Tuesday 29 May 2012

දහසක් දහසක් මල් ඇති නගරේ ...මැයි මාසේ අවුරුදු සිරි විසිරේ

පුංචි කාලේ අවුරුදු මතක එක්ක සැරි සරල පුළු පුළුවන් විදිහට අවුරුදුත් සමරලා වෙසක් වලට බණත් අහල ඉන්න වෙලාවේ අපේ හැනොයි වල ශ්‍රී ලංකික ජනතාව තීරණය කළා මෙහෙම ඉඳල හරියන්නේ නැහැ අපේ ළමයි තරඟෙට බනිස් ගෙඩියක් වත් කන්න දන්නේ නැතිය , අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න ඕන කියල . ඇත්තම කියනව නම් අපේ පුරුෂ පාර්ශ්වයට තමයි මේ ජාතික කර්තව්‍ය ගැන අපට වඩා ඕන කමක් තිබුනේ .

මේ ගැන මුලික අදහස මතු වුනේ නිදහස් දවසේ . කියන්න බැරි වුනා අපි නිදහස් දිනයත් ලස්සනට සැමරුවා . ඒදවස්වල පොඩි කම්මැලි කමක් තිබ්බ නිසා ලියන්න බැරි වුනා . කලිනුත් කිව්ව පරිදි පිරිමි කට්ටිය කීපවතාවක් බරපතල සාකච්චා වට කීපයක් තියල අන්තිමට තීන්දු වුනේ මැයි 20. ඔන්න ඕක නිසයි අහසින් වැටුන වගේ වෙසකුත් පහුවෙලා පොසොනුත් කටේ තියාගෙන අවුරුදු ගැන ලියන්නේ . නැතුව බින්දිට පිස්සු හෙම නෙමේ ඔන්න .

අපේ මහත්තුරු හරිම කාර්යබහුල අය. බොහොම අය නිතරම රට රටවල රාජකාරි වලට යන එන අය . ඔන්න ඒ අය සේරම ලාහෙට එකතු කරලා ගන්න හැකි වුනේ මැයි 20 තමයි . මේ මහත්තුරු රැස්වීම් තියෙන අවස්ථාවල කාපු බිපුවා ගැන රස කතන්දර තියෙනව . එක්කෝ එව්වා මොකටද . සමහරු මේක කියවනත් එකේ ..D

මොනවා වුනත් ගැහැණු අපිට කෑමක් හදන එන එක ඇර වැඩි වගකීමක් දුන්නේ නැති එක ගැන එයාලට ගොඩක් ස්තුති කරන්න ඕන . ශ්‍රී ලංකික ජනතාව කිව්වට මෙහෙ සු ගාල ඉන්නේ පවුල් කීපයයි . සිංහල දෙමළ දෙගොල්ලම ඉන්නවා . ලොකු පිරිසක් නැති නිසා කල්ලි ගැසිමකුත් නැහැ . ඕනෑම දෙයකට සියලුම දෙනා සහභාගී වීමයි සිරිත . අනෙක වියට්නාම අම්මල සහ ශ්‍රී ලංකික තාත්තලාගේ ළමයි ගොඩක් ඉන්නවා . කට්ටිය එකතු වුනහම හරි ලස්සනයි .

අපට මේ අවුරුදු උත්සය අලුත් වුනාට හෝ චි මින් නගරයට නම් සැහෙන පරණයි . හෝ චි මින් කියන්නේ වාණිජ අග නගරය . හැනොයි තමයි ජාතික අගනගරය . හෝ චි මින් වලට නුතන දියුණුව කලින් ඇවිත් නිසා ජිවත් වීම පහසුයි .

එහෙ ඉඳන් මෙහෙ එද්දී''' wish you all the best ''කියන එක අස්සේ තියෙන්නේ ''හු හු ඇද්ද උඹට'' කියන එක . නැත්නම් ඉස්සර පාවෙල් සයිබීරියාවට පිටුවහල් කරද්දී අපි දුක හිතුවා වගේ . හැමෝම නෙමේ . අදටත් ආදරෙන් නිතර කතා බහ කරන හොඳ යාළුවොත් ඉන්නවා .


හැබැයි මෙහෙ ඇවිත් ජිවත් වෙද්දී හිතෙනවා ජිවිතේ ටිකක් සරලයි කියල . කට්ටිය අඩු නිසා කල්ලි ගැසීම් නැහැ . හමු වීම් අඩුයි . අනික පරිසරය සාමකාමියි සාපේක්ෂව . කොටින්ම මන් දැන් කැමතියි මෙහෙට . හරියට කොළඹයි නුවරයි වගේ .මේක හරිම ඉතිහාසයක් තියෙන ලස්සන නගරයක් . ඒ ගැන වෙනම ලියන්න ඕන . අනික අපේ තානාපති කාර්යාලේ තියෙන්නෙත් මෙහෙ . රාජකාරි වැඩක් කරගන්න ලේසියි


හරි දැන් කියන්න ඕන අවුරුදු ගැනනේ. ඉතින් පසුගිය 20 වෙනිදා අපි හැමෝම රැස් වුණා ලස්සන නිවාඩු නිකේතනයකට . එතන පිට්ටනිය තමයි අවුරුදු උත්සවේ තියන්න අරන් තිබුනේ . නිකන් නම් නෙමේ හරිම මිල අධිකයි . අනික එයාලගේ පාපන්දු පිට්ටනියේ අගනා තණකොළ ටික අපි කයි කියලද කොහෙද සැහෙන තර්ක විතර්ක තර්ජන වලින් පස්සේ තමයි ඒක ඉල්ලා ගත්තේ .

මේක උණ බට ඔන්චිල්ලාවක්




හිමේ වගේ කරත්ත වල ලෙස්සල යන තණකොළ බෑවුම ..


අලියට ඇහැ තැබීම ....බනිස් කෑම..මෙහෙ අපට ගැලපෙන වර්ගයේ බනිස් නොතිබ්බ නිසා කන්න දුන්නේ ඩෝනට් . අපේ ශ්‍රී ලාංකිකයෙක් ඩෝනට් ව්‍යාපාරයක් පවත්වන නිසා විසිකරකර කන්න ඩෝනට් තිබුන .
ටයි කොන්ඩෝ පැංචා ඩෝනට් කාල එක වුනා . අපේ බනියා දෙක . කවදාවත් දැකල නැතත් ඔව්ව ජාන ගත හැකියාවන් වෙන්න ඕන .

කටේ මුනේ ගාගෙන කාපු හැටි පින්තුරයක් දාන්න හැටියක් නැහැනේ . මුණු පොතේ ඉන්න අය නම් දැක්ක .

කනා මුට්ටි තරගෙත් හරිම විනෝදයි . කඹ ඇදීම පිරිමි තරඟයේ දිනුවේ 40 ට වැඩි අය ..Old is gold වෙන්න ඇති .

කඹ ඇදීම ගැහැණු තරඟය කියන්න ඕන නැහැනේ මන් උන්න පැත්ත පරාදයි .


බැලුම් පිපිරවීම කලේ ළමයි විතරයි .


ලොකු බඩවල් ඇති මහත්තුරු ගෝනි වල උඩ පැන පැන යාම තමයි තරඟ වලින් අංක එකට දාන්න පුළුවන් .[ ඒ අය මේක නොකියවන බව විශ්වාසයි ....]

උදේ සද්දෙන් කතා කල අයගේ හඬ හවස් වෙද්දී තව වැඩි වුනා . සද්ද නැතුව උන්න අය සද්ද කරන්න පටන් ගත්ත . කොටින්ම සීයලා පුංචි එවුන්ට මල්ලි කියල කතා කරන්න පටන් ගත්ත . ඒ සේරම වුනේ ශ්‍රී ලංකික කෑම වේලෙන් පස්සේ .


එතැනදී ඒගොල්ලන්ට මැජික් අරිෂ්ටයක් බොන්න ලැබිල . වයස අඩු කරන


කොහොම හරි එදා දවස බොහොම සතුටින් විනෝදෙන් ගෙවී ගියා . ආයෙමත් ඒ වගේ හමු වීමක් තියන්න කතා වෙලා .


අනික් අයගේ අවසර නැතුව පින්තුර දාන්න විදිහක් නැහැ . අවසර ගන්න ගියොත් එයාල මේක කියවයි ..ඊට පස්සේ ...මන් ඉවරයි .D



Saturday 26 May 2012

ජපන් හොදි .... ඇලෙන බත් කේක් ...සමග ''වළන් වාසනාව ''

පෙරේදා . යුක්රේනියන් කෑම කාල [ තව පොඩ්ඩෙන් ඉල්ලගෙනත් කාල ] ඊයේ රටවල් හතරක කෑම කෑවා. කෑවා කීවට මන් කන්නේ බොහොම ටිකයි . රස බැලුව කිව්වම තමයි හරි . නැත්නම් වැරදියට හිතයි මන් අලියෙක් කියල .



ජපන් , ඩෙන්මාර්ක් , වියට්නාම සහ [මං] ලංකික කාන්තාවන් 5 දෙනෙක් '''වළන් වාසනාවක් '''තිබුන අපේ දිහා . ඉංගිරිසියෙන් Pot Luck සිංහලෙන් වළන් වාසනාව වෙන්න එපයි .



Banh chung     [හදන හැටි ඕන නම්]   හෙවත් sticky rice Cake .




මේක විශේෂිත කෑමක් . ඉස්සර නම් අවුරුදු කාලෙට විතරලු හැදුවේ . දැන් නම් වසර පුරාම මිලදී ගන්න ඇතිලු . මං මෙච්චර කල් දැකල තිබුනට මැදට මස් දාන නිසා කාලම නැහැ . මුන් ඇට සහල් ඌරු මස් සහ ගම්මිරිස් , ලුණු තමයි අඩංගු වෙන්නේ . හැබැයි මේ සේරම විශේෂ කොළ වර්ගයකින් ඔතල පාර්සල් වගේ හදල පැය 6 ක් 12 ක් වගේ කාලයක් තම්බනවලු . කොළ ජාතිය නිකන් ඇහැට පුරුදුයි වගේ . නම Phrynium . විද්‍යාත්මක නම ජාලයේ සොයල ලැබුනේ Thaumatococcus daniellii ලෙසයි .
මට සිහි වෙන්නේ අපේ කැනාස් ගස් . ඒ පවුලේම වගේ . ගොර්ඩෝනියා ගෙන් තමයි අහන්න වෙන්නේ . වෙනත් Rice කේක් වර්ග කෙහෙල් කොලේ එතුවට මේක විශේෂයි .


. මේකයි පහල තියෙන රවුම් සුදුපාට ජාතියයි [ Banh day ] ගැන ප්‍රසිද්ධ ප්‍රවාදයක් තියෙනවා . මේ රවුම් ජාතිය හදන්නේ තනිකරම ඇලෙන සහල් පිටි වලින් [ Glutinous rice ] වලින් . ..ඔතන්නේ කෙහෙල් කොලේ




මේ කතන්දරේ කියන්න හිටියේ හුඟ කලක ඉඳන් . අද තමා අවස්ථාවක් ආවේ .



මෙහෙ ඉස්සර ඉඳල තියෙන්නේ අපේ වගේම හොඳ කතන්දර කාරයෝ වගේ . ඕන දේකට කතන්දරයක් .

බොහොම ජනප්‍රවාදයන් වල ඉන්නේ Hung රජ කෙනෙක් . හරියට '' බ්‍රහ්මදත්ත රජු වගේ''. ඔන්න එක හුන්ග් රජ කෙනෙක්ගේ සමයේ රජතුමාට තමන් වයසට යද්දී ඕන වුනාලු සිහසුනට උරුමක්කාරයා තීන්දු කරන්න . එක කතාවක තියෙන විදිහට පුත්තු 22 ක් හිටියලු .

සේරම පුත්තුන්ට කිව්වලු තමන්ට විශේෂ කෑමක් ගේන්න කියල . වැඩිය කවුරුත් ගණන් නොගත්ත අනියම් බිරිඳකගේ පුතෙකුත් මේ අතර ඉඳල තියෙනව . මගේ මිතුරිය කිවේ නම් සරල කරලා . රජතුමාට පුත්තු තුන් දෙනයි . වැඩිමල් දෙන්නගෙන් එක්කෙනෙක් මුහුදට ගියාලු . අනෙකා කඳුකරේට ගියාලු . බාලයා කොහෙවත් නොගිහින් කල්පනා කලාලු .

මුහුදට ගිය පුතා ඉදිරිපත් කලේ බැදපු මාළු . කන්දට ගිය පුතා මස් සහ හතු . මාලිගාවේ නැවතුන බාලයා මුළුතැන්ගෙට ගිහින් සහල් පිටි වලින් මේ කේක් වර්ග දෙක හැදුවලු . රවුම් එක අහස නියෝජනය වෙන්නත් හතරැස් එක පොළවේ සංකේතයක් ලෙසත් . හැමෝම පුදුම වෙද්දී ඔහු කිවලු '' මෙය සරුසාර රටක් .හැමෝටම ඇතිතරම් කන්න තියෙන දෙයක් නිසා සහල් තමා දෙන්න පුළුවන් විශේෂම කෑම වර්ගය '' කියල .

රජතුමා ඔහු ගැන පැහැදිලා රජකම පැවරුවලු.

හතරැස් කේක් වර්ගය ඉතාම පෝෂ්‍යදායක කෑමක් ලෙසයි මොවුන් සලකන්නේ .

රවුම් වර්ගය ගැන කියනව නම් ඉදිආප්ප තම්බනකොට අන්තිමට වංගෙඩිය හුරලා ඉතුරු වෙන පිටි ටිකෙන් හදන කොට්ටය කාල තියෙවද ..අන්න ඒකම තමයි . ටිකක් ඇලෙන සුළුයි . සුමුදුයි .






ජපන් යාළුවා ගෙනාවේ ජපන් හොද්දක් . මං පුදුම වුනා ජපානේ හොදි තියෙනව කිව්වම . ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයින් ගෙනා හොද්ද ජපනා තමන්ට ගැලපෙන්න හදාගෙන . එයාල අපි වගේ නෙමේ . හරිම නිර්මාණ ශිලියි . මේ හොදි නැත්නම් Curry හදන්න පුදුම ක්‍රමයක් සොයාගෙන .

 චොක්ලට් බාර් එකක් වගේලු . දිය කරලා මස් සහ එළවලු දාල රත් කරන්න විතරලු ඕනේ . සැර අඩු සිට වැඩි දක්වා තිබේලු. සැර කොපමණද කියල වර්ණ පටියකින් දක්වල තියෙනව පෙට්ටියේ . හරියට ආම්ලිකතාවය සටහන් කරන Ph පත්‍ර වල ක්‍රමේ වගේ .


ජපනා හපන කියල මට ඊයේ නම් හිතුන . ඒ එක්කම '' අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී '' කිව එකත් මතක් වුනා .

කොහොම හරි විවිධ සංස්කෘතීන් ගැන දැන ගන්න ලැබෙන මේ සුන්දර හමු වීම් වලට මං බොහොම කැමති නිසා ඊයේ හරිම සතුටින් ගෙවුනා . එකක් කියන්න ඕන . ඔය මොනවා තිබුනත් අන්තිමට ඉවර වුනේ මගේ කට්ලට් ටික . ඕනෑම ජාතියක ඕනෑම දිවකට හරියන රසය



ප.ලි.
හැමෝම ගෙදර ඉන්න අද මේක කොටන්න හරිම කරදරයක් වින්දා . එක එක රන්ඩු බේරන්න ඉල්ලීම් වර්ජන ..වෙලාවකට ඉතින් මරණ තුනක් ඇති මිනිස්සුත් පැණි කනවනේ .

Wednesday 16 May 2012

යලිත් මල් පිපී

සිසිරය නිමාවී එළඹීයේ අනපේක්ෂිත තද රස්නයකි . යුරෝපයේ හෝ අනෙකුත් රටවල සිත සමය තුනී වන්නේ මෘදු වසන්තයටයි . අපට එවන් පැහැදිලි වසන්තයක් නැත . සිසිරය එකවරටම ගිම්හානයට පාර කියයි .

සිසිරයේ නිදා හුන් මල් හදිසියේ ඇහැරී වගේය. වියලි ගිය නෙලුම් පොකුණු ලාදල්ලෙන්ද රත් සහ ශ්වේත නෙලුමින්ද සිනාසෙයි . මග දෙපස මැයි ගස් රතුපාට වන්නට පටන් ගත්තේ කවදාද මට මතක නැත . දම්පාට මල් ගස් වල දහස් ගණන් මල් පිපෙයි ..සුළඟට වැටෙයි .

පිහිනුම් තටාකය අසල දුටු සතුටු ගස් වල මල් පිපෙන්නට පටන් ගෙන ඇතී බව මන් නොදැක්කේ ඇයි දැයි නොදනිමි .

මෙය අපුරු නගරයකි .සිසිරයේදී බුම්මාගෙන අඳුරු වූ අහසට මිතුරුවන නගරය රෝස ඩේලියා වන් සෞම්‍ය කුසුමින් සැරසෙයි . ලජ්ජාශීලි මනාලියක වන් හිරු හෙමින් එලියට විත් ටිකෙන් ටික නගරයට පෙම් කරද්දී සියලු නිවර්තන මලින් හාත්පස එකලු වෙයි .
















නෙලන්නේ නෙලුම් විහිලුවට නම් නොවෙයි


 කැමරාව ගෙනියන්නට් කම්මැලි මන් වෙනුවෙන් පින්තුර ගෙන ගුගල් වලට මුදාහල අයට ස්තුතියි



සත්තකින්ම මේ සුන්දර මැයි මාසයයි . හමුවීම් වෙන්ව යාම් අතර දෝලනය වන අපගේ ජිවිත කොතරම් චංචල වුවද සොබාදම තමන්ගේ කාරිය පැහැර නොහරියි . ඔව් මැයි මාසයට මල් ගෙනෙන්නට ඇයට අමතකව ගොස් නැත .

මැයි මාසය මගේ ජීවිතය ලස්සන කල මාසයකි . වෙසක් මහේ මගේ ලොකු දෝනිය උපන්නාය. පසුකලෙක තවත් අවුරුදු කුමරියක් උපන්නද මවක් ලෙස බෞතිස්ම ලැබූ වෙසක් මාසය කිසිකලෙකත් අගයෙන් අඩු නොවේ . ජිවිතයට අලුත් මල් පිබිදැවූ නෙලුම් විල තැනුනේද මැයි මාසයේය .

පසුගිය මැයි මාසයේ සුන්දර මලින් පිරි නුවර ගැන සටහනක් තැබීමි . එකල එය නොකියවුයේ නම් කියවා බැලුවාට පාඩුවක් නැත

මෙවරත් වෙනසක් නැත . බැලූ බැලූ අත මල්ය. සිසිරයේ රෝස මල් කුඩ බැඳී බයිසිකල් චීන අවුරුද්දේ පිච් මලින් පිරුණි . අද නෙලුම් පොකුරුය . නෙලුම් මල් ගෙන පන්සල්ද ගියෙමු . ගිය අවුරුද්දේ පැයක් ඇසූ බණ මෙවර පැය බාගයක් ලෙස අඩු වී තිබුණි . ටයි කොන්ඩෝ පැන්චා ද මෙවර පිළිවෙලකට වාඩි වී සිටින තරමට අවුරුද්දකින් ලොකු වෙලාය.


අදහනු බැරි වෙන්වීම් සමගින් වුව වසරින් වසර නොවෙනස් වන දේවල්ද තිබෙන බව මට සිතේ . හරියට වෙසක් මාසයට වැඩිපුර මල් පිපෙන එක කවදාවත් වෙනස් නොවන්නා සේමය .
පාසල් බිමේ සිසිල් තුරු සෙවන යට මොහොතක් රැඳී උන්නෙමි . මහා දවාලේ තොරතෝංචියක් නැතිව රැහැයියන් හඬයි . එකෙකු වත් බලාගන්නට ඇස අලවාගෙන ඉඳ යන්තම් එකෙක් දැක ගතිමි . ''සිකාඩා '' නම් වූ මේ පුංචි කෘමි වර්ගය අපේ රැහැයියන් ම වන බව මට විශ්වාසය . මා සිතා සිටියාට වඩා ලොකුය . ලංකාවේදී කොතරම් හඬ අසා තිබුනද එකෙක් දැක නොමැත . අපි නොකෑවාට සිකාඩා බොහෝ රටවලදී රසකර කන කෑමකි .

 සිකාඩා විශේෂ 2500 ක් පමණ ලොව පුරා සිටින බව විකි ගෙන් දැන ගතිමි . කියවන්නට කැමති නම් මෙතනින් යන්න . .

අද වැඩිය ලියන්නට කම්මැලිය . හිතත් එහෙමකට සතුටින් නොවේ . එහෙත් අඬන අයවත් හිනස්සන්නට පොඩි උන්ට ඇත්තේ පුදුම හැකියාවකි .


මේ අපේ බනි සහ මන් අතර වූ කතාවකි . තැන -කුස්සිය වෙලාව රාත්‍රී කෑමෙන් පසු බනියා කුස්සියේ කරක් ගසන වෙලාව .

බනි - '' අම්මි දන්නවද සමහර අය ජීවිතේට පැනිරහ කන්නේ නැහැනේ ''
මම - ''ඉතින් ඔයාට පුලුවන්ද එහෙම ඉන්න ''
බනි - '' පුළුවන් ..ම්ම්ම් සමහර විට දවසට එකක් කන එක හොඳයිනේද ඊට වඩා. මන් මේ අද කන එක
මොනවද කියලයි බැලුවේ ''

[උදේ ඉඳන් කෑ එව්වා අහෝසි වෙලා වගේය ]


බනියා බත් කන්නට හොරය . එතකොට බඩ පිරිලාය . එහෙත් බත් කෑමෙන් පසුව නම් අන්දරේ පරාදය . පැණි රස සොයනවා යයි මන් බනින්නට පෙර බනියා පොතක් පෙරලුයේ එහෙමය .


ලිව්වේ මල් ගැනද සිකාඩා ගැනද බනිගේ කතා ගැනද ...ඔන්න ඔහේ ඕන එකක් ...D.


 .

Tuesday 1 May 2012

වියට්නාම ඇමරිකන් සටන 1...චීනයෙන් රට ගලවා ගත් සුර වීර Trung සහෝදරියෝ

ඇමරිකාව මේ නැගෙනහිර ආසියාවට අතපොවන්න හේතු වුනේ ඇයි කියන එක සොයන්න කලින් වියට්නාමයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්න වෙනවා . චීනය කියන්නේ ලෝකයට සැහෙන බලපෑමක් කල රටක් . මුල ඉඳන්ම එයාල කල්පනා කලේ වියට්නාමය කියන්නේ චීනයේ කොටසක් කියලයි . අපේ රට ඉන්දියාවත් එක්ක තිබුන ගනුදෙනු වගේම නැත්නම් ගොඩබිමින් සම්බන්ධ නිසා ඊටත් වැඩියෙන් ගසට පොත්ත වගේ මේ කලාපය එකට සම්බන්ධ වෙලා තිබුනා .

 දිය මකර රජුගේ ළමයි  කියෙව්වේ නැත්නම් මෙතැනදී ඒක කියවල එන්න .

 මිත්‍යාවයි ඉතිහාසයි කිසිම අවුලක් නැතුව මේ කොමියුනිස්ට් රටේ හරි අගේට යාලුකමින් ඉන්න හැටි නම් පුදුමයි . ඒ කතාවේ හැටියට ගොඩ බිම නැවතුන, Lac Long Quan ගෙයි Au co ගෙයි ළමයි 50 දෙනාගෙන් තමයි වියට්නාම ජාතිය පැවතෙන්නේ . එයිනුත් වැඩිමලා තමයි Hung Vuong . ඔහුගෙන් පැවතුන Hong bang රජ සමය ක්‍රි පු .2879 සිට 258 දක්වා පැවතුනා .එකල එම රජය සමන්විත වුනේ වත්මන් උතුරු වියට්නාමයත් දකුණු චීනයෙන් කොටසකුත් එක්ක .

මේ හුන්ග් රජවරුන් සිහිපත් කිරීම සඳහා අප්‍රේල් මාසයේ නිවාඩු දිනයක්ද මෑතක සිට වෙන් වෙලා .

මේ හුන්ග් රජසමයට අදාළ කතන්දර රාශියක් තිබෙනවා . මේ ලිපි පෙලේ අරමුණ ආක්‍රමණික ඉතිහාසය නිසා මෙතනදී ඒ කතා නොකියන්න හිතුවා . දවසක ඒවාත් ලියන්න ඕනේ . [මගේ වියට්නාම යාළුවන් කියන්නේ එයාලට වඩා මන් මෙහෙ ඉතිහාසයත් කතන්දරත් දන්නා බවයි .]

චීනය මුලින්ම මේ වියට් වරුන්ව යටත් කරගන්නේ ක්‍රි පු 111 දී . ඒ චීනයේ හෑන් වරුන් . වරින් වර ප්‍රාදේශීය වශයෙන් කැරලි ඇති වුනත් මේ හෑන් පාලනයට එතරම් බලපෑමක් කරන්න වියට් වරුන් සමත් වුනේ නැහැ . මෙතනදී තමයි අපිට මේ Trung [චුන්ග්] සහෝදරියෝ හමුවෙන්නේ . Trung Trac කියන්නේ අක්ක . Trung Nhi නංගි


.
අක්කගේ සැමියා චීන පාලකයින් විසින් මරා දැමෙනවා . යුධ ශිල්පයේ ප්‍රවීන මේ බිරිඳ සැමියා වෙනුවෙන් පලිගන්න හිතලා නංගිත් සමග හමුදාවක් සංවිධානය කරගත්තා . බහුතරය ගැහැණු . මේ ගැහැණු මුලික හමුදාව චීන හෑන්වරුන් පරදලා නැවත රට එක්සත් කරනවා . නමුත් හෑන් වරුන්ගේ අධික ශක්තිය මත මේ රාජ්‍ය වැඩිකලක් පවත්වාගන්න මේ සහෝදරියන්ට හැකි වුනේ නැහැ .  ක්‍රි වර්ෂ  39 සිට 43 තෙක් වසර හතරයි ඔවුන් රජ කලේ . 43 දී සටනින් පරදින බව දැන දියේ ගිලි දිවිතොර කර ගත බවයි සඳහන් . මේ සටනේදී හෑන් පිරිමි හමුදා නිරුවතින් සටනට පැමිණ තිබෙනවා . ගැහැණු හමුදාවල සෙබලියන් ලජ්ජාවට පත්වී අදහිරිය වූ නිසා පරාජය වූ බවත් සඳහන් .

මෙතැනදී කාන්තාවන් ගැන විවිධ වීර කතා බොහෝ ගණනක් ඇති වුනා . එක ගැබිණි සෙබළියක් සටන් බිමේදී දරුවා බිහි කල බවත් එක අතකින් දරුවා රැගෙන සටන් කල බවත් සඳහන් .


මෙකල මාතෘ මුලික සමාජයක් තිබුනා යයි සිතන්නට මේ සහෝදරියන්ගේ හමුදාව කිසිම පැකිලීමකින් තොරව පිළිගැනීමට සමාජය පෙළඹීම යම් සාක්කියක් සපයන බවත් එක මතයක් .

 චම්පා ගැන කතා කරද්දී චම්පා සමාජය මාතෘ මුලික වූ අයුරු අපට පැනයක් වූ බව මතකද .චම්පා වරු මේ ආදී වියට් වරුණේ අඩිපාරේ ගියා වත්ද . Dao Viet ලා පිතෘ මුලික වෙද්දී අර පරණ ලක්ෂණය චම්පා ළඟ ඉතුරු වුනා වෙන්න බැරිද [ මේක මගේ අදහසක් විතරයි ].


ඉතින් මේ Trung සොයුරියන් ජාතික නිදහසේ සංකේතයක් අදටත් . හැනොයි වල ඒක දිස්ත්‍රික්කයක් Hai Ba Trung . hai යනු දෙදෙනා . ba යනු කාන්තාවට ගරු සරු ඇතුව අමතන ආකාරය. මේ නමින්ම ප්‍රධාන නගර දෙකෙහිම ප්‍රධාන පාරවල් දෙකක්ද තිබෙනවා .
නිතරම ඔය පාරෙන් යද්දී මේ කතාව ලියන්නටහිතුවා . මේ ලිපි පෙලට අදාළ නිසා මෙතනදී සඳහන් කිරීමට ලැබීම සතුටක් .

 43 දී යලිත් චීනයට යටත් වුනාට පසු මොකද වුනේ කියල ඊළඟ ලිපියෙන් බලමු . පුංචි කොටස් වලින් තමයි ලියන්න වෙන්නේ .