Monday 7 November 2011

සුරංගනා ආදරේ ....... .

මන් සුරංගනා කතා අහන්න හරිම ආසයි . හැමදේම විද්‍යාවෙන් ඔප්පු කරන්න ආස වුනත් සුරංගනා කතා වලට මගේ ඇති ආසාවට එය බාධාවක් වුනේ නැහැ කවදාවත් . ඇත්තද බොරුද කියල හොයන්න ඔලුව මහන්සි නොකර කාගේ හරි ලස්සන හිතක පහල වුන ලස්සන කතන්දරයක් රස විඳින්න හැකි කම මට ලැබුනේ පුංචිම සන්දියේදී . අම්මයි ආතයි[ අම්මගේ තාත්තා ] තමයි පුංචි කලේ කතා කියා  දුන්නේ . ඊට පස්සේ අකුරු ඉගෙන ගෙන ලෝකේ ඇති ඕන එකයි එපා එකයි හැමදේම කියවන්න ගත්තනේ .

ඒත් කතන්දර අහන්නත් කියවන්නත් වගේම කාටහරි කියල දෙන්නත් තියෙන ආසාව තවමත් එහෙමමයි . අපේ දුවල ඉගෙන ගෙන එන කතන්දර මට කියා දෙනවා දැන් . මන් අලුතින් කියවන ඒවා එයාලට කියනව . ලොක්කි පුස්තකාලෙන් පොත් ගේද්දී අම්ම ආස වෙයිද කියලත් කල්පනා කරනවා . එහෙමයි දැන් ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ .

අපේ පහල සෙල්ලම් කාමරේදී ඊයේ ලස්සන පොතක් කියෙව්වා . පරණ වෙන්න නොදී බෙදා ගත යුතුමයි කියල හිතුන . අන්තර්ජාලය අවුස්සද්දි මේ කතාව තියෙනවා . ඒත් පොතේ තිබුන කතාව වඩා ලස්සනයි මට නම් .මේ තියෙන්නේ ඒ පොත තමයි .


එකමත් එක කාලෙක වියට්නාමයේ උන්නලු Tu Thuc කියලා බොහොම අවංක තරුණයෙක් . ඒ කාලයේ රට පාලනය කරලා තියෙන්නේ මැන්ඩරින් වරු . මැන්ඩරින් කියන්නේ චීන ජාතිකයින්ට වෙන්න ඇති .
මේ තරුණයා ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ පළාතේ පරිපාලන කටයුතු කරන්න පත්වීමක් ලැබුනලු . එය ඒ හැටි ලොකු පළාතක් නෙමේ . රාජකාරි වලින් මිදිනු වෙලාවට ඇවිදින්න යන්නත් මොහුට ඉඩ කඩ තිබිල .
ඒ කාලයේ වෙනත් පළාතක පන්සලක වසරකට වරක් තිබුන උත්සවයක් බලන්න යන්න ඔහුට ආසාවක් ඇති වෙලා . දුප්පත් මිනිසෙක් වගේ වෙස්වලාගෙන තමයි ගිහින් තියෙන්නේ . මේ පන්සල Peony මල් ගස් වලින් පිරුන ලස්සන තැනක් . හැබැයි කාටවත් මේ මල් කැඩීම තහනම් . මල් කැඩුවොත් දඩයක් ගෙවන්න නියම වුනා . ගහක කොලක මලක් දැක්කම තමන්ට ඕන වුනත් නැතත් ඕක කඩා ගන්න පුරුද්ද අපේ එකක් කියල දුක් වෙන්න දෙයක් නැහැ ඔන්න . වෙන රට රට වලත් ඈත අතීතයේ ඉඳන්ම පුරුදු වුන දෙයක් වගේ . කොහොමත් අපේ නරක පුරුදු තව අයටත් තියනවා දැක්කම අපි හරි ආසයිනේ .
අනික පන්සල් වල මල් කැඩීමට කැමති අය අදත් නැතුවය . ඔන්න ඉතින් මන් මේ කිව්වේ ගස් වල මල් ගැන . වෙන වෙන දේවල් හිතා ගත්තට මන් වගකියන්නේ නැහැ .




මේ තියෙන්නේ Peony මල . හරි ලස්සනයි . කඩා ගන්න ආස වීම පුදුමයක් නම් නෙමේ. කවුරු හරි දන්නවද සිංහලෙන් කියන නම . දැකල පුරුදුයි වගේ . නම සොයා ගන්න බැරි වුනා මට . ඩේලියා මල තමයි සිහි වුනේ .




ඉතින් මේ මල් පන්සලේ උත්සවයට ඈත පළාතකින් ආපු ලස්සන යුවතියක් මේ නිතිය නොදැන මලක් නෙලා ගෙන . සැනෙකින් ආපු මුර කාරයෝ මේ යුවතිය අල්ල ගත්ත.

දඩය ගෙවන්න ඇය ළඟ මුදල් තිබිල නැහැ . මේ වෙලාවේ එතනින් ගිය අපේ කතා නායක Tu Thuc මේ සිද්ධිය දැක්ක . තමන්ගේ බලතල පාවිච්චි කරන්න විදිහකුත් නැහැ  දුප්පතෙක් වගේනේ හිටියේ . අතේ තිබුන මුදල් වලින් දඩය ගෙවල ගෑනු ලමයව බේරා ගන්නවා . කෙල්ලට විපත්තියක් වුනහම කඩා පාත් වෙලා දුෂ්ටයින්ගේ ඇයව ගලවාගෙන එසැනින් මල්සර දුනු හි වලින් හදවත තුවාල කරගන්න හින්දි කොල්ලෙක් මතක් වුනොත් පුදුමයක් නැහැ . මටත් එහෙම හිතිච්ච එකේ .
ආයේ අහන්න දෙයක් නැහැ . කෙල්ලත් ලස්සනයි . තරුණයත් තනිකඩ . දෙන්නට දෙන්න සිතින් බැඳුන. ඒත් එකපාරටම ඕව කතා කල හැකිය . එහෙම කියන්න දහිරිය තියන අයත් ඉන්න බව දිල් නම් දැක්කලු .
ඒත් මේ දෙන්න එතැනදී වෙන් වෙලා ගිහින් . අද වගේ නම් ටෙලිෆෝන් අංකය ඉල්ලගන්නවත් තිබුන . ඉතින් ආපහු ගෙදර ආපු තරුණයා මේ දැරිය ගැන සිත සිත හිටිය .

ඔය කාලේදී පළාතේ කාලගුණය හරස් වෙලා අස්වැන්නත් විනාශ වෙලා . අසරණ වෙච්ච ජනතාවගෙන් බදු අයකරගන්න මේ තරුණයට දුක හිතිලා . නියම ජනතා සේවකයෙක් .


 මේගැන මැන්ඩරින් නායකයෝ ඔහුට හොඳටම දොස් කියල . ඔහු කල්පනා කලාලු මේ පුංචි ප්‍රදේශයක පරිපාලන [අපේ ප්‍රාදේශීය මන්ත්‍රීකමක් වගේ වෙන්න ඇති ]. තනතුර හන්දා මොකට මේ හැටි බැනුම් අහනවද කියල .


රජයෙන් දීල තිබුන මුද්‍රාව දොරේ එල්ලලා රස්සාවට ආයුබෝවන් කියල [ තම් බියෙට් කියන්න ඇති ..වියට්නාම අය Good Bye කියන්නේ එහෙමයි . ] තමන්ගේ සිත ගත්තු ගැහැණු ලමයව සොයන් ගියා .


හොඳට ඉගෙන ගත්තු සමහර අයට ප්‍රයෝගික දැනුම නැහැ කියන්නේ ඕකනේ . ඉන්න තැනක හෝඩුවාවක් වත් අහගන්න තිබුනනේ . එහෙම කලේ නැති හන්දා එයාව සොයා සොයා ඉබාගාතේ ගියා . මට ආයිම හින්දි චිත්‍රපටියක් තමයි මතක් වෙන්නේ . අර සිත් ගත් කෙනා
ඇඟේ හැපී හැපී යනවා ඒත් පෙන්නේ නැහැ වගේ එව්වා .
සමාවෙන්න මටත් අනම් මනම් නොකියා කතාවක් කියන්න බැරි හැටි.
ඉතින් සොයල සොයලා සොයා ගන්න බැරි වුනා . කාලයක් ඇවිදිද්දී ගල්ගුහාවක් හමු වුනාලු . ඒ තුලින් ගියහම අවසානය අලංකාර මාලිගයක් . ජේඩ් වලින් සැදුණ මේ මාලිගයේ සුරංගනාවන් අතර නොකා  නොබී ඔහු එනතෙක් දුකින් සිටි අර සුන්දර තරුණිය හමු වුනාලු . ඔන්න බලන්න අතරමගකදී හමු වෙන ලස්සන යුවතියන් සුරංගනාවන් වෙන්නත්  බැරි නැහැ කියන්නේ ඕක තමයි .
 ආයේ අහන්න දෙයක් නැහැනේ . දෙන්න විවාහ වෙලා සැපෙන් සතුටින් ජිවත් වුනාලු . බොහෝ කතා එතනින් ඉවර වුනාට මේක තව දිගයි .


ඔන්න අවුරුදු තුනක්ම ගෙවුනලු . හැබැයි Tu Thuc ට ගමරට මතක් වෙලා තියෙනවා .
දිය මකර රජුගේ බිරිඳට වගේ
කලක් යනකොට ඉතින් ඔහොම තමයි . දැන් අපේ පිරිමි කට්ටියට හිතෙයි සුරංගනාවක් වුනත් ගෑණියෙක් නේ කියල . හුචක්කුව අඳින්න පුරුදු වුනාද දන්නෙත් නැහැ නේ . අනික කාලයක් දිවය ලෝකේ ඉන්නකොටත් පොළවට පය ගහන්න ආස වෙන එකත් සාමාන්‍යයි . ඒ ඉතින් ආදරේ අඩු වෙලාම නෙමේ . මනුස්ස සොබාවය .සුරංගනාව මේක තේරුම් ගත්ත .


මොන හේතුව වුනත් තමන්ගේ සැමියා දුකින් කරදරෙන් ඉන්න කොට බිරිඳක් කැමති වේය . ඉතින් සුරංගනාවී වලාකුල් වලින් කරත්තයක් හදල දුන්නලු ගමරට ගිහින් එන්න . ඇය බොහොම දුකින් තමයි මෙයාට යන්න දෙන්නේ .


වලාකුල් යානයේ නැගල Tu Thuc තමන්ගේ ගමට යනවා . ගම වෙනස් වෙලා . පුංචි පැල විශාල ගස් වෙලා . කිසිම දෙයක් අඳුනගන්න බැරි වුනා . කිසිම කෙනෙක් දැනන් හිටියෙත් නැහැ ඔහුගේ වගතුග . එකම එක වයසක සියා කෙනෙක් කිව්වා පරම්පරා පහකට ඉස්සර තමන්ගේ රස්සාව දාල යන්න ගිය තරුණ රජයේ සේවකයෙක් ගැන පුරාණ කතාවක් තියෙනවා කියල .


දන්නවද හේතුව . දිව්‍ය ලෝකේ ගතකල අවුරුදු තුන අපේ ලෝකේ අවුරුදු 300 ක්ලු. මදැයි ඔය වගක් ඔහු දැනන් ඉඳල නැහැ .

අපේ බනියට ඕක පැහැදිලි කරලා දෙන්න මටයි ලොක්කිටයි සැහෙන වෙලාවක් ගියා .
යමක් ලේසියෙන් අත අරින්නෙත් නැහැනේ . අන්තිමට කිව්වා ''ආන්න මට තේරුනා '' කියල .



ඉතින් අපේ කතා නායකයා බොහොම දුක් වෙලා ආපහු යන්න බලද්දී වලාකුල් යානය  ගිහින් . වලාකුල් පාවෙනවනේ .

ඔන්න ඕකයි කතාව .
 ඉතින් මේ Tu Thuc සුරංගනාවී සොයා ගත්ත ගුහාව එදා ඉඳන් TuThuc ගුහාව වුණා . මේ තියෙන්නේ ඒ ගුහාව


.
මේකත් අර හලොන්ග් බේ [මකර මවක් වැතිර නිදන පොස්ට් එකේ කියපු ]වල වගේ ලයිම් ගුහාවක් . මට නම් යන්න බැරි වුණා මේකට . දැන් පරක්කුත් වැඩියි . හෝ චි මින් වල ඉන්න කාලේ යන්න තිබුනේ . එහාටයි ළඟ .


ලෝකේ ලොකුම ගුහාවත් මෙහෙයි තියෙන්නේ . ලාඕස් මායිම කිට්ටුව තියෙන Son Doong ගුහාව සොයා ගෙන තියෙන්නේ 2009 දී .මේ තියෙන්නේ ඒ ලොකුම ගුහාව .

293511 214275235303818 193368050727870 582618 902867763 n

සුරන්ගනාවට සම්බන්ධයක් නැහැ මේ ගුහාවේ . මේ ගැන ලස්සන කතාවක් අහන්න වෙන්නේ ඉස්සරහ පරපුරට , මොකද ලඟදි සොයා ගත් නිසා .

ඇත්තටම සුජීව තමයි ඔය ගැන මට කිව්වේ .යන්න හරිම අපහසුලු තවම .

හැබැයි අද දැක්ක එක සයිට් එකක ඒකට යන හැටි ගැන . උවමනා නම් මෙන්න තොරතුරු තියෙනවා මෙතන . මගේ පින්තුරෙත් ගත්තේ එතනින් .
මන් මේ කෙටියෙන් කියන්න ගත්ත කතාව දික් වුණා . මගේ පෝස්ට් ඕනවට වඩා දික් වෙන්නේ මේ අනම් මනම් අතුරු  කතා මතක් වෙන නිසයි . ගැහැණු ගතියනේ . ඔන්න බලන්න චුටිමහත්තයගේ මැරියන් අච්චර පැයක් තිස්සේ කිව්ව කතාව පේලි දෙක තුනකට කොට කරලා තියෙන හැටි . මේ පිරිමින්ගේ හැටි ඔහොම තමයි මැරියන් . අපි මේවා විස්තර ඇතුව කියන එක එයාලට අගේ නැහැ.



පින්තුර ගත්තේ ගුගල් ඉමේජස් ගෙන් ...

ප. ලි.
මේ වගේ කතාවක් ලියද්දි පුන්චිත්තව මතක් වෙනවා . පස්සේ පුංචි කතාවක් විදිහට එතන ලියන්න ඕන .

Friday 4 November 2011

මල් කියන්නේ කාට කාට .....

මටත් මගේ බ්ලොග් එකටත් එරෙහිව බෑන් කී මුන් කල කුමන්ත්‍රණය අහවර වී මාස කීපයක් ගත විය . එහෙමයි කියා කරදර කිරීම් නම් අඩුවක් නැත . හැම බදාදාම පැයක් කලින්ළමයි ගෙදර එවයි . මාසයකට දෙකකට වතාවක් ගුරුවරුන්ගේ දැනුම වැඩි කරන්නට සම්මන්ත්‍රණ පවත්වන්නට යයි කියා ළමයි ගෙදර තියයි . ඔය මොනවා වුනත් ළමයි නම් ඉස්කෝලෙට බොහොම කැමතිය . අද හවස අමතර වැඩ වලට නතර වූ බනියා සෙල්ලම් පිට්ටනියෙන් ගෙදර ගෙනාවේ හරිම අමාරුවෙනි .


මටත් කොයි කරදර තිබුනත් ඉස්කෝලෙට අකමැති වෙන්නට නම් බැරි දෙයක් පසුගිය දිනවල සිදුවින . ඒ එක්සත් ජාතීන්ගේ දින උළෙලේදී අපේ පොඩ්ඩන් දෙන්නාට අපේ කොඩිය ඔසවාගෙන යන්නට අවස්ථාව ලැබීමය .


පාට පාට කොඩි අරගත් පාට පාට ඇඳුම් ඇඳගත් පාට පාට ළමයි . ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට බෝම්බ අත අරිද්දි ඇමරිකන් ළමයි ඇෆ්ගන් ළමයි ලඟින් සිටි . උතුරු කොරියන් කොඩිය රැගත් ලස්සන දැරිය යන විට සියලු කොරියානුවන් හුරේ දමයි .

ළමයි මල් වගේ කියන්නේ නිකන්ද .
 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාසල් දෙකක් පමණි ලෝකයටම ඇත්තේ . නිව්යෝර්ක් සහ හැනොයි නගර දෙක තුල . එබැවින් වසරකට වරක් එක්සත් ජාතීන්ගේ දිනය ලොකුවට සැමරේ . ගිය වසරේ බෑන් කි මුන් මහතාද පැමිණි නමුත් මෙදා පාර එව්වේ ගෝලයෙකි .
  
ගිය අවුරුද්දේ ආපු මුන් මහතා . ළඟ ඉන්න සුදු රැවුල් සියා විදුහල්පති තුමාය

ගෝලයාගේ කල කතාවේදී නම් මට නින්ද ගිය බව කිව යුතුය . මට කොහොමත් දේශනා අහන ඉන්න බැරි ලෙඩක් තිබේ . අනික මගේ ඊ - මේල් ගිණුම කවුද අල්ලාගෙන මාව ස්පේන් යවා තිබුනේ කලින් දාය . එදා රෑ හරි හමන් නින්දක්ද නොවිය .

සියලු තානාපති කාර්යාල පිහිටා ඇත්තේ හැනොයි වල බැවින් එහි සේවය කරන තානාපති කාර්ය මණ්ඩලයේ දරුවන් නිසා පාසැල තුල ඇත්තේ විසල් ජන විවිධත්වයකි .

එදිනට පොඩ්ඩන් දෙදෙනාටම ළමා සාරි සැකසීමට සිදුවිය . ලොක්කිගේ ළමා සාරිය මසන්නට දුන් කාන්තාව ඉනට රැලි නැති අලුත්ම වර්ගයේ ළමා සාරියක් මසා දුන්නාය . ප්‍රතිසංස්කරණයන්ට හසු වී යන්තම් පිළිවෙලක් කරගත්තේ අවසන් මොහොතේය .

එකම පාටින් ළමා සාරි ඇන්ද අක්ක නගෝ දෙන්නට කවුරුත් කැමති විය . එකම රටින් අක්කයි නංගියි ජාතික කොඩිය ගෙනයාමත් විරල දසුනක් . ජාතික ඇඳුමක් කියා එකක් නැති එංගලන්තයේ ඇමරිකාවේ ළමයි ඒ රටවල් නියෝජනය කලේ විවිධාකාර ක්‍රම වලටය .
[ඒ අයගේ ජාතික ඇඳුම අපි උදේ හවා අඳින හෙයින් ] සමහරු කොඩි වගේ ඇඳුම් ..ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙක් මුහුදු වෙරළට යන්නා සේ සැරසී උන් අතර සමහර ඇමරිකන් ළමුන් කව් බෝයි තොප්පි දමන් සිටියහ . කොරියන් ජපන් ළමුන්ට නම් ලස්සන ජාතික ඇඳුමක් තිබේ . අප්‍රිකන් එඬේරුන් ද දැක ගත හැකි විය .

සපා කඳුකරයේ ළමයි  
 
 
වියට්නාමයේ කඳුකර පළාතක් වන සපා වලින් පැමිණි දැරියන්ගේ ජන නැටුමට අකමැති කෙනෙක් නොවිය . සරල දිවිපෙවතක් ගෙවන වියට්නාම කඳුකර ජනතාව ගැන වෙනම ලියන්නට සිතා සිටිමි . ආදර පොලින් කිව්වෙත් එවන් ජනකොටසක් ගැනය .

අපේ කොඩිය උස්සන් ගියේ ලොක්කිය . බනි නිකම් අක්කගේ තනියට ගියා වාගේය .


  ඉන්දියන් කොඩිය අරන් ගිය පොඩි එකාට උදව්වට ඔහුගේ පියා ගිය බවත් අපිටත් යන්න බැරිදැයි බනිගේ තාත්තාට සිති තිබිණි . ඒ ගියේ  ඒ ළමයාගේ තාත්තා නොව ලොකු පන්තියක ළමයෙක් බව ඔහුට තවමත් ඒත්තු ගන්වන්නට බැරිය .


ලෝකය පුරා ලොකු අය රණ්ඩු වෙද්දී පොඩි අය රැගෙන ගිය කොඩි එක පේලියට සිටගෙන ඉන්නේ මේ ළමයින් වගේමය . ඉස්කෝලෙට යන විට නිතරම මට නන්දා මාලිනියගේ
''මල් කියන්නේ කාට කාට '' ගීතය සිහිවේ . මල් ළමයින් වාගේය . ළමයින් මල් වාගේය .  ඒ ගියත් අහලම යන්න
ප්‍රධාන උත්සවයෙන් පසු සෑම පන්තියකම විවිධ රටවල කෑම බුෆේ ක්‍රමයට තියා තිබුණි . වෙනදාට යසට හැදෙන මුන් ඇට කැවුම් මෙදා හරියට හැදුනේ නැත . මගෙත් මොකෝ ඔරිජිනල් එව්වා කා නැති අය දත් වල ශක්තිය මැන ගන්නට ඇත.මන් මගේ පාඩුවේ ඉන්දියන් සමෝසා ,කොරියන් රයිස් රෝල් , මැලේසියන් රසකැවිලි , ජර්මන් පාන් ,වියට්නාම ස්ප්‍රින්ග් රෝල් සහ නම මතක නැති රස කෑම කෑවෙමි


අපිට ඇඳුමක් සහ කොඩියක් තිබීමත් ඒ සේරටම වඩා රටක් තිබීමත් ගැන වෙන කවරදාටත් වඩා සතුටක් දැනුන දවසකි . එය අනිකුන් පහත කිරීමක් නොවේ . ලස්සන මල් යායක මලක් වුවිට ඒ මල අනිකුන් හඳුනා ගනී නම් මලට ඇති වෙන සතුට කෙසේ වෙයිද . එවැනි අහිංසක සතුටක් පමණකි මට ඇති වුයේ . එමෙන්ම අනිකුත් මල් වල ලස්සනද රස  වින්දෙමි .

ප. ලි ..
පසුගිය දිනවල සේද මාවතේ ඇවිදින්නට ගිය නිසාත් වෙන වෙන රාජකාරි තිබුන නිසාත් මේ කතාන්දරය ලියුවේ පමාවිය . සැබවින්ම මෙය සිදුවුයේ මසකට පෙරය .
මේ පොස්ට් එක දැම්මා වුනත් අරහේ තවම අපි මොන්ගෝලියන් අධිරාජ්‍ය ගැනද කතා කරමින් සිටිමු . සුජිවත් බුරාත් අපමණ දැනුම් සම්බාරයක් එක්කහු කරමින් සිටි. කැමැත්තෝ වෙත්නම් ගොහින් කියවන්න .


පින්තුර සියල්ල අපේ කැමරාවෙන් දුර සිට ගත් ඒවාය . අනිකුත් ළමයින්ගේ පින්තුර අනවසරයෙන් දමන්නට අකමැති නිසා බොහොම තෝරා බේරා ගන්නට සිදුවිය .