Showing posts with label කවි සහ ඒ වගේ ඒවා. Show all posts
Showing posts with label කවි සහ ඒ වගේ ඒවා. Show all posts

Tuesday, 3 January 2012

සිහි කරමි දුකෙන් සහ සතුටෙන්..

 
 
''දහනමයේ   ටිකට් එක ..
කොහෙද  විස්සෙන් ඉතුරු රුපියල ''
ඉස්සර වගේ සටනට
නොයා උන්නෙමි  කට වසාගෙන
 
 
 
කඩුපුල් මල් පිපුන මහ රෑක
යමුයි පන්සල් කී විට
''අපෝ මොන පන්සල්ද මේ රෑ''
නොකීවෙමි පෙරසේ එකටෙක
 
 
 
''කවදාද ආවේ අද හෙටම යන්නද
..මොකෝ මේ කොණ්ඩය කොට වෙලා ''
''රස්සාවක් නැතුව ඉඳගෙන
මක් කරනවද දවල් දවසෙම ''
 
  
 
''දැන් ඔය ඇවිද්දාමදිද
ගම රට ආවොතින් නරකද
හදාගෙන ගේ දොර
පිළිවෙලට ඉන්නේ කවදද ''
 
 
''පෙන්ෂන් ලැබෙන
ආණ්ඩුවේ රස්සාව
නැතිවෙලා යනවට
හැබෑටම දුක නැද්ද ??
 
 
සේරම ප්‍රශ්න පත්තර
කබඩ් වල දමා ලොක් කර
පරිප්පුයි පොතුයි එක්කම
තුනපහ හොඳින් පැක් කර
 
 
ගෙනා බඩු ඔහේ ඇත තැන තැන
කැවිලි විතරක් හෙමින් හිස් වෙන
අච්චාරු බෝතලය මත
තවම අම්මගෙ අතේ සලකුණු ඇත
 
 
''අපොයි අව්වේ සැර..
දාඩිය ඉහ කනින් බේරෙන ''
සිතෙන් සිතු එකත් වැරදිද
ලැබුණි අද මට එයට දඬුවම
 
අඳුරු සීතල මීදුමට බැන බැන
සිහිකරමි දුකෙන් සතුටෙන් 
.......ගෙදර උණුසුම .......   
 
 
 

Thursday, 15 December 2011

මන් එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ ....



නුගේගොඩ ගිහින් රෑ වෙලා එනකොට
අටේ කණුව ළඟ බස් නැවතුමේ
රිදෙන කල් කකුල්
... බලන් හිටියා නේද

කැදැල්ලෙන් ඉගිල්ලී ගිය දවස
එකතු කරගෙන පුංචි පැටවුන්
ඉඳහිටක ඇවිත් යාදැයි
බලන් හිටියා නේද

අවුරුද්දකට සැරයක්
අදත් මන් එනකම්
අවුරුද්දක්ම
බලන් හිටියා නේද

Friday, 16 September 2011

වයසට නොයන මගේ ආදර සිබිල් නැන්දා...





කවුරුත් ලියුමක් නොඑවන හන්දා
තමන් එවූ ලියුමක් රස        වින්දා        
සුත්තරෙන් අත්තම්මව      බන්දා
පුන්චට දඟ වැඩ කිව්වේ    නැන්දා





බත් කන්නට මට බෑමයි     බෑමයි
බනියා කිව්වට මන් බය      නෑමයි
''උඩ ගිය බබා ''ගෙ පොත මා ගාවයි
බනියා දැන් බත් කන්නට      ආසයි






අවුරුදු කාලෙට කැවුම් බදින කොට
''කැවුම් යෝදයා '' එයි මගේ මතකෙට
''කිරිහාමි''ගෙ කොස් ගහ    කැපු වරදට 
වුන කරදර සිහිවෙයි කොස් කනකොට





අම්මයි අප්පයි  දෙව්ලොව ගිය කල
විමලුයි සාමයි  අත්තම්මගෙ  පැල
මැටියෙන් බැඳුනත් සතුටින් හිටි කල
''මැටි ගෙදර ''ක වුව මිණි පලිගුද දුල




ගොහින් කොළඹ බලමින් හොඳ හොඳ කඩ
කොස්ගම මාමා ගේන ගේන               කුඩ
කවුදැයි ගත්තේ ඕව නරක                   වැඩ
''කුඩ හොරා ''ගෙ ලිපිනය මහ ගහ       උඩ





අම්ම තාත්තට කරමු       උදව්වක්
බිම අතු ගාලා අරගෙන    ඉදලක්
කොළ යට සැඟවී තිබුණි පන්දුවක්
වැඩ කල හාවට ලැබුණි ''තෑග්ග''ක්














  සීයගේ මුණේ  කිරි සුදු රැවුලකි
දිගට වැවෙනු බැහැ කැපුවේ මියෙකි
මුවහත නැති වී වුයේ අරුමෙකි
''දුවන රැවුල '' නම් මට මහ පුදුමෙකි




සුන්දර ගම මැද ගෙවුනලු බාලේ
රස රස දේ සිදුවුන ඒ කාලේ
''වැනියන් කළු''ට  කියනා වෙලේ
පෙනේද මගේ හිත නැළවෙන තාලේ



''අත්තම්මා'' නම් වූ පොත්        පිංචකි
කුමාරන් කියන හොඳ කොලු පැන්චෙකි
වයසක අය ගැන ආදර           ඇත්තෙකි
ඒ වැනි දරුවන් දැකුමත්         සතුටකි


මඩගොඩ වලව්වේ වුන පැණි පිරුන කතා
නැන්දගේ පෑන් තුඩගින් හොඳ රසට ගොතා
අප අවටත් සිටින බව අඩු නැතුව       ඉතා
හිනැහෙමි තවම සමගින් මම කුසුමලතා



 මං පොඩි කාලෙ මේ රස හොඳ හැටි වින්දා
මගෙ පොඩි එවුන්ටත්  එය ගෙන  දෙමි කැන්දා
කවදත් ඔබ අසල  මං හරි පොඩි  හින්දා
තවමත්  සිබිල් මගේ ආදර බර නැන්දා


 මගෙ ආදර සිබිල් නැන්දාට මේ ලිපිය ආදරයෙන් පිරි නැමේ.


පින්තුර ඇයගේ වෙබ් අඩවියෙන් සහ ගුගල් වෙතිනි

Friday, 8 July 2011

කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද


ගොඩ මඩ දෙකම එකවාගේ පලබරද
ගම මැද ගැලුව ගඟ තාමත් ගලනවද
කඩමණ්ඩිය වසා ලොකු කඩ හැදෙනවද
කටුරොද ගැන කවුරු අද කවි ලියනවද

මල් පෙති පාට තව හඳුනා නැද්ද
කොල්ලන් තාම අඳ ළමයා මඩිනවද
අම්මා අඬන බව තාමත් දැනෙනවද
මැණිකෙගේ නෙතින් තව කඳුලැලි වැටෙනවද

තම සැප නොවේ මැණිකෙගේ සැපතම පතන
අදිරිගේ පෙමට උපමාවක් දෙනු නොහෙන
ඔහු නින්දට ගියා පස් යට සුව යහන
මැණිකේ ,ටිකිරි,සහ පුතු දල්වයි පහන

දැනුමෙන් වැඩියි දියුණුව ඇත හිනිපෙත්තේ
එනමුදු ගමේ ලස්සන එය ගිලගත්තේ
ටිකිරි,මැණිකේ හා අදිරිගේ තිබු චිත්තේ
පිරිසිදු ආදරේ අද කොහිදෝ ඇත්තේ

පොඩි අමනාපෙටත් වස ටික එයි ලඟට
නැත්නම් පනී මුහුදට වැවකට ගඟට
ජිවිතයේ සැබෑ තතු කියවෙන යසට
''සුදෝ සුදු'' කියා ඇත පාඩම් අපට


ඊයේ පෙරේදා මැකී ගිහින් තිබ්බ ''සුදෝ සුදු '' මතකයන් අලුත් වූ නිසා මට මේ අදහස පහල වුනා . කොළ කෑල්ලක මහා රෑක කුරුටු ගෑවුන කවිටික මුණු පොතට දැම්මත් මෙතන ලියා තියන එක හොඳයි කියල හිතුන. පොඩි කාලේ ලිව්ව දේවලුත්  එකතැනක එකතු කළා නම් අද කොච්චර හොඳද .  කොළඹ යුගයේ ප්‍රකට කවියෙක් වූ ''කේයස් '' හෙවත් සාගර පලන්සුරිය ලියු කවි අතර අපට විශේෂයෙන් මතක ඇත්තේ ''සුදෝ සුදු '' කාව්‍ය සංග්‍රහයයි. ''සුදෝ සුදු රස විඳිමු '' කියා මුණු පොතේ ඇති බව දැක මා තරමක් පුදුම වුනා ...එවැනි දේ තවමත් රස විඳිය හැකි පරපුරක් ඉන්න බව දැකීමත් සතුටට කාරණයක් . '' සුදෝ සුදු රස විඳිමු ''ට ගොහින් එම පිටුව බලාගන්න හැකියි.
යන්තම් අකුරු කියවපු කාලෙම කියෙව්ව පොතක් මේක . අද අපි නිදහසේ නිසදැස් තමා වැඩිපුර ලියන්නේ . එළිසමය එතරම් සලකන්නත් අවශ්‍ය නැති නිසා මමත් වැඩිය ඇදී ගියේ ඒ පැත්තට .  මන් අහල තියෙනවා නිසදැස් සහ සඳැස් අතර බේදයක් ඇතිවුනා කියල මුල් කාලේ . අපේ විද්වත් මණ්ඩලය මේ අවස්ථාවේ මේ ගැන අදහස් දක්වයි මතක පෙට්ටගම් පෙරලලා . මට තියෙන්නේ පොඩි ආරම්භයක් දෙන්න විතරයි . මන් ඒ අතින් නම් හරිම වාසනාවන්තයි . මමත් කෑදර කමේ ඉන්නේ කමෙන්ට් ටික වැටෙනකම් .
 ඉතින් සඳැස් අය්ය නිසදැස් නංගිට අරියාදු කලත් අපි දැන් එයාල සමගි කරලා තියෙන්නේ . දෙන්න දෙමාල්ලෝ සතුටින් පවුල් කන බවයි මට පෙන්නේ. ඕනෑම නම් ගින්නක් අවුලමු ..''.සඳැස් ද නිසදැස්ද වඩා හොඳ ''කියල . විහිළුවට කිව්වේ. ඔය යන විදිහ හොඳයි .
..කොළඹ යුගයේ කවීන් ඒ කිව්වේ විමලරත්න කුමාරගම ...කේයස් ..පි.බි අල්විස් පෙරේරා . වගේ කවීන්ගේ කවි වල සරල සුගම බවට මන් ආසයි . ලාංකීය සිනමාව සහ ගීතය පිටුවෙන්  ගොඩක් දෙනෙක් මේ ගැනත් කතා කරනවා. විශේෂයෙන් දීපාල් ජයමාන්න සොයුරා විමලරත්න කුමාරගමගේ කවි පන්ති කීපයක්ම යොමු කරලා තිබුන
. පි. බි මැතිදුන්ගේ ''මගේ රට '' කාටත් මතක ඇති . ඇත්තටම මේ අය ගැන වෙන වෙනම පෝස්ට් වලින් කතාකලත් පාඩු නැහැ . ඒත් මන් ඉතින් කම්මැලියනේ මෙගා ලියන්න  ඔන්න ඔහේ මේකටම ලියල දානවා... මට වඩා ඉවසීමක් ඇති කෙනෙක් ඒ වැඩය කරනු ඇති විශ්වාසෙන් .
 අපි කොළඹ යුගයේ කවිය ගොඩක් අඳුර ගත්තේ සිංහල පෙළ පොත් වලින්. ඇත්තටම ඒවා බොහොමයක් අපේ පරම්පරාවට කට පාඩම් . අඩු ගානේ කවි වල කෑලි හරි . සමහරු හිතන විදියට අවාසනාවට මගේ පුද්ගලික අත්දැකීම අනුව මට නම් වාසනාවට මන් අර ''වැඩ හයේ '' සාමාන්‍ය පෙළ කට්ටියේ කෙනෙක් . මන් වාසනාවට  කිව්වේ වැඩ අටක් වෙනුවට හයට අඩු වෙච්ච එකටයි පැවරුම් වලට කරුණු හොයන්න රට වටේ රස්තියාදු වෙන්න ලැබිච්ච එකටයි . ඒවායින් පුදුම අත්දැකීම් ගොඩක් ලැබුන . ඒ ගැන වෙනම ලියන්න ඕන . ඒ ක්‍රමය හොඳයි කියන්න කවුරුත් කට ඇරියේවත් නැහැ ඒ කාලේ . කොළඹට කිරි ගමට කැකිරි කියල විශාල ආන්දෝලනයකට ලක් වෙලා පටන් ගත් තැනම ලොප් වුනා මිස. කොටින්ම අපේ පන්තිවල කෙල්ලොත් ඕකට කැමති නැහැ . මොන එහෙකටද මන්දා මට නම් අදත් දොසක් පෙන්නේ නැහැ . ගමේ ළමුන්ට ත් ඒකට බද්ධ වෙන්න හැකි ලෙස දියුණු කරලා ගත්ත නම් ඒ ක්‍රමය අද මගේ පොඩ්ඩෝ ඉගෙන ගන්න ක්‍රමයට ටිකක් ගෑවිලා යන බවයි මගේ අදහස. 9/9 ම මට හැම පැවැරුමටම ලැබුනා .
 ඒ කාලේ හැමදේම ටික ටික හරි කරන්න ඕන . ලියන්න අඳින්න හැකිකම නිසා සේරමටම ලකුණු ගත්තත් එක දේකට නම් 8/9 වුනා . ඒ තමයි කවි ගායනය . දෙය්යන්ගේ පිහිටයි .මට නැතිම හැකියාවක්නෙ ඕක. සැහෙන්න දුකයි ඉතින්. මක් කරන්නද . ගයන්න බැරි නිසාම කවි ලියන්නයි රස විඳින්නයි වැඩිපුරම පෙළඹුනා . අපේ පන්තියේ සිටි ගීත කෝකිලාවන් එක්ක මට ඉතින් හැරෙන්නත් බැහැ. අනේ මන්දා ඒත් එක ගායිකාවක් වත් දැන් සින්දු කියන පාටක් නැහැ. අපරාදේ ඒ හැකියාවන් වලට යටවෙලා යන්න දුන්නේ.
 සාමාන්‍යයෙන් අපි ඉඳහිට කවියක් ලිව්වත් කවි පොත් සල්ලි දීල ගන්නවා අඩුයි . ඒ නිසා කවි පොත් ලියවෙනවත් අඩුයි . ඒත් කොළඹ යුගයේ කවියන්ගේ කවි ඇති පොතක් නම් මන් ගන්න පසුබට වෙන්නේ නැහැ . සුදෝසුදු ත් පරණ පොත අපේ ගෙදරින් අතුරුදන් වුනත් අලුත් මුද්‍රණයේ පොතක් මන් ලඟදි ගත්ත . නිසදැස කොච්චර ජනප්‍රිය වුනත් ඇයි මිනිස්සු නොගන්නේ . ඒක ප්‍රශ්නයක් නේද . අපි ලියනවා . කොහේ හරි දැක්කොත් කියවනවත්  එක්ක . ඒත් වැඩි දෙනෙක් නොගන්න හේතුව මොකක්ද . ''පොත් කියවන අය ''කණ්ඩායමේ වත් කවි පොත් ගැන කියවෙන්නේ නැති  තරම් . මට හිතෙන්නේ කවියේ සරල සුගම බව නැතිකම . සංදේශ කවි වල ...ජනකවි වල ...කොළඹ යුගයේ කවි වල තිබ්බ රිද්මය  නිසදැසින් ගිලිහී යාම වෙන්න ඇති . මේ දැන් මගේ ඔළුවට ආපු අදහසක් ඒක. මන් හරිද මන්දා . දැනට ගොඩක් අය කියවන කවි පොත් ඇත්නම් මාව දැනුවත් කරන්න . මේ පාර පරිප්පු ගෙන අදහස ඇත ඇරලා පොත් වලට එක බැග් එකක් වෙන් කරන්න හිතන් ඉන්න නිසා. කඩේක පරිප්පු තියෙනවා දැක්ක .
    මට වැඩිපුර කියන්න  ඕන වුනේ සුදෝ සුදු ගැන . ඒත් කොළඹ යුගයේ අනිත්  කවි ගැනත් කතා කරමු . ඊට පස්සේ නිසදැස් ගැනත් කතා කරමු . තවත් හිතෙනවා නම් කවි මුතු වලට ගිහින් කවිත් ලියමු .
අදට ඇතියි සිතෙනවා . මේකට ස්තුති කරන්නේ කාටද ..මුණු පොතේ දීපාල් සොයුරාට ස්තුතියි යලිත් ''සුදෝ සුදු ''මතක් කලාට . බනියි ලොක්කියි තනියම පාටියක් . බනිගේ තාත්තට වැඩ වැඩියි . ග්‍රීෂ්ම කාලෙට මිනිස්සුන්ට වැඩිපුර තිබහ වෙන නිසා. මට ඕන එකක් ලියා ගන්න දීල එයාල තමන්ගේ වැඩක් බලාගන්න එකට ස්තුති කරන්න එපාය .
ඊට පස්සේ මොන විකාරයක්ද කියල බැන බැන හරි මේක කියවපු හැමෝටමත් ස්තුතියි.
 
පින්තුරය ගුගල් පින්තුර  අඩවියෙන්
 
ප . ලි. මගේ ළමා කල යහළුවෙක් සහ යෙහෙලියක් අලුතින් බ්ලොග් ලෝකෙට ඇවිත්. මට පරණ අය අත දුන්න වගේ මගෙනුත් එයාලට උදව්වක් දෙන්න ඕන. කියෙව්වට පාඩුවකුත් නොවෙන නිසා .
පොත් ගුල්ලගේ
සහ
කවි මුතු වල ලියන චන්දී [ චන්දී ල දෙන්නයි . අපේ චන්දී අක්කයි මේ චන්දියි ]

Tuesday, 5 July 2011

ගන්ධබ්බ මවක් ..පුතුට කිව් කවක්

කාටත් කියා ගමරට ලොකු හීන     මවන්
පහුකර වලා කැටි අල්ලන තරම     දුරින්
දාහක් විල් අතැර සයිගොන් ගඟට උඩින්
ආවේ පතන් යන්නයි  රන් ඉසුරු   අරන්

සුවහසකට වඩා වැඩියෙන් පෙරත්     බවේ
සෙනෙහස උපන් දා සමුදුර වැටක් නොවේ 
තිබුනා වගේ දැනුනිද ආදරේ             සුවේ
හඳුනා කෙසේ බලමුද සිත ඇඳුන        රුවේ

 ආලය තියා උගසට ඇඳි රන්      මුද්ද
කාලය ඉගිලුනා එය දුටුවේ        නැද්ද
තාලය ලිහී ගීයේ තනු           වැරදෙද්ද
බාලය මුදුව  රන් වුව මලකඩ   කද්ද

ආ මග වැරදිලා ආලය මග        වැටුනයි
කාහට වුනත් වෙන්නට ඇති දේ උරුමයි
වීදුරු බඳුන ජිවිතයේ බිම           වැටුනයි
පිහි තුඩ රිදෙව්වේ මට නොව රන් පුතුටයි

දෙතනේ කිරි පිරුණි දෙනු බැරි විය         ඔහුට
අප්පත් අද හෙටම යයි මහ උළු             ගෙයට
දුප්පත් පුතුට  වේවිද කවුරුන්                   පිහිට
යන්නෙත් කොහොම අතහැර මන් දෙව් ලොවට  

නිමිත්ත ....
.
  වියට්නාම් මවක් සිය කොරියන් සැමියාගේ පිහි පහරින් මිය යයි.
 වැඩි ප්‍රසිද්ධියක් නැතිව පත්තරේ පුංචි කොනක තිබුණු මේ පුවත මන් දැක්කේ සති ගානකට කලින්. අමතක කරන්න බැරිව විටින් විට මේ කතාව මගේ හිත සසල කළා . අපේ රටේ නෙමේනේ කියල සැනසුම් සුසුමක් හෙලන්න  බැහැ කොහොමටවත් . කොහේ වුනත් මනුස්සයෙක් ..අසරණ වෙච්ච කිරිසප්පයෙක් . කියන සිතිවිල්ල මට වගේම ඔබටත් ඇති වෙයි කියල මන් දන්නවා . දුක හිතෙන දේවල් ලියන්න මන් ටිකක් අකමැතියි. ඒත් මෙය නොලියා ඉන්න බැහැ.
දැන් අපේ සමහර අය කරන්න වගේ ''ඔය ගෑනි ගේ වරදක් තියෙන්න ඇති ..මිනිහට හදිසි කෝපයක් එන්න ඇති '' කියල හිතමුද . මට නම් එහෙම හිතන්න බැහැ . හදිසි කෝපෙට හරි මොන එහෙකට හරි දරුවා ඉපදිලා  දවස් දහනමයක් වෙච්ච අම්ම කෙනෙක්ට පිහි පාරක් අනිනවා කියන්නේ අමනුස්ස වැඩක් . තිරිසන් කියන්න මන් අකමැතියි. මේ වගේ දෙයක් කරන්න පෙළඹෙන උදාහරණයක් සත්ව ලෝකෙන් දෙන්න මන් දන් නැති නිසා.
මිශ්‍ර විවාහ අද ලෝකයේ ඕන තරම් වෙනවා. මේ වගේ දේවලුත් මිශ්‍ර අමිශ්‍ර ඕනෑම ජන සමාජයක  වෙන්න හැකි. මේ කාරණයට අදාළ නැතත් වියට්නාමයේ ඉතා බහුල නිසා ඒ ගැන යමක් කියන්න ඕන. බොහෝ විදේශිකයින් වියට්නාම කාන්තාවන් විවාහ කර ගන්නවා . ඔවුන්ගේ හුරු බුහුටි රුපසොබාව නිසා වෙන්න ඇති. හෙට මැරෙයිද කියල හිතෙන වයසක සීයල පුංචි කෙල්ලන්ගේ අතින් අල්ලන් යනවා . ඕවට හිනා වෙන්න ද අඬන්න ද . .කොතැනක කවුරු වුවත් ඒ ජිවිත වලට සතුට ලැබේවායි පතනවා හැර .

Thursday, 26 May 2011

 
 
 
මඩේ ඉපදී එහිම දුක් විඳ..
නෙලුම් ගස දුනි  මේ අලුත් මල ..
රැට අහසේ සුදු වලාකුළු ..
හොරෙන් ඇවිදින් ගියා පිනි ඉස..
 
හමන සුළඟින් පාර අහගෙන ..
සුදු දුවේ අද නෙලන මේ මල
කාට දෙන්නද මම නුඹට  මිස

Tuesday, 17 May 2011

සය්ගොන් ගඟත් බොරවී

                                                
මදනලට පෙම්කල ..
දඟකාර නුඹ කෙහෙරැලි..
කේතුක තොප්පිය යටින්..
නැටුවා සේම ගඟ රැලි...
 
සයිගොන් ගඟ බඩ..
හිනැහුණු  සොඳුරු යුවතිය ..
දකින්නට ආවෙමි..
කොහි සැගවුනිද ඇය.
 
රතු වී දෙතොල්..
නේක පැහැවිය කෙහෙවැල්..

සොවින්   වැලපී ..
බොරවිය ගඟේ දියරැල්..

සියල්ල නවීකරණය වෙලා ..ගඟ දෙපැත්තේ අහස උසට ගොඩනැගිලි..සුළඟ එක්ක සෙල්ලම් කල උණ පත් සේරම ගහගෙන ගිහින් .. එත්  මිනිස්සු ගඟ කොච්චර බොර කලත් තවමත්  යෝධ  වැලි පාරු  වලට ..එහා මෙහා යන්න ඒ ගඟ ඉඩ දෙනවා. ගඟක් ළඟ ජිවත් වෙන්න පිනක් හැමදාම තිබුන මට වසර ගානක් සයිගොන් ගඟ අද්දර ජිවත් වෙන්න වාසනාව ලැබුන. [දැනුත් ඉන්නේ වැවක් ළඟ]
සයිගොන් නදිය අහසින්
 
 
  පුංචි කාලේ දියබුන් ගැසූ කැළණි ගඟ වගේම සයිගොන් නදියත් පහුගිය වසර කීපය පුරාම මසිතේ චමත්කාර හැඟුම් ඇතිකලා..ඒ තරම් පළල ගඟකට උදාහරණයක් ලංකාවෙන් දෙන්න බැහැ. ලංකාවේ ගංගාවල් තරම් වේගවත් නම් නැහැ. වෙලාවකට ගලනවද නැද්ද කියල කියන්නත් බැරි තරම් .
මුලදී කවියක් විතරක් ලියන්න හිතුවට මේකත් ගඟක් වගේ ඇදෙනව. සයිගොන් ගඟ ගැන අගමුල පොඩ්ඩක් කිව්වොත් හොඳයිනේ.
 කම්බෝජියාවේ ගිනිකොන දිග Phum Daung පළාතෙන් ඇරඹිලා දකුණු වියට්නාමය හරහා ගලන මේ ගඟ කි .මි. 225 ක් පමණ දිගයි. නුතන හෝ චි මින් [ ඉස්සර සයිගොන්] ප්‍රදේශය හරහා යන නිසා තමයි මේ නම ලැබුනේ. [Song  Sai Gon ] song කියන්නේ ගඟට.
     සය්ගොන් ගඟ එක පාරටම මුහුදට වැටෙන ගඟක් නෙමෙයි .Nha Be කියන සහෝදරියත්  එක්ක එකතු වෙලා මිකොන්ග් ඩෙල්ටාවට කි.මි.20 නිරිත දිගින් දකුණු චීන මුහුදට එක් වෙනවා  [මේ ඉලක්කම් හෙම හොයාගත්තේ වයිකී ගෙන්. නැතුව මට කතා බැහැ කරන්න ලැබෙන වියට්නාම ජාතිකයන්ට තමන් ඉන්න පළාත ගැන ඇර අනික් කිසිම දෙයක් ගැන දැනුමක් වත් හොයන්න ඕනෑකමක් වත් නැහැ .     මට ඉතින් මුණ ගැහෙන්නේ ගෙවල් වල උදවුවට එන , වෙළඳ පොලේ බඩු විකුණන ගැණු අය තමයි වැඩිපුර. ඉංග්‍රීසිත් දන්නා ,රට තොට ගැන නිසි අවබෝදයක් ද තියෙන කෙනෙක් මුණ ගැහෙන එක හරි දුලබයි ]
ඉතින් මේ සයිගොන් ගඟ විශාල වරායකින්ද සමන්විතයි. වසරකට Metric ටොන් මිලියන 35 පමණ බඩු බඩු  හුවමාරු වෙන වරායක්.
 
 
 මේක මාගලක් සේ දික් වන නිසාද මට පාසල් යාමට ඇති නිසාද පින්තුර ටිකකින් ඉවර කරන්නම් .
ගඟේ දිවෙන විසල් නැව්

ලඟදි ඉදිවුන ලස්සන පාලමක්

රැට ගඟේ පාවෙන අවන්හල් ..මේව මෙච්චර ලස්සන වුනාට මම දවසක් දැක්ක ලොකු බෝතල් මල්ලක් වතුරට විසිකරනවා එයින් පස්සේ මමනම් ඕවයේ කන්නේ නැහැ. තමන් ජිවත් වෙන්නේ ගඟ නිසා ..පොඩ්ඩක් එයට ආදරේ කලයුතුයි නේද

මේක ගඟේ විශාල බව පෙන්වන රුපයක්

ඔන්න පේනවද යුද්ද කාලේ ගඟේ ඔරු පැද්ද හැටි
 
 මේ මගේ සයිගොන් සොඳුරු නිවහන ලඟදි මම ගත් චායාරුපයක්
 
 
 
.
ස්තුතිය ..
නෙලුම් මල් පිපි නැත්තේ ඇයිදැයි අසා ලියන්න දිරි දුන් TG ට
පින්තුර දීපු Google Images ට
ලෙඩ වෙලා ගෙදර හිටියත් තනියම සෙල්ලම් ගෙයක් දා මට කරදර නොකර  සිටි ලොක්කිට.
 
 
 
 

Wednesday, 4 May 2011

නැවත හමු වූ පන්හිඳ

''''මම   ආයිත්   ඇවිද ගියා
 පරණ මතක මාවත් වල ..
   හයියෙන් ඇවිදින්න බැරිව ..
  අතර මන්ව මගේ පෑන..
අවුරුදු ගානකට කලින් .
මගේ අතින් බිම වැටිලා
 අහුලාගෙන කුණු දුවිලි...
    පිසදැමුවෙමි.
  රන් පාටින් දිලිහි දිලිහි ..
.ඔය තියෙන්නේ අපුරුවට ..
මාත් එක්ක හරි හරියට
ලෝකය පෙරලමුයි  කියල
සිය ගානක් කවි ලිව්වා ..
යව්වනයේ දොරකඩ ළඟ
ආදර පදවැල් මැවුවා..
..එහෙව් අපිව මග දැම්මයි ..
පෑන එක්ක එකතු වෙලා ..
මගේ හිතත් මට බැන්නා...