Wednesday 25 July 2012

මිනිසෙක් වූ බල්ලෙක් - අංක 2 ...සුරතලේට අලියෙක්








කොටස් වශයෙන් ලිවිම මහා කම්මැලි වැඩකි . මුලින් ලියද්දි එන ''ගැම්ම'' නැති වීම වගේම ''ලියල ඉවරයක් කරන්න ඕන යන'' කරදරකාර සිතුවිල්ලද නිසාවෙනි . බ්‍රවුන් බුලා සහ ටාසන් ට අමතරව විටින් විට විවිධාකාර බල්ලන් සිටි අතර පුසෙක් අනිවාර්යයෙන් ඇති කල බව මතකය .

ඊට අමතරව කොල්ලන් දෙන්නෙක් ගෙදර සිටි නිසා විටින් විට ලේන පැටවුන් , හාපැටවුන් ඇති කරන්නට කල උත්සාහයන්ද අඩුවක් නොවිණි. ඒ එක සතෙක්වත් දිග කාලයක් තබා ගන්නට බැරි විය . එක්කෝ පැන යයි . නැත්නම් පූසන් ගෙන් බේරන්නට බැරි නිසා අත අරියි .

මා කුඩාම කාලයේ , පාසල් යාමටත් පෙර කාලයේ අපේ ගෙවතු අල බතල සිටවනු ලැබූ සමයයි . එපමණක් නොව කහ , ඉඟුරු ආදිය විකුණන්නට තරම් පලදාව ලැබුනාද මතකයි. ඒ 70 දශකයයි . ඇතැමුන්ට මේ සමය හොඳින් මතකය .මේ ගැන විවිධ මත පලවෙයි. ඒ ගැන විචාරයක් කිරීමට තරම් ලොකු ළමයෙකු වී සිටියේ නැත . කවදත් අල්පේච්ච ගති පැවතුම් තිබු ලෝකය ඉහට කඩන් වැටුනත් ගණන් නොගත් අපේ තාත්තා සහ අපේ අනාගතය ගැන මහත් බලාපොරොත්තු රැඳවු ඒ සඳහා අපමණ කැපවීම් කල අම්මාත් අපි හතර දෙනාත් ඒ යුගය ගතකල ආකාරය ගැන මට ඒහැටි මතකයක් නැත .

ඇත්තේ කොයි ලමයාටත් ඇති සාමාන්‍ය මතක පමණි . එහෙත් ඒ දශකයේ අවසාන භාගයේ විසල් වෙනසකට හසු වූ ලාංකීය සමාජයේ පරිවර්තනය ගැන මට හොඳින් මතකය . දවසක ඒ ගැන කතා කරමු .

කියන්නට ගියේ බතල පාත්ති ගැනය . ළමා අප බතල පාත්ති වල සේවුයේ කුමක්ද ...මතක් කල විටත් සිනා නැගේ . ඔට්ටුයි කියන්නට බැරුවාට . අප සෙවුයේ හා බෙටිය . කුඩා රවුම් හා බෙටි කීපයක් එක තැන දැමීම හාවුන් ගේ ගතියයි. රවුම් හැඩති කිසිම ගඳක් නැති හා බෙටි ළමා අප තුල රුචිකත්වයක් ඇති කල හැටි අපුරුය .

හා බෙටි දුටුවිට අප වඩා ආසා පෙරදා රැයේ හාවුන් ආබවට එය වටිනා සාක්කියක් නිසාය . මෙතනදී ඔබට ගැහැණු ළමයි මතක් නොවේද . ලොකය්යා හෙවත් නිමල් කුසුම් කුඩා කල ලොසින්ජර යයි රවටා හා බෙටි කටට දැමු හැටි ...

වරක් අක්කටත් මටත් අතරමන් වූ හාපැටියෙක් අල්ල ගැනීමට හැකි විය . පිළිකන්නේ මුල්ලක දැලක් අටවා තාවකාලික කුඩුවක් තනා උඳුපියලිය කන්නට දමා ඇති කරන්නට ගත් අළු පාට හාපැටියා... අනේ ගෙදර උන් තක්කඩි පුසා ඒ අසරණ සතාව සුරා තිබිණි. අක්කත් මමත් ඌ වඩා ගෙන අහල පහල ගෙවල් වලින් බෙහෙත් සෙව්වා මතකය . මල දරුවා කරගසාගෙන ගිය කිසාගෝතමිය මෙන් . එකල අද මෙන් ගෙවල් වල betadin ප්ලාස්ටර සර්ජිකල් ඉස්පිරිතු තබන සිටි කලක් නොවේ. එක ගෙදරක දම් පාට බෙහෙත් තිබිණි. [ ඒ කාලයේ රෝහල් සේවකයින්ට ගම් වල ලොකු සැලකිල්ලක් ලැබුනේ මෙවැනි බෙහෙත් ගෙවල් වල තිබීම නිසාය ]

එහෙත් හා පැටියා මිය ගියේය . අපට දැනුන දුක කියා නිම කල නොහැකි එකකි. හා පැටියෙක් ඇති කල පළමු සහ අවසන් අවස්ථාව එපමණකි.

අපේ ගෙදර නොහිටියාට අහල පහල ගෙවල් කීපයක කුඩුකර ගිරවුන් සැළලිහිනියන් සිටි අතර උන්ට කතා කරන්නටද පුළුවන . '' චුටි බත් කෑවද'' මේ බොහෝ කුරුල්ලන් අහනා පොදු ප්‍රශ්නයකි .
අපට ඉඳහිට සුරතලයට අලි ඇතුන් ලැබේ . පුදුම වැඩක් නොවේද . අද වන විට කුට්ටි කර පර්චස් දහයේ විස්සේ කෑලි වලට විකුණා ඇති බොහෝ ඉඩම් එදවස ලොකු පොල් හෝ රබර් වතුය . අප සිටි කුලී නිවසද තිබුනේ එවැනි විශාල ඉඩමකය . මේ ගැන ලියන්නට වෙනම ලිපි පෙළක් උවමනාය . කැළණි පෙරහරට ඈතින් එන අලි ඇතුන් අපේ පළාතේ ලොකු වතුවල බැඳ තබයි. සමහර උන් හරිම හිලෑ නිසා අපට ළඟ පාතට වී බැලිය හැක . අපිට සුරතලයට අලි ඇතුන් ලැබුනේ එසේය ,.


ක්‍රමක්‍රමයෙන් මේ අලි ඇතුන් පන්සල කිට්ටුවටම සිමා වූ බව පෙනේ . පෙරහැර කාලයට පාරේ සිටියොත් අලි බලාගන්නට ලැබේ . ඉස්සර දැන් වාගේ අලි ලොරිවල ගියේ නැත . ඉතාම දුර බැහැර සිට ඔවුන් ආවේ පයින්මය . අද නම් උන් පව් කියා සිතේ . එකල පෙරහරේ චමත්කාරය මිස අලින් පව් යයි කියා මට කවදාවත් සිති නැත . ලෝකය වෙනස් වෙලා ද මන් පරිනත වෙලාද. කතන්දරට වගේම මටත් සිතේ .

යමක් ලියන විට ඒ අස්සේ කතන්දර ගොඩක් ලියවේ . මක් කරන්නද වැඩි කලක් ජිවත් වූ නිසා වැඩියෙන් දේවල් ලියන්නට තිබේ . කියවන්නට දිග වැඩි නම් සමාව භජනය කරත්වා !!!

ඔය අස්සේ වරක් අප ටිකක් ලොකු කාලයේ මට මතක හැටියට 7 , 8 පන්ති වලදී වියහැක , අප අලුතින් පුසෙක් ගෙනාවේ අම්මා අඳුනන ගෙදරකිනි. මේ ගමනට අක්කත් සහභාගී වූ නිසා ගෙදරට ගෙන එන විටම ඇය පුසා අයිති කර ගත්තාය . ඇය ජිවිතයේ ගත් මෝඩම තීරණය එය බව නොදැන උන්නාය . අපේ අක්කා ගැන කියන්නේ නම් අප දෙදෙනා බොහෝ වෙනස්ය . ඇය මට වඩා උසය , කොණ්ඩය රැලිය . මගේ කොණ්ඩය ඉත්තෑ කුරුය . ඇය හරිම පිළිවෙලය . කොටින්ම ජපන් එස් පහෙන් උපරිම වැඩ ගනී..මගේ වාසනාවට ඇයට දැන් මගේ ගෙය නොපෙනේ . නැත්නම් ඇය කලන්තය දමා වැටුනොත් මටම කරදරය .
ඇය පොඩි කාලයේත් එහෙමය . ගේ දොර අස්පස් කරන්නට සැබෑ හපනියකි . අප දෙදෙනාට තිබුනේ එක අල්මාරියකි. ඇයගේ තට්ටුව මල් අසුරුවාක් වැනිය . අදටත් නිවාඩුවට ගිය විට ඇයගේ අල්මාරිය දකින මා ස්ථිර අදිටනින් එන්නේ මගේ අල්මාරියත් අස්කරන්නටය . කිසිදා සැබෑ නොවන සුන්දර සිහින ..D
ඉතින් අපගේ අල්මාරිය ..අහෝ මා කියන්නට යන විපත්තියට මෙය ඇඳෙයි .


අක්කා ගෙනා අගේ ලස්සන පුස් පැටියා හරිම සුරතල්ය,..එහෙත් මු අමුතුම පුසෙක් බව අපට දැනෙන්නට විය . ගෙයින් එලියට අඩියක් නොතබයි. ගෙයි වසුරු දමන පුරුද්ද අත නාරියි. විවිධ තරවටු වලින් පසු එලියට යන්නේද මරන්නට ගෙන යන්න වගෙය . අහල පහල පුසෙක් දුටුවොත් කෑස් ගාගෙන ගෙට රිංගයි. අදෝමැයි මේකා බයගුල්ලෙකි . පූසන් බල්ලන් නම් ඉවසිය හැක . කැරපොත්තෙක් දුටොත් මේකා ලොවෙත් නැත .
මියන් ගැන කවර කතාද . මියන් උගේ උදුන් පැන ගියෙත් මු නිදා ඉන්න විටය . ඇහැරී උන්නොත් මු පැන එපා කියා දුවනු ඇති.


මේකා මෙසේ බය ගුල්ලෙක් වුයේ ඇයිදැයි නොදනිමු. මුගේ උපන්ගම ඒ දිනවල රටේ පරසිඳු චන්ඩියෙක් සිටි ගමකි.[ අපේ කිට්ටුව ගමකි . මගේ නම් සම්බන්ධයක් නැති බව සැලකුව මනාය ] එවන් ගමක උපන් මේකා මෙසේ බය වීම නම් සරදමකි ...D
දැන් ඉතින් අපේ අක්කාට පුසා ගැන යකා වැසි ඇත. කලින්ම අයිති කරගත් නිසා අපේ විහිලු වලටද ඇය බඳුන් විය .
අපේ අක්කා සැමදා උදයේ ඇඟ සේදීමට බොහෝ වෙලා ගත කරයි. මැදපු ඇඳුම් පමණක් අඳියි. [ මේ ලෝකයේ මට පේන්නම බැරි රාජකාරියකි රෙදි මැදීම ..]
දවසක් උදයේ පන්ති යාමට ඇඳුමක් ගන්නට අක්කා අල්මාරිය ඇරියාය . ඇරුනු අල්මාරියෙන් පුස් තඩියා පැන ගියේය

.  අක්කා ගවුමක් ඇන්දාය .........එතැන් සිට තනිකරම ඛේදවාචකයකි ...
පුසා අක්කගේම තට්ටුවේ ජරා කර තිබිණ .
අපි වාසනාවන්තය . පුසාගේ අයිතිකාරයා වෙනකෙක් වුවා නම් ..කතන්දරේ වෙනස් විදිහට ලියන්නට සිදුවේ ..

අපි ගෙදරින් එනකම්ම හිටියේ ඒ පුසාය . අපේ අක්කා ජීවිතේට බල්ලෙක් පුසෙක් හැදීම නවතා දැමුවාය . ඒ පුසා මල පසු අපේ අම්මාද පූසන් ඇති කලේ නැත . පසු කලෙක කොහේදෝ යන පුසී පැටියෙක් මිදුලේ නවාතැන් ගත්තාය . අපෙත් නොවී අනුන්ගේත් නොවී යමක් කාබී සිටි පුසිට අපේ ලොක්කි '' පොලි '' කියා ඉංගිරිසි නමක්ද දැම්මාය . පොලි මවක් වී වරින් වර දු දරුවන් ලැබූ බව අම්මා කි නමුදු ඉඳහිට ගෙදර ගිය අපට ඔවුන් දක්නට නොලැබිණ . ළමයින් දිග තල දුන් පසු ගෙවල් යලි පෙර පරිදි නොවේ. මල්ලි විවාහයට පෙර ඇති කල බල්ලාද බ්‍රවුන්ය . .


ඌද අමුතු චරිතයකි . කජු ගහේ භාගයක් නගින්නට පුළුවන . අවුරුද්දකට පසුව යන අපට වැඳ වැටේ . අම්ම ගමනක් යද්දී පාර හරස් කරයි . විටින් විට අපේ ගෙවල් වල එන අම්ම දින කීපයක් නවතින එක බරවුන් අකමැති කාරණයකි .

අද මල්ලි වෙන ගෙදරකය . අම්ම මහගෙය විකුණා දැම්මාය . පරණ මතක පමණක් හදවතේ ඉතුරු වී ඇත . පොලි ට මක් වීදැයි නොදනිමි. ලෝකය වෙනස් වේ . අපද වෙනස් වේ ..එහෙත් හදවත් පතුලේ සිරවූ මතක සදා නොමියේ.

මෙතනින් එහාට ලියන්නට මගේ බොඳවූ නෙත් ඉඩ නොදේ .
පින්තුරය

Tuesday 10 July 2012

මිනිසෙක් වූ බල්ලෙක්




මේ ලෝකේ සුරතල් සතෙක් නැති එකම ළමයි දෙන්න තමන්ය කියල ලොක්කියි පොඩ්ඩියි නෝක්කාඩු කියද්දී  පහුගිය සර්කස් ලිපියේදී නැන්දලා මාමලා හුඟක් කියා තිබුණ ළමයින්ට බලු පැටියෙක් ගෙනත් දෙන්න කියල . හැබැයි දෙන්න මගේ බ්ලොග් එක කියවන්නේ නැති හින්ද ඒ චන්ද සේරම අවලංගු වෙනවා .D

අද මෙහෙම වුනාට අපේ ගෙදර ඉස්සර හැමදාම පුසෙකුයි බල්ලෙකුයි වැරදුනේ නැහැ . ඒ දවස්වල ලොකුවට තාප්ප දාල ඉඩකඩම් වෙන්කරලා තිබුනේ බොහොම අඩුවෙන් .ඉතින් ඒ සත්තු නිදහසේ ඇවිදලා ජිවත් වුනා . බල්ලන් නම් හිටියෙම එළියේ . පූසන් නම් ගේ ඇතුලේ උන්නත් පුටු උඩ නැගීම තහනම් . මේ නීති අකුරටම ක්‍රියාත්මක කලේ අපේ අක්ක . හැබැයි අපි උන්ට ආදරේ කළා . අතපත ගාල සුරතල් නොකෙරුවත් උනුයි අපියි අතර අපුරු බැඳීමක් තිබුණා.

මේ බල්ලන් පුසන්ට අමතරව කිකිළියක් ඇති කළා අපි කුඩාම කාලේ . බිත්තර රක්කලා පැටව් ආවම අපි උන්ව බෙදා ගන්නවා . ලොකු වුනහම උන්ගේ බිත්තර තනියම කන්න හිතාගෙන . පුංචි පුළුන් බෝල වගේ කුකුළු පැටව් කුකුලොද කිකිලියෝද කියලා සොයන්න බැහැ. ඔන්න ටික දවසක් යද්දී පිටිපස්සෙන් වලිග පිහාටු දික්වෙන්න ගත්තම තමා තමන්ට අයිති එවුන් මොන ජාතියේද කියල දැනගන්නේ . සමහර විට සේරම කුකුලෝ වෙලා බලාපොරොත්තු සුන් වෙන වෙලාවල් තිබුණ .

[මේ අර ගෙවත්තේ අල බතල හිටවාපු දශකයේ අග භාගය විය යුතුයි .]

ඒ ඉතින් හුඟක් පුංචි කාලේ . පසු කලෙකත් මට මතකයි අපේ ආච්චිලගේ ගෙදර කුකුළු පැටව් හිටියා . තව එළදෙනක් හිටියා . මහගෙදර ඒ සත්තු ඇති කරන එක නැවතුනේ ආච්චිගෙයි ආතාගෙයි අන්තිම කාලේ බවයි මට මතක . මේ අර ලිපි තුනකින් කියූ තාත්තගේ ගම නෙමෙයි . කොළඹට ආසන්න අම්මගේ ගම . කොළඹට ආසන්න වුනත් ලස්සනට තිබුණ පළාතක් .ඒ විස්තර වෙන ලිපියකින් ලියන්න සිදු වෙනවා .

අද මට ඇත්තටම ලියන්න උවමනා වුනේ මා හා සමීප වෙච්ච සුරතල් සතුන් ගැනනේ.

බලු පැටවුන් පිලිබඳ මගේ පළමු මතකය හරිම තිත්ත එකක් . අපිට හිතවත් කෙනෙක් ලස්සන බෝල ගෙඩියක් වගේ දුඹුරු පැහැති බලු පැටියෙක් ගෙනත් දුන්න . අපි එයාට බ්‍රවුන් කියල කතා කළා . ටික දවසකින් බලු පැටියා ගෙනත් දීපු අය්යා අපේ තාත්තත් එක්ක කුටු කුටු ගානවා දැක්ක . ඊ ළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී හරිම අමුතුයි . බ්‍රවුන් නැහැ .

හැබැයි අම්මලට මේක රහසක් විදිහට තියාගන්න බැරි වුණා. පැටියාගේ අම්මට පිස්සු හැදිලා . බලු පැටියට වුන දේ කවදාවත් අපට කිව්වේ නැතුවට සුරියපාලුවේ වෙද මහත්තයෙක් ලඟට පවුලම ගිහින් ඇවිත් තිත්තම තිත්ත කසාය අපට පෙව්වා . ඊක්.....

අච්චර ඛේදවාචකයක් වෙලාත් අපි පසු බැස්සේ නෑ. සත්තුත් මිනිස්සු වගේ . විවිධාකාර චරිත රැසක් තිබුන බල්ලන් පූසන් කීප දෙනෙක් මට හොඳට මතකයි.

බුලා එක්කෙනෙක් . මෙයා පුදුමාකාර බල්ලෙක් . අපි යන යන තැන පස්සෙන් ආවා . ආදරේට වෙන්න ඇති . හැබැයි අපිට නම් මේක පරාල ඇණයක් වුණා . කොයිතරම් මග ඇරලා ගියත් මෙන්න භාගයක් දුර යද්දී බුලා අපේ පස්සේ . නාන්න ගියත් , දුර ගමනක් යන්න බස් එකට ගියත් පස්සෙන් එනවා . මේ පස්සෙන් ඒම ඉවසන්න බැරි මුට කන්න පාර දිගේ අනික් බල්ලෝ කඩා පනිද්දී ආරක්ෂාවට අපි අස්සට එන එක . එක දවසක් අපේ අම්ම බස් එකට නැග්ගම මිනිස්සු කෑගහන්න අරන් . බල්ලෙක් බස් එකට ගොඩ වෙලා . අම්ම අඳුනන්නේ නැතුව උන්නලු . ආයේ දවසක් පන්සල් ගිහින් බණ මඩුවේ බණ අහනව . මෙන්න බුලා සෙනග අස්සේ අපිව සොයනවා . එදාත් බුලා අපේ නෙමේ .

එක දවසක් බුලා ගෙදර ආවේ නෑ . අම්මල කිවේ මැරෙන්න ළඟ වුනහම සත්තු යන්න යනවලු .
තව අමතක නොවෙන මිනිහෙක් වගේ බල්ලෙක් උන්න . එයාගේ නම ''ටාසන් ''. මුට නම් බල්ලා කියන වචනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ .



තනිකර මනුස්ස ගතිගුණ තිබ්බේ ... පොතක් හරි ෆයිල් එකක් හරි අරන් ගෙදරට එන තරුණ අයව නැට්ට වනල පිළිගත්තා . වයසක මිනිස්සු පේන්න බැහැ. කඩා පනිනවා . අපේ යාලුවෝ ආවම දොරකඩට වෙලා අනික් පැත්ත බලාගෙන ඉන්නවා යනකම්ම . අපේ යාලුවෝ අතර ටාසන් සැහෙන ජනප්‍රිය වුණා . සමහරු කිව්වේ ටික කාලෙකට ඉස්සර මැරුණ තරුණ අයෙක් වෙන්න ඇති කියලයි . කෑවේ වෙලාවට. බොහොම ටිකයි . හරිම පිරිසිඳු පාටයි .


නරක පුරුදු වලට ඇබ්බැහි වුන හොඳ මනුස්සයෙක්ට වෙන දේ මෙයාටත් වුණා . අසල්වැසි ගෙදරකින් හරක් මස් කන්න දීල ටාසන් එහාට පුරුදු වුණා . අපේ දිහා නොකන මසට ලොල් වුන ටාසන් අන්තිමට එහාටම වුණා . පුදුමම දේ වුණේ ඊට පස්සේ . අපේ ගේ ගාවින් එහා මෙහා යද්දී හරියට තරහ වුන මිනිහෙක් වගේ අනික් පැත්ත බලන් යන්න ගත්ත . බල්ලෙක්ට මනුස්සයෙක් වෙන්න පුළුවන් බව එදා තමයි මන් දැන ගත්තේ .

ටික කලකින් අපි දැක්ක සාත්තුවක් නැති වුන ටාසන්ගේ ඇඟේ කුෂ්ට දාල . අපේ දිහා ඉද්දි නිතර නාන්න පුරුදු වෙලයි මෙයා උන්නේ .[ එක දවසක් පාරට ගිහින් ලොරියක හැපිලා කකුලක් තුවාල වෙලා ඉද්දි අය්යා තමයි සාත්තු කරලා සනීප කලේ .]


ඔය කාලේදී මන් වෙන ගමකට දීග ගියා . මට අවසාන කාලය දකින්න බැරි වුණා .

අම්ම කි පරිදි අවාසනාවන්ත තත්වයට පත් වුනාට පස්සේ අර ගෙදරින් ටාසන්ව එලවල . ඉඳහිට අපේ මිදුලට ආවාම අම්ම කන්න ටිකක් දුන්නලු .

දවසක් අර ගෙදර ගැහැණු කෙනා මරලතෝනි දෙනවා ඇහිලා . ලිඳට බල්ලෙක් වැටිලා . එයාල නොදැන ලිඳේ වතුරත් බිල .

වැටිලා මිය ගිහින් තියෙන්නේ ටාසන් .

මේ දේවල් විස්තර කරන්න හැකි බුදු දහමට පමණක් කියලයි අද මට කල්පනා වෙන්නේ .

p.s.
සුරතල් සත්තු ගැන සේරම ටික ලියල දාන්න හිතුවත් සැහෙන්න දීග වෙන නිසා මෙතනින් කඩන්න හිතුව .