Saturday, 21 May 2016

අද වගේ උදෑසනවල්

උදේ අඬල අඬල අහසට මහන්සියි. කඳුළු වෙලා වැටුණේ නැති වලාකුළු ඔහේ කම්මැලි කමට බලන් ඉන්නවා..උදෙන්ම නැගිටපු කිරිල්ලියක් මොනවද කිචි බිචි ගානවා. වීදුරු බැල්කනියේ වැහි බිංදු ඇන්ද තිත් රටා මුතු වගේ දිලිසෙනවා.ඉක්මනට දුවගෙන එන්න ඉරටත් හදිස්සියක් නැහැ වගේ. ඔය යන්තමට ඇබින්දක් එලිය එවලා හිමිහිට එනවා ඇති. හුඟක් රත් කරලා මේ මුතු කැට දිය කරන එක පව් කියල හිතනවා ඇති.

හරියටම අපි පොඩි කාලේ ලංකාවේ උදයක් වගේ.කම්මැලිකමට තව ටිකක් ගුලිවෙලා  නිදන්න අපුරු වෙලාව. අද නිවාඩු නිසා වෙන්න ඇති වැඩිය වාහන සද්ද නැහැ.
ඉස්සර කුස්සියේ අම්ම තේ හදන සද්දේට තමයි මම ඇහැරෙන්නේ. නිවාඩු දවසට ඔළුවේ ඉඳන් වහගෙන ඔය සද්ද අස්සෙත් මම නිදා ගන්නවා. අපේ අම්ම කවදාවත් කෑගහල මාව ඇහැරවල නැහැ.අට විතර වෙනකම් නිදිය ගත්ත.
ගැහැණු ළමයි උදේම නැගිටලා මිදුල අතු ගාන්න වළං සෝදන්න ඕන කියල සම්ප්‍රදායික අදහස් අපේ අම්මට තිබ්බේ නැහැ. අපි ඒවා කළා හැබැයි ලොකුවට අරක මේක කරන්න කියල කියල නීති තිබ්බේ නැහැ. අපේ ජෙනරාල් අක්ක තමයි ඉතින් මගෙන් වැඩක් ගත්තේ. අපි පුංචිම කාලේ හිටපු අර පොල් වත්තක් මැද ගෙදර මිදුල වැලි. පොල් අතු රටාවට අතු ගාන්න පුළුවන් ජාතියේ. ඊට පස්සේ හිටි ගෙවල් දෙකම මිදුල් බොරළු. එතන කලාව තිබ්බේ බොරළු කැට ටික ඉතුරු කරලා කොළ අතු ගාන එක.
 දවසින් දවස අතු ගාන දිශාව වෙනස් කරන්න ඕන.නැත්තන් බොරළු එක පැත්තකට තල්ලු වෙනවා. මම නම් ඉතින් ඕක යාන්තමට එහාට මෙහාට කරලා පොතක් අරන් පැත්තකට වෙනවා. ඔය පොඩි කොටු මිදුල වගේද ස්ටෙප්ස් තණ බිමේ නැත්තන් වොල්ගා ගඟ බඩ රස්තියාදු ගහන එක.
බබයිගා යකින්න ගේ ගේ ඉස්සරහ බිරියෝසා ගස් වල කොළ කොච්චර වැටිලා තිබ්බද අතු ගාන කම්. උන්දැට ඉතින් කොස්සේ නැගල ලෝකේ වටේ රවුම් ගහනවා ඇරෙන්න ගෙවල් මිදුල් පිළිවෙලට තියා ගන්න ඕන කමක් තිබ්බය.
බිරියෝසා සහ බර්ච් කියන්නේ එකම ගහට කියල ඊයේ දැන ගත්තේ. වෙන රටක ඉන්න මගේ යාළුවෙක්ගෙන්.

ඉස්සර වගේම තමයි තාමත් ඉතින් මගේ ලියවිලිත් රස්තියාදු ගහනව. මේක නම් ඇත්තටම බ්ලොග් එකට දාන්න ලියන්න ගත්ත නෙමේ, උදේ පාන්දර වැස්සෙන් පස්සේ ඉබේම ලියවුන කුඩා සටහනක්. ඒ නිසා වැඩිය බරපතල විදිහට හිතන්න එපා .

ඉතින් මම කොහෙද හිටියේ ...මිදුලේ. අපි කුලී ගෙවල් වල හිටි කාලෙත් ඊට පස්සේ පොඩි ගෙයක් හදපු කාලෙත් අපේ අම්ම මල් හිටෙව්වා. ඔය පොඩි පොඩි දවල් කුමාරි අතු තැනින් තැන ඇන්න එක ඇරෙන්න මගෙන් ඒ කර්මාන්තයටත් ඒ හැටි දායකත්වයක් ලැබුනේ නැහැ.

දුයිෂෙන් සහ අල්තීනායි එක්ක පොප්ලර් ගස් හිටෝන එක ඊට වඩා රසවත් වුනා.
වතුසුද්ද රෝස වගේ මල් පිපෙන ගස් තමයි අපේ දිහා වැඩි. ඔය ගැන ඉස්සර දවසක ලීවා මතකයි. මට නිදහසේ හිතන්න හීන දකින්න නිදා ගන්න ඉඩ දීලා සම්ප්‍රදායික ගැහැණු ළමයා මොඩල් එකට නොවැටී ඉන්න දීපු එක ගැන අම්මට හුඟක් ණය ගැතියි. උයන එක වළං සෝදන එක ගෙවල් අස් කරන එක පස්සේ කාලේ ඕනෑවටත් වඩා කරන්න ලැබුණ . ඕවා අමුතු මැජික් නොවේ. ඒවා කරන්න ජිවිත කාලයක් තියෙනවා. නමුත් අර නිදහස් ළමා කාලෙට ආයේ යන්න බැහැනේ . අනික අපි ගෙදර වැඩ හොඳට කළා කියල පදක්කමක් හම්බ වෙන්නෙත් නැහැ . සබන් දියර වලට රැලි වැටෙන ඇඟිලි ....ඉඳල හිටලා රත් වෙච්ච වලඳක ගෑවිලා ඉතුරු වෙන පිළිස්සුන ලකුණු ...ඕව තමයි පදක්කම්.

නමුත් අර සුන්දර නිදහස් දැරියගේ මැවෙන පරිකල්පනයන් බොහෝ පසු කාලෙක හරි මොනයම් විදියකින් හරි එලියට එනවා. ඒ සිතුවිලි මවන අකුරක් දෙකක් මවන සලකුණු කවද හරි කවුරු හෝ කියවා සතුටක් ලබාවි.

මේ ඒ වගේ අම්මක්ගේ දුවෙක් ලියු පුංචි සටහනක්. ඒ දුවගේ දුවල හිස සිට පොරවාගන නිදි අතරේ ........ඒ දකින සිහිනත් දවසක කොහේ හෝ ලියවේවි


ඊයේ හවස එළියට ගිය වෙලේ පොඩ්ඩි ඇහුව හෙට නම් පෝය අද ඇයි හඳ මෙච්චර රවුම් කියල.
මම කිව්වා හෙට ඔයිට වඩා රවුම් වෙයි කියලා.

එදා සඳ මයි අදත් .....


නොනිවෙන විදුලි එලි ගණනින් දස දහස
මිනිසුන් කුහුඹුවන් වී දුව යන          දවස
කිසිවෙක් නොබැලුවත් ඉඳහිට වත් අහස
සඳ කියනවද නුඹ තරහා නැති      රහස

පොල් අතු රටා නැතුවත් පෙර දවස වගේ
තවමත් ගලනු ඇති සඳ දිය මිදුල දිගේ
විහිදා ලිහා රන් වන්  කෙස් කැරලි ඇගේ
සඳ සිප ගනී ආදරයෙන් මුහුණ    මගේ







Wednesday, 18 May 2016

ගඟ අසල කුඩා දැරිය



වසර ගණනකට පසු
ගංවතුර ඇවිත් වග
කියා තිබුණා උදේ
බලන කොට මුණුපොත

තැනින් තැන ඇද වෙවී
හිත යටින් මතු වෙලා
කැළණි ගඟ ගලන්නේ
හරි මැදින් මතක පොත

      උපන්දා සිටන් මා ජීවත්ව ඇත්තේ ජලාශ්‍රිත ජීවියෙකු ලෙස බව මට කල්පනා වේ.කැළණි නිම්නයේ ළමයෙකු වූ මම ලොකු මහත් වී ඇත.කුඩා කල තණ බිස්සේ වැතිර සිටි කල සිත අමන්දානන්දයට පත් කල සුදු වළා කැටිති අස්සෙන් ඉගිල්ලී නොරට ගොස්ය. කුඩා කාළයේ පොත පතකින් පමණක් ඇවිද ගිය සයිගොන් ගඟ ළඟ සැබෑවටම ගෙවූ කාලය එයින් පසු ජනේලයෙන් ඈත පෙනුන රතු ගඟ දෙස බලා සිටි කාලය.
ජිවිතයේ බොහෝ අවුරුදු ගෙවා කුඩා නගරයක මිසින් දෑතින් නිමවූ ජලාශයක් දෙස බලමින් ඉතා ඈත ළමා කාලයේ ඇවිදිමි.
මේ බොහෝ දුර ගමන් වලදී මාදුටු ගංගාවන් ගේ හැඩය පැහැය දිග පළල එකිනෙකට වෙනස්ය. නමුත් ඒ හැම ගංගාවක්ම ජීවිතය මෙන් පසු පස නොබලා ගලා යයි.
වියට්නාමයේ ගංගා මඩ මිශ්‍ර බොර පැහැතිය. විශාල නැව් යාහැකි තරමට ගැඹුරුය පළලය. සයිගොන් ගඟ ගඟ ගැන බොහෝ කලකට පෙර ලියා ඇත්තෙමි. රටවල් හයක් පමණ පසුකොට වියට්නාමයේ මිකොන් ඩෙල්ටාවෙන් මුහුද දකින මිකොන් ගඟ විස්මිත කතා ගොන්නකි.
චීනයේ සිට ගලන රතු ගඟ හැනෝයි වැසියන්ගේ රුධිර පද්ධතිය වැන්න.

මේවාට අමතරව මට අමතක නොවෙන ගංගාවක් වන්නේ කොරියාවේ HAN නදියයි. කොරියන් නාටක වල සිත බිඳුන පෙම්වතුන් කඳුළු සලන්නේ ඔය ගඟ අයිනේ සිටය. සමහරුන් ගඟට පනින්නට යද්දී අවසාන මොහොතේ බේරා ගැනේ. ඉතින් මට ඔය ගඟ හොඳට පුරුදුය.

ඔය කොයි ගඟත් ගලන්නේ ඒ ඒ නියමිත පාරවලය. නමුත් කැළණි ගඟ ගලන්නේ හරියටම මගේ හිත මැදින්ය.

කිතුල්ගල පැත්තේදී අනගාර දඟර පානා කැළණි ගංගා යුවතිය අපේ පළාතෙන් ගලා බසින්නේ සන්සුන් මැදිවියේ ගැහැනියක ලෙසිනි. ගැහැණුන් සන්සුන් ලෙස හිඳින්නේ කොයි විට දැයි මට දෙකක් කියන්නට ඔබ දැන් පුල පුලා බලා සිටින බව දනිමි. කලබල විය යුතු නැත. වැස්ස වළාහක දෙවියන් දන්සැල් දමන කාලයට මේ සන්සුන් ගැහැණිය මාරාවේශ වී ගම් දොර වලට කඩා පනියි. මට දෙකක් කියන්නට හිතු අයට 'සතුටුයිද දැන් ":D

ඉස්සර අපි කුඩා කාලයේ ගංවතුර යනු තරමක මිහිරි අත්දැකීමකි. ඒ අපේ ගෙවල් යට නොවෙනා නිසාය.ළමයින් ආත්මාර්ථකාමිය. කලින් ලිපිවලින් කියා ඇති පරිදි බස් පාරේ සිට අපේ ගෙවල් මණ්ඩිය පැත්තට යන්නට ක්‍රම කිහිපයක් ඇත. එක බස් නැවතුමකින් පටන් ගන්නා පාර රවුමට ගොස් අනික් බස් නැවතුමට සම්බන්ධ වේ. අතරමගදී කුඩා අතු බෙදමින්.
ඒ එක අත්තක් තවත් උඩහට ගොස් ආයෙමත් රවුමින් තුන් වෙනි බස් නැවතුම ලඟින් මහා පාරට එකතු වේ. ඔය වැනි අතු පාරවලින් උඩහ පැත්තට ගොස් පොහොර සංස්ථාව තෙල් සංස්ථාව පැත්තට හෝ පට්ටිවිල දෙසට මතු විය හැක. අප එතරම් නොදැන සිටි ඒ පාරවල් වල මා ගොස් ඇත්තේ කලාතුරකිනි.
අපට පුරුදු බස් නැවතුමට යාමට නොහැකිව යටවූ ගංවතුර කාලයට ඉතාම හදිසි ගමනක් යාමට ඇති විටක උඩහ පැත්තෙන් ෆෝර සංස්ථාව පාරේ ගොස් 230 බස් එක අල්ල ගන්නට ගිය විටක පමණි.

අපේ පැත්තට ගංවතුර එන්නට කලින් මුලින්ම වතුර දමන්නේ 13 කනුව ළඟ කියා අසා ඇත. ගම්පහ වැලිවේරිය පුගොඩ වැනි පැතිවල සිට එන බස් වල මිනිසුන්ගෙන් ආරංචි වී ඔන්න පට්ටිවිල වතුර දාන්න පටන් අරන් වැනි කියමන් මට ඉතා හොඳින් මතකය.
හවස් වන විට යටවන බව  දැන වුවද වේලාසනින් ගෙදර එන නිසා පාසල් යන්නෙමු.
දවාලේ එනවිට බස් නැවතුම ලඟින් පාරේ දනක් පමණ වතුර තිබුණු දවස් මතකය. අපේ ගෙවල් යට නොවෙනා නිසා මට මේ වතුර පාරවල් දැක මතුවන්නේ සතුටකි. රවුම් පාර දෙපැත්තෙන්ම යටවේ. අහස ඔළුවට කඩන වැටුනත් ඉතාම රෑ බෝ වී ගෙදර එන තාත්තා එන වෙලාවට නම් පාරවල් ගන්නම දෙයක් නැත. ඒ වන විට බස් ගමනද නැවතිලාය.
එක්කෝ 230 විත් නගහ හන්දියෙන් බැස වතුරේ ඇවිදගෙන එන්නට ඇත. නැත්නම් අර කලින් කියූ පෝර සංස්ථා පාරේ එන්නට ඇත. කොළඹට එනතුරු උදේ හවා කහවත්තේ සිට අඩියට දෙකට බුන්ගිරිය කන්ද නැග්ග අපේ තාත්තාට ඕක මොකක්ද.

එයින් පසු දින කීපයක් ගංවතුර නිවාඩුය. අපේ ගෙවල් යට නොවුනද අපටද පාඩු නොවුනා නොවේ. අහල පහල පොඩි සිල්ලර කඩ සිඳී යයි. පාන් දකින්නටත් නැත.
ඒවා අපේ ප්‍රශ්ණ නොවේ. අම්මලාගේ ප්‍රශ්නය.
අපිට තිබුනේ දෙන දෙයක් කටේ දාගෙන ගංවතුර මට්ටම නිරීක්ෂණය වැනි බරපතල රාජකාරිය.
පාරේ කෙතෙක් දුරට වතුර දමා ඇත්ද ,වතුර මට්ටම අඩු විද අපට ඇති ප්‍රශ්ණ එවැනිය. පහල ගෙවල් යටවී මිනිසුන් විඳි දුක් ගැන දුක නොසිතුනා නොවේ. කොල්ලෝ  නම් කෙහෙල් කොට වලින් සාදන ඔරු පැදීමට කැමති වුහ. අපිත් අකමැතිවා නොවේ. ගැහැණු ළමයින්ට කොතරම් සැම අයිතිවාසිකම් දුන්නද එවැනි නසරානි වැඩකට නම් අම්මා ඉඩ නොදෙන බව සහතිකය. ඒ කාලයේ පිහිනන්නට දන්නෙත් නැත.

               පිහිනීම ගැන කිවහොත් ගඟ අද්දර ළමයිනට පිහිනීම ඇවිදීම තරම්ම සාමාන්‍ය වන්නට ඇත. කලාතුරකින් සති අන්තයට ගඟට නාන්නට ගිය අපට එසේ නොවේ. උත්සාහ නොකලා නොවේ. කෙසේ හෝ ඉගෙන ගන්නට නම් බැරි විය. අපිට නාන්නට තොටුපොළවල් කිහිපයක් තිබිණි. නාන ළිං බහුලව තිබු නිසා ගඟට යාම අනිවාර්ය නොවිණි. ඇතැම් සති අන්ත වල උදයෙන්ම තාත්තා හෝ අම්මා සමග ගඟට නාන්නට ගිය කුඩා කාලය මට මතකය. මාළුන්ට කන්නට බත් ටිකකුත් රැගෙනය අප යන්නේ.
පසු කලෙක ඒ මාළුන් නොව නෙක වර්ග වල මාළුන් ටැංකි වල පිහිනන වෝටර් වර්ල්ඩ් ඉදි කෙරුනේ ඒ එක තොටුපළක් අසලය.


ඉඳහිට හෝ ගඟෙන් නාන්නට ගිය ගමන් සදහටම නැවතුනේ ගඟ දිය රතු පැහැ වන්නට ගත් කාලයේය.
වැලිවිට පාලමින් වට  බක් මී මල් පාව එන්නට ගත් කාලයේය..

තවත් එක තොටුපළක් අසල තිබු ගඩොල් වැඩපොළ අමතක නොවන තැනකි. මුලදී කොළ දුඹුරු පැහැති අමු ගඩොල් අව්වේ වියලා පෝරණුවේ පිලිස්සු පසුවයි ගඩොලට රතු තැඹිලි පැහැයක් ලැබෙනුයේ.

කුඩා ළමයෙක්ට මේවා කොතරම් අපුරු විශ්මයන්ද. බියගම කඩුවෙල පාලම සැදීමට පෙර අම්මා සමග පාරුවෙන් කඩුවෙල පොළේ ගිය ගමන්..අද කල්පනා කරන විට විශ්මිත චාරිකාවන්ය.
කැළණි පන්සල අසලදී ගඟ විශාල වංගුවක් ගනියි. ඈත අතීතයේ ගඟ ගැලු දිශාව වෙනස් බවත් මුතුරාජවෙල වගුරු බිම් ඇති වුයේ ඉස්සර ගඟ ගැලු ප්‍රදේශයේ බවත් කතාවක් අසා ඇත. හරි හැටි සත්‍ය තත්වය නොදනිමි.

පෑලියගොඩ පැත්තට යද්දී ගඟ අවට වෙනම පරිසරයකි. ළඟ ළඟ පොඩි ගෙවල් කර්මාන්ත ශාලා බහුල විය. පරණ කළු පාලමින් එගොඩව අම්මා සමග තොටලඟ පොලට ගිය ගමන් වෙනමම අත්දැකීමකි. පිටකොටුවේ මැනින් මාකට් එක සේම චිරි චිරි මඩින් පිරි මගේ සිත් නොගත් තැනකි. ඔය ගමන් යන්නට කැමති අම්ම අරන් දෙන රටකජු ගොට්ට්ට වඩා පත්තරවලට ඇති පෙරේත කමය. කැලණියේදී බස් එකේ මාව නැතිවී පත්තරයකින් වැසි සිට සොයා ගත්තේ ඒ ගමනකදීය. ඒ විජය පත්තරේ පලවෙනි හෝ දෙවෙනි කලාපය බව මතකය.
කියමින් සිටියේ ගඟ බඩ මතකය. එක මාතෘකාවකින් තව එකකට පනින්නට දක්ෂ බව මා මිතුරෙක් කිවේ වැඩි ඈතක නොවේ. ගැහැණු ගතිය නොවේද.

ගංවතුර ගෙමිදුලට ආ බව කියා මගේ පාසල් මිතුරෙකු සහ ඔහුගේ බිරින්දෑ..ඔව් ඉතින් ඒ කාලයේ පාසල් ළමයි දැන් දෙමාපියන් ...මුහුණු පොත් දමා තිබු පින්තුර ඔස්සේ අතීතයට ගිය සිත ඇවිස්සු සටහනයි මේ.
ඒ දෙපලට ඉතාම ස්තුතියි. පින්තුරයද අනවසරයෙන් ඔවුන්ගෙන්ම සොරකම් කරන ලද්දකි.

ඉතින් ඒ ගඟ අද්දර දැරිය ලොකු මහත් වී ජිවිතයේ විවිධ ගංගා ඇලදොළ පාලම් පසු කර ඇත. ජිවිතයද ගඟක් සේ බොහෝ දුර ගලා ගොස් ඇත. දුබල ඉවුරු කඩා බිඳගෙන උතුරා යන්නට සිතුන වාරද අපමණ නොතිබුනා නොවේ. එහෙත් ජිවිත ගඟ තවමත් ගලයි.

මතක පොතේ හරි මැදින්ම සුන්දර කල්‍යාණියද ගලා යයි.





Saturday, 14 May 2016

මෙපුර සිරි විසිතුරු .......

ලෝක සිතියමේ සොයා ගන්නටවත් බැරි කුඩා දුපත.රටක් කීවාට ලොකු රටක නගරයක් තරමටවත් ලොකු නැති කුඩා දුපත. ලංකාව මේ වගේ කරන්නම්හයි 77 සිට දෙස්පලුවන් වහසි බස් දොඩන සිංගප්පුරුව ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත.
නමුත් පුංචි කුහුඹුවන්ටත් සෙවණැල්ලක් තියෙන්නාසේ මේ කුඩා රටටත් ඔවුන් ආදරය කරන කෙටි මුත් ඉතිහාසයක් ඇත. ඒ ගැන ඉඩක් ලද විට ලියන්නට කරුණු ගොන්නක් සිතේ ගබඩා කොට තිබේ. ජංගම දුරකථන දෙකකටම පසුගිය වසරේ අපල කාලයක් එළඹුණු බැවින් ගන්නා ලද වටිනා පින්තුර රැසක් විනාශ වුයෙන් පින්තුර සොයා එකලසක් කොට ඉතිහාසය ගැන ලියන්නට සිතා සිටිමි.
නෙළුම් විල අයිතිකාරිය හිම වලසෙක් මෙන් සිසිර නිද්‍රාවට නොවැටී සිටියහොත්.

සංචාරකයින් නිතර මෙහි එන්නේ විනෝද වන්නටය. සෙන්තොසා නම් විනෝද ක්‍රීඩා සහිත දුපත යුනිවර්සල් ස්ටුඩියෝ වැනි ස්ථාන ගැන අසා නොමැති කෙනෙක් නැති තරම් වන්නට හැක. සුපිරි වෙළඳ සල් සපිරි ඔර්චාර්ඩ් විදී ද මෙහි එන්නන් මග නොහරින තැනකි.
ඒ හැරුණු කොට මුස්තාෆා නම් පැය විසිහතරේම විවර වූ .... අම්මා තාත්තා හැර ඕනෑම දෙයක් මිලට ගත හැකි සාප්පු සංකීර්ණය විදේශිකයින් නොවරදවා වන්දනා මාන කරන ස්ථානයකි. වෙසෙසින්ම දකුණු ආසියාතිකයින්.

එව්වා ගැන ලියන්නට එතරම් ආසාවක් නැත. නමුත් වෙසෙසින් මා සිත ගත් සිදුවීමක් තිබුණහොත් ලියන්නට පොරොන්දු වෙමි .
සිංගප්පුරුවේ මා වැඩියෙන්ම කැමති ගහකොළ වලටය. නගරයක් යනු කොන්ක්‍රීට් ගොඩක් නොවෙන බව දැකීමය.
වැඩි කතා කුමට ..සංචාරයකට පැමිණියත් ඔබ වැඩිපුර නොදකින සුන්දරත්වය මගේ කැමරාවෙන්.




ඇට්ටේරියා ..පිපුනම ඉතින් පලාතම සුවඳයි .ඉස්සර අපේ ගෙදර වැටට හිටෝලා තිබුණ ගහක්. ඉතින් මේ මල් දැක්කම මම ගෙදර










උදේ හිරු එළියේ නැහැවෙන අශෝකා,.මේක ගත්තේ මගේ මිතුරියක් එක්ක ඇවිදින ගමන්. එයා මේ මල දන්නේ නැහැ. ඇත්තටම මට හමුවුන පිටරැටියන් හුන් දෙනෙක් වැඩිය ගහ කොළ අඳුනන්නේ නැහැ. නගරවල හැදුනු අය. එයාට පුදුමයි උද්‍යානයේ තියෙන හුඟක් ගස් වල නම් මම දන්නවා කිව්වම. ඒ ඉතින් අර පොඩි කාලේ ලැබුණු තෑග්ගක්. ඊට පස්සේ උසස් පෙලදී උසස් අධ්‍යාපනයේදී උද්භිද විද්‍යාව මගේ ප්‍රියතම විෂය වුන එකේ ප්‍රතිපල. හැබැයි ඉතින් දැන් ඉතින් ශාක ගැන දැනුම පාවිච්චි වෙන්නේ හැඳි මිටේ දිගට. හැන්දෙන් ගිලිහිලා හොද්දට. ඊට පස්සේ බඩට. මට  වෙච්ච දෙයක් කියල හිතෙන්නේ ඉතින් ඔය වෙලාවට.



මේ ටිකකි . ඉදිරියට තව දකින්නට සලස්වමි.



Friday, 13 May 2016

නාගරික කවි



එබෙන්නට නැති යයි උදෙන්
නිල් කඳු වළලු කෙත් වතු ඕවිටි
මදක් වත් අමනාප නැති ඉර 
මෙහෙත් පායයි
කෙට්ටු උස ගොඩනැගිලි ...
..මත රටා අඳිමින්


නිතර සද්දෙන් කාර් බස් යන
ඉතා රළු  පාර අයිනෙන්
ඉඩ තිබුණි පිපෙන්නට
පුංචි මලකට හිනාවී
කොන්ක්‍රීට් කැබලි
....අස්සෙන්

තටු රිදී වෙහෙස වුන 
සමනලයෙකුට පොඩි 
ඉඩ තිබේ හුස්ම ගන්නට 

ඉරි තැලී රිදුම් දෙන 
....පොළොවින්   

.............................................
පාර දිගේ හිතේ ලියන පොඩි කවි 

පින්තුරය ....කාලෙකට පෙර ලොක්කි ගත්තු එකක් 

Friday, 6 May 2016

සරත් සඳ මත

කැඩුණු සමනල් තටු මත නැගී
සරමි අහසේ
නිවුණු තරු වල හැපෙමින්........

බිම බලමි ඉඳහිට

සරත් සඳ මත හිඳ...රහසින්

රෝස පෙති වැටී
පරවුණු නිස්සාර
......පොළොවින්

පිපී ඇතිදැයි මලක්
අසමි අසරණ
.........පතොක් පඳුරින්


පහන් තරුවයි ඔබ
එදා ගිලිහුණු
....මගේ නෙතඟින්

සුවඳ මුදු කුසුම මා
සදා ගිලිහුණු
........ඔබේ සුරතින්


......බොහෝ අය නෙළුම් විල ඉවුරේ සරන්නේ ඉතා දිග අතීත අනුස්මරණයන්  ,,,ඇවිද ආ ගිය තැන් මතින් පිපි නෙළුම් දකින්නට .. නමුත් මා මුලින් පෙම් බැන්දේ කවියට.
මගේ සමකාලීනව එදවස කවි ලියුවන් මා පසු කර බොහෝ දුර ගොස් ඇත.
ඉදින් ඉඳහිට මා ලියන දුප්පත් කවි කැබලි ඉවසන ලෙස ඉල්ලමින් ....

ප.ලි .

තරමක සංක්‍රාන්ති සමයක් නිසා පෙර මෙන් කමෙන්ට් වලට උත්තර දීමේ යුතුකම් මග හැරුණහොත් එයටද සමාව ......IN ADVANCE...... PLEASE!!!!!!!