Sunday, 24 April 2016

ගෘහස්ථ හිංසනය

අපේ පොඩි දෝනිට හැමදාම රෑට කතන්දරයක් ඕන බව කලින් කියලා තියෙනවනේ. මගේ කතා සරිත් සාගරේ හිඳිලා වුනත් තාමත් අවුරුදු දහයක් වෙලත් පොඩි කතාවක් හරි ඕනෑමයි. සමහර දාට එයා මට කතා කියනවා. කතා විතරක් නෙමේ අපි දෙන්න අතරේ ඉතාම වැදගත් සංවාද ඇතිවෙනවා. එයා බොහොම මොලේ ඇති ළමයෙක් නිසා ඇත්තටම අපි බොහොම බරපතල ගෝලීය ප්‍රශ්ණ පවා කතා කරනවා.ඔන්න මගේ නිසා කියනවම නෙවේ.දන්නා කියන කවුරුත් මෙයා ගැන දන්නවනේ මුන්දගේ තරම.

ඒ කාලේ ඇඳුම් අඳින්න බැහැ කියල බිම පෙරලිච්ච ,සපත්තු අමතක  වෙලා ඉස්කෝලේ ගිය කොණ්ඩය කපල වැඩියි කියල  සැලෝන් එකේ බිම පෙරලිලා පාර දිගේ විලාප තිය තිය ගෙදර ගිය, මොකද බලන්නේ කියල මොනාලිසාට තර්ජනය කරපු පොඩි බනියා දැන් කණ්නාඩිය ළඟ ටිකක් වැඩිපුර ඉන්න,ගැලපෙන්න ඇඳුම් අඳින ,සිංදු අහන ,සිංදු කියන ,ලස්සණ දිග කොණ්ඩය පීරලා විවිධ මෝස්තර වලට ගොතන හැමදේම ගැන බොහොම පුළුල් ඇසකින් බලන අවුරුදු දහයක අපුරු ගැහැණු ළමයෙක්.

හැබැයි දවල් තිස්සේ කොච්චර ස්වාධින වුනත් නිදා ගන්න නම් කතන්දරයක් ඕනෑමයි. දුක හිතෙන කතා වෙන්න බැහැ.මැරෙන්න බැහැ ...ඉතින් හරිම අමාරුයි කතන්දර හොයන්න. සමහර ඒවා ඉතින් අවසානය වෙනස් කරලා කියන්නේ.

හුඟක් පොඩි කාලේ දවසක නරි බෑනා කියල දුන්න. නරිය ගැන බොහොම කනගාටු වුනා මිනිස්සු එයාව රවට්ටුව කියල.
කාවන්තිස්ස රජු දේවි කුමාරිව කසාද බැඳපු එක වැරදියි කිව්වා.  කුමාරියක් බඳින්නේ කුමාරියෙක් ලුනේ.
ඒ වුනාට ගැමුණු කුමාරයා කිරිබත් කාපු හැටි අහන්න හරිම ආසයි.
රජවරු වැව් හදපු හැටි කිව්වම ඒගොල්ලෝ වැඩ කල මිනිස්සුන්ට හරියට පඩි ගෙව්වද කියල අහනවා . කම්කරු අයිතිවාසිකම්.
මම කිව්වා ඒ කාලේ එහෙම මුදලින් පඩි දීමක් නැහැ කන්න බොන්න දුන්නම ඇති. අවශ්‍යතා හරිම අඩුයි කියල. එහෙම කොහොමද ..ඒගොල්ලන්ගේ ළමයි ඉස්කෝලේ යවන්නේ කොහොමද. ඉස්කෝලෙට ගෙවන ගණන් ගැන නිතරම ගෙදර කතා වෙන නිසා වෙන්න ඇති .
මම කිව්වා ඒ කාලේ එහෙමකට ඉස්කෝල කියල ජාතියක් නැත.හුඟක් වෙලාවට පන්සලේ තමයි අකුරු හෙම ඉගැන්නුවේ කියල .ඔයාකාරෙට කතාව ගිහින් ත්‍රිපිටකය ග්‍රන්ථාරුඩ කිරීම දක්වා කතාව ගියා. පුස්කොල ගැන හෙම.
ලඟදි දැක්ක කොරියාවේ ත්‍රිපිටකය ලියා තියෙනවා ලී පලක වල .එයාට විශ්වාස නැහැ කොරියාව බෞද්ධ රටක් කියල , එයාගේ කොරියන් යාළුවො කිපදෙනාම පල්ලි යන අය.
බෞද්ධන් බහුතරක් ඉන්නේ කිව්වම කියනව ඇයි බෞද්ධයෝ හුඟක් ඉන්න රටවල නත්තල සමරන්නේ කියල .
ඔන්න ඉතින්  කියන්න වුනා එය තමයි ආගමික සහජීවනය සහ සංස්කෘතිය කියල.

ඔය වගේ දාර්ශනික සාකච්ඡා නිමක් නැහැ ඉතින්. ''අම්ම තමයි ලෝකේ ඉන්න හොඳ කතන්දර කියන කෙනා ....හැමදේම ගැන දන්නා අම්ම කෙනෙක් ඉන්න එක ලොකු වාසනාවක්'' ඔන්න ඔය වගේ සම්මාන සහතික තමයි හම්බ වෙන්නේ හිලව්වට.

මේ ලඟදි වෙල්ලවැහුම් කතාව කියා දුන්න. කට්ටිය දන්නවනේ අර ගමයා නැන්දම්මාගේ ගෙදරින් වෙල්ලවැහුම් කාලා නම මතක තියාගෙන ඇවිත් මගදී ගෙම්බෙක් වතුරට පැනලා ජබෝහ් කියන සද්දේ තමයි මතක හිටියේ .
ගෙදර ඇවිත් හාමිනේට ජබෝහ් හදන්න කිව්වම උන්ද දන්නෙම නැහැ කිව්වලු. ගමයට තරහ ගිහින් හාමිනේට තඩි බෑවලු,..


පොඩි ගේ ඇස්දෙක ලොකු වුනා කටත් ඇරුන



''මොකක් ...!!!!! DOMESTIC VIOLENCE'

මට කවදාවත් එහෙම හිතිලා තිබ්බේ නැහැ.

Saturday, 23 April 2016

තනිකඩ කොහා




ගෙදර
යන්නට බැරි වුන
අවුරුදු දවස් වල
සිතින් ගමරට ගොස් ආමි
ගෙදර ගිය නොගිය කාටත්
පමා වූ අවුරුදු පැතුම්
පිරි නමමි

...මෙදා සැරේ අවුරුද්ද නිකන්ම ගෙවිල ගියා.සිරිත් විරිත් කියල කලේ 14 උදේ කිරිබත් හදල හැමදාම උත්සාහ කරල මේ පාර යන්තම් හරිගිය,නවින පන්නේ ඉතා කොට කොණ්ඩ සහිත කොණ්ඩ කැවුම් වගේ ජාතියේ කීපයක් සහ දවසක්ම ලිප ළඟ ඉඳගෙන හදපු උඳු වළලු තියල කාපු එක විතරයි.ළමයින්ට ඉස්කෝලේ නේ.
උඳු වළලු පෙට්ටිය නම් අපේ දෙන්නයි මමයි හවස ආපු පොඩි ගේ යාළුවෙකුයි එක්කහු වෙලා එදාම ඉවර කළා.
කොණ්ඩ කැවුම් හදන්න බැරි මගේ වරදක් නිසා නෙමේ ඔන්න. අපි රත්නපුරේනේ. එහෙ අය හදන්නේ හැඳි කැවුම්:D
හැබයි මේ පාර මට සාස්තරේ අහු වුනා යන්තමට. මට කොණ්ඩය හරියට නාවේ  පැකට් කල හාල් පිටි පිපෙනවා අඩු නිසා. එව්වා ඇති අද ඉවුම් පිහුම් ගැන කියන්න කම්මැලියි.

එකාතකට අවුරුද්දට උවමනා මුලික කාරණා මෙහෙ නැතුව නොවේ. කොහෙක් ඉන්නවා අවුරුද්ද පුරාම කෑ ගහන. අප්‍රේල් කියල නැහැ.

කොහෝ මොකද නිතරම නුඹ අඬන්නේ
නැතුවද කෙවිලියට නුඹ දුක ඇහෙන්නේ


මට හිතෙන්නේ මෙහෙ මනුස්ස පරාන කසාද බඳින්න ළමයි හදන්න හොරයි වගේ කොහාටත් කෙවිලියක් සොයා ගන්න අමාරු ඇති. කොටින්ම ළමයි හැදීමේ මුලික කාරණා හිටං කෝච්චි වල දැන්වීම් තියෙනව. ඒ තරමට ළමයි අඩුයි. ඒකත් අද කතා නොකර ඉමු. වෙන දවසක බැරිය.

අවුරුදු කිව්වම ඊළඟට ඕන එරබදු. කිව්වම මොකද ලංකාවේදී මම එරබදු වැඩිය දැකල නැහැ. හැබැයි මෙහෙ පාර අයින් වල ඕන තරම්. අපේ ගේ ගාවත් ගස් කීපයක් තියෙනව.ඒවා එරබදු පවුලේ වෙනස් ගස් කියල හිතා හිටියට ලඟදි සැක හැර දැන ගත්ත. ජපානයේ okinawa ගැන තිබ්බ ලිපියක එරබදු වගේ ගහක් ගැන තිබ්බ මේ කාලයේ මල් පිපෙන. පුරුදු ගහක් කොලක් දැක්කම පොඩ්ඩක් හොයල බලන එක මගේ පුරුද්ද. ඇත්තටම ඒ එරබදු තමයි. මෙහෙත් තියෙන්නේ එයමයි .
ඉතින් ඕන තරම් එරබදු මලුත් තිබ්බ.

හැබැයි ඔය මොනවා වුනත් හිතේ සංකාවක් තිබුන. ඇත්තම කියන්න අවුරුදු කියන්නේ ද්‍රව්‍යමය දේවල් අවශ්‍ය වුනත් ඒවාම නෙවේ.

අවුරුද්ද තියෙන්නේ අපේම මිනිස්සු එකතු වෙන තැන. පොඩි කාලේ නම් අවුරුද්ද කියන්නේ කහවත්ත. එහෙ නොගිය අවුරුද්ද අවුරුද්දක් නෙමේ. ඒ ගැන පෝස්ට් තුනක්ම ලිවානේ. අවුරුදු දා මම ඒ තුනම කියෙව්වා ආයෙත්.
පසු කාලෙක අවුරුද්ද කියන්නේ අප්‍රේල් වැටුප කලින් ලැබෙනකම් බලන් ඉන්න එක.බොරැල්ලේ කඩවල හිර වේවි ඇඳුම් තෝරන එක.  ඒ කාලේ හරිම අකමැත්තෙන් කරපු දෙයක් වුනත් අද හිතෙන්නේ එහෙමයි. නුගේගොඩ ට්‍රැෆික් එකට  බැන බැන බස් එකේ දාඩිය පෙරාගෙන වරුවක් ඉන්න එක.
මහරගම පමුණුවේ මහා ජන ගඟ අස්සේ බස් එකකට නගින්න වද වෙන එක.
පිට පළාත් වල අයට ගෙදර යන්න දීලා අවුරුදු දවස් වල වැඩ කරන එක. ( නයිට් ඩියුටිය නම් කතෝලික බර්නාඩ් මහත්තය සහ ඉස්ලාම් ඩින් සහෝදරයා අනිවාර්යයෙන්ම  බාර ගන්නවා)

ඒ කාලයේ ඒවා හරි කරදර කියල හිතුන.පිස්සු විකාර කියල හිතුන. ඒ වුනාට අවුරුදු දවසේ මං තනියෙන් ගෙදර ඉන්නකොට,,,,,වායු සමනය කල සැප පහසු පාරේ බස් එකක කඩේ යනකොට ඇත්තටම මහා පාළුවක් දැනුන. වෙන කවරදාටත් වඩා මේ පාර ඒක දැනුන.
එරබදු මලක් වෙනුවට තවත් මම ආසම මලක් වෙච්ච පීච් මල් ටිකක් ඇන්දේ ඒ පාළුව නිසා.


Thursday, 21 April 2016

පාට සිතුවිලි

පහුගිය කාලේ බ්ලොග් ලිවිල්ල එහෙම්ම අත් හැරුන. විවිධ හේතු නිසා. එකක් පරිඝනකය ලෙඩ දීම. අනික ලියන්න තරං එකලාසයක් නොතිබීම. නිතරම අහපු බලපු හැමෝටම ස්තුතියි.

ලිව්වේ නැතුවට පහුගිය කාලේ චිත්‍ර නම් සෑහෙන්න ඇඳුන. ලියන්න ගත්තට ඉතින් එක පාරට බැහැනේ. හිතත් විල වගේම තමයි. සැල්වීනියා ගලවල ඉවුරු සුද්ද කරලා ඉන්න එපාය. එතකං ඔන්න පහුගිය කාලේ ඇඳපු මල් ටිකක්.
 ඉස්සර මම තෙල් සායම් වලට අත ගහන්න බයයි. ඇයි ඉතින් උත්සාහ කරන්නවත් අවස්තාවක් නොතිබ්බ නිසා. දැන් නම් අන්තර්ජාලයේ නැති දෙයක් නැහැනේ.



 මේක මම හාපුරා අවුරුදු ගානකට කලින් දුවගේ චිත්‍ර ටිචගෙන් අහගෙන කරපු එක. තාමත් මං කැමතිම එක



 උද්‍යානයේ බිම වැටුන රොබරෝසියා මල්. මලක් ගෙදර ගෙනත් ඇන්දේ


 යාලුවෙක් දාල තිබ්බ පිච් මල් වල සේයා රුවක් අනුසාරයෙන්


 අපේ ස්ටයිල් එකේ අරලිය
 මෙව්වා නම් ඉතින් ඔහේ හිතිච්ච විදිහට ඇඳපු එව්වා

උණු උණුවෙම ඊයේ ඇඳපු එකක්. සමහර වෙලාවල් තියෙනවා පාට ගොඩක් උවමනා. එහෙම වෙලාවට කොච්චර වැඩ තිබ්බත් පොඩියට හරි පාට මලක් ඇන්දම හිතට දැනෙන්නේ සැනසීමක්. කවුරුත් පාට කරනකම් නොයිඳ තමන්ගේ පාට තමන්ම සොයා ගන්න එක තමා හොඳ. නැත්තන් වෙන්නේ ජිවිත කාලයක්ම කලුයි සුදුයි විතරක් දකින්න.

පාට සොයාගෙන නෙළුම් පිපෙනකම් අදට ඔය මදැයි.