Saturday, 3 August 2013

පාර දිගේ .....

පහුගිය දවසක නැරඹුව චිත්‍රපටයක් මාව විතරක් නීම් අපේ පොඩි උන් දෙන්නත් කම්පනයට පත්කලා .A Thirsty World '' . ලෝකේ පුරාම පිරිසිඳු ජලසම්පත සිඳෙන සහ දුෂණය වන ආකාරය කියන වාර්තා සිතුවම්පටක් .
ට්‍රේලරේ විතරයි හම්බ වුණේ . ටොරන්ට් කරන්න පුලුවන්ද කියල බලල කවුරු හරි ලින්ක් එක දාන්න පුලුවන්නම් වටිනවා .


ලෝකේ කොච්චර වතුර තිබුණත් බොන්න පුළුවන් වතුර තියෙන්නේ කොච්චර පොඩ්ඩද . වතුර නැතුව මනුස්සයෙක්ට ජිවත් වෙන්න පුලුවන්ද .

ඉන්දියාවේ ,අප්‍රිකාවේ කම්බෝජියාවේ ජල හිඟය ගැන කම්පා වෙච්ච හිත අද කියන්න බැරි තරම් හැඟීම් ගොඩක් එක්ක හිර වුණේ වැලිවේරියේ වතුරට සල්ෆියුරික් එක්ක ලේත් මිශ්‍ර වුණ හින්ද .

මිනිස්සු එක පාරටම පාරට බහින්න නැතුව ඇතිනේ. කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් නම් පරිසර අධිකාරීන් මේ ගැන මොකද කලේ. අපිරිසිඳු ජලය  බැහැර කරද්දී යම් පිළිගත් ක්‍රමවේදයක් තියෙනව .'' Waste water treatment '' කියන්නේ එයට කියල අපි ඉගෙන ගත්තේ .  ආයතනයේ ඇතිනේ මේ ගැන වගකියන නිලධාරින් . නොදැන වුණ  දෙයක් නම් මෙච්චර බරපතල උද්ඝෝෂණයකට මිනිස්සු තල්ලු නොකර වැරැද්ද නිවැරදි කරගන්න බැරි වුණේ ඇයි .

ඉස්සර ආච්චිලාගේ දිහා යන්න අපි ගොඩ වුණේ 228 වැලිවේරිය බස් එකට ,නැත්නම් 224 කිරිඳිවැල හරි 225 පුගොඩ බස් එකට . කොළඹට කිට්ටු වුණාට කැළණියෙන් එහාට බියගම පාර එහෙමකට නාගරීකරණය වෙලා තිබුණේ නැහැ . ආච්චිලාගේ ගෙදෙට්ට යන්න බහින්නේ සියඹලාපේ හන්දිය නැත්නම් බෙල්ල කපපු හන්දිය . ඉස්සර කාගේද බෙල්ලක් කපුව නිසාලු ඒ නම වැටුනේ . දැන් කාලේ නම් බෙලි කපන වෙඩිතියන ගාණට නම් තියන්න ගියොත්  නිකන් නමක් තියෙන හන්දියක් බේතකටවත් නැති වෙයි .

මේ බෙල්ල කපපු හන්දියේ ඉඳන් වෙඩි තියපු හන්දියට ඒ හැටි දුරක් නැති එකයි හිතට වැඩියම වේදනා .

බස් එකෙන් බැහැල ගෙදෙට්ට යන්න කෙටි පාරක් තිබුණ රබර් වත්තක් මැදින් . අපි කවදාවත් දිග පාරෙන් ගියේ නැහැ . රබර් වත්තෙන් වැටුන කෙටි පාරට වැඩිය කැමති වුනේ උගුරැස්ස ගහක් තිබ්බ නිසා . ඒ කාලෙට පස්සේ උගුරැස්ස ගෙඩියක් දකින්න නැහැ .

වේලිච්ච රබර් ගෙඩිය පුපුරලා කටුව වෙන් වෙන්නේ සමනලයෙක් වගේ . ඒක බඹර වගේ කරකවන්න පුළුවන් . රබර් ඇටෙන්  කරන්න දෙයක් නැති වුනත් ඒකෙ දිලිසෙන ගතියට ආසයි. ගෙදෙට්ට යන ගමන් ගවුම් සාක්කු වල රබර් ඇට , කටු වගේම උගුරැස්ස ගෙඩි දෙක තුනක් දාගන්නවා . ඉස්සර අම්මට ගවුම් මහන්න කලින්ම කියන්නේ සාක්කු ඕනේ කියල . අදටත් මන් සාක්කු වලට ආසයි . සුදු ගවුමටත් ඉස්සරහ සාක්කුවට අමතරව සයේ දෙපැත්තෙන් හොර සාක්කු දෙකක් ඕනෙමයි මට නම් ඒකාලේ . සීසන් එක හෙම වැටෙන්නේ නැතුව දාගන්න .

ආච්චිලටත් බොහොම පුංචි රබර් කට්ටියක් තිබුණ . උදේම ආච්චි හරි ආතා හරි යනවා කිරි කපන්න . කිරි කපනවා කියන්නේ රබර් ගහේ රවුමට පොත්ත සහින එක . එයටත් කලාවක් තියෙනව . කානුවක් වගේ උඩ ඉඳන් පහලට ගහ වටේට කපන මේ කැපුම කෙළවරට පොල් කටුවක් රඳවන්නේ බේරෙන කිරි එක්කහු කරන්න .

මට මතක විදිහට කිරි එකතු කරන්න යන්නේ ටිකක් දවල් වෙලා . කිරි බාල්දිය ගෙදර ගෙනත් කිරි දානවා ඇලුමිනියම් ට්‍රේ වලට . ඊට පස්සේ ඇසිඩ් කලවම් කරලා . මිදෙන්න තියනව . ඒ කාලේ කෙමිස්ට්‍රි කරලා තිබුණේ නැති නිසා මේ ක්‍රියාවලිය මට ලොකු මැජික් එකක් වුණා . දැන් හිතෙන විදිහට සල්ෆියුරික් ඇසිඩ් වෙන්න ඕනේ දැම්මේ .

මේ රබර් මිදුනම කිවේ රොටි කියල . රොටි එකතු වුනහම අරන් යනවා ලොකු රබර් වත්තක තිබුණ මෝලකට . දුම් ගහන්න ගෙනියන්ව කියලයි ආච්චිලා කිවේ. අපි එහෙ ගිය වෙලාවක නම් අපිත් පස්සෙන් වැටෙනවා . ඔය රස්තියාදු ගමන් වලින් ජීවිතේට ලැබුණ අනගි පාඩම්  ඉස්කෝලෙන් ඉගෙන  ගන්න පුළුවන් ඒවා නෙමේ .
මේ දුම් ගැසීමේදී වෙන්නේ රොටිය වෙලිමකට සහ තද වීමකට ලක්වීම වෙන්න ඕන .

ඊට පස්සේ ඒවා විකුණුවේ කොහොමද කියන්න මතක නැහැ . එක්කෝ මෝලටම දෙන්න ඇති . නැත්තන් වෙළෙන්දෙක් ගෙදෙට්ට එන්න ඇති..

කිරි කැපීම වගේ වැඩ තිබ්බත් උදේ කෑමට ඉදිආප්ප ආප්ප වගේ දේකුත් හැදෙනවා . වැඩිහරියක් එහෙම හැදුන  අපේ අය්යා  නම් හිල් බත් තමයි හැමදාම කන්න පුරුදු වෙලා හිටියේ . රෑ උයපු කරෝල ඇතිලියට හිල් බත් දාගෙන අනලා කාලා තියෙන කෙනෙක් දන්නවා ඒකෙ රස.

තාත්තගේ ගමේ ගෙදර වගේ මෙහෙ එච්චර පොත් තිබ්බේ නැහැ කියවන්න . ළඟ ගෙවල් වල හිටිය කොලුවයසේ මාමලා නැන්දලා ළඟ තිබ්බෙත් චිත්‍ර කතා . එව්වා නම් කියෙව්වා ඇති වෙන්න .

ඉතින් වැඩියම කලේ ආච්චිගේ හරි ආතාගේ හරි පස්සෙන් වැටෙන එක . අවුරුදු කාලෙට හෙම එහෙ ගියොත් කට්ටිය හිටියා හුඟක්. ඒ ඇරෙන්න සාමාන්‍ය නිවාඩු දවස් වලට එහෙමකට කවුරුත් උන්නේ නැහැ . පුංචිලා  මාමලා ගෙන් ඒකාලේ  නොබැඳපු අය වුනත් වැඩට ගිහින්. ආච්චි දවල්ට උයල තියල යනවා නාන්න .

ගෙදර වතුර ඇදල බොන්න ගත්තට නාන්න නම් නානාප්‍රකාර ළිං වලට ගියා . කොයි අතට ගියත් වෙලක් හම්බ වෙනවා . ඒ අයිනේ ළිං ඕන තරම් . අතින් ගන්න මට්ටමේ ළිං වලට තමයි වැඩිය කැමති. සමහර ළිං වලට පොඩි කඹ කෑල්ලක්  ඕනේ වෙනවා . ලිඳ අවට තියෙන  ගහකොළ ප්‍රමාණය  අනුව වතුරේ උෂ්ණත්වයත් වෙනස් . පලවෙනි වතුර එක දාගන්න එක මරන්න ගාණට බය හිතෙන තරම් සිතල ළිං තිබුණ .

සමහර ඒවා උතුරලා යනවා . ගැඹුරත් විවිධයි . එකපාරක් මන් ඔය ලිඳකට වැටුනත් එක්ක . කවුද අත දීලා ගොඩ ගත්ත . ලැජ්ජාවයි ඉවසන්න බැරි. කාලයක් යනකම් මේ අර ලිඳට වැටුන ළමයා නේ කියල අහද්දී ආච්චිගේ චිත්තෙට මුවා වෙන එකයි එකම විසඳුම .

එක එක නම් තිබ්බ ළිං  වලින් මට අමතකම නොවන නම තමයි '' මැණික්ක ගාරේ '' ලිඳ . මේ හරියේ ඇළවල් වල මැණික් ගරපු නිසා ඒ නම වැටෙන්න ඇති.

නාල ගෙදර එන්නේ සමහර විට කැබෙල්ල දළු හෙමත් කඩාගෙන . රෑට ඉදි ආප්ප හැදුවොත්  කැබෙල්ල දළු මාළුව නැත්තන් කෙහෙල් මුව මාළුව වගේ එකක් එක්ක තමයි කන්නේ .

ඉතින් රෑට කන්න කලින් දවල්ට කන්න ඕනනේ . නාල හෙම ඉන්නේ යකෙක් කන්න පුළුවන් ගානට. ආච්චි උයලා තියලා ගිය බත් බෙදල දෙනවා අපිට. හුඟක් වෙලාවට කරවල හොද්දක් මැල්ලුමක් , බටු මාළුවක් හෙම තමයි තිබුණේ . අපේ අම්මටත් හොඳට උයන්න පුළුවන තමයි . ඒ වුනාට ආච්චිගේ කරවල හොද්ද වගේ එකක් නම් ඊට පස්සේ කන්න බැරි වුනා . එකක් බඩගින්න. අනික ආච්චිගේ අත්ගුණේ . ආච්චිගේ අම්මයි තාත්තයි දෙන්නම කෝකියෝ.

රෑට නිදාගත්තේ ඒ කාලේ ගෙදර හිටිය පුංචි කෙනෙක් ගේ කාමරේ . එයාගේ කාමරේ වුඩු පවුඩර් සුවඳයි. පුන්චිලා ටිකක් ලස්සනට අඳින්න කැමති අය. ඒගොල්ලෝ බඳින්න ඉන්න කාලේ යාලු වෙච්ච බාප්පල එක්ක ගමන් යනවා මට මතකයි මැක්සි ගවුම ඇඳලා . බාප්පල බෙල් බොටම් එක ඇඳලා . අසුව දශකයේ මුල වගේ වෙන්න ඕන . දෙගොල්ලන්ම පාර අතුගගා යන්නේ .

හිනා වෙන්න ඕන දවසක් නම් නෙමේ . ඒ වුනාට මේ සිද්දි මතක් වෙනකොට නම් හිනාත් යනවා .

ඔහොම කාලයක් යද්දී වෙළඳ කලාපය ඇති වුණා . මාකොළ පැත්තේ ඉඳන් කලාපෙට වැටෙන සමෘධි මාවත හදන්න ගත්ත කාලේ මට මතකයි . ඒ පාර වැටුනේ බියගම පාර [ අද වෙද්දී නව නුවර පාර . මේක තමයි බැලුම් මහරින් පරණ නුවර පාරට වැටෙන්නේ ] හරහා හතරමන් හන්දියක් නිමවමින්. රබර් වත්ත අයිනෙන් . රබර් වත්ත අයිනේ තිබුණ ලස්සන උතුරා යන ලිඳක් .පාර හදල කාලයක් යනකම් ලිඳ තිබුණ තැනින් උල්පත් වතුර මතු වෙලා පාර අයිනෙන් ගලා ගියා .

 ඒ දකිද්දී මගේ ළමා හිතට හරිම දුකක් දැනුන . මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒ දිය පාර . හරියට මනුස්සයෙක් මරල එතන වලදාළ වැහුව වගේ. ..මට දැනුනේ . වතුර පාර නිකන් මිනි මැරුමේ සාක්කියට ගලා ගිය රුධිරය වගේ .

ළමයෙක් ලෙස එදා මගේ බොළඳ සිත හැඬුවේ ළිඳත් බේරලා පාර හදන්න බැරි වුණේ  ඇයි  කියල .

අද මට මතක් වුණේ ඒ ලිඳ . කඩපිල් හැදිලා බෝඩින් හැදිලා ඒ ලිඳ තිබ්බ තැනක් වත් නැතත් මට අද ඒ ලිඳ මතක් වුණා .




කලාපෙ නරක වගේම හොඳත් තිබුණ . දහස් ගානක් රැකියා ලැබුණ. හැබැයි මන් තාම හිතනවා ''පාරයි '' '' ලිඳයි '' දෙකම තිබ්බ නම් හොඳයි කියල .