Wednesday 13 July 2011

Pierre Auguste Renoir -''චිත්‍රා '' ට ඉර ඇබින්දක්





කව්ද මේ පියරේ ..සහ චිත්‍රා . ඔන්න ආදර කතාවක් හෙම නෙමේ . මේ පියරේ කියන්නේ අඳුරු කාමර වල හිරවී සිටි චිත්‍ර කලාව එළිමහනට ගෙනියන්න පුරෝගාමී වෙච්ච ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් .

   
ඔන්න මට බනියිද කට්ටිය කවි අතහැර චිත්‍ර ගැන කතා කරනව කියල .
ඒත් මන් ආස කර්මාන්ත ගැන ලියන්න කැමතියි නොදන්නා දේවලට අත දාල සවුත්තු වෙනවට වඩා . මේක හදිසියේ ගත්තු තීරණයක් . මුණු පොතේ ''ඇඳපු චිත්‍ර පිටුවට ලියන්න හිටපු එකක් . ඒත් මගේ ටිකිරි මොලය කිව්වා ''දඹුලුත් ගිහින් තලගොයිත් මරා ගන්න'' විදිහ .

මන් දන්නවා හොඳ චිත්‍ර ශිල්පියෝ මේ පැත්තේ එනවා . අනික ''ඇවිදින පුස්තකාල'' වලත් මේ ගැන පොත් හෙම නැතැයි. ඒ දෙකම නැතත් පියරේගේ කතාව රසවත් .

විහාර මහා දේවී එක ළඟ චිත්‍ර අඳින තරුණයෙක් දැක්කම මොකද හිතෙන්නේ . ඇත්ත සමහරුන්ට නම් ඔහු පිස්සෙක් වගේ පේනවත් ඇති . මොකද අපේ සමහර ය තවම 19 වන සියවසටත් ඈතින් ජිවත් වෙන නිසා . ඒත් සාමානය ලෙස පරිනාමය වුන ඕනෑම කෙනෙක්ට අර තරුණයාව අගය කරයි . එක්කෝ දැක්කේ නැහැ වගේ ඉඳියි .

දන්නවද මේ පියරේ උපන් 1841 කාලේදී යුරෝපේ තත්වය . ''පිස්සු යකෙක් '' ''ඔල්මාදකාරයෙක් '' කියල මුනටම කියන සමාජයක් . මොකද චිත්‍ර කියන්නේ කලාගාර වල් ඇතුලේ කරන කලාවක් කියල සම්මත වෙලා තිබුන නිසා .

මේ පොඩ්ඩට අවුරුදු හතරේදී තමයි පවුල පැරිසියේ රජ මාලිගය ළඟ ගෙයක පදිංචියට ආවේ . ඒ කාලේ රැජින රජ ගෙදර මිදුලේ සෙල්ලම් කරන ළමුන්ගේ කරච්චලෙන් බේරුනේ රසකැවිලි විසි කරලලු .[ අදත් ඕක වෙනවනේ නැද්ද ]

ටේලර් කෙනෙක් වෙච්ච තාත්තගේ මැහුම් කඩේ බිත්ති ..පොලව හෙම පුංචි පියරේගේ රටහුණු චිත්‍ර වලින් අලංකාර වෙද්දී තාත්ත පියරේට සත්තමක් දැම්ම නම් අද මට මේ ලිපිය ලියන්න වෙන්නේ නැහැ.
අවුරුදු 15 ක්වෙන්නත් කලින් පිඟන් වල රටා අඳින රස්සාවක් ඔහුට ලැබුන . කවුද මැසිමක් හොයා ගත්ත ඒ රුප මුද්‍රණයට . පියරේ රැකියා විරහිත වුනා . ඒත් මගේ හොඳ  වෙලාවට . ඊට පස්සේ යොවුන් පියරේ චිත්‍ර පාසලක ට ඇතුළු වුනා .


පියරේ සහ මිත්‍රයන් කතා වුනා ඇයි හැමදාම කාමර ඇතුලේ අඳින්නේ ...එලියට ගිහින් ඇන්දොත් මොකද වෙන්නේ කියල . කතාවෙන් නතර නොවී එලියට ගියා මේ පිරිස .
අද අපිට ඒ අදහස පරණ වුනාට එදා එය විප්ලවයක් . ''පිස්සෝ '' මිනිස්සු හිනාවුනා . වරක් සෙන් ගඟ ලඟදි පියරේ ඔත්තු කාරයෙක් කියල ගඟට විසි කරන්න හදද්දී  දන්නා කියන කෙනෙක් ඇවිත් බේරා ගත්තලු .


ඔන්න ඔහොමයි චිත්‍රා පියරේ එක්ක ලඳු කැලෑවල...ගං ඉවුරුවල විතරක් නෙමේ මගතොට මිනිස්සු එක්ක ඇවිදින්නත් පුරුදු වුනේ .  ඒ කාලේ සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෝ චිත්‍රාගේ මේ රස්තියාදු ගැහිල්ලට කැමති වුනේ නැහැ . මිනිස්සුත් එයාට හිනාවෙන්න ගත්ත .



ඒත් පියරේ චිත්‍රට ආදරේ කලේ මුළු හදින්ම .චිත්‍රත් එහෙමයි . කලාගාර වලට මේ දෙන්නව වැද්ද ගත්තේ නැහැ . ගත්තත් හිමි වුනේ අඳුරු අහු මුළු.  ඒත් මේ යුවල අවංකව ආදරේ කළා . අන්තෙටම දුප්පත් වුනත් චිත්‍රා පියරේගේ ලඟින්ම හිටියා .





පියරේගේ එක ලක්ෂණයක් තමයි එළිමහනේ ඇන්දත් වැඩිපුර ඇන්දේ මිනිස්සුන්ව . භුමි දර්ශන ඇන්දේ ටිකයි . මිනිස්සු ඔහුගේ පින්සලත් එක්ක කැන්වස් මත රඟන්න වුනා . හරිම ජීවමය බවක් තියෙනවා ඒ මුහුණු වල . මෙන්න මේ ගතියට හිත ගිහින් ධනවතුන් තමන්ගේ රුප අඳින්න මොහුට බාර  දුන්න . දැන් නම් ඔහුගේ කල හොඳයි . චිත්‍රගෙයි එයාගෙයි ජිවිත වලට හොඳ කලක් ලැබුවා . මිනිස්සු මේ දෙන්නට ටික ටික ලං වුනා . ඔහොම ඉදිද්දී ''ඇලින් ''ඔහුට ලං වුනා . චිත්‍රට තිබ්බේ උතුම් හදවතක් . එයා පියරේගේ මේ ආදරේට උදව් කළා.

පියරේ ඇලින්ව විවාහ කර ගත්ත . චිත්‍රත් සතුටෙන් ඔහු ළඟ හිටියා . විවාහෙට කලින් වගේම පසුවත් ඇලින් ඔහුගේ සිතුවම් වලට ඇතුල් වුනා . ''ජිවන කැන්වසය මත ..... ඔබයි  සදා ඇඳි රුව '' පියරේ එහෙම කියන්න ඇති .

පලවෙනි පුතා පියරේ ..දෙවෙනියා ජින් ...තුන් වැනිය දුව ක්ලොඩි..ලස්සන පවුල .
තව දෙයක් මේ පියරේ ට අර ලේඛකයින්ට හැදෙන ''රයිටර්ස් බ්ලොක් '' වගේ හැදිලා [ ආටිස්ට් බ්ලොක් වෙන්න ඇති] ඉබාගාතේ ගිහිනුත් තියෙනවා සමහර වෙලාවට .





ඔහුගේ චිත්‍ර වගේම ජීවිතයත් මට නම් රසවත් . කොහොම වුනත් පුත්තු දෙන්නත් යුද්ධෙන් තුවාල වෙලා බිරිඳත් මිය ගිහින් කණගාටුවෙන්    හිටි මේ අසහාය ශිල්පියා අවුරුදු 78 දී මිය යද්දිත් චිත්‍රට බැඳී පෙම එහෙමම තිබුන . මිය යන දවසෙත් මලක සිතුවමක් ඇඳලා චිත්‍රට දීල ගියා ..

  සියල්ල අහිමි වද්දීත්
පුංචිම හරි සතුටක්
ඉතිරි වෙයි ...අරන් යන්නට
නික්ම යනදා ..
ලෝකය පුරා කලාගාර වල ඔහුගේ සිතුවම් මෙතනින් බලාගන්න . විස්තර ගත්තේ විකිගෙන් .
සහ මෙතනින්

කියවන්න වෙලාවක් නැතත් තව ගොඩක් සයිට් තිබුන


සෙනසුරාදා දිහාට සති දෙක ක් පමණ අනාගත ඇමරිකන් ජනාධිපති කෙනෙක් බැහැ දකින්න ආරාධනාවක් තියෙනවා .එහෙ ගිහින් නෙලුම් විලේ පීනන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා . බැරි වුනොත් අමනාප වෙන්න එපා

Friday 8 July 2011

කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද


ගොඩ මඩ දෙකම එකවාගේ පලබරද
ගම මැද ගැලුව ගඟ තාමත් ගලනවද
කඩමණ්ඩිය වසා ලොකු කඩ හැදෙනවද
කටුරොද ගැන කවුරු අද කවි ලියනවද

මල් පෙති පාට තව හඳුනා නැද්ද
කොල්ලන් තාම අඳ ළමයා මඩිනවද
අම්මා අඬන බව තාමත් දැනෙනවද
මැණිකෙගේ නෙතින් තව කඳුලැලි වැටෙනවද

තම සැප නොවේ මැණිකෙගේ සැපතම පතන
අදිරිගේ පෙමට උපමාවක් දෙනු නොහෙන
ඔහු නින්දට ගියා පස් යට සුව යහන
මැණිකේ ,ටිකිරි,සහ පුතු දල්වයි පහන

දැනුමෙන් වැඩියි දියුණුව ඇත හිනිපෙත්තේ
එනමුදු ගමේ ලස්සන එය ගිලගත්තේ
ටිකිරි,මැණිකේ හා අදිරිගේ තිබු චිත්තේ
පිරිසිදු ආදරේ අද කොහිදෝ ඇත්තේ

පොඩි අමනාපෙටත් වස ටික එයි ලඟට
නැත්නම් පනී මුහුදට වැවකට ගඟට
ජිවිතයේ සැබෑ තතු කියවෙන යසට
''සුදෝ සුදු'' කියා ඇත පාඩම් අපට


ඊයේ පෙරේදා මැකී ගිහින් තිබ්බ ''සුදෝ සුදු '' මතකයන් අලුත් වූ නිසා මට මේ අදහස පහල වුනා . කොළ කෑල්ලක මහා රෑක කුරුටු ගෑවුන කවිටික මුණු පොතට දැම්මත් මෙතන ලියා තියන එක හොඳයි කියල හිතුන. පොඩි කාලේ ලිව්ව දේවලුත්  එකතැනක එකතු කළා නම් අද කොච්චර හොඳද .  කොළඹ යුගයේ ප්‍රකට කවියෙක් වූ ''කේයස් '' හෙවත් සාගර පලන්සුරිය ලියු කවි අතර අපට විශේෂයෙන් මතක ඇත්තේ ''සුදෝ සුදු '' කාව්‍ය සංග්‍රහයයි. ''සුදෝ සුදු රස විඳිමු '' කියා මුණු පොතේ ඇති බව දැක මා තරමක් පුදුම වුනා ...එවැනි දේ තවමත් රස විඳිය හැකි පරපුරක් ඉන්න බව දැකීමත් සතුටට කාරණයක් . '' සුදෝ සුදු රස විඳිමු ''ට ගොහින් එම පිටුව බලාගන්න හැකියි.
යන්තම් අකුරු කියවපු කාලෙම කියෙව්ව පොතක් මේක . අද අපි නිදහසේ නිසදැස් තමා වැඩිපුර ලියන්නේ . එළිසමය එතරම් සලකන්නත් අවශ්‍ය නැති නිසා මමත් වැඩිය ඇදී ගියේ ඒ පැත්තට .  මන් අහල තියෙනවා නිසදැස් සහ සඳැස් අතර බේදයක් ඇතිවුනා කියල මුල් කාලේ . අපේ විද්වත් මණ්ඩලය මේ අවස්ථාවේ මේ ගැන අදහස් දක්වයි මතක පෙට්ටගම් පෙරලලා . මට තියෙන්නේ පොඩි ආරම්භයක් දෙන්න විතරයි . මන් ඒ අතින් නම් හරිම වාසනාවන්තයි . මමත් කෑදර කමේ ඉන්නේ කමෙන්ට් ටික වැටෙනකම් .
 ඉතින් සඳැස් අය්ය නිසදැස් නංගිට අරියාදු කලත් අපි දැන් එයාල සමගි කරලා තියෙන්නේ . දෙන්න දෙමාල්ලෝ සතුටින් පවුල් කන බවයි මට පෙන්නේ. ඕනෑම නම් ගින්නක් අවුලමු ..''.සඳැස් ද නිසදැස්ද වඩා හොඳ ''කියල . විහිළුවට කිව්වේ. ඔය යන විදිහ හොඳයි .
..කොළඹ යුගයේ කවීන් ඒ කිව්වේ විමලරත්න කුමාරගම ...කේයස් ..පි.බි අල්විස් පෙරේරා . වගේ කවීන්ගේ කවි වල සරල සුගම බවට මන් ආසයි . ලාංකීය සිනමාව සහ ගීතය පිටුවෙන්  ගොඩක් දෙනෙක් මේ ගැනත් කතා කරනවා. විශේෂයෙන් දීපාල් ජයමාන්න සොයුරා විමලරත්න කුමාරගමගේ කවි පන්ති කීපයක්ම යොමු කරලා තිබුන
. පි. බි මැතිදුන්ගේ ''මගේ රට '' කාටත් මතක ඇති . ඇත්තටම මේ අය ගැන වෙන වෙනම පෝස්ට් වලින් කතාකලත් පාඩු නැහැ . ඒත් මන් ඉතින් කම්මැලියනේ මෙගා ලියන්න  ඔන්න ඔහේ මේකටම ලියල දානවා... මට වඩා ඉවසීමක් ඇති කෙනෙක් ඒ වැඩය කරනු ඇති විශ්වාසෙන් .
 අපි කොළඹ යුගයේ කවිය ගොඩක් අඳුර ගත්තේ සිංහල පෙළ පොත් වලින්. ඇත්තටම ඒවා බොහොමයක් අපේ පරම්පරාවට කට පාඩම් . අඩු ගානේ කවි වල කෑලි හරි . සමහරු හිතන විදියට අවාසනාවට මගේ පුද්ගලික අත්දැකීම අනුව මට නම් වාසනාවට මන් අර ''වැඩ හයේ '' සාමාන්‍ය පෙළ කට්ටියේ කෙනෙක් . මන් වාසනාවට  කිව්වේ වැඩ අටක් වෙනුවට හයට අඩු වෙච්ච එකටයි පැවරුම් වලට කරුණු හොයන්න රට වටේ රස්තියාදු වෙන්න ලැබිච්ච එකටයි . ඒවායින් පුදුම අත්දැකීම් ගොඩක් ලැබුන . ඒ ගැන වෙනම ලියන්න ඕන . ඒ ක්‍රමය හොඳයි කියන්න කවුරුත් කට ඇරියේවත් නැහැ ඒ කාලේ . කොළඹට කිරි ගමට කැකිරි කියල විශාල ආන්දෝලනයකට ලක් වෙලා පටන් ගත් තැනම ලොප් වුනා මිස. කොටින්ම අපේ පන්තිවල කෙල්ලොත් ඕකට කැමති නැහැ . මොන එහෙකටද මන්දා මට නම් අදත් දොසක් පෙන්නේ නැහැ . ගමේ ළමුන්ට ත් ඒකට බද්ධ වෙන්න හැකි ලෙස දියුණු කරලා ගත්ත නම් ඒ ක්‍රමය අද මගේ පොඩ්ඩෝ ඉගෙන ගන්න ක්‍රමයට ටිකක් ගෑවිලා යන බවයි මගේ අදහස. 9/9 ම මට හැම පැවැරුමටම ලැබුනා .
 ඒ කාලේ හැමදේම ටික ටික හරි කරන්න ඕන . ලියන්න අඳින්න හැකිකම නිසා සේරමටම ලකුණු ගත්තත් එක දේකට නම් 8/9 වුනා . ඒ තමයි කවි ගායනය . දෙය්යන්ගේ පිහිටයි .මට නැතිම හැකියාවක්නෙ ඕක. සැහෙන්න දුකයි ඉතින්. මක් කරන්නද . ගයන්න බැරි නිසාම කවි ලියන්නයි රස විඳින්නයි වැඩිපුරම පෙළඹුනා . අපේ පන්තියේ සිටි ගීත කෝකිලාවන් එක්ක මට ඉතින් හැරෙන්නත් බැහැ. අනේ මන්දා ඒත් එක ගායිකාවක් වත් දැන් සින්දු කියන පාටක් නැහැ. අපරාදේ ඒ හැකියාවන් වලට යටවෙලා යන්න දුන්නේ.
 සාමාන්‍යයෙන් අපි ඉඳහිට කවියක් ලිව්වත් කවි පොත් සල්ලි දීල ගන්නවා අඩුයි . ඒ නිසා කවි පොත් ලියවෙනවත් අඩුයි . ඒත් කොළඹ යුගයේ කවියන්ගේ කවි ඇති පොතක් නම් මන් ගන්න පසුබට වෙන්නේ නැහැ . සුදෝසුදු ත් පරණ පොත අපේ ගෙදරින් අතුරුදන් වුනත් අලුත් මුද්‍රණයේ පොතක් මන් ලඟදි ගත්ත . නිසදැස කොච්චර ජනප්‍රිය වුනත් ඇයි මිනිස්සු නොගන්නේ . ඒක ප්‍රශ්නයක් නේද . අපි ලියනවා . කොහේ හරි දැක්කොත් කියවනවත්  එක්ක . ඒත් වැඩි දෙනෙක් නොගන්න හේතුව මොකක්ද . ''පොත් කියවන අය ''කණ්ඩායමේ වත් කවි පොත් ගැන කියවෙන්නේ නැති  තරම් . මට හිතෙන්නේ කවියේ සරල සුගම බව නැතිකම . සංදේශ කවි වල ...ජනකවි වල ...කොළඹ යුගයේ කවි වල තිබ්බ රිද්මය  නිසදැසින් ගිලිහී යාම වෙන්න ඇති . මේ දැන් මගේ ඔළුවට ආපු අදහසක් ඒක. මන් හරිද මන්දා . දැනට ගොඩක් අය කියවන කවි පොත් ඇත්නම් මාව දැනුවත් කරන්න . මේ පාර පරිප්පු ගෙන අදහස ඇත ඇරලා පොත් වලට එක බැග් එකක් වෙන් කරන්න හිතන් ඉන්න නිසා. කඩේක පරිප්පු තියෙනවා දැක්ක .
    මට වැඩිපුර කියන්න  ඕන වුනේ සුදෝ සුදු ගැන . ඒත් කොළඹ යුගයේ අනිත්  කවි ගැනත් කතා කරමු . ඊට පස්සේ නිසදැස් ගැනත් කතා කරමු . තවත් හිතෙනවා නම් කවි මුතු වලට ගිහින් කවිත් ලියමු .
අදට ඇතියි සිතෙනවා . මේකට ස්තුති කරන්නේ කාටද ..මුණු පොතේ දීපාල් සොයුරාට ස්තුතියි යලිත් ''සුදෝ සුදු ''මතක් කලාට . බනියි ලොක්කියි තනියම පාටියක් . බනිගේ තාත්තට වැඩ වැඩියි . ග්‍රීෂ්ම කාලෙට මිනිස්සුන්ට වැඩිපුර තිබහ වෙන නිසා. මට ඕන එකක් ලියා ගන්න දීල එයාල තමන්ගේ වැඩක් බලාගන්න එකට ස්තුති කරන්න එපාය .
ඊට පස්සේ මොන විකාරයක්ද කියල බැන බැන හරි මේක කියවපු හැමෝටමත් ස්තුතියි.
 
පින්තුරය ගුගල් පින්තුර  අඩවියෙන්
 
ප . ලි. මගේ ළමා කල යහළුවෙක් සහ යෙහෙලියක් අලුතින් බ්ලොග් ලෝකෙට ඇවිත්. මට පරණ අය අත දුන්න වගේ මගෙනුත් එයාලට උදව්වක් දෙන්න ඕන. කියෙව්වට පාඩුවකුත් නොවෙන නිසා .
පොත් ගුල්ලගේ
සහ
කවි මුතු වල ලියන චන්දී [ චන්දී ල දෙන්නයි . අපේ චන්දී අක්කයි මේ චන්දියි ]

Tuesday 5 July 2011

ගන්ධබ්බ මවක් ..පුතුට කිව් කවක්

කාටත් කියා ගමරට ලොකු හීන     මවන්
පහුකර වලා කැටි අල්ලන තරම     දුරින්
දාහක් විල් අතැර සයිගොන් ගඟට උඩින්
ආවේ පතන් යන්නයි  රන් ඉසුරු   අරන්

සුවහසකට වඩා වැඩියෙන් පෙරත්     බවේ
සෙනෙහස උපන් දා සමුදුර වැටක් නොවේ 
තිබුනා වගේ දැනුනිද ආදරේ             සුවේ
හඳුනා කෙසේ බලමුද සිත ඇඳුන        රුවේ

 ආලය තියා උගසට ඇඳි රන්      මුද්ද
කාලය ඉගිලුනා එය දුටුවේ        නැද්ද
තාලය ලිහී ගීයේ තනු           වැරදෙද්ද
බාලය මුදුව  රන් වුව මලකඩ   කද්ද

ආ මග වැරදිලා ආලය මග        වැටුනයි
කාහට වුනත් වෙන්නට ඇති දේ උරුමයි
වීදුරු බඳුන ජිවිතයේ බිම           වැටුනයි
පිහි තුඩ රිදෙව්වේ මට නොව රන් පුතුටයි

දෙතනේ කිරි පිරුණි දෙනු බැරි විය         ඔහුට
අප්පත් අද හෙටම යයි මහ උළු             ගෙයට
දුප්පත් පුතුට  වේවිද කවුරුන්                   පිහිට
යන්නෙත් කොහොම අතහැර මන් දෙව් ලොවට  

නිමිත්ත ....
.
  වියට්නාම් මවක් සිය කොරියන් සැමියාගේ පිහි පහරින් මිය යයි.
 වැඩි ප්‍රසිද්ධියක් නැතිව පත්තරේ පුංචි කොනක තිබුණු මේ පුවත මන් දැක්කේ සති ගානකට කලින්. අමතක කරන්න බැරිව විටින් විට මේ කතාව මගේ හිත සසල කළා . අපේ රටේ නෙමේනේ කියල සැනසුම් සුසුමක් හෙලන්න  බැහැ කොහොමටවත් . කොහේ වුනත් මනුස්සයෙක් ..අසරණ වෙච්ච කිරිසප්පයෙක් . කියන සිතිවිල්ල මට වගේම ඔබටත් ඇති වෙයි කියල මන් දන්නවා . දුක හිතෙන දේවල් ලියන්න මන් ටිකක් අකමැතියි. ඒත් මෙය නොලියා ඉන්න බැහැ.
දැන් අපේ සමහර අය කරන්න වගේ ''ඔය ගෑනි ගේ වරදක් තියෙන්න ඇති ..මිනිහට හදිසි කෝපයක් එන්න ඇති '' කියල හිතමුද . මට නම් එහෙම හිතන්න බැහැ . හදිසි කෝපෙට හරි මොන එහෙකට හරි දරුවා ඉපදිලා  දවස් දහනමයක් වෙච්ච අම්ම කෙනෙක්ට පිහි පාරක් අනිනවා කියන්නේ අමනුස්ස වැඩක් . තිරිසන් කියන්න මන් අකමැතියි. මේ වගේ දෙයක් කරන්න පෙළඹෙන උදාහරණයක් සත්ව ලෝකෙන් දෙන්න මන් දන් නැති නිසා.
මිශ්‍ර විවාහ අද ලෝකයේ ඕන තරම් වෙනවා. මේ වගේ දේවලුත් මිශ්‍ර අමිශ්‍ර ඕනෑම ජන සමාජයක  වෙන්න හැකි. මේ කාරණයට අදාළ නැතත් වියට්නාමයේ ඉතා බහුල නිසා ඒ ගැන යමක් කියන්න ඕන. බොහෝ විදේශිකයින් වියට්නාම කාන්තාවන් විවාහ කර ගන්නවා . ඔවුන්ගේ හුරු බුහුටි රුපසොබාව නිසා වෙන්න ඇති. හෙට මැරෙයිද කියල හිතෙන වයසක සීයල පුංචි කෙල්ලන්ගේ අතින් අල්ලන් යනවා . ඕවට හිනා වෙන්න ද අඬන්න ද . .කොතැනක කවුරු වුවත් ඒ ජිවිත වලට සතුට ලැබේවායි පතනවා හැර .