Wednesday, 25 September 2013

විහාරමහා දේවි ......

''අම්මේ මෙන්න තාත්ත අම්මගේ බ්ලොග් එක කියෝනව ''
''අපෝ ඒකෙ මොනවා බලන්නද ..මන් මේ අනික් බ්ලොග් වලට යන්නේ එතනින් ''

ඔය ඊයේ මහා රෑ මට ඇහිච්ච දෙබසක්.

''මේ දවස්වල අපේ නැන්දම්මා ඇවිත්..ඔයාට මතකනේ එයාව. මන් එයාට ඔයාගේ බ්ලොග් එක කියවන්න දුන්න. කාලෙකින් අලුත් එකක් ලියල නැහැ නේ ''

ඒ ඊයේ පෙරේදා සයිගොන් වල ඉන්න යාළුවෙක් ..දුරකතනයෙන්.

''ඔයා දැන් බ්ලොග් එක ලියන්නේ නැහැ නේ ''
ඒ අද උදේ ප්ලේන්ටියක් බිබී කය්යක් ගහන් ඉන්නකොට මගේ මෙහෙ යාළුවෙක්.

ඔයිට අමතරව හුඟක් දෙනෙක් අහල තිබ්බ මොකද වුණේ කියල ..ඇත්තටම මොකද වුණේ ??

මුකුත් නොවීම ...ඒ කියන්නේ කම්මැලි කම තමා ආයේ. දෙයක් අත ඇරුනම ලේසි නැහැ ආයේ පටන් ගන්න.

අනික පොඩි අය ලොකු වෙද්දී අපි හිතුවට වැඩ අඩු වෙයි කියල එහෙම නැහැ. අක්ක හයට ගිය නිසා දැන් ඉස්කෝලේ රැස්වීම් අනං මනං වලට දින තියෙන්නේ වෙන වෙනම. ඉස්කෝලෙන් පස්සේ ක්‍රියාකාරකම් දෙන්නට එකම දවසේ නෙමේ. ළමයින්ගේ ආසාවල් අවශ්‍යතා අනුව ඒවා තෝරද්දී එකම දවස්වලට සමපාත වෙන දේවල් හරිම අඩුයි.

අක්කට මේපාර දුණු විදින්න ඕන වුණා. නංගිට  බෝනික්කෝ හදන්න ඕන වුණා . දෙක දවස් දෙකක.
අනික් ඒවාත් එහෙමයි. ඔයින් මෙයින් මට වුනේ සතියම හවස එක්කන් එන්න යන්න වෙච්ච එක.

ප්‍රාථමික පන්ති වල හරිම සැහැල්ලු විෂයමාලාවක් තිබ්බට හයෙන් පස්සේ බොහොම වැඩ. නිසි ලෙස විද්‍යාගාරය හෙම පාවිච්චි කරලා බැරෑරුම් අකාරයට විද්‍යාව ඉගෙන ගන්න පටන් අරන්. තව මානව ඉතිහාසයේ ආරම්භයේ ඉඳන් ඉගෙන ගන්න වෙන විෂයයක් තියෙනව. මගේ ප්‍රියතම අංශයක් නිසා  ගෙදර
වැඩ හෙම කරද්දී පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ආසයි.

දවසක් අතීත කෘෂිකාර්මික විධි ගැන කියෝන වෙලාවක මන් අපේ වැව් ගැන ටිකක් කියා දුන්නා. ඔන්න මෙයාට ප්‍රශ්න ගොඩයි. කොයි කාලේද ලංකාවට මිනිස්සු ආවේ අරකද මේකද. බලංගොඩ මානවයා දක්වා අමතක විස්තර සොයල පින්තුර පෙන්නලා කතාව දුර ගියා.

විජය කුවේණිගේ කතාව කියා දුන්න.හැබැයි මන් මෙව්වා කියන්නේ මගේ දැක්ම අනුව සියට පනහ පනහ තර්කයෙන්. මුල්ම කතාවට වඩා රවී ලියපු විදිහ වඩා හොඳයි ළමයින්ට කියල දෙන්න. විජයට පොඩ්ඩක් සුදු හුණු ගාල සැර බාල කල කතාව.

ඔක්කොම අහගෙන ඉඳල ලොක්කි කියපි

''ෂඃ ඒ කියන්නේ අපි ආක්‍රමණිකයෝ ...බෝට්ටු ජනතාව '

...................................................................................................................................................................

අපේ දිහා හැමදාම වගේ නිදා ගද්දි කතන්දර කියනව. මගේ කතා සරිත් සාගරේ නම් දැන් හිඳිලා. හැමදාම කොහෙද ඔය හැටි කතා. කිව්වා එකක් කියන්නත් බැහැ . මතක ජාතක කතා ටිකත් ඉවරයි . අනික හැම කතාවම කියා දෙන්නත් බැහැ. නිදා ගන්න කොට මැරෙන මරණ කතා කියන්නත් බැහැනේ.

බුද්ධ චරිතයෙන් මතක එව්වත් ඉවරයි .පටාචාරා වගේ කතා නම් මන් කියන්නෙම නැහැ . කිසා ගෝතමී ගැන කියල පොඩ්ඩි හොඳටම දුක් වුනා.

මුණු පොතේ රුක්ෂිලා වෙහ්තමුණි සහෝදරිය පවත්වාගෙන යන ''ළමා කතා '' පැත්තේ ගියොත් කතන්දරයක් අහුලගන්න පුළුවන්. කතන්දර අමතක අම්මලා තාත්තලාට ඔන්න හොඳ ඔත්තුවක්.

[ හුඟක් පරක්කු වුනදාට , නැත්නම් මට කම්මැලි දාට ''ඔන්න ඔහේ අද කතන්දර බැහැ .කරදර නොකර නිදාගන්න '' කියන වෙලාවලුත් නැත්තේම නැහැ. මොකද අපිත් අම්මල වුනාට පෘතග්ජන මිනිස්සු. ]

මෑතක ඉඳන් ලංකාවේ ඉතිහාසයේ කතා කියන්න පටන් ගත්ත. ගැමුණු කුමාරයා කිරිබත් කාපු හැටි හෙම හොඳට ආස වුන කතාවක්.

ඊට පස්සේ දවසක විහාරමහා දේවි ගැන කියල දුන්න.[ එයා අම්මගේ ගමේ]. තාත්තගේ වරදට කුමාරිව මුහුදට යවන්න වුන එක දෙන්නටම එච්චර ඇල්ලුවේ නැහැ. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් !!!

කොහොම හරි ඔන්න කුමාරි ඔරුවක දාල මුදේ පාකලා .

රටේ අනික් පැත්තට ගොඩ බැහැලා කාවන්තිස්ස රජතුමා කුමාරිව විවාහ කර ගත්තා ..


පොඩ්ඩි -''එහෙම කොහොමද ..වෙන්න බෑ .

මම - ''මොකෝ බැරි ''

පොඩ්ඩි - '' රජකෙනෙක් කොහොමද කුමාරියෙක් බැන්දේ. කුමාරියෙක් බඳින්න ඕනේ කුමාරයෙක් .''

දුවල ගිහින් ගෙනාවා එයාගේ ප්‍රින්සස් පොතක්

''මේ මේ දැක්කද ..සින්ඩරෙල්ල බැන්දේ කුමාරයෙක් ....ස්නොව් වයිට් බැන්දේ කුමාරයෙක් ...ස්ලිපින්ග් බියුටිත් එහෙමයි .

බැන්දට පස්සේ තමයි කුමාරයා රජ වෙන්නේ ..