Friday, 3 June 2011

මගේ ආදර වන්තයෝ ....

.
මම ආදරේ කරන්න ගත්තේ අවුරුදු 12- 13 කාලේ . චික් කියලා ආපහු හැරිලා යයිද කට්ටිය. රුසියන් ළමා කතා කියව කියව ඉඳල ආදරේ පැත්තට ගියේ ඇයි මම. ළමා කතා කියවන්න බැරිවුනානම් ගිහින් එන්නකෝ.http://nelumwila.blogspot.com/2011/05/blog-post_31.html
. මතක ඇතිව කොමෙන්ට් ටික කියවන්න
ආදරවන්තයන් ගැන කියන්න කලින් මෙන්න මේ ටික කියන්න වෙනවා.
....කලින් පොඩි වර්ගීකරණයක් කරලා තිබිච්ච නිසා
 පොඩි වර්ගීකරණයක් කලේ අදහස් ප්‍රකාශ කරන්න ලේසි නිසයි .නැතුව අපි මේවා වර්ග කරගෙන කියෙව්වේ නම් නැහැ,. අතට අහුවෙන දේ කියෙව්වා මිස. විප්ලවයට පෙර රුසියන් සාහිත්‍ය හුඟක් ඈතට විහිදුනත් ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ..ගොගොල් ..පියදෝර් දොස්තවොස්කි ...ලියෝ ටෝලොස්ටෝයි ...ලේමන්තෙව් ..චෙකොව් ..තමයි කැපිලා පෙන්නේ මේ ලේඛකයෝ ගැන නම් අන්තර්ජාලයේ විස්තර තියෙනවා. නමුත් සිංහල පරිවර්තන වල තිබ්බ මට සිලිටු නම් එක්ක නෙමේ. අනික අපේ අරමුණ අපිට මතක සදා අමරණිය පොත් ගැන නිසා ඔය යාන් හෑලි කියවන්න කම්මැලියි .
පුෂ්කින්ගේ කපිතන්ගේ දියණියෝ මගේ ආසම පොතක් .මට විශ්වාසයි හුඟක් අය ඒක කියවා ඇති.. දුබරෝව්ස්කි ත් ඒ වගේ . ඊට අමතරව පුෂ්කින්ගේ කෙටිකතාත් ලස්සනයි. මතකය හොඳ නම් ''තානායම්පල්ලගේ දියණිය '' පුෂ්කින්ගේ. ගිය පාර වගේ නලිනි හරි බුරා හරි වෙන අයෙක් හරි මට වැරදෙන තැන හරි ගස්සයිනේ.
ගොගොල් ගේත් මම හිතන්නේ කෙටිකතා තමයි ජනප්‍රිය. ''හිමකබාය'' සහ කන්තෝරු කාරයෙක් ගැන කියවෙන මට නම මතක නැති කතාව එයාගේ .
දොස්තවොස්කි නේ අපරාධය හා දඬුවම ලිව්වේ . ඒ කතාව නම් හරි හැටි මතක නැහැ. එකත් ටෝලොස්ටෝය්ගේ යුද්ධය හා සාමය වගේ [පරිවර්තනය කලේ සිරිල්.සි .පෙරේරා ] ඒ කාලෙත් ටිකක් කම්මැලි හිතුන පොතක් . ඔය දෙකම කියවන්න තරම් පිස්සුවක් නම් තිබුනා. ඇනා කැරනිනා නම් ලස්සන කතාව. චිත්‍ර පටියත් බැලුවා.
ලේමන්තෙව්ගේ ''අපේ කාලයේ වීරයෙක් '' පොතත් ලස්සනයි.
චෙකොව් ගේ චෙරි උයන [ සිංහල නාට්‍යකුත් හදුනා නේද ] ''බල්ලා සමග යන කාන්තාව....ලස්සනයි . නවකතා වලට අමතරව කෙටිකතා මහා බර ගානක් කියෙව්වා.
ඉස්කෝප්ප රැජින ..තව මතක ඇති කෙටි කතාවක්.
ඔන්න දැන් මම ටිකක් නිදහස් ..මගේ ආදරවන්තයින් ගැන හිතන්න.  3 පන්තියේදී වගේ ගැහැණු ළමයි ඇතුළු කරුණාසේන ජයලත්ගේ සේරම පොතුයි ..එඩ්වඩ් මල්ලවාරච්චිගේ ''සුභා'' සුභ ප්‍රර්ථනා '' හෙමත් කියවලා හිටියට ඒවායේ හිටි කොල්ලන්ට මගේ කිසිම ආදරයක් ඇතිවුනේ නැහැ ..ඒ කාලේ පොඩි වැඩියිත්..අනික ''නිමල්'' වගේ කොන්ද පන නැති පිරිමියෙක්වත් ''සුගත්'' වගේ එක කෙල්ලෙක් නැති වුනාම බේබද්දෙක් වෙන කෙනෙක් වත් මට කොහොමත් එපා.
..මගේ ආදර පාවෙල්  ..එයාට ආදරේට ''අම්ම'' කිව්වේ පව්ලුෂා ..එයා එක්ක සයිබීරියාවට යන්න වුනත් මම ලැස්ති වෙලා හිටියේ.
.ගෝර්කිගේ ළමා විය , මිනිසුන් අතර සහ මගේ සරසවි ...පොතුත් ජිවන සරසවියේ ආචාර්යවරු තමයි මට. මවකගේ හදවත වැනි කෙටි කතාත් ලස්සනයි .
සමාජවාදය ..විප්ලවය පැත්තකට තියල  බලන්න ජිවිතේට මොන තරම් ගන්න දේවල් තියෙනවද ඒ උත්සාහවන්ත චරිත තුල.
මට මතක ඇති තව පොත් තමයි ''කෙටිකතා '' වෙළුම් 1 සහ 2

කැකිරි දුපතේ දරු උපත , හිට්ලර්ගෙන් බේරිලා ආපු රියදුරු සෙබලාගේ කතාව [ මතක හැටියට ''හතලිස් එක් වැනියා''] ඒ පොත් දෙකේ මට විශේෂයෙන් මතක කතා. හුඟක් ඒවායේ මාතෘකා මතක නැහැ.
 ''ජමිලා '' ,''දොන් පෙදෙසේ කතා'' පෙරළු නැවුම් පස '' '' වේලාසන කොක්කු ඇවිත්'' ''උණු හිම ''තව මම ආස පොත් . තව ගොන්නක් කියවා ඇතත් මේ මොහොතේ මතක් කර කර ඉන්නට නොවෙහෙසෙමි.

ඒ සියලු පොත් පතින් රුසියාව මගේ දෙවෙනි මව් බිම වන තරමට සමීප වූ බ නොකියාම බැහැ. අදට වුනත් වොල්ගා ගඟ ළඟ වැතිරිලා  ඇලෙක්සෙයි එක්ක අහස දිහා බලන් ඉන්නත් ..පුංචි නිකිතත් එක්ක හිම බෝල සෙල්ලම් කරලා වසන්තේදී ගෙම්බෝ ඉන්න පොකුණේ පිනන්නත්...සමුහ ගොවි බිම් වල ..මිදී ඇපල් වතු වල ඇවිදින්නත් මට තත්පරයක් වත් යන්නේ නැහැ.
ඔන්න මම කස පිපිරෙව්වා ..පෙරහැර මග එන නිසා වැඩිදුර නොලියමි. තනිකරම මේ මගේ මතකය වන අතර ගෙනා පොත්කිපය වත් පෙරලන්නට සාලයේ ඇති පොත් රාක්කයටවත් නොගිය බවත් ප්‍රකාශ කරන අතර යමක් වැරදි නම් නිවැරදි කරන්නත් අමතක වූ දේවල් වලින් මෙය සම්පුර්ණ කරන්න විශේසයෙන්  නලිනි ..බුරා සහ අනික් කියවන සැමටත් ආරාධනා
මෙන්න පහුගිය දින කීපයේ ලැබුණු ලින්ක් ටික . එක තැනක තිබ්බම පහසු බව සිතුනි
තව ලින්ක් ඇත්නම් බෙදා ගමු නේද
picture from google images. Some words are missing but too lasy to find out why. sorry for that
..

ඒ කාලේ මම හරිම චපල කෙල්ලෙක් . පාවෙල්ට හොරෙන් තව කි දෙනෙක්ට පෙම් කලාද ..''ඇලෙක්සෙයි '' ඔයා අර හිම ගොඩේ බඩ ගාද්දී ..ඉස්සෙල්ලම ලි කකුල් දාල ඇවිදින්න බැරුව දුක්වෙද්දී මම කොච්චර දුක් වුනාද. අන්තිමට ආයිමත් ගුවන් යානයක් පදවද්දී මම කොච්චර සතුටු වුනාද. කොහෙද එතනත් ඔල්ගා හරහට හිටියනේ ඔයත් ඉතින් පොඩි කාලේ ඉඳන්ම එයාටමනේ හිත.
වානේ වගේ ශක්තිමත් හිතක් තිබ්බ ''පාවෙල් කොර්චාගින් ''ටත් ඔය අස්සේ මගේ හිත ගියා.
ඇයි අප්පේ ''දුයිෂෙන් ''
'' නාකි අසෙකු දක්කාගෙන ඔහු තාමත් ලියුම් බෙදයි ..
පොප්ලර් ගස් දිහා බලන් අල්තිනයි සුසුම් හෙලයි''
''ගුරු ගීතය ''කියවල මම ලිව්ව කවිය කියෝලා සිංහල මිස් [සුසිලා ලියනගේ...මා ඇයට තාම ආදරෙයි . මම ලියපු කවි කතා ඇය රස විදි නිසා.] ඇහුවා මොකක්ද ළමයෝ මේ ''සත්‍යය'' කියල ලියලා තියෙන්නේ .අවුරුදු තිස් ගණන් වල හිටි එයා දන්නවය ඕව. අවුරුදු 14 දි  අපිනේ දැනන් හිටියේ ඔය සේරම . අනික ලොකු අය්යල හෙට විප්ලවේ කරයි අපි පොඩි  නංගිලා ට තිබ්බේ බලන් ඉන්න විතරයිනේ කියලනේ අපි හිතන් හිටියේ.
ඔය ආදර වන්තයින් මට මුණ ගස්සපු කපුවෝ ගැන නොකියා හොඳ නැහැ.
''අම්ම ''- මැක්සිම් ගෝර්කි
''සැබෑ මිනිසෙකුගේ කතාව ''- බොරිස් ප්ලයෙව්
''ගුරු ගීතය '' - චින්ගීස් අයිත්මාතව්
''වානේ පන්නරය ලැබූ හැටි ''- නිකොලායි ඔස්ත්රවොස්කි
දේශීය කපුකම කළේ දැදිගම මාම තමයි
.....ඒ කාලේ ආදරේ කර කරම  හිටියයි හිතයි කියලා හිතන්න  එපා
ලැයිස්තුව දික් වේගන යනවා. ආදරවන්තයෝ ගැන මතක් කළා මදැයි . අද වුනත් ඒ ආදරේ වෙනස් වෙලා නැහැ. ඉඳලා හිටලා එයාල මතක් වෙලා ''ආදර පොලේ '' ගිහින් හමු වෙලා එනවා 

59 comments:

  1. රංග ගේ වැඩ බැරි දාසගේ කතා තිබ්බ ලිපියේ ලින්ක් එක දාන්න මට අමතක වුනා .මෙන්න ඒ ලින්ක් එක


    http://r4ng4.blogspot.com/2011/06/blog-post.html

    ReplyDelete
  2. හ්ම්ම් රුසියන් කතා. ටිකක් බර වැඩියි. ඒත් පුදුම තරම් සුන්දරයි. මම ලඟදි ඉඳන් මුස්ලිම් නවකතා කියවනවා. මනරම් හිරු දහසක් පොත කියෙව්වද. පර්දාවක් නිසා ගැහැණියකගෙ වෙනස් වන ජීවිතය.

    ReplyDelete
  3. නැහැ පිණිබිඳු ලඟදි ආව පොත් මුකුත් බැලුවේ නැහැ. පරිප්පු ගෙන නිසා ගියත් ගෙන්න වෙන්නේ දෙක තුනයි . එකනේ මේ තාම අතීත මතක අස්සේ හිර වෙලා ඉන්නේ

    ReplyDelete
  4. මට වෙලා තියෙන්නේ පොත්පත් ඇසුරු කරන්න වෙලාව මදිකම. ඉස්සර පුස්තකාලයෙන් පොතක් ගෙනැල්ල පැයක් දෙකක් යන කොට ඒක කියවල ඉවරයි. අපි වයසින් වැඩි වෙන කොට දරන්න වෙන වගකීම් එක්ක ඒවට මුල් තැන දීමට සිදුවීමත් සමග විනෝදාංශ හෝ කැමතිම දේවල්වලට දෙන්‍න වෙන්නෙ අඩු සැලකිල්ලක් තමයි. කොහොම වුනත් අතීත සැමරුම් වලට නැවත යනවා නම් රුසියන් පොතපතේ අපිට හමුවෙන චරිත ටිකක් දැඩි ඝනකම් ඒවා තමයි. හැබැයි ලෝකයට වැඩිය විවිර නොවී තිබුන සෝවියට් දේශය හෝ රුසියාව චිත්තරූප වලින් මවා ගන්න එම සාහිත්‍ය අනූපමේය කාර්යයක් ඉටුකලා. ඒවගේම සිංහල පරිවර්ථන විදියට අපිට ලංකාවේදී ඒවා බොහොම අඩු මිලට ඒකාලේ ගන්න හැකි වීමත් එයට අනුබලයක් දුන්නා. ඒනිසාත් රුසියාවේ සත්‍ය තත්වය පිළිබද පසුකාලීනව අපි දැනගත්තත් ඔවුන් අපිට පොත්පත් බොහොම අඩුමිලට ලබා දීම තුලින් යම් හිතෛශීභාවයකුත් ඇතිවෙලා තිබුනා කිවුවොත් නිවැරදියි. ඒ එක්කම 88/89 කාලේදී රුසියන් පොත් ප්‍රදර්ශනවලදී තරුණ පරපුර ලෙනින්ගේ හා මාක්ස් ගැන හා සමාජවාදය ගැන පරිවර්ථනය වුන රුසියන් පොත පතට වැඩි ඇල්මක් දක්වලා තිබුනා. හැබැයි ඒ කාලේ ඒවා තබා ගැනීමත් මරණයට කිට්ටුවීමක් කිවුවත් නිවැරදියි. මොකද විටින් විට ආරක්‍ෂක අංශ ගෙවල් පරීක්‍ෂාකරන කොට ගෙවල් වල ඒ පොත් පත් තිබුනොත් ඔහු විප්ලවවාදියෙක් නොවුනත් අවසනාවන්ත ඉරණමකට මුහුනපෑමට තිබූ ඉඩකඩ වැඩියි. කොහොමවුනත් කියන්න ඕන ඔබගේ මේ රුසියන් පොත්පත් පිළිබද ලිපි අතිශයින්ම ජනප්‍රියවී ඇති බව පේනවා. ඒ වගේම සතුටුයි පොතපත හොදින් ඇසුරු කල කෙනෙක් බ්ලොග් ලියන්න පෙලඹීම ගැනත්.‍ මොකද එවැනි කෙනෙකුට ලියන්න පුළුවන් පරාසය විශාලයි. ඒක පාඨකයන්ගේ දැනුම වර්ධනයටත් හොද රුකුලක් වේවි...

    ReplyDelete
  5. ස්තුතියි දිරි ගැන්වීමට. ආසාවෙන් එකතු කල සෝවියට් දේශය පොත්ටිකයි මමම ඇඳපු ලෙනින්ගේ පින්තුරෙයි ගිනි තියපු දා මට මතකයි .මා පොඩි වුනත් වැඩිමල් සහෝදරයින් වෙනුවෙන් ඒක කරන්න වුනා . මම මේ ලියන්නේ මගේ මතක සහ සාහිත්‍ය රසය විතරයි. කොයිකත් කාලෙට සාපෙක්ෂයිනේ . ඕවයේ ඇති දේශපාලනය ගැන මගේ අදහස් ලියන්නේ නහමයි කොහොමටත් .
    මටත් ඔය කලම තමයි. වෙලාව නම් තියෙනවා. එත් සිංහල පොත් ලැබෙනවා අඩුනේ. ඉස්කෝලේ පුස්තකාලේ අම්මලටත් පොත් දෙනවා . එත් වැඩිපුර අද්යාපනික පොත් . මේ කාලේ මම ඉන්නේ ඉතින් ''රෝඩ් දාල්'' දොස්තර සියුස් ..වගේ කට්ටිය එක්ක තමයි.
    මට සත් සමුදුරේ ලිපි open වෙන්නේ නැහැ . හැමෝටම එහෙමද බලන්න

    ReplyDelete
  6. By Ravi

    හෆොයි, ඔන්න බින්දිගෙ ආරාධනාව පිළිගෙන ආව නෙව නෙළුම් විල පැත්තෙ, හෙහ්......ආව තමයි, මෙතන නෙව වැඩේ තියෙන්නෙ, හෙහ්......හෙහ්, ඔක්කොම පොත් පිස්සො නෙව බලාගෙන ගියාම, මටත් නම් ඔය ගැන වරුවක් කතා කලෑකි, රුසියන් සාහිත්‍යය අපිට ලංකරපු තව කීප දෙනෙක් ඉන්නවා නොකියම බැරි.පද්මහර්ෂ කුරණගේ, කේ.ජී. කරුණාතිලක සහ ඔරුවල බන්දු.

    බිම්ගෙයි සිරකරුවා සහ තවත් ශ්‍රේෂ්ඨ රුසියානු කෙටි කතා, ජමිලා,සැබෑ මිනිසෙකුගේ කතාවක්, වානේ පන්නරය ලැබූ හැටි,මේ පොත් ජීවිතේ තියනකල් අමතක වෙන්නෙ නැතිවෙයි මට.

    තව මම පොඩි දවස්වල හරිම ආසාවෙන් කියවපු පොතක් තමයි "සත්ව විද්‍යාඥයෙකුගේ කතන්දර" සත්තු ගැන විස්තර පුදුම ආසාවක් ඇති වෙන විදිහට රසවත්ව ලියාපු පොතක් ඒක.

    මම රවි
    ඔන්න රවී ඔයාගේ වචන එහෙමම . ස්තුතියි . ඇත්ත තමයි ඒ තුන් දෙනාගේ නම් නොලිව ඒක ලොකු අඩුවක්. ඔරුවල බන්දුගේ ස්වතන්ත්‍ර නිර්මාණ වලටත් මම ආසයි.තාමත් කවි ලියනවනේද එයා

    ReplyDelete
  7. මං ආසම ‍පොතක් ඇනා කැරනිනා. ඒත් ඉතින් දැන් නම් මතකය බිංදුවයි. පහුගිය කා‍ලේ ‍මො‍ලේ පි‍රෙව්‍වේ ‍වෙන ඒවියින්‍ ‍නේ.

    මං වැඩි‍යෙන්ම ආස නම් ‍කෙටි කතා‍පොත් වලට. කතාව කියවලා ඉතිරියත් විනාඩි කීපයක් හිතන්න. තානායම් පල්ලා‍ගේ දියණිය, හිම කබාය මට මතකයි. ඒ ව‍ගේම දියමන්ති මාලය ‍කෙටි කතා සංග්‍රහයත් ‍හොඳට මතකයි. ඒක නම් ‍පොත තිබුන මං හිතන්‍ ‍නේ. ‍කේ. ජයතිලක මහතා‍ගේ පරිවර්තනයක් මතක හැටියට.

    අර අක්ක‍ගේ කපු‍වෝ ලිස්ට් එ‍කේ අම්මා හැර අනිත් තුන ‍හොයා‍ගෙන කියවන්න ඕනි. ‍කො‍හෙද කා‍ලෙකින් ‍පොතක් දැක්‍ ‍කෙවත් නෑ.

    ReplyDelete
  8. ඔන්න මං ඩීවියෙට් වෙන තැන. කියවා ඇත්තේ බෙලයෙෆ් වගේ උන් තමයි. හැම තැන ම ඉන්න වාග්නර් ලොක්ක අමතක නොකළ හැකි චරිතයක්. මගේ විද්‍යා හිතේ බිලිඳු විය පෝෂණය කලේ බෙලයෙෆ්. ලොකු වෙනකොට ඒ ටීචර බොළඳ වැඩි උනා හැබැයි.

    ඒ ලෙවල් කාලේ හිතවත් කෙල්ලක් අම්මා නවකතාව දෙන්නද ඇහුවම අපෝ ගෝර්කි ද කො දෙන්න මෙහාට කියලා අරගෙන තැන් දෙක තුනක් බලලා දවසකින් විතර කතාවේ සමහර දේවල් ගෙස් කලා මං. මං උන්නේ මොකටද ඔව්ව කියවන්නේ වගේ මතයක. එදත් හරි ඒකි ආයිත් පොත් දුන්නේ නැහැ.

    මං තවමත් ඉන්නේ ඒ මතයේ නම් නොවේ. ඒත් විද්‍යා ප්‍රබන්ධ වලට දක්වන ආදරය නම් තවමත් ටිකක් වැඩියි.

    ReplyDelete
  9. මම නම් කියවලා තියන ලස්සන ප්‍රේම කතාව තියෙන්නේ රුසියානු ජාතික (Anatoli Rybakov) ඇනටොලි රයිබකොව්ගේ (Children of the Arbat) අර්බත් දරුවෝ කියන පොතේ. තුන් ඈඳුතු නවකතාවක් වන මේ පොත දැන් සිංහලට පරිවර්තනය කරලා තියනවා. ඩොක්ටර් ෂිවාගෝ (Doctor zhivago) ලියපු බොරිස් පැස්ටර්නැක්ට (Boris Pasternak)පස්සේ බිහි වුනු ප්‍රබලතම නවකතාකරුවෙක් ලෙස මොහු හඳුන්වන්න පුලුවන්. මෙයා ජීවත් උනා කියන්නේ ඔය කියන අර්බත් වීදියෙයි. ඔහුගේ කතා තුනම ඔස්සේ දුවන මම කියවපු ඒ ලස්සන ප්‍රේම කතාවේ ප්‍රධාන චරිත වෙන්නේ ශාෂා හා වර්යා දෙදෙනායි. විචාරකයින් කියන විදියට මේ දෙන්නාගේ කතාව 'රොමියෝ ජුලියට්'ගේ කතාව වගේ.

    ආදරය කියන්නේ නිහඬව, හිතින් විඳින්න පුලුවන් දෙයක් බව අපට ගොඩාක් කාලෙකට එහා හිටපු ඒ දෙන්නා පෙන්නලා දීලා තියනවා. අවසානයේදී එකතු වෙන්ට නොලැබුනත් ප්‍රේමය මේකයි කියලා දැනගන්න හොඳ හදවත සසල කරනා කතා පොතක්. ඔය තමයි මගේ 'හොඳම ආදරවන්තයෝ දෙන්නා'.

    ReplyDelete
  10. 19 වෙනි සියවසේ රුසියානු ප්‍රේම කතාවල පොදුවේ දකින්න ලැබෙන ලක්ෂනයක් තමයි කතා නායිකාවන් සිය දිවි හානි කරගැනීම. අසම්මත ප්‍රේම කතාවල පැටලෙන ගෑනුන්ට සමාජයේ ගැරහුම්වලින් ගැලවෙන්න, තිබුනු එකම මග මේක වෙන්න ඕනි. ඒ හන්දාද කොහෙද මගේ නම් හොඳම රුසියානු ආදර කතාව වෙන්නේ ඇනා කැරනිනා.

    ReplyDelete
  11. @පොඩි ..
    මම කියවා නැත ඔය පොත නම් . අපි දන්නවා ඔයා ආදරේට කොච්චර ආදරේද කියලා. මගේ මේ පොත් වල ඉන්න අයගේ ආදර කතා ගැන නෙමේ මම නම් කිව්වේ .ඒවායේ හිටි මගේ ආදරවන්තයෝ ගැන . ඔයා ඔයා වෙඩිම කල් දාන හේතුව ඒ වගේ දුක් කතාවක් ගොතන්න හෙම නෙමේනේ.

    ReplyDelete
  12. @ හා පැටික්කි ..
    පුංචි හා පැටියෙක් කියල හිතුවට ඔයා කියවල තියෙන්නේ බර ගානක් . ඔයාල පොත ගන්නේ ''පොත ගුලෙන් '' නෙමේ හා ගුලෙන් වෙන්ටැති

    @ නීතා..
    ඇනා ගිය පාරේ යනවා හෙම නෙමේ ඔන්න.ඔය වහබොන යට නම් මගේ කිසිම කැමැත්තක් නැහැ. මගේ අරමුණ වුනේ ආදර කතා ලියන්න නෙමේ . මගේ ආදර වන්තයෝ ගැන කියන්න . රෝමාන්තික විදියට රුසියානු සාහිත්‍ය ගැන මට එච්චර දැනේනේ නැහැ . මගේ නිගමනය ආදරය ගැන ගැඹුරු විවරණ දෙන පොත් අඩුයි ඒ තුල . ලොකුවට ආදරේ ගැන හිතපු කාලෙකත් නෙමේනේ මම ඕව කියෙව්වේ. ඒ චරිත වලට මගේ තිබ්බ ආදරය ගැන තමයි මට කියන්න ඕන උනේ.
    මම ආස ආදර කතා වෙනයි .එකට වෙනම පොස්ට් එකක් ඕන වෙයි .

    @ සුජීව ..
    මමත් විද්‍යාවට කැමතියි . අපි ආස දේවල සීමාවක් නැහැ. අද ඔයා කොහොමත් අම්ම කියවන්න එපා .ඔයාට කිසිම රසයක් නැතිවෙයි. අර කෙල්ල දීපු වෙලාවේ ගන්නැතුව ..ලස්සන කෙල්ලක් නෙමේ වෙන්ට . නැත්නම් අම්ම නෙමේ යුද්ධය හා සාමය වෙළුම් සේරම වුනත් ගනී

    ReplyDelete
  13. @ දිනේෂ් ..
    මට නම් ඔය වාද ගැන තියෙන පොත් කියවන්න අමාරුයි ඒ කාලෙත් රසයක් නැති නිසා.

    ReplyDelete
  14. වානේ පන්නරය ලැබූ හැටි පොත කියවලා ඉවරවෙලා මං හිතුවේ කෝ ඉතිං මේ පොතේ "වානේ පන්නරය" ගැන තිබුනේ ම නෑනේ කියලායි. මොකද මං හිතුවේ මේ "වානේ පන්නරය" කියන්නේ යකඩෙන් හදපු කිණිහිරක් වගේ එකක් කියලයි සෑහෙන කාලයක් යනකං.

    ReplyDelete
  15. මාත් පට්ටම චාටර් නෑ. චෙකොෆ් ට ආසයි.කිවිසුම අමරණීයයි. අද ද වෙන දෙයක්.

    [[අර කෙල්ල දීපු වෙලාවේ ගන්නැතුව ..ලස්සන කෙල්ලක් නෙමේ වෙන්ට . නැත්නම් අම්ම නෙමේ යුද්ධය හා සාමය වෙළුම් සේරම වුනත් ගනී ]]

    අපොයි නැහැ. කෙල්ල සමග ෆිට් එක කලක් තිබ්බ වැඩිය දුර දිග නොගියට. පොත් හෝ පොත්තේ පාට අනුව යාළුවන් මනින්න බැහැනේ.

    ආදරේට ටියුබ් ලයිට් නිසා මං මුලින් ම කෙල්ලකගෙන් ඇහුවේ මිට ගොඩක් පස්සේ. අපරාදේ කියන්න බැහැ වර්ත් ද වෙයිට්‌. ඔය දැන් ඉන්නේ යස අගේට පුංචි මැර කෙල්ලකුත් හදන්.

    ReplyDelete
  16. දාල තියන ලින්ක් ටික නම් සෑහෙන්න වටිනවා ........
    අපේ පොඩි එකාට හොඳ හිනාවක් යයි ......
    බොහොම ස්තුතියි බින්දි ......(කවුද මේ නමි දැම්මෙ, ලස්සනයි)

    ReplyDelete
  17. මම ආසම නවකතා පොත් තමයි මිහායිල් ෂෝලහොව් ගේ "පෙරලූ නැවුම් පස " , ලෙමතෙව්ගේ අපේ කාලයේ වීරයෙක් හා චින්ගීස් අයිත්මතෝව් ගේ කෙටිකතා සහ නවකතා ඔක්කොම විශේෂයෙන් "ගුරු ගීතය " , "වේලාසන කොක්කු ඇවිත් .

    පෙරලූ නැවුම් පසේ හිටි විසේකාර යුවතියක් ( එයාගෙ නම මතක නෑ ,) පිස්සුවෙන් කියවන සීය කෙනෙක් , සහ සමූහ ගොවිපොල පාලකය ගැන මතකයි (මේ අයගෙත් නම් මතක නෑ.සීයගේ නම පටන්ගත්තේ ෂූ අකුරෙන් ).පෙරලූ නැවුම් පසේ තිබුණේ විප්ලවයේ ගරා වැටීම හා බලාපොරොත්තු මිය යාම ගැන වගේ අදහසක් නේද?. පොත කියෙව්වේ අවුරුදු 12දි . ඔලුවට බර වැඩිවුනාද මන්දා .

    යුද්දය හා සාමය කිවයල ටික දවසකින් අත ඇරල දැම්ම .

    ගුරුගීතය සෑහෙන්න කාලයක් රසවින්දා .අදටත් කියවනවා ඉඳහිට පිටුවක් දෙකක් .අල්තීනායි , පොප්ලර් ගස් හා අයිලයට පැමිනි දුයිෂෙන්ගේ කතාව .මේ ගුරු ගීතය සිංහල පරිවර්තනයේ උපුටා ගැනීමක් .මගේ මූනු පොතේ මම ආස පොත් වල උපුටා ගැනීම් යටතේ දාල තියෙන නෝට් එකකින් ....

    "කඳු වල මෙවැනි උල්පත් පැන නගී.ඒ වටා අඩි පාරවල් ඇතිවෙයි.මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත්වලින් ජලය ලබාගනිති.එහෙත් පුලුල් මාර්ග ඇතිවූ පසු අර අඩි පාරවල අමතක කර දමති.උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවී මුලු ගැනේ .අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ.රස්නය ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවාගැනීම පිනිස මහ මගින් ඉවත්වී අර උල්පත් සොයා එති.මුළුගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒවටා ඇති පැලෑටි සහ කටු වැල් උදුරා දමති.කිසිකෙනෙකු විසින් හෝඅපිරිසිඳු නොකරන ලද ඒ උල්පත ප්රනීත සිසිල් ජලය නිසලව ගලාබසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ .එවිට උල්පත තුලින් තමාද හිරු සහ අහසද කඳුවැටි ද පෙනෙන සේය .එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් ලෙස ගනන්ගන්නා අර මිනිසා සිය සගයන්ට ද ඒබව දැන්වීමට ඉටාගන්නා නමුදු පසුව එය අමතක කර දමයි.
    එදිනදා ජීවිතයේ ද මෙසේම සිදුවෙයි.එහෙත් එය ජීවිතය ය ......"

    "ගුරු ගීතය" පිටුව 114-115 -චින්ගීස් අයිත්මාතොව්-දේදුනු ප්රකාශන

    අයිත්මතෝව්ගේ වේලාසන කොක්කු ඇවිත් පොත යුද්දය නිසා මිනිස්සුන්ගේ ජීවිත කොයිතරම දුක් බර වෙනද කියන එක පෙන්වනවා. මේ පොත පටන්ගන්නෙ හරිම ලස්ස්න විදියට පාසල් ගුරුතුමිය භූ ගෝල පාඩමට ලංකාව ගැන කිය රසවත් විස්තරයකින් . ලංකාව විස්තර කරන්නෙ ඉන්දියාව කියන කිරි බුරුල්ලෙන් බේරෙන කිරි බිඳුවකට .ඒ වගේම යම් නිකාය පොතක තියෙන ගාථාවකුත් සඳහන් වෙනවා . එහි මේ වගේ අර්ථය තියෙන ගාථාවක් සටහන් වෙනවා " අස්වනු පාලුවට ගියත් ගොවීහු යලි යලිත් කුඹුරු වපුරති" .........

    මේ පොතේ හිටිය පෙම්වතිය මිර්ගසල්. එක තැනක ඇල පාරක් දිගේ එන මිර්ගසල්ව එයාගෙ පෙම්වතා හඳුන්වන්නේ "සොඳුරු සඳ පහණක් වැනි මිර්ගසල් "කියලා . පෙම්වතාගෙ නම මතක නෑ. ඒත් ලමාවියෙන් ගැටවර වියට යන කොලුවෙකුට යුද්ධයේ බර කරට ගන්න වෙන ඛේදවාචකය පොතේ තියෙනවා .අයිත්මතොව්ගේ ගොඩක් කතා දෙවෙනි ලෝක යුද්ධයේන් ඇතිවුණ ඛේදවාචක ගැන කියනවා . වැන්දඹු ජමිලා හා සටන් බිමෙන් කකුල කැඩිල ආව "දනිකේ" ගෙ කතාවත් ඒ වගේමයි . ඒ කතාව ගලාගෙන යන්නේ ජමිලාගේ නැන්දම්ම කියන කතාවක් විදියට .

    යාන්තම් කොහෙන් හරි අහුල ගත්තු මතකයක් තියෙනවා තෝල්ස්තෝයි හා අයිත්මතෝව් දෙන්නම ලංකාවට ආව කියලා . තෝල්ස්තොයි ගෝල්ෆෙස් හෝටලේ නැවතිල උන්න කියල වගෙත් මතකයි .


    රුසියන් පොත් කියවලා මට ලොකු පිස්සුවක් තිබුණා රුසියාව හිතෙන් මවාගන්න.රතු චතුරස්‍රය ,ලෙනින්ග්‍රාන්ඩ් , මොස්කව් ,ලුමුම්බා සරසවි,සීතල සයිබීරියාවට යන දුම් රිය පාර ගැන තිබුනේ පුදුම උමතුවක් .ඒත් ගොර්බචොප්ගේ "පෙරස්ත්‍රොයිකා සිහිනය බිඳවැටීම , රුසියානු සමූහාණ්ඩුව කෑලි වලට කැඩී යාම වගේ ලිපි සහ නියෝ ලිබරල් රටවල් වල තියෙන වඩා හොඳ රැකියා , අධ්‍යාපන අවස්ථා ගැන දැන ගත්තම වයස විසිදෙකේදි විතර රුසියන් පිස්සුව ඉබේ හොඳ වුණා .

    මේ සටහන් ඔක්කොම ලිව්වේ පොත පෙරලලා සොයාගෙන නෙවේ . අපැහැදිලි මැකීයන මතකෙන් . විස්තර වැරදිනම් ඒව නිවැරදි කරන්න . මෑත මතකයේ තියෙන්නෙ ගුරු ගීතය විතරයි .

    ReplyDelete
  18. ටීජී

    තොලස්තෝයි නොවේ ඒ චෙකොෆ්. අදටත් තියෙනවා චෙච්කොෆ් සුයිට්‌ එක. එකේ ඉන්න වාසනාව ලද දෙන්නෙක් අපි දෙන්නා.

    මාත් රුසියාව ගැන චිත්රයකුත් සමාජවාදය ගැන හිනයකුත් මවන් උන්නා ඉස්කෝලේ කාලේ.

    ගුරු ගීතය සුපිරි.

    ReplyDelete
  19. හරි ඕන්න එහෙනං මං පට්ටාං ගන්නම්... ම්ම් කොහෙන්ද පටං ගන්නෙ..?? පුෂ්කින්..?? ආහ්, මතක් කලත් හදවත ආදරෙන් පිරෙනවා.. ලෝක සාහිත්‍යයේ මම වැඩියම ආස කෙටිකතා කරුවන් 3දෙනාගෙන් එක්කෙනෙක් (අනිත් දෙන්නා මෝපසාන් හා ඕ හෙන්රි).

    මතකද බේල්කින්ගේ කතා..?? 'වෙඩිපහර' යුද්ධහමුදාවේ නමක් දිනාගෙන ඉන්න සිල්වියෝ, අලුතෙන් එන කඩවසම් නිළධාරියා නිසා එයාගෙ තත්ත්වය බහිනවා, සාදයකදි වලියක් දාගන්නවා, ද්වන්ධ යුද්ධයකට යනවා.. "අපි වෙඩි තබාගතිමු" "ද්වන්ධ සටන් නීතිය අනුව ඔබට වෙඩි තැබීමේ අයිතිය තවම මා සතුය"...

    එතකොට 'වෙස්වලාගත් තරුණිය'..?? අකුලීනා ඉවානව්නා සරපාන් නමැති ගොවි ඇදුමින් සැරසිලා ලාප්ති සපත්තු දෙකත් දාගෙන දුන්යා කියන ගැමි තරුණිය වගේ වෙස්වලාගෙන තමන්ගෙ අසල්වැසියා වන මෙරේස්යේව්ගෙ තරුණ කඩවසම් පුතා මුණගැහෙන්න යනවා මොකද තාත්තලා දෙන්න විරසක නිසා.. අන්තිමේදි තාත්තලා දෙන්න එකමුතු වෙනවා.. "අහා, නුඹලාගේ ගනුදෙනු යසට සිදුවෙන හැඩයි"..

    එතකොට 'හිමකුණාටුව'..?? අවාසනාවන්ත මාරියා රහසින්ම තමන්ගෙ පෙම්වතා එක්ක විවාහ වෙන්න යනවා, නමුත් හිමකුණාටුව නිසා පෙම්වතාට එන්න බැරිවෙනවා.. විවාහවෙන්නෙ වෙන කෙනෙක් එක්ක.. "අනේ දෙවියනේ ඒ ඔයාද? එහෙනම් ඔයාට මාව අදුරගන්න බැරිද?"

    එතකොට 'මිනීපෙට්ටි සපයන්නා'..?? තමන්ගේ උපන්දින සාදයට මැරුන අයට ආරාධනා කරල වෙන ඇබැද්දිය.. එතකොට 'තානායම්පතියාගේ දියණිය'..

    ReplyDelete
  20. මුල්ම වරට රුසියන් පොත් ප්‍රදර්ශනයකින් මට ලැබුන පොත් තමා 'පින්තූර කතා' හා 'ජීවත්වන හැටි' (යෙ. චරුෂින්).. අපේ අක්කා ගත්තා ළමාවිය, ගුරුගීතය, අපේ කාලයේ වීරයෙක්, කපිතාන්ගේ දියැණියෝ, පියවරු සහ පුත්තු වගේ පොත් සෙට් එකක්.. මගේ පොත් 2 පැයෙන් බලලා ඉවර කරපු මම අක්කගෙ පොත් ටිකට බැස්සා.. (මට ඕන්නං අවුරුදු 7-8ක් ඇති. මගෙ කියවීම හිතාගන්න පුළුවන්නේ. මේ ආරම්භය නෙවේ, ඒ වෙනකොටත් ගෙදර තිබුන ටොම් සෝයර්, රොමාගෙ වාසනාව විතරක් නෙවෙයි උම්මග්ග ජාතකය, කතාතරංගණිය ව‍ගේ ඒවත් කියවලා ඉවරකරපු බුවෙක්)

    ළමාවිය, ගෝර්කි‍ගෙ මම කැමැතිම පොත.. පුංචි අලෙක්සේයි ආච්චියි සීයයි එක්ක ගෙවන ජීවිතය, එයාට මුනගැහෙන මිනිස්සු, වාන්යා ට්සිගනොක්, බේබදු මිහයිල් මාමා හා හොද යාකොව් මාමා (සීයේ, යහපත් පුරුෂයා කියන්නෙ කාටද, යාකොව් මාමාටද??), ග්‍රෙගෝරි ශිල්පියා, හොද වැඩේ (ඒක හොද වැඩක්- හරෝෂය දේලෝ)..

    අපේ කාලයේ වීරයෙක්, යුද්ධ හමුදාවේ තරුණ නිළධාරියා පෙචෝරින්ගෙ කතාව කොච්චර ලස්සනට විස්තර කරනවද ලෙර්මන්තෙව්.. තමාන්, වේරා කුමරිය, මක්සිම් මක්සිම්විච්..

    එතකොට තුර්ගනීයෙව්ගෙ පියවරු සහ පුත්තු.. අර්කාදි හා බසාරොව් යාළුවො දෙන්නා මතකද..?? ගුරුගීතය හා කපිතාන්ගේ දියැණියෝ ගැන ඉතිං කියන්න දෙයක් නෑ නේ.. :)

    ReplyDelete
  21. ගොගොල් ගෙ ජනප්‍රියම කෙටිකතා විතරක් නෙවේ, අමතකද 'මල මිනිස්සු' කියන මහ දිග නවකතාව..?? අර මැරුන ප්‍රවේණි දාසයින් මිලට අරගෙන ආයෙමත් රජයට විකුණන බිස්නස් එක.. එතකොට 'කරමසෝව් සහෝදරයෝ'?? ඇනා කැරනිනා, යුද්ධය හා සාමය, අපරාධය හා දඩුවම ඔය ඔක්කෝම ගැන කතාකරන්න ගියොත් මගෙ කමෙන්ට් එක දික්වෙනවා බින්දිගෙ පෝස්ට් එකට වඩා. බල්ලා සමග යන කාන්තාව 'ආන්නා සෙර්ගෙයෙව්නා' අමතක කරන්නෙ කොහොමද..??

    බින්දි, ඔයා හරි අසාධාරණ වැඩක් කලේ රුසියන් හා සෝවියට් පොත් ඔක්කොම එකට දාලා.. මම කමෙන්ට් කරන්නෙ කොහොමද, දැන් වැඩට යන්න ලෑස්තිවෙන්නත් තියෙනවා.. මෙතනින් නැගිටින්න හිතෙන්නෙ නෑ.. :(

    පලි: ටීජී, අර සීයගෙ නම 'ෂුකාර් සීයා'.. මතකද එයා ආච්චිව බයකරන්න ළිදේ පැනලා වෙන ජරමරේ..??

    ReplyDelete
  22. අසාධාරනයි. මම වැඩට ගිහින් ඉන්න අතරෙ මේගොල්ලො කතාව පටන් අරන්.

    රුසියානු සාහිත්‍යයෙ හොඳම රොමෑන්තික කවියා පුෂ්කින් කියලයි මට හිතෙන්නෙ. ගෝර්කි, මිහයීල් ලෙර්මන්තව්, චිංගිස් අයිත්මාතොව් වැන්නන්ගෙ කතා වඩාත් 'ස්වභාවික' නැත්නම් 'විය හැකි' ගතියක් පෙන්වනවා; මක්සිම් ගෝර්කිගෙ කතාවක එන පරිදි "ඔව්, එවැනි දේ වෙනවා.." කියලා අපට හිතෙනවා. නමුත් පුෂ්කින්ගෙ කතා ඊට වෙනස්. අපිට හිතෙන්නෙ "අනේ එහෙම වෙනවනම්..... අනේ......" කියලා. :D ඒ වගේම පුෂ්කින්ගෙ කතා වඩාත් නාට්‍යානුරූපීයි; ඇක්ෂන් පිරිලා! ඒ කතා අනුමාන කරන්නට බැහැ; එහෙම දේවල් හැම තැනම වෙන්නෙත් නෑ. අනෙක් බොහෝ රුසියානු ගත්කතුවරුන් මෙන් 'පොදු ජනයා' ගැන පමණක් නොලියන පුෂ්කින් උසස් රදළ පවුල්, ඉතිහාසයේ ප්‍රසිද්ධ පුද්ගලයින් ආදීනුත් කතාවලට ඇදගන්නවා.

    කපිතන්ගේ දියැණියෝ මම මුළින්ම කියවපු රුසියන් නවකතාවලින් එකක්. රුසියාවෙ පැවති ගොවි විප්ලවයකට සමගාමීව ගෙතුණු කතාවක්. එහි එන පුගචොව් ගොවි විප්ලවයේ චරිතයක්.

    බේල්කින්ගේ කතා ගැන බුරතීනො දැනටමත් කතා කරලා.
    වෙස් වළාගත් තරුණිය .... ඒ දවස්වල කොතෙක් මේ චරිතය හිතෙන් රඟ දක්වන්න ඇද්ද? මම හිතන්නෙ මට අවුරුදු 10-11ක් විතර ඔය කතාව කියවද්දි.
    මේ පොතේ ඇති හැම කතාවකම අර නාට්‍යානුරූපී රසය නොඅඩුව තියෙනවා. බුරතීනො මේ ගැන කියන්ඩ දෙයක් ඉතුරු කරල නෑනෙ මට.

    දුබ්‍රොව්ස්කි....
    සිය පියාගේ වැටීමට හේතු වූ පුද්ගලයාව සොයායන පුතෙක්. පියාගෙ මරණයෙන් පසු සිය සහචරයක් සමග එක්ව කොල්ල කෑමේ යෙදෙන දුබ්‍රොව්ස්කි, සිය හතුරාගේ දියණිය සමග පෙමින් වෙළුණත්, (කතාව කියවලා නැති කෙනෙක් කියයි 'හරිම ප්‍රිඩික්ටබල්' කියලා- එන්ඩ එපා අපේ බොළඳ ප්‍රීතියට හිනා වෙන්ඩ...;-)) තීරණාත්මක මොහොතේ ඔහුට එන්න බැරි වෙනවා සිය පෙම්වතිය කොහෙද යන නාකි තට්ටයෙක්ව කසාද බඳිනකොට. මගදි අශ්ව කරත්තෙ නැවැත්තුවට අර මැට්ටි කියනවා "දැන් අපි විවාහ වෙලාය, අනේ අපට යන්ඩ දෙන්ඩය, මාව අමතක කොරන්ඩය" කියලා. @#$^$&*%* (ඒකිව කොටියම කාපිය.) මෙහෙම කිව්වට මේකෙ ලස්සන තියෙන්නෙ එක් එක් සිද්ධිය රචකයා මවන ආකාරය. ඔහු කියන්නෙ නෑ දුබ්‍රොව්ස්කි මාර පොරක්ය, හෙණ දක්ෂයෙක්ය... කියලා. නමුත් ඒ ජවනිකාවලින් අපේ හිතේ මැවෙනවා දුබ්‍රොව්ස්කි ගැන අපූරු චිත්‍රයක්.


    හතළිස් එක්වැන්නා- එක් ශීත කාලෙකදි, විප්ලවවාදී තරුණියකට භාර වෙනවා යුද හමුදාවේ නිලධාරියෙක්ව හිරකරුවෙක් ලෙස ගෙන යන්නට. ඒ වනවිට ඇය 40 දෙනෙකුව මරා දාලා. සීතල නිසා අත් හිරිවැටී ඇයට මරා දැමීමට නොහැකි වෙන 41 වැන්නා තමයි මේ යුද නිලධාරියා. ඔවුන් දෙදෙනාගේ යාත්‍රාව මුහුදුබත් වීම නිසා මාළුකාරයන්ගේ දූපතක තනිවෙනවා. 'අපොයි, හරිම ශීලාචාර රදළයෙක්!" :D මාළුන්ගෙන් ගිනි දල්වාගෙන, මාළු කකා ඉන්න ගමන් නිලධාරියා අර තරුණියට තමන් දන්නා කතන්දර කියනවා. එහි සිටින අතරතුර පෙමින් වෙළුණත්, අවසන දූපතට එන හමුදාවේ නැවක් කරා දිව යන "සුනිල්වන් ඇස් ඇති යක් පැටියා" ට ඇය වෙඩි තබනවා. අනතුරුව වැළපෙනවා. :'( (දුක තමා රංජනී)

    අසේල්.... මට මේ කතාව ඇරඹෙන හැටි මතක නැහැ. (ගෙදර ගිහාම කරන්ඩ වැඩ ගොඩයි.) මට මතක තියෙන්නෙ අන්තිමට ඇගේ මුල් සහකරු ඇයව සොයා එන සිද්ධිය. ඔහුගෙ දරුවාව තමන්ගෙ දරුවෙක් මෙන් හදාගන්නෙ අසේල් අසරණ වූ අවස්ථාවෙ ඇයට පිහිට වූ මනුස්සයා. දරුවාව අරගෙන යාමට සූදානම් වුණත්, අන්තිමේදි ඔහු තීරණය කරනවා ඒ පවුලට සතුටින් ඉන්න දීලා ආපහු යන්න. නමුත් ඔහු ඒ නිවසේ ගත කරන රාත්‍රියේ, ඔවුන් තිදෙනාම එකිනෙකා කවුරුන්දැයි හැඳිනුවත්, නොහඳුනනවා වගේ තමයි ඉන්නෙ.



    චිංගිස් අයිත්මාතොව්ගේ දුයිෂෙන්... විවිධ නම්වලින් මෙය පරිවර්තනය කර තිබෙනු මා දැක තිබෙනවා. කොහොම වුණත් අපේ දැවි අංකල්ගෙ "ගුරුගීතය" ට ගහන්න පුළුවන් පරිවර්තනයක් නෑ. කී වරක් කියෙව්වත් මේ කතාව නොහඬා කියවීමට මම අසමත්.
    අර දුම්රියේ ගමන් ගද්දි, දුයිෂෙන් වැනි පුද්ගලයෙක් දැක අල්තීනායි දුම්රිය නවත්වන සිද්ධිය මතකද? ඔන්න මගේ ඇහේ දැනුත් කඳුළු..

    ජමිලා.. චිංගිස්ගෙ තවත් සුන්දර පෙම්කතාවක්. යුද සමයේ තනිවුණු සුන්දර ජමිලා; ඇගේ සැමියා ගෙදරට එවන ලිපිවල කොණක යන්තමට ඇය ගැන සඳහන් කරනවා විතරයි- ඒ දවස්වල සංස්කෘතිය වෙන්නැති. යුදයෙන් ආබාධ වූ සෙබලෙක් වන දනියාර් (මට මතක හැටියට නම එහෙමයි.) සමග ගමේ තිරිඟු මිටි නගරයට ගෙන යන ජමිලා සිය සැමියාගේ මල්ලිත් එක්ක එකතු වෙලා දනියාර්ට ගේමක් දෙනවා. ඉන් පස්සෙ දෙන්නා අතර ගොඩනැගෙන මිතුදම කෙළවර වෙන්නෙ දෙන්නා පැනලා යාමෙන්. ඒ ගැන දැන සිටින මල්ලී ඒ බව හංගනවා. ඔහු ඒ දෙන්නට වඩා හිතවත් නිසා.

    රතු රුවල්- කුඩාකල කිවූ අනාවැකියකට අනුව තමන්ට හිමි සහකරු රතු රුවල් යෙදූ නැවකින් පැමිණෙන බව විශ්වාස කරන තරුණියක්; ඇය දැක ආලයෙන් වෙළී, ඇයව කැමති කරවා ගැනීම පිණිස සිය නැව රතු රුවලින් සරසන නැව්පතියෙක්.. හරි සීනිබෝල. ඒ වුණාට ෂෝයි.

    දැන් බින්දි, මේ පෝස්ට් එක පෙම් කතා ගැන විතරද?

    ReplyDelete
  23. සැරසුනත් ඕනෑම ඇදුමකින් සොදුර තී නම් මනරම්ය (වෙස්වලාගත් තරුණිය)

    ReplyDelete
  24. ආහ් මට යන්ට හිතෙන්නෙ නෑ මෙතන දාලා.. :(

    ReplyDelete
  25. 41 වැනි.... ගෝතකරුමය! :D

    ReplyDelete
  26. [[ඔන්න මගේ ඇහේ දැනුත් කඳුළු]]

    ජිවිතය හඬවන කතාවලින් පලාගොස් යාන්ත්‍රික විද්‍යා කතා වලට ආසා කරන්නට බලපෑ අවංකම හේතුව මේකයි.

    අදටත් මා ලියන කිසිවක කාටවත් කඳුලු එන කොටස් නොමැත්තේ හැමටම කලින් මට ඒ කල යන බැවිනි.

    බුරුමයෙ සිරකරුවෙකු ගන ලියන්නට තමන් විසින් සිරගත වු ලෙඛිකාව සිහි වෙ. ඇයට ඉන් පසු මානසික ආබාධ ඉතුරු වූ බව අසා ඇත.

    ReplyDelete
  27. සුජීව කියා තිබූ කතාව: බෙලායෙෆ්ගෙ කුංචනාද. දක්ෂ විද්‍යාඥයකුගේ මොළය බද්ධ කරන ලද සාපියන්ස් නම් හස්තියාගේ කතාව. මමත් හුඟක් ප්‍රිය කරන කතාවක්. ඇයි අර කරමල් බද්ධ කර, දිය ගොඩ දෙකෙහිම විසිය හැකි පරිදි වෙනස් කෙරුණු තරුණයාගෙ කතාව- උභයජීව? ඒකනම් රුසියානු කතාවක් නොවේ මට මතක හැටියට. නමුත් අර රස්තියාදුකාරයෙක්ගෙ මොළය බද්ධ කරන ලද ෂාරික් නම් බල්ලගෙ කතාව- බල්ලෙකුගේ හදවත, ඒක රුසියානු පොතක්. :D ඒකනම් විද්‍යා ප්‍රබන්ධයක් නොවෙයි, ටිකක් විතර දේශපාලන කතාවක්.

    ReplyDelete
  28. හවස හොරුන් දෙදෙනෙකු විසින් පැහැර ගෙන ගිය මා පැයක් වතුරේ ඔබා තබන ලද අතර ඉන් පසු පරිගණකයද පැහැර ගන්න ලදී . මේ දැන් යලිත් පින්සෙන්ඩු වී ඉල්ලා ගෙන ආවෙමි . කොහොමත් මෙතනට මගේ අවශ්‍යතාවක්ද නැත . කට්ටිය පට්ටාන් ගෙන ඇට්ටි හැලෙන්නටම අදහස් ලියා ඇත . මමත් ඒවා සෙමින් තලු මරමින් සැනසිල්ලේ ඉඳිමි . හෙට දිහාට ස්තුති පත්‍රයක් ලෑස්ති කරන්නට සිතා සිටිමි.
    කල්හාර ..මගේ නමද ලස්ස්සනයි කිව්වේ . ඔය අර කිඹුලෝ දඩයම් කල මනුස්සයාගේ දුවගෙන් ඉල්ලා ගත්තු නම .''බින්දී ද ජන්ගල් ගර්ල් ''

    ReplyDelete
  29. blogger වල නැවතත් කුමක්දෝ දෙයක් සිදුවෙමින් පවතිනවා. ඊයේ සිට සත් සමුදුරේ පැරණි ලිපි බලන්නත් අපහසුවක් තියෙනවා. ගියවරත් මා මහන්සියෙන් ලියූ ලිපියක් ඔවුන් අහිමිකලා. බලමු මොකක්ද ඔවුන් කරන්න හදන්නේ කියලා...

    ReplyDelete
  30. [[කිඹුලෝ දඩයම් කල]]

    මිට වඩා තවත් අපහාසයක් තියෙනවද ඒ මිනිහට කරන්න පුළුවන්? කොහෙද බින්දියේ දඩයම කලේ?

    ReplyDelete
  31. රුසියන් කතන්දරනම් මම එකක්වත් කියවලා නෑ බින්දි අක්කේ . මට මේ සාකච්චාවට එකතුවෙන්න තරම් සාහිත්‍ය දැනුමකුත් නෑ . ඔයා ලියාපු ඒවයින් වැඩි හරියක් මගේ මැටි මොලේට තේරුනෙත් නෑ .

    මම මෙන්න මේක දැනගත්තා ඔයා හොඳට ඉගන ගත්ත කෙනෙක් .ගොඩාක් පොත්පත් කියවපු කෙනෙක් .ඔයා මාර දක්‍ෂයි . දැනටම බ්ලොග් අවකාසේ නමක් දිනාගත්තා .. දිගටම ලියන්න අක්කේ දැන් ආයේ යන්තමටවත් නතර කරන්න නම් එපා .!!!

    ReplyDelete
  32. හෙහ් හෙහ්, බින්දි දන්නවනෙ නේද 'බින්දි' කියන්නෙ නළලෙ තියන තිලකයට කියලා.. :)

    දැන් මං කොතනින්ද ආයෙමත් පට්ටාං ගන්ට ඕනෙ..?? අයිත්මාතව්..?? මගේ ආසම සෝවියට් ලේඛකයා.. සෝවියට් පොත්වල තියෙන දැඩි ප්‍රචාරකවාදි බව නිසා මම ඒතරම්ම කැමැත්තක් නැතිවුනත් අයිත්මාතව්ගෙ පොත් කියවද්දි ඒ බව අමතක වෙනවා.. මම කැමතිම පොත 'සමුගනිමු ගුල්සාරි'.. තනබායි සහ ගුල්සාරි කියන අශ්වයා අතරින් ගලායන කතාව අපට කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් තැනූ සුන්දර සමාජවාදී දේශය මුග්ධ, අධම, උද්ධච්ච නිළධාරින්ගේ නිළධාරිවාදය නිසා බිදවැටෙන ආකාරය මිස වෙන මොකක්ද..?? ඒ දේශය ගොඩනැගීමේ පෙරගමන් කරුවකු වූ අයිත්මාතව්ටම ඒ වගේ කතාවක් ලියන්නට සිදුවීම දෛවයේ සරදමක්ද..?? 'ගුරුගීතය' හා 'ජමිලා' ගැන මං ඉතිං කතාකරන්න ඕන නෑ නේ, ඔය කස්ටිය අපූරුවට කියලා තියෙන්නෙ.. :)

    'පෙරළූ නැවුම් පස', මකාර් සහ දවීදොව්, ෂුකාර් සීයා ගේ පිස්සු වැඩ (මතකද බුවා අහිගුණ්ඨිකයෙක්ගෙන් අශ්වයෙක් මිලදීගෙන වෙන ඇබැද්දිය), කතාව අන්තිමේදි දවීදොව් මරල දැම්මම මට ඇතිවුන දුක අපමණයි.. 'දොන් නදිය නිසලව ගලා බසී' මට කියවන්න ලැබුනේ ඉංගිරිසි පොත, පුංචි අකුරින් පිටුවක කොලම් දෙකකට ප්‍රින්ට් කර තිබූ එකක්, තාම ඇති ගෙදර.. අක්සීනියා හා නතාලියා අතරට මැදිවෙන ග්‍රෙගෝරි, විප්ලවයක්, ලෝක යුද්ධයක් හා සිවිල් යුද්ධයක් අතරට මැදිවෙන ජනජීවිත (ඇත්තටම ඒ මිනිස්සු කොයිතරංනං දුක් විදලා තියෙනවද)..

    ReplyDelete
  33. @සුජීව,

    අයිසැක් ඇසිමෝව් ගෙන් තොර විද්‍යා ප්‍රබන්ධ ලෝකයක් කොහිද නේද..?? මහාචාර්ය වාග්නර් ඉන්නෙ 'අගාධයට ඉහළින්' එකේ නේද..?? අර ලෝකය කැරකෙන එක අඩුවැඩි කරන්න ගිහිල්ලා, ඒක අලවෙලා මහ විනාසයක් වෙන්නෙ, අන්තිමටයි දන්නෙ ඒ ඔක්කොම මෝහනය වීමක් විතරයි කියලා.. :)

    ReplyDelete
  34. මට හැමදාමත් හිතෙන දෙයක් තමා අකාලයේ සමුගත්තේ නැත්තං පුෂ්කින් තව කොයිතරං රසවත් කතා බිහිකරන්න තිබ්බද කියන එක.. ද්වන්ධ යුද්ධවලට සාපවේවා..

    ReplyDelete
  35. උභයජිව එකේ ඉන්නෙත් වාග්නර් [මුල් වචනය වැග්නර්]නේද? යන්තම් මතකයි. පොරගේ ලැබ් එකට යන කොට බල්ලෝ කුරුමිනියෝ වගේ රොබෝ ලා ඇවිදන් ගිය හැටි. අද රොබෝටික්ස් ගැන යු ටියුබ් පාරක් දැම්මොත් මේවා සත්‍ය වෙලා තියෙන බව බලා ගන්න පුළුවන්.

    පොරවල් විද්‍යාඥයින් ඉදිරිපත් කරන්නේ මන්ත්රාචාර්ය වරුන් වගේ. ඇබ්සා එක්සේන්ට්‍රික්.

    ඇසිමෝව් උපතින් රුසියානු උනාට පුංචි කාලේ ඇමරිකාවට පැන ගත්ත ඉංග්‍රීසියෙන් ලිව්වා බුවෙක්. පොත් 500 ක් විතර ලිව්වා. බුවාගේ ටයිපින් ස්පීඩ් ඉතා ම ඉහලයි. එත අදහස් එන වේගේ ඊටත් වැඩි ලු. ඉතින් ඇසිමෝව් මෙච්චර නොදියුණු යුගයක හිටියේ ඔහුගේ අවාසනාවට [අපෙත්]. අදහස් නොලියා අකුරට හරවන දවසක හ්හිටිය නම තව පොත් දහස් ගණනක ලියවෙන්න තිබ්බ කියලයි කියන්නේ.

    හිටියේ ඇමරිකාවේ උනාට ලිව්වේ ඉංග්‍රීසියෙන් උනාට පොරගේ තිබ්බේ රුසියානු කතා කරුවන්ගේ සාරයයි කියා මට හිතේ. බොහෝ දුරට මේ ඔක්කොම චෙකොෆ් වැන්නන් ගේ ආභාෂය විය හැකියි.

    ReplyDelete
  36. සංවාදය ඉදිරියට යන්න ඇරලා මමත් මගේ පාඩුවේ උදේ වැඩ ටික කර ගත්ත . ඒ අතර පහුගිය කාලේ රුසියන් පොත් දිහා ඇහැක් ඇරලා නොබලපු අය මම දැක්ක ගණිත විනෝදය හොයනවා ගේ පුරාම. ගේ පුරාම කිව්වේ අපේ ගෙදර ඒ හැටි පිළිවෙලක් ඇති එකක් නොවෙන නිසා .සෙරෙප්පු සපත්තු හැර අනික් දේවල් ඕනෑම දෙයක් ඕනෑම තැනක තිබිය හැකි නිසා . අපි සේරම අපිළිවෙල නිසා කාටවත් ඕක ඒ හැටි ප්‍රශ්නයක් නැහැ . අමුත්තෙක් එන වෙලාවට විනාඩි පහේ හදිසි මෙහෙයුමක් දාල සාලය යතා තත්වයට ගන්නේ අවුරුදු පහේ පුංචි බනී තමයි. මම මේ කියන්න ගියේ ඒ වගේ අයත් යලිත් රුසියානු සාහිත්‍යට ඇද ගන්න අපේ මේ සංවාදය සමත් වීමයි වඩා සතුටු .
    සඳරු මල්ලි... මම ගැන දීපු වර්ණනාවට මට ගොඩක් සතුටුයි . මේක මගේ දක්ෂ කමට වඩා වාසනාව .සාමාන්‍යයෙන් මම ටිකක් කම්මැලි ..ටිකක් වෙනස් විදියට හිතන්න කැමති ..යාළුවො ගොඩක් ඉන්න ...අධ්‍යාපනය නම් මන්දා ..පොඩි විද්‍යා උපාධියකුයි මගේ රැකියා පුහුණුවයි ඇරුනම ඉතිරි සියල්ල ජිවන තක්සලාවෙන් තමයි . දැන් ළමයින්ට තියෙන අද්යාපන සුදුසුකම් එක්ක ඒවා හරි සුළු දේවල් .මන් ගැන ගොඩක් ලියන එක හරිත් නැහැනේ.මුලින්ම බුරා බුලත් කන්න ඇවිත් දාපු කමෙන්ටුව තමයි මුල්ම ගිනි පුපුර. බුරතිනෝ කියන නම රුසියන් පොතක දුටු බව කිව්වම ඔන්න බුරා ...නලිනි ...TG තමයි මේක පැහැදිලි කරලා තව තව ලියන්න පෙට්රෝල් දුන්නේ.
    එතැන් සිට වෙච්ච දේ දන්නවනේ.
    බුරා.....වටුවයි ..අලියයි ..වඳුරා ගෙයි කතාව දන්නවනේ. රුසියන් සාහිත්‍ය ගැන මතකය කියන නුග ගහ ලඟදි නලිනිටයි ඔයාටයි TG ටයි වටුවන් ගේ තැන දෙන්න කැමතියි. මට වඳුරාගේ place එක හරි අලියාගේ පාට් එක හරි තමයි හිමි.
    නලිනි තරහද වටුවා කිව්වට ..තුන් දෙනාටම ගොඩක් ස්තුතියි මටත් අනික් අයටත් ඔබේ මතක බෙදා දුන්නට . ඒ ගැන වචනයෙන් කියන්න දන්නේ නැහැ .
    සුජීව ..ඔබටත් දිගින් දිගටම අලුත් දේවල් ලියමින් සංවාදයේ යෙදෙන ඔබත් විශේසයි .
    විද්‍යා පොත් ටික අමතක වෙලා තිබ්බේ . ''මිනිසාගේ සම්භවය '' අමතක වූ බව මතක් කලේ ගෙදර අය.
    කිඹුලෝ දඩයම් කළා ලිව්වේ ''ක්‍රොකඩයිල් හන්ටර් '' අමුවෙන්ම සිංහලට හරවලා . ..වැරදියි තමයි දෙය්යනේ . බින්දිගේ කතා මාලාවක් තියෙනවා. ලංකාවේ අලි ඉන්න කොටසකුත් සමග. දු ආස වෙයි.
    ඔය අස්සේ ''පොත්කියවන අය'' කියල මේල් එන්න පටන් ගත්ත . ඕපන් වෙන්නෙත් නැහැ . බලන කොට අපේ ආගිය කතා වේ හසිත මලය මාව මුණු පොතේ ඒ කණ්ඩායමට ඇතුල් කරලා .ස්තුතියි හසිත ලොකු පින් වැඩක් ඒක.
    අයිසැක් ඇසිමෝව් ගැන වැඩිදුර කියවන්න මෙතනින් යන්න
    http://en.wikipedia.org/wiki/Isaac_Asimov
    නලිනි අද ඔයාගේ කමෙන්ට් හරි රසවත් .හදවතින්මයි ලියා ඇත්තේ . මම ආසයි ඒ රටාවට. කතා වලින් බාගයක්ම ලියලා. හිතෙනවද මේ පොත් ගැන වෙනම ලිව්වා නම් හොඳයි කියලා . මේ විදියත් හොඳයි නේද . හැමදෙ ගැනම ටික ටික ..සමහර විට කවද හරි වෙනවෙනම ලියන්න.
    ඒ ඇරුනම පිනි බිඳු...පොඩි ....නිතා ...කතන්දර ..සඳරු ...දිනේෂ් ..කල්හාර ...ඔයාල හැමෝටම ගොඩක් ගොඩක් ගොඩාක් ...ස්තුතියි.
    කවදාවත් බ්ලොග් නොකියවපු මගේ යාළුවො ගොඩක් මේක රස විද ගිය බව මා දන්නවා. කමෙන්ට් ලියන්න වෙලාවක් නැතුව ..සමහර අය සිංහලෙන් ලියන්න එච්චර හුරු නැති නිසා මුකුත් නොකියා ගියා. මට විවිද පරාස වල යහළුවන් සිටින නිසා මේ නිසා ඉබේම විශාල පිරිසක් බ්ලොග් හඳුනා ගත බවත් ඔවුන් අනික් බ්ලොග් කියවීමටත් දැන් උනන්දු බවත් පවසන්නේ මහත් සතුටින්.
    කතන්දර ඊට පස්සේ බස් එකක නැගල ඔරුවල ගියාලු වානේ බලන්න. ඒ කාලේ ඒක වැඩනේ.

    ReplyDelete
  37. පෙරළූ නැවුම් පස...
    පුංචි කාලෙ (7-8 පන්තිවල ඉද්දි) මේ පොත කියවනකොට ඇති වුණු සිතුවිලි, තේරුම් ගත් දෑ නෙවෙයි පසු කාලෙක වැඩිහිටියෙක් ලෙස කියවනකොට තේරුම් ගත්තෙ. හුදෙක් සමාජවාදී රුසියාව වර්ණනා කිරීමක් නොව, ඒ ක්‍රමයේ ඇති යම් යම් අඩුපාඩුත් එහි වචන අතර ගැබ් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සමූහ ගොවිපොළ, පොදු දේපොළ කියන සංකල්පය. හැම කෙනාම සතුන් රැක බලා ගන්නෙ, සාත්තු කරන්නෙ එකම කැප වීමෙන් නොවෙයි; එහෙම වුණාම ඒ සතුන් දුක් විඳින හැටිත් කතාවෙ විස්තර කෙරෙනවා. පෞද්ගලික දේපොළ ආරක්ෂා කර ගැන්මට තියෙන උනන්දුව පොදු දේපොළ ආරක්ෂා කිරීමට නැහැ; එතනදි පෙර ගමන්කරුවන් මුහුණ දෙන අර්බුදය.

    සමුගනිමු ගුල්සාරි... බුරතීනෝ කිව්වා වගේ හදවතට ආමන්ත්‍රණය කරන පොතක්. එතෙන්දිත් අර මම ඉහත කිවු කාරණාව පැහැදිලි වෙනවා. අශ්වයාට ඉන්න ලැබෙන්නෙ ඌට ආදරේ කරන කෙනා සමග නොවෙයි; ඌ තවත් පොදු දේපලක් පමණයි. (මේ කතාවත් ටිකක් ජැක් ලන්ඩන්ගෙ වනපෙත හඬගසයි කතාව වගේ නේද?)

    මක්සිම් ගෝර්කිගෙ කථා මාලා- කෙටි කතානම් බොහොමයි. ළමාවිය, මගේ සරසවි, මිනිසුන් අතර යන නවකතා ත්‍රිත්වයත්, අම්මා නවකතාවත් බොහොම දෙනෙක් කියවලා ඇති. මේ කතා කන ගමන් කියවන්න අපූරුයි- පෙරළුණු පිටුවක ඉඳන් ඔහෙ කියවගෙන යන්න පුළුවනි. හිතට වැදුණු කොටස් කිහිපයක් ගැන කතා කරනවනම්: ආච්චිගේ දෙවියන් සහ සීයාගේ දෙවියන් අතර ඇති වෙනස- ආච්චිගේ දෙවියෝ බොහොම කාරුණික කෙනෙක්; ආච්චි තමන් දන්න විදිහට දෙවියන්ට කතා කරලා, ඔහු කළ යුතු දේ ගැන දෙවියන්ට උපදෙසුත් දෙනවා: "දෙවියනි, ඔබ වහන්සෙ මෝඩ මිනිහෙක් වෙන සීයාට අනුකම්පා කරන සේක්වා; සාෂාට මොළේ පාදන සේක්වා..." නමුත් සීයාගෙ දෙවියො එහෙම ඇක්සසිබල් දෙය්යෙක් නොවෙයි; ඔහුව යැදීමට ආගමික පතපොතේ ඇති නිවැරදි යාතිකා අවශ්‍යයි; ඔහු ඉන්නෙ මිනිසුන්ගෙ වැරදි සොයා බලා දඬුවම් දීමට.

    ට්සිගනොක්..... මට ඇඬෙන නිසා මම ඔහු ගැන කියන්නෙ නෑ; ඇයි අර ඇස් අඳ වේගෙන යන ශිල්පියා?

    දැන් වුණත් පාරෙ ඔරලෝසු කාර්මික ශිල්පීන්ගෙ කඩයක් දකිනකොට මට මතක් වෙන්නෙ මක්සිම් විස්තර කරන ශිල්පීන්: "සියළු යාන්ත්‍රික වැඩ කරදෙනු ලැබේ." මේ දෙදෙනා සියළු වැඩ දත් අයය...

    දක්ෂ කොළුවකු වූ පමණින් සරසවි යා හැකියයි සිතන මක්සිම් නගරයට ආ කල, ඔහු නවතින ගෙදර අම්මා, කුස්සියේ අසීරු ගණිත ගැටළුව, එනම් කුඩා මස් කැබලි කිහිපයකින් හොඳට වැඩුණු තරුණයන් තිදෙනෙකුට ආහාර සපයන්නේ කෙසේදැයි සොයන අයුරු..

    ReplyDelete
  38. @සුජීව,

    උභයජීව එකේ ඉන්නෙ වාග්නර් නෙවෙයි නේ, ආචාර්ය සල්වාතර් නේ.. උභයජීවගෙ නම ඉක්තියැන්දර් (ගුතීරා කියන්නෙ මගෙ පෙම්බර ඉක්ති කියලා)..

    ReplyDelete
  39. @බුරා;

    ඔබ හරි. අමතක වෙලා පටලවිලා. මදැයි.

    @නලිනි;

    ඇනට් දැකලා එපා වෙලා. අලුත් එකක් ලියමුකෝ. වන් මෝ.

    @ළමයිලා;

    හෙට තියෙන විබාග දෙකට කෙල වීමේ වගකීම ඔබේ සාක්කි ඉදිරියේ බින්දී ට පවරනු ලැබේ. හෙටින් පසුව එළඹෙන නව නිදහස් යුගයේ ඇවිදීම, සංචාරක සටහන් ලිවිම, කෙටිකතා ලිවිම, කවි ලිවිම වැඩි කිරීම, අර නල් ඩිවයිස් එකට වල් පල් ලියන එක, ගෙදර තියෙන පොත් ටික කියවීම යන කාරනා ගොඩට රුසියානු පොත් ද එකතු කල බව මෙයින් දැනුම දෙන්නෙමි.

    දවස් දෙකකට අනිවාර්ය නිවාඩු ඉල්ලුමකුත් මේ සමග ඒවා ඇත. විබාග දෙකට පාඩම් කරන්න දවසයි, ලියන්න දවසයි. අනුමැතිය ලැබේ යයි සිතමි.

    සැමට ජය.

    ReplyDelete
  40. @සුජීව,

    විභාගයට ජය පතමි.. ඕවා ඉවරකොරලා එන්ටකො අපි අර දිවි/කොටි විවාදය පට්ටාං ගන්ට.. :)

    ReplyDelete
  41. මුහුණු පොතේ ඉන්නවනම් මෙන්න මේ ගෘප් එකට සෙට් වෙන්න.

    http://www.facebook.com/home.php?sk=group_134123179997191

    ReplyDelete
  42. මුණු පොතේ නම් ඉන්නවා. මෙහෙන් ලොග් වෙන්න අමාරුයි . බයි චාන්ස් තමයි. චිනේ ලඟයි අපි ඉන්නේ !!!
    ගිය වෙලාවට බලන්නම්

    ReplyDelete
  43. විභාගේ ඉවරයි වගේ.වැඩට ඇවිත් ඉන්නේ

    ReplyDelete
  44. @නලිනි
    දැන් තමයි දැක්කෙ බුලත් කන්න ඇවිත් ඔයා කොලඹ ඉන්නව කිව්ව කතාව . එහෙනම් නම් මුණ ගැහෙමුද ? මම කොලඹ ජුනි 7 ඉඳන් ජුනි 11 උදේ වෙනකන් .ගොය්යෝ රවුමක් ගහන්න වෙලාවක් නැතිවෙවි , ඩිනර් ,කොෆි , ලන්ච් වගේ දෙයක් සමග බුලත්විටක් හපමුද ?

    ReplyDelete
  45. විභාගේ ඉවරයි එකක් ෂුවර් ෆේල් අනික යන්තම් තමයි පාස් උනොත්. මට මොකද? ඇණ මිටිය ගොඩ දැමීම හැරුණු විට ඉතිරිව ඇත්තේ පෙරට වඩා හොඳ කාලයක්.

    ReplyDelete
  46. මම ඔයාගේ අලුත් පෝස්ට් එක බලල මේ කමෙන්ට් එක මේකේ දාන්නෙ ඔයා දාලා තියන අලුත් පෝස්ට් එකේ දාන්න ලෝබ හිතුනා කැතවෙයි කියලා හිතුන නිසා ........

    බොහොම ස්තුතියි මාවත් මතක් කරලා කවියක් දැම්මට ........

    අකුරක් නෑර කියෙව්වා හැම කවියක්ම, කියන්න වදන් නැහැ මම ඔයාගේ පෝස්ට් වලින් දැනට තියන ආසම පෝස්ට් එක තමා ඒක....

    තව කවි ලියන්න .......
    හදවතින්ම කියන්නෙ ආසාවෙන් කියවනවා .......

    අකැමති නැත්නම් ෆේස් බුක් අයි ඩී එක මේල් කරන්න මට calhara@gmail.com (එව්වෙ නැහැ කියලා කිසිම තරහක් හිතේ නැහැ හොඳේ)

    ReplyDelete
  47. http://www.oldrussia.net/vas.html

    ReplyDelete
  48. @ Ano

    Thank you for the link.

    ReplyDelete
  49. රුසියානු සාහිත්‍යය හා අපේ රටේ බෙදු [සුන්දර] රුසියන් තෙල් පොත් ගැන අප වගේම කතාකරන තව කට්ටියක් හමු උනා. අපේ කට්ටිය අත ඇරියේ චිත්ත රුප නේ. මේ ගොල්ලන් නම් ඇත්ත රුප එහෙමත් දාලා තිබ්බ.

    මෙන්න ගොඩ වැදී නරඹන්න.

    http://mathawaada.blogspot.com/2010/04/russian-illustrations.html

    http://www.flickr.com/photos/29278394@N00/2586830829/in/set-72157605667625141

    ReplyDelete
  50. අනේ මේ සංවාදයට මම පරක්කු වැඩියි. ඒ උනාට බින්දි මමත් පොත් ගුල්ලෙක් නිසා මට මේක නොකියවා ඉන්න බැරි උනා. මම ආයෙත් පාසැල් කාලෙට ගියා වගේ දැනුනා. මේව අතරෙ හිර වෙලා හිටිය කාලෙ රුසියාවට යන්න තිබුන ආසාවටම තාත්ත වරක් සැම්බියාවට යන ගමන රුසියාව හරහා යන විදිහට අපිට හදල දුන්න. අනේ මම හිතෙන් කොච්චර පින් දුන්නද? අපේ තාත්තට එදා. ලස්සනට හිමවැටිල සුදෝසුදු හිම මත සෙල්ලම් කරමින්, දින දෙකක් ගතකලා. රතු චතුරශ්‍රය, ලෙනින් ප්‍රතිමාව, කලාගාරය, හැම දෙයක්ම බොහොම ආසාවෙන් නැරඹුවා. දැන් නම් හීන වගේ මතක. ඒ උනාට හරිම සුන්දර මතකයක්. මේ වගේම බ්‍රොන්ටේ සහෝදරියන්ගේ පොත්වලටත් මම ගොඩක් ආසයි. ඒ උනාට තාමත් එංගලන්තයට නම් යන්න බැරි උනා. ඩීන් මල්ලිගේ බ්ලොග් එකෙන් තමයි මටත් ඔයාව හමු උනේ නංගියේ. හරිම සතුටක් හදුනා ගන්නට ලැබීම ගැන. ස්තූතියි! මේ මතක දිග හැරුමට.

    ReplyDelete
  51. ස්තුතියි අක්කා ...ඔයා හරි වාසනාවන්තියෙක් ..රුසියාවට යන්න ලැබුණු. අනේ ඒ ගැන ඔයාගේ පිටුවල ලියන්නකෝ.

    කොයි කාලේද. ප්‍රතිසංස්කරණ වලට පෙරද. සැම්බියාව ගැනත් ලියල තියේද . මට තාම පරණ පොස්ට් ටික බලන්න බැරිවුනා. නැත්නම් ලියන්න ..වැඩිය කවුරුත් නොගිය රටවල් ගැන ලියන එක හරි වටිනවා. මටත් කියන්න තියෙන්නේ ඔයා හමුවීම මගේ වාසනාවක් කියලයි

    ReplyDelete
  52. හරි ශෝක්!
    මේක ලියපු බින්දිවය් කමෙන්ට්ස් ලියපු අනෙක් හැමෝවමය් බදා ගන්න හිතෙනවා. (ග්‍රාම්‍ය විදියට කිව්වට සමාවෙන්න).
    මමත් ඔය රුසියන් පොත් වල ආදරවන්තයෙක්. හැබැය් මම හිතන් හිටියේ මං ඔය රුසියන් පොත් (සිංහලට පරිවර්තනය වූ) ඔක්කොම ටික කියවල තියෙනව කියල. දැන් බැලුවම මම නොකියවපු පොතුත් තියෙනව. ඔයාලට අමතක වෙච්ච තව හොඳ පොතක් තියෙනව. (හොඳ වෙලාවට. නැත්තන් මට ලියන්න කමෙන්ට් එකක් නැති වෙනව). ඒ තමය් ඇන්ටන් චෙකොව් ගෙ "තුන් අව්රුද්ද". මතක නැද්ද අලෙක්සේය් ලාප්තෙව් සහ යුලියා. අලෙක්සේය් යුලියාට ආදරය ප්‍රකාශ කරන්නේ හදිස්සියේම. යුලියා හුඟක් කලබලවෙනවා. බයවෙනවා.
    --ඈ තිගැස්සී මවිතයෙන් සහ බියෙන් යුතුව ඔහු දෙස බැලුවාය. "අනේ, අය්යෝ, ඔබ මොනවා කියනවද!" ඇය පැවසුවේ සුදුමැලි වෙමිනි. "එය කල හැකි දෙයක් නොවෙය්. මම ඔබට සහතික කරන්නම්. සමාවෙන්න."--
    ඒත් පස්සේ දෙන්න කොහොමින් කොහොම හරි බඳිනවා. පස්සේ කාලෙක, වැඩි කාලෙකුත් නෙමෙය්, තුන් අවරුද්දකින් පස්සේ දෙන්නම ජීවිතේ දිහා බලන්නේ වෙනස් ආකාරයකින්. කතාව හරිම සහිත්‍යත්මකය්. ඒ වගේම මනොවිද්‍යත්මකය්. ඒකෙත් පරිවර්තක දෙදිගම වී රුද්‍රිගු මැතිදුන්මය්.
    තව ඔයාල සිරිල් සී. පෙරේරා මහත්තයට දුන්නු තැනත් මදි වගෙය්. මොකද රුසියන් සාහිත්‍යය සිංහල පාඨකයන්ට හඳුන්වාදෙන්න එතුමත් විපුල සේවයක් කලා. මේ ලය්ස්තුව එතුමන් පරිවර්තනය කල රුසියන් කෘති.
    යුද්ධය හා සාමය - ලියෝ තොල්ස්තොය්
    කරමසෝ සහෝදරයෝ - ප්යෝදෝර් දොස්තොව්ස්කි
    මළ මිනිස්සු - නිකොලොය් ගොගොල්
    පෙරළු නැවුම් පස - මිහය්ල් ශෝලොහොව්
    ජීවිතයේ සරල කතාවක් - නිකොලොය් එව්දොතිමොව්
    පිස්සු තරුණයා දුටු විකාර සිහිනය - ප්යෝදෝර් දොස්තොව්ස්කි
    දුප්පත්කම - ලියෝ තොල්ස්තොය්
    මිනිසා ජීවත් වන්නේ කුමකින්ද - ලියෝ තොල්ස්තොය්
    ඉස්කෝප්ප පොරොව - ඇලෙක්සැන්ඩර් පුෂ්කින්
    පොතය් මමය් - මැක්සිම් ගෝර්කි
    මලක සුවඳ යුග ගණනක් ඇසේයා - මැක්සිම් ගෝර්කි
    මකර රාක්ෂ (නාට්‍ය පිටපතක්) - යෙව්ගිනි ශ්වන්ත්ස්
    මෛත්‍රී කරුණාව - ලියෝ තොල්ස්තොය්
    පේමතෝ ජායතී සෝකෝ (ක්රෝඑට් ස සොනාටා) - ලියෝ තොල්ස්තොය්
    ඔය ලය්ස්තුවේ මුල් පොත් හතරම මහා විසාල පොත්. එහෙම බැලුවහම එතුමා කරපු සේවය සුළුපටු නොවෙය්.

    තව "උභය ජීව" ගැනත් වැඩි සැලකිල්ලක් දක්වල නැති හැඩය්. ඇලෙක්සැන්ඩර් බෙලයෙෆ් ගේ "THE AMPHIBIAN" කෘතිය සිංහලට නගපු ලේකඛයගේ නම දැන් මතක නැහැ. ඉක්තියන්දර් සහ ගුතීරා ගේ කතාව හරිම රසවත්. නිකම්ම විද්‍යා ප්‍රබන්ධයක්ම නෙමෙය්. ලස්සන ආදර කතාවක්. බැල්තසර්ගේ නැතිවූ පුතාද, ඉක්තියන්දර්? කොහොම උනත් අන්තිමට ඇසට කඳුලක් නගන කතාවක්.

    තව දෙයක් මතක් කරදෙන්න කැමතී. ඒ තමය් රුසියානු සාහිත්‍යයේ පතාක යෝධයෝ හිටියේ 19 වැනි සියවසේ. වරක් ජෝසෆ් ස්ටාලින් සාහිත්‍ය මණ්ඩලයක් පත් කරලා ශ්‍රේෂ්ටතම රුසියන් ගත් කතුවරයා තෝරන්න කිව්වලු. ඒ මණ්ඩලය දෙන්නෙක් තෙරුවලු. ඒ දෙන්නම කරට කර. ඒ තමා ලියෝ තොල්ස්තොය් සහ ප්යෝදෝර් දොස්තොව්ස්කි. මේ තීරණය ස්ටලින්ට දන්නල දෙන්නගෙන් වඩාත් හොඳ කෙනා තෝරන්න ස්ටලින්ටම දුන්නලු. ස්ටලිනුත් හොඳ සාහිත්‍ය කාමියෙක්. එයා තෝරාගෙන තියෙන්නේ දොස්තොව්ස්කිව. හේතුව රුසියාවේ අන්ත අසරණ දිලින්දන්ගේ ජීවිත වඩා තාත්විකව ප්‍රතිනිර්මාණය කලේ දොස්තොව්ස්කි වීමය්. හුඟක් වෙලාවට තොල්ස්තොය් ප්‍රතිනිර්මාණය කලේ රදලයන්ගේ ජීවිත. මේ කරුණ තිබුනේ සිරිල් සී පෙරේරා පරිවර්තනය කල කරමසෝ සහෝදරයෝ කෘතියේ ප්‍රස්ථාවනාවේ.

    ReplyDelete
  53. රුසියන් පොත් රසවිඳින හැමෝම මේ සින්දුවටත් කමතිවෙය්. යු ටියුබ් එකෙන් රසවිඳිමු.

    http://www.youtube.com/watch?v=TRewRYxOYmw&feature=related

    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බලලය්කවද වයමින් තුටින් යමු මාවතේ

    ReplyDelete
  54. @ පොත් ගුල්ලා ..

    විශාල කමෙන්ටුවට කොහොම ස්තුති කරන්නද මන්ද. අමතක වෙච්ච පොත් ගොඩක්. ඇත්ත සිරිල් සි පෙරේරා හටත් අපි ස්තුති කළා මදි. ඔහුටත් අපේ උපහාරය හිමි විය යුතුයි. හැබැයි මන් වැඩියම කැමති දැදිගම මාමගේ සුමට රසවත් පරිවර්තන වලට. අනික් පරිවර්තකයෝ නරකයි නෙමේ. එයින් කියවෙන්නේ නැහැ ඔවුන් කල සේවය මදි කියල. යුද්ධය හා සාමය වගේ පොතක් කියවන්නම යන වෙලාව ගත්තම ඒවා සිංහලට පෙරලන්න කොයි තරම් කැප කිරීමක් කරන්න ඇද්ද.

    උභයජීව ...හරි ලස්සනයි. නිකන්ම රළු විද්‍යා ප්‍රබන්ධයක් නෙමේ. ආයි කියවන්න ආසයි. ඊ ළඟ පාර එනකොට පරිප්පු ටිකක් අඩු කරලා හරි පොත් ටිකක් වැඩිය ගෙන්න ඕන .

    සින්දුවත් අපුරුයි. ස්තුතියි මතකය අලුත් කලාට. සහ ලින්ක් එක බෙදා ගත්තට

    ReplyDelete
  55. හප්පුච්චේ අද ලිව්ව පෝස්ට් එකට ෆොටෝවක් හොයන්න කපිතාන්ගේ දියැණියෝ කියලා සර්ච් කලාමනේ මෙතැනට වැටුනේ. මෙතනනේ රුසියාව තියෙන්නේ. සෙනසුරාදා අපේ ඔෆිසියේ හමුවට එන ඔෆිස් හමුදාවගේ ළමයි හමුදාවට නත්තල් තෑගි දෙන්න මං මේ පොත් සේරම වගේ ගත්තා. මෙදා පාර මට නමක් වැටිලා තමයි නවතින්නේ රුසියාව කියලා........ :)පෝස්ට් එක නියමයි ‍සහෝදරි. හරිම වටිනවා.

    ReplyDelete
  56. @රන්දිල් ..

    ස්තුතියි රන්දිල්

    ReplyDelete
  57. අනේ මේ පොස්ට් එකය් කොම්මෙන්ට් ටිකය් දැක්කම වැඩ ඔක්කොම පැත්තක තියල නිකන්ම හිත අතීතෙට ගිය..මාත් ආදරේ කරන්න ගත්තේ රුසියන් පෙම්වතුන්ට 6 පන්තියේ ඉඳන්.. හතලිස් එක්වනිය කතාවේ සුනිල්වන් ඇස් ඇති යක් පැටියව තාම මතකි, කාලයක් හීන මැව්වා රතු රුවල් එකේ අසොල් ට වගේ කුමාරයෙක් එනකන්..බලනකොට අපි හැමෝගෙම මුල් පොත අම්මා ..තව බෙල්කින්ගේ කතා , kapithange diyaniyo.. අපි ඔක්කොම මේවට කොච්චර ආදරේ කලද.. මේ අතරේම edward mallawarachchi, කරුණාසේන ජයලත්, කුලසේන ෆොන්සේකා වත් අත ඇරියේ න ඉතින් .. අත ඇරුනේ පාඩම් පොත් තමය් ගොඩක් :). පස්සේ පස්සේ මල් කතා කියවන්නත් පුරුදු උනා.. මෑතක ඉඳන් ෆිල්ම් බැලුවට පස්සේ ආස හිතිලා jane auston ට වගේම stephanie mayer සහ nicholas sparkes ටත් වහ වැටුන.. හැබය් මේ දවස්වලනම් මේ ගොඩට අලුතෙන්ම වැටිලා ඉන්නේ මහා රචක රවී අය්යා තමා.. :) . අක්කට ගොඩක් පින් මේ අතීතේ ආඊ මතක් කළාට..

    ReplyDelete
  58. හරි හරි ඔන්න ඔයත් පරණ මතක පෙට්ටගමේ හිරවෙලා නේද . ඔයත් මන් ජාතියේම වගේ. ආයිත් අහල රවී අය්යාගේ කතන්දර කියවල මන් තව පොඩ්ඩෙන් ළමයින්ටත් ඒ භාෂාවෙන් කතා කරනවා

    ReplyDelete
  59. මම මේ නෙලුම් විලේ ඔරු පදින්න පටන් ගත්ත විතරයි කෙළවරක ඉඳන්. කමෙන්ට් නොකර කියවගෙන යන්න හිතුවත් මේ පෝස්ට් එකට නම් මොකුත් නොලිය යන්න හිත දෙන්නෙ නෑ :) මං වගේම ආපහු මුල ඉඳන් කියවගෙන යන කෙනෙකුට මේ කමෙන්ට් එකෙනුත් වැඩක් වෙන්න පුළුවන්නෙ :)

    'නිහඬ හිමිදිරි' කියන්නෙත් හරිම සංවේදී රුසියන් පොතක්. පරිවර්තකය දැදිගම මහත්තය විය යුතුයි. හරියටම මතක නෑ. කෙටියෙන් කතාව දාන්නම් කට්ටියට මතක වෙයිනෙ :)

    රුසියන් නිලධාරියෙකුට සිද්ද වෙනව ජර්මානුවන්ට එරෙහි මෙහෙයුමකට (ඔත්තු බැලීමකට ද කොහෙද) යන්න. හැබැයි එයාට සහයට ලැබෙන්නෙ කාන්තා සෙබලියෝ කිහිප දෙනෙක්. නිලධාරිය මේකට කැමති නැති උනත් අන්තිමේ යන්න සිද්ද වෙනව. හැබැයි මෙයාල අතරේ කිසි සහයෝගයක් නෑ. සෙබලියෝ කීපදෙන අතරේ උනත් කිසි මිත්‍රත්වයක් නෑ. එකිනෙකා තරහයි. ඇනුම්පද ලෝකයයි. ඒත් අන්තිමේදි සතුරු අඩවියට යන මේ අය අතරෙ එකිනෙකා වෙනුවෙන් තමන්ගේ ජීවිත අනතුරේ හෙලා ගන්න තරම් දැඩි බැඳීමක් පරිත්‍යාගශීලී කමක් ඇති වෙනව. මේ හැමෝටම තමන්ටම වෙන්වුණු දුක්ඛිත ජීවිත කතාවකුත් තියනව. අන්තිමේදි කාන්තා සෙබලියො ඔක්කොම සතුරු ප්‍රහාර වලින් මැරෙනව. නැත්නම් අනෙක් අය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පුදනව. අවසානෙට ඉතුරු වෙන්නෙ නිලධාරිය විතරයි. එයා බරපතල තුවාල සහිතව බේරෙනව (කකුලක් නැති වෙනවද මන්ද - මතක නෑ). කතාව ගලාගෙන යන්නෙ මේ නිලධාරිය තමන් අරන් හද ගත් පුතාට කියන විදිහට. මේ පුතා වෙන කවුරුවත් නෙවෙයි එදා මිය ගිය එක සෙබළියකගෙ පියා අහිමි දරුව. මට මතක විදිහට ඇය නිසා තමයි නිලධාරියගෙ ජීවිතේ බේරෙන්නෙත්.

    මම මේක ලියපු විදිහට නම් මේකෙ සංවේදී බවක් පේනවද මන්ද. ඒත් කියවල බලන්නකො හරිම ලස්සනයි.

    'අඳ වාදකය' කියන්නෙත් තවත් ලස්සන පොතක් :)

    බින්දීටයි අනික් හැමෝටමයි ගොඩක් ස්තුතියි මේ පෝස්ට් එකට :)රුසියන් පොත් කියවන්න අදටත් මං හරි ආසයි.

    ReplyDelete