Thursday 21 November 2013

තොරොක්කෝව

මුහුණු පොතේ ළමා කතා පිටුවේ කෙනෙක් අසා තිබුණ ''තොරොක්කෝව'' කියල කෙටි කතාවක් ගැන .මට මතක තිබුණ මේක සිංහල පෙළ පොතක තිබුණ කතාවක් කියල .කුඩා පිරිමි ළමයෙක් ඩක්කුවක නැගලා ගෙදරින් බොහෝ දුරක යන කතාවක් .භූමිතෙල් ගඳ ගසන කොලයක එතු සුකිරි ...මට විශේෂයෙන් මතක හිටිය තැනක්.. මේ කතාව ගැන අහන්නට මට මතක් වුණේ අපේ ඇවිදින පුස්තකාලය හෙවත් බුරතිනෝ ළමයාව. හැරෙන තැපෑලෙන් මට ලැබුනානේ කෙටි කතාවේ ස්කෑන් කොපියක්.
 ඔබට බොහොම ස්තුතියි බුරතිනෝ....
සමහරු කියවලා ඇති. නමුත් බහුතරයට මෙය කියවන්න ලැබුනේ නැහැ . කෙටි කාලයක් තිබුණ විෂය නිර්දේශයක අටවන ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ මෙය තිබුණේ . මට මතක තිබුණේ නැහැ පන්තිය වුනත්,.

ඒ කලේ විශ්ව සාහිත්‍ය අපට මුණ ගැසුණේ මේ පෙළ පොත් වලින් තමයි. වැඩිදුර කියවීමේ ලෙඩේ වැළඳුන අපි වගේ උන් පුස්තකාල වලට ඇබ්බැහි වෙලා තවත් පොත් සොයා ගියා . 

වැඩි වල වටාරම් නැතුව මෙන්න කතන්දරේ. ජපන් ජාතික අකුතගවා ර්යුනොසුකේ තමයි මෙහි කතුවරයා . සිංහලට පරිවර්තනය කොට කුඩා අපට මෙය කියවන්න සැලසුවේ ජයන්ත විමලසේන මහතා ..එතුමාට මගේ සදාදර ස්තුතිය. 
..............................................................................................................
තොරොක්කෝව 

ඔඩවාරා  සහ අතමි අතර කුඩා දුම්රිය මාර්ගයේ වැඩ පටන් ගන්නා විට ර්යෝහෙයි ගේ වයස අවුරුදු අටකි.ර්යෝහෙයි සෑම දිනකම කම්කරුවන් වැඩ කරනු බැලීමට නගරාන්තයට ගියේය. තොරෝක්කෝ වලින් කුණු කසළ අදිනවාට වැඩි වැඩෙක් එහි නොවිය. ඔහු එහි ගියේ ඒ කාර්යය නැරඹීමට ආශා හෙයිනි.

   තොරොක්කෝවේ කොවේ පිටිපස කසළ ගොඩක් අසල කම්කරුවෝ දෙදෙනෙක් සිටගෙන සිටිති. තොරොක්කෝව කන්දක සිට පහළට එන බැවින් එය වේගයෙන් බසී. එහි බක්කිය වේගය නිසා වෙවුලයි 

එහි තුනී ගරාදි ගැටීම නිසා නැමී යයි. කම්කරුවන්ගේ කබා කෙළවර පට පට ගා සුළඟට වැදෙයි. ඒ දෙස පරීක්ෂාවෙන් බලා සිටිනා ර්යෝහෙයිට හමාටත් කම්කරුවෙක් වන්නට ඇත්නම් යි සිතේ, විටෙක හෝ එක වරක් වත් කම්කරුවන් සමග තොරොක්කෝවේ යන්නට ලැබේවායි පතයි. තොරොක්කෝව නගය්ර අසලට පැමිණෙත්ම පොලොව තැනිතලා නිසා වේගය අඩුවී ඉබේම නවතී . එවිට කම්කරුවෝ කඩිසර ලෙස ඉන් වතට පැන කසළ හළති. ඉන්පසු එය කන්ද ඉහළට තල්ලු කිරීමට පටන් ගනිති 

තොරොක්කෝවේ නැග යාමට නොහැකි වුවත් තල්ලු කිරීමට වත් ඉඩ ලැබේ යයි ර්යෝහෙයි බලාපොරොත්තු වුයේ මෙවැනි අවස්ථාවකය. 

     ර්යෝහෙයි පෙබරවාරි මාසයේ මුල් හරියේ එක සන්ධ්‍යාවක නගරාන්තයෙහි තොරොක්කෝ නවතා තිබුණ තනට ගියේය. ඔහු තමාට අවුරුද්දකින් බාල තම සහෝදරයාද සහෝදරයාගේ වයසේම සිටි අසල්වැසි ළමයෙකුද කටුව ගියේය.බක්කි වල මඩ කැටි ගැසී තිබුණ තොරොක්කෝ කීපයක් පේලියට නවතා තිබෙනු දක්නට ලැබිණ.
  හේ වටපිට බැලිය. කම්කරුවන්ගෙන් කිසිවෙක් එහි නොවිය. ඔවුහු තිදෙනා දෙගිඩියාවෙන් අන්තිමට නවතා තිබුණු තොරොක්කෝව තල්ලු කිරීමට පටන් ගත්හ.
  තල්ලුවෙන් රෝද කරකැවෙන්නට විය.රෝද වලින් නිකුත් වූ.ශබ්දය මුලින් ර්යෝහෙයි තැති ගැන්වූ නමුත් ඒ ශබ්දය දෙවනුව  ඇසුණු විට ඔහුගේ බිය පහව ගියේය 
අත් පොඩි හයේ බලයෙන් එය රේල් පීලි දිගේ ඉහලට හෙමින් තල්ලු වී ගියේය.
තොරොක්කෝව යාර විස්සක් පමණ තල්ලු වී ගිය පසු ඔවුන් කොතරම් මහන්සි ගත්තද කන්ද නිසා ඉන් ඔබ්බට රථය සෙලවිය නොහැකි විය. ඇතැම් විටක රථය ආපසු තල්ලු වුයේ ඔවුන් තිදෙනා සමගය.

තම අභිමතාර්ථය ඉටු කර ගැනීම සඳහා පැමිණි දුර හොඳටම සෑහේ යයි සිතු ර්යෝහෙයි '' වරෙල්ලා , ගොඩ වෙයල්ලා ''යි බාල ළමයින් දෙදෙනාට සන් කළේය.

ඔවුන් තිදෙනා තොරොක්කෝ වේ එල්ලී ගත්හ. එය හෙමින් හෙමින් ඇදෙන්නට වන . ක්‍රමයෙන් වේගය වැඩි විය.
   අන්තිමේදී තොරොක්කෝ පීලි මත ඉගිලෙන්නට පටන් ගත්තේය. ඉදිරිපස දර්ශනය ර්යෝහෙයිගේ ඇස් ඉදිරියෙහි දිගහරි ශීඝ්‍රයෙන් දෙපසට ඇදිණි. සන්ධ්‍යා මාරුතය ඔහුගේ දෙ  කම්මුල්හි ගැටී ගියේය. වෙවුලන තොරොක්කෝව ඔහුගේ දෙපා යට නැටීය. 
  ර්යෝහෙයිගේ සතුට උතුරා යන තරම් විය.
මිනිත්තු කිහිපයක් ඇතුලතදී තොරොක්කෝවේ ගමන් වේගය ක්‍රමයෙන් අඩු වී නැවතුණේය.
''වරෙල්ලා ආයෙත් තල්ලු කරමු.''
ර්යෝහෙයි බාල ළමයින් දෙදෙනා සමග නැවතත් තොරොක්කෝව තල්ලු කිරීමට සුදානම් විය. රෝද යන්තම් සෙලවුණා. ඔවුන් පිටුපසින් ආදී ශබ්දයක් ඇසිණි .ඉක්බිතිව මහත් හඬක් රව් දුන්නේය.

''උඹලා ඔතන මොකද . කවුද උඹලාට ඔය තොරොක්කෝ අල්ලන්න කිව්වේ '' 
 වැඩට අඳින කබල් ජැකට්ටුවකුත් යල් පැනපු පිදුරු තොප්පියකුත් ඇඳගත් උස කම්කරුවෙක් ඔවුන් අසලින් සිට ගත්තේය.
''මේ අමුත්තා කවුදැ ''යි හඳුනා ගන්නා විට ඔවුන් සිටියේ යාර විස්සකටත් වඩා ඈතය. 
එවිට ඔවුහු  දුවන්නට වුහ. ර්යෝහෙයි ආපසු ගෙදර දුවන විට වැඩපොළ අසල තොරොක්කෝ රාශියක් දක්නට ලබුන්දොහුට නැවතත් ඒවා පැදීමට නොසිතිණි. සුළඟට වෙවුලමින් තිබුණ පිදුරු තොප්පිය- ඔහු රවා බලු හැටි -ර්යෝහෙයිට නිතරම සිහියට් නැගුණේය.එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ හැඟීම අතුරුදහන්ව ගියේය .
දස දිනකට පමණ පසු එක සැන්දෑවක ර්යෝහෙයි, වැඩ කරන පෙදෙසේ තමා සමීපයට එන තොරොක්කෝ නරඹමින් සිටියේය. එක්  තොරොක්කෝවෙක ඉතා උස කසළ ගොඩක් විය. දෙවැනි තොරොක්කෝවේ සිල්බර කඳන් පටවා තිබුණේය .
තරුණයෝ දෙදෙනෙක්  මේ විශේෂ තොරොක්කෝව තල්ලු කරමින් සිටියහ.
ඔවුන් දුටු සැණෙකින්ම ''ඔවුන් හා මිත්‍ර වීමට ලැබුණොත් ''යි ර්යෝජෙයිට සිතිණි. ''ඔවුන් මට කෑගසන එකක් නැහැ''යි හේ සිතිය.
එසේ සිතා ඔවුන් දෙසට දිව්වේය.
''යාලුවා මාත් තල්ලු කරන්න උදව් වෙන්නද ?''
''හොඳයි හොඳයි එනවා ''
ර්යෝහෙයි බලාපොරොත්තු වූ පරිදි, ඔවුන්ගෙන් එකෙක් -ඉරි වැටුණු කමිසයක් ඇඳන සිටි මිනිසා- හිස නමා තොරොක්කෝව තල්ලු කරන ගමන් විනීත ලෙස පිළිතුරු දුන්නේය.


ර්යෝහෙයි මිනිසුන් දෙදෙනා අතරට වී පුළුවන් තරම් ශක්තිය යොදා තොරොක්කෝව තල්ලු කිරීමට පටන් ගත්තේය.
''උඹට හුඟක් හයිය තියෙනවානේ ළමයෝ''
කන අද්දර සිගරැට්ටුවක් රඳවා ගෙන සිටි අනෙක් මිනිසාද ර්යෝහෙයිට ප්‍රශංසා කළේය.
වැඩි කාලයක් ගත නොවීම පල්ලම ළඟා විය.
''තවත් තල්ලු කරන්න උවමනා නැහැ ''යි කවර මොහොතක ඔවුන් කියාවිදෝයි ර්යෝහෙයි නොසන්සුන්කමෙන් පසු විය .
එහෙත් කම්කරුවෝ දෙදෙනා පෙරට වඩා තරමක් ශරීරය ඍජු ව තබාගෙන වචනයකුදු නොකියා දිගටම තල්ලු කරගෙන ගියහ.
ර්යෝහෙයිට තම අදහස තව දුරටත් සඟවා ගෙන සිටිය  නොහැකි විය.
හේ බයෙන් බයෙන් ''තව තල්ලු කරන්නදැ?''යි 
''හොඳයි හොඳයි '' ඔවුහු දෙදෙනාම පිළිතුරු දුන්හ.

ඔවුන් ඉතා විනීත යැයි ර්යෝහෙයි සිතුවේය. යාර පන්සියයක් හයසියයක් පමණ ඉක්මවූ විට නැවතත් කන්ද ළඟා විය. මාර්ගය දෙපසම ජවනාරම් වතු දක්නට විය. ඉදි රන්වන් වූ ජවනාරම් ගෙඩි මත හිරු රැස් වැටි තිබිණි.
ඔවුහු ජවනාරම් වතු අතරින් කඳු මුදුනට තොරොක්කෝව තල්ලු කළහ. එතැන් සිට වුයේ තද බැස්මකි. ඉරි කමිසය ඇඳ සිටි මිනිසා ''වරෙන් වරෙන් පැනපන් ''යි හඬ නගා කියේය. ර්යෝහෙයි ඇසිල්ලකින්ම රථයට පැන්නේය. ඔවුන් සියලු දෙනාම රථයට  නැගුනු පසු තොරොක්කෝව පීලි දිගේ වේගයෙන් පහළට  බසින්නට විය.
ජවනාරම් සුවඳ ඔවුන්ට ආඝ්‍රාණය විය. ර්යෝහෙයිගේ කබාය පවනේ ලෙළ දුන්නේය.
''තල්ලු කරනවාට වැඩිය නැගලා යනඑක හරි ෂෝක්.ආපහු එනකොටත් කවුරු හරි තල්ලු කරනවා නම් හුඟක් තැන් නැඟිලා යන්න පුළුවන් ''. මෙවැනි නොයෙකුත් අදහස් ඔහුගේ සිතට වැදුණේය.

තොරොක්කෝව දෙපස වූ උණ පඳුරු වලට ළන්වෙත්ම ක්‍රමයෙන් එහි වේගය අඩුවන්නට විය.තිදෙනා නැවතත් එය තල්ලු කිරීමට පටන් ගත්හ. උණ පඳුරු වන ලැහැබකට පරිවර්තනය විය.  මඟ දිගටම වැටි තිබුණ වියලි කොළවලින් පීලි සම්පුර්ණයෙන්ම වැසි තිබුණේය. ඔවුන් කඳු මුදුනට පැමිණි විට කඳු ගැට අතරින් මුහුද දිස්විය. බොහෝ දුර ගොස් ඇති බව ර්යෝහෙයිට වැටහුණේ එවේලෙහිය.
 තිදෙනා නැවත තොරොක්කෝවට නැග ගත්හ.එය මුහුදට වම්පසින් වන ලැහැබේ අතුපතර යටින් දිවෙන්නට විය. කෙසේ වුවද ර්යෝහෙයිට පෙරදී මෙන් තොරොක්කෝ පැදීමේ විනෝදය නම් මෙවර නොලැබිණි.ඔහුට එය ආපසු හරවා ගැනීම ට තරම් සිත් විය. එහෙත් එහි ගමන අවසාන වනතුරු එය ආපසු නොහැරෙන බව හේ විශ්වාස කළේය .
තොරොක්කෝව නැවතුණේය. ඔවුන් සිටියේ පිදුරු සෙවෙණි  කළ තේ පැන් හලකට මුහුණ ලාගෙනය. එය අසළින්ම පස් කණ්ඩි කඩා වැටුණු  කන්දක් විය.
තේ පැන් හල තුළට  පිවිසි කම්කරුවෝ බිලිඳකු පිටෙහි එල්ලාගත් ගැහැණියකගෙන් තේ ඉල්ලා ගෙන නිවාඩු පාඩුව එහි රස බලනු දක්නා ලදහ.
 ර්යෝහෙයි නොසන්සුන් ගතියකින් තොරොක්කෝව වටා සක්මන් කළේය. තොරොක්කෝ චැසියේ මුදුනෙහි  දෙපස.ලී පුවරු වල තැවරුණු මඩ තට්ටු වේලී කැටි ගැසී තිබුණේය.

  මිනිත්තු කිපයකට පසු කනේ සිගරැට්ටුවක් ගසා ගෙන සිටි මිනිසා කඩයේ සිට අවුත් කඩදාසියක ඔතන ලද සුකිරි වගයක් ඔහුට දුන්නේය. ර්යෝහෙයි කිසිම හැඟීමක් නැතිව ආවාට ගියාට මෙන් '' ස්තුතියි''යි කිවේය. 
එහෙත් තමා කොතරම් දරදඬු වී දැයි පසුව ඔහුට වැටහුණේය.එහි වරද හරි ගස්සන්නට මෙන් හේ සුකිරි ටිකක් කටට විසිකරගත්තේය.බුමිතෙල් ගඳක් ඔහුට දැනුනේ නිසැකයෙන්ම ඒ කඩදාසිය නිසා විය යුතුය.
  තිදෙනාම තොරොක්කෝව යලිත්  තල්ලු කරන්නට වුහ. ර්යෝහෙයිගේ අත් තොරොක්කෝව මත තිබුණු  නමුත් සිත යොමු වී තිබුණේ වෙනත් දේවල් කෙරෙහිය.
ඔවුහු අනෙක් පාර්ශවයේ කඳු පාමුලට ලඟා වුහ.එතනද මුලින් වූ තේ පැන්හල වැනි කඩයක් තිබුණේය.

කම්කරුවන් එය තුලට ගිය පසු ර්යෝහෙයි තොරොක්කෝවෙහි වාඩි ගෙන ''ආපසු ගෙදර යන්නේ කෙසේදැ"යි සිතන්නට විය.
   මිදිවල් මත වැටුණු බසින හිරුගේ ආලෝකය ක්‍රමයෙන් අඩුවන්නට විය.
''"දැන් හොඳටම හවස් වෙලා"
මේ අදහස පහළ වූ විට ඔහු නොවිසිලිමත් විය. හේ තම කරදරවලින් සිත වෙන අතකට යොමු කිරීමට මහන්සි ගත්තේය.තොරොක්කෝවේ රෝදවලට පයින් ගැසුවේය. තමාට බැරි බව  දැන දැනම මුළු ශක්තියම යොදා එය තනියම තල්ලු කිරීමට සැරසුණේය. 
කම්කරුවෝ ආපසු පැමිණ
''ළමයෝ ඉකමනට ගෙදර දුවපන් අපි අද රෑ මෙහි නතර වෙනවා.''යි කීහ.
''උඹ තවත් පරක්කු වුණොත් අම්මලා තාත්තලා කලබල වෙනවා''යි කීහ.  ර්යෝහෙයි මොහොතක් පුදුමයට පත්ව බලා සිටියේය. ඒවනවිට ඇඳිරි වැටී අවසානය. ගිය අවුරුද්දේ ඔහු ඉවාමුරා දක්වා පැමිණියේය. අද පැමිණි දුර ඊට වඩා සතර ගුණයකින් පමණ වැඩිය. ඔහුට මේ දුර ප්‍රමාණය තනියම පයින් යාමට සිදුවන්නේය. මේ හැම කරුණක්ම ඔහුගේ සිත විනිවිද ගියේය.
ර්යෝහෙයිගේ ඇස්වල කඳුළු පිරුණේය.හැඬිමෙන් පලක් නැති බවත් මෙය ඊට අවස්ථාව නොවන බවත් ඔහුට කල්පනා වුයේය. ඔහු තරුණ කම්කරුවන් දෙදෙනාට යන්තම් ආචාර කොට රේල් පිලි දිගේ දුවන්නට පටන් ගත්තේය. විටෙක ඔහු රේල් පිලි මත දිව්වේ තෝන්තු වූවාක් මෙනි 
සුකිරි මුල ඉරි විසිරෙන බව ඔහුට දැනුණේය. හේ ඉතිරි ටිකද ඉවතට විසිකළේය .පාවහන් යුවළද ගැලවී විසිවන්නට  ඉඩ හැරියේය.මේස් පමණක් ඇතිව දුවන ඔහුගේ පතුල් වල බොරළු ඇනී තරමක වේදනා ඇති වුවද දෙපා වලට ඉතා සැහැල්ලු බවක් දැනුණේය.
හේ කඳු මුදුනට දිව්වේය.වම පසින් මුහුද දිස්විය. කඳු ධාරා දෙ කම්මුල් දිගේ වැගිරෙත්ම හිස දෙපසට ගැස්සිය.
 හේ නිර්භීත වීමට මහන්සි ගත්තේය.එහෙත් ඔහුගෙන් ඉබේම සුසුම් පිටවිය.
ඔහු උණ වනය මැදින් වේගයෙන් දුවන විට බැසයන හිරුගේ රැස් දුර්වර්ණ වෙමින් තිබෙනු කඳු මතින් දර්ශනය වුයේය. 
 ර්යෝහෙයිගේ සිත හොඳටම අවුල් වී ගොස්ය.සමහර විට එසේ වුයේ ගමන් මාර්ගය වෙනස් වූ නිසා විය යුතුය. දර්ශන පථය වෙනස් වීම ඔහුගේ සිත නොසන්සුන් බවට පත්කළේය.
ඔහුගේ ඇඳුම් ඩහදියෙන් තෙත්ව තිබිණි. ඔහු ඇඳ  සිටි කබාය ඒ අවස්ථාවෙහි මහත් කරදරයක් වුයෙන් ඒ ගලවා වේගයෙන් විසිකළේය .
බලාපොරොත්තු සුන්වූ හේ දිගටම දුවන්නට වන්නේය.
   ජවනාරම් වත්තට ලං වනවිට විට හොඳටම ඇඳිරි වැටි තිබිණ. ඇතැම් විට ලිස්සමින් ඇතැම් විට ගල් මුල් වල හැපෙමින් දුවන අතර ''මගේ පණ නොනැසී තිබුනොත් ඇති''යි ර්යෝහෙයි තමාටම කියා ගත්තේය.
  නගරාන්තයෙහි වැඩපොළ අඳුරේම ර්යෝහෙයිට දිස්වූයේය.එවිට ඔහුට කෑගැසීමට සිත් විය. එහෙත් හේ දිගටම දිව්වේය. නගරයට පිවිසි විට වීදියෙහි පහන් දැල්වෙමින් තිබිණි. වතුර අදින ගැහැණුද ගොවිපොළේ සිට වැඩ නිමකොට තම නිවෙස් වලට යන මිනිස්සුද ර්යෝහෙයි හති දම දමා දුවනු දුටහ.  
''මොකද කාරණේ ?'' ඔවුහු ඔහුගෙන් ඇසුහ.
ඔහු කිසිවක් නොකියා බඩු ගබඩාවද බාබර් සාප්පුවද ආලෝකයෙන් බබලන තවත් නොයෙක් ගෙවල්ද පසු කළේය.

  ගෙදර ඉස්සරහ දොර ළඟට පැමිණි විට ර්යෝහෙයිට හැඬිම වළක්වා ගත නොහැකි විය .ඔහු හඬනු ඇසු මවත් පියාත් ඔහු වෙත දුව ආහ. 
මව ඔහු ලංකරගෙන යම් කිසිවක් කීවාය. එහෙත් ර්යෝහෙයි අතපය විසිකරමින් ඉකි බිඳිමින් දිගටම හඬන්නට විය. ඔහු බෙරිහන් දෙනු අසා අහල පහළ ගැහැණු කීප දෙනෙක් කළුවරේම එතනට රොක් වුහ. ඔඅහුගේ දෙමාපියන් මෙන් ඔවුහුද හැඬිමට කාරණය කුමක්දැයි විමසුහ. .ඔවුන් කුමක් ඇසුවත් ඔහු  ඒ ගණනකට නොගත්තේය. ඔහු දිගටම හැඬුවේය .
  ඒ සා විශාල දුර කතරක සිට දුව එද්දී දැනුණ තනිකම කොතෙක් හැඬුවද සිතින් බැහැර නොයන බව පසුව ර්යෝහෙයිට වැටහුණේය .
                                             

'හදවත පාළුයි                                                                                                         
අකුතගාවා ර්යුනොසුකේ 


පරිවර්තනය - ජයන්ත විමලසේන 

..................................................................................................................................

............

යමක් කියෙව්වම ලිව්වා කෙනා ගැන පොඩ්ඩක් සොයන එක මගේ පුරුද්ද . දැන් ඉස්සර වගේ නෙමේ ගුගල් දෙවියන් ඉන්නා නිසා ඕවත් වැඩද.
අකුතගාවා ර්යොනොසුකේ නමැති ජපන් ජාතික කතුවරයා ගැන සොයා බලද්දී දුටුවේ ''Rashomon ''කියන ප්‍රසිද්ධ සිතුවම් පටය මෙතුමාගේ කතා දෙකකින් නේ නිර්මාණය කරලා තියෙන්නේ. 
වසර 35 ක කෙටි ජිවිත කාලය නිමා කරමින් සිය දිවි තොර කරගත් අකුතගාවා ජපන් කෙටි කතා කලාවේ පියා ලෙස හැඳින්වෙනවා . ජපානයේ ඔහුගේ නමින් සාහිත්‍ය සම්මානයක් නම් කර තිබෙනවා .
ලොව සලකුණු තැබූ මිනිසුන්ගේ සැබෑ ජිවන අන්දරයන් එතරම් මිහිරි නැහැ . මොහුටත් ඒ සත්‍යයය එලෙසමයි. ළමා කල මිතුරිය සහ පළමු පෙම්වතිය සමග විවාහ වෙන්නට තිබු බලාපොරොත්තුව බිඳ වැටෙනවා ..පසුව එළඹෙන විවාහයෙන් දරුවන් තිදෙනෙකුගේ පියෙකු බවට පත් වෙනවා . 
මේ කෙටි සටහන වැඩිදුර කියවන්න කම්මැලි අයට... .කම්මැලි නැති හොඳ ළමයි ලින්ක් එකෙන් ගොසින් ඔහු ගැන වැඩිදුර කියවාවි යයි බලාපොරොත්තු වෙනවා .


ස්තුතිය ,

මේ ගැන සොයන්නට මතක් කර දුන් ළමා කතාවේ මිතුරාට 

කතාව සොයා දුන් බුරාට 

අහස අඳුරු කර පරිසරය මිහිදුමෙන් වසා එලියට බහින්නට මාව කම්මැලි කොට අද ගේ අස්සෙම තියන්නට මහන්සි ගත් කාලගුණයට 

Thursday 10 October 2013

කවුළුව අසල සිඟිති දැරිය ...තෙලිතුඩක අසිරිය

ජපන් පදනම් ශාලාවේ ළමයින්ට චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙන වග අහන්නට ලැබුණ.  එයාගේ.පොඩ්ඩාගේ ඉස්කෝලෙන් බලන්න ගිය බවත්  මගේ මිතුරිය කිවා ..

හෙමිහිට යන්න ඕන කියල අපි හිතා හිටිය . අද සවස එයාගේ දුරකතනයේ තිබුන චිත්‍රයක් දැක්කම හුරු පුරුදු ගතියක් දැනුනා .

''ටෝට්ටෝ චාං '' වගේ නේද ලොක්කියි මමයි  කතා වුණා .

''ඒ ඇඳපු කෙනාගෙම වෙන්න ඕන '' මගේ මිතුරිය කිවා ..

ඉතින් අපිට හෙට වෙනකම් ඉන්න බැරි වුනා .දඩි බිඩි ගාල ලැස්ති වෙලා අපි ඉතාම වේගෙන් යන්න පිටත් වුණා . වැඩ ඇරෙන වෙලාව . යන්තම් වහන්න පැයක් තියා ප්‍රදර්ශන ශාලාවට රිංග ගන්න හැකි වුණා .

එතන ඉඳන් දියසායමින් , පැන්සල් ඉරි වලින් මැවුණු අමුතුම සුන්දර ලෝකයක්.

ඈත එපිට ජපානයේ ළමයින් වෙනුවෙන් ඇඳපු සිතුවම් හතළිහක් තිබුණ . මන් නම් ගණන් කලේ නැහැ .අපේ පොඩි තමයි දෙපාරක්ම ගණන් කරලා හතළිහයි කිවේ.

ටෝට්ටෝ චාන් වගේ මුහුණු එක එක විදිහට අපි දිහා බලන් හිටියා ..

Iwasaki Chihiro [1918-1974]





තමයි මේ ලෝකප්‍රකට චිත්‍ර ශිල්පිනිය . ඇය තමයි ටෙට්සුකෝ කුරයානගි ගේ ''කවුළුව අසල සිඟිති දැරිය '' හෙවත් අපේ හරි පුදුම ඉස්කෝලේ [පරිවර්තනය ලීලානන්ද ගමාච්චි ] ටෝට්ටෝ චාන්ට පණ දුන්නේ තෙලිතුඩෙන් .

එක් දරු මවක් වූ ඇය වයස 55දී මිය යන විට ළමා සිතුවම් කතා පොත් හතළිහක් පළකර තිබෙනවා .

ප්‍රදර්ශනයෙන් ගෙන ආහැකි වුවේ කුඩා තැපැල් පත් කීපයක් පමණයි. පින්තුර ගැනීමට ඉඩක් ලැබුනේ නැහැ . නමුත් අන්තර්ජාලයේ ඇගේ සිතුවම් දැක ගන්නට හැකියි .

පසුබිම ගැන එතරම් වද නොවී ළමුන්ගේ ඉරියව් අපුරුවට සිතුවම් කර තිබීම මගේ සිත ගත්තා .

යුද්ධයට මදි වූ දැරියක් වූ ඇය පසු කලෙක වියට්නාමයේ ළමුන් වෙනුවෙන් සිතුවම් ඇඳ ඔවුන්ට නිදහසත් සාමයත් ඉතසිතින් පැතු බවත් සඳහන් .

වචන වලට වඩා වර්ණයන් ගෙන් කියවෙන මේ අසිරිය විඳින්න


 වැසි දිනක තෙතබරිත ගතිය කෙතරම් අපුරුද




















 මෙය වියට්නාම ළමුන් වෙනුවෙන් ඇඳි සිතුවමක් .









සිතුවම් සියල්ල ගත්තේ මෙතනින්. තව බොහෝ සිතුවම් එහි තිබේ