Thursday, 21 November 2013

තොරොක්කෝව

මුහුණු පොතේ ළමා කතා පිටුවේ කෙනෙක් අසා තිබුණ ''තොරොක්කෝව'' කියල කෙටි කතාවක් ගැන .මට මතක තිබුණ මේක සිංහල පෙළ පොතක තිබුණ කතාවක් කියල .කුඩා පිරිමි ළමයෙක් ඩක්කුවක නැගලා ගෙදරින් බොහෝ දුරක යන කතාවක් .භූමිතෙල් ගඳ ගසන කොලයක එතු සුකිරි ...මට විශේෂයෙන් මතක හිටිය තැනක්.. මේ කතාව ගැන අහන්නට මට මතක් වුණේ අපේ ඇවිදින පුස්තකාලය හෙවත් බුරතිනෝ ළමයාව. හැරෙන තැපෑලෙන් මට ලැබුනානේ කෙටි කතාවේ ස්කෑන් කොපියක්.
 ඔබට බොහොම ස්තුතියි බුරතිනෝ....
සමහරු කියවලා ඇති. නමුත් බහුතරයට මෙය කියවන්න ලැබුනේ නැහැ . කෙටි කාලයක් තිබුණ විෂය නිර්දේශයක අටවන ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ මෙය තිබුණේ . මට මතක තිබුණේ නැහැ පන්තිය වුනත්,.

ඒ කලේ විශ්ව සාහිත්‍ය අපට මුණ ගැසුණේ මේ පෙළ පොත් වලින් තමයි. වැඩිදුර කියවීමේ ලෙඩේ වැළඳුන අපි වගේ උන් පුස්තකාල වලට ඇබ්බැහි වෙලා තවත් පොත් සොයා ගියා . 

වැඩි වල වටාරම් නැතුව මෙන්න කතන්දරේ. ජපන් ජාතික අකුතගවා ර්යුනොසුකේ තමයි මෙහි කතුවරයා . සිංහලට පරිවර්තනය කොට කුඩා අපට මෙය කියවන්න සැලසුවේ ජයන්ත විමලසේන මහතා ..එතුමාට මගේ සදාදර ස්තුතිය. 
..............................................................................................................
තොරොක්කෝව 

ඔඩවාරා  සහ අතමි අතර කුඩා දුම්රිය මාර්ගයේ වැඩ පටන් ගන්නා විට ර්යෝහෙයි ගේ වයස අවුරුදු අටකි.ර්යෝහෙයි සෑම දිනකම කම්කරුවන් වැඩ කරනු බැලීමට නගරාන්තයට ගියේය. තොරෝක්කෝ වලින් කුණු කසළ අදිනවාට වැඩි වැඩෙක් එහි නොවිය. ඔහු එහි ගියේ ඒ කාර්යය නැරඹීමට ආශා හෙයිනි.

   තොරොක්කෝවේ කොවේ පිටිපස කසළ ගොඩක් අසල කම්කරුවෝ දෙදෙනෙක් සිටගෙන සිටිති. තොරොක්කෝව කන්දක සිට පහළට එන බැවින් එය වේගයෙන් බසී. එහි බක්කිය වේගය නිසා වෙවුලයි 

එහි තුනී ගරාදි ගැටීම නිසා නැමී යයි. කම්කරුවන්ගේ කබා කෙළවර පට පට ගා සුළඟට වැදෙයි. ඒ දෙස පරීක්ෂාවෙන් බලා සිටිනා ර්යෝහෙයිට හමාටත් කම්කරුවෙක් වන්නට ඇත්නම් යි සිතේ, විටෙක හෝ එක වරක් වත් කම්කරුවන් සමග තොරොක්කෝවේ යන්නට ලැබේවායි පතයි. තොරොක්කෝව නගය්ර අසලට පැමිණෙත්ම පොලොව තැනිතලා නිසා වේගය අඩුවී ඉබේම නවතී . එවිට කම්කරුවෝ කඩිසර ලෙස ඉන් වතට පැන කසළ හළති. ඉන්පසු එය කන්ද ඉහළට තල්ලු කිරීමට පටන් ගනිති 

තොරොක්කෝවේ නැග යාමට නොහැකි වුවත් තල්ලු කිරීමට වත් ඉඩ ලැබේ යයි ර්යෝහෙයි බලාපොරොත්තු වුයේ මෙවැනි අවස්ථාවකය. 

     ර්යෝහෙයි පෙබරවාරි මාසයේ මුල් හරියේ එක සන්ධ්‍යාවක නගරාන්තයෙහි තොරොක්කෝ නවතා තිබුණ තනට ගියේය. ඔහු තමාට අවුරුද්දකින් බාල තම සහෝදරයාද සහෝදරයාගේ වයසේම සිටි අසල්වැසි ළමයෙකුද කටුව ගියේය.බක්කි වල මඩ කැටි ගැසී තිබුණ තොරොක්කෝ කීපයක් පේලියට නවතා තිබෙනු දක්නට ලැබිණ.
  හේ වටපිට බැලිය. කම්කරුවන්ගෙන් කිසිවෙක් එහි නොවිය. ඔවුහු තිදෙනා දෙගිඩියාවෙන් අන්තිමට නවතා තිබුණු තොරොක්කෝව තල්ලු කිරීමට පටන් ගත්හ.
  තල්ලුවෙන් රෝද කරකැවෙන්නට විය.රෝද වලින් නිකුත් වූ.ශබ්දය මුලින් ර්යෝහෙයි තැති ගැන්වූ නමුත් ඒ ශබ්දය දෙවනුව  ඇසුණු විට ඔහුගේ බිය පහව ගියේය 
අත් පොඩි හයේ බලයෙන් එය රේල් පීලි දිගේ ඉහලට හෙමින් තල්ලු වී ගියේය.
තොරොක්කෝව යාර විස්සක් පමණ තල්ලු වී ගිය පසු ඔවුන් කොතරම් මහන්සි ගත්තද කන්ද නිසා ඉන් ඔබ්බට රථය සෙලවිය නොහැකි විය. ඇතැම් විටක රථය ආපසු තල්ලු වුයේ ඔවුන් තිදෙනා සමගය.

තම අභිමතාර්ථය ඉටු කර ගැනීම සඳහා පැමිණි දුර හොඳටම සෑහේ යයි සිතු ර්යෝහෙයි '' වරෙල්ලා , ගොඩ වෙයල්ලා ''යි බාල ළමයින් දෙදෙනාට සන් කළේය.

ඔවුන් තිදෙනා තොරොක්කෝ වේ එල්ලී ගත්හ. එය හෙමින් හෙමින් ඇදෙන්නට වන . ක්‍රමයෙන් වේගය වැඩි විය.
   අන්තිමේදී තොරොක්කෝ පීලි මත ඉගිලෙන්නට පටන් ගත්තේය. ඉදිරිපස දර්ශනය ර්යෝහෙයිගේ ඇස් ඉදිරියෙහි දිගහරි ශීඝ්‍රයෙන් දෙපසට ඇදිණි. සන්ධ්‍යා මාරුතය ඔහුගේ දෙ  කම්මුල්හි ගැටී ගියේය. වෙවුලන තොරොක්කෝව ඔහුගේ දෙපා යට නැටීය. 
  ර්යෝහෙයිගේ සතුට උතුරා යන තරම් විය.
මිනිත්තු කිහිපයක් ඇතුලතදී තොරොක්කෝවේ ගමන් වේගය ක්‍රමයෙන් අඩු වී නැවතුණේය.
''වරෙල්ලා ආයෙත් තල්ලු කරමු.''
ර්යෝහෙයි බාල ළමයින් දෙදෙනා සමග නැවතත් තොරොක්කෝව තල්ලු කිරීමට සුදානම් විය. රෝද යන්තම් සෙලවුණා. ඔවුන් පිටුපසින් ආදී ශබ්දයක් ඇසිණි .ඉක්බිතිව මහත් හඬක් රව් දුන්නේය.

''උඹලා ඔතන මොකද . කවුද උඹලාට ඔය තොරොක්කෝ අල්ලන්න කිව්වේ '' 
 වැඩට අඳින කබල් ජැකට්ටුවකුත් යල් පැනපු පිදුරු තොප්පියකුත් ඇඳගත් උස කම්කරුවෙක් ඔවුන් අසලින් සිට ගත්තේය.
''මේ අමුත්තා කවුදැ ''යි හඳුනා ගන්නා විට ඔවුන් සිටියේ යාර විස්සකටත් වඩා ඈතය. 
එවිට ඔවුහු  දුවන්නට වුහ. ර්යෝහෙයි ආපසු ගෙදර දුවන විට වැඩපොළ අසල තොරොක්කෝ රාශියක් දක්නට ලබුන්දොහුට නැවතත් ඒවා පැදීමට නොසිතිණි. සුළඟට වෙවුලමින් තිබුණ පිදුරු තොප්පිය- ඔහු රවා බලු හැටි -ර්යෝහෙයිට නිතරම සිහියට් නැගුණේය.එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ හැඟීම අතුරුදහන්ව ගියේය .
දස දිනකට පමණ පසු එක සැන්දෑවක ර්යෝහෙයි, වැඩ කරන පෙදෙසේ තමා සමීපයට එන තොරොක්කෝ නරඹමින් සිටියේය. එක්  තොරොක්කෝවෙක ඉතා උස කසළ ගොඩක් විය. දෙවැනි තොරොක්කෝවේ සිල්බර කඳන් පටවා තිබුණේය .
තරුණයෝ දෙදෙනෙක්  මේ විශේෂ තොරොක්කෝව තල්ලු කරමින් සිටියහ.
ඔවුන් දුටු සැණෙකින්ම ''ඔවුන් හා මිත්‍ර වීමට ලැබුණොත් ''යි ර්යෝජෙයිට සිතිණි. ''ඔවුන් මට කෑගසන එකක් නැහැ''යි හේ සිතිය.
එසේ සිතා ඔවුන් දෙසට දිව්වේය.
''යාලුවා මාත් තල්ලු කරන්න උදව් වෙන්නද ?''
''හොඳයි හොඳයි එනවා ''
ර්යෝහෙයි බලාපොරොත්තු වූ පරිදි, ඔවුන්ගෙන් එකෙක් -ඉරි වැටුණු කමිසයක් ඇඳන සිටි මිනිසා- හිස නමා තොරොක්කෝව තල්ලු කරන ගමන් විනීත ලෙස පිළිතුරු දුන්නේය.


ර්යෝහෙයි මිනිසුන් දෙදෙනා අතරට වී පුළුවන් තරම් ශක්තිය යොදා තොරොක්කෝව තල්ලු කිරීමට පටන් ගත්තේය.
''උඹට හුඟක් හයිය තියෙනවානේ ළමයෝ''
කන අද්දර සිගරැට්ටුවක් රඳවා ගෙන සිටි අනෙක් මිනිසාද ර්යෝහෙයිට ප්‍රශංසා කළේය.
වැඩි කාලයක් ගත නොවීම පල්ලම ළඟා විය.
''තවත් තල්ලු කරන්න උවමනා නැහැ ''යි කවර මොහොතක ඔවුන් කියාවිදෝයි ර්යෝහෙයි නොසන්සුන්කමෙන් පසු විය .
එහෙත් කම්කරුවෝ දෙදෙනා පෙරට වඩා තරමක් ශරීරය ඍජු ව තබාගෙන වචනයකුදු නොකියා දිගටම තල්ලු කරගෙන ගියහ.
ර්යෝහෙයිට තම අදහස තව දුරටත් සඟවා ගෙන සිටිය  නොහැකි විය.
හේ බයෙන් බයෙන් ''තව තල්ලු කරන්නදැ?''යි 
''හොඳයි හොඳයි '' ඔවුහු දෙදෙනාම පිළිතුරු දුන්හ.

ඔවුන් ඉතා විනීත යැයි ර්යෝහෙයි සිතුවේය. යාර පන්සියයක් හයසියයක් පමණ ඉක්මවූ විට නැවතත් කන්ද ළඟා විය. මාර්ගය දෙපසම ජවනාරම් වතු දක්නට විය. ඉදි රන්වන් වූ ජවනාරම් ගෙඩි මත හිරු රැස් වැටි තිබිණි.
ඔවුහු ජවනාරම් වතු අතරින් කඳු මුදුනට තොරොක්කෝව තල්ලු කළහ. එතැන් සිට වුයේ තද බැස්මකි. ඉරි කමිසය ඇඳ සිටි මිනිසා ''වරෙන් වරෙන් පැනපන් ''යි හඬ නගා කියේය. ර්යෝහෙයි ඇසිල්ලකින්ම රථයට පැන්නේය. ඔවුන් සියලු දෙනාම රථයට  නැගුනු පසු තොරොක්කෝව පීලි දිගේ වේගයෙන් පහළට  බසින්නට විය.
ජවනාරම් සුවඳ ඔවුන්ට ආඝ්‍රාණය විය. ර්යෝහෙයිගේ කබාය පවනේ ලෙළ දුන්නේය.
''තල්ලු කරනවාට වැඩිය නැගලා යනඑක හරි ෂෝක්.ආපහු එනකොටත් කවුරු හරි තල්ලු කරනවා නම් හුඟක් තැන් නැඟිලා යන්න පුළුවන් ''. මෙවැනි නොයෙකුත් අදහස් ඔහුගේ සිතට වැදුණේය.

තොරොක්කෝව දෙපස වූ උණ පඳුරු වලට ළන්වෙත්ම ක්‍රමයෙන් එහි වේගය අඩුවන්නට විය.තිදෙනා නැවතත් එය තල්ලු කිරීමට පටන් ගත්හ. උණ පඳුරු වන ලැහැබකට පරිවර්තනය විය.  මඟ දිගටම වැටි තිබුණ වියලි කොළවලින් පීලි සම්පුර්ණයෙන්ම වැසි තිබුණේය. ඔවුන් කඳු මුදුනට පැමිණි විට කඳු ගැට අතරින් මුහුද දිස්විය. බොහෝ දුර ගොස් ඇති බව ර්යෝහෙයිට වැටහුණේ එවේලෙහිය.
 තිදෙනා නැවත තොරොක්කෝවට නැග ගත්හ.එය මුහුදට වම්පසින් වන ලැහැබේ අතුපතර යටින් දිවෙන්නට විය. කෙසේ වුවද ර්යෝහෙයිට පෙරදී මෙන් තොරොක්කෝ පැදීමේ විනෝදය නම් මෙවර නොලැබිණි.ඔහුට එය ආපසු හරවා ගැනීම ට තරම් සිත් විය. එහෙත් එහි ගමන අවසාන වනතුරු එය ආපසු නොහැරෙන බව හේ විශ්වාස කළේය .
තොරොක්කෝව නැවතුණේය. ඔවුන් සිටියේ පිදුරු සෙවෙණි  කළ තේ පැන් හලකට මුහුණ ලාගෙනය. එය අසළින්ම පස් කණ්ඩි කඩා වැටුණු  කන්දක් විය.
තේ පැන් හල තුළට  පිවිසි කම්කරුවෝ බිලිඳකු පිටෙහි එල්ලාගත් ගැහැණියකගෙන් තේ ඉල්ලා ගෙන නිවාඩු පාඩුව එහි රස බලනු දක්නා ලදහ.
 ර්යෝහෙයි නොසන්සුන් ගතියකින් තොරොක්කෝව වටා සක්මන් කළේය. තොරොක්කෝ චැසියේ මුදුනෙහි  දෙපස.ලී පුවරු වල තැවරුණු මඩ තට්ටු වේලී කැටි ගැසී තිබුණේය.

  මිනිත්තු කිපයකට පසු කනේ සිගරැට්ටුවක් ගසා ගෙන සිටි මිනිසා කඩයේ සිට අවුත් කඩදාසියක ඔතන ලද සුකිරි වගයක් ඔහුට දුන්නේය. ර්යෝහෙයි කිසිම හැඟීමක් නැතිව ආවාට ගියාට මෙන් '' ස්තුතියි''යි කිවේය. 
එහෙත් තමා කොතරම් දරදඬු වී දැයි පසුව ඔහුට වැටහුණේය.එහි වරද හරි ගස්සන්නට මෙන් හේ සුකිරි ටිකක් කටට විසිකරගත්තේය.බුමිතෙල් ගඳක් ඔහුට දැනුනේ නිසැකයෙන්ම ඒ කඩදාසිය නිසා විය යුතුය.
  තිදෙනාම තොරොක්කෝව යලිත්  තල්ලු කරන්නට වුහ. ර්යෝහෙයිගේ අත් තොරොක්කෝව මත තිබුණු  නමුත් සිත යොමු වී තිබුණේ වෙනත් දේවල් කෙරෙහිය.
ඔවුහු අනෙක් පාර්ශවයේ කඳු පාමුලට ලඟා වුහ.එතනද මුලින් වූ තේ පැන්හල වැනි කඩයක් තිබුණේය.

කම්කරුවන් එය තුලට ගිය පසු ර්යෝහෙයි තොරොක්කෝවෙහි වාඩි ගෙන ''ආපසු ගෙදර යන්නේ කෙසේදැ"යි සිතන්නට විය.
   මිදිවල් මත වැටුණු බසින හිරුගේ ආලෝකය ක්‍රමයෙන් අඩුවන්නට විය.
''"දැන් හොඳටම හවස් වෙලා"
මේ අදහස පහළ වූ විට ඔහු නොවිසිලිමත් විය. හේ තම කරදරවලින් සිත වෙන අතකට යොමු කිරීමට මහන්සි ගත්තේය.තොරොක්කෝවේ රෝදවලට පයින් ගැසුවේය. තමාට බැරි බව  දැන දැනම මුළු ශක්තියම යොදා එය තනියම තල්ලු කිරීමට සැරසුණේය. 
කම්කරුවෝ ආපසු පැමිණ
''ළමයෝ ඉකමනට ගෙදර දුවපන් අපි අද රෑ මෙහි නතර වෙනවා.''යි කීහ.
''උඹ තවත් පරක්කු වුණොත් අම්මලා තාත්තලා කලබල වෙනවා''යි කීහ.  ර්යෝහෙයි මොහොතක් පුදුමයට පත්ව බලා සිටියේය. ඒවනවිට ඇඳිරි වැටී අවසානය. ගිය අවුරුද්දේ ඔහු ඉවාමුරා දක්වා පැමිණියේය. අද පැමිණි දුර ඊට වඩා සතර ගුණයකින් පමණ වැඩිය. ඔහුට මේ දුර ප්‍රමාණය තනියම පයින් යාමට සිදුවන්නේය. මේ හැම කරුණක්ම ඔහුගේ සිත විනිවිද ගියේය.
ර්යෝහෙයිගේ ඇස්වල කඳුළු පිරුණේය.හැඬිමෙන් පලක් නැති බවත් මෙය ඊට අවස්ථාව නොවන බවත් ඔහුට කල්පනා වුයේය. ඔහු තරුණ කම්කරුවන් දෙදෙනාට යන්තම් ආචාර කොට රේල් පිලි දිගේ දුවන්නට පටන් ගත්තේය. විටෙක ඔහු රේල් පිලි මත දිව්වේ තෝන්තු වූවාක් මෙනි 
සුකිරි මුල ඉරි විසිරෙන බව ඔහුට දැනුණේය. හේ ඉතිරි ටිකද ඉවතට විසිකළේය .පාවහන් යුවළද ගැලවී විසිවන්නට  ඉඩ හැරියේය.මේස් පමණක් ඇතිව දුවන ඔහුගේ පතුල් වල බොරළු ඇනී තරමක වේදනා ඇති වුවද දෙපා වලට ඉතා සැහැල්ලු බවක් දැනුණේය.
හේ කඳු මුදුනට දිව්වේය.වම පසින් මුහුද දිස්විය. කඳු ධාරා දෙ කම්මුල් දිගේ වැගිරෙත්ම හිස දෙපසට ගැස්සිය.
 හේ නිර්භීත වීමට මහන්සි ගත්තේය.එහෙත් ඔහුගෙන් ඉබේම සුසුම් පිටවිය.
ඔහු උණ වනය මැදින් වේගයෙන් දුවන විට බැසයන හිරුගේ රැස් දුර්වර්ණ වෙමින් තිබෙනු කඳු මතින් දර්ශනය වුයේය. 
 ර්යෝහෙයිගේ සිත හොඳටම අවුල් වී ගොස්ය.සමහර විට එසේ වුයේ ගමන් මාර්ගය වෙනස් වූ නිසා විය යුතුය. දර්ශන පථය වෙනස් වීම ඔහුගේ සිත නොසන්සුන් බවට පත්කළේය.
ඔහුගේ ඇඳුම් ඩහදියෙන් තෙත්ව තිබිණි. ඔහු ඇඳ  සිටි කබාය ඒ අවස්ථාවෙහි මහත් කරදරයක් වුයෙන් ඒ ගලවා වේගයෙන් විසිකළේය .
බලාපොරොත්තු සුන්වූ හේ දිගටම දුවන්නට වන්නේය.
   ජවනාරම් වත්තට ලං වනවිට විට හොඳටම ඇඳිරි වැටි තිබිණ. ඇතැම් විට ලිස්සමින් ඇතැම් විට ගල් මුල් වල හැපෙමින් දුවන අතර ''මගේ පණ නොනැසී තිබුනොත් ඇති''යි ර්යෝහෙයි තමාටම කියා ගත්තේය.
  නගරාන්තයෙහි වැඩපොළ අඳුරේම ර්යෝහෙයිට දිස්වූයේය.එවිට ඔහුට කෑගැසීමට සිත් විය. එහෙත් හේ දිගටම දිව්වේය. නගරයට පිවිසි විට වීදියෙහි පහන් දැල්වෙමින් තිබිණි. වතුර අදින ගැහැණුද ගොවිපොළේ සිට වැඩ නිමකොට තම නිවෙස් වලට යන මිනිස්සුද ර්යෝහෙයි හති දම දමා දුවනු දුටහ.  
''මොකද කාරණේ ?'' ඔවුහු ඔහුගෙන් ඇසුහ.
ඔහු කිසිවක් නොකියා බඩු ගබඩාවද බාබර් සාප්පුවද ආලෝකයෙන් බබලන තවත් නොයෙක් ගෙවල්ද පසු කළේය.

  ගෙදර ඉස්සරහ දොර ළඟට පැමිණි විට ර්යෝහෙයිට හැඬිම වළක්වා ගත නොහැකි විය .ඔහු හඬනු ඇසු මවත් පියාත් ඔහු වෙත දුව ආහ. 
මව ඔහු ලංකරගෙන යම් කිසිවක් කීවාය. එහෙත් ර්යෝහෙයි අතපය විසිකරමින් ඉකි බිඳිමින් දිගටම හඬන්නට විය. ඔහු බෙරිහන් දෙනු අසා අහල පහළ ගැහැණු කීප දෙනෙක් කළුවරේම එතනට රොක් වුහ. ඔඅහුගේ දෙමාපියන් මෙන් ඔවුහුද හැඬිමට කාරණය කුමක්දැයි විමසුහ. .ඔවුන් කුමක් ඇසුවත් ඔහු  ඒ ගණනකට නොගත්තේය. ඔහු දිගටම හැඬුවේය .
  ඒ සා විශාල දුර කතරක සිට දුව එද්දී දැනුණ තනිකම කොතෙක් හැඬුවද සිතින් බැහැර නොයන බව පසුව ර්යෝහෙයිට වැටහුණේය .
                                             

'හදවත පාළුයි                                                                                                         
අකුතගාවා ර්යුනොසුකේ 


පරිවර්තනය - ජයන්ත විමලසේන 

..................................................................................................................................

............

යමක් කියෙව්වම ලිව්වා කෙනා ගැන පොඩ්ඩක් සොයන එක මගේ පුරුද්ද . දැන් ඉස්සර වගේ නෙමේ ගුගල් දෙවියන් ඉන්නා නිසා ඕවත් වැඩද.
අකුතගාවා ර්යොනොසුකේ නමැති ජපන් ජාතික කතුවරයා ගැන සොයා බලද්දී දුටුවේ ''Rashomon ''කියන ප්‍රසිද්ධ සිතුවම් පටය මෙතුමාගේ කතා දෙකකින් නේ නිර්මාණය කරලා තියෙන්නේ. 
වසර 35 ක කෙටි ජිවිත කාලය නිමා කරමින් සිය දිවි තොර කරගත් අකුතගාවා ජපන් කෙටි කතා කලාවේ පියා ලෙස හැඳින්වෙනවා . ජපානයේ ඔහුගේ නමින් සාහිත්‍ය සම්මානයක් නම් කර තිබෙනවා .
ලොව සලකුණු තැබූ මිනිසුන්ගේ සැබෑ ජිවන අන්දරයන් එතරම් මිහිරි නැහැ . මොහුටත් ඒ සත්‍යයය එලෙසමයි. ළමා කල මිතුරිය සහ පළමු පෙම්වතිය සමග විවාහ වෙන්නට තිබු බලාපොරොත්තුව බිඳ වැටෙනවා ..පසුව එළඹෙන විවාහයෙන් දරුවන් තිදෙනෙකුගේ පියෙකු බවට පත් වෙනවා . 
මේ කෙටි සටහන වැඩිදුර කියවන්න කම්මැලි අයට... .කම්මැලි නැති හොඳ ළමයි ලින්ක් එකෙන් ගොසින් ඔහු ගැන වැඩිදුර කියවාවි යයි බලාපොරොත්තු වෙනවා .


ස්තුතිය ,

මේ ගැන සොයන්නට මතක් කර දුන් ළමා කතාවේ මිතුරාට 

කතාව සොයා දුන් බුරාට 

අහස අඳුරු කර පරිසරය මිහිදුමෙන් වසා එලියට බහින්නට මාව කම්මැලි කොට අද ගේ අස්සෙම තියන්නට මහන්සි ගත් කාලගුණයට 

19 comments:

  1. මං මේක කියවලා තියෙනවා පරණ සිංහල පොතක තිබිලා. හරිම ලස්සන කතාවක්. ඒවගේම හිතට වදින කතාවක්.

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයෙක් ගේ සිතුම් හරිම තාත්විකව කියවෙනවා ..ඒ වගේම එක කාලෙක මවන සිහින තවත් තත්ත්ව යටතේ කොයිතරම් නොවටිනාද නැත්නම් ඒ සිහින ඉටු වුනහම අර සිතු තරම් ආශ්වාදයක් නොලැබෙන බව ...මුලින් කියවද්දී දැනුන ශෝකය තවම මගේ සිතෙන් බැහැර වෙන්නේ නැහැ ..මෙච්චර කාලයක් ගෙවිලත්

      Delete
  2. මට නම් මතක නෑනෙ. ඒ උනාට කමක් නෑ දැන් කියෙව්වනේ. හොඳම දේ ළමයින්ට කියනවා වගේ පෙළ පොතකට එකතු කරපු හොඳ කතාවක්. චිත්රපටියක් සේ මැවී පෙනුනා.

    ReplyDelete
    Replies
    1. මේක අපිට තිබ්බ පොතක් නෙමේ නේද. අපිට කලින්. මන් කියවන්න ඇත්තේ අක්කගේ පොත් වලින් ..අපි අටේදී ශ්‍රේණිය නෙමේ වසර වෙලා නේ

      Delete
  3. මම මේක කියවලා තිබුණා. හැබැයි ආයෙම මතක් උනේ මේ ලිපියෙන්. බෙදා හදා ගැනීම ගැන අපමණ තුති

    ReplyDelete
    Replies
    1. මටත් ඕන වුනේ මේක අන්තර්ජාලගත කරන්න ..පස්සේ කාලෙක කාට හරි සෙව්වොත් හම්බ වෙයිනෙ .

      Delete
  4. දැන් නෙලුම් විලේ මල් පිපෙන්නෙ බොහොම කලාතුරකින් නේද?

    ReplyDelete
    Replies
    1. මල් පිපෙන මුඩ් එකක් එන්නේ කලාතුරකින් සුබා

      Delete
  5. මම ජයන්ත විමලසේනගෙ පොතත් කියවල තියනව. ඒ නිසා මට මතක නෑ මේ කතාව මුලින්ම කියෙව්වෙ සිංහල පොතේද කියල. කොටින්ම අපිට තිබ්බ සිංහල අටේ පොතේ මේ කතාව තිබ්බද කියලත් මට හරියට නෑ ගනිච්චියක්. ඒත් මගෙ පුරුද්දක් සිංහල පාඩම් පොත් සංස්කරණය කලාම ආයම කියවන එක. මුලින්ම නංගිලගෙ පොත්, ඊට පස් සෙ අපෙ මාමලගෙ පුංචි අම්මලගෙ දරුවන්ගෙ පොත්, ඊටත් පස් සෙ උංගෙ දරුවංගෙ පොත්....

    අපේ සිංහල පොත් වල තිබ්බ කතා වලින් මට හොඳටම මතක මාටින් රැට්ලර් සහ බානි... ලස්සන කතාව…... ඔන්න කියනව කෙනෙකුට

    ඔය රැට්ලර්ගෙ කතාවෙ තිබ්බ හැමොකයක් කියල වචනයක්. මම ඕක ඊට කලින් අහල නෑ..අප්පච්චි තමයි කියල දුන්නෙ. එළිමහනෙ ගස් දෙකක් අතර හයිය කැන්වස් රෙද්දක් බඳිනව. ඒකෙ දිගාවෙලා පැද්දි පැද්දි සනීපෙට හුලං වැඩි වැදි ඉන්ට, නිදියන්ට එහෙම නැත්තං පොතක් බලන්ට පුලුවනි. ඔය පොත් වල තියන එව්ව ප්‍රායෝගිකව අත්හදා බලන්ට මගෙ තිබ්බ ප්‍රබල ආසාවක්. හැමොකයක් හදාගෙන ඊට පස්සෙ මට වෙච්චි දේ වෙනම සටහනකින් කියන්නම්කො...හෙහ්, හෙහ්,

    ජයන්ත විමලසේන ඇවිල්ල ඉතාම දක්ෂ පරිවර්තකයෙක්..යසුනරි කවබතාගෙ යුකිගුනි හිමදේශය නමින් පරිවර්තනය කලේ ඔහු. ඒ වගේම තකලි ශිවසංකර පිල්ලේ නම් කේරළ ලේඛකයගෙ නවකථාවක් ඔහු පරිවර්තනය කලා චෙම්මීන් නමින්. මම කියවපු අපූරුම කතාවක්. අපූරුම පරිවර්තනයක්..චෙම්මීන් කියන්නෙ කේරළ බාසාවෙන් ඉස්සො.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී...ජයන්ත විමලසේන මහතා ගැන සඳහනක් කරන්න සෙව්වත් හම්බ වුණේ නැහැ.

      ඕගොල්ලන්ගේ පොත් වල වෙන්න බැහැ ..මේ ඊට පස්සේ අපේ අක්කලාගේ පොත්..අපිට තිබුණේත් වෙනස් පොත්....

      මමත් ඉස්සර අක්කයි අය්යයි ගෙදර ගේන පොත් ටික කියෝලා අවුරුදු ගානක් ඉස්සරහට පොත් ටික කියවිලා ඒ පන්ති වලට යද්දී...හැබැයි ඒගොල්ලන්ට තිබ්බ ඉංග්‍රීසි පොත් නම් බෝරිං . දැනටත් අක්කගේ පොඩි උන්ගේ පොතක් අහු වුනහම කියෝනවා. .
      හැමොකයක් ඕනනං කියන්න. එකක් ගෙනත් දෙන්න ..මෙහෙ බොහොම ජනප්‍රියයි නේ..ෂාහ් ඔක්ක ඇලවෙලා පැද්දි පැද්දී ඉන්න එක හරිම සතුටු වැඩක්

      Delete
    2. චෙම්මින් කියන්නෙ මමත් කියවපු ලස්සනම ආදර අන්දරයක් තමා‍‍..

      Delete
    3. ලින්ක් එක නම් වැඩ කරන්නේ නැහැනේ රවී ..චෙම්මින් කියවලත් නැහැ ...මොන අපරාදයක්ද ..''.දුක යනු හිතුන ගමන් සිංහල පොතක් සොයා ගන්න බැරි වීමය ''

      Delete
    4. දැන් හරි .....තැන්කියු

      Delete
  6. You are welcome බින්දියො..

    අපට ජපන් සාහිත්‍යය ගැන කතා කරන්ටම ලැබිලා නැහැ නේද.?? කම්මැලි කම්මැලි කියලා බලන්නැතුව ඔය ගමන්ම ලියාන්ටකො බලාන්ට ඒ ගැනත් හොඳ ලිපියක්.. ;)

    ReplyDelete
    Replies
    1. ලියන්න දේවල් කොච්චර වට පිටේ ගොඩ ගැහුනත් මේ වගේ අතීත මතකයන් එක්ක උත්තේජනයක් ලැබෙන්නම ඕන ලියන්න ..

      මුණු පොතේ මේ පෝස්ට් එකේ ලින්ක් එක දැම්මම අකුතගාවගේ පින්තුරේ අඳුරගෙන මගේ ජපන් යාලුවෙක් ..හුඟක් පොත් කියෝපු කෙනෙක් හැඩයි .එයාව කෝපි පානයකට අල්ල ගන්න ඕන..

      ජපන් සාහිත්‍ය රුසියන් තරම් අපිට කියවන්න ලැබිලා නැහැනේ ..ඒ තරම් දේවල් නැහැ මගේ මතක ගබඩාවේ නම්.බලමුකෝ පොඩි සටහනක් දැම්මොත් බුරාලා රවීලා අත්වැල සපයනවා නම් ලියන්න බලමු.

      Delete
  7. මම නම් මේ කතාව කියවලා නෑ.. ඒ හන්දා මේක කියවන්න ලැබුන එක ගැන සතුටුයි මට..

    ReplyDelete
    Replies
    1. මටත් සතුටුයි ඕගොල්ලන්ගේ පරම්පරාව මේක කියෝලා නැති වෙන්න ඉඩකඩ වැඩියි ...දැන් පෙළ පොත් වලින් ලෝක සාහිත්‍ය කොතෙක් දුරට ළමයින්ට ගෙන එනවාද කියන්න මන් දන්නේ නැහැ . අපේ පොත් වලින් නම් අපි හුඟක් දෙනා අඳුර ගත්ත.

      Delete
  8. මේක කොහෙවත් අප්ලෝඩ් වෙලා නෑ බින්දි. ආපහු පබ්ලිෂ් කරමු.

    ReplyDelete