැබිලා අනික් අය මදුරුවා අතේ ලියුමක් එවල වෙන දිහාකට යනවා. ඒත් දුෂ්ට මදුරුවා ලියුම දෙන්නේ නැහැ. වතුරට අහුවුණ සිමියොන් පාවෙලා එන ටින් එකකින් නැවක් හදාගෙන දරු පවුල බේරගන්න උත්සාහවන්ත කතාව.[ කොහෙවත් ඒ පොත දැක්කේ නැහැ පහු කාලෙක . එකයි පොඩ්ඩක් ඒ ගැන ලිව්වේ]
  ලස්සන වසිලිසා..- ප්‍රධාන  කතාව වුන ලස්සන වසිලිස්ස ට අමතරව තව කතා ගොඩක් තිබ්බ පොතක් තමයි මම කියෙව්වේ . ''සොඳුරු සිත '' ඒ ගැන කවි කතාවක් ලියා තිබුන නිසා වැඩි විස්තර අනවශ්‍යයි. ඒ පොත වැටෙන්නේ සුරංගනා කතා ගණයට.
 
 
 
ඔය ඉන්නේ කොස්සක් උඩ බබායිගා යකින්න



බුරතීනෝ හෙවත් ලී බෝනික්කාගේ කතාව.- ඔය කතාව නම් මට හරියට මතක නැහැ. පිනොකියෝ ගේ රුසියන් පරිවර්තනය කියල බුරතිනොගේ මුනුපුරෙක් අද උදේ කිව්ව.
අපුරු කතා -  පින්තුර ගොඩයි කවියි එක්ක හරිම ලස්සන පොතක් . දෙමල පොත තමයි පහු කාලෙක ලැබුනේ . පොටෝ කොපි පොතක් බලල සිංහලෙන් ලියා ගත්තත් මුල පිටුව පරිවර්තනය කරලා නැහැ. මතක විදිය තමයි අපුරු කතා. ලස්සන හුරතල් පින්තුර. මේක ස්කෑන් කරලා දාන තිබ්බ නම් ....[සෑහෙන ගානක් යන වැඩක්නේ ]
 මෙන්න කවි කීපයක්
           ''මල්ලිත් මාත් පොඩි ගමනක් යන කලට
           පණුවෙක් සෙමින් ඇදුනා බිලයෙන් පිටට
          දුවගොස් කොටා ඇන ඇන හෝටන් අවට
          අද්දෙමු  ටිකෙන් ටික ඌ එන තෙක් ලඟට.
 
          හැකි වෙර යොදා දෙදෙනාම සිට මේ පැත්තේ
        බිය ගෙන  දෙන සතෙකි අපි මේ ඇද ගත්තේ
         මගේ කන් බිහිරි විය මල්ලිගේ ඇස් නොපෙනෙයි.
        මොන විපතක් වුනෙද අය්යෝ මට නොදැනෙයි.
   
 කුකුල් පැටියන් දෙන්නෙක් පණුවෙක් කියල හිතා තඩි මියෙක් නේ ඇදල තියෙන්නේ.
 
ආච්චි ගොතමින් හිටි නුල් බොලේ එක්ක සෙල්ලම් කල පුසා..
                                කුඩා බෝලෙ පෙරලුනා
                                තව දිගටම පෙරලුනා 
                                 නොපෙනෙන තෙක් පෙරලුනා
                                  පුසා මගදී රැවටුනා.
 
අපොයි ඔක්කොම ලියන්න බැරියෝ.
 
සීයාගේ ඇස්  කණ්නාඩිය ..- කාච ගැන කතන්දරයෙන් කියාදෙන අපුරු පොතක් . වැඩ බැරි දාස පොත් සෙට් එකත් හරි ලස්සනයි . කතානම් ලියන්න තරම් මතක නැහැ. වායු බැලුමක් උඩ ඇරිය කතාව විතරයි හරියට       
                                        මතක.
වයිරම් පුස් පැටියා -; පුංචි කෙල්ලෙකුයි එයාගේ පුස් පැටියයි ගැන කවි කතාවක්.
හත් පෙති මල , පුංචි රවුම් බනිස් ගෙඩිය [ ජින්ජ බ්‍රෙඩ් මෑන් ගේ රුසියන් කතාව වෙන්න ඕන. ] ලපයා හපනා , මාෂා සහ වලහා ,  මට මතක ඇති පොත් කීපයක් .
ඇයි ගණිත විනෝදය .   කතාටික කියෝලා නිකන් හිටිය මිසක් ඔය ගැටළු විසදන්න ගියේ නැහැ. පස්සේ කාලෙක ''ගණන් කාරයාගේ''කබඩ් එකේ තිබිල හම්බ වෙච්ච පොත මෙහෙත්  ආව. එයා නම් ඔය ගණිත ගැටළු සේරම විසදන්න ඇති. එක වගේම පොත් පිස්සෝ දෙන්නෙක් එකට ගෙදරකට වුනහම එකතු වෙච්ච පොත් කන්දරාව මෙහෙ ගේන්න ගියානම් දැන් එකතු වෙන ළමයින්ගේ පොතුත් එක්ක ගෙදර වෙන බඩු මුකුත් නැතුව පොත්රාක්ක විතරක් තියෙයි. [ ෂර්ලොක් හෝම්ස්  වගේ අත්‍යවශ්‍ය පොත් වලට විතරයි නැවට නගින්න වාසනාව තිබුනේ]
 
නිකිතාගේ ළමා කාලය...නිකිත කියන  පොඩි කොල්ලයි එයාගේ ටිකක් අලුත් වැඩ කරලා අමාරුවේ වැටෙන තාත්තයි...හිම බෝල සෙල්ලම් ..පාස්කු බිත්තර ..සිසිර ය ..වසන්තය ..ග්‍රීෂ්මය..සරත් සමය හරි ලස්සනට ළමා ඇහින් දකින මම හරිම ආස පොතක්
  ලියාගෙන යනකොට මතක් වෙන දේවල් නිසා මේක එච්චර පිළිවෙලක් ඇති ලිපියක් නෙමේ. ඒ ගැන නම් සමා වෙන්න ඕන . තව ''කැලේ සතුන් කන්නාඩියක් අහුලලා '' ''මි හාමි දියට ගියා.'' සහ ඉංග්‍රීසි පොත්කිපයක් මම කියවා තියෙනවා. ''Baby Animals '' සහ'' little chick '' පොත් දෙකම හරි සරල යි . ලස්සනයි .[ බොහෝ ඉංග්‍රීසි පරිවර්තන  මට නීරස වුනත්..] තව ජනකතා එකතුවක් තිබුනා. වලහගෙයි හාවගෙයි වලිග කොට වුන හැටි. ටෝලොස්ටෝය් ගේ ළමා කතා එකතුවකුත් තිබුනා.
අදට ඇති නේද. නිදිත්මතයි . අනික මාගල වගේ දික්වෙද්දී කියවන්නත්  එපා වෙනවනේ.....තාම ළමා කතා විතරයි ලිව්වේ ..මතු සම්බන්ධයි . අනික් වර්ග වගේම මතක් වුනොත් තව ළමා කතාත් අරන් ආයි එනවා.
 
ස්තුතිය ...
සියලුම රුසියන් කතුවරුන්ට ..පරිවර්තකයන්ට ..විශේෂයෙන් දැදිගම මාමට ..පීපල්ස් පබ්ලිෂින් හවුස් එකට ...ලාබෙට පොත් දීපු සෝවියට් රුසියාවට ...විවාහ වෙලා යනකම්ම  අපේ ගෙදරට නෑවිත් මගේ කියවීමට කරදර නොකළ TV එකට....මහජන පුස්තකාලය ..ඇතුළු මම රිංගපු සේරම පුස්තකාල වලට...තවම මලකඩ නොකාපු මගේ සිතට.
 
 

Sunday, 29 May 2011

බුලත් සපන්නේ කොයි කොයි දේසේ...

අපේ ආච්චිලා සියල හතර දෙනාම සුරයෝ[ බුලත් කන්න] . දැන් ඒ හතර දෙනාම නැහැ. ඔයින් හොඳම සුරයෝ දෙන්න තාත්තගේ ''අපුච්චයි'' [අපි කිව්වේ ආතා]  අම්මගේ ''තාත්තයි.'' [අපේ සිය ]. ආතා කොට බිත්තිය උඩ ඉඳගෙන පුංචි වක් පිහියෙන් පුවක් ගෙඩිය සුද්ධ කරලා විටක් එද ගන්න හැටි බලන්න අපුරුයි. ගත්ත අනික් අඩු වැඩිය ගැන එච්චර මතක නැහැ. මොකද අපි ආතව    දකින්නේ අවුරුද්දකට වතාවක් නිසා. අනික අනිවාර්යයෙන්ම සොල්දරෙන් බාගත්තු පරණ රසවාහිනියක් ...ශ්‍රී සඟරාවක් බලන ගමන් යන්තමට අහුවෙච්ච දර්ශනනේ ඕව.
    නිතර හම්බ වෙච්ච නිසාත් විට කෙටීමේ භාරදුර රාජකාරියත් කරපු නිසා සිය  නම් බුලත් හපපු හැටි විතරක් නෙමේ ඒකේ රසත් දැනෙනවා වගේ තාම . බුලත් , පුවක් , හුණු පොඩ්ඩක්, සහ පුංචි දුන්කොල කෑල්ලක් චුටි වන්ගෙඩියකයි කෙටුවේ. ඕව දාන අනුපාතය වෙනස් වුනොත් රසේත් වෙනස් . දුන්කොල වැඩි වුනොත් හොඳටම මත්වෙනවා. අනික් ඒවා කෙසේ වෙතත් දුන්කොල කෑම පොඩි අයට තහනම් .ලිප්ස්ටික් හෙම දැකලවත් නැති කාලේ [ පුන්චිල ඒවා මහා අනර්ග වස්තු වගේ හන්ගගෙනනේ.]   ඔයින් පොඩ්ඩක් කාල කට රතු කර ගන්න හරි ආසයි. සියලගේ ගෙදර බුලත් කොරටුවකුත්  තිබුන.
සියල අච්චිලත් එක්කම බුලත් කොටුයි බුලත්කෑමේ පුරුදුයි අපේ ගෙවල් වලින් නැතිම වෙලා ගියා. දැන් සමාජයේ බුලත් විටක් කන්නේ එහෙමත් අයෙක්. රතු දෙතොල් එක්ක කහට බැඳිලා කැත දන්ත කල්‍යාණයක්   ලැබෙන නිසා දැන් පංච කල්යානියෝ නම් කියක් දුන්නත් බුලත් හපන එකක් නැහැ . ඔය පාට කුරු තියෙන්නේ ඕනෑතරම්.
අනික බිත්ති පුරා හුණු පාරවල් ඇයි අතට අරන් වැඩි ටික අතුල්ලලා ...මිදුල පුරා රතු කෙල පාරවල් එක්ක ජීවත්වෙන්න දැන් කවුද කැමති. [අපේ ආච්චිලා සියල නම් ගේ දොර කිළුටු කරගෙන බුලත් කෑවේ නැති බව ආදරයෙන් සිහි කරනවා].
 මෙච්චර වල වටාරම් කියන්න නෙමේ හිටියේ. පහල ළමයින්ගේ සෙල්ලම් කාමරේදී පුංචි පොතක් කියෙව්වා . ඒ කතාව දැක්ක ගමන් හිතුනා ඒ ගැන ලියන්න . ඒ බුලත් ගැන.  ලංකාවේ හුඟ දෙනෙක් වගේම මමත්හිතන් හිටියේ බුලත් කන්නේ ලංකාවේ සහ දකුණු ආසියාවේ රටවල විතරයි කියලයි. ලංකාවේ විතරයි කියල හිතන අයත් ඇති ඕනෑතරම් .
ඒත් මෙහෙත් බුලත් කනවා. නිකන් නෙමේ පුවක් හුණු එක්කම අපි වගේම .යම් යම් සංස්කෘතික අංග වලින් ලෝකේ කොයිතරම් සමාන කම් තියෙනවද. සමහර දේවල් හරිම පුදුම හිතෙනවා .

 ඒත් වැඩේ කියන්නේ මෙහාට බුලත් ආවේ නාග ලෝකෙන් නෙමේ . අන්න ඒ කතාව කියන්න තමයි මේ අර ඇද්දේ. ටිකක් දිග කතාවක් කෙටියෙන් කියන්නම්.
එකමත් එක කාලෙක ''කාවෝ '' පවුලේ නිවුන් පුත්තු දෙන්නෙක් හිටිය. අය්යා ''tan  '' මල්ලි ''lang ''. දෙන්නම ගුරුතුමාගේ දුවට ආදරේ කරනවා. [සමකෝණී ආදරයක් ] . ඒත් කෙල්ල කැමති වුනේ අය්යට. දෙන්න විවාහ වෙලා සතුටින් හිටිය . මල්ලිත් හිටියේ මෙයාල එක්ක . හැබැයි විවාහෙන් පස්සේ අය්යා මල්ලි ගැන තිබ්බ අවධානය අඩු වුන එක ගැන මල්ලි ටිකක් දුකෙන් හිටියේ, ඊටත් වඩා මට හිතෙන්නේ තමන්ගේ පලවෙනි ආදරේ ඇහැට පෙනී පෙනී ගෙදරම ඉඳිද්දී ...දුක නැත්ද . ඔය අතරේ පොඩි හිත අමාරුවක් වෙලා මල්ලි ගෙදරින් යනවා. ආපහු ගෙදර යන්න හිතුවත් මග වැරදිලා  ලොකු ගඟක් ළඟ නවතින්න වෙනවා.
උදේ වෙද්දී එයා පාෂාණයක් වෙලා.
    මල්ලි ගිය එක ගැන දුක් වුන අය්යත් මල්ලි හොයන් ගිහින් අර ගල ළඟදීම මහන්සියට නවතිනවා. එයා ගහක් වෙනවා. දෙන්නම නැති දුකෙන් තරුණ බිරිඳ ඔහේ ඇවිදන් යද්දී අර ගහයි ගලයි දැකලා ගහ බදාගෙන වැලපෙනවා. ඊට පස්සේ වැලක් වෙනවා... දුකින් හැඬු හදවතේ හැඩයට කොලත් දරාගෙන . හිතා ගන්න පුළුවන්නේ ඒ තමා බුලත් . අය්යා පුවක්. මල්ලි හුණු .
   මේ කතාව දැනගත්තු ගම්වැසියෝ ඇවිත් එතන පන්සලක් හැදු බවයි කියන්නේ.
ඔන්න ඕකයි කතා පොඩ්ඩ. ඔය ආදර කතාව නිසා අදත් මගුල් ගෙවල් වල දෙපැත්තේ කට්ටිය කතා කරන්න පටන් ගන්නේ බුලත් විටක් හපල තමයි . මගුලකදී අනිවාර්ය අන්ගයක්ලු. බුලත් කොලය හරි ගානට දෙකට බෙදන්න හැකි නිසා ඒ වගේම සමාන දෙන්නෙක්ලු නේ කසාද බදින්න ඕන. කොහෙන් හොයන්නද  සමාන දෙන්නෙක් .
තව නව වසරට සහ තව පුද පුජා වලටත් බුලත් වලටත් වඩා පුවක් ගන්න බව පේනවා.
එදිනෙදා ජීවිතයේදී බුලත් කෑමට නම් ලංකාවේදී වෙච්ච සන්තැසියම  තමයි.  ගමක ආච්චියෙක් ඇරුනම මේ රූපේ රැක ගන්න ඕන දෙයක් කරන්න කැමති ලස්සන කෙල්ලෝ කයි බුලත් .

 
මෙතනින් පහලට තියෙන්නේ වැඩිදුර හොයපු   කරුණු. කම්මැලි නම් නොකියවා ඉන්න.
දකුණු ආසියාවේදී ..චීනය ,තායිලන්තය , මියන්මාරය , ලාඕසය , කැම්බෝඩියාව.,පිල්පිනය..ඉන්දුනීසියාව. හා ඕෂනියා රටවලදී බුලත්සහ පුවක් වලට සංස්කෘතික අගයක් ලැබෙනවා.ඕෂනිය දන්නැත්නම්   http://en.wikipedia.org/wiki/Oceania යන්න .

හුඟක් රටවල විවාහ සිරිතක් විදිහට මේක  තවම වැදගත්ලු. මාල දිවයිනේ වැඩිය කන්නේ පුවක්. අමුවෙන්මත් රොස්ට් කරලා කරන්දමුන්ගු , සිනි හෙම තවරලා ටිකක් පිළිවෙලටත් එයාල පුවක් කනවා . එක'' ලු'' නැතිව කිව්වේ මමත් කාල තියෙන නිසා. රැකියාවට පුහුණු වෙන කාලේ අපි එක්ක හිටපු මාල දිවයින් සෙට් එක කොච්චරවත් මොනවද හපනවා. අපි හිතුවේ චුයින්ගම් හරි නැත්නම් උම්බලකඩ කියල. අපි වගේ ප්‍රේතයෝ එක්ක උම්බලකඩ කැල්ලක් වත් හොරෙන් කන්නය. අපිටත් දුන්න . බැලින්නම් පුවක්නේ . හැබැයි අමුතුම  රසක් .



                                                                                                          බාලි   දුපතේ  ගිරයක්.
                                                                                                             නිකන් දැකල පුරුදුයි වගේ නේ
 
චීනයේ සමහර පැතිවලත් [විශේසයෙන්  දකුණු චීනයේ] තායිවානයේත් සැලකිය යුතු බුලත් කෑමක් තාමත් වෙනවලු. 
  ඉන්දියා පකිස්තාන් හෙමත් එහෙමයි. තායිලන්තේ දැන් අඩුයි.
බුලත් පුවක් එහි ඇති අවුෂධිය [ලියන්න  දන්නේ නැහැ.] ගුණයටත් ප්‍රසිද්දයි. බුලත් දත් දිරා යාම වලකනවලු, පුවක් පණු අමාරුවට හොදළු. ඒත් පිළිකා අවදානම මගින් ඒ හොඳ ගුණ නැතිවෙනවා. කටේ ,හා අහාර මාර්ගයේ අනික් කොටස් වල විතරක් නෙමේ prostrate , cervical  වගේ පිළිකා තත්ත්ව වලට පාර කපනවලු දිගු කාලින බුලත් හැපිල්ල. අනේ මන්ද බටහිර කල පර්යේෂනනේ. අපේ රටවල මේ වගේ දේවල් ගැන එච්චර පරීක්ෂණ කරලා තියෙනවද දන්නේ නැහැ. මොකටද ඉතින් අත්‍යවශ්‍ය දේකුත් නෙමේනේ. නොකා හිටියම හරි.

ඔය ටික කිව්වේ වැඩිදුර කියවන්න වෙලාව නැති අයට,. ආස නම් සහ වෙලාවත් ඇතිනම් මෙන්න පාර .විකි මහතාගේ ගෙදරින් තමයි විශ්වාසෙට යමක් ණයට ගන්න හැකි.

http://en.wikipedia.org/wiki/Areca_nut 


 
බුලත් කොළ වල පුවක් ගෙඩි වල පින්තුර දැම්මේ නම් නැහැ. දැකපු නැති කෙනෙක් නැතුව ඇතිනේ.
ඕව ඔක්කොටම වඩා බුලත් හැපීමෙන් මුඛ පිලිකා හැදීමේ අවදානම ගැන දැනුවත් වීම නිසා මේ පුරුද්ද නැතිවේගෙන යන්නේ. මුඛ පිලිකා සැදීමට ප්‍රධාන චුදිතය දුන්කොල හා හුණු කියල මම හිතන් හිටියට ''විකි'' මහත්තය කියන්නේ පුවක් තමයි නරකම අනික් දෙන්න කරන්නේ අත් උදව් දෙන එකයි කියලයි.

Thursday, 26 May 2011

 
 
 
මඩේ ඉපදී එහිම දුක් විඳ..
නෙලුම් ගස දුනි  මේ අලුත් මල ..
රැට අහසේ සුදු වලාකුළු ..
හොරෙන් ඇවිදින් ගියා පිනි ඉස..
 
හමන සුළඟින් පාර අහගෙන ..
සුදු දුවේ අද නෙලන මේ මල
කාට දෙන්නද මම නුඹට  මිස

Wednesday, 25 May 2011

මල් නුවර මල් සුවඳ විඳ...


 
සීතලෙන් හිරිවැටි සිටි මගේ පළමු සිසිරය නිමා වී වැඩි දිනක් නැත. මෙවර සිත සමය වෙනදාට වඩා දිගුය. හිම නැතත් අධික ශිතලයෙන් ගෙවී ගිය මාස පහක පමණ දිගු සිසිරය නිමා කොට එක්වරම තද අව්වක් වැටිණි. සිදු විය යුත්තේ මාර්තු වේදී  ක්‍රමයෙන් සිතල අඩුවී අප්‍රේල් මැයි  සෞම්‍ය වසන්තයද මැයි අග සිට ග්‍රීෂ්ම සමය ඇරඹීම වුව සොබාදම් මව දැන් සම්මතයන් නොහදුනයි. ඇයට කල අකටයුතුකම් වලට තරහා වී වගෙයි .
එහෙත් දින කීපයක සිට විටෙක අනෝරා වැසිද විටෙක සිරි සිරි පොද වැසිද වැටෙමින් සුනිදු වලා පෙලින් සැඩ හිරු රැස්  පෙරා දෙමින් අමුතු සුන්දර පරිසරයක් මවා දෙයි..
සැබවින්ම මෙය චමත්කාර වසන්තයයි මම සිතමි...
වසර කීපයක් අප සිටි හෝ චි මින් නගරය නිවර්තන දේශගුණයකින් යුතු නිසා කොළඹට වඩා වෙනසක් නොවිණි.  පසුගිය සරත් සමයේ මෙහි ආ බැවිනි මෙය මගේ පළමු වසන්ත සමය වනුයේ.....

[  Hoan Kiem විල ..අර ඉබ්බන් ඉන්නේ මේකේ තමයි]



මල් දියට වැටී......


''නෙලමි අවසන් මලත්..
පිපෙනු ඇත හෙට..
මල් අලුත්..''

''නුඹත් නෙළුමකි..මඩේ පිපුනත් කිලිටි මඩ නැති''




''වියපත්ය ජීවිතය  ..
එහෙත් මේ මල් තවම සුවඳය...''





''හිරුට විතරක් නොවේ..
හිනාවෙන් මටත්...''

''මල් සුවඳ ද ..සුවඳ නුඹ  දහදියද ..''




''ඔය සුමුදු මල් උරට ..බර වැඩිද...''




                                                           නොරිදවා පෙති ..
                                                   මලක සුව දුක් විමසන...

දියණියන්ගේ පාසලට යනෙන මග දෙපස නෙලුම් පොකුණු   නැවුම් නෙලුම් පතින්ද අලුත් පොහොට්ටු වලින්ද සැරසී හැම උදයකම මා හා සිනා සේ. ගේ ලගින් දිවෙන පාරේ මල් කුඩ රැඳී බයිසිකල් ඒක පෙලට යාමට පටන් ගත්තේ නම් සිසිර සමයේ සිටමය. ''මල් ගම්මානයත් ''  ''මල් පොලත්'' පෙනෙන මානයේ නිසා බැලූ  බැලූ  අත මල්ම පෙනීම අරුමයක් නොවේ.  සියලු දේ ඉතා මිල අධික මෙහි මල් නම් එතරම් මිල නොවේ.
රුපියල් වලින් නම් 300 කටත් අඩුවෙන් සුපිපුණු රතු රෝස මල් හතළිහක් හෝ හෙට්ටු කිරීමේ සමතෙක් නම් පනහක් වුවත් ගත හැක. අපිත් අන්ඩෝ [ An Do = ඉන්දියානුවන් ] යයි සිතන නිසා සුද්දන්ව තරම් අපිව අන්දන්නට බැරි බව මොවුනුත් දනී. එහි වාසි මෙන්ම අවාසිත් නැතුවා නොවේ. උදෑසනම කඩයක් ඇරිය විගස ඉන්දියානුවෙක් ගොඩ වුනොත් මොවුන් නොදැක්කා සේ හිඳී.  කොහොමටත් ඉන්දියන් නොව ශ්‍රී ලන්කන් බව කි විට ඉතා ප්‍රීතියට පත් වන වියට්නාම ජාතිකයන් මට හමු වී ඇත. මෙහි සිටින ලාංකිකයින් අතලොස්ස තවම රටේ නම රැකගෙන ඇති බව නම් ආබම්බරයට කරුණකි.

ඉතින්..සිසිරයේ මලානිකව තිබු තුරු හිස් ටික ටික මල් ඔටුනු පළඳියි. රතු පැහැති මැයි මාර ගස්ද  ..තවත් නම නොදත් නෙක වර්ණ මල් ගස්ද සෙමින් ඇහැරෙමින් සිටි..රොබරෝසියා මලට සමවූ දම් පැහැ මල් ගස් නම් මුළුමනින්ම මලින් වැසි  ගොස්ය. පාසලේ ඇති ගස් වල මිමැස්සන් නිසා  මලක් කඩන්නට ඉඩ නැතැයි ලොකු දෝනි ගෙන් පැමිනිල්ලෙකි.
නෙලන්නට නොදී
මේ මල් ..රකියි
 මිමැසි  සෙබළුන්...


මොවුන් මල් සැකසුම් වලටත් උපන් හපන්නුය . එමෙන්ම වැලන්ටයින් ගේ සිට එකී නොකී සියලු දිනයන්ට මල් හුවමාරු වේ. විවුර්ත කිරීම්..උපන්දින ..සංවත්සර ඔය කෝකටත් මල් නැතුව බැරිය. ලංකාවේ මෙන් එය සුපිරි  පන්තියේ ගනුදෙනුවක් නොවේ. ගෙදර සේවිකාව නෝනාගේ විවාහ සංවත්සරයට මල් පොකුරක් පිලිගන්වා සුබ පැතුවොත් එතරම් පුදුම වන්නට දෙයක් නැත.. .[ ගෘහ සේවිකාවන් ගැන වෙනම ලියන්නට සිතා සිටිමි . එය ඉතා රසවත් සහ අපට උගැන්මට බොහෝ දේ ඇති මාතෘකාවකි .]
කෙතරම් මලින් පිරි නෙක පැහැ වුවද මගේ සවනට යමක් අඩුය..ඒ ළමා කලද ඊට පසු කලද සවනට ගීතයක් වූ මලිති බටිති නාදයයි
      ......එය නම් මෙහි විරලය...අපේ ආදරබර කපුටුහාමිත් ඇත්තෙම නැත.
වනබද ගම්මාන වල කුරුල්ලන් ඇති අසා ඇතිද මේ නගරයේ නම් මා කුරුල්ලෙක් දකිනුයේ ඉතාමත් අහම්බෙනි. හේතුව පරිසර දුෂණය යයි කියුවද තවත් හේතුවක් ඇත...[එය වෙන දිනක ලියන්නෙමි. අද ලියන්නේ සුන්දර වසන්තය ගැන නිසාවෙනි .]
.......දකුණේ වැඩිපුර වැවෙන්නේ අපේ මෙන් නිවර්තන මල්ය. බෝගන්විලා..බුත්සරණ ,ඉද්ද සහ අන්තුරියම් වැනි මල්ද බිගෝනියා වැනි ලස්සන පැලද දැකිය හැක. අපි ගඳයි  කියා ගණන් නොගන්නා ගඳ පානද..අපේ සොහොන් බිම් වල ඉබේ වැවෙන සහ පොඩි කාලයේ නෙක පාට දැක  ආසා වී   මා උදුරා ගෙන ආ පැලයද අම්මා විසින් විසි කර දමන ලද ''මිනි මල් '' ද  පාර දෙපස හා වටරවුම් වල ලස්සනට වවා ඇති අයුරු කදිමය.
''ගඳ පාන මලකි මම ..සුවඳක් නැතැයි..ඔබ අහක විස කල..''




 අපේ නුවර එළියේම අනුරුවක් වැනි ''Da Lat '' නම් සුන්දර ප්‍රදේශය හෝ චි මින් නගරයට තරමක් ...තරමක් කීවාට පැය අටක පමණ දුරකින් පිහිටි නිසා රෝස ඇතුළු අනෙකුත් මල්ද හිග නැතිව   ප්‍රවාහනය වන අතර මිලෙන් නම් Da Lat   රෝසි හැනොයි රෝසිට වඩා උඩින් සිටි.
..........හැනොයි නම් සිසිර සමයක් ඇති හෙයින් රෝස ..ඩේලිය..වැනි සෞම්‍ය මල් වර්ගයි වැඩිපුරම පිපෙන්නේ...ගිම්හානයේදී නම් අරලිය ..වතුසුදු මෙන්ම නෙලුම් කුමාරිලද අඩුවක් නැත.
.......මා පමා වී මල් ගැන ලීවද මෙහෙ වසන්තයේ ඇරඹුම සේ සැලකෙන්නේ  Tet  [චීන අවුරුද්ද මෙහෙදී Tet ය ]  වලින් පසුවයි. පෙබරවාරියේ මැදට යෙදුනු අලුත් අවුරුදු උළෙල සමගම මල් සැණකෙළි වලින් රටම ඇලලී යයි..දකුණේ  කහ පැහැ Hoa mai [ Apricot] මල සුබ ලකුණ වී ගේ දොරද පාර තොටද කහ පැහැ මල් උයන් වද්දී ..උතුරේ රෝස පැහැති Hoa Dao[රෝස Apricot] මල 
සහ පීච් මල   සුබවෙයි.  මොන බෙහෙත් ගසා හෝ බලෙන් හෝ මේ මල් දෙවර්ගය නම් අනිවාර්යයෙන් පිපි තිබිය යුතුමය. බොන්සයි කල මල්බර ගස් වල මිල ඉතා අධිකය. අතේ මිටේ ඇති තරමට පුංචි අත්තක් හෝ හැම ගෙදරකටම අවශ්‍යය .
මෙවර අධික සිතල නිසා පීච් මල්ද  අඩු වුනු බව මට අසන්නට ලැබිණි.

Hoa Dao[ Pink Apricot flower]


Peach Flower




ලියන්නට ගියේ වසන්තයේ ලස්සන ගැන වුවත් වැඩිපුර හඳුන්වා දීම් වලින් ලිපිය දිග විය .. කියවන්නට වෙහෙසක් දැනුනි නම් කියවුවෝ කමත්වා.!!

Friday, 20 May 2011

නිසලව නිදන මිනිසෙකි..

 
 
 
නිදන මිනිසෙකි මෙහි නිසලව ..
තවමත් බැතින් සැමරෙන ..
නිසැකවම කිව හැක ..
ඔහු මිනිසුන්ට ආදරය කල වග..
 
 
අද හෝ චි මින් එහෙම නැත්නම් වියට්නාම සමාජවාදයේ පියා.. වියට්නාම  ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පළමු ජනපති..ගේ 121 වෙනි ජන්ම දිනය . 1890 වසරේ උපන් ඔහුගේ මුල් නම  Nguyen Sinh Cung.
මියගියේ 1969 දී.
 
දේශපාලනය ගැන ලිවිම මා තරයේ මටම නීති පනවාගෙන ඇති හෙයින් ඒ ගැන නොකියමි. එහෙත් බොහෝ සමාජවාදී රටවල පුරෝගාමීන්ගේ පිළිම ගැලවෙද්දී ..වියට්නාමයත් ආර්ථික වශයෙන් වෙනස් මගක යද්දිත් ..හෝ මාමා හැමතැනකම සිටින බව නම් නොකියා බැරිය . රජයේ ගොඩනැගිලි ..පාසල් පන්ති කාමර වල ඔහුගේ උඩුකය පිළිම දැකිය හැක.
බොහෝ දෙනෙක් අතර ඔහුට අවංක ආදරයක් ඇති බවද කිවයුතුමය.භාෂා කීපයක් මෙන්ම     කොන්ෆුසියස් ධර්මය ගැනත් හදාරලා මාක්ස් -ලෙනින් වාදය ගෙන  එන්න මුල් වුණා වගේම     ප්‍රංශයට එරෙහිවත් පසුව ඇමෙරිකාවට එරෙහිවත් කල නිදහස් සටනෙත් උතුර හා දකුණ එක කල අරගලයේත් නියමුවා ලෙසත් මොහු සැලකෙනවා.
දේහය තබා ඇති මුසොලියම ..සතියට පැය කීපයක් විවුර්ත කෙරෙන මෙයට ඇතුළු වීම පහසු නැත. වසරේ මාස කීපයක් ජනතාවට විවුර්ත කෙරෙන්නේද නැත.සියලු අවශ්‍යතා සපිරුනද  දෙස් විදෙස් ජනයාගෙන් සැදී මහා දිග පෝලිමක පැය ගණනක් හිටගෙන සිටීමට ඉවසීම ප්‍රගුණ කර තිබිය යුතුය. කැමරා තහනම්ය. අපගේ නිදහස් චතුරශ්‍රය මෙන් විවිධ උත්සව මෙහි නිතර පැවැත්වේ. ඉතා අලංකාර වටපිටාවකි.
බැලු බැල්මට ගල් ගොඩක් ලෙස පෙනුනත් ඊට වැඩ ගැඹුරු අරුතක් මෙහි ඇත . රටෙහි විවිධ ප්‍රදේශ වලින් ගෙනා පාෂාණ යොදා මෙය නිමවා ඇති බවයි කියවෙන්නේ.
ඉදිරිපස විශාල පිට්ටනියේ තණකොළ පෑගීමට අවසර නැතත් අතරමැද ඇති පුංචි පාරවල ඇවිදීමට තහනමක් නැහැ.
 


මුර බටයින් ..මොවුන් සේවය හුවමාරු කරගන්නා ආකාරයද ඉතා ලස්සන දසුනෙකි
මා වඩා කැමති මේ රාත්‍රී දසුනටයි . පලිඟු මාලිගාවක් වගෙයි.
 
 
මෙම මුසොලියමට පිටුපස හෝ චි මින් කෞතුකාගාරය පිහිට තිබේ. රටෙහි ඉතිහාසය මැනවින් එහිදී දැක බලා ගත හැක.
 
ඔහු ජීවත්වූ නිවසත් මේ ආසන්නයෙමයි. සංරක්ෂිත එම නිවසත් සංචාරකයින්ට හොඳ ආකර්ශනයක් .
ලෝකයේ බොහෝ රටවල් අතර ජිවත් වෙන්න ඉතාම ආරක්ෂාව අතින් හොඳ රටක් මේ. අපිට වුනත් බයක් නැතිව ඇවිත් ඉන්න හැකි ලෙස මේ රට ගොඩ නගන්න මුල් වූ නිසා මා නම් හෝ මාමා ට ගෞරවයෙන් හිස නමමි.
 
හැබැහින් හමු නොවුවත් බ්ලොග් අවකාශයේ නිතර දුටු හිතාදර දිලුම් සොයුරාගේ නික්ම යාම මගේ සිතත් සසල කලා.
''ඔබ ඉක්මනින්  ගියේ ඉක්මනින් එන්නද ..
 මේ ලෙසම යහපත්ව සසර සැරිසරා..
නිවනින්ම සැනසේවා ප්‍රිය මිතුර....

Tuesday, 17 May 2011

සය්ගොන් ගඟත් බොරවී

                                                
මදනලට පෙම්කල ..
දඟකාර නුඹ කෙහෙරැලි..
කේතුක තොප්පිය යටින්..
නැටුවා සේම ගඟ රැලි...
 
සයිගොන් ගඟ බඩ..
හිනැහුණු  සොඳුරු යුවතිය ..
දකින්නට ආවෙමි..
කොහි සැගවුනිද ඇය.
 
රතු වී දෙතොල්..
නේක පැහැවිය කෙහෙවැල්..

සොවින්   වැලපී ..
බොරවිය ගඟේ දියරැල්..

සියල්ල නවීකරණය වෙලා ..ගඟ දෙපැත්තේ අහස උසට ගොඩනැගිලි..සුළඟ එක්ක සෙල්ලම් කල උණ පත් සේරම ගහගෙන ගිහින් .. එත්  මිනිස්සු ගඟ කොච්චර බොර කලත් තවමත්  යෝධ  වැලි පාරු  වලට ..එහා මෙහා යන්න ඒ ගඟ ඉඩ දෙනවා. ගඟක් ළඟ ජිවත් වෙන්න පිනක් හැමදාම තිබුන මට වසර ගානක් සයිගොන් ගඟ අද්දර ජිවත් වෙන්න වාසනාව ලැබුන. [දැනුත් ඉන්නේ වැවක් ළඟ]
සයිගොන් නදිය අහසින්
 
 
  පුංචි කාලේ දියබුන් ගැසූ කැළණි ගඟ වගේම සයිගොන් නදියත් පහුගිය වසර කීපය පුරාම මසිතේ චමත්කාර හැඟුම් ඇතිකලා..ඒ තරම් පළල ගඟකට උදාහරණයක් ලංකාවෙන් දෙන්න බැහැ. ලංකාවේ ගංගාවල් තරම් වේගවත් නම් නැහැ. වෙලාවකට ගලනවද නැද්ද කියල කියන්නත් බැරි තරම් .
මුලදී කවියක් විතරක් ලියන්න හිතුවට මේකත් ගඟක් වගේ ඇදෙනව. සයිගොන් ගඟ ගැන අගමුල පොඩ්ඩක් කිව්වොත් හොඳයිනේ.
 කම්බෝජියාවේ ගිනිකොන දිග Phum Daung පළාතෙන් ඇරඹිලා දකුණු වියට්නාමය හරහා ගලන මේ ගඟ කි .මි. 225 ක් පමණ දිගයි. නුතන හෝ චි මින් [ ඉස්සර සයිගොන්] ප්‍රදේශය හරහා යන නිසා තමයි මේ නම ලැබුනේ. [Song  Sai Gon ] song කියන්නේ ගඟට.
     සය්ගොන් ගඟ එක පාරටම මුහුදට වැටෙන ගඟක් නෙමෙයි .Nha Be කියන සහෝදරියත්  එක්ක එකතු වෙලා මිකොන්ග් ඩෙල්ටාවට කි.මි.20 නිරිත දිගින් දකුණු චීන මුහුදට එක් වෙනවා  [මේ ඉලක්කම් හෙම හොයාගත්තේ වයිකී ගෙන්. නැතුව මට කතා බැහැ කරන්න ලැබෙන වියට්නාම ජාතිකයන්ට තමන් ඉන්න පළාත ගැන ඇර අනික් කිසිම දෙයක් ගැන දැනුමක් වත් හොයන්න ඕනෑකමක් වත් නැහැ .     මට ඉතින් මුණ ගැහෙන්නේ ගෙවල් වල උදවුවට එන , වෙළඳ පොලේ බඩු විකුණන ගැණු අය තමයි වැඩිපුර. ඉංග්‍රීසිත් දන්නා ,රට තොට ගැන නිසි අවබෝදයක් ද තියෙන කෙනෙක් මුණ ගැහෙන එක හරි දුලබයි ]
ඉතින් මේ සයිගොන් ගඟ විශාල වරායකින්ද සමන්විතයි. වසරකට Metric ටොන් මිලියන 35 පමණ බඩු බඩු  හුවමාරු වෙන වරායක්.
 
 
 මේක මාගලක් සේ දික් වන නිසාද මට පාසල් යාමට ඇති නිසාද පින්තුර ටිකකින් ඉවර කරන්නම් .
ගඟේ දිවෙන විසල් නැව්

ලඟදි ඉදිවුන ලස්සන පාලමක්

රැට ගඟේ පාවෙන අවන්හල් ..මේව මෙච්චර ලස්සන වුනාට මම දවසක් දැක්ක ලොකු බෝතල් මල්ලක් වතුරට විසිකරනවා එයින් පස්සේ මමනම් ඕවයේ කන්නේ නැහැ. තමන් ජිවත් වෙන්නේ ගඟ නිසා ..පොඩ්ඩක් එයට ආදරේ කලයුතුයි නේද

මේක ගඟේ විශාල බව පෙන්වන රුපයක්

ඔන්න පේනවද යුද්ද කාලේ ගඟේ ඔරු පැද්ද හැටි
 
 මේ මගේ සයිගොන් සොඳුරු නිවහන ලඟදි මම ගත් චායාරුපයක්
 
 
 
.
ස්තුතිය ..
නෙලුම් මල් පිපි නැත්තේ ඇයිදැයි අසා ලියන්න දිරි දුන් TG ට
පින්තුර දීපු Google Images ට
ලෙඩ වෙලා ගෙදර හිටියත් තනියම සෙල්ලම් ගෙයක් දා මට කරදර නොකර  සිටි ලොක්කිට.
 
 
 
 

Thursday, 12 May 2011

වෙසක් මහේ උපන් මගේ සුදු දෝනි

වසර නමයකට පෙර පිපුණු පුංචි නෙලුම් මලේ අද නුඹේ උපන් දිනය. කියන්නට දහසක් දේ ඇතත් සියල්ල වදනට ගැලපිය නොහැක. එහෙත් හදෙහි උතුරන ආදරයෙන් අංශුවක් මෙලෙස ගලපමි.
ඔබ උපන් දා අම්මත් තාත්තත් නැවත ඉපදුනි. ඔබ අපේ ආලෝකය විය. සියාගේ උපන් දිනය මෙන්ම ලග්නය ද හිමිවී , පවුලේ පළමු මිනිබිරිය වී ..නැන්දාටත් වෙද විදුහලේ  ඇගේ සගයින්ටත් ඔබ ''රෝස කුටා''  විය.[ ඔබ රෝස පාට නිසා ඒ නම දෙන්නට ඇත].
සැබවින්ම නුඹ ආදරණිය දැරියකි. සුරතල් නංගි උපන් පසු ඇය මලක් සේ රැකගත් ඔබ පසු කලෙක ඇගෙන් වූ  අපමණ ගැහැට මැදහත් සිතින් ඉවසුවේ මහා ගැහැනියක් ලෙසිනි.
ඔබේ ඉවසීම අප පුදුම කල අතර  මෙවන් සොයුරියක් ලබන්නට නංගි කොපමණ පින් කරන්නට ඇත්දැයි මට සිතේ. සැබවින්ම අප පින් කර ඇත .
මේ ඔබේ පස් වන පාසලයි . අලුත් යහළුවන් ඇතිද නැතිද කිසිදා කන් කෙඳිරි ගෑවේ නැත . මලක් වන අහිංසක නුඹට පන්තියේ දඟ කොල්ලන්ගෙන්වත් ගැහැටක් නොවුනි.
නංගිත් සමග බෝනික්කන් නැලවුවත් ..තවමත් ටොම් සහ ජෙරී රසවින්දත්  නුඹට ජීවිතය ගැන පරිණත අවබෝධයක් ද ඇති බව මම දනිමි. ඉතිහාසය , විද්‍යාව ..සාහිත්‍ය ..ගැන ලෝකය ගැන ඔබ සතු දැනුම අවබෝධය  ඇතැම් විට මා මවිත කරයි.
වෙසක් සඳ යට උපන් ..
පින්වත් නෙලුම් කුමරිය ...
අන් සිතක් සිහිනෙනුත් නොරිදන ..
මැද සිතින් දුකක් වුව ඉවසන ..
මගේ ලොකු දෝනි ..
සුබම සුබ උපන් දිනයක්...නුඹට.
 
..සුවෙන් සතුටින් නුඹ නුඹම වී දිවි ගෙවන්න. මේ වගේ වන්නැයි පෙන්වීමට කෙනෙක් නැත. වෙනස් වීමට අවැසි නැත . ඔබ පරිපුර්නයි! අවශ්‍ය වන්නේ දැනුමින් සන්නද්ධ  වීම පමණයි...ශක්තිමත් ගැහැනියක වීමයි. මගේ සිහිනය එයයි.
 
 
 
රන් මුතු මාල කුමටද මට..
මග යනෙන විට ..ඔබ සමග
කිසිවෙක් නොබලයි ඒ දෙස.
එකම දේ සැවොම පවසන ..
''YOU HAVE TWO BEAUTIFUL DAUGHTERS""
 
 
මෙයට ,
 ආදර අම්මා
 
 
 
 

Tuesday, 10 May 2011

ආදර පොළ

වෙළඳ පොළ ආර්ථිකය හමුවේ තවත් එක භාණ්ඩයක් වූ ආදරය ගැන නොවේ මේ. සැබෑම ආදර වෙළඳ පොලක් 
උතුරු වියට්නාමයේ කඳුකරයේ පිහිටි ගම්මානයේ වසරකට වරක් මේ ආදර වෙළඳ පොළ පැවැත්වෙන්නේ  ලුනා දිනදර්ශනයට අනුව තුන්වැනි මාසයේ [ ලුනා කැලැන්ඩරය ගැන පස්සේ කියන්නම් ..බොහෝ දෙනෙක් දන්නවත් ඇති.] 26 සහ 27 දිනවලයි .
සරල ලෙස සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගැනීම අරමුණ වුවත් ඊට වැඩ ගැඹුරු ජිවනදර්ශනයක් මෙහි ඇති බව අසා මම පුදුම වීමි.
කදුකරයේ සුළු ජන වර්ග කීපයක් වෙසෙන අතර අතීතයේ ඒ ගෝත්‍ර අතර අන්තර් විවාහයන්ට අනුබලයක් නොවිණි. එහෙත් ආදරය එවැනි මායිම් නොහඳුනයි. ආදරයෙන් බැඳී එහෙත් එක්  වන්නට ඉඩ නොලද වුන් වසරකට වරක් හමු වීමට මේ පොලට පැමිණේ

 විවාහක යුවල එකට පැමිණ පරණ ආදරවන්තිය හෝ ආදරවන්තයා හමු වීම  ......?
ඕක අපි කලොත් කොහොමද . කවුද දියුණු අපිද ..නොදියුනුයි අප සිතන මේ ගෝත්‍රයන්ද.?
 වැරදිලාවත් අත්හදා බලන්න එපා .
සැමියා ; '' මම පොලේ ගිහින් එන්නද?''
බිරිඳ ; '' අදත් යනවා නේද අර සක්කර වට්ටම බලන්න . ආදේන්කෝ  මම හොඳ වැඩක්  කරන්න.''''ඒයි ඔහොම ඉන්න මමත් එනවා අරය හම්බ වෙන්න''

 අදිකරණයට වෙන නඩුවක් අහන්න වෙලාවක් නැත්තටම නැතිවෙයි ...දික්කසාද නඩු නිසා. රෝහල් වල හදිසි අනතුරු අංශ ඔලු පැලී එන්නන්ගෙන් පිරි යනු ඇත. [ඉන්දිකට බ්ලොග් ලියන්නට වෙලාවක් නැතිවේ.]
අනේ අපිට නම් මේ මාකට් එක එපෝ  ...

නැවතත් මාතෘකාවට ....
වියට්නාමයේ ඕනෑම දෙයකට එකමත් එක කලෙක කතාවක් ඇත . මේ ගැන කතා දෙකකි.
1. Giay  ගෝත්‍රයේ සුරූපී යුවතියක් හා Nung ගෝත්‍රයේ යව්වනයෙකු පෙමින් බැඳුනු අතර විවාහයට ඉඩක් නොවිණි. සොවින් වෙන්වූ ඔවුන් වසරකට වරක් මෙම ස්ථානයේ
 හමු වීමට සපත වුහ .

2.  එලෙස පෙමින් බැඳුනු ගෝත්‍ර දෙකක යුවලක් මේ අඩවියට පැන ආ අතර
ප්‍රදේශයේ සශ්‍රීකත්වයේ නියමුවන් වූ ඔවුන් වෙනුවෙන් පන්සල් දෙකක්ද තනා  ඇත.ඒවා   
    Ong සහ Ba [ Mr and Mrs ] Temple ලෙස හැඳින්වේ,

  මා වඩා කැමති  දෙවැනි කතාවටය.

 පසු කලෙක යම් බෞද්ධාගමික චාරිත්‍ර රැසක්ද මිශ්‍ර වී මෙම ආදර පොළ
 අපුරු සැණකෙළියක්  බවට පත්වී ඇත. පැරණි සංස්කෘතික අංග නගා සිටවිමට රජය දැන් දැන් අනුබල දෙන බැවින් මෙය අගනා සංචාරක ආකර්ශනයක්ද  වේ.

"කඩමණ්ඩියේ දොළ අයිනේ  නුඹව පෙනී ..
නැවතී බලනවා මොහොතක් කොහොම හරි...
කතා නැතිව සිටියත් ගොළු වෙලා අපී ..
දාහක් දේ ඇතේ  කීමට බැරිව වැසි...'''
 
පහත ඇත්තේ මේ පිලිබඳ වීඩියෝ පටයකි.

http://youtu.be/1iVJaHQGKOw

Friday, 6 May 2011

කුමරියකගේ දිනපොත

දෙවෙනි නිකොලස් සාර් ගෙන් පසු රුසියාවේ රජ කතාව නිමවිය.
 විප්ලව සමයේ රජ පවුල අතුරුදන් කල ආකාරය රැගත් National goegraphy වැඩසටහනක් නැරඹු මගේ 8 හැවිරිදි දියණියට රජ පවුල ගැන තොරතුරු සොයන්නට උවමනාවිය.මා ''සෝවියට් දේශය'' සඟරාවේ සිට  සිංහලට පරිවර්තනය වූ රුසියන් පොත් සියල්ලම පාහේ කියවා ඇත . [මග ඇරුණු ඒවත් තිබිය හැකි නමුත් ''යුද්දය හා සාමය ''කියවන්නට තරම් පිස්සුවක් තිබුණි.] අද මා ලියන්නේ ඒවා ගැන නොවේ. ඒ ගැන පසු ලිපියක ලියන්නට සිතා සිටිමි. ඒ පොත් වල රජ පවුල ගැන එහෙමකට තොරතුරක් නොවිණි.
 මා සේම පොත් ගුල්ලියක් වන මගේ දෝනි පුස්තකාලය පීරා ගෙනා "Royal Diaries ' Anastasia " පොත මගේ සිත්ගති.  ඒ රමනොව් රජ පවුලේ සිව් වැනි දියණියගේ දිනපොතයි . යන්තම් ළමා ලොව ඉක්මවමින් සිටි ඇය ලියා ඇති අව්‍යාජ සටහන් ඉතා රසවත්ය . රට වැසියාට එපාවූ රජු ඇයට ලොව සිටි හොඳම පියාය. ජර්මනිය සමග යුද්දයට පැටලී සිටි කාලයේ රට තුල අප්‍රසාදයට පත්  ජර්මන් ජාතික රජ බිසව මේ දියණියට තමාගේ ආදරණිය අම්මාය.
  පවුලේ අන්තිමට උපන් පිරිමි දරුවා හිමෝෆීලියා රෝගයෙන් පීඩා වින්දේය. ගුප්ත චරිතයකින් හෙබි පුජක රස්පුටින් යම් මායා බලයකින් කුමරාට පුංචි සහනයක් ලබා දෙන්නට සමත්වූ නිසා අලෙක්සන්ද්‍රා බිසව රස්පුටින් දේවත්වයෙන් සැලකිය.
රජුත් කුමරියනුත් අතර රස්පුටින් එතරම් ප්‍රියමනාප චරිතයක් නොවූ බව ඇය කියයි.
 රජ පවුලේ ඛේදජනක අවසානය ගැන සියුම් දුකක් ඇති වුනද ඔවුන් ගත කල ඇති  සුඛෝපබෝගී  ජිවන පිළිවෙත දරිද්‍රතාවයෙන් හා යුද්දයෙන්ද බැට කෑ රටවැසියාගේ වයිරයට බඳුන් වන්නට ඇතයි සිතා හදා ගතිමි.. ඒ මා සිතු හැටිය. මගේ අට හැවිරිදි කෙල්ලට එය මහා ඛේදවාචකයකි. ඇය විප්ලවය ගැන නොදනී. මගේ තරම් කුරුවල් නොවුණු  , cindarella , sleeping beuty  එකී මෙකි සියලුම කුමරියන්ට පිස්සු වැටි සිටින, ඉඩක් ලද හැම විටම නංගි සමග අහිංසක සෙල්ලම් කරන අට හැවිරිදි පුංචි සිතට රජ පවුලක් මිය ගිය එක ගැන හරිම දුකය. ඒ දෙන්න තමනුත් කුමරියන් කියල තමයි හිතා ඉන්නේ.
කොයි දේ වෙන්නෙත් කාලයට සාපේක්ෂව බව එයාල ලොකු වුණාම තේරුම් ගනීවි. දැන්ම ඕව ඔළුවට දාල අහිංසක සිත් කිලිටි කරන්නේ ඇයි කියල වැඩි දේවල් නොකිය හිටිය.
පසු වදනේ හැටියට පසු කලෙක සොයා ගත් ශරීර අතර දෙන්නෙක් අඩු බවත් පුංචි කුමරා සහ බොහෝ දුරට මේ කුමරිය පලා යාමට සමත් වූ බවත් කියවෙනවා .
ඒ ගැන හරි හැටි නොදනී.
 
ඇය ජිවත් වුණා නම් හොඳ ලේඛිකාවක් වෙන්න ඉඩ තිබුන. කොහොම වුණත් මේ පොත හොඳ පරිවර්තකයෙක් අතින් සිංහලට හැර වුණා නම් හරි අගෙයි.
 
 
 

Wednesday, 4 May 2011

ඉබ්බා සහ කඩුව

වියට්නාමයේ අගනුවර hanoi විල් වලට කොයි තරම් ප්‍රකටද යත් city of  lake එහි අන්වර්ථ නාමය . නගරයේ හදවත කිව හැකි hoan kiem විල ඒ අතර කැපී පෙනෙනවා. පරණ නගරය [old  quater ]  ලෙස මේ විල වටා ප්‍රදේශය ප්‍රසිද්ධයි . සංචාරකයින් නිතර දෙවේලේ ගැවසෙන මේ ඉසව්ව ගැන වෙන ලිපියකින් විස්තර කරන්න ඕන.
 මේ පුංචි කතාව ඉබ්බෙක් ගැනනේ. වියට්නාමය හා චීනය අතර තියෙන්නේ උණු හින්ද බොන්නත් බැරි,කිරි හින්ද අහක දාන්නත් බැරි සම්බන්දයක් . හරියට ඉන්දියාවයි ලංකාවයි වගේ. ඒ ගැනත් පස්සේ ලියන්නම්කො. ඉස්සර චීනෙට උවමනා    වුණා මේක එයාලගේ කෑල්ලක් කරගන්න. මෙහෙ හිටි Le Loi කියන රජතුමාට චිනෙත් එක්ක යුද්ද කරන්න ඉබි දෙවි කෙනෙක් රත්තරන් කඩුවක් දුන්න.
    යුද්දේ දිනුවට පස්සේ විලේ ඔරු පදිමින් සිටි විටක විශාල ඉබ්බෙක් දියෙන් මතු වෙලා කඩුව ආපහු අරගත්තාලු. එදා ඉඳන් මේ විලට Hoan Kiem හෙවත් lake of returned sward කියන නම  ලැබුන  .
  කතාවේ හොඳ ටික එක නෙමේ. තාමත් ඉතා විශාල කැස්බෑ විශේෂයක් මෙහි ඉන්න එක. වැඩිය නැහැ. කීප දෙනයි. ලේසියෙන් දකින්නත් බැහැ. ඉතාම කලාතුරකින් දර්ශනය වෙනවලු. මෙයින් එකෙක් දැක ගැනීම දුලබ වාසනාවක් ලෙසයි සැලකෙන්නේ.
සංරක්ෂිත මිය ගිය ඉබ්බෙක්    නම් විල මැද පන්සලේදී දැක්ක. ලඟදි ලෙඩ වෙලා හිටි ඉබ්බෙක්  හමුදා මෙහෙයුමකින් අල්ලා ප්‍රතිකාර කරන බවයි ආරංචි. [මේ හමුදාවට දැන් තියෙන්නේ ඉබ්බෝ අල්ලන වගේ රාජකාරි තමයි]
ඉතුරු වී සිටින මේ කීප දෙනා සංරක්ෂණයට දැන් වත් හිතු එක හොඳයි.  ඉබිමස් වලට හොඳ ඉල්ලුමක් තියෙන නිසා [ ඉබ්බාට  කියන්නේ ba ba ] පරිස්සම් නොකලොත් ඉස්සරහට ලියන්න වෙන්නේ දැන් උන් වඳවී ගිහින් කියල තමයි .
වැඩි විස්තර wikipedia  වලතියනවා . කැමති නම්   ගොහින් බලන්න . විද්‍යාත්මක නම හෙම තියෙනවා,

ස්තුතියි

සිංහලෙන් කියවන්න දෙයක් නැතිව අතරමන් වෙලා ඉදිද්දී  සිංහල බ්ලොග් කියවනය ගැන සොයා ගත්තේ අපේ ගෘහ මුලිකය. අපි දෙන්නටම දැන් අබින් කෑවා වගේ තමයි දැන්.
හිත හිත ඉඳල හරි යනවයි . මොනවා හරි කුරුටු ගාන ජන්මගත පුරුද්දට ඉඩ දෙන්න තමයි මේ ලියන්නේ.
කාලෙකින් පිළිවෙලකට යමක් නොලියු නිසා මොනවයින් පටන් ගන්නද කියල නිනව්වක් නැහැ.
  හිත කොනිත්තන පරණ මතකද  ..
 උයන සෝදන අතර ගෙතෙන ..අලුත් සිතිවිලිද
කෝකටත් කලින්
 ස්තුතියි..මුල් අකුරු කියාදුන් අම්මාට..
             පස් වසක් සෙවන දුන් පුංචි බාලිකාවට.
            මතක ගෝනියක් උරුම කල දෙවෙනි පාසලට..
             බොහෝ ගුරුහරුකම් දුන් දහම් පාසලට..
            ලියු කවිද ඇඳී සිත්තම්ද රසවිඳි මගේ සියලු සගයින්ටද
            කසු , මාරයා, ආගිය කතාවේ හසිත මලයා
         ඇතුළු සියලු සිංහලෙන් ලියන නොදුටු සගයින්ට
          
විශේෂයෙන් ස්තුතියි..
          .කටු පිරුණ මාවතින් ඔබ්බට ..
           සුව පිරි කැදැල්ලක මා රැඳවු
            ලියන්නට කියන්නට  ඇති මගේ
          සම අයිතියට අභියෝග නොකරන       
            අදරැති ජිවන සහකරුට ..
  
 ජීවිතය තනිව යන ගමනක් නොවේ..
වැටි වැටි ආ මේ මග
මට බොහෝ අත්වැල් තිබිණි
හෙට දිනක ඒ හැමෝටම පිටුවක් ලියන කම්
  කෙටියෙන් කියමි ''ස්තුතියි"සැමට.
 
 
 
          

නැවත හමු වූ පන්හිඳ

''''මම   ආයිත්   ඇවිද ගියා
 පරණ මතක මාවත් වල ..
   හයියෙන් ඇවිදින්න බැරිව ..
  අතර මන්ව මගේ පෑන..
අවුරුදු ගානකට කලින් .
මගේ අතින් බිම වැටිලා
 අහුලාගෙන කුණු දුවිලි...
    පිසදැමුවෙමි.
  රන් පාටින් දිලිහි දිලිහි ..
.ඔය තියෙන්නේ අපුරුවට ..
මාත් එක්ක හරි හරියට
ලෝකය පෙරලමුයි  කියල
සිය ගානක් කවි ලිව්වා ..
යව්වනයේ දොරකඩ ළඟ
ආදර පදවැල් මැවුවා..
..එහෙව් අපිව මග දැම්මයි ..
පෑන එක්ක එකතු වෙලා ..
මගේ හිතත් මට බැන්නා...